V2025

පුවත්

BBC ය පිරිමින්ට වැඩි සැලකිලි දක්වන බවට චෝදනා !

සාධාරණ ලෙස වැටුප් ගෙවීමට අසමත් වීමෙන් BBC මාධ්‍ය ආයතනය සමානාත්මතා නීති බිඳ දමා ඇතැයි එහි සේවයේ නියුතු කාන්තාවන් 170 ගෙන් සැදුම් ලත් කණ්ඩායමක් චෝදනා එල්ල කරති.

එබැවින් ආයතනය තමන්ගෙන් සමාව අයැදිය යුතු බවත්, හිඟ පඩි ගෙවිය යුතු බවත්, විශ්‍රාම වැටුප් සංශෝධනය කළ යුතු බවත් ඔවුන් ඉල්ලා ඇතැයි බ්‍රිතාන්‍ය ජනමාධ්‍ය වාර්තා කර තිබේ.

BBC කාන්තා ව්‍යාපාරයට අනුව, සමාන වැටුප් ගෙවීමට අපොහොසත් වීම පිළිබඳව පැහැදිලි කරුණු ගෙනහැර දක්වන සාක්ෂි ඔවුන් විසින් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු තාක්ෂණ, සංස්කෘතික, මාධ්‍ය සහ ක්‍රීඩා (DCMS) කමිටුව වෙත ඉදිරිපත් කොට ඇත.

පුරුෂයකු හා සම තනතුරේ සිටින කාන්තාවකට අඩු වේතනයක් හිමිවීම සහ ලෙඩ නිවාඩු හෝ මාතෘ නිවාඩු වැනි ප්‍රතිලාභ නොලැබෙන බාල ගණයේ ගිවිසුම් වල එළැඹ සිටීම යන සිදුවීම් ඇතුලත් උදාහරණ 14 ක් ඔවුන් එහිදී ඉදිරිපත් කර තිබේ.

ළිං මැඩි මානසිකත්වයෙන් :

එක සමාන වැටුප් නීති පිළිබඳව කියා සිටීමෙන් පසුව පමණක් සිය ගෙවීම් ප්‍රමාණය ඉහල දැමු නමුත් තවමත් තමන්ට හිමිවන්නේ එම රැකියාවේම නිරත වන පිරිමි සගයන්ට වඩා අඩු, එනම් පවුම් 10, 000 ක් පමණ වේතනයක් බව 2001 සිට 2016 දක්වා ස්කොට්ලන්ත BBC සේවයේ සෞඛ්‍ය වාර්තාකාරිනිය වශයෙන් රැකියාවේ නියුතුව සිටි එලනොර් බ්‍රැඩ්ෆෝඩ් පවසන්නීය.

“BBC කළමනාකරුවන් පෞද්ගලිකවම මේ සඳහා පිටුබලය ලබා දෙන මුත් සමහරක් තවමත් සිටින්නේ ළිං මැඩි මානසිකත්වයෙන්. ඒවගේම සම කාන්තා වැටුප් මාතෘකාව කරලියට ගෙන අවස්ථාවලදී තමන්ට එරෙහිව එල්ල වන සැඟවුණු තර්ජන වලට මුහුණ දීමට ද ස්ත්‍රීන්ට සිදුව තිබෙනවා,” යනුවෙන් කාන්තා කාර්ය මණ්ඩලයට එල්ල වී ඇති තර්ජන පිළිබඳව ද ලිඛිත සාක්ෂිය මඟින් කරුණු සපයා ඇත.

වැඩි පඩි ගන්නා 2/3 ක් පිරිමි:

සිය කාර්යමණ්ඩලයේ වැඩි වැටුප් ලබන්නන්ගෙන් තුනෙන් දෙකක්ම පුරුෂයන් බවට පසුගිය වසරේදී BBC සේවය විසින් කළ හෙළිදරව්වෙන් අනතුරුව සම වැටුප් නොගෙවීම පිළිබඳව ඔවුන් වෙත දැඩි විවේචන එල්ල වන්නට විය.

මාධ්‍ය ආයතනයේ “රහසිගත සහ නීති විරෝධී” වැටුප් සංස්කෘතියට විරෝධය පල කරමින් මෙම මස මුලදී කැරී ග්‍රේසී චීන සංස්කාරකවරියගේ ඉල්ලා අස්වීමත් සමඟ එම පීඩනය තවත් ඉහල ගොස් තිබේ.

(radiogagana)

Comment (0) Hits: 909

ගෝඨාට 'කඩේ' යන්න 'බැඳුම්කර' පත්තරය 'දෙරණ' ලේබලයෙන් !

පසුගියදා වසා දමනු ලැබූ 'ජනයුගය' පුවත්පත 'දෙරණ' නමින් යලි ප්‍රකාශයට පත් කිරීමට මේවනවිට සාකච්ජා ආරම්භ වී තිබේ.

බැඳුම්කර පත්තරය ලෙස දේශපාලන ක්ෂේත්‍රයේ ආන්දෝලනයට ලක්වූ 'ජනයුගය' පුවත්පත් ආයතනය මිළදි ගැනීම සඳහා 'අද දෙරණ' නාලිකාවේ සභාපති දිලිත් ජයවීර මහතා, 'ජනයුගය' පුවත්පත් ආයතනයේ ප්‍රධානි අර්ජුන් ඇලෝසියස් මහතා සමග පසුගිය දින කිහිපයෙහි සාකච්ජා වට කිහිපයක් පවත්වා ඇතැයි වාර්තාවේ.

ඒ පළමු පියවර ලෙස 'ජනයුගය' පුවත්පත් ආයතනයේ නවීන මුද්‍රණාලය මිලදී ගැනීම සඳහා ජයවීර මහතා විසින් එකඟත්වයකට පැමිණ ඇතැයි පැවසේ.

විශාල මුදලක් ආයෝජනය කරමින් ආරම්බ කල 'ජනයුගය' පුවත්පත ආර්ථික දුෂ්කරතා හේතුවෙන් පසුගියදා වසා දැමිණ.

ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින අර්ජුන් ඇලෝසියස් මහතාට අයත් පර්පචුවෙල් ව්‍යාපාර සමූහයේ සමාගම් 28හිම බැංකු ගිණුම් වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කිරීමට මහ බැංකු මූල්‍ය බුද්ධි ඒකකය පියවර ගෙන තිබීම එම පුවත්පත වසා දැමීමට ආසන්නතම හේතුව විය.

අද දෙරණ රුපවාහිනී හා ගුවන් විදුලි මාධ්‍ය ජාලයේ සභාපතිවරයා වන දිලිත් ජයවීර මහතා, ලංකාවේ ප්‍රසිද්ධම දැන්වීම් ආයතනයක් වන 'ට්‍රයි ඇඩ්' ආයතනයේද ප්‍රධානියාවේ.

දැඩි ගෝඨාවාදියකු ලෙස සැලකෙන දිලිත් ජයවීර මහතා මෙසේ මාධ්‍ය ජාලයක් ගොඩනගන්නේ ඉදිරි ජනාධිපතිවරණයට ගෝඨාභය රාජපක්ෂ මහතා ගෙන ඒමේ අරමුණින් විය හැකියැයි මේවනවිට දේශපාලන ක්ෂේත්‍රයේ කසුකුසුවක් හටගෙන තිබේ.

Comment (0) Hits: 1583

ඔලිම්පික් ක්‍රීඩක තහංචි කණපිට පෙරළෙන අධිකරණ තීන්දුවක්

රුසියාවේ ඔලිම්පික් ක්‍රීඩකයන් විසිඅට දෙනකුට එරෙහිව පනවා තිබුණ ජීවිතාන්තය සඳහා බල පැවැත්වුන ක්‍රීඩා තහංචි අහෝසි කෙරෙන අධිකරණ තීන්දුවක් ප්‍රකාශයට පත්කොට ඇත.

එම ඓතිහාසික තීන්දුව දී තිබෙන්නේ ක්‍රීඩාව තුළ මතු වෙන ආරාවුල් නිරාකරණය කිරීම භාර අධිකරණය (CAS) විසිනි.

එකී තහංචිය බල පැවැත්වුන ක්‍රීඩකයන්ට එරෙහිව දඬුවම් කිරීම සඳහා ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව (IOC) විසින් ඉදිරිපත් කරන ලද සාක්ෂි ප්‍රමාණවත් නොවන බව එම අධිකරණයේ නිගමනය වී ඇත.

පැමිණිලි විසි අටක් සම්බන්ධයෙන් ඉදිරිපත් කරනු ලැබ ඇති සාක්ෂි නොසෑහෙන බව අධිකරණයේ තීන්දුව විය.

