V2025

පුවත්

ෆොනියි සිරිසේනයි ඇවිලෙයි !

හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන සහ පාර්ලිමේන්තු මන්ත්‍රී, ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා අතර අද (18) පාර්ලිමේන්තුවේදී දැඩි මත ගැටුමක් සිදුවිය.

එහිදී අදහස් දැක්වූ මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මෙසේ පැවසීය.

"හිරේ හිටපු තමුන්නාන්සේව මම තමයි නිදොස් කොට නිදහස් කෙරුවේ. තමුන්නාන්සේට ගරු කිරීමක් විදිහට මම තමයි තමුන්නාන්සේව ෆීල්ඩ් මාෂල් කළේ. ඒ තත්ත්වය තුළ සිටියදී මට මේ විදිහට කතා කිරීම ඉතාම අසාධාරණයි. ඔබතුමාට කොහෙත්ම පුළුවන්කමක් නැහැ මට ඉලක්ක කරලා ජාතික ආරක්ෂාව ගැන කියන්න."

"ඔබතුමා හමුදාපති ලෙස ඉන්නකොට හමුදා මූලස්ථානයට පැනපු එල්ටීටීඊ කාන්තාවක් බෝම්බ පිපිරුවා. ඔබතුමාට ඒක වැදිලා බඩවැලුත් එළියට ඇවිල්ලා වෛද්‍යවරු තමයි බේරගත්තේ."

"හමුදාපති විදියට හමුදා මූලස්ථානය බේරගන්න බැරි කෙනා.. බඩවැල් එළියට ඇවිත් හානි වෙච්ච මිනිහා..මට ඇඟිල්ල දිගු කරන්නේ කොහොමද? ජාතික ආරක්ෂාව පිළිබඳව."

"චන්ද්‍රිකා මැතිණිය හැමතැනම කියනවා මාව හිරේ දාන්න කියලා. එතුමියගේ එක ඇහැක් නැතුව ගියා. ඇස් දෙක බේරගන්න බැරි වුණු මිනිස්සු.. තමන්ගේ ශරීරය බේරගන්න බැරි වුණු මිනිස්සු මට ඇඟිල්ල දිගු කරලා කියනවා.. මේ මේ තමුසේ ජාතික ආරක්ෂාව දන්නෑ කියලා."

"ඔයාට වඩා මම ජාතික ආරක්ෂාව පෙන්නුවා. සහරාන් ඇතුළු මුළු සංවිධානයම මම සති 3කින් විනාශ කළා."

ඊට යළිත් ප්‍රතිචාර දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී, ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මෙසේ පැවසීය.

"මෙයා කිව්වා මාව නිදහස් කළා කියලා. ෆීල්ඩ් මාෂල් කළා කියලා. මෙයාගේ මැතිවරණ වේදිකාවට කොහොමහරි එන්න කියලා කිව්වා. මම රැස්වීම් 100ක කතා කළා. දින 100 කියලා තිබ්බා මට සාධාරණය ඉටු කරනවා කියලා. ඒක තනි මතයට කරපු දෙයක් නෙමෙයි. හැබැයි ඔබතුමා මගේ අමාත්‍ය ධුරය ඉතාම නිවට විදියට අයින් කළා."

"සාම සාකච්ඡා අතරේ ත්‍රස්තවාදියෙක්ට රිංගලා එන්න පුළුවන්. ඔබතුමාට මේවා තේරෙන්නේ නැහැ. ඒ නිසා තමයි ඒ වගේ අනතුරකට යුද හමුදා මූලස්ථානය මුහුණ දුන්නේ."

"බෝම්බේ ගියායින් පස්සෙත් ලංකාවට ආපු ගුවන් යානා දෙකේම එන්නේ නැතුව රෑ 1ට ආපු ගුවන් යානයේ ආවේ. ඒ මොකද?. ඒකේ විතරයි පළවෙනි පන්තිය තියෙන්නේ. අච්චර ජන විනාශයක් වෙලත් ගුවන් යානයක නැගලා රටට එන්න උනන්දුවක් තිබුණේ නැති ඔබතුමා.. බලන්න ඔබතුමාගේ ආකල්ප."

මන්ත්‍රී සිරිසේන :

"මෙතුමා ෆීල්ඩ් මාෂල්කම ඉල්ලගෙන මගේ පස්සෙන් ඇවිත් ඇඬුවා."

කටුනායකින් - වරායෙන් රට ගියොත් ඩොලර් 60ක බද්දක් !

ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ගුවන් තොටුපළකින් හෝ වරායකින් පිටත්ව යන පුද්ගලයින් විසින් ගෙවිය යුතු අපගමන බද්ද සම්බන්ධයෙන් නව නිවේදනයක් නිකුත් ඇත.

මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති මෙම රජයේ නිවේදනයට අනුව 2022.03.27 සිට 2023.03.26 දක්වා කාලපරිච්ඡේදය තුළ දී කොළඹ ජාත්‍යන්තර ගුවන් තොටුපළ රත්මලාන සිට ගුවන් යානයකින් ශ්‍රී ලංකාවෙන් පිටත්ව යන සෑම තැනැත්තෙක්ම ඇමරිකානු ඩොලර් 30 ක අපගමන බද්දක් ගෙවිය යුතුවෙයි.

