V2025

පුවත්

සයිනොවැක් එන්නත ගැන අවුලක් : උපදේශන කමිටුවේ 3ක් අස්වෙති !

චීනයේ නිෂ්පාදිතයක් වන සයිනොවැක් එන්නත ලංකාවේ භාවිතය සඳහා පසුගිය සිකුරාදා (16) අවසර ලබා දීමත් සමග තවත් වෛද්‍යවරුන් තිදෙනෙක් කොරෝනා මර්දන එන්නත් උපදේශක කමිටුවෙන් ඉල්ලා අස්වීමට පියවර ගෙන ඇති බව සන්ඩේ ටයිම්ස් අනාවරණය කර ඇත.

ප්‍රතිශක්තිකරණ විශේෂඥ. වෛද්‍ය රජීව ද සිල්වා, වෛරස් විද්‍යාඥ වෛද්‍ය කාන්ති නානායක්කාර සහ ශ්වසන වෛද්‍ය මහාචාර්ය චන්න රණසිංහ මෙසේ ඉල්ලා අස්වී තිබේ.

ඔවුන් ඉල්ලා අස්වීමට හේතුව එන්නත් උපදේශක මණ්ඩලයේ උපදෙස් නොසලකා හැරීම සහ බලධාරීන් විසින් ඒවා අභිබවා යාම බව වාර්තා වෙයි.

මව්රට පුවත්පත වාර්තා කර ඇත්තේ, ජුනි 9 වන දින හදිසි රැස්වීමකදී උපදේශක මණ්ඩලය අඩකට බෙදී තිබුණේ අවම වශයෙන් සයිනොවැක් මාත්‍රාවන් මිලියන 2 ක් වත් ශ්‍රී ලංකාවේ භාවිතය සඳහා අනුමත කළ යුතුද යන්න ගැන කියාය.

එහි වැඩිදුරටත් මෙසේද සඳහන් වෙයි.

සයිනොවැක් ඩෙල්ටාවට එරෙහි “අවම ප්‍රතිපලදායී එන්නත” බව එම රැස්වීමේදී සියලු දෙනාම “එකඟ වූ” බවද වාර්තා වේ.

එක් කණ්ඩායමක් පවසා ඇත්තේ, සීමිත සයිනොවැක් තොගයක් ආනයනය කිරීම සඳහා කොන්දේසි සහිත “සීමිත” අනුමැතියක් ලබා දිය යුතු අතර අනෙක් කණ්ඩායම ඊට එකඟ නොවූ බවද දැනගන්නට ඇත.

මීට පෙරද මෙම කමිටුවෙන් වෛද්‍යවරුන් කිහිප දෙනෙක්ම ඉල්ලා අස්වීමට පියවර ගෙන තිබිණ.

ගැබිනි මව්වරුන් 2,250කට කොරෝනා - සෞඛ්‍ය අමාත්‍යාංශය

ගර්භනී මව්වරුන් 2,250 දෙනෙකුට මේ වනවිට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

මේ අතර කොවිඩ් වැළඳීමෙන් ගර්භණි මව්වරුන් 13දෙනකු මියගොස් ඇතැයිද එම අමාත්‍යාංශය සඳහන් කරයි.

 ගර්භනී සහ පසු ප්‍රසූත මව්වරුන් 170 දෙනෙකු කොවිඩ් වැළඳීමෙන් මේ වන විට රෝහල් ගතව ප්‍රතිකාර ලබාගන්නා බවත්, කොරෝනා රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නම් හැකි ඉක්මණින් ප්‍රතිකාර සඳහා යොමු වන්නැයි, පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය, චිත්‍රමාලි ද සිල්වා ගැබිණි මව්වරුන්ගෙන් ඉල්ලා සිටියාය.

ගර්භණි මව්රුන්ට ෆයිසර් සහ මොඩර්නා එන්නත් ලබා දීමට ඇති හැකියාව සොයා බලන්නැයි, සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර ඇතැයි පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලිද සිල්වා  සඳහන් කළා ය.

ගැබිනි මව්වරුන් සඳහා මෙතෙක් ලබා දෙන්නේ සයිනෝෆාම් එන්නත පමණක්ය බවත් ඇය පැවසුවාය.

දෙහිවල සත්වෝද්‍යානයේ තවත් සතුන් 04දෙනෙකුට කොරෝනා

දෙහිවල සත්වෝද්‍යානයේ චිම්පන්සි දෙදෙනෙකුට සහ ඔරං ඔටං දෙදෙනෙකුටද කොවිඩ් වයිරසය ආසාදනයවී ඇතැයි PCR පරීක්ෂණයකින් තහවුරුවූ වී ඇත.=

මේ වනවිට එම සතුන් සිවුදෙනා සුවසේ සිටින බවට තමාට තොරතුරු වාර්තා කර ඇතැයිද රාජ්‍ය ඇමති විමලවීර දිසානායක පවසයි.

කෙසේ වෙතත් මේ පිළිබඳව තොරතුරු හෙළි වීමෙන් පසු එම ඔරංඔටන් දෙදෙනා සහ චිම්පන්සි දෙදෙනා සෙසු සතුන්ගෙන් වෙන් කර නිරෝධායනයට යොමු කරනු ලැබ සිටින බව සත්වෝද්‍යාන ආරංචිමාර්ග පවසයි.

දෙහිවල සත්වෝද්‍යානයේ සිංහ දූපතේ සිංහයෙකුට සහ සිංහ ධේනුවකටද මෙයට පෙර කොවිඩ් – 19 ආසාදනය විය.

කෙසේ වෙතත් එම සතුන් දෙදෙනා මේ වනවිට සුවය ලබා සිටින බව එහි නිලධාරීහු පවසති. කෙසේ වෙතත් පසුගිය දිනවල වාර්තා වූ පරිදි එම සිංහයාට දැඩි නිව්මෝනියා තත්වයක් හටගෙන තිබිණි.

සත්වෝද්‍යාන විවෘත කිරීමට සෞඛ්‍ය අංශවලින් අවසරය ලැබී ඇතත් කොවිඩ් අවදානම හේතුවෙන් දෙහිවල සත්වෝද්‍යානය තවදුරටත් විවෘත නොකිරීමට එහි පාලනාධිකාරිය තීරණය කර ඇත.

විපක්ෂයේ පොදු වේදිකාවක් : සජිත් - කරූ එක්වෙයි !

සාධාරණ සමාජයක් සඳහා ජාතික ව්‍යාපාරය මැදිහත්ව සංවිධානය කරන ලද විපක්ෂයයේ එකමුතුවක් සඳහා වන සාකච්ඡා මාලවේ ආරම්භක සාකච්ඡාව ඊයේ (17) හිටපු කතානායක කරු ජයසූරියගේ ප්‍රධානත්වයෙන් කොළඹ 05 ජානකී හෝටලයේදී ඉතාම සාර්ථකව අවසන්වූ බව එහි සංවිධායකයන් පවසයි.

එහිදී සාකච්ඡාව සඳහා පදනම්වූ ලියවිල්ල හිටපු කතානායක කරු ජයසූරිය විසින් සභාගත කර ඇති බවත් අදාළ හමුවේ පළමු වටය මාධ්‍යට නිරාවරණය කර ඇත.

එහෙත් දෙවැනි වටය පවත්වා ඇත්තේ මාධ්‍යයට නිරාවරණය නොවූ අභ්‍යන්තර සාකච්ඡාවක් ලෙසය.

පසුගිය ජනාධිපතිවරණයෙන් පසු සජිත් ප්‍රේමදාස සහ කරු ජයසූරිය දෙදෙනා අතර මෙවැනි දේශපාලනික හමුවක් සිදුවූ පළමු අවස්ථාව මෙය වූ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළුව ඊට එක්වූ විපක්ෂයේ පක්ෂ නායකයන් එහිදී අදහස් දක්වා තිබේ.

විපක්ෂ නායක සජිත් : අදහස් දක්වා පිටව ගිහින් !

"තමන්ගේ අඩුපාඩු වසා ගැනීමට ජනතාව වෙත මර්ධනය දියත් කිරීමට මේ අසමත් ආණ්ඩුව කටයුතු කිරීමට එරෙහිව සමස්ත විපක්ෂය එකමුතු කිරීමට කරු ජයසූරියගේ නායකත්වයෙන් හා මගපෙන්වීමෙන් 'සාධාරණ සමජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය' ගෙනයන මෙම උත්සහය මේ මොහොතේ අතිශය වැදගත් බව පැවසු විපක්ෂ නායකවරයා, එය සාර්ථක කරගැනීමට අප සියලුදෙනා කැපවෙමු"

කෙසේ වුවත් මෙම අදහස් දැක්වීමෙන් පසුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස එම ස්ථානයෙන් ඉවත්වගොස් තිබෙන බව වාර්තා වෙයි.

