පුවත්

බන්ධනාගාර කොමසාරිස් ජනරාල්ගේ සේවය අත්හිටුවයි
අනුරාධපුර මහාධිකරණය මගින් වරදකරු කර සිර දඬුවම් නියම කර සිටි විත්තිකරුවෙකු වූ පුද්ගලයෙකු ජනාධිපති පොදු සමාව යටතේ මුදා හැරීම සම්න්ධයෙන් මේ වන විට මතභේදාත්මක තත්ත්වයක් මතු වී ඇත.
ඒ අනුව, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය ගේ සේවය වාහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට ආණ්ඩුව තීරණය කර තිබේ.
අනුරාධපුර බන්ධනාගරයේ සිරදඩුවම් විදිමින් සිටි මූල්‍ය අපරාධකරුවකුට ජනාධිපති සමාව දුන්නේ යැයි කියන සිද්ධිය හේතුවෙන් මෙසේ තුෂාර උපුල්දෙණිය ගේ සේවය අත්හිටුවීමට පියවර ගත්තේය.
මේ අතර, මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන පරීක්ෂණයකට අදාළව අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයා මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇති අතර ඔහු අද (ජූනි 09) දිනයේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.
සිද්ධිය සැකෙවින් මෙසේය...
රුපියල් ලක්ෂ හතලිහක් (රු. 4,000,000) වංචා කර සාවද්‍ය ලෙස පරිහරණය කිරීමේ චෝදනාවකට අනුරාධපුර මහාධිකරණය මගින් වරදකරු කර සිර දඬුවම් නියම කර සිටි විත්තිකරුවෙකු වූ ප්‍රකට මූල්‍ය ආයතනයක අනුරාධපුර ශාඛාවේ හිටපු කළමනාකාරවරයාට එරෙහිව පැවති නඩුවෙන් නිදහස් කර මුදා හරින ලෙස උතුරු මැද පළාත් බද මහාධිකරණ විනිසුරු ලක්මාලි හේවාවසම් නියෝග කර තිබිණි.
මහාධිකරණ විනිසුරුවරිය මෙසේ නියෝග කළේ, අනුරාධපුර මහාධිකරණය හමුවේ පවතින එච්සී/69/2018 අංක දරන නඩුව ජූනි 05 යළි කැඳවූ අවස්ථාවේදී ය.
එහිදී, අනුරාධපුර බන්ධනාගාරයේ නිලධාරීන් ලිඛිතව අධිකරණයට ඉදිරිපත් කළ කරුණු දැක්වීමක් සැලකිල්ලට ගනිමින් මෙම නියෝගය කරන ලදී.
අදාළ ලිඛිත වාර්තාව මගින් අනුරාධපුර බන්ධනාගාරයේ නිලධාරීන් මහාධිකරණයට දැනුම් දුන්නේ, අනුරාධපුර මහාධිරණය හමුවේ පැවති නඩුවට අදාළව අධිකරණය මගින් වරදකරු කර දඬුවම් නියම කර සිටි අදාළ විත්තිකරු පසුගිය මැයි මස 12 වන දා යෙදී තිබූ වෙසක් පෝය දිනයේ ජනාධිපති සමාව යටතේ මෙම නඩුවෙන් නිදහස් කර මුදා හැර ඇති බව ය.
බන්ධනාගාර නිලධාරීන්ගේ මෙම කරුණු දැක්වීම් සැලකිල්ලට ගත් උතුරු මැද පළාත් බද මහාධිකරණ විනිසුරු ලක්මාලි හේවාවසම් නියෝග කළේ, විත්තිකරු ඔහුට එරෙහිව පැවති නඩුවෙන් නිදහස් කර මුදා හරින ලෙස ය.

