V2025

පුවත්

15 විරෝධය : අරාබි වසංතයක පළමු වෙඩිමුරය !

මාර්තු 15 වෙනිදා එනම් හෙට දිනයේ විරෝධතාවයෙන් පසුව පවතින ආර්ථික අර්බුදය විසඳීම සඳහා රජයට අවසන් කාල සීමාවක් ලබාදෙන බවත් අනතුරුව “අරාබි වසන්තය” ආකාරයේ විරෝධතාවයකට යන බව සමගි ජන බලවේගය පවසයි.

එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේ , පා ගමනිකින් පැමින ජනාධිපතිතුමා හමුවෙන්න යන බවත් ඒහිදී ඔහුට අවසාන දැනුම් දීමක් කරන" බවත් ය.

“අපිව විවේචනය නොකර අපිත් එක්ක එකතු වෙන්න කියලා ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු සියලුම පක්‍ෂවලට ආරාධනා කරනවා,” ඔහු වැඩිදුරටත් පැවසීය.

බාධා කරන්නේ බලාගෙනයි - මරික්කාර්

මේ අතර මාධ්‍ය වෙත අදහස් දක්වමින් සජබ මාධ්‍ය ප්‍රකාශක එස්.එම්. මරික්කාර් මන්ත්‍රීවරයා සඳහන් කර සිටියේ , හෙට දිනයේ කොළඹදී පැවැත්වෙන සමගි ජන බලවේගයේ මහා ජනරැලිය කඩාකප්පල් කිරීම සදහා විවිධ සැලසුම් ක්‍රියාත්මක වෙමින් පවතින බවය.

එසේ කරන නිලධාරීන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් බවත් මන්ත්‍රීවරයා එහිදී පැවසීය.

කුමන බාධක පැමිණියද ලක්ෂයක ජනතාවක් සමග හෙට දිනයේදී ආණ්ඩුවට එරෙහිව දැවැන්ත ‌විරෝධයක් සිදුකරන බවද ඔහු පැවසීය.

නිල වාහන නිවාස ලේකම්ටදී : වාසුත් ගෙදර ගිහින් !

ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර තම රාජකාරී වාහන සහ නිල නිවාස සියල්ලම අද (14) ජල සම්පාදන අමාත්‍යංශ ලේකම් ප්‍රියත් බන්දු වික්‍රමට භාරදී ඉවත්ව ගොස් ඇති බව වාර්තා වෙයි.

අමාත්‍ය මණ්ඩලයේ රැස්වීම් වර්ජනය කිරීම සහ අමාත්‍යංශයේ රාජකාරීවලින් ඉවත්වීමත් නිසා තව දුරටත් වාහන සහ අනෙකුත් අමාත්‍යංශයේ පහසුකම් ලබාගැනීම සදාචාර නොවන බැවින් මෙම තීරණයට එළැඹි බව හිටපු අමාත්‍යවරයා පැවසූ බවත් වාර්තා වෙයි.

ඉදිරියට ගමන් බිමන් සඳහා සිය සහෝදරයෙක්ට හිමි කුඩා රථයක් ඉදිරියට භාවිතා කරන බව එහිදී හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාර පැවසූ බවත් වාර්තා වෙයි.

පක්ෂයේ තීරණය !

කෙසේ වුවත් මීට පෙර මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාර සඳහන් කර සිටියේ , දිගටම අමාත්‍යවරයකු ලෙස කටයුතු කරන ලෙස තම පක්ෂයේ මධ්‍යම කාරක සභාව යෝජනා කළ බවය.

කෙසේ වුවත් ආණ්ඩුව අභ්‍යන්තරයේ බැසිල් විරෝධී කඳවුරේ ප්‍රමුඛයකු වූ වාසුදේව මන්ත්‍රීවරයා මේ අනුව පක්ෂ තීරණය වෙනස් කරගෙන ඇති බවක් පෙන්නුම් කරයි.

විමල් ගම්මන්පිල ඉවත් කළාම වාසු යයි කියලා හිතුවා - බැසිල්

මේ අතර පසුගිය සමයේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ගේ ආරංචි මාර්ග උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා සඳහන් කර සිටියේ , විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල අමාත්‍යවරුන් ධූර වලින් ඉවත්කර වාසුදේව ඉවත් නොකර සිටියේ , ඔහු නිකංම ඉල්ලා අස්වීම සිදුකරනු ඇති බවට වන අපේක්ෂාවෙන් බවය.

ඒ අනුව දැන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ගේ ඒ අපේක්ෂාවත් ඉටුව ඇති බව පැහැදිලි වෙයි.

සිමෙන්ති මිලත් ඉහළට..

සිමෙන්ති මිල ඉහළ දැමීමට සිදුවන බව සිමෙන්ති සමාගම් පවසයි.

මීට පෙර සිමෙන්ති කොට්ටයක මිල රු. 1500.00ක් වූ අතර, රුපියල් 350.00කින් ඉහළ දැමීමට තීරණය වී ඇත.

ඒ අනුව සිමෙන්ති කිලෝ ග්‍රෑම් 50 කොට්ටයක නව  මිල රුපියල් 1850 දක්වා ඉහළ දමන බව එම සමාගම් පවසා සිටී.

ආයෝජනවලට බාධා කළොත් දැඩි පියවර : ජොනීගෙන් තගක් !

පුනර්ජනනීය බලශක්ති උත්පාදන ව්‍යාපෘති සඳහා ඉන්දීය අදානි සමාගම ප්‍රථම අදියර ලෙස ඩොලර් මිලියන 500 ක් ආයෝජනය කල බවත් ඒ සඳහා පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතීන් කඩිනම් කිරීම සඳහා පත් කල අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ අනුමැතිය ලබා දුන් බවත් ඉදිරියේ දී මෙරට පුනර්ජනනීය ව්‍යාපෘතීන් සඳහා අදානි සමාගම තවත් ආයෝජනය කරන බවත් මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ප්‍රකාශ කරයි.

