V2025

පුවත්

ඉස්සරහට ගොයිං පයිං : අවම බස් ගාස්තුව රුපියල් 30- 35 ක් වීමේ අවධානමක් !

සිපෙට්කෝ සහ ලංකා IOC විසින් සිදුකළ මහා පරිමාණ ඉන්ධන මිල ඉහළ දැමීම හමුවේ පොදු ප්‍රවාහන සේවා ගාස්තු ද අහස උසට යාමේ තත්ත්වයක් උද්ගතව ඇත.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සමස්ත ලංකා පෞද්ගලික බස්රථ සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් පවසා ඇත්තේ ඉන්ධන මිල ඉහළ යාමත් සමග බස් ගාස්තුව 60%කින් පමණ ඉහළ දැමීට සිදුවන බවයි.

ඒ අනුව අවම බස් ගාස්තුව රුපියල් 30ත් 35ත් දක්වා ඉහළ දැමීමට සිදුවන බව ඔහු අවධාරණය කර ඇත.

මාධ්‍යට අදහස් දක්වමින් සමස්ත ලංකා පෞද්ගලික බස්රථ සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් පවසා ඇත්තේ බස් ගාස්තුව ඉහළ නොදැමීමට නම් පෞද්ගලික බස් රථ සඳහා රජයෙන් යම්කිසි සහනයක් ලබාදිය යුතු බවයි.

“සමහර නගරවල තියෙන්නේ IOC පිරවුම්හල් පමණයි. සමහර නගරවල සිපෙට්කෝ පිරවුම්හල් තිබුණත් තෙල් නොමැතිකම නිසා අපිට සිද්ධ වෙනවා IOC පිරවුම්හලෙන් ඩිසල් ලබාගැනීමට. ඊයේ දිනයෙදීත් අපි එක කළා අද දිනයෙදීත් ඒක කරන්න වෙනවා. එතකොට මෙරතරම් ප්‍රමාණයකින් රුපියල් 93කින් ලීටරයක මිල ඉහළයාම පාදක කරගෙන බස්ගාස්තු සංශෝදනය 60%කින් වගේ ඉහළ යන්න ඉඩකඩ තියෙනවා. රුපියල් 30ක අගයකින් බස් ගාස්තු වැඩි වෙනවා. අවම බස් ගාස්තුව රුපියල් 30ත් 35ත් අතර අගයකින් වැඩිකරන්න අපිට සිද්ධ වෙනවා. ඒ නිසා අපි රජයට කියනවා වහාම ක්‍රියාත්මක වෙන පරිදි අද හෝ හෙට පෞද්ගලික බස් කර්මාන්තකරුවන්ට ඩීසල් සහනාධාරය ලබා දීම සිදු කළ යුතුයි.”

මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසා ඇත්තේ ලංගම හරහා ඩීසල් ලබාදීමේ ක්‍රමවේදයක් සකස් කළහොත් මිල සංශෝධනයක් සිදු කිරීමට අනවශ්‍ය බවය.

මචං , තාත්තවයි බාප්පවයි ඇමරිකාවට ගෙන්න ගන්න : දෙරණ නිවේදකයා ජාත්‍යන්තරයට !

ඔබේ පියා සහ බාප්පා කඩිනමින් ඇමරිකාවට ගෙන්වා ගන්නා ලෙස ආයාචනය කරමින් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ගේ පුතා වන මනෝජ් රාජපක්ෂ වෙත ප්‍රසිද්ධ වීඩියෝවක් නිකුත් කිරීමට දෙරණ මාධ්‍ය ජාලයේ ජනප්‍රිය නිවේදකයකු වන විශ්ව ලංකා කටයුතු කර ඇත.

මේ වන විට එම වීඩියෝව සමාජ මාධ්‍ය තුළ දැඩි අවධානයක් දිනාගෙන ඇත.

