V2025

පුවත්

අරගලය මැද මතුවූ අලුත්ම ගම : ගෝඨාගෝගම

ජනාධිපතිවරයාට ගෙදර යන ලෙස බල කරමින් දියත්ව ඇති #GoHomeGota2022 අරගලය මේ මොහොතේ දියත්ව ඇති ජනාධිපති ලේකම් කාර්යාලය අසල ගෝල්ෆේස් පරිශ්‍රයේ ගෝඨාගෝගම නමින් අලුත් ගමක් නම්කර ඇත.

එය google map හරහා ද මේ වන විට ප්‍රසිද්ධ කර තිබේ.

පසුගිය අප්‍රේල් 09 වනදා ඇරඹි මේ සාමකාමී විරෝධතා ව්‍යාපාරය අද (11) තෙවැනි දිනයටත් ක්‍රියාත්මකව ඇත

වාර්තා වන අන්දමට මෙම විරෝධතා අරගලය තවදුරටත් දිග්ගැස්සෙන ස්වභාවයක් පෙන්නුම් කරයි.

එසේම මේ වන විට මේ අරගල බිම වෙත කූඩාරම් සහ ජංගම වැසිකිළි පවා ඉදිකර ඇත.

277746901 10158782362059226 5732637939770717596 n

shan gota

 

ආණ්ඩුවට දේව සාපයක් !

කුමන්ත්‍රණවලින් බලය ගත්ත අයට මේ වනවිට දේව සාපය වැදී ඇතැයි කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමි පවසයි.

කාදිනල් හිමි මේ බව පැවසූවේ, පාස්කු දින ප්‍රහාරයට යුක්තිය ඉටු නොවීමත් රට තුළ මේ වනවිට පැනනැග ඇති ජනතා ඉල්ලීම්වනට විසඳුම් ලබා නොදීමටත් විරෝධය දැක්වීම සඳහා කටුවාපිටියේදී පැවති විරෝධතාවයට එක්වෙමිණි.

එම විරෝධතාවය සංවිධානය කර තිබුණේ ධීවර ප්‍රජාව සහ අවට ප්‍රදේශවාසීන් එක්වය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වන කාදිනල් හිමි මෙසේ අදහස් දක්වා ඇත.

“ශ්‍රී ලංකාවේ ඉතාමත්ම විනාශකාරීම ලේ වැගිරීම අපිට අමතක කරන්න බැහැ. අද බලයේ ඉන්න රජය එදා ඡන්දයට ඉදිරිපත් වෙද්දි ඒ සිද්ධිය සම්පූර්ණයෙන්ම ඒගොල්ලො පාවිච්චි කලා. අපිට තේරුණා එදාම මේ මහ විනාශය පිටුපස්සේ කුමන්ත්‍රණයක් තියෙන්න පුළුවන් කියලා. දැන් අපිට එලිදරව් වේගෙන යනවා කුමන්ත්‍රණ කාරයෝ කවුද කියලා. ඒ ක්‍රමන්ත්‍රණ කාරයන්ට බලය අල්ලගන්න පුලුවන්. නමුත් බලය ආරක්ෂා කරගන්න බැහැ. දෙවියන් වහන්සේගේ සාපය ඔවුන්ට වැදිල තියෙනවා.

බලය අල්ලගත්තට වැඩක් නැහැ, බලය හරියට පාවිච්චි කරන්න, පාලනය කරන්න ඒ අය දන්නේ නැහැ. ජනාධිපති කොමිසමෙන් සුන්නු තීන්දු තීරළණ ක්‍රියාත්මක කරන්න කියලා. නමුත් අද වනතුරු ඒ තීන්දු තීරණවලින් වැඩි ප්‍රමාණයක් ක්‍රියාත්මක නොකර මුස්ලිම් මිනිසුන්ට විතරක් මේකේ වරද පටවලා, ඒක පිටිපස්සේ හිටපු අනික් බලවේග ටික සේරම හංගන්නට කටයුතු කරමින් තිබෙනවා. ඒ නිසා ඒකට වැදිච්ච සාපයක් තමයි අද මේ උදාවෙලා තියෙන්නේ.

නීතිපති තුමා මේ ක්‍රමවේදයේ වහලෙක් බවට පත්වෙලා ඉවරයි. ඒ නිසා මේ රටේ නීතියක් කියලා එකක් හරියට යුක්තියක් ඉෂ්ඨ කරගන්න අද අපේ මිනිසුන්ට ඉඩ කඩක් නැහැ.”

pass

69 ලක්ෂයේ පිරිසක් අරගලයේ : ජනවරම හබක් !

අද රජයට එරෙහි අරගලවල ඉදිරියෙන්ම සිටින්නේ හැට නම ලක්ෂයක් ඡන්ද දුන්න ජනතාව බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල පවසයි.

ඔහු මේ බව සදහන් කර සිටියේ පක්ෂ 11ක එකමුතුව සහ වෘත්තීය සමිති නායකයන් අතර වූ විශේෂ සාකච්ඡාව හා එක් වෙමිනි.

එහිදී පිවිතුරු හෙළ උරුමයේ නායකයා වැඩිදුරටත් මෙසේ ප්‍රකාශකර සිටියේය.

වසර එකහමාරක් තුළ නිහඬව බලා සිටීමෙන් හෝ උවමනාවෙන් රට තල්ලු කිරීමෙන් බිහිකරපු ආර්ථික අර්බුදයක් මේක. අද වන විට මේ ආර්ථික අර්බුදයේ නිර්මාපකයෝ මේක නිර්මාණය කළේ අපවත් අපේ රටත් විනාශ කරන්න. නමුත් තමන් විසින් නිර්මාණය කළ රකුසා විසින් දැන් තමන්ව ගිලගනිමින් පවතිනවා. අද අපි දුක් විඳින බව ඇත්තයි, අප විනාශ වෙමින් පවතින බව ඇත්තයි , හැබැයි ඔවුන් හිතාගෙන හිටියේ මේ මහා රකුසා ජනතාවත් රටේ සම්පතුත් ගිලගෙන ඔවුන්ට තව තවත් ජනතාව සූරා කන්න තව තවත් සම්පත් හොරකම් කරගෙන මංකොල්ල කන්න මේ රකුසා විසින් අවස්ථාව ලබා දේවි කියලා. නමුත් මේ වන විට ඔවුන් නිර්මාණය කරපු රකුසා ඔවුන්ව විනාශ කරමින් පවතිනවා.

