V2025

පුවත්

රනිල්ගේ උත්සාහය සාර්ථකයි : IMF වාර්තාව ගැන විවාදයක් !

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලංකාව සම්බන්ධයෙන් නිකුත්කර ඇති වාර්තාව ගැන පාර්ලිමේන්තුවේදී වහාම විවාදයක් පවත්වන ලෙස හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඉල්ලා ඇත.

මේ බව සඳහන් කරමින් එජාප මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත්කර ඇති අතර අදාළ වාර්තාව සම්බන්ධයෙන් රජය තම සැලැස්ම ඉදිරිපත් කිරීම අතිශය වැදගත් බවත්, මූල්‍ය ආධාර සඳහා IMF සම්බන්ධ කර ගැනීමට රජය තෝරාගෙන ඇති බැවින් පාර්ලිමේන්තුව තුල IMF වාර්තාව පිළිබඳව සාකච්ඡා කරන බවත් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පැවසූ බවත් එහි සඳහන් ය.

අදාළ නිවේදනය පහත දැක්වෙයි.

PHOTO 2022 03 27 12 03 17 1

මේ අතර වාර්තා වන්නේ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ගේ ඉල්ලීම අනුව එළැඹෙන අප්‍රේල් මුල් සතියේ පාර්ලිමේන්තු විවාදයක් ලබාදීමට ආණ්ඩුව පාර්ශ්වය එකඟව ඇති බව ය.

ඒ බව ආණ්ඩුවේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු තහවුරු කර ඇත.

රනිල්ගේ උත්සාහය සාර්ථක වෙලා !

මාර්තු 23 පැවති සර්ව පාක්ෂික සමුළුවට පෙර IMF වාර්තාව සම්බන්ධයෙන් ආණ්ඩුව නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීමට උත්සාහ කරත්, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ගේ අදහස් හමුවේ IMF වාර්තාව ලැබීම පිළිගැනීමට මුදල් ඇමති බැසිල් රාජපක්ෂ ට සිදුවිය.

එහිදී හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ මුදල් ඇමති බැසිල් රාජපක්ෂ අතර වචන හුවමාරුවක් පවා සිදුවූ අතර , කෙසේ වුවත් ලැබුණු අවස්ථාව ප්‍රයෝජනයට ගෙන රනිල් වික්‍රමසිංහ සිදුකළේ විපක්ෂ නායක භූමිකාවක් බව දේශපාලන ක්ශේත්‍රයේ කතා බහක් පවා නිර්මාණය වී තිබේ.

පාර්ලිමේන්තුවේදී සජබ මන්ත්‍රීවරුන් මෙන්ම හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ද අවස්ථා කිහිපයක්ම IMF වාර්තාව පාර්ලිමේන්තුව ට ලබා ගැනීම සම්බන්ධයෙන් මුදල් ඇමති වෙතින් ඉල්ලීම් සිදුවුවත් ඊට නිසි ප්‍රතිචාර ලැබුණේ නැත.

ඒ අනුව මෙය සර්ව පාක්ෂික සමුළුව අවස්ථාව උපයෝගී කරගෙන සිදුකළ දේශපාලන මැදිහත්වීමක ප්‍රතිඵලයක් බව දේශපාලන විචාරකයන් ද පවසයි.

 

මහින්ද යනවද ? අලුත් අග්‍රාමාත්‍යවරයකු එනවද ? මහින්දම කියයි !

අග්‍රාමාත්‍ය ධුරයෙන් මහින්ද රාජපක්ෂ ඉවත්ව ජුනි 10ට ප්‍රථම අලුත් අග්‍රාමාත්‍යවරයකු පත්වන බවට මේ දිනවල සමාජ ජාල ඔස්සේ සිදුකරන ප්‍රචාරයන් අසත්‍ය බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සඳහන් කර ඇත.

මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් අගමැති මහින්ද රාජපක්ෂ පවසා ඇත්තේ ,මේ මොහොතේ ධූරය අතහැර යාමට හෝ වෙනත් අයෙකුට පැවරීමට කිසිදු අවශ්‍යතාවක් නැති බවය.

තමන් හෝ ආණ්ඩුවේ වෙනත් මැති ඇමතිවරුන් පිළිබඳව විවිධ කතා පැතිර යෑමට ඉඩ ඇති බවත් මේවා සම්පූර්ණ අසත්‍ය බවත් ඔහු එහිදී පවසා ඇත.

ආණ්ඩුව හිතවාදී මාධ්‍යත් වාර්තා කළා !

කෙසේ වුවත් මේ පුවත සමාජ මාධ්‍ය ඇතුළු ප්‍රසිද්ධ වෙබ් අඩවි පවා වාර්තා කළ අතර , එහි විශේෂත්වය වූයේ ආණ්ඩුව හිතවාදී වෙබ් අඩවි පවා මෙම පුවත වාර්තා කර තිබීමය.

ඒවායේ සඳහන් වූයේ , නව අග්‍රාමාත්‍යවරයකුගේ පැමිණීම සම්බන්ධයෙන් අගමැති මහින්ද රාජපක්ෂ විසින් අරලිය ගහ මන්දිරය භෝජනාගාර සේවකයින් වෙත ඉඟි පළකර ඇති බවයි.

කාගෙද මේ ප්ලාන්ට් එක ?

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දේශපාලන විචාරකයන් පෙන්වා දෙන්නේ මෙවැනි පුවත් ආවට ගියාට ප්‍රචාරය නොවන බවයි.

අග්‍රාමාත්‍ය ධූරය අපේක්ෂා කරන පාර්ශ්වයක් වෙතින් මිස එවැන්නක් සිදුවිය නොහැකි බවත් විචාරකයන් පවසයි.

