පුවත්

කේක් කකා AC කාමරවල සිට තීරණ ගන්නෙ නැතුව එළියට විත් මිනිස්සු දුක් විඳින හැටි බලන්න : සඳුදා සිට ස්වයං සංචරණ සීමා පාලනයක යෙදෙමු - උපුල් රෝහණ
‘කොවිඩ්’ වසංගතයෙන් ජීවිත ආරක්‍ෂා කරගැනීමට සඳුදා සිට ස්වයං සංචරණ සීමා පාලනයක් ඇතිකරගන්නා ලෙස ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ ජනතාවගෙන් ඉල්ලා සිටියි.
මෙම සති අන්තයේ වගකීමෙන් හැසිරී නිවෙස්වල අවශ්‍ය බඩු බාහිරාදිය රැස් කරගෙන ලබන සඳුදා (16 වැනිදා) සිට සියලු දෙනා ස්වයං සංචරණ සීමා පාලනයකට යොමු වී රටේ ඇති වී ඇති තත්වය හමුවේ ජීවිත ආරක්‍ෂා කරගමු යැයි ද වැටී සිටින දුකෙන් ගොඩඑන්න ස්වෙච්ඡාවෙන් කටයුතු කරමු යැයි ද උපුල් රෝහණ පැවසීය.
ආණ්ඩුවේ සහ බලධාරීන්ගේ තීරණ සම්බන්ධයෙන් කණගාටු වන අතර ආණ්ඩුවේ සහ සියලු බලධාරීන් කේක් කලා වායුසමීකරණය කළ කාමරවල තීරණ ගැනීමෙන් තොරව මේ විසාලා මහනුවර පය තියෙලා ඇවිද මිනිසුස් විදින දුක ලබන්න යැයි ආරාධනා කරන බව ද උපුල් රෝහණ කීය.

මහ කන්නයට පෙර ගොවියාට දිලීර නාශක දෙන්න - රෝහිණී කවිරත්න
"පොහොර නැති වුනාම වගේ නෙවෙයි, දිලීර නාශක නැතිවුණාම වගාව සම්පූර්ණයෙන්ම විනාශ වෙනවා. දිලීර නාශක නැතිකමින් උඩරට එළවළු - පළතුරු - මල් වගාවට දැනටමත් දැවැන්ත විනාශයක් සිදුව තිබෙනවා. මහ කන්නයට පෙර ගොවියාට හිඟයකින් තොරව දිලීර නාශක ලබා වැඩපිළිවෙලක් රජය විසින් ආරම්භ කළ යුතු" යැයි මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීණී රෝහිණී කවිරත්න පවසයි.
මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් මන්ත්‍රීවරිය මේ බව සඳහන් කරන අතර වැඩිදුරටත් මෙසේද පවසයි.
පොහොර හා කෘෂි රසායනික තහනම ලංකාවේ කෘෂිකර්මයට දැවැන්ත විනාශයක් අත්කර දී තිබෙනවා. ආණ්ඩුව කෘෂිකර්ම විශේඥයින්ගේ දැනුමට නිගරු කරමින් දිලීර නාශකවලටත් තහනමක් පනවලා තියෙනවා. පොහොර නැතිවුණාම අස්වැන්න අඩුවෙනවා විතරයි, නමුත් දිලීර නාශක නැති වුණාම ඕනෑම වගාවක් දින දෙක තුනකින් සම්පූර්ණයෙන්ම විනාශ වෙලා යනවා. පසුගිය වැසි සමයේ තේ වගාවේ දිලීර හානිය නිසා කුඩා තේ වතු හිමියෝ අන්ත අසරණ වෙලා තියෙනවා.
වැවිලි සමාගම්වලට තමන්ගේ වගාවට දිලීර නාශක තොග තියෙනවා. දෛනිකව කඩෙන් බෙහෙත් පැකට් එකක්, බෙහෙත් බෝතලයක් අරගන්න ගොවියෝ තමයි ආණ්ඩුවේ අඳ බාල වැඩ වලින් වැඩිම පීඩාවට පත් වෙලා තියෙන්නේ. උඩරට විතරක් නෙවෙයි රටේ පුරාම යල කන්නයට දිලීර නාශක ලැබෙන වැඩපිළිවෙලක් සකස් කළ යුතුයි.
රජයේ විකාර ආනයන තහනම නිසා දැන් මාතලේ විතරක් නෙවෙයි රටේ හැම තැනම දිලීර නාශක හිඟයි. ගොවිතැන් කරන ගොවි පවුලක කෙනෙක් විදිහට මම දන්නවා පැලෑටි සමයේ ඉදන් අස්වැන්න නෙළන කාලය දක්වාම විවිධ අවස්ථාවන් හි ශාකවලට දිලීර බලපෑම එල්ලවෙන බව. දිලීර ආක්‍රමණයක් සිදුවූ පසුව වහා පිළියම් යෙදිය යුතුයි. දිලීර නාශක නිසි ප්‍රමිතියකින් භාවිත කිරීම මිනිසාට හානියක් නෙවෙයි.
ආණ්ඩුව ආර්ථික බංකොලොත් භාවය වහගන්න අඳබාල තර්ක ගේනවා. කිසිම විද්‍යාත්මක පදනමක් නැති තහනම් කිරීම් නිසා රටේ ආහාර හිඟයක් ඇති වෙනවා. විදේශ වෙළෙඳපොල ඉලක්ක කරගෙන නිෂ්පාදනය කරන එළවළු, පළතුරු, මල් හා සලාද වර්ග වලට නිසි ප්‍රමිතියක් තියෙනවා. ලස්සනක් නැති බඩුවලට විදෙස් වෙළෙඳපොලක් නෑ. ආණ්ඩුවේ වැරදි ප්‍රතිපත්ති රටේ සාගතයක් ඇති කරනවා. රටට විදේශ විනිමය නැති කරනවා.

එපිසිලෝන් ආවොත් - පැයකට 30 ක් මැරෙයි : වෛද්‍ය සංගම් අනතුරු අඟවයි !
කොරෝනා වෛරසයේ එපිසිලෝන් යනුවෙන් හැඳින්වෙන ප්‍රභේදය මෙරටට ඇතුළු වුවහොත් සෑම විනාඩි දෙකකටම එක් අයෙකු මිය යනු ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය සඳහන් කරයි.
එහි සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන සඳහන් කරන්නේ නව වෛරසයට ජනතාව තුළ පවත්නා ප්‍රතිශක්තියකරණය හා එන්නත් මගින් ලබාදෙන ප්‍රතිශක්තිකරණය ප්‍රමාණවත් නොවන බවට තොරතුරු සොයාගෙන ඇති බවයි.
දැනට මෙම ප්‍රභේදය මෙරටින් වාර්තා වී නැතත් ඉදිරි කාලයේ දී රට තුළ ව්‍යාප්ත වනු ඇතැයි මතයේ පිහිටා දැන් සිටම අවශ්‍ය තීන්දු තීරණ ගත යුතුව ඇතැයි ද ඔහු පැවසීය.
ඩෙල්ටා ප්‍රබේදයෙන් විනාශ වූ ජීවිත ප්‍රමාණයට වඩා එපිසිලෝන් ප්‍රභේදයෙන් දහස් ගණනකගේ ජීවිත අහිමි වනු ඇති බවද ඔහු තවදුරටත් කියා සිටියේය.
කොවිඩ් 19 'එප්සිලොන්' වයිරස විකෘතිය, 'ඩෙල්ටා' විකෘතියට වඩා බිහිසුණු බවත්, එය එන්නත්වලට ප්‍රතිරෝධයක් දක්වන බවත් පාකිස්තාන වෛද්‍ය පර්යේෂකයෝ අනතුරු අඟවති. 'එප්සිලෝන්' විකෘතිය පළමුවෙන් හඳුනා ගැනුණේ 2020 වසරේ ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයෙනි.
'එප්සිලෝන්' වයිරස නිල වශයෙන් හැඳින්වෙන්නේ B.1.429 සහ CAL.20C යනුවෙනි. 'එප්සිලෝන්' වයිරස විකෘතිය නිර්මාණය වී ඇතැයි පැවැසෙන්නේ කොරෝනා වයිරස විකෘති පහක් එක්වීමෙනි. පාකිස්තාන වෛද්‍ය පර්යේෂකයන්, 'එප්සිලෝන්' විකෘතිය ගැන අනතුරු අඟවා ඇත්තේ, මේ වනවිට පාකිස්තානයේ ලාහෝර් නුවරින් හමුවන 'කොවිඩ් 19' ආසාදිතයන් බොහෝ දෙනකුට ආසාදනය වී ඇත්තේ මෙම විකෘතිය බැවිනි.
ලෝක සෞඛ්‍ය සංවිධානය, 'එප්සිලෝන්' විකෘතිය සැලකිල්ලක් දැක්විය යුතු වයිරස විකෘතියක් යැයි මීට පෙර අනතුරු අඟවා තිබුණු නමුත් දැන් ඔවුන් අනතුරු අගවමින් පවසා ඇත්තේ 'ඩෙල්ටා' සහ 'ලැම්බ්ඩා' සේම, 'එප්සිලෝන්' විකෘතිය සම්බන්ධයෙන් ද විශේෂ සැලකිල්ලක් දැක්විය යුතු යුතු බවය.

ගුරු -විදුහල්පති සටනට මඩ ගහපු : ITN කෝපිකඩේ ගැලවෙයි !
ලංකා ටෙලිනාට්‍ය ඉතිහාසයේ දීර්ඝතම ටෙලිනාට්‍ය ලෙස අදටත් විකාශය වන "කෝපි කඩේ" පසුගිය කතාංගය (Episode 1842 ) ඇතුළත් වීඩියෝව youtube සාමාජ මාධ්‍ය ජාලයෙන් ඉවත්කර ඇත.
මේ සම්බන්ධව සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් ලංකා ගුරු සේවා සංගමයේ නායකයකු මෙන්ම ගුරු විදුහල්පති වැටුප් විෂමතා පදනම් කරගෙන දියත්කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගයේ නායකයකු ලෙස කටයුතු කරන මහින්ද ජයසිංහ මෙසේ පවසා ඇත.
#"කෝපි කඩේ " අමතක නොවන පාඩමක් ඉගෙන ගනී... U tube එකෙන් වීඩියෝව ඉවත් කරයි .? .
මේ සම්බන්ධව ගුරු වෘත්තීය සමිති නායක මහින්ද ජයසිංහ මීට පෙර සමාජ මාධ්‍ය වෙත වීඩියෝවක්ද මුදාහැර තිබු අතර වෘත්තීය සටනක් රාජ්‍ය මාධ්‍යයක යන ටෙලිනාට්‍යක් යොදවා ඊට පහරදීම සම්බන්ධව ඔහු එහිදී විවේචනයක් එල්ල කළේය.
එහිදී ඔහු අඟවා සිටියේ අදාළ නාට්‍යාංගය හරහා ගුරු - විදුහල්පති වෘත්තීය සටනට මඩක් ගසා ඇති බවය.
මේ අතර අදාළ නාට්‍යාංගය නැරඹු බොහෝ දෙනෙකු සඳහන් කර සිටියේද එය ගුරු - විදුහල්පති සටන ඉලක්ක කර ග්‍රාම්‍ය මඩක් මිස වැඩි දෙයක් නොවන බවයි.
රාජ්‍ය මාධ්‍යක් පවතින ආණ්ඩුවේ මතය වෙනුවෙන් කටයුතු කිරීම ගැටළුවක් නැත. නමුත් ඒ තුළත් අවම මාධ්‍ය සදාචාරයක් තබාගත යුතුය. විශේෂයෙන් ගුරු - විදුහල්පති වැටුප් ප්‍රශ්නය වසර 24 කට වඩා ඇදී ඇති ප්‍රශ්නයකි. ඒ සම්බන්ධව විරුද්ධ අදහසක් සමාජ ගත කල යුතු නම් අවම නිර්මාණ භාවිතයක සිට ඒ කළා නම් ගැටළුවක් නැත. එහෙත් මේ මුළුමනින්ම ග්‍රාම්‍ය මඩක් වන අතර එවැනි තුට්ටු දෙකේ කඩේ යාම් නිසා අපකීර්තිය අදාළ ආයතනයටය.