රවී කුමුදේශ්ගේ වැඩ තහනම්
ආයතන සංග්‍රහයට පිටින් යමින්, මහමැතිවරණයට අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීම නිසා, වෛද්‍ය රසායනාගාර කාර්මික විද්‍යාඥ රවී කුමුදේශ්ගේ වැඩ තහනම් කර තිබේ.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර ඇති ලිපියකින්, වෘත්තීය සමිති ක්‍රියාකාරිකයකු බව කියන, රවී කුමුදේශ් වෙත මෙම වැඩතහනමට ලක්කිරීම සම්බන්ධයෙන් ද දැනුම් දී ඇත.
එම ලිපියේ සඳහන් වන්නේ, ජාතික රෝහලේ වෛද්‍ය රසායනාගාරයේ කාර්මික විද්‍යාඥ වශයෙන් සේවය කරමින් සිටියදී දේශපාලන අයිතිවාසිකම් භුක්ති විඳීමට හිමිකමක් නොමැති රාජ්‍ය සේවයේ මාණ්ඩලික නිලධාරියකු වශයෙන් ආයතන සංග්‍රහයේ විධිවිධාන පරිදි කටයුතු කිරීමෙන් තොරව 2024 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා කොළඹ දිස්ත්‍රික්කයෙන් අපේක්ෂකයෙකු ලෙස ඔහු තරග කර ඇති බවයි.
මෙම විෂමාචාර ක්‍රියාව හේතුවෙන් අපේක්ෂකයකු ලෙස නාමයෝජනා අත්සන් කරන ලද 2024.10.10 දින සිට ක්‍රියාත්මක වන පරිදි ඔහුගේ රාජකාරි වැඩ තහනම් කරන බව එම ලිපියෙන් දැනුම් දී තිබේ.
ඊට අදාළ විධිමත් විනය ක්‍රියාමාර්ග ඉදිරියේදී ගන්නා බවත්, වැඩ තහනමට් ලක්ව සිටින කාලයේදී වැටුම් ගෙවීමක් සිදු නොකරන බවත්, එම කාලය තුළ රටින් පිට නොවිය යුතු බවත්, පදිංචි ලිපිනය වෙනස් වන්නේ නම් ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා දැනුවත් කළ යුතු බවත්, ලිපියේ වැඩිදුරටත් දැක්වේ.
එමෙන්ම වැඩතහනමට ලක්ව සිටින කාලය තුළ සාමාන්‍ය රාජ්‍ය නිලධාරීන්ට ලබාදෙන සාමාන්‍ය අනුග්‍රහය ද රවී කුමුදේෂ්ට අහිමි වන බව ද එහි වැඩිදුරටත් දැක්වේ.

දෙහිවල ජාතික සත්ත්වෝද්‍යානයේ දෙවැනි වරටත් මැකෝ ගිරවෙක් නැති වෙයි
දෙහිවල ජාතික සත්ත්වෝද්‍යානයේ කූඩුවක රඳවා සිටි රුපියල් ලක්ෂ 05කට අධික වටිනාකමකින් යුත් නිල් කහ මැකෝ ගිරවෙකු සොරාගෙන ගොස් තිබේ.
පසුගිය 04 වැනි දින රාත්‍රියේ අදාළ සොරකම සිදුව ඇති අතර එය සත්ත්වෝද්‍යානය අසල වෙළෙඳසැලක සවිකර ඇති ආරක්ෂිත කැමරාවකද සටහන් වී තිබේ.
මෙම ගිරවා රඳවා සිටින කූඩුව තුළ නිල් කහ මැකෝ ගිරවුන් 30ක් රඳවා සිට ඇති අතර ඉන් එක් ගිරවෙකු මෙසේ සොරාගෙන ගොස් ඇති බවයි වාර්තා වෙයි.
කූඩුව භාරකරු පසුදා උදෑසන රාජකාරි සඳහා යතුරු රැගෙන කූඩුව විවෘත කිරීමට යාමේදී එහි ආරක්ෂාවට දමා ඇති ආරක්ෂිත අඟුල කඩා ඇති බව දැක පසුව සත්ත්වෝද්‍යානයේ ඉහළ නිලධාරීන් දැනුවත් කර ඇති අතර, පසුව සිදුකළ පරීක්ෂාවේදී එම කූඩුව තුළ සිටි එක් නිල් කහ මැකෝ ගිරවෙකු අස්ථානගතවී ඇති බව නිලධාරීන් දැක ඇත.
පසුව මේ සම්බන්ධව එහි පාලනාධිකාරිය ආරක්ෂක නිලධාරියෙකු මාර්ගයෙන් දෙහිවල පොලීසියට පැමිණිලි කර තිබේ.
පසුගිය 2021 වසරේ අගෝස්තු මස 08 වැනි දිනද මෙම කූඩුවේම රඳවා සිටි නිල් කහ මැකෝ ගිරවෙකු අස්ථානගත වූ අතර පසුව එම ගිරවා රත්මලාන ප්‍රදේශයේ නිවසක සිටියදී සොයාගෙන තිබුණි.