මාධ්‍යයට නිරාවරණය නොවූ මෙම හමුවේ දෙවන භාගය ඒ අනුව සජිත් ප්‍රේමදාස හැර අනිකුත් නායකයින් සියලු දෙනාගේම සහභාගීත්වයෙන් පවත්වා ඇති අතර කරු ජයසූරියගේ නායකත්වයෙන් මෙම වැඩපිළිවෙළ ඉදිරියට ගෙනයෑමට එහිදී ඒකමතිකව තීන්දු කොට ඇති බවත් වාර්තා වෙයි.

උතුරු නැගෙනහිර ප්‍රශ්නය ඇතුළු, රටේ පවතින ආර්ථික දේශපාලන හා සමාජයීය අර්බුද සඳහා විසදුම් ලබා දිය හැකි ප්‍රමුඛ ජාතික වැඩ පිළිවෙළක් සකස් කිරීමට තීන්දු කොට ඇති අතර ඒ සඳහා සියලු පක්ෂ නියෝජනය කරමින් කමිටුවක් පත් කිරීමටද තීරණය කොට ඇත.

මෙම වැඩසටහන සඳහා ජනතා විමුක්ති පෙරමුණට ආරාධනා කරන තිබුණද ඒ සඳහා කිසිවෙකු සහභාගි වී නොසිටි නිසා ජනතා විමුක්ති පෙරමුණ මෙම වැඩපිළිවෙල තුළ සිටීමේ වැදගත්කම කරු ජයසූරිය විසින් පැහැදිලි කොට ඇත.

තවද විපක්ෂයේ පක්ෂ නායක රැස්වීම කරූ ජයසූරියගේ ප්‍රධානත්වයෙන් සෑම මසකම නියමිත දිනයක දී පැවැත්වීමට එකඟතාවයකට පැමිණ තිබේ.

පාඨලී චම්පික රණවක

''මූල්‍යම වශයෙන් රට පත්ව ඇති අසාර්ථකත්වය කෙරෙහි මේ මොහොතේ අප සියලු දෙනාම අවධානය යොමු කල යුතුයි. රට ඉතා විශාල මූල්‍යම බංකොලොත්භාවයක් අභියස තිබෙන්නෙ. මේ සඳහා විපක්ෂය විදිහට අප ජනතාවට විශ්වාස කල හැකි ප්‍රායෝගික විසඳුම් සහිත ජාතික ප්‍රතිපත්ති මාලවක් අවශ්‍ය වෙනවා. අප එය නිර්මාණය කරගත යුතුයි.

ජනතාව දිනෙන් දින පෙළන මේ ආණ්ඩුවට විරුද්ධව විපක්ෂය එකමුතුව පෙළගැසිය යුතුයි. ඒ සඳහා නයකත්වය දෙන්න සුදුසුම් කෙනා කරු ජයසූරිය මහතායි. අපිට මතකයි දින 52 වෙලාවෙ එතුමන් අපට දක්වපු නායකත්වය. සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය වටා එකතුව අපි ඉදිරියට යමු කියලා මම යෝජනා කරනවා.''

රාජිත සේනාරත්න

''අපි මේ රටේ ඊළඟ මැතිවරණයෙන් බලය ගත්තට වැඩක් නැහැ අපි අවුරුද්දක් ඇතුළත ද්‍රෝහීන් වෙනවා අපි හරි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොකලොත්. ඒක නිසා අපි හරි දැක්මකින් හරි කාලරාමුවකට වැඩ කරන්න වැඩපිළිවෙළක් අවශ්‍යයි. නැත්තම් ජනතාව තවදුරටත් මේ රටේ කිසිම දේශපාලන ව්‍යාපාරයක් විශ්වාස කරන එකක් නැහැ.

ලී ක්වාන් යූ බලයට ආවට පස්සෙ මුලින්ම කරේ ජාතික ප්‍රශ්නයට විසඳුමක් දීම. මම හිතනවා අපිත් දෙමළ ජනතාවගේ ප්‍රශ්නය ගැන සංවේදීව මේ පිළිබඳව සිතා බැලිය යුතුයි කියලා.

''මේ විපක්ෂය එකතු කරන්න සුදුසුම කෙනා කරු ජයසූරිය මැතිතුමා බව අවිවාදිතයි. අපි එකමුතුව එතුමන් සමඟ ආරම්භ කරන ගමන ජයග්‍රහණයෙන් කෙළවර කරමු කියලා මම යෝජනා කරනවා.''

මනෝ ගනේෂන්

''අපිට මතකයි කරු ජයසූරිය මහතා දින 52 වෙලාවෙ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය අහිමි කිරීමට එරෙහිව අප රටට දීපු නායකත්වය. අපි සියලු දෙනා ප්‍රජාතන්ත්‍රවාදය නැවත දිනා ගත්තෙ එතුමන් නිසා.

ඒක නිසා අපි මේ දුර්දාන්ත පාලනය පරාජය කරන්න, ජනතාවට අයිතිවාසිකම් දිනා දෙන්න නැවත සාධාරණ සමාජයක් සංවිධානය වටා එකමුතුවෙමු කියලා මම යෝජනා කරනවා.

සාධාරණ සමාජයක් කියන නම දෙමළට පරිවර්තනය කරෙත් මම. අපි දෙමල ජනතාව විදිහට ජාතික ප්‍රශ්නයට සාධාරණ විසඳුමක් බලාපොරොත්තු වෙනවා. ඒ සඳහාත් සාධාරණ සමාජයක් සංවිධානය පෙරමුණ ගත යුතු යයි මම යෝජනා කරනවා.''

රුවන් විජයවර්ධන

කරු ජයසූරිය හිටපු කතානායකවරයා විසින් දරන උත්සහය වටා සියල්ලන්ම ඒකරාශි වී මේ රට ගොඩනගන්න දායකවීමේ අවශ්‍යතාවය අවධාරණය කරන්න ඕන. ඉතිං ඒ සඳහා අපි සුදුසු ජාතික ප්‍රතිපත්ති මාලවක් නිර්මාණය කරගන්න මේ එකමුතුව මූලිකව යෙදවිය යුතුයි කියලා මම යෝජනා කරනවා.'

එම්.ඒ සුමන්තිරන්

''මේ රටේ ප්‍රමුඛම ප්‍රශ්නයක් මේ රජය අමතක කරනවා. ඒ තමයි දෙමළ ජනතාවගේ ප්‍රශ්නයට සාධාරණ විසඳුමක් ලබාදීම. සාධාරණ සමාජයක් සංවිධානය වහාම මේ සඳහා මැදිහත් විය යුතුයි. ඒ සඳහා පැහැදිලි ස්ථාවරයක් ප්‍රකාශ කලයුතුයයි මම යෝජනා කරනවා.

මේ රටට මෙහෙම ඉදිරියට යන්න බැහැ. මේ රටේ කිසිම ප්‍රශ්නයක් නැහැ මිනිසුන් ලක්ෂ ගණනාවක් මියගිය. මේ රටේ කිසිම ප්‍රශ්නයක් නැහැ දශක දෙකක් මේ රට යුද්ධයක සිර කල. ඒක නිසා අපේ ජනතාවගෙ ප්‍රශ්න ගැන මේ රට සංවේදී විය යුතුයි. අපි පෙබරවාරි මාසයේ මේ ගැන දින පහක පාගමනකුත් සංවිධානය කරා. මේ ගැන ඔබේ සංවිධානය අවධානය යොමු කරනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා.''

කටුනායක ගුවන් තොටුපලේ PCR කිරීම ජර්මන් සමාගමකට !

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණෙන හා ඉන් පිටත්වන මගීන්ගේ පී.සී.ආර්. පරීක්ෂණ පැවැත්වීම ජර්මන් සමාගමකට ලබාදීමට සංචාරක අමාත්‍යාංශය සූදානම් වන බවට තොරතුරු වාර්තා වෙයි.

දැඩි ආණ්ඩු හිතවාදී මාධ්‍ය ජාලයක් වන දෙරණ - අරුණ වාර්තා කර ඇති ආකාරයට පී.සී.ආර්. පරීක්ෂණවලට අමතරව සෙම පටල සාම්පල එකතු කිරීම ද එම සමාගමට පැවරෙන අතර ඉදිරි වසර දෙකක කාලයක් සඳහා අදාළ සමාගමට අවස්ථාව හිමිවෙයි.

අදාළ පුවතේ වැඩිදුරත් මෙසේද සඳහන් වෙයි.

ගුවන් තොටුපොළේ පර්චස් 282ක භූමි භාගයක් මෙම සමාගමට ලබාදීමට ද සැලසුම් කර ඇත. ඒ රසායනාගාරය හා සාම්පල එකතු කිරීමේ මධ්‍යස්ථාන පිහිටුවීම සඳහාය. ඒ සඳහා මාසිකව ඇමරිකානු ඩොලර් දස දහසක මුදලක් මාසිකව අය කිරීමට ද නියමිත බව සංචාරක අමාත්‍යාංශය පවසයි. මෙම සමාගම ජර්මන් සමාගමකි.

