V2025

පුවත්

පී.එස්.එම්. චාල්ස් මැතිවරණ කොමිසමට

උතුරු පළාත් හිටපු ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මැතිවරණ කොමිසමේ සාමාජිකාවක ලෙස පත් කර තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ඉදිරිපත් කර තිබූ යෝජනාවට පාර්ලිමේන්තු සභාවේ අනුමැතිය හිමිව තිබේ.

මැතිවරණ කොමිසමේ සාමාජිකයෙකු ලෙස කටයුතු කළ ජීවන් ත්‍යාගරාජා  උතුරු පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස පත් කිරීමට තීරණය කර ඇති අතර, ඒ අනුව ඔහු මැතිවරණ කොමිසමෙන් ඉල්ලා අස් විය. එම පුරප්පාඩුව සඳහා හිටපු උතුරු පළාත් ආණ්ඩුකාරවරිය පත්කර තිබේ.

පී.එස්.එම්. චාල්ස් මීට පෙර සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස මෙන්ම රේගු අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙසද කටයුතු කළ අතර ඊට පෙර ඇය යාපනය දිස්ත්‍රික් ලේකම්වරිය ලෙසද කටයුතු කළාය.

කාදිනල් හිමිගෙන් සැර ප්‍රකාශයක් !

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගිනිගැනීම හේතුවෙන් අපවිත්‍ර වූ සරුක්කුව වෙරළ තීරය පිරිසිදු කිරීමේ ප්‍රමාදය ගැන සොයා බැලීමට කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් (26) එම ස්ථානයට පැමිණියහ.

දැඩි ලෙස අපවිත්‍ර වී ඇති සරක්කුව වෙරළ තීරය කාදිනල් හිමියන් පැමිණීමට පෙර කිසියම් පිරිසක් පිරිසිදු කර තිබූ අතර එම අවස්ථාවේ එහි සංවාදාත්මක තත්ත්වයක් හට ගෙන තිබිණ.

කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සහ පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියන් මේ ස්ථානයට පැමිණියේ, එම සංවදාත්මක තත්ත්වයෙන් අනතුරුවයි.

එම ස්ථානයට පැමිණි කාදිනල් හිමියන් රජයෙන් සහ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේ, ‍නැව ගිනි ගැනීමෙන් රටට වූ හානිය පිළිබඳ සම්පූර්ණ විමර්ශනයක් කරන ලෙසයි.

”මේක අපේ රට නැව් සමාගම්කාරයො යන්න යයි. අපි රජයෙන් ඉල්ලා සිටින්නේ, ජනාධිපතිතුමාගනේ ඉල්ලා සිටින්නේ මේ රටට හානියක් වුණ මේ සිද්ධිය පිළිබඳ සම්පූර්ණ විමර්ශනයක් කළ යුතුයි. ඇයි මේ නැව දවස් ගණන් ගිනිගන් න ඉඩ තිබ්බෙ? ඇයි ඒ වෙලාවෙම නැව් එළියට ඇදගෙන යන සමාගම් සමග කතා කරලා ඒකට පිළියම් යොදන්න බැරි වුණේ? ඒවා ගැන විමර්ශනයක් කරන්න.. මම නඩුවකුත් දාලා තියෙනවා. මේ ධීවර ජනතාව වෙනුවෙන් දඩ මුදල් ඉල්ලලා මේ පිරිසිදු කිරීමේ වැඩපිළිවෙළ වඩාත් ශක්තිමත්ව ඉෂ්ඨ කරන්න”

තව ද නැව ගිනි ගැනීමෙන් ධීවර ජනතාවට විශාල පාඩුවක් සිදුව ඇති බවත් රටේ ස්වාධීනත්වය, ස්වෛරීත්වය ආරක්ෂා කිරීමට ජනාධිපතිතුමා ද දැනගත යුතුව ඇති බව උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළහ.

අදාළ සමාගමට සහ ඉන්ෂූවරන්ස් සමාගමට එරෙහිව මෙම නඩුව ජාත්‍යන්තර අධිකරණය හමුවට ගෙන යා යුතු බව අවධාරණය කළ උන්වහන්සේ ප්‍රකාශ කර සිටියේ, ඒ සඳහා ජනතාව හඬ නැගිය යුතුව ඇති බවයි.

”අපේ රට ස්වාධීන රටක්. ජනාධිපතිතුමත් ඒක දැනන්න ඕන . ස්වාධීනත්වය අපේ ස්වෛරීත්වය ආරක්ෂා කරන්න ඒ වෙනුවෙන් කතා කරන්න. එයාලා වෙනත් රටකට ගිහින් මේ වගේ දෙයක් කළොත් ඩොලර් බිලියන ගණන් ගෙවන්නෙ, මේක දැන් සාකච්ඡා කරලා වැඩක් නෑ. දැන් අපි බලපෑම් කරන්න ඕන. ජනතා හඬ නැගීම කරන්න ඕන. ධීවර ජනතාව හඬ නගන්න ඕන. කරුණාකරලා ජාත්‍යන්තර අධිකරණයට ගෙනියන්න කියලා මේ නඩුව කොම්පැනියට හා ඉන්ෂූවරන්ස් සමාගමට විරුද්ධව එයාලා මේ අපිට බලපෑම් කරලා නිලධාරීන්ට බලකරවලා සොච්චමක් දීලා බේරෙන්න ඒගොල්ලන්ට ඉඩ දෙන්න බැහැ. මේක අපේ රට”

– NEWS1ST

චීන ජරාගොඩට හොර ගල් ඇහිඳුවා ඇති : ස්ථාවරය කියනු !

හොර ගල් ඇහිළීමෙන් තොරව ආණ්ඩුව පොහොර නැව පිළිබඳ ඇත්ත කිව යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි . ඔහු මේ බව සඳහන් කර සිටියේ අද (26) ජවිපෙ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ය.

එහිදී ඔහු වැඩිදුරටත් මෙසේද සඳහන් කළේය .

