පුවත්

ජනාධිපති රනිල් බ්‍රිතාන්‍යයේ ඉතිහාස පොතට !
දෙවෙනි එළිසබෙත් මහරැජිනියගේ අවමංගල්‍යයට සහභාගී වන රාජ්‍ය නායකයන් අතර, ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහට , බ්‍රිතාන්‍ය ඉතිහාස පොතට එක්වීමේ සුවිශේෂි අවස්ථාවක් උදා වෙලා කියල, ජනාධිපති මාධ්‍ය අංශයේ ප්‍රධානියෙක් කියල තියනවා.
මාධ්‍ය අංශ ප්‍රධානියා කියන විදියට, එළිසෙබෙත් මහ රැජිනගේ රාජාභිෂේකයට සහභාගී වූ මාපියන්ගේ යුවළකගේ දරුවකු වන රනිල් වික්‍රමසිංහ, ලංකාවේ රාජ්‍ය නායකයා ලෙස එලිසබෙත් මහරාජිනියගේ රාජකීය අවමංගල්‍යයට සහභාගීවීම සඳහා ඉරිදා (18) දින ලන්ඩන් නුවරට පැමිණිමත් සමඟ රනිල් වික්‍රමසිංහ බ්‍රිතාන්‍ය ඉතිහාසය පොතට එක් වෙනව ලු..
මීට සමාන ඉතිහාස කතාවක් ඇති රජ පවුලේ සාමාජිකාවක් ලෙස නෙදර්ලන්ත හිටපු රැජිනිය වන බිට්‍රික්ස් කුමරිය වාර්තා වෙනවා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ මාපියන් වන එස්මන්ඩ් වික්‍රමසිංහ සහ, නාලනී වික්‍රමසිංහ මහත්මිය, 1952 පෙබරවාරි මාසයේ පැවැති එලිසබත් මහාරැජිනියගේ කිරුළ පැලදීමේ රාජාභිෂේක උත්සවයට සහභාගී වෙලා තියෙන්නේ අගමැති ඩඩ්ලි සේනානායක එක්ක..
ඒවගේම, බිට්‍රික්ස් කුමරියගේ දෙමාපියනුත් රාජකීයන් ලෙස රාජාභිෂේකයට සහභාගී වෙලා තියනවා.
ලෝක ඉතිහාසයේ රජ පවුලෙන් පරිබාහිරව මෙවැනි අවස්ථාවක් හිමි වූ ප්‍රථමයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉතිහාස පොතට එකතුවෙනවා කියල තමයි මාධ්‍ය අංශ ප්‍රධානියා කියන්නේ..
මහරැජිනියගේ රාජාභිෂේකයේදී එවක ලංකාවේ අගමැති ඩඩ්ලි සේනානායක ට වූ සුවිශේෂි සිදුවීමක කතාවක් ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය දවසක සිය කාර්ය මණ්ඩලය හමුවේ ප්‍රකාශ කරලා තියනවා.
ඒ කතාව මෙහෙමයි,
එවකට ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය පාලනය යටතේ පැවැති ඩොමීනියන් රාජ්‍යයක්.. රාජාභිෂේක මංගල්‍යයට ගිය පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායකයන් අතරින් ඉන්දීය අගමැති ජවහල්ලා නේරුට හා පකිස්ථාන රාජ්‍ය නායකයාට තනි තනිව ගමන් කිරීමට අශ්වාරෝහක රථ පිළියල කරල තිබිලා. එහෙත් ඩඩ්ලි සේනානායක අගමැතිවරයාට ගමන් කිරීමට වෙන් කරල තිබිලා තියන්නේ ටොංගෝ රාජ්‍යයේ අගමැතිනිය සමඟ...
ඔය වැඩේට අගමැති මල පැනලා.. උස කාන්තාවක් වූ ටෝංගෝ රාජ්‍ය නායිකාව සමඟ ගමන් කිරීම ප්‍රතික්ෂේප කරලා.
පස්සේ මෙම ගැටළුව විසඳීමට මැදිහත් වෙලා තියන්නේ, එස්මන්ඩ් වික්‍රමසිංහ . ඒ කියන්නේ ජනාධිපති රනිල්ගේ තාත්තා. එස්මන්ඩ් මැදිහත් වෙලා මේ ප්‍රශ්නය විසඳලා, ඩඩ්ලි අගමැතිතුමාටත් තනිව ගමන් කිරීමට අශ්ව කරත්තයක් වෙන් කර ගෙන..
- දේශපාලන වාර්තාකරු

රන්ජිත් නයිස් ට්‍රයි : පොහොට්ටු පක්ෂයේ සභාපති ගැන බැසිල් තීන්දුවක් අරගෙන !
මීළඟ අයවැයට ඉස්සෙල්ලා අගමැති දිනේෂ් ගුණවර්ධන තනතුරෙන් ඉවත් කරනවා කියල, පහුගිය දවසක ගින්නක් පත්තු කෙරුවේ, ආණ්ඩුවේ සිට ස්වාධීන වූ පාර්ලිමේන්තු මන්ත්‍රි චන්න ජයසුමන මැති සබයේදී...
ඔය කියන දවස්වල බැසිල් ලංකාවේ හිටියා.
පොහොට්ටු කාර්යාලෙට ලැබෙන දුරකථන ඇමතුම්ලින් මේ ගැන දිගින් දිගටම අහන්න ගත්තට පස්සේ, බැසිල් වහාම ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග කැඳවලා තිබුනා.
‘‘අගමැති ඉවත් කිරීමේ තීරණයක් අපි අරගෙන නෑ ..ප්‍රසන්න ඔයා ඉක්මනට මේ ගැන ප්‍රෙස් එකට කියන්න..'' බැසිල් , ඇමති ප්‍රසන්නට ඕඩර් එක දීල තිබුනේ එහෙම.
ඔය කට කතාවට ප්‍රසන්න රණතුංග පිළිතුරු දුන්නේ සිය රාජ්‍ය ඇමැතිවරු වන තේනුක විදානගමගේ සහ අරුන්දික ප්‍රනාන්දු වැඩ භාර ගන්න අවස්ථාවේදී.
''කවුරු මොනවා කීවත් අගමැති ඉවත් කරන්නේ නෑ'' ප්‍රසන්න ඇමතිතුමා ඒ වෙලාවේ මාධ්‍ය ඉස්සර කිව්වා.
"'ඇත්තටම බැසිල් ලොක්කා කෙරුවේ ඌරාගේ මාළු ඌරාගේ ඇගේ තියා කැපුවා වගේ වැඩක්'' එතන හිටපු පොහොට්ටු මන්ත්‍රී කෙනෙක් ඒ පක්සේම තවත් මන්ත්‍රී කෙනෙකුට කියල තිබුනා.
මොකද ප්‍රසන්න රණතුංග අගමැති වෙන්න ට්‍රයි එක දෙනවා කියල, පහුගිය දවස්වල කතාවක් ගියානේ..සමහර වෙලාවට ඔයවගේ කතාවක් කිව්වේ ඒ නිසා වෙන්නත් ඇති.
බැසිල් ලොක්ක නාමල්ට වැඩබාර දීලා දැන් ඇමරිකාවට ගිහින්.
ඔන්න ඒ අස්සේ තවත් කතාවක් පත්තුවෙලා.
පොහොට්ටු පක්ෂයේ සභාපති ධුරය සඳහා එම පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර පත් කරන්න ලු යන්නේ.
දැනටත් පොහොට්ටුවේ සභාපති මහාචාර්ය ජී එල් පීරිස්..
පීරිස් මහාචාර්ය තුමා මේවනවිට විපක්ෂයේ මන්ත්‍රීවරයකු විදියට කටයුතු කරන නිසා, ඔහුව පක්ෂයේ සභාපති ධුරයෙන් ඉවත් කර, මහාචාර්ය රන්ජිත් බණ්ඩාර පත්කරන්න යනවා කියල තමයි මාධ්‍ය වාර්තාවල තියන්නේ..
මහාචාර්ය රංජිත් බණ්ඩාර , කෝප් කමිටුවේ, ඒ කියන්නේ පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති කරන්න යෝජනාවෙලා කියලත් කතාවක් යනවා.
පාර්ලිමේන්තු කමිටු රැසක සාමාජිකයකු ලෙසද දැනටත් කටයුතු කරන මහාචාර්ය රන්ජිත් බණ්ඩාර කියන්නේ පොහොට්ටු පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ ගේ සමීපතම අනුගාමිකයෙක්..
රන්ජිත් බණ්ඩාර ගැන එහෙම කතා යද්දී පොහොට්ටුවේම සමහරු කියන්නේ ඕවා ප්ලාන්ට් නිව්ස් කියල. මහාචාර්ය තුමා සල්ලිදීල දා ගත්තු නිව්ස් කියලයි ඒ කට්ටිය කියන්නේ..
ඒ කතාවල ඇත්ත නැත්ත මොනවා වුනත්, බැසිල් , ඇමරිකාවේ ඉඳන් සාගර කාරියවසම් ලේකම් තුමාට ඕඩර් එකක් දීලා.
'' ඔය අපේ රන්ජිත් , සභාපති කරනවා කියලා නිව්ස් ප්ලාන්ට් කරන්නේ කව්ද කියල පොඩ්ඩක් හොයල බලන්න සාගර..මට නන් ෂුවර් මිනිහගේ ම වැඩක් වෙන්න ඇති..'' බැසිල් එහෙම කියනකොට සාගරටත් හිනා ලු..
නෙලුම් මාවතේ කට්ටිය කියන විදියට, පොහොට්ටුවේ සභාපති විදියට පිටින් කෙනෙක් ගෙන්න ලු බැසිල්ගේ අදහස වෙලා තියන්නේ.. ඒ කියන්නේ පොහොට්ටුවේ මන්ත්‍රී කෙනෙක් සභාපති කරන්න බැසිල්ගේ කිසිම අදහසක් නෑ කියන එක..
'' අපි මේ පාර සභාපති කරන්න ඕන පොලිටික්ස් වල ඉදල නැති ප්‍රොපෙෂනල් කෙනෙක්ව.. ඉන්ටර්නැෂනල් පිළිගැනීමක් තියන දෙමල කෙනෙක් හරි මුස්ලිම් කෙනෙක් නන් වැඩිය හොඳයි.. මට නන් අදහසක් තියනවා.. නාමල් ඔයත් හොයල බලන්නකෝ මේ වැඩේට හරියන තරුණ කෙනෙක් ..'' යන්න ඉස්සෙල්ල බැසිල්, නාමල්ට කිවවයි කියන්නේ එහෙම..
- දේශපාලන වාර්තාකරු