දිනකට පී.සී.ආර්. පරීක්ෂණ 6900ක් සිදු කිරීමට නියමිත අතර, පැයකට පරීක්ෂණ 500ක් සිදු කිරීමට සැලසුම් කර ඇත. පී.සී.ආර්. පරීක්ෂණයක මිල ඇමරිකානු ඩොලර් 40කට මිල නියම කර ඇත. 2021 වසරේ ඉදිරි මාස පහ තුළ කටුනායක ගුවන් තොටුපොළට පැමිණෙන හා පිටත්ව යන මගීන්ගේ සංඛ්‍යාව මිලියන දෙකක් පමණ වන බවද ඇස්තමේන්තු කර ඇත.

ඇමති විමල්ගේ ඇමරිකානු විරෝධය සංශෝධනය වෙයි !

කෙරවලපිටිය විදුලි බලාගාරය කොටස් ප්‍රමාණයක් ලබාදෙන්නේ ඇමරිකාවට නොව ඇමෙරිකානු සමාගමකට බව කර්මාන්ත ඇමැති විමල් වීරවංශ අනාවරණය කරයි.

එසේ දෙනු ලබන්නේද මුදල් අමාත්‍යාංශය සතු කොටස් පමණක් බවත් විදුලිබල මණ්ඩලය සතු කොටස් නොවන බවත් අමාත්‍යවරයා පවසා ඇත.

රට මේ මොහොතේ මුහුණ දී ඇති විදේශ විනිමය අර්බුදයට පිළියමක් ලෙස මේ පියවර ගෙන තිබෙන බව ජනාධිපතිවරයා විසින් පැවසූ බව ද ඇමතිවරයා සඳහන් කර ඇති අතර ඒ කහටගහ මිනිරන් පතල නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.

‘ඇමරිකාවට දීමක් නෙවෙයි ඇමරිකානු සමාගමකට දීමක් තමයි ඇත්තටම දීළා තියෙන්නේ. ඇත්තටම මුදල් අමාත්‍යශය සතු කොටස් විතරයි දීල තියෙන නේ. නැතුව විදුලිබල මණ්ඩලය සතු කොටස් නෙවෙයි දීල තියෙන්නේ . රට මුහුණදීලා තියෙන විදේශ විනිමය අර්බුදයට පිළියමක් ලෙස මේ පියවර ගෙන තිබෙන බව තමයි මේක සාධාරණීකරණය කරන්න ජනාධිපතිතුමා කියල තියෙන්නේ ‘ යනුවෙන් එහිදී විමල් වීරවංශ අමාත්‍යවරයා පවසා ඇත.

සංශෝධිත ඇමරිකානු විරෝධය !

අමාත්‍යවරයාගේ මේ අදහස් දැක්වීමෙන් පෙන්නුම් කරන්නේ ඔහුගේ ඇමරිකානු විරෝධය සංශෝධනය කරගෙන ඇති බවයි. කලක් විමල් වීරවංශ ඇතුළු මෙරට ජාතිවාදී පාර්ශව ඇමරිකානු ආණ්ඩුව සහ ඇමරිකානු සමාගම් කියා බෙදීමක් කර විරෝධය දැක්වූයේ නැත. ඔවුන් සිදුකළේ ඇමරිකානු අධිරාජ්‍යවාදය කියා ඇමරිකාවට පමණක් නොව සමස්ත බටහිර රාජ්‍ය සම්බන්ධව විරෝධය දැක්වීමය.

ජාත්‍යන්තරය සමඟ යහපත් සම්බන්ධතා පැවැත්වූ දේශීය දේශපාලනඥයන්ට ගැහුවේ ඇමරිකාවේ දේශීය ඒජන්තයන් කියාය. හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ අධිරාජ්‍යවාදී නියෝජිතයා ලෙස හැඳින්වූයේද , වඩාත් මෑත වකවානුවේ MCC ගිවිසුමක් ගැන කියමින් හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීරටත් ඇමරිකානු චෝදනාව එල්ල කලේද ඒ පදනමින්ය. ඒ විරෝධය රටට හානි කළේ MCC වැනි ඩොලර් මිලියන ගණනක ප්‍රදාන ප්‍රතික්ෂේප කරමිනි.

ඒ පසුබිමේ ඇමති විමල්ගේ මේ ඇමරිකානු විරෝධයේ සංශෝධිත ආකාරය හොඳය. දැන් ඇමරිකාව අකැප වුනාට ඇමරිකානු සමාගම් කැපය. පේන ආකාරයට නම් තවත් ගොඩක් සංශෝධන සඳහා විමල් ඇමති හිත හදාගෙනය.

රිෂාඩ් රෝහලට !

සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් අද (17) පස්වරුවේ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

ඔහුට ඇතිවූ අසනීප තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා මෙසේ රෝහල්ගත කරන ලද බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මන්ත‍්‍රීවරයා රඳවා ගෙන ප්‍රශ්න කරමින් සිටින බව පැවසේ.

කෙසේ වුවත් ඔහුට අදාළ නඩුව විනිසුරුවරුන් ඉල්ලා අස්වීම හේතුවෙන් අඛණ්ඩව කල් යමින් පවතී.

කොතලාවල පනත - ජනාධිපති සම්මත කරනවා කියයි : ජවිපෙ අදත් පාරේ !

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය සම්බන්ධයෙන් වූ පනත ඉදිරියේදී ගෙන එන බවත් රටේ අනාගතය සඳහා ගනු ලබන ප්‍රතිපත්තිමය තීරණවලට ඇතැම් පිරිස් විචාරයකින් තොරව එරෙහිවීම අනාගත පරපුරට කරන බලවත් අසාධාරණයක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි .

බෞද්ධ උපදේශක සභාවේ භික්ෂූන් හමුව අවස්ථාවේ ඔහු මේ බව සඳහන් කර ඇත.

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය කාලයක් පුරා මෙරටට අවශ්‍ය විද්වතුන් විශාල සංඛ්‍යාවක් දායාද කර ඇති බවත් උසස් පෙළ ඉහළින්ම සමත් වන දරුවන් පවා කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය සිය උසස් අධ්‍යාපනය සඳහා තෝරාගැනීමට දැඩි උනන්දුවකින් පෙළඹී සිටින බවත් ජනාධිපතිවරයා එහිදී සඳහන් කර ඇත.

උසස් අධ්‍යාපනය සඳහා තම දරුවන් විදේශ රටවලට යැවීමෙන් රටට සහ දෙමව්පියන්ට අහිමි වන විශාල මුදලක් ඉතිරි කරගැනීමට නම් ඉහළ ප්‍රමිතියෙන් යුත් මෙවැනි විශ්වවිද්‍යාල රට තුළ බිහි විය යුතු බවද ජනාධිපතිවරයා එහිදී සඳහන් කර තිබේ.

ඒ අනුව ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා පනතේ ඇති බාධා ඉවත්කර කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය ඒ යටතට ගෙන එන බවය.

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය සම්බන්ධයෙන් වූ අරමුණු පිළිබඳව ජනතාව දැනුවත් කර සමාජය තුළ පැතිර යන වැරදි මතවාද වැළැක්වීමට පියවර ගන්නැයි මෙහිදී බෞද්ධ උපදේශක සභාවේ භික්ෂූන් වහන්සේලා ජනාධිපතිවරයාට උපදෙස් ලබාදී ඇති බවත් වාර්තා වෙයි.

කෙසේ වෙතත් මෙම පනත ගෙනඑනු ලැබුවේ වත්මන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනාධිපති වත්මන් පොහොට්ටු පක්ෂ මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන එක්ව පිහිටුවා තිබූ ආණ්ඩුව සමයේ වන අතර එම පනතට විරුද්ධව මහින්ද රාජපක්ෂ, දිනේෂ් ගුණවර්ධන, විමල් වීරවංස, උදය ගම්මන්පිල, ප්‍රසන්න රණතුංග, මහින්දානන්ද අලුත්ගමගේ ඇතුළු එම අවස්ථාවේ විපක්ෂයේ සිටි පිරිස දැඩිව කටයුතු කළහ.

කෙසේ වෙතත් මේ වනවිට එම පනත කිසිදු වගන්තියක වෙනසකින් තොරව යළිත් මේ ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.

එහි ඡන්ද විමසීම ඉදිරියේදී පැවැත්වීමටද නියමිතය.

එවැනි පසුබිමක මේ වනවිට රටේ ගුරුවරු, විදුහල්පතිවරු, වෛද්‍යවරු ඇතුළු රාජ්‍ය සේවකයන්, සිවිල් සංවිධාන නියෝජිතයන්, දේශපාලන පක්ෂ කොතලාවල පනට විරුද්ධව විරෝධතා ආරම්භ කර තිබේ.

එමෙන්ම මෙයට විරෝධය දැක්වීමක් ලෙස ගුරුවරු ඔන්ලයින් ඉගැන්වීමේ කටයුතුවලින්ද ඉවත් වී සිටිති.

ජවිපෙ ප්‍රමුඛ ජාතික ජනබලවේගය විරෝධතාවල !

මේ අතර නිදහස් අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමටත්, අධ්‍යාපනය මිලිටරිකරණය කිරීමටත් ගෙන එනු ලබන කොතලාවල පනත හකුළාගන්න ලෙස ආණ්ඩුවට බල කරමින් අද (17) පෙරවරුවේ ජාතික ජන බලවේගය විසින් කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී විරෝධතාවයක් පවත්වන ලදී.