" තාත්තේ, ඔයාට ලංකාව පාලනය කරන්න බෑ. බාප්පවත් එක්කගෙන ආපහු ඇමරිකාවට එන්න.. සර්ගේ පුතා දකිනතුරු ශෙයා කරන්න " යන ශීර්ෂයෙන් යුතුව එම වීඩියෝව නිකුත්කර ඇත.

wiswa

එහිදී ඔහු වැඩිදුරටත් පවසා සිටින්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති මිනිසුන්ගෙන් බැනුම් ඇසිය යුතු කෙනෙකු නොවන බවත් මේ වන විට බැසිල් රාජපක්ෂ රටම බංකොලොත් තත්වයට පත් කර ඇති හෙයින් ඉතිරි වී තිබෙන දෙයින් හෝ ශ්‍රී ලංකාවාසීන්ට දුකක් කරදරයක් නැතිව ජීවත් වීමට නම් වහාම බැසිල් රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අමෙරිකාවට ගෙන්වා ගන්නා ලෙසයි.

විශ්ව ලංකා දෙරණ මාධ්‍ය ජාලයේ ජනප්‍රිය නිවේදකයකු වන අතර අනෙක් පසින් දෙරණ මාධ්‍ය ජාලයේ හිමිකරු වන දිලිත් ජයවීර , වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ දේශපාලන ආගමනයේ සිට ජනාධිපති කරවීම දක්වා සුවිශේෂ මැදිහත්වීමක් සිදුකළ අයෙකු ලෙස ප්‍රසිද්ධ ය. එසේම ඔහු ජනාධිපති ගේ ළඟම මිතුරෙකු බවත් ප්‍රසිද්ධ රහසකි.

විශ්ව ලංකා සමාජ මාධ්‍ය වෙත නිකුත්කළ වීඩියෝව පහත දැක්වෙයි.

බැසිල් - කබ්‍රාල් ගැටුම කරළියට : වැඩ ලක්ෂයට සහ IMF යාමට බාල්දියක් !

පවතින බරපතළ ආර්ථික අර්බුදය දෛනිකව වර්ධනය වීම හමුවේ මුදල් අමාත්‍යංශය සහ ශ්‍රී ලංකා මහ බැංකුව අතර ඇති සීතල යුද්ධයත් එළිපිට ගැටුමක් බවට පත්ව ඇති බව දේශපාලන විචාරකයන් පවසයි.

දේශපාලන ආරංචි මාර්ග උපුටා දක්වමින් විචාරකයන් පවසන්නේ මුදල් අමාත්‍යවරයා විසින් දියත්කර ඇති , ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ගැනීමට සහ වැඩ ලක්ෂයේ වැඩපිළිවෙළට මහ බැංකුවේ විරෝධයක් ඇති බව නිරීක්ෂණය වන බවයි.

ලබන සඳුදා (14) දින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානීන් දෙදෙනකු ලංකාවට පැමිණීමට නියමිතව ඇති අතර මෙම නිලධාරීන් දෙදෙනා සඳුදා දින මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මුණගැසී සාකච්ජා පැවැත්වීමට සැලසුම් කර ඇති බව වාර්තා වෙයි. එසේම ඔවුන් අඟහරුවාදා (15) ජනාධිපතිවරයා මුණගැසීමට සැලසුම් කර ඇති බවත් සඳහන් වෙයි.

වාර්තා වන ආකාරයට ලංකා රජය කළ ඉල්ලීමකට අනුව ඉදිරියේදී ණය ආධාර ලබාදීම සඳහා වූ කොන්දේසි ඇතුළත් යෝජනාවලියක්ද මෙහිදී මූල්‍ය අරමුදලේ නිලධාරීන් ආණ්ඩුවට ලබාදීමට නියමිතව ඇත.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් පුවත් පළකොට ඇති ‌ජාත්‍යන්තර මාධ්‍ය අනාවරණය කොට ඇත්තේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම මුල්කරගෙන මෙසේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් ලංකාවට පැමිණෙන බවකි.

එසේ තිබියදී මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සිය ට්විටර් ගිණුමේ සදහන් කොට ඇත්තේ ඇතැම් මාධ්‍ය වාර්තා කර ඇති පරිදි මූල්‍ය අරමුදලේ නිලධාරීන් සමග ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් සාකච්ජා නොවන බවකි.

මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් තැබූ ට්වීටර් සටහන පහත දැක්වෙයි.

ajith c

වැඩ ලක්ෂයටත් කබ්රාල්ගෙන් බාල්දියක් !

මේ අතර ආණ්ඩුවේ සංවර්ධන ව්‍යාපෘති වසරක පමණ කාලයකට තාවකාලිකව නවත්වන්නැයි ශ්‍රී ලංකා මහ බැංකුව රජයට නිර්දේශ කර ඇති බවත් වාර්තා වෙයි.