ආහාර අර්බුදයට රාජ්‍ය නිලධාරීන්ද වගකිවයුතුයි !
ආහාර අර්බුදය ඇතිවීම සම්බන්ධයෙන් රාජ්‍ය නිලධාරීන් ද වගකිවයුතු බව ජාතික ආහාර සුරක්ෂිතතාව පිළිබඳ ජනාධිපති උපදේශක ආචාර්ය සුරේන් බටගොඩ පවසයි .
පසුගිය 13 වැනිදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හඳුන්වා දුන් ආහාර සුරක්ෂිතතාවය හා පෝෂණය පිළිබඳ බහුආංශික ඒකාබද්ධ යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීමේ වැඩසටහනට සමගාමීව, ඒ සම්බන්ධයෙන් දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් දැනුවත් කිරීමේ සාකච්ඡාවක් පසුගිය 16 දා ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ දී පැවැත්වූ අතර එහිදී මේ බව සඳහන් විය.
අදාළ සාකච්ඡාව සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය නිකුත්කළ නිවේදනයක මෙසේද සඳහන් වෙයි.
ජාතික ආහාර සුරක්ෂිතතාව පිළිබඳ ජනාධිපති උපදේශක ආචාර්ය සුරේන් බටගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් මාර්ගගත ක්‍රමය ඔස්සේ පැවැත්වුණු මෙම සාකච්ඡාවේදී, ආහාර සුරක්ෂිතතාවය හා පෝෂණය පිළිබඳ බහුආංශික ඒකාබද්ධ යාන්ත්‍රණය ග්‍රාමීය මට්ටමින් ක්‍රියාත්මක කිරීම හා එහිදී මතුවන ගැටළු හා ඊට ලබාදිය හැකි විසඳුම් පිළිබද දීර්ඝ ලෙස සාකච්ඡා විය.
එළැඹෙන සතිය ඇතුළත ගෙයින් ගෙට ගොස් මේ සම්බන්ධයෙන් අවශ්‍ය දත්ත රැස් කිරීමේ කටයුතු කඩිනමින් ආරම්භ කරන ලෙසත් අවශ්‍ය නම් මාර්ගගත (Online) තාක්ෂණය ඔස්සේ එය සිදු කිරීමේ හැකියාවත් නිලධාරීන්ට පෙන්වා දුන් සුරේන් බටගොඩ මහතා ආහාර නොමැති අයට ආහාර ලබාදීමේ ප්‍රමුඛ කාර්යය අරමුණු කරගෙන මෙම වැඩසටහන ඉදිරියට ක්‍රියාත්මක කරන ලෙස දැනුම් දුන්නේය.
ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන කේන්ද්‍ර පිහිටුවීම සම්බන්ධව ඇතිවන මූලික ගැටළු, වගාවන් සඳහා ප්‍රමාණවත් පරිදි පොහොර නොමැතිකම, බීජ හිඟතාවය, කෘෂි යන්ත්‍රෝපකරණ ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ඉන්ධන නොමැතිවීම, පලිබෝධනාශක හිඟතාවය, වගාවන් සඳහා සතුන්ගෙන්වන හානි සහ අතිරික්ත අස්වැන්න අලෙවි කර ගැනීමට පවතින දුෂ්කරතාවයන් ආදී ගොවි ගැටලු රැසක් සම්බන්ධයෙන් ද සාකච්ඡා කෙරිණි.
මෙම ගැටලුවලට කඩිනම් විසඳුම් ලබාදීමට මේවන විටත් පියවර ගෙන ඇති බවත්, පොහොර සහ කෘමිනාශක ආනයනයට කටයුතු කර තිබෙන අතර, ඉන්ධන සදහා QR කෝඩ් යටතේ ඉන්ධන කෝටාවක් ලබාදීමට අවශ්‍ය කටයුතු ආරම්භ කර ඇති බවත් ආචාර්ය සුරේන් බටගොඩ මහතා පෙන්වා දෙනු ලැබීය.
දේශීය වශයෙන් හිඟ බීජ වර්ග ආනයනය කිරීමට කටයුතු කරන බවත්, මෙම වැඩසටහන යටතේ පිහිටවනු ලබන ජාතික පුනර්ජීවන කේන්ද්‍ර සියල්ල ඒකාබද්ධ කිරීම හරහා අතිරික්ත නිෂ්පාදන, නිෂ්පාදන ඌනතාවයෙන් පෙළෙන ආර්ථික පුනර්ජීවන කේන්ද්‍රවලට සාධාරණ මිලකට අලෙවි කිරීමට අවස්ථාවක් ලබාදෙන බවත් ඒ මහතා සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආචාර්ය සුරේන් බටගොඩ මහතා ,
“පසුගිය යල කන්නය සහ මහ කන්නය සාර්ථක නොවීමෙන් රටේ ආහාර අර්බුදයක් ඇති වී තිබෙනවා. රටේ ආහාර හිඟතාව නිසා 60%ක් පමණ ජනතාව ආහාර ගන්න ප්‍රමාණය අඩු කර ඇති බවට දත්ත වාර්තා වෙනවා. අඩු ආදායම්ලාභීන්ට ආහාර ලබා දීම අපේ ප්‍රමුඛ වැඩසටහනක් වන්නේ ඒ නිසයි.
ජනාධිපතිතුමා අපට උපදෙස් ලබා දී තිබෙන්නේ කිසිම කෙනෙක් කුසගින්නේ තබන්න එපා කියලා. ඒ නිසා අපි ප්‍රජා මුලුතැන්ගෙය කියන වැඩසටහන හරහා ආහාර නැති අයට ආහාර ලබා දීමට සැලසුම් කර තිබෙනවා. ඒ අනුව ගෘහ ඒකක ශක්තිමත් කිරීමටත්, ඉදිරි මහ කන්නයේ දී වගා සැලසුම් ක්‍රියාත්මක කිරීමට දත්ත රැස් කිරීමටත් මෙමගින් බලාපොරොත්තු වෙනවා. මෙම වැඩපිළිවෙළ අඛණ්ඩව ක්‍රියාත්මක කළහොත් රටේ ආහාර හිඟතාවයකින් තොරව ජනතාවට ලබා දිය හැකියි.
මේ ආහාර අර්බුදය ඇති වීමට රාජ්‍ය නිලධාරින් එක් පැත්තකින් වගකියන්න ඕන. රාජ්‍ය නිලධාරින් වශයෙන් අපිත් මෙයට මැදිහත් විය යුතුයි. මෙම ආර්ථික කේන්ද්‍රය හරහා ආහාර සහ වගා වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට අපි බලාපොරොත්තු වෙනවා”
ජනාධිපති අතිරේක ලේකම්වරුන් වන එල්.පී. ජයම්පති, ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන, ආහාර සුරක්ෂිත සහ පෝෂණ කමිටුවේ අධ්‍යක්ෂවරුන් වන යසන්තා මුණසිංහ, පී.එම්.එස්. ජයතිලක ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