මීට අමතරව 2023.01.12 සිට 2023.07.11 දක්වා කාලපරිච්ඡේදය තුළ දී යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් පිටත්ව යන සෑම තැනැත්තෙකුගෙන්ම ද ඩොලර් 30 ක අපගමන බද්දක් අය කරනු ලැබේ.

අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ මත්තල, රත්මලාන හෝ යාපනය යන ජාත්‍යන්තර ගුවන්තොටුපළ හැර ශ්‍රී ලංකාවේ වෙනත් ගුවන් තොටුපළකින් පිටත්ව යන ඕනෑම අයෙකු විසින් ඩොලර් 60 ක අපගමන බද්දක් ගෙවිය යුතු බවයි. එනම් මෙම නියමය කටනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළින් පිටත්ව යන තැනැත්තන් සඳහා අදාළ වේ.

තවද ශ්‍රී ලංකාවේ සිට නෞකා මාර්ගයෙන් පිටත්ව යන තැනැත්තන් ද ඩොලර් 60 ක අපගමන බද්දකට යටත් වනු ඇත.

මත්තල මහින්ද රාජපක්ෂ ගුවන් තොටුපළ සමඟ මෙහෙයුම් ආරම්භ කරනු ලබන ජාත්‍යන්තර ගුවන් සමාගම් සඳහා මෙහෙයුම් ආරම්භ කරනු ලබන දින සිට වසර දෙක කාලයක් මෙම බද්ද අය කිරීම නිදහස් වේ.
වෙයි.

නිලන්තට නීතිපති සහය නෑ : ජනාධිපති ගැනත් තීන්දුවක් !

පාස්කු ප්‍රහාරයෙන් වින්දිතයන් බවට පත්වූ පුද්ගලයින් වන්දි ඉල්ලා ගොනු කර ඇති නඩුවල වගඋත්තරකරුවකු වශයෙන් නම් කර සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන වෙනුවෙන් පෙනී නොසිටින බව නීතිපති වරයා කොළඹ දිසා අධිකරණයට දැනුම් දී තිබේ.

නීතිපතිවරයා මේ බව දැනුම්දී සිටියේ වින්දිතයින් විසින් ගොනුකර තිබෙන නඩු අද(18) කොළඹ දිසා අධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදීය.

තවද පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට පියවර නොගැනීම හේතුවෙන් වින්දිතයින් බවට පත්වූ තමන්ට වන්දි අය කරදෙන ලෙස ඉල්ලා වින්දිතයින් විසින් ගොනුකර තිබෙන නඩු 108ක වගඋත්තරකරුවකු වශයෙන් නම්කර සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ එම නඩුවලින් ඉවත් කරන්නේ ද? නැද්ද? යන නියෝගය ලබන මාර්තු 01 වනදා ප්‍රකාශයට පත්කරන බව කොළඹ දිසා අධිකරණය නිවේදනය කළේය.

එහිදී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා වශයෙන් පත්වී සිටින බැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තිස් පස් වන වගන්තිය යටතේ ඒ මහතාට එරෙහිව නඩුවක් පවත්වාගෙන යා නොහැකි බවට ඒ මහතාගේ නීතිඥවරු විසින් අධිකරණය හමුවේ ඉල්ලීමක් ඉදිරිපත් කර තිබුණි.

එම ඉල්ලීමට අදාළ ලිඛිත දේශන පාර්ශවකරුවන් විසින් අද ඉදිරිපත් කළේය.

ආණ්ඩුවට ලබාදුන් කාලය අවසන් - සම්බන්දන්

ජනවාර්ගික ගැටලූවට විසඳුම් අපෙක්ෂාවෙන් ජනාධිපතිවරයා හා දෙමළ දේශපාලන පක්ෂ අතර ආරම්භ කෙරුණු සාකච්ඡවලදි ඉදිරිපත් වුණු මුලික ඉල්ලීම් ඉටුකිරීමට ආණ්ඩුවට ලබාදුන් කාලය අවසන් බව දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්දන් පවසයි.

ඒ අනුව එම සාකච්ඡා ඉදිරියට පවත්වාගෙන යාම තීරණය කරනු ලබන්නේ තම පාර්ශවය ආණ්ඩුව වෙත ඉදිරිපත් කරනු ලැබු මුලික ඉල්ලීම් ඉටු කිරීමෙන් පසුව බව ද ඔහු සඳහන් කරයි.

සම්බන්දන් මහතා මේ බව පැවසුවේ පසුගිය 10 වනදා ජනාධිපතිවරයා හා දෙමළ දේශපාලන පක්ෂ අතර පැවති සාකච්ඡාවේදී දෙමළ දේශපාලන පක්ෂ ජනාධිපතිවරයාට ඉදිරිපත් කළ යෝජනා සම්බන්ධයෙන් කළ විමසීමකදීය.

"දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම , උතුරු නැගෙනහිර පළාත් ඉඩම් අත්පත් කර ගැනීම නතර කිරීම හා අත්පත් කර ගෙන ඇති ඉඩම් නිදහස් කිරීම හා මුලික බලතල බෙදීම යන ඉල්ලීම් ඉටු කිරීමට රජයට සතියක කාලයක් ලබාදුන්නා. නමුත් ලබාදුන් එම කාලය අවසන්. මෙතෙක් එම ඉල්ලීම් වෙනුවෙන් කිසිදු සාධනීය පිළිතුරක් ලබාදීමට ආණ්ඩුව සමත් වී නැහැ.