 

සජිත් සර්ව පාක්ෂික සමුළුවට නොගියේ : රනිල්ගේ ප්‍රතිරූපයට බයේද ?

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉල්ලීමක් අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් කැඳවා තිබූ සර්ව පාක්ෂික සමුළුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් වර්ජනය කර ඇත්තේ ප්‍රතිරූපය සම්බන්ධයෙන් වූ ප්‍රශ්නයක් නිසා බව අනාවරණය වෙයි.

මේ බව ජාතික පුවත්පතක "රාජ්‍ය රහස්" හෙළිදරව් කරන දේශපාලන ගොසිප් විශේෂාංගයක වාර්තා කර ඇත.

එහි සඳහන් ආකාරයට අදාළ සර්ව පාක්ෂික සමුළුව අවස්ථාවේ එක්සත් ජාතික පක්ෂයේ නායක , හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රතිරූපය නැංවෙනු ඇති බවට සජබ ට වාර්තා වී ඇත. එහිදී සජබ කොන්කරනු ඇති බවටත් තොරතුරු ලැබී ඇත.

කොවිඩ් වසංගතය පැමිණි අවස්ථාවේ දී ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කැඳවූ සර්ව පාක්ෂික සමුළුව අවස්ථාව සඳහා සජබ නායක සජිත් ප්‍රේමදාස සහභාගි වූ නමුත් ප්‍රතිරූපය නැංවුනේ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ගේ බවත් දැනගෙන ඇත.

පසුව මේ ගැන පැරණි වීඩියෝ විමර්ශනය කිරීමට වෙනම කණ්ඩායමක් පත්කිරීමටත් සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා කටයුතු කර ඇත.

ඔවුන් වාර්තා කර ඇත්තේ ද කොවිඩ් වසංගතය අවස්ථාවේ පැවැත්වූ සර්ව පාක්ෂික සමුළුවේදී හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රතිරූපය නංවා ඇති බවයි.

මේ සම්බන්ධයෙන් අදාළ පුවත්පත් වාර්තාවේ කොටස පහත දැක්වෙයි.

 කලින් කළා වගේ රනිල් පුම්බයිද? වීඩියෝ බලන්න වෙනම ටීම් එකක්!

මීට පෙර පැවැති සර්වපාක්ෂික සමුළුවේදීද මෙවැනිම ආකාරයේ සිදුවීමක් සිදුවූ බව එහිදී කතා කළ බොහෝ දෙනා සජිත්ට දැනුම්දී තිබිණි. ඉකුත් කොරෝනා සමයේදී අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් මෙම සර්වපාක්ෂික සමුළුව පැවැති අතර, ඊට සජබ නායකයා සහභාගි වුවත්, රනිල්ගේ ප්‍රතිරූපය වර්ධනය වන ආකාරයට එහි මාධ්‍ය ආවරණ කටයුතු සිදුකොට තිබූ බව ඉන් කියැවිණි. ඒ අනුව සජිත් කළේ එදින රාත්‍රියේ විශේෂ කණ්ඩායමක් පත්කොට අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති සර්වපාක්ෂික සමුළුවේ විකාශය කළ රූපරාමු ගෙන්වාදෙන ඒවා විමර්ශනය කරන ලෙස උපදෙස් ලබා දීමය. ඒ අනුව එම කණ්ඩායම වහාම අදාළ දිනයේ සියලුම රූපවාහිනී විකාශයන්වල රූප රාමු ගෙන්වාගෙන ඒවා විකාශය කළ ආකාරය සියුම්ව නිරීක්ෂණය කිරීමට පියවර ගත්හ. ඒ අනුව ඔවුන්ටද තහවුරු වූයේ රාජ්‍ය මාධ්‍ය පමණක් නොව ආණ්ඩුවට හිතවත් පෞද්ගලික මාධ්‍ය පවා රනිල්ගේ ප්‍රතිරූපය වර්ධනය වන ආකාරයට පුවත් විකාශය සිදුකර ඇති බවය. ඒ අනුව ඊට අදාළ වාර්තාව සකස් කළ එම කණ්ඩායම එදිනම රාත්‍රියේ සජිත්ට එය ලබාදීමට පියවර ගත්හ.

ප්‍රතිරූපය ඉබේ හදන්න බෑ : අවස්ථාව ප්‍රයෝජනයට ගැනීමත් නායකත්ව ලක්ෂණයක් !

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දේශපාලන විචාරකයකු පවසා සිටියේ , දේශපාලන පක්ෂ නායකයන් එකට විවෘතව අදහස් හුවමාරු කරගන්නා අවස්ථාවක එහි සම්පූර්ණ අවධානය අත්පත් කර ගැනීමත් නායකයකු සතු ගුණ ලක්ෂණයක් බවයි.

එහිදී වීඩියෝ කෝණ වලට වඩා දක්වනු ලබන අදහස් තීරණාත්මක බවත් වීඩියෝ කොණ හෝ වෙනත් තාක්ෂණික උපාය උපක්‍රම අතික්‍රමණය කිරීමට වැදගත් වන්නේ දක්වනු ලබන අදහස් සහ අන්තර්ගතය බවත් ඔවුන් පවසයි.

පසුගිය 23 වනදා පැවති සර්ව පාක්ෂික සමුළුව අවස්ථාවේ කැමරා කෝණ වලට වඩා හිටපු අග්‍රාමාත්‍යවරයා රටේම අවධානය දිනා ගත්තේ ලැබුණු අවස්ථාව උපයෝගී කරගෙන නායකයකු ලෙස දැක්වූ දේශපාලන පරිණතභාවය හරහා බවත් දේශපාලන විචාරකයන් පවසයි.

ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ජනාධිපති මාධ්‍ය ඒකකය හෝ ආණ්ඩුවක්, විශේෂයෙන් රාජපක්ෂ පාලනයක් කිසිම විටෙක වෙනත් දේශපාලන පක්ෂ නායකයකු ඔසවා තැබීමේ සැළැස්මක් යන්න විහිලුවකට වඩා වැඩි දෙයක් නොවන බවයි. විශේෂයෙන් ආණ්ඩුවත්, රාජපක්ෂවරුන් ගැනත් ජනතාව අතර බලවත් අප්‍රසාදයක් මතුව ඇති පසුබිමක එවැනි විහිලු විපක්ෂ නායක විශ්වාස කරයි නම් එය අදේශපාලනික බව ප්‍රදර්ශනය කිරීමක් බවත් දේශපාලන විචාරකයන් අවධාරණය කරයි.

 

ආණ්ඩුවේ 10ක් ස්වාධීන වෙන තීන්දුවක !

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආණ්ඩුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 10 දෙනකු ඉදිරියට ස්වාධීන කණ්ඩායමක් ලෙස පෙනී සිටීමට තීන්දුවක් ගෙන ඇති බව වාර්තා වෙයි.

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට සුසිල් ප්‍රේමජයන්ත , අනුර ප්‍රියදර්ශන යාපා , චන්දිම වීරක්කොඩි , නිමල් ලන්සා , ගෙවිදු කුමාරතුංග , ප්‍රේම්නාත් සී දොලේවත්ත යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙන්ම තවත් රාජ්‍ය අමාත්‍යවරුන් 03 ක් මේ පිරිස අතර සිටින බවත් වාර්තා වෙයි.

මේ සම්බන්ධයෙන් කරුණු පෙනී සිටින බව දැනුම්දීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමුවීමට තීරණය කොට ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් අධිකරණ පවසයි.

මෙම මන්ත්‍රීවරුන් පිරිසට සුසිල් ප්‍රේමජයන්ත්, චන්දිම වීරක්කොඩි, නිමල් ලන්සා, ගෙවිඳු කුමාර, අනුර ප්‍රියදර්ශන යාපා, ප්‍රේමනාත් සි දොලවත්තය, රාජ්‍ය අමාත්‍යවරුන් තිදෙනකුද ඇතුළත් බවද වාර්තාවේ.

හාල් මෝල් වැඩ පෙන්වයි : නාඩු සුදු කැකුළු 200 ට නග්ගයි !

පොළොන්නරුවේ ප්‍රධාන පෙළේ සහල් ව්‍යාපාරිකයන් නැවත වරක් සතිපතා සහල් මිල ගණන් ඉහළ දැමීමට පටන්ගෙන ඇතැයි තොග වෙළෙඳ ව්‍යාපාරිකයෝ පවසති.

මොවුන් පසුගිය දෙසතිය තුළ වාර දෙකක් පමණ සිය නිෂ්පාදනවල මිල ඉහළ දමා ඇතැයිද මෙම ව්‍යාපාරිකයෝ සඳහන් කළහ.

පොළොන්නරුවේ ප්‍රධානම සහල් ව්‍යාපාර සමාගමක් වන අරලිය සමාගම වෙළෙඳුන් වෙත නිකුත් කර ඇති මිල ගණන් ලේඛනයට අනුව පසුගිය මාර්තු 12දා රු. 180/- ට අලෙවි කළ සම්බා සහල් කිලෝව මාර්තු 22දා සිට රුපියල් 205/- දක්වා රුපියල් රු. 25/-කින් මිල වැඩි කර තිබේ. මාර්තු 12දා රු. 175/- ට අලෙවි කළ නාඩු සහල් කිලෝව මාර්තු 22දා රු. 200/- දක්වා මිල ඉහළ දමා ඇත. එසේම මාර්තු 12දා රු. 175/- ට අලෙවි කළ සුදු කැකුළු සහල් කිලෝව මාර්තු 22දා රු. 200/- දක්වා මිල ඉහළ දමා තිබේ. මාර්තු 12දා රු. 180/- ට අලෙවි කළ රෝස කැකුළු මිල මාර්තු 22දා වනවිට රු. 205/- කි.

වී මිලදී ගැනීමේ සහතික මිල රජය විසින් ඉහළ දැමීම නිසා සහල් නිෂ්පාදන මිල ඉහළ යාමෙන් මෙලෙස සහල් මිල වැඩි කරන්නට සිදුවූ බව එම සහල් ව්‍යාපාරිකයන් සඳහන් කළ වග දේශය සමඟ මේ ගැන කරුණු දැක්වූ තොග වෙළෙන්ඳෝ සඳහන් කළහ.

-දේශය

IMF සමග වැඩ කරන්න : ජනාධිපතිගෙන් විශේෂ කමිටුවක් !

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කටයුතු කිරීම සඳහා ජාත්‍යන්තර නීති ආයතනයක් තෝරා ගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් විශේෂ කමිටුවක් පත් කර ඇත.

විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් ගේ ප්‍රධානත්වයෙන් යුත් එම කමිටුවට අධිකරණ අමාත්‍ය අලි සබ්රි,ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස් ආර් ආටිගල පත්කර ඇති බවත් වාර්තා වෙයි.

ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩ ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීමට රජය තීරණය කර ඇති අතර, එම කටයුතු ඉදිරියට ගෙන යාම සඳහා මෙම කමිටුව පත් කර ඇත .

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කිරීම සදහා අප්‍රේල් මාසයේදී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ වොෂින්ටන් නුවර බලා පිටත්ව යාමට නියමිත බවත් වාර්තා වෙයි.

තොණ්ඩමන්ගේ කොන්ග්‍රසය ආණ්ඩුවෙන් යන්න තීරණයක !

ලංකා කම්කරු කොන්ග්‍රසය පොදුජන පෙරමුණ ආණ්ඩුවෙන් ඉවත්වීමට එම පක්ෂයේ දේශපාලන මණ්ඩලය තීරණයක් ගෙන ඇති බව වාර්තා වෙයි.