එහෙත් ක්‍රීඩකයන් එකොළොස් දෙනකුට එරෙහිව පනවා තිබුණ ක්‍රීඩා තහංචි අර්ධ වශයෙන් අනුමත කළ අධිකරණය "තහනම් උත්තේජක පාවිච්චිය සම්බන්ධයෙන් පනවා ඇති තහංචි ඔවුන් විසින් උල්ලංඝනය කරනු ලැබ ඇති බව කරුණු සහිතව තහවුරු වී ඇති" බව කියා සිටියේය.

මේ අධිකරණ තීන්දුවත් සමඟ 2014 'සෝචි' ඔලිම්පික් තරඟාවලියේ දී ප්‍රකාශිත ප්‍රතිඵල යළිත් ස්ථානගත කිරීමට සිදුවනු ඇත.

 99844503 337fadef c0dd 4494 9e54 d3581312c5ac
2014 සෝචි ඔලිම්පික් හිම ක්‍රීඩිකාවක්

සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කරුණු පැහැදිලි කළ ක්‍රීඩා අධිකරණය, තමන්ට පැවරුණ කාර්යය වූයේ එක් එක් ක්‍රීඩකයා සම්බන්ධයෙන් ඔවුන්ට එහි චෝදනා විභාග කිරීම මිස, රුසියාවේ ක්‍රීඩාව තුළ සංවිධානාත්මක මට්ටමින් තහනම් උත්තේජක භාවිතය සිදු කර ඇද්ද? නැද්ද? යන්න විභාග කිරීම නොවන බව කියා සිටියේය.

කෙසේවුවද, අධිකරණ තීන්දුව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව (IOC) දුෂ්කර තත්වයකට පත් කරනු ඇතැයි වාර්තාකරුවෝ පවසති.

අධිකරණ තීන්දුවෙන් අනතුරුව ප්‍රකාශයක් කරන රුසියාව මේ මාසයේ දකුණු කොරියාවේ පැවැත්වෙන ඔලිම්පික් හිම ක්‍රීඩා උළෙලට සහභාගී වීමට තම ක්‍රීඩකයන්ට අවස්ථාව සලසන මෙන් ඉල්ලීමක් කළේය.

අදාළ නඩු තීන්දුව සම්බන්ධයෙන් ප්‍රතිචාරය පළ කරන ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව (IOC) එකී නඩු තීන්දුව ක්‍රීඩාව තුළ තහනම් උත්තේජක භාවිතයට එරෙහිව අනාගතයේ ගෙන යන සටනට හානිකර බලපෑමක් ඇති කරනු ඇතැයි කියා සිටියේය.

"මේ නඩු තීන්දුවට පාදක වූ කරුණු අපි ඉතා ප්‍රවේසමෙන් විශ්ලේෂණය කරනවා"

ඒ අනුව එම අධිකරණ තීන්දුවට එරෙහිව 'ස්විස්' ෆෙඩරල් අධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කරන බව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව (IOC) කියා සිටියි.

 99844501 4baecb3f caf2 44a5 99b9 3dd42addc582
2018 ඔලිම්පික් හිම ක්‍රීඩා තවත් දින කීපයකින් දකුණු කොරියාවේ දී ආරම්භ වෙයි

එසේම ක්‍රීඩා තහංචි බල පැවැත්වුන රුසියාවේ ක්‍රීඩකයන් විසිඅට දෙනාගේ කණ්ඩායමේ කිසිවකුට දකුණු කොරියාවේ 'ප්යෝන්ග් චෑන්' (Pyeongchang) නගරයේ පැවැත්වෙන 2018 ඔලිම්පික් හිම ක්‍රීඩා තරඟ සඳහා සහභාගී වීමට අවසරදීමක් ඉහත කී අධිකරණ (CAS) තීන්දුව මගින් අදහස් නොකෙරෙන බව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව (IOC) පෙන්වා දෙයි.

මෙවර ඔලිම්පික් හිම ක්‍රීඩා තරඟ ආරම්භ වීමට දවස් අටක් තිබියදී ප්‍රකාශිත නඩු තීන්දුව "එක් පාර්ශ්වයකට සතුටක් මෙන්ම තවත් පාර්ශ්වයක බලාපොරොත්තු සුංකිරීමක්" වන බවත් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව (IOC) පවසයි.

Comment (0) Hits: 975

කාර්මික අනතුරු වන්දි මුදල වැඩිකෙරේ

සේවයේ යෙදී සිටිය දී හදිසි අනතුරුවලට භාජනය වී මරුමුවට පත්වන හා තුවාල ලබන සේවකයන් සඳහා ගෙවනු ලබන වන්දි මුදල රුපියල් ලක්ෂ 12 දක්වා වැඩි කිරීමට තීරණය කොට ඇත .

හදිසි අනතුරුවලට භාජනය වන සේවකයින් සඳහා දැනට ගෙවන වන්දි මුදල රුපියල් 5,50,000කි. කර්මික අනතුරුවල දී විපතට පත්වන සේවකයින්ට ගෙවන වන්දි මුදල රුපියල් ලක්ෂ 12 දක්වා වැඩි කිරීම සඳහා කර්මාන්තශාලා ආඥා පනත සංශෝධනය කිරීමට යන බව කම්කරු,වෘත්තීය සමිති සබඳතා සහ සබරගමුව සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා රජයේ නිලපුවත් වෙබ් අඩවියට පවසා තිබේ

කර්මාන්තශාලා ආඥා පනත යටතේ දැනට වන්දි හිමිවන්නේ කර්මාන්ත ශාලාවල සේවයේ දී හදිසි අනතුරුවලට ලක් වන අයට පමණි. එහෙත් පනත සංශෝධනය කිරීමේ දී එයට ඉදිකිරීම් අංශවල සේවකයින් ද අතුළත් කෙරෙණු ඇතැයි පැවසේ.

Comment (0) Hits: 857

දූෂිතයන්ට බැට දෙන්න අල්ලස් පනත සංශෝධනය කරයි

වංචා සහ දූෂණ චෝදනා පිළිබඳ නඩු විභාග කිරීම සඳහා මහා අධිකරණයට ඉඩ සැලසෙන පරිදි අල්ලස් හා දූෂණ පනත සංශෝධනය කිරීමට ඉදිරිපත් කෙරුණු යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

1954 අංක 11 දරණ අල්ලස් පනතෙහි 70 වන වගන්තිය සංශෝධනය කිරීම සඳහා ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා විසින් පසුගියදා (30) ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. මේ අනුව පනත් කෙටුම්පත සංශෝධනය කළහොත්, මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ සහ අල්ලස් හා දූෂණ පනත යටතේ අර්ථකථනය කරන ලද වංචා හා දූෂණ පිළිබඳ නඩු විභාග කිරීම සඳහා රටේ මහාධිකරණවලට බලය ලබා දෙනු ඇත.

විශේෂ මහා අධිකරණය

මේ අතර අල්ලස් හා දුෂණ චෝදනා සහ අතිශය සංකීර්ණ මූල්‍ය අපරාධ චෝදනා සම්බන්ධයෙන් වන නඩු කටයුතු කඩිනමින් විභාග කිරීම සඳහා විශේෂ මහාධිකරණයක් පිහිටුවීමට අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය විසින් ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට අනුමැතිය ලැබී තිබේ.

නඩු කටයුතු කඩිනමින් විභාග කිරීම සඳහා විශේෂයෙන් කැප වූ ත්‍රිපුද්ගල මහාධිකරණයක් පිහිටුවීම සඳහා 1978 අංක 2 දරන අධිකාරණ සංවිධාන පනත සංශෝධනය කිරීම පිණිස අමාඅත්‍ය මණ්ඩලයේ අනුමැතිය දැනටමත් ලබා දෙනු ලැබ තිබේ.

මෙහිදී ත්‍රිපුද්ගල මහාධිකරණ ස්ථාපිත කිරීම සඳහා විධිවිධන සලසමින් 1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීම සඳහා සකස් කරනු ලැබ ඇති පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත් ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් අධිකරණ අමාත්‍යවරිය ඉදිරිපත් කළ කරුණු අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගන්නා ලදී.

Comment (0) Hits: 818

පෞද්ගලික අංශයටත් මැතිවරණ නිවාඩු අනිවාර්යයි

පෞද්ගලික අංශයේ සේවයේ නියුතු අය සඳහා ජාතික මැතිවරණවලදී වැටුප් හෝ පෞද්ගලික නිවාඩු අහිමිවීමකින් තොරව ඡන්දය දීමට හැකිවනු පිණිස නිවාඩු ලබාදීමට කටයුතු කරන ලෙස මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඉල්ලීමක් කර තිබේ.

ඒ අනුව සේවා නියුක්තිකයන් විසින් ලිඛිත ඉල්ලීමක් මඟින් නිවාඩු ඉල්ලුම් කළයුතු බව නිවේදනයේ සඳහන් වේ.