කිසි ලෙසකත් පැමිණෙන ආයෝජන ප්‍රමාද නොකරන බවත් කිසියම් පිරිසක් මෙම ආයෝජන පමා කරන්නට කටයුතු නරන්නේ නම් ඔවුන්ට එරෙහිව දැඩි පියවර ගන්නා බවත් අමාත්‍යවරයා පවසයි.

නව නිවාස සෑදීම , අලුතින් කර්මාන්තශාල ඇති කිරීම වැනි දෑ නිසා වාර්ෂිකව අලුතින් 5% – 8% ප්‍රමාණයකින් විදුලි බල ඉල්ලුම වැඩිවේ. මෙම අවශ්‍යතාවය සපුරා ගැනීම සඳහා පුනර්ජනනීය බලශක්තිය මඟින් උත්පාදනය කරන විදුලිය ලබා දීම කෙරෙහි අවධානය යොමුකරන බව අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.

බස් ගාස්තුවත් ඉහළට : දුම්රියත් ගාස්තු ඉහළ දැමීමටත් ඉල්ලීමක් !

හෙට (14) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු ඉහළ දැමීමට ආණ්ඩුව අවසර ලබාදීමට තීන්දු කර ඇති බව වාර්තා වෙයි.

වාර්තා වන ආකාරයට බස් සංගම් කළ ඉල්ලීම් සලකා බැලීමෙන් අනතුරුව මේ තීන්දුව ගෙන ඇත.

ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් කර්මාන්ඩර් නිලාන් මිරැන්ඩා මාධ්‍ය වෙත පවසා ඇත්තේ , ගාස්තු සංශෝධනය හෙට කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර අනුමැතිය ලබා ගන්නා බවය.

අවම බස් ගාස්තුව බොහෝ දුරට රුපියල් 19ක් හෝ 20ක් වනු ඇතැයි ද ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.

දුම්රියත් ගාස්තු ඉහළ දැමීමට ඉල්ලයි !

බස් ගාස්තු ඉහළ දැමීම සමග දුම්රිය ප්‍රවේශපත් මිලත් ඉහළ දැමීමට ඉල්ලීමට එහි ප්‍රධානීන් සූදානම් වීමක් ගැනත් තොරතුරු වාර්තා වෙයි.

ඒ අනුව එහි සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මාධ්‍ය වෙත පවසා ඇත්තේ , බස් ගාස්තුවලට සමාන ගාස්තුවකින් අදාළ ඉහළ දැමීම සිදුකරන්නැයි, ඉල්ලන බවය.

ප්‍රවාහන අමාත්‍යාංශයේ උපදෙස් ගනිමින්, අදාළ ඉල්ලීම මුදල් අමාත්‍යාංශයට යොමු කරන බව, ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.

විමල් - ගම්මන්පිල ඇතුළු පිරිසෙන් : මහින්ද සුළඟ ආපසු හරවන මෙහෙයුමක් !

අමාත්‍ය මණ්ඩලයෙන් ඉවත් කරන ලද විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල හිටපු අමාත්‍යවරුන් හා ඔවුන්ට සහාය දෙන දේශපාලන පක්ෂ ගණනාවක් තමන් සතු ජන බලය පෙන්වීමට ජන රුලියක් පැවැත්වීමට සැලසුම් කර තිබේ.

දැනට යෝජනා වී ඇත්තේ මෙම ජන රැලිය මෙම මස 29දා නුගේගොඩ නගරයේදී පැවැත්වීමටයි. සිය මංගල ජන රැලිය පැවැත්වීම සම්බන්ධයෙන් පසුගියදා පැවති මූලික සාකච්ඡාවේදී ශ්‍රීලනිපය, පිවිතුරු හෙළ උරුමය, ජාතික නිදහස් පෙරමුණ ඇතුළු පක්ෂ ගණනාවක් ඊට කැමැත්ත ප්‍රකාශ කර ඇත. එහෙත් සන්ධානයේ සිටින ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය, සමසමාජය හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ මාර්තුවේ රැලිය නොපවත්වා මැයි මස පළමුවැනිදා මැයි දිනයද සමඟ රැලිය ඒකාබද්ධව පැවැත්විය යුතු යැයි යෝජනා කර ඇත. මේ ගැන අවසන් තීරණය ඉදිරි සතියේ ගැනීමට නියමිතය.

විමල් උදය පිල මේ රැලිය සඳහා නුගේගොඩ නගරය තෝරාගෙන ඇත්තේ බොහෝ පෙරළිකාර දේශපාලන කණ්ඩායම් මෙයට පෙර සිය මංගල දේශපාලන රැලි නුගේගොඩදී පැවැත්වූ නිසා බවද වාර්තා වෙයි.

විමල් උදය කණ්ඩායමේ රැලියට සමගාමීව ආණ්ඩු පක්ෂයද (පොහොට්ටුවද) සිය ජන බලය පෙන්වීම සඳහා දැවැන්ත මැයි දින රැලියක් ගාලු මුවදොරදී මැයි 01දා පැවැත්වීමට සැලසුම් කර තිබේ. ගාලු මුවදොර පිටියට සිය පාක්ෂිකයන් කැඳවා පවත්වන ජන රැලිය මගින් විපක්ෂයට අභියෝග කිරීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සැලසුමයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නායකත්වය දරන සමගි ජන බලවේගයද සිය ජන බලය පෙන්වීමටත් ආණ්ඩුවට විරෝධය දැක්වීමටත් ලබන 15දා සවස 2ට කොළඹදී විශාල ජන රැලියක් පැවැත්වීමට සැලසුම් කර ඇත. රැලිය පවත්වන ස්ථානය මේ දක්වා ප්‍රකාශ කර නැතත් ඔවුන් පෙළපාලියක් සමඟ ජන රැලියක් පැවැත්වීමට සැලසුම් කර ඇතැයි වාර්තා වෙයි.

