V2025

පුවත්

බොරතෙල් මිළ යළිත් ඉහළට.....

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල නැවතත් කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇත.

රුසියානු තෙල් සහ ගෑස් සඳහා පැනවුණු බටහිර සම්බාධක මෙන්ම සෞදි අරාබියේ තෙල් ගබඩාවක් ප්‍රහාරයකට ලක්වීම ආදී කරුණු හේතුවෙන් මෙලෙස බොර තෙල් මිල ඉහළ ගොස් තිබේ.

ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතල් බැරලයක් ඩොලර් 120 යි ශත 70 දක්වා ඉහළ ගොස් ඇති අතර, ඇමරිකානු ඩබ්ලිව්.ටී.අයි. බැරලයක මිල සටහන් වන්නේ ඩොලර් 114 ක් ලෙසයි.

ශ්‍රීලනිපය ආදර්ශයක් දුන්නොත් ඇමතිකම අත්හරිනවා - ඇමති නාමල්

අමාත්‍ය මණ්ඩලය අඩු කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ආදර්ශයක් ලබා දෙන්නේ නම් තමන් දරණ අමාත්‍ය ධූරය අත් හැරීමට සූදානම් බව ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ පවසයි.

අමාත්‍ය මණ්ඩලය අඩු කළ යුතු බවට සර්ව පාක්ෂික සමුළුවේ දී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  ඉදිරිපත් කළ යෝජනාවට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

ඔහු මෙම අදහස් පල කළේ හොරණ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදීන් කළ කරුණු විමසීමකදිය.

නෙත් එෆ්එම්

 

මැති ඇමතිලාගේ ගුවන් ගාය සනීප කරන්න තීන්දුවක් !

කැබිනට් ඇමැතිවරුන්ට සහ රාජ්‍ය ඇමැතිවරුන්ට රටේ විවිධ ප්‍රදේශවලට ගමන් කිරීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශයේ විශේෂ අවසරයකින් තොරව හෙලිකොප්ටර් හෝ ගුවන් යානා ලබාදීම නතර කර ඇතැයි ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසයි.

මේ සම්බන්ධයෙන් ‘ලංකාදීප’ ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් දුශාන් විජේසිංහගෙන් කළ විමසුමකදී ඔහු සඳහන් කර ඇත්තේ ඉන්ධන ප්‍රශ්නය ඇතුළු හේතු කාරණා ගණනාවක් පදනම් කරගෙන එම තීරණයට පැමිණි බවයි.

කෙසේ වෙතත් ජනාධිපතිවරයා අගමැතිවරයා සහ විදේශීය රාජ්‍ය නායකයන්ගේ සංචාර සඳහා හෙලිකොප්ටර් හෝ ගුවන් යානා ලබාදීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව බැඳී සිටින බව ඔහු සඳහන් කර ඇත.

කැබිනට් හා කැබිනට් නොවන ඇමැතිවරුන්ට හෙලිකොප්ටර් හෝ ගුවන් යානා ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් මෙයට පෙර සපයනු ලැබීය.

මේ අතර හිටපු ඇමැතිවරුන් ගණනාවක් ඔවුන්ගේ ගුවන් සංචාර වෙනුවෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයවිය යුතු රුපියල් කෝටියකට වැඩි මුදලක් මෙතෙක් ගෙවා නැතැයි වාර්තා වෙයි.

මැදගොඩ අභය තිස්ස හිමිගෙන් බැසිල්ට ප්‍රහාරයක් !

බැසිල් රාජපක්ෂ සහෝදරයෙක් ලෙස හොද වන්නට ඇති නමුත්, ජනතාව ඒ චරිතයට කැමති නැති බව පැපිලියාන සුනේත්‍රාදේවි පිරිවෙන් විහාරාධිපති මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමි පවසති.

මැදගොඩ අභයතිස්ස හිමි මේ බව සඳහන් කර සිටියේ මෙම අදහස් පළ කරන ලද්දේ ආණ්ඩුවේ පක්ෂ 11 කරන නියෝජිතයන් ඔවුන්ගේ වැඩ වැඩපිළිවෙළ පිළිගැන්වීම සඳහා එම විහාරස්ථානයට ගිය අවස්ථාවේදී මාධ්‍ය අමතමිනි.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ වැළඳගැනීමට රටේ ජනතාව සූදානම් නැතැයි ද මැදගොඩ අභය තිස්ස හිමි එහිදී පැවසීය.

 ‘හැත්ත බුරුත්ත මුහුදට දාන්න කියන්නෙ නෑ. හැබැයි ටිකක් පැත්තකට කරල තියන්න’ යයි තමන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි බව ද උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

පවුලේ බල අරගලයක් !

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දේශපාලන විචාරකයන් පවසන්නේ එක් පසෙකින් ආණ්ඩුවේ බැසිල්වාදි පාර්ශ්ව ගෝඨාභය ජනාධිපති දේශපාලන වශයෙන් අපරිණත බවට ප්‍රචාරයක් ගෙනයන විට ජනාධිපති පාර්ශ්වය ද බැසිල් විරෝධී අදහස් එළිදක්වන බවක් නිරීක්ෂණය වන බවයි.

මේ සියල්ල රාජපක්ෂ පවුලේ බල අරගලයක් මිස රට පත්ව ඇති ඛේදවාචක තත්වයෙන් මුදවා ගැනීමට කටයුතු කිරීමක් නොවන බවත් ඔවුන් පවසයි.