එම අවස්ථාවට ජවිපෙ නායක අනුර දිසානායක, ටිල්වින් සිල්වා, මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය, හිටපු අමාත්‍යංශ ලේකම් අශෝක පීරිස්, නීතිඥ හර්ෂණ නානායක්කාර, මහින්ද රත්නායක ඇතුළු ජාතික ජන බලවේගය නියොජනය කරන පිරිසක් සහභාගී වූහ.

කළකිරුනු SB පරාක්‍රමබාහුට අඳියි !

තමන් අද පාර්ලිමේන්තුවේ පසුපසට තල්ලු වී සිටිය ද මහින්ද රාජපක්ෂ අග්‍ර්‍රාමාත්‍යවරයා ළඟට ජේෂ්ඨත්ත්වයට සිටින්නේ තමා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී SB දිසානායක පවසයි.

ඔහු එසේ සඳහන් කර සිටියේ තම නිවසේ මාධ්‍ය හමුවක් පවත්වමිනි.

එහිදී අද සිටින තත්වය දැන තමන් කලකිරීමකින් සිටින බවද පැවසූ ඔහු එය මහා වේදනාවක් මහ පරාජයක් සේ නොපෙන්වා සිනහවෙන් සිටින බවද පැවසීය.

තමන් විසින් දරන ලද අමාත්‍යාංශයන් සියල්ලම වාර්තා තැබූ බවද පැවසූ ඔහු තමන් කෘෂිකර්ම අමාත්‍ය ධුරය දරන කාලයේ අස්වැන්න දෙවැනි වූයේ මහා පරාක්‍රමබාහු රජුට පමණක් යයිද පැවසීය.

වත්මන් රජය යටතේ තමන්ට සිදු වුයේ අසාධාරණයක් යැයි ද පවසන ඔහු නමුත් ඒ ගැන සැලීමක් නැති බවද කියා සිටියේය.

තමනට අමාත්‍ය ධුරයක් ලබා නොදීම වැරදි බව පෙන්වාදෙන ඔහු තමන් ඒ ගැන විමසා නැති නමුත් ඇමති ධුරයක් ලබා දුන්නොත් භාර ගන්නා බව ද පැවසීය.

SB අනින්නෙත් බැසිල්ට ?

ආණ්ඩුව අභ්‍යන්තරයේ මෙන්ම මෙරට දේශපාලන ක්ශේත්‍රය තුළ ප්‍රසිද්ධ රහසක් වන්නේ පොදුජන පෙරමුණ ආණ්ඩුවේ අමාත්‍ය ධූර බෙදනු ලැබුවේ වත්මන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ බවය.

ඒ අනුව SB මන්ත්‍රීවරයා කළකිරීම එළිපිට දක්වන්නේ බැසිල් රාජපක්ෂ වෙත විය යුතු බව විචාරක මතය වී තිබේ.

කෙසේ වුවත් පසුගිය සමයේ උග්‍ර බැසිල් විරෝධී ස්ථාවරයේ සිටි විමල් වීරවංශ ඇතුළු පාර්ෂවය නිහැඩියාවක සිටින අතර දැන් SB ඒ අඩුව පුරවන්න පැමිණ ඇත්දැයි ද විචාරකයන් සැක සංකා මතුකරයි.

ඔන්ලයින් වැඩවර්ජනය තවදුරටත් ක්‍රියාත්මකයි - ජෝසප් ස්ටාලින්

මේ වන විට ගුරුවරුන් ආරම්භ කර තිබෙන ඔන්ලයින් අධ්‍යාපනය ලබා දීම වර්ජනය කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තවදුරටත් ක්‍රියාත්මක බව ලංකා ගුරු  සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින්  පැවසුවේය.

ඔහු මේ බව සඳහන් කළේ නිරෝධයනයෙන් මුදාහැරීමෙන් අනතුරුව වෘත්තීය සමිති,ශිෂ්‍ය සහ සිවිල් ක්‍රියාකාරිකයින් විසින් අද (17) කොළඹදී කැඳවා තිබුණු මාධ්‍ය හමුවේදීය.

ජෝසප් ස්ටාලින්  ඇතුළු පිරිස මේ වන විට නිරෝධයනයෙන් මුදාහැර ඇති හෙයින් ගුරුවරුන්ගේ ඔන්ලයින් වැඩවර්ජනය අවසන් කරන්නේද යන්න මාධ්‍යවේයෙකු නැගූ ප්‍රශ්නයට පිළිතුරු ලෙසයි ඔහු එසේ පවසා සිටියේ.

අධ්‍යාපන අමාත්‍යාංශයට කිසිදු වැඩපිළිවෙලක් නොමැති මොහොතක ගුරුවරු තමන්ගේ අතින් වියදම් කරගෙන මෙම ඔන්ලයින් අධ්‍යාපන දරුවන්ට ලබා දුන්නද එමඟින් අධ්‍යාපන ලැබීමට හැකි වූයේ 40%ක පමණ දරුවන් පිරිසකට බවත් 60%කට පමණ කිසිදු අධ්‍යාපනයක් නොලැබුණු බවත් ස්ටාලින්  ප්‍රකාශ කළේය.

එමෙන්ම ගුරු හා විදුහල්පති වැටුප් විෂමතා ප්‍රශ්නයටද තවදුරටත් විසඳුම් ලැබී නැති අතර එම ප්‍රශ්නද මුල් කරගනිමින් මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක බව ජෝසප් ස්ටාලින්  සඳහන් කරන ලදී.

මෙපමණක් නොව ඉරිදියේදී තවත් වෘත්තීය සමිති ක්‍රියාමර්ග ඉදිරිපත් කරන බවද ඔහු කියාසිටියේය.

මේ අතර කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පතට විරෝධය පළ කරමින් ජාතික ජනබලවේගය අද (17) කොළඹදී විරෝධතාවක් සංවිධානය කර තිබුණි.

කොළඔ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී එම විරෝධතාවය පැවැත්වුණි.

කොතලාවල විශ්වවිද්‍යාලය ප්‍රතිපාදන කොමිසම යටතට ගේනවා - ජනපති

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා පනතේ ඇති බාධා ඉවත් කර කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය ඒ යටතට ගෙන එන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  පවසයි.

= ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, බෞද්ධ උපදේශක සභාව ඊයේ(16) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ රැස්වූ අවස්ථාවේදී ය.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, කොඩිඩ් එන්නත්කරණය ඇතුළුව රජය ගෙන යන වැඩපිළිවෙළ සහ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත පිළිබඳව මහා සංඝරත්නය දැනුවත් කිරීම මෙහි අරමුණ වූ බවය.

රටේ අනාගතය සඳහා ගනු ලබන ප්‍රතිපත්තිමය තීරණවලට ඇතැම් පිරිස් විචාරයකින් තොරව එරෙහි වීම අනාගත පරපුරට කරන බලවත් අසාධාරණයක් බව ද ජනාධිපතිතුමා එහිදි පෙන්වා දී තිබේ.

උසස් අධ්‍යාපනය සඳහා තම දරුවන් විදේශ රටවලට යැවීමෙන් රටට සහ දෙමව්පියන්ට අහිමි වන විශාල මුදලක් ඉතිරි කර ගැනීමට නම් ඉහළ ප්‍රමිතියෙන් යුතු මෙවැනි විශ්වවිද්‍යාල රට තුළ බිහි විය යුතු බව ජනාධිපතිවරයා සඳහන් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය.

ජනාධිපතිවරයා පැවසුවේ, එන්නත්කරණ වැඩසටහන යටතේ අගෝස්තු මාසය අවසන් වීමට පෙර අවුරුදු 30 ට වැඩි සියලු දෙනාට මාත්‍රා දෙකම ලබා දී අවසන් කළ හැකි බවය.

ශ්‍රී දළඳා මාළිගාවේ පෙරහැර මංගල්‍යට පෙර මහනුවර දිස්ත්‍රික්කයේ එන්නත්කරණය අවසන් කිරීමට අපේක්ෂා කරන බව ද ජනාධිපතිවරයා කියා සිටියේ ය.

ලෝක සෞඛ්‍ය සංවිධානය මෙරට එන්නත්කරණ වැඩසටහන ඇගයීමට ලක් කර ඇති බව ද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කර තිබේ.

ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ එන්නත්කරණයෙන් දකුණු ආසියාවේ ඉදිරියෙන්ම සිටින රට බවට ශ්‍රී ලංකාව පත් වී ඇති බවය.

මොඩර්නා එන්නත් ලක්ෂ 15 ක් ශ්‍රි ලංකාවට

කොවැක්ස් පදනම හරහා ඇමරිකානු රජය විසින් ශ්‍රී ලංකාවට ප්‍රදානයක් ලෙස ලබාදෙන මොඩර්නා එන්නත් මාත්‍රා ලක්ෂ 15 ක තොඟය ඊයේ දින (16) පෙරවරුවේ ශ්‍රී ලංකාවට ගෙන එන ලදි.