lankaenews ආරක්ෂක හා දේශපාලන විශ්ලේෂක : මාධ්‍යවේදියා අත්අඩංගුවට !
ලංකා ඊ නිවුස් වෙබ් අඩවිය හා සම්බන්ධ, මාධවේදී කීර්ති රත්නායක මහතා කොළඹ අපරාධ කොට්ඨාශය මගින් අද (14) අත් අඩංගුවට ගෙන තිබේ.
අත් අඩංගුවට ගත් නිලධාරියා අත් අඩංගුවට ගැනීමට හේතුව ලෙස සඳහන් කර ඇත්තේ, ඔහු විසින් දැනුම්දී ඇති කරුණක් සම්බන්ධයෙන් සත්‍ය අසත්‍යතාවය සෙවීම පිණිස අත් අඩංගුවට ගන්නා බවයි.
ඒ හෙට (15) ඉන්දීය නිදහස් දිනය දා කොළඹ පිහිටි ඉන්දීය තානාපති කාර්යාලයට ප්‍රහාරයක් එල්ල විය හැකි යැයි පුරෝකථනයක් කරමින් ඒ පිළිබඳ සැලකිලිමත් වන්නැයි කොළඹ ඉන්දීය තානාපති කාර්යාලයට දැනුම් දුන් අනතුරු ඇඟවීමක් සම්බන්ධයෙනි.
ඊට පෙර ප්‍රකාශයක් ලබා ගැනීමට අවශ්‍ය යැයි කියා අද(14) උදෑසන 10 ට කොල්ලුපිටිය පොලිසියට පැමිණ පොලිස් පරීක්ෂක මිද්දෙණිය නමැති නිලධාරියෙකු හමුවන්නැයි ජ්‍යෙ. නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් දුරකථනය මගින් කීර්ති රත්නායකට දැනුම් දී තිබු බව 'ලංකා ඊ නිව්ස් ' වාර්තා කර තිබේ.
ඔහු ඊට එකඟතාවය ප්‍රකාශ කර තිබියදී ඊයේ සවස සහ රාත්‍රිය පුරා ඔහුගේ අඹු දරුවන්ගේ දෙමාපියන්ගේ නිවෙස් වෙත සහ හිතවතුන්ගේ නිවෙස් වෙත පොලිසිය හඹා යමින් ඔහු පිළිබඳ තොරතුරු විමසමින් ඇති බවත් එහි සඳහන් කර ඇත.
එහි වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ලංකා ඊ නිව්ස් ලන්ඩන් කාර්යාලය සමග අවසන් වරට අද උදෑසන 9 ට පමණ අදහස් දැක්වූ අවස්ථාවේ දී මාධ්‍යවේදී කීර්ති රත්නායක පවසා ඇත්තේ, ඔහු දැන් කොල්ලුපිටිය පොලිසිය බලා ගමන් කිරීමට සූදානම් වන බවත් ඉන්දීය තානාපති කාර්යාලයේ නිලධාරිනියක් ද පොලිසිය වෙත පැමිණෙන බව තමන්ට දැනුම් දුන් බවත් ය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියනදේ !
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ සඳහන් කරන්නේ, කොළඹ පිහිටි ජාත්‍යන්තර සබඳතාවලට අදාළ විදේශ ආයතනයකට ප්‍රහාරයක් එල්ල වන බවට ලැබුණු යම් තොරතුරක් සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අදාළව කළ විමර්ශනයකදී කොළඹ අපරාධ කොට්ඨාසය විසින් එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.
එම තොරතුර සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙස අදාළ ආයතනයේ නිලධාරියෙකු ඊයේ (13) දහවල් කොල්ලුපිටිය පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් සිදු කර ඇති බව ද ඔහු සඳහන් කළේය.
පැමිණිල්ලට අදාළව කොල්ලුපිටිය පොලීසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති අතර පසුව එම විමර්ශනය කොළඹ අපරාධ කොට්ඨාසය භාර ගෙන ඇති බවත් ඔහු පවසයි.
පසුව එම විමර්ශනයෙන් අනාවරණය වූ කරුණු මත මහනුවර ප්‍රදේශයේ ස්ථීර පදිංචිය සහිත පනාගොඩ ප්‍රදේශයේ තාවකාලිකව පදිංචිව සිටින අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගත් බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක පැවසිය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවේ, ඔහු ගුවන් හමුදාවේ නිලධාරියෙකුව සිට පසුව ගුවන් හමුදා සේවයෙන් නෙරපා ඇති පුද්ගලයෙකු බවය.

අලුත් බද්දක් නෙවෙයි : මුදල් අමාත්‍යාංශය කියයි !
කරවල, හාල්මැස්සන් ඇතුළු ආහාර ද්‍රව්‍ය කිහිපයක බදු සම්බන්ධයෙන් නිකුත් කෙරුනු ගැසට් නිවේදනය ගැන මුදල් අමාත්‍යාංශය පැහැදිලි කිරීමක් සිදුකර තිබේ.
එහි සඳහන් වන්නේ මෙය අලුතින් පැන වූ බද්දක් නොවන බවත් ආනයනික හාල් මැස්සන් සහ කරවල කිලෝ ග්‍රෑමයකට රුපියල් 100 බැගින් වු බද්ද පනවනු ලැබුවේ 2021 පෙබරවාරි මස 11 වැනිදා සිට මාස 6 ක කාලයකටයි.
එම කාලය අවසන් වන බැවින් කිසිදු බදු සංශෝධනයකින් තොරව එය දීර්ඝ කිරීම නව ගැසට් නිවේදනයෙන් සිදුකර තිබේ.
මීට අමතරව දේශීය නිෂ්පාදකයින් ආරක්ෂා වන පරිදි බටර්, උළුහාල්, කුරක්කන්, පිටි, අබ සහ ලුණු ආනයනය සඳහා 2020 සැප්තැම්බර් 30 වැනිදා නිකුත් කළ වසරකට බලපැවැත්වෙන ගැසට් නිවේදනයේ කාලය ද අවසන් වන බැවින් එය දිර්ඝ කිරීම ද ඊයේ නිකුත් කළ නිවේදනයෙන් සිදුකර ඇති බව මුදල් අමාත්‍යාංශය පවසයි.
news 1st
සබැඳි පුවත
කොරෝනා අස්සේ හාල්මැස්සන්, කරවල කලා හමාරයි : විශේෂ වෙළඳ භාණ්ඩ කිහිපයකට බදු

සෞඛ්‍ය මාර්ගෝපදේශ කිහිපයක් නීතියක් කිරීමේ තීන්දුවක් !
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කරන ඇතැම් මාර්ගෝපදේශ නීතියක් බවට පත් කිරීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.
ඒ අනුව ඊට අදාළ ගැසට් නිවේදනය ලබන සඳුදා (16) දින නිකුත් කිරීමට නියමිත බවත් වාර්තා වෙයි.
අද (14) පෙරවරුවේ මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග පැවති සාකච්ඡාවකදී සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මෙම කරුණු අනාවරණය කර ඇත.
මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසන්නේ, පළාත් අතර පනවා ඇති සංචරණ සීමා උල්ලංඝනය කරන පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවයි.
පළාත් සංචරණ සීමා උල්ලංඝනය කරන පුද්ගලයින් පරීක්ෂා කිරීම සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් අද (14) දිනයේ සිට ක්‍රියාත්මක වන බවත් ඔහු සඳහන් කරයි.
පවතින සංචරණ සීමාවලට පටහැනිව යම් පුද්ගලයෙකු පළාත් මායිම් අතර ගමන් කිරීමට පැමිණියහොත් ඔවුන් අත්අඩංගුවට ගන්නා බවද පොලීසිය ජනතාවට දැනුම් දෙයි.
ඊයේ (13) මධ්‍යම රාත්‍රියේ සිට පළාත් අතර සංචරණය සම්පූර්ණයෙන් තහනම් කිරීමට රජය පියවර ගනු ලැබීය.
ඒ අනුව පළාත් අතර පොදු ප්‍රවාහන සේවා ද අත්හිටුවනු ලැබූ අතර සංචාරක, සෞඛ්‍ය, ගුවන්තොටුපොළ, වරාය, ඇඟලුම් කර්මාන්ත, කෘෂිකර්මාන්ත ඇතුළු අත්‍යාවශ්‍ය සේවා සඳහා පමණක් පළාත් අතර සංචරණය කිරීම සඳහා අවසර ලබාදී තිබේ.

අහිමි වන සෑම මිනිස් ජීවිතයකටම ආණ්ඩුව වගකිව යුතුයි - ආචාර්ය හරිනි
කොරෝනා ඩෙල්ටා ප්‍රභේදය හමුවේ ආණ්ඩුවේ හැසිරීම වගකීමෙන් තොර බවත් එබැවින් අහිමි වන සෑම මිනිස් ජීවිතයකටම ආණ්ඩුව වගකිය යුතු බවත් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.
ඊයේ (13) අන්තර්ජාලය ඔස්සේ පැවති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරිය මේ බව සඳහන් කළ අතර එහිදී පළකළ අදහස් පහත පළ වේ.
“ජාතික ජන බලවේගය හැටියට කොවිඞ් රෝගයෙන් මියගිය අපේ සහෝදර සහෝදරියන්, අපේ නෑදෑයන් සහ මේ රටේ පුරවැසියන් හට අපගේ සාතිශය ශෝකය පළ කරනවා. මේ බොහෝ මරණ වළක්වාගත හැකි එහෙත් වළක්වා නොගත් මරණ. මේ බොහෝ දෙනෙක් මැරුණේ ආණ්ඩුවේ නොසැලකිලිමත් බව පමාවීම්, වැරදි තීරණ නිසයි. මේ මරණවල වගකීම ආණ්ඩුව බාරගත යුතුයි. නමුත් අපි කිසිසේත්ම ඔවුන්ගෙන් එවැන්නක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. එහෙම සංවේදී බවක් මේ ආණ්ඩුවෙන් බලාපොරොත්තු වෙන්න බැහැ. මේ නැති වෙන්නේ රටට වටිනා ජීවිත බව ජාතික ජන බලවේගයේ අපි පිළිගන්නවා. ඒ ජීවිත බේරා ගන්න බැරිවීම ගැන අපි දුක් වෙනවා.
රටේ ජනතාව මේ වෙලාවේ ඉන්නේ විශාල බයකින්. කොයි මොහොතක තමන් ආදරය කරන මිනිස්සුන් වෙන් වෙයිද නොදන්නා කම්පනයක ඉන්නේ. ඒ වගේම රෝගයේ ස්වභාවය නිසා පුරුදු විදිහට අපිට එකිනෙකාව රැකබලා ගන්න බැහැ. සාමාන්‍යයෙන් අපේ සමාජයේ කෙනෙක් ලෙඩ වුණාම අනෙක් අය එකතු වී රැකබලා ගන්නවා. මේ වෙලාවේ අඩුම ගානේ මරණයකදී සිදුකරන සංස්කෘතික චාරිත්‍ර-වාරිත්‍ර බොහොමයකින් කිසිම දෙයක් කරන්න බැරි තත්වයක් තියෙන්නේ. අපේ දුක නිවාගන්න ඒ කටයුතු ටිකවත් මේ අවස්ථාවේ කරන්න බැරිවෙලා. මේ හිත් අමාරුවෙන්, බයෙන්, දුකෙන් සහ සැකෙන් අපේ රටේ බොහෝ දෙනක් ඉන්නේ. එවැනි මොහොතක අපේ රටේ ආණ්ඩුව කොයිද කියලා අහන්න වෙනවා. ජනතාව ආණ්ඩුවක් පත්කර ගන්නේ මෙවැනි ව්‍යසනයකදී නායකත්වය ගන්න. යම් කිසි ආකාරයකට අපේ ප්‍රශ්නය විසඳයි කියන බලාපොරොත්තුවෙන්. නමුත් මේ වෙලාවේ ආණ්ඩුවේ නිහඬතාවයක්, වගකීම්වලින් බැහැරවීමක් අපි දකින්නේ. රටේ ජනතාවගේ ජීවිත ආණ්ඩුවේ ඇමතිවරුන් දෙවියන්ට බාර දුන්නේ. ආණ්ඩුව මේ වගකීමෙන් බැහැර වෙලා. රටේ මිනිස්සු දෙවියන්ට බාර දෙනවා නම් ආණ්ඩුවක් මොකටද? නායකයන් මොකටද? අපේ නායකයෝ ජනතාව අත්විඳින දේ ගැන දැනෙන්නේ මොනවාද? ජනතාව ගැන ඔවුන් සිතන්නේ මොනවාද? ඒ ගොල්ලෝ අපිට කියන්න ඕනෑ.
විද්‍යාත්මක තොරතුරු තිබියදීත් තීරණ නොගන්නේ නම් වෙනත් තොරතුරු ඔවුන් ළඟ තිබෙනවාද? අපි නොදන්නා දෙයක් ඔවුන් දන්නවාද? වගකිව යුතු ආණ්ඩුවක් නම් ඔවුන් තීරණ ගන්නේ මොන පදනමකින්ද කියලා ඔවුන්ව පත්කළ ජනතාවට කියන්න ඕනෑ. සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ විද්‍යාඥයින්ගේ නිර්දේශ නොතකා තීරණ ගැනීම ගැන ආණ්ඩුවෙන් උත්තර අවශ්‍යයි. ආණ්ඩුව මේ මොහොතේ ගන්න තීරණ නිසා මිනිස්සු මැරෙනවා. මිනිස් ජීවිත කියන්නේ ඉලක්කම් නෙවෙයි. හැම ජීවිතයකටම බැඳීම් තියෙනවා. ආණ්ඩුව ගන්න තීරණවලින් බලපෑමක් වෙන්නේ ඒ බැඳීම්වලට. මිනිස් ජීවිත ආරක්‍ෂා කිරීමේ වගකීමෙන් බැහැර වෙලා දෙවියන්ට බාර දෙනවා නම් ඒ ආණ්ඩුව අපිට එපා. අඩුම තරමින් ඔවුන් ගන්න තීරණ සම්බන්ධයෙන් වගකීම බාරගන්න ඕනෑ. ආරක්‍ෂක කාමරවල හැංගිලා කරගෙන යන හැසිරීම වගකීම් විරහිතයි.
මේ සියලු වැරදි තීරණ මධ්‍යයේ ඒ බර දරාගෙන සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ සියලුම දෙනා විශාල කාර්යභාරයක් සිදුකරනවා. දැනට අවුරුදු එක හමාරක් පුරා ඔවුන් අසීමිතව වෙහෙස වෙනවා. මේ මොහොතේ අවදානමේ මුලින්ම සිටින්නේ ඔවුන්. වෛද්‍ය ක්‍ෂේත්‍රය සහ මුළු සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේම බොහෝ දෙනෙක් ආසාදනයට පත්වෙලා. ඔවුන්ගේ නිරෝගී බව අපි ප්‍රාර්ථනා කරනවා. මේ බාධක මධ්‍යයේ ඔවුන් කරගෙන යන කාර්යභාරය ගැන අපි ස්තුතිවන්ත වෙනවා. ජනතාව ගැන හිතලා ඔවුන් කරන කැපවීම අපි විශේෂයෙන් අගය කරනවා. ආණ්ඩුවට බල කරන්නේ ජනතාව අත්හැරලා, සෞඛ්‍ය සේවය අත්හැරලා කටයුතු කරන්න එපා කියලයි. ආණ්ඩුව මිනිස් ජීවිත සහ ආර්ථිකය අතර තේරීමක් කර මිනිස් ජීවිතවලට වඩා ආර්ථිකය කෙරෙහි සලකනවා නම් අපිට අහන්න තියෙන්නේ මිනිස් ජීවිත නොකතන ආර්ථිකය කාටද කියලයි. අපිට මේ රටේ මිනිස්සු වැදගත්.
ජනාධිපතිතුමාගේ නොදැනුවත්කම නිසා මෙහෙම වෙන බව කියන්න පුළුවන්. හැබැයි ආණ්ඩුවක් කියන්නෙ එක පුද්ගලයෙක් නෙවෙයි. පොදු වගකීමක් තියෙන පිරිසක්. එක් එක් කෙනා මත වගකීම් පටවලා නිදහස් වෙන්න බැහැ. සියලු දෙනා වගකීම දරන්න ඕනෑ. ඔවුන් ගන්නා තීරණ පිටිපස්සේ තිබෙන තර්කය මොකක්ද කියලා හෙළිකරන්න ඕනෑ. අහිමි වෙන හැම මිනිස් ජීවිතයකම වගකීම ආණ්ඩුව දරන්න ඕනෑ කියලා අවධාරණය කරනවා.”