මේ මොහොතේ රටට අවශ්‍ය වැඩිය හොඳ බැසිල්ද ගෝඨාභය ද යන්න නොවන බවත් මේ මොහොතේ රටට අවශ්‍ය ආර්ථික අර්බුදය හේතුවෙන් බරපතළ පීඩාවට පත්ව ඇති ජනතාවට සහනයක් බවත් විචාරකයන් පෙන්වා දෙයි.

 

රටඉඳි තහනම ඉවත් කරන්න : මුජිබර් ආණ්ඩුවෙන් ඉල්ලයි !

ආනයනික භාණ්ඩ තහනමට රටඉඳි ඇතුළත් කිරීම නිසා මුස්ලිම් ජනතාව දැඩි පීඩාවට පත්ව සිටින බව සජබ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පවසයි.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර සිටියේ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ය.

මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී කරුණු ඉදිරිපත් කෙරුණද රට ඉඳි එම තහනම් ලැයිස්තුවෙන් ඉවත් කිරීමට ගැසට් නිවේදනයක් මෙතෙක් නිකුත් කර නැතැයිද ඔහු චෝදනා කළේ‍ය.

ආණ්ඩුව වැසූ ආර්ථික නිරුවත : IMF වාර්තාවෙන් එළියට !

රටටත්, පාර්ලිමේන්තුවටත් ආර්ථික අර්බුදය ගැන නොමඟයවන යැවූ මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සහ ආණ්ඩුවේ දේශපාලනයින් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල් වාර්තාව මගින් නිරුවත් වී ඇතැයි, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා වාර්තාව ගැන නිවේදනයක් නිකුත් කරමින් මානව හිමිකම් කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ රජිත් කීර්ති තෙන්නකෝන් පවසයි.

අදාළ නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන් වෙයි.

රාජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස පාර්ලිමේන්තුවටත්, මහ බැංකු අධිපතිවරයා ලෙස ‘හය මසක මාර්ග සිතියමක්‘ මැයෙන් අජිත් නිවාඩ් කබ්රාල් ඉදිරිපත් කළ තර්කයන්ගේ හා කරුණුවල හරසුන් හා නිරර්ථක බව, IMF ලංකා වාර්තාව මගින් නිරාවරණය වී ඇත.

IMF ලංකා වාර්තාවට අනුව, ලංකාවේ දළ දේශීය නිශ්පාදනය සහ ණය ප්‍රමාණය අතර අනුපාතය 119% දක්වා ඉහළ නැග ඇත. ලංකාවේ විදේශ සංචිත ඩොලර් මිලියන 2,204 දක්වා පහත වැටී ඇති බව වාර්තාවේ දක්වන නමුත්, භාවිත කළ හැකි ප්‍රමාණය මිලියන 800 දක්වා පහත වැටී ඇති බව වාර්තාවේ දැක්වෙන්නේ නැත. දළ දේශීය නිෂ්පාදනයෙන් 64.2 ක් ණය බව වාර්තාව කියයි.

වත්මන් රජය 2019 දී සිය ව්‍යාපාරික ගජ මිතුරන්නට බදු සහන දී භාණ්ඩාගාරයේ (රටේ) ආදායම අඩු කර ගැනීම, මේ ආර්ථික අර්බුදයේ ඇරඹුමයි. වාර්තාවේ (6 පිටුව) වැට්, කෝපරේට් ටැක්ස්, ආදායම් බදු, ජාතික ගොඩනැගීමේ බද්ද කැපීම නිසා සිදුවූ ආදායම් අහිමිවීම සවිත්සර දක්වා ඇත.

රටේ උද්ධමනය ඉහළ යාම ගැන IMF නිරීක්ෂණ සවිස්තරාත්මකය. 1952 සිට 2020 දක්වා අච්චු ගැසූ මුදල මෙන් 23 ගුණයක් වසර දෙකක් තුල අච්චු ගැසූ රටක උද්ධමනය ඉහළ යාම අරුමයක් නොවන බව මම පසුගිය සතියේ ද පෙන්වා දුනිමි. එදා එයට මහ බැංකු අධිපති ප්‍රතිචාර දැක්වූවේ මුදල් අච්චු ගැසීම අලුත්දෙයෙක් නොවන බවය. ආදායමට වඩා වියදම වැඩි රටක වියදම් කැපීමත්, ආදායම් වැඩි කර ගැනීමත් හැර වෙනත් විකල්පයකට ඇත්තේ ණය ගැනීමය. සීනි බදු වංචාව, සුදුළුණු වංචා, පොල්තෙල් ගැන වාර්තාව කියන්නේ නැත. නමුත්, චීන අශුචි, නැනෝ පොහොර වැනි හොරකම් රටට කන්න නැතිකළ බව, ආහාර හිඟයක් ඇතිකළ බව පෝලිම්වල ඉන්න ජනතාවට රහසක් නොවේ.

වාර්තාවේ 9 වන පිටුවේ දැක්වෙන්නේ රටේ ණය 100% ගුණයකින් වැඩිවීමට කෝවිඩ්, ගජමිතුරන්නට දුන් බදු සහන, අය වැය කළමනාකරණය නොකිරීම හේතු වූ බවයි. මිල සුත්‍රයකින් තොරව ඛනිජ තෙල් සංස්ථාවේ පාඩුව රටේ ආර්ථිකයට බරක් වූ බව ද එහි දැක්වේ. ආර්ථික අර්බුදය, ඉන්ධන අර්බුදය හා බැදී ඇති බව පැහැදිලිය.

යහපාලන ආණ්ඩුව (2019) රජයේ ආදායමෙන් 11.6% ක් බදු මගින් ලබා ගත් බවත්, මේ වන විට එය 7.2% දක්වා පහත වැටී ඇති බව වාර්තාවේ දැක්වේ.