තම ඡන්දය දීමට හැකිවනු පිණිස සේවා නියුක්තිකයන්ට නිවාඩු දීමට සේවා යෝජකයින් කටයුතු කළයුතු බවට පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥාපනතේ විධිවිධාන සලසා ඇති අතර 2018.02.10 දින පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී ද එය නිසි පරිදි ක‍්‍රියාත්මක විය යුතුව ඇත.

එසේ වූවද පෞද්ගලික අංශයේ සේවා නියුක්තිකයන්ට ලිඛිත නියමයකින් පැනවු එවැනි විශේෂ නිවාඩු ලබාදීමේ ක‍්‍රමවේදයක් නොමැති හෙයින් බොහෝ සේවා යෝජකයින් තම සේවා නියුක්තීන්ට ඡන්දය පාවිච්චි කිරීම සඳහා නිවාඩු ලබා නොදෙන බවට පසුගිය ඡන්ද විමසීම් කිහිපයකදීම පැමිණිලි ලැබී තිබිණි.

ඒ පහත සඳහන් වගුවට අනුකූලව පෞද්ගලික අංශයේ සේවය කරන්නාවු සේවක සේවිකාවන්ට සිය ඡන්දය ප‍්‍රකාශ කිරීම සඳහා වු නිවාඩු ලබාදීමට අදාළ සේවා යෝජකයින් කටයුතු කිරීම සුදුසු බවට තීරණය කර ප‍්‍රසිද්ධියට පත් කරන ලදි.

ඡන්දය පාවිච්චි කිරීම සඳහා සේවා ස්ථානයේ සිට තම ඡන්ද පොළට යා යුතු දුර ප‍්‍රමාණය ලබාදිය යුතු අවම නිවාඩු කාලසීමාව පහත සඳහන් පරිදි වේ.

කි.මී. 40 ක් හෝ ඊට අඩුනම් දින භාගයයි
කි.මී. 40 ත් - 100 ත් අතර නම් දින එකයි
කි.මී. 100 ත් - 150 ත් අතර නම් දින 1යි භාගයි
කි.මී. 150 ට වැඩිනම් දින 2

Comment (0) Hits: 1092

2015 දී ලසන්ත, එක්නැලිගොඩ ගැන කතා කරපු මෛත‍්‍රීට දැන් ඔවුන් අමතක වෙලා - දුමින්ද නාගමුව

ලසන්ත වික‍්‍රමතුංග, ප‍්‍රදීප් එක්නැලිගොඩ ගැන සිදු කළ කතා මේ ආණ්ඩුවට  අමතක වී ඇති බව පසුගියදා (30)පිලියන්දල නගරයේ පැවති පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ රැළිය  ඇමතූ එම පක්ෂයේ ප‍්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා පැවසීය.

2015 වසරේ මේ ආණ්ඩුවේ කතා බහ කළේ  ලසන්ත වික‍්‍රමතුංග, ප‍්‍රදීප්ව එක්නැලිගොඩ, ලලිත් කූගන්  ගැන සහ  විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම ගැන වුවත් දැන් තම පක්ෂය  ඇතුළු පිරිස්  ඒ පිළිබඳ කතා කිරීමේදී ආණ්ඩුව භූමිතෙල් වැදුණු ගැරඬින් මෙන්  හැසිරෙමින් සිටින බවත් ඔහු පැවසීය. 

දුමින්ද නාගමුව මහතා වැඩිදුරටත් පැවසුවේ, 

විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම

දැන් මෛත‍්‍රීගේ ප‍්‍රශ්නේ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම නෙවෙයි. ඔහු විසින්ම එපා කියලා අවුරුදු පහකට අඩු කරගත්ත ජනාධිපති ධූරය, තව අවුරුද්දකින් දික් කරගන්න එකයි දැන් ඔහුගේ ප‍්‍රශ්නේ. හැබැයි සෝභිත හාමුදුරුවන්ගේ ආදහන උත්සවයට ගිහින් දණගහල පොරෙන්දු වුනේ මං විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමට උපන්නෙමි, නැවත මගේ දෙවනි ගමනක් නැත කියලයි. හැබැයි දැන් ඔහු ලෑස්ති වෙනවා දෙවෙනි පාරට ජනපතිවරණයට ඉල්ලන්න. 

වෙලාවකට හාවා තවත් වෙලාවකට හිවලෙක් 

දැන් මැතිවරණ කොමසාරිස් කියනවා මේ ඡන්ද කාලේදී උද්ඝොෂණය කරන්න එපා, ඡන්දය විතරක් කරන්න කියලා. පාර්ලිමේන්තු බැදුම්කර විවාදය 08 වෙනිදට ගේනවා කියපු කාලේදී එයාට හාවාගේ අසනීපය හැදෙනවා. නමුත් ඒ හාවා, මේ රටේ ජනතාව තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් උද්ඝෝෂණය කරනකොට හිවලෙක් වෙනවා. මොකද මෛතී‍්‍ර-රනිල්ගේ නෝක්කාඩුවේදී මැතිවරණ කොමසාරිස්ට පැත්තක් ගන්න බැරි නිසයි. ඒත් රටේ බැංකු සේවකයො විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ සහ ගොවියෝ කරන සටන් ඔහුට දිරවන්නේ නෑ. එහෙමයි ඔවුන් මේ බලතන්ත‍්‍රය ආරක්ෂා කරන්නේ. 

හාල් මෝල් හිමියා රැකීම 

දැන් හාල් සීයයි පොල් සීයයි. ආණ්ඩුවට හාල් මිල අඩුකරගන්න බෑ. දැන් මෛති‍්‍ර කියනවා ආර්ථිකය තමන් අතට ගන්නවා කියලා. අපි කියනවා ඊට ඉස්සරලා හාල් මාෆියාව අතට ගන්න කියලා. කවුද හාල් මාෆියාවේ ඉන්නේ, මෛතී‍්‍රපාලගේ සහොදරයයි. ආණ්ඩුව වී ගත්තේ රු. 45ටයි. ඒ මගින් හාල් කිලෝවක මිල ගණනය කරන සූත‍්‍රයක් තියනවා. ඒත් හාල් වලට සහතික මිලක් නෑ. හාල් මිල ගැසට් කළාට වෙළඳපොලේ ඒ ගාණට විකුණන්නේ නෑ. රු. 80ට දෙන්න පුලූවන් හාල් කිලෝව රු. 110ට රු. 115ට විකුණනවා.  මිනිස්සුන්ගේ බත්පතින් හොරකම් කරන මේ වංචාව මෛතී‍්‍රට පේන්නේ නැද්ද? මෛතී‍්‍ර ඉපදෙනකොට ගොවියාගේ පුතා වුණත් දැන් ඔහු හාල් මෝල් හිමියාගේ සහෝදරයායි. ආණ්ඩුව රකින්නේ ගොවියාවත්, පාරිභෝගිකයාවත් නෙවෙයි, හාල් මෝල් හිමියාවයි. 

Comment (0) Hits: 974

ඇලෝසියස් වෙනුවෙන් පලිසේනගෙන් ප්‍රකාශයක් !

ආන්දෝලනාත්මක බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රධානී අර්ජුන් ඇලෝසියස් මහතා වෙනුවෙන් එම ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන මහතා විසින් අද (01) දින මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් නිකුත් කිරීමට නියමිතව ඇති බව වාර්තාවේ.

බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් ලබන 06දා පාර්ලිමේන්තුවේ පැවැත්වෙන විවාදය ඉලක්කර ගනිමින් මෙම ප්‍රකාශය සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත යොමු කිරීමට ද කටයුතු යොදා ඇතැයි එම වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.

ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුව හරහා රජයට මහා පරිමාණයේ පාඩුවක් සිදුවූ බව සඳහන් සඳහන් කරමින් දේශපාලකයින් විවිධ අගයන් ඉදිරිපත් කරන බවත් ඒ සියල්ල මුළුමනින්ම අසත්‍ය බව ඔප්පු කිරීමට සාක්ෂි තම සේවාදායකයා සතු බව අර්ජුන් ඇලෝසියස් මහතාගේ නීතිඥයන් සඳහන් කරයි.

 සබැඳි පුවත් :

ඇලෝසියස්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

Comment (0) Hits: 996

බැඳුම්කර 'රහස්' හෙළිකරන්නැයි රවිට බලපෑම් !

බැඳුම්කර සිද්ධියට සම්බන්ධ ප්‍රධාන වගකිවයුත්තන් ඊට සම්බන්ධ අනෙකුත් එජාප මැති ඇමතිවරුන් හෙළිදරව් කරන්නැයි දේශපාලනඥයින් කිහිප දෙනෙකුම හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට බලපෑම් කරමින් සිටින බව ඉතා විශ්වාස කටයුතු ආරංචිමාර්ග වලින් 'නිව්ස් ටියුබ්' වෙත වාර්තාවේ.