ඊට අනුව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ගේ වැඩ ලක්ෂයේ ව්‍යාපෘතියද තවකාලිකව නවත්වන ලෙස රජයට නිර්දේශ කර ඇති බවත් දැනගන්නට ඇත.

රටේ පවතින මූල්‍යමය තත්වය සැලකිල්ලට ගෙන මෙම නිර්දේශය කර ඇතැයි ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

රටේ රුපියල් ප්‍රමාණයේද බරපතළ පහත වැටීමක් පවතින හෙයින් මෙවැනි ක්‍රියාමාර්ගවලට අනිවාර්යෙන්ම යොමුවිය යුතු බව පෙන්වා දෙන ශ්‍රී ලංකා මහ බැංකුව සංවර්ධන ව්‍යාපෘති කෙටි කාලයකට තාවකාලිකව නතර කිරීමෙන් රටේ ආර්ථිකයට ලොකු ගැටළුවක් ඇති නොවනු ඇතැයිද සඳහන් කර තිබෙන බවත් දැනගන්නට ඇත.

බැසිල්ගේ ජනාධිපති සිහිනය ?

මේ උද්ගතව ඇති තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින් දේශපාලන විචාරකයන් පවසන්නේ වැඩ ලක්ෂය ව්‍යාපෘතිය නැවැත්වීමක් සිදුවුවහොත් එය 2024 ජනාධිපති අපේක්ෂකත්වය වෙනුවෙන් බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යවරයා දියත්කර ඇති මෙහෙයුමට හානියක් සිදුවන බවයි.

වැඩ ලක්ෂය ව්‍යාපෘතිය පළාත් පාලන ආයතන මැතිවරණයක් ඉලක්ක කර දියත්කර ලැබූවක් බවත් , ඒ හරහා ජාතික මැතිවරණයක් වෙත ගොස් බලය තහවුරු කර ගැනීම මුදල් අමාත්‍යවරයා ගේ බල අපේක්ෂාව වූ බවත් දේශපාලන විචාරකයන් විශ්ලේෂණය කර සිටියි.

යල මහ සරු කළ කුඹුර ගොඩකර කෝටි 7ක ජොගිං ට්‍රැක් එකක් !

යක්කල නගරයට ආසන්නයේ සරුසාර කුඹුරක් ගොඩකර එහි රුපියල් කෝටි හතකට ආසන්න ජොගිං ට්‍රැක් එකක් ඉදිකිරීමක් පිළිබඳ මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් ප්‍රදේශයේ ජනතාවද බලවත් විරෝධයක් දක්වන බවත් එම මාධ්‍ය වාර්තා වල සඳහන් වෙයි.

වාර්තා වන ආකාරයට යක්කල නගරයට නුදුරු ආයුර්වේදය අසල ඉතා සාරවත් කුඹුරක් ගොඩ කර මෙම ජොගිං ට්‍රැක් එක ඉදිකිරීමට සැලසුම් කර ඇත.

ලංකාදීප පුවතක සඳහන් වන්නේ මෙම කටයුත්ත සම්බන්ධයෙන් අදහස් දක්වමින් කිහිප දෙනකුම පෙන්වා දෙනු ලැබූවේ මේ ස්ථානයේ ශරීර සුවතා මංතීරුවක් ඉදිකිරීම ආරම්භයේ සිටම ජනතාව අතර විරෝධතාවයක් පැන නැගුනු මුත් එය ඉදිරිපත් කිරීමට කිසිවෙකුත් ඉදිරිපත් නොවූයෙන් රිසි සේ මෙය ඉදිකිරීමට අවස්ථාව සැලසුනු බවයි.

ජනතාව පෙන්වා දෙන්නේ ශරීර සුවතාවය පිනිස මෙවන් මංතීරු ඉදිකිරීමට විරුද්ධ නොමැති නමුත් ඒ සදහා සුදුසු හිස් භුමි ඕනෑ තරම් යක්කල අවට පවතින බව යනුවෙන් ද එම පුවතේ සඳහන් ය.