වාර්තාව පුරා වචනයෙන් නොව දත්ත මගින් මතු කර දක්වන්නේ මුලික ආර්ථික ප්‍රතිපත්ති නොතකා හැරීම නිසා ලංකා ආර්ථිකයේ බිඳ වැටීම සිදුව ඇති බවය. රජය ශ්‍රී ලංකා මහ බැංකුවට ණය වී ඇති ප්‍රමාණය 2000 මාර්තු සිට 2021 නොවැම්බර් දක්වා 9%ක් වැඩිවී ඇති බව දක්වයි.

අප අමතක නොකළ යුත්තේ ‘‘අඩුම ආර්ථික වර්ධනයක් ලඟාකරගත් වසර දෙකක්, වසර 12 කින් පසුව ඉහළම උද්ධමන අනුපාතිකයක් වාර්තා කළ, දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස සැලකීමේ දී අඩුව ආදායම වාර්තාවී ඇති, වැඩිම මුදල් අච්චු ගැසීම සිදු කර ඇති, දළ දේශීය නිෂ්පාදනයෙන් 119% ණයවී සිටින රටක ආර්ථිකය‘‘ පිළිබඳ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සිය නිරීක්ෂණ මෙම වාර්තාවෙන් ඉදිරිපත් කර ඇති බවයි. 5% ක් වූ දේශීය ණය (බැදුම්කර) දැන් 60% දක්වා ඉහළ නැඟ ඇත. ඒ මුදල් බහුතරයක් එළදායී නොවන ආයෝජනයක් වෙති.

ජාත්‍යන්තර මුල්‍ය වෙළඳපලේ පහලම ශ්‍රේණිගත කිරීම් දරණ ආර්ථිකය ගොඩ ගැනීමට ගැන උපදෙස් පහක් මුල්‍ය අරමුදල ලබාදී ඇත.

1. 2019 දී ලබාදුන් බදු සහන (වැට්, ආදායම් බදු, සමාගම් බදු සහන) වෙනස් කිරීම (එනම් ගජමිතුරන්ට බදු සහන ලබාදීම වෙනුවට 2019 ට පෙර තිබු බදු ක්‍රමයට නැවත යාම)

2. පාඩු ලබන රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීම/විකුණා දැමීම

3. ණය ප්‍රතිව්‍යුහගත කරණය උපක්‍රම වෙත යොමුවීම

4. උද්ධමනය පාලනය කිරීමට පියවර ගැනීම (හිතුමනාපයට මුදල් අච්චු ගැසීම නවතා දැමීම, මුදල් මණ්ඩලය හරහා මහ බැංකු අධිපති හා භාණ්ඩාගාර ලේකම්ට මුදල් අච්චු ගැසීමට ඇති හැකියාව නැති කිරීම)

5. වෙළඳපොල නිර්ණායක අනුව පොලී අනුපාතය තීරණය කිරීම

6. සමාජ ආරක්ෂණ ජාලය ශක්තිමත් කිරීම

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල් වාර්තා මගින් රටක් අපහසුතාවයට පත් වන ආකාරයේ කරුණු ඉදිරිපත් කරන්නේ නැත. ආර්ථික විද්‍යා මුලධර්ම අනුව රටක ආර්ථික දත්ත විශ්ලේෂණය සඳහා මාවත පමණක් පෙන්වා දෙනු ලබයි. ලංකාව පිළිබඳ වාර්තාව පුරාම මතුවන්නේ ‘ගෙවී ගිය වසර දෙක තුල ආර්ථික කළමනාකරණයේ දී රජය දක්වා ඇති නොහැකියාව හා දුබලතාවයි.

බදු ප්‍රතිපත්ති වෙනස් නෙකර, වියදම් පාලනය නොකර, පාඩු ලබන ආයතන බර දිගින් දිගටම දරමින්, පොලී අනුපාතය කෘතීම ලෙස පහත දමමින්, හිටි හැටියේ පසුගිය සතියේ රුපියල පා කර දැමීම වැරදි මුල්‍ය තීරණයක් බව මාර්තාවේ පේලී අතර ලියැවි ඇති, එළිපිට ලියා නොමැති කතාවයි. මුල්‍ය අරමුදල හැමදාම ලංකාවට උපදෙස් දුන්නේ ආදායම් වැඩි කර, වියදම් පාලනය කර විදේශ මුදල් අර්බුදයට පිළියම් යෙදීමයි. නමුත්, රජය රුපියල බාල්දු කළේ, කිසිදු ආර්ථික ප්‍රතිසංස්කරණයකින් තොරවය. දැන් ඩොලරය අහස උසට ඉගිලෙන්නේ ඒ නිසාය. අවසනාවකට අද මේ වාර්තාව නිකුත් වී ඇත්තේ මුදල් අමාත්‍යාංශය සහ මහ බැංකුව අතර තීරණ ගැනීම පිළිබඳ එකඟතාවයක් හෝ නොමැති අවස්ථාවකය.

ජනාධිපතිවරයා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීමට එකඟතාව ලබාදී ඇතත්, එය යථාර්ථයක් බවට පත්වීමට නම් රජය ක්ෂණික පියවර ගත යුතුය. මුදල් අමාත්‍යවරයා හෝ මහ බැංකු අධිපතිවරයා හෝ ඒ සඳහා ඉදිරිපත් වන්නේ නැත. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වාර්තාවේ හරය නම්, අර්බුදය තවදුරටත් කල් දැමීමට ලංකාවට හැකියාවක් නැති බව ය.