ජනාධිපති පොදු සමාව බන්ධනාගාර දෙපාර්තමේන්තුව අනීතික ලෙස භාවිත කරයි
ජනාධිපති පොදු සමාව අනීතික ලෙස භාවිත කර වෙනත් සිරකරුවන් නිදහස් කිරීම සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ විමර්ශනය සම්බන්ධව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනයක් නිකුත් කර තිබේ.
පසුගිය වෙසක් පොහෝ දින පොදු සමාව ලබා දීමේ වැඩසටහන අනුව ලබා දුන් සිරකරුවන්ට අමතරව සිරකරුවන් කිහිප දෙනෙකු බන්ධනාගාරය විසින් අනීතික ලෙස සමාව ලබා දුන් සැකකරුවන් සේ සලකා නිදහස් කළ බවට පැමිණිල්ලක් පසුගිය 06 වැනි දින ජනාධිපති කාර්යාලය මගින් අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවට යොමු කර තිබුණි.
එම පැමිණිල්ල ප්‍රකාරව දීර්ඝ විමර්ශනයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කර ඇති අතර ඒ සඳහා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාගෙන් මීට අදාළව ප්‍රශ්න කරමින් ප්‍රකාශ සටහන් කර ගෙන ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සඳහන්ව තිබේ.
ජනාධිපති පොදු සමාව අනීතික ලෙස භාවිතා කර සිරකරුවන් සංඛ්‍යාවක් පසුගිය වෙසක් පොහොය දිනයේ නිදහස් කර ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කරන ලද විමර්ශනවලදී අනාවරණය වී ඇති බවයි එම නිවේදනයේ සඳහන් වෙයි.
එමෙන්ම මීට පෙරද මේ ආකාරයෙන් ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කර සිරකරුවන් අතර අනුමැතිය නොලද සිරකරුවන්ද නිදහස් කර ඇති බවට තොරතුරු හෙළිවෙමින් පවතින බවද නිවේදනයේ සඳහන් වේ.

සිමෙන්ති තොග මිල ඉහළට
කිලෝග්‍රෑම් 50 සිමෙන්ති කොට්ටයක මිල ඉහළ දැමීමට සිමෙන්ති සමාගම් තීරණය කර තිබේ.
ඊයේ (07) සිට ක්‍රියාත්මක වන පරිදි එම මිළ ඉහළ දැමීම සිදු කර ඇති බව වෙයි.
කිලෝග්‍රෑම් 50 සිමෙන්ති කොට්ටයක තොග මිල ඉහළ දැමිමක් සිදු වුවද සිල්ලර මිල සංශෝධනය කර නොමැති බව සිමෙන්ති සමාගම් පවසයි.
සිමෙන්ති නිශ්පාදන වියදම ඉහළයාම සිමෙන්ති මිළ වැඩිකිරීමට හේතුවී ඇති බව වාර්තා වෙයි.

මාතර බන්ධනාගාරය කොටවිලට
මාතර බන්ධනාගාරය කොටවිල ප්‍රදේශයට ගෙනයාමට කඩිනමින් කටයුතු කරන බව මාතර බන්ධනාගාරයේ නිරික්ෂණ චාරිකාවකට අද ( 07) පස්වරුවේ එක්වෙමින් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාර පවසයි.
මාතර බන්ධනාගාරයේ පවතින අඩුපාඩු නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව අධිකරණ අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පැවත්විණි.
එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරයා
මාතර බන්ධනාගාරයේ පවතින අවශ්‍යතා සොයා බැලීමේ නිරීක්ෂණ චාරිකාවක නිරතවීමෙන් පසුව විශේෂ සාකච්ඡාවක් සිදු කළා. මෙම බන්ධනාගාරය ස්ථාපිත භූමියෙහි බන්ධනාගාරයකට අවශ්‍ය කටයුතු සඳහා ඉඩකඩ ප්‍රමාණවත් නැහැ. ඒ නිසාවෙන් බන්ධනාගාර නිලධාරීන් කාර්ය මණ්ඩල මෙන්ම රැඳවියන්ද දැඩි අපහසුතාවයට පත්ව සිටිනවා. මේ සඳහා විසදුමක් වශයෙන් මාතර බන්ධනාගාරය කොටවිල ප්‍රදේශයට කඩිනමින් ගෙන යාමට අවශ්‍ය කටයුතු සිදු කිරීමට සාකච්ඡා කරනු ලැබුවා. මාතර නව අධිකරණය ස්ථාපිත කර තිබෙන්නේ කොටවිල ප්‍රදේශයේයි. එහි බන්ධනාගාරය ස්ථාපිත කිරීමට ඉඩමක් වෙන් කර තිබෙනවා. පසුගිය දිනවල පැවති කලබලකාරී තත්ත්වය සමඟ මාතර බන්ධනාගාරයට හානි සිදු වුණා. එම තත්ත්වයත් නිරීක්ෂණය කරනු ලැබුවා. රටේ සංවර්ධන සැලැස්ම සමඟ බන්ධනාගාරය දැනට ස්ථාපිත භූමිය ඵෙතිහාසික වටිනාමක් සහිත භූමීයක් බවට පත් කිරීමේ හැකියාව තිබෙනවා. මේ සියලු කටයුතු පිළිබඳව අද සාකච්ඡා කළා. ඒ අනුව මේ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කර කඩිනමින් ඉදිරි කටයුතු සිදු කරන බව ද අමාත්‍යවරයා සදහන් කළේය.
කර්මාන්ත සහ ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති, මාතර මහනගර සභාවේ නගරාධිපති ජයන්ත පතිරණ, මාතර බන්ධනාගාර අධිකාරී මංගල වැලිවිටිය මහත්වරුන්, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් ද මෙම සාකච්ඡාවට එක්විය.