කටාර් එයාර්වේස් ගුවන් සේවයට අයත් QR 0664 ගුවන් යානයෙන් ඊයේ පෙරවරු 9.00 ට කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපලෙන් මෙරටට ගෙන එන ලද මෙම මොඩර්නා එන්නත් තොඟය බාර ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි  කටුනායක ගුවන් තොටුපල වෙත පැමිණ සිටියාය.

ඇමරිකානු රජය නියෝජනය කරමින් ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිය වන ඇලයිනා බී. ටෙප්ලිට්ස් (Alaina B. Teplitz)  සහ අන්තර්ජාතික සංවර්ධනය සදහා වූ එක්සත් ජනපද ආයතනය (USAIDS) අධ්‍යක්ෂ රීඩ් ඇච්ලිමන්  (Mr. Reed Aeschliman), ඇමරිකානු තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානී සූසන් වෝක් (Mr. Susan Walke) යන අය පැමිණ සිටියහ.

මෙහිදී ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිය වන ඇලයිනා බී. ටෙප්ලිට්ස්  විසින් එන්නත් තොඟය නිල වශයෙන් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි ‍ වෙත බාරදුන් අතර, මෙම අවස්ථාවට ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන, සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග , ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා නේවාසික නියෝජිත වෛද්‍ය අලාකා සිං  සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් විශේෂඥ වෛද්‍ය ලක්ෂ්මි සෝමතුංග ද සහභාගි විය.

මෙම අවස්ථාවේ දී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරිය - “කොවිඩ් - 19 වසංගතය පාලනය කිරිමට වැදගත්වන එක් ක්‍රියාමාර්ගයක් ලෙස එන්නත් ලබාදීම අප රටට මහගු අවස්ථාවක්. ලෝකයේ තිබෙන ඕනෑම එන්නතක් ලංකාවේ සුළබ කර ගැනීමට හැකියාව ලැබුනා. ලෝකයේ තිබෙන සෑම එන්නතක්ම අද ලංකාවේ ජනතාවට ලබාදෙන්න පුළුවන්කම ලැබුනේ අතිගරු ජනාධිපතිතුමාගේ මැදිහත්වීමෙන් කටයුතු කළ නිසා. අප විශ්වාස කරනවා මාස දෙක තුනක් ඇතුලත මෙරට ජනතාව සම්පූර්ණයෙන් එන්නත් කරලා ඉවර කරන්න පුළුවන් වෙයි කියලා. කොවිඩ් පදනම හරහා ඇමරිකානු රජයෙන් ලබාදුන් මෙම මොඩර්නා එන්නත් මාත්‍රා ලක්ෂ 15 න් 750,000 කට පළමු මාත්‍රාව ලෙසත්, ඉතිරි මාත්‍රා 750,000 දෙවන මාත්‍රාව ලෙසත් ජනතාවට ලබා දීමට කටයුතු කරනවා”

=01 4

=

මහින්දානන්දට නිරෝධායන නීති නැවෙයි !

නාවලපිටිය නගර සභාවේ බලය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් අත්පත් කරගැනීමත් සමග ඊයේ (15) දිනයේදී අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ඇතුළු එම පක්ෂයේ ආධාරකරුවන් නාවලපිටිය නගරයේ පෙළපාලි යමින් ජයග්‍රහණය සමරා තිබේ.

මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකරත් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චිත් පසුගියදා පැවසුවේ නිරෝධායන නීතිය කාටත් පොදු බවයි. එය කවුරුන් වෙනුවෙන්වත් වෙනස් කළ නොහැකි බවද ඔවුන් පවසා තිබුණි.

මැති ඇමතිවරු කුමක් කීවද ආණ්ඩුවේ හිතවතුන්ට පමණක් බල නොපාන තම අයිතිය වෙනුවෙන් හඬ නගන පිරිස් වෙත පමණක් බලපාන අමුතු නීති ගොඩක් ඇති බව මේ අනුව පැහැදිලි වේ. සැබෑ ලෙසම එක රටක් – එක නීතියක් නොව, ආණ්ඩුවට පක්ෂ අයට එක නීතියක් විපක්ෂ අයට තව නීතියකුත් ක්‍රියාත්මක වෙන බව පැහැදිලි වේ.

nawalapitiya slpp parade

lanka views

ආණ්ඩුවේ අය දන්නේ තමන්ට මුදල් සොයා ගන්න - හඳුන්නෙත්ති

මුදල් හොයන්න දන්නා බව කියා සිටියද ආණ්ඩුවේ අය දන්නේ තමන්ට මුදල් සොයා ගන්න ක්‍රමය විතර යැයි ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති සඳහන් කරයි.

ඔහු මේ බව පැවසූවේ ඊයේ (15) පැලවත්ත බත්තරමුල්ල හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිණි.

“මේ වනවිට අපේ රටේ විදේශ විනිමය සහ විදේශ වත්කම් පිළිබඳව බරපතළ අර්බුදයක් ඇතිවී තිබෙනවා. මේ නිසා අත්‍යාවශ්‍ය ආනයනයන් සහ ණය ගෙවීම්වලට දැඩි බලපෑම් සිදුවී තිබෙනවා. ආණ්ඩුව බලයට පත්වන විට විදේශ විනිමය හොයන ක්‍රමය අපි දන්නවා කියලා කිවුවා. ඔවුන් පැහැදිලිව කීවේ, “අපි මුදල් හොයා ගන්න විධිය දන්නවා” කියලා. මුදල් රාජ්‍ය ඇමති අජිත් නිවාඩ් කබ්රාල් මහත්තයාත් අවස්ථා ගණනාවකදීම මුදල් අර්බුදයක් නැති බව කිවුවා. තව ඇමතිවරුන් කිහිප දෙනෙක්ම ඒ අනුව යමින් මත පළ කළා. අපිට පේන දේ, අගමැතිවරයා, ජනාධිතිවරයා සහ අලුත් මුදල් ඇමතිවරයා මුදල් හොයන විධිය දන්නවා කියලා කීවාට ඔවුන් කියලා තියෙන්නේ ඔවුන්ට පුද්ගලිකව මුදල් හොයාගන්න විධිය ගැන. නමුත් රටට, රටේ ණය ගෙවන්න මුදල් හොයන විධිහ ගැන ඔවුන්ට අවබෝධයක් තියෙනවාද කියලා ප්‍රශ්නයක් අපට තිබෙනවා." යයිද ඔහු පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු මෙසේද පැවසීය.

ඔවුන් දිගින් දිගටම කියන්නේ කොරෝනා වසංගත තත්වය නිසා මේ අර්බුදයට පත්වුණු බවයි. නමුත් ඉතිහාසයේ ඉඳලා සහන ණය ගනිමින් ඉඳලා 2007න් පස්සේ සංවර්ධන බැඳුම්කර සහ ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර වෙළඳපොළෙට ගිහින් ඉහළ පොලී අනුපාතවලට ආණ්ඩුව ණය ගත්තා. ඒ ණය ආයෝජන ප්‍රතිලාභ ශක්‍යතාවය හරියට ගණනය නොකළ නිසා ඉහළ පොලියක් එක්ක ණය අද ගෙවන්න වෙලා තියෙනවා. අපේ රටේ ජනතාවට තමයි, මේ සියල්ලේ බර දරන්න සිද්ධ වෙලා තියෙන්නේ. ජූලි මාසේ 09වැනිදා මහ බැංකුව නිකුත් කළ සතිපතා ආර්ථික දර්ශක වාර්තාව අනුව ජූනි මාසයේ අවසානයේදී විදේශ වත්කම් සංචිතය ඩොලර් බිලියන 04යි. මෙයින් ඩොලර් මිලියන 381ක් රත්‍රං හැටියට තියෙන්නේ. ජාත්‍යන්තර අරමුදලේ සංචිත හැටියට කොටසකුත් වත්කම් හැටියට ඩොලර් බිලියන 3.5ක් තියෙනවා. මේ ආණ්ඩුව පහුගිය කාලයේ අපේ රත්‍රං සංචිතයේ ටොන් 13න් ටොන් 09ක් විකිණුවා. දැන් ප්‍රශ්නය තියෙන්නේ ජූලි 27 වනවිට ඩොලර් බිලියනයක ස්වෛරීත්ව බැඳුම්කරයක් පියවන්න ඕනෑ. ඒ වගේම අගෝස්තු අවසන් වනවිට තවත් ඩොලර් බිලියන 2.2කුත් ගෙවන්න වෙනවා. මේ මුදල ගෙවලා අවසාන වෙනකොට ඉතිරි වෙන්නේ ඩොලර් බිලියන 1.7ක් විතර ප්‍රමාණයක්.

තෙල් නැව් ආවට ගෙවන්න සල්ලි නෑ !