රට ඉදිරියට ගෙන යන්න නම් ආදායම් උත්පාදන ක්‍රම වැඩි කරන්න ඕන - හිටපු මුදල් ඇමති රවී
රට ආර්ථික වශයෙන් ඉදිරියට ගමන් කරවීමට නම් සහනාධාර යන වචනය ශබ්ද කෝෂයෙන් ඉවත් කර ආදායම් උත්පාදන ක්‍රම වැඩිකළ යුතු බව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක පවසයි .
ඇතැම් තරුණ තරුණියන් අතර පවා රුපියල් 50000ක රැකියාවක් වෙනුවට , නොමිලේ රුපියල් 3000ක් දෙන්නම් ගෙදර ඉන්න කිවහොත් ඊට එකඟතාව දක්වන පිරිස වැඩි බවත් හිටපු අමාත්‍යවරයා පවසයි .
චැතම් ස්ට්‍රීට් tv youtube නාලිකාව සමග සම්මුඛ සාකච්ඡාවක් පවත්වමින් අමාත්‍යවරයා මේ කරුනු සඳහන් කර ඇත .
" අපි 2015 දීත් කරේ ඒක. දින කීයෙන්ද රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීම සිදුකළේ. දින 27න් රුපියල් 10000ක් වැඩි කරා. හැබැයි එයින් 69%ක් ජන්දය දුන්නේ අපිට විරුද්ධව." යැයිද හිටපු අමාත්‍යවරයා පවසයි .
බදු ආදායමෙන් රාජ්‍ය සේවය නඩත්තු කිරීම හැරුණු කළ අනෙකුත් සියලුම කටයුතු සඳහා වැය කිරීමට සිදුව ඇත්තේ 16% බව ද හිටපු මුදල් අමාත්‍යවරයා සඳහන් කළේය.
ලක්ෂ 17ක රාජ්‍ය සේවකයන්ගේ අවශ්‍යතා පමණක් සුරක්ෂිත කරනවා ද නැතිනම් මිලියන 20ක ජනතාව නඟා සිටුවනවා ද කියා තීරණය කළ යුතු කාලය එළැඹ ඇතැයි ද කරුණානායක කීය.
රට ගොඩනගා ජනතාව සවි බල ගැන්විය හැක්කේ, ජනප්‍රිය දේ කිරීමෙන් නොව නිවැරදි දේ කිරීමෙන් බව පැවසූ රවී කරුණානායක, යහ පාලන ආණ්ඩු කාලයේ දී එක්සත් ජාතික පක්‍ෂය ක්‍රියා කළේ ඒ ප්‍රතිපත්තියට අනුව යැයි ද සඳහන් කළේය.
රට බාහිර ලෝකයෙන් හිඟා කෑමට ලක් කළ වසර විසි පහක පමණ වූ දේශපාලන ඉතිහාසය අවසන් කර, රට ස්වයං පෝෂිත කරමින් ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කළ යුතු කාලය එළැඹ ඇතැයි ද, ඒ වෙනුවෙන් සියලු දෙනා එකට එක්ව කටයුතු කළ යුතු යැයි ද හිටපු මුදල් අමාත්‍යවරයා කීය.
ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් සෑම දහ තුන් දෙනෙකුටම එක් රාජ්‍ය සේවකයෙකු සිටින අතර එම තත්ත්වය අනෙකුත් රටවලට වඩා හතර ගුණයකින් වැඩි බව ද පෙන්වා දෙන රවී කරුණානායක, රට-ජනතාව සහ නූපන් අනාගත පරපුර එක්ක අවස්ථාවාදී දේශපාලන නොකළ යුතු බව ද අවධාරණය කර සිටියි.

යුක්රේන යුද්ධය ඉක්මනින් අවසන් කරනවා – පුටින්
යුක්රේනය ආක්‍රමණය කරමින් රුසියානු හමුදාව ආරම්භ කළ ක්‍රියාදාමය හැකි ඉක්මනින් අවසන් කරන බව රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින් පවසනවා. උස්බෙකිස්තානයේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මහතා හමු වූ අවස්ථාවේදී පුටින් මේ බව සඳහන් කළේය.
ෂැංහයි ආර්ථික සහයෝගීතා සමුළුව පසුගිය දිනවලදී උස්බෙකිස්තානයේ සමර්කාන්ද් අගනුවරදී පැවති අතර ඒ සඳහා කාලාපයේ ප්‍රබල රටවල් වන රුසියාව, චීනය, ඉන්දියාව ඇතුළු රටවල් රැසක රාජ්‍ය නායකයන් සහභාගි විය.
පුටින්-මෝදි සාකච්ඡාවේදී යුක්රේන ආක්‍රමණය ප්‍රධාන මාතෘකාවක් බවට පත් වූ අතර යුද්ධය අවසන් කිරීම සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබේ.
යුක්රේන ආක්‍රමණය සම්බන්ධයෙන් ඉන්දීය නායකයා විරෝධය පළකර ඇති අතර ඒ පිළිබඳව ඇමරිකාව ඇතුළු බටහිර රටවල ප්‍රසාදය ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි වෙත හිමිව ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
පසුගිය පෙබරවාරි මාසයේදී රුසියානු හමුදා යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් අනතුරුව රුසියානු – ඉන්දියානු නායකයන් මුහුණට මුහුණ හමු වී සාකච්ඡා පැවැත්වූයේ පළමුවරටයි.
දින දෙකක් තුළදී යුක්රේනය අල්ලා ගැනීමේ අරමුණින් පුටින් සිය හමුදා යුක්රේනය වෙත මෙහෙයෙවූ අතර යුක්රේන හමුදා සාමාජිකයන්ගේ සහ එරට ජනතාවගේ නොපසුබස්නා වීර්යය හමුවේ රුසියාවට බලාපොරොත්තු නොවී තත්වයක් අත්විඳීමට සිදුවිය.
රුසියාවට අයත් ප්‍රහාරක ගුවන් යානා ඇතුළු යුද උපකරණ රැසක් හා අත්දැකීම් සපිරි වටිනා හමුදා නිළධාරීන් ඇතුළු ආරක්ෂක අංශ සාමාජිකයන් රැසක් අහිමි කර ගනිමින් පමණක් නොව සමස්ත ලෝකයෙන්ම එල්ල වූ දැවැන්ත සම්බාධක හමුවේ රුසියානු ආර්ථිකයද පියවර කිහිපයක් පසුපසට රැගෙන යාමට පුටින්ගේ තීරණය හේතු විය.

