V2025

පුවත්

ජාතික ආර්ථික සභාවට උපදෙස් දෙන්න : තවත් කෝටිපතියන් දෙදෙනෙකු !

ජනපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පත්කර ඇති ජාතික ආර්ථික සභාවට උපදෙස් ලබාදීම වෙනුවෙන් උපදේශක කමිටුවක් පත්කළ අතර මේ වන විට ඊට තවත් දෙදෙනෙකු එක්කර ඇත.

මෙරට කෝටිපති ව්‍යාපාරිකයන් දෙදෙනෙකු වන ඔවුන් වනුයේ, අශෝක් පතිරගේ සහ මොහාන් පණ්ඩිතගේ ය.

ඒ අනුව අදාළ කමිටුවේ සාමාජික සංඛ්‍යාව 16 දක්වා ඉහළ ගොස් තිබේ.

උග්‍ර ගෑස් හිඟයක් !

ගෘහස්ථ ගෑස් සිලින්ඩර වෙළඳපොළ නිකුත් කිරීම අද (16) දින සිට තාවකාලිකව නතර කිරීමට සිදුවන බව ලිත්‍රො ගෑස් සමාගම පවසයි.

මුදල් ගෙවා ගොඩබා ගන්නා ලද ගෑස් තොග ඊයේ (15) පස්වරුව වන විට බෙදාහැර අවසන් වී ඇති බවත් සඳහන් වෙයි.

නමුත් තවදුරටත් කර්මාන්ත හා සෞඛ්‍ය අවශ්‍යතා සඳහා පමණක් ගෑස් නිකුත් කරන බව සමාගම සඳහන් කරයි.

මෙට්‍රික් ටොන් තුන් දහස් පන්සියයක ගෑස් රැගෙන පැමිණි නෞකාවක් දැනට ශ්‍රී ලංකාව ආසන්න මුහුදු සීමාවේ නතර කර ඇති බවත් වාර්තා වෙයි.

මෙම නෞකාව සතියකට ආසන්න කාලයක් මෙසේ නවතා ඇත්තේ ගෑස් ගොඩබෑම සඳහා ඩොලර් මිලියන 10 පියවන තෙක්ය.

මේ වන විට රට පුරා බොහෝ ප‍්‍රදේශලවල උග‍්‍ර ගෑස් හිගයක් මතුව තිබේ.

ඊට හේතු වී ඇත්තේ ලාෆ් සමාගමේ ගෑස් සැපයුමත් මේ වන විට මුළුමනින්ම ඇණහිට ඇති නිසාය.

ලාෆ් සමාගම පවසන්නේ බැංකු ණයකර ලිපි විවෘත කිරීමට නොහැකිව ඇති බැවින් තමන්ට ගෑස් සැපයීමට නොහැකිව ඇති බවයි.

ආර්ථිකය හදන්න පුළුවන් බැසිල්ට විතරයි - පොහොට්ටු ලේකම්

බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා ට ඇතැම් අය විවේචන එල්ල කරන්නේ මෙරට ආර්ථිකය ගොඩනගිය හැකි එකම පුද්ගලයා ඔහු බව දන්නා නිසා බව පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් පවසයි.

තවලමක් ඉදිරියට යන විට ඊට සුනඛයන් බාධා කරන බවත් එම බාධාවලට තවලමේ ගමන නැවැත්විය නොහැකි බවත් මන්ත්‍රීවරයා සඳහන් කරයි.

ආණ්ඩුවේ ඇමති ධුරවලින් ඉවත් කරන ලද දෙදෙනා හැර ආණ්ඩුවේ අනෙක් පක්ෂවල සාමාජිකයන් පොදුජන පෙරමුන හා සම්බන්ධව තවදුරටත් සහයෝගයෙන් කටයුතු කරන බවද ඔහු පැවසීය.

බැසිල් ඉන්දීය පාර්ලිමේන්තුවේදී මෝදි අගමැති හමුවෙයි !

ඉන්දීය නිල සංචාරයක නිරත මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ව අද (16) හමුවී ඇත.