හැබැයි ආහාර ආනයන කටයුතුවලට, බැංකු කටයුතුවලට, තෙල් ආනයනයට ඩොලර් ඕනෑ. පසුගිය 05වැනිදා මෙරටට ආව බොරතෙල් නැව නිදහස් කර ගැනීමේ ගැටලුවක් මතුවුණා. මේ 22වැනිදා පෙට්‍රල් නැවක් එනවා. සැබැවින්ම මේවාට ගෙවීම් කරන්න රාජ්‍ය බැංකුවල විදේශ වත්කම් හිඟයක් තිබෙනවා. ණයවර ලිපි නිකුත් කිරීමේදී ගෙවීමේ හැකියාව පිළිබඳව ඩොලර් වෙන් කරලා බැංකුවලින් පෙන්වන්න ඕනෑ. නමුත් අද වෙලා තියෙන්නේ සාමාන්‍ය කොන්දේසි යටතේ එන නැව්වලට ණයවර ලිපි නිකුත්කර ගන්න බැරි වීමයි. ඉදිරියේදී මේ අවදානම තවත් බරපතළ වෙනවා. ඊට ප්‍රධාන හේතුව තෙල් සංස්ථාව ලංකා බැංකුවට සහ මහජන බැංකුවට 2021 මැයි මාසය වනවිට ඩොලර් බිලියන 3.3ක ඩොලර් ණයක් තියෙනවා. රුපියල්වලින් ගත්තොත් බිලියන 652ක්. ලංකා බැංකුව නැත්නම් මහජන බැංකුව තෙල් සඳහා ගෙවීම් කළ යුත්තේ ඩොලර්වලින්. තෙල් අලෙවි කරලා ඛනිජ තෙල් සංස්ථාව රුපියල්වලින් ආදායම් ලැබුවත් බැංකුවලින් ඩොලර් බවට පත්කරගෙනයි ජාත්‍යන්තර සැපයුම්කරුවන්ට ගෙවිය යුත්තේ. අපේ රටේ බැංකු පද්ධතිය රැඳෙන්නේ විදේශ වත්කම් ප්‍රමාණය මත. පෞද්ගලික ගිණුම්වල තියෙන විදේශ මුදල්, අපනයනකරුවන් තැන්පත් කරන මුදල් සහ බැංකුවට ලැබෙන අනිකුත් විදේශ විනිමයවලින් තෙල් සංස්ථාව වෙනුවෙන් ඇපවීම් කරන්න බැංකු පද්ධතියට හැකියාවක් නැහැ. රුපියල්වලින් මහ බැංකුවට දීලා ඩොලර් නිකුත් කිරීමේ හැකියාවක් මහ බැංකුවටත් නැහැ.

බැංකු දැන් කරන්නේ විදේශ ගිණුම් පවත්වාගෙන සාමාන්‍ය ජනතාවගේ සහ අපනයනකරුවන්ගේ ගෙවීම් නොකර තෙල් සඳහා ගෙවීම් කරන එක. එහෙම නැත්නම් තෙල් සඳහා ගෙවීම් නොකර බැංකුව පවත්වාගෙන යන එක. තෙල් වෙනුවෙන් ලංකා බැංකුවත් මහජන බැංකුවත් විතරක් ඩොලර් බිලියන 3.3ක් හිරකරලා තියෙනවා. මහජන බැංකුව ණයවර ලිපි සඳහා ඇපවීම් නතර කරලා තියෙන්නේ. මේ නිසා භාණ්ඩ ආනයනකරුවන්ට සහ සාමාන්‍ය ජනතාවට විශාල විදේශ විනිමය හිඟයක් ඇතිවෙලා තියෙනවා. කොතරම්ද කියනවා නම් ජාත්‍යන්තරව පවත්වන විභාගයකට මුදල් නිදහස් කරගන්න සතියකට කලින්වත් ඩොලර් ඉල්ලුම් කරන්න සිදුවී තිබෙනවා. ණයවර ලිපියක්වත් නිකුත් කරන්න බැරි මට්ටමේ විදේශ වත්කම් හිඟයක් දේශීය බැංකු පද්ධතියට තියෙනවා. ඉන්ධන ආනයනයේදී ඩොලර් බිලියන 3.3ක් පියවපු නැති එක ප්‍රධානම ප්‍රශ්නයක් වී තිබෙනවා. විදේශ විනිමය ඉල්ලුම් කළාට පුද්ගලයින්ට හෝ ව්‍යාපාරික ආයතනවලට විදේශ විනිමය නිකුත් කිරීමේ අර්බුදයක් බැංකුවලට ඇතිවී තිබෙනවා.

ඒ වගේම ණය ගෙවීම පිළිබඳව ඩොලර් අර්බුදයක් තවත් පැත්තකින් තීව්‍ර වී තිබෙනවා. ලෙබනනය මේ තත්වයට වැටී තිබෙනවා. ඒ අර්බුදයම ඉතාම නුදුරේදී අපට ඇතිවීමේ අවදානම තිබෙනවා. ලෙබනනයේ දිනපතා විශාල වශයෙන් විදුලිය කප්පාදු කරනවා. ඔවුන් විදුලිය මිලදී ගන්නේ සමාගම්වලින්. ඒ සමාගම්වලට ඩොලර් බිලියන 1.6ක් වගේ මුදලක් ගෙවන්න විදේශ වත්කම් නැතිව ණය වෙලා තියෙනවා. අද අපටත් ඒ තත්වය ඇතිවෙමින් තිබෙනවා. විදේශ විනිමය අර්බුදය නිසා ඉන්ධන ලබාගැනීම, විදුලි බලාගාර පද්ධතීන් ක්‍රියාත්මක කිරීම, ගෑස් පද්ධතීන් ක්‍රියාත්මක කිරීම අනතුරකට පත්වී තිබෙනවා. මේවා විදේශ සමාගම්වලට විකිණීමේ සූදානමක් ආණ්ඩුවට තියෙනවා. මේ අර්බුදය විසඳා ගැනීමේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති සහ ක්‍රියාමාර්ග පැහැදිලිව රටට හෙළිකළ යුතුයි. ආනයනයේ සීමා කිරීමේ ක්‍රියාමාර්ගයක් ආණ්ඩුව ගත්තා. අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ සහ කහ වැනි ආහාර ද්‍රව්‍ය පවා ආනයනය නතර කළා. ඉදිකිරීම් උපාංග ආනයනය සීමා කළා. ඒ වගේම අපනයනවලින් 80%ක් විතර නිෂ්පාදනය කරන අන්තර් භාණ්ඩ ආනයනය සීමා කර තිබෙනවා. මේ සියල්ල තුළින් ඩොලර් අර්බුදය විසඳාගන්න බැහැ. ඉදිරි මාස කිහිපයේදී නව මුදල් ඇමතිවරයා කටයුතු කරන්නේ කොහොමද කියලා පැහැදිලි කළ යුතුයි. ඔහු ඇමරිකානු තානාපතිවරිය ඇතුළු තානාපතිවරුන් කිහිප දෙනෙක් හමුවී සාකච්ඡා කළා. මේ අනුව අනුගමනය කරන ක්‍රියාමාර්ග මොනවාද කියලා ජනතාවට පැහැදිලි කරන්න වගකීමක් ආණ්ඩුවට තියෙනවා.

බළලුන් ළවා කොස් ඇට බාවන වර්ගයේ ක්‍රියාමාර්ග !

හැබැයි දැන් වෙනකොට ආණ්ඩුව අරගෙන තියෙන සමහර ක්‍රියාමාර්ග බළලුන් ළවා කොස් ඇට බාවන වර්ගයේ ක්‍රියාමාර්ග. ජූලි මාසයේ 08වැනිදා ආණ්ඩුව වෙනුවෙන් මහ බැංකුව නිකුත් කළ නිවේදනයකින් ද්විතීයික වෙළඳපොළේ ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරවල ආයෝජනය කිරීමට දේශීය මූල්‍ය සමාගම්වලට අවසර දුන්නා. එහෙම නම් ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර වෙළඳපොළෙන් තමන්ට ණය ගන්න බැරි බව ආණ්ඩුව පිළිගෙන ඉවරයි. රටක් හැටියට වැටිලා තියෙන තැනයි ඒකෙන් පේන්නේ. නමුත් ද්විතියික වෙළඳපොළේදී මූල්‍ය සමාගම් මැදිහත්වීම තාවකාලික උත්තරයක් තමයි. හැබැයි ඒ ගන්න ණයවලින් 50%ක් ආණ්ඩුවට සපයන අතරේ ඉතිරි 50% ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කරවල ආයෝජනය කරන්න ඕනෑ. හැබැයි අවසානයේදී මේ සියලු ණය රටක් හැටියට ඩොලර්වලින් ගෙවන්න වෙනවා. ආණ්ඩුව හැටියට විදේශයන්ගෙන් ණය ගැනීම අඩු වුණාට රටක් හැටියට ණය ගැනීම් වැඩි වෙනවා. රට හැටියට ආණ්ඩුව ගත්තත් මූල්‍ය සමාගම් ගත්තත් අවසානයේ රටක් හැටියට අපේ ඩොලර් ණය පංගුව වැඩි වෙනවා. ආණ්ඩුව බළලුන් ළවා කොස් ඇට බාවන මේ ක්‍රියාමාර්ගවලින් රටේ විදේශ ණය උගුල ලිහිල් වෙන්නේ නැහැ. ඒවා පොලිය සමග ආපසු ගෙවන්න වෙනවා. මේ මොහොතට අදාළ තාවකාලික උත්තරයක් වුණාට රටක් හැටියට දැවැන්ත අර්බුදයක් නිර්මාණය වෙනවා.

