V2025

පුවත්

ජාත්‍යන්තරය සමග ආර්ථික සම්බන්ධතා ශක්තිමත් කරගත යුතුයි - ජනාධිපති

ඉන්දියාව සහ කලාපීය විස්තීරණ ආර්ථික සහයෝගීතා (RCEP) සංගමයේ රටවල් සමඟ ආර්ථික සහයෝගීතාව ඇතිකර ගැනීම මෙන්ම යුරෝපා සංගමය සමඟ ද සබඳතා ශක්තිමත් කර ගැනීම කෙරෙහි ශ්‍රී ලංකාවේ අවධානය යොමුව ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තියේ ස්වර්ණමය අවධිය දිවංගත අග්‍රාමාත්‍ය ඩී.එස්.සේනානායක මහතාගේ පාලන සමයේ සිට සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ පාලන සමය දක්වා දිවෙන බව සඳහන් කළ ජනාධිපතිවරයා ගෝලීය වශයෙන් සිදුවන වෙනස්වීම් හමුවේ ජාත්‍යන්තරය තුළ ශ්‍රී ලංකාවේ භූමිකාව ඉතා වැදගත් වන බව ද සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙම අදහස් පළ කළේ ඊයේ (10) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති බණ්ඩාරනායක ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථානයේ වාර්ෂික සහතික පත්‍ර ප්‍රදානොත්සවය අමතමිනි.

මෙහිදී ජාත්‍යන්තර සබඳතා පිළිබඳ සහතික පත්‍ර, ඩිප්ලෝමා, උසස් ඩිප්ලෝමා සහ පශ්චාත් උපාධි පාඨමාලා යන මට්ටම් වලින් අධ්‍යයන කටයුතු සම්පූර්ණ කළ ශිෂ්‍ය ශිෂ්‍යාවන් 390කට සහතික පත්‍ර ප්‍රදානය කිරීම සිදුවූ අතර 2020, 2021, 2022, සහ 2023 යන අධ්‍යයන වර්ෂවලදී විශිෂ්ටතා දැක්වූ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට තිළිණ සහ සහතික පත්‍ර ප්‍රදානය ද මෙහිදී සිදුවිය.

ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර සබඳතා සඳහා දක්වන ලද සුවිශේෂී දායකත්වය අගය කරමින් දිවංගත ජයන්ත ධනපාල සහ එච්. එම්. ජී. එස්. පලිහක්කාර යන මහත්වරුන් වෙනුවෙන් විශේෂ ගෞරව සම්මාන පිරිනැමීම ද මෙහිදී ජනාධිපතිවරයා අතින් සිදු වූ අතර අභාවප්‍රාප්ත ජයන්ත ධනපාල වෙනුවෙන් ඔහුගේ පුත් සිවංක ධනපාල විසින් සම්මානය ලබාගන්නා ලදී.

ණය අර්බුදය, තිරසාර සංවර්ධන ඉලක්ක වෙත ළඟා වීම ප්‍රමාද වීම සහ දේශගුණික විපර්යාස සම්බන්ධ ගැටළු ඇතුළුව පශ්චාත් කොවිඩ් වසංගත යුගය විසින් එල්ල කර ඇති අභියෝග පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙහිදී අදහස් දැක්වීය.

එක්සත් ජනපදය සහ චීනය අතර වන එදිරිවාදිකම් හේතුවෙන් පැන නගින සංකීර්ණත්වය සහ එමඟින් ගෝලීය භූ දේශපාලනය කෙරෙහි ඇතිවන බලපෑම ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

වර්තමානයේ පවතින තත්ත්වය "ගෝලීය බහු-අර්බුදයේ භූ දේශපාලනය" ලෙස හැඳින්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ , කොඩිඩ් 19 වසංගතය, ණය අර්බුද, දේශගුණික විපර්යාස, වෙළඳ ගැටළු සහ කලාපීය ගැටුම් ඇතුළු මේ සියල්ල එකිනෙකට සම්බන්ධිතව පවතින අභියෝග වන බව ද පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තියේ ප්‍රවේශය ඉන්දු පැසිෆික් කලාපය පිළිබඳ ආසියාන් සංවිධානයේ දැක්ම සමඟ සමපාත වන බව සඳහන් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සාගර දෙකක් ලෙස එම එක් එක් සාගරයන්ට වෙන් වෙන් වශයෙන් අනන්‍යතා පවතින බව ද අවධාරණය කළේය.

චීනය, ආසියා - පැසිෆික් සංකල්පයට වැඩි කැමැත්තක් දක්වන බවත්, එක් තීරයක් - එක් මාවතක් සංකල්පය මඟින් පැසිෆික් සාගරයත් ඉන්දියන් සාගරයත් සම්බන්ධ කර ඇති බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය. මේ සියලු තත්ත්වයන් හමුවේ වූවද මහා බල එදිරිවාදිකම්වලින් තොර අවකාශයක් ලෙස ඉන්දියන් සාගරය පවත්වා ගැනීමේ වැදගත්කම ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කළේය.

අප්‍රිකානු කලාපයේ අඩු ආදායම්ලාභී රටවලට ණය සහන ලබාගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකාව පෙනී සිටින බව සඳහන් කළ ජනාධිපතිවරයා දේශගුණික විපර්යාස අවම කිරීම සඳහා නිවර්තන කලාපය කෙරෙහි ද අවධානය යොමු කළ යුතු බව ද සඳහන් කළේය. මෙම කරුණු සම්බන්ධයෙන් ගෝලීය වශයෙන් ඇති කරගන්නා සහයෝගීතාවයක අවශ්‍යතාව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ගෝලීය වෙළඳ ක්‍රමය පවත්වාගෙන යාමේ වැදගත්කම අවධාරණය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සැලකිය යුතු වෙනස්කම් සිදුකිරීමට පෙර ජාතීන් අතර සම්මුතියක අවශ්‍යතාවයද අවධාරණය කළේය.

ගාසා තීරයේ පවතින යුද්ධය පිළිබඳ කනස්සල්ල ප්‍රකාශ කළ ජනාධිපතිවරයා, හමාස් සංවිධානයේ නායකත්වය විනාශ කිරීමෙන් පමණක් ගැටුම් අවසන් කළ නොහැකි බවත් තවදුරටත් එය උත්සන්න වීම වැළැක්වීම සඳහා කඩිනම් සටන් විරාමයක් අවශ්‍ය බවත් සඳහන් කළේය.

සැන් ෆ්‍රැන්සිස්කෝ හි පැවැත්වීමට නියමිත එපෙක් (APEC) රාජ්‍ය නායක සමුළුව අතරතුර ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් සහ චීන ජනාධිපති ෂී ජිං පින් අතර සිදු වීමට නියමිත හමුව මඟින් පවතින තත්ත්වය සමනය කර ගැනීම සඳහා ධනාත්මක ප්‍රතිඵලයක් අපේක්ෂා කරන බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

ගෝලීය වශයෙන් පවතින මෙම සංකීර්ණතාවන් හරහා ගමන් කිරීමට සාමූහික ප්‍රයත්නයක් අවශ්‍ය බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කළේය.