මේ කතා කරන මොහොත වන විට අපිට ලැබෙන ප්‍රවෘත්ති ඇත්ත නම් සියලුම ඇමති මණ්ඩලය ඉවත් වෙලා තියෙනවා. ඇත්ත නම් කියලා මං කිව්වේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව නම් ඇමතිවරු තමන්ගේ ඉල්ලා අස්වීම භාර දිය යුත්තේ ජනාධිපතිතුමාට. හැබැයි මාධ්‍ය වාර්තා කරපු විදිහට මේ ඉල්ලා අස්වීම ලබාදීලා තියෙන්නේ අගමැතිතුමාට. ඒක වලංගු ඉල්ලා අස්වීමක් වෙන්නේ නෑ. අගමැතිතුමා ජනාධිපතිතුමාට ඒක භාරදුන්න ද නැද්ද කියලා අපි දන්නේ නෑ. කොහොම නමුත් මේ අමාත්‍ය මණ්ඩලය අකුලගෙන ගෙදර යාමේ මානසිකත්වයට පැමිණීමම මේ රටේ අරගලයේ යෙදුණු ජනතාවගේ ජයග්‍රහණයක් කියන එක අපි ඉතාම සන්තෝසෙන් කියන්න ඕන. හැබැයි ඉංග්‍රීසියෙන් කියනවා too late to little කියලා. ඒක කියන්නෙ යමක් ඕනවට වඩා ප්‍රමාද වුණොත් එය දුන්න ප්‍රමාණය ප්‍රමාණවත් වෙන්නේ නෑ. මීට සති දෙකකට කලින් නම් ඕක විසඳුමක් වේවි. මීට මාසෙකට කලින් නම් මුදල් ඇමැතිවරයා පමණක් ඉවත් වීම විසඳුමක් වේවි . සති දෙකකට කලින් නම් ඇමති මණ්ඩලය ඉවත්වෙලා නව ඇමති මණ්ඩලය කියලා අලුත් මුහුණු සමග අලුත් බලාපොරොත්තු දීම විසඳුමක් වේවි. නමුත් එහි රතු ඉර දැන් පැනලා ඉවරයි. ඇමති මණ්ඩලය වෙනස් කරල මේ ප්‍රශ්නයෙන් ගොඩ එන්න බැහැ. මේ ආණ්ඩුව පිළිබඳ රටේ ජනතාවගේ විශ්වාසය බින්දුවටම වැටිලා ඉවරයි .

ජනවරම හබක් !

ඒ අනුව නම් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ධුරයට පත්වූ 69 ලක්ෂයක ජනවරම මෙන්ම පොදුජන පෙරමුණ ආණ්ඩුව පිහිටවූ ජනවරමත් වත්මන් පාලනයට අහිමිව ඇත.

ඊට හේතු වන්නේ 69 ලක්ෂය නියෝජනය කළ ජනතාව පොදුජන අරගලය සඳහා එක්ව සිටීම පමණක් නොව , මේ වන විට ආණ්ඩුව නියෝජනය කළ සෙසු පක්ෂ 11ක් සහ පොදුජන පෙරමුණ පක්ෂය නියෝජනය කළ මන්ත්‍රීවරුන් රැසක් ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වීමට තීරණය කර ඇති නිසාය.

 

ඉන්ධන පෝලිම් මරණ සංඛ්‍යාව 6ක් දක්වා ඉහළට !

මේ වනවිට ඉන්ධන හල් පෝලිම් අසල 06 දෙනෙක් මියගොස් ඇති බව වාර්තා වෙයි.

ආසන්න සිදුවීම් දෙකක් සම්බන්ධයෙන් පොලිස් ආරංචි මාර්ග තොරතුරු වාර්තා වන අතර , ඊට අනුව දංකොටුවේ ඉන්ධන පිරවුම්හලක් අසල සහ වෙන්නප්පුවේ ඉන්ධන පිරවුම්හලක් අසල ඉන්ධන ලබාගැනීමට පැමිණි දෙදෙනකු හදිසියේ මියගොස් ඇත.

දංකොටුව මීගමුව ප්‍රධාන මාර්ගයට සම්බන්ධවන ස්ථානයේ පිහිටි ඉන්ධන පිරවුම්හල අසල දින දෙකක් තිස්සේ රැඳී සිටි ඇඟළුම්කම්හල් සේවිකාවන් ප්‍රවාහනය කරන බස් රථයක රියැදුරුකු හදිසියේ අසනීපව ඊයේ (9) මියගොස් ඇතැයි ද ඔහු දින දෙකක් තිස්සේ එම ස්ථානයේ රැඳී සිට ඇතැයි ද පොලිසිය පවසයි.

එසේ මියගොස් ඇත්තේ එච්.ඒ. චමින්ද පුෂ්පකුමාර නැමැති පුද්ගලයෙකි.

දංකොටුව මාර්ගයේ තඹරවිල ඉන්ධන පිරවුම්හල අසල දී ද ඉන්ධන ලබාගැනීමට ආ 50 හැවිරිදි මුහම්මදු සරීෆ්දීන් නමැති 50 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇත.

ඔහු ඉන්ධන ලබාගැනීමෙන් අනතුරුව සිය මෝටර් රථයට හුළං ගසා ගැනීමට ගිය අවස්ථාවේ හදිසියේ අසනීපව මියගොස් ඇතැයි ද පොලිසිය පවසයි.

 

තරුණ නැගිටීම පොදුජන අරගලයක් වෙලා : රනිල්ගේ සහයත් හිමිවෙයි !

පවතින දේශපාලන ආර්ථික ක්‍රමයේ වෙනසක් වෙනුවෙන් තරුණ කණ්ඩායම් ආරම්භ කළ නිර්පාක්ෂික සාමකාමී අරගලය මේ වන විට පොදුජන සහභාගීත්වයක් සහිත ජනතා අරගලයක් බවට පත්වෙමින් ඇත.

 ඒ බව ඊයේ (09) සහ අද (10) ජනාධිපති ලේකම් කාර්‍යාල සහ ගෝල්ෆේස් පිටිය ආශ්‍රිත අරගල බිම නිරීක්ෂණයට ගිය අප වාර්තාකරුවන් තහවුරු කරයි.

ඔවුන් පවසන්නේ මීට පෙර කිසිදිනෙක විරෝධතාවයක, උද්ඝෝෂණයක හෝ වර්ජනයක නොසිටි ඉහළ මධ්‍යම පාන්තිකයන්ගේ සිට ආර්ථිකයේ අඩුම ආදායම් ලබන පිරිස් මේ වන විට අරගලය වෙනුවෙන් විවිධ ආකාරයට සහය දක්වමින් සෘජු මැදිහත්වීමක් කරන බවය.

එය තමන් කිසි දිනෙක අත්දැක නැති සිදුවීමක් බවත් ඔවුන් පවසයි.

ඒ අනුව අප්‍රේල් 09 සහ 10 යන දෙදිනට සීමාවී සංවිධානයවූ අරගලය දිග්ගැස්සෙන ස්වභාවයක් පෙන්නුම් කරන බවත් , අප වාර්තාකරුවන් පවසයි.

අරගලයට සහය දෙන්න - රනිල් එකඟයි !

මේ අතර වාර්තා වන්නේ තරුණ කොටස් ආරම්භ කර මේ වන විට සියලු සමාජ කොටස් එක්සත්වූ පොදු අරගලයක් බවට පත්ව ඇති තත්ත්වය හමුවේ ඊට සහය දක්වන්නැයි හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඉල්ලා ඇති බවයි.

 හිටපු අග්‍රාමාත්‍යවරයා ඒ බව පවසා ඇත්තේ, තරුණ තරුණියන් පිරිසක් අද (10) ඔහු හමුවී වත්මන් අරගලය සම්බන්ධයෙන් අදහස් දැක්වීමෙන් අනතුරුවය.

හිටපු අගමැතිවරයා මිට ඉහතදී කියා සිටියේ, සත්‍යග්‍රහ පවත්වමින් සාමකාමී විරෝධතා පමණක් සිදුකරන ලෙසයි. ඒ අනුව, කොළඹදී හා මාතරදී එවැනි සත්‍යග්‍රහ පැවැත්විණ.