 

 

තිස්ස කුට්ටි : ජනාධිපතිව පහතට දා බැසිල්ව උස්සයි ! (වීඩියෝ )

ගෝටාභය රාජපක්ෂ ජනාධිපතිවරයා දේශපාලන අත්දැකීම් අඩු නායකයෙක් බවත් බැසිල් රාජපක්ෂ යනු රටේ මහජනතාවගේ දුක දන්නා ජනතාවාදී නායකයෙක් බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි පවසයි.

ඔහු මේ අදහස් දක්වා ඇත්තේ youtube නාලිකාවක් සමග සාකච්ඡාවක් සිදුකරමින් ය.

ඒ සම්බන්ධයෙන් ආණ්ඩුව හිතවාදී වෙබ් අඩවියක් වන සීනිව්ස් වාර්තා කර ඇති අතර එම පුවතේ මෙසේද සඳහන් වෙයි.

ගෝඨාභය රාජපක්ෂට වඩා දේශපාලනිකව ඉදිරියෙන් සිටින බැවින් නායකත්වයදට සුදුසුම පුද්ගලයා බැසිල් රාජපක්ෂ මහතා බවද හෙතෙම සදහන් කරයි.

අද වන විට බැසිල් රාජපක්ෂ මහතා දැවැන්ත පීඩනයකින් සිටින බව පෙන්වා දෙන කුට්ටිආරච්චි මහතා පෙන්වා දෙන්නේ ආන්ඩුවේ කැබිනට් ඇමතිවරුන් සහ රාජ්‍ය ඇමතිවරුන් පසුපෙළ මන්ත්‍රීවරුන් බිල්ලට දී ජනතාවගෙන් ඇඟ බේරා ගැනීමේ ක්‍රියාවලියක නිරත වන බවයි.

එම හේතුවෙන් තමා දැඩි කලකිරීමකින් පසුවන බවත් ඔහු පැවසීය.

සති අන්තයේ කරන්ට් කපන හැටි.....

සති අන්තයේත් විදුලිය කප්පාදු කිරීමට ලංකා විදුලිබල මණ්ඩලයට මහජන උපයෝගිතා කොමිසම විසින් අවසර දෙනු ලැබ තිබේ.

ඒ අනුව, හෙට (26 සෙනසුරාදා) P සිට W දක්වා ඛණ්ඩවලට අයත් ප්‍රදේශ සඳහා උදෑසන 9.00 සිට පස්වරු 6.00 දක්වා පැය 3කුත් සවස 6.00 සිට රාත්‍රි 11.00 දක්වා පැයයි විනාඩි 40 කුත් විදුලිය කප්පාදු කෙරෙනු ඇති.

A සිට L දක්වා ඛාණ්ඩවලට අයත් ප්‍රදේශවලට හෙට(26 සෙනසුරාදා) උදෑසන 8.00 සිට පස්වරු 6.00 දක්වා පැය 3 යි විනාඩි 20 ක් සහ සවස 6.00 සිට රාත්‍රි 11.00 දක්වා පැයයි විනාඩි 40 ක් විදුලිය කප්පාදු කිරීමට අවසර දී තිබේ.

අනිද්දා (27 ඉරිදා) P සිට W දක්වා ප්‍රදේශවලට සවස 3.00 සිට රාත්‍රි 11.00 දක්වා පැය දෙකකුත් A සිට L දක්වා ප්‍රදේශවලට උදෑසන 8.30 සිට 5.30 දක්වා පැය දෙකයි විනාඩි 15කුත්, සවස 5.30 සිට රාත්‍රි 10.30 දක්වා පැයයි විනාඩි 15 කුත් විදුලිය කප්පාදු කිරීමට අවසර දුන් බව මහජන උපයෝගිතා කොමිසම සඳහන් කළේ ය.

පෙට්‍රල් මිළ රෑට ඉගි‍ළෙයි.....

ඊයේ (25) මධ්‍යම රාත්‍රී 12 සිට සියලුම පෙට්‍රල් වර්ගවල මිල රුපියල් 49කින් ඉහළ දැමීමට ලංකා IOC සමාගම තීරණය කර තිබේ.

එහෙත් ඩීසල් මිල වෙනස් නොවන බව එම සමාගම නිවේදනය කරයි.

රට තුළ පවතින ඩොලර් අර්බුදය හේතුවෙන් මෙම තීරණය ගැනීමට සිදුවූ බවද අදාළ සමාගම පවසයි.

ඒ අනුව IOC ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 303ක් දක්වා ඉහළ යනු ඇත.

IOC ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල දැක්වෙන්නේ රුපියල් 332ක් ලෙසය.

අවුල පොත්ත සුදු වීමද ? වනජීවි අමාත්‍යංශයේ : වනජීවි හැසිරීම් ඉහළට !

තමාට මාධ්‍ය සහය ලැබෙන්නේ 'පොත්ත සුදු නිසා' යයි විෂය බාර අමාත්‍යවරයා අවඥාවෙන් යුතුව ප්‍රසිද්ධියේ පැවසු බව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ශර්මිලා රාජපක්ෂ ප්‍රසිද්ධ මාධ්‍ය හමුවකදී පැවසුවාය.

ඇය මේ බව සඳහන් කර සිටියේ (24) මාධ්‍ය හමුවක් පවත්වමිනි.