බණ්ඩාරනායක ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථානයේ සභාපති හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අනුර ප්‍රියදර්ශන යාපා, ආචාර්ය හර්ෂ ද සිල්වා, එරාන් වික්‍රමරත්න යන මහත්වරුන් ද, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි විජේවර්ධන, ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහකොමසාරිස් මයිකල් ඇපල්ටන්, ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති ජෝන් ෆ්‍රන්සුවා පැක්ටට්, ජපාන නියෝජ්‍ය තානාපති කත්සුකි කතාරෝ යන මහත්ම මහත්මීන් මෙන්ම විදෙස් රාජ්‍ය තාන්ත්‍රිකයින්, හිටපු තානාපතිවරුන්, බණ්ඩාරනායක ජාත්‍යන්තර අධ්‍යයනය මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ මහචාර්ය ගාමිණී කීරවැල්ල, බණ්ඩාරනායක ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථානයේ කළමනාකරණ කවුන්සිලයේ සහ අධ්‍යයන කාර්ය මණ්ඩලය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

IMG 20231110 WA0019

2024 දී නව ක්‍රීඩා සරසවියක්.....

2024 වසරේදී නව ක්‍රීඩා විශ්වවිද්‍යාලයක් ආරම්භ කිරීමට රජය සැලසුම් කර ඇතැයි, ක්‍රීඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, ඒ සඳහා අමෙරිකානු ඩොලර් බිලියනක් පමණ වැය වෙතැයි විශ්වාස කරන බවයි.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

අධ්‍යාපනවේදී උපාධිය, විද්‍යාවේදී උපාධිය, ඒකාබද්ධ වාර්ෂික වර්ධන අනුපාතය සහ පාරිසරික බලපෑම් තක්සේරුව පිළිබඳව අධ්‍යයනය කිරීම එහි අන්තර්ගත කරුණු අතර වන බව රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඇතුළු ආයතන කිහිපයක අනුමැතිය ලබා ගැනීමෙන් පසුව 2024 වර්ෂයේ පළමුවන කාර්තුව තුළ එහි වැඩකටයුතු ආරම්භ කිරීමට සැළසුම් කර ඇතැයි රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක වැඩිදුරටත් කියා සිටි‌යේ ය.

ශ්‍රී ලංකාවට ක්‍රිකට් තහනමක්

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ක්‍රිකට් මණ්ඩලය විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අත්හිටුවූ බව අයිසීසී නිල වෙබ් අඩවිය වාර්තා කළේය.

තම සාමාජිකයකු ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිය කවුන්සිලයේ වගකීම් බරපතළ ලෙස උල්ලංඝනය කරමින් සිටින බව ඊයේ (10) රැස්වූ අයිසීසී ක්‍රිකට් මණ්ඩලය තීරණය කර ඇති අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයේ කටයුතු ස්වාධීනව කළමනාකරණය කිරීමේ අවශ්‍යතාව අවධාරණය කරමින් එහි නියාමන හෝ පරිපාලනය ස්වාධීනව සිදු වන බවට සහතික කළ යුතුව ඇතැයි ප්‍රකාශ කළ බව අයිසීසී විසින් නිකුත්කළ නිවේදනයේ දැක්වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් අත්හිටුවීමේ කොන්දේසි අයිසීසීය විසින් ඉදිරියේදී තීරණය කරනු ඇති බවට එහි සඳහන් කර තිබිණි.

මධ්‍යම පරිසර අධිකාරියේ ලොක්කා අත්අඩංගුවට

ව්‍යාපාරිකයකුගෙන් රුපියල් කෝටියක අල්ලසක් ගන්නා ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සුපුන් එස් පතිරගේ  ඇතුළු දෙදෙනෙක් අල්ලස් හෝ දූෂණ චෝදනා දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඔහුගේ කාර්යාලයේදී අද (10) පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබූහ.

මධ්‍යම පරිසර අධිකාරියේ ව්‍යාපෘතියක් වෙනුවෙන් අල්ලස් ගන්නා ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මොහු අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි.

අත්අඩංගුවට ගනු ලැබූ පිරිස අතර රියදුරෙක්ද සිටී.

මෙම අල්ලස් ඉල්ලීම පිළිබඳව අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂට තොරතුරක් ලැබී ඇත. ඒ අනුව අමාත්‍යවරයා සිද්ධිය පිළිබඳව පැමිණිලි කිරීම සඳහා ව්‍යාපාරිකයා අල්ලස් කොමිසමට යොමු කළේය.

මේ පැමිණිල්ල අනුව ක්‍රියාත්මක වූ අල්ලස් කොමිසමේ නිලධාරීහු කණ්ඩායමක් එම කාර්යාලයට ගොස් විශේෂ උපක්‍රම අනුගමනය කරමින් සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත්හ.

සැකකරුවන් හෙට (11) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

අල්ලස් කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට අල්ලස් ගැනීම සම්බන්ධයෙන් මේ වසරේ අත්අඩංගුවට ගනු ලැබූ රජයේ ඉහළම නිලධාරියා මොහුය.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීහු සිද්ධිය පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වති.

ලංකාදීප

ලංකාවේ මූල්‍ය අංශය ශක්තිමත් කිරීමට ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 150ක්

ශ්‍රී ලංකාවේ මූල්‍ය ක්ෂේත්‍රයේ සුරක්ෂිතතාවය ශක්තිමත් කිරීම සඳහා ලෝක බැංකුව ඩොලර් මිලියන 150ක මූල්‍යකරණයක් අනුමත කර තිබේ.

ලෝක බැංකුවේ විධායක මණ්ඩලය එම අනුමැතිය ලබාදී ඇත.

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයට ශක්තිමත් මූල්‍ය ආරක්‍ෂණ ජාලයක් අවශ්‍ය බව ලෝක බැංකුවේ මාලදිවයින, නේපාලය සහ ශ්‍රී ලංකාව සඳහා අධ්‍යක්ෂ ෆාරිස් හඩඩ්-සර්වෝස් පැවසීය.

ඒ සදහා ආර්ථික,ව්‍යාපාර සහ පුද්ගල, කුඩා ව්‍යාපාර හා දිළිදු පවුල් සදහා විශ්වාසදායී සහ ස්ථාවර බැංකු අංශයක් අත්‍යවශ්‍ය බව ඔහු සදහන් කරයි.

ඒ අනුව ශක්තිමත් තැන්පතු රක්‍ෂණ යෝජනා ජාලයක් ඔස්සේ ග්‍රාමීය ප්‍රදේශවල ජීවත් වන කාන්තාවන් සහ ජනතාව ඇතුළු කුඩා තැන්පත්කරුවන්ගේ ඉතුරුම් ආරක්‍ෂා කිරීමට උපකාරීවන බවත් එය ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය කෙරෙහි විශ්වාසය පවත්වා ගෙන යනු ඇති බවත් අධ්‍යක්ෂ ෆාරිස් හඩඩ්-සර්වෝස් කියා සිටියේය.

ශ්‍රී ලංකාවේ තැන්පතු රක්‍ෂණය සඳහා වන නීතිමය රාමුව මෙම වසර මුලදී බැංකු විශේෂ විධිවිධාන පනතේ පාර්ලිමේන්තුවේ අනුමැතිය හරහා වැඩිදියුණු කරන ලදී.