මොහු දුටුවොත් දැනුම් දෙන්න......
කොළඹ අපරාධ කොට්ඨාශය මෙහෙයවන විමර්ශනයක සැකකරුවකු සොයාගැනීම සඳහා පොලිසිය මහජන සහාය ඉල්ලා ඇත.
පොලිසිය විසින් ඔහුගේ ඡායාරූප කිහිපයක් නිකුත් කර ඇති අතර කිසියම් තොරතුරක් ඇත්නම් පහත සඳහන් පොලිස් ඒකක වෙත දැනුම් දෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටී.
සහකාර පොලිස් අධිකාරී – කොළඹ අපරාධ කොට්ඨාශය – 0718591807
ස්ථානාධිපති – කොළඹ අපරාධ කොට්ඨාශය – 071-8591735
ස්ථානාධිපති – 4 වන ඒකකය – කොළඹ අපරාධ කොට්ඨාශය – 071-8596506

පොසොන් සතිය අදින් ඇරඹෙයි
පොසොන් සතිය අද (07) සිට ආරම්භ වෙයි.
ඒ අනුව ලබන 13 වනදා දක්වා පොසොන් සතිය ක්‍රියාත්මක වෙන අතර අනුරාධපුර නගරය, මිහින්තලය සහ තන්තිරිමලය යන සිද්ධස්ථාන කේන්ද්‍ර කරගනිමින් ජාතික පොසොන් උත්සවය පැවැත්වීමට සැලසුම් කර තිබේ.
ජාතික පොසොන් උත්සවය සඳහා පැමිණෙන බැතිමතුන්ගේ පහසුව සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වනවිට සූදානම් කර ඇති බව අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කේ.පී.ආර්. විමලසූරිය පැවසීය.
ඔහු පවසන්නේ පොසොන් කාලසීමාව තුළ බැතිමතුන්ට අවශ්‍ය පහසුකම් සපයාගැනීම සඳහා විශේෂ ජංගම දුරකථන යෙදවුමක් ද නිර්මාණය කර ඇති බවය.
රථවාහන තදබදය අවම කරගැනීම සඳහා සහ අනුරාධපුරයට පැමිණෙන බැතුමතුන්ගේ පහසුව සඳහා වාහන නැවැත්වීමට රථගාල් පහසුකම් ඇති ස්ථාන, දන්සල් පැවැත්වෙන ස්ථාන, ප්‍රථමාධාර මධස්ථාන ඇති ස්ථාන මෙන්ම මාර්ග තදබදය පවතින ස්ථාන ආදිය ඇතුළත් කරමින් මෙම යෙදවුම හදුන්වා දීමට බලාපොරොත්තු වන බවද කේ.පී.ආර්. විමලසූරිය සඳහන් කළේය.

බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් ධුරයට නව මුහුණක්
ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම්වරයා ලෙස කේ.ජී.පී. පුෂ්පකුමාර පත් කර ඇත.
මීට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක විසින් අද (06) ජනාධිපති ලේකම් කාර්‍යාලයේදී කේ.ජී.පී. පුෂ්පකුමාර වෙත බාර දෙනු ලැබීය.

ව්‍යාපෘති සැලසුම් කළ කාලය තුළම අවසන් කරන්න – ජනපති
මෙවර අයවැය මගින් වෙන් කළ මූල්‍ය ප්‍රතිපාදන යටතේ නාගරික සංවර්ධන, ඉදිකිරිම් සහ නිවාස අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය කිරීමේ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද (06) පැවැත්විණි.
ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක් බවට ශ්‍රී ලංකාව පත් කිරීම සඳහා ක්‍රියාත්මක නගර සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය, කොළඹ දිස්ත්‍රික්කයේ ඇළ මාර්ග පවිත්‍රතා සහ කසළ කළමනාකරණ ව්‍යාපෘති, ජල ව්‍යාපෘති සහ නිවාස ආධාර ව්‍යාපෘතිවල ක්‍රියාකාරිත්වය සහ වත්මන් ප්‍රගතිය මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.
මෙම සෑම ව්‍යාපෘතියක්ම සැලසුම් කළ ලෙස නියමිත කාල පරිච්ඡේදය තුළ අවසන් කිරීමට වගබලා ගන්නා ලෙස මෙහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක නිලධාරින්ට උපදෙස් දුන්නේය.
නාගරික සංවර්ධන, ඉදිකිරීම් හා නිවාස අමාත්‍ය අනුර කරුණාතිලක, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, නාගරික සංවර්ධන, ඉදිකිරීම් හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් රංජිත් ආරියරත්න, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම්වරුන් වන රසල් අපෝන්සු, කපිල ජනක බණ්ඩාර යන සහ මුදල් අමාත්‍යාංශයේ හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