මේ වන විට කුඹුරේ සිටිය යුතු ගොවියා පාරේ උද්ඝෝෂණවල සහ උපවාසවල නිරත වී සිටිනවා. අනික් පැත්තෙන් ආණ්ඩුව ගොවීන්ගේ ගැටලුවලට සාධාරණ විසඳුමක් දෙන බවක් පෙනෙන්නේ නැහැ. ආණ්ඩුව විසින් ගන්නා සියලු ක්‍රියාමාර්ග විසින් රටේ කෘෂිකර්මාන්තය බිඳ වට්ටන, රට බරපතළ අගාධයකට ඇද දමන තත්වයකට පත් කර තිබෙනවා. ඇත්තටම මෙය සුර අසුර යුද්ධය මෙන් කාබනික රසායන අතර යුද්ධයක් නෙමෙයි; මෝඩ උද්ධච්ච දේශපාලන තීන්දුවක් සහ විශේෂඥභාවය, පරිණතභාවය හා අත්දැකීම් අතර ගැටුමක්. රසායනික හෝ කාබනික යන දෙවර්ගයේම පොහොර හඳුන්වා දෙනු ලබන්නේ විද්‍යාත්මක පදනමකිනුයි. ඒ සඳහා නිර්ණායක සකස් කර ඇත්තේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගිනුයි. ලෝකයේ රසායන හා කාබනික පොහොර මහා පරිමාණයෙන් නිපදවන්නේ බහුජාතික සමාගම් විසිනුයි. මේ නිසා මේ ගැටුම කාබනික සහ රසායනික පොහොර අතර ගැටුමකට ලඝු කිරීම සුදුසු නැහැ.

ආණ්ඩුව පසුගිය අප්‍රේල් 28වැනිදා රසායනික යෙදවුම් තහනම් කරන්න තීන්දුවක් ගත්තා. ඉන්පසුව ආණ්ඩුව මහ කන්නයේ වගාව සඳහා කාබනික යෙදවුම් ගැටලුවකින් තොරව ලබා දෙන බව කිවුවා. ඒ සඳහා රට තුළ කාබනික පොහොර නිෂ්පාදනය කරන බව කිවුවා. නමුත් ටික කලකින් රට තුළ කාබනික පොහොර නිපදවන්න නොහැකි බව ආණ්ඩුව තේරුම් ගත්තා. ඒ අනුව ඔවුන් කාබනික පොහොර ආනයනය කරන්න තීන්දුවක් ගත්තා. දශක දෙකක කාලයක පමණ සිට අපේ රටේ කාබනික පොහොර නිෂ්පාදනය පිළිබඳව පර්යේෂණය කළ කණ්ඩායම් හිටියා. අපේ පක්ෂයේ හිටපු පළාත් සභා මන්ත්‍රී ආචාර්ය අශෝක රංවල සහෝදරයා එවැනි අයෙක්. කාබනික වගාවේ යෙදමින් සිටි අය රටට කාබනික පොහොර ගෙන්වීමට කැමති වුණේ නැහැ. ඒ, එයින් ගැටලු ගණනාවක් ඇති වීමේ අවදානමක් තිබුණු නිසයි. නමුත් රටේ ගොවි ජනතාව පත්වන අසීරුතාව සලකා බලා ඔවුන් එම විරෝධය යම් තරමකට පසුපසට ගත්තා. ඒ, යම් ප්‍රමිතියකට යටත්ව එය සිදු කළ යුතු බවට අවධාරණය කරමිනුයි.

අපේ රටට කාබනික පොහොර ආනයනය කිරීමට ප්‍රමිතීන් පවා සකස් කර තිබුණේ නැහැ. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් ඊට අදාළ ප්‍රමිතීන් සකස් කළේ ඉතාම මෑතදීයි. ඒ අනුව ජීවාණුහරණය කරන ලද කාබනික පොහොර ආනයනය කිරීමට ප්‍රමිතියක් හඳුන්වා දෙනු ලැබුවා. චීනයෙන් කාබනික පොහොර මෙ.ටො. 96,000ක් ආනයනය කර මහ කන්නය වෙනුවෙන් ලබා දෙන බව ආණ්ඩුව විසින් ප්‍රකාශයට පත් කළා. කෘෂිකර්ම ඇමතිවරයා මාධ්‍ය හමුවලදී ඉතාම විශ්වාසයෙන් ඒ බව කිවුවා. නමුත් කාබනික පොහොර ආනයනය කිරීමේදී ඒවා ශාක නිරෝධායන ආඥා පනතට අනුව පරීක්ෂා කළ යුතු වෙනවා. රටකට අහිතකර ක්ෂුද්‍ර ජීවීන් ඇතුල්වීම වැළැක්වීම එහි අරමුණයි. ඒ අනුව මෙම පොහොරවලට අදාළ සාම්පල් ශාක නිරෝධායන සේවාව විසින් පරීක්ෂාවට ලක් කරනු ලැබුවා. ඔවුන් විසින් අවස්ථා දෙකකදී සිදු කරන ලද පරීක්ෂණවලින් මෙම සාම්පල් ප්‍රතික්ෂේප වුණා. සිදු කරන ලද විද්‍යානුකූල පරීක්ෂණ ගණනාවකදී චීනයේ කින්ඩාවෝ බයෝ ටෙක් සමාගම විසින් එවන ලද පොහොර සාම්පලයේ අර්වීනියා කාණ්ඩ දෙකක අහිතකර ක්ෂුද්‍ර ජීවීන් සහ බැසිලස් ක්ෂුද්‍ර ජීවීන් සිටින බව සොයා ගනු ලැබුවා. මෙම ක්ෂුද්‍ර ජීවීන් මහා පරිමාණයෙන් ඇතුල් වුවහොත් එය අපේ රටේ කෘෂිකර්මයට සහ ශාක ගහණයට විශාල බලපෑමක් වන බව ඔවුන් පෙන්වා දුන්නා.

නමුත් මේ පරීක්ෂණයේ ප්‍රතිඵල ලැබීමට පෙර සැප්තැම්බර් 23 එම පොහොර තොගයෙන් මෙ.ටො. 20,000ක් චීන සමාගම විසින් ලංකාවට නැව් ගත කළා. එම නැව ඔක්තෝබර් 22 කොළඹ වරායට පැමිණෙන බව එම සමාගම කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්ට ලිපියකින් දැනුම් දී තිබුණා. ඔක්තෝබර් 06වැනිදා සාම්පල් පරීක්ෂණයේ ප්‍රතිඵල ලැබෙන විට සැප්තැම්බර් 23 නැව පිටත්වී තිබීම ගැටලු සහගතයි. ඒ වෙනුවෙන් ණයවර ලිපි විවෘත කිරීමට තීන්දු ගත්තේ කවුද? නැවට ලංකාව බලා ඒමට අවසර ලබා දුන්නේ කවුද?