ක්‍රිකට් ආයතනයට එරෙහි ජන්ද විමසීම මාලිමාව වර්ජනය කරලා !

පාර්ලිමේන්තුවේදී අද (09) පැවති ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහි විවාදයේ ජන්ද විමසීම අවස්ථාව සඳහා ජාතික ජනබලවේගය පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් සහභාගි නොවීම සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමුව ඇත.

ඊට අද පැවති විවාදය අවස්ථාවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග දැක්වූ අදහස් ද හේතු වී ඇති බව විචාරකයන් පවසයි .
මේ ආකාරයට ජාතික ජනබලවේගය පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් සභා ගර්භයේ නොසිටීම පිළිබඳව ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ ද අවධානය යොමුකර සිටියේය .

කෙසේ වෙතත් ජාතික ජනබලවේගය නොමැතිව අද පාර්ලිමේන්තුවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහි යෝජනාව ආණ්ඩු පාර්ශ්වයේ සහ විපක්ෂයේ එකඟතාව ඇතිව ජන්ද විමසීමකින් තොරව සම්මත කරගනු ලැබිණ.

ක්‍රිකට් තහනමක් ආවොත් පාර්ලිමේන්තුවම වගකීම බාරගමු - කාංචන

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට තහනමක් පනවනු ලැබුවොත් එහි වගකීම සමස්ත පාර්ලිමේන්තුවට භාරගැනීමට සිදුවන බව අමාත්‍ය කංචන විජේසේකර පැවසීය .

අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ , පාර්ලිමේන්තුවේදී අද (09) පැවති ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පාලනාධිකාරියට එරෙහි යෝජනාව වෙනුවෙන් වූ විවාදය අමතමිනි .

ක්‍රිකට් අර්බුදය පිළිබඳව සොයාබැලීම සඳහා පත්කර ඇති කැබිනට් අනු කමිටුව ට සහය දක්වන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

එසේම වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු මෙසේද පැවසීය .

ලෝකයේ අනෙකුත් කණ්ඩායම් වලට සාපේක්ෂව ලංකාවේ තරුණ ක්‍රිකට් කණ්ඩායමක් ඉන්නවා.ඔවුන්ට තරග කරන්න වෙලා තියෙන්නේ ජ්‍යෙෂ්ඨ කණ්ඩායම් එක්ක.ඒ ජ්‍යෙෂ්ඨයන්ගේ අත්දැකීම් කුසලතා මෙන්ම අපේ කණ්ඩායමය අත්දැකීම් ගැන සලකා බැලිය යුතුයි.

නවසීලන්තයටත් පරාදයි : ලංකාවට ශූරයන්ගේ කුසලානයට යාමත් අහිමියි !

ඉන්දියාවේ දී පැවැත්වෙන 2023 ලෝක කුසලාන තරගාවලියේ අද (09) පැවති අවසන් තරගයෙන්ද ශ්‍රී ලංකාව නවසීලන්තය හමුවේ පරාජයට පත්වූ අතර , ඒ සමග ලබන වසරේ පැවැත්වෙන ශූරයන්ගේ කුසලානය සඳහා සහභාගි වීමේ අවස්ථාව ද අහිමිව ඇත.

තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සුපුරුදු පරිදි යළි අසාර්ථක වෙමින් පන්දුවාර 46.4කදී ලකුණු 171කට සියලු දෙනා දැවී ගියේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 23.2කදී කඩුලු 05ක් දැවී එම ඉලක්කය පසුකර තරගයේ ජයග්‍රහණය ලබා ගත්තේය.

ඒ අනුව නවසීලන්තය අවසන් පූර්ව වටයට යාමට වැඩි අවස්ථාවක සිටින අතර පාකිස්තානය හා ඇෆ්ගනිස්තානය ඉදිරියේදී මුහුණ දෙන තරගවල ප්‍රතිඵලද ඒ සඳහා බලපායි.

ක්‍රිකට්වලදී එකතුවු ආකාරයට ජාතික ප්‍රශ්නවලදීද එකතු වෙන්න - ප්‍රසන්න

ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් එකතුවූ ආකාරයට රටට බලපාන ජාතික ප්‍රශ්න වලදීත් පාර්ලිමේන්තුවම එකතු වී කටයුතු කළ යුතු බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක , අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි .

අමාත්‍යවරයා අද (09) මේ බව සඳහන් කර සිටියේ පාර්ලිමේන්තුවේදී පැවති ක්‍රිකට් පිළිබඳ විවාදය අමතමිනි .

එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේද සඳහන් කළේය.

ක්‍රිකට් බෝඩ් එක විසුරුවා හැරීම ගැන කැබිනට් මණ්ඩලය දන්නේ නැහැ. කැබිනට් අනුකමිටුවක් පත් කළේ ක්‍රීඩා ඇමතිතුමාගේ අඩු පාඩු හොයන්න‍ නෙමෙයි. ඒ අනු කමිටුව පත් කළේ මේ වැඩ පිළිවෙල ඉදිරියට ගෙනියන් පුළුවන්ද කියල හොයන්නයි. දැන් අපි මේ යෝජනාවට විරුද්ධ වුණා කියල වැරදි මතයක් හදන්න හදනවා.

මේ යෝජනාව ගෙනාවට විපක්ෂනායකතුමාට ස්තූතිවන්ත වෙනවා . අපි පක්ෂ නායක රැස්වීමේදී කාටත් එකඟ වෙන්න පුළුවන් විදියට මේ යෝජනාව ගෙනාවා. දැන් අපිට කරන්න දෙයක් නෑ. බෝඩ් එක ඉල්ලා අස්වෙන්නෙත් නෑ. අපිට ඉවත් කරන්නත් බැහැ. ඒ නිසා මේ පනත වෙනස් කරන්න ඕන කියල යෝජනාව ගෙනාවේ ජනාධිපතිතුමා.

ජනාධිපතිතුමා හා එතුමාගේ නිලධාරීන් මේකට විරුද්ධයි කියල කිව්වා. එහෙම විරුද්ධනම් මොකටද ජනාධිපතිතුමා මේ‍ යෝජනාව ගේන්නේ. ඔය දේශපාන බලවේලයේ කුහකත්වය හැම තිස්සෙම පෙන්වනවා.

2024 දී ආහාර උද්ධමනය තවත් අඩුවෙයි !

ඉදිරි වසරේ තවදුරටත් ආහාර උද්ධමනය අඩු වන බව වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු පැවසීය.

එසේම ආහාර ද්‍රව්‍යවල මිල 2024 වර්ෂයේ දී කොපමණ දුරට පාලනය කල හැකි ද යන්න පිළිබඳව වැටහීමක් ලබාගැනීම සඳහා මේ වන විට ආහාර නිෂ්පාදනය සම්බන්ධයෙන් වාර්තා කැඳවා තිබෙන බව ද අමාත්‍යවරයා සඳහන් කලේය.

වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු  මේ බව සඳහන් කළේ 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් අද (09) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මෙසේද පැවසීය.