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට ලංකා කම්කරු කොන්ග්‍රසය පක්ෂයේ නායක ජීවන් තොණ්ඩමන්ට කැබිනට් අමාත්‍ය ධුරයක් ලබා නොදී පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායකට කැබිනට් අමාත්‍ය ධුරයක් ලබාදීමට විරෝධය පළකරමින් ඔවුන් මෙම තීන්දුව ගෙන ඇත.

මේ වන විට ජීවන් තොණ්ඩමන් හට රාජ්‍ය අමාත්‍ය ධූරයක් ලබාදී ඇති අතර ඒ, වතු යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය ලෙසය.

පසුගිය පාර්ලිමේන්තු මැතිවරණය අවස්ථාවේ පොදුජන පෙරමුණ සමග එක්ව ලංකා කම්කරු කොන්ග්‍රසය මන්ත්‍රී ධූර 4 ක් ලබා ඇති අතර මේ තීන්දුව අනුව ඔවුන් ආණ්ඩුවෙන් ඉවත් වුවහොත් ආණ්ඩුවට මන්ත්‍රී ධූර 04 අහිමි වෙයි.

බොරතෙල් මිළ යළිත් ඉහළට.....

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල නැවතත් කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇත.

රුසියානු තෙල් සහ ගෑස් සඳහා පැනවුණු බටහිර සම්බාධක මෙන්ම සෞදි අරාබියේ තෙල් ගබඩාවක් ප්‍රහාරයකට ලක්වීම ආදී කරුණු හේතුවෙන් මෙලෙස බොර තෙල් මිල ඉහළ ගොස් තිබේ.

ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතල් බැරලයක් ඩොලර් 120 යි ශත 70 දක්වා ඉහළ ගොස් ඇති අතර, ඇමරිකානු ඩබ්ලිව්.ටී.අයි. බැරලයක මිල සටහන් වන්නේ ඩොලර් 114 ක් ලෙසයි.

ශ්‍රීලනිපය ආදර්ශයක් දුන්නොත් ඇමතිකම අත්හරිනවා - ඇමති නාමල්

අමාත්‍ය මණ්ඩලය අඩු කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ආදර්ශයක් ලබා දෙන්නේ නම් තමන් දරණ අමාත්‍ය ධූරය අත් හැරීමට සූදානම් බව ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ පවසයි.

අමාත්‍ය මණ්ඩලය අඩු කළ යුතු බවට සර්ව පාක්ෂික සමුළුවේ දී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  ඉදිරිපත් කළ යෝජනාවට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

ඔහු මෙම අදහස් පල කළේ හොරණ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදීන් කළ කරුණු විමසීමකදිය.

නෙත් එෆ්එම්

 

මැති ඇමතිලාගේ ගුවන් ගාය සනීප කරන්න තීන්දුවක් !

කැබිනට් ඇමැතිවරුන්ට සහ රාජ්‍ය ඇමැතිවරුන්ට රටේ විවිධ ප්‍රදේශවලට ගමන් කිරීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශයේ විශේෂ අවසරයකින් තොරව හෙලිකොප්ටර් හෝ ගුවන් යානා ලබාදීම නතර කර ඇතැයි ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසයි.

මේ සම්බන්ධයෙන් ‘ලංකාදීප’ ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් දුශාන් විජේසිංහගෙන් කළ විමසුමකදී ඔහු සඳහන් කර ඇත්තේ ඉන්ධන ප්‍රශ්නය ඇතුළු හේතු කාරණා ගණනාවක් පදනම් කරගෙන එම තීරණයට පැමිණි බවයි.

කෙසේ වෙතත් ජනාධිපතිවරයා අගමැතිවරයා සහ විදේශීය රාජ්‍ය නායකයන්ගේ සංචාර සඳහා හෙලිකොප්ටර් හෝ ගුවන් යානා ලබාදීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව බැඳී සිටින බව ඔහු සඳහන් කර ඇත.

කැබිනට් හා කැබිනට් නොවන ඇමැතිවරුන්ට හෙලිකොප්ටර් හෝ ගුවන් යානා ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් මෙයට පෙර සපයනු ලැබීය.

මේ අතර හිටපු ඇමැතිවරුන් ගණනාවක් ඔවුන්ගේ ගුවන් සංචාර වෙනුවෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයවිය යුතු රුපියල් කෝටියකට වැඩි මුදලක් මෙතෙක් ගෙවා නැතැයි වාර්තා වෙයි.

මැදගොඩ අභය තිස්ස හිමිගෙන් බැසිල්ට ප්‍රහාරයක් !

බැසිල් රාජපක්ෂ සහෝදරයෙක් ලෙස හොද වන්නට ඇති නමුත්, ජනතාව ඒ චරිතයට කැමති නැති බව පැපිලියාන සුනේත්‍රාදේවි පිරිවෙන් විහාරාධිපති මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමි පවසති.

මැදගොඩ අභයතිස්ස හිමි මේ බව සඳහන් කර සිටියේ මෙම අදහස් පළ කරන ලද්දේ ආණ්ඩුවේ පක්ෂ 11 කරන නියෝජිතයන් ඔවුන්ගේ වැඩ වැඩපිළිවෙළ පිළිගැන්වීම සඳහා එම විහාරස්ථානයට ගිය අවස්ථාවේදී මාධ්‍ය අමතමිනි.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ වැළඳගැනීමට රටේ ජනතාව සූදානම් නැතැයි ද මැදගොඩ අභය තිස්ස හිමි එහිදී පැවසීය.