එවැනි යෝජනා ඉදිරිපත්ව ඇත්තේ, පාර්ලිමේන්තු මන්ත්‍රි රවි කරුණානායක මහතා එක්සත් ජාතික පක්ෂයේ උප නායක ධුරයෙන් ඉවත් කිරීමට තීරණය කර ඇති බව එම පක්ෂයේ මහ ලේකම්වරයා නිවේදනයක් නිකුත් කිරීමත් සමගය.

කෙසේවුවද පළාත් පාලන මැතිවරණය අවසන් වනතෙක් ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් එජාප නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අතර එකඟත්වයක් සිදුව තිබෙන බව අරලියගහ මන්දිර ආරංචිමාර්ග පවසයි.

ඒ ඊයේ පෙරවරුවේ ඔවුන් දෙදෙනා අතර පැවති සුහද සාකච්ජාවේ දීය.

බැදුම්කරේ සියළු පවු රවී පිටට !

මේ අතර ජනාධිපති කාර්යාලයේ නිලධාරියකු විසින් පවත්වා ගෙන යන වෙබ් අඩවියක සඳහන් වන්නේ, අගමැති රනිල් වික්‍රමසිංහ මහතා බේරා ගැනීම සඳහා රවී කරුණානායක මහතා පාවාදී ඇති බවයි.

බැඳුම්කර ජනාධිපති කොමිසම” මඟින් මහ බැංකු බැඳුම්කර කොල්ලයට සෘජු හෝ වක්‍ර ලෙස වගකිව යුතු අයෙකු ලෙසට අනාවරණය වී ඇති එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා සම්බන්ධයෙන් වන නිර්දේශය තවත් තහවුරු කරමින් එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්වරයා විසින්ම මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇතැයි එම වෙබ් අඩවියේ සඳහන් වේ.

එම නිවේදනය බැඳුම්කර කොල්ලයට හිටපු ඇමති රවී වගකිව යුතු බව එජාපය පිළිගත් බවට සාක්ෂියක් බව එම වෙබ් අඩවිය අවධාරණය කරයි.

thalatha athukorala

'බැඳුම්කර සිද්ධියට එජාපයට චෝදනා කරන්නේ දේශපාලන අනාථයින්' - තලතා

තලතා ගෙන් කනේ පාරක් !

ඒ අතර අධිකරණ හා විදේශ රැකියා ඇමතිනී නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය පවසන්නේ, බැඳුම්කර සිදුවීම මූලික කරගනිමින් එක්සත් ජාතික පක්ෂයට චෝදනා කිරීම සඳහා බංකොළොත් වුණු දේශපාලන අනාථයන් කටයුතු කරන බවයි.

අමාත්‍යවරිය මේ අදහස් පළකළේ පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් බලංගොඩ, ඉඹුල්පේ ප්‍රදේශයේ පැවැති ජනහමුවක් අමතමිනි.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරිය,

“බැඳුම්කර සිද්ධිය මුල්කරගෙන එක්සත් ජාතික පක්ෂයට චෝදනා නගන්න බංකොළොත්වුණ දේශපාලන අනාථයන් කටයුතු කරනවා. මේ චෝදනාවට ලක්වුණු අපේ අමාත්‍යවරයෙක් අමාත්‍ය ධුරයෙන් පවා ඉල්ලා අස්වුණා.

පක්ෂයක් විදිහට අපි තීරණය කරලා තියෙනවා ඔහුගේ නිර්දෝෂී බව ඔප්පු වනතුරු පක්ෂයේ තනතුරුවලිනුත් ඉවත් වෙලා ඉන්න.

ඉතිහාසයේ ප්‍රථම වතාවට තමයි බලය තියෙනකොට රටේ අගමැතිවරයෙක් කොමිෂන් සභාවක් ඉදිරියේ සාක්ෂි ලබාදුන්නේ. අපි නිවැරදි පක්ෂයක්.

මීට පෙරත් චෝදනා එල්ල වුණු අවස්ථාවක තිලක් මාරපන මහතා අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වුණා. රවි කරුණානායක මහතා ඉවත් වුණා. මේවා හොඳ දේශපාලන ආදර්ශ.

 'මේ ආණ්ඩුව 2020 වෙනතුරු තියනවා'

පෙබරවාරි 10න් පස්සේ කවුරුහරි හිතනවා නම් මේ රටේ බලය වෙනස් වෙනවා කියලා ඒක හීනයක්.

මේ සම්මුතිවාදී ආණ්ඩුව 2020 වෙනකම් ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් කරගෙන යනවා. ''

 mr16'බැඳුම්කර හොරුන්ට දඬුවම් දීම නාඩගමක්‌ වෙලා' - මහින්ද රාජපක්‍ෂ

 කෙසේවුවද හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා 'දිවයින' පුවත්පතට පවසා ඇත්තේ, බැඳුම්කර වංචාවට සම්බන්ධ පුද්ගලයන්ට ආණ්‌ඩුව ගන්නා ක්‍රියාමාර්ග නාඩගමක්‌ වී ඇති බවයි.

ජනතාව මහත් උනන්දුවෙන් මේ නාඩගම් බලාසිටින බව පවසන හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් මෙසේද ද සඳහන් කර තිබේ.

''වත්මන් ජනාධිපතිවරයා විහිළු කතා කියන්න දක්‍ෂයෙක්‌. ඒ වගේම ඔහු ඉඳහිට ත්‍රාසජනක කතාත් කියනවා. එතුමා මෙහෙම කියන කතා ගැන අපි පුදුම වියයුතු නැහැ. බැඳුම්කර වංචාවේ උදවියට කරන දඬුවම් හරියටම නාඩගමක්‌ වගේ. අපි ජනතාව සමඟ මේ නාඩගම දිහා බලාගෙන ඉන්නවා මොකද වෙන්නේ කියලා.''

 

 

Comment (0) Hits: 7528

රවී ස්වකැමැත්තෙන් අත්අඩංගුවට: 'එජාප- ශ්‍රීලනිප රංගනයක්' - බන්දුල

මෙවර පළාත් පාළන මැතිවරණයේ අවසන් දින කිහිපයේදී හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ස්ව කැමැත්තෙන් අත්අඩංගුවට පත්ව ආණ්ඩුව මැතිවරණ වාසි ලබා ගැනීමේ සැලසුමක් පවතින බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

මැතිවරණය අවසන් වූ වහාම ඔහු නිදහස් කිරීමේ එකඟතාවය මත මෙම සැළසුම ක්‍රියාත්මක කරන බවද ඔහු කියා සිටියේය.

බත්තරමුල්ල නෙලූම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ප්‍රධාන කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.

එක්සත් ජාතික පක්ෂයෙත් ශ්‍රී ලංකා නිදහස් පක්යෙත් නායකයන් සහ යහපාලන රජය ගලවා ගැනීම සඳහා උපදෙස් දෙන සියලූම විද්වද් උපදේශකයනුත් එක්ව මෙම කුමන්ත්‍රණකාරී වැඩපිළිවල සකස් කර ඇති බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.

රවී කරුණානායක මහතා එක්සත් ජාතික පක්ෂ උප නායක කමින් ඉවත් කිරීමට කටයුතු කිරීම එම සැළැස්මේ පළමු පියවර බවද හෙතෙම කීය.

 වීඩියෝ 

 

'ආණ්ඩුව සැරසෙන්නේ රවීව බිලිදීලා ගැලවෙන්න'

 මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ මහතා පවසන්නේ, බැඳුම්කර ගනුදෙනුවේ පුර්ණ වගකීම රවී කරුණානායක මන්ත්‍රීවරයා මත පටවා ආණ්ඩුව ඇගහොද ඇනීමට උත්සහ කරන බවයි.

එක්සත් ජාතික පක්ෂ නායකත්වය රවී කරුණානායක මහතාව තනතුරුවලින් ඉවත්කර, බැඳුම්කර හොරුන්ට විරුද්ධව පියවර ගත් බවක් පෙන්වා ඡන්දය නොදා සිටීමට සිතාගෙන් සිටින එජාප පාක්ෂිකයන් ඡන්ද පොලට ගෙන්වා ගැනීමට උත්සහ කරමින් සිටින බවත් විරවංශ මහතා ප්‍රකාශ කළේය.

Comment (0) Hits: 851

හැත්තෑ වෙනි නිදහස් දින ප්‍රධාන අමුත්තා දිවයිනට

බ්‍රිතාන්‍ය රැජිනගේ බාල පුතණුවන් වන එඩ්වඩ් කුමරා සහ ඔහුගේ බිරිඳ වන සොපී රීස් ජෝන්ස් 'වෙසෙක්ස්' ආර්යාව ශ්‍රී ලංකාවට සැපත්ව සිටිති.