ජනතාවට සහන සලසමින් පූර්ණ අගුලු ලෑමක් අවශ්‍යයි – සේනාධීර ගුණතිලක
ආණ්ඩුව විසින් විශේෂඥ නිර්දේශ පිළිගෙන රට පූර්ණ අගුලු ලෑමකට යා යුතු බවත් එහිදී පීඩා විඳින ජනතාව වෙනුවෙන් මැදිහත්වීමේ වැඩපිළිවෙළක්ද අත්‍යවශ්‍ය බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි.
පෙ.ස.ප. සංවිධායක ලේකම් සේනාධීර ගුණතිලක විසින් මේ බව අවධාරනය කෙරුණේ ඊයේ (13) නුගේගොඩදී පැවති මාධ්‍ය සාකච්ඡාවකදීය.
එම අවස්ථාවේ සේනාධීර ගුණතිලක පැවසුවේ වහාම හා හදිසියේ රට අගුලු ලෑමක් කළ යුතු බව මෙරට සෞඛ්‍ය අංශවල ප්‍රමුඛ පෙළේ විශේෂඥයන් පවසන අතර ලෝක සෞඛ්‍ය සංවිධානයේද ඉල්ලීම වූයේ එය බවයි. නමුත් අගුලු ලෑමක් සමග මතුවන අනෙක් ගැටලුව නම්, එහිදී දෛනික ආදායම් උපයන ජනතාවගේ ජීවන තත්වය පවත්වා ගෙන යාමයි. ඒ වෙනුවෙන් ආණ්ඩුව විශේෂ මැදිහත්වීමක් කළ යුතු බව පැවසූ පෙ.ස.ප. සංවිධායක ලේකම්වරයා පළමු කෝවිඩ් රැල්ල අවස්ථාවේ මෙන් රු. 5000ක් වීසි කර ආණ්ඩුවට අතපිහ දා ගත නොහැකි බව පෙන්වා දුන්නේය.
ඔහු ඒ මාධ්‍ය හමුවේදී මෙසේද ප්‍රකාශ කළේය. “මේ වනවිට, අපේ ළඟම ඥාතින්, අසල්වැසියන් කොරෝනා රෝගයට ගොදුරුවන බව දැනගන්න ලැබෙනවා. උදේ වැඩට ගිය ආයතනයේ රෝගීන් හඳුනාගැනීම නිසා සවස්වන විට වසා දැමූ බව නිවේදනය කරනවා. අල්ලපු ගමේ නැත්නම් අල්ලපු ඇඳේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් මිය යන බව අසමින් අපි කම්පාවට පත් වෙනවා. රෝහල් ඇඳන් අඩු නසා කොරිඩෝරවල රෝගීන් පිරී ඇති බව යනාදී වශයෙන් වසංගතයේ ඇත්ත තත්වය අපිට පියවි ඇසින් දකින් ලැබෙනවා. ආණ්ඩුව කියන විදියටත් දෛනික වශයෙන් රෝගීන් වාර්තා වීම 3000 දක්වා වැඩි වී තිබීමත් මරණ සංඛ්‍යාව ඉලක්කම් 3ක් දක්වා ගොස් තිබීමත් නිසා කොරෝනා වසංගතයේ වර්ධනය වන තත්වය සම්බන්ධයෙන් දළ අදහසක් ගන්න හැකියාව ලැබෙනවා. ඇත්ත සංඛ්‍යාලේඛණ වෙනුවට බොරු කියන බවට චෝදනා තිබියදී පවා ආණ්ඩුව නිකුත් කරන සංඛ්‍යාලේඛන අනුවත් මේක ඉතාම බරපතළ තත්වයක්.
ඒ නිසා අපි කියනවා, වසංගතයේ ව්‍යාප්තිය හමුවේ මුලින්ම හමුවන ආසාදිතයාගේ දින 14ක් සහ දෙවනුව ආශ්‍රිතයන්ගේ දින 14 වශයෙන් සළකා බැලුවත් අවම සති 4ක අගුලු ලෑමක් අවශ්‍ය වෙනවා. නමුත් එය පූර්ණ වශයෙන් අගුලු ලෑමක් ලෙස පවත්වා ගෙන ගොස් පසුව සංචාරණ සීමා ලෙස ක්‍රියාත්මක කිරීමට පුලුවන්. නමුත් මේ වන විට වසර දෙකක් තිස්සේ වසංගතය නිසා ජීවනෝපාය අර්බුදයට ගොස් සීන දෛනික රැකියා කරන ජනතාවට, මෙම අගුලු ලෑමෙන් විශාල දුෂ්කරතා රාශියකට මුහුන දෙන්න සිදුවන නිසා ආණ්ඩුව අනිවාර්යයෙන්ම ඔවුන් වෙනුවෙන් විශේෂ මැදිහත්වීමක් කළ යුතුයි. ඒක රුපියල් 5000ක් විතරක් දීලා අත පිහදාගන්න එකක් නොවිය යුතුයි.
අපි පසුගිය මැයි මාසයේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය ලෙස කොරොන් වසංගතය හමුවේ ක්‍රියාත්මක කළ යුතු බවට අප විසින් යෝජනා කළ කෙටිකාලීන වැඩපිළිවෙළක් ආණ්ඩුවේ අවධානයට යොමු කළා. විශේෂයෙන්ම සෞඛ්‍ය සේවය ධාරිතාව ඉක්මවා යාම සහ සෞඛ්‍ය සේවකයන් වසරකට වැඩි කාලයක් දැඩි වෙහෙසකර සේවයක යෙදීම නිසා ඇති විය හැකි බිඳවැටීම් වැළැක්වීමට අපි ස්වෙච්ඡා බලකායක් පිහිටුවීමට යෝජනා කළා. සාමාන්‍යයෙන් සෞඛ්‍ය සේවයට ස්වෙච්ඡාවෙන් සහාය විය හැකි පිරිසක් සමාජයෙන් සම්බන්ධ කරගැනීමට පුළුවන්. පසුගිය වසරක කාලය තුළ පවා යම් යම් ප්‍රමාණයෙන් අපි පක්ෂයක් ලෙස ස්වේච්ඡාවෙක් ඉටු කළ කාර්යයක් තිබෙනවා. අපි දන්නවා විවිධ සමාජ කණ්ඩායම් එවැනි මැද්හත්වීම් සිදු කරනවා. නමුත් අපි යෝජනා කරන්නේ විධිමත් ලෙස සෞඛ්‍ය යාන්ත්‍රනයට සම්බන්ධ කළ ස්වේච්ඡා බලකායක් ස්ථාපනය කරමින් වගකීම් සහගත ලෙස වසංගතය වැළැක්වීම හා ව්‍යාප්තිය නතර කිරීම වෙනුවෙන් කටයුතු කළ යුතු බවයි.
ඊළඟට, වසංගතය හමුවේ වෙන් කළ සෞඛ්‍ය වැයශීර්ෂ කොහොමටත් ප්‍රමාණවත් නොවූ නිසාත් ආණ්ඩුවට ණය අර්බුදයක් තිබීම නිසාත් කෝවිඩ් අරමුදලක් පිහිටුවා ඊට අවශ්‍ය ප්‍රතිපාදන සපයා ගැනීමට අපි යෝජනා කළා. මේ වන විට මේ වසංගතය හමුවේත් බිලියන ගණනින් ලාභ උපදවන සමාගම් ගැන වාර්තා වෙනවා. අපි කියන්නෙ ඒ දැවැන්ත ලාභ තුළ ගැබ් වෙන්නෙ මේ රටේ ශ්‍රමිකයන්ගෙ දුක් වේදනාවන්. ඒ නිසා සමාජයක් ලෙස මුහුණ දෙන මේ අභියෝගයට මුහුනදීම සඳහා ඒ සමාගම්වල ලාභයෙන් කොටසක් අත්පත් කරගත යුතු බවයි. අපි යෝජනා කළ ආකාරයට ලාභවලින් 1%ක් වැනි කොටසක් අරගත්තත් විශාල අරමුදලක් පිහිටුවන්න හැකියාව ලැබෙනවා. මේක සමාජවාදී යෝජනාවක් නෙවෙයි, මේවන විට ලෝකයේ නවලිබරල් ආර්ථිකයන් තුළ ක්‍රියාත්මක කළ දෙයක්.
ආර්ජන්ටිනාව මේ සඳහා පියවර තබා තිබෙනවා. වෙනත් රටවල් විසින් මෙවැනි ක්‍රම සඳහා සැලසුම් සකස් කරනවා. පසුගිය වසර තුළ බිලියන 57ක් තරම් ලාභයක් උපයාගත් LOLC සමාගම වැනි සමාගම්වලින් ඒ ලාභයෙන් කොටසක් ලබා ගැනීමෙන් මේ වසංත සමයේ ජනතාවගේ සුබසාධනයට වගේම කොරෝනා වසංගතය වෙනුවෙන් අවශ්‍ය සෞඛ්‍ය සේවා සඳහා පිරිවැය සපුරාගන්න හැකි බව අපි විශ්වාස කරනවා.”
lanka views

දිනකට මරණ 250 යි : ආසාදිතයන් 5000යි - GMOA නවීන් කියයි !
රෝහල්වලින් නිල නොවන මට්ටමින් ලැබෙන වාර්තා වාර්තාවලට අනුව දිනකට කොරෝනා ආසාදන වන රෝගීන් සංඛ්‍යාව 5000 ඉක්මවමින් ඇති බවත් මියයන සංඛ්‍යාව 250 ඉක්මවා ඇති බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා උපුටා දක්වමින් ආණ්ඩු හිතවාදී වෙබ් අඩවියක් වන ලංකා ලීඩ් නිව්ස් වාර්තා කරයි.
එම පුවතේ වෛද්‍යයවරයා දෙන්නේ වෛරස ඉතාම වේගවත්ව පැතිරෙන නිසා ඉදිරි දින කිහිපය තුළ මෙම සංඛ්‍යා දෙගුණ තෙගුණ විය හැකි බවයි.
එහිදී ඔහු චෝදනා කරන්නේ මෙම තත්ත්වය අවම කර ගැනීම සඳහා එන්නත් ලබා දිය යුතු ප්‍රමුඛතා ලැයිස්තුවක් තම සංගමය ඉදිරිපත් කර ඇතත් බාහිර පිරිසකගේ බලපෑමෙන් එය හරියාකාරව සිදු නොවන බවටයි.
එන්නත් කරණයන් නිවැරදි ක්‍රම වේදයකට සිදුකලේ නම් සම්පූර්ණ ප්‍රතිශක්තිකරණය ජනගහනයෙන් 45%කට ළඟා කර ගැනීමට හැකියාව තිබෙන බවත් මියයන සංඛ්‍යාව ද අඩුවන බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා පවසා ඇත.