ලංකාව මත්ද්‍රව්‍ය ආනයනය කරන කේන්ද්‍රයක් වී තිබෙන නමුත් විවිධ රටවල අහිතකර ක්ෂුද්‍ර ජීවීන් ලංකාවට ගෙන්වීම විවිධ අණ පනත් නිසා සහ එම නීති ක්‍රියාත්මක කිරීමට බැඳී සිටින කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් නිසා වැළකී තිබෙනවා. අපේ ශාක හා භූමිය විනාශ වීම වැළැක්වීමට වැට බැඳී තිබෙනවා. මෙම නිලධාරීන් මෙතෙක් තමන්ගේ කාර්යභාරය යම් ප්‍රශස්ත මට්ටමකින් ඉටු කර තිබෙනවා. දැන් චීනයේ සිට ආනයනය කළ ක්ෂුද්‍ර ජීවීන් සහිත පොහොර නැව ලංකාව ආසන්න මුහුදේ සැරිසරමින් තිබෙනවා. ඊයේ දිනයේ කෘෂිකර්ම ඇමතිවරයා රාජ්‍ය ඇමතිවරයා සහ නිලධාරීන් පිරිසක් චීන තානාපතිවරයා හමුවී තිබෙනවා. එහිදී චීනය හා ලංකාව යන රටවල් එකඟ වන තුන්වන පාර්ශ්වයකින් පොහොර සාම්පල් පරීක්ෂාවට ලක් කිරීමට එකඟතාවක් ඇති වී තිබෙන බවට ආරංචි ලැබී තිබෙනවා. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ශාක නිරෝධායන සේවයේ වාර්තා නොසලකා එවැනි තීරණයකට පැමිණියහොත් අතිශය බරපතළයි. අපට මතකයි කලින් චීන තානාපති කාර්යාලය මෙයින් රාජ්‍ය තාන්ත්‍රික ප්‍රශ්න පවා මතු විය හැකි බවට නිවේදනයක් නිකුත් කර තිබුණා. ඒ අනුව මේ සැරසෙන්නේ කුමකටද යන්න පැහැදිලියි. ඔවුන් සූදානම් වන්නේ ක්ෂුද්‍ර ජීවීන් සහිත පොහොර තොගය ගොඩබෑමටයි. ආණ්ඩුව හොර ගල් ඇහිළීමෙන් තොරව මේ පිළිබඳ සත්‍යය හෙළිදරව් කළ යුතුයි. තමන්ගේ නිලධාරීන් ආරක්ෂා කර ගනිමින් කටයුතු කර ගැනීම ආණ්ඩුවේ වගකීමක් වනවා.

මේ වන විටත් ආණ්ඩුව රටේ කෘෂිකර්මයට ඇති තරම් හානි කර තිබෙනවා. රටේ ජනතාව අලුත් අවුරුද්ද සමරන්නේ මෙම මහ කන්නයේ අස්වනු ගෙට ගැනීමෙන් අනතුරුවයි. මේ යන ආකාරයට එළඹෙන අප්‍රේල් මාසයේ සිංහල දෙමළ අලුත් අවුරුද්දට කිරිබත් කන්නට සිදු වෙන්නේ පාකිස්ථානයෙන් ගෙන්වන ලද සහල්වලිනුයි. අවුරුදු සමරන්නට වෙන්නේ ආහාර අහේනියක් මැදයි. ආණ්ඩුව රට තල්ලු කරමින් සිටින්නේ එතැනටයි. කෘෂි විද්‍යාඥයින් විද්‍යානුකූලව තීන්දු ගන්නා ලෙස කියද්දී ජනාධිපතිවරයා, කෘෂිකර්ම ඇමතිවරයා, කෘෂිකර්ම රාජ්‍ය ඇමතිවරයා එකතු වී අපේ රටේ පදනම වන කෘෂිකර්මාන්තයට බරපතළ හානියක් සිදු කරමින් සිටිනවා. මේ තත්වය තුළ අපි ආණ්ඩුවට අවධාරණය කරන්නේ විවිධ බලපෑම් මත, තමන්ට ලැබෙන කොමිස් මත මේ රටට අහිතකර ක්ෂුද්‍ර ජීවීන් සහිත පොහොර ඇතුල්වීමට ඉඩදී රටේ කෘෂිකර්මය හා ශාක ගහණය විනාශ කිරීමේ පාප කර්මයට කර නොගසන ලෙසයි. තමන්ගේ විශේෂඥභාවය, රටට ඇති ආදරය උපරිම ලෙස පෙන්වමින් කොන්ද කෙලින් තබා ගෙන කටයුතු කරන ලෙස කෘෂි ක්ෂේත්‍රයේ සියලු නිලධාරීන්ගෙන්ගෙන් අපි ඉල්ලා සිටිනවා.

පොහොර එවූ චීන සමාගමෙන් ලංකාවට තගක් : වානිජ අධිකරණයෙන් වාරණ නියෝගයක් !

චීන කාබනික පොහොර තොගය මෙරටට සපයන ක්වින්ඩාඕ සීවින්ග් බයෝටෙක් ගෘප් සමාගම අද (26) නිවේදනයක් නිකුත් කරමින් පොහොර තොගය නියමිත පරිදි බාරගැනීම වැළැක්වීම සඳහා ගැනුම්කරු විසින් කෘත්‍රිම බාධාවක් නිර්මාණය කළේ යැයි සැකකිරීමට හැකි සාධාරණ හේතු පවතින බව පවසයි.

එම පොහොර තොගය සඳහා සැප්තැම්බර් 17 වැනිදා ණයවර ලිපිය විවෘත කර තිබූ බවත්, ණයවර ලිපියේ සඳහන් භාරදීමේ දිනයට අනුකූලව සැප්තැම්බර් 23 වැනිදා තොගය නැව්ගත කිරීම සිදු වූ බවත් සමාගම නිකුත් කළ නිවේදනයේ සඳහන්ය.

ඒ අනුව දෙපාර්ශ්වයම පිළිගත් තුන් වැනි පාර්ශ්වයකින් යළි පරීක්ෂණයක් කළ යුතු අතර, පොහොර තොගයේ අර්විනියා බැක්ටීරියාව ඇතැයි ඉන් තහවුරු වුවහොත් ගිවිසුම අවසන් කරමින් පොහොර තොගය ඉවත් කරගත යුතු බවත්, එසේ නොමැති බව තහවුරු වුවහොත් ශ්‍රී ලංකාව කොන්දේසි විරහිතව කඩිනමින් ගෙවීම් සිදුකර තොගය ආනයනය සඳහා පියවරගත යුතු බවත් සමාගමේ නිවේදනයේ සඳහන් වෙයි.

එසේම බැක්ටීරියාව නොමැති බව තහවුරු වුවහොත් ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය වහාම අදාළ ප්‍රවෘත්තිය නිවැරදි කළ යුතු බවත්, සාවද්‍ය පුවත පළකිරීම ගැන නීතිමය තත්ත්වය සොයාබලන බවත් එහි දැක්වේ.