වෙනස් වෙන්න නැත්නම් අපි වෙනස් කරනවා - ජනපති
රාජ්‍ය සේවකයින්ට තව පරණ පුරුදු අතහැර අලුත් වීමට කාලය එළැඹ ඇති බවත් එලෙස වෙනස් නොවන්නේ නම් තම රජයෙන් වෙනස් කිරීමට සුදානම් බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මෙම අදහස් පළ කළේ, කෑගල්ල නිදහස් මාවතේ අද (05) පැවැති ජගත් පරිසර දින සැමරුම් උලෙළට එක් වෙමිනි.
කොන්ක්‍රීට් ප්ලාස්ටික් මත විනාශයට පත් වූ පරිසරය යළි ප්‍රතිෂ්ඨාපනය කිරීමට සෑම දෙනාටම පුරවැසි වගකීමක් තිබෙන බවත් පරිසරය පිළිබඳ ක්ෂේත්‍රය ජාතික ඒකාග්‍රතාව ඇති කිරීමටද යොදා ගත හැකි බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.
පොදු ජාතික විඤ්ඤාණයකින් යුතුව මිහිතලය සමඟ සාමය ගොනැඟීමේ වගකීමක් අපේ පරම්පරාවට ඇති බවත් එය මඟහැර නොගත යුතු බවත් කිසිදු භේදයකින් තොරව සියලුදෙනා ඊට එක් විය යුතු බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසීය.
මෙවර ජගත් පරිසර දින තේමාව "ප්ලාස්ටික් භාවිතය දුරලමු" වන අතර, එම මූලික තේමාව පෙරදැරිව දේශීයව "දලුලන්න - ඉඩදෙන්න" යන තේමාව යටතේ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.
පාරිසරික පුනර්ජීවනය ඇති කිරීමට අවශ්‍ය අවකාශය ලබා ගැනීම අරමුණු කර ගෙන මෙම වැඩසටහන් ක්‍රියාත්මක කෙරෙන අතර ජගත් පරිසර දිනය චාරිත්‍රයක් ලෙස සැමරීමට නොව පරිසරය ආරක්ෂා කිරීමට අවශ්‍ය කරන ක්‍රියාමාර්ග දියත් කිරීමට රජය විසින් අපේක්ෂා කෙරේ.
බන්දුලපෙතියාගේ වාසස්ථාන ප්‍රදේශය අභය භූමියක් බවට ප්‍රකාශයට පත් කිරීම, රක්ෂිත ප්‍රකාශයට පත් කිරීම පිළිබඳ නව ගැසට් පත්‍ර 04ක් සහ නිල්ගල රක්ෂිතය පිළිබඳ ගැසට් පත්‍රයක් පිළිගැන්වීම, පාසල් 03ක් පරිසර හිතකාමී ආදර්ශ පාසල් බවට පත් කිරීම, හරිත දුම්රිය ස්ථාන ඇගයීම ආදියද මෙහිදී සිදුවිය.
පරිසර අමාත්‍යාංශය සහ එයට අනුබද්ධ ආයතන මෙන්ම සියලුම රාජ්‍ය ආයතන , “ක්ලීන් ශ්‍රී ලංකා" ලේකම් කාර්යාලය සහ පාරිසරික සංවිධාන සමඟ එක් ව මෙවර පරිසර දිනය සමරයි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපතිවරයා,
"අද ඉතාමත් වැදගත් දිනයක්. මම රැස්වීම් විශාල ප්‍රමාණයක් ආමන්ත්‍රණය කර තිබෙනවා. විවිධ අදහස්, විවිධ අවස්ථාවල ප්‍රකාශයට පත් කර තිබෙනවා. එහෙත් අද මට පැවරී තිබෙන්නේ හුදු කතාවක් නොවෙයි. මට පැවරී තිබෙන්නේ අපේ මාතෘ භූමියත්, අපේ පරිසර පද්ධතියත් පිළිබඳ බැඳීමක් සහ වගකීමක්. ඒ වගේම මෙම උත්සවයත් හුදු උත්සවයක් නොවෙයි. පරිසර පද්ධතිය පිළිබඳ අපේ බැදීම, හැගීම සහ වගකීම ප්‍රකාශයට පත් කිරීමක් කියා මම විශ්වාස කරනවා. විදේශිකයන් අපිට හමු වුණොත් එම සියලුදෙනා කියන්නේ ඔබේ රට ලස්සන රටක් කියලා. අපේ රටේ පරිසර පද්ධතිය පිළිබඳ ඉතා අගනා ඉතිහාසයක් අපට හිමි වී තිබෙනවා. මේ පරිසර පද්ධතිය වර්තමානයේ අපේ රට ලස්සන කර තිබෙනවා.
