V2025

පුවත්

ඉතාලියේ තෙල් මිල බලා සැනසෙන්න : රෝහිතගෙන් රත්තරන් අදහසක් !

අද වන විට ඉතාලියේ ඩීසල් ලීටරයක් යුරෝ 2.20ක් මිල වන බවත් එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් 552 ක් බවත් පෙට්‍රල් ලීටරයක් යුරෝ 2.22ක් බවත් වරාය ඇමති රෝහිත අබේගුණවර්ධන පවසයි.

ඒ් අනුව තවමත් ශ්‍රී ලංකාව ඉතා අඩු මුදලකට ඉන්ධන අලෙවි කරන බවද එම අගය යුරෝපයට වඩා අඩකටත් වඩා අඩු අගයක් බවත් ඔහු පැවසීය.

මෙතරම් අඩු මිලට ඉන්ධන ලබා දීම ගැන ජනතාව සතුටු විය යුතු බවත් කී ඔහු කොරෝනා වසංගතය සමග ලෝකයකම ඉන්ධන අර්බුදයකට මුහුණ දී ඇතැයිද සදහන් කලේය.

මේ අවසන් රාජපක්ෂ පාලනයයි : විමල්ගෙන් අනාවැකියක් !

ශ‍්‍රී ලංකාව තුළ මින් ඉදිියට කිසිදාක රාජපක්ෂවරයෙකු යටතේ රට පාලනය නොවනු ඇති බවත් මේ පවතින්නේ රාජපක්ෂ පාලනයේ අවසාන පාලනය වනු ඇති බවත් හිටපු අමාත්‍ය , පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසයි.

ඔහු මේ අදහස් දක්වා සිටියේ සිරස රූපවාහිනීයේ දේශපාලන සම්මුඛ සාකච්ඡාවකදී අදහස් දක්වමින් ය.

එහිදී ඔහු සඳහන් කර සිටියේ නාමල් රාජපක්ෂට රාජ්‍ය පාලනයක් ගැන යම් හෝ අදහසක් ඇත්නම් බැසිල් රාජපක්ෂ ගේ මෙහෙයුම් ව්‍යර්ථ කිරීමට මැදිහත් විය යුතු බවය.

තමන් යළි කිසිදිනක රාජපක්ෂවරුන් වරයකුගේ පාලනයට සහාය දක්වන්න හෝ එවන් පාලනයක් පිහිටුවීමට පෙරමග නොගන්නා බවත ඔහු තව දුරටත් එහිදී කියා සිටියේය.

බැසිල් රාජපක්ෂ නම් ඇමරිකානුවා වූ වහාම රටින් පන්නා දැමීමට කටයුතු කළ යුතු බවත් හිටපු අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ ය.

ගුවන් ප්‍රවේශපත් මිලත් ඉහළට !

ශ්‍රී ලංකාවෙන් නිකුත් කරන ගුවන් ප්‍රවේශපත් මිල අද (11) සිට සියයට 27 කින් ඉහළ දමන බව ශ්‍රී ලංකා ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස පවසයි.

ඒ අනුව ශ්‍රී ලංකාව සමග ගුවන් ගමන් සම්බන්ධතා පවත්වන ලබන සියලුම ගුවන් සේවාවන් , සිය ගුවන් යානා ප්‍රවේශ පත්‍ර ගාස්තුව ඉහළ නංවා ඇත.

මෙයට හේතු ලෙස සඳහන් වන්නේ ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අව ප්‍රමාණ වීම මත මෙසේ ගුවන් යානා ප්‍රවේශ පත්‍ර මිළ ඉහළ නැංවීමට සිදුව තිබීමය.

වීරවංශ පවුලට මැයි 6 තීරණාත්මකයි !

හිටපු කර්මාන්ත අමාත්‍ය , පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ගේ බිරිඳ වන ශෂී වීරවංශ අදාළ නඩු දෙකෙහි තීන්දුව මැයි මස 06 වැනි දා තෙක් කල් තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (11) නියෝග කළේය .

මෙම නඩුවට අදාළව නඩු තීන්දුව ප්‍රකාශයට පත්කරන ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා මහාධිකරණ විනිසුරුවරයෙක් ලෙස උසස්වීම් ලැබීම හේතුවෙන් මෙම නඩුවේ තීන්දුව ලබාදීම කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චන්දිම ලියනගේ විසින් එලෙස කල් තබනු ලැබීය .

ඒ අනුව මෙම නඩුවේ තීන්දුව පුරෝගාමී විනිසුරුවරයා පැමිණ ලබාදීමට නියමිතව ඇතැයි ද අධිකරණයේදී සඳහන් විය.

ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් රාජ්‍ය තාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍රයක් සකස්කළ බවට චෝදනා ලැබූ මෙම සිද්ධියට අදාළව රහස් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් පසු ඇප ලැබ සිටින අංක 74, ජේ, මංගල මාවත, හෝකන්දර පදිංචි රණසිංහ රන්දුනු මුදියන්සේලාගේ ශීර්ෂා උදයන්ති අද අධිකරණ හමුවේ පෙනී සිටියා ය

මෙම නඩුවේ විත්තියේ සහ පැමිණීල්ලේ සාක්ෂි වසර 07ක් පුරා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාග විය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිනිල්ලක් යොමු කර තිබුණේ ඉකුත් 2015 වර්ෂයේ ජනවාරි මස 23 වැනිදාය. ඒ නො. 233/16, රත්නායක මාවත, දකුණු තලංගම බත්තරමුල්ල පදිංචි චමින්ද පෙරේරා නැමැත්තා විසිනි.

වර්ෂ 2010ක් වූ සැප්තැම්බර් මස 13 වන දින සහ 2015 පෙබරවාරි මස 26 අතර කාලය තුළදී අධිකරණ බලසීමාවේ පිහිටි කොළඹදී චූදිත විසින් අංක ඩී 3642817 දරන අවිධිමත් ශ්‍රී ලංකා ගමන් බලපත්‍රය නීත්‍යානුකූල බලයක් නොමැතිව තම සන්තකයේ තබා ගැනීමෙන් 1993 අංක 16, 1998 අංක 42 සහ 2006 අංක 31 දරන (සංශෝධීත) පනත් වලින් සංශෝධිත 1948 අංක 20 දරන ආගාමික හා විගාමික පනතේ 45 (1) වගන්තිය යටතේ දඩුවම් ලැබිය හැකි වරදක් සිදු කළ බවට රහස් පොලිසිය විසින් නඩු පවරා තිබිණ.

