V2025

පුවත්

සේපාල තවදුරටත් ඇතුලේ !

දළදා වහන්සේට අපහාසාත්මක ප්‍රකාශයක් සිදු කිරීම හේතුවෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන සේපාල් අමරසිංහ ලබන 21 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර ඇත.

ඒ අදාළ නඩුව අද (14) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් ඉදිරියේ කැඳවනු ලැබු අවස්ථාවේය.

මෙහිදී සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පවසා සිටියේ අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් සිය සේවාදායකයා දැනටමත් කණගාටුව පළ කරමින් නීතිපතිවරයා වෙත ලිඛිත ඉල්ලීමක් යොමු කර ඇති බවය.

තමා සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් මහා නායක ස්වාමීන් වහන්සේලා, භික්ෂූන් වහන්සේලා ඇතුළු සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාවගෙන් සමාව අයැද සිටින බවත් කිසිදු ආගමික හෝ වාර්ගික කොටසකගේ හැගීම් ඇවිස්සෙන ආකාරය කිසිදු ප්‍රකාශයක් මින්මතුවට සිදු නොකරන බවට ඔහු එකග වන බවත් එම නීතිඥවරු අධිකරණයට දන්වා සිටියහ.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා පැමිණිල්ල නැවත ලබන 21 වනදා කැඳවීමට නියම කළ අතර එතෙක් සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ද නියෝග කර සිටියේය.

අවශ්‍යතා ඇති කිසිවකු මඟ නොහැර සහල් බෙදීමට ජනපතිගෙන් උපදෙස් !

අඩු ආදායම්ලාභී පවුල් වෙත සහල් ලබාදීමේ වැඩසටහනේදී අවශ්‍යතා සහිත කිසිවෙකු මඟ නොහැරෙන පරිදි කටයුතු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

එසේම පවුල් විසි අට ලක්ෂ පනස් දහසක් (28 50,000) සඳහා සහල් ලබා දීම වෙනුවෙන් ප්‍රමාණවත් වී තොග මිලදී ගැනීම, රුපියල් බිලියන 20 ක උපරිමයකට යටත්ව සිදු කරන ලෙස ද ජනාධිපතිවරයා විසින් නිලධාරීන්ට උපදෙස් දෙනු ලැබිණි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කළේ වී මිලදී ගැනීම සම්බන්ධයෙන් අද (14) ආරක්ෂක අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකට එක්වෙමිනි.

මිලදී ගන්නා වී තොග සහල් කර විනිවිද භාවයක් සහිත යාන්ත්‍රණයක් හරහා අඩු ආදායම්ලාභීන්ට ලබාදීමට කටයුතු කරන ලෙසද ජනාධිපතිවරයා මෙහිදී නිලධාරීන්ට වැඩිදුරටත් උපදෙස් දුන්නේය.

අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ 20කට මාසයකට සහල් කිලෝ ග්‍රෑම් 10 බැගින් මාස දෙකක් නොමිලේ ලබාදීමේ වැඩසටහන යටතේ වී මෙට්‍රික් ටොන් 6 1,600 ක් මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 10,000ක් වෙන්කිරීමට මීට පෙර තීරණය කර තිබිණි.

නමුත් මෙම සාකච්ඡාවේදී අනාවරණය වූයේ මෙම වැඩසටහන සඳහා පවුල් විසි අට ලක්ෂ පනස් දහසක් හඳුනා ගෙන ඇති බවයි.

ඒ අනුව අඩු ආදායම්ලාභී සියලුදෙනා වෙනුවෙන් වැඩසටහන ක්‍රියාත්මක කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙහිදී උපදෙස් ලබා දුන්නේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේද පැවසීය.

ආහාර සුරක්ෂිතතා වැඩසටහන යටතේ පවුල් 2 850 000ක් සඳහා ලබා දීමට රුපියල් බිලියන 20ක් වටිනා වී තොග මිලදී ගැනීමට බලාපොරොත්තු වෙනවා. සහතික මිලක් ලබා දෙමින් වී මිල ආරක්ෂා කිරීමත් ඉන් අපේක්ෂා කරනවා.

මෙහි පළමු කටයුත්ත වන්නේ වී තොග මිලදී ගැනීමයි. වී තොග මිලදී ගැනීමේ කාර්යය දිස්ත්‍රික් ලේකම්වරුන්ට සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ට භාර දී තිබෙනවා. රජය සහල් අළෙවි කිරීමට පියවර ගන්නේ නැහැ. දුප්පත් පවුල් සඳහා නොමිලේ සහල් ලබාදීමට රජය කටයුතු කරනවා. මෙම වැඩසටහන ඉදිරියට ගෙන යාම සඳහා අමාත්‍යාංශ ගණනාවක් එක්ව කටයුතු කරනවා.

