V2025

පුවත්

විශ්වාසභංගයට අත්සන් එකතු කරයි !

ජනතා හඬට ඇහුම්කන් දී ආණ්ඩුව ඉවත් වන්නේ නැතිනම් විශ්වාසභංග යෝජනාවක් ගෙන එන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.

ඒ පාර්ලිමේන්තුවේදී අද (8) අදහස් දක්වමින් ය.

සියලුම දෙනා නැවත ජනතාව ඉදිරියට යෑමට හැකි පරිදි තීන්දු ගත යුතුව ඇතැයි එහිදී පැවසූ විපක්ෂනායකවරයා රටේ ප්‍රජාතන්ත්‍රවාදය රැක ගත යුතු බවද සඳහන් කළේය.

පෙරවරුවේ විපක්ෂ නනායකවරයා ගේ මේ කතාවෙන් පසුව පස්වරුවේ ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාවක් සඳහා සමගි ජන බලවේගය පක්ෂය මන්ත්‍රීවරුන්ගෙන් අත්සන් ලබා ගැනීම ආරම්භ කර ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.

 

යළිත් පොහොට්ටු කැබිනට්ටුවක් !

පාර්ලිමේන්තුවේ නව කැබිනට් මණ්ඩලය හෙට (08) දිවුරුම් දීමට නියමිතව ඇතැයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරයි.

පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂවලට ඇමතිකම් බාර ගැනීම සඳහා ජනාධිපතිවරයා කළ ආරාධනය ප්‍රතික්ෂේප වීම නිසා නව කැබිනට් මණ්ඩලය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත වනු ඇතැයිද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව නව කැබිනට් මණ්ඩලය හෙට පෙරවරුවේ කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී දිවුරුම් දීමට නියමිත බව ද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

- news wave

හරීන් බෝම්බය පත්තු කරයි: සටන් පාඨවලට විපක්ෂ නායකත් "එපා" එයිද ?

"අපේ නායක තුමා ඉල්ලන් නැහැ. එතුමා බලාගෙන ඉන්නවා ඊගාව ඡන්දෙන් ආවට පස්සේ ගන්න. හැබැයි මේ රට කරන්න මොකෙක් හරි ඕනේ. මේ රට කරන්න නැත්නම් තව මාස 06ක් අපි කොහොමද මේකේ ඉන්නේ. ඉතින් මේක තේරෙන් නැති දේශපාලනය කරනවා නම්, අනුර මහත්තය හිතනවා නම් එයා දිනනවා කියලා. සජිත් මහත්තයා හිතනවා නම් එයා දිනවා කියලා. නාමල් බේබි හිතනවා නම් එයා දිනනවා කියලා. පට්ට ජරාවක් නෙමෙයිද මේ දේශපාලනය." යනුවෙන් සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු අද (07) පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් පැවසීය.

එහිදී ඔහු මෙසේද සඳහන් කළේය.

ජනතාව කොපමණ කාලයක් පාරේ රැඳී සිටියත් පවතින ප්‍රශ්නයට උත්තර නොලැබෙන බවත් ප්‍රශ්නයට උත්තරය පාර්ලිමේන්තුව තුළින් ලබාදිය යුතු බව තම අදහස යැයි ද හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

"මං මුලින්ම කිව්වා ඒ කාලේ මේක සාපයක් කියලා.. මම මුල ඉදින් කිව්වා සර් ෆෙල් වෙනවා කියලා පළවෙනි අවුරුද්දේ කියලා. ඒත් අපි කුහක වුණේ නැහැ අපි එළියට ඇවිල්ලා කිව්වා සර්ට දෙවැනි අවුරුද්දේ පාස්වෙන්න පුළුවන්. සර්ගේ ළඟ ඉන්න මෙන්ටල් සෙට් එකක් ඒ පස්දෙනාගේ නම්ටිකත් කිව්වා අපි.

අවුරුදු දෙකක් ඇතුළත මේ රටේ ජනාධිපති කෙනෙක් මේ තරම් පරිහානියට පත්වෙච්ච තැනක් මේ ලෝක ඉතිහාසයේ නැහැ. ඒක සපායක් නෙමෙයිද? ඒක තමයි සාපයක් කියන්නේ. පෙර කරපු වැරැද්දක්. බලය ගන්න අර්බුදයක් නිර්මාණය කිරීම. ඒ මිනිහා අර්බුදයෙන්ම නැතිවී යාම මහා ලොකු සලකුණක් බවට පත්වෙලා තියෙනවා."

 ''මගේ පක්ෂයත් එහෙමයි, ලැජ්ජයි !

වැඩිදුරටත් අදහස් දක්වමින් හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා මෙසේද පැවසීය.

"ලංකාවේ මිනිස්සු මන්ත්‍රීවරුන් ඔක්කොම දෙස බලන්නෙ එක ඇහෙන්. ඔක්කම හොරු. ඔක්කම මොනවහරි බිස්නස් කරන එවුන්. ඔක්කොම මොනව හරි දූෂණ වංචා කරන මිනිස්සු. හැබැයි දෙපැත්තමෙ ඉන්නවා හොඳ මිනිස්සු. ඇයි අපිට මෙහෙම වෙලා තියෙන්නේ. අපි ට බැහැ සාමුහිකව එකතුවෙන්න. මෙච්චර ප්‍රශ්න වෙලා පාරේ මිනිස්සු මැරෙනවා. මේ රටේ මිනිස්සුන්ට බැහැ. මේ පක්ෂවලට බැහැ එකුතුවෙලා කරන්න. මංමේ කියන්නේ මගේ පක්ෂයත් එහෙමයි, ලැජ්ජයි කියන්න."

දැන් කියනවා ගෝඨභය රාජපක්ෂ මහතා ගියොත් මොකද කරන්නේ. කව්ද කරන්නේ. ව්‍යවස්ථාවේ තියෙනවා ප්‍රතිපාදන තියෙනවා. පාර්ලිමේන්තුවට පුළුවන් භාරකාර ජනාධිපතිවරයෙක් පත් කරන්න. හරීන් ප්‍රනාන්දු ප්‍රකාශ කළේය.

සජිත්‍ට වැදුනෙ : ඔහොම ගියොත් විපක්ෂ නායක ධූරයත් නෑ !

හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා ගේ මේ අදහස් දැක්වීම සම්බන්ධයෙන් මේ වන විට දේශපාලන විචාරකයන් ද අවධානය යොමුකර ඇත.

ඒ සම්බන්ධයෙන් විචාරකයකු මෙසේ අදහස් දැක්වීය.

" පසුගියදා සජබ විරෝධය අවස්ථාවේ සජබ නායක සජිත් ඉල්ලුවේ ජනාධිපතිවරණයක්. ඒක කොහොමටත් ප්‍රායෝගික නෑ. ඊට පස්සේ විධායකය අහෝසි කරන්න යෝජනා කරා. නමුත් කවුද මේකට මුල් වෙන්න ඕන. නිර්පාක්ෂිකවයි ජනතාව පාරට ආවේ. ඒ රාජපක්ෂ විරෝධයක් සමග. දූෂිත පවුලේ පාලනය අවසන් කරන්න තමයි විරෝධය ඉල්ලන්නේ. හැබැයි විපක්ෂ නායක මොකද කරන්නේ. මේ තමයි ඔහු ක්‍රියාත්මක වෙන්න ඕන අවස්ථාව. මේ මොහොතේ බලය අපිට එපා, අපි ගන්නේ ජනතා ආශීර්වාදය ඇතුව කිව්වාම අර එලියේ ඉන්න විරෝධතාකරුවන් අනාරක්ෂිත වෙනවා. ඒ අර්ථයෙන් හරීන් යෝජනා කරනවා මොකෙක්වත් නැත්නම් හර්ෂ ද සිල්වා ට ජනාධිපති ධූරය දෙන්න කියලා. ඇත්තටම ඒ ප්‍රකාශය සාධාරණයි. ඔහොම ගියොත්,, "ගෝඨා එපා, රාජපක්ෂලා එපා" සටන් පාඨ ඇතුලට විපක්ෂ නායකත් "එපා" " පලයන්" කියලා වෙනස් වෙන්න පුළුවන්"

අර්බුදය විසඳීම අපි බාරගමු : පාඨලී යෝජනා කරයි !