එහෙත්, අපට පෙනෙන මේ අලංකාරත්වය පිටුපස ඉතාමත් ගැඹුරු ඛේදවාචකයක් තිබෙනවා. අපට මේ පෙනෙන සුන්දරත්වයද සැබවින්ම පරිසර පද්ධතිය තුළ තිබෙනවාද?. ඊට වඩා ගැඹුරු ඛේදවාචකයට අපි මුහුණ දී තිබෙනවා. අපි කුඩා කාලයේදී අපේ රාජ්‍යය හඳුනා ගත්තේ නාය යාම්වලින් තොර රාජ්‍යයක් ලෙසයි. එහෙත් අපේ ජීවිත කාලය තුළම අපි නාය යාමේ ඛේදවාචකය අත් විඳිනවා. අපි කුඩා කාලයේදී අපේ රට හඳුනා ගත්තේ ගංවතුර සහ විශාල නියඟවලින් තොර රාජ්‍යයක් ලෙසයි. එම හිමිකම සමඟ ඉපදුණු අපි අපේ ජීවිත කාලය තුළම මහා ගංවතුරවල සහ මහා නියඟවල විනාශය අත් විදිනවා. ඒ වගේම අලි මිනිස් ගැටුම විශාල ඛේදවාචකයක් වී තිබෙනවා.
ඉතාමත් හොද ජෛව පද්ධතියක් තිබූ අපේ රටේ පරිසර පද්ධතිය සහ එහි වෙසෙන ජීවින් අතර විශාල ගැටුමක් නිර්මාණය කර තිබෙනවා. ඒ නිසා වර්තමානයේ ජිවත්වන අපිට අත්හැරිය නොහැකි වගකීමක් සහ යුතුකමක් තිබෙනවා. අපි මේ රාජ්‍ය තුළ පරිසර පද්ධතිය යළි ප්‍රතිෂ්ඨාපනය කළ යුතුයි. මේ ඛේදවාචකය මේ ආකාරයටම ඉදිරියට ගිය හොත් අපේ අනාගත පරපුර වෙත අපි හිමිකර දෙන්නේ මහත් ඛේදවාචකයක්. ඒ නිසා වර්තමානයේ ජීවත් වන පුරවැසියන් ලෙස අප හමුවේ තිබෙන් අත්හළ නොහැකි වගකීම වන්නේ මේ පරිසර පද්ධතිය යළි ප්‍රතිෂ්ඨාපනය කර අනාගත පරපුරට ආරක්ෂා කර දීමයි. මෙම පරිසරය පිටුපස ශක්තිමත් අණපනත් විශාල ප්‍රමාණයක් තිබෙනවා. අපේ රටේ බලවත්ම, අණපනත් තිබෙන්නේ පරිසර ක්ෂේත්‍රය තුළ. ඒ වගේම එම අණපනත් ක්‍රියාත්මක කිරීම සහ එමගින් පරිසරයට ආරක්ෂාව ලබා දීම වෙනුවෙන් ඉතා විධිමත් රාජ්‍ය යාන්ත්‍රණයක් තිබෙනවා.
පළමුව මෙම විනාශයන් පසුපස දේශපාලන අධිකාරිය තිබෙනවා. අපේ රටේ ප්‍රාදේශීය වැලි තොටුපළවලින් විශාල ප්‍රමාණයක් අයත් වන්නේ දේශපාලනඥයන්ට, එහෙම නැත්නම් දේශපාලනඥයාගේ සමීපතමයෙකුට. මේ තත්ත්වය මට වඩා හොඳින් ඔබ දන්නවා. අපේ වන විනාශය පිටුපසත් දේශපාලනඥයන් සිටිනවා. මේ වනය විනාශ කිරීමට දේශපාලන අධිකාරියේ ආරක්ෂාව සහ රැකවරණය තිබුණා.
ඔබ ජීවය මරා දමන පංගුකරුවෙක් වෙන්න එපා. ඔබ ජීවය ලබා දෙන පංගුකරුවෙක් වන්න. ඊට අවශ්‍ය දේශපාලන රැකවරණය අපි ලබා දෙනවා. දේශපාලන අධිකාරිය යහපත්කරණයට ලක් වී තිබුණාට පැරණි නිලධාරි යාන්ත්‍රණය යම් කොටස් පැරැණි පුරුද්දෙන් ගැලවෙන්න අසමත් වී තිබෙනවා. පාස්පෝර්ට් දෙපාර්තමේන්තුවෙන් හොර පාස්පෝර්ට් හදපු නිලධාරීන් හමු වෙනවා. රේගුවෙන් භාණ්ඩ එළියට දාපු නිලධාරීන් හමු වෙනවා. පතල් කාර්යාංශයෙන් විවිධ ආක්‍රමිකතා කළ නිලධාරීන් හමු වෙනවා. ඒ නිසා අපි කියන්නේ පරණ පුරුදු අත්හැර අලුත් වෙන්න කාලේ ඇවිත් තිබෙනවා. මා නැවත නැවත මතක් කරන්නෙ වෙනස් වෙන්න නැත්තම් අපි වෙනස් කරනවා."