ජායාරූපය ලංකාදීපයෙනි

ඉදිරියට ජනතාවට තවත් සහන - බැසිල්

පවතින අර්බුදකාරී තත්වය ඉක්මනින් සමනය කොටගෙන ජනතාවට ඉදිරියට තවදුරටත් සහන ලබා දීමට කටයුතු කරන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසයි.

ඔහු මේ බව සඳහන් කර සිටියේ පසුගියදා ගම්පහ අධිකරණයට පැමිණ පිටවයන අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ය.

අද රට තුළ උද්ගතව පවතින ඩොලර් අර්බුදයට හේතුව රජයේ ක්‍රියාකලාපය නොවන බවත් අමාත්‍යවරයා එහිදී පැවසීය.

ඉන්ධන ගෑස් වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ සදහා ඇතිව තිබෙන අර්බුදයන් මෙරට පාලනය විසින් ඇතිකල දෙයක් නොවන බවත් පවසන අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ කොරෝනා වසංගතය මෙන්ම යුක්රේනය සහ රුසියාව යුධ අර්බුදය ඉන්ධන මිල ඉහළ යාමට ප්‍රධාන වශයෙන් බලපෑම් එල්ල කර ඇති බවයි.

එසේම වැටුපට රුපියල් 5000ක් එක්කර ආණ්ඩුව ජනතාවට සහන දැනටමත් ලබාදී ඇති බවත් ඔහු පැවසීය.

බදු වැඩි කර : වාහන ආනයනයට අවසර !

ඩොලර්වලින් තීරු බදු ගෙවා වාහන ගෙන්වීමට අවසර ලබාදෙන්නැයි ශ්‍රී ලංකා මහ බැංකුව රජයට නිර්දේශ කර ඇත.

ඩොලර්වලින් තීරු බදු ගෙවා වාහන ගෙන්වීමට අවසර ලබා දුනහොත් ඇතැම් පුද්ගලයන් සතුව පවතින ඩොලර් වෙළෙඳපොළට වේගයෙන් ගලා ඒමෙන් රටේ ඩොලර් ප්‍රශ්නයට යම් විසඳුමක් ලැබෙනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

එසේම විදේශ රැකියාවන්හි යෙදී සිටින අයට වාහනයක් ගෙන්වා ගැනීමටද එමගින් අවස්ථාව සැලසෙනු ඇතැයි ශ්‍රී ලංකා මහ මහ බැංකුවේ නිලධාරීහු පවසති.

කෙසේ වෙතත් සාමාන්‍ය ආකාරයට වාහන ගෙන්වීම රටේ ආර්ථික තත්වය සැලකිල්ලට ගෙන තවදුරටත් අධෛර්යමත් කළ යුතු බවද ශ්‍රී ලංකා මහබැංකුව රජයට නිර්දේශ කර ඇත.

මේ අතර විදේශයෙන් ආනයනය කෙරෙන සුඛෝපභෝගී භාණ්ඩ ගෙන්වීම නතර කිරීම වෙනුවට ඒවායින් වැඩි බදු මුදලක් අය කිරීම මේ අවස්ථාවේදී වඩා ගැළපෙන ප්‍රායෝගික ක්‍රියාදාමය බව ශ්‍රී ලංකා මහ බැංකුව රජයට කරුණු පෙන්වාදී ඇත.

- Lankadeepa

සිපෙට්කෝ ඉන්ධන මිලත් අහස උසටම !

ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංස්ථාවද සිය ඉන්ධන මිල ගණන් ඉතා අධික ලෙස ඉහළ නංවා ඇත.

අදාළ මිල ඉහළ නැංවීම 11 වනදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන බවත් දැනුම්දී තිබේ.

ඒ අනුව ප්‍රධාන ඉන්ධන වර්ග කිහිපයක මිල වැඩිවීම මෙසේය.

පෙට්‍රල් 92 - රුපියල් 77 ක මිල වැඩිවීමක් සිදුකර ඇති අතර නව මිල ලීටරයක් රුපියල් 254.00 කි.

පෙට්‍රල් 95 - රුපියල් 75 ක මිල වැඩිවීමක් සිදුකර ඇති අතර නව මිල ලීටරයක් රුපියල් 283.00 කි.

ඩීසල් - රුපියල් 55 ක මිල වැඩිවීමක් සිදුකර ඇති අතර නව මිල ලීටරයක් රුපියල් 176.00 කි.