අර්බුදයෙන් රට ගොඩනැගීම සඳහා 'අපි මේ අභියෝගය අපේ දෝතින් භාර ගනිමු' යැයි හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික පවසයි.

ඒ සඳහා පවුල්වාදයෙන් තොර, රජයේ නිලධාරීන්, වෘත්තීයවේදීන් ඇතුළු කුසලතාවාදී පරපුරට ආරාධනා කරන බවත් ඔහු පවසයි .

අද (7) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් රණවක මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළ අතර වැඩිදුරටත් මෙසේද පැවසීය.

"වාමාංශික දේශපාලන ඉතිහාසයේ වැදගත් කියමනක් තියෙනවා. ඇතැම් දශක තිබෙනවා නිහඬ දශක. නමුත් ඇතැම් සති, දින තිබෙනවා මහා පරිමාණ විප්ලවීය පරිවර්තනයන් සිදුවෙන දශක ගණන සියවස් ගණන් තිස්සේ තිබුණු ප්‍රශ්න දින ගණනකින්, සති ගණනකින් වෙනස් වෙන සුළු යුගයන් ඇතිවෙන බව කියමනක් තිබෙනවා. අද අපේ රට මුහුණ දෙමින් තිබෙන්නේ එවැනි විප්ලවීය පරිවර්තනයන් සිදු වෙන අවස්ථාවකයි. අද මේ රටේ ජනතාව කිසිම භේදයකින් තොරව, ජාති, ආගම්, කුල භේදයකින් තොරව, පක්ෂ, පාට භේදයකින් තොරව, වයස් පරතර භේදයකින් තොරව තමන්ගේ ජීවන අයිතිය වෙනුවෙන් පෙරට ඇවිල්ලා තියෙනවා.

දේශපාලනය පිළිබඳ මෙතෙක් කතා නොකරපු පිරිස් පවා දේශපාලනය පිළිබඳ කතා කරන්න පෙළඹිලා තියෙනවා. විශේෂයෙන්ම මේ නව ඉසෙඩ් පරපුර අද ඔවුන්ගේ සමාජ මාධ්‍ය සුහුරු තාක්ෂණය භාවිත කරමින් ඉතාමත්ම විවෘත ආකාරයකට, අරගලයට පිවිසිලා තියෙනවා. 1953 හර්තාලයේ, 1976 සමගි පෙරමුණ මැතිනියට එරෙහිව පැමිණි ශිෂ්‍ය උද්ඝෝෂණත් සමග පැමිණි සමස්ත මහා වැඩ වර්ජනය, 1980 වැඩ වර්ජනය, 87 ඉන්දු ලංකා ගිවිසුමට එරෙහිව රටපුරා ඇතිවුණු කැරලිකාරිත්වය. මේ විවිධ අවස්ථාවල ඇති වුණු යම් යම් ජන වාර්ගික පදනමින්, ආගමික පදනමින් ඇතිවෙච්ච කලකෝලාහල, ඒ වගේම 2018 අග්‍රාමාත්‍ය ධූරය බහුතරයක් නැතුව උදුරාගත්තට පස්සේ මේ රටේ ජනතාව වීදි බැහැලා කරපු අරගලය. ඒ කිසිවකට වඩා මේ අරගලය වෙනස්. මේක අද්විතීය අවස්ථාවක්.

මේ අද්විතීය අවස්ථාව තමයි සෑම සමාජ කණ්ඩායමක්ම අද පාරට බැහැලා ඒකමිතියකින් යුතුව, එකම සටන් පාඨයක් ඔස්සේ සංවිධානය වෙලා, ළදරුවාගේ ඉඳන් මහල්ල දක්වා, ධනහිමි අයගේ ඉඳන්, ධනය නැති අය දක්වා, උගත්තු, නූගත්තු මේ සියලු දෙනාම අද වෙනසක් ඉල්ලලා තියෙනවා. මොකක්ද වෙනස?

සම්ප්‍රදායික ක්‍රමය පිපිරී ගොස් අවසන්. සම්ප්‍රදායික පක්ෂ වලට, සම්ප්‍රදායික මතවාද වලට, සම්ප්‍රදායික ක්‍රියාමාර්ගවලට ඇති ඉඩකඩත් ඒ සමඟම අද ඇහිරිලා ගිහින් තිබෙනවා. අපට නොයෙක් දේ කියන්න පුළුවන්. 74 වසරක ඉතිහාසය ගැන කතා කරන්න පුළුවන් ධනේශ්වර ක්‍රමය ගැන කතා කරන්න පුළුවන්. 77 න් පස්සේ ආපු විවෘත ආර්ථික ක්‍රමය ගැන කියන්න පුළුවන්. 2010 න් පස්සෙ ආපු 7%-8% විශ්මිත සංවර්ධනය ගැන කතා කරන්න පුළුවන්. යහපාලනය කාලේ ණය ගත්තා මොකද කළේ කියලා අහන්න පුළුවන්. හැබැයි මේවට අපි උත්තර දීලා තියෙනවා. අපි බොහොම පැහැදිලිව කියනවා අද මේ රට තියෙන්නේ රටක් හැටියට බංකොලොත් භාවයට පත්වෙලා ඒ බංකොලොත්භාවය විවිධ ආකාරයකින් කල් දමා ගනිමින් බංකොලොත්භාවයත් කර ගනිමින් යන ගමනක් තමයි තිබෙන්නේ. නොයෙක් සුබ ප්‍රාර්ථනා ප්‍රකාශ කරනවා. ඩීසල් පෝලිම් නවතිනවා. විදුලි බලය ඇති වෙනවා කියලා. කොහොමද? විවිධ ආකාරයේ ගිවිසුම් ගසමින් අපේ රටේ ආර්ථික ස්වෛරීත්වය, දේශපාලන ස්වෛරී බලශක්ති ස්වෛරීත්වය පාවා දෙමින් තවත් දවස් 5කට ඩීසල් ලබා දෙන්න. තවත් සතියකට විදුලි බලය ලබා දෙන්න, යනාදී ක්‍රියාමාර්ග තමයි ආණ්ඩුව පැත්තෙන් ගනිමින් තිබෙන්නේ. රටේ ජනතාව අද අවබෝධ කරගෙන තිබෙනවා මේක එවැනි තාවකාලික විසඳුම් වලින් විසඳිය නොහැකි මුළුමනින්ම රාජ්‍යය අසමත් වීමේ වැඩපිළිවෙලක කොටසක් බංකොලොත් වීමේ, බුන්වත් වීමේ ක්‍රියාවලියක් බව.