(23) රිදියගම සෆාරි උද්‍යානයේ සිදුවූ සිද්ධියකින් අනතුරුව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේදී තමන් මුහුණ දුන් අත්දැකීම් සම්බන්ධයෙන් එහිදී ඇය එහිදී පැවසූ අතර අමාත්‍යවරයා මෙසේ කියා සිටියේ අමාත්‍යංශ ලේකම්වරයා ඇතුළු තවත් කිහිපදෙනෙක් ඉදිරිපිට දී බව ද ඇය පැවසුවාය.

 “ඊයේ මං රිදියගම සිට කොළඹ එනකොට මගේ වාහනයේ ඉස්සර රෝද දෙකටම වැලි පුරවලා වහලා තිබුණා.”

“ඇමතිවරයා, අමාත්‍යාංශ ලේකම්වරයා, මමත් තවත් කිහිප දෙනෙක් ඉන්නකොට අමාත්‍යවරයා මට කිව්වා ජනමාධ්‍ය මගින් මට සහාය දෙන්නේ මගේ පොත්ත සුදු නිසා කියලා.”

“කනගාටුවට කාරණයක්. කාන්තාවක් හැටියට මම ලැජ්ජා වෙනවා.” යයි ඇය එම මාධ්‍ය හමුවේදී පැවසුවාය.

සේවය අත්හිටුවලා !

මේ අතර ජාතික සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් ෂර්මිලා රාජපක්‍ෂගේ සේවය ( 24) සිට වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවන බව වනජීවී අමාත්‍ය සී.බී. රත්නායක පැවසීය.

අමාත්‍යංශයේ නියෝග නොතකා දිගින් දිගට ම කටයුතු කරන බැවින් ඇයගේ නිල කාමරය මුද්‍රා තැබීමට ත්, නිල රථය අමාත්‍යාංශය වෙත පවරා ගැනීමට ත් කටයුතු කරන ලෙසට අමාත්‍යංශය වෙත ඇමතිවරයා නියෝග කර ඇත.

ලැජ්ජයි නින්දිතයි !

කෙසේ වුවත් අමාත්‍යවරයා පැවසූ බව සඳහන් කරමින් ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ශර්මිලා රාජපක්ෂ නැගූ චෝදනාව බරපතළ ය.

එවැනි ප්‍රකාශයක් සිදුකර ඇත්නම් එය සමස්ථ ආණ්ඩුව නින්දාවට ලක්වන ප්‍රකාශයක් බව කිවයුතු ය.

පශු වෛද්‍යවරුන් වර්ජනයක !

මේ අතර ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ සියලු පශු වෛද්‍ය නිලධාරීන්ඊයේ (24) සිට අසනීප නිවාඩු වාර්තා කරමින් සේවයෙන් ඉවත්ව තිබේ.

ඒ රිදියගම සෆාරි උද්‍යානයේ සේවකයින් පිරිසක් එහි සේවය කරන පශු වෛද්‍ය ප්‍රියසාද් එදිරිවර්ණ ට පහරදීමේ සිද්ධියට අදාළව කඩිනම් නීතිමය ක්‍රියාමාර්ග ගන්නැයි බලධාරීන්ගෙන් ඉල්ලමිනි.

රිදියගම සෆාරි උද්‍යානයේ පශු වෛද්‍ය ප්‍රියසාද් එදිරිවර්ණ ට එහි සේවකයින් පිරිසක් (23) පස්වරුවේ පහරදීමක් සිදුකර තිබුණි. ඒ ජාතික සත්වෝද්‍යාන දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ශර්මිලා රාජපක්ෂ ද එහි ක්ෂේත්‍ර චාරිකාවක නිරතව සිටින අතරතුරදීය.

පහරකෑමෙන් තුවාල ලද පශු වෛද්‍යවරයා හම්බන්තොට මහරෝහලේ මේ වනවිට ප්‍රතිකාර ලබමින් සිටී.‍

පැය 10 ක විදුලි කප්පාදුවක් ගැන : කතා දෙකක් !

විදුලි කප්පාදුව ඉදිරි දිනවලදී පැය 10 ක් දක්වා දීර්ඝ වියහැකි බවට ලංකා විදුලිබල මණ්ඩලයේ ආරංචි මාර්ග උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා කර ඇත.

ජලවිදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජල ප්‍රමාණය වර්තමාන විදුලි ජනන ධාරිතාවෙන් හෝ තවත් දින 10 ක් පමණක් පවත්වාගෙන යෑමට කළහැකි වීම සහ කෙරවලපිටි විදුලි බලාගාරය වසා දැමීම හේතුවෙන් මෙම තත්වය උද්ගත වී ඇති බවත් විදුලි ජනනයට අවශ්‍ය දැවිතෙල් අවසන් වීම නිසා ඇනවුමක් ලැබෙන තෙක් බලාසිටීම සිදුවීම හේතුවෙන් තත්වය තවත් බරපතල වී ඇති බවත් එම මාධ්‍ය වාර්තා වල සඳහන් වෙයි.

පැය 10 කට අධික කාලයක් විදුලිය කප්පාදු කිරීමට මහජන උපයෝගිතා කොමිසමෙන් අවසර ඉල්ලා සිටීමට විදුලි බල මණ්ඩලය බලාපොරොත්තු වන බව ද එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කර ඇත.

කෙසේ වුවත් මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක පවසා ඇත්තේ මෙතෙක් පැය 10 ක විදුලි කප්පාදුවක් අවශ්‍ය නොවන බවයි.

ආණ්ඩුව ලෝක අමාරුවක : නීතිඥ සංගමය ශ්‍රේෂ්ඨාධිකරණයට !