කෙසේවුවද මේවනවිට රටපුරා ඇරඹි ඇති තරුණ අරගලයට සක්‍රියව එක්විය යුතු බවට එම පක්ෂයේ තරුණ කණ්ඩායම් වලින් එක්සත් ජාතික පක්ෂ නායකත්වය වෙත මේවනවිට දැඩි බලපෑමක් එල්ලවෙමින් තිබේ.

ඒ අනුව පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන සමග එක්ව සාමකාමී අයුරින් තරුණ අරගලයට සහය දක්වන ලෙසත්, ඒ සඳහා පක්ෂයේ සහය ලබාගන්නා ලෙසත් රනිල් වික්‍රමසිංහ හිටපු අගමැතිවරයා පක්ෂයේ තරුණ ක්‍රියාකාරීන්ට දැනුම් දී ඇත.

 ලිබරල් සහ වාමාංශික, අනන්‍යතා කණ්ඩායම් ඇතුළත් පොදු අරගලයක් !

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දේශපාලන විචාරකයන් පවසන්නේ අප්‍රේල් 03 මිරිහානේ සිදුවූ ස්වයං සිද්ධ අරගලය මේ වන විට ලිබරල් සහ වාමාංශික , සංස්කෘතික සහ අනන්‍යතා කණ්ඩායම් වලින් පෝෂණය වෙමින් ලාංකික දේශපාලන කරළියේ නැවුම් අත්දැකීමක් එක්කර ඇති බවයි.

එය මීට පෙර කිසිදු අවස්ථාවක ලංකා ඉතිහාසයේ සිදුව නැති දෙයක් බවත් මීට පෙර ලංකා රාජ්‍ය සහ ආණ්ඩු අභියෝගයට ලක්කළ ජවිපෙ නැගිටීම් 2 ක් සහ උතුරේ දමිළ අරගලයට වෙනස් පුළුල් දේශපාලන මැදිහත්වීමක් බවත් විචාරක මතය වී තිබේ.

ඔවුන්ගේ ප්‍රමුඛ සටන් පාඨය #GoHomeGota බවත් එබැවින් ආණ්ඩුව අරගලය දමනය කිරීමට නොහැකිව බරපතළ අර්බුදයකට මුහුණදී ඇති බවත් දේශපාලන විචාරකයන් පවසයි.

 

අලුත් කැබිනට්ටුවේ බලයත් බැසිල්ට : ඩලස් - චරිත ඇතුළු 10 ක් ස්වාධීන වෙති !

ගාමිණී ලොකුගේ , එස්.එම්.චන්ද්‍රසේන , පවිත්‍රා වන්නිආරච්චි , ජොන්ස්ටන් ප්‍රනාන්දු , රෝහිත අබේගුණවර්ධන ඇතුළු පැරණි කැබිනට් සාමාජිකයන් කිහිපදෙනෙකු හෙට ( 11) යළිත් අමාත්‍යවරුන් ලෙස දිවුරුම් දීමේ සූදානමක් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වෙයි.

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ගේ ඉල්ලීමක් අනුව මේ ඇතුළු පිරිසකට ප්‍රබල අමාත්‍ය ධූර ලබාදීමට සූදානමක් පවතී.

ඒ පාර්ලිමේන්තුවේ 113 ක බහුතරයක් ඇති නායකයකු හෝ පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ වලට නව කැබිනට් මණ්ඩලයක් සඳහා පැමිණෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පසුගියදා සිදුකළ ඉල්ලීමට කිසිදු ප්‍රතිචාරයක් ලැබී නොමැති නිසා බවත් දැනගන්නට ඇත.

ඩලස් - චරිත ඇතුළු 10ක් ස්වාධීන වෙති !

මේ සම්බන්ධයෙන් ආණ්ඩුව අභ්‍යන්තරයේ විරෝධයක් ඇති බවත් දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ අනුව හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම සහ කෝප් කමිටු සභාපති ආචාර්ය චරිත හේරත් ඇතුළු මන්ත්‍රීවරුන් 10ක් පාර්ලිමේන්තුව තුළ ස්වාධීන වීමට දේශපාලන තීන්දුවක් ගෙන ඇති බවත් වාර්තා වෙයි.

මේ වන විට වත්මන් ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් 42ක් ස්වාධීන ලෙස කටයුතු කිරීමට තීන්දුවක් ගෙන ඇත.

මේ තීන්දුව ක්‍රියාත්මක වුවහොත් ආණ්ඩුවේ 113 බහුතරය අහිමිවන අවධානමක් ඇති බව දේශපාලන විචාරකයන් පවසයි.

විශ්වාසභංගයට අත්සන් කරනවාද ? ස්වාධීන මන්ත්‍රී කණ්ඩායමේ තීන්දුව මෙන්න !

ආණ්ඩුවට එරෙහිව සමගි ජන බලවේගය ඉදිරිපත් කිරීමට යන විශ්වාසභංග යෝජනාවට සහාය දක්වන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් මේ වන විට ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීනව සිටින මන්ත්‍රී කණ්ඩායම තීන්දුවක් ගෙන නොමැති බව වාර්තා වෙයි.

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට ඔවුන් මේ සම්බන්ධයෙන් වන තීන්දුව ගැනීමට සූදානමින් සිටින්නේ අද (10) රාත්‍රියේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමග පැවැත්වෙන සාකච්ඡාවකින් පසුවය.

පොදුජන පෙරමුණ ආණ්ඩුව ට සහය දෙමින් සිට මෑතකදී ස්වාධීන වූ මෙම කණ්ඩායම මන්ත්‍රීවරුන් 42කින් සමන්විතය.

අපි සූදානම් : හර්ෂ දන්වයි !

"මේ රට බේරගන්න ඉදිරිපත්වෙන්න අපි සූදානම්. හැබැයි, ඒකට අවංක උත්සාහයක් ඕන."යනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසයි.

පසුගියදා පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර ඇත්තේ ජනාධිපති වගකීම අරගෙන අර්බුදය විසඳීමට වැඩ කරන්න කවුරුත් සූදානම් නැත්නම් ජනාධිපති ධූරය ට හර්ෂ මන්ත්‍රීවරයා පත්කර ගනිමු කියා, පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු පාර්ලිමේන්තු විවාදයේදී සිදුකළ යෝජනාවට පසුවය.

මෙහිදී හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා මෙසේද පවසයි.

"මේ රට මෙතනට වැටෙනවා කියල මම අවුරුදු ගණනක ඉඳල කිව්වා. කිව්ව දේ හරි ගියා කියල මට සතුටක් නෑ. උගුර ලේ රහ වෙනකං කෑගහලත් අපි කිව්වදේ ඇහුවෙ නැති එක ගැනත් අද රටට අත්වෙලා තියන ඉරණම ගැනත් මම හදවතින්ම දුක් වෙනවා. මම හැමදාම කිව්ව වගේ මේ අර්බුදයෙන් අපි හැමෝම නැත්තටම නැති වෙනවා.

ඒකට පක්ෂ පාට භේදයක් නෑ. මේ රට බේරගන්න ඉදිරිපත් වෙන්න අපි සූදානම්. හැබැයි, ඒකට හැමෝගෙම අවංක උත්සාහයක් තියෙන්න ඕන. එවැනි අවංක උත්සාහයක් නොමැතිව මේ අභියෝගය ජයගන්න බෑ. මේ අවස්ථාවේ අවශ්‍ය පුද්ගලයින් පිම්බීම නෙවෙයි. සුපර් මෑන් කෙනෙකුට මේ අභියෝගය ජයගන්න බෑ.