ඖෂධ මිල නියම කිරීම සමාගම් යටතට !

ඩොලරයේ අගයට සමානුපාතිකව ඖෂධ මිල ඉහළ දැමීමට අවසර දුන් බව ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසා ඇත.

මේ අනුව ඖෂධ සැපයීමේ මෙහෙයුම් කටයුතු අද (10) සිට ආරම්භ කිරීමට ඖෂධ නිෂ්පාදන සහ බෙදා හැරීම් සමාගම් එකඟවූ බවද ඔහු ප්‍රකාශ කර ඇත.

ඖෂධ නිෂ්පාදන හා බෙදාහැරීමේ සමාගම් සතුව මාස හතරකට ප්‍රමාණවත් ඖෂධ පවතින බව ඒ සමාගම් දැන්වූයේ යැයිද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

මේ අනුව ඖෂධ හිඟයක් ඇති නොවෙතත් මිල ගණන් ඉහළ යාමක් අනිවාර්යයෙන් සිදුවනු ඇත.

තරු පනින ගණනකින් : ඉන්ධන මිල යළිත් ඉහළට !

IOC සමාගම විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමක් සිදුකර ඇත.

අද (10) මධ්‍යම රාත්‍රියේ සිට බලාත්මක මෙම තීන්දුව අනුව ඉන්ධන මිලෙහි අතිවිශාල ඉහළ දැමීමක් සිදුකර ඇත.

ඒ අනුව ඩීසල් ලීටරයක් සඳහා රුපියල් 75.00 ක් සහ පෙට්‍රල් ලීටරයක් සඳහා රුපියල් 50.00 ක් වශයෙන් මිල ඉහළ දැමීම සිදුකර ඇත.

සිපෙට්කෝවත් ඉල්ලීම කරලා !

මේ අතර අද (10) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ සඳහන් කර සිටියේ අද වන විට ලෝක වෙළඳපලේ ඉන්ධන මිල ඉහළයාම හේතුවෙන් මෙරට ඉන්ධන මිල ඉහළ නැංවන ලෙස තමන් රජයට යෝජනා කල බවයි.

දැනට ඩීසල් ලීටරයකින් රුපියල් 128ක් පෙට්‍රල් ලීටරයකින් රුපියල් 80ක් සංස්ථාව පාඩුවක් ලබන බවත් ඔහු පැවසීය.

තව දුරටත් මෙම පාඩුව දරා ගැනීමට රජයට දැරීමට හැකි යයි තමන් නොසිතන බව පැවසූ ඔහු මිල වැඩි කිරීම ගැන සලකා බැලිය යුතු බවද සදහන් කලේය.

RTI කොමිසම බණ්ඩාරවෙලින් වැඩට බහියි !

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිෂන් සභාව, සිය පනතේ 14 (අ) පොදු අධිකාරින් වෙත පවරා ඇති කාර්‍ය නිසි පරිදි ඉටුකරනවාද යන්න අධීක්ෂණය කිරීම , ඒවාට අනුකූලව කටයුතු කරන්නේද යන්න සහතික වීම මෙන්ම 15(අ) යටතේ පරීක්ෂණ පැවැත්වීම හා ඒ පරීක්ෂණ සඳහා පෙනී සිටින ලෙස යම් තැනැත්තකු නම් කිරීමට තීරණය කර ඇත.

එහිදී 15(අ) යටතේ වන පළමු සැසිය 2022 මාර්තු 14 බණ්ඩාරවෙල නගරසභා ශාලාවේ පැවැත්වීමට නියමිත අතර එදින පෙරවරු 9.00 සිට පස්වරු 4.00 දක්වා එය පැවැත්වෙයි.

මේ සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිෂන් සභාව, නිවේදනයක් පහත දැක්වෙයි.

rti 579

සනීපයි- රුපියල් 300කින් : කිරිපිටි මිලත් ඉහළට ?

ආනයනික කිරි පිටි කිලෝවක් රුපියල් 300.00 කින් මිල ඉහළ දැමීමේ සූදානමක් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වෙයි.

වාර්තා වන ආකාරයට ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 120 කින් ඉහළ දැමීමටත් නියමිතව ඇත.

කිරිපිටි ආනයන කරුවන්ගේ සංගමය විසින් මේ තීරණය ගෙන ඇති බවත් ඒ ලෝක වෙළඳපොළේ කිරිපිටි ටොන් එකක මිල ඇමරිකානු ඩොලර් 5,500 දක්වා ඉහළ ගොස් ඇති නිසා බවත් වාර්තා වෙයි.

මේ අතර වැඩිදුරටත් වාර්තා වන්නේ අදාළ තීරණය සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශය දැනුවත් කර කිරීමට කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය කටයුතු කර ඇති බවත්ය.

වෙළෙඳ පොළ ආරංචි මාර්ග සඳහන් කරන්නේ මේ වන විට කිරිපිටි සඳහා වන පාලන මිල ඉවත්කර ඇති බවත් ඒ අනුව ආනයනකරුවන් මිල නියම කිරීම සිදුකරනු ඇති බවයි.

වලක් වසා, වලක් කපා ගන්නා ආණ්ඩුව බංකොලොත්භාවය වහගත්ත හැටි !

ශ්‍රී ලංකාවේ බංකොලොත්භාවය මාස දෙකකින් ඇරියස් කිරීමට ආණ්ඩුව විසින් කටයුතු කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසයි.

ඒ අද (10) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ය.

එහිදී මන්ත්‍රීවරයා දැක්වූ අදහස් මාධ්‍ය ඒකකය විසින් මෙසේ නිකුත්කර ඇත.