ආණ්ඩුව ජනතාවට ලබාදෙන දෙන අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවාවල මිල අසාධාරණ ලෙස ඉහල දැමීම හේතුවෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇතැයි සඳහන් කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය අද (25) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් ගොනු කර තිබේ.

ජනතාවට සහන සලසා දීමට අවශ්‍ය ක්‍රමවේදයක් වහාම සකස් කරන ලෙස අග්‍රාමාත්‍යවරයා ඇතුලු අමාත්‍ය මණ්ඩලයට නියෝගක් නිකුත් කරන ලෙස ද ශ්‍රී ලංකා නීතීඥ සංගමය මෙම පෙත්සමෙන් ඉල්ලා ඇත.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා සහ උපසභාපතිවරයා ඇතුළු නිලධාරී මණ්ඩලය ගොනු කළ මෙම පෙත්සම් දෙකෙන් පෙන්වා දී ඇත්තේ හිඟයකින් තොරව සාධාරණ මිලකට ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා ලබාදීමට අසමත්වීමෙන් ව්‍යවස්ථාවෙන් තහවුරු වී ඇති ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩවන බවයි.

නීතිපතිවරයා, සියලුම කැබිනට් ඇමතිවරුන්, මහබැංකු අධිපතිවරයා, භාණ්ඩාගාර ලේකම්වරයා, අමාත්‍යාංශ කිහිපයක ලේකම්වරුන්, විදුලිබල මණ්ඩලය, ඛණිජ තෙල් සංස්ථාව සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ඇතුළු පාරශ්වකරුවන් මෙම පෙත්සම්වල වගඋත්තරකරුවන් කර තිබේ.

නී.තිඥ ජී. ජී. අරුල් ප්‍රගාසම් මහතාගේ උපදෙස් මත ජනාධිපති නීතිඥ ආචාර්ය කේ. කණගීස්වරම් ,ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා සහ නීතිඥ සුරේෂ් ඥානරාජ් , නිතිඥ පුලස්ති හේවාමාන්න යන නීතිඥ මණ්ඩලය ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් පෙනී සිටියේ ය.

විමල් පාර්ලිමේන්තු එන්නේ නැද්ද ?

ජනාධිපති නියමයෙන් කැබිනට් අමාත්‍ය ධූරයෙන් ඉවත්කර ඇති විමල් වීරවංශ එතැන් සිට මේ දක්වා පාර්ලිමේන්තු පැමිණ නැති බව වාර්තා වෙයි.

කෙසේ වෙතත් ඔහු පාර්ලිමේන්තුවේ කමිටු රැස්වීම්වලට සහභාගිවී ඇත.

විමල් වීරවංශ කැබිනට් අමාත්‍ය ධූරයෙන් ඉවත් කෙරුණේ පසුගිය මාර්තු මස 3 වැනිදා වන අතර අනතුරුව ඔහු සමග අමාත්‍ය ධූරයෙන් ඉවත් කෙරුණු උදය ගම්මන්පිල ඇතුළු දෙදෙනාට පාර්ලිමේන්තු සභා ගර්භයේ පනවා තිබුණේ පසුපෙළ අසුන් ය.

එහිදී ඔවුන් එම අසුන් පැණවීම ප්‍රතික්ෂේප කරනු ලැබූ අතර ඒ තමන් පක්ෂ නායකයන් බැවින් ඊට සුදුසු ආකාරයට අසුන් ගැනීමට අවශ්‍ය බව සඳහන් කරමිනි.

චමුදිතගේ නිවසට එල්ලවූ ප්‍රහාරයට මාස 2යි : නීතිඥයන්ගෙන් පොලිසියට දොස් !

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම ගේ නිවසට පසුගිය පෙබරවාරි මස 14 වනදා ප්‍රහාරයක් එල්ල වූ අතර එම ප්‍රහාරයත් සමගම චමුදිතගේ ජීවිතයට එල්ල වූ  තර්ජනය සම්බන්ධයෙන් ඔහුට රාජ්‍ය ආරක්ෂාව ලබා දෙන මෙන් ඉල්ලා කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කල මෝසමට  අදාළව නඩුව අද  ( 25)  එම  අධිකරණයේදී කැඳවන ලදී.

අගතියට පත් වූ චමුදීත සමරවික්‍රම ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ජනාධිපති නීතිඥ කුවේර ද සොයිසා ප්‍රමුඛ නීතීඥ කණඩායමක් පෙනී සිටි අතර ඔවුන් අධිකරණය අමතමින්  “මේ ප්‍රහාරය හා සම්බන්ධ කාරණාව පිලිබඳව කැරුණු දක්වමින්, මේ සිද්ධිය සිදු වී මේ වන විට මාස දෙකකට ආසන්න වුවත් තවමත් කිසිදු සැකකරුවෙකු අත් අඩංගුවට ගෙන නොමැති බවත් පොලිසියේ විමර්ශන කටයුතු පිලිබඳව කිසිදු අකාරයකින් සැහීමකට පත් විය නොහැකි බවද”,  ප්‍රකාශ කරන ලදී.

කැස්බෑව මහේස්ත්‍රාත්තුමා පොලිසිය අමතමින්, “ මෙපමණ කාලයක් ගත වීත් සැකකරුවන් අත් අඩංගුවට නොගත්තේ ඇයි” දැයි පොලිසියෙන් ප්‍රශ්න කරන ලද අතර පිළිතුරු ලබා දෙමින් පොලිසිය කියා සිටියේ,  ලබා ගන්නා ලද CCTV දර්ශන මොරටුව විශ්වවිද්‍යාලය වෙත යොමුකර තිබෙන බවත් එහි ප්‍රතිපල ලැබුණු වහාම එහි ඇති අංක තහඩු වලට අනුව ඉදිරි කටයුතු සිදු  කරන බවයි.