 ‘හැත්ත බුරුත්ත මුහුදට දාන්න කියන්නෙ නෑ. හැබැයි ටිකක් පැත්තකට කරල තියන්න’ යයි තමන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි බව ද උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

පවුලේ බල අරගලයක් !

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දේශපාලන විචාරකයන් පවසන්නේ එක් පසෙකින් ආණ්ඩුවේ බැසිල්වාදි පාර්ශ්ව ගෝඨාභය ජනාධිපති දේශපාලන වශයෙන් අපරිණත බවට ප්‍රචාරයක් ගෙනයන විට ජනාධිපති පාර්ශ්වය ද බැසිල් විරෝධී අදහස් එළිදක්වන බවක් නිරීක්ෂණය වන බවයි.

මේ සියල්ල රාජපක්ෂ පවුලේ බල අරගලයක් මිස රට පත්ව ඇති ඛේදවාචක තත්වයෙන් මුදවා ගැනීමට කටයුතු කිරීමක් නොවන බවත් ඔවුන් පවසයි.

මේ මොහොතේ රටට අවශ්‍ය වැඩිය හොඳ බැසිල්ද ගෝඨාභය ද යන්න නොවන බවත් මේ මොහොතේ රටට අවශ්‍ය ආර්ථික අර්බුදය හේතුවෙන් බරපතළ පීඩාවට පත්ව ඇති ජනතාවට සහනයක් බවත් විචාරකයන් පෙන්වා දෙයි.

 

රටඉඳි තහනම ඉවත් කරන්න : මුජිබර් ආණ්ඩුවෙන් ඉල්ලයි !

ආනයනික භාණ්ඩ තහනමට රටඉඳි ඇතුළත් කිරීම නිසා මුස්ලිම් ජනතාව දැඩි පීඩාවට පත්ව සිටින බව සජබ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පවසයි.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර සිටියේ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ය.

මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී කරුණු ඉදිරිපත් කෙරුණද රට ඉඳි එම තහනම් ලැයිස්තුවෙන් ඉවත් කිරීමට ගැසට් නිවේදනයක් මෙතෙක් නිකුත් කර නැතැයිද ඔහු චෝදනා කළේ‍ය.

ආණ්ඩුව වැසූ ආර්ථික නිරුවත : IMF වාර්තාවෙන් එළියට !

රටටත්, පාර්ලිමේන්තුවටත් ආර්ථික අර්බුදය ගැන නොමඟයවන යැවූ මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සහ ආණ්ඩුවේ දේශපාලනයින් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල් වාර්තාව මගින් නිරුවත් වී ඇතැයි, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා වාර්තාව ගැන නිවේදනයක් නිකුත් කරමින් මානව හිමිකම් කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ රජිත් කීර්ති තෙන්නකෝන් පවසයි.

අදාළ නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන් වෙයි.

රාජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස පාර්ලිමේන්තුවටත්, මහ බැංකු අධිපතිවරයා ලෙස ‘හය මසක මාර්ග සිතියමක්‘ මැයෙන් අජිත් නිවාඩ් කබ්රාල් ඉදිරිපත් කළ තර්කයන්ගේ හා කරුණුවල හරසුන් හා නිරර්ථක බව, IMF ලංකා වාර්තාව මගින් නිරාවරණය වී ඇත.

IMF ලංකා වාර්තාවට අනුව, ලංකාවේ දළ දේශීය නිශ්පාදනය සහ ණය ප්‍රමාණය අතර අනුපාතය 119% දක්වා ඉහළ නැග ඇත. ලංකාවේ විදේශ සංචිත ඩොලර් මිලියන 2,204 දක්වා පහත වැටී ඇති බව වාර්තාවේ දක්වන නමුත්, භාවිත කළ හැකි ප්‍රමාණය මිලියන 800 දක්වා පහත වැටී ඇති බව වාර්තාවේ දැක්වෙන්නේ නැත. දළ දේශීය නිෂ්පාදනයෙන් 64.2 ක් ණය බව වාර්තාව කියයි.

වත්මන් රජය 2019 දී සිය ව්‍යාපාරික ගජ මිතුරන්නට බදු සහන දී භාණ්ඩාගාරයේ (රටේ) ආදායම අඩු කර ගැනීම, මේ ආර්ථික අර්බුදයේ ඇරඹුමයි. වාර්තාවේ (6 පිටුව) වැට්, කෝපරේට් ටැක්ස්, ආදායම් බදු, ජාතික ගොඩනැගීමේ බද්ද කැපීම නිසා සිදුවූ ආදායම් අහිමිවීම සවිත්සර දක්වා ඇත.

රටේ උද්ධමනය ඉහළ යාම ගැන IMF නිරීක්ෂණ සවිස්තරාත්මකය. 1952 සිට 2020 දක්වා අච්චු ගැසූ මුදල මෙන් 23 ගුණයක් වසර දෙකක් තුල අච්චු ගැසූ රටක උද්ධමනය ඉහළ යාම අරුමයක් නොවන බව මම පසුගිය සතියේ ද පෙන්වා දුනිමි. එදා එයට මහ බැංකු අධිපති ප්‍රතිචාර දැක්වූවේ මුදල් අච්චු ගැසීම අලුත්දෙයෙක් නොවන බවය. ආදායමට වඩා වියදම වැඩි රටක වියදම් කැපීමත්, ආදායම් වැඩි කර ගැනීමත් හැර වෙනත් විකල්පයකට ඇත්තේ ණය ගැනීමය. සීනි බදු වංචාව, සුදුළුණු වංචා, පොල්තෙල් ගැන වාර්තාව කියන්නේ නැත. නමුත්, චීන අශුචි, නැනෝ පොහොර වැනි හොරකම් රටට කන්න නැතිකළ බව, ආහාර හිඟයක් ඇතිකළ බව පෝලිම්වල ඉන්න ජනතාවට රහසක් නොවේ.