අපි සියළුදෙනාටම අවංකව එකතුවීමෙන් පමණයි මේ අභියෝගය ජයගන්න පුළුවන්."

හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා ගේ අදහස් දැක්වීම ඇතුළත් වීඩියෝව පහත දැක්වෙයි.

 

ආණ්ඩුවේ තවත් මන්ත්‍රී කණ්ඩායමක් ස්වාධීන වෙන්න සූදානම් !

තරුණ ජනතා අරගලය ඇතුළත් පොදුජනතාව පිළිකුලෙන් ප්‍රතිකේෂ්ප කර ඇති පිරිසටම යළිත් අමාත්‍ය ධූර ලබාදුන්නොත් ආණ්ඩුවේ තවත් මන්ත්‍රී කණ්ඩායමක් ස්වාධීන වීමේ සූදානමක් ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

වාර්තා වන ආකාරයට ඩලස් අලහප්පෙරුම ඇතුළු ප්‍රබලයන් ගෙන් සැදුම්ලත් මේ මන්ත්‍රී කණ්ඩායම අවධානය යොමුකර ඇත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් හෙට (11) පත්කිරීමට නියමිත කැබිනට් මණ්ඩලය කෙරෙහි ය.

ඒ අනුව එවැනි යමක් සිදුවුවහොත් ඒ, ආණ්ඩුවේ ස්වාධීන වන දෙවැනි මන්ත්‍රී කණ්ඩායම වෙයි.

ඒ සමග වත්මන් ආණ්ඩුවේ සරල බහුතරයද බරපතළ අවධානමක ඇති බවත් එම ආරංචි මාර්ග පවසයි.

තවද මේ වන විට පොදුජන පෙරමුණ හැර ආණ්ඩුවේ සෙසු පක්ෂ සහ ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම විසින් අගමැති ධූරයෙන් මහින්ද රාජපක්ෂ ඉවත් කිරීමට යෝජනා කර තිබේ. ඊට අදාළ යෝජනා 11ක් ඇතුළත් ලිපියක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත යොමුකරන්න ද ඔවුන් කටයුතු කර ඇත.

 

ඉම්රාන් ඛාන්ට සිය ධුරය අහිමි වෙයි

පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන්ට සිය ධුරය අහිමිවී තිබේ.

ඒ ඔහුට එරෙහිව පැවති විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් පැවති පාර්ලිමේන්තු ඡන්ද විමසීමේදී ඔහු පරාජය වීම හේතුවෙනි.

පාකිස්තාන දේශපාලන ඉතිහාසයේ අගමැතිවරයකුට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාවක් සම්මත වූ පළමු අවස්ථාව ලෙසද මෙය සැලකේ.

විශ්වාසභංගයෙන් පරාජය වීමත් සමඟ පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් එම ධුරයෙන් නෙරපා දැමුණි.

විපක්ෂ සන්ධානය එක් වී ඉම්රාන්ට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙනැවිත් තිබුණේ රටේ පවතින ආර්ථික අර්බුදය උග්‍ර කිරීමට ඉම්රාන්ගේ ආර්ථික ප්‍රතිපත්ති හේතු වූ බවත් එම අර්බුදයට ඔහු වගකිවයුතු බවත් චෝදනා නගමිනි.

විවිධ බාධක සහ ප්‍රමාදවීම්වලින් පසු විශ්වාසභංගයට අදාල ඡන්ද විමසුම මධ්‍යම රාත්‍රියෙන් පසු පැවැත්වුණු අතර, එයින් පාර්ලිමේන්තුවේ බහුතරයද අහිමි වී සිටි ඉම්රාන් එයින් පරාජයට පත් විය.

ඉම්රාන් ඛාන් විශ්වාසභංගයෙන් පරාජය වූ බව සහ ඔහුට ධුරය අහිමි වන බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින්ද තහවුරු කරනු ලැබ තිබේ.

තමා ධුරයෙන් නෙරපා දැමීමට විපක්ෂ සන්ධානය කුමන්ත්‍රණය කළේ ඇමෙරිකාව සමග හවුලේ බව ඉම්රාන් තරයේ පවසයි. කෙසේ නමුත් ඒ බව ඔප්පු කිරීමට ඔහු කිසිදු ප්‍රබල සාක්ෂියක් ඉදිරිපත් කර නැත.

පාකිස්තාන අග්‍රාමාත්‍යවරයකුට සිය ධුර කාලය සම්පූර්ණ කිරීමට කිසිදු අවස්ථාවක ඉඩ ලැබී නැත. ඒ අවස්ථා ගණනාවකදී එරට ප්‍රබල හමුදාව බලය අත්පත් කර ගත් බැවිනි.

පාකිස්තාන පාර්ලිමේන්තුව හෙවත් ජාතික සභාව නව අගමැතිවරයෙකු පත් කර ගැනීමට නියමිත බව එරට මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට නව පුහුණුකරුවෙක්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස එංගලන්ත හිටපු ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් පත් කර තිබේ.

වසර දෙකක කාලයක් සඳහා ඔහු එම ධූරයෙහි කටයුතු කරන බව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේය.

නව ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ්ගේ පුහුණුකාරීත්වය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන පළමු තරගාවලිය බවට බංග්ලාදේශ ටෙස්ට් තරග සංචාරය පත්වනු ඇත.

ක්‍රිස් සිල්වර්වුඩ් එංගලන්තය වෙනුවෙන් ටෙස්ට් තරග 6 කට සහ එක්දින ජාත්‍යන්තර තරග 7 කට ක්‍රීඩා කර ඇත.

ගාලුමුවදොර විරෝධයට ජන ගඟක්.....

ජනාධිපතිවරයාට සහ රජයට ඉල්ලා අස්වන ලෙස බලකරමින් මේ වන විට දහස් සංඛ්‍යාත ජනතාවක් කොළඹ ගාලු මුවදොර ෂැන්ග්‍රිලා හෝටලය ඉදිරිපිට මාර්ගයේ විරෝධතාවයේ නිරත වෙමින් සිටී.

කොළඹ ගාලුමුවදොර පිටිය අසල මාර්ගය දෙපස අද (09) උදෑසන සිට එලෙස ජනතාව රැස්වී විරෝධතාවයේ නිරත වන අතර මෙම විරෝධතාවය නම්කර ඇත්තේ, නිර්පාක්ෂික ජනතා අරගලය යනුවෙනි.

විශ්වවිද්‍යාල සිසුන්,  විවිධ වෘත්තීන්ට අයත් පිරිස් මේවනවිට උද්ඝෝෂණයට එක්ව සිටින බවත් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් මහතා ඇතුළු පිරිසක් ද මේ වන විට විරෝධතාවයට එක්ක සිටින බවද වාර්තා වේ.

ඊට තරුණ තරුණියන් ඇතුළු විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන පිරිස් එක් සිටී.

මෙහිදී විරෝධතාකරුවන්ට සහාය පළ කරමින් ඒ අසලින් මාර්ගයේ ගමන් ගත් රථවාහනවලින් ද නලා නාද කර සහාය පළ කිරීම විශේෂත්වයකි.