ඒ අනුව සැකකරුවන් වහාම අත් අඩංගුවට ගෙන අධිකරනයාට ඉදිරිපත් කරන ලෙස  කැස්බෑව මහේස්ත්‍රාත් විසින් පොලිසියට නියෝග කල අතර නඩුව නැවත අප්‍රේල් මස 27 වැනි දිනයට කල් තබන ලදී.  ඒ අවස්ථාවේ වින්දිත සමරවික්‍රම මහතාගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කුවේර ද සොයිසා මහතා අධිකරණය අමතා ප්‍රකාශ කලේ එදිනට සැකකරුවන් අත් අඩංගුවට ගෙන නොතිබුණහොත් මෙහි පරීක්ෂණ කටයුතු සිදු කිරීම සදහා රහස් පොලිසියට භාර දීමට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලීමක් ද  කරන ලදී.

ඒ අනුව මෙම නඩුව නැවත 2022 අප්‍රේල් මස 27 වැනි දින විවෘත අධිකරණයේදී කැඳවීමට නියම කරන ලදී.

(මූලාශ්‍රය මව්රට )

හර්ෂගේ බැංකු ඩිෆෝල්ට් කතාව : අන්තිමයි කැතයි නින්දිතයි !

රජයේ බැංකුවක් “ඩිෆෝල්ට්” තත්වයට (විදේශීය අතමාරු ණයක් ගෙවීම ප්‍රමාදවීමක්) පත් කර ඇතැයි ඇතැයි ඊයේ (24) සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා සිදුකළ ප්‍රකාශය කිසිසේත් අනුමත කළ නොහැකි බව ආර්ථික විශේෂඥයන් පවසයි.

වෙළෙඳ පොළ මෙන්ම බැංකු ඇතුළු මූල්‍ය ක්ශේත්‍රය සම්බන්ධයෙන් දැනුමක් ඇත්තෙකු වශයෙන් මන්ත්‍රීවරයා සිදුකළ ප්‍රකාශය නොකළ යුතුව තිබුණක් බවත් එසේම සත්‍ය වශයෙන් එවැන්නක් සිදුවීමේ අවධානමක් පැවතියත් එය හදිසියේ අනාවරණය කිරීමේ හානිදායක බව මන්ත්‍රීවරයා නොදැන සිටිය නොහැකි බවත් ආර්ථික විශේෂඥයන් අවධාරණය කරයි.

ඊයේ (24) පාර්ලිමේන්තුවේ විවාදයට සහභාගි වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රි හර්ෂ ද සිල්වා මේ බව අනාවරණය කර සිටි අතර මෙය සත්‍ය සිදුවීමක් නම් එය ඉතා කනගාටුදායක බවත් මහා ව්‍යසනයක ආරම්භයක් බවත් අවධාරණය කළේය.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් ආර්ථික විශේෂඥයකු newstube.lk වෙත මෙසේද පැවසීය.

රාජ්‍ය බැංකු වෙනුවෙන් රජය වෙනුවෙන් මහ බැංකුව වගකීමට බැඳී සිටිනවා. ඒ නිසා කොරහේ කිඹුලන් පෙන්වීමට කිසිම අවශ්‍යතාවයක් නෑ. පාර්ලිමේන්තු පනත් හරහා තමයි මේ බැංකු ස්ථාපිත කරලා තියෙන්නේ. මේ වගේ ප්‍රකාශ නිසා , අර තල් අත්තට බෙලි ගෙඩියක් වැටිලා ලෝකය කඩා වැටෙනවා කියලා කැලේ කලබල කරපු හාවෙක් වගේ හැසිරීම කොහොමටත් අනුමත කරන්න නරකයි. මොකක්ද එයින් මන්ත්‍රීවරයා බලාපොරොත්තු වෙන්නේ.

කිසිම ප්‍රශ්නයක් නෑ. මේ ආණ්ඩුවේ ආර්ථික කටයුතු හැසිරවීම අන්තිමයි, අසාර්ථකයි, නින්දාසහගතයි. ඒ ගැන විවේචනය කරන්න ඕන. මේ අනුවණ හැසිරීම් වලට වැටෙන්න ගහන්න ඕන. හැබැයි ඒකයි මේකයි දෙකක්. බැංකුවක් ඩිෆෝල්ට් වෙනවා කියන්නේ , ගැලරි කතාවකින් වාසි ගන්න දෙයක් නෙවෙයි.

තැම්පත්කරුවන් පෝලිම් හැදුනා නම් මොකද කරන්නේ ? හොඳ වෙලාවට වැඩේ දුරදිග ගියේ නෑ. ඇත්තටම ආර්ථික විද්‍යාව සම්බන්ධයෙන් ප්‍රවීණයකු දේශපාලනඥයකු ලෙස සිදුකළ ඒ ක්‍රියාව කොහොමටත් අනුමත කරන්න බෑ. "

අනුර ජනාධිපති වෙනවා සත්තයි : හඳුන්නෙත්ති කැට තියයි !

ජවිපෙ සහ ජාතික ජනබලවේගය පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මේ රටේ නායකයා වීම ස්ථිර යැයි ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති සඳහන් කරයි.

නිශ්ශංක සේනාධිපතිලාගේ හොර සේනාවලට එය නැවැත්විය නොහැකි බවද හෙතෙම සඳහන් කළේය.

විමල් වීරවංශ වැනි දේශපාලනික වශයෙන් පජාති වුණු අය තම ව්‍යාපාරයට ගාව ගන්නේ නැතැයි ද ඔහු පවසයි.