මේ තුළ ආණ්ඩුව බලශක්තිය වැනි ජාතික ආරක්‍ෂාවටත් බලපාන සම්පත් විකිණීමට යොමුවී තිබෙනවා. කෙරවලපිටිය යුගදනවි බලාගාරය ඇමරිකානු සමාගමකට දෙන්න කටයුතු කරන්නේ මේ නිසා. පවතින බලාගාරය වගේම ඉදිකිරීමට නියමිත බලාගාරයත් ඒ ආශ්‍රිත සියලු ව්‍යාපෘතිත් ටෙන්ඩර් කැඳවීමකින් තොරව ඇමරිකානු සමාගමකට දෙන්න යනවා. රටේ ආරක්‍ෂාව අවදානමකට තබා අනාගත පරම්පරාවට භුක්ති විඳින්න තියෙන වටිනා සම්පත් ඩොලර් වෙනුවෙන් විකුණන්න කටයුතු කර තිබෙනවා. ඩොලර් හැටියට මොන පදනමකින් මේ මුදල් ලැබෙනවාද කියලාවත් විශ්වාසයක් නැහැ. රාජපක්‍ෂ ව්‍යාපාර සමාගමේ පෞද්ගලික දේපළ හැටියට සලකලා අපේ රටේ සම්පත් විකුණන එක ආණ්ඩුවේ ප්‍රතිපත්තිය වෙලා. මේ තාවකාලික උත්තරවලින් අපට අවසානයේ රටක් ඉතිරි වෙන්නේ නැහැ. ඒ නිසා අපි ආණ්ඩුවට බල කරනවා, රටේ ජනතාවත්, රටේ සම්පතුත්, රටේ ආරක්‍ෂාවත් අනතුරේ නොහෙළා රටට වගකීම් සහගත ප්‍රකාශයක් කරන්න කියලා. විදේශ විනිමය අර්බුදය සම්බන්ධයෙන් ආණ්ඩුවේ ප්‍රතිපත්තිය සහ ඉදිරි වැඩපිළිවෙළ පැහැදිලි කළ යුතුයි. මේ රටේ ව්‍යාපාරිකයින්, කර්මාන්තකරුවන්, ජනතාව යන හැම දෙනාටම ඒක දැනැගැනීමේ අයිතියක් තියෙනවා. හේතුව, මේ හැම ඩොලරයක් වෙනුවෙන්ම අවසානයේ බදු ගෙවන්නේ අපේ රටේ ජනතාව. ඒ නිසා ආණ්ඩුව වහාම ඩොලර් අර්බුදය පිළිබඳව රටට පැහැදිලි ප්‍රකාශයක් කළ යුතුයි.”

මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්…

“ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර නිකුත් කරන්න පටන් ගත්තේ 2007දී. 2015 ඉඳලා 2019 දක්වා ඩොලර් බිලියන 13කට වැඩිය නිකුත් කරලා තියෙන්නේ රනිල් වික්‍රමසිංහ-මෛත්‍රීපාල සිරිසේන ආණ්ඩුව කාලයේ. 2030දී ඩොලර් බිලියන 15ක් ගෙවන්න වෙනකොට එයින් ඩොලර් බිලියන 13ක් විතර ගෙවන්න තියෙන්නේ ඒ කාලයට අදාළව. ඒ ගොල්ලෝ දැන් කියනවා අයි.එම්.එෆ්. එකට යන්න ඕනෑ කියලා. එදත් එහෙනම් යන්න තිබුණනේ. එතැනත් අර්බුදයක් තිබෙනවා. සහනාධාර අඩු කරන්න ආදායම් වැඩි කරගන්න කියලා ඒ වගේම වෙළඳ ශේෂ හිඟය අඩුකර ගන්න උපදෙස් දෙනව. කොහොම ගත්තත් අවසානයේ මේ රටේ ජනතාවටම තමයි ගෙවන්න සිද්ධ වෙන්නේ. අද තෙල් මිල දරාගන්න බැරි ජනතාවට, අද බදු බර දරාගන්න බැරි ජනතාවට, අද බඩු මිල දරාගන්න බැරි ජනතාවට අනිවාර්යයෙන්ම මේ බරත් පැටවෙනවා. මේ වෙලාවේ ප්‍රශ්නය තියෙන්නේ ආණ්ඩුව ඉස්සරහ. බැසිල් රාජපක්‍ෂ මහත්තයා මුදල් ඇමති වුණා කියලා විශ්වකර්ම පාන්න බැහැ කියලා අපි පැහැදිලිවම අවධාරණය කළා. ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයා ජනාධිපති වුණාම මැජික් පෙන්වන්න පුළුවන් කියලා හිතපු අය අද කියන්නේ බැසිල් රාජපක්‍ෂ මහත්තයා මුදල් ඇමති වුණාම මේ ප්‍රශ්න විසඳනවා කියලා. එහෙම නම් බැසිල් රාජපක්‍ෂ මුදල් ඇමතිතුමා එයාගේ ඇමරිකන් ක්‍රමය පාවිච්චි කරලා හරි ගන්න ක්‍රියාමාර්ග රටට කියන්න ඕනෑ. ආණ්ඩුවට උත්තර නැහැ. එහෙට මෙහෙට බෝලේ පාස් කරනවා විතරයි.

අපේ රට මේ ණය උගුලේ හිර කරලා තියෙන්නේ ඔය පක්‍ෂ දෙකම. 1948 නිදහස ලබනකොට අපේ රටේ මේ ණය අර්බදයක් තිබුණේ නැහැ. අපි සහන පදනමට ණය ගත්ත රටක්. හැබැයි 2000 අවුරුද්දෙන් පස්සේ වෙනස් වුණා. 2000දී සහනදායි විදේශ ණය රුපියල් බිලියන 535ක් තිබුණා. සහනදායි නොවන විදේශ ණය තිබුණේ බිලියන 6.91ක් පමණයි. සහනදායි නොවන ණය මුලු විදේශ ණය පංගුවෙන් 1.28යි. හැබැයි 2020 වෙනකොට සහනදායි විදේශ ණය රු. බිලියන 2988යි. සහනදායී නොවන විදේශ ණය රු. බිලියන 3064යි. සමස්ත විදේශ ණයවලින් සහනදායී නොවන විදේශ ණය 50.63%ක්. රටක ආයෝජන සහ තාක්‍ෂණ අවශ්‍යතා වෙනුවෙන් ණය ගන්න එක අපරාධයක් නෙවෙයි. හැබැයි ණයත් ගෙවලා, පොලියත් ගෙවලා රටේ ජනතාවට යහපතක් කරන්න තියෙන සැලසුම මොකක්ද කියලා මූලිකවම බලන්න ඕනෑ. ඉහළ පොලියට ස්වෛරීත්ව බැඳුම්කරවලින් ණය අරගෙන මහ පොළොව යටට දාලා කොමිස් ගැහුවා. හොරකම් කරන්න පහසු මාර්ගවල ගිහින් අපි රටක් හැටියට දැන් අසරණ කරලා තියෙන්නේ. එක්සත් ජාතික පක්‍ෂ පාලනයත් වර්තමාන පාලනයත් අනිවාර්යයෙන්ම මේකට වගකියන්න ඕනෑ. මේවා මේ රටේ ජනතාව ගත්ත ණය නෙවෙයි. අපේ රටේ ජනතාව ණය ගන්න බයයි. ඒ වගේම ගත්ත ණය ගෙවන්න වෙන්නේ ඔවුන්ට. පාලකයෝ ණය වෙන්න බය නැහැ. එක යුගයක් තිබුණා ‘අපේ ආණ්ඩුවට කලින් ආණ්ඩුවට වඩා වැඩියෙන්ම ණය වෙනවා, වැඩියෙන්ම ණය ගැනීමේ හැකියාව තියෙනවා.’ කියලා ණය ගැන පම්පෝරි ගහපු ඉතිහාසයක් තියෙනවා. අද තමයි ණය අර්බුදයක් ගැන කියන්නේ. ණයවල බර සාමාන්‍ය ජනතාව පිට පටවමින් ණය අර්බුදයක් ගැන කියනවා. විදේශ ණය පංගුවත් පටවන්නේ සාමාන්‍ය ජනතාව මතම තමයි.