ආහාර මිල සහ ආහාර සුරක්ෂිතතාවය පිළිබඳව අප විසින් අවධානය යොමු කළ කාරණා කිහිපයක් තිබෙනවා. ඒ වගේම තවදුරටත් ආර්ථිකය ශක්තිමත් කිරීමේදී රටට අවශ්‍ය බදු ප්‍රමාණය රැස් කරගැනීම සඳහා ද තීන්දු කිහිපයක් ගැනීමට සිදුවුණා. එහිදී මුදල් අමාත්‍යාශය විසින් සීනි සඳහා ශත 25ක් ලෙස පැවති බද්ද රුපියල් 50 දක්වා යළි වැඩි කරනු ලැබුවා. එහිදී පාරිභෝගිකයා ආරක්ෂා කිරීම වෙනුවෙන් සීනි කිලෝ ග්‍රෑම් 01ක් සඳහා රුපියල් 275ක පාලන මිලක් හඳුන්වාදීමට ද කටයුතු කළා. ඒ වගේම සීනී ආනයනයකරුවන් 14 දෙනාගෙන් 12 දෙනෙකු සතුව අවශ්‍ය සීනි තොග පවතින බව ද දැනුම් දී තිබෙනවා. එම සීනි තොග අවසන් වන තුරු ඔවුන්ගේ ගබඩා පාරිභෝගික අධිකාරියේ නිළධාරීන් විසින් දිනපතා නිරීක්ෂණය කරනවා. සීනී සඳහා වන පාලන මිල වන රුපියල් 275ට වැඩියෙන් අලෙවි කරන වෙළඳුන් වැටලීම සඳහා ද නිළධාරින් දැනුවත් කර තිබෙනවා.

ඒ වගේම මෙරට තුළ සිදුකරමින් තිබෙන ආහාර නිෂ්පාදන ප්‍රමාණය කොපමණ ද ? ඉන් කොපමණ ප්‍රමාණයක් වෙළඳපලට නිකුත් කෙරෙනවා ද ? ඒවා වෙළඳපලට නොලැබීම තුළ පාරිභෝගිකයාට කොපමණ මිල වැඩිවීමකට මුහුණ දීමට සිදුවනවා ද ? යන්න පිළිබඳව අප මේ දිනවල පරීක්ෂා කරමින් සිටිනවා. උදාහරණයක් ලෙස 2024 වර්ෂයේ දී සහල් මිල සම්බන්ධයෙන් අප මේ දිනවල පුරෝකතන සිදු කරනවා.

ඒ වගේම අප අමාත්‍යාංශය විසින් ධීවර, කෘෂිකර්ම සහ පශු සම්පත් අමාත්‍යංශය වෙතින්ද මේ ආකාරයටම වාර්තා කැඳවා තිබෙනවා. ඒ හරහා රට තුළ ආහාර සුරක්ෂිතතාවය කොපමණ දුරට පවත්වාගෙන යාහැකි ද, සහ 2024 වර්ෂයේ දී කොපමණ දුරට මිල පාලනය කල හැකි ද යන්න ඇතුළු තවත් සංවේදී දත්ත පිළිබඳව වැටහීමක් ලබාගැනීමට ද බලාපොරොත්තු වනවා. මේ හරහා අත්‍යවශ්‍ය භාණ්ඩ සම්බන්ධයෙන් ඉදිරි වර්ෂය සඳහා පාරිභෝගිකයාට සහතිකයක් ලබාදිය හැකි වනවා. ඒ වගේම භාණ්ඩ ආනයනය සම්බන්ධව ද අවබෝධයක් ලබාගත හැකියි. මෙම කර්තව්‍ය සාර්ථක කරගැනීමට අවස්ථාව ලැබීම තුළින් ඉදිරි වසරේ තවදුරටත් ආහාර උද්ධමනය අඩු වන බව විශ්වාස කළ හැකියි.

එමෙන්ම සෑම මසකම මෙරටට බිත්තර මිලියන 30ක් පමණ ආනයනය කරනවා. කඩාවැටුණු නිෂ්පාදනය යථා තත්ත්වයට පත්වන තුරු බිත්තර ආනයනයන් සිදු කිරීමට ද අප බලාපොරොත්තු වනවා. ඒ අනුව මෙම වසරේ දෙසැම්බර් 31 දක්වා ම බිත්තර ආනයනය සිදු කරනු ලබනවා. ඒ සමග උත්සව සමයේදී වෙළදපල තුළ බිත්තර හිගයක් ඇති නොවීමට රජය වග බලා ගන්නවා.

පසු ගිය දිනවල වෙළදපොලේ කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 1700ක්ව පැවති කුකුළු මස් මිල නිෂ්පාදකයින් සමග සාකච්ඡා කිරීමෙන් පසු කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 1150ක මිලකට වෙළඳපලට නිකුත් කිරීමට හැකිවී තිබෙනවා. මේ තත්ත්වය වසර අවසන් වනතුරු පවත්වාගෙන යාමට හැකි බව අපගේ විශ්වාසයයි. එම මිල ගණන් පසුකර යාමට නිෂ්පාදකයින් සූදානම් වුවහොත් කුකුළු මස් ආනයනය කිරීමට ද සූදානම් බව අප ඔවුන්ට දැනුම් දී තිබෙනවා.

අලුත් ක්‍රීඩා පනතක් ගේන්නත් ජනාධිපති සැලසුම් කරලා : අධ්‍යයන කමිටු වාර්තාව එළියට !

පවතින ක්‍රීඩා පනත වෙනුවට නව ක්‍රීඩා පනතක් හඳුන්වා දීමට අදාළව පත් කළ විශේෂඥ අධ්‍යයන කමිටුවේ වාර්තාව එම කමිටුවේ සභාපති ජගත් ප්‍රනාන්දු  විසින් පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත බාරදෙනු ලැබිණ.

මෙම වාර්තාව ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඒ ආශ්‍රයෙන් විධිමත් කෙටුම්පතක් සම්පාදනය කර නව ක්‍රීඩා පනතක් සම්මතකර ගැනීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ අපේක්ෂාව වී තිබේ.

ශ්‍රී ලංකාවේ වර්තමාන නීතිමය රාමුව සහ ක්‍රීඩා පරිපාලනයේ පවතින ව්‍යුහය පරීක්ෂා කිරීමෙන් අනතුරුව ජනාධිපතිවරයා වෙත භාර දී ඇති මෙම විශේෂඥ අධ්‍යයන කමිටු වාර්තාවේ මූලික නිර්දේශයක් වනුයේ, පවතින නීතිමය රාමුව සහ පරිපාලන ව්‍යුහය පුළුල් ලෙස වෙනස් කිරීම සඳහා ජාතික ක්‍රීඩා සංවර්ධන අධිකාරියක් (National Sports Development Authority - NSDA) ස්ථාපිත කළ යුතු බවය.

එසේම එම අධිකාරියට ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩා සංගම් නියාමනය කිරීම වෙනුවෙන් සියලුම ක්‍රීඩා සංවර්ධන කටයුතු පිළිබඳ ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ බලය සහ පූර්ණ අධීක්ෂණය හිමි විය යුතු බවටද යෝජනා කර ඇත.