වාර්තාවේ 9 වන පිටුවේ දැක්වෙන්නේ රටේ ණය 100% ගුණයකින් වැඩිවීමට කෝවිඩ්, ගජමිතුරන්නට දුන් බදු සහන, අය වැය කළමනාකරණය නොකිරීම හේතු වූ බවයි. මිල සුත්‍රයකින් තොරව ඛනිජ තෙල් සංස්ථාවේ පාඩුව රටේ ආර්ථිකයට බරක් වූ බව ද එහි දැක්වේ. ආර්ථික අර්බුදය, ඉන්ධන අර්බුදය හා බැදී ඇති බව පැහැදිලිය.

යහපාලන ආණ්ඩුව (2019) රජයේ ආදායමෙන් 11.6% ක් බදු මගින් ලබා ගත් බවත්, මේ වන විට එය 7.2% දක්වා පහත වැටී ඇති බව වාර්තාවේ දැක්වේ.

වාර්තාව පුරා වචනයෙන් නොව දත්ත මගින් මතු කර දක්වන්නේ මුලික ආර්ථික ප්‍රතිපත්ති නොතකා හැරීම නිසා ලංකා ආර්ථිකයේ බිඳ වැටීම සිදුව ඇති බවය. රජය ශ්‍රී ලංකා මහ බැංකුවට ණය වී ඇති ප්‍රමාණය 2000 මාර්තු සිට 2021 නොවැම්බර් දක්වා 9%ක් වැඩිවී ඇති බව දක්වයි.

අප අමතක නොකළ යුත්තේ ‘‘අඩුම ආර්ථික වර්ධනයක් ලඟාකරගත් වසර දෙකක්, වසර 12 කින් පසුව ඉහළම උද්ධමන අනුපාතිකයක් වාර්තා කළ, දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස සැලකීමේ දී අඩුව ආදායම වාර්තාවී ඇති, වැඩිම මුදල් අච්චු ගැසීම සිදු කර ඇති, දළ දේශීය නිෂ්පාදනයෙන් 119% ණයවී සිටින රටක ආර්ථිකය‘‘ පිළිබඳ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සිය නිරීක්ෂණ මෙම වාර්තාවෙන් ඉදිරිපත් කර ඇති බවයි. 5% ක් වූ දේශීය ණය (බැදුම්කර) දැන් 60% දක්වා ඉහළ නැඟ ඇත. ඒ මුදල් බහුතරයක් එළදායී නොවන ආයෝජනයක් වෙති.

ජාත්‍යන්තර මුල්‍ය වෙළඳපලේ පහලම ශ්‍රේණිගත කිරීම් දරණ ආර්ථිකය ගොඩ ගැනීමට ගැන උපදෙස් පහක් මුල්‍ය අරමුදල ලබාදී ඇත.

1. 2019 දී ලබාදුන් බදු සහන (වැට්, ආදායම් බදු, සමාගම් බදු සහන) වෙනස් කිරීම (එනම් ගජමිතුරන්ට බදු සහන ලබාදීම වෙනුවට 2019 ට පෙර තිබු බදු ක්‍රමයට නැවත යාම)

2. පාඩු ලබන රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීම/විකුණා දැමීම

3. ණය ප්‍රතිව්‍යුහගත කරණය උපක්‍රම වෙත යොමුවීම

4. උද්ධමනය පාලනය කිරීමට පියවර ගැනීම (හිතුමනාපයට මුදල් අච්චු ගැසීම නවතා දැමීම, මුදල් මණ්ඩලය හරහා මහ බැංකු අධිපති හා භාණ්ඩාගාර ලේකම්ට මුදල් අච්චු ගැසීමට ඇති හැකියාව නැති කිරීම)

5. වෙළඳපොල නිර්ණායක අනුව පොලී අනුපාතය තීරණය කිරීම

6. සමාජ ආරක්ෂණ ජාලය ශක්තිමත් කිරීම

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල් වාර්තා මගින් රටක් අපහසුතාවයට පත් වන ආකාරයේ කරුණු ඉදිරිපත් කරන්නේ නැත. ආර්ථික විද්‍යා මුලධර්ම අනුව රටක ආර්ථික දත්ත විශ්ලේෂණය සඳහා මාවත පමණක් පෙන්වා දෙනු ලබයි. ලංකාව පිළිබඳ වාර්තාව පුරාම මතුවන්නේ ‘ගෙවී ගිය වසර දෙක තුල ආර්ථික කළමනාකරණයේ දී රජය දක්වා ඇති නොහැකියාව හා දුබලතාවයි.

බදු ප්‍රතිපත්ති වෙනස් නෙකර, වියදම් පාලනය නොකර, පාඩු ලබන ආයතන බර දිගින් දිගටම දරමින්, පොලී අනුපාතය කෘතීම ලෙස පහත දමමින්, හිටි හැටියේ පසුගිය සතියේ රුපියල පා කර දැමීම වැරදි මුල්‍ය තීරණයක් බව මාර්තාවේ පේලී අතර ලියැවි ඇති, එළිපිට ලියා නොමැති කතාවයි. මුල්‍ය අරමුදල හැමදාම ලංකාවට උපදෙස් දුන්නේ ආදායම් වැඩි කර, වියදම් පාලනය කර විදේශ මුදල් අර්බුදයට පිළියම් යෙදීමයි. නමුත්, රජය රුපියල බාල්දු කළේ, කිසිදු ආර්ථික ප්‍රතිසංස්කරණයකින් තොරවය. දැන් ඩොලරය අහස උසට ඉගිලෙන්නේ ඒ නිසාය. අවසනාවකට අද මේ වාර්තාව නිකුත් වී ඇත්තේ මුදල් අමාත්‍යාංශය සහ මහ බැංකුව අතර තීරණ ගැනීම පිළිබඳ එකඟතාවයක් හෝ නොමැති අවස්ථාවකය.