ශෂීන්ද්‍ර රාජපක්ෂ අල්ලස් කොමිසමට...
හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවට පැමිණ තිබේ.
ඒ, චීන සමාගමකින් ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර ගෙන්වීමේදී සිදුව ඇතැයි කියන වංචාවක් සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයකට අදාළවයි.
ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදෙන්නැයි කළ දැනුම්දීමකට අනූව ශෂීන්ද්‍ර රාජපක්ෂ අල්ලස් කොමිසම හමුවට පැමිණි තිබේ.

දුමින්ද යළි රිමාන්ඩ්
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක එළඹෙන 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

ජනාධිපති කාර්යාලයට අභ්‍යන්තර කටයුතු ඒකකයක්
ජනාධිපති කාර්යාලයේ සේවා සැපයීම සම්බන්ධයෙන් වන විමසීම් හා පැමිණිලි දැනුම් දීම සඳහා ජනාධිපති කාර්‍යාල පරිශ්‍රය තුළ ස්ථාපිත කළ අභ්‍යන්තර කටයුතු ඒකකය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක අතින් අද (04) විවෘත කෙරිණි.
අභ්‍යන්තර කටයුතු ඒකකය, ජනාධිපති කාර්යාලය, කොළඹ 01. ලිපිනයට හෝ 0112354495 දුරකථන අංකයෙන්, 0716402654 WhatsApp අංකයෙන්, This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයෙන් මීට අදාළ පැමිණිලි හෝ විමසීම සිදු කළ හැකිය.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයට නව ගුවන් යානයක්
ශ්‍රී ලන්කන් ගුවන් සේවය නැවත පුනර්ජීවනය කිරීම සදහා , ප්‍රංශයේ එයාර් බස් සමාගමේ නිෂ්පාදිත එයාර් බස් ඒ.330 – 243 වර්ගයයේ පුළුල් බද සහිත ( Wide Body ) නවතම ගුවන් කටුනායක ගුවන් තොටුපොළ වෙත අද (04) උදෑසන සම්ප්‍රාප්ත විය .
මෙම ගුවන් යානය ප්‍රංශයේ එයාර් බස් ගුවන් යානා නිෂ්පාදනය කරන ෂටරූ( Chateauroux ) ගුවන් තොටුපොළේ සිට පැය 11 ක ගුවන් ගමනක යෙදෙමින් ප්‍රධාන ගුවන් නියමු රජීන් රණතුංග විසින් පදවා ගෙන පැමිණි අතර ගුවන් යානා කාර්යය මණ්ඩලය ලෙස තවත් ඉංජිනේරුවරුන් ඇතුළු 10 දෙනෙකු ද සහාය දක්වා තිබුණි .
මෙම ගුවන් යානය ශ්‍රී ලංකා ගුවන් සීමාවට ඇතුළු වූ පසුව , පානදුර , මොරටුව ඔස්සේ , එම ප්‍රදේශවල ජනතාවට පහසුවෙන් දැක බලා ගැනීම සදහා අඩි 1,000 ක පමණ උසකින් කටුනායක ගුවන් තොටුපොළ දක්වා ධාවනය කිරීමට පියවර ගෙන තිබුණි .
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 1202 දරන මෙම ගුවන් යානය උදෑසන 10.00 ට පමණ කටුනායක ගුවන් තොටුපොළ වෙත ලගා වීමෙන් පසුව , ජල ආචාර ( Water Salute ) පවත්වා , පිළිගෙන , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ බෝයිං – 747 හැංගරය වෙත , රැස්ව සිටි විශාල පිරිසකගේ අත්පොළසන් නාදය මැද පිළිගනු ලැබීය.
මෙම ගුවන් යානයත් සමග මේ වනවිට ශ්‍රී ලන්කන් ගුවන් සේවය සතුව ගුවන් යානා 23 ක් ඇති අතර , ඒවා අතරින් 10 ක් පුළුල් බද සහිත ගුවන් යානා වන අතර , ඉතිරි 13 පටු බද සහිත ( Narrow Body ) ගුවන් යානා වන අතර , තවත් පුළුල් බද සහිත ගුවන් යානා දෙකක් මිළදී ගැනීම සදහා මේ වනවිට කැබිනට් අනුමැතිය හිමි වී ඇති බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සභාපති සරත් ගනේගොඩ මෙම යානය පිළිගැනීමේ උත්සවයේ දී අනාවරණය කළේය .
ඒ අනුව ඒ.- 330 ගුවන් යානය තුළ පිරිමැසුම්දායක පංතියේ ආසන (Economy Class ) 248 ක් සහ ව්‍යාපාරික පංතියේ ආසන ( Business Class )18 කින් සමන්විත වේ .
මෙම ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළ ශ්‍රී ලන්කන් හැංගරය වෙත පැමිණීමෙන් පසුව , සර්ව ආගමික ආශීර්වාද කිරීම සදහා ආගමික පූජකවරුන් ගුවන් යානය වෙත පිවිස කෙටි ආගමික වතාවත් සිදු කළහ .
මෙම නව ගුවන් යානය පැය 04 කට වඩා කාළය වැය වන ඕස්ට්‍රේලියාව , ලන්ඩන් , පැරිස් , ෆෑන්ක්ෆර්ට් , මැදපෙරදිග චීනය යන ගමනාන්ත වෙත යොමු කිරීමට නියමිතය .
මෙම ගුවන් යානය පිළිගැනීමට ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත් කොඩිතුවක්කු , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සභාපති සරත් ගනේගොඩ , ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති සුනිල් ජයරත්න , සීමාසහිත ගුවන් තොටුපොළ සග ගුවන් සේවා සමාගමේ සභාපති හර්ෂ අබේවික්‍රම යන සහ ගුවන් සේවා ක්ෂේත්‍රයට සම්බන්ධ විශාල පිරිසක් පැමිණ සහභාගී වී සිටියහ .