සුපර් ඩීසල් - රුපියල් 95 ක මිල වැඩිවීමක් සිදුකර ඇති අතර නව මිල ලීටරයක් රුපියල් 254.00 කි.

ශානි බල දේශපාලනයේ ගොදුරක් : රැඩිකල් සෙන්ටර් ! (වීඩියෝ )

"ගෙවුණු වසර තුනකට ආසන්න කාලයක් පුරා පාස්කු ප්‍රහාරයේ සත්‍ය තොරතුරු හෙළිදරව් කිරීම, වැරදිකරුවන්ට දඬුවම් දීම, ඒ මහා අපරාධයට ඍජුව හෝ වක්‍රව සහයෝගය ලබාදුන්නා යැයි කියන පිරිස් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීම හෝ පාස්කු වින්දිතයන්ට යුක්තිය ඉටුකිරීම අදටත් ඉෂ්ට සිද්ධ වෙලා නෑ." යැයි රැඩිකල් සෙන්ටර් ව්‍යාපාරය පවසයි.

හිටපු අමාත්‍ය මංගල සමරවීර විසින් ආරම්භකළ 'රැඩිකල් සෙන්ටර්' ව්‍යාපාරය ඊයේ (10) මාධ්‍ය හමුවක් කැඳවමින් එම කාරණය අවධාරණය කර සිටියේය.

පාස්කු ප්‍රහාරයේ වගකිව යුත්තන් නීතිය ඉදිරියට ගෙන ඒමට වඩා ආණ්ඩුව සහ පොලිසිය උත්සුක වී ඇත්තේ එහි විමර්ශන කටයුතු කළ නිලධාරීන් සහ
පාස්කු ප්‍රාහරයට යුක්තිය ඉල්ලා සිටින ක්‍රියාධරයන් දඩයම් කරන්නට වීම ඛේදවාචකයක් බවත් 'රැඩිකල් සෙන්ටර්' ව්‍යාපාරය වැඩිදුරටත් අවධාරණය කරනු ලැබිණ.

එහිදී අදහස් දක්වමින් රැඩිකල් සෙන්ටර් හී නියෝජිත සී.එස්. කොඩිකාර දැක්වූ අදහස් පහත වීඩියෝ දැක්වෙයි.

ඖෂධ මිලත් ඉහළට !

ඖෂධ මිල 29% කින් ඉහළ දැමීමට ආණ්ඩුව අවස්ථාව ලබාදී ඇත.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඖෂධ රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන පවසා ඇත්තේ මිල පාලන කමිටුව අවශ්‍ය අවසරය නිකුත්කර ඇති බවයි.

මේ වන විට රට අභ්‍යන්තරයේ අත්‍යවශ්‍ය ආහාර භාණ්ඩ මිල අහස උසට යමින් තිබෙන අතර ඒ පසුබිමේ ඖෂධ මිල ඉහළ යාමේ බරත් දරාගන්න ජනතාවට සිදුව ඇත.

පාර්ලිමේන්තුවේදී ගම්මන්පිලගේ කට බැඳලා !

පාර්ලිමේන්තුවේ පැවති බලශක්ති අර්බුදය පිළිබඳ විවාදයේදී තමනට අදහස් පල කිරීම සදහා වේලාවක් ලබා නොදුන් බව හිටපු බලශක්ති අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසයි.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු මේ බව සඳහන් කර ඇත.

ඊට අනුව තමන්ට කාලයක් ලබා දෙන්නැයි කරන ලද ඉල්ලීම ආණ්ඩු පක්ෂයේ සංවිධායක කාර්යාලය විසින් ප‍්‍රතික්ෂේප කළ බව ඒ පිලිබදව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ගෙන් විමසීමේදී කථික ලැයිස්තුව පිරී ඇති නිසා කතා කිරීමට අවසර ලබා දිය නොහැකි බව දැන්වූ බවද මන්ත්‍රීවරයා පවසයි.

පිටි මිලත් ඉහළට : පාන් බනිස් සුඛෝපභෝගී භාණ්ඩ වෙයි !

තිරුඟු පිටි (පාන් පිටි) මිල කිලෝවක් රුපියල් 35/- 45/- අතර මිලකින් වැඩි කර තිබේ.