ඒ එරට පාර්ලිමේන්තු සංකීර්ණයේදීය.

මෙම හමුවට පෙර මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී හර්ෂ් වර්ධන ශ්‍රින්ග්ලා වද අද උදෑසන හමුව තිබේ.

මුදල් අමාත්‍යවරයා සමග මුදල් ලේකම් එස්.ආර්. ආටිගල ,ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ ද මේ අවස්ථාව සඳහා එක්ව සිටියහ.

මෙම සංචාරයේදී මුදල් අමාත්‍යවරයා ඇතුළු නියෝජිතයින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් , මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් සහ ඉන්දියාවේ නියෝජ්‍ය ජාතික ආරක්ෂක උපදේශක ශ්‍රී විකුම් මිස්රි හමුවී සාකච්ජා කිරීමට නියමිත බවත් වාර්තා වෙයි.

සජිත් ජනාධිපතිවරණයක් ඉල්ලයි !

"අපේ රටේ ජනතාව පාවල දෙන්නැතුව ලක්ෂ 220 ක් වූ ජනතාව අනාථ කරන්නෙ නැතුව පින් සිද්දවෙයි ගෙදර යන්න කියලා අපි ආණ්ඩුවට කියනවා. එහෙම නැත්නම් ජනතාවට ඒ තීන්දුව ගන්න නැවත වරක් ජනාධිපතිවරණයක් ඉල්ලනවා. එදාට රටේ ජනතාව වැඩ පෙන්නයි කියලා මම මේ අවස්ථාවේ කියනවා.
මේ විරෝධතාවයට සමගි ජන බලවේගය ට අනුබද්ධිත විශාල පිරිසක් කැප වුණා. මේ ආරම්බය විතරයි ඊළඟ පියවරට සූදානම් වෙන්න කියලා අපි ජනතාවට කියනවා." යැයි සමගි ජනබලවේගය පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස  (15) පැවසීය.

ඒ දරාගත නොහැකි ජීවන වියදම, රටේ පවතින පොහොර හිඟය ඉන්ධන සහ ගෑස් අර්බුදය, විදුලි කප්පාදුව ඇතුළු ජනතාව මුහුණ දෙන පීඩනය මුල් කර ගනිමින් “රට විනාසයි දැන් ඇති” මැයෙන් සමගි ජනබලවේගය සංවිධානය කළ විරෝධතාවයෙන් අනතුරුව ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටදී අදහස් දැක්වූ අවස්ථාවේදීය.

එහිදී ඔහු වැඩිදුරටත් මෙසේද පැවසීය.

“ දුර්දාන්ත ජනතා විරෝධී රාජපක්ෂ ආණ්ඩුව ජන බලයෙන් ගෙදර යවන සටන අපි ආරම්භ කරල තියෙනවා. වැඩ කරනවායි කියපු විරුවා අද වැඩි කරන විරුවා බවට පත්වෙලා. ජනතාව එදා කිව්වේ අතිගරු ජනාධිපතිතුමා කියලා. දැන් ජනතාව කියන්නේ ඇති ගරු ජනාධිපතිතුමා කියලා.

ගෑස්ටික් ටික, කන්න ආහාර වේලක් හොයා ගන්න නැතුව, දරුවෝ හාමතේ තියලා තමයි අද මේ ජනතාව මෙතෙන්ට ඇවිල්ල තියෙන්නේ. ජනතාව මේ තත්ත්වයට පත් කරලා තියෙන්නේ දුර්දාන්ත දුෂ්ට රාජපක්ෂ ආණ්ඩුව කියලා අපි මතක් කරන්න කැමතියි.