විෂ හාල් ආනයන පුවත : පට්ටපල් බේගලයක් !
විස සහිත හාල් ලංකාවට ගෙනා බවට ඉරිදා මව්බිම හා ඉරිදා අරුණ පුවත්පත පළකර ඇති පුවත සම්පූර්ණයෙන් අසත්‍ය බවත්, මේ වසරේ ජනවාරි සිට මේ දක්වා පළිබෝධනාශක රෙජිස්ටාර් කාර්යාලයෙන් එවැනි පර්යේෂණයක් සිදුකර නොමැති බවත්, පළිබෝධනාශක රෙජිස්ටාර් කාර්යාලයේ, වැඩබලන පළිබෝධනාශක රෙජිස්ටාර්, ලසන්ත රත්නවීර පෙන්වා දෙයි.
2017 වසරේ සිදුකළ පර්යේෂණයකට අදාළ වාර්තාවක් උපයෝගී කරගනිමින් අදාළ පුවත්පත් එම පුවත සකස්කර ඇති බවත්, එසේ වුවද එහි අන්තර්ගත කරුණු ද දෝෂ සහිත බව ද, රත්නවීර මහතා පවසයි.
මෙවැනි සාවද්‍ය පුවත් හරහා මහජන කැළඹීම් ද ඇතිවිය හැකි බැවින්, එවැනි සංවේදී කරුණු වාර්තා කිරීමේදී අදාළ පාර්ශවයන්ගෙන් නිසි විමසීමක් කරන්නේනම් වඩාත් උචිත බව ද වැඩබලන පළිබෝධනාශක රෙජිස්ටාර්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.
මේ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් ප්‍රකාශ කළ රත්නවීර මහතා පෙන්වා දෙන්නේ මෙය, 2017 වසරේ දී කළ පර්යේෂණයක ප්‍රථිපලයක් බවත් එය නුවර ප්‍රදේශයේ සාම්පල් 68ක් සම්බන්ධයෙන් කළ පර්යේෂණයක ප්‍රථිපල බවයි. එහෙත් එම පර්යේෂණ තොරතුරුද වැරදි ලෙස වාර්තා කර ඇතැයි රත්නවීර මහතා පෙන්වා දෙයි. බැරලෝහ සාමාන්‍යයෙන් පවතින්නේ කුඩා ප්‍රමාණ වලින් නිසා ඒවා මනින්නේ දසලක්ෂයට පංගුව බැගිනි. එහෙත් මෙම පුවත්පත් වාර්තා කර ඇත්තේ එම ප්‍රමාණයන් තියෙන්නෙ සීයට ගණන් වලින් බවයි. එසේ සීයට ගණන්වලින් බැරලෝහ මනින ක්‍රමයක් ලෝකෙ කොහෙවත් හොයාගත නොහැකි බවත් එය ප්‍රායෝගික නොවන බවද වැඩබලන පළිබොධනාශක රෙජිස්ට්‍රාර් ජෙනරාල් පවසයි. පර්යේෂණ වාර්තාව නිසි පරිදි අධ්‍යයනයකින් තොරව වාර්තා කර ඇති බවත්, වැරදි අදහස් ඉස්මතුවන ලෙස තොරතුරු සමජගත් කිරීම නිසා මහජන කැළඹීමක් දක්වා මෙය පරිවර්තනය විය හැකි බවද ඔහු පෙන්වා දෙයි.
2022 ජනවාරි ඉදන් පරීක්ෂා කළ සහල්වලට මෙය අදාළ නොවන්නේ නම් මෙසේ වාර්තා කිරීමේ කිසිදු පදනමක් නොමැති බවද ඔහු පවසයි.
මේ සිදුවීම හා පුවත්පත් වාර්තාව වෙනුවෙන් වැරදි මූලාශ්‍ර ලබාදෙමින් මහජනතාව නොමග යැවීමට කටයුතු කිරීම පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පැමිණිල්ලක් ගොණුකිරීමට කටයුතු කරන බව වෙළෙද, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශයේ ලේකම් සිසිර කොඩිකාර මහතා පවසයි.
ජනාධිපති මාධ්‍ය අංශය

මුදල් වැඩ බලන්න සියඹලා දාලා !
මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති වැඩබලන අමාත්‍යවරයා ලෙස මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පත්කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ කටයුතු කර ඇත .
ජනාධිපතිවරයා දෙවන එලිසබෙත් මහ රැජිනගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වීමට බ්‍රිතාන්‍යය බලා පිටව ගොස් ඇති නිසා මෙම පත් කිරීම කර ඇත.
මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් වැඩ බලන ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙස රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පත් කර ඇත.
ජනාධිපතිවරයා දිවයිනේ බැහැර වීමට ප්‍රථම ඔහු වෙත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම පත් කිරිම සිදු කර ඇති අතර ජනාධිපතිවරයා නැවත දිවයිනට පැමිණෙනතුරු මෙකී පත්වීම් බලාත්මක ය.

ශානුකගේ උත්සාහය සාර්ථකයි : ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් : අපේක්ෂාවට ඩොලර් ලක්ෂ 5 ක් ¡
මහරගම අපේක්ෂා රෝහලේ ඖෂධ මිලදී ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඩොලර් ලක්ෂ පහක චෙක් පතක් ( රුපියල් මිලියන 180කට ආසන්න මුදලක්) ඊයෙ (16) ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත භාර දෙනු ලැබිණ.
ආසියානු ක්‍රිකට් ශූරයන්, ආසියානු දැල් පන්දු ශූරියන් හා පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේ පදක්කම්ලාභීන් අගයමින් ඊයේ (16) කොළඹ සිනමන් ලේක් සයිඩ් හෝටලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් පැවැති උත්සවයේදී මෙම පරිත්‍යාගය සිදු කෙරිණි.
ඖෂධ හිඟය හේතුවෙන් මහරගම අපේක්ෂා රෝහලේ පිළිකා රෝගීන් දැඩි අපහසුතාවකට පත්ව ඇති බව පසුගිය කාල සීමාව තුළ දිගින් දිගටම මාධ්‍ය මගින් වාර්තා කළේය.
ඒ පිළිබඳව ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ජනාධිපති ලේකම් සමන් ඒකනායක දැනුවත් කරන ලද අතර, අදාළ ගැටලුව පිළිබඳ වහාම සොයා බලා කඩිනම් විසඳුම් ලබාදෙන ලෙස මෙහිදී උපදෙස් ලැබිණි.
ඒ අනුව මහරගම අපේක්ෂා රෝහල සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වාර්තාවන්ට අනුව ඖෂධ හිඟයට ප්‍රධාන ගැටළුව මුදල් නොමැතිකම බව හඳුනා ගන්නා ලදී.
මේ පිළිබඳව ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ශානුක කරුණාරත්න විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා සමඟ සාකච්ඡා කර මෙම මුදල් පරිත්‍යාගයට අදාළ සම්බන්ධිකරණ කටයුතු සිදු කළේය. ජනාධිපති මාධ්‍ය ඒකකයේ උත්සාහයට කඩිනමින් ප්‍රතිචාර දැක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ජනාධිපති කාර්යාලය හරහා ඊට සහාය දීමට ඉදිරිපත් විය.
පොරොන්දු වූ පරිදි ආසියානු කුසලානයෙන් පසු එම පරිත්‍යාගය සිදු කිරීමට ඔවුන් කටයුතු කළේය.