- දේශය

වැරදිලා හරි රනිල් අගමැති වෙයි කියලා මෛත්‍රී බය වෙලා ?

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අගමැති කරන ජාතික ආණ්ඩුවක් සම්බන්ධයෙන් වන දේශපාලන ගොසිප් එකක් මේ වන විට පැතිර යමින් ඇති අතර ඒ පිළිබඳ ශ්‍රීලනිප නායක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රතිචාර දක්වා ඇත.

ඒ අනුව ඔහු සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් කියන්නේ ජාතික ආණ්ඩුවක් සඳහා තම සූදානමක් නැති බවය.

එහිදී ඔහු ආණ්ඩුව වෙතත් දැඩි ප්‍රහාරයක් එල්ල කරමින් පවසන්නේ ආණ්ඩුව ජනතාවට බොරු කීම නැවැත්විය යුතු බවය.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිය ෆේස්බුක් පිටුවේ තැබූ සටහන පහත දැක්වෙයි.

buttala

කෙසේ වුවත් රනිල් වික්‍රමසිංහ යළිත් අගමැති කරන ජාතික ආණ්ඩුවක් සම්බන්ධයෙන් වන දේශපාලන ගොසිප් එක තටු ලැබූවේ, පසුගියදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ජනාධිපති ප්‍රමුඛ පොදුජන පෙරමුණේ නායකයන් සමග පැවති සාකච්ඡාවෙන් පසුව බව දේශපාලන විචාරකයන් පවසයි.

එහිදී සර්ව පාක්ෂික සමුළුවක් සම්බන්ධයෙන් යෝජනාවක් ජනාධිපති වෙත ඉදිරිපත් කිරීමට ශ්‍රීලනිප පාර්ශ්වය කටයුතු කර තිබූ අතර ඊට ජනාධිපති එකඟතාව පළකල බවත් සඳහන් විය.

අවසානයේදී සර්ව පාක්ෂික සමුළුව සහ ජාතික ආණ්ඩුව සම්බන්ධයෙන් වන ගොසිප් එක පොදු ක්‍රියාමාර්ගයක් බවට ප්‍රසිද්ධ වූ බවත් විචාරකයන් පෙන්වා දෙයි.

එසේම මේ වන විට ජාතික ආණ්ඩු යෝජනාව මහින්ද රාජපක්ෂ අගමැති විසින් හාස්‍යට ලක්කර ඇති අතර එය හිටපු අග්‍රාමාත්‍ය රනිල් මැව් ගොසිප් එකක් බව ආණ්ඩුවේ ඇතමුන් පවසයි.

එක්සත් ජාතික පක්ෂයේ නායක , හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ද මේ ජාතික ආණ්ඩු ගොසිප් එක හාස්‍යට ලක්කර ඇති බවත් වාර්තා වෙයි.

මේ පසුබිමේ ජාතික ආණ්ඩුව සම්බන්ධයෙන් ගොසිප් එක පණක් ලබා ඇත්තේ , අර්බුදය විසඳීමේ හැකියාව රනිල් වික්‍රමසිංහ වෙත ඇති බවට දේශපාලන ක්ශේත්‍රයේ ඇති අවිඥානික පිළිගැනීම නිසා විය හැකි බව දේශපාලන විචාරක මතය වී තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දේශපාලන විචාරකයකු පවසා සිටියේ මෙසේය.

" තුනෙන් දෙකක බලයක් ඇති ආණ්ඩුවක් බලයේ සිටින විට, තනි මන්ත්‍රීවරයකු වන හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අගමැති කරන ගොසිප් එකක් නිර්මාණය වීම යන්නම ප්‍රශ්නයක්. ඒ වගේම තමයි ශ්‍රීලනිප ය ප්‍රමුඛ ආණ්ඩුව නියෝජනය කරන පාර්ශ්ව සහ විපක්ෂයේ පවා ඇතමුන් කළබල වීම. රාජපක්ෂවරුන් කිසිම අවස්ථාවක බලය බෙදා හදා ගැනීමකට යයි කියලා වැරදිලා හෝ මේ පිරිස හිතුවේ කොහොමද ? අන්න එතන ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නේ කලබල වෙන උදවිය කාටත් රනිල් වික්‍රමසිංහ අභියෝගයක් බව පෙන්නුම් කරනවා. ඔවුන් බය වෙන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වන ආණ්ඩුවක රනිල් වික්‍රමසිංහ අගමැති වීම වියනොහැක්කක් යන්න ගැන නෙවෙයි. වැරදිලා හරි වුණොත් ඊට පස්සේ මොකද වෙන්නේ යන්න ගැන වෙන්න ඕන. ඒ කියන්නේ ඔවුන් අවිඥානික බියක පසුවෙනවා, රනිල් වික්‍රමසිංහ අගමැති වුණොත් ප්‍රශ්නය විසඳීමට ඉඩක් තිබෙන බව, ඒ විය හැකියාව නිසා හැර මේ ගොසිප් වලට සීරියස් ප්‍රතිචාර දැක්වීම තේරුම් ගන්නේ කොහොමද ? අන්න ඒ ගැන හිතන්න ඕන"

වත්මන් අර්බුදය ආණ්ඩුව ආතල් එකක් කරගෙන - ටිල්වින්

"ඇත්ත ගත්තොත් ජනාධිපති මේ අර්බුදයෙන් ආතල් ගනිමින් ඉන්නේ. වීරවංශ මහත්තයලා, උදය ගම්මන්පිල මහත්තයලා එකතු වෙලා, මහතීර් මොහොමඩ්ට, ලී ක්වාන් යූට, අන්දලා ගෙනාවාට තවදුරටත් මෙහෙම යන්න බැහැ. දැන් ඇති කියන තත්වයට පත්වෙලා තිබෙන්නේ. ආණ්ඩුවේ ඇමතිවරුන් වෙනත් කතා කියලා මේ තත්වය වහන්න බලනවා. මේ අර්බුදය කොවිඩ් නිසා ඇති වුණා නොවෙයි කියලා මොළේ කළඳක් හරි තිබෙන අයට තේරේනවා." යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි.

පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළ අතර වැඩිදුරටත් මෙසේද පැවසීය.

ජනාධිපති, අගමැති ඇතුළු ආණ්ඩුව කරමින් ඉන්නේ අර්බුදය පාලනය කරන එක වෙනුවට අර්බුදය ජනතාවට කියන ප්‍රකාශයෙක් වෙලා. ඇත්ත කියන්නෙත් නැහැ. බංකොලොත් වුණාට පස්සේ අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ 367ක් තහනම් කරන්න තීන්දුවක් ගත්තා. මේ තීන්දුව විසින් තව අර්බුද රැසක් ඇති කරනවා. විවෘත ආර්ථික ප්‍රතිපත්තිය විසින් පරිභෝජනවාදී සමාජයක් ඇතිකර තිබෙන යුගයක අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ නම් කිරීමම අර්බුදයක්. මේ නිසා ස්වයංරැකියා ගණනාවක් බිඳ වැටෙනවා. උදාහරණයක් හැටියට රූපලාවන්‍ය මධ්‍යස්ථාන විශාල ප්‍රමාණයක් බිඳ වැටී රැකියා නැතිවෙනවා. ආණ්ඩුව අනුගමනය කරන ක්‍රියාමාර්ග විසින් තව තවත් අර්බුද වැඩි කරනවා. රුපියල කොතනින් නතර වෙයිද කියලා කිසිකෙනෙකුට කියන්න බැහැ. නූල කැඩුණු සරුංගලය වගේ පාවී යනවා. දැවැන්ත ව්‍යසනයකට රට පත්කරලා එයින් පීඩාවට පත්වෙන්නේ මේ රටේ කාන්තාවන් ඇතුළු සාමාන්‍ය ජනතාව. ඉගෙන ගන්නා දරුවන්ට පවා දරාගන්න බැරි අපේ රටේ ඉතිහාසයේ දැවැන්තම ආර්ථික අවපාතයට හෙලා තිබෙනවා.

ජනාධිපතිවරයා ඇතුළු කණ්ඩායම මේ තත්වය තේරුම් අරගෙන නැහැ. මේ තුළින් ජනතාවට දැනෙන වේදනාව තේරුම් අරගෙන නැහැ. ඉස්කෝලේ ළමයි අධ්‍යාපන චාරිකා යනවා වගේ ජනාධිපතිවරයා එක් එක් ආයතනවලට යනවා. ෆොටෝ ගහනවා. ඇත්ත ගත්තොත් ජනාධිපති මේ අර්බුදයෙන් ආතල් ගනිමින් ඉන්නේ. වීරවංශ මහත්තයලා, උදය ගම්මන්පිල මහත්තයලා එකතු වෙලා, මහතීර් මොහොමඩ්ට, ලී ක්වාන් යූට, අන්දලා ගෙනාවාට ජනාධිපති ළමා මනසක් තිබෙන පුද්ගලයෙක්. තවදුරටත් මෙහෙම යන්න බැහැ. දැන් ඇති කියන තත්වයට පත්වෙලා තිබෙන්නේ. ආණ්ඩුවේ ඇමතිවරුන් වෙනත් කතා කියලා මේ තත්වය වහන්න බලනවා. මේ අර්බුදය කොවිඩ් නිසා ඇති වුණා නොවෙයි කියලා මොළේ කළඳක් හරි තිබෙන අයට තේරේනවා. යුක්රේන් අර්බුදය ලෝක වෙළඳ පොළේ තෙල් මිල වැඩිවීමට කිසියම් ප්‍රමාණයකින් බලපා තිබෙනවා. නමුත් අපේ රටේ තෙල් මිල වැඩිවෙන්නේ යුක්රේන් අර්බුදය නිසා පමණක් නොවෙයි. ලෝක වෙළඳ පොළේ තෙල් මිල වැඩිවීමට අමතරව රුපියල කඩාවැට්ටීම නිසාත් තෙල් ලමි වැඩි වෙනවා. අපේ රටේ රුපියල කඩා වැටීමට යුක්රේන් අර්බුදයේ තිබෙන බලපෑම මොකක්ද? ශක්තිමත් ආර්ථිකයක් තිබුණා නම්, පාලනය කර ගන්න තිබුණා. 2019 ඡන්ද රැස්වීම්වල, මාධ්‍ය සාකච්ඡාවල වීරවංශ මහත්තයලා “ලෝක වෙළඳ පොළේ තෙල් මිල වැඩිවීම නිසා මිල වැඩි කරන්න නම් ආණ්ඩුවක් මොකටද?” කියලා ඇහුව හැටි අපට මතකයි. යුක්රේනයේ යුද්ධයක් ඇති වෙනකොට අපේ රටේ ආර්ථිකය කඩා වැටෙනවා නම් ආණ්ඩුවක් මොකටද? යුද්ධය පෙන්නලා තක්කඩිකමෙන් නොයෙක් ප්‍රචාරයන් ගෙන යනවා.