ලංකාවට ඉන්දියාවෙන් ඔක්සිජන් !
මෙරට කොවිඩ් -19 ප්‍රතිකාර මධ්‍යස්ථානවල අවශ්‍යතා සඳහා ඔක්සිජන් මෙට්‍රික්ටොන් 100ක් ඉන්දියාවෙන් මිලදී ගැනීමට රජය තීරණය කර තිබේ.
ඒ අනුව එළඹෙන සතියේදී එම මිලදී ගැනීම සිදුකිරීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා පවසයි.
කොරෝනා ආසාදිතව මෙරට රෝහල්වල දැඩි සත්කාර ඒකකවල සිටින ආසාදිතයන් ඉහළ යාම සමඟ මෙසේ ඔක්සිජන් ආනයනය කිරීමට සිදුවන තත්ත්වය මතුව ඇත.
විශේෂයෙන් කොරෝනා ඩෙල්ටා ප්‍රභේදයේ ව්‍යාප්තිය සමඟ ඔක්සිජන් මත යැපෙන ආසාදිත සංඛ්‍යාව ඉහල යාම නිසා රෝහල්වලින් ඔක්සිජන් සඳහා ඉහළ ඉල්ලූමක් ඇතිව තිබෙන බව සෞඛ්‍ය කාර්ය මණ්ඩල පවසයි.
එනිසාම මෙරට නිෂ්පාදනය කරන ඔක්සිජන් ප්‍රමාණය සම්පූර්ණ වශයෙන්ම රෝහල සඳහා නිකුත් කරන තත්ත්වයක් දැනටත් පවතී.

මරණ වැඩියි : සජිත් ලොක්ඩවුන්-ෂට්ඩවුන් එකක් ඉල්ලයි
මේ මොහොතේ ප්‍රමුඛතාවය දිය යුත්තේ ජනතාවට ඔක්සිජන්වලට ද ආර්ථිකයටද යන්න රට පාලනය කරන ආණ්ඩුව තීරණය කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කරයි.
තම යෝජනාව වන්නේ ටික කලකට ‘ලොක්ඩවුන්-ෂට්ඩවුන්’ එකකට ගොස් මරණ සංඛ්‍යාව, ආසාදිත සංඛ්‍යාව පාලනය කරගත හැකි තත්ත්වයට රට ගෙන ආ යුතු බව වන බවත් ඔහු පවසයි.
විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ තිස්සමහාරාම දෙබරවැව ගැමුණුපුර ශ‍්‍රී විශුද්ධාරාම විහාරස්ථානයේ පූජ්‍ය සාලියපුර සුධර්ශන නාහිමියන් සමග අදහස් පල කරමිනි.
මේ මොහොතේ රට වසා දමනවා හැර ජනතාව ජීවත් කිරීමට කිසිදු විකල්පයක් නැති බවද ඔහු සඳහන් කළේය.
මේ මොහොතේ ජනතාවගේ ජීවිතය බේරා ගැනීම කාටත් පැවරී ඇති වගකීම බවත් ආර්ථිකය ගැන ඉන් පසුව සිතිය හැකි බවත් විපක්ෂ නායකවරයා පවසයි.
මෙරට ක්‍රියාත්මක එන්නත්කරණ ක්‍රියාවලිය පිළිබඳව අදහස්වි දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසුවේ “එන්නත් තුන්වෙනි මාත්‍රාව”කඩිනමින්ම ඇනවුම් කළයුතු බවය.මේ වනවිටත් එන්නත් නොලද සියලු දෙනාම එන්නත්කරණය කිරීමේ වැදගත්ම ද ඔහු අවධාරණය කල අතර කොරෝනා දත්ත වෙනස් කිරීමේ අර්බුදය ගැනත් පැවසීය.

පාරිභෝගික සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් : ඉල්ලා අස්වෙයි !
පාරිභෝගික සේවා අධිකාරියේ අධ්‍යක්ෂක ජනරාල් සුදර්ශන දිසානායක එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති මෙන්ම රජය විසින් පත්කරන ලද නිත්‍ය නියෝජිතයින් තිදෙනා එක්ව ගනු ලබන ඇතැම් තීරණ පාරිභෝගික සේවා අධිකාරි පනතට යටත් නොවන බවට ඇතිවූ මත ගැටීම් මෙම ඉල්ලා සීමට හේතුවී ඇත.
පාරිභෝගික සේවා අධිකාරියේ අධ්‍යක්ෂක ජනරාල් සුදර්ශන දිසානායක ශ්‍රී ලංකා පරිපාලන සේවයේ වසර පහළොවක15 ක පමණ පළපුරුද්ද ඇතිව කීර්තිමත් ඉතිහාසයකට හිමිකම් කියන තරුණ නිලධාරියකු වන අතර ඔහු ඉතිහාසය පුරාවටම අනීතික උපදෙස් වලට හා විධාන වලට ක්‍රියාත්මක නොවූවකි.
පසුගිය රජය සමයේ එවකට මුදල් අමාත්‍යවරයා විසින් නාවික හමුදාවේ කීර්තිමත් නිලධාරියෙකු රේගු අධ්‍යක්ෂකවරයා ලෙස පත් කිරීමටත්, ආදායම් බදු දෙපාර්තමේන්තුවේ ප්‍රධානී තනතුරට මුදල් අමාත්‍යාංශයේ නිලධාරියෙක් පත් කිරීමට යාමේදී වෘත්තීය සංගම් විසින් විශාල විරෝධයක් රටපුරා ගොඩනගන ලද අතරම, දේශපාලන වුවමනාවන් මත හැසිරුණු එවකට රාජ්‍ය පරිපාලන සේවා සංගමය ද වර්තමාන ආණ්ඩුවේ පාර්තමේන්තුව ප්‍රධානීන් ලෙස මෙන්ම අමාත්‍යංශ ලේකම්වරු ලෙස ද හමුදා නිලධාරින් පත් කිරීම සම්බන්ධයෙන් නිහඩ පිළිවෙතක් අනුගමනය කිරීම පුදුම සහගත බව දේශපාලන විචාරකයින් පෙන්වා දෙයි.

කොරෝනා අස්සේ හාල්මැස්සන්, කරවල කලා හමාරයි : විශේෂ වෙළඳ භාණ්ඩ කිහිපයකට බදු
හාල්මැස්සන්, කරවල, උළුහාල්, කුරක්කන් පිටි සහ අබ ඇට , ලුණු ඇතුළු භාණ්ඩ වර්ග කිහිපයක් සඳහා විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනවමින් මුදල් අමාත්‍යවරයා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ අනුව හාල්මැස්සන් සඳහා කිලෝ ග්‍රෑමයකට රු. 100 ක් ද , කරවල සඳහා කිලෝ ග්‍රෑමයකට රු. 100 ක් ද , වෙඬරු සහ කිරිවලින් නිපදවූ තැවරුම් සඳහා කිලෝ ග්‍රෑමයකට රු. 880 ක් ද වශයෙන් බදු පැනවෙනු ඇති.
මීට අමතරව උළුහාල් ඇට සඳහා කිලෝ ග්‍රෑමයකට රු. 50 ක් ද කුරක්කන් පිටි සඳහා කිලෝ ග්‍රෑමයකට රු. 150 ක් ද , අබ ඇට සඳහා කිලෝ ග්‍රෑමයකට රු. 62ක් ද වශයෙන් බදු පනවා තිබේ.
මෙම බදු පැනවීම් අගෝස්තු 12 වනදින සිට වසරක කාලයක් සඳහා වලංගු වන බව ද අදාළ ගැසට් නිවේදනයේ සඳහන් ය.
ගැසට් නිවේදනය පහතින්…