මෙම ජාතික ක්‍රීඩා සංවර්ධන අධිකාරිය මූලික අරමුණු 8ක් සාක්ෂාත් කර ගැනීම සඳහා ක්‍රියාත්මක විය යුතු බවද අධ්‍යයන කමිටු වාර්තාව විසින් යෝජනා කර තිබේ.

එසේම එම අධිකාරිය සාමාජිකයින් 11 දෙනෙකුගෙන් සමන්විත විය යුතු බවට ද යෝජනා කර ඇත. මෙහිදී ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ ජාතික ඔලිම්පික් කමිටුවෙහි (NOC) සභාපතිවරයා නිල බලයෙන් යෝජිත අධිකාරිය සඳහා පත්වන අතර, යම් ක්ෂේත්‍රයක හෝ ව්‍යාපාර හා වාණිජ ක්ෂේත්‍රයේ කැපී පෙනෙන වෘත්තිකයන් තිදෙනෙකු, ජාතික ක්‍රීඩා කණ්ඩායමක හිටපු නායකයන් හෝ ක්‍රීඩාවට හා රටට සුවිශේෂී සේවාවක් ලබාදුන් පුද්ගලයින් අතුරින් 02 දෙනෙකු, ජාතික ඔලිම්පික් කමිටුව යටතට අයත් නොවන ලියාපදිංචි ජාතික ක්‍රීඩා සංගමයක (NSA) ක හිටපු සභාපතිවරයෙකු මෙන්ම මුදල්, අධ්‍යාපන හා සෞඛ්‍ය යන අමාත්‍යාංශ තුනෙහි ලේකම්වරුන් විසින් නම් කරන නියෝජිතයන් තිදෙනෙකුගෙන් සමන්විත විය යුතු බවටද යෝජනා කර තිබේ.

යෝජිත ජාතික ක්‍රීඩා සංවර්ධන අධිකාරියේ නිල කාලය වසර 04ක් වන අතර, ඒ සඳහා නම් කිරීමෙන් සහ නිල බලයෙන් පත්වන සාමාජිකයින් හැර අනෙක් සියලුම සාමාජික තනතුරු සඳහා පත්කිරිම් සිදු කිරීමට අදාළ නාමයෝජනාවන් ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙත යොමු කර අනුමැතිය ලබාගත යුතු බවටද යෝජනා කර ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් මෙම සාමාජිකයින් අතුරින් සුදුසු පුද්ගලයෙකු අධිකාරියේ සභාපතිවරයා ලෙස නම් කරමින් පත් කිරීමට කටයුතු කළ යුතු බවට ද විශේෂඥ අධ්‍යයන කමිටු වාර්තාව විසින් යෝජනා කර ඇත.

තවද, ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව (IOC) සහ අනෙකුත් ජාත්‍යන්තර ක්‍රීඩා සම්මේලනවල අවශ්‍යතාවන්ට අනුකූල වීම සඳහා ජාතික ක්‍රීඩා සංගම් පවත්වාගෙන යාමේදී අවම මැදිහත්වීමක් සහතික කිරීම සඳහා දේශපාලන බලපෑම් අවම කිරීමට කටයුතු කිරීමට මෙන්ම ක්‍රීඩා ක්ෂේත්‍රයේ පැමිණිලි සහ ආරවුල් විසඳීම සඳහා බලය සහිත විනිසුරුවරුන් 10 දෙනෙකුගෙන් සමන්විත ක්‍රීඩා පැමිණිලි විසඳීමේ අධිකරණයක් (SGRT) පිහිටුවීමටත් මෙමඟින් යෝජනා කර තිබේ. ඊට ඉදිරිපත් වන පැමිණිල්ලක් විසඳිම අවම වශයෙන් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් සිදුකල යුතු බවද එහිදී අනිවාර්යය කර ඇත.

ඉහත සඳහන් නිර්දේශ ක්‍රියාත්මක කිරීමෙන් වත්මන් ක්‍රීඩා පනතෙහි පවතින නීතිමය රාමුවට සහ පරිපාලන ව්‍යුහයට සැලකිය යුතු සංශෝධන ගෙන ඒමට හැකිවනු ඇති බවට මෙම අධ්‍යයන කමිටුව විශ්වාසය පළකරන අතර මෙම වෙනස්කම් සිදු කිරීම සඳහා දැනට පවතින ජාතික රාජ්‍ය සභාවේ 1973 අංක 25 දරන ක්‍රීඩා පනත සංශෝධනය කිරීමෙන් හෝ එම නීතිය අහෝසි කිරීම සඳහා නව නීති සම්පාදනය කිරීමෙන් සිදු කළ හැකි බවටත්, නීතිමය සහාය සහ උපදෙස් සමගින් නව පනත් කෙටුම්පතක් සකස් කළ හැකි බවටත් මෙම අධ්‍යයන කමිටු වාර්තාව වැඩිදුරටත් පෙන්වාදී ඇත.

(නව ක්‍රීඩා පනතක් හඳුන්වාදීමට අදාළව පත් කළ විශේෂඥ අධ්‍යයන කමිටුවේ වාර්තාව මේ සමඟ ඔබගේ විද්‍යුත් තැපෑලට යොමු කර ඇත.)

ජනාධිපති මාධ්‍ය අංශය
2023-11-09

ක්‍රිකට් ලොක්කන් ඉවත් කිරීමේ යෝජනාව ඒකමතිකව සම්මතයි

ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් අද (09) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාව ඡන්ද විමසීමකින් තොරව ඒකමතිකව සම්මත කර ගැනුණි.

දූෂිත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ඇතුළු නිලධාරී මණ්ඩලය ඉවත් කිරීමට අදාළව මෙම යෝජනාව රැගෙනවිත් තිබුණි.

පළාත් රැසකට අද සවසත් වැසි............

බස්නාහිර , මධ්‍යම , සබරගමුව , ඌව සහ වයඹ පළාත්වලට සවස් කාලයේ හෝ රාත්‍රි කාලයේ ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු අකුණු ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ප්‍රභල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ගාල්ල , මාතර සහ මන්නාරම දිස්ත්‍රික්කවලට සවස් කාලයේ හෝ රාත්‍රි කාලයේ ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇති විය හැකි බවයි.

ගිගුරුම් සහිත වැසි සමග ඇති වන තද සුළං හා අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කනපිට ගහන වාර්තාවක් මෙන්න : ජනාධිපතිගේ වැඩක් !

පාර්ලිමේන්තු පනතක් හරහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙනුවෙන් නව ව්‍යවස්ථාවක් හඳුන්වා දීමට විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී. චිත්‍රසිරිගේ ප්‍රධානත්වයෙන් යුතුව පත් කළ කමිටුවේ වාර්තාව ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම් සමන් ඒකනායක  විසින්, ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කෙරුණු අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ සභාපති විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි  වෙත අද (08) නිල වශයෙන් බාර දෙන ලදී.