“පසුගිය මාර්තු මාසෙ 4 වෙනි දින කිහිපයකට කලින් ඉන්දියාවට ගෙවිය යුතු මුදලක් තිබුණා. ඩොලර් මිලියන 500 ක්. එය ගෙවන්න තිබුණේ ජනවාරි 4 වෙනිදා. ඒක මාර්තු 4 ට කල් දැම්මා. ඒ වගේම මාර්තු 4 වෙනකොට තවත් එකතු වෙලා ඩොලර් මිලියන 900 ක් වුණා. ඒ ඩොලර් මිලියන 900 ගෙවන්න මහ බැංකුවට හැකියාවක් තිබුණේ නැහැ. ඒ ඩොලර් මිලියන 900 ගෙව්වා නම් ශ්‍රී ලංකාව නිශ්චිත වශයෙන්ම මාර්තු 4 වෙනිදා බංකොලොත් වෙනවා. ඉන්දියාව උදව් කරලා තවත් මාස 2 කින් මේක කල් දාලා තියෙනවා. ඒ කියන්නේ බංකොලොත්භාවය ඇරියස් කරලා තියෙනවා. ඒකයි රටේ ඇත්ත අර්බුදය. කුමන්ත්‍රණය ඒකයි."

ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සතුව තිබෙන්නේ ඩීසල් මෙට්‍රික් ටොන් 6000 ක් පමණි. ප්‍රවාහනය සඳහා පමණක් දිනක ඩීසල් භාවිතාව මෙට්‍රික් ටොන් 5500 කි. ලංකා විදුලිබල මණ්ඩලය සඳහා ඩීසල් භාවිතා කරන්නේ නම් මෙට්‍රික් ටොන් 4000 ක් අවශ්‍ය වේ.

"යුක්‍රේනයට රුසියානු හමුදා ගිය වෙලාවේ තෙල් මිල ඉහළ ගියා. නමුත් ඊයේ ඉඳන් තෙල් මිල 12% කින් පහළට වැටුණා. අපගේ බොරතෙල් වටිනාකම, ඩොලර් 137 සිට 112 දක්වා ඇද වැටුණා. නමුත් අද මේ වරායේ තියෙන ඩීසල් මෙට්‍රික් ටොන් 37000 ඇත්ත ගාන ඩොලර් මිලියන 35 යි. ගෙවන්න වෙලා තියෙනවා ඩොලර් මිලියන 52 ක්. ආණ්ඩුවේ මූල්‍ය කළමනාකාරිත්වයේ වරද නිසා රුපියල් 60 කට වඩා වැඩි මුදලක් ඩීසල් ලීටරයකට ගෙවන්න වෙනවා. ඒ නිසා මේ මූල්‍ය කළමනාකාරීත්වයේ ප්‍රශ්න විසඳාගන්නේ නැතුව මේක කරන්න බෑ. මේ එක නැවකට විතරක් ඇතිවෙලා තියෙන පාඩුව මෙට්‍රික් ටොන් 37000 ට රුපියල් කෝටි 345 ක්. ඒ නිසා මේ සෙල්ලම මේ විදිහට ගෙනියන්න බෑ. එක වලක් වහලා තව වලක් කපාගන්න එක තමයි තියෙන්නේ."

ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන බලාගාරය පුත්තලම ගල් අඟුරු බලාගාරයේ යන්ත්‍ර තුනම ක්‍රියාත්මක කරනවා නම් දිනකට ගල් අඟුරු මෙට්‍රික් ටොන් 7500 - 8000 ක් අවශ්‍යය. අද ලංකා විදුලිබල මණ්ඩලය සතුව නොරොච්චෝලේ තිබෙන සංචිත ප්‍රමාණවත් වන්නේ ජූනි මාසය දක්වා පමණි. එනම් තවත් දින සියයකට ආසන්න ප්‍රමාණයක් පමණි. වාරකන් සමය හේතුවෙන් ඔක්තෝබර් මාසය වනතුරු ගල් අඟුරු ගොඩබෑමක් සිදු කළ නොහැක. ගල් අඟුරු වහාම ගෙන්වා ගැනීමේ අවශ්‍යතාව පවතී.
එම අවශ්‍යතාවය ඉටු කරගැනීම සඳහා දැන් ආණ්ඩුවට ඩොලර් නොමැත.
"ඔක්තෝබර් මාසය දක්වා තවත් ගල් අඟුරු ටොන් මිලියනයක් අපට අවශ්‍යයි. නමුත් අද ලංකා විදුලිබල මණ්ඩලය ගල් අඟුරු ගෙන්වා ගන්නට යන්නේ ටොන් 360,000 යි. ඒ සඳහා ඩොලර් මිලියන් 100 ක් ඕනේ. ගල් අඟුරු ටොන් එක අද ගෙනල්ලා තියෙන්නේ ඩොලර් 260 කට. රුසියාව යුක්‍රේනයට ගිය වෙලාවේ යම් ප්‍රමාණයකට ගල් අඟුරු වල මිල හිතාගන්න බැරි තරම් වැඩි වුනත් ඒක දැන් යම් ප්‍රමාණයකට ස්ථාවර වෙලා තියෙනවා. මේවටත් අද දෙන්න ඕන විතරක් නෙමෙයි. මේ ගල් අඟුරු ගේන්න යන්නේ අද රුසියාවට. රුසියාවේ යුද්ධයක්. යුක්‍රේන යුද්ධයක්. මේක ගල් අඟුරු තොග පටවා ගන්න හැකියාවක් එතන නෑ. ඒ අනුව අද මේ කරගෙන යන්නේ මේ අර්බුදය ගැන කිසිම අවබෝධයකින් තොරව."
2022 ජනවාරි 01 වෙනිදා ජල විදුලි බල ධාරිතාව 88% කි. එමෙන්ම පසුගිය වසරේ ඉතාම හොඳ ජල අස්වැන්නක් ලැබිණ. අවම වශයෙන් මැයි 14 දක්වාවත් බුද්ධිමත්ව ජල විදුලි ක්ෂේත්‍රය පාලනය කළ යුතු‍ බව හිටපු අමාත්‍යවරයා අවධාරණය කරයි.