කොවිඩ් නිසා සංචිත බිඳ වැටුණද? නැහැ. 2019 - 2021 අතර කාලයේ අපට කිට්ටු රටවල තත්වය මාධ්‍යවල පළකර තිබුණා. ඉන්දියාවේ විදෙස් සංචිත 39%කින්, බංගලාදේශයේ 42%කින්, භූතානයේ 35%කින්, පකිස්ථානයේ 33%කින්, පිලිපීනයේ 24%කින්, මැලේසියාවේ 13%කින්, ඉන්දුනීසියාවේ 12%කින්, තායිලන්තයේ 10%කින් වැඩිකර ගෙන තිබෙනවා. හැබැයි ලංකාව 79%කින් අඩුකර ගෙන තිබෙනවා. අපට ඩොලර් ලැබෙන මාර්ග සියල්ලම විනාශ කරගත් නිසා මේ තත්වය ඇති වුණා. අනික් පැත්තෙන් අවුරුද්දකදී ඩොලර් බිලියන 6කට වැඩිය ණය වාරික සහ පොලී ගෙවන්න සිදුවෙලා තිබෙනවා. අපේ රට අනුගමනය කළ වැරදි ආර්ථික ප්‍රතිපත්තිය තක්කඩිකමකින් කොවිඩ් හරි යුක්රේන් යුද්ධය හරි පෙන්නලා වහන්න හදනවා.

විදුලි බිල්පත 500% කින් වැඩිකිරීමේ සූදානමක් - PCR (video )

විදුලි බිල්පත ඉතාම බරපතළ අගයකින් ඉහළ දැමීමේ සූදානමක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක අනතුරු අඟවයි.

සමාජ මාධ්‍ය වෙත වීඩියෝවක් නිකුත්කරමින් හිටපු අමාත්‍යවරයා පවසන්නේ නැති බැරි, දුප්පත් ජනතාවගේ විදුලි බිල 500% කින් වැඩි කරන ප්‍රතිපත්තියක්
බලශක්ති අමාත්‍යංශය යෝජනා කර ඇති බවයි.

පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයා ගේ අදාළ අදහස් දැක්වීම සහිත වීඩියෝව පහත දැක්වෙයි.

ඉන්ධන මිල තීන්දුව ඉන්දියාවට : විදුලිය මිල තීන්දුව ඇමරිකාවට !

ඉන්ධන ඒකාධිකාරය ඉන්දියන් ඔයිල් සමාගමටත් විදුලිය ඒකාධිකාරය ඇමරිකන් නිව් ෆෝට‍්‍රස් සමාගමටත් නුදුරේදීම හිමි විය හැකි බව තෙල්, වරාය, විදුලිය ඒකාබද්ධ සන්ධානයේ කැඳවුම්කරු රංජන් ජයලාල්  පැවසීය.

ජනතාව ද සිපෙට්කො ඉන්ධන හල්වල සිට ඉන්දියන් ඔයිල් හල්වලින් ඉන්ධන ගැනීමට කටයුතු කිරීමත් සමගම මෙරට බලධාරීන් සිපෙට්කො හල්වලට ඉන්ධන සැපයුම අඩුකරන බවත් ඔහු කීය.

මේ නිසා සිපෙට්කො සතුව තිබූ ඉන්ධන බෙදා හැරීමේ බලය ඉන්දියන් ඔයිල් සමාගමට නතුවන බවත් මේ ආකාරයෙන් විදුලි සැපයුම ද වැඩි දිනක් යෑමට පෙර ඇමරිකන් නිව් ෆෝට‍්‍රස් සමාගම බත්තලක් සහිත නැවක් මෙරටට ගෙන්වා එල්. එන්. ජී. මගින් විදුලිය ලබාදීමට කටයුතු කරනු ඇති බවත් ඔහු කීය. ඒ හරහා විදුලි ඒකාධිකාරය ද එම සමාගමට හිමිවන බවත් ඔහු කීය.

රටේ විදුලිය අවශ්‍යතාවය වන මෙගාවොට් 2700 ක සම්පූර්ණ ප‍්‍රමාණය ද ඇමරිකන් එල්. එන්. ජී නැවකින් ලබාදීමට හැකි තාක්‍ෂණය ඔවුන් සතුව පවතින බවත් ජයලාල් මහතා වැඩිදුරටත් පැවසීය.

දිවයින

ඉස්සරහට ගොයිං පයිං : අවම බස් ගාස්තුව රුපියල් 30- 35 ක් වීමේ අවධානමක් !

සිපෙට්කෝ සහ ලංකා IOC විසින් සිදුකළ මහා පරිමාණ ඉන්ධන මිල ඉහළ දැමීම හමුවේ පොදු ප්‍රවාහන සේවා ගාස්තු ද අහස උසට යාමේ තත්ත්වයක් උද්ගතව ඇත.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සමස්ත ලංකා පෞද්ගලික බස්රථ සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් පවසා ඇත්තේ ඉන්ධන මිල ඉහළ යාමත් සමග බස් ගාස්තුව 60%කින් පමණ ඉහළ දැමීට සිදුවන බවයි.

ඒ අනුව අවම බස් ගාස්තුව රුපියල් 30ත් 35ත් දක්වා ඉහළ දැමීමට සිදුවන බව ඔහු අවධාරණය කර ඇත.

මාධ්‍යට අදහස් දක්වමින් සමස්ත ලංකා පෞද්ගලික බස්රථ සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් පවසා ඇත්තේ බස් ගාස්තුව ඉහළ නොදැමීමට නම් පෞද්ගලික බස් රථ සඳහා රජයෙන් යම්කිසි සහනයක් ලබාදිය යුතු බවයි.