දැන් මොකද්ද විසදුම? 225 ම එපා කියලා පාර්ලිමේන්තුව විසුරුවලා මැතිවරණයකට යාමද? එහෙමත් නැත්නම් අර්බුදය කල් දමමින් බලයේම එල්ලී හිටිමින් ජනාධිපතිතුමත්, අගමැතිතුමත් රට අනුක්‍රමයෙන් ලේ වැගිරීමක් කරා ගමන් කරන තත්වයකට ගමන් කරවීමද? මේකද? අද අපි බලාපොරොත්තු වෙන තත්ත්වය? අපි එකක් මතක තබා ගන්න ඕනේ. අද මේ රටේ මහජනයා අවබෝධ කරගෙන තියෙනවා. මොන දේශප්‍රේමී සටන් පාඨ, මොන ජාතිකවාදී, මොන ආගමිකවාදී, ලේබල් අලවගෙන හිටියත් මේ රට ඇතුලේ ජාතික මංකොල්ලයක් සිද්ධවුණු බව. 2014 කාලෙ ඩොලර් බිලියන 19 ක් නීතිවිරෝධීව පිට වෙලා තිබෙන බව ඒ ජාතික මංකොල්ලයේ ඇතැම් සහකරුවන් දැන් තමන්ගේ පුද්ගලික අද මේ රටින් පලා යමින් තිබෙනවා. අද මේ රටේ ජනතාව ඉතාම පැහැදිලිව තීරණය කරලා තිබෙනවා. මේ ජාතික මංකොල්ලයේ වගඋත්තරකරුවන් හැටියට මේ රාජපක්ෂවරු. ඒ නිසා තමයි 'ගෝ හෝම් ගෝඨා' කියන එක ඇවිල්ලා තියෙන්නේ. 'ගෝ හෝම් රාජපක්ෂ' කියන එක ඇවිල්ලා තියෙන්නේ. මේ තත්ත්වය යටතේ මැතිවරණ පවත්වන්න ගියොත්? ඡන්ද කොලේ අච්චු ගහන්න කොළ නැති රටක්, ඡන්දය ගණන් කරන්න නැති රටක්. ඡන්ද පෙට්ටි ගෙනියන්න, ප්‍රවාහනය කරන්න ඩීසල් නැති රටක්. ඒ වගේම ජනතාව කෝපයෙන් දැවෙන, කුසගින්නෙන් දැවෙන මොහොතක ඔවුන් ගන්නා තීරණ පිළිබඳවත් අපි බලන්න ඕන. මොකද එවැනි කෝපාග්නි අවුලවලා තමයි, මේ ජනාධිපතිවරයා පාස්කු ප්‍රහාරයට මුවා වෙලා ආවේ. අද ඒකේ හානිය අපි සියලු දෙනාටම පේන්න තියෙනවා. ඒ නිසා මැතිවරණයකට යනවනම් රට අපි සාමකාමී කරන්න ඕන. රට කිසියම් දුරකට නිදහසේ හිතන්න පුළුවන් තැනකට පත් කරන්න ඕන.

මේ අභියෝගය අපි භාර ගන්නවද? ඔව් අපි මේ අභියෝගය භාරගත යුතුයි. මම මේ රටේ පවුල්වාදයෙන් තොරව, කුසලතාවාදී පරපුර, රජයේ නිලධාරීන්, වෘත්තීයවේදීන් ඒ සියලු දෙනාටම ආරාධනා කරනවා, අපි මේ අභියෝගය අපේ දෝතින් අපි භාර ගනිමු. ව්‍යවස්ථාවට අනුකූලව, ජනාධිපතිතුමා ඉල්ලා අස්වෙන්නේ නැත්නම්, එතුමා ඉවත් කිරීමේ ප්‍රතිපාදනය ව්‍යවාස්ථාව තුළ තිබෙනවා. පාර්ලිමේන්තුවේ 148 වැනි වගන්තිය යටතේ එතුමාගේ මූල්‍ය ප්‍රතිපාදනය අහෝසි කිරීමේ අයිතිය මේ පාර්ලිමේන්තුවට තියෙනවා එතුමා ජන හඬට කන් දෙන්නෙ නැත්නම්. අගමැතිතුමා, ඔබතුමාගේ කාලය අවසන්. ඔබතුමා ඉවත් කිරීමේ ව්‍යවස්ථානුකූල ක්‍රියාමාර්ගයත් මේ තුළ තිබෙනවා.

අපි එකමුතු වෙලා ජනතාවගේ හඬට කන්දීලා, 225 ම අසමත් කියන මතය ඇවිල්ලා, අරාජිකවාදයකට රට ගොඩවෙනවා වෙනුවට, රටේ කුසලතා පරපුර එකට එකතු වෙලා මේ අභියෝගය භාර ගමු. එදා අපි දැක්කා අර යුද්ධය තියෙන අවස්ථාවේදීත් නොයෙක් අභියෝග වලට අපි අතීතයේ මුහුණ දීලා තියෙනවා. ඒ අභියෝග වලට මුහුණ දෙමින් ඉදිරියට යන්න අපි සූදානම්. මේ රටේ ජනතාව වෙනුවෙන් ඒ කැපකිරීම කරන්න. මේ මාතෘ භූමිය මේ කොල්ලකාරීන්ගෙන් මුදා ගැනීම සඳහා අවශ්‍ය කැපවීම, ධෛර්යය ලබා දෙන්න අපි සූදානම්. අර්බුදය ජය ගැනීම සඳහා සියලුම ආකාරයේ මේ රටේ ඉන්න පරිපාලන සේවයේ වෘත්තීයවේදීන්ට අපි ආරාධනා කරනවා. ඒ වගේම පාර්ලිමේන්තුවේ අධීක්ෂණ කමිටු මාර්ගයෙන් මේ ඇමතිධූර වෙනුවට අධීක්ෂණ කමිටු 16 ක් තිබෙනවා. ඒ අධීක්ෂණ කමිටු මාර්ගයෙන්. වෘත්තීයවේදීන් ලවා මේ රාජ්‍යය කරගෙන යා යුතුයි. ඒ කරගෙන ගිහිල්ලා මේ රට සාමකාමී වූ දවසක අපට පුළුවන් පාර්ලිමේන්තුව විසුරුවලා මහ මැතිවරණයක් තියන්න."

වසර 3 ට 3 යි : තුන් වැනි මහ බැංකු අධිපති හෙට වැඩ අල්ලයි :

පොදුජන පෙරමුණ පාලනයේ වසර තුනක් තුළ තෙවැනි මහ බැංකු අධිපති හෙට (08) ධූරයෙ වැඩ භාරගන්න නියමිත බව වාර්තා වෙයි.

ඒ අනුව ලංකා මහ බැංකුවේ නව අධිපතිවරයා ලෙස නම් කර ඇති ආචාර්ය පී.නන්දලාල් වීරසිංහ මහතා නව තනතුරේ වැඩ භාර ගැනීම සදහා අද (7) දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණියේය .

ඔහු ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 654 දදරන ගුවන් යානයෙන් 04/07 දින පස්වරු 03.45 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

ඔහු මීට පෙර ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරයා ලෙස කටයුතු කර තිබුණි .

අරගලය පාරට ආවේ නිර්පාක්ෂිකවයි : 225 ටම ඩලස් ලියයි !

"ජනතාව අරගලය පාරට ගෙන ආවේ නිර්පාක්ෂිකවයි. ඒ ඔවුන්ගේ ගැටළු නිර්පාක්ෂික නිසයි. එබැවින් එයට විසඳුම් සෙවිය යුත්තේ ද නිර්පාක්ෂිකවය." යනුවෙන් හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ අද (07) පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරුන් 225 වෙත ලිපියක් යොමුකරමිනි.

අදාළ ලිපිය පහත දැක්වෙයි.

225 වෙතටයි,

ලෝක ප්‍රජාව 13 නපුරු අංකයක් ලෙස සලකයි. එමෙන්ම ශ්‍රී ලාංකික තරුණ ප්‍රජාව 225 නපුරු අංකයක් ලෙස පිළිගන්නා පසුබිමක් මේ මොහොතේ නිර්මාණය වෙමින් පවතී. එයට ප්‍රධානතම හේතුවක් ලෙස මා දකින්නේ පාර්ලිමේන්තු වරප්‍රසාද තුළ ආරක්ෂිතව සිටිමින් අපි, අපගේ සහෝදර පුරවැසියාගේ අනාරක්ෂිතභාවය දෙස නොබැලීමයි. එම නිසා ඔහු හෝ ඇය අත්විඳින අනාරක්ෂිතභාවය හෝ පීඩිතභාවය අපට නොදැනෙයි.