අපේ රටේ වටිනාම විදේශ සම්පත් විකුණන්න සූදානම් වෙනවා. ත්‍රිකුණාමලය තෙල් ටැංකි, විදුලිබල උත්පාදනය, ඉන්ධන සැපයීමත් විකිණීමට සූදානම් වෙනවා. කොළඹ නගරයේ වටිනාම ඉඩම් සෙලෙන්දිවා සමාගම හරහා විකිණීමට සූදානම් වෙනවා. අපට ණය ගෙවාගන්න බැරි නිසා එන ඕනෑම කෙනෙකුට සම්පත් දීලා නිදහස් වෙන්න වෙනවා කියලා තර්කය හදනවා. ණය අර්බුදයකට රටක් පත්වුණාට පස්සේ නොකරන දෙයක් නැහැ. විශේෂයෙන්ම විදේශ ණය අර්බුදයකට පත්වුණහම ඉටු දෙවිවරු වගේ එන අය ඉන්නවා. ඒ අය එන්නේ උදව් කරන මුවාවෙන්. හැබැයි එන්නේ අපේ රටවල තිබෙන වටිනාම සම්පත් ටික මංකොල්ලකන්න. ඒ මංකොල්ලයට දීලා කොමිස් ගන්න බලාගෙන කට්ටියක් ඉන්නවා. ආණ්ඩුව ඇතුළේ ඒ අය ඕනෑ තරම් ඉන්නවා. අද වෙනකොට හැම ව්‍යාපෘතියකින්ම තමන්ගේ පංගුව බේරගන්න ආණ්ඩුව තුළ තරගයක් ඇතිවී තිබෙනවා. රටේ ජනතාව ගැන කැක්කුමකින් නෙවෙයි ඔවුන් කත කරන්නේ. විදේශ විනිමය ඉතිරි කරමු කියලා අපිට කියලා ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට වාහන ගේන්න සූදානම් වුණා. සියලුම දෙනා විශාල වශයෙන් අරගල කරලයි තාවකාලිකව හරි නතර කර ගත්තේ. ඒ ගොල්ලන්ට කැක්කුමක් තියෙනවා නම් මුලින්ම ආදර්ශයක් දෙන්න ඕනෑ. එහෙම ආදර්ශයක් ආණ්ඩුවේ කවුරුවත් දීලා නැහැ.”

සනත් නිශාන්ත රිසාල්ට් කියූ පරීක්ෂණ කවුද කළේ ? රවී කුමුදේශ්

කොවිඩ් ප්‍රභේද හැදුනා ගැනීමට ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයට පවා හැකියාවක් නොමැතිව තිබිදී, සනත් නිශාන්ත මන්ත්‍රීවරයා අනීතිකව නිරෝධායනයට ලක්කර සිටින වෘත්තීය සමිති ක්‍රියාකාරිකයිගේ ඩෙල්ටා ප්‍රභේදය ඇති බව හොයා ගනු ලැබූ පරීක්ෂාව රටට හෙලි.කල යුතු සෞඛ්‍ය අංශ අභියෝග කරයි.

මේ බව සඳහන් කරමින් වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් පෙන්වා දෙන්නේ වසංගත විද්‍යාවට සම්පූර්ණයෙන්ම පටහැනි විදිහට, නිරෝධායන නීතීයට පාවිච්චි කර මර්දනය ගෙන ඒමට ආණ්ඩුවට ලණු දීපු සමහර දේශපාලකයින්, වැරැද්ද නිවැරදි කිරීම වෙණුවට රටට විහිළු සපයමින් සිටීම ඛේද ජනක බවය.

ජෝශප් ස්ටාලින් ඇතුලු කණ්ඩායමේ සියළු PCR පරීකෂණ යාපනය ශික්ෂණ රෝහලේ අනුක රසායනාගාරය මගින් සිදු කරන ලද අතර, ඒ සියළු පරීක්ෂණ මගින් කිසිවෙක් හෝ ආසාධිත නොවන බව තහවුරු කර දින හතරකට පසුව සනත් නිශාන්ත මන්ත්‍රීවරයා අර අදින්නේ කුමකට යන්න පැහැදිළි නැති බවත් ඔහු පවසයි.

නමුත් මෙම ව්හිළු සැපයීම දිගින් දිගට සිදුවීම මගන් වසංගත පාළණය අයාලෙව් යෑම නොවැලැක්විය හැකි බැවින්, කිසිදු ආසාධනයක් නොමැති පුද්ගලයින් නිරෝදායන මාද්‍යස්ථානවල හිර කර තබමින් සිදුකරන ලද වරද ආණ්ඩුව වහා නිවැරදි කල යුතු බවත් ඔහු පෙන්වාදෙයි.

මර්දනයට එරෙහිව : ලෝක වෘත්තීය සමිති සම්මේලනයෙනුත් නිවේදනයක් !

රඳවාගෙන සිටින වෘත්තීය සමිති සහ සෙසු ක්‍රියාකාරින් වහාම නිදහස් කරන ලෙසට ලෝක වෘත්තීය සමිති සම්මේලනය ඉල්ලා විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත.

මෙම මර්දන ක්‍රියාව ශ්‍රී ලංකා රජය විසින් මූලික මිනිස් අයිතිවාසිකමක් කඩකිරීමක් බවට අර්ථ නිරූපනය වී ඇති අතර නිරෝධායන නීති වලට මුවා වී මෙලෙස පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරන රටක් බවට ශ්‍රී ලංකාව නාමකරණය වීම ලෝකය ඉදිරියේ අප රටත්, එහි පුරවැසියනුත් හෑල්ලූවට ලක්කරවීමක් බව අන්තර් සමාගම් සේවක සංගමයද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලිපියක් යොමුකරමින් පෙන්වාදී ඇත.

අන්තර් සමාගම් සේවක සංගමය වෙනුවෙන් එහි ප්‍රධාන ලේකම් නීතිඥ ජානක අධිකාරි සහ සභාපති වසන්ත සමරසිංහ විසින් මෙම ලිපිය ජනාධිපතිට යොමුකර ඇත.

ලෝක වෘත්තීය සමිති සම්මේලනය නිකුත්කළ ලිපිය පහත දැක්වෙයි.

wftu

මර්දනය හකුළයි : දුමින්දත් නිදහස් කරයි !

අධිකරණයෙන් ඇප මත මුදා හැරීමෙන් පසු පොලිසිය විසින් බලහත්කාරයෙනු නිරෝධායනයට යැවූ බවට චෝදනා එල්ලවූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව නිරෝධන මධ්‍යස්ථානයෙන් මුදා හැර ඇති බව වාර්තා වෙයි. මේ වන විට ඒ ආකාරයටම අධිකරණයෙන් ඇප ලබා සිටියදී නිරෝධායනයට යැවුණු ගුරු වෘත්තීය සමිති නායක ජෝශප් ස්ටාලින් ඇතුළු පිරිසද මුදා හැර ඇත.

පොලිසිය සිදුකල මේ ක්‍රියාව සම්බන්ධව ජාත්‍යන්තරයේ පවා අවධානය යොමුවූ අතර ලෝක වෘත්තීය සමිති සම්මේලනයද මෙකී ක්‍රියාවට විරෝධය දක්වමින් බලහත්කාරී ලෙස නිරෝධායනයට යොමුකළ පිරිස නිදහස් කරන ලෙස නිවේදනයක් නිකුත්කර තිබිණ.

තවද මෙරට වෘත්තීය සමිති එකාබද්ධව මෙකී මර්දන උත්සාහය පරාජය කරවීමට අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ග දියත් කිරීමටද සූදානමක් පැවතිණ.

එසේම ආණ්ඩුවේ පවා ඇතැම් මැති ඇමතිවරුන් මෙය හඳුන්වාදී තිබුණේ 'පොලිසිය ලකුණු දමා ගැනීමට" කල දෙයක් ලෙසය.

මාර්ගෝපදේශ අලුත් වෙයි

කොවිඩ් – 19 ව්‍යාප්තිය හේතුවෙන් පණවා තිබූ සීමා ලිහිල් කරමින් තවත් ක්ෂේත්‍ර රැසක් විවෘත කළ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන අද (16) පෙරවරුවේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

ආගමික ස්ථාන සහ ආගමික උත්සව, සත්ව උද්‍යාන, වනජීවි උද්‍යාන, ළමා උද්‍යාන, නවාතැන් ස්ථාන, ඔට්ටු ඇල්ලීමේ ස්ථාන, ශාලා සංගීත සංදර්ශන, ත්‍රාසජනක ක්‍රියාකාරකම් ස්ථාන සහ භෞතික සම්බන්ධ නොවන කණ්ඩායම් ක්‍රීඩා තරඟ සඳහා මේ අනුව සීමා ලිහිල්කර තිබේ.

එම නිවේදනය අනුව ගෘහස්ථ සංගීත සංදර්ශන අදාල ශාලාවේ ආසන ධාරිතාවෙන් සියයට 50ක ප්‍රේක්‍ෂකයන් සහිතව පැවැත්වීමට අවසර හිමිව ඇති අතර සැණකෙළි සහ සංදර්ශන සඳහා අවසර හිමිව නැත.

සත්ව උද්‍යානයවලට වරකට ඇතුළත්කළ හැකි නරඹන්නන්ගෙන් 25%කි. මෙම සියලුම ලිහිල් කිරීම් ක්‍රියාත්මක කළ යුත්තේ කොවිඩ් – 19 පූර්වආරක්‍ෂක ක්‍රම සහ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව යැයිද සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන අවධාරණය කරයි.

802e45dd 13fb650e b6af 4b85 aaa0 bfa5a354e362

Page 373 of 386