“සමහර නගරවල තියෙන්නේ IOC පිරවුම්හල් පමණයි. සමහර නගරවල සිපෙට්කෝ පිරවුම්හල් තිබුණත් තෙල් නොමැතිකම නිසා අපිට සිද්ධ වෙනවා IOC පිරවුම්හලෙන් ඩිසල් ලබාගැනීමට. ඊයේ දිනයෙදීත් අපි එක කළා අද දිනයෙදීත් ඒක කරන්න වෙනවා. එතකොට මෙරතරම් ප්‍රමාණයකින් රුපියල් 93කින් ලීටරයක මිල ඉහළයාම පාදක කරගෙන බස්ගාස්තු සංශෝදනය 60%කින් වගේ ඉහළ යන්න ඉඩකඩ තියෙනවා. රුපියල් 30ක අගයකින් බස් ගාස්තු වැඩි වෙනවා. අවම බස් ගාස්තුව රුපියල් 30ත් 35ත් අතර අගයකින් වැඩිකරන්න අපිට සිද්ධ වෙනවා. ඒ නිසා අපි රජයට කියනවා වහාම ක්‍රියාත්මක වෙන පරිදි අද හෝ හෙට පෞද්ගලික බස් කර්මාන්තකරුවන්ට ඩීසල් සහනාධාරය ලබා දීම සිදු කළ යුතුයි.”

මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසා ඇත්තේ ලංගම හරහා ඩීසල් ලබාදීමේ ක්‍රමවේදයක් සකස් කළහොත් මිල සංශෝධනයක් සිදු කිරීමට අනවශ්‍ය බවය.

මචං , තාත්තවයි බාප්පවයි ඇමරිකාවට ගෙන්න ගන්න : දෙරණ නිවේදකයා ජාත්‍යන්තරයට !

ඔබේ පියා සහ බාප්පා කඩිනමින් ඇමරිකාවට ගෙන්වා ගන්නා ලෙස ආයාචනය කරමින් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ගේ පුතා වන මනෝජ් රාජපක්ෂ වෙත ප්‍රසිද්ධ වීඩියෝවක් නිකුත් කිරීමට දෙරණ මාධ්‍ය ජාලයේ ජනප්‍රිය නිවේදකයකු වන විශ්ව ලංකා කටයුතු කර ඇත.

මේ වන විට එම වීඩියෝව සමාජ මාධ්‍ය තුළ දැඩි අවධානයක් දිනාගෙන ඇත.

" තාත්තේ, ඔයාට ලංකාව පාලනය කරන්න බෑ. බාප්පවත් එක්කගෙන ආපහු ඇමරිකාවට එන්න.. සර්ගේ පුතා දකිනතුරු ශෙයා කරන්න " යන ශීර්ෂයෙන් යුතුව එම වීඩියෝව නිකුත්කර ඇත.

wiswa

එහිදී ඔහු වැඩිදුරටත් පවසා සිටින්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති මිනිසුන්ගෙන් බැනුම් ඇසිය යුතු කෙනෙකු නොවන බවත් මේ වන විට බැසිල් රාජපක්ෂ රටම බංකොලොත් තත්වයට පත් කර ඇති හෙයින් ඉතිරි වී තිබෙන දෙයින් හෝ ශ්‍රී ලංකාවාසීන්ට දුකක් කරදරයක් නැතිව ජීවත් වීමට නම් වහාම බැසිල් රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අමෙරිකාවට ගෙන්වා ගන්නා ලෙසයි.

විශ්ව ලංකා දෙරණ මාධ්‍ය ජාලයේ ජනප්‍රිය නිවේදකයකු වන අතර අනෙක් පසින් දෙරණ මාධ්‍ය ජාලයේ හිමිකරු වන දිලිත් ජයවීර , වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ දේශපාලන ආගමනයේ සිට ජනාධිපති කරවීම දක්වා සුවිශේෂ මැදිහත්වීමක් සිදුකළ අයෙකු ලෙස ප්‍රසිද්ධ ය. එසේම ඔහු ජනාධිපති ගේ ළඟම මිතුරෙකු බවත් ප්‍රසිද්ධ රහසකි.

විශ්ව ලංකා සමාජ මාධ්‍ය වෙත නිකුත්කළ වීඩියෝව පහත දැක්වෙයි.

බැසිල් - කබ්‍රාල් ගැටුම කරළියට : වැඩ ලක්ෂයට සහ IMF යාමට බාල්දියක් !

පවතින බරපතළ ආර්ථික අර්බුදය දෛනිකව වර්ධනය වීම හමුවේ මුදල් අමාත්‍යංශය සහ ශ්‍රී ලංකා මහ බැංකුව අතර ඇති සීතල යුද්ධයත් එළිපිට ගැටුමක් බවට පත්ව ඇති බව දේශපාලන විචාරකයන් පවසයි.

දේශපාලන ආරංචි මාර්ග උපුටා දක්වමින් විචාරකයන් පවසන්නේ මුදල් අමාත්‍යවරයා විසින් දියත්කර ඇති , ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ගැනීමට සහ වැඩ ලක්ෂයේ වැඩපිළිවෙළට මහ බැංකුවේ විරෝධයක් ඇති බව නිරීක්ෂණය වන බවයි.

ලබන සඳුදා (14) දින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානීන් දෙදෙනකු ලංකාවට පැමිණීමට නියමිතව ඇති අතර මෙම නිලධාරීන් දෙදෙනා සඳුදා දින මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මුණගැසී සාකච්ජා පැවැත්වීමට සැලසුම් කර ඇති බව වාර්තා වෙයි. එසේම ඔවුන් අඟහරුවාදා (15) ජනාධිපතිවරයා මුණගැසීමට සැලසුම් කර ඇති බවත් සඳහන් වෙයි.

වාර්තා වන ආකාරයට ලංකා රජය කළ ඉල්ලීමකට අනුව ඉදිරියේදී ණය ආධාර ලබාදීම සඳහා වූ කොන්දේසි ඇතුළත් යෝජනාවලියක්ද මෙහිදී මූල්‍ය අරමුදලේ නිලධාරීන් ආණ්ඩුවට ලබාදීමට නියමිතව ඇත.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් පුවත් පළකොට ඇති ‌ජාත්‍යන්තර මාධ්‍ය අනාවරණය කොට ඇත්තේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම මුල්කරගෙන මෙසේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් ලංකාවට පැමිණෙන බවකි.