ආසියාව දිනූ දසුන් ළඟ තියාගෙන ජනාධිපති කියපු ටික !
ක්‍රිකට් ක්‍රීඩක දසුන් ශානක ඇතුළු කණ්ඩායම ඇෆ්ගන් පරාජය ආසියානු කුසලානය ජයග්‍රහණය කරගන්නට ශක්තියක් කරගත් බවත් එලෙස සිතනවානම් රට ලෝකය ඉදිරියේ ජයග්‍රහණය කරවීම අසීරු කාර්යයක් නොවන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි .
කණ්ඩායමක් ලෙස සාමුහිකව කටයුතු කිරීම ජයග්‍රහණයට ඉවහල් වු බවත් ජනාධිපතිවරයා අවධාරණය කර සිටියි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙම අදහස් පළ කළේ ආසියානු කුසලාන 20යි විස්ස ක්‍රිකට් ශූරතාව සහ දොළොස්වන ආසියානු දැල්පන්දු ශූරතාව හිමිකරගත් ශ්‍රී ලංකා කණ්ඩායම් දෙක සහ පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රිඩාවලියේ පදක්කම්ලාභින් ඇගයීම වෙනුවෙන් ඊයේ (16) පස්වරුවේ කොළඹ සිනමන් ලේක් සයිඩ් හෝටලයේ පැවති උත්සවය අමතමිනි.
ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ ගේ ඉල්ලීම මත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිය සහයෝගය සංකේතවත් කරමින් ආසියානු ශූරතාවය දිනාගත් ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායමේ සාමාජිකාවන් සඳහා එක් ක්‍රීඩිකාවකට රුපියල් මිලියන 02 බැගින් සහ පුහුණුකරුවන් දෙදෙනෙකු සඳහා රුපියල් මිලියන 02 ක බැගින් පිරිනැමීම මෙහිදී සිදු කෙරිණි.
බ්‍රිතාන්‍යයේ බර්මින්හැම් නුවර පසුගියදා පැවැති 22 වැනි පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේදි ශ්‍රී ලංකාව පදක්කම් 4ක් දිනා ගත්තේය. පැරා ක්‍රීඩා අංශයේ කවපෙත්ත වීසිකිරීමේ තරගයෙන් පාලිත බණ්ඩාර රිදී පදක්කම දිනා ගත් අතර මීටර් 100 ඉසව්වෙන් යුපුන් අබේකෝන්, කිලෝ ග්‍රෑම් 57 කාන්තා මල්ලවපොර තරගයෙන් නෙත්මි අහිංසා පෝරුතොට හා බර ඉසිලීමේ කිලෝ ග්‍රෑම් 55 බර පන්තියෙන් දිලංක ඉසුරු කුමාර ලෝකඩ පදක්කම් දිනා ගනු ලැබීය.
එම රිදී පදක්කම් ලාභියාට ක්‍රිඩා අරමුදලින් රුපියල් මිලියන 10ක්ද, ලෝකඩ පදක්කම්ලාභියකුට රුපියල් මිලියන 05 ක් ද මෙහිදී පිරිනැමූණු අතර ඔවුන්ගේ පුහුණුකරුවන් සඳහා එම මුදලින් 25%ක වටිනාකමකින් යුත් ත්‍යාග මුදලක් පිරිනැමිණි.
ක්‍රීඩා අමාත්‍යාංශය සහ ක්‍රීඩා සංගම්වල මැදිහත්විමෙන්, ඩයලොග් ආසියාටා නිල අනුග්‍රාහකත්වයෙන් සිනමන් හොටෙල් ඇන්ඩ් රිසෝට් සත්කාරක අනුග්‍රාහකත්වයෙන් මෙම ඇගයීම් උළෙල සංවිධානය කෙරිණි.
මාතෘ භූමිය ආසියාවේ ඉහළින්ම ඔසවා තැබු සියලු ක්‍රිඩක ක්‍රීඩිකාවන්ට සිය ප්‍රණාමය පුද කළ ජනාධිපතිවරයා ක්‍රීඩාවේ ජයග්‍රහණයේ කොටසක් දේශපාලනයට ලබාගත් යුගය තමන් නිමා කළ බවත් මෙවර 200% ක්ම ජයග්‍රහණය ඊට කැපවූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇතුළු සියලුදෙනා හිමිවන බවත් සඳහන් කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේද පැවසීය .
අද අපි තරඟ වලට ඉදිරිපත් වෙලා ජයග්‍රහණ ලබාගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සම්මාන ලබා දී උපහාර පුද කරනවා. පළමුවෙන්ම නෙට්බෝල් කණ්ඩායම. ගයන්ජලී අමරවංශ සමඟ ඒ නෙට්බෝල් කණ්ඩායම ආසියාවේ ශූරතාවය දිනා ගෙන තිබෙනවා. මම ඒ සියලුදෙනාට ස්තුතිය පුද කරන්න කැමතියි. ඔබට තිබෙන අඩුපාඩු ගැන මට දැනගන්න ලැබුණා. නැවත එසේ නොවන ලෙස අපේ යුතුකම් ඉටු කරන බව ප්‍රකාශ කරන අතර ඒ සඳහා මම ඉදිරියේ දී වගබලා ගන්නවා. යම් කිසි ක්‍රීඩාවක් සංවර්ධනය කරනවා නම් සම්පූර්ණයෙන්ම ඊට කැපවිය යුතුයි.
මීළඟට තිබෙන්නේ ක්‍රිකට් ක්‍රීඩාව. දසුන් ශානක ප්‍රමුඛ කණ්ඩායමට මම ස්තූතිවන්ත වෙනවා. ඔවුන් මෙවර ආසියානු තරගාවලියේ ඉදිරියට පැමිණ තිබෙනවා. ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ මෑත ඉතිහාසය දෙස බැලූ විට මේ ජයග්‍රහණය අපට ඉතා වටිනා ජයග්‍රහණයක්.
අපේ මලල ක්‍රීඩා අංශයෙන් මේ වගේම අපේ ක්‍රීඩකයෝ හතර දෙනෙක් ජයග්‍රහණ සනිටුහන් කර තිබෙනවා.ඒ සියලු දෙනාටම මම ප්‍රශංසා කරනවා.
මේ දෙස බැලූවිට අපිට කරුණු දෙකක් සඳහන් කළ හැකියි. ක්‍රිකට් ක්‍රීඩාවෙන් අපි පැරදුණේ ඇෆ්ගනිස්ථානයට. ඇෆ්ගනිස්තානයට පැරදුණා කියලා අපි ක්‍රීඩාවෙන් අයින් වුණේ නෑ. දසුන් එම පරාජයෙන් ප්‍රයෝජන ගත්තා. ඉදිරියට යාමට එය ශක්තියක් කරගත්තා. මෙය ක්‍රිකට් කණ්ඩායමට විතරක් නෙවෙයි, දසුන් ශ්‍රී ලංකාවටම හොඳ උදාහරණයක් දීලා තියෙනවා.
දෙවනුව නෙට්බෝල් ක්‍රීඩාව. අපිට ලෝක ශූරතා දිනාගත හැකි බව ඔබ පෙන්වා තිබෙනවා. අපිට කිසිදු බියක් නැතිව ලෝකය සමග තරග කළ හැකියි. අපි පුරුදු වී තිබෙන්නේ ලෝකය සමග තරඟ කරන්න නෙවෙයි. ලෝකයේ තිබෙන නීති අපේ වාසියට වෙනස් කරගන්න. ක්‍රිකට් නෙට්බෝල් කුමන ක්‍රීඩාවට ගියත් ලෝකයේ තියෙන ඒ නීති රීති අනුව තරග කළොත් අපට ලෝකය දිනා ගත හැකියි. ඒ විශ්වාසය ඔබ සියලු දෙනාම ලබාදී තිබෙනවා. ඒ නිසා රට වෙනුවෙන් සියලු දෙනාටම මම ස්තුති කරනවා. විශේෂයෙන්ම මේ ජයග්‍රහණ ඔබ සියලු දෙනාටම හිමියි.
ඔබ සියලු දෙනා ඔබේ වගකීම උපරිමයෙන් ඉටු කර තිබෙනවා. ඔබ මේ රටින් ලැබූ අධ්‍යාපනය වැනි වරප්‍රසාද වෙනුවෙන් ණය ගෙවා ඇති බව කිව්වොත් නිවැරදියි. ඔබ මේ රට දාල ගියේ නැහැ නෑ. විශ්වාසය නැති කරගත්තේ නෑ. ඔබට අදාළ කාර්ය නිසි ලෙස ඉටු කර ගෞරවය රැගෙන නැවත මේ මේ රටට ආවා. අද වගේ අර්බුදකාරී අවස්ථාවක අපට රටෙන් ගන්න තියෙන්නෙ මොනවද කියල හිතන්න නරකයි. අප සිතිය යුත්තේ අපෙන් රටට නැවත මොනවද දෙන්න පුළුවන් කියලයි. එම පාඩම තමයි ඔබ මේ රටට උගන්වා තිබෙන්නේ.
ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ, ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසිංහ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි පෙරේරා, දැල්පන්දු සංගමයේ සභාපති වික්ටෝරියා ලක්ෂ්මි ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

යුක්‍රේන හමුදාව ලංකා සිසුන් 07ක් බේරාගෙන !
යුක්‍රේන හමුදාව Kharkiv ප්‍රදේශයේ දී ශ්‍රී ලාංකේය සිසුන් හත්දෙනෙකු බේරාගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසයි .
විදෙස් මාධ්‍ය වාර්තා කර ඇති ආකාරයට , රුසියානු ග්‍රහණයෙන් මුදාගත් ප්‍රදේශයේ සිටි මෙම සිසුන් බේරාගත් බව යුක්රේන ජනාධිපති Volodymyr Zelenskyi පවසා ඇත .
ඔවුන් යුක්රේන කුප්යන් වෛද්‍ය විද්‍යාලයේ(Kupyan Medical College) ඉගෙනුම ලබමින් සිටි සිසුන් පිරිසක් බවත් විදෙස් මාධ්‍ය වාර්තා වල දැක්වෙයි .
එමෙන්ම, යුක්රේන ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ, රුසියානු හමුදාව සාමකාමී පදිංචිකරුවන්, විදේශිකයන් ඇතුළු මිනිසුන් රඳවාගෙන වධ හිංසා කර ඇති බවයි.
පසුගිය මාර්තු මාසයේ සිට රඳවාගෙන සිටි බව පැවසෙන, බේරාගත් ශ්‍රී ලාංකික වෛද්‍ය සිසුන් ප්‍රතිකාර සඳහා යොමුකර තිබෙන බවත් වාර්තා වෙයි .
යුක්රේන නියෝජ්‍ය අභ්‍යන්තර කටයුතු අමාත්‍ය Yevhen Yenin පසුගියදා ප්‍රකාශ කළේ, ආසියානු රටක සිසුන් පිරිසක් යුක්‍රේන රජයේ පාලන ප්‍රදේශයට යාමට උත්සාහ කළ නමුත් රුසියානු හමුදා ඊට ඉඩ නොදී රඳවාගෙන සිටින බවය.