ඖෂධ මිල 20%කින් ඉහළට !

ඖෂධ මිල සියයට 20 කින් ඉහළ දැමීමට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අවසරය හිමි වී ඇති බව වාර්තා වෙයි.

එහිදී මීට පෙර මිල වැඩි කෙරුණු ඖෂධ හැර අනෙකුත් ඖෂධ සඳහා මෙම මිල වැඩි කිරීම අදාළ වන බව ඖෂධ නියාමන අධිකාරිය සඳහන් කර සිටියි.

මේ අතර පසුගියදා රජයේ රෝහල් කාර්‍ය මණ්ඩල උද්ඝෝෂණය කරමින් පාලකයන්ට බලකර සිටියේ රෝහල් ආශ්‍රිත ඖෂධ හිඟයක් ඇතිවෙමින් තිබෙන බවත් එහෙයින් ඊට කඩිනම් විසඳුම් යොදන ලෙසය.

මුදල් අමාත්‍ය අලිසබ්‍රි විසින් ඖෂධ වෙනුවෙන් මුදල් නිකුත්කළ බවටත් රජය නිවේදනය කරනු ලැබිණ.

මහ බැංකු අධිපතිට කැබිනට් බලතල අවශ්‍ය නෑ - අලුත් මහ බැංකු අධිපති

තමාට මහ බැංකු අධිපති ලෙස කටයුතු කිරීමට කැබිනට් බලතල අවශ්‍ය නැති බවත් අවශ්‍ය තීන්දු තීරණ ගෙන කටයුතු කිරීමට අවශ්‍ය බලතල මහ බැංකු අධිපති ට පවතින බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පැවසීය.

රටේ ආර්ථිකය එක රැයකින් උඩට ගත නොහැකි බවත් ඒ සඳහා කාලයක් අවශ්‍ය බවත් ඔහු පැවසූ අතර ඒ මහ බැංකු අධිපති ලෙස වැඩ භාරගෙන මාධ්‍ය ඇමතූ අවස්ථාවේ ය.

'ශ්‍රී ලංකාවේ ආර්ථිකය පල්ලමට කඩාගෙන යන වාහනයක් වගෙයි.මුලින්ම කරන්න ඕන මොනම හරි ක්‍රමයක් දාලා පල්ලෙහාට යන එක නතර කරගන්න එකයි.ඊට පස්සේ පුළුවන් ඒක උඩට ගන්න " යැයි මහ බැංකු අධිපතිවරයා කීවේය.

මේ සියලු දේ කිරීමට රටේ දේශපාලන සහ සමාජ ස්ථාවරතාවය පැවතිය යුතු බව පැවසූ වීරසිංහ මහතා අස්ථාවර රටකට ණය හෝ වෙනත් ආධාර ලබාදීමට කිසිදු රටක් ඉදිරිපත් නොවන බවද සඳහන් කළේය.

රටේ ආර්ථිකය ඉහළ නැංවීමට දැනටමත් පියවර රැසක් ගෙන ඇතැයිද ඔහු පැවසුවේය.

 

ජනාධිපති යන්නේ නෑ ලු : රනිල්ගෙන් යෝජනා 12 ක් !

පවතින දැඩි ආර්ථික සහ දේශපාලන අර්බුදය හමුවේ ජනාධිපතිවරයා ඉවත් වන්නේත් නැතිනම් ආණ්ඩුව ඉල්ලා අස්වන්නේ ද නැතිනම් මූල්‍ය කටයුතු පිළිබඳව සම්පූර්ණ බලය පාර්ලිමේන්තුව විසින් අත්පත් කරගනු ලැබිය යුතු බවත්, ඒ අනුව පාර්ලිමේන්තුව රටේ ආර්ථික අර්බුදය විසඳීමේ පූර්ණ වගකීම අත්පත් කර ගත යුතු බවත් එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ අද (08) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

 ඔහු මේ සඳහා අනුගමනය කළ යුතු පියවර කිහිපයක් පිළිබඳව සභාවේදී යෝජනාවක් කළේ අද පැවැත්වෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රි ලංකාව සම්බන්ධයෙන් නිකුත් කරන ලද වාර්තාව පිළිබඳව කල්තැබීමේ විවාදයේදීය.

අපේ අලුත් අවුරුදු ලිතේ නොනගත දෙකයි එකක් ආර්ථික නොනගතය. අනෙක දේශපාලන නොනගතය. මේ ලිතේ පුණ්‍ය කාලයක් නෑ. මේසේ තියෙන කැවුමටත් රුපියල් 75ක් ගෙවන්න තියනවා. උද්ධමනය සියයට 30ක්. සියයට 40ක් වෙයිද දන්නේ නෑ. මේ අවුරුදු කාලේ තුන් වේලක් කන්න බැරි වෙනවා. දේශපාලන නොනගතය මෙහෙමයි.

මේ උද්ඝෝෂණවල පළමුවෙන්ම තිබෙන්නේ ජනාධිපති ඉවන් වෙන්න කියල. ඒත් ජනාධිපති ප්‍රකාශ කළා, ඉවත් වෙන්නේ නෑ කියල. මෙතන ජනාධිපතිගේ තීරණය එකක්. අපෙ පාර්ලිමේන්තුවේ තීරණය වෙන එකක් වෙන්න පුළුවන්.

1- ජනපති අස්නොවෙයි නම් කරන දේ ගැන ජනතාවට කියන්න

උද්ඝෝෂණ වැඩි වුණොත් ජනාධිතිතුමා ජනතාවට කියන්න ඕන මොකක්ද තමන් ඊළඟට කරන්නේ කියල. ජනතාව සෑහීමකට පත් වුණොත් ප්‍රශ්නේ ඉවරයි. ඉස්සරලා කැබිනට් මණ්ඩලයක් පත් කරන්න. මේ කැබිනට් මණ්ඩලය පාර්ලිමේන්තුවේ විශ්වාසය දිනා ගන්න ඕන ඉස්සරලාම. මොකද එතනින් තමයි වැඩ කරන්න පුළුවන්. විශ්වාසය නැතිනම් ඊළග පියවරකට යමු ඉක්මනින්.

 2- හමුදාව සිවිල් කටයුතුවලට කැඳවන්න එපා !

තවත් කරුණක් මේ වෙලාවේ ජනතාව පාලනයට හමුදාව යොදවන්න එපා. අපේ සිවිල් බලය තවම රටේ තිබෙනවා එය බිද වැටී නෑ. එසේ නම් එතැනට හමුදාව ගෙන්වීම සුදුසු නෑ. හමුදාව කැඳවිය යුත්තේ සිවිල් බලය කැඩුණොත්. එහෙම වෙලා නෑ. මම දන්න හමුදාව නම් ව්‍යස්ථාවට විරද්ධව යන්නේ‍ නෑ. අපි ඒක දින 52 කාලයේදී දුටුවා.

 3- මුදල් බලය සම්පූර්ණයෙන් පාර්ලිමේන්තුවට ගනිමු.

ආර්ථිකය නෙනාගතය ගැන කතා කළොත් අද ආර්ථිකය ඉවරයි. මේ රටේ මුදල් පාලනයේ බලය පාර්ලිමේන්තුවට පවරා ගත යුතුයි.