එසේ තිබියදී මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සිය ට්විටර් ගිණුමේ සදහන් කොට ඇත්තේ ඇතැම් මාධ්‍ය වාර්තා කර ඇති පරිදි මූල්‍ය අරමුදලේ නිලධාරීන් සමග ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් සාකච්ජා නොවන බවකි.

මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් තැබූ ට්වීටර් සටහන පහත දැක්වෙයි.

ajith c

වැඩ ලක්ෂයටත් කබ්රාල්ගෙන් බාල්දියක් !

මේ අතර ආණ්ඩුවේ සංවර්ධන ව්‍යාපෘති වසරක පමණ කාලයකට තාවකාලිකව නවත්වන්නැයි ශ්‍රී ලංකා මහ බැංකුව රජයට නිර්දේශ කර ඇති බවත් වාර්තා වෙයි.

ඊට අනුව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ගේ වැඩ ලක්ෂයේ ව්‍යාපෘතියද තවකාලිකව නවත්වන ලෙස රජයට නිර්දේශ කර ඇති බවත් දැනගන්නට ඇත.

රටේ පවතින මූල්‍යමය තත්වය සැලකිල්ලට ගෙන මෙම නිර්දේශය කර ඇතැයි ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

රටේ රුපියල් ප්‍රමාණයේද බරපතළ පහත වැටීමක් පවතින හෙයින් මෙවැනි ක්‍රියාමාර්ගවලට අනිවාර්යෙන්ම යොමුවිය යුතු බව පෙන්වා දෙන ශ්‍රී ලංකා මහ බැංකුව සංවර්ධන ව්‍යාපෘති කෙටි කාලයකට තාවකාලිකව නතර කිරීමෙන් රටේ ආර්ථිකයට ලොකු ගැටළුවක් ඇති නොවනු ඇතැයිද සඳහන් කර තිබෙන බවත් දැනගන්නට ඇත.

බැසිල්ගේ ජනාධිපති සිහිනය ?

මේ උද්ගතව ඇති තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින් දේශපාලන විචාරකයන් පවසන්නේ වැඩ ලක්ෂය ව්‍යාපෘතිය නැවැත්වීමක් සිදුවුවහොත් එය 2024 ජනාධිපති අපේක්ෂකත්වය වෙනුවෙන් බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යවරයා දියත්කර ඇති මෙහෙයුමට හානියක් සිදුවන බවයි.

වැඩ ලක්ෂය ව්‍යාපෘතිය පළාත් පාලන ආයතන මැතිවරණයක් ඉලක්ක කර දියත්කර ලැබූවක් බවත් , ඒ හරහා ජාතික මැතිවරණයක් වෙත ගොස් බලය තහවුරු කර ගැනීම මුදල් අමාත්‍යවරයා ගේ බල අපේක්ෂාව වූ බවත් දේශපාලන විචාරකයන් විශ්ලේෂණය කර සිටියි.

යල මහ සරු කළ කුඹුර ගොඩකර කෝටි 7ක ජොගිං ට්‍රැක් එකක් !

යක්කල නගරයට ආසන්නයේ සරුසාර කුඹුරක් ගොඩකර එහි රුපියල් කෝටි හතකට ආසන්න ජොගිං ට්‍රැක් එකක් ඉදිකිරීමක් පිළිබඳ මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් ප්‍රදේශයේ ජනතාවද බලවත් විරෝධයක් දක්වන බවත් එම මාධ්‍ය වාර්තා වල සඳහන් වෙයි.

වාර්තා වන ආකාරයට යක්කල නගරයට නුදුරු ආයුර්වේදය අසල ඉතා සාරවත් කුඹුරක් ගොඩ කර මෙම ජොගිං ට්‍රැක් එක ඉදිකිරීමට සැලසුම් කර ඇත.

ලංකාදීප පුවතක සඳහන් වන්නේ මෙම කටයුත්ත සම්බන්ධයෙන් අදහස් දක්වමින් කිහිප දෙනකුම පෙන්වා දෙනු ලැබූවේ මේ ස්ථානයේ ශරීර සුවතා මංතීරුවක් ඉදිකිරීම ආරම්භයේ සිටම ජනතාව අතර විරෝධතාවයක් පැන නැගුනු මුත් එය ඉදිරිපත් කිරීමට කිසිවෙකුත් ඉදිරිපත් නොවූයෙන් රිසි සේ මෙය ඉදිකිරීමට අවස්ථාව සැලසුනු බවයි.

ජනතාව පෙන්වා දෙන්නේ ශරීර සුවතාවය පිනිස මෙවන් මංතීරු ඉදිකිරීමට විරුද්ධ නොමැති නමුත් ඒ සදහා සුදුසු හිස් භුමි ඕනෑ තරම් යක්කල අවට පවතින බව යනුවෙන් ද එම පුවතේ සඳහන් ය.

ජායාරූපය ලංකාදීපයෙනි

ඉදිරියට ජනතාවට තවත් සහන - බැසිල්

පවතින අර්බුදකාරී තත්වය ඉක්මනින් සමනය කොටගෙන ජනතාවට ඉදිරියට තවදුරටත් සහන ලබා දීමට කටයුතු කරන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසයි.

ඔහු මේ බව සඳහන් කර සිටියේ පසුගියදා ගම්පහ අධිකරණයට පැමිණ පිටවයන අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ය.

අද රට තුළ උද්ගතව පවතින ඩොලර් අර්බුදයට හේතුව රජයේ ක්‍රියාකලාපය නොවන බවත් අමාත්‍යවරයා එහිදී පැවසීය.