තෛයිපොංගල් උත්සවය සැමරීම වෙනුවෙන් යාපනයේ සංචාරයක නිරත වු ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා අපගේ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් සමඟ සාකච්ඡුාවක් පවත්වා තිබෙනවා. එහිදි ඉඩම් ආක‍්‍රමණ සම්බන්ධයෙන් යම් යම් පොරොන්දු ලබා දී තිබුණා. නමුත් මෙම පොරොන්දු ආරක්ෂක අංශ විසින් පිළිපදින්නේද යන්න පිළිබඳව විශ්වාස කිරීමට යම් කාලයක් බලා සීටීමට සිදුවනු ඇති. ජනාධිපතිවරයා හා මීළඟ සාකච්ඡා වටය වෙනුවෙන් මෙතෙක් ආරාධනා ලැබුණේ නැහැ. එවැනි සාකාච්ඡාවක් වෙනුවෙන් ආරාධනා ලැබුණහොත් එයට සහභාගි වන්නේද නැද්ද යන්න පිළිබඳව තීරණයක් ගනු ලබනවා.නමුත් මීළඟ සාකච්ඡා වටයට සහභාගි වන්නේ මීට පෙර සාකච්ඡාවේදි අප ඉදිරිපත් කළ ඉල්ලීම් වලට යම් හෝ සාධනීය විසඳුම් ලැබුණොත් පමණයි."

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවට සිවිල් නියෝජිතයන් පත්වෙයි !

පිහිටුවීමට නියමිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවට සිවිල් නියෝජිතයන් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නොවන ආචාර්ය ප්‍රතාප් රාමනුජාම්, වෛද්‍ය අනුලා විජේසුන්දර සහ ආචාර්ය දිනේෂා සමරරත්න යන අය පත්කිරීමට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන කළ යෝජනාවට අද (18) පාර්ලිමේන්තුවේදී අනුමැතිය හිමිවිය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 ව්‍යවස්ථාවේ (1) අනු ව්‍යවස්ථාව පරිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට අග්‍රාමාත්‍ය සහ විරුද්ධ පක්ෂයේ නායක යන දෙදෙනාගේම නාමයෝජනා මත මෙම තිදෙනා නම් කරන බවද ඔහු සඳහන් කළේය.

මෙහිදී අදහස් දැක්වූ ජාතික ජන බලවේගය පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා මෙසේ පැවසීය.

අගමැතිතුමා නම් තුනක් ඉදිරිපත් කළා. නමුත් න්‍යාය පත්‍රයේ තියෙන නම හැරුණු කොට මේ අය ගැන අපි කිසිම විස්තරයක් දන්නේ නැහැ. මේ එක් එක් අය ගැන දළ විස්තරයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුයි. ඔබතුමාල නම් තුනක් ඉදිරිපත් කරලා අපෙන් සහය ඉන්නවා. මම හිතන්නේ ඒක සාධාරණ නැහැ. නැතුව කොහොමද ඒ නම් අපි අනුමත කරන්නේ.

කතානායක මහින්ද යාපා අබේවර්ධන :

ඔබතුමාට අපි ඒ විස්තර ලබා දෙන්නම්.

අනුර දිසානායක :

එතකොට මොකක්ද මෙතන වෙන්නේ. අනුමත කරල ඉවර වෙලා ද විස්තර දෙන්නේ.

කතානායක :

සාකච්ඡා වට කිහිපයක් පවත්වලා මේ ගැන එකඟත්වයක් ආවා. මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව හැකි ඉක්මනින්ම පත් කරන්න ඕන.

අනුර කුමාර දිසානායක :

එහෙනම් ඒ විස්තර පසුව ලබා දෙන්න.

කතානායක:

හොඳයි. පසුව ලබා දෙන්නම්.

ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය වෙනුවෙන් වූ වැඩපිළිවෙළට ෆොන්ටෙරා සහය !

ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය වෙනුවෙන් රජය ගෙන යන වැඩපිළිවෙළ හා සම්බන්ධ වෙමින් ෆොන්ටෙරා බ්‍රෑන්ඩ්ස් ලංකා සමාගම, ආර්ථික දුෂ්කරතාවයෙන් පෙළෙන අඩු ආදායම් ලාභී පවුල් වෙත බෙදා හැරීම සඳහා කිරිපිටි ඇසුරුම් 69,102 ක් පරිත්‍යාග කිරීමට කටයුතු කර ඇත.

එම පරිත්‍යාගය නවසීලන්ත මහකොමසාරිස් මයිකල් ඇප්ලටන් (Michael Appleton) ඇතුළු නවසීලන්ත නියෝජිතයන් පිරිසකගේ සහභාගීත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී ඊයේ (17) සංකේතාත්මකව සිදු කරන ලදී.

මෙලෙස පරිත්‍යාග වශයෙන් ලැබූ කිරිපිටි හඳුනාගත් පවල් සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් බෙදා දීමට කටයුතු සූදානම් කර තිබේ.

මෙම අවස්ථාවට ජනාධිපති කාර්යල මණ්ඩල ප්‍රධානී ජාතික අරක්ෂාව පිළිබඳ ජනාධිපති ජේෂ්ඨ උපදේශක සාගල රත්නායක, ආහාර සුරක්ෂිතතාවය පිළිබඳ ජනාධිපති උපදේශක මහාචාර්ය සුරේන් බටගොඩ, නවසීලන්තයේ නියෝජ්‍ය මහ කොමසාරිස් ඇන්ඩ්‍රෑ ට්‍රැවලර් (Andrew Traveller) ඇතුළු පිරිසක් සහභාගි වූහ.