විශේෂයෙන්ම ව්‍යවසථාවේ 148 යටතේ මුදල් පාලනය කරන්නේ අපි. මූලික වශයෙන් මේ වගකීම් යන්නේ කැබිනට් මණ්ඩලයට. ඔවුන්ට ඒක ප්‍රශ්නයක් නම් බලතල සභාවට ගන්න ඕන. ඒක අපිට කරන්න පුළුවන්.

148 යටතේ පාර්ලිමේන්තුවට පුළුවන් මේ රටේ මුදල් පාලනය කරන යෝජනා ගේන්න. විශේෂයෙන්ම අපට තියෙන්නේ මහජන මුදල් නීති හදල ඒක කැඩුවොත් ඒව ක්‍රියාත්මක කරන්න.

අද පවතින පුශ්නය ඇති වුණෙත් නිලධාරීන් දෙතුන් දෙනෙක් නිසානේ. මේ පාර්ලිමේන්තුවේ යෝජනාවකින් අපට මේ කටයුතු සම්බන්ධයෙන් ක්‍රියාකරන රාමුව සකස් කරන්න.

 4- පාර්ලිමේන්තුවෙන් දඬුවම් ලැබිය යුතු නිලධාරීන් කවුද?

 පාර්ලිමේන්තුවට මේ සම්බන්ධයෙන් ගත යුතු පියවර දෙකක් තිබෙනවා. එකක් මේ ප්‍රශ්න ඇතිවුණේ කොහාමද කියල බලන්ත තේරීම් කාරක සභාවක් පත් කිරීම. කවුද ඩොලරය පා කිරීමේ තීරණය මේ වෙලාවේ ගත්තේ. එය ඇත්තටම පා කිරීමක් නෙවෙයි අවප්‍රමාණය කිරීමක්. රුපියල ඩොලරට සාපේක්ෂව සියයට 50ක් විර අවප්‍රමාණය වෙලා. සාමාන්‍යෙයන් එය සියයට 5කට වඩා වෙනස් වෙනවා නම් කැබිනට් අනුමැතිය ගත යුතුයි. එහෙම අනුමැතියක් ගත්තද?

 ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කිව්වේ කාලයක් අරගෙන කරන්න කියල. මේ තීරණය ගැන මූල්‍ය මණ්ඩලය දන්නෙත් නෑ. මේ තීරණය ගැන මුදල් කාරක සබාවට කිව්වද ? ඔවුන්ට කියලත් නෑ. කවුද මේකට වගකියන්නේ? ? . මේ පියවරෙන් ආර්ථිකය නැතිම වුණා. මෙම තීරණ ගත්ත නිලධාරීන්ට පාර්ලිමේන්තුවෙන් දඬුවම් කරන්න ඕන.

 5- IMF යන්න එපා කියල කිව්වේ කවුද කියල හොයන්න

අයි.එම්. එෆ් එකට නොයන්න කියල කවුද තීරණය කළේ ? මේ සම්බන්ධ ගත් තීරණ පිළිබඳව සොයන්න තේරීම් කාරක සභාවක් පත් කළ යුතුයි. අපි මේව හෙයාන්න ඕන.

2021, 2022 වසරවල ලංකා බැංකුවෙන් මහජන බැංකුවෙන් ජාතික ඉකිරි කිරීමේ බැංකුවෙන් ආදායම් පෙන්වන්න රුපියල් ට්‍රිලියනයක් විතර අරන්. බංකොලොත් සමාගම් කරනවා වගේ. අද මොකක්ද වෙලා තියෙන්නේ අද ආර්ථිකය රිම් එකේ. තව මාසයක් විතර යනකොට රිම් එකෙන් යන්නත් බැරිවෙයි.

 6- ඉන්දියාවෙන් දුන්න මුදල් ඉවර වුණාම රට දුවන හැටි

 ඉන්දියාවෙන් එන එන මුදල් නැති වුණාම අපිට අමාරු වෙනවා. දැනට පවතින ඉන්දන හිගය නැති කරන්න නම් එකවර නැව් හතරක් ගන්න ඕන. ඉන්දියාව ලබා දුන්නු ඩොලර් මිලියන 500න් මිලියන 250ක් විතර දැනටත් ඉවරයි. තව අපිට තිනෙවා ජූලි මාසය ඩොලර් බිලියනයක් ආපසු ණය ගෙවන්න මැයි මාසෙන් පසුව ගෙවන්න මුදල් නෑ.

පුද්ගලික අංශයටත් වහන්න වෙනවා මුදල් සහ අමුද්‍රව්‍ය නැතිව. මේ නිසා කඩිනමින් මුදල් වගකීම පාර්ලිමේන්තුව භාර ගත යුතුයි. ජාත්‍යන්කර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කළ යුතුයි. මේ සඳහා පත් කළ විශේෂඥයන් තුන් දෙනාට එම වගකීම පැවරිය යුතුයි. ඔවුන්ට මේ සම්බන්ධයෙන් අත්දැකීම් තිබෙනවා.

7. ශ්‍රි ලංකාව පාර්ශවයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යවන කෙටුම්පත් වාර්තාව මාසයක් තුල දෙනන් කියන්න. අපට රට දුවන්න මුදල් නෑ. ලෝක බැංකුව එක්ක ආසියානු සංවර්ධන බැංකුව එක්ක අපි හොඳ හිතින් සාකච්ඡා කරන්න ඕන. මොකද අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාමට අවශ්‍ය පියවර ගන්නා විට ඔවුන් තුළත් විශ්වාසයක් ගොඩ නැගේවි. ඔවුන් හරහා ඩොලර් මිලියන 500ක් 600ක් හොයා ගන්න අපට පුළුවන්.

 8- ආධාර සමුළුවක් ගැන යෝජනාවක්

අපිට පුළුවන් සමුළුවක් කැඳවල ඉන්දියාව, චීනය, ජපානය, දකුණු කොරියාව, යුරෝපා සංගමය වැනි අපට හිතවත් රටවලින් ආධාර ගන්න. ඒ සඳහා මුල පුරන ලෙස ලෝක බැංකුවෙන් ඉල්ලුවොත් ඔවුන් එය කරාවි. අපි ලෝක බැංකුව බැංකුවෙන් ඊට ඉල්ලිමක් කරමු.

9- ආහාර ඉල්ලාගෙන අසල්වැසි රටවලට යමු

ඊළඟට ප්‍රශ්නය ආහාර හිගය. කොහොමද අපි ආහාර හිගය නවත්වන්නේ? සාක් පාර්ලිමේන්තුවට ගිහින් ඉන්දියාව, පකිස්තානය, බංග්ලාදේශයෙන් ආහාර ඉල්ලන්න. එය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස අපටත් කරන්න පුළුවන්. ඉන්දියාවේ චීනයේ ජනගහණය අපේ වගේ විශාල ගුණයක්. ඔවුන්ට මෙයට ආධාර කරන එක සුළු දෙයක්. ඔවුන් එය කරාවි.

 10- අනවශ්‍ය වියදම් කපා සහන දෙන අයවැයක්

රජය අලුත් සහන අයවැයක් ඉදිරිපත් කළ යුතුයි. අනවශ්‍ය සංවර්ධන වියදම් සියල්ල ඉවත් කළ යුතුයි. රාජ්‍ය මූල්‍ය කොමිටිය තව ශක්තිමත් කරන්න. ආදායම් වැඩි කිරීමේ වෙනම පාර්ලිමේන්තු කමිටුවක් දාන්න.