ඉන්ධන ගෑස් වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ සදහා ඇතිව තිබෙන අර්බුදයන් මෙරට පාලනය විසින් ඇතිකල දෙයක් නොවන බවත් පවසන අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ කොරෝනා වසංගතය මෙන්ම යුක්රේනය සහ රුසියාව යුධ අර්බුදය ඉන්ධන මිල ඉහළ යාමට ප්‍රධාන වශයෙන් බලපෑම් එල්ල කර ඇති බවයි.

එසේම වැටුපට රුපියල් 5000ක් එක්කර ආණ්ඩුව ජනතාවට සහන දැනටමත් ලබාදී ඇති බවත් ඔහු පැවසීය.

බදු වැඩි කර : වාහන ආනයනයට අවසර !

ඩොලර්වලින් තීරු බදු ගෙවා වාහන ගෙන්වීමට අවසර ලබාදෙන්නැයි ශ්‍රී ලංකා මහ බැංකුව රජයට නිර්දේශ කර ඇත.

ඩොලර්වලින් තීරු බදු ගෙවා වාහන ගෙන්වීමට අවසර ලබා දුනහොත් ඇතැම් පුද්ගලයන් සතුව පවතින ඩොලර් වෙළෙඳපොළට වේගයෙන් ගලා ඒමෙන් රටේ ඩොලර් ප්‍රශ්නයට යම් විසඳුමක් ලැබෙනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

එසේම විදේශ රැකියාවන්හි යෙදී සිටින අයට වාහනයක් ගෙන්වා ගැනීමටද එමගින් අවස්ථාව සැලසෙනු ඇතැයි ශ්‍රී ලංකා මහ මහ බැංකුවේ නිලධාරීහු පවසති.

කෙසේ වෙතත් සාමාන්‍ය ආකාරයට වාහන ගෙන්වීම රටේ ආර්ථික තත්වය සැලකිල්ලට ගෙන තවදුරටත් අධෛර්යමත් කළ යුතු බවද ශ්‍රී ලංකා මහබැංකුව රජයට නිර්දේශ කර ඇත.

මේ අතර විදේශයෙන් ආනයනය කෙරෙන සුඛෝපභෝගී භාණ්ඩ ගෙන්වීම නතර කිරීම වෙනුවට ඒවායින් වැඩි බදු මුදලක් අය කිරීම මේ අවස්ථාවේදී වඩා ගැළපෙන ප්‍රායෝගික ක්‍රියාදාමය බව ශ්‍රී ලංකා මහ බැංකුව රජයට කරුණු පෙන්වාදී ඇත.

- Lankadeepa

සිපෙට්කෝ ඉන්ධන මිලත් අහස උසටම !

ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංස්ථාවද සිය ඉන්ධන මිල ගණන් ඉතා අධික ලෙස ඉහළ නංවා ඇත.

අදාළ මිල ඉහළ නැංවීම 11 වනදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන බවත් දැනුම්දී තිබේ.

ඒ අනුව ප්‍රධාන ඉන්ධන වර්ග කිහිපයක මිල වැඩිවීම මෙසේය.

පෙට්‍රල් 92 - රුපියල් 77 ක මිල වැඩිවීමක් සිදුකර ඇති අතර නව මිල ලීටරයක් රුපියල් 254.00 කි.

පෙට්‍රල් 95 - රුපියල් 75 ක මිල වැඩිවීමක් සිදුකර ඇති අතර නව මිල ලීටරයක් රුපියල් 283.00 කි.

ඩීසල් - රුපියල් 55 ක මිල වැඩිවීමක් සිදුකර ඇති අතර නව මිල ලීටරයක් රුපියල් 176.00 කි.

සුපර් ඩීසල් - රුපියල් 95 ක මිල වැඩිවීමක් සිදුකර ඇති අතර නව මිල ලීටරයක් රුපියල් 254.00 කි.

ශානි බල දේශපාලනයේ ගොදුරක් : රැඩිකල් සෙන්ටර් ! (වීඩියෝ )

"ගෙවුණු වසර තුනකට ආසන්න කාලයක් පුරා පාස්කු ප්‍රහාරයේ සත්‍ය තොරතුරු හෙළිදරව් කිරීම, වැරදිකරුවන්ට දඬුවම් දීම, ඒ මහා අපරාධයට ඍජුව හෝ වක්‍රව සහයෝගය ලබාදුන්නා යැයි කියන පිරිස් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීම හෝ පාස්කු වින්දිතයන්ට යුක්තිය ඉටුකිරීම අදටත් ඉෂ්ට සිද්ධ වෙලා නෑ." යැයි රැඩිකල් සෙන්ටර් ව්‍යාපාරය පවසයි.

හිටපු අමාත්‍ය මංගල සමරවීර විසින් ආරම්භකළ 'රැඩිකල් සෙන්ටර්' ව්‍යාපාරය ඊයේ (10) මාධ්‍ය හමුවක් කැඳවමින් එම කාරණය අවධාරණය කර සිටියේය.

පාස්කු ප්‍රහාරයේ වගකිව යුත්තන් නීතිය ඉදිරියට ගෙන ඒමට වඩා ආණ්ඩුව සහ පොලිසිය උත්සුක වී ඇත්තේ එහි විමර්ශන කටයුතු කළ නිලධාරීන් සහ
පාස්කු ප්‍රාහරයට යුක්තිය ඉල්ලා සිටින ක්‍රියාධරයන් දඩයම් කරන්නට වීම ඛේදවාචකයක් බවත් 'රැඩිකල් සෙන්ටර්' ව්‍යාපාරය වැඩිදුරටත් අවධාරණය කරනු ලැබිණ.

එහිදී අදහස් දක්වමින් රැඩිකල් සෙන්ටර් හී නියෝජිත සී.එස්. කොඩිකාර දැක්වූ අදහස් පහත වීඩියෝ දැක්වෙයි.

Page 282 of 388