30 වසරක යුද්ධය, සුනාමිය සහ කොරෝනා වසංගතය ගෙන ආ අභියෝග තුනටම වඩා බරපතල ආර්ථික අභියෝගයක් මැද අරගල කරන මහජනයා වෙනුවෙන් පෙනී සිටිය යුතුම මොහොතේ අපට අපගේ කාර්යභාරය ගැන හෝ නියෝජනය ගැන තෘප්තිමත් විය හැකිද? විවිධ ප්‍රභේද හරහා වීදි පුරා ගලා යන්නේ ජනතාව පෙළන ඒ පීඩනයේ ප්‍රකාශනයි. තවමත් සාමකාමී ස්වරූපයෙන් විහිදෙන එම පීඩනයේ ප්‍රකාශන, ප්‍රචණ්ඩකාරී ප්‍රකාශනයක් ලෙස පරිවර්ථනය වීමට ඉඩ නොදීම මහජන නියෝජිතයන් ලෙස අපගේ ප්‍රමුඛතම වගකීමයි.

ජනතාව අරගලය පාරට ගෙන ආවේ නිර්පාක්ෂිකවයි. ඒ ඔවුන්ගේ ගැටළු නිර්පාක්ෂික නිසයි. එබැවින් එයට විසඳුම් සෙවිය යුත්තේ ද නිර්පාක්ෂිකවය.

එනමුදු මේ ඉතාමත්ම තීරණාත්මක මොහො‍තේදීත් සිදුවන්නේ උත්තරීතර පාර්ලිමේන්තුවට ද නිගාදෙමින් ද්වේශ සහගතව බෙදෙමින් කෙරෙන වදන් හරඹය යි.

අප රටට දරුණු ආර්ථික අවපාතයකට මුහුණ දීමට සිදුවන පෙර ලකුණු දකිමින්, එහි ප්‍රතිඵලයක් ලෙස ජනතා පීඩනය පුපුරා යන විභවයක් නිර්මාණය විය හැකි නුදුරු අනාගතයක් පුරෝකථනය කරමින්, මා පසුගිය අයවැයේ දී, එනම් මීට මාස හතර හමාරකට පෙර එම අවදානම ගැන සඳහන් කරමින් සහෝදර මහජන නියෝජිතයන්ගෙන් බැගෑපත් ඉල්ලීමක් කළා.

"ඇයි අපි මෙතෙන්ට වැටුනේ? කවුද මේකට වගකියන්න ඕනේ? ඉතිහාසයේ තිබුණු කොළ පාට ආණ්ඩු ද? නිල් පාට ආණ්ඩු ද? නිල් රතු ආණ්ඩු ද? වර්තමාන ආණ්ඩුව ද? නැහැ. අපි සියලු දෙනාම සම සමව මෙහි විත්තිකරුවන් බවට පත්වෙලා තිබෙනවා. ජනතාව ඉදිරිපිට අපි 225 දෙනාම විත්තිකරුවෝ. අපි අපි අපි විසින්ම මෙහි වගකීම භාරගත යුතුයි. අපි වෙනුවෙන් අපි වගේම තමයි, මේ වගකීමත් භාරගන්න ඕනේ. ඉතින් අපි නිහතමානීව එහි වගකීම භාරගමු. අපි තවමත් පරක්කු නැහැ කියලා මම විශ්වාස කරනවා. අඩුගානේ අපේ අනාගතයේ නාමයෙන්, අද ඉන්න දරුවන්, මතු උපදින්න ඉන්න දරුවන් වෙනුවෙන් එතැනදි අපි 225 ම රටත් සමඟ හිටගමු. හැම පක්ෂයම විපක්ෂයේ ඉන්නකොට බෝසතුන් බවට පත්වෙනවා. ආණ්ඩුවට එනකොට දේවදත්තලා බවට පත්වෙනවා. අපි සියලුදෙනාම සාධාරණය කරන්න උත්සහ ගන්නේ එකිනෙකාට අඟිල්ල දික්කිරීමේ අප්‍රසන්න වගකීම් විරහිත ඉතිහාසයට විනා මේ ර‍ටේ අනාගතයට නොවේ. නමුත් ඉතිහාසයට හැරෙමින් ඇඟිලි දිගු කරමින් තවදුරටත් සිටීමේ වරප්‍රසාදයක් අප කිසිම කෙනෙකුට නැහැ. අඩුපාඩු සකස් කරගෙන, වැරදි හදාගෙන ඉදිරියට යෑම මිස අපට වෙන විකල්පයක් නැහැ. අප එක්ව ඉදිරියට නොයතොත් සිදුවන්නේ වෙන් වෙන්ව වැළලී යාමටයි.”

(උපුටා ගැනීම – හැන්සාඩ් වාර්තාව – 2021 නොවැම්බර් 19)

අද මෙරට තරුණ පරපුර 225 ම එපා කියමින් මොර නගමින් අපව ප්‍රතික්‍ෂේප කරන්නේ මේ කියමන සැබෑ කරමින්.

අපේ පුරවැසියන්, ශ්‍රී ලාංකිකයන්, ඔවුන් තම රටට අසීමිතව ආදරය කරන උදාර ජන කොට්ඨාසයක්. එම නිසා මා දැඩිව විශ්වාස කරනවා මහජන නියෝජිතයන් ලෙසට අප එක්ව ජනතා විශ්වාසනීයත්වය දිනාගත හැකි හරවුම් ලක්ෂයකට පියවර තැබුවොත් ඔවුන් අප තේරුම් ගන්නා බව. තවමත් එයට ප්‍රමාද නැහැ. ජනතාවට සවන් දෙන්න, ජනතාවට ප්‍රතිචාර දක්වන්න, ජනතාවට සංවේදී වන්න, ජනතාවට උපකාරී වන්න, ජනතාවට සුභවාදී වන්න, ජනතාව දෙස විත්තිකරුවන් ලෙස නොව පැමිණිලිකරුවන් ලෙස බලන්න.

මෙම දේශපාලන ඛේදවාචකයේ විත්තිකරුවන් කවරෙක් ද යන්න පිළිබඳව කාට හෝ සැකයක් මතවාදයක් තිබේනම් ඔවුන් හඳුනාගත හැකි පහසුම ක්‍රියාමාර්ගය වනුයේ මෙරට සියලු විධායක ජනාධිපතිවරුන් විධායක ජනාධිපති ක්‍රමය ආරම්භයේ සිට අද දක්වා සිටින සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කණ්නාඩියක් ඉදිරිපිටට යෑම පමණි.

මාගේ පාසැල් මැණියන්ගෙන් මා හට දායාද වූ උදෘත පාඨය උතුම් බුදු වදනක්. “අප්පමාදෝ අමතපදං” එනම්, අප්‍රමාදව කටයුතු කරමු යන්නයි.

නමුත් වැදගත් වන්නේ 225 වන අප එය අවබෝධ කරගන්නට තවත් ප්‍රමාද වනවා ද යන ප්‍රශ්නය පමණි.

ගෞරවය, ආදරය නොමැති බලය විසින් ඉතිහාසය පුරාම ලොවට දී ඇති අමිහිරි, අප්‍රසන්න පණිවිඩ කියවා ගන්නට අප තවත් ප්‍රමාද විය යුතු නැත.

ඩලස් අලහප්පෙරුම,

මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී,

2022 අප්‍රේල් මස 07 දින දීය.

ජනාධිපති ඉවත්වීමෙන් පස්සේ ඕන දෙයක් කතා කරමු ! අනුර

ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීම යන කොන්දේසියට යටත්ව ඕනෑම යෝජනාවක් පිළිබඳ සාකච්ඡා කිරීමට සුදානම් බව ජවිපෙ , ජාජබ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසයි.

අද (07) පාර්ලිමේන්තුවේ දී විවාදයට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අනුර කුමාර මන්ත්‍රීවරයා පවසා සිටියේ, ජනාධිපතිවරයා සිය ධූරයේ සිට කරන කිසිදු යෝජනාවකින් රටේ ඇතිව තිබෙන කැලඹිලිකාරී තත්ත්වය සමනය කිරීමට සමත් නොවන බවය.