ජනාධිපතිවරයා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීමට එකඟතාව ලබාදී ඇතත්, එය යථාර්ථයක් බවට පත්වීමට නම් රජය ක්ෂණික පියවර ගත යුතුය. මුදල් අමාත්‍යවරයා හෝ මහ බැංකු අධිපතිවරයා හෝ ඒ සඳහා ඉදිරිපත් වන්නේ නැත. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වාර්තාවේ හරය නම්, අර්බුදය තවදුරටත් කල් දැමීමට ලංකාවට හැකියාවක් නැති බව ය.

 

 

තිස්ස කුට්ටි : ජනාධිපතිව පහතට දා බැසිල්ව උස්සයි ! (වීඩියෝ )

ගෝටාභය රාජපක්ෂ ජනාධිපතිවරයා දේශපාලන අත්දැකීම් අඩු නායකයෙක් බවත් බැසිල් රාජපක්ෂ යනු රටේ මහජනතාවගේ දුක දන්නා ජනතාවාදී නායකයෙක් බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි පවසයි.

ඔහු මේ අදහස් දක්වා ඇත්තේ youtube නාලිකාවක් සමග සාකච්ඡාවක් සිදුකරමින් ය.

ඒ සම්බන්ධයෙන් ආණ්ඩුව හිතවාදී වෙබ් අඩවියක් වන සීනිව්ස් වාර්තා කර ඇති අතර එම පුවතේ මෙසේද සඳහන් වෙයි.

ගෝඨාභය රාජපක්ෂට වඩා දේශපාලනිකව ඉදිරියෙන් සිටින බැවින් නායකත්වයදට සුදුසුම පුද්ගලයා බැසිල් රාජපක්ෂ මහතා බවද හෙතෙම සදහන් කරයි.

අද වන විට බැසිල් රාජපක්ෂ මහතා දැවැන්ත පීඩනයකින් සිටින බව පෙන්වා දෙන කුට්ටිආරච්චි මහතා පෙන්වා දෙන්නේ ආන්ඩුවේ කැබිනට් ඇමතිවරුන් සහ රාජ්‍ය ඇමතිවරුන් පසුපෙළ මන්ත්‍රීවරුන් බිල්ලට දී ජනතාවගෙන් ඇඟ බේරා ගැනීමේ ක්‍රියාවලියක නිරත වන බවයි.

එම හේතුවෙන් තමා දැඩි කලකිරීමකින් පසුවන බවත් ඔහු පැවසීය.

සති අන්තයේ කරන්ට් කපන හැටි.....

සති අන්තයේත් විදුලිය කප්පාදු කිරීමට ලංකා විදුලිබල මණ්ඩලයට මහජන උපයෝගිතා කොමිසම විසින් අවසර දෙනු ලැබ තිබේ.

ඒ අනුව, හෙට (26 සෙනසුරාදා) P සිට W දක්වා ඛණ්ඩවලට අයත් ප්‍රදේශ සඳහා උදෑසන 9.00 සිට පස්වරු 6.00 දක්වා පැය 3කුත් සවස 6.00 සිට රාත්‍රි 11.00 දක්වා පැයයි විනාඩි 40 කුත් විදුලිය කප්පාදු කෙරෙනු ඇති.

A සිට L දක්වා ඛාණ්ඩවලට අයත් ප්‍රදේශවලට හෙට(26 සෙනසුරාදා) උදෑසන 8.00 සිට පස්වරු 6.00 දක්වා පැය 3 යි විනාඩි 20 ක් සහ සවස 6.00 සිට රාත්‍රි 11.00 දක්වා පැයයි විනාඩි 40 ක් විදුලිය කප්පාදු කිරීමට අවසර දී තිබේ.

අනිද්දා (27 ඉරිදා) P සිට W දක්වා ප්‍රදේශවලට සවස 3.00 සිට රාත්‍රි 11.00 දක්වා පැය දෙකකුත් A සිට L දක්වා ප්‍රදේශවලට උදෑසන 8.30 සිට 5.30 දක්වා පැය දෙකයි විනාඩි 15කුත්, සවස 5.30 සිට රාත්‍රි 10.30 දක්වා පැයයි විනාඩි 15 කුත් විදුලිය කප්පාදු කිරීමට අවසර දුන් බව මහජන උපයෝගිතා කොමිසම සඳහන් කළේ ය.

පෙට්‍රල් මිළ රෑට ඉගි‍ළෙයි.....

ඊයේ (25) මධ්‍යම රාත්‍රී 12 සිට සියලුම පෙට්‍රල් වර්ගවල මිල රුපියල් 49කින් ඉහළ දැමීමට ලංකා IOC සමාගම තීරණය කර තිබේ.

එහෙත් ඩීසල් මිල වෙනස් නොවන බව එම සමාගම නිවේදනය කරයි.

රට තුළ පවතින ඩොලර් අර්බුදය හේතුවෙන් මෙම තීරණය ගැනීමට සිදුවූ බවද අදාළ සමාගම පවසයි.

ඒ අනුව IOC ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 303ක් දක්වා ඉහළ යනු ඇත.

IOC ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල දැක්වෙන්නේ රුපියල් 332ක් ලෙසය.

අවුල පොත්ත සුදු වීමද ? වනජීවි අමාත්‍යංශයේ : වනජීවි හැසිරීම් ඉහළට !

තමාට මාධ්‍ය සහය ලැබෙන්නේ 'පොත්ත සුදු නිසා' යයි විෂය බාර අමාත්‍යවරයා අවඥාවෙන් යුතුව ප්‍රසිද්ධියේ පැවසු බව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ශර්මිලා රාජපක්ෂ ප්‍රසිද්ධ මාධ්‍ය හමුවකදී පැවසුවාය.