රාජ්‍ය අමාත්‍ය පාටියේ වෙඩිල්ලක් !
පසුගිය සතියේ රාජ්‍ය ඇමතිවරුන් ලෙස ජනාධිපති ඉදිරියේ දිවුරුම් දුන් අයගෙන් පිරිසක් වෙනුවෙන් ජනාධිපතිගේ සොහොයුරෙකුගේ නිවසේ රාත්‍රි භෝජන සංග්‍රහයක් සංවිධානය කර තිබිණි.
සියලු රසමුසුවලින් පිරී තිබුණු සාදයට ඇඟ රත්වෙන දියරවලින් අඩුවක් තිබුණේ ද නැත.
සාදයට සහභාගි වූ ඇතැම් රාජ්‍ය ඇමැතිවරුන් පදමට ‘ආතල්’ ගනිමින් චූන් වෙවී සිටියදී රත්වන දියර පදමට පාලනය කර ගන්නට නොහැකි වූ රාජ්‍ය ඇමතිවරයෙකු ඔහුගේ ගිනිඅවිය එළියට ගෙන අහසට වෙඩිල්ලක් තිබ්බේ ය.
වෙඩිල්ල තිබ්බේ නිවස තුළ ම බැවින් එය වහලයේ වැදී සීලිමේ කොටසක් කඩාවැටී සාදයට ඇරැයුම් ලැබ පැමණි සිටි අයෙකුගේ ඔළුවට කඩා වැටී තුවාල සිදුවිය.
ඒ පුද්ගලයා දිවුරුම් දුන් රාජ්‍ය ඇමතිවරයෙකු නොව ජනාධිපති සොහොයුරාගේ සමීපතම මිතුරෙකි.
සොහොයුරා කඩිමුඩියේ මිතුරා ප්‍රතිකාර සඳහා වෛද්‍යවරයෙකු වෙත යොමු කළේ ය.
පදම වැඩිවන විට මොළය වැඩෙන්නේ නැත.
-Mawbima

කිසිදේකට බය වෙන්න එපා : පොලිසියේ හමුදාවේ 98%ක් අපේ - ෆොන්සේකා
පොලිසියෙන් සියයට අනූ අටක් හමුදාවෙන් සියයට අනූ අටක් විශ්‍රාමික රණ විරුවන්ගෙන් සියයට සීයක් සිටින්නේ අරගලය පැත්තේ බවත් මේ දේශපාලන කෙළි සියල්ලම අවුරුදු දෙකකින් නිමාවෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසයි.
ඔහ මේ බව අවධාරණය කර සිටියේ, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ඊයේ (16) හයිඩ් පිටියේ සංවිධානය කළ විරෝධතා රැළිය අමතමිනි.
''පොලිසියෙන් සියයට අනූ අටක් හිටන් ඉන්නෙ අරගලය පැත්තේ. තනතුරු ලාභ අපේක්ෂාවෙන් ඉන්න පොලිසියෙ සුළුතරය මූණු අපි දන්නවා. ඔයගොල්ලන්ගෙ කාලෙ තව අවුරුදු දෙකයි. අපි දැක්කා වාස් ගුණවර්ධන කොහොමද නැටුවෙ. අනුර සේනානායක කොහොමද නැටුවෙ කියාල. කොහොමද ඒ අය ගෙදර ගියෙ කියලත් දැක්කා.“
''කිසි දේකට බය වෙන්න එපා. නැවත කියනවා… පොලිසියෙන් සියයට අනූ අටක් අපි එක්ක ඉන්නවා. හමුදාවල සියට අනූ අටක් අපි එක්ක ඉන්නවා. හමුදාවෙන් විශ්‍රාම ගිය සියයට සීයක් අපි එක්ක ඉන්නවා. '' ෆීල්ඩ් මාර්ෂල්වරයා පැවසිය.
මෙම රැලියට සමගි ජනබලවේගයේ නියෝජ්‍ය නායක ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් එහි දේශපාලන මණ්ඩල සභික, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ, පොහොට්ටුවෙන් වෙන් වී ගිය ඩලස්ගේ 'නිදහස' කණ්ඩායම නියෝජනය කරන නීතිඥ වසන්ත යාපා බණ්ඩාර ඇතුළු දේශපාලකයින් මෙන්ම වෘත්තීය සමිති නායකයින් වන වසන්ත සමරසිංහ, ජෝශප් ස්ටාර්න් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

නිහඬ බහුතරයේ සහය මටයි : ජනාධිපති රනිල් ජාත්‍යන්තරයට කියයි !
තමන් නිවැරදි දේ ක්‍රියාත්මක කළ බවත් ඒ නිසා නිහඬ බහුතරයේ සහය සහ විශ්වාසය තමන් සතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි .
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ , ඔස්ට්‍රේලියානු ABC නාලිකාව සමග පැවැති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග මෙම සම්මුඛ සාකච්ඡාව පැවැත්වුයේ ඔස්ට්‍රේලියානු ABC නාලිකාවේ දකුණු ආසියානු වාර්තාකාරිනී අවානි ඩයස්ය.
ශ්‍රී ලාංකික මාධ්‍යවේදිනියක වන මුදිතා ඩයස් සහ තිලක් ඩයස් දෙදෙනාට දාව උපන් අවනී ඩයස් ඔස්ට්‍රේලියානු ABC නාලිකාවේ ප්‍රධාන ප්‍රවෘත්ති නිවේදිකාවක ලෙස කටයුතු කළ පළමු ශ්‍රී ලාංකික සම්භවයක් සහිත කාන්තාව ද වේ.
අවානි ඩයස් -
"ජනාධිපතිතුමනි, ඔබ බලයට පැමිණිමෙන් පසුව බලධාරීන් විරෝධතාකරුවන් ඉලක්ක කරගනිමින් අත්අඩංගුවට ගැනීම් සිදුකරනවා. එවැනි දේ තුළින් ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණ දී ඇති අර්බුදයට විසඳුමක් ලැබෙයි ද?"
ජනාධිපති -
"මම හිතන්නේ නෑ රජයේ නිවාස ගිනි තැබීමෙන් අපිට මේ අර්බුදය නිමා කිරීමට හැකි බව. අපි සියල්ලන්ම එය තේරුම් ගත යුතුයි."
"ඔබ හිතනවාද ජනාධිපති මන්දිරය අත්පත් කරගැනීමෙන්, මගේ නිවස ගිනිතැබීමෙන් හෝ අග්‍රාමාත්‍යවරයාගේ නිවස අල්ලා ගැනීමෙන් පාර්ලිමේන්තුව අල්ලා ගැනීමට පැමිණිමෙන් අපේ ප්‍රශ්නවලට විසඳුමක් ලැබේවි කියලා."
අවානි ඩයස් -
"ඔබ හිතනවා ද පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමෙන් හෝ මර්දනයෙන් ප්‍රශ්න විසඳිය හැකි බව ?"
ජනාධිපති -
"අපි අත්අඩංගුවට ගත්තේ නීතිය කඩකළ පුද්ගලයින් පමණයි. මම නොවේ එය කරන්නේ. එය පොලීසියට භාරදුන් කාර්යයක්. හරියට ඔබේ රටේ සිදුවනවා වගේ. පොලීසිය විසිනුයි චෝදනා ගොනුකරන්නේ. සියල්ල නීත්‍යානූකූලව සිදුකර තිබෙනවා."
අවානි ඩයස් -
"ජීවන්ත පියතුමා ඇතුළු විරෝධතාකරුවන්, අන්තර් විශ්වවිද්‍යාල සංගමයේ වසන්ත වැනි බොහෝ දෙනෙක්...?"
ජනාධිපති -
"මම දන්නවා ඔබ කතාකරනු ලැබු කණ්ඩායම් ගැන. ඔබ සුළුතර කණ්ඩායමකගේ ප්‍රශ්න මා වෙත යොමුකරන්නේ නම්, මම පිළිතුරු ලබාදෙන්නේ බහුතරය වෙනුවෙන්."
අවානි ඩයස් -
"ඔබට තේරුම් ගත හැකි ද බහුතරයක් මේ වනවිට පීඩාවට පත්වී ඇති බවත් සහ මේ ගැන කෝපයෙන් පසුවන බවත්...?"
ජනාධිපති -
"මම දන්නවා රටේ බහුතරයක් පීඩාවට පත්වී සිටින බව. ඔවුන්ට විසඳුමක් අවශ්‍ය බව."
අවානි ඩයස් -
"ඔබට ඔබේ රටේ බහුතරයක සහාය පවතිනවා යැයි සිතනවා ද ?"
ජනාධිපති -
''ඔව්, මට බහුතරයේ සහාය සහ රට තුළ සහායත් පවතිනවා. මම තමයි නිවැරදි දේ ක්‍රියාත්මක කළේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යා යුතුයි වගේ දේවල්. ඒ නිසයි ඔවුන්ගේ විශ්වාසය සහ සහාය මට හිමිව ඇත්තේ. ඒකයි ඔවුන් මා පිළිබඳ විශ්වාසය පළකරන්නේ. මට එය සිදුකළ හැකියි කියා."