මේ වනවිට මෙම දේශපාලන හා ආර්ථික අර්බුදය නිශ්චිත කේන්ද්‍ර දෙකකට කේන්ද්‍රගත වී ඇතැයි ද පැවසු අනුර කුමාර මන්ත්‍රීවරයා , ජනාධිපතිවරයා තවදුරටත් ධූරයේ සිටිය යුතු නැති බවට ජනතාව තීරණය කර ඇති බවත්, දෙවැනි කේන්ද්‍රය වන්නේ ජනතාවට සමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යෑමට අවශ්‍ය පසුබිම සකස් කර ගැනීම බව ද පැවසීය.

"තමුන්නාන්සේලා යෝජනා කරන කිසිවක් අද ජනතාව භාරගන්නේ නෑ. භාර ගන්නවා නම් ජනතාව මේ වනවිට පාරේ ඉන්න විදියක් නෑ. පාරේ ඉන්න එකෙන් පේන්නේ යෝජනා යථාර්ථයක් නොවූ බවය. ඒ නිසා ඉදිරිපත් කරන ඕනෑම කාරණාවකට කොන්දේසියක් තියෙනවා. අන්න ඒ කොන්දේසියට යටත්ව යෝජනා ගැන කථා කරමු. අනිවාර්ය කොන්දේසිය තමා ජනතාවගේ මේ ප්‍රශ්නයේ කේන්ද්‍රය වී තිබෙන ජනාධිපතිවරයා ඉවත්විය යුතුයි කියන යෝජනාව. ජනාධිපතිවරයා මේ පුටුවේ වාඩි වෙමින් ඊට යටින් අටවන සභාග හෝ අන්තර් පාලන හෝ මේ ව්‍යවස්ථාව ඇතුළෙන් හෝ මේ ව්‍යවස්ථාව පිටතින් හෝ ගෙන එන කිසිදු යෝජනාවක් මේ රටේ පුරවැසියන් භාරගැනීමට සුදානම් නෑ. ඒ නිසා තමුන්නාන්සේලාගේ පාර්ශවයෙන් ඉදිරිපත් කරන ඕනෑම යෝජනාවකට අපිට සැලකිල්ලට භාජනය කරන්න පුළුවන් වෙයි. අපිට යෝජනාවක් ඉදිරිපත් කළ හැකි වන්නේ එක සාධාරණ කොන්දේසියකට යටත්. ඒ තමා මේ ප්‍රශ්නයේ කේන්ද්‍රය ජනාධිපතිවරයා ඉවත් වෙන්න ඕනේ. එකට යටත්ව කෙරෙන ඕනෑම යෝජනාවක් අපි සාකච්ඡා කරන්න සුදානම්. ඉන් අනතුරුව හැදෙන යාන්ත්‍රණය සභාග ද අන්තර්පාලනය ද ව්‍යවස්ථාවෙන් පිටත ද? ඒක අපි එළියේ ඉඳන් නිරීක්ෂණ මට්ටමේ ඉඳන් කටයුතු කරනවා ද ඕනේ එකක්. අපිට යාන්ත්‍රණයක් හදාගන්න අපි ට එළියේ නිරීක්ෂණ මට්ටමේ ඉන්න වෙයි. ඒ යාන්ත්‍රණයේ තියෙන එකඟතාවයන් ඉස්සරහට යන්න අපි සහාය ලබාදෙන්නම්. මෙවැනි ආකෘති ගණනාවක් තියෙනවා. ඕන දෙයක් සාකච්ඡාවට භාජනය කරන්න පුළුවන් කේන්ද්‍රය වෙලා තියෙන ජනාධිපතිවරයා ඉවත්වීම. ඊට පස්සේ අපි කතා කරමු."

 

මුදල් ඇමති , ලේකම් , මහ බැංකු අධිපති නැතුවම : රු. බිලියන 119.08 ක් අච්චු ගහලා !

මුදල් ඇමති, මුදල් අමාත්‍යංශ ලේකම්, මහ බැංකු අධිපති නැති රටේ අච්චු ගැසිල්ල දිගටම සිදුවන බව හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් කියයි.

හිටපු ආණ්ඩුකාර විසින් මාධ්‍ය වෙත යොමුකළ නිවේදනයක මේ බව සඳහන් වෙයි.

ඊට අනුව 2022 අප්‍රේල් 6 (ඊයේ දිනයේ) පමණක් ශ්‍රී ලංකා මහ බැංකුව රු. බිලියන 119.08 ක මුදලක් අච්චු ගසා ඇත.

කැබිනට් බලතල සහිත මහ බැංකු අධිපති ධූරයක් ස්ථාපනය කර එයට අජිත් නිවාඩ් කබ්රාල් පත් කිරීමෙන් පසුව අච්චු ගැසූ මුදල රු. ලක්ෂ 4,434,700 (රු.බිලියන 443.47) කි.

මුදල් ඇමති, මුදල් ලේකම්, මහ බැංකු අධිපති අතුළු රාජ්‍ය මුදල් සම්බන්ධයෙන් සියලුම නිලධාරීන් නොමැති වුවත් රජය අඛණ්ඩව මුදල් අච්චු ගැසීම සිදු කරයි.

වත්මන් රජය බලයට පත්වීමෙන් පසුව 2020 ජනවාරි 1 දින සිට මේ දක්වා රු. බිලියන 1,774.77 ක් අච්චු ගසා ඇත. (රු. මිලියන දාහත් ලක්ෂ හැත්තෑ හතර දහස් හත්සිය හැත්තෑවක්)

ඉන්දියන් රජයේ ණය යටතේ සති 4 කට අවශ්‍ය ඉන්ධන හා සීමිත ඖෂධ ලැබී ඇති නමුත්, ඉදිරි සතිය තුල ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ මුලික එකඟතා ඇති කර ගත නොහැකිවන්නේ නම් රටේ ඉන්ධන හෝ විදුලිය නොමැති තත්වයකට පත්වීම අනිවාර්යයෙන්ම සිදුවනු ඇත.

වත්මන් දේශපාලන වියවුල සමනය කිරීමට අවශ්‍ය කිසිදු සාධනීය පියවරක් ගැනීමට රජය මේ දක්වා අසමත්වී ඇත. විපක්ෂය ද රාජ්‍ය බලය ලබාගැනීමට හෝ විකල්ප හෝ භාරකාර රජයක් පත් කර ගැනීමට කිසිදු උත්සහයක් දරන්නේ නැත. අද දින රජයට විශ්වාස භංගයක් හෝ දෝෂාභියෝගයක් ඉදිරිපත් කිරීමට විපක්ෂය කටයුතු නොකරන්නේ නම්, හෙටින් පසුව දින 11 කට නැවත පාර්ලිමේන්තුව රැස්වන්නේ නැත.

මුදල් අච්චු ගසමින් වැටුප් ගෙවීමෙන් අද පවත්නා ආහාර, විදුලිය, ගෑස් හිඟයට පිළියමක් ලැබෙන්නේ නැත. ආර්ථික අර්බුදය විසඳීමට නම් රටේ විධිමත් ආණ්ඩුවක් ස්ථාපනය කර දේශපාලන ස්ථාවරත්වය මුලින්ම ඇති කර ගත යුතුව ඇත.

කබ්‍රාල්ට විදෙස් ගමන් තහනම් !

හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට විදෙස්ගතවීම තහනම් කරමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (07) නියෝගයක් නිකුත් කළේ ය.

මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල වන අතර ඒ, අජිත් නිවාඩ් කබ්‍රාල් මහබැංකු අධිපතිවරයාව සිටියදී මහජන මුදල් අවභාවිත කළේ යැයි චෝදනා කරමින් හිටපු ආණ්ඩුකාරවරයෙක් වන කීර්ති තෙන්නකෝන් විසින් ඉදිරිපත්කළ පෞද්ගලික පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව ය.

තවද අජිත් නිවාඩ් කබ්රාල් ට ලබන 18 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වමින් සිතාසි ද අද නිකුත් කෙරිණ.

මහින්ද ආණ්ඩුවේ මන්ත්‍රී කණ්ඩායමේ හදිසි රැස්වීමක් කැඳවයි !

අගමැති මහින්ද රාජපක්ෂ විසින් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ හදිසි රැස්වීමක් අද (06) රාත්‍රියේ කැදවා තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග පවසයි .