කබ්රාල්ගේ විදෙස් ගමන් තහනම දික්වෙයි

හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් වෙත පනවා තිබූ විදේශ ගමන් තහනම පෙබරවාරි මස 16 වන දක්වා දීර්ඝ කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවල අද (17) නියෝග කළේය.

මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මෙසේ නියෝග කළේ දකුණු පළාත් හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන්  විසින් ඉදිරිපත් කළ පුද්ගලික පැමිණිල්ලක් අද (17) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ කැඳවූ අවස්ථාවේදීය

එහිදී මෙම නඩුවට අදාළ ලිඛිත දේශන ඉදිරිපත් කිරීම සඳහා අධිකරණය විසින් කබ්රාල්ගේ පාර්ශවයට පෙබරවාරි මස 16 වනදා දක්වා කල් ලබා දුන්නේය.

ඖෂධ ගන්න අමාත්‍යාංශ ප්‍රතිපාදන තව 1% ක් කපයි

ඖෂධ ගෙන්වීම සඳහා මුදල් සොයාගැනීම වෙනුවෙන් සියලු අමාත්‍යාංශවලට වෙන්කර ඇති මුදල් ප්‍රතිපාදනවලින් සියයට 1ක් කපාහැරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන  පැවසීය.

පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් අමාත්‍යාංශවලට වෙන්කළ මුදලින් සියයට 5ක් කපාහැරීමට අමාත්‍ය මණ්ඩලය පසුගිය සතියේ තීරණය කළ අතර, මෙම සියයට 1ත් සමඟ අමාත්‍යාංශවල මුදල් ප්‍රතිපාදනවලින් සියයට 6ක් කපාහැරීම සිදුවන බව ඇමතිවරයා සඳහන් කළේය.

බන්දුල ගුණවර්ධන මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (17) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.

ඖෂධ සඳහා අතිරේක රුපියල් කෝටි 1,000ක පමණ මුදලක් අවශ්‍ය බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල  අමාත්‍ය මණ්ඩලයට දැනුම් දුන් බව කී ඇමතිවරයා එය ලබාදීමට වෙනත් ක්‍රමයක් නොමැති බව ද පැවසීය.

ඖෂධ සඳහා කෙසේ හෝ මුදල් ලබාදිය යුතු බැවින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ  මෙම යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ බව ද බන්දුල ගුණවර්ධන  කීවේය.

 

වසන්ත මුදලිගේ ගැන ජාත්‍යන්තර සංවිධාන 7කින් රජයට බලපෑම් !

අත්අඩංගුවට ගෙන සිටින අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ  අත්තනෝමතික ලෙස රඳවා තබා ගැනීම ශ්‍රී ලංකා රජය වහා අවසන් කළ යුතු බව මානව හිමිකම් සංවිධාන 07 ක් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.

ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය, මානව හිමිකම් සහ සංවර්ධනය සඳහා වූ ආසියානූ සංසදය, හියුමන් රයිට්ස් වොච්, පෙරටුගාමී ආරක්ෂක සංවිධානය, ශ්‍රී ලංකාව පිළිබඳ ජාත්‍යන්තර ක්‍රියාකාරී කණ්ඩායම සහ සාමය හා යුක්තිය සඳහා වූ ශ්‍රී ලංකාව කණ්ඩායම මෙම ඒකාබද්ධ නිවේදනය නිකුත් කළේ ය.

අදාළ නිවේදනයේ දැක්වෙන්නේ පසුගිය වසරේ අගෝස්තු 21 වැනිදා සිට වසන්ත මුදලිගේ  අත්අඩංගුවේ පසුවන්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ බවයි.

එම පනත අවලංගු කිරීම සඳහා දිගු කලක් තිස්සේ රජය පොරොන්දු වූ කුරුරු නීතියක් බව අදාළ සංවිධාන පෙන්වා දෙයි.

නමුත් මෙතෙක් අදාළ පනත අවලංගු කිරීමට රජය පියවර ගෙන නැතැයි, ඒකාබද්ධ නිවේදනයේ සඳහන් ය.

ඔවුන් පෙන්වා දෙන්නේ දූෂිත පාලන ක්‍රමයට එරෙහිව ඇරඹුණු ජන අරගලයට ආණ්ඩුව ප්‍රතිචාර දැක්වූයේ පොලිසියට සහ හමුදාවට පුළුල් බලතල ලබා දෙමින් බවයි.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත් බොහෝ දෙනා මේ වන විටත් නිදහස් කර ඇති බවත් තවදුරටත් වසන්ත මුදලිගේ අත්අඩංගුවේ තබා ගැනීමට කිසිදු හේතුවක් නොමැති බවත් මෙම නිවේදනයේ දැක්වේ.

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ගෙවීම අදියර දෙකකින් !

රාජ්‍ය සේවයේ විධායක සහ විධායක නොවන ශ්‍රේණිවල වැටුප් ගෙවීම සම්බන්ධයෙන් රජය තීරණක් ගෙන තිබේ.

ඒ අනුව රාජ්‍ය සේවයේ විධායක නොවන සේවකයින්ගේ මාසික වැටුප නියමිත දිනට ලබා දීමට නියමිතය.