11- ණය කළමනාකරණයට වැඩසටහනක් අවශ්‍යයි

අපිට ණය කළමනාකරණය කිරීමේ වැඩසටහනක් ගේන්න.

 12- අලුත් මන්ත්‍රිවරුන්ට අවස්ථාවක් දෙන්න

මම කියන්නේ අධීක්ෂණ කොමිටි 20ක් පත් කරන්න. මන්ත්‍රිවරු ගණනාවක් අවස්ථාවක් ප්‍රශ්නයක් දෙන්න සභාපතිකම් බහුතරයක් ආණ්ඩුවට දෙන්න. පසුපස මන්ත්‍රිවරු ඇයි අවිශ්වාස කරන්නේ? අලුත් මන්ත්‍රීවරු 60ක් 70ක් ඉන්නවා. ඔවුන්ට කිසිදු වගකීමක් නෑ. දුක හිතෙනවා . ඔවුන්ට වගකීමක් දෙන්න.

(lankasara. com)

අපට ඕන ගෝඨා : සෙනඟ හිඟයක !

" අපට ඕන ගෝඨා - යුද්දේ දිනපු ගෝඨා" මැයෙන් උද්ඝෝෂණ පා ගමනක් අද (08) කොළඹ පැවැත්විණ.

එහි බැනරයේ සඳහන් කර තිබුණේ " ස්වයං රැකියා අයිතීන් සුරකිනු !" කියාය.

ඉතා සුළු පිරිසක් මේ උද්ඝෝෂණ පා ගමනේ සිටි අතර කොළඹ කොටුව ආසන්නයේ මාර්ග කිහිපයක ඇවිදීමෙන් පසු එය අවසන් විය.

සෙනඟ හිඟයක් !

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දේශපාලන විචාරකයන් පවසන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ට සහය දක්වන ප්‍රමාණය සීග්‍රයෙන් අඩුව ඇති බවයි.

මේ වන විට කිසිම වෘත්තීයවේදීන් හෝ මධ්‍යම පාංතික ප්‍රජාව ඖෂධයක් ලෙස හෝ එක්කර ගැනීමේ අර්බුදයක් ආණ්ඩුවට ඇති බවත් ඒ හේතුවෙන් ලුම්පන් පාංතික කොටස් ආණ්ඩුවේ ආරක්ෂාව වෙනුවෙන් කැඳවීමට සිදුව ඇති බවත් ඔවුන් පෙන්වා දෙයි.

janagaga 1000px

ජනාධිපති රැක අගමැති වෙනස් කරන්න : ස්වාධීන මන්ත්‍රී කණ්ඩායමෙන් යෝජනා මෙන්න !

තරුණ - ජනතා අරගලය #GoHomeGota2022 ලෙස පාර්ලිමේන්තුවෙන් පිටත ක්‍රියාත්මක පසුබිමේ පාර්ලිමේන්තුවේදී ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම ජනාධිපති ධූරය වෙනුවට අගමැති ධූරය පමණක් වෙනස් කරන යෝජනා 11ක් ඇතුළත් යෝජනාවලියක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත බාරදී ඇත.

"සර්වපාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවක් ස්ථාපිත කිරීම." යන ශීර්ෂයෙන් යුතු අදාළ යෝජනාවලිය වෙනුවෙන් පසුගිය 05වෙනිදා සිට පාර්ලිමේන්තුව ස්වාධින කණ්ඩායමක් ලෙස කටයුතු කරන මන්ත්‍රී කණ්ඩායම නියෝජනය කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති - හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, පක්ෂ දහයේ එකතුව වෙනුවෙන් හිටපු අමාත්‍ය වාසුදේව නානායක්ක්කර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ස්වාධින මන්ත්‍රී කණ්ඩායම වෙනුවෙන් හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් හිටපු අමාත්‍ය විජේදාස රාජපක්ෂ ද ඊට අත්සන් කර ඇත.

අදාළ ලිපිය පහත පරිදි වේ.

 අතිගරු ජනාධිපතිතුමා
ජනාධිපති ලේකම් කාර්යාලය
කොළඹ 01

අතිගරු ජනාධිපතිතුමනි,

අතිගරු ජනාධිපතිතුමා
ජනාධිපති ලේකම් කාර්යාලය
කොළඹ 01

අතිගරු ජනාධිපතිතුමනි,

 සර්වපාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවක් ස්ථාපිත කිරීම.

ශ්‍රී ලංකාව ඉතිහාසයේ නොවූ විරූ දැවැන්ත ආර්ථික අර්බුදයක සිර වී එය මේ වෙන විට දේශපාලන අර්බුදයක් බවට පෙරලෙමින් පවතියි. රට තුළ උද්ගත වී තිබෙන බරපතල අර්බුදකාරී තත්වය හමුවේ සියළු භේද පසෙකලා ජනතාව ඒකරාශී වෙමින් සිටිති.

එබැවින් පක්ෂ භේද පසෙක තබා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියළුම දේශපාලන පක්ෂ එකතු වී රට අරාජික සහ අස්ථාවර වීම වැලැක්වීමට මහජනතාවට පිළිගත හැකි විශ්වාසනීය වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව මෙම ලිපියට අත්සනක් තබන ආණ්ඩුව නියෝජනය කරමින් සිට ස්වාධීන වූ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් වෙනුවෙන් අපි අවධාරණය කරමු.

ඒ සඳහා පහත සඳහන් පියවර වහාම ගත යුතු බව අපි යෝජනා කරමු. එකී පියවර මගින් මහජන අසහනය දුරු කර ජන ජීවිතය යථා තත්වයට පත් කර තමන් කැමති ආණ්ඩුවක් පත් කර ගැනීමේ අවස්ථාව ජනතාවට ලබා දීම සඳහා පරිසරය නිර්මාණය කළ යුතු බව අපි විශ්වාස කරමු. 

1). ආණ්ඩුවේ ප්‍රතිපත්තිමය තීරණ ගැනීම සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂවල නායකයින්ගෙන් සමන්විත ජාතික විධායක සභාවක් පිහිටුවීම.

2). අන්තර්කාලීන ආණ්ඩුව පවත්වාගෙන යෑම සඳහා අවශ්‍ය තාර්කික පදනමක් මත සකස් වූ සීමිත අමාත්‍යංශ ගණනක් සහ ඒවායේ විෂය පඨය ජාතික විධායක සභාව විසින් තීරණය කිරීම.

3).ජාතික විධායක සභාවේ උපදෙස් මත ජනාධිපති විසින් නව අගමැතිවරයෙකු පත් කිරීම.

4. )ජාතික විධායක සභාවේ උපදෙස් මත ජනාධිපති විසින් සීමිත ඇමති මණ්ඩලයක් පත් කිරීම.

5). ජාතික විධායක සභාවේ උපදෙස් මත ජනාධිපති විසින් අමාත්‍යංශ ලේකම්වරු පත් කිරීම.

6. ඇමතිවරුන් වැටුප් නොලබා අනෙකුත් වරප්‍රසාද කප්පාදු කර කටයුතු කිරීම.

7. ජාතික විධායක සභාව විසින් සෑම අමාත්‍යංශයක් සඳහාම විශේෂඥයින්ගෙන් සමන්විත උපදේශක මණ්ඩලයක් පත් කිරීම.