මෙම රැස්වීම අරලියගහ මන්දිරයේදී සංවිධානය කර ඇත.

වාර්තා වන ආකාරයට රට තුළ මතුව ඇති අර්බුදකාරී තත්ත්වයන් පිළිබඳ සාකච්ඡා කිරීම වෙනුවෙන් මෙම රැස්වීම කැඳවා තිබේ.

රජයේ රෝහල්වල : ඖෂධ වර්ග 40 ක හිඟයක් !

මේ වන විට රජයේ රෝහල්වල ඖෂධ හිඟයක් ඇති බව ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.

වාර්තා වන ආකාරයට ඖෂධ වර්ග 40 ක අඩුවක් රජයේ රෝහල් ආශ්‍රිතව පවතී.

මේ අතර රාජ්‍ය අමාත්‍යංශ ලේකම් වෛද්‍ය සමන් රත්නායක පවසන ආකාරයට තවත් ඖෂධ වර්ග 60 ක තොග ප්‍රමාණවත් වන්නේ සතියත් – මාසයක් අතර කාලයකටය.

පවතින ඖෂධ හිඟය පිළිබඳව අමාත්‍යංශය දැඩිව අවධානය යොමු කර ඇති බවත් ලේකම්වරයා පවසයි.

ඉන්දීය ණය ආධාර යටතේ ඖෂධ ආනයනකරුවන්ට පහසුකම් සැපයීමට මේ වනවිටත් පියවර ගෙන තිබේ.

මීට අමතරව ලංකා බැංකුවෙන් ඩොලර් මිලියන 07 ක් හා මහජන බැංකුවෙන් ඩොලර් මිලියන 07 ක් ණය වර ලිපි නිකුත් කිරීමට පියවර ගෙන තිබේ.

තත්ත්වය සමනය කිරීම සඳහා තවත් ඩොලර් මිලියන 20 ක් ලබා ගැනීමට සැලසුම් කර ඇති බව ද ඔහු පැවසීය.

(මූලාශ්‍රය news 1st )

අරගලය දිය නොවීමට "අප්‍රේල් 03 සම්මුතියක්" ගොඩනගමු !

මේ රටේ මේ මොහොතේ ආණ්ඩුකරන පාලකයන්ගේ නොමනා, අවිධිමත් සහ අදූරදර්ශී ක්‍රියාපිළිවෙත හේතුකොට ගෙන ගොඩනැගුණු සමාජ, ආර්ථික පීඩනයට සමස්ත ජනතාවම ගොදුරුවී හමාරය.

එකී ජන පීඩනයට එරෙහි භෞතික ප්‍රකාශනය අප්‍රේල් 03 දිවයින පුරා සෑම නගරයකදීම කලඑළි බැසීමට සමාජ මාධ්‍ය හරහා සැලසුම් කොට තිබිණි. එය එසේ තිබිය දී ඊට පෙර දින එනම් අප්‍රේල් 02 රාත්‍රියේ ගෝඨාභය රාජපක්ෂ වත්මන් ජනාධිපතිවරයාගේ නිවස පිහිටි මිරිහාන ප්‍රදේශයේ දී පළමු පියවර තැබීම ආරම්භ විය.

එතැන් පටන් ලංකාවේ අස්සක් මුල්ලක් නෑර සෑම නගරයකම, සෑම ගමකම පමණක් නොව ලොව පුරා විසිරී සිටින සියලු ශ්‍රී ලාංකිකයන් ද සිය උපරිම හැකියාව, ශක්තිය යොදවමින් අප්‍රේල් 03 විරෝධතා අරගලය පෝෂණය කරමින් සිටී.

කෙසේ නමුත් මෙවැනි අවිධිමත් හෝ අසංවිධානාත්මක අරගලයන්ට අත්විය හැකි ඉරණම ඵෙතිහාසික අත්දැකීම් ප්‍රකාරව ඛේදජනක, බිහිසුණු හෝ අනර්ථකාරී අවසානයකින් ඉතිහාසයේ වැළලී යාමය.

එය එසේ වන්නට ප්‍රධානතම හේතුව ලෙස දැකිය හැක්කේ, සාම්ප්‍රදායික හා/හෝ ගතානුගතික දේශපාලනයට (consavative politics) එකී අරගලය හරහා එල්ලවන මාරාන්තික අභියෝගයයි.

එවැනි අභියෝගයන් හමුවේ වම ද දකුණ ද කිසිදු භේදයකින් තොරව, දේශපාලන පක්ෂ, කණ්ඩායම්, නායකයෝ සේම එහි ‍සේවාලාභියෝද ආරක්ෂකයෝ ද සිය පැවැත්මේ අනිවාර්ය කොන්දේසියට අභියෝගයක් වන කෙතරම් අවිහිංසාවාදී වුවත් මෙවැනි ජනතා නැගිටීම්වලට එරෙහිව අවි ඔසවන බැවිනි.

විටෙක එය අරගලකරුවාගේ ස්වරූපයෙන් වෙස්ගෙන සැබෑ ජනතා අභිලාශය දියකර හැරීමක් ලෙස ද තවත් විටෙක රුදුරු මර්දනීය ස්වරූපයෙන් මිලිටරිකරණයට ගොදුරුකර විනාශ කර දැමිමෙන්ද ඉදිරිගාමී ජනතා අභිලාශයන්, ආකල්පයන්, ප්‍රාර්ථනාවන් සියල්ල නැවත වතාවක් සාම්ප්‍රදායික දේශපාලන ගර්භාෂයේ සඟවා තබනු ඇත.

අප්‍රේල් 03 ජනතා නැගිටීම එසේ විනාශ වීමට ඉඩහසර විවර කරමු ද? එසේ නැතහොත් අභිියෝගය කෙතරම් බරපතළ වුවත් සැබෑ ජනතා ප්‍රාර්ථනාවන් සඵල වන තෙක්, සාර්ථකත්වය අත්පත් කරගන්නා තෙක් අරගලකරුවාගේ භූමිකාවට පණ පොවමු ද?

මෙහි තීරකයා අන් කිසිවකු නොව මම සහ ඔබය.

මේ රටේ හෙට දවස පිළිබඳ සුබ සිහින දකිමින්, පාරම්පරික ප්‍රභූ දේශපාලනය වෙනස් කළ යුතු යැයි කල්පනා කරමින්, බලකාමී පවුල් අතලොස්සක් අතරේ දෝලනය වන සමස්ත දේශපාලන බලය සාමාන්‍ය පුරවැසියා විසින් අත්පත් කරගත යුතු යැයි විශ්වාසයෙන්, 74 වසරක් පුරා ගොදුරු වූ රැවටිලිකාර දේශපාලනයෙන් අත්මිදීම ද සමස්ත රටවැසියාම එකාවන්ව, එකම ධජයක් යට එකම ජාතියක් ලෙස ගොඩනැගි ද ඉදිරි පරම්පරාවට, දුවා දරුවා නිදහසේ ජීවත්විය හැකි රටක්, සමාජ සංස්කෘතික පරිසරයක් නිර්මාණය කළ යුතු බව ද දැඩි අත්නොහරින විශ්වාසයෙන් අද සටන් පාඨ පුවරු අතදරා මහ මගට පය තබන ඔබට හෙට දවසේ කුමන හේතුවක් නිසා හෝ අරගල භූමිය පැමිණීමට නොහැකි වුවත් මෙම ජනතා අරගලය, පුරවැසියාගේ අරගලය, ශ්‍රී ලාංකිකයාගේ අරගලය, ජාතිවාදයට හෝ ආගම්වාදය ගොදුරු නොවූ අරගලය, අන්තවාදය පිටුදකින අරගලය ජයග්‍රහණයෙන් කෙළවර නොවී සාර්ථකත්වය අත්පත් කරගන්නා තුරු කුමන බාධක හමුවේ වුවද ඉදිරියටම යායුතු බව මාගේ විශ්වාසයයි.