එඩ්වඩ් කුමරා සහ එම ආර්යාව ඔවුන්ගේ දින හයක සංචාරයේ දී ලබන පෙබරවාරි හතරවෙනිදා ගාලුමුවදොර පැවැත්වෙන ශ්‍රී ලංකාවේ 70 වෙනි නිදහස් සමරු උළෙලේ දී බ්‍රිතාන්‍ය එලිසබත් රැජින නියෝජනය කරමින් ඊට සහභාගී වනු ඇත.

හත් දෙනකුගෙන් සමන්විත බ්‍රිතාන්‍ය අමුත්තන් කටුනායක ගුවන් තොටුපොළේ දී පිළිගන්නා ලද්දේ විදේශ කටයුතු භාර නියෝජ්‍ය ඇමති වසන්ත සේනානායක විසිනි.

පෙබරවාරි මස පස් වෙනිදා වෙනතෙක් බ්‍රිතාන්‍ය දූත මණ්ඩලය ශ්‍රී ලංකාවේ රැඳී සිටින බව විදේශ අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.

මෙම සංචාරයේ දී රාජකීය යුවළ මහනුවර ශ්‍රී දළදා මාළිගාවට සහ පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානයට ද යනු ඇත.

රත්මලාන අන්ධ විද්‍යාලයේ පැවැත්වෙන ආබාධිත ළමයින්ගේ ක්‍රියාකාරකම් ඇතුළත් ප්‍රදර්ශනයකට සහ සංස්කෘතික වැඩසටහනකට ද සහභාගී වීමත් ඔවුන්ගේ සංචාරයේ නිල න්‍යාය පත්‍රයට ඇතුළත් වෙයි.

1998 පැවැත්වුන ශ්‍රී ලංකාවේ හැට වෙනි නිදහස් සමරු උත්සවයට එලිසබත් රැජින නියෝජනය කරමින් සහභාගී වුණේ ඔටුන්න හිමි චාර්ල්ස් කුමරාය.

2013 වසරේ ශ්‍රී ලංකාවේ පැවැත්වුන පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට බ්‍රිතාන්‍යයේ එලිසබෙත් රැජිණ සහභාගී වීමට නියමිතව සිටියත් සෞඛ්‍ය හේතූන් අනුව එය අවලංගු කරනු ලැබුණ අතර රැජින වෙනුවට චාර්ල්ස් කුමරු ඊට සහභාගී විය.

(බීබීසී සිංහල සේවය)

image 1e06d97fb3

image caed69390c

image cdef07de07

Comment (0) Hits: 915

එජාපය සටන අරඹයි- ගමට තනි බලයක් ඉල්ලයි..!

සංහිදියාව ගොඩනගා රට සංවර්ධන කළ හැක්කේ එක්සත් ජාතික පක්‍ෂය ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණට බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (31) මන්නාරම පැවති එක්සත් ජාතික පක්‍ෂ මැතිවරණ ප්‍රචාරක රැලිය අමතා අවධාරණය කළේය.

සියලූ ජාතින්ගේ අයිතිවාසිකම් සුරක්‍ෂිත කර ගනිමින් එකට ජීවත් විය හැකි සමාජයක් නිර්මාණය කර දීමට සිය පක්‍ෂයට හැකි වූ බව පෙන්වා දුන් රනිල් වික්‍රමසිංහ මහතා එම අරමුණ තව තවත් ශක්තිමත් කිරීම වෙනුවෙන් ඉදිරියටද කැප වෙන බව සිහිපත් කළේය.

පළාත් පාලන මැතිවරණයට එක්සත් ජාතික පක්‍ෂයෙන් ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් මන්නාරම පැවති මෙම රැලියට අමතරව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් තවත් ප්‍රචාරක රැලි දෙකක් මඩකලපුව සහ පොතුවිල් යන ප්‍රදේශවලදී පැවැත්විණි.

මන්නාරම පැවති ප්‍රචාරක රැලිය අමතා තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීය.

''2015 ජනවාරි මාසය වන විට මේ රටේ ජනතාව අතර අසමගිය ගොඩනගා සංහිදියාව නැති කොට තිබුණා. ඒ පාලනය වෙනස් කොට අපි සිංහල, දෙමළ, මුස්ලිම් ඇතුළු සියලූ ජාතින් එකට එකතු කර ගෙන ඉදිරියට ගොස් යලි සංහිදියාව ගොඩනැගීමට හැකි වුණා.

සියලූ ජන කොටස්වලට නිදහසේ ජීවත්විය හැකි පරිසරයක් අප ගොඩනගා තිබෙනවා. ශ්‍රී ලාංකික අනන්‍යතාවය ආරක්‍ෂා කිරීම වෙනුවෙන් අප කැප වී සිටිනවා. එකට ජීවත්විය හැකි සමාන අයිතිවාසිකම් තිබෙන සමාජයක් ඇති කළා. එය කිරීමට හැකිවුනේ එක්සත් ජාතික පක්‍ෂය සමඟ සියලූ ජාති ආගම් නියෝජනය කරන පක්‍ෂ නායකයෝ සිටි නිසයි.

2025 වන විට මේ ශ්‍රී ලංකාව දියුණු රටක් බවට පත් කිරීම අප හැමෝගෙම අරමුණයි. මේ මැතිවරණයේදී ගමේ ආණ්ඩුව එක්සත් ජාතික පක්‍ෂයට ලබාදීම තුලින් ඒ ගමන තවත් වේගවත් කළ හැකියි.''

Comment (0) Hits: 952

නාවික හමුදාව ඉස්සූ දෙදෙනකු ගැන පරීක්ෂණවලට තිරිංග!

අගනුවර ආසන්නයේ දී පුද්ගලයන් දෙදෙනකු පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීම ගැන සැක කෙරෙන නාවික හමුදා ඔත්තු අංශයේ කණ්ඩායමක් පිළිබඳ හෙළි කරගත් තොරතුරු සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ පැවැත්වීම ඇණහිට ඇත්තේ ජනාධිපතිවරයා ගේ සෘජු බලපෑම නිසා බව ජේඩීඑස් වෙත වාර්තා වේ.

වර්තමාන පාලන කාලය තුලදී අලුතින් හෙළිවූ රාජපක්ෂ පාලන සමයේ අතුරුදහන් කිරීම් දෙකක් පිළිබඳ පරික්ෂණ කටයුතු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් කරන ලද දැනුම් දීමක් හේතුවෙන් නවතා දමන්නට තමන්ට සිදුවී ඇතැයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළ පෙලේ රහස් පරීක්ෂකයෝ දුර්මුඛ වී සිටිති.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් 2016 දී අධිකරණයට දැනුම් දී ඇති පරිදි කොටහේනේ වඩිවේල් පක්කිලිසාමි ලෝගනාදන් සහ බොරැල්ලේ රත්නසාමි පරමනාදන් දෙදෙනා වැල්ලම්පිටිය බලා වෑන් රියකින් ගමන් කරමින් සිටියදී පැහැරගෙන ගොස් අතුරුදහන් කර ඇති බවට සැක කෙරෙන්නේ නාවික හමුදා බුද්ධි අංශ කණ්ඩායමකි.

රහස් පොලිසිය මේතාක් හෙලි කරගත් තොරතුරු අනුව නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර් වරයකු ප්‍රමුඛ බුද්ධි අංශ කණ්ඩායමක් විසින් ඔවුන් පැහැරගෙන ගොස් ඇත්තේ 2009 ජනවාරි මස 11වැනි දින ය.

අතුරුදහන් කරනු ලැබූ රත්නසාමි පරමනාදන් ගේ ජංගම දුරකතනය ලුතිනන් කමාන්ඩර් සම්පත් දයානන්ද ළඟ තිබී පොලිසිය විසින් අධිකරණයට භාරදී තිබේ.

wasanthaනම සඳහන් නොකරන ලෙස ඉල්ලා සිටි මුල් පෙලේ පොලිස් නිලධාරියකු ජේඩීඑස් හා ප්‍රකාශ කළ පරිදි ජනාධිපතිවරයා විසින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් අමතා අලුතින් හෙළිවූ එම අතුරුදහන් වීම් පිළිබඳ පරීක්ෂණ තව දුරටත් නොපවත්වන ලෙස දැනුම් දී ඇත්තේ නාවීක හමුදාවේ හිටපු බුද්ධි අංශ ප්‍රධානි ආනන්ද ගුරුගේ විසින් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ හරහා ජනාධිපතිවරයාගෙන් කරන ලද ඉල්ලීමකට අනුව ය.

'මුං කැරලි ගහයි'

හිටපු නාවික හමුදාපතිවරයා ජනාධිපතිවරයාට පවසා ඇත්තේ අපරාධ සම්බන්ධයෙන් සැකකෙරෙන නාවික හමුදා නිලධාරීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තවදුරටත් අත්අඩංගුවට ගනු ලැබුවහොත් එමඟින් බුද්ධි අංශ කැළඹිමට පත් විය හැකි බවයි.