මෙරට ජනප්‍රියම ක්‍රීඩාව වන ක්‍රිකට් ක්‍රීඩාව ආශ්‍රිතව පැන නැගී ඇති අර්බුදකාරී තත්ත්වය ඉතා සංකීර්ණ හා ගැඹුරු වන බැවින් එය විසඳීම අන්තර් පාලක කමිටුවක් පත් කළ පමණින්ම සිදු කළ නොහැකි බවත්, ක්‍රීඩාවේ උන්නතිය පිළිබඳව සැලකීමේ දී ඒ සඳහා ස්ථිර සාර විසඳුමක් ලබාදීම අත්‍යාවශ්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ස්ථාවරය වී තිබේ.

ඒ අනුව සම්පාදිත " චිත්‍රසිරි කමිටු වාර්තාව" පසුගිය මාසයේ ජනාධිපතිවරයා වෙත භාරදී තිබූ නමුත් 2023 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය සහ 2024 අයවැය අවසානයේ එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැළසුම් කර තිබිණ. නමුත් මේ වන විට උද්ගතව ඇති තත්ත්වය හමුවේ යෝජිත නව ව්‍යවස්ථා කෙටුම්පත අමාත්‍ය මණ්ඩල අනු කමිටුව වෙත ඉදිරිපත් කර පාර්ලිමේන්තුවේ අවධානය සඳහා යොමු කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ  තීරණය කර තිබේ.

ඒ අනුව එය හෙට (09) දින පාර්ලිමේන්තුවේ පැවැත්වෙන විවාදයේ දී ආණ්ඩු පක්ෂය විසින් සභාගත කර සාකච්ඡාවට ගැනීමට නියමිතය.

මෙම යෝජිත නව ව්‍යවස්ථා කෙටුම්පත හරහා ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය පත් කිරීමේ ක්‍රමවේදය මුළුමනින් වෙනස් කිරීමට යෝජනා කර තිබෙන අතර එහි සංයුතිය, පරිපාලනය සහ කළමනාකරණය ද සංශෝධනය කර ඇත.

ඒ අනුව යෝජිත නව ව්‍යවස්ථාව මඟින් ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය වසර 4ක කාලසීමාවකට පත්වන 18 දෙනෙකුගෙන් යුතු අධ්‍යක්ෂ මණ්ඩලයක් මඟින් පාලනය කිරීමට යෝජනා කර ඇත. එම අධ්‍යක්ෂ මණ්ඩලයට ප්‍රතිපත්තිමය තීරණ ගැනීමට බලතල ලබාදී එම තීරණ ක්‍රියාත්මක කිරීමේ බලතල අධ්‍යක්ෂ මණ්ඩලය විසින් පත්කරනු ලබන අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු වෙත ලබාදීමට යෝජනා කර ඇත.

එම අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයන් 8 දෙනෙක් නම් කළ අධ්‍යක්ෂකවරුන් වන අතර ඔවුන්ව නිර්දේශ කිරීමේ බලය 06 දෙනෙකුගෙන් සමන්විත විශේෂඥ කමිටුවකට පවරා ඇත. එම කමිටුව ජාතික ක්‍රීඩා කවුන්සිලයේ සභාපතිවරයා , ශ්‍රී ලංකා වරලත් ගණකාධිකරණ ආයතනයේ සභාපති හෝ ඔහු විසින් නම් කරන නිලධාරියකු, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති හෝ ඔහු විසින් නම් කරන නිලධාරියකු, ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති හෝ ඔහු විසින් නම් කරන නිලධාරියකු, ශ්‍රී ලංකා අධ්‍යක්ෂවරුන්ගේ ආයතනයේ සභාපති හෝ ඔහු විසින් නම් කරන නිලධාරියකු, ශ්‍රී ලංකා කළමනාකරණ ගණකාධිකාරී වරලත් ආයතනයේ (CIMA Sri Lanka) සභාපති හෝ ඔහු විසින් නම් කරන නිලධාරියකු වශයෙන් යෝජනා කර ඇත.

සෙසු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් 10 දෙනා පත් වන්නේ නිල වරණයක් හරහාය. එම නිල වරණය මගින් ක්‍රිකට් සමාජ නියෝජනය කරමින් අධ්‍යක්ෂවරුන් 5ක්, ක්‍රීඩක සංගමය නියෝජනය කරමින් 1ක්, පාසල් ක්‍රිකට් සංගමය නියෝජනය කරමින් 1ක්, කාන්තා ක්‍රිකට් සංගමය නියෝජනය කරමින් 1ක්, විනිසුරුවරුන්ගේ සංගමය නියෝජනය කරමින් 1ක් සහ පුහුණුකරුවන්ගේ සංගමය නියෝජනය කරමින් 1ක් වශයෙන් තේරී පත් විය යුතු බවට යෝජනා කෙරේ.

එමෙන්ම ක්‍රිකට් ක්‍රීඩාවේ විවිධ ක්ෂේත්‍ර ආවරණය කරමින් කාර්යභාරයන් විධිමත්ව සිදුකිරීම සඳහා කමිටු 12ක් පත්කිරීමට ද යෝජනා කර ඇත.

ඒ ක්‍රිකට් කමිටුව, විගණන කමිටුව, පාර්ශ්වකාර ගනුදෙනු කමිටුව, නාම යෝජනා කමිටුව, තේරීම් කමිටුව, තරගාවලිකමිටුව, පහසුකම් සංවර්ධන කමිටුව, සංචාර කමිටුව, රීති - බේරුම්කරණ -හා විනය කමිටුව, ආයෝජන කමිටුව, තහනම් උත්තේජක සහ දූෂණ මර්දන කමිටුව හා වේතන කමිටුව වශයෙන් යෝජනා කර ඇත.

රුපියල් කෝටි 20කට කෙළිය : කොටිකාවත්ත සණස සභාපති ඇතුළු 7 කට වැඩ වරදියි !

දූෂිත ගණු දෙනු සිදු කර කෝටි 20 කට අධික පාඩුවක් සමිතියට සිදු කර ඇති බවට වන චෝදනා මත වසර හතක් යන තෙක් කිසිදු සමූපකාර සමිතියක නිලයකට පත්වීම, හෝ තේරීපත්වීම තහනම් කර ඇත.

මෙම සමිතියේ සිදුව ඇති දැවැන්ත වංචා සහ දූෂණ ක්‍රියා සම්බන්ධයෙන් නිසි පියවර ගන්නා ලෙස ඉල්ලා සාමාජිකයන් සමූහයක් විසින් කොළඹ මහාධිකරණයේ පවරන ලද එච්.ඒ.08/2018 දරන නඩුවේ රිට් නියෝගයට අනුකූලව බස්නාහිර පලාත් සමූපකාර කොමසාරිස්වරයා විසින් නිසි පරිදී පරික්ෂණ පවත්වා මෙම නිළධාරින් හත් දෙනා වරදකරුවන් බවට තීරණය කර මෙම තහනම් නියෝගය නිකුත් කර ඇත.

සරත් විදානපතිරණ, ලේකම් ඇල්වලගේ සිසිර කුමාර, ලඛිත ධනුෂ්ක පීරිස්, මාධවි මේඛලා, ටිලංජන කුරුවිට ආරච්චි, ලයනල් ගුණපාල සුජිත් නිමල පෙරේරා සහ සෝමසිරි පෙරේරා යන හත් දෙනා හට මෙම තහනම් නියෝගය පැණවී තිබේ.