විධායක ශ්‍රේණියේ රාජ්‍ය සේවකයින්ගේ මාසික වැටුප නියමිත දිනට, දින කිහිපයකට පසුව ගෙවීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

මහා භාණ්ඩාගාරය ඒ සම්බන්ධයෙන් ගනු ලැබු පියවරයන් පිළිබඳව මුදල්, ආර්ථික ප්‍රතිසංස්කරණ, සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරය ලෙස ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේ අවධානයට යොමුකර තිබුණි.

2023 වර්ෂය සඳහා වන රජයේ නව ආදායම් යෝජනා ක්‍රියාත්මක කිරීමට යම් කාලසීමාවක් ගතවන බැවින් රජයේ මුදල් කළමනාකරණය වෙනුවෙන් ජනවාරි මාසයේ සිට ඉදිරි මාස කිහිපය සඳහා අදාළ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට සිදුවන බව රජය පවසයි.

salary

පවුල් මිලියන 02කට සහල් කිලෝග්‍රෑම් 10 බැගින් මාස 02 ක් !

සමෘද්ධි ප්‍රතිලාභීන් ඇතුළු අඩු ආදායම්ලාභී පවුල් මිලියන 02කට එක් පවුලක් සඳහා මාසයකට සහල් කිලෝග්‍රෑම් 10 බැගින් මාස 02ක කාලයක් ලබාදීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉරිදිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව මේ සඳහා සහල් මෙට්ට්‍රික් ටොන් 40,000ක් අවශ්‍ය වන අතර ඒ වෙනුවෙන් රජය විසින් වී මෙට්ට්‍රික් ටොන් 61,600ක් පමණ මිලදී ගැනීම අවශ්‍ය වේ. මෙම වැඩසටන සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ගේ සහයෙන් දිස්ත්‍රික් ලේකම්වරුන් හා ප්‍රාදේශීය ලේකම්වරුන් හරහා ක්‍රියාවට නැංවීමට යෝජිතය. ‍‍

දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් යටතේ දැනට පවතින ක්‍රමය භාවිතා කරමින් හඳුනාගත් සමෘද්ධි ප්‍රතිලාභීන් ඇතුළු අඩු ආදායම්ලාභීන් අතර සහල් බෙදාදීමට නියමිත අතර කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය විසින් ඒ සම්බන්ධයෙන් දිස්ත්‍රික් ලේකම්වරු සම්බන්ධීකරණය කරමින් ඔවුන්ට අවශ්‍ය උපදෙස් නිකුත් කරනු ඇත.

වී මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 6,200ක්, වී වියළීම සඳහා රුපියල් මිලියන 290ක්, කෙටුම් කුලිය සඳහා රුපියල් මිලියන 590ක්, ඇසුරුම් පිරිවැය සඳහා රුපියල් මිලියන 200ක්, වී මෝල් හිමියන් සඳහා අමතර ගෙවීම් ලෙස රුපියල් මිලියන 160ක්, සහල් ප්‍රවාහන පිරිවැය ලෙස රුපියල් මිලියන 600ක් ලෙස රුපියල් මිලියන 8,040ක් මේ සඳහා අස්තමේන්තුගත කර තිබේ.

කෙසේ වුවද, වෙළෙඳපළ වී මිලෙහි සිදුවන වෙනස්කම් මත වැඩසටහන සඳහා ඇස්තමේන්තුගත පිරිවැය වෙනස් වනු ඇති අතර, අවශ්‍යතාවක් පැනනැගුනහොත් මේ සඳහා රුපියල් මිලියන 10,000ක පමණ අය වැය ප්‍රතිපාදන භාවිත කරනු ඇත.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවෙහි දත්තවලට අනුව 2022/2023 මහ කන්නයේ වී වගාකරන ලද භූමි ප්‍රමාණය හෙක්ටයාර් 732,201ක් පමණ වෙයි. එමගින් අපේක්ෂිත වී අස්වැන්න මෙ.ටො. මිලියන 3.3ක් ද වන අතර මෙමගින් නිපදවිය හැකි සහල් ප්‍රමාණය මෙ.ටො. මිලියන 2.2ක් පමණ වේ. මෙ.ටො. 210,000ක් පමණ වන රටේ මාසික සහල් අවශ්‍යතාව සැලකිල්ලට ගත් කළ ඉදිරි මහ කන්නයේ දී වී අතිරික්තයක් ලැබිය හැකි බව නිරීක්ෂණය වේ.

ඒ අනුව වී ගොවියා මෙන්ම පාරිභෝගිකයා ද ආරක්ෂා කිරීම සඳහා 2022/23 මහ කන්නයේදී යම් වී ප්‍රමාණයක් මිලදී ගැනීම කෙරෙහි රජය මැදිහත් වීම අවශ්‍ය වේ.

තවද, රටේ පවතින අතිශය දුෂ්කර ආර්ථික තත්ත්වය හේතුවෙන් සමාජයේ අඩු ආදායම්ලාභී කණ්ඩායම්වල පෝෂණ මට්ටම පවත්වාගැනීමට සහාය දෙමින් මෙම අර්බුදයේ අහිතකර බලපෑම්වලින් ඔවුන් ආරක්ෂා කිරීම අවශ්‍ය වේ. සමෘද්ධිලාභීන් ද ඇතුළුව මෙම කණ්ඩායම පවුල් මිලියන 2ක් පමණ බව හඳුනාගෙන ඇත. 2023 අප්‍රේල් මාසය දක්වා එම කණ්ඩායම සඳහා රජය අතිරේක මුදල් ප්‍රමාණයක් ලබාදුන්නද, යම් කාලසීමාවක් සඳහා මෙම අඩුආදායම්ලාභීන් රැකබලා ගැනීමේ අවශ්‍යතාවක් පවතී.