මෙරට තිරුඟු පිටි ඒකාධිකාරය සමාගමක් දෙකකට කේන්ද්‍ර ගතවී තිබෙන අතර මේ වන විට අදාළ සමාගම් දෙකම මිල ඉහල දැමීම ප්‍රකාශයට පත්කර ඇත.

ඒ අනුව සෙරන්ඩිබ් සමාගම රුපියල් 35/- කින් පාන් පිටි කිලෝවක මිල ඉහළ දමා ඇති අතර අනතුරුව ප්‍රීමා සමාගම සමගද රුපියල් 35- 45 අතර ප්‍රමාණයකින් මිල වැඩි කිරීමට තීන්දු කර ඇත.

කෙසේ වුවත් මේ හරහා පෙන්නුම් කරන්නේ අත්‍යවශ්‍ය ආහාර භාණ්ඩ සම්බන්ධයෙන් රජයේ මිල පාලනය අත්හැර දමා ඇති බවයි.

තිරුඟු පිටි මිල ඉහල යාම නිසා පාන් ගෙඩියක මිල රුපියල් 30 කින් මිල ඉහල දැමීමට සිදුවන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

තවද අනෙක් සියලු බේකරි නිෂ්පාදන මිලත් ඉහල දැමීමට සිදුවන බවත් සංගමය කියා ඇත.

මේ ආකාරයට තිරුඟු පිටි මිල ඉහල යාමෙන් පාන් ඇතුළු සියලු බේකරි නිෂ්පාදනවල මිල ඉහල යනු ඇති බව වෙළෙඳ පොළ විශ්ලේෂකයන් අවධාරණය කරයි. ඒ අනුව අර්බුදය අඛණ්ඩ වුවහොත් පාන් බනිස් සුඛෝපභෝගී භාණ්ඩ වනු ඇති බවත් ඔවුන් පවසයි.

එසේම මතුව ඇති තත්ත්වය යටතේ , මිල පාලනයක් කෙසේ වුවත් විදෙස් සංචිත අර්බුදය කඩිනමින් පියවන වැඩපිළිවෙළක් වෙත නොගියහොත් වත්මන් අර්බුදය දිග්ගැස්සෙන ව්‍යාකූලත්වයකට රටම ඇද දැමෙනු ඇති බවත් ඔවුන් පෙන්වා දෙයි. එසේ වුවහොත් සිම්බාබ්වේ , ග්‍රීසිය පන්නයේ මිශ්‍ර ආර්ථික ඛේදවාචකයක පොදු නිදර්ශනයක් බවට ලංකාව පත්වනු ඇති බවටත් විශ්ලේෂකයන් අනතුරු අඟවයි.

ඉතාලියේ තෙල් මිල බලා සැනසෙන්න : රෝහිතගෙන් රත්තරන් අදහසක් !

අද වන විට ඉතාලියේ ඩීසල් ලීටරයක් යුරෝ 2.20ක් මිල වන බවත් එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් 552 ක් බවත් පෙට්‍රල් ලීටරයක් යුරෝ 2.22ක් බවත් වරාය ඇමති රෝහිත අබේගුණවර්ධන පවසයි.

ඒ් අනුව තවමත් ශ්‍රී ලංකාව ඉතා අඩු මුදලකට ඉන්ධන අලෙවි කරන බවද එම අගය යුරෝපයට වඩා අඩකටත් වඩා අඩු අගයක් බවත් ඔහු පැවසීය.

මෙතරම් අඩු මිලට ඉන්ධන ලබා දීම ගැන ජනතාව සතුටු විය යුතු බවත් කී ඔහු කොරෝනා වසංගතය සමග ලෝකයකම ඉන්ධන අර්බුදයකට මුහුණ දී ඇතැයිද සදහන් කලේය.

මේ අවසන් රාජපක්ෂ පාලනයයි : විමල්ගෙන් අනාවැකියක් !

ශ‍්‍රී ලංකාව තුළ මින් ඉදිියට කිසිදාක රාජපක්ෂවරයෙකු යටතේ රට පාලනය නොවනු ඇති බවත් මේ පවතින්නේ රාජපක්ෂ පාලනයේ අවසාන පාලනය වනු ඇති බවත් හිටපු අමාත්‍ය , පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසයි.

ඔහු මේ අදහස් දක්වා සිටියේ සිරස රූපවාහිනීයේ දේශපාලන සම්මුඛ සාකච්ඡාවකදී අදහස් දක්වමින් ය.