අද ගොවියා, ධීවරයා, කම්කරුවෝ ත්‍රීරෝද රථ රියදුරු අනාථ වෙලා. කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් අනාථ වෙලා. ව්‍යාපාරික පන්තිය අනාථ වෙලා. ජන සමාජයේ පහළ සිට ඉහළ දක්වාත් ඉහළ සිට පහළ දක්වා අනාථ වී ඉන්න මොහොතක මෙහි පැමිණ සිටින අයට අපි දෑත් ඔසවා ආචාර කරනවා. කිසිම බියක් සැකක් නැතුව මෙතැනට ඇවිල්ලා සමගි ජන බලවේගයේ ජන බලය රටට පෙන්නුවා කියන එක මම මේ අවස්ථාවෙදී කියන්න කැමතියි.

ජාතික ආර්ථික සභාවට උපදෙස් දෙන්න : කෝටිපති ව්‍යාපාරිකයන් ඇතුළත් කමිටුවක් !

ජනපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පත්කර ඇති ජාතික ආර්ථික සභාවට උපදෙස් ලබාදීම වෙනුවෙන් උපදේශක කමිටුවක් පත්කර තිබේ.

මෙරට ප්‍රමුඛතම ව්‍යාපාරිකයන් ඇතුළු ,මහාචාර්යවරුන් ඇතුළු 14 දෙනෙකුගෙන් යුත් උපදේශක කමිටුවක් මෙලෙස පත්කර ඇත.

අදාළ උපදේශක කමිටුව පහත දැක්වෙයි.

  1. Prof. H.D. Karunaratne
    2. Prof. Shirantha Heenkenda
    3. Dhammika Perera
    4. Krishan Balendran
    5. Ashroff Omar
    6. Dr. Dushni Weerakoon
    7. Dr. Hans Wijesuriya
    8. Vish Govindasamy
    9. S. Renganathan
    10. Ranjit Page
    11. Suresh de Mel
    12. Duminda Hulangamuwa
    13. Sujeewa Mudalige
    14. Prabash SubasingheFB IMG 1647334985972

SB ගේ කෑලි ගලවලා : අලුත් ගැසට් එකක් එයි !

කර්මාන්ත අමාත්‍යාංශය යටතේ පැවති විෂය පථය සහ කාර්යයන් කිහිපයක් ඉවත්කර පරිසර අමාත්‍යාංශය යටතට පත්කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පියවර ගෙන තිබේ.

ඒ මෙතෙක් කර්මාන්ත අමාත්‍යාංශයට අයත්ව තිබූ “දැනට භූගතව සහ සාගර අභ්‍යන්තරයේ ඇතැයි සැලකෙන ඛනිජ සම්පත් නූතන අධිතාක්ෂණ භාවිතා කර ගවේෂණය කර රටේ නිෂ්පාදන ක්‍රියාවලිය ශක්තිමත් කිරීමට යොදාගැනීම” යන කාර්යය පරිසර අමාත්‍යාංශය යටතට පැවරීම හරහා ය.

එසේම කර්මාන්ත අමාත්‍යාංශය යටතේ පැවති ශ්‍රී ලංකා ක්ලයිමේට් ෆන්ට් (ප්‍රයිවට්) ලිමිටඩ් ආයතනය සහ ලංකා ඛනිජ වැලි සමාගම ද පරිසර අමාත්‍යාංශය යටතට පවරා තිබේ.

ඊට අදාල අතිවිශේෂ ගැසට් නිවේදනයක් ද මේ වන විට නිකුත් කර ඇත.

ජනාධිපති - TNA සාකච්ඡාව : අවසන් මොහොතේ අවලංගුයිලු !

දෙමළ ජාතික සන්ධානය සමග ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (15) පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ජාව අවසන් මොහොතේ අවලංගු කිරීමට පියවර ගෙන ඇත.

වාර්තා වන ආකාරයට මෙසේ සාකච්ඡාව අවලංගු කර ඇත්තේ අද කොළඹදී පැවැත්වෙන සමගි ජන බලවේගයේ විරෝධතාව නිසාය.

මීට පෙර අවස්ථා දෙකකදීම මේ අයුරින් සාකච්ජාව අවසන් මොහොතේ අවලංගු කිරීමට සිදුවූ බවත් දේශපාලන ආරංචි මාර්ග පවසයි.