ඇය මේ බව සඳහන් කර සිටියේ (24) මාධ්‍ය හමුවක් පවත්වමිනි.

(23) රිදියගම සෆාරි උද්‍යානයේ සිදුවූ සිද්ධියකින් අනතුරුව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේදී තමන් මුහුණ දුන් අත්දැකීම් සම්බන්ධයෙන් එහිදී ඇය එහිදී පැවසූ අතර අමාත්‍යවරයා මෙසේ කියා සිටියේ අමාත්‍යංශ ලේකම්වරයා ඇතුළු තවත් කිහිපදෙනෙක් ඉදිරිපිට දී බව ද ඇය පැවසුවාය.

 “ඊයේ මං රිදියගම සිට කොළඹ එනකොට මගේ වාහනයේ ඉස්සර රෝද දෙකටම වැලි පුරවලා වහලා තිබුණා.”

“ඇමතිවරයා, අමාත්‍යාංශ ලේකම්වරයා, මමත් තවත් කිහිප දෙනෙක් ඉන්නකොට අමාත්‍යවරයා මට කිව්වා ජනමාධ්‍ය මගින් මට සහාය දෙන්නේ මගේ පොත්ත සුදු නිසා කියලා.”

“කනගාටුවට කාරණයක්. කාන්තාවක් හැටියට මම ලැජ්ජා වෙනවා.” යයි ඇය එම මාධ්‍ය හමුවේදී පැවසුවාය.

සේවය අත්හිටුවලා !

මේ අතර ජාතික සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් ෂර්මිලා රාජපක්‍ෂගේ සේවය ( 24) සිට වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවන බව වනජීවී අමාත්‍ය සී.බී. රත්නායක පැවසීය.

අමාත්‍යංශයේ නියෝග නොතකා දිගින් දිගට ම කටයුතු කරන බැවින් ඇයගේ නිල කාමරය මුද්‍රා තැබීමට ත්, නිල රථය අමාත්‍යාංශය වෙත පවරා ගැනීමට ත් කටයුතු කරන ලෙසට අමාත්‍යංශය වෙත ඇමතිවරයා නියෝග කර ඇත.

ලැජ්ජයි නින්දිතයි !

කෙසේ වුවත් අමාත්‍යවරයා පැවසූ බව සඳහන් කරමින් ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ශර්මිලා රාජපක්ෂ නැගූ චෝදනාව බරපතළ ය.

එවැනි ප්‍රකාශයක් සිදුකර ඇත්නම් එය සමස්ථ ආණ්ඩුව නින්දාවට ලක්වන ප්‍රකාශයක් බව කිවයුතු ය.

පශු වෛද්‍යවරුන් වර්ජනයක !

මේ අතර ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ සියලු පශු වෛද්‍ය නිලධාරීන්ඊයේ (24) සිට අසනීප නිවාඩු වාර්තා කරමින් සේවයෙන් ඉවත්ව තිබේ.

ඒ රිදියගම සෆාරි උද්‍යානයේ සේවකයින් පිරිසක් එහි සේවය කරන පශු වෛද්‍ය ප්‍රියසාද් එදිරිවර්ණ ට පහරදීමේ සිද්ධියට අදාළව කඩිනම් නීතිමය ක්‍රියාමාර්ග ගන්නැයි බලධාරීන්ගෙන් ඉල්ලමිනි.

රිදියගම සෆාරි උද්‍යානයේ පශු වෛද්‍ය ප්‍රියසාද් එදිරිවර්ණ ට එහි සේවකයින් පිරිසක් (23) පස්වරුවේ පහරදීමක් සිදුකර තිබුණි. ඒ ජාතික සත්වෝද්‍යාන දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ශර්මිලා රාජපක්ෂ ද එහි ක්ෂේත්‍ර චාරිකාවක නිරතව සිටින අතරතුරදීය.

පහරකෑමෙන් තුවාල ලද පශු වෛද්‍යවරයා හම්බන්තොට මහරෝහලේ මේ වනවිට ප්‍රතිකාර ලබමින් සිටී.‍

පැය 10 ක විදුලි කප්පාදුවක් ගැන : කතා දෙකක් !

විදුලි කප්පාදුව ඉදිරි දිනවලදී පැය 10 ක් දක්වා දීර්ඝ වියහැකි බවට ලංකා විදුලිබල මණ්ඩලයේ ආරංචි මාර්ග උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා කර ඇත.

ජලවිදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජල ප්‍රමාණය වර්තමාන විදුලි ජනන ධාරිතාවෙන් හෝ තවත් දින 10 ක් පමණක් පවත්වාගෙන යෑමට කළහැකි වීම සහ කෙරවලපිටි විදුලි බලාගාරය වසා දැමීම හේතුවෙන් මෙම තත්වය උද්ගත වී ඇති බවත් විදුලි ජනනයට අවශ්‍ය දැවිතෙල් අවසන් වීම නිසා ඇනවුමක් ලැබෙන තෙක් බලාසිටීම සිදුවීම හේතුවෙන් තත්වය තවත් බරපතල වී ඇති බවත් එම මාධ්‍ය වාර්තා වල සඳහන් වෙයි.

පැය 10 කට අධික කාලයක් විදුලිය කප්පාදු කිරීමට මහජන උපයෝගිතා කොමිසමෙන් අවසර ඉල්ලා සිටීමට විදුලි බල මණ්ඩලය බලාපොරොත්තු වන බව ද එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කර ඇත.

කෙසේ වුවත් මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක පවසා ඇත්තේ මෙතෙක් පැය 10 ක විදුලි කප්පාදුවක් අවශ්‍ය නොවන බවයි.

Page 272 of 383