2022/2023 මෙවර මහ කන්නයේ වී අස්වැන්න පෙර මහ කන්නයට වඩා ඉහළ අගයක් ගනු ඇතැයි අපේක්ෂා කරන බැවින්, හඳුනාගත් අඩු ආදායම්ලාභීන් අතර ඔවුන්ගේ ජීවන මට්ටම පවත්වාගෙන යාම සඳහා අමතර උපකාරයක් ලබාදීම වෙනුවෙන් යම් වී ප්‍රමාණයක් යොදාගැනීම සුදුසු වේ. මෙම වැඩපිළිවෙළ මඟින් රටේ ගොවි ජනතාවට මෙන්ම අඩු ආදායම්ලාභීන් සඳහා ප්‍රතිලාභ ලැබෙනු ඇත.

භාණ්ඩාගර ලේකම්, ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරීන්, කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම්, කාන්තා ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීමේ අමාත්‍යාංශයේ ලේකම්, සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්, සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව සහ අදාළ අනෙකුත් ආයතනවල නිලධාරින්ගේ සහභාගීත්වයෙන් ඉදිරියේ දී පැවැත්වෙන රැස්වීමේ දී යෝජිත වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදය සාකච්ඡා කිරීමට නියමිතය.

මෙහිදී යෝජිත සහල් බෙදාහැරීමේ යාන්ත්‍රණය සම්බන්ධයෙන් සාකච්ඡා කර අවසන් තීරණයක් ගැනීමට ද අපේක්ෂා කෙරේ. ඊට අමතරව ගොවීන්ගේ මිලදී ගැනීමට නියමිත වී වර්ගවල නිෂ්පාදන පිරිවැය, වී මිලදී ගැනීමේ සහතික මිල, වී මෝල්හිමියන් සහභාගී කර ගැනීම, ප්‍රවාහන ක්‍රමය සහ වී කෙටුම් කුලී යන කරුණු සම්බන්ධයෙන් ගැඹුරින් සාකච්ඡා කරනු ඇත.

ක්‍රිකට් ඇමරිකන් ෆුට්බෝල් බාස්කට් බෝල් පුළුවන් : සජිත් සුදුසුකම් ඉදිරිපත් කරයි !

තමන් ක්‍රීඩාවන් කිහිපයක් සඳහා ඕල් රවුන්ඩර් කෙනෙක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කරයි.

ක්‍රිකට්, පාපන්දු, ඇමරිකන්ෆුට්බෝල් , බාස්කට් බෝල් ආදී ක්‍රීඩා තමන්ට ක්‍රීඩා කළ හැකි බවද ඔහු පවසයි.

විපක්ෂ නායකවරයා මේ අදහස් දක්වා සිටියේ සමගි ජන බලවේගයේ ආසන බලමන්ඩලයක් අමතමින් ය.

කෙසේ වුවත් අධ්‍යාපනය සම්බන්ධයෙන් ඔහු පවසා සිටියේ තමන් යම් අධ්‍යාපනයක් ලබා ඇති බවය.

නමුත් ලෝකයේ ඕනෑම නායකයෙක් සමඟ ඉංග්‍රීසි භාෂාවෙන් කතා කර ඔහුගේ හිත නම්මාගෙන අපේ රටට සම්පත් ලබා ගැනීමේ හැකියාව ද තමන්ට ඇතැයි ද විපක්ෂ නායකවරයා පැවසීය.

අපේ රටට අවශ්‍ය ඩොලර් ගෙන ඒමේ වැඩපිළිවෙල තමන් සතු බවද පැවසූ විපක්ෂ නායක වැඩිදුරටත් සඳහන් කර සිටියේ ඒ සඳහා අවස්ථාව දෙන්නේදැයි ජනතාව තීන්දු කල යුතු බවද කියා සිටියේය.

කෙසේ වුවත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වන දේශපාලන විචාරකයන් පවසන්නේ විපක්ෂ නායකවරයා ඉදිරිපත් කරන කිසිම සුදුසුකමක් මේ මොහොතේ රට මුහුණදී ඇති අර්බුදය විසඳීමට ප්‍රමාණවත් නොවන බවයි. එසේම රටට අවශ්‍ය ඩොලර් ගෙන ඒමට වැඩපිළිවෙලක් ඇත්නම් ඒ බව රටට ඉදිරිපත් කල යුතු බවත් එවිට ජනතාව තීන්දුවක් ගනු ඇති බවත් විචාරක අදහස වී ඇත.

 

හෙදියන්ගේ බොඩි ශේප් ගැන කියපු : ලාල්ට රෝහිණීගෙන් ප්‍රහාරයක් !

ජාතික ජන බලවේගය ප්‍රතිපත්තිය වන්නේ මෙරට හෙදියන් ලිංගික ශ්‍රමිකයන් පිරිසක් බවට පත් කිරීම දැයි සජබ පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණී කවිරත්න ප්‍රශ්න කරයි.

මෙරට හෙදියන් පිරිමින්ගේ මනදොල සපුරන ආකාරයට තම ශරීර සකස් කරගත යුතු යැයි ලාල් කාන්ත මහතා ඇති ප්‍රකාශය හෙළාදකින බව ද ඇය පවසා සිටියි.