8). ඖෂධ, අත්‍යාවශ්‍ය ආහාර, විදුලිය, ඛනිජතෙල්, ගෑස්, පොහොර හා අනෙක්තු කෘෂිකාර්මික යෙදුම් සහ කාර්මික යෙදවුම් ප්‍රමාණවත් ලෙස අඛණ්ඩව සැපයීම සහතික කිරීම.

9). පවතින ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීම සඳහා ජාතික විධායක සභාවේ නිර්දේශය මත ජනාධිපති විසින් ජාතික ආර්ථික සභාවක් පත් කිරීම.

10). විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කර සුදුසු සංශෝධන සහිතව 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යළි පැනවීම.

11). අධ්‍යාපනය, සෞඛ්‍ය, කෘෂිකර්මය, බලශක්ති වැනි විෂයන් සඳහා දශක ගණනාවක සිට රටට අවශ්‍යව තිබුණු ආණ්ඩු වෙනස් වීම සමඟ වෙනස් නොවන ජාතික ප්‍රතිපත්තීන් වෘත්තිකයින්ගේ සහ විද්වතුන්ගේ සහභාගිත්වයෙන් මාස හයක කාල සීමාව තුළ දී සකස් කිරීම.

swadeena

රාජපක්ෂ වත්කම් ගැන ෆෙඩරල් පරීක්ෂණයක් ඉල්ලා පෙත්සමක් !

අමෙරිකා එක්සත් ජනපදය තානාපති කාර්‍යාලය වෙත පෙත්සමක් බාර දීමට පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයා ඇතුළු 43 සේනාංකය ඊයේ (07) කටයුතු කර ඇත.

 එම පෙත්සමෙන් ඉල්ලා ඇත්තේ ලෝක අවංකභාවය පිළිබඳ වාර්තාව (Global Financial Integrity Report) අනුව

2005 සිට 2013 දක්වා ලංකාවෙන් ඩොලර් බිලියන 19.9 ක් නීති විරෝධී ලෙස පිටතට ගොස් ඇති බවය.

 ඒ අනුව සෑම වසරකම ඩොලර් බිලියන 1.9 ක් ශ්‍රී ලංකාවෙන් පිටතට ඇදී ගොස් ඇති අතර, ඊට සම්පූර්ණයෙන්ම වගකිවයුත්තේ එවක පාලකයන් වූ මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ආණ්ඩුව බවත්, රාජපක්ෂවරුන්ගේ පවුල්, ඥාතීන් අමෙරිකාවේ විශාල වත්කම් ප්‍රමාණයක් තබාගෙන සිටින බවත්, රාජපක්ෂවරු ශ්‍රී ලංකාව තුළ කිසිම ව්‍යාපාරයක යෙදුනු අය හෝ වෘත්තිකයන් ලෙස කටයුතු කළ අය නොවන බැවින් ඔවුන් මේ සා ධනයක් දේපළක් රැස්කර ගත්තේ කෙසේ ද යන්න පිළිබඳව පෙඩරල් පරීක්ෂණයක් සිදු කරන ලෙසත් පෙත්සම ඉල්ලා ඇත.

මෙම වත්කම් ශ්‍රී ලංකාවෙන් සොරාගත් ධන‍යෙන් උපයාගත් බවට තහවුරු වුවහොත් එම වත්කම් තහනම් කිරීමට කටයුතු කරන ලෙසත්, නැවත එම ධනය ශ්‍රී ලංකාව වෙත ලබාදීමට කටයුතු කරන ලෙසත් පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබේ.

මේ සමග ගෝඨා ගෙදර යනු, 20 අහෝසි කරනු, පාර්ලිමේන්තුවට බලය පවරනු' මැයෙන් 43 සේනාංකය විසින් ඊයේ කොල්ලුපිටිය ප්‍රදේශයේ දී විරෝධතාවයක් සංවිධානය කර තිබිණ.

කොල්ලුපිටිය දුම්රිය ස්ථානයේ සිට පා ගමනින් අමෙරිකානු තානාපති කාර්‍යාලය අසළට පිරිස පැමිණි අතර, 43 සේනාංකය නායක, පාඨලී චම්පික රණවක එහිදී රැස්ව සිටි පිරිස ඇමතීය.

"මේ රටේ අද තිබෙන ගැටළුව සතියකට දෙකකට ඩොලර් ටිකක් තෙල් ටිකක් ඉල්ලගෙන විසඳන්න පුළුවන් ගැටළුවක් නෙමෙයි. අපි එදා 2014 දි කිව්වා මේ පවුල රටේ දේපළ කොල්ල කාලා තියෙනව කියලා, නමුත් එතකොට අපිට නොයෙක් චෝදනා කළා දේශද්‍රෝහියො ජාතිද්‍රෝහියො කියලා. නමුත් අද රටේම ඉල්ලීම රාජපක්ෂලා කොල්ලකාපු දේපළ අපේ රටට දෙන්න කියන එකයි. රටේ ජනතාවගෙ දරුවන්ගෙ දේපළ කොල්ලකාලා ඇමරිකාවට පැනලා ගිහිල්ලා සුවසේ ජීවත්වෙන්න රාජපක්ෂලට ඉඩ දෙන්න බෑ. රටේ දේපළ කොල්ලකාපු එක එකා දැන් රටෙන් යනවා. ජනාධිපති අගමැති කියනවා අයින් වෙන්න බෑ කියලා. ඒත් ව්‍යවස්ථානුකූලව ඒ අයව අයින් කරන්න පාර්ලිමේන්තුවට පුළුවන්.

පාර්ලිමේන්තුවට පුළුවන් ජනාධිපතිව ගෙදර යවන්න. ජනාධිපතිගෙ බලතල කපන්න 19 වෙනි සංශෝධනය වගේ එකකින්. දෝෂාභියෝගයක් ගෙනල්ලා ඒක ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග කරලා දඬුවම් දෙන්න. 113 ඉන්නවනම් ජනාධිපතිගෙ වැය ශීර්ෂය කපලා දාලා එතුමව එතුමගෙ මිරිහානෙ පුද්ගලික ගෙදරට සීමා කරලා තියන්න.

 මහින්ද රාජපක්ෂ මහත්තයා හිතාගෙන ඉන්නවනම් අර ඉස්සර සෙල්ලම් කරන්න දින 52 වගේ සැලුන් දොර ඇරලා ඒවට අපි ඉඩ දෙන්නෙ නෑ.

පවුල්වාදය නැතිව අධ්‍යාපනයෙන් ඉහළට ආපු මේ රටේ සියළුදෙනා ව්ෘත්තීයවේදීන්, පරිපාලන නිලධාරීන් ආදී කුසලතා පරපුරට අපි ආරාධනා කරනවා මේ රට බාරගන්න කියලා. පාර්ලිමේන්තුවට පුළුවන් ඇමැතිවරුන්ගේ බලතල ගන්න. පක්ෂ විපක්ෂ දෙපාර්ශවයෙන්ම අධීක්ෂණ කමිටු පිහිටුවලා අමාත්‍යාංශ කිහිපයකට එකතු කරලා රාජපක්ෂලව එළියෙ තියලා මේ රට කරගෙන යන්න එකතු වෙන්න කියලා අපි ආරාධනා කරනවා."

 

 

Page 269 of 386