හිටපු මන්ත්‍රීවරයා මේ බව සඳහන් කරන්නේ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම සමග youtube නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමිනි.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඉන්දියාව සමඟ හොර ගිවිසුමක් අත්සන් කර ශ්‍රී ලංකාවේ මුහුද සහ අහස විකුණා අවසන් බව ද හෙතෙම එහිදී පැවසීය.

මුදල් අමාත්‍යවරයාට විශාල උගත්කමක් නැතත් ගේම් ගහන්න පුදුම මොළයක් ඇතැයි ද හෙතෙම පැවසීය.

 

මගී ජනතාව අනාථයි : දුම්රිය ගාස්තුවත් අහස උසට !

 උතුරු මාර්ගයේ කොළඹ කොටුවේ සිට කුරුණෑගල දක්වා පළමු පන්තියට රුපියල් 600ක්ව පැවති ගාස්තුව රුපියල් දහසක් දක්වාත්, කොළඹ කොටුව අනුරාධපුරය පළමු පන්තියේ ගාස්තුව රුපියල් 1200 සිට 1500 දක්වාත් , කොටුව – කන්කසන්තුරය පළමු පන්තියේ ගාස්තුව රුපියල් 1400 සිට 1700 දක්වාත් වැඩි කළ බව දුම්රිය  නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී වී. එස් පොල්වත්තගේ සඳහන් කරයි.

මීට අමතරව උතුරු මාර්ගයේ දෙවන හා තුන්වන පන්තිවල වෙන් කළ ආසන ගාස්තුව ද ඉහළ දමා තිබේ.

ප්‍රධාන මාර්ගයේ කොළඹ කොටුවේ සිට මහනුවර දක්වා පළමු පන්ති ගාස්තුව රුපියල් දහසේ සිට 1200 දක්වාත්, නානුඔයට රුපියල් 1200 සිට 2000 දක්වාත්, ඇල්ල සහ බදුල්ල යන ගමනාන්ත වෙත පළමු පන්තියේ ගාස්තුව රුපියල් 1500 සිට 2500 දක්වාත් වැඩි කර ඇති බව නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා පැවසුවේ ය.

මීට සාපේක්ෂව එම ගමනාන්ත දක්වා දෙවන හා තුන්වන පන්තිය වෙන්කළ ආසන ගාස්තුව ද වැඩි කර තිබේ.

නව වැඩිකිරීම් යටතේ කොළඹ – නුවර නගරාන්තර දුම්රියේ ගාස්තුව ද ඉහළ දැමූ බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

කෙසේ වෙතත් දුම්රිය සාමාන්‍ය ප්‍රවේශපත්‍ර ගාස්තුව මෙතෙක් ඉහළ දමා නැත.

එම ගාස්තු සංශෝධනය සඳහා ද සාකච්ඡා පවත්වමින් සිටින බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී වී.එස් පොල්වත්තගේ සඳහන් කළේ ය.

සජබෙන් රනිල්ට යන මන්ත්‍රීවරුන් ගැන මහින්දානන්ද කියද්දී : හරීන් සුබ පතලා !

1949 මාර්තු 24 දා උපන්, හිටපු අග්‍රාමාත්‍ය , එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ ගේ 73 වන උපන්දිනය අද (24) ට යෙදී ඇත.

මේ සම්බන්ධයෙන් වන විශේෂ සුබ පැතුම් පණිවිඩයක් සමගි ජනබලවේගය මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු විසින් සිය ෆේස්බුක් ගිනුමේ තබා ඇති අතර එය පහත දැක්වෙයි.

harin

කෙසේ වුවත් හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා මේ ආකාරයට තැබූ උපන්දින සුබ පැතුම සම්බන්ධයෙන් දේශපාලන ක්ශේත්‍රයේ විශේෂ අවධානයක් යොමුව ඇත.

ඊට අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ අද පාර්ලිමේන්තුවේදී සිදුකළ ප්‍රකාශයක් ද බලපා තිබේ.

මහින්දානන්දගේ අනාවරණය !

අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී පවසා සිටියේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ළඟ සිටින මන්ත්‍රීවරුන් දහ දෙනකු එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ සමඟ ළඟදීම එක්වීමට නියමිතව ඇති බවය.

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් දසදෙනකු රනිල් වික්‍රමසිංහ සමඟ ඒ සම්බන්ධයෙන් සාකච්ඡා අරඹා ඇතැයි පැවසූ අමාත්‍යවරයා මන්ත්‍රීවරුන් දසදෙනකු වික්‍රමසිංහ මහතාට එකතුවීමට දැනටමත් කැමැත්ත පළ කර ඇති බවද සඳහන් කළේය.

අලුත්ගමගේ අමාත්‍යවරයා මෙසේ පැවසූවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස රටේ ආහාර ප්‍රශ්නය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් මතු කළ අවස්ථාවේදී ඇතිවූ සංවාදයකදීය.

මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා එහිදී මෙසේද ප්‍රකාශ කළේය.

විපක්ෂ නායකතුමනි. මම ඒ යන අයගේ නම් කියන්නද.නම්වල මුල් අකුරු විතරක් කියන්නම්. හ යන්නෙන් එක්කෙනයි. එ යන්නෙන් එක්කෙනයි. ර යන්නෙන් එක්කෙනයි. ස යන්නෙන් එක්කෙනයි. දැන් ඔය නම් ටික බලා ගත්ත නම් හරි.

Page 275 of 386