මෙම නිලධාරීන් අතුරින් සභාපතිවරයා වූ සරත් විදානපතිරණ යන අය විසින් අත්තනෝමතික ලෙස, සමිතියේ කාරක සභාවේ කිසිදු අනුමැතියකින් තොරව තමන් විසින් තෝරාගත් සාමාජිකයන් කීප දෙනෙකුගෙන් අය විය යුතු ණය සදහා පොලී කපා හැර සමිතියට රු. 2,543,823.00 ක් අහිමි කර ඇති බවත්, සමූපකාර සමිති ප්‍රඥප්තිය සහ නීති උල්ලංඝණය කරමින් හෝටල් ව්‍යාපෘතියක් ඉදි කර 2015 වසරේ සිට 2022-12-31 දින දක්වා සමිතියට රුපියල් දාහත් කෝටි පනස් ලක්ෂ තිස්නවදාහ් එකසිය අනූ දෙකක මුදලක් පාඩු සිදු කර ඇති බවටත්, සමූපකාර සමිති නීති සහ ප්‍රඥප්තියේ නියමයන් නොසළකා හරිමින් 2015 වසරේ දී පමණක් රුපියල් දෙකෝටි දාසය ලක්ෂ හාරදාස් එකසිය හැත්තෑ එකක මුදලක් කිසිදු විනිවිදභාවයකින් තොරව වැය කර ඇති බවටත් සමූපකාර කොමසාරිස්වරයා විසින් තීන්දු කර ඇත.

සමූපකාර කොමසාරිස්වරයා විසින් නිකුත් කරන ලද නියෝගයේ පිටපත් මෙයට යා කොට ඇත.

818484af 49fa 4bd2 95e7 0690da6786ea

003f143c 6375 40ea 945e 8d1589e0115b
මේ සම්බන්ධයෙන් newstube 2018 වසරේ සිදුකළ අනාවරණයක් පහත දැක්වෙයි .

කොටිකාවත්ත සණසේ ලොක්කන්ට මහාධිකරණයේ නඩු

විධායක ජනාධිපති ධූරය ගැන සාධාරණ සමාජය සහතිකයක් ඉල්ලයි !

මාදුළුවාවේ සෝභිත නායක මා හිමිපාණන් වහන්සේ අපවත් වී වසර 08ක් ගතවන මෙම මොහොතේ සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය උන්වහන්සේගේ නාමය ගෞරවයෙන් සිහිපත් කරමින්, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා නොපමාවම පියවර ගැනීමට පෙරට එන ලෙසට 'සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය' සභාපති කරු ජයසුරිය සමස්ත ජාතියෙන් ම ඉල්ලා සිටියි.

 හිටපු කතානායක කරු ජයසුරිය එම ඉල්ලීම සිදුකර ඇත්තේ, අද (08) දින විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි.

2024 වසරේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය මේ රටේ අවසන් වරට පැවැත්වෙන ජනාධිපතිවරණය බවට රටට සහතිකයක් ලබා දෙන ලෙසද එම නිවේදනය අවධාරණය කර ඇත .

අදාළ නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන් වෙයි.

අප රජයට අවධාරණය කරන්නේ ඉදිරි ජනාධිපතිවරණයට පෙර විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරගැනීමට ව්‍යවස්ථානුකූල ලෙස පියවර ගන්නා ලෙසටය. ඒ සඳහා කාලය ප්‍රමාණවත් නොවේ නම් එකී ක්‍රියාවලිය අඛණ්ඩව පවත්වාගෙන යාමින් 2024 වසරේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය මේ රටේ අවසන් වරට පැවැත්වෙන ජනාධිපතිවරණය බවට රටට සහතිකයක් ලබා දෙන ලෙසටය.

විධායක ජනාධිපති ක්‍රමයෙහි අන්තර්ගත අත්තනෝමතික බලතල මඟින් මිලියන විසි දෙකක් වන මේ රටේ ජනතාවගේ ඉරණම එක් පුද්ගල බලාධිකාරයකට යටත් කිරීම කිසිසේත් ම අනුමත නොකළ අතිපූජ්‍ය මාදුළුවාවේ සෝභිත නායක මාහිමිපාණන් වහන්සේ සැම විටම අපේක්ෂා කළේ ජනතා පරමාධිපත්‍ය බලය පාර්ලිමේනතුව හරහා ක්‍රියාත්මක කිරීම වඩා ප්‍රජාතන්ත්‍රවාදී සහ ශිෂ්ට සම්පන්න වන බවය.

 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් විධායක ජනාධිපතිවරයාට අත්පත් කර දුන් අසීමාන්තික බලයට ද වඩා 18 වන හා 20 වන ව්‍යවස්ථා සංශෝධන හරහා එකී බලය තව තවත් අසීමාන්තික ලෙස වර්ධනය කර ගැනීමට ගනු ලැබූ උත්සහයන් සැළකීමේ දී විධායක ජනාධිපති ක්‍රමය පවත්වාගෙන යමින් එහි බලය සීමා කරන්නට 17 හා 19 වැනි සංශෝධන මඟින් ගත් උත්සාහයන් ද ස්ථාවරව පවත්වාගෙන යාමට නොහැකි බව පැහැදිලිව පෙනී යන කරුණකි. එබැවින් මේරටේ ප්‍රධාන දේශපාලන ධාරාවන් කාලයක් පුරා ලබාදෙමින් සිටින පොරොන්දුව ප්‍රකාරව විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා කටයුතු කිරීම අත්‍යාවශ්‍ය වී තිබේ.

එමෙන් ම මෙයට වසර 08කට පෙර අතිපූජ්‍ය මාදුළුවාවේ සෝභිත නායක මාහිමිපාණන් වහන්සේගේ ශ්‍රී දේහය ඉදිරිපිට මේ රටේ ප්‍රධාන දේශපාලන නායකයන් දුන් ප්‍රතිඥාව අනුව යමින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට මේ දක්වා ක්‍රියා නොකිරීම පිළිබඳව ද අපි කණගාටු වන්නේමු. එමෙන් ම එදා එම පියවර ගත්තේ නම් බොහෝ විට අද රට පත්ව තිබෙන ආර්ථික හා දේශපාලන බංකොලොත්භාවය වළක්වා ගැනීමට ද බොහෝ දුරට ඉඩක් තිබූ බව අපගේ හැඟීමයි.

එබැවින් අප නැවත නැවතත් අවධාරණය කරන්නේ අපවත් වී වදාළ මාදුළුවාවේ සෝභිත නාහිමියන්ගේ ප්‍රාර්ථනය ඉටු කිරීම සඳහා කටයුතු කරමින් මේ රටේ අනාගත යහපැවැත්ම පිළිබඳව අපේක්ෂාවන් දල්වාගැනීමට කටයුතු කරමින් මෙරටේ ස්ථාපිත විධායක ජනාධිපත් ක්‍රමය අහෝසි කිරීම සඳහා තවදුරටත් පමා කිරීම කිසිසේත් ම නොකල යුතුව ඇති බවය.