“ජනාධිපති කියලා තියෙන්නේ ඔය විදිහට හමුදාවේ අයව අල්ලන්න ගියොත් මම කොහොමද ඡන්ද කරන්නේ, මුං ඔක්කොම මට විරුද්ධව කැරලි ගහයි කියලයි,” යනුවෙන් ජේඩීඑස් හා දුරකතනයෙන් කතා කළ පොලිස් නිලධාරියා පැවසීය.

කොළඹ දිස්ත්‍රික්කය තුලදී පුද්ගලයන් එකොලොස් දෙනකු 2008-2009 වකවානුවේ පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීම පිළිබඳව සැක පිට රහස් පොලිසිය විසින් මේ වන විට අත් අඩංගුවට ගෙන තිබෙන ශ්‍රී ලංකා නාවික හමුදා ඔත්තු සේවා නිලධාරීන් අට දෙනකු අතරින් හතක් ඇප ලබා නිදහස්ව සිටිති.

උසාවිය මගහැර සිටින තවත් සැකකරුවකු වන ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි අත් අඩංගුවට ගැනීම පිණිස ජාත්‍යන්තර වරෙන්තුවක් නිකුත් කර ඇත.

ලෝගනාදන් සහ පරමානන්දන්ගේ අතුරුදහන් වීම ගැන තොරතුරු CID ය විසින් හෙළි කරගෙන ඇත්තේ අතුරුදහන් 11 දෙනාගෙන් අයකු වන කස්තුරි ආරච්චිලාගේ ජෝන් රීඩ් පැහැරගන්නා ලද අවස්ථාවේ ගමන් කරමින් සිටි වාහනය සොයා යාමේදී ය.

වෑන් කෑලි 72ක්

වෑන් රථය සඟවා ඇතැයි ලැබුනු ඔත්තුවකට අනුව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් වැලිසර නාවික නෞකා ගැමුණු කඳවුරේ බුද්ධි නිලධාරින්ගේ නිවස්න පිහිටි ප්‍රදේශය 2016 පෙබරවාරි මාසයේදී පරීක්ෂාවට ලක් කිරීමේදී කොටස් 72 කට කැබලි කොට සඟවා තිබූ වෙනත් වෑන් රියක කොටස් හමුවී තිබේ.

PA 0023 අංකය දරන එම වාහනයේ හිමිකරු වැල්ලම්පිටියේ දී අතුරුදහන් වූ වඩිවේල් පක්කිලිසාමි ලෝගනාදන් ය.

ලෝගනාදන්ගේ බිරිඳ වන රාජගෝපල් චිත්‍රාදේවී විසින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දී ඇති ප්‍රකාශයකට අනුව ඇගේ ස්වාමි පුරුෂයා සහ ඥාති සහෝදරයකු වන කොළඹ නගර සභාවේ සේවය කළ රත්නසාමි පරමනාදන් යන දෙදෙනා අදාළ වෑන් රථයෙන් 2009 ජනවාරි 11 දින වැල්ලම්පිටිය ප්‍රදේශය බලා යාමෙන් පසු ආපසු පැමිණ නැත.

ඇය සහ පරමනාදන්ගේ බිරිඳ වන පවුලින් මේරි ඇග්නස් පොලිසියට පැමිණිලි කොට අවුරුදු එකහමාරකට වැඩි කලක් ගතවීත් පලක් නොවූ තැන තම ස්වාමි පුරුෂයන් අතුරුදහන් වීම ගැන 2010 ජූලි මාසයේ පොලිස්පති වරයාට පැමිණිලි කොට තිබේ.

කෙසේ වෙතත්, පොලිස් අපරාධ පරීක්ෂණ කොට්ඨාශය විසින් රහස් පොලිසියට දැනුම් දී ඇත්තේ 2010 නොවැම්බර් 15 දා යින් පසු කිසිදු විමර්ශනයක් පවත්වා නැති බවයි.

රාජපක්ෂ පාලන සමයේ අතුරුදහන් කිරීමක් පිළිබඳව නැවත පරීක්ෂණ ආරම්භ කිරීමට ජනාධිපතිවරයා විසින් බාධා කිරීමට අමතරව පුද්ගල පැහැර ගැනීම් සහ අතුරුදහන් කිරීම් සම්බන්ධයෙන් නාවික හමුදාව ඇතුළු ආරක්ෂක අංශවල සාමාජිකයන්ට එරෙහිව පවතින නඩු සඳහා අවශ්‍ය කරන සාක්ෂි සහ තොරතුරු හමුදා ප්‍රධානීන් විසින් ලබා දීම පැහැර හරිනුයේද ඉහළ පෙලේ දේශපාලන මැදිහත්වීමක් හේතුවෙන් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ විශ්වාසයයි.

බාධා කළ බව ජනපති පිළිගනී

රජයේ ආරක්ෂක අංශ විසින් සිදුකරන ලද බවට චෝදනා කෙරෙන අපරාධ සම්බන්ධයෙන් යුක්තිය ඉෂ්ට කිරීම වැලැක්වීමට තමන් මැදිහත් වූ බව ජනාධිපතිවරයා පිළිගෙන තිබේ.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු චූදිතයන්ට නඩු පවරන ලෙස නීතිපති දෙපාර්තමේන්තුව පොලිසියට උපදෙස් දී තිබුනත්, “අහක යන නඩු” නොදමන ලෙස තමන් නිර්දේශ කළ බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පසුගිය සතියේ ජනමාධ්‍ය ආයතන ප්‍රධානීන්ට හෙළිකර තිබුනි.

පොලිස්පතිවරයා විසින් නීතිපති උපදෙස් ක්‍රියාත්මක නොකර ලිපිගොනු ලබාදී ඇත්තේ ජනාධිපති අතට ය.

chanadrapalaනීතිපති නිර්දේශය ක්‍රියාවේ යෙදවීම වෙනුවට ජනාධිපතිවරයා කර ඇත්තේ ඒ සම්බන්ධයෙන් වෙනත් නීතිඥයන්ගෙන් විමසා බලන ලෙස අගමැතිවරයාට “බොහොම පැහැදිලිව අවස්ථා ගණනාවකම” කියා සිටීමයි.

“නීතිපති දෙපාර්තමේන්තුවෙන් ඔක්කොම ෆයිල් ආවා පොලිස්පති තුමාට නඩු පවරන්න. ඒ අතරේ හොඳ ජ්‍යෙෂ්ඨ නීතිඥයන් කිහිප දෙනෙක් බලලා, ඒ අයට නැවත බලන්න දෙන්න මේ නඩු ප්‍රතිපල දයකද අහක යනවද, මේවයේ මොනවද අඩුපාඩු තියෙන්නේ කියලා එහෙම නැතිනම් අහක යන නඩු නම් දාන්න එපා කියලා,” යි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මාධ්‍ය ප්‍රධානීන් හමුවේ කියා සිටියේය.

ජනාධිපති බලධාරියා නොවේ

නීතිපති උපදෙස් ලැබී තිබියදී නීතිමය ක්‍රියාමාර්ග නොගෙන තවත් කල් යැවීමෙන් ජනාධිපතිවරයා කර ඇත්තේ නීති විරෝධී ක්‍රියාවක් බවට මානව හිමිකම් ක්ෂේත්‍රයේ නීතිඥ වරුන්ගේ බරපතල දෝෂ දර්ශනයට ලක්වී තිබේ.

ජනාධිපතිගේ නියෝගය පැහැදිලිවම පෙන්නුම් කරන්නේ ස්වාධීන ලෙස පරීක්ෂණ පවත්වාගෙන යාම දේශපාලන බලය යොදවා අවහිර කිරීමේ අවශ්‍යතාවක් රටේ පාලකයන්ට ඇති බව යැයි ජ්‍යෙෂ්ඨ නීතිවේදී චන්ද්‍රපාල කුමාරගේ අවධාරණය කරයි.

“නීතිපති කියන්නේ ආණ්ඩුවේ නෙමෙයි රජයේ නඩු පවරන්නා, අපරාධ නඩු පැවරීම ගැන සම්පූර්ණ බලතල තියෙන්නේ නීතිපතිවරයාට,” යයි මානව හිමිකම් නීතිඥ කුමාරගේ ජේඩීඑස් හා කියා සිටියේය. “යම් අපරාධ නඩුවක් සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වලා නඩු පවරන්න නිර්දේශ කරලා නීතිපතිවරයා දෙන නියෝගයක් ආයේ බාහිර නිතිඥවරුන් යොදලා පරික්ෂා කිරිමේ ක්‍රමවේදයක් නෑ.”