එහිදී ඔහු සඳහන් කර සිටියේ නාමල් රාජපක්ෂට රාජ්‍ය පාලනයක් ගැන යම් හෝ අදහසක් ඇත්නම් බැසිල් රාජපක්ෂ ගේ මෙහෙයුම් ව්‍යර්ථ කිරීමට මැදිහත් විය යුතු බවය.

තමන් යළි කිසිදිනක රාජපක්ෂවරුන් වරයකුගේ පාලනයට සහාය දක්වන්න හෝ එවන් පාලනයක් පිහිටුවීමට පෙරමග නොගන්නා බවත ඔහු තව දුරටත් එහිදී කියා සිටියේය.

බැසිල් රාජපක්ෂ නම් ඇමරිකානුවා වූ වහාම රටින් පන්නා දැමීමට කටයුතු කළ යුතු බවත් හිටපු අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ ය.

ගුවන් ප්‍රවේශපත් මිලත් ඉහළට !

ශ්‍රී ලංකාවෙන් නිකුත් කරන ගුවන් ප්‍රවේශපත් මිල අද (11) සිට සියයට 27 කින් ඉහළ දමන බව ශ්‍රී ලංකා ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස පවසයි.

ඒ අනුව ශ්‍රී ලංකාව සමග ගුවන් ගමන් සම්බන්ධතා පවත්වන ලබන සියලුම ගුවන් සේවාවන් , සිය ගුවන් යානා ප්‍රවේශ පත්‍ර ගාස්තුව ඉහළ නංවා ඇත.

මෙයට හේතු ලෙස සඳහන් වන්නේ ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අව ප්‍රමාණ වීම මත මෙසේ ගුවන් යානා ප්‍රවේශ පත්‍ර මිළ ඉහළ නැංවීමට සිදුව තිබීමය.

වීරවංශ පවුලට මැයි 6 තීරණාත්මකයි !

හිටපු කර්මාන්ත අමාත්‍ය , පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ගේ බිරිඳ වන ශෂී වීරවංශ අදාළ නඩු දෙකෙහි තීන්දුව මැයි මස 06 වැනි දා තෙක් කල් තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (11) නියෝග කළේය .

මෙම නඩුවට අදාළව නඩු තීන්දුව ප්‍රකාශයට පත්කරන ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා මහාධිකරණ විනිසුරුවරයෙක් ලෙස උසස්වීම් ලැබීම හේතුවෙන් මෙම නඩුවේ තීන්දුව ලබාදීම කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චන්දිම ලියනගේ විසින් එලෙස කල් තබනු ලැබීය .

ඒ අනුව මෙම නඩුවේ තීන්දුව පුරෝගාමී විනිසුරුවරයා පැමිණ ලබාදීමට නියමිතව ඇතැයි ද අධිකරණයේදී සඳහන් විය.

ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් රාජ්‍ය තාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍රයක් සකස්කළ බවට චෝදනා ලැබූ මෙම සිද්ධියට අදාළව රහස් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් පසු ඇප ලැබ සිටින අංක 74, ජේ, මංගල මාවත, හෝකන්දර පදිංචි රණසිංහ රන්දුනු මුදියන්සේලාගේ ශීර්ෂා උදයන්ති අද අධිකරණ හමුවේ පෙනී සිටියා ය

මෙම නඩුවේ විත්තියේ සහ පැමිණීල්ලේ සාක්ෂි වසර 07ක් පුරා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාග විය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිනිල්ලක් යොමු කර තිබුණේ ඉකුත් 2015 වර්ෂයේ ජනවාරි මස 23 වැනිදාය. ඒ නො. 233/16, රත්නායක මාවත, දකුණු තලංගම බත්තරමුල්ල පදිංචි චමින්ද පෙරේරා නැමැත්තා විසිනි.