විදුලි බලයට නව සභාපතිවරයෙක්....
ලංකා විදුලිබල මණ්ඩලයේ නව සභාපති ලෙස ඉංජිනේරු මහාචාර්ය කේ.ටී.එම්.යූ. හේමපාල පත්කර තිබේ.
ලංකා විදුලිබල මණ්ඩලයේ ලිපි ශීර්ෂය යටතේ නිකුත් කළ ලිපියක ඒ බව දැක්වෙයි.
ඔහු බලශක්ති අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයෙකු ද වෙයි.
මේ අතර ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ලෙස මෙතෙක් කටයුතු කළ ඉංජිනේරු ආචාර්ය ඩී.ජේ.ටී. සියඹලාපිටියගේ ඉල්ලා අස්වීම වහාම ක්‍රියාත්මක වනපරිදි අනුමත කර ඇති බවද අදාළ ලිපියේ වැඩිදුරටත් දැක්වෙයි.

කොටස් වෙළඳපොළ ඉතිහාසගත ඉහළ යෑමක්
කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඉතිහාසයේ ඉහළම අගය කරා ළඟා වීමට අද (03) සමත් වී තිබෙයි.
ඒ අනුව අද දිනයේ ගනුදෙනු අවසානයේදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 17,214.39ක් ලෙස සටහන් වූ බව වාර්තා වෙයි.
මීට පෙර කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකයේ ඉහළම අගය පසුගිය පෙබරවාරි 18වනදා වාර්තා විය.
එදින එම අගය සටහන් වුණේ ඒකක 17,193.80ක් ලෙසයි.

පිය - පුතු ඇප මත මුදා හැරේ
හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ ඔහුගේ පුත් රමිත් රඹුක්වැල්ල ඇප මත මුදා හරින්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී අද(03) නියෝග කළා ය.
ඇප නියම වූයේ රුපියල් මිලියනය බැගින් වූ ශරීර ඇප 03ක් සහ රුපියල් 50,000 බැගින් වූ මුදල් ඇප 03ක් ලෙසයි.
සැකකරුවන්ට ඇප දෙමින් ඔවුන්ගේ විදෙස් ගමන් තහනම් කළ මහේස්ත්‍රාත්වරිය විදෙස් ගමන් බලපත්‍ර අධිකරණයට භාර දෙන ලෙස ද නියෝග කළා ය.
අධිකරණය නියෝගය කළේ, තුන් වැනි සැකකරු වන කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ සම්බන්ධීකරණ ලේකම් නිශාන්ත බණ්ඩාර බස්නායක ද රුපියල් මිලියනය බැගින් වූ ශරීර ඇප 02ක් හා රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් මත මුදා හරින ලෙසය.
අල්ලස් කොමිසම විසින් ඔවුන් අත්අඩංගුවට ගැනුණේ "දූෂණය" නැමැති වරද සිදු කළේ යැයි සැකපිට පැමිණිලි තුනකට අදාළවයි.
කෙහෙළිය රඹුක්වැල්ල ජනමාධ්‍ය, සෞඛ්‍ය සහ පරිසර ඇමතිවරයා ලෙස කටයුතු කරමින් සිටියදී 2021/2023 කාලයේදී පුද්ගලික කාර්ය මණ්ඩලයට නාමිකව පමණක් පුද්ගලයින් 15 දෙනකු සේවයට බඳවාගෙන ඔවුන්ට ගෙවන ලද වැටුප් ,අතිකාල දීමනා තම පුද්ගලික වියදම් සහ දේශපාලන කටයුතුවලට යොදා ගැනීමෙන් රජයට රුපියල් ලක්ෂ 80කට අධික මුදලක් පාඩු කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් මෙම නඩුව පවරා තිබේ.
නඩුව ඔක්තෝබර් 10 වැනිදා යළි කැඳවීමට ද නියෝග කෙරිණි.
Page 19 of 487