ලාල්කාන්ත මහතාගේ පහත් ආශාවන් කාන්තාවන් දෙස බලා සපුරා ගනීමට හැකි වන ලෙස හෙදියන් සිටිය යුතු බව ඔහු පවසන බවත් එසේ බව බල කිරීමට කිසිවෙකුට අයිතියක් නැති බවත් ඇය කියා සිටියාය.

මන්ත්‍රීවරිය මේ බව කියා සිටියේ දිගන ප්‍රදේශයේ දී පැවති සමගි ජනබලවේගයේ ආසන සමුළුවක් අමතමිනි

අධ්‍යාපන අමාත්‍යංශයෙන් විශේෂ නිවේදනයක් !

අ.පො.ස සාමාන්‍ය පෙළ සමත් සිසුන් අ.පො.ස උසස් පෙළ සඳහා විෂය ධාරා අනුව පන්තිවලට ඇතුළත් කරගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ලිපි නිකුත් නොකරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

විශේෂ නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාතංශය මේ බව සඳහන් කර ඇති අතර එහි වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ, මේ සඳහා චක්‍රලේඛන මගින් පාසල්වලට අවසර ලබා දී ඇති බවය.

ඒ අනුව තමන් පදිංචි ප්‍රදේශය තුළ අදාළ විෂය ධාරාව පවතින පාසලක් ලබා ගැනීමට එම ප්‍රදේශයේ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ මගින් කටයුතු කළ හැකිය.

වෙල්ගම - පාඨලී අලුත් දේශපාලන දීගෙක !

පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගමගේ නායකත්වයෙන් යුත් නව ලංකා නිදහස් පක්ෂය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක නායකත්වය දරණ 43 වන සේනාංකය එළඹෙන පළාත් පාලන මැතිවරණයේ දී එක්ව තරග කිරීමට තීරණය කර ඇත.

ඒ සඳහා වන ගිවිසුමකට ද පාඨලී චම්පික රණවක සහ කුමාර වෙල්ගම මන්ත්‍රීවරුන් අද (16) අත්සන් තබා තිබේ.

එහිදී රණවක මන්ත්‍රීවරයා පවසා ඇත්තේ තම කණ්ඩායම් දෙක එක්ව පළාත් පාලන ආයතන කිහිපයකට තරඟ කරන බවත්, තවත් ආයතනවලට ස්වාධීනව අපේක්‍ෂකයන් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවත්ය.

‘හෙලිකොප්ටරය’ ලකුණින් තරඟ කරන නිදහස් ජනතා සන්ධානයට ද සුබ පතන බව කී රණවක මන්ත්‍රීවරයා ඔවුන් සමඟ ද සාකච්ඡා කළ නමුත් යම් යම් කරුණු සම්බන්ධයෙන් එකඟතාවට පත්වීමට නොහැකිවීම නිසා වෙනම තරග කිරීමට තීරණය කළ බව සඳහන් කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම ද මෙහිදී පැවසුවේ නිදහස් ජනතා සන්ධානයේ සිටින්නේ තම සහෝදර මන්ත්‍රීවරුන් බවයි.

පළාත් පාලන මැතිවරණය කල්දාන්න අවස්ථා 3ක් !

ප්‍රකාශිත පළාත් පාලන මැතිවරණය කල් දැමීමට ඇත්තේ අවස්ථා තුනක් බව හිටපු මැතිවරණ කොමිසමේ සභාපති සහ මැතිවරණ සීමා නීර්ණය කමිටුවේ සභාපති මහින්ද දේශප්‍රිය පවසයි.

අධිකරණය හරහා සිදුවන වාරණයක්, අධිකරණයේ පිළිගැනීම මත ව්‍යවස්ථාදායකය විසින් සම්මත කර ගන්නා පනතක් සහ මැතිවරණ පනතේ ඇති බලතල අනුව මැතිවරණ කොමිසම විසින් ගන්නා ලද තීරණයක් අනුව ඡන්දය කල් දැමිය හැකි බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

ඒ හැර ඡන්දය කල් දැමීමට අන් කිසිදු ක්‍රමයක් නැති බවද මැතිවරණ සීමා නීර්ණය කමිටුවේ සභාපති මහින්ද දේශප්‍රිය සඳහන් කර සිටියි.

එසේම පසුගියදා රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම්වරයා විසින් නිකුත් කරන ලද ලිපිය නිකම්ම කඩදාසියක් බවත් දේශප්‍රිය මහතා පැවසීය.

සිරිසේන පිටකොටුවේ බෝ ගහ යට ටිං හොලවන තැනට වැටෙයි !

පාස්කු නඩු තීන්දුවට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය තමන්ට නියම කළ වන්දි මුදල ගෙවීමට තරම් වත්කමක් නොමැති බැවින් කොළඹ කොටුවේ බෝ ගහ යට ටිං එකක් හොල්ල හෝල්ල ඉන්නද යනුවෙන් හිතවතුන්ගෙන් විමසූ බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි .

එසේම අදාළ මුදල සිය හිතමිතුරන්ගේ උපකාරයෙන් එකතු කර ගෙවා දමන බවත් හිටපු ජනාධිපති පවසයි.

ඔහු ඒ අදහස් පළ කළේ අද (15) නිට්ටඹුව නගරයේ පැවති උත්සවයකට එක්වෙමිනි.