බැසිල් ඉන්දියාවට !

දෙදින නිල සංචාරයක් සඳහා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්. ආටිගල සමඟ අද (15) ඉන්දියාව බලා පිටත්ව ගොස් ඇත.

වාර්තා වන ආකාරයට මෙම සංචාරයේ අරමුණ මෙරටට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ ඹෟෂධ මිලදී ගැනීමට අවශ්‍ය අමෙරිකානු ඩොලර් බිලියන 1.9 ක්වූ ණය මුදලට අදාල ගිවිසුම අත්සන් කිරීම ය.

එම ණය මුදලින් ඩොලර් මිලිය 500 ක් මූල්‍යමය වශයෙන් ලැබෙන අතර ඉතිරි ඩොලර් බිලියන 1.4 ක මුදල ලැබෙනුයේ භාණ්ඩ වශයෙන් බවත් වාර්තා වෙයි.

රාජ්‍ය යාන්ත්‍රණය ඇණ හිටලා - හිටපු අග්‍රාමාත්‍ය රනිල්

අද වන විට ආණ්ඩුවේ යන්ත්‍රණය වැඩ නොකරන තත්ත්වයට පැමිණ ඇති බවත් දෙවන ලෝක යුද්ධ සමයේ දී වත් මෙවැනි තත්ත්වයක් නොතිබූ බව පැරැන්නන් කියා තිබෙන බවත් එජාප නායක , හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.

ඔහු මේ බව සඳහන් කර සිටියේ එජාප ප්‍රතිසංවිධාන වැඩසටහනක දී අදහස් දක්වමින් ය.

වර්තමානයේ උද්ගතව තිබෙන තත්වයට දේශපාලනඥයන්ගෙන් පිළිතුරු ලැබෙනවා ද නැද්ද යන කාරණය පිළිබඳව ජනතාව කල්පනා කරමින් සිටින බවත් එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පැවසීය.

සෞභාග්‍යයේ දැක්ම කියවා මේ ආණ්ඩුව ගැන ජනතාව විශේෂ බලාපොරොත්තුවක් තබා ගෙන සිටි අතර රට අලුත් මාර්ගයක ගමන් කරනු ඇතැයි ඔවුන් බලාපොරොත්තු වු බවද හිටපු අග්‍රාමාත්‍යවරයා කීය.

 

සමාජ මාධ්‍ය උනුසුම් : ජනාධිපති හෙට ජාතිය අමතයි !

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හෙට (16) පස්වරුවේ ජාතිය ඇමතීමට නියමිත බව වාර්තා වෙයි.

ජනාධිපති මාධ්‍ය අංශය මේ බව තහවුරු කර ඇත.

මෙහිදී ජනාධිපතිවරයා රටේ පවතින වත්මන් තත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

මේ අතර සමාජ මාධ්‍ය තුළ විපක්ෂයේ පාර්ශ්ව විසින් #GoHomeGota2022 යනුවෙන් ද ආණ්ඩුවේ හිතවාදීන් විසින් #WeAreWithGota යනුවෙන් #ටැග් සටනක් දියත්කර ඇත.

බස් ගාස්තුවත් ඉහළට !

රුපියල් 17ක්ව පැවති අවම බස් ගාස්තුව රුපියල් 20 ක් ලෙස ඉහළ දමමින් බස් ගාස්තු මිලත් ඉහළ නංවා ඇත.

ඒ අනුව ජාතික ගමනාගමන කොමිෂන් සභාව  (14) පස්වරුවේදී සංශෝධිත බස් ගාස්තු චක්‍රය ප්‍රකාශයට පත්කර තිබේ.

එහිදී මෙතෙක් රුපියල් 1303ක්ව පැවති උපරිම බස් ගාස්තුවත් රුපියල් 1498 ක් දක්වා රුපියල් 195කින් ඉහළ යනු ඇත.

එම බස් ගාස්තු ඉහළ යාමේ චක්‍රය පහත දැක්වෙයි.