කොරෝනා දත්ත වෙනස් කරන අය : විමල්ගේ මුසා හෙළිකරයි !
ශ්‍රී ලංකාව තුළ සාර්ථකව ක්‍රියාත්මක වන කොරෝනා මර්දන වැඩපිළිවෙළ පිළිබඳව වන දත්ත වෙනස් කරමින් සම්පූර්ණයෙන් එය අකර්මණ්‍ය කිරීමට කටයුතු කරන ශ්‍රී ලංකා යුද හමුදාවේ ඉහළ නිලධාරියෙකු සහ වසංගත රෝග විද්‍යා අංශයේ ඉහළම විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනෙකු පිළිබඳව සුවිශේෂී අනාවරණයක් සිදුකළ ජානිපෙ මාධ්‍ය ප්‍රකාශක, පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා එසේ වසංගතය වසන් කරමින් ජනතාවගේ ජීවිත සමග සෙල්ලම් කරන එම නිලධාරී තුන්කට්ටුවට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටියි.
අද (13) පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මෙම සුවිශේෂී අනාවරණය සිදු කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මුසම්මිල් මන්ත්‍රීවරයා මෙසේද සඳහන් කළේය.
“පසුගිය 10 වැනිදා ගම්පහ දිස්ත්‍රික් කොවිඩ් මර්දන කමිටුවේ දී හෙළිදරව් වුණා අගෝස්තු මාසයේ ගෙවී ගිය දින 09 තුළ කෝවිඩ් ආසාදිතයන් 12,555 වාර්තා වූ බව. මෙයින් රෝහල්ගත වූ ගණන 4000ක් පමණ වෙනවා. නමුත් මේ දින කිහිපය තුළ ගම්පහ දිස්ත්‍රික්කය තුළ ආසාදිත පිරිස පිළිබඳ සංඛ්‍යාලේඛන මගින් පෙන්වන්නේ 3000ක පමණ ගණනක්. සෞඛ්‍ය බලධාරීන් 4000ක් පමණ රෝහල් ගත කළ බව කියන විට ප්‍රකාශිත දත්ත මගින් පෙන්වා දෙන්නේ 3000ක පමණ ගණනක්. කාවද මේ නොමඟ යවන්නේ? කාටද මේ බොරු කරන්න හදන්නේ? මේ අනුව ඉතා පැහැදිලියි, කොවිඩ් දත්ත වෙනස් කිරීමේ සැලසුම් සහගත වැඩපිළිවෙළක් දියත් වන බවට.
‘ආසාදිතයන් 5000 ඉක්මවලා’
මේ දින 09 තුළ ගම්පහින් හමුවූ ආසාදිතයන් 12,555 නවයෙන් බෙදූවිට ආසන්න වශයෙන් දිනකට ආසාදිතයන් 1395ක් වාර්තා විය යුතුයි. නමුත් අපි කිසිම තැනක දුටුවේ නැහැ, ගම්පහින් දිනකට ආසාදිතයන් 1395ක් වාර්තා වන බව. ගම්පහ පමණක් නොවේ රට තුළ ආසාදිතයන් වාර්තා වූ අන්දම බැලුවොත් අගෝස්තු 05 වැනිදා හමුවූ ආසාදිතයින් ගණන 4900කට අධික වුවත් දෛනික වාර්තාවේ සඳහන් වන්නේ 2669 ලෙසයි. අගෝස්තු 06 වැනිදා හමුවූ ආසාදිතයන් සංඛ්‍යාව 5000ට වැඩියි. එතැන් සිට අගෝස්තු 11 වැනිදා දක්වා රට තුළ දෛනිකව හමුවූ ආසාදිතයන් ගණන 5000 වැඩියි. නමුත් දෛනික දත්ත වාර්තා මගින් පෙන්වා දුන්නේ ආසාදිතයන් තුන්දාහකට ආසන්න අගයක් බවයි.
‘විශේෂ දත්ත සටහනක්’
මම මේ මාධ්‍ය හමුවට වාඩිවෙන අවස්ථාවේ මට විශේෂ දත්ත සටහනක් ලැබුණා. මෙහි තිබෙන්නේ අගෝස්තු එකොළොස් වැනිදා රට තුළ සිදු කළ සමස්ත පීසීආර් සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ පිළිබඳ දත්ත. මේ පීසීආර් පරීක්ෂණ මගින් අනාවරණය වී තිබෙනවා 4175ක් ආසාදිත බව. ඒ වගේම රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ මගින් අනාවරණය වී තිබෙනවා 1239ක් ආසාදිත බව. ඒ අනුව 11 වැනිදා හමු වූ සමස්ත ආසාදිතයන් ප්‍රමාණය 5414ක් වෙනවා. මෙමඟින් තවදුරටත් තහවුරු වෙනවා කොවිඩ් දත්ත වෙනස් කිරීමේ වැඩපිළිවෙළක් යම් පිරිසක් විසින් සිදුකරන බවට. තත්ව වාර්තා සහ පරීක්ෂණාගාර වාර්තා ලැබෙන්නේ ඉතා සීමිත පිරිසකටයි. ඒවා පරික්ෂා කළොත් අප මේ කළ අනාවරණය තහවුරු කරගත හැකියි. මම දැන් ඉදිරිපත් කළෙත් එවැනි පරීක්ෂණාගාර වාර්තාවක්.
මේ දත්ත වෙනස් කිරීමේ කටයුත්තට වසංගත රෝග විද්‍යා අංශයේ ඉහළ විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනෙක් සම්බන්ධ බව අපි අනාවරණය කිරීමට කැමතියි. ඒ වගේම ශ්‍රී ලංකා යුද හමුදාවේ ඉහළම නිලධාරියෙකුත් එකතු වෙලයි මේ දත්ත වෙනස් කිරීම සිදුකරන්නේ. මේ ඉහළ නිලධාරියා කවුද කියා බලන්න යුද හමුදාපතිතුමන්ට කැමතිනම් පුළුවන්. කොවිඩ් දත්ත වෙනස් කිරීමට මුල් වී ඇති මේ තුන්කට්ටුවේ මූලික අරමුණ වී ඇත්තේ ශ්‍රී ලංකාවේ කොරෝනා මර්දන වැඩපිළිවෙළ සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය කිරීමයි. ජනාධිපතිතුමන්ට දත්ත වැරදි විදිහට ඉදිරිපත් කළාම තීරණ ගන්න වෙන්නෙත් ඊට සාපේක්ෂව. ඒ අනුව මේ අයගේ තවත් අරමුණක් තමයි ජනාධිපතිතුමන් නොමඟ යැවීම. ආණ්ඩුව අපහසුතාවට පත් කරලා ජනතාව බිල්ලට දීලා අවසානයේ විපක්ෂයේ උවමනාව ඉටු කර දීමත් මේ අයගේ අරමුණු අතර වෙනවා. විපක්ෂයේ වුවමනා වී ඇත්තේත් රජය විසින් සිදුකරන කොරෝනා මර්දන වැඩපිළිවෙළ සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය කිරීමයි.
මේ විදිහට දෛනික ආසාදිතයන් ගණන අඩුවෙන් වාර්තා කළාම දෛනික මරණ අනුපාතය ඉහළ යනවා. දැන් විපක්ෂය මාධ්‍ය සාකච්ඡා තබමින් කියන්නේ ‘අපි දැන් ලෝකයේ ඉහළම කොරෝනා මරණ අනුපාතිකය සහිත රටක්’ කියලයි. දෛනික මරණ සංඛ්‍යාව, දෛනික ආසාදිතයන් ගණනින් බෙදූ විට ලැබෙන ප්‍රතිශතය ඊයේ (12) දිනයට අදාළව ගත්තාම, (156/3039) 5%ක් පමණ වෙනවා. කොවිඩ් මර්දන වැඩපිළිවෙළ ඉතා අසාර්ථක රටවල පවා මේ දෛනික මරණ අනුපාතය 3%ක පමණ අගයක්. ඉතා සාර්ථක කොවිඩ් මර්දන වැඩපිළිවෙළක් සහිත අපේ රටේ මෙවැනි 5%කටත් වැඩි මරණ අනුපාතයක් පෙන්වීමට අවශ්‍යව ඇත්තේ කාටද? ඒ නිසා අපි ඉල්ලා සිටිනවා ජනතාවගෙන් වසංගතය වසන් කරලා, ඔවුන්ගේ ජීවිත සමග සෙල්ලම් කරන මේ නිලධාරී තුන්කට්ටුවට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස”
අනුරුද්ධ බණ්ඩාර රණවාරණ,
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ

ප්‍රසන්නටත් කොරෝනා : පාර්ලිමේන්තු පොකුර වර්ධනය වෙයි !
වේවැල්, පිත්තල,මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීරටද කොරෝනා ආසාදනයව ඇති බව වාර්තා වෙයි.
එසේම අමාත්‍යවරයාගේ බිරිඳට සහ ලේකම්වරුන් දෙදෙනෙකුටද කොරෝනා ආසාදනයවී ඇතැයි තහවුරු වී ඇත.
වාර්තා වන ආකාරයට කොරෝනා ආසාදනයවූ ප්‍රසන්න රණවීර රාජ්‍ය ඇමතිවරයා සහ ඔහුගේ බිරිඳ අයි. ඩී .එච් රෝහලට ඇතුළත් කර ඇත.
ඒ අනුව කොරෝනා පාර්ලිමේන්තු පොකුර වර්ධනය වෙමින් ඇති තත්ත්වයක් පෙන්නුම් කරන අතර දැනගන්නට ඇති ආකාරයට මේ වන විට මැති ඇමතිවරුන් 20 කට ආසන්න ප්‍රමාණයකට කොරෝනා ආසාදනයවී තිබේ.

මංගලටත් කොරෝනා !
හිටපු අමාත්‍ය මංගල සමරවීරට ද කෝවිඩ් ආසාදනය වී ඇතැයි වාර්තාවේ.
සිදුකරනු ලැබූ PCR පරික්ෂයෙන් ඒ බව තහවුරු වී ඇති බවත් දැනගන්නට ඇත.
එසේම මේ වන විට හිටපු අමාත්‍ය මංගල සමරවීර වෛද්‍ය ප්‍රතිකාර ලබමින් පසුවන බවත් වාර්තා වෙයි.
පසුගිය දින දෙක තුනෙහි තමන් හමුවීමට පානදුර නිවසට පැමිණි කිහිප දෙනෙකුටම නිරෝධායනයට ලක්වන්නැයි ඔහු විසින් මේවනවිටත් දැනුම්දී ඇති බවත් වාර්තා වන අතර ඔහුගේ නිවසේ කාර්ය මණ්ඩලය ද නිරෝධායනයට ලක්ව සිටිති.