එමෙන්ම මහජන බැංකුව ණයවර ලිපියේ බැඳී සිටින කොන්දේසිවලට අනුකූලව සහ අන්තර්ජාතික වෙළෙඳ නීතිවලට අනුව කටයුතු නොකරන්නේනම් , එම බැංකුව චීනයේ අසාදුලේඛනයට ඇතුළත් කිරීමට හෝ චීන ආයතන එකී බැංකුව සමඟ ගනුදෙනු කිරීම වැළැක්වීම සඳහා යෝජනා කරන බවත් ක්න්ඩාඕ සීවින්ග් බයෝටෙක් ගෘප් සමාගම පවසයි.

එම කරුණ සුදුසු ලෙස නොවිසඳුණහොත් එය ශ්‍රී ලංකා රජයෙ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ කීර්තිනාමයටද බල පා හැකි බවත්, එය ඉදිරියේදී චීන සමාගම් සමඟ ගනුදෙනු කිරීමේදී අවදානමක් ගෙන දිය හැකි බවත් එම නිවේදනයේ සඳහන්ය.

වානිජ අධිකරණයෙන් වාරණයක් !

මේ අතර චීනයේ සිට කාබනික පොහොර නෞකාවක් මෙරටට ගෙන්වා ඇති චීනයේ කින්ඩාවෝ සමාගමටත් එහි දේශීය නියෝජිතයාටත් මහජන බැංකුවටත් එරෙහිව කොළඹ වාණිජ මහාධිකරණය විසින් තවත් වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.

ඒ අනුව අදාළ සමාගම වෙනුවෙන් විවෘත කරන ලද ණයවර ලිපි යටතේ මහජන බැංකු විසින් කිසිදු ගෙවීමක් නොකරන ලෙස එම නියෝගයේ සඳහන්ය.

කොළඹ කොමර්ෂල් පොහොර සමාගම ඉල්ලීමක් මත එම වාරණ නියෝගය නිකුත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.

යුගදනවිය ඇමරිකාවට දුන්නට ජවිපෙ අධිකරණයට !

ජනතා විමුක්ති පෙරමුණ විසින් කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ රජය සතු කොටස්වලින් සියයට හතළිහක් අමෙරිකානු සමාගමක් වෙත පැවරීමට ශ්‍රී ලංකා රජය විසින් අත්සන් කර තිබෙන ගිවිසුම බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කළ බව වාර්තාවේ.

මෙසේ පෙත්සම ගොනුකර ඇත්තේ ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුනිල් හඳුන්නෙත්ති සහ වසන්ත සමරසිංහ ය.

එම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඇතුළු අමාත්‍ය මණ්ඩල සාමාජිකයින්, මහජන උපයෝගීතා කොමිසම, එහි සභාපතිවරයා ඇතුළු සාමාජිකයින්, ලංකා විදුලිබල මණ්ඩලය, අදාළ කොටස් පවරනු ලැබූ අමෙරිකානු එන්.එෆ්.ඊ පවර් හෝල්ඩිං සමාගම, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය ඇතුළු 43 දෙනෙකු නම් කර ඇති බවද වාර්තාවේ.

පෙත්සම්කරුවන් පෙත්සම මගින් පවසා සිටින්නේ අදාළ බලාගාරයේ කොටස් අමෙරිකානු සමාගම වෙත පැවරීමේ දී රජය විසින් අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයන් වෙත පවා නිසි කරුණු පැහැදිලි කිරීමක් සිදුකර නොමැති බවය.

චීන තානාපති : කෘෂිකර්ම ඇමති , රාජ්‍ය ඇමති , නිලධාරීන් තානාපති කාර්‍යාලයට කැඳවලා !

මෙරටට අහිතකර ද්‍රව්‍ය ඇතුළත් චීන පොහොර නෞකාව සම්බන්ධයෙන් මතුව ඇති අර්බූදය විසදා ගැනීම සදහා කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ, රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ, ඇතුළු පිරිසක් චීන තානාපති කී සෙන්හොංග් හමුවීමට චීන තානාපති කාර්‍යාලය ට ගොස් ඇත.

ඊයේ (25) මෙම ගමන සිදුව ඇති අතර කෘෂිකර්ම ලේකම් උදිත් කේ ජයසිංහ , රාජ්‍ය අමාත්‍යංශ ලේකම් එම්. එන්. රණසිංහ සහ කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් අජන්තද සිල්වා ඇතුලු පිරිසක් ඊට එක්ව ඇති බවත් වාර්තා වෙයි.

සාමාන්‍යයෙන් රාජ්‍යතාන්ත්‍රික කරුණක් ගැන කතා කිරීමට එකී රටේ අමාත්‍යවරුන් තානාපති කාර්‍යාලය ට යන්නේ නැත. ඒ වෙනුවට සම්ප්‍රදාය වන්නේ තානාපති අමාත්‍යංශය ට කැඳවා කරුණු සාකච්ඡා කිරීම යි.

ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට දෙපාර්ශ්වයටම පිළිගත හැකි රසායනාගාරයක අදාළ පොහොර තොග නැවතත් පරීක්ෂා කිරීම සම්බන්ධයෙන් සාකච්ජා වී ඇති බව දැනගන්නට ඇත.

ලංකාවේ සිදුකළ පරීක්ෂණ 03කදීම අසමත් වූ මෙම පොහොර නෞකාව මේ වනවිට දෙවුන්දරට නාවක සැතපුම් 12ක් දුරින් නවතාගෙන සිටින බවත් වාර්තා වෙයි.

බලශක්තියටත් අදානිගේ බැල්ම !

ලංකාවේ පුද්ගලික සංචාරයකට නිරතව සිටින ඉන්දියාවේ ප්‍රකෝටිපති ව්‍යාපාරිකයෙකු වන ගෞතම් අදානි මෙරට සුලං විදුලි ජනනය පිළිබඳව අවධානය යොමු කර ඇතැයි වාර්තා වේ.

ඒ අනුව මන්නාරම ප්‍රදේශයෙහි පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතියක ආයෝජනය කිරීමට ඇති හැකියාව පිළිබඳ ඔවුන්ගේ අවධානයට ලක්ව ඇති බව සඳහන් වේ.

විදුලිබල මණ්ඩලයට අයත් විශාලතම සුළං විදුලි ජනන මධ්‍යස්ථානය පිහිටා තිබෙන්නේද මන්නාරම ප්‍රදේශයේය.