"නමුත් අද මේ ජල විදුලි ක්ෂේත්‍රයේ හිතුමතේ නිලධාරීන් විදුලිය කපන්න එපා කියනවා. නිලධාරීන් ජල විදුලිය ගන්නවා. ඊළඟට යල කන්නයේ වතුර නිකුත් කරන්න තියෙනවා. කැළණි ගඟට පානීය ජලය නිකුත් කරන්න තියෙනවා. අද මේ නිසා මම බොහොම වගකීමෙන් කියනවා. මේ බය කරන්න නෙමෙයි. මේවා හොයාගන්න, තේරුම් ගන්නයි මං මේ කියන්නේ. මාර්තු මාසේ අවසන් සතිය හා අප්‍රේල් මාසේ, මුල සතියේ මේ ජල විදුලිය අද පාලනය කළේ නැත්නම්, සම්පූර්ණ විදුලිබල පද්ධතිය අකර්මණ්‍ය වෙනවා. මොකද, ප්‍රධාන බලාගාර දෙකකින්, ඒ කියන්නේ, කොත්මලේ බලාගාරයෙන් හා වික්ටෝරියා බලාගාරයෙන් තමයි අද අපට පුළුවන් වෙලා තියෙන්නේ පද්ධති පාලනය කරන්න. මොකද කැළණි ගඟේ තියෙන බලාගාර කාසල්රී මාවුස්සා කැලේ දැන් ඒ තත්ත්වයෙන් මිදිලා ඉවරයි. ඒ නිසා අනිවාර්යෙන්ම මේ ජලය අරපිරිමැස්මෙන් යුතුව මැයි මාසේ 14 වෙනිදා දක්වා පාලනය නොකලොත් අනිවාර්යෙන්ම අප්‍රේල් මුලදී විදුලිබල පද්ධතිය අකර්මණ්‍ය වීම වළක්වන්න බැහැ. "

ඒ නිසා කරුණාකරලා මේක ගැන කල්පනා කරලා බලන්න. ඒ වගේම ලංකා විදුලිබල මණ්ඩලය මේ විදිහට ඩීසල් හා ගල් අඟුරුවලින් දුවගෙන යනකොට අතිවිශාල මුදල් පාඩු වෙනවා ඇත්ත. ඒ වගේම විදුලිය සපයන්නේ නැති සෑම අවස්ථාවකටම විදුලිබල මණ්ඩලයට යම්කිසි ඉතුරුවක් වෙනවද? ඒ වගේ දහගුණයක් රටේ ආර්ථිකයට පාඩු වෙනවා. ඒක තමයි විදුලි බල කප්පාදුවේ ඉතිහාසයේ තියෙන ගණිත ණය. ඒ කියන්නේ පැයක් කපලා විදුලිබල මණ්ඩලය රුපියල් ලක්ෂයක් ඉතුරු කරගන්නවා නම් දස ලක්ෂයක් ආර්ථිකයට පාඩු කරමින් තමයි ඒ කටයුත්ත කරන්න වෙන්නේ. දැන් මොකද යෝජනාව? දැන් යෝජනා කරන්න යනවා 50% කට වැඩි මුදලකින් විදුලි බල ගාස්තු වැඩි කරන්න. ඒ කියන්නේ රුපියල් 16.40 කට තියෙන සාමාන්‍ය මිල වැඩි කරන්න. ආණ්ඩුවට කිසිම විදිහකට ඒකක 60 ට වඩා අඩුවෙන් පාවිච්චි කරන අහිංසක ජනතාවගේ ඒ විදුලි බිල වැඩි කිරීමේ අයිතියක් නෑ.

ඊළඟට මහ බැංකුව යෝජනා කරනවා තෙල් මිල ඉහළ යවන්න. මේ කටයුත්ත කරන්න විධිමත්ව. 2015 අගෝස්තු මාසේ මවිසින්, ලංකා විදුලිබල මණ්ඩලයටත්, ඛනිජ තෙල් නීතිගත සංස්ථාවටත්, කාටත් පොදු, මහජනයා එක්ක මාසයක් කතා කරලා, මිල සූත්‍රයක් ඉදිරිපත් කළා. ඒ මිල සූත්‍රය ක්‍රියාත්මක කරන්න, ඒක යුක්ති සහගතයි. ඒක ගැන අපිට සැකයක් නෑ. හැබැයි ඒ අතරේ ලංකා විදුලිබල මණ්ඩලයේ, ඒ වගේම ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙයි, මේ දේශපාලන පත්වීම් වලින්, මේ ආයතන විනාශයෙන්, විනාශයට ගෙනියන්න එපා කියන එක අපි මතක් කරනවා. ඒ වගේම මේ ප්‍රශ්නය මාස කීපයකින් විසඳෙන ප්‍රශ්නයක් නෙවෙයි. අපි මේ ප්‍රශ්නය අවබෝධ කරගත යුතුයි.

වැඩි පොලියට අන්තර්ජාතික වෙළඳපොලෙන් ගත්ත ඒ වගේම ශ්‍රී ලංකා ඩිවලොප්මන්ට් බොන්ඩ්ස්. මේ නිසා තමයි අද මේ රටේ මේ අර්බුදය ඇති වෙලා තියෙන්නේ. අපේ විදේශ ණය වලින් 43% ක් මේවා. මේ අවුරුද්දේ ඉවර වෙන්නෙ නෑ. මේක 2030 දක්වා යනවා. ඒ වගේම මේ ණය අර්බුදය ඉනුත් ඔබ්බට ඇදිලා යන්න පුළුවන් අද මේ තත්ත්වයත් එක්ක. ඒ නිසා මේක මේ මාසෙන් ඉවර වෙනවා. වැස්සෙන් පස්සේ ඉවර වෙනවා. ඊළඟ කන්නෙන් පස්සේ ඉවර වෙනවා. මට මේ අවුරුද්ද දෙන්න. මම කරලා පෙන්නන්නම්. ඒ වගේ කතා වලට විසඳන්න පුළුවන් ප්‍රශ්නයක් නෙවෙයි.