එහිදී ඔහු වැඩිදුරටත් මෙසේද පැවසීය .

"මේ නඩු තීන්දුව ගැන කතා කරනවිට පළමුවැනි දේ තමයි නීතියට ගරු කරන්න ඕනේ. අධිකරණයේ තීන්දු සඳහා හිස නමන කෙනෙක් මම. මේ සිද්ධිය වෙනකොට මම හිටියේ පිටරට සිංගප්පූරුවේ රෝහලේ. අනත්ත අප්‍රමාණ මම කිව්වා, මේ සිදුවීම පිළිබඳව ආරක්ෂ අංශවල නිලධාරීන්ට තොරතුරු ලැබුණාට ඒ කිසිදු නිලධාරීයෙක් මට මේ ගැන කිව්වේ නැහැ. මේ නඩු තීන්දුවේ පිටු 85 ඇතුළේ තිබෙනවා. මේ තොරුතුර නිලධාරීන්ට ලැබුණාට ජනාධිපිතිවරයා කිසිම ආකාරයකින් දැනුවත් වෙලා නැහැ කියලා. ඊළඟට ඔබට සිතයි මේ කෝටි 10 ගෙවන්න තීන්දු කළේ කියලා. මානව හිමිකම් කඩවීමක් පිළිබඳව.

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ තිබෙනවා ජනාධිපතිවරයා විසින් පත්කරන ලද නිලධාරීන් යම් වැරැද්දක් කළහොත් ඒකට ජනාධිපතිවරයාද වගකිව යුත්තේය කියලා මේ නඩු තීන්දුවේ ලියලා තියෙනවා. පොලිස්පති පත්කරන්නේ ජනාධිපති, ආරක්ෂක ලේකම් පත්කරන්නේ ජනාධිපති. ඔත්තු සේවා අධ්‍යක්ෂ පත්කරන්නේ ජනාධිපති නෙමෙයි පොලිස්පතිතුමා. ඒ අයගෙන් ඉටුනොවුණ එකට මමත් වගකිව යුත්තෙක් කියලා තමයි මටත් කෝටි 10ක වන්දියක් ගෙවන්න නඩු තීන්දුවේ දීලා තියෙන්නේ.

කෝටි 10ක වන්දියක් ගෙවන්න කොහෙත්ම ආර්ථිකයක් තියෙන කෙනෙක් නෙමෙයි මම. මම සහ මගේ හිතවතුන් තීරණය කරලා තිබෙන්නේ, අපි අපට හිතවත් අයගෙන් සල්ලි එකතු කරමු කියලා. එහෙම කියනකොට මම ඇහුවා එහෙමනම් කොළඹ කොටුවේ බෝ ගහ යට ටිං එකක් හොල්ල හෝල්ල ඉන්නද කියලා ? කිසිදු ආදායමක් නැහැ. මගේ වත්කම් ප්‍රකාශනය හැම අවුරුද්දේම මම පාර්ලිමේන්තුවට දීලා තියෙනවා. මම ජනාධිපතිවෙලා හිටපු අවුරුදු 5ත් හැම අවුරුද්දේම මම දීලා තියෙනවා මගේ වත්කම් ප්‍රකාශනය. ඉතින් මගේ වත්කම් ප්‍රකාශනය ඕනේ කෙනෙකුට බලන්න පුළුවන් තොරතුරු දැනගැනීමේ පණත යටතේ. ඕනේ නම් අරගෙන බලන්නත් පුළුවන් මට මොනවද තියෙන්නේ කියලා. ඒ නිසා මගේ මිත්‍රයෙක් තීරණය කරලා තියෙන ආකාරයට මම බලාපොරොත්තු වෙන්නේ මගේ හිතවතුන්ගෙන් මේ සඳහා අවශ්‍ය සහායෝගය ගන්නයි. මම පුද්ගලිකව කියනවා මට නම් මොන විදිහේ අභියෝග ආවත් මගේ දෙපා මුලට හෙණ හැහුවත් මට වැදෙන්නේ නැහැ. ඒ ඕනෑම අභියෝගයකට මම සිනාමුසු මුහුණෙන් මුහුණ දෙනවා."

ෆයිසර් ශ්‍රීලනිපයෙන් ඉල්ලා අස්වෙයි : දේශපාලන තීන්දුවක් ගන්නත් සූදානම් !

හිටපු අමාත්‍ය ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ධුරය ඇතුළු පක්‍ෂයේ සියලු තනතුරුවලින් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වෙයි .

එමෙන්ම ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සාමාජිකත්වයෙන්ද ඔහු ඉල්ලා අස්වී ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි .

ඊට අදාළ ලිපිය පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත යොමු කර ඇති බවත් දැනගන්නට ඇත .

පක්ෂයේ ලදබොළඳ දේශපාලන තීන්දු තීරණ සහ ඒ හමුවේ ජේෂ්ඨයන් රැසක් පාක්ෂිකයින් සමග පක්ෂය හැරයාම ඇතුළු කරුණු රැසක් හේතුවෙන් හිටපු අමාත්‍ය ෆයිසර් මුස්තාපා පසුගිය සමයේ බලවත් කළකිරීමකින් පසුවූ බවත් එම ආරංචි මාර්ග පවසයි .

එසේම ඉදිරියේදී ඔහු දේශපාලන තීන්දුවක් ගැනීමේ සූදානමක් ඇති බවත් වාර්තා වෙයි .

Page 150 of 383