ඒ වෙනුවෙන් අද දවසේ අරගල භූමියේ රැවිපිළිරැව් දෙන #GOGOTAHOME සටන් පුවරුව ප්‍රකාරව වත්මන් පාලකයන් නැතහොත් රාජපක්ෂවරු පාලන බලයෙන් ඉවත් කිරීමෙන් පමණක්, ඔබ මා පතන ආර්ථික අහේනියකින් තොර, නිදහස්කාමී, සහජීවනයෙන් පිරි සමාජයක් මේ පොළොවේ හෙට දවසේ නිර්මාණය කිරීමට නොහැකි බවත්, අත්‍යවශ්‍යයෙන් ම රාජපක්ෂවරු දශක දෙකක් පුරා මේ රටේ මිනිසුන්ගේ මිනිස්කම් වනසා දැමූ ජාතිවාදී ආගම්වාදී මතවාදීමය රාජපක්ෂවාදී චින්තන ධාරව මුලිනුපුටා දැමිය යුතු බවත්, එකී මිත්‍යාදෘෂ්ටිය සුරුවමක් කොටගත් කල්ලි කණ්ඩායම් ද මේ රටේ දේශපාලන භූමියෙන් අතුගා දැමීය යුතු බවත් අවබෝධයෙන් තේරුම්ගත යුතුය.

එසේම රාජපක්ෂවරු පන්නලා හෙට දවසේ කාටද බලය අත්කර දෙන්නේ යැයි සමාජයෙන් නැගෙන පැනයට නිසි, ශක්තිමත් පිළිතුරක් ඔබ මා සතුවිය යුතුය.

අප එකිනෙකා විශ්වාස කරන තනි තනි පුද්ගල දේශපාලන චරිත, නායකයන් සිටිය හැකිය. ඔබ මා පතන සිහින රට නිමැවීමට ඔහුට හෝ ඇයට ශක්තිය ද ධෛර්යය ද ශක්‍යතාවය ද තිබිය හැකිය. එය එසේ වුවත් අද අරගල භූමියේ මහත් වූ ධෛර්යයෙන් සහ වීර්යයෙන් සටනට පණ පොවන සියලු සටන්කරුවන්ගේ කැමැත්ත හෝ මනාපය ඔහුට හෝ ඇයට දිනා ගැනීමට නොහැකිව අසමත් විය හැකිය. ඒ පුද්ගල කැමැත්ත යනු තත්ත්වානුකූල මෙන්ම අවස්ථානුකූල ඒකපුද්ගල චින්තන ස්වරූපයක් වන බැවිනි. එ් අනුව එවැනි මොහොතක සමස්ත පුරවැසියාම එක්ව දිවිහිමයෙන් දියත්කළ සටන සී සීකඩ ව, ප්‍රාර්ථනාවන් පමණක්ම හදවත් තුළ හිරකර තබා වාතලයට එක්වනු ඇත.

එය එසේ නොවන්නට අපි කුමක් කරමුද?

01. පුද්ගල චරිතයක් වටා හෝ දේශපාලන පක්ෂයක් වටා මේ සටන ලඝු කිරීමට උත්සාහ නොකර සිටීම.

02. අරගල බිමේ සටනට ඡවය දෙන සියලු දෙනාගේම ඒකායන අභිප්‍රාය සඵල කරවන වැඩපිළිවෙළකින් යුතු සම්මුතියක් ගොඩනැගීම.

03. එකී සම්මුතිය "අප්‍රේල් 3 සම්මුතිය" යැයි නාමකරණය කිරීම.(ඒ පළමුවරට මේ සටනට පණ පෙව් අප්‍රේල් 03 සටන් සගයන්ට ගෞවරයක් වනු පිණිසය.)

04. ඒ සඳහා සමාජ මාධ්‍ය හරහා යෝජනා කොට සංශිප්ත ප්‍රකාශනයක් ඉතාම නුදුරේදී ප්‍රසිද්ධ කිරීමට පියවර ගැනීම. (කෙටි කාලීන හා දිගු කාලීන)

05. යෝජනා චෝදනා කළමනාකරණය කිරීමෙන් අනතුරුව සටන් බිමේ අලුත්ම සටන් පාඨයක් ලෙස "අප්‍රේල් 03 සම්මුතිය" ජනගත කිරීමට පියවර ගැනීම.

06. රාජපක්ෂවරුන්ගෙන් නිදහස් කරගන්නා රට තුළ අනාගතයේ බලයට පත්වන ඕනෑම පාලකයකු මෙකී සම්මුතියට යටත්ව සිය පාලන බලය මෙහෙය වීම සිදුකළ යුතුබව ව්‍යවස්ථානූකූල හෝ බලය පැවරූ පණතක් ලෙස ස්ථාපිත කිරීම.

ඒ අනුව හෙට දවසේ රාජපක්ෂවරු පමණක් නොව රාජපක්ෂවාදය පෝෂණය කළවුන්ද දේශපාලන භූමියෙන් නිදොස් කොට, ඔවුන් විසින් අද දවසේ නිර්මාණය කොට අප හමුවේ තබා ඇති දැවැන්ත ආර්ථික සමාජ අර්බුදයන් ඉතා කෙටි කලක් (උපරිම වසරක කාලයක්) තුළ සමහන් කරගන්නා තුරු එකඟතා වැඩපිළිවෙළක් සහිත පාලන තන්ත්‍රයක් නිර්මාණය කොට එය ගරු සේවයක් සේ ස්ථාපිත කිරීම සුදුසු ය. (කෙටි කාලීන)

ඉන් පසු ශ්‍රී ලංකාවේ අනාගතය තවදුරටත් හොරුන්ගේ දූෂිතයන්ගේ වංචාකරුවන්ගේ ග්‍රහනයට ගොදුරුව, අඳුරු නොවන රටක් බවට සඵත කළ හැකි වැඩපිළිවෙළක් සහිත අරගලකරුවන්ගේ අප්‍රේල් 3 සම්මුතිය (දිගු කාලීන) පදනම් කොටගත් පාලන තන්ත්‍රයක් සේ ස්ථාපිත කිරීමට පියවර ගැනීම සුදුසුය.

- විශේෂ වාර්තාකරුවෙකු විසිනි

ජනාධිපති කිසිසේත් ඉල්ලා අස්වෙන්නේ නෑ - ජොනී

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කිසිසේත්ම ධුරයෙන් ඉල්ලා අස්නොවන බව ආණ්ඩු පක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ පාර්ලිමේන්තුවේදී අද (06) අදහස් දක්වමින් ය.

රට පාලනය කිරීමට 69 ලක්ෂයක ජනවරමක් ඔහුට ඇති බවත් තවමත් එම ජනමතය එසේම බවත් පැවසූ ඔහු විරෝධතා දක්වන්නේ සුළු පිරිසක් යයිද ඇතිව තිබෙන තත්වය පාලනය කිරීමට රජයට හැකියාව ඇති බවද අමාත්‍යවරයා පවසයි.

අපි ලාභෙට මැරෙන්න සූදානම් නෑ. ඉපදෙන්නෙත් මැරෙන්නෙත් එක පාරයි. මෙහෙම ගියොත් විනාශයක් වෙන්නේ. අපිත් බය නෑ” යැයිද අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පැවසීය.

තත්ත්වය සාමකාමීව විසඳගන්න : ජිනීවා මානව හිමිකම් කොමිසම !

ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය පිළිබඳ දැඩි අවධානයෙන් සිටින බවත් වත්මන් තත්ත්වය සාමකාමීව විසඳා ගන්නා ලෙස ශ්‍රී ලංකා බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත.

දිනපතා සිදු වන විදුලිය විසන්ධි කිරීමත් සමග රට තුළ ඇතිවී තිබෙන ආහාර හා ඉන්ධන හිඟය හේතුවෙන් තත්ත්වය නරක අතට හැරී ඇති බවත්,ශ්‍රී ලාංකිකයන් සිදුකරන උද්ඝෝෂණ වලට හේතුව මෙය බවත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මහ කොමසාරිස් කාර්යාලය පවසයි.