තව මාස 38 යි - නිවැරැදි වෙන්න : විජයදාස ජනාධිපතිට ලියයි !
" ඔබට තිබෙන ධුර කාලය සීමිත යි. තව මාස 38 යි. නිවැරැදි වෙන්න" යයි අවධාරණය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජයදාස රාජපක්ෂ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලිපියක් යොමුකර පවසයි.
අදාළ ලිපිය අද (13) යොමුකර ඇති අතර 2014 ට පෙර, 1015 යහපාලන සමය සහ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිකර මේ දක්වා කාලය අනාවරණය කරන ආකාරයට කරුණු රැසක් පෙළගස්සවමින් අදාළ ලිපිය ලියා ඇත.
"ජනපති ගෝඨාභයට - විවෘත සංදේශයක්?"මැයෙන් නම් කර ඇති අදාළ සම්පුර්ණ ලිපිය පහත දැක්වෙයි.
විජයදාස රාජපක්ෂ
2021 අගෝස්තු මස 13 දිනදීය
ජනපති ගෝඨාභයට - විවෘත සංදේශයක්?
හිතවත් ගෝඨාභය,
මෙහෙම ආමන්ත්‍රණය කළේ ඔබ හිතවත් ඇතැයි කියලා හිතලා. මම නම් හිතවත්. මොකද ඔබ මගේ පමණක් නොවේ රටේ මිලියන 22 ක ජනතාවගේ ම රාජ්‍ය නායකයානේ. ඔබෙ හිත රිදුනත් කමක් නැහැ. ඔබට තේරෙනවා ඇතිනෙ මම කථා කළේ රට සහ ජනතාව ගැන හිතල කියලා. මොකද ඔබව පත්කර ගන්නත්, ආණ්ඩුව හදන්නත් මම දායක වුණා. මම පසුගිය කාලෙ කියපුවට ඔබගෙ හිත රිදිලත් ඇති. ඇත්ත කතා කිරීම මහජන නියෝජිතයන්ගෙ වගකීමනෙ. සමහර නාලිකා වුනත් කියන්නේ පැත්ත ගියත් ඇත්ත කියනව කියලයි. ඒ වුණාට ඔබගෙ ගෝල බාලයො නම් කිව්වෙ මට ඇමතිකම නැති නිසා හිත අමනාපෙන් ඉන්නවා කියලා. මේ ලෝකෙ ජීවත්වන කෙටි කාලය තුළ වගකීම් නැතිව නිදහසේ ජීවත්වන්න ඇත්නම් මොන තරම් වාසනාවන්ත ද? මම ජීවිතය විඳවන්න මේ ලෝකෙට ආපු කෙනෙක් නෙමෙයි, විඳින්න ආපු කෙනෙක්. ඒත් රටට වෙන දේ බලාගෙන ඉන්න බැරිම තැන් වල දි මමත් දේශපාලනයට මැදිහත් වුණා. මම ඇමතිකම් භාර ගත්තා. මා භාරගත්ත වගකීම් සියල්ල ම හරියට ම ඉටු කළා.
මහින්දගේ ආණ්ඩු කාළෙ නිර්මාණය වුන SAITEM ප්‍රශ්නය අවුරුදු තුනක් රට අකර්මණ්‍ය කළා. පෙළපාලි, උද්ගෝෂණය 410 ක් තිබුනා. මම සතියක් ඇතුළත එය සම්පූර්ණයෙන්ම විසදුව. 2017 දි මා විසින් පවත්වන ලද එක්සත් ජාතීන්ගේ වෙසක් උත්සවය තමයි ලෝකයේ පවත්වන ලද විශාලතම බෞද්ධ උත්සවය. රටවල් 74ක සහභාගිත්වයෙන්. අපි ජාත්‍යන්තර කීර්තියක් දිනා ගත්ත.
ඔබලා යුධ අපරාධ කලයි කියල බැංකි මූන් හේග් ජාත්‍යන්තර අධිකරණය ට ගෙනියන්න 2011 ක්‍රියාකළ වෙලාවෙ මම විතරයි ඔහුට අභියෝග කළේ. ඒකත් විපක්ෂයෙ ඉදන් කළේ. ඔබලා ඉල්ලලා පත්කර ගත්ත දරුස්මාන් කොමිටියම තමයි ඔබලා යුධ අපරාධ කළයි කියල චෝදනා ඉදිරිපත් පත් කළේ. ඒකට මහින්ද මට ප්‍රසිද්ධියේ ස්තුති කළා. 2015 ආණ්ඩුවෙ අපි ජිනීවා ගිහිල්ල බොහොම අමාරුවෙන් තමයි ඒවා සමනය කළේ.
මම ඇමතිකම් පස් වතාවක් ප්‍රතික්ෂේප කළා. වරක් ඉල්ලා අස්වුණා. මම කාගෙන්වත් පලිගත්තෙ නැහැ. එහෙම කරනවා නම් මගේ ගෙදරට වෙඩි තියපු අයගෙනුත් පලිගන්න තිබුන. ඔබ වැලිකඩට නොගිහින් බේරුනෙ ඒ හින්දමයි. එහෙම කළා කියලා මම තවමත් හරියට බැණුම් අහනවා. මම කටයුතූ කළේ සැමට සමව නීතියේ ආධිපත්‍යය ක්‍රියාත්මක කරන්නයි. පාලිතයා පමණක් නොව පාලකයා ද නීතියට යටත් විය යුතුය. නීතියට උඩින් කිසිවෙකු සිටිය නොහැක. නීතියට යටින් ද කිසිවෙකු සිටිය යුතු නැත.
මම වගේම දශලක්ෂ සංඛ්‍යාත ජනතාවක් ඔබ මේ රට වෙනස් කරයි කියලා විශ්වාස කළා. System එක Change කරයි කියලා හිතුවා. ඔබ ඇමරිකානු පුරවැසියෙක් වූ නිසා අඩු තරමේ ජනාධිපතිට Mr. ගෝඨාභය කියලා කියන තරම්වත් ඔබ ජනාධිපති තනතුර ජනතාවට ළං වුන ප්‍රජාතන්ත්‍රවාදයේ අංගයක් බවට පත් කරාවි කියලා හිතුවා. 19 සංශෝධනයෙන් අපි බොහෝ දුරට රට ප්‍රජාතන්ත්‍රවාදයේ ඉසව්වට ගෙනාවත් පාලකයො අමන වැඩ කරන්න ගත්තා. ඒක ව්‍යවස්ථාවෙ වරදක් නොවේ. පාලකයන්ගෙ තෘෘෂ්ණාව සහ බලලෝභය නිසා ඇති වූ අවුලක්. ඇමරිකාවෙ ජනතාව Mr. ඔබාමා, Mr. බයිඩන් කියල තමයි ඔවුන්ව අමතන්නේ. ඒ රට ධනවාදී රටක් වුනත් ඒ තරමට ප්‍රජාතන්ත්‍රවාදයට පාලකයො ගරු කරනවා. ඒත් ඔබත් ආපු ගමන් ම අතිගරු වුනා. උපදේශකයන්ට අමතක වෙන්න ඇති මුලට ‘අති උතුම්’ කියලා යොදන්න. එහෙම යෙදුවා නම් ඊටත් වඩා එය ගරු ගාම්භීරයි කියල ඔවුන් හිතාවි.
තිස් අවුරුදු යුද්ධය දිනලා වසර 3-4 ක් යනකොට රාජපක්ෂලාට බහුතර ජනතාව වෛර කරන්න ගත්තා. රට කෑලි කෑලි වලට විකුණුවා. ට්‍රිලියන අටකට ජනතාව උකස් කළා. දැන් අපි සමග රට රු. ට්‍රිලියන 16 ට උකස්. කොමිස්, අල්ලස්, කුඩු ජාවාරම, ප්‍රධාන මාතෘකා වුනා. පවුල්වාදය ඊටත් උඩින් රට වැනසුවා. අවුරුදු හතරක් ගිය තැන ජනතාව පාලනය වෙනස් කළා. ජනතාව හිතුවා ඔබ ඇතුළු පවුලේ අය පාඩමක් ඉගෙන ගත්තා කියලා. ඔබ කවදාවත් කුණු ලේ පාට සාටකය පැලඳුවේ නැති එකට මිනිස්සු ගරු කළා. ඒ නිසා ඔබ අන් රාජපක්ෂලාට වඩා වෙනස් කියලා ජනතාව හිතුවා. System එක Change කරයි කියලා විශ්වාස කළා. ඒත් ඉතින් මොන වෙනසක් ද? මිනිස්සු කියන්නෙ බූවල්ලො පැටව් ගැහුවා කියලා.
රුවන්මැලි සෑයේ දී දිවුරුම් දෙනකොට මට රට ගැන මහ බයක් ඇති වුනා. රුවන්මැලි සෑය වඳින්න දහස් ගණන් දෙවි දේවතාවො වඩිනවා. එතන ගිහියන්ට කැප නැහැ. බුදු දහමට දිවුරුම පටහැණියි. ඒක රාජ නීතිය පමණයි. දළදා මාළිගාව සහ කැළණි රජ මහ විහාර පරිශ්‍රයනුත් ඒ වගේ ම පාරිශුද්ධයි. සමහරු මෙහෙමත් හිතනවා. අන්‍ය ආගමිකයෙක් ජනාධිපති වෙලා කෝවිලක හෝ පල්ලියක දිවුරුම් දුන්නා නම් සිංහල බෞද්ධ අපට මොනවා හිතේවි ද? භික්ෂූන් වහන්සේලා හැමදාම පෙරට ආවෙ රටට විපත්තියක් වෙන වෙලාවකට. ඒ රට බෙරගන්න. ඔබත් පොරොන්දු වුනානෙ හම්බන්තොට වරාය ඇතූලු විකුණපු ජනතාවගෙ සම්පත් ආපහු ගන්නවා කියල. මහින්දත් කිව්වනෙ. සමහර හාමුදුරුවො හිට්ලර් කෙනෙකු ඕනයි කියන්න ඇත්තෙ ඒ වැඩේ කර ගන්න. හිට්ලර් රට කොටස් කරල විකුණුවෙ නැහැනේ. මිනිහ යුද්ධ කළේ රටට කොටස් එකතු කර ගන්න. රටේ බලය ලෝකයටම පතුරවන්න. ඔබට ඒක තේරිලා නැහැ. ඔබ රට කොටස් වශයෙන් විකුණන එකනෙ කරන්නෙ. ඒකනේ ඔබව බලයට ගෙනාපු මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමි, ඇල්ලේ ගුණවංස නාහිමි වගේ හාමුදුරුවෝත් ඔබට අද නැත්තේ. හාමුදුරුවෝ ඔහොම නායකයන් තෝරන්න හැමදාම එන්නෙ නැහැ. 1956 ජන්දෙදි බණ්ඩාරනායක මහත්තයා ට වැඩියෙන් ම උදව් කළේ කැළණියෙ නායක හාමුදුරුවෝ. අවාසනාවකටදෝ උන් වහන්සේ ම ඔහු ව ඝාතනය කලා. ඊට පස්සේ හාමුදුරුවෝ රැල්ලක් හැදුවෙ ඔබට. ඒ රනිල්ගෙ වෙන්දේසිය නතර කරන්න මිසක් ඒක වේගවත් කරන්න හෙම නොවෙයි.
ඔබ ජනාධිපති වෙලා මාස තුනෙන් කොරෝනා රැල්ල ආවා. ඒක පළවෙනි රැල්ල. අනිල් ජාසිංහ, පබා පලිහවඩන, ඉඳුනිල් බණ්ඩාර, හද්‍රාණි ජයවර්ධන ඒක හොඳට පාලනය කළා. රට ම පාස් වුනා. ඔවුන් ඔක්කොම ඉවත් කළා. ඒගොල්ලා ෆේල් වුනා නම් තවමත් ඒ තනතුරු වල. ඒකට ජනතාවට කේන්ති ගියා. සර් ෆේල් කිව්වා. ෆේල් වුනා ම කරන්න ඕන ආයෙමත් පාස් වෙන්න උත්සාහ කරන එක මිසක් ෆේල් කියන කොල්ලන්ට තලන එක නෙමෙයි. අම්මා තාත්තා දාපු නම කීවට තරහ ගන්න එපා. ඒ නම් ඇහෙන කොට දෙමාපියො ඉන්න ලෝකෙක ඉඳන් සතුටු වෙනවා. ආශිර්වාද කරනවා.
ඔබ නීතියේ ආධිපත්‍යය තහවුරු කරනවා කිව්වට විස්සෙන් ඒකාධිපතියකු හදන බව හොඳට ම දැනගෙන හිටියා. ඔබ ජේ.ආර්.ටත් වඩා බලයෙන් වැඩියි. දැන් තාක්ෂණය දියුණු නිසා මිනිසෙක් ගැහැණියක් කරන්නත් පුළුවන්. ඒත් ඇහැට නොපෙනෙන දූවිලි අංශුවක් තරම් වෛරසයකට හැකි වුනා අපි විතරක් නොවෙයි ලෝකය ම දණගස්සන්න. බලයට ලොකු බලයක් නැති බව ඒකෙන්ම පේනවා නේද. ඒක තාවකාලික දෙයක්. කළොත් හොදක් නම විතරක් පවතීවි. 2021 නොවැම්බර් 16 ට පෙර අළුත් ආංඩුක්‍රම ව්‍යවස්ථාව අනිවාර්යයෙන්ම සම්මත කරන බවට ඔබ අපටත්, රටටත් පොරොන්දු වුනා. ඒ එකගතාවය නිසයි අපි මංත්‍රිවරු 20 ක් 20 සංශෝධනය ට අත ඉස්සුවේ. ඒක කරන්න බැරි බවත් දැන් ස්ථිරයිනෙ.