ඒ වගේම මේ ඩොලර් ප්‍රශ්නය විසඳීම සඳහා විතරක් ආණ්ඩුව කටයුතු කරනකොට මතක තියාගන්න රුපියල් ප්‍රශ්නයක් තියෙනවා. මහ බැංකුවට දැවැන්ත රුපියල් හිඟයක් තියෙනවා. ප්‍රධාන බැංකු දෙක කඩා වැටීමට ආසන්න තත්ත්වයේ ඉන්නේ රුපියල් හිඟය නිසා.

ඒ අතරේ භාණ්ඩ 367 කට දැන් ගෙනාවා ලයිසන් එකක් දෙන්න කියලා. කවුද මේකෙන් ප්‍රයෝජනය ගන්නේ? කාටද මේ ලයිසන් එක දෙන්නේ? විවෘත වෙළඳපොළ පසුගිය කාලයේ දිගටම ඇහිරුවා. රටේ සීනි පොල්තෙල් ඒකාධිකාරයක් හැදුවා. ටයිල් ඒකාධිකාරයක් හැදුවා. අද තමන්ට හිතුණු ගජමිතුරු පිරිසක් අතට මේක ලබා දීලා ඇපල් මිදි වල ඉඳන් සියලුම දෑ තමන්ගේ හිත මිතුරන් හරහා කළු කඩෙන් ලබා ගන්න තත්ත්වයට පත් කිරීම තමයි මේ සිදු කරගෙන යන්නේ. මේක විවෘත කරන්න. මේක ඕන කෙනෙකුට ගන්න පුළුවන් තත්ත්වය ඇති කරන්න.

රුපියල පාවෙන්න ඇරීම පමා වෙලා හරි ගත්ත හොඳ තීරණයක් වුණාට මේකෙන් රට ගොඩ යන්නේ නෑ. දැන් ඒක පමා වෙලා වැඩියි. අශ්වයා ගිහිල්ලා වැඩියි. මොකද රට බංකොලොත් වෙලා ඉවරයි.

මේ තත්ත්වයට විසඳුම ලෙස මන්ත්‍රීවරයා යෝජනා කරන්නේ මහ බැංකුව, මුදල් අමාත්‍යාංශය, ලංකා විදුලිබල මණ්ඩලය, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, ගෑස් සමාගම, ජල සම්පාදන මණ්ඩලය, ඖෂධ සංස්ථාව ඇතුළු සියලුම දෑ වෘත්තීය විද්වතුන් පිරිසක් අතට පත් කරන ලෙසය. ඒ විද්වතුන්ගේ ක්‍රියාකලාපය මැනීම සඳහා පාර්ලිමේන්තුවේ බලය පාවිච්චි කොට ව්‍යවස්ථාවේ 148 වෙනි වගන්තිය අනුව අදාළ ආයතන නියාමනය කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මැදිහත් විය යුතු බව ද පාඨලී චම්පික රණවක අවධාරණය කළේය.

ශානිගේ පෙත්සම සළකා බැලීමේ කටයුත්තෙන් : විනිසුරුවරයෙකු ඉවත් වෙයි !

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගෙන රැදවුම් නියෝගමත රදවා තැබීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සළකා බැලීමේ කටයුතුවලින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ ඉවත්ව ඇත.

විනිසුරු යසන්ත කෝදාගොඩ මෙසේ ඉවත්වන්නේ එම පෙත්සම අද (11) කැඳවූ අවස්ථාවේදීය.

ත්‍රීපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම විභාගයට කැදවූ අතර යසන්ත කෝදාගොඩ එම විනිසුරු මඩුල්ලේ සාමාජිකයෙකි.

ඒ අනුව මෙම පෙත්සම එළැඹෙන 07 වෙනිදා කැදවීමට නියමිතය.

නීතිඥ මංජුල බාලසූරිය මගින් ගොනු කර ඇති මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස නම්කර ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරී මෙරිල් රන්ජන් ළමාහේවා, එම දෙපාර්තමේන්තුවෙහි ප්‍රධාන පොලිස් පරීක්ෂක නිරෝෂනී හේවාපතිරණ සහ එහි විශේෂ ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික ද සිල්වා ඇතුළු 14 දෙනෙකි.

කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින මෙම බී වාර්තාව සහ නිර්නාමික පෙත්සම පදනම් කර තමාට එරෙහිව රැඳවුම් නියෝග ලබා දීම වළක්වාලමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට එරෙහිව අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත්, රුපියල් කෝටි දහයක 10 ක වන්දි මුදලක් තමාට ලබා දෙන ලෙසට නියෝග කරන ලෙසත් පෙත්සම්කාර ශානි අබේසේකර ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත.

ඉන්ධන මිල ඉහළ දාන්න : සංස්ථා සභාපති ඉල්ලයි !

ලෝක වෙළඳපල තුළ ඉන්ධන මිල ඉහළයාමත් සමඟ වැයවන පිරිවැයට සාපේක්‍ෂව ඉන්ධන මිල ඉහළනැංවීමක් කළ යුතු බවට තමන් රජයට යෝජනා කරන බව ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ සභාපති, සුමිත් විජේසිංහ පවසයි.

සභාපතිවරයා මේ බව පැවසුවේ ‘බලශක්තිය රටට ශක්තියක්’ තේමාව යටතේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී අද (10) පැවති මාධ්‍ය හමුව අමතමිනි.

මේ වන විට සංස්ථාවට ඩීසල් ලීටරයකින් රුපියල් 128 ක සහ පෙට්‍රල් ලීටරයකින් රුපියල් 80ක පාඩුවක් සිදුවන බව පැවසූ සභාපතිවරයා ඉන්ධන මිල සංශෝධනය කිරීමේ බලය සංස්ථාවට පමණක් තිබුණේ නම් අනිවාර්යයෙන් මිල වැඩිකිරීමක් කරන බවත් පැවසීය.

වර්තමානයේ පවතින මිල ගණන් අනුව මේ සඳහා වැයවන වියදම රජයට දැරීමට හැකි වේ යැයි තමා නොසිතන බව කී සභාපතිවරයා මෙම මිල ගණන් සම්බන්ධයෙන් කල්පනා කර බැලීමට සිදුවන බව ද කීවේය.