රොෂාන්ගේ අතුරු කමිටුවේ 3ක් අරගෙන ක්‍රිකට් ආයතනයෙන් අලුත් කමිටුවක් !

ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ විසින් පසුගියදා පත් කරන ලද අතුරු කමිටුවේ සිටි සාමාජිකයන් තිදෙනෙකු ගෙන් සමන්විත ස්වාධීන කමිටුවක් පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇත.

ඒ එස්.අයි.ඉමාම් - විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු , රෝහිණි මාරසිංහ - විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු , අයිරාංගනී පෙරේරා - විශ්‍රාමික මහාධිකරණ විනිසුරු යන සාමාජිකයන් යොදාගෙන ය.

මෙම කමිටුව සඳහා ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ගැසට් කර තිබූ පහත සඳහන් ප්‍රධාන වගකීම් පිළිබඳ සොයාබලා නිර්දේශ ඉදිරිපත් කිරීමට බලය ලබා දී ඇති බව වාර්තා වන අතර ඊට අදාළ නිවේදනයක් ද ක්‍රිකට් ආයතනය විසින් ප්‍රසිද්ධ කර ඇත.

ඒ අනුව විගණකාධිපතිවරයා විසින් 2023 සැප්තැම්බර් 11 වැනිදා නිකුත් කළ වාර්තාවේ සඳහන් කරුණු සම්බන්ධයෙන් සොයා බලා නිර්දේශ ඉදිරිපත් කිරීම, එම විගණකාධිපති වාර්තාවේ සඳහන් දුෂණ, වංචා, අක්‍රමිකතා, විෂමාචාර සහ අසාර්ථකත්වයන් සම්බන්ධයෙන් සොයා බලා ඒවා වැළැක්වීමට නිර්දේශ ඉදිරිපත් කිරීම සහ ඒ සඳහා උපායමාර්ගික ක්‍රමවේද සැකසීම ආදිය සඳහා මෙම කමිටුවට බලය හිමිවේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිකුත්කර ඇති නිවේදනය පහත දැක්වෙයි .

Media Release SLCs Ongoing Commitment to Transparency and Integrity page 0001 1

නීති විරෝධී ස්කාගාර PCR හෙළිකරයි : මුදල් අමාත්‍යංශය වැටලීමට උපදෙස් දෙයි !

"මේ රට ස්ථාන ගණනාවක කසිප්පු වර්ගයේ මත්පැන් නිෂ්පාදනය කරලා මේ ව්‍යාජ ස්ටිකර් අලවලා තිබෙන බව. ඒ පිළිබඳව දැන් ඔප්පු වෙලා තියෙනවා. අපේ කමිටුව මගින් මේ එළිකරපු කාරණය දැන් ඔප්පු වෙලා තියෙනවා පසුගියදා මල්වාන ප්‍රදේශයේ හොර ස්කාගාරයක් හා හොර ස්ටිකර් ප්‍රමාණයක් එක්ක මත්පැන් බෝතල දහස් ගාණක් අත්අඩංගුවට අරගෙන තියෙනවා.මම ස්තූතිවන්ත වෙනවා මුදල් අමාත්‍යාංශයට පමා වී හෝ මේ පියවර ගන්න කියපු එක ගැන." යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක පවසයි .

ඊයේ (07) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළ අතර වැඩිදුරටත් මෙසේද පැවසීය .

 පසුගිය අගෝස්තු 10 වෙනිදා මේ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන්ලා ඉස්සරහ මේ රටේ ව්‍යාජ ස්ටිකර් සහිත, අරක්කු බෝතල් සැරිසරන බව ඔප්පු වුණාට පස්සේ, තමයි අපි නියෝග නිකුත් කළේ මේවා අත්අඩංගුවට ගන්න කියලා. ඔබතුමාට මම කියන්න ඕනේ අත්අඩංගුවට ගත්ත මත්පැන් බෝතල් වලින් 99% ක් ව්‍යාජ ස්ටිකර් සහිත ඒවා. ඒ වගේම අපිට වාර්තා වුණා සුරාබදු දෙපාර්තමේන්තුවේ අපේක්ෂිත ආදායම බරපතල විදිහට අඩු වෙලා තියෙනවා කියලා. නමුත් ඒ ආදායම අඩුවීමට හේතුව හැටියට ඔවුන් දැක්වූයේ මත්පැන් බෝතලයක මිල ඉහළ ගිහිල්ලා තියෙන නිසා මිනිස්සු නීතිවිරෝධී මත්පැන් වලට, කසිප්පු වලට ඇබ්බැහි වෙලා කියලා. නමුත් අපිට පෙනී ගියා මේ රට ස්ථාන ගණනාවක කසිප්පු වර්ගයේ මත්පැන් නිෂ්පාදනය කරලා මේ ව්‍යාජ ස්ටිකර් අලවලා තිබෙන බව. ඒ පිළිබඳව දැන් ඔප්පු වෙලා තියෙනවා. අපේ කමිටුව මගින් මේ එළිකරපු කාරණය දැන් ඔප්පු වෙලා තියෙනවා පසුගියදා මල්වාන ප්‍රදේශයේ හොර ස්කාගාරයක් හා හොර ස්ටිකර් ප්‍රමාණයක් එක්ක මත්පැන් බෝතල දහස් ගාණක් අත්අඩංගුවට අරගෙන තියෙනවා.

මම ස්තූතිවන්ත වෙනවා මුදල් අමාත්‍යාංශයට පමා වී හෝ මේ පියවර ගන්න කියපු එක ගැන. අපි තමයි එහි නියෝගය දුන්නේ ඔක්තෝබර් 30 ට පෙර බදු නොගෙවන අයගේ බලපත්‍ර අහෝසි කරන්න කියලා. අපි හෙට රැස්වෙනවා. අපි වැඩිදුරටත් මේ සම්බන්ධයෙන් ක්‍රියා කරනවා. අපේ අරමුණ මේ ගැන මාධ්‍ය ප්‍රචාර ඇති කිරීම නෙවෙයි. රජයට ආදායම් අහිමි කරන යම් ජාවාරම්කාර පන්තියක් ඉන්නවා නම් ඒ අයගෙන් ඒ ඒ මුදල් නිසියාකාරයෙන් රජයට අත්පත් කර දෙන්න. දැන් මගේ ප්‍රවෘත්ති වාරණය කරන්න කියලා මේ සම්බන්ධයෙන් ඇතැම් ජනමාධ්‍යවලට දැනුම් දීලා තියෙනවා මේවායින් පාඩු වෙච්ච අය. නමුත් මේ ක්‍රියාවලිය අපි ඉදිරියට ගෙන යනවා. මේ සම්බන්ධයෙන් වෙන ක්‍රියාමාර්ගයේ දී මුදල් අමාත්‍යාංශයේ සක්‍රීය මැදිහත්වීම අපිට අවශ්‍යයි. නැත්නම් අපිට තනියම මේ කටයුත්ත කරන්න බැහැ. ඔබතුමා අපේ කාරක සභාවේ ගෞරව හා අපට ලබාදීලා තියෙන බලතල ආරක්ෂා කරගැනීම වෙනුවෙන් පෙනී ඉන්න.”

Page 147 of 474