1

2

 

බැසිල්ට එරෙහි සජබ විශ්වාස භංගය : බැසිල්ගේ ඩීල් එකක් ?

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ට එරෙහිව සමගි ජනබලවේගය පක්ෂය විසින් ඉදිරිපත් කිරීමට යෝජිත විශ්වාස භංග යෝජනාව අපරිණත දේශපාලන ක්‍රියාවක් බව දේශපාලන විචාරකයන් පවසයි.

ඔවුන් මේ බව සඳහන් කරන්නේ මීට පෙර මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ගේ ප්‍රධාන ගෝලයකු වූ පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් නිකුත්කළ ලිපියක් පාදක කරගෙන එවකට බලශක්ති අමාත්‍ය ධූරය හෙබවූ උදය ගම්මන්පිල ට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාස භංග යෝජනාව සිහිපත් කරමිනි.

එහිදී බෙදී වෙන්වී සිටි ආණ්ඩුව විශ්වාස භංගය ජයග්‍රහණය කරවීමට එක්වූ බවත් මේ මොහොතේ ගෙන ඇති ක්‍රියාමාර්ගය ඊට නොදෙවෙනි බවත් දේශපාලන විචාරකයන් පවසයි.

මේ සම්බන්ධයෙන් newstube.lk වෙත අදහස් දක්වමින් දේශපාලන විචාරකයකු මෙසේ පැවසීය.

ප්‍රධාන විපක්ෂය කරන්නේ බැසිල්ට ඕන දේද ?

 " එක පැත්තකින් ආණ්ඩුව අභ්‍යන්තරයේ අමාත්‍යවරුන් ඉවත් කරමින් සිටිනවා. අනෙක් පසින් ඊට විරෝධය දක්වමින් ආණ්ඩුවේ පිරිස් තනතුරු අත්හරිමින් ඉන්නවා. ඒ වගේම ආණ්ඩුවේ තවත් පිරිසක් අභ්‍යන්තරයේ සිටිමින් බැසිල් රාජපක්ෂ විරෝධය තීව්‍ර කිරීමට කටයුතු කරමින් ඉන්නවා. ඒ වගේම තමයි ජනතාව අතර මතුව ඇති ආණ්ඩු විරෝධය. මේ පසුබිමේ අලුත් විශ්වාසය භංග යෝජනා මොකටද ? එක පසෙකින් ආණ්ඩුවේ වැඩ වලට එරෙහිව විරෝධතා සංවිධානය කරන අතරේ, අනෙක් පසින් ආණ්ඩුවේ සමගිය වෙනුවන් විශ්වාස භංග යෝජනාවක් ගෙනත්. මේ මොන පිස්සුවක් ද ? මේක අපරිණත දේශපාලන තීන්දුවක්. නැත්නම් ඩීල් එකක්.

මේ වෙනකොට පසුගියදා අමාත්‍ය ධූර වලින් ඉවත් කරපු, විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල හිටපු අමාත්‍යවරුන් ආණ්ඩුවේ සිටින සෙසු බැසිල්ගේ විරෝධයට ලක්වූවන් අනාවරණය කර තියෙනවා. අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ , බන්දුල ගුණවර්ධන , ඩලස් අලහප්පෙරුම වැනි ප්‍රබලයන් ඒ අතර සිටිනවා. ඇයි මේ අනාවරණ ඇත්තද බොරුද කියලා ඔප්පු වෙන්න නොදෙන්නේ.

ප්‍රධාන විපක්ෂය කරන්නේ බැසිල්ට ඕන දේද කියන පැහැදිලි ප්‍රශ්නය මෙතන තියෙනවා. පුළුවන් නම් කියන්න , මේ විශ්වාස භංග යෝජනාවට තියෙන දේශපාලන වැදගත්කම මොකක්ද කියලා "

සාමාන්‍ය පෙළ අසමත් වැඩි පිරිසක් කැබිනට් එකේ - විජේදාස (video )

ලංකා ඉතිහාසයේ සාමාන්‍ය පෙළ විභාගය අසමත් වැඩිම පිරිසක් ඇමැතිධූර දරන කැබිනට් මණ්ඩලය මෙය බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ පවසයි.