ලිපිගොනු ජනාධිපතිවරයාට දීමෙන් පොලිස්පති පූජිත ජයසුන්දර විසින්ද කර ඇත්තේ වැරද්දක් බව චන්ද්‍රපාල කුමාරගේ වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

“පොලිස්පතිවරයා කොහොමද යම් නඩු පැවරුමක් ගැන නීතිපති දෙන නිර්දේශයක් හරි නියෝගයක් හරි තියෙන ලිපි ගොනුවක් ජනාධිපතිවරයට යොමු කරන්නේ. නඩු පවරන බලධාරියා ජනාධිපති නෙමෙයි.”

අගමැති රනිල් වික්‍රමසිංහ වෙනත් නීතිඥවරුන්ගේ නිර්දේශ ලබාගැනීමට කිසිදු පියවරක් නොගත් බව‍ට චෝදනා කළ ජනාධිපතිවරයා තමන් ඒ සම්බන්ධයෙන් නැවත විමසීමක් කළේ දැයි පැහැදිලි කළේ නැත.

ජනාධිපති බලතල සීමා කර කොමිසන් සභා ස්ථාපිත කරන 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමෙන් අනතුරුව රටේ යුක්තිය පසිඳලීමේ ක්‍රියාදාමය ස්වාධීන වී ඇති බව ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයන් මහත් උද්දාමයෙන් යුතුව ප්‍රකාශ කරන්නකි.☐

© JDS

Comment (0) Hits: 1092

තාජුඩීන්ගේ සහෝදරිය කියූ ආන්දෝලනාත්මක කතාව මෙන්න

වසීම් තාජුඩීන් කියන්නේ ලංකාවේ රගර් ක්‍රීඩාව ආලෝකමත් කළ ක්‍රීඩකයෙක්. තාජුඩීන්ව මියගියේ 2012 වර්ෂයේ මැයි මාසේ 17 වැනි දිනයකයි. ඔහු මිය ගිය පුවත බොහෝදෙනාගේ හදවත කම්පා කරවන සිදුවීමක් වුණා. මේ ඔහුගේ සහෝදරිය වෛද්‍ය අයේෂා තාජුඩීන් මේ ගැන පුවත්පතකට සඳහන් කළ කරුණුයි.

පවුලේ ඥාතීන් විදියට පරීක්ෂණවලින් සෑහීමකට පත්වෙන්න පුළුවන්ද?

දැන් ඇත්තම කියනව නම් යන එන මං හොයාගන්න බැරිව අපි ඉන්නේ. ගොඩක් කාලයක් තිස්සේ මේ ප්‍රශ්නේ පරික්ෂණ මට්ටමින් තියෙන්නේ. කොළඹ හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී ආනන්ද සමරසේකර යම් දෙයක් දන්නවා කියලා අපි දන්නවා. අපිට හැමදාම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගැන විශ්වාසය තිබුණා. ඔවුන් කියන්නේ සාක්ෂි පස්සේ යනවා කියලා. ඒත් දැන් හැමදේම අතරමග නතර වෙලා වගේ.

 පසුගිය ආණ්ඩුවයි මේ ආණ්ඩුවයි අතර වෙනසක් නැද්ද?

 පහුගිය ආණ්ඩුවෙන් මේ සිද්ධිය එළියට ගත්තෙවත් නැහැ. යහපාලන ආණ්ඩුවේ පළමු අවුරුද්දේ හොඳ ප්‍රගතියක් තිබුණා. ඒත් පස්සේ මේ හැමදේම කොහේ හරි හිරවෙලා. මල්ලිගේ දේහය නැවත පරික්ෂණ කරන්න එළියට ගන්න පල්ලිය අනුමැතිය දුන්නා. ඒත් පවුලේ අයට ඒක දරාගන්න බැරි වුණා. ඒ මීට අවුරුදු දෙකකට කලින්. වෙනසක් නැහැ. ප්‍රශ්නෙ එක තැනමයි.

 කාගෙද ප්‍රමාදය, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවෙද?

අපට හිතාගන්න බැහැ සිද්ධ වෙන දේවල්. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක වෙන්නේ නීතිපති දෙපාර්තමේන්තුවත් එක්ක. ආනන්ද සමරසේකර අත්අඩංගුවට නොගන්න හේතුව විමසද්දි සීඅයිඩී එක අපිට කිව්වෙ නීතිපති දෙපාර්තමේන්තුවෙන් අණ ලැබුණේ නැහැ කියන දේ. දැන් ආනන්ද සමරසේකර තමන්ම ඉදිරිපත් වෙලා ඇප අරගෙන එළියෙ ඉන්නේ.

ඉදිරියට ගන්න පියවර මොනවද?

ඇත්තටම මොනවා කරන්නද හිතාගන්න බැහැ. ලංකාවේ නීතිය ගැන කිසිම විශ්වාසයක් නැහැ කියලා තමයි මට කියන්න තියෙන්නේ. මේ ගැන කියන්න ජනාධිපතිතුමා ඇතුළු බොහෝ දෙනෙක් හමුවෙලා තියෙනවා. තෙවැනි වතාවටත් අපි එතුමාට මේ ගැන කිව්වා. නීතිපති දෙපාර්තමේන්තුවට එතුමා අවවාද කරලා තිබුණා. දැන් ඒ සිදුවීම වෙලත් මාස දෙකකට වැඩියි.

ඡන්ද වේදිකාවල තාජුඩීන්ගෙ නම කේවල් වෙන එක ගැන මොකද හිතන්නේ?

ඡන්ද වේදිකාවල ඇතිවෙනකම් මඩ ගැහුවා. මේ ඡන්දෙට නම් මේ ගැන කියනවා මට ඇහිලා නැහැ. ඒ වෙනකම් තමයි මං බලාගෙන ඉන්නේ.

දැන් ආණ්ඩුවේ ඉන්න බොහෝ අය විපක්ෂයේ ඉද්දි යුක්තිය ඉටුකරන්න දීපු පොරොන්දු ගැන මොකද හිතන්නේ?

ඇත්තටම දේශපාලනඥයන්ගෙ මේ නඩුවට ලොකු සම්බන්ධයක් තිබුණෙ නැහැ. යහපාලන ආණ්ඩුව ඇවිත් මේක භාරගත්තම සීඅයිඩී එකත් එක්ක අපි සම්බන්ධවෙලා හිටියේ. සමහර මැති ඇමතිවරු පුද්ගලිකව කතා කරලා තියෙනවා. ඒත් අපට යුක්තිය ඉටු වුණේ නැහැ.

අවසාන වශයෙන් ඔබට කියන්න දෙයක් ඇති?

නැතිවුණ දේ අඩුව දැනෙන්නේ අපිට විතරයි. කාලයක් යද්දි හැමෝටම මේක අමතකයි. අපේ ආගමේ විදියට කවදා හරි ඇත්ත හෙළිවේවි. ඒ වෙනකම් අපි බලාගෙන ඉන්නවා.

(adaderana)

 

Comment (0) Hits: 1084

විශේෂ මහාධිකරණයට කැබිනට් අනුමැතිය!

දූෂණ සහ වංචා පිළිබඳ නඩු විභාග කිරීමට විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයක් පිහිටුවීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.

ඊයේ (30) ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ කැබිනට් මණ්ඩලය මේ තීරණය ගෙන ඇත.

අධිකරණ ඇමැතිනී තලතා අතුකෝරාල මහත්මිය විසින් මීට අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබේ.

මේ අනුව එම විශේෂ මහාධිකරණය සඳහා විනිශ්චයකාරවරුන් පත්කිරීමේ බලය අගවිනිසුරුවරයාට හිමි වන බව ජ්‍යෙෂ්ඨ නීතිවේදීහු පවසති.

දූෂණ සහ වංචා නඩු ප්‍රමාද වීම සම්බන්ධයෙන් දිගින් දිගටම චෝදනා එල්ල වූ අතර, ඒ සම්බන්ධයෙන් විශේෂ මහාධිකරණයක් හෝ මහාධිකරණ තුනක් ස්ථාපිත කිරීමට කටයුතු කරන බව ආණ්ඩුවේ පාර්ශ්වයෙන් සඳහන් කර තිබිණි.

ඒ අනුව අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර ඇත.

(resa)

Comment (0) Hits: 1074

ඌවේ චාමර ආයෙත් නෑමක - මේපාර ජනාධිපතිවත් විකුණලා

ගුරුවරිය දණ ගැස්සවූ සිදුවීමට අදාළව මානව හිමිකම් කොමිසම විසින් ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයාට යවා ඇති සිතාසියේ සඳහන් පෙබරවාරි 01 වනදා මානව හිමිකම් කොමිසම හමුවේ පෙනී සිටීමට නොහැකි බව ප්‍රධාන අමාත්‍යවරයා දැනුම්දී ඇතැයි වාර්තා වෙයි.