ගෑස් කළු කළ සුදු චරිත !










මධ්‍යම සංස්කෘතික අරමුදලේ ගොඩනැගිලි මාරුවෙන් : කෝටි ගණනක පාඩුවක් !
මධ්‍යම සංස්කෘතික අරමුදල පසුගිය කාලයේදී කිසිදු විචාරයකින් තොරව තැන තැන පෞද්ගලික ගොඩනැගිලි කුලියට ගැනීමෙන් රුපියල් කෝටි ගණනක පාඩුවක් සිදුවී ඇතැයි ජාතික විගණන කාර්යාලය පවසයි.
මධ්‍යම සංස්කෘතික අරමුදලේ ප්‍රධාන කාර්යාලය අලුත්වැඩියා කරන තෙක් පවත්වාගෙන යෑම සඳහා යැයි පවසමින් සෙත්සිරිපාය දෙවැනි අදියරේ හතරවෙනි මහලේ "ඩී" පර්යන්තය කුලී පදනම ලෙස ලබාගෙන (2017 වර්ෂයේ සිට ) එම ස්ථානය වෙනුවෙන් රුපියල් කෝටි 7කට ආසන්න මුදලක් වැයකර ඇතත් එම කාර්යාලය නැවතත් පරණ ගොඩනැගිල්ලටම පසුගිය වර්ෂයේදී අලුත්වැඩියාවකින් තොරවම රැගෙන ගොස් ඇතැයි ජාතික විගණන කාර්යාලය කළ විමර්ශනයකදී තොරතුරු අනාවරණයවී ඇත.
මෙම කටයුත්තේදී ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කර නොතිබූ බවද එම කාර්යාලය පවසයි.
තවද අරමුදලේ සියලු අංශ පැරැණි ගොඩනැගිල්ලේ පවත්වාගෙන යෑමට ප්‍රමාණවත් නොවන බව පවසමින් එහි අංශ කීපයක් කොළඹ 7 බුලර්ස් පටුමගේ පෞද්ගලික ස්ථානයකට 2021 මාර්තු 16 වැනිදා රැගෙන ගොස් තිබූ අතර එම ස්ථානය සඳහාද අරමුදල කුලී මුදල් ලෙස රුපියල් පනස් ලක්ෂයකට වැඩි මුදලක් වැයකර තිබිණ. පසුව එම අංශද මාස 8 ක කාලයකින් පසු පරණ ගොඩනැඟිල්ලටම නැවතත් රැගෙන ගොස් ඇති බව විගණන විමර්ශනවලදී හෙළිවී ඇත.
ඉන් අනතුරුව මධ්‍යම සංස්කෘතික අරමුදලේ සැපයුම් අංශය සඳහා නාරාහෙන්පිට ප්‍රදේශයේ පෞද්ගලික ගොඩනැඟිල්ලක මහල් දෙකක් ලබාගෙන තිබූ අතර එම මහල් දෙක සඳහා කුලී මුදල් ලෙස රුපියල් තිස් හය ලක්ෂයක් ගෙවා තිබුණද එම අංශය පසුගිය පෙබරවාරි මාසය තෙක්ම ඒ ස්ථානයට රැගෙනගොස් නොතිබුණු බව හෙළිවී ඇත.
පෞද්ගලික අංශයෙන් මෙලෙස ගොඩනැගිලි කුලියට ලබා ගැනීමේදී රජයේ තක්සේරුකරුගෙන් තක්සේරු වාර්තා පවා ලබාගෙන නොතිබූ බවද විගණන කාර්යාලය පවසයි.
අරමුදලට අයත් ගොඩනැගිල්ල අලුත්වැඩියා කරන තෙක් යැයි කරුණු දක්වමින් 2017 වර්ෂයේ සිට වරින් වර ගොඩනැගිලි කුලී පදනමට භාවිත කර තිබුණද කාර්යාලය පිහිටි ඉඩම 2022 මාර්තු වන විටත් පවරා ගැනීමට කටයුතු කර නොතිබූ බව විගණන නිලධාරීන්ට නිරීක්ෂණයවී ඇ
ත. මේ තොරතුරු සඳහන් වී ඇත්තේ මධ්‍යම සංස්කෘතික අරමුදලේ කටයුතු සම්බන්ධයෙන් ජාතික විගණන කාර්යාලය නිකුත් කර ඇති විශේෂ විගණන වාර්තාවේය.
-Lankadeepa

අදානි ධනවතුන්ගේ ලැයිස්තුවේ දෙවැනි තැනට
ආසියාවේ ධනවත්ම පුද්ගලයා වන ඉන්දියාවේ ගෞතම් අදානි සිය වත්කම් තවදුරටත් ඉහළ නංවාගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව ලොව ධනවතුන්ගේ ලැයිස්තුවේ තවත් පියවරක් ඉදිරියට තබමින් දෙවැනි ස්ථානයට පත්ව තිබේ.
ඔහුට වඩා ඉදිරියෙන් සිටින්නේ ඇමරිකානු ඩොලර් බිලියන 273.5 ක වත්කමක් සහිත, ටෙස්ලා සමාගමේ හිමිකරු ඊලොන් මස්ක් පමණි.
මෙතෙක් දෙවැනි ස්ථානයේ පසු වූ, ඇමසන් හිමිකරු ජෙෆ් බොසෙස් තෙවැනි ස්ථානයට පත්ව ඇති අතර ඔහුගේ වත්කම ඇමරිකානු ඩොලර් බිලියන 151.9 ක් වේ.
අදානි සමූහයේ හිමිකරු වන ගෞතම් අදානි සතු සමස්ත වත්කම් ප්‍රමාණය 155.7 ක් ලෙසයි සටහන් වෙයි.

මෛත්‍රීට උසාවියෙන් නොතීසි !
ආරක්ෂක අමාත්‍යවරයාව සිටිමින් පාස්කු ඉරිදා තස්ත්‍ර ප්‍රහාරය පිළිබඳ තොරතුරු දැන දැනත් එය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීම සඳහා ලබන ඔක්තෝබර් මස 14 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසට නියෝග කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට අද (16) නොතීසි නිකුත් කළේය.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පාදයක් අහිමි වූ යේසුරාජ් ගනේෂන් සහ සිරිල් ගාමිණී පියතුමා අධිකරණය හමුවේ ඉදිරිපත් කළ පෞද්ගලික පැමිණිල්ලක් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා මෙන්ම මෙම නියෝගය නිකුත් කළේය.
ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මගින් අධිකරණයට ඉදිරිපත් කල පෞද්ගලික පැමිණිල්ලක් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා ඒ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීම සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට මෙලෙස නොතීසි නිකුත් කර ඇත.