 

ඇමරිකානු ඩොලරය 260 යි !

ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් ඇමරිකානු ඩොලරයක් ඉදිරියේ ශ‍්‍රී ලංකා රුපියල තව දුරටත් අවප‍්‍රමාණය කර ඇති බව වාර්තා වෙයි.

ඊට  අනුව ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 249.96ක් වvන අතර විකිණුම් මිල රුපියල් 259.99කි.

මෙය මෙරට ඉතිහාසයේ ඩොලරයක් සදහා නිල වශයෙන් ලබා දෙන ඉහලම අගය වෙයි.

සියලු පක්ෂ නායකයන් මාර්තු 23 ජනාධිපති හමුවෙන්න !

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වන සර්ව පාක්‍ෂික සමුළුව මාර්තු 23 වනදා පැවැත්වීමට තීරණය කර ඇත.

මේ සම්බන්ධයෙන් යෝජනාව පසුගියදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ජනාධිපති අතර පැවති හමුවකදී සිදුකර ඇත.

වාර්තා වන ආකාරයට එම සාකච්ඡාව එදින පෙරවරු 10.00 ට ජනාධිපති කාර්යාලයේ පැවැත්වීමට නියමිතව ඇත.

ඒ සදහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්‍ෂවලට ආරාධනා කිරීමට නියමිතව ඇති බවත් වාර්තා වෙයි.

ආනයනික භාණ්ඩ 367 කට තහංචියක් !

අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ 367ක් ආනයනය කිරීම පාලනය කරමින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

කිරි සහ ආශ්‍රිත නිෂ්පාදන, බටර් යෝගට්, අන්නාසි, මැංගුස්, හා පලතුරු වර්ග දොඩම්, අලිගැටපේර,මාළුවර්ග පැස්ටා, නූඩ්ලස්, මස්වර්ග, බිත්තර, ඇපල්, මිදි, සැකසූ පලතුරු, සහ සැකසූ ආහාර ඇතුළු අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ ඒ අනුව ආනයනය කිරීම දැඩි පාලනයකට ලක්කර තිබෙන බව ද එම ගැසට් නිවේදනයේ සඳහන් වෙයි.

එම භාණ්ඩ ආනයනය කිරීම අවසර හිමිවන්නේ අත්‍යවශ්‍යම අවශ්‍යතා සඳහා පමණක් වන අතර ඒ සඳහා විශේෂ අවසරයක් ලබගත යුතු බව ද එහි සඳහන් කර ඇත.

තෝරාගත් තැන්වලට විදුලි කප්පාදුව දිගටම !

විදුලිය අත්‍යාවශ්‍යය ස්ථාන සදහා කප්පාදුවකින් තොරව විදුලිය ලබාදීම අනිවාර්යයෙන් කළයුතු බවත්, ඒ් සදහා අඛණ්ඩව ක්‍රියාත්මකවන මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කළයුතු බවත් විදුලිබල අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි විසින් අදාළ අංශ වෙත උපදෙස් ලබාදෙයි.

අඛණ්ඩ විදුලි සැපයුමක් සදහා ගතහැකි ක්‍රියාමාර්ගයන් පිළිබදව, විදුලිබල අමාත්‍යාංශය, ලංකා විදුලිබල මණ්ඩලය, සුනිත්‍ය බලශක්ති අධිකාරිය, වාරිමාර්ග අමාත්‍යාංශය,කර්මාන්ත අමාත්‍යාංශය, ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලය, සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ආරක්ෂක අමාත්‍යාංශය ආදි ආයතන රැසක සහභාගීත්වයෙන් විදුලිබල අමාත්‍යාංශ පරිශ්‍රයේ පැවති විශේෂ සාකච්ඡාවකදී පවිත්‍රා වන්නිආරච්චි අමාත්‍යවරිය විසින් අදාළ අංශ වෙත මෙම උපදෙස් ලබාදී තිබේ.

පවතින වියලි කාලගුණික තත්ත්වය යටතේ අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදීම දුෂ්කර වුවත්, 24 පැයම විදුලි සැපයුමක් අත්‍යාවශ්‍ය රෝහල්, ආරක්ෂක ස්ථාන, ආයෝජන ප්‍රවර්ධන කලාප වැනි ස්ථානයන් වෙත අඛණ්ඩ සැපයුමක් ලබාදීම වෙනුවෙන් ගතයුතු ක්‍රියාමාර්ගයන් අනිවාර්යයෙන්ම නොපමාව ගතයුතු බවත්, ඒ වෙනුවෙන් අදාළ ආයතනයන්ගේ නියෝජිතයන්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් විසින් මෙම මෙහෙයුම් මැදිරිය පවත්වාගෙන යනු ලබන බවත්, මෙහිදී අමාත්‍යවරිය විසින් වැඩිදුරටත් අවධාරණය කළාය.

– මාධ්‍ය ඒ්කකය

කුඩා පක්ෂයකට ජන්දය දුන්නාම නියෝජිත ධූරය පොහොට්ටුවට යන යෝජනාවක් - රෝහිණී

ජන්ද ක්‍රමය වෙනස් කිරීම පිළිබඳ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ පොහොට්ටුව පක්ෂය නියෝජනය කරන තාක්ෂණික කමිටු නියෝජිතයා, ශ්‍රී ජයවර්ධපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සුදන්ත ලියනගේ කියන වියත්මගේ සාමාජිකයා විසින් ගෙනා යෝජනාව අනුව කුඩා පක්ෂයක් වෙනුවෙන් සලකුණු කරන ජන්දයක නියෝජිත ධූරය පොහොට්ටු පක්ෂය වෙත ලැබෙන බවට අපූරු අනාවරණයක් විපක්ෂ මන්ත්‍රීනි රෝහිණී කවිරත්න සිදුකර ඇත.

ඒ පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අතර එහිදී මන්ත්‍රීවරිය දැක්වූ අදහස් පහත දැක්වෙයි.