අදානි පසුගිය ඉරිදා (24) දිවයිනට පැමිණි අතර ඊයේ (25) ඔහු සමග පැමිණි පිරිස මන්නාරම ප්‍රදේශයේ සංචාරයකද නිරත වී ඇත.

මේ අතර ඉන්දියාවේ ප්‍රකෝටිපති ව්‍යාපාරිකයෙකු වන ගෞතම් අදානි මෙරටට පැමණ ඇත්තේ පෞද්ගලික සංචාරයක් සඳහා බවත් ඔහු එම සංචාරයයේදී මෙරට වත් ආයෝජන අවස්ථා පිළිබඳව විනිශ්චය කරනු ඇති බවත් සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ පවසයි.

ඔහු මේ බව පැවසූවේ අද (26) උදෑසන පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී ඉන්දියාවේ ප්‍රකෝටිපති ව්‍යාපාරිකයෙකු වන ගෞතම් අදානි මෙරට සංචාරයක කිරීමේ අරමුණ කුමක් දැයි මාධ්‍යවේදියෙක් කළ විමසීමකට පිළිතුරු ලබාදෙමිණි.

ශ්‍රී ලංකාව මේ වනවිට මුහුණ දී සිටින ඩොලර් හිඟයට පිළියමක් ලෙස විදෙස් ආයෝජකයින් මෙරටට ගෙන්වා ගැනීම අත්‍යවශ්‍ය බවද ඔහු එහිදී අවධාරණය කර ඇත.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් පළ සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ…

“මේ සංචාරය පෞද්ගලික සංචාරයක් හැටියට තමයි වාර්තා වෙන්නේ. එම සංචාරය තුළ දී ලංකාවේ තියෙන ආයෝජන අවස්ථා පිළිබඳව අදාළ සමාගම කරුණු විමසන බව අපට වාර්තා වෙලා තියෙනවා. දැනටමත් ඔබ දන්නා පරිදි බටහිර ජැටිය ඉදිකිරීම සඳහා ඔවුන්ගේ කැමැත්ත පළ වෙලා තියෙනවා. ඒ පිළිබඳව විමර්ශනය කිරීම ඇතුළු කරුණු, ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා සඳහා ඇති අවස්ථාවන් විනිශ්චය කිරීමට ශ්‍රී ලංකාවට පැමිණියා වෙන්න පුළුවන්. ඒ සම්බන්ධයෙන් නිල ප්‍රකාශයක් දැනට නිකුත් වෙලා නෑ. කෙසේ වුවත් ශ්‍රී ලංකාව තුළ ආයෝජකයින්ට හිතකර පරිසරයක් ඇති කිරීමට කටයුතු කිරීම රජයේ වගකීමක්. ශ්‍රී ලංකාවට විදේශ ආයෝජන අත්‍යවශ්‍යයි. අප මුහුණදෙන ඩොලර් හිඟයට පිළියමක් හැටියටත් රටේ සංවර්ධනය සඳහා එවැනි අයෝජන රටට කැඳවාගෙන ඒම විශේෂ කාරණයක්. ශ්‍රී ලංකාව දැනට පවතින තත්ත්වයන් යටතේ ලෝකයේ රටවල් රාශියක් සමඟ සැසඳීමේ දී අයෝජකයින් අඩුවෙන් එන රටක්. ඒ තත්ත්වය හොඳ තත්වයට පරිවර්තනය කරගෙන මේ රටට ආයෝජකයින් කැඳවා ගැනීමට අවශ්‍ය පසුතලය පහසුකම් නිර්මාණය කිරීමත් රජයක වගකීමක් හැටියට අපි සලකනවා.”

තීන්දුව ජනතාව අතේ - හිටපු අගමැති

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හමුවට ගොස් ප්‍රශ්න විසඳාගන්නැයි තමා දිගින් දිගටම පැවසූ නමුත් ආණ්ඩුව ඊට අකමැති නම් කරන්න දෙයක් නැතැ බවත් දැන් ඉතිරි තීන්දුව තියෙන්නේ ජනතාවගේ අතේ බවත් හිටපු අග්‍රාමාත්‍ය , එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ පවසයි.

මේ අමාරු කාලේ ආර්ථිකය ගොඩගන්න සැලසුමක් රටට ඉදිරිපත් කළ එකම පක්ෂය එක්සත් ජාතික පක්ෂය පමණක් බවත් ඔහු පවසයි.

හිටපු අග්‍රාමාත්‍යවරයා මෙසේ අදහස් දක්වා සිටියේ එක්සත් ජාතික පක්ෂ නිලධාරී මණ්ඩලය සමඟ පැවති සාකච්ඡාවක දීය.

යහපාලන ආණ්ඩුව කාලේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හමුවට ගිය නමුත් එකල කිසිදු ජනතා සහනයක් කප්පාදු කරන්නැයි කොන්දේසි නොපැමිණි බව සඳහන් කළ හිටපු අග්‍රාමාත්‍යවරයා රුපියල් 10,000 කින් රාජ්‍ය සේවක වැටුප් වැඩි කරන අතර සෙසු සහන ද ලබාදීමට හැකියාව ලැබුණේ යහපාලන රජය ජාත්‍යන්තර සහාය ද ලබාගෙන හරි දැක්මක් ඇතිව කටයුතු කිරීම නිසා බවත් අවධාරණය කළේය.

ප්‍රතිකේෂ්ප කළ චීන පොහොර තෙවැනි පාර්ශ්වයකින් පරීක්ෂා කරන්න එකඟවෙලා !

චීන සමාගමේ කාබනික පොහොර දෙපාර්ශවයටම පිළිගත හැකි ආයතනයකට යොමු කර නැවත පරික්ෂා කිරීමට එකඟ වූ බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ පවසයි. රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, අද (26) කොළඹ පැවති වැඩසටහනකදී පොහොර තොගය යළි පරීක්ෂා කරන්නැයි, චීනය ඉල්ලීමක් කළේ දැයි, මාධ්‍යවේදීන් කළ ප්‍රශ්න කිරීමට පිළිතුරු ලෙසයි.

රාජ්‍ය අමාත්‍යවරයා එහිදී පැවසුවේ, අපේ රටේ විද්‍යාගාරවල සිදු කර ඇති පර්යේෂණ පිළිගත නොකැහි බව අදාළ චීන සමාගම දන්වා සිටි බවයි.