රටම ආදරය කරන මේ රාජපක්ෂ කවුද?
ආසියනු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය නිමා වුනේ ශ්‍රී ලංකා ක්‍රිකට් පිටියට තවත් වීරයන් කිහිප දෙනෙකුම එක් කරමිනි. ඒ අතරින් ඉදිරියෙන්ම සිටින්නේ මැදපෙළ පිතිකරු භානුක රාජපක්ෂය.
කොළඹ රාජකීය විද්‍යාලයෙන් ක්‍රිකට් පිටියට අත්පොත් තැබූ භානුක රාජපක්ෂ ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම නියෝජනය කිරීමට 2009 වසරේදී අවස්ථාව උදා කරගත්තේය
එම වසරේදීම ඔස්ට්‍රේලියා යොවුන් කණ්ඩායමට එරෙහිව පන්දු 111කදී රැස්කළ ලකුණු 154, භානුකගේ ක්‍රිකට් අනාගතය පිළිබඳව කියාපාන කදිම සාධකයක් බවට පත්විය.
එම දක්ෂතා නිසා 2010දී යොවුන් ලෝක කුසලානයට ක්‍රීඩා කිරීමේ අවස්ථාව උදාකරගත් භානුක එම තරඟාවලියේදී සුපිරි ඉනිම් කිහිපයක්ම ක්‍රීඩා කළේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට සුබ පණිවිඩයක් එක් කරමිනි. යොවුන් කණ්ඩායමේදී දැක්වූ දක්ෂතා අනුව භානුක නුදුරේදීම ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරනු ඇතැයි ක්‍රිකට් විචාරකයින් අනාවැකි පළ කළ ද ඔහුට ජාත්‍යන්තර ක්‍රිකට් වරම් දිනාගන්නට තවත් වසර 9ක් බලා සිටින්නට සිදුවිය.
2019 වසරේදී පකිස්ථානයට එරෙහිව ලාහෝර් නුවරදී ජාත්‍යන්තර විස්සයි විස්ස වරම් දිනාගන්නට භානුක සමත්වුණේ එම සංචාරය ජේෂ්ඨ ක්‍රීඩකයින් රැසක් ප්‍රතික්ෂේප කිරීමත් සමඟයි.
එම තරගාවලියේ තමන්ගේ හැකියාවන් ගැන තේරීම් කමිටු සාමාජිකයන්ගේ දෙනෙත් විවර කරවූ භානුක තමන් විස්සයි විස්ස ක්‍රිකට් පිටියට නැතිවම බැරි ක්‍රීඩකයෙක් බව අවස්ථා කිහිපයකදීම ඔප්පු කර පෙන්විය.
ඉන් වසර දෙකකට පසුව ජාත්‍යන්තර එක්දින වරම් දිනාගත් භානුක එක්දින කණ්ඩායමේද සිය ස්ථානය තහවුරු කරගැනීමට සමත්විය.
ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම පාරජයන් රැසකට මුහුණ දී දුෂ්කර අවධියක් ගෙවමින් සිටි අවදියේදී කණ්ඩායමට එක්වූ භානුක ඉන් ගොඩ ඒම සඳහා මහගු පිටුවහලක් සපයමින් සිටියි. 2021 ලෝක කුසලාන විස්සයි ක්‍රිකට් තරගාවලිය භානුකගේ ක්‍රිකට් දිවියේ තීරණාත්මක සංධිස්ථානයක් විය.
ඔහු එම තරගාවලියේදී තමන් අර්ධ ශතකයක් සමඟින් තරගාවලිය පුරා ලකුණු 155ක් රැස් කරමින් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ අනාගත තරුවක් බවට ඉඟි පළ කළේය. එම දක්ෂතා නිසාම IPL වෙන්දේසියේදී ද භානුකට ඉහළ මිලක් හිමිවිය.
මංගල IPL තරගාවලියේදී පන්ජාබ් කිංස් කණ්ඩයම නියෝජනය කළ භානුක විස්සයි ක්‍රිකට් පිටියේ තමන්ට හිමි ස්ථානය ගැන ලෝකයට කියන්නට සමත්වුනේ තරගාවලිය පුරා තරග 9කදී 159.69ක ලකුණු ලබාගැනීමේ දළ වේගයක් රඳවා ගනිමින් ලකුණු 206ක් රැස් කරමිනි. එපමණක් නොව ලෝකය වටා විස්සයි විස්ස ලීග් තරගාවලි රැසක් නියෝජනය කළ භානුක අබුඩාබි T10 තරගාවලියේදීද කැපී පෙනෙන දක්ෂතා ප්‍රකට කළේය.
දේශීය ක්‍රිකට් පිටියේදී NCC,BRC සහ පොලිස් ක්‍රීඩා සමාජ නියෝජනය කළ භානුක මෙවර ආසියානු කුසලානයට එක්වුණේ බාධක රැසක් පසුකරමිනි.
ශාරීරික යෝග්‍යතාව ගැන ඔහුට එල්ල වූ විවේචන නිසා තරගාවලි රැසක්ම අහිමි වූ අතර එම සියලු විවේචනවලට භානුක මේවර පිත්තෙන් ප්‍රතිචාර දක්වන්නට සමත්විය.
මෙවර ආසියානු කුසලානයේ අවසන් මහා තරගයේ වීරයා බවට පත් වූ භානුක අවසන් මහා තරගයේදී නොදැවී ලකුණු 71ක් රැස්කළේ ගිලිහෙමින් තිබු ජයග්‍රහණය ශ්‍රී ලංකාව දෙසට නතු කරමිනි. ඔහු තරගාවලිය පුරා ලකුණ 191ක් රැස්කළේ ලකුණු 47.75ක සාමාන්‍යයක් රඳවා ගනිමිනි. ඔහුගේ තරගයකදී ලකුණු ලබාගැනීමේ දළ වේගය 149.21ක් ලෙස සටහන් විය.
අවසන් මහා තරගයේදී ක්‍රීඩා කළ ඉනිම ගැන අදහස් පළකරමින් භානුක පැවසුවේ එය තම ක්‍රිකට් දිවියේ ක්‍රීඩා කළ විශිෂ්ටම ඉනිම් අතරින් එකක් බවයි. එමෙන්ම ඩුබායි නුවරදී ප්‍රේක්ෂකයින් ලබාදුන් සහාය පිළිබඳවද භානුක සිහිපත් කළේය. පිතිකරණ පුහුණුකරු නවීඩ් නවාස් ලබාදුන් සහාය සිහිකළ භානුක පැවසුවේ පෞද්ගලික දක්ෂතාවලට වඩා කණ්ඩායමක් ලෙස නැගී සිටීම ජයග්‍රහණයේ රහස බවයි.
භානුකගේ අවසන් මහා තරගයේ ඉනිම ගැන අදහස් පළකරමින් ක්‍රිකට් විස්තර විචාරක ෆර්වීස් මහරූෆ් පැවසුවේ ඔහුගේ අත්දැකීම් සහ පිතිකරුවෙකු ලෙස තිබෙන හැකියාව භානුක ලෝකයට පෙන්වූ බවයි. භානුක අවසන් තරඟයේ ක්‍රීඩා කළ ඉනිම තමන් දුටු භානුකගේ විශිෂ්ටම ඉනිම බව මහරූෆ් පවසයි. වැඩිදුරටත් අදහස් දැක්වූ මහරූෆ්
"වගකීම කරට අරන් ක්‍රීඩා කරන්නට තමන්ට හැකි බව භානුක හොඳට පෙන්නුවා. මට සිහිපත් වුනේ ඔහු 2019 වසරේදී පකිස්ථානයට එරෙහිව ක්‍රීඩා කරපු විදිහ. මම කියන්න කැමති අවසන් මහා තරඟයේ භානුකගේ ඉනිම විශිෂ්ටම විස්සයි විස්ස ඉනිමක් බව."
එමෙන්ම හිටපු ශ්‍රී ලංකා පුහුකරු මෙන්ම වත්මන් එංගලන්ත ඩර්බිෂයර් ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු මිකී ආතර් භානුකගේ දක්ෂතා ගැන මෙලස අදහස් පළ කළේය.
"භානුක කියන්නේ තරග දිනවන්නෙක්. ඔහු ලොකු පහරවල් සෙල්ලම් කරන්න ආසයි. එයා තරගය තමන්ගේ අතට ගත්තා. ඒ වගේමයි ඔහු ඉතාම වේගයෙන් කඩුළු අතර දුවනවා අපි දැක්කා. ඒක සුබවාදී කරුණක්."
BBC සිංහල
Page 277 of 462