ලිපියක් යොමුකරමින් ඌව ප්‍ර‍ධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක විසින් ඒ බව මානව හිමිකම් කොමිෂන් සභාවට දැනුම්දී ඇති ඊට හේතුව ලෙස එහි සඳහන් කර ඇත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෙබරවාරි 01 වනදා මහියංගනයේ රැස්වීමක් සදහා පැමිණීමය.

එසේම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලුණුගල හා හපුතලේ රැස්වීම් පැවැත්වෙන බව ද ඒවා පෙර සුදානම් කළ රැස්වීම් බව ද, ප්‍රධාන ආමාත්‍යවරයාගේ ලිපියේ සදහන් කර ඇත.

එහෙයින් පෙබරවාරි 01 වනදා හැර වෙනත් දිනයක් ලබාදෙන ලෙසද ප්‍රධාන අමාත්‍යවරයා සිය ලිපිය හරහා මානව හිමිකම් කොමිසම දැනුවත් කර ඇත.

එහෙම බෑ : සිතාසියට අනුව කටයුතු කරන්න - මානව හිමිකම් කොමිසම

කෙසේ වුවත් ප්‍රධාන අමාත්‍යවරයාගේ ලිපියට ප්‍රතිචාර දක්වමින් මානව හිමිකම් කොමිසම සඳහන් කර ඇත්තේ මානව හිමිකම් කොමිෂන් සභාව පනතේ 20 (3) වගන්තිය යටතේ ප්‍ර‍ධාන අමාත්‍යවරයාගේ ඉල්ලීමට ඉඩ ලබාදිය නොහැකි බවය.

ඒ බව මේ වන සඳහන් කරමින් මානව හිමිකම් කොමිසම ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයාට ලිපියක් යොමුකර ඇති අතර එහි වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ යම් පුද්ගලයෙකු තමන් සන්තකයේ ඇති සාක්ෂි ලබාදීම පැහැර හරින්නේ නම් ඔහු මානව හිමිකම් කොමිෂන් සභාවේ අධීකාරීත්වයට හානි කරන පුද්ගලයෙකු ලෙස සලකා කටයුතු කිරීමට මානව හිමිකම් කොමිෂන් සභාවට හැකි බවත් එය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දඬුවම් ලැබිය හැකි වරදක් බවය.

වැරැද්ද ඔප්පු වෙනවට බයේ මාරු වෙන්න හදන්නේ - රජිත් කීර්ති

මේ අතර මානව හිමිකම් කොමිසමේ මෙම විමර්ශනයේ පැමිණිලිකරු වන ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන්ද මේ සම්බන්ධව අදහස් දක්වා ඇත. එහිදී ඔහු සඳහන් කර සිටින්නේ, ගුරුවරිය දණ ගැස්සවූ මහ ඇමතිවරයා තමන් විසින් වරදක් කර නැති නම් ඒ බව තහවුරු කිරීමට ඇති හොදම අවස්ථාව මග හැරීමට උත්සහ දරන්නේ මේ වන විට මානව හිමිකම් කොමිෂන් සභාවේ විමර්ශනවලදී සත්‍ය හෙළිදරව් වී ඇති නිසා බවය.

මේ සම්බන්ධව ඌව ප්‍රධාන අමාත්‍යවරයා යැවූ ලිපිය සහ ඊට ප්‍රතිචාර දක්වමින් මානව හිමිකම් කොමිසම යැවූ ලිපි පහත පළවේ.

uwa 720

Comment (0) Hits: 910

වංචාවේ මහ මොළකරුවන් බේරගන්න රවීව බිල්ලට දීලා - කබීර්ගේ නිවේදනයට කැෆේ ප්‍රතිචාර දක්වයි

බැදුම්කර වංචාවේ මහ මොළය හා සැලසුම්කරුවන් සියලු දෙනා එකතු වී, තිලක් මාරපන කමිටුව හරහා රවී කරුණානායක බිල්ලට දෙන තත්ත්වයක් ඇති බව කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් සඳහන් කරයි.

ගජ මිතුරන් බේරගන්න ඇස් බැන්දුමක් කරළියට

මාතර සරසි හෝටලයේ පැවති රැස්වීමක් අමතමින් ඔහු මේ අදහස් පලකල අතර එහිදී වැඩිදුරටත් මෙසේද පැවසීය.

"රවී කරුණානායක මහතා අර්ජුන ඇලෝසියස් සමග සබදතා පැවැත්වූ බව කොමිෂන් වාර්තාවේ දැක්වෙනවා. ඔහුට යම් ප්‍ර‍තිලාභයක් ඒ මගින් ලැබෙන්නට ඇති බව අනුමාන කරන්නට පුළුවන්. නමුත්, බැදුම්කර වංචාවේ මහ මොළය හා සැලසුම්කරුවන් එජාප නායකයා හා ඔහුගේ ගජ මිතුරන් බව ඉතා පැහැදිලියි. තිලක් මාරපන කමිටුව සැබෑ හොරුන් බේරා එජාප උප නායකයා ‘බිල්ල‘ ට දී තියෙනවා. මේක පැහැදිලි මැතිවරණ ඇස්බැන්දුමක්"

හොරු රකින අලුත්ම ක්‍රමයක් !

තවදුරටත් එහිදී අදහස් දැක්වූ තෙන්නකෝන් මහතා සඳහන් කර සිටියේ අද වන විට ලංකා දේශපාලනය ඇත්ත හොරුන් හා ගජ මිතුරන් එකතුවී හොර පූසන් ගෙන් තමන් ව්‍යාග්‍ර‍යින් බවට පත් කොට ‘හොර පූසන්‘ බිල්ලට දෙන ක්‍ර‍මයක් බිහි කර තිබෙන බවය.

ජනාධිපතිට තවමත් අගමැතිව විශ්වාසද? කෙළින් කියන්න

එසේම බැදුම්කර වංචාවට සම්බන්ධ සැබෑ පුද්ගලයින්ට දඩුවම් කළ යුතු බවත් මහ බැංකුව තව දුරටත් අගමැති අතේ තියාගෙන ඉන්නට ජනාධිපතිවරයා ඉඩ දි ඇත්තේ අගමැති රනිල් වික්‍ර‍මසිංහ මහතා කෙරෙහි විශ්වාසය තිබෙන නිසා ද? යන්න මෛත්‍රීපාල සිරිසේන මහතා පැහැදිලිව ප්‍ර‍කාශ කළ යුතු බවද ඔහු පැවසීය.

තිලක් මාරපන කමිටුව

මේ අතර බැඳුම්කර ජනාධිපති කොමිසමේ නිර්දේශ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායකගේ නම සඳහන්ව ඇති බැවින් ඔහු සම්බන්ධව ක්‍රියාමාර්ග ගතයුතු බවට තිලක් මාරපන කමිටුව නිර්දේශ කිරීම හේතුවෙන් රවී කරුණානායක මන්ත්‍රීවරයා දරන එක්සත් ජාතික පක්ෂයේ උප නායක ධූරයේ වගකීම් වලින් තාවකාලිකව අත්හිටුවීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇත.

රවී ගැන ගත් තීන්දුව ගැන කබීර්ගෙන් නිවේදනයක්

එම තීරණය දැනුම්දෙමින් එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අමාත්‍ය කබීර් හෂීම් අද (31) විශේෂ නිවේදනයක් නිකුත් කළ අතර එම නිවේදනය පහත දැක්වේ.

Comment (0) Hits: 893

රනිල් - රවී එකඟතාවයක් ?

පළාත් පාලන මැතිවරණය අවසන් වනතෙක් ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් එජාප නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අතර එකඟත්වයක් සිදුව තිබෙන බව අරලියගහ මන්දිර ආරංචිමාර්ග පවසයි.

ඒ අද පෙරවරුවේ ඔවුන් දෙදෙනා අතර පැවති සුහද සාකච්ජාවකදීය.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය ලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසන්නේ,
බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු අවසන් වන තුරු බැදුම්කර සිදුවීමට වගකිවයුත්තන් ලෙස කොමිසම් වාර්තාවේ නම් සඳහන් වන සියල්ලන්ම පක්ෂයෙන් ඉවත් කිරීමට පියවර ගන්නා බවයි.

කුරුණෑගල ජනහමුවක් අමතමින් ඔහු එබව අවධාරණය කර සිටියේය.

පාඩු වූ බව කියන මුදලට වඩා වැඩි ප්‍රමාණයක් මේ වන විට රජය විසින් අදාළ සමාගමෙන් රදවා ගැනීමට කටයුතු කර ඇති බව ඔහු එහිදී පෙන්වා දුන්නේය.

බැදුම්කර සිදුවීමත් සමග ඇමතිවරු ඉවත් වූයේ ද ඉවත් වන ලෙසට පක්ෂය විසින් දැනුම් දෙනු ලැබූ නිසා බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහ ලේකම්වරයා වැඩිදුරත් කියා සිටියේය .

Comment (0) Hits: 934

Page 618 of 642