මහ කොමසාරිස් කාර්යාලයේ ප්‍රකාශිකා ලිස් ත්‍රොසෙල් ප්‍රකාශයක් නිකුත් කරමින් පැවසුවේ හදිසි නීතිය ක්‍රියාත්මක කිරීම සහ වත්මන් අර්බුදය මැඩපැවැත්වීමට ශ්‍රී ලංකා බලධාරීන් ගෙන ඇති අනිකුත් ක්‍රියාමාර්ග මහා ජනතාව ඔවුන්ගේ කලකිරීම සාමකාමී උද්ඝෝෂණයක නිරත වීම තුලින් ප්‍රකාශයට පත් කිරීම වැළැක්වීමට හා අධෛර්යමත් කිරීමට ගෙන ඇති බවයි.

ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදය හමුවේ මහ ජනතාව තැනින් තැන උද්ඝෝෂණය කිරීමට පෙළඹුණු අතර එම උද්ඝෝෂණ පාලනය කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගියදා හදිසි නීතිය ප්‍රකාශ කළ අතර පසුව එය ඉවත් කළේය.

- lankadeepa

ජොනීගේ කාර්‍යාලයත් වටලති !

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ගේ කුරුණෑගල කාර්යාලය අසල මේ වන විට විරෝධතාවක් පැවැත්වෙයි.

වාර්තා වන ආකාරයට විරෝධතාකරුවන් විශාල පිරිසක් අමාත්‍යවරයා ගේ කාර්යාලය වටලා සටන් පාට කියමින් විරෝධතාවේ යෙදී සිටියි.

මැති ඇමතිවරුන් ගේ නිවාස ඉදිරිපිට රැස්ව විරෝධතා දැක්වීම පසුගිය දින කිහිපය පුරාම වාර්තා විය.

පාසල් පැවැත්වෙන කාලය පැයකින් දීර්ඝ කෙරේ

අප්‍රේල් 18 වැනිදා සිට පාසල් පැවැත්වෙන කාලය පැයකින් දීර්ඝ කර ති‌බේ.

 ලබන 18 වැනිදා ආරම්භ වන පළමු පාසල් වාරයේ සිට දෙසැම්බර් 23 වැනිදායින් අවසන් වන වර්ෂය සඳහා පාසල් පැවැත්විය යුතු පැය ගණන සම්පුර්ණ කිරීමට සඳහා මේ පියවර ගත් බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා  සඳහන් කළේය.

ඒ අනුව අතරමැදි නිවාඩු කාල ද ඇතුළත්ව පාසැල් කාල සටහන් විදුහල්පතිවරුන් වෙත මේ වන විට යොමු කර ඇති බව ඔහු ප්‍රකාශ කළේ ය.

තුවක්කුකරුවන් පලවා හැරී පොලිස් නිලධාරීන්ට අත නොතබනු ! – නීතිඥවරු එක හඬින් කියති

ඊයේ (05) පාර්ලිමේන්තුව ආසන්නයේ පැවති මහජන විරෝධතාවයක් හරහා අංක තහඩු රහිත යතුරුපැදිවල නැගී ගමන් ගත් අවි ගත් තුවක්කුරුවන් නවත්වා මහජන ආරක්ෂාව තහවුරු කළ පොලිස් නිලධාරීන් පිළිබඳව විනය පියවර ගන්නැයි ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් කමල් ගුණරත්න කර තිබෙන දැනුම්දීමට විරුද්ධව නීතිඥයින් එක හඬින් නැගී සිටිති.

අද (06) අලුත්කඩේ උසාවි සංකීර්ණය ආසන්නයේදී මේ පිළිබඳව නීතිඥවරුන් කරුණු සලකා බැලීමට තීරණය කර තිබේ.

සාමාකාමී ලෙස විරෝධය දැක්වූ මහජනතාව අතරට යුද හමුදා ඇඳුමට සමාන ඇඳුමකින් සැරසුණු සම්පූර්ණ ආයුධ සන්නද්ධ මුහුණු ආවරණය කර ගත් කල්ලියක් යතුරුපැදිවලින් කඩා වැදී ප්‍රකෝපකාරී ක්‍රියාවලට සූදානම් විය.

එම අවස්ථාවේදී විරෝධතාකරුවන් එම යතුරු පැදි නවත්වා විරෝධය පළකළ අතර පොලිසිය නීතිය හා සාමය ආරක්ෂා කර මහජනතාවගේ අයිතීන් වෙනුවෙන් ක්‍රියාකරනු ලැබීය.

එහෙත් ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ඊයේ නියෝගයක් කරමින් මේ පිළිබඳව පරීක්ෂණයක් පවත්වන ලෙස පොලිස්පතිවරයාට දන්වා ඇත. ඒ අනුව පොලිස්පතිවරයාද පරීක්ෂණ සිදු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිල වශයෙන් තහවුරු කර තිබේ.

මෙම තත්වය පිළිබඳව ශ්‍රී ලංකා නීතිඥ සංගමයද සමීපව කරුණු අධ්‍යයනය කරමින් සිටින අතර මහජන ආරක්ෂාව සහ අයිතිවාසිකම් තහවුරු කිරීමට ක්‍රියාකළ පොලිස් නිලධාරීන්ට කිසිදු ආකාරයකින් අගතියක් නොවීමට ක්‍රියාකරන බව මේ වන විටත් වාර්තා වේ.

සරත් ෆොන්සේකාගෙන් ප්‍රකාශයක්

 ඊයේ දිනයේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ යතුරු පැදි හතරක් පාර්ලිමේන්තු සංකීර්ණය අවට යොදවා තිබු මාර්ග බාධකය අසලට පැමිණි අවස්ථාවේදී පොලිස් නිලධාරින් දෙදෙනෙකු විසින් ඔවුනට සුදුසු නොවන පරිදි කටයුතු කිරීම ගැන අද පාර්ලිමේන්තුවේදී පක්ෂ විපක්ෂ අදහස් මතු විය.

මෙහිදී ඒ පිලිබඳ අදහස් දැක්වූ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා කියා සිටියේ එම අවස්ථාවේ පොලිසියේ හැසිරීම තමන් කිසිසේත්ම අනුමත නොකරන බවයි.

තවද එම හමුදා නිලධාරින් එම ස්ථානයට යාම අනුවන ක්‍රියාවක් වන අතර මෙවැනි ව්‍යාකූල අවස්ථාවකදී මෙම සෙබළු අට පාස් උදවිය වන අතර ඔවුන් කලබලයට පත් වී ඕනෑම දෙයක් සිදුවීමට පවා ඉඩ තිබූ බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා වැඩි දුරටත් අදහස් දක්වමින් සඳහන් කර සිටියේය.

theleader.lk

රාජ්‍ය සේවයේ වෘත්තීය සමිති : අරගලයට එක්වෙ

තරුණ සහ ජනකොටස් ආරම්භ කර ඇති #GoHomeGota විරෝධය සඳහා සහය දීම සඳහා රාජ්‍ය සේවයේ වෘත්තීය සමිති ඒකාබද්ධ තීන්දුවක් ගෙන ඇති බව වාර්තා වෙයි.

මෙහිදී ජනාධිපතිවරයා පමණක් නොව අගමැති මහින්ද රාජපක්ෂ ද තනතුරින් ඉවත් විය යුතු බව ඔවුන්ගේ සටන් පාඨය වී ඇති බවත් වාර්තා වෙයි.

එසේම පසුගිය සමයේ සාර්ථක වෘත්තීය සමිති අරගලයක් දියත්කළ ගුරු - විදුහල්පති වෘත්තීය සමිති සන්ධානයත් මේ සඳහා සහය පළකර ඇති බවත් දැනගන්නට ඇත.

ඒ අනුව අද දිනයේදී රජයේ නිලධාරීන් දිවා භෝජන අවස්ථාවේ නිහඩ විරෝධතාවයක් පවත්වා ඇති බවත් වාර්තා වෙයි.

Page 270 of 386