”අපි දෙපාර්ශවයටම බලපෑමක් නෙවෙයි. ඉල්ලීමක් කළේ, නැව හරවලා යවනවා අපි කෙලින්ම කිව්වා. ඒක මෙහෙ බාන්නත් එපා. මෙහෙ ගේනන්ත් බෑ කියලා, ඔවුන් ඉල්ලීමක් කළා ලොව පිළිත් ප්‍රධාන රටවල් 16කට පොහොර නිෂ්පාදනය කරන ආයතනයක්. ඒ නිසා මේකෙ ප්‍රමිතිය පිළිබඳව අපිට අවබෝධයක් ගන්න කියලා”

ඒ අනුව පොහොර අධ්‍යනය කිරීම සඳහා දෙපාර්ශවයම කැමති වන තුන්වන පාර්ශ්වයකට දී ඉන් පසු ඒ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට යෝජනා කළ බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ය.

මෙම නැව මුහුදේ නැංගුරම් ලා ඇති බවට වාර්තා වන කරුණු සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කළ ප්‍රශ්න කිරීමට රාජ්‍ය අමාත්‍යවරයා ලබා දුන්නේ මෙවැනි පිළිතුරකි.

”මම තාම මුහුදේ ගියේ නෑ… දැක්කෙ නෑ.. මං දැක්කෙ නෑ..”

මේ අතර කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා ද අද (26) උදෑසන පැවසූවේ, හානිකර බැක්ටීරියා අඩංගු බවට තහවුරු වීමෙන් ශ්‍රී ලංකා රජය ප්‍රතික්ෂේප කළ චීන කාබනික පොහොර තොගය තුන්වෙනි පාර්ශවයකින් යළි පරීක්ෂා කරන්නැයි, චීන තානාපතිවරයා සහ පොහොර සමාගමේ නියෝජිතයින් කෘෂිකර්ම අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කර ඇති බවයි.

චීනයේ චින්දාවෝ සිවින්ග් බයෝ ටෙක් සමාගමේ නිෂ්පාදනය කරන කාබනික පොහොරවල අහිතකර බැක්ටිරියා අඩංගු බව අවස්ථා දෙකකදී මෙරට ශාක නිරෝධායන සේවය තහවුරු කළේ ය.

එම පොහොර ශ්‍රී ලංකාවට ගෙන්වීමට ඉඩ නොදෙන බවට කෘෂිකර්ම අමාත්‍යංශය දිගින් දිගටම ප්‍රකාශ කර තිබියදී මෙට්‍රික් ටොන් 20,000 ක පොහොර තොගයක් රැගත් නැවක් මේ වන විට මෙරට මුහුදු සීමාවට සමීප වී තිබේ.

(News 1st )

කාබනික වගා වැඩේ දොස් දැක්ක මහාචාර්ය ගෙදර යවයි !

රජයේ කාබනික වගා ව්‍යාපෘතිය විවේචනය කළ කෘෂිකර්ම අමාත්‍යාංශයේ ප්‍රතිපත්ති සම්පාදන කමිටුවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය බුද්ධි මාරඹේ එම තනතුරින් ඉවත් කිරීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පැවැසීය.

ඒ අනුව අද (26) මෙම ඉවත් කිරීම සිදුකරනු ඇත.

මෙම නිලධාරියා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම විෂය පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයකු බවද හෙතෙම සඳහන් කළේය.

මොහු කෘෂිකර්ම අමාත්‍යාංශයේ කටයුතු කරමින් රජයේ කාබනික වගා ව්‍යාපෘතිය දැඩි ලෙස විවේචනය කරමින් සිටින බවට විවිධ පුද්ගලයන් හා සංවිධාන ගණනාවක් කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ ට කරුණු පෙන්වා දීමෙන් අනතුරුව ඔහු එම තනතුරෙන් ඉවත් කිරීමට ඇමැතිවරයා තීරණය කර ඇත.

අමාත්‍යංශයේ තනතුරක් දරමින් කෘෂිකර්ම ප්‍රතිපත්ති සාදන අතරේ එම ප්‍රතිපත්ති විවේචනය කිරීම බරපතළ වරදක් බවද අලුත්ගමගේ අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

තවත් සභාපතිවරයකු ඉල්ලා අස්වෙයි !

ජනාධිපති පත්කළ තවත් සභාපතිවරයකු ඉල්ලා අස්වීම ලබාදී ඇති බව වාර්තා වෙයි.

ඒ ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ ය.

වත්මන් ආණ්ඩුව පත්විමෙන් පසුව ඉහළ තනතුරුවලට පත්කළ නිලධාරීන්ගෙන් සැලකිය යුතු පිරිසක් ආසන්න දිනවලදී විවිධ හේතු මත එම ධුරවලින් ඉල්ලා අස්වි තිබේ.

පළමු අවස්ථාවේ මහාචාර්ය මුදිත විදානපතිරණ ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපති තනතුරට පත්කිරිම සම්බන්ධයෙන් බොහෝ පිරිසක් ප්‍රසාදයෙන් අදහස් පළකරන්නට විය.

වාර්තා වන ආකාරයට අමාත්‍යවරයා ට අවශ්‍ය අඅයෙකු පත්කිරීම සඳහා ඇතිවූ ප්‍රශ්නයක් මත මෙකී ඉල්ලා අස්වීම සිදුව ඇත.

පෙනෙන්නට ඇති ආකාරයට සිස්ටම් වෙනස් කිරීමට පැමිණි ජනාධිපති හට සිස්ටම් එක අනූව වෙනස් වීමට ඇත්දැයි දේශපාලන විචාරකයන් ප්‍රශ්න කරයි.

සහල් මෝල් හිමියන් යළිත් මිල ඉහළ දායි !

ආණ්ඩුව සහල් පාලන මිල අත්හැර දැමීමත් සමග සහල් මෝල් හිමියන් විසින් නැවත වතාවක් සහල් මිල ඉහළ නැංවීමට කටයුතු කර තිබේ.

පිටකොටුව සහල් තොග වෙළඳුන්ගේ සංගමය සඳහන් කරන්නේ , සංශෝධිත මිළ ගණන් අනුව , නාඩු කිලෝවක් රුපියල් 15කින්, සම්බා කිලෝවක් 10කින්, කීරි සම්බා කිලෝවක් රුපියල් 30 කින් ඉහළ දමා ඇති බවයි.

කෙසේවෙතත් රුපියල් 110ක් වූ කැකුළු සහල්වල මිලෙහි වෙනසක් සිදු කර නැත.

ඒ අනුව සහල් මෝල් හිමියන් විසින් ප්‍රකාශයට පත් කර ඇති නව මිල නැංවීම අනුව සහල් කිලෝවක නව මිල සඳහන් වන්නේ මෙසේය.