වර්ෂ 2010ක් වූ සැප්තැම්බර් මස 13 වන දින සහ 2015 පෙබරවාරි මස 26 අතර කාලය තුළදී අධිකරණ බලසීමාවේ පිහිටි කොළඹදී චූදිත විසින් අංක ඩී 3642817 දරන අවිධිමත් ශ්‍රී ලංකා ගමන් බලපත්‍රය නීත්‍යානුකූල බලයක් නොමැතිව තම සන්තකයේ තබා ගැනීමෙන් 1993 අංක 16, 1998 අංක 42 සහ 2006 අංක 31 දරන (සංශෝධීත) පනත් වලින් සංශෝධිත 1948 අංක 20 දරන ආගාමික හා විගාමික පනතේ 45 (1) වගන්තිය යටතේ දඩුවම් ලැබිය හැකි වරදක් සිදු කළ බවට රහස් පොලිසිය විසින් නඩු පවරා තිබිණ.

ඖෂධ මිල නියම කිරීම සමාගම් යටතට !

ඩොලරයේ අගයට සමානුපාතිකව ඖෂධ මිල ඉහළ දැමීමට අවසර දුන් බව ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසා ඇත.

මේ අනුව ඖෂධ සැපයීමේ මෙහෙයුම් කටයුතු අද (10) සිට ආරම්භ කිරීමට ඖෂධ නිෂ්පාදන සහ බෙදා හැරීම් සමාගම් එකඟවූ බවද ඔහු ප්‍රකාශ කර ඇත.

ඖෂධ නිෂ්පාදන හා බෙදාහැරීමේ සමාගම් සතුව මාස හතරකට ප්‍රමාණවත් ඖෂධ පවතින බව ඒ සමාගම් දැන්වූයේ යැයිද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

මේ අනුව ඖෂධ හිඟයක් ඇති නොවෙතත් මිල ගණන් ඉහළ යාමක් අනිවාර්යයෙන් සිදුවනු ඇත.

තරු පනින ගණනකින් : ඉන්ධන මිල යළිත් ඉහළට !

IOC සමාගම විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමක් සිදුකර ඇත.

අද (10) මධ්‍යම රාත්‍රියේ සිට බලාත්මක මෙම තීන්දුව අනුව ඉන්ධන මිලෙහි අතිවිශාල ඉහළ දැමීමක් සිදුකර ඇත.

ඒ අනුව ඩීසල් ලීටරයක් සඳහා රුපියල් 75.00 ක් සහ පෙට්‍රල් ලීටරයක් සඳහා රුපියල් 50.00 ක් වශයෙන් මිල ඉහළ දැමීම සිදුකර ඇත.

සිපෙට්කෝවත් ඉල්ලීම කරලා !

මේ අතර අද (10) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ සඳහන් කර සිටියේ අද වන විට ලෝක වෙළඳපලේ ඉන්ධන මිල ඉහළයාම හේතුවෙන් මෙරට ඉන්ධන මිල ඉහළ නැංවන ලෙස තමන් රජයට යෝජනා කල බවයි.

දැනට ඩීසල් ලීටරයකින් රුපියල් 128ක් පෙට්‍රල් ලීටරයකින් රුපියල් 80ක් සංස්ථාව පාඩුවක් ලබන බවත් ඔහු පැවසීය.

තව දුරටත් මෙම පාඩුව දරා ගැනීමට රජයට දැරීමට හැකි යයි තමන් නොසිතන බව පැවසූ ඔහු මිල වැඩි කිරීම ගැන සලකා බැලිය යුතු බවද සදහන් කලේය.

RTI කොමිසම බණ්ඩාරවෙලින් වැඩට බහියි !

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිෂන් සභාව, සිය පනතේ 14 (අ) පොදු අධිකාරින් වෙත පවරා ඇති කාර්‍ය නිසි පරිදි ඉටුකරනවාද යන්න අධීක්ෂණය කිරීම , ඒවාට අනුකූලව කටයුතු කරන්නේද යන්න සහතික වීම මෙන්ම 15(අ) යටතේ පරීක්ෂණ පැවැත්වීම හා ඒ පරීක්ෂණ සඳහා පෙනී සිටින ලෙස යම් තැනැත්තකු නම් කිරීමට තීරණය කර ඇත.

එහිදී 15(අ) යටතේ වන පළමු සැසිය 2022 මාර්තු 14 බණ්ඩාරවෙල නගරසභා ශාලාවේ පැවැත්වීමට නියමිත අතර එදින පෙරවරු 9.00 සිට පස්වරු 4.00 දක්වා එය පැවැත්වෙයි.

මේ සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිෂන් සභාව, නිවේදනයක් පහත දැක්වෙයි.

rti 579

Page 280 of 385