ප්‍රධාන පෙළේ ඇමැතිවරු රැසක්ම සාමාන්‍ය පෙළ අසමත් බවත් මන්ත්‍රීවරයා පෙන්වාදෙයි.

මැදමුලනට කොන්දේසි විරහිතව කඹුරපු ඕනෑම අයෙකුට අත්වෙන ඉරණම විමල් සහ ගම්මන්පිලට අත්වූ බවත් ඔහු පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ ගේ මාධ්‍ය හමුවේ වීඩියෝව පහත දැක්වෙයි.

ජාතික ආණ්ඩු පුස්සක් : රටට අවශ්‍ය ජාතික රාමුවක් - රනිල්

ජාතික ආණ්ඩුවක් රටට අවශ්‍ය නැති බව එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ සඳහන් කරයි.

කිරුලපන ප්‍රදේශයේ පැවති පාක්ෂික හමුවකදී අදහස් දක්වමින් හිටපු අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසීය.

එහිදී ඔහු වැඩිදුරටත් අවධාරණය කර සිටියේ , ජාතික ආණ්ඩුවක් බිහි කිරීමෙන් සිදුවන්නේ ඇමති ධුර බෙදා ගැනීමක් පමණක් බවය.

ඒ නිසා සියලු දේශපාලන පක්ෂ එකතුව වසර 15 ක පමණ කාලයක් සඳහා ජාතික රාමුවක්, ශක්තිමත් යකඩ රාමුවක් වැන්නක් නිර්මාණය කළ යුතු බවත් ඒ හරහා ජනතා විශ්වාසය දිනාගෙන ආර්ථිකය ගොඩනැගීමක් කළ යුතු බවය.

මුදල් අමාත්‍යවරයා සහ මහබැංකු අධිපතිවරයා අතර ගැටුමක් නිර්මාණය වී ඇති බවත් ඒ හේතුවෙන් ආර්ථිකය පිළිබඳ නිවැරැදි තීන්දු තීරණ ගැනීමට නොහැකි වී ඇති බවද ඔහු එහිදී පැවසීය.

ඉන්ධන ලබා ගැනීමට ඉන්දියාව සමඟ අත්සන් තැබීමට නියමිත ගිවිසුම ප්‍රමාදවීම නිසා වර්තමානයේ ලබාගත හැක්කේ ඉන්ධන නෞකා හතක් පමණක් බවත් නියමිත වේලාවට ගිවිසුමට එළඹුනා නම් ඊට වඩා ඉන්ධන නැව් ගෙන්වා ගැනීමට හැකියාව තිබූ බවත් ඔහු පැවසීය.

15 විරෝධය : අරාබි වසංතයක පළමු වෙඩිමුරය !

මාර්තු 15 වෙනිදා එනම් හෙට දිනයේ විරෝධතාවයෙන් පසුව පවතින ආර්ථික අර්බුදය විසඳීම සඳහා රජයට අවසන් කාල සීමාවක් ලබාදෙන බවත් අනතුරුව “අරාබි වසන්තය” ආකාරයේ විරෝධතාවයකට යන බව සමගි ජන බලවේගය පවසයි.

එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේ , පා ගමනිකින් පැමින ජනාධිපතිතුමා හමුවෙන්න යන බවත් ඒහිදී ඔහුට අවසාන දැනුම් දීමක් කරන" බවත් ය.

“අපිව විවේචනය නොකර අපිත් එක්ක එකතු වෙන්න කියලා ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු සියලුම පක්‍ෂවලට ආරාධනා කරනවා,” ඔහු වැඩිදුරටත් පැවසීය.