කෝවිඩ් 19 දෙවැනි රැල්ල එනකොට සෞඛ්‍ය අංශයේ අර හිටපු කවුරුත් ඒ තැන්වල හිටියේ නැහැ. කොවිඩ් දිනුව, අපි පරාද වුණා. වසංගතයෙන් උතුරා ගිය යුක්‍රේනයෙන් ඔබගේ ඥාතියා වෙන වීරතුංග සංචාරක බුබුළු ගෙනාවා. බැලින්නම් ඇත්තට ම ගෙනත් තිබුණෙ කොරෝනා බුබුළු. ඔබගේ මලයා, බැසිල් කිව්වෙ ඒක අත්හදා බැලීමක් කියලා. මලය කිව්වට අමනාප වෙන්න එපා. ඒක ගිරුවාපත්තුවෙ අපි ආදරේට කරන ආමන්ත්‍රණයක්. පර්යේෂණය සාර්ථක වුනා. රට අනතුරට වැටුණා. අඩු තරමේ 2020 ඔක්තෝබර් 15 දින රට වහන්නන කියලා වසංගත රෝග විශේෂඥයින් උපදෙස් දුන්නා. ඒත් ඔබට වැඩිය වටින්නෙ විස්සනෙ. විස්ස 22 දා සම්මත කරලා රට වැහුවෙ 26 වැනිදා. දින 11 ක් ප්‍රමාදයි. වසංගතය රට පුරා ව්‍යාප්ත වුනා.
තුන්වෙනි රැල්ලත් ආවා. සියලු ම වෛද්‍ය විශේෂඥයො ඉල්ලා සිටියා අප්‍රේල් 8 සිට 22 දක්වා රට වහන්න කියලා. ඒ උපදෙස් සහිත ඉල්ලීම ඔබ විසි කළා. මැයි පහ කොළඹ වරාය නගරය චීනෙට විකුණන්න පනත සම්මත කරගන්න තෙක් වහන්නෙ නෑ කියලා ඔබ තීරණය කළා. අපි පනතට විරුද්ධ ව උසාවි ගියා. තීන්දුව ආවෙ පහුවෙලා. පනත මැයි 20 සම්මත කළා. එදින ම රට ලොක් ඩවුන් කළා. දින 43 ක් ප්‍රමාද වුනා. වසංගතය රට ම ගිලගත්තා. එතකොට ජනතාව ඔබ ෆේල් කියපු එකේ තියෙන වරද තේරුම් ගන්න අමාරුයි.
ලෝකෙ බොහෝ රටවල් වසංගත කාලෙ හොටල්, ක්ලබ්, කඩසාප්පු වැහුවා. ඉතා ඉක්මනට පාසල් සහ විශ්ව විද්‍යාල ඇරියා. අපේ රටේ දැන් මාස 17 ක් ම පාසල්, විශ්ව විද්‍යාල වහලා. දරුවන්ට අනාගතයක් තියේවි ද? ලක්ෂ දහයකට වඩා තරුණ තරුණියො රටවල් අරිනකම් බලා ඉන්නවා. රටේ දරුණුතම බුද්ධි ගලනය ඉදිරි අවුරුදු දෙක-තුන තුළ සිදු වේවි. බොහෝ ව්‍යාපාරිකයො සිය ව්‍යාපාර වලට වෙනත් රටවල් තෝරගෙන. ඉතා ඉක්මනට ඔවුන්ගේ ප්‍රාග්ධනය අරන් ඔවුන් විදෙස්ගත වෙනවා. ඉතිරි වන්නේ අධ්‍යාපන සුදුසුකම් නැති අයයි, අසාර්ථක ව්‍යාපාරිකයොයි, ඔබයි මමයි වගේ වයසක කණ්ඩායමයි පමණයි. එතකොට මේක නිකන් ම චීන කොලණියක් වෙන එක කාටවත් වළක්වන්න බැහැ.
බලන්නකො චීනගෙ නගරංකාරකම. බංගලාදේශයට ඩොලර් 10 ට විකුණපු සයිනොෆාම් එන්නත අපිට දුන්නෙ ඩොලර් 15 ට. ඕව සහගහන අපරාධනෙ. මේක චීන කොලණියක් වෙයි කියලා මුලින් ම අනතුරු ඇඟෙව්වෙ සර් ජෝන් කොතලාවල අගමැති. ඒ 1955 දි බැන්ඩුන් සම්මේලනයේ දි. එවෙලෙ චෞඑන්ලායි, ශ්‍රී නේරු එහෙමත් හිටියා. බලන්නකො එතුමා අවුරුදු 65 කට පෙර අද දවස ගැන දැකපු හැටි. ගමේ කොල්ලන්ට මම ඕක කිව්ව ම ඔවුන් කිව්වෙ ඒක ‘පට්ට මොලයක්’ කියලා. තරුණයන්ගෙ භාෂාවනෙ. කාලය දැන් වෙනස්. කොල්ලො කෙල්ලො හරි බුද්ධිමත්. ඒ වගේ ම කටකාරයි. දැන් ලෝකය එක යායක් නෙ. ඒකනෙ වසංගතයත් එක යායට ම පැතුරුනෙ.
ප්‍රජානත්ත්‍රවාදී පාලනය යනු ජනතාව විසින් ජනතාව උදෙසා ගෙන යන ජන සම්මතවාදී පාලනයක් කියලා කිව්වෙ ඔබ ජීවත් වුන රටේ 16 වන ජනාධිපති ඒබ්‍රහම් ලින්කන්. ඒ වුණාට අපේ ගුරුවරුන්ට වසර 24 ක් තිස්සෙ තියෙන ගුරු ප්‍රශ්න විසඳලා දෙන්න කියලා ඒගොල්ලා ඉල්ලුවහම ඔබගේ ඇමතිවරු ඒ ගොල්ලන්ට කාලකණ්ණි කිව්වා. අපි තාමත් අපිට උගන්නපු ගුරුවරයෙක් මුණගැහෙනකම් ආශාවෙන් බලා ඉන්නෙ. ඒ ඔවුන්ට කාලකණ්ණි කියන්න නෙවෙයි, දණ ගහලා වඳින්න. කෘතගුණ සළකන්න. ජනතාව කියන්නෙ ඕව කියන ඇමතිවරු ඔබගේ සට්ටැඹිරාළලා කියලයි.
පාස්කු ඉරිදා ඝාතනයේ මහ මොලකරුවන්ට දඬුවම් දෙන බවට ඔබ පොරොන්දු වුනා. එහෙම නොකිව්වා නම් ඔබ පරාදයි. ජනාධිපති කොමිෂන් වාර්තාව ජනවාරි මාසෙ ආවා. ඒක අසම්පූර්ණයි. ඔබ අප ව කැඳවලා ඇහුවා ඒ ගැන ගත යුතු පියවර. මම කිව්වෙ වගකීමට සම්බන්ධ නැති පොලිස් නිලධාරී කණ්ඩායමකට සිද්ධිය මෙහෙයවපු අය ව මාස දෙකක් ඇතුළත හොයන්න බාර දෙන්න කියලා නීතිපතිගෙ සෘජු අධීක්ෂණය යටතේ. අපි හිතුවා ඔබ ඒක කරාවි කියලා. නමුත් මාස හයක් ගත වුනා. තව ම ප්‍රතිඵල නෑ. වින්දිතයන්ගේ මර අඳෝනාව තවමත් අපේ කන්වල දෝංකාර දෙනවා. ඒක ගැන කිව්වයි කියලා කට්ටිය හැදුවෙ මාව උල තියන්න. සිද්ධියට මාස 29 කට පෙර මම ඒක කිව්වෙ පාර්ලිමේන්තුවෙ දි. ඒකට බොහෝ අය කිව්වෙ මම ජාතිවාදියෙක්, අන්තවාදියෙක් කියලා. දෛවයේ සරදමක්. වාර්තාව කියනවා එවකට ආණ්ඩුව පණිවිඩකරු මරා දැම්මා කියලා. ඒ මාව. මේ අපරාධ ගැන පියවර ගත්තනං කවුරුත් මැරෙන්න නැහැනෙ.
කොළඹ දිස්ත්‍රික්කයේ ඇමතිවරු හතර දෙනෙකු ළඟ දි කොළඹ ප්‍රසිද්ධ පංසලකට ඇවිල්ලා කිව්වනෙ ‘අනේ හාමුදුරුවනේ, අපිට වැරදුණා’ කියලා. අපි දන්නෙ නැහැනෙ අපේ ආණ්ඩුව මොනවද කරන්නෙ කියලා. ඔබගේ ඇමති අයියාලත් පංසල්වලට ඇවිල්ලා කියනවා ‘අනේ හාමුදුරුවනේ, මේ මනුස්සයා මොනවද කරන්නෙ කියලා අපිටත් තේරෙන්නෙ නෑ’ කියලා.
ස.තො.ස. සීනි වලින් රු. කෝටි 1,600 ක් පාඩු කරපු නුෂාඩුත් පාස්. පොල්තෙල් වල ඇෆ්ලොටොක්සින් නෑ කියපු, අනෙක් ආහාර වල වස තියෙනවා කියලා කිව්වොත් සමාගම් කඩා වැටෙන නිසා ඒවා හංගනවා කියපු සිද්ධිකාත් පාස්. මුහුදෙ නැව් ගිණි ගත්ත ම මාලු මැරෙන්නෑ කියපු වියතුනුත් පාස්. ඒ විතරක්යැ මගෙ කෝප් වාර්තාව අනුව රු. කෝටි තිස් දාහක් රජයට අලාභ කළ බව ඔප්පු උනයි කියල ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරලා ලේකම් කමින් එලියට දාපු පී. බී. ජයසුන්දරත් ඔබේ ලේකම් වෙච්චි. ඒකෙ අනිත් හවුල්කාරය වුන මිලින්දත් මහ කොමසාරිස් වෙච්චි. එසේ මෙසේ රටක නොව ඉන්දියාවේ. හෙජින් ගනුදෙනුවෙන් රු. කෝටි 11,000 ක්ද, ග්‍රීක බොන්ඩ් වලින් රු. කෝටි 1,400 ක් ද, මහ බැංකු බැදුම්කර මගින් රු. කෝටි 1,100 ක් ද පාඩු කළ, ඇමරිකානු CIA ඔත්තුකරුවෙකුට රු. කෝටි 1,400 ක් මහජන මුදලින් සන්තෝසම් දුන්න කබ්රාල් ද පාස් ය. ඒ ඇති. ලැයිස්තුව දිග වැඩියි. මිනිස්සු කියන්නෙ 69 ලක්ෂය ෆේල් කියලා. ඒකත් වැරදියි. විරුද්ධ ව ඡන්දෙ දුන්න අයගෙත් ජනාධිපති ඔබමනේ. ඉතින් ඒ ගොල්ලන් එක්ක අපට සෞභාග්‍යය උදා වෙයි ද?
දැන් රට ම තියෙන්නේ ඉතා භයානක තැනක. කොළඹ සහ හම්බන්තොට අපේ වටිනම සම්පත් චීනය ට දීල ඉවරයි. කොළඹින්, ත්‍රිකුණාමලය ඇතුළු ආරක්ෂක මර්මස්ථාන වලට ඇමරිකාව, යුරෝපා හවුල, ඉංදියාව ළඟ දි ම මැදිහත් වෙනවා ස්ථීරයි. ‘දකුණ චීනයට නම් අපිට උතුර’ ක්‍රියාන්විතය බලාත්මකයි. කෝවිඩ් නිසා ටිකක් ප්‍රමාදයි. දෙවන ලෝක යුද්ධය ඉවර වෙන කොටත් කොරියාව එක රටක්. ජපන් පාලනයට යටත්වයි තිබුණෙ. යුද්ධය කාලෙ උතුරු කොටසෙ සිටියෙ රුසියානු හමුදාව, දකුණු කොටසේ සිටියෙ ඇමරිකානු හමුදාව. රුසියාවයි ඇමරිකාවයි එකඟ වුණා කොරියාව දෙකට බෙදන්න. බලවතුන් ඔවුන්ගේ බලය රැක ගන්න එහෙමයි කරන්නෙ. අප රටටත් ඒක අදාලයි. ඇමරිකාව සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය සූක්ෂ්ම ලෙස 1948 අගෝස්තු 15 දින දකුණු කොරියානු රාජ්‍යය ප්‍රකාශයට පත් කළා. උතුරු කොටසෙ සිටි කිම් ඉල් සුං 1948 සැප්තැම්බර් 9 රුසියානු යුධ බලයත් සමග උතුරු කොරියානු රාජ්‍යය බිහි කළා. ජනතාව ට වෙන්නෙ මොකක්ද කියල වත් ඔවුන් ට අවබෝධයක් තිබුණෙ නැහැ. උදේ නැගිට්ටමයි සමහරු දැනගත්තේ ස්වාමි පුරුෂයා උතුරු කොරියානු පුරවැසියෙක්, බිරිඳ දකුණු කොරියානු පුරවැසියෙක් කියලා. අවුරුදු 76 ක් ගිහිල්ලත් තාමත් එහෙමමයි. කොරියාව දෙකට බෙදන්න ඇදපු රේඛාව ට සමාන රේඛාවක් කොළඹ සිට ත්‍රිකුණාමලය දක්වා ඇදලයි තියෙන්නෙ. ඒක තියෙන්නෙ SOFA ගිවිසුමේ. ඔබගේ මැතිවරණ වේදිකාවලත් ඒක දිගහැරුන. ඒක උතුරු ශ්‍රී ලංකාවේ සහ දකුණු ශ්‍රී ලංකාවෙ බෆර් ෂෝන් එක. දකුණ චීනයට යන විට උතුර අල්ලා ගන්න ඉංදියාව, ඇමරිකාව, යුරෝපා හවුල, ජපානය ඒකරාශී වී අවසන්. ඔබගේ බුද්ධි අංශයට මේක නොතේරෙනව ඇති. 2005 ට පෙර රට විකුණන පාලකයො ගුරුවාපත්තුවෙන්වත්, දකුණෙන් වත් බිහි වුනේ නැහැ. දැං ඉතිං මන්ද?
ඔබගේ ක්‍රියා කලාපය අනුව මට කියන්න තියෙන්නෙ අපේ රටටත් කොරියාවට වුන දේ වේගෙන එනව කියලා. නීතියේ තියනවා ආප්තෝපදේශයක් 'යමෙකුගේ බිරිඳ සහ දරුවන්ගේ නිත්‍ය වාසය කොහි ද, ඔහුගේ නිත්‍ය වාසය ද එහි ම වේ' කියලා. ඒ නිසා ඔබගේ ප්‍රමුඛතාවය මෙරටට දැයි ජනතාව ප්‍රශ්න කරනවා. අපේ ගමේ ඇත්තෝ කියනව ' වත්ත බද්ධට දීල ඇස්සට දත නියවනව වගේ දෙයක් අපිට වෙලා තියෙන්නේ' කියලා. සමහරු කියනවා ආණ්ඩුවේ වැඩ හරියට 'අරියාදුවට මඩ ඉඩමෙ පොල් හිටවනවා වගෙයි' කියලා.