නාඩු – රුපියල් 130

සම්බා – රුපියල් 150

කීරි සම්බා – රුපියල් 195

ගුරු විදුහල්පතිවරු අකුරට වැඩ : රට පුරා විරෝධතා

ගුරු - විදුහල්පති විරෝධතා පාගමනක් හේතුවෙන් කොළඹ කොටුව අවට රථවාහන තදබදයක් හට ගෙන ඇතැයි අප වාර්තාකරු පැවසීය.

ගුරු - විදුහල්පති ඒකාබද්ධ වෘත්තීය සංවිධානය විසින් එම විරෝධතා පාගමන සංවිධානය කර තිබේ.

මේ අතර, ගුරු විදුහල්පති වැටුප් ගැටලු විසඳීම ඇතුළු ඉල්ලීම් රැසක් මුල්කරගනිමින් ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය සංවිධානය කළ උද්ඝෝෂණ මාලාවක් අද දින දිවයිනේ නගර රැසකද පැවැත්විණි.

ඔන්ලයින් ඉගැන්වීම අත්හිටුවමින් ඇරඹි මෙම ගුරු විදුහල්පති වෘත්තීය සමිති ක්‍රියාමර්ගට මේ වන විට දින 103කට වැඩි කාලයක් තිබුණද ඔවුන්ගේ ඉල්ලීම් ලබා දීමට රජය තවදුරටත් අපොහොසත්ව සිටියි.

අදියර තුනකින් වැටුප ලබා දීමට රජය එකඟ වුවද ගුරු විදුහල්පතිවරු එය ප්‍රතික්ෂේප කිරීම නිසා තවදුරටත් මෙම වෘත්තීය සමිති ක්‍රියාමර්ග ක්‍රියාත්මක වෙමින් තිබේ.

අද දින සිට සියලුම පාසල් වල ප්‍රථමික ශ්‍රේණි විවෘත කෙරුණු අතර පාසල් කාලය තුළ ඉගැන්වීමේ කටයුතු පමණක් සිදුකරමින් රජය විසින් පවරන රාජකාරී සියල්ල අත්හිටුවමින් ගුරු විදුහල්පතිවරු සිය වෘත්තීය ක්‍රියාමර්ග අලුත් කරමින් පසුවෙයි.

කොරෝනා ව්‍යාප්තිය පාලනය සඳහා මාස කීපයක් වසා දැමු තිබු පාසල් හි ප්‍රාථමික අංශයවල අධ්‍යාපන කටයුතු නිමවීමෙන් අනතුරුව ගුරුවර ගුරුවරියන් විශාල පිරිසක් මෙම උද්ඝෝෂණය සඳහා එක්ව සිටියහ.

මෙහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින්  පැවසුවේ හිඟ වැටුප සමස්තයක් ලෙස ලබාදෙන තුරු සටන අතනොහරින බවයි.

guuru

කොරෝනා මරණ සංඛ්‍යාව 13,640 ක් දක්වා ඉහළට

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොරෝනා මරණ 29 ක් අද (25) වාර්තා කිරීමත් සමග සමස්ත මරණ සංඛ්‍යාව 13,640ක් දක්වා ඉහළ ගියේ ය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව, මියගිය පිරිස අතරින් 17 දෙනෙකු කාන්තාවන් වන අතර ඉතිරි 12 දෙනා පිරිමි පුද්ගලයින් ය.

මියගිය අය අතර වයස අවුරුදු 30ට අඩු එක් ආසාදිතයෙකු ද වේ.

වයස අවුරුදු 30 – 59 ත් අතර වයසේ පසුවන ආසාදිතයින්‍ 6දෙනෙකු සිටින අතර ඉතිරි ආසාදිතයින් 22 දෙනා ම වයස අවුරුදු 60 සහ එම වයස් සීමාව ඉක්ම වූ වැඩිහිටියන් ය.

අද (25) වාර්තා කරන ලද මෙම මරණ 29 සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරනු ලැබ ඇත්තේ, ඊයේ දිනයි.

e74396a5 index

බුද්ධි අංශ ප්‍රධානියාගෙන් CID යට පැමිණිල්ලක් !

රාජ්‍ය බුද්ධි සේවාවේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරල් සුරේෂ් සලේ අද (25) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළේ ය. ඒ, පාස්කු ඉරුදින ප්‍රහාරයට අදාළව සිරිල් ගාමිණි පියතුමා සහ වෙනත් අය විසින් කරන ලද චෝදනාවන්ට විරෝධය පළ කරමිනි.

සිරිල් ගාමිණි පියතුමා සහ වෙනත් අය සිදුකර ඇති එම චෝදනා දැඩි ලෙස ප්‍රතික්ෂේප කරමින් ඔහු සඳහන් කර ඇත්තේ, එම සියලු චෝදනා සම්පූර්ණයෙන් ම අසත්‍ය බවයි.

තමා කිසිදු තත්ත්වයක් යටතේ කිසි දිනක සහරාන් හෂීම් හෝ ඔහුගේ අනුගාමිකයින් සමග කිසියම් හෝ ආකාරයක සන්නිවේදනයක් සිදුකර නොමැති බව ද රාජ්‍ය බුද්ධි සේවාවේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරල් සුරේෂ් සලේ පවසයි.

ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා ඇත්තේ, මෙම චෝදනා සම්බන්ධයෙන් අදාළ පාර්ශවයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසයි.

(News 1st )

මාසේ පඩිය අපිට දියව් : සේවකයින් රූපවාහිනී සභාපතිගේ කාර්‍යාලය වටේ !

මාසික වැටුප් ගෙවීම ප්‍රමාදවීම සම්බන්ධයෙන් අද (25) රූපවාහිනී සංස්ථාව පරිශ්‍ර අභ්‍යන්තරයේ සේවක විරෝධතාවක් පවත්වා ඇති බව වාර්තා වෙයි.

දැනගන්නට ඇති ආකාරයට රූපවාහිනී සංස්ථාවේ සභාපති රෙජිනෝල්ඩ් කුරේ ගේ කාර්‍යාලය ඉදිරිපිටට රැස්වූ පිරිස් මෙසේ මාසික වැටුප ඉල්ලා උද්ඝෝෂණය කර ඇත.

කෙසේ වුවත් සභාපති රෙජිනෝල්ඩ් කුරේ සේවක ඉල්ලීම සම්බන්ධයෙන් නිල දැනුම්දීමක් සිදුකර නොමැති අතර මෙම කාරණයේදී තමන්ට සිදුකළ හැකි කිසිවක් නොමැති බව පමණක් පවසා ඇත.