බාධා කරන්නේ බලාගෙනයි - මරික්කාර්

මේ අතර මාධ්‍ය වෙත අදහස් දක්වමින් සජබ මාධ්‍ය ප්‍රකාශක එස්.එම්. මරික්කාර් මන්ත්‍රීවරයා සඳහන් කර සිටියේ , හෙට දිනයේ කොළඹදී පැවැත්වෙන සමගි ජන බලවේගයේ මහා ජනරැලිය කඩාකප්පල් කිරීම සදහා විවිධ සැලසුම් ක්‍රියාත්මක වෙමින් පවතින බවය.

එසේ කරන නිලධාරීන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් බවත් මන්ත්‍රීවරයා එහිදී පැවසීය.

කුමන බාධක පැමිණියද ලක්ෂයක ජනතාවක් සමග හෙට දිනයේදී ආණ්ඩුවට එරෙහිව දැවැන්ත ‌විරෝධයක් සිදුකරන බවද ඔහු පැවසීය.

නිල වාහන නිවාස ලේකම්ටදී : වාසුත් ගෙදර ගිහින් !

ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර තම රාජකාරී වාහන සහ නිල නිවාස සියල්ලම අද (14) ජල සම්පාදන අමාත්‍යංශ ලේකම් ප්‍රියත් බන්දු වික්‍රමට භාරදී ඉවත්ව ගොස් ඇති බව වාර්තා වෙයි.

අමාත්‍ය මණ්ඩලයේ රැස්වීම් වර්ජනය කිරීම සහ අමාත්‍යංශයේ රාජකාරීවලින් ඉවත්වීමත් නිසා තව දුරටත් වාහන සහ අනෙකුත් අමාත්‍යංශයේ පහසුකම් ලබාගැනීම සදාචාර නොවන බැවින් මෙම තීරණයට එළැඹි බව හිටපු අමාත්‍යවරයා පැවසූ බවත් වාර්තා වෙයි.

ඉදිරියට ගමන් බිමන් සඳහා සිය සහෝදරයෙක්ට හිමි කුඩා රථයක් ඉදිරියට භාවිතා කරන බව එහිදී හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාර පැවසූ බවත් වාර්තා වෙයි.

පක්ෂයේ තීරණය !

කෙසේ වුවත් මීට පෙර මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාර සඳහන් කර සිටියේ , දිගටම අමාත්‍යවරයකු ලෙස කටයුතු කරන ලෙස තම පක්ෂයේ මධ්‍යම කාරක සභාව යෝජනා කළ බවය.

කෙසේ වුවත් ආණ්ඩුව අභ්‍යන්තරයේ බැසිල් විරෝධී කඳවුරේ ප්‍රමුඛයකු වූ වාසුදේව මන්ත්‍රීවරයා මේ අනුව පක්ෂ තීරණය වෙනස් කරගෙන ඇති බවක් පෙන්නුම් කරයි.

විමල් ගම්මන්පිල ඉවත් කළාම වාසු යයි කියලා හිතුවා - බැසිල්

මේ අතර පසුගිය සමයේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ගේ ආරංචි මාර්ග උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා සඳහන් කර සිටියේ , විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල අමාත්‍යවරුන් ධූර වලින් ඉවත්කර වාසුදේව ඉවත් නොකර සිටියේ , ඔහු නිකංම ඉල්ලා අස්වීම සිදුකරනු ඇති බවට වන අපේක්ෂාවෙන් බවය.

ඒ අනුව දැන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ගේ ඒ අපේක්ෂාවත් ඉටුව ඇති බව පැහැදිලි වෙයි.

සිමෙන්ති මිලත් ඉහළට..

සිමෙන්ති මිල ඉහළ දැමීමට සිදුවන බව සිමෙන්ති සමාගම් පවසයි.

මීට පෙර සිමෙන්ති කොට්ටයක මිල රු. 1500.00ක් වූ අතර, රුපියල් 350.00කින් ඉහළ දැමීමට තීරණය වී ඇත.

ඒ අනුව සිමෙන්ති කිලෝ ග්‍රෑම් 50 කොට්ටයක නව  මිල රුපියල් 1850 දක්වා ඉහළ දමන බව එම සමාගම් පවසා සිටී.

Page 279 of 386