ඇත්ත කතා කරන අයට ආංඩු ඇතුළෙ ඉඩ නැති කම අපේ දේශපාලන සංස්කෘතිය. 2007 මම කෝප් වාර්තාව ඉදිරිපත් කළා කියල මහින්දටත් කේන්ති ගියා. ශ්‍රි ලංකා රක්ෂණ සංස්ථාව, ලංකා රෝහල, වරාය අක්කර 8.2 කෝප් නිර්දේශ අනුව ආපහු ගන්න කියලා ශ්‍රේෂ්ඨාධිකරණය කියන කොට මහින්ද නීතිපති මොහාන් පීරිස් යවලා අධිකරණය ට කිව්ව ඒව ආංඩුවට ඒව එපැයි කියලා. රක්ෂණ සංස්ථාවෙ සේවකයන් ඒකට උපහාර උත්සවයක් සංවිධානය කරලා මටත් ආරාධනා කළා. මහින්ද අයිගෙ ආංඩුව නියෝග කරළල තිබුණ මට රක්ෂණ සංස්ථා භූමිය තහනම් කියල. සරත් එන් සිල්වා අග විනිසුරු තුමාගේ නඩු තීන්දු දෙකකින් අපි නැවත අත්පත් කර ගත් දේපළ වල වටිනාකම අදට අනුව නම් රු. කෝටි දෙලක්ෂයක්වත් වටිනවා. ඒවයෙ සල්ලි වලින් තමයි Lithro Gas සමාගම හැදුවෙත්. රනිල් 2003 විකුණුම් ලං.ග.ම. බේරා ගැනීමට මහින්දවත් ඉදිරිපත් වුණේ නැහැ. මම තනියම ශ්‍රේෂ්ඨාධිකරණයේ සටන් කරල තමයි ඒකත් බේරා ගත්තෙ. දැන් ඒකෙ වටිනාකම රු. කෝටි හාර ලක්ෂයකටත් වඩා වැඩියි. රනිල්ගෙ ඉඩම් පනත දෙවතාවක්ම අධිකරණයට ගොස් අප පරාද නොකරා නම් අද අඩුම ගණනේ ගොවි පවුල් ලක්ෂ හත අටක් මහ පාරෙ අනාත වෙලා. එහෙම කලා කියල රනිල් වෛර බැන්ද. මා ඇති තරම් දූෂිතයන්ගෙ වෛරයට පාත්‍ර වෙලා තියනව. ඒකට මම පදම් වෙලා. සරත් එන් සිල්වා අගවිනිසුරුත් රටට ආදරය කරන කෙනෙක්. සමහරු අහනවා අපි රටට මොනවද කළේ, 225 ම හොරු කියලා. ඒක යි මේව මතක් කළේ. පඩුරු පාක්කුඩම් හෙම බලාගෙන නෙමෙයි.
මා ඕ සේතුං කිව්වා සිංහාසනයේ ඔබ හිඳවන අයගේ ම දෑත් වලින් තමයි ඔබ ව නැවත ඔසවා පොළොවෙ ගහන්නෙ කියලා. චීන නායකයා කියපු දෙයක් අපි කොහොමද අහක දමන්නේ. ඒ නිසා මහාචාර්ය ආරියරත්නයන් ලිව්වා ‘පූජාසනයේ ඔබ හිඳුවා ඔබට පුදන මේ ලෝකයමයි හෙට ඔබට එරෙහි වී නැගිටින්නේ’ කියලා. මේක කවුරුත් නොදන්නවා නෙමෙයි. එය නන්දා මාලනිය විසින් ගැයුවා. රාජ්‍ය මාධ්‍යයේ තහනමටත් ලක් වුනා. යදැමින් බැඳ විලංගු දා මගේ පුතා රැගෙන යන්නෙ' ‘කුමට එරට අධිකරණය, නීතිය සහ විනිසුරන්’ කියලා ගීතයෙන් ප්‍රශ්න කළා කියලාත් ඇය ව තහනමට ලක් වුනා. ඒත් නන්දාවන් තව ම ගයනවා.
ඔබ ෆේල් කියලා කියන්න තරම් මගේ හිත දරුණු නෑ. ඒ වුනාට ගෙවී ගිය සතියෙ ජන අනුපාතය අනුව වැඩිම කොරෝනා මරණ වාර්තාවේ අංක එක ලංකාව. දැන් ලංකාවෙ මරණ සංඛ්‍යාව ඊයෙට 5,464 යි. පහුගිය කාලෙ අපේ පැත්තෙ මැති-ඇමතිලා ජනතාවට එන්නත් දුන්නා. මම නම් ගියේ නැහැ. මට ඒක තේරෙන්නේ නැති නිසා. වසංගත මර්ධනයට වෛද්‍යවරුන්ගෙන් ම උපදෙස් ගත්තොත් හොඳයි. ඒවා ක්‍රියාත්මක කරන්න හමුදාව ඉතා ම දක්ෂයි.
දැන් ශ්‍රී ලංකාවෙ බුද්ධ ශාසනය සංරක්ෂණය කරන්න යනවා කියලා ආරංචියි. ඒකට වෛද්‍ය විශේෂඥයො උපදෙස් දෙන බව රට ම දන්නවා. අපේ සමහර වියත් සාදුලා කීප දෙනෙකුට මහානායක හාමුදුරුවන්ටත් වඩා උඩින් ඉන්න ඕනලු. වියත් අයට එහෙම පහළින් ඉන්න අමාරු ඇති. ඒ වුනාට මහානායක, අනුනායකකම් ආවට ගියාට ගත්ත ඒවා නම් නෙවෙයි. තුන්කල් බලලයි ඒව දෙන්නෙ. ඒකනේ අවුරුදු 2650 කට වැඩිය මේක පැවතුනේ. ත්‍රිපිටකයට ව්‍යවස්ථාපිත බලතල දුන්නොත්, බයිබලයටත්, කුරානයටත් ඉල්ලුවොත් දෙන්න වේවි. එතකොට ආගමික ගැටුම් වලින් ම රට විනාශ වේවි. මෙය තවත් ඊශ්‍රායලයක් ම වේවි.
ශ්‍රී ලංකාවේ ප්‍රධාන යැපීම් මාර්ගය ගොවිතැන සහ කෘෂි ආර්ථිකය. ඒ වුනාට ගොවියො ඔක්කොම අසරණ වෙලා. විශේෂඥයො කියනවා වකුගඩු, පිළිකා හැදෙන්නෙ රසායනික තෙල් සහ පොහොර නිසා කියලා. මසුරන් වටින කතාවක්. ලෝකයේ වස විස කන රටවල් අතරින් ලංකාව අංක එක. අපි කාබනික පොහොර වලට හුරු විය යුතුමයි. ඒත් සියයට සීයක් එහෙම කරන්න බැහැ. අපි ‘පෝර’ ප්‍රශ්නෙට පෙර ‘බීජ’ ප්‍රශ්නය තේරුම්ගත යුතුයි. අද පාරම්පරික බීජ හරි අඩුයි. ලෝක බීජ මාෆියාව හරි ප්‍රබලයි. මාස හයෙන් පැහෙන වී මාස දෙකෙන් පැහෙන්නෙ දෙමුහුන් කරලා. ජාන තාක්ෂණය හරි දියුණුයි. ඒ බීජ හදන්නෙ ම නියමිත කාල වල දි නයිට්‍රේට්, යූරියා වැනි ඒවා ලැබුනොත් විතරක් වර්ධනය වෙන්න. ගොයම් ගහ තාක්ෂණය විසින් අඩි 2 ට මිටි කරපු නිසා වල්ගස් ගොයමටත් උඩින් යනවා.
පිටරටවලින් ගේන බීජ වලට ජෙනරේෂන් සීස් කියන තාක්ෂණය යොදලා තියෙනවා. ඒ බීජ පැලවෙලා හැදෙන ගස්වැල් වල ඇට වලින් ආයෙත් ඒකෙ ඵලදාව එන පැලයක් හදන්න බැහැ. ඒ නිසා හැම කන්නෙ ම බීජ ආනයනය කරන්න රුපියල් බිලියන ගණනක් යනවා. මේවායේ දත්ත කෘෂිකාර්ම දෙපාර්තමේන්තුවේවත් ඇත්දැයි සැකයි. අපේ විද්‍යාඥයින්ට කිව්වා නම් නරක ද බීජ ගැන පර්යේෂණ කරලා කාබනික පොහොරට ගැලපෙන බීජ හදන්න කියලා. ඒක කරලා වසර දෙක තුනකට පසුව රසායනික පොහොර ක්‍රමානුකූල ව සීමා කරගත හැකියි. එහෙම නොකළොත් විශාලාවේ තුන්බිය මෙන් ඊළඟ කන්නයේ දී සාගතයක් ඇති වෙනවා ස්ථිරයි. මම අදටත් කුඹුරු වලට බැහැලා ගොවිතැන් කරන කෙනෙක් නිසයි මෙහෙම කියන්නෙ. තෙල් පෝර නැති නිසා බොහෝ ගොවීන් ලබන කන්නෙ කුඹුරු වපුරන්නෙ නැහැ. එතකොට චීනය කියාවි ඒගොල්ලො අපට හාල් දෙන්නම්, කුඹුරු ටික ඒ ගොල්ල වවන්නම් කියල. එතකොට අපි චීනගෙ කුලී කාරයො. ඔබට ඒක නවත්වන්න බැහැ. මම කැට තියල කියනව. අපිට උදව් කරන්න හිටපු රටවල් සියල්ල තරහ කර ගෙන හමාරයි. චීන බලය කඩන්න බලවත් රටවල් අපටත් ගහනව.
ඔබට තිබෙන ධුර කාලය සීමිත යි. තව මාස 38 යි. නිවැරැදි වෙන්න.
ප්ලේටෝ කිව්වා පාලකයො දාර්ශනිකයො විය යුතුයි කියලා. නැත්නම් දාර්ශනිකයො පාලකයො විය යුතුයි කියලා. වසර 2350 කට පමණ පෙර ඔහුට මොනවා හිතිල ඒක කිව්ව ද කියලා අපිටත් දැන් තමයි තේරෙන්නෙ.
ඔබතුමත් ඒක අවබෝධ කරගෙන සිටි බව පැහැදිලියි. ඒක නිසා වෙන්න ඇති අපිට දාර්ශනිකයො නැතැයි සිතා වියතුන් ඉදිරියට ගෙනාවෙ. ඒ අය ගැන ජනතාව කියන දේ මම මේකෙ ලිව්වොත් ඔබ මාත් එක්ක තරහ වෙනව ස්ථිර යි. ඒක නිසා මෙහි ලියන්නෙ නැහැ. උඩ බලාගෙන කෙළ ගහගන්න එක හොඳ නැහැ කියලා ගමේ ඉන්න සයිමන්ලා, ජේමිස්ලා නිතර කියනවා.
ඇරිස්ටෝටල් කිව්වෙ ‘මිනිසා නිවැරදි විට ඔහු ලෝකයේ සිටින හොඳ ම සත්වයා ය. ඔහු නීතියෙන් සහ යුක්තියෙන් ඈත් වූ කළ ලොව සිටින දුෂ්ඨතම සත්වයාය’ කියල. ඔබ කියූ එක රටක් එක නීතියක් බොහොම හොඳයි. අද රට මෙහෙම තියෙන්නෙ ව්‍යවස්ථාදායකය හෝ විධායකය පිළිබඳ ජනතාවට තිබෙන විශ්වාසය නිසා නොව අධිකරණය පිළිබඳ ඉතිරි වී ඇති විශ්වාසය නිසාමයි. ඒක අහෝසි කළොත් රාජ්‍ය බිඳ වැටෙනවා. එදාට ත්‍රිවිධ හමුදාව සහ පොලිසියත් අසරණ වෙනවා. ඒ අයටත් ජනතාවගෙ පැත්ත ගන්න සිද්ධ වෙනවා.
මේක කියවලා තරහක් ආවොත් වතුර සෙලවන ලිඳේ පතුල නොපෙනෙනවා වගේ සියල්ල විකෘති වී පෙනේවි. නිවී සැනසිල්ලේ ඉහත කරුණු ආවර්ජනය කර බැලුවොත් යථාර්ථය තේරුම්ගත හැකියි. බුදුන්වහන්සේ දේශනා කළ පරිදි ඔබට ඔබ ම ආලෝකයක් වන්න. තනිව සිතන්න. ඇත්ත වටහා ගන්න. පුරෝහිතලාගේ උපදෙස් අනුව ගියහොත් ‘සුබ සහ යස’ රජ කතාව නැවතත් වේදිකාගත වේවි.
සොලමන් රජ දවස සිදුවූ සත්‍යය සිද්ධියක් පදනම් කර ගෙන ජර්මන් ජාතික බර්ටෝල් බ්‍රෙෂ්ට් නිර්මාණය කළ Cocasian Chalk Circle නම් නාට්‍ය හෙන්රි ජයසේන සාහිත්‍යධරයා 'හුණුවටයේ කතාව' නමින් සිංහලට පරිවර්තනය කළා. ඒ වේදිකා නාට්‍ය ආරම්භ වන්නේ මෙහෙම යි.
ඈත එක් යුගයක - ලෙයින් නැහැවුණු සමයක කව්කාස්කි නගරයක - සාපලත් නරයයි නම් වූ විසුවා යුව රාජයෙක් ජෝර්ජී අභෂ්විල්ලේ, ඔහුගේ පුදුම නම විය. ................... සිටියාලු මේ රජු හට. ගෘසේනියාවේ වෙන කිසිම සුරෙකුට, නොවූ තරම් අසුන් අස්හලෙහි ද යාචකයින් ද දොරකඩ, භටයෝ ද සේවයේ, පෙත්සම්කරුවෝ ද ගෙමිදුල. මේ රජුට සිටියා ,.......... ජෝර්ජී අභාෂ්විල්ලේ ...... කෙසේ නම් විස්තර කරන්න ද ඔහු. ඔහු සැපෙන් සිටියා...... පාස්කු ඉරිදා උදයේ පවුලත් සමඟ ඔහුගේ. සපැමුණා රජු දේව මැදුරට. ජෝර්ජී අභාෂ්විල්ලේ පාස්කු ඉරිදා දේව මෙහෙයට විත් වසර දෙක යනවිට ඔහුද රටද දෙකම අවසන් විය. අපිත් බලයට ආවේ ජෝර්ජි අභාෂ්විල්ලේ පාස්කු ඉරුදින දේව මැදුරට ආ පරිද්දෙන් ම ය. ඒ නැවතත් හුනුවටයේ නාට්‍යයක් වේදිකාව මත රග දැක්වීම සඳහා ම ද?
මෛත්‍රී සහගත චින්තනයෙන් ලිව්වේ
විජයදාස රාජපක්ෂ
Page 440 of 463