මේ අතර සේවක පිරිස් චෝදනා කරන්නේ, ආයතනය මේ වන විට දැනුවත්ව කඩාවැටෙන්නට ඉඩදී ඇති තත්ත්වයක් මතුව ඇති බවයි.

ආයතනයේ ආදායම් ඉපයීමට අත්‍යාවශ්‍ය අලෙවි කළමනාකරු ධූරය පුරප්පාඩුවී ඇති අතර මෙතෙක් ආයතනයට ආදායම් ලැබුණු මූලාශ්‍ර දැනුවත්ව සංස්ථාවෙන් ඉවත්කර ඇති බවත් ඔවුන් පවසයි.

තවද හෙට (26) දිනයේදී මාසික වැටුප ගෙවීම නිසිලෙස සිදුනොවුණහොත් වැඩිදුරටත් වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට සේවක පිරිස සූදානම් වන බවත් වාර්තා වෙයි.

අපි අනාථයි : ආණ්ඩුවේ සෙසු පක්ෂ 11න් රැළියක් !

ඇමෙරිකානු සමාගමකට යුගදනවි බලාගාරය පවරාදීම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ආණ්ඩුවේ බලධාරීන් අවස්ථාවක් නොදීම නිසා ප‍්‍රසිද්ධ රැළියක් පවත්වා ඊට විරෝධය පළ කිරීමට ආණ්ඩුවට සහාය ලබා දෙන දේශපාලන පක්ෂ 11 තීරණය කර ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව මෙම ජන හමුව එළැඹෙන 29දා පිටකෝට්ටේ සෝලිස් ශාලාවේ දී පැවැත්වීමට සැලසුම් කර ඇති බවත් දැනගන්නට ඇත.

ආණ්ඩුවේ සෙසු දේශපාලන පක්ෂ එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතාගේ නිවසේ දී හමුවී පැවැත්වූ විශේෂ සාකච්ඡාවේදී මෙම තීරණය ගෙන ඇති බවත් වාර්තා වෙයි.

එමෙන්ම මෙම ගිවිසුමට විරෝධය පළ කරමින් ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කිරීමට ද තීරණය වී ඇති බවත් වාර්තා වෙයි.

අදාළ ගිවිසුම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයාගෙන් දිනයක් ඉල්ලා සැප්තැම්බර් මස 21 වැනි දින ලිපියක් යොමු කළ ද ජනාධිපතිවරයා එම අවස්ථාව ලබාදී තිබුණේ නැත.

ඇමති වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරන්නේ මෙම ගිවිසුම පිළිබඳව සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයාගෙන් වෙලාවක් ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම මත ජනතාව සමඟ සාකච්ඡා කිරීමට ඒකමතිකව පක්ෂ සියල්ල තීන්දු කළ බවයි.

ජනාධිපතිවරයා සාකච්ඡා කිරීම ප්‍රතික්ෂේප කළ නිසා ඔහු සමඟ බලෙන් සාකච්ඡා කිරීමට හැකියාවක් නැතැයිද නානායක්කාර අමාත්‍යවරයා පැවසීය.

ගිවිසුම අත්සන් කර අවසන් වූවද සියල්ල අවසන් වන්නේ දේශපාලන බලය මත බවද ඔහු තවදුරටත් පැවසීය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන දේශපාලන විචාරකයන් පවසන්නේ , ආණ්ඩුවේ සෙසු පක්ෂ තුට්ටුවකට මායිම් නොවන තත්ත්වයක් මතුව ඇති බව පැහැදිලිව පෙන්නුම් කරන මීට වඩා සාක්ෂියක් අනවශ්‍ය බවයි.

මේ වන විට ආණ්ඩුවේ මේ සෙසු පක්ෂ සිය ජාතිකවාදී ප්‍රතිපත්තිය මෙන්ම ආණ්ඩුවේ වරදාන ලබමින් එතුල විසීම කළමනාකරණය කරගන්නට දුෂ්කරතාවකට මුහුණදී ඇති බවත් ඔවුන් පෙන්වා දෙයි.

එබැවින් "අපි කියන දේ අහන්නේ නෑ .. අපි අසරණයි" රැලියක් සංවිධානය කර ඇති බවත් ඔවුන්ගේ මතය වී තිබේ.

වැඩේ අමාරුවට පුටු මාරුවක් !

රාජ්‍ය ආයතන 30ක පමණ ප්‍රධානීන් ඉවත්කොට නව ප්‍රධානීන් පත් කිරීමට රජය තීරණය කොට ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි. ළමාරක්ෂක අධිකාරිය, භූවිද්‍යා සහ පතල් කැණීම් කාර්යාංශය, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සහ ප්‍රධාන රාජ්‍ය මාධ්‍ය ආයතනයක්ද මෙම ආයතන 30ට ඇතුළත්ය.

ඒ අතර බස්නාහිර පළාත් සභාවේ ප්‍රධාන ලේකම් ජයන්ති විජේතුංග මහත්මිය එම තනතුරින් ඉවත්කොට ළමාරක්ෂක අධිකාරියේ සභාපති ධුරයට පත් කිරීමට රජය සැලසුම් කර තිබිණි. එහෙත් රාජ්‍ය පරිපාලන නිලධාරීන්ගේ සංගමය විජේතුංග මහත්මියගේ මාරුවට එරෙහිව ජනාධිපතිවරයාට කරුණු දැක්වීම නිසා එම මාරුව අවලංගු කර ඇතැයි වාර්තා වෙයි. දැනට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සභාපති ධුරය දරන වෛද්‍ය නිහාල් ජයතිලක මහතාට අමාත්‍යංශ ලේකම් ධුරයක් පිරිනැමීමට නියමිත අතර ප්‍රමිති ආයතන සභාපති ධුරයට එරන්ද ගිනිගේ මහතා පත්කෙරෙනු ඇතැයි සඳහන්ය.

ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ පුරප්පාඩුව තිබූ අධ්‍යක්ෂ ධුරය සඳහා ජනාධිපති මාධ්‍ය අංශයේ සේවය කළ ෂර්මිලා රාජපක්ෂ මහත්මිය පත් කළේය.

පසුගියදා ජනාධිපතිතුමා විසින් ඕස්ට්‍රේලියා මහ කොමසාරිස් පදවියට නම්කරන ලද ආචාර්ය ජගත් වැල්ලවත්තගේ ඕස්ට්‍රේලියා පත්වීම අත්හිටුවා තිබේ. ඒ වෙනුවට ආචාර්ය වැල්ලවත්ත ඉතාලියේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස පත් කිරීමට තීන්දු කර ඇත.

(දේශය)

Page 421 of 473