ගරු ගීතා කුමාරසිංහ මහත්මිය මේ පාර්ලිමේන්තුවේ හිටපු ඇග්නස් ද සිල්වා, ඇඩ්ලින් මොළමුරේ, තේසුම් සරවනමුත්තු, කුසුමා - විවියන් ගුණවර්ධන ගරු මන්ත්‍රීතුමියන්ලා ගැන කියන කොට, සිරිමා බණ්ඩාරනායක මැතිණිය ගැන කියනකොට ඒ අය සොහොන් කොත් වලින් නැගිටලා එයි කියලා හිතුනා. එතුමියගේ කතාව එච්චරම හැඟුම්බරයි.

හැබැයි ගරු ගීතා කුමාරසිංහ මන්ත්‍රීතුමියගේ ලැයිස්තුවේ චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියගේ නම නෑ. නිකම්ම නිකං ජනාධිපති විතරයි, නම නෑ. බොහොම පැහැදිලි මේ යෝජනාව කාන්තාවන් ගැන අනුකම්පාවෙන් නෙවෙයි, පළාත් පාලන ඡන්දයෙන් ආණ්ඩුවට දිනන්න පුළුවන් ඡන්ද ක්‍රමයක් හදාගන්න හදනවා.

1982 ජනමත විචාරණයේ දී ජනතා විමුක්ති පෙරමුනේ රැස්වීම්වල මරු කතාවක් මෙහෙම කතාවක් කිව්වා.

ජනමත විචාරණයේ දී ‘කලගෙඩියට‘ කතිරේ ගැහුවාම ඡන්ද පෙට්ටිය ඇතුලේ දී ඒ ඡන්දය ‘ලාම්පුවට‘ සලකුණු වෙනවා. එහෙම කරන තාක්ෂණයක් සිංගප්පුරුවේන් ද, ඇමරිකාවේ සී.අයි.ඒ. සංවිධානයෙන් ද කොහෙද ආණ්ඩුවට දීලා තියෙනවා කියලා.

අපි දැන් දන්නවා ලෝකයෝ කෙහොවත් ඡන්ද පෙට්ටිය ඇතුළේ දී ‘චන්ද මාරුකරන, මාරුවෙන චන්ද පත්‍රිකා නෑ කියලා.

හැබැයි අද ආණ්ඩුවට ඕනි වෙලා තියෙනවා එහෙම ඡන්ද ක්‍රමයක් හදලා ඉදිරි පලාත් පාලන ඡන්දය දිනන්න.

පොහොට්ටුව පසුගිය පෙබරවාරි 22 ‘ඡන්ද ක්‍රමය වෙනස් කිරීම පිළිබඳ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට යෝජනාවක් ගෙනත් තියෙනවා. ඒක යෝජනා කළේ, පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ පොහොට්ටුව පක්ෂය නියෝජනය කරන තාක්ෂණික කමිටු නියෝජිතයා, ශ්‍රී ජයවර්ධපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සුදන්ත ලියනගේ කියන වියත්මගේ සාමාජිකයා.

මේක මරු ක්‍රමයක්. ඡන්දදායකයෝ ගිහින් මේ රටේ ලියාපදිංචි පොඩි පක්ෂයකට, ස්වාධීන කණ්ඩායමකට කතිරේ ගහනවා. අපි හිතමු, විමල්ගේ පක්ෂයට, ගම්මන්පිලගේ පක්ෂයට, මනෝ ගනේෂන් ගේ පක්ෂයට, කතිරේ ගැහුවා කියලා. නැත්තම්, ස්වාධීන කණ්ඩායමට ඡන්දය දැම්මා කියලා,

කතිරේ පොඩි පක්ෂයට, හැබැයි සභික ධූර ලැබෙන්නේ ‘පොහොට්ටුවට‘

මරු ක්‍රමය! 2018 ප්‍රතිලයට දැම්මාම, මාතලේ හැම තැනම එක්සත් ජාතික පක්ෂයට මන්ත්‍රී ධූර අඩු කරන්න තමයි මේක හදලා තියෙන්නේ. ජනතා විමුක්ති පෙරමුණ නැත්තටම නැති කරනවා. වතුකරයේ අපේ ද්‍රවිඩ පක්ෂවලට තියෙන එකම සභික ධූරයක් වත් ලැබෙන්නේ නෑ.

පොඩි පක්ෂ එකකට වත් සභික ධූර ලැබෙන්නේ නෑ. ඡන්දයක තුන හතර පහ තැනට ඡන්ද ගන්න පක්ෂවලට/ස්වාධීන කණ්ඩායම්වලට වැටෙන ඡන්ද ගාන වැඩි වෙන්න වෙන්න, මේ හදලා තියෙන ක්‍රමය අනුව පොහොට්ටුවට සභික ධූර වැඩි වෙනවා.

අද, මේ මරු ඡන්ද ක්‍රමය ගැන සාකච්ඡා කරන්න පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ගරු දිනේෂ් ගුණවර්ධන මහතා ත් හිටියා. මේ පළාත් පාලන මැතිවරණ සංශෝධනය ගෙනාවොත් ඉස්සරවෙලාම විනාශ වෙන්නේ එතුමාගේ ඔබතුමාගේ මහජන එක්සත් පෙරමුණ.

මේ ආණ්ඩුවේ උදවිය කියනවා, කාන්තා නියෝජනය නිසා පලාත් පාලන ආයතනවල සභික සංඛ්‍යාව වැඩි වෙලා කියලා. මේ ගැන වැරදි මතයක් රටේ තියෙනවා.

1969 වෙනකල් ලංකාවේ ගම් සභා ක්‍රමයක් තිබුණා. 1969 වෙනකල් ලංකාවේ පළාත් පාලන ආයතනවල සභිකයෝ 9000 ක් හිටියා. අද ලංකාවෙම ඉන්නේ පලාත් පාලන සභිකයෝ 8711 යි. එකෙන්, 385 ක් ම එල්ල්ලන ලද ආසන නැත්තම් ඕවර් හැන්ග් මන්ත්‍රී ධූර. ඒ ඕවර් හැන්ග් මන්ත්‍රී ධූරත් එක්ක කාන්තාවෝ ඉන්නේ 2002 යි.

මතක තියාගන්න ලංකාවේ පලාත් පාලනයේ පිරිමි මන්ත්‍රීවරු කෝට්ඨාශ 4523 ක් දිනනකොට, කාන්තාවන් දිනුවේ කොට්ඨාශ 554 ක් පමණයි. ඒ කියන්නේ 5,077 න් 554 ක් විතරයි. ප්‍රතිශතයක් විදිහට 11%. ඉතුරු ටික පිරුණේ ඕවර් හැන්ග් වලින් ලැබුණු මන්ත්‍රී ධූර ද ඇතුළුව මහ ලේකම්වරු පත් කළ මන්ත්‍රී ධූරවලින්.

දිනන පක්ෂයට බෝනස් එකක් දෙකක් දුන්නම, ඔවර් හැන්ග් එක අයින් කරාම, පක්ෂයකට ඕනි අවම ඡන්ද ගාන (කට් ඕෆ් පොයින්ට්) දැම්මාම ඉස්සරවෙලාම නැති වෙන්නේ කාන්තා නියෝජනය කියන එක මේ යෝජනාව ගෙනාපු ගරු ගීතා කුමාරසිංහ මන්ත්‍රීතුමිය දැනගන්න ඕනි.
නැත්තම්, ගරු ගීතා මන්ත්‍රීතුමිය එතුමියගේ ගාල්ල දිස්ත්‍රික්කයේ මහාචාර්ය සුදන්ත ලියනගේ හිතවතා එක්ක එකතුවෙලා, කාන්තා නියෝජනයට කප්පාදු කරන්න හදනවද දන්නේ නෑ.

ගිය අඟහරුවාදා, තේරීම් කාරක සභාවට පොහොට්ටුවේ නියෝජිත මහාචාර්ය සුදන්ත ලියනගේ ඉදිරිපත් කරපු යෝජනවා අනුව ඕවර් හැන්ග් (එල්ලන ලද මන්ත්‍රී ධූර) 385 ක් අඩු වෙනවා. මේකෙන් බහුතරයක්, කුඩා පක්ෂවලට සමානුපාතය ඇති කරන්නට ලැබුණා කාන්තා මන්ත්‍රී ධූර.දිනන පක්ෂයට බෝනස් එකක් දෙකක් දීලා, ඕවර් හැන්ග් එක ඉවත් කලාම කාන්තා නියෝජනය අඩු වෙන්න ඕනි. මම ගීත කුමාරසිංහ මන්ත්‍රීතුමියට කියනවා, මේ ගිහිල්ලා මහාචාර්ය සුදන්ත ලියනගේට කියන්න පලාත් පාලනයේ දැනට තියෙන සභික ධූර සංඛ්‍යාවට නැති කරන්න එන්න එපා කියලා.

ගිහිල්ලා කියන්න, අපිට ඕනි කාන්තා නියෝජනය පලාත් සභාවට, පාර්ලිමේන්තුවට වැඩි කරන්න මිසක් පලාත් පාලනේ තියෙන සභික ධූර සංඛ්‍යාව අඩු කරන එක නෙවෙයි කියලා.

පලාත් පාලන ආයතනවල කාන්තා නියෝජනය නිසා සභික සංඛ්‍යාව වැඩි වුණා කියන කතාව පට්ටපල් බොරුවක්. ඒක මේ ආණ්ඩුව පළාත් පාලන ඡන්දයට තියෙන බය නිසා හදා ගත්ත කතාවක්.

1969 ගම් සභා තියෙන කාලයේත් ලංකාවේ පලාත් පාලන සභිකයෝ 9000 ක් හිටියා. අද ඉන්නේ 8711 යි.

ගීතා කුමාරසිංහ ට ද්විත්ව පුරවැසිකම නිසා පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහිමි වුනා. හැබැයි, බැසිල් රාජපක්ෂ මැතිතුමාට ද්විත්ව පුරවැසිකමයි, මුදල් ඇමතිකමයි 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලැබුණා.

ගීතා කුමාරසිංහ මහටත්මිය කාන්තා නියෝජනය වැඩි කරන්න යෝජනා කරනවා. අනික් පැත්තෙන්, කාන්තා නියෝජනයත් අඩු කරන්න හදනවා.

කාන්තා නියෝජනය වැඩි කරන්න ගිහින් දැන් තියෙන සොච්චම් නියෝජනයත් නැති කරන්න නම් එපා. හරි යෝජනාවක් ගේන්න. අපේ පක්ෂය තමයි කාන්තා නියෝජනය 25% දුන්නේ. අපි ඒක රැක ගන්න කටයුතු කරනවා. පළාත් සභාවලට, පාර්ලිමේන්තුවට කාන්තා නියෝජනය වැඩි කරන්න සංශෝධන ගේන්න. අපි සහාය දෙනවා.

තෙල් බෙදීමටත් හිටපු හමුදා ප්‍රධානියෙක් එවයි !

ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ නව සභාපතිවරයා ලෙස හිටපු හමුදා මේජර් ජනරාල්වරයකු පත්කර ඇත.

ඒ විශ්‍රාමික මේජර් ජනරාල් එම්. ආර්. ඩබ්ලිව්. ද සොයිසා ය.

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල අමාත්‍ය ධූරයෙන් ඉවත්වීමෙන් පසුව ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ සභාපතිවරයා සහ සාමාන්‍යාධිකාරීවරයා ඉල්ලා අස්වූ අතර අදාළ පත්වීම සිදුකර ඇත්තේ ඒ පුරප්පාඩුව සඳහාය.

විශ්‍රාමික මේජර් ජනරාල් එම්. ආර්. ඩබ්ලිව්. ද සොයිසා මීට පෙර ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළේය.

දිගටම විමල්ලා එක්ක වැඩ කරනවා : ගෝඨාභය මහින්ද බැසිල් ඉස්සරහ මෛත්‍රී කියලා !

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (08) පැවති අතර තම පක්ෂය ඉදිරියේ දී ද විමල් විරවංශ ප්‍රමුඛ ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ සමග එක්ව දේශපාලනය කරන බව එහිදී ශ්‍රීලනිප සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසා ඇති බව වාර්තා වෙයි.

Page 281 of 386