නමුත් මේ සඳහා පූර්ණ කාලීනව යෙදවීමට කණ්ඩායමක් අවශ්‍යයයි. ඒ වෙනුවෙන් ආරක්ෂක අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් නිදහස් කර ගැනීමට ආරක්ෂක අංශ සමඟ පැවැත්වු සාකච්ඡාවේදී එකඟත්වය පළ කෙරුණා.

දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි සුදුසුකම් ලැබූ අයට සහල් බෙදාහැරීම සඳහා විධිමත් යාන්ත්‍රණයක් සකස් කළ යුතුයි. වී මිලදී ගැනීම සම්බන්ධයෙන් මහා පරිමාණ වී මෝල් හිමියන් සිදුකරන අනවශ්‍ය බලපෑම්වලට ඉඩ දිය නොහැකියි. ඒ වගේම අඩු ආදායම්ලාභී පවුල් වෙත ලබා දෙන මෙම ප්‍රදානය “ සහන සහල්” ලෙස නම් කර ඒවා නැවත විකිණීමට නොහැකි වන ලෙස කටයුතු කිරීම ඉතා වැදගත්. මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අදහස් ලබා ගැනීමත්, දිස්ත්‍රික් ලේකම්වරුන් සමඟ සාකච්ඡා කිරීමත් සිදු කෙරෙනවා.

මේ වැඩසටහන ඉදිරියට ගෙන යාම සඳහා නිවැරදි දත්ත ලබා ගැනීම ඉතා වැදගත්. ඒ සඳහා ග්‍රාමීය මට්ටමින් රාජ්‍ය නිලධාරීන් ඉදිරිපත් නොවන්නේ නම් කොන්ත්‍රාත් පදනම යටතේ කණ්ඩායමක් බඳවා ගෙන හෝ දත්ත එක් රැස් කිරීමේ කටයුතු කඩිනම් කළ යුතුයි.

ඉදිරි පුරප්පාඩු සඳහා බඳවා ගැනීමේ දී ඔවුන්ට ප්‍රමුඛතාව ලබා දිය යුතුයි. විශ්‍රාම ලැබූ රාජ්‍ය නිලධාරීන්ගේ සහාය ද මේ සඳහා ලබා ගැනීමේ හැකියාව පවතිනවා. නිශ්චිත කාල රාමුවුක් තුළ මෙම කටයුතු අවසන් කිරීමට සැලසුම් කළයුතුයි.

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මෙසේ පැවසීය.

සමාජ සුබසාධක ආරක්ෂණ ජාලය ස්ථාපිත කිරීමේ කටයුතු මේ වන විට ක්‍රියාත්මක කරගෙන යනවා. ඒ සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ලෝක බැංකුවේ සහාය ලැබී තිබෙනවා.

නමුත් දත්ත එකතු කිරීමේ කටයුතු සම්බන්ධයෙන් මේ වන විට තිබෙන තත්ත්වය පිළිබඳ සෑහීමකට පත්විය නොහැකියි. එම නිසා මේ පිළිබඳ දිසාපතිවරුන් සමඟ සාකච්ඡා කර ඉදිරි වැඩ කටයුතු සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක මෙසේ පැවසීය.

සමාජ සුබසාධක ආරක්ෂණ ජාලය ස්ථාපිත කිරීමට බාධා කරන කඩාකප්පල්කාරී ක්‍රියාවලට කිසිඳු ඉඩක් නැහැ. මාර්තු 31 වන දා වන විට මෙම කටයුතු අවසන් කළ යුතුයි.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර, වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු, රාජ්‍ය ඇමැතිවරුන් වන රංජිත් සියඹලාපිටිය,අනූප පැස්කුවල්, අශෝක ප්‍රියන්ත, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, ආරක්ෂක ලේකම් (විශ්‍රාමික)ජෙනරල් කමල් ගුණරත්න, ආහාර සුරක්ෂිතතාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය සුරේන් බටගොඩ, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටි අතර දිස්ත්‍රික් ලේකම්වරු රැසක් සූම් තාක්ෂණය ඔස්සේ ඊට එක්ව සිටියහ.

රට විරුවන් විපක්ෂය නොතකා මුදල් එවයි !

මෙම වසරේ ජනවාරි මාසයේදී විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගෙන් ලැබුණු ප්‍රේෂණ ප්‍රමාණය පසුගිය වසරට සාපේක්‍ෂව සියයට 68.8කින් ඉහළ ගොස් ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය, බන්දුල ගුණවර්ධන පවසයි.

පසුගිය ජනවාරි මාසයේ ලැබුණු ප්‍රේෂණ ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක් පමණ බව ද ඇමතිවරයා සඳහන් කර ඇත.

අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (14) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.

මේ ආණ්ඩුව බලයේ සිටින තුරු විදෙස්ගත ශ්‍රමිකයන් රටට ඩොලර් නොඑවන බව විපක්‍ෂයේ ඇතැම් පක්‍ෂ පැවසුවත් ඔවුන්ගෙන් ලැබෙන ප්‍රේෂණ ප්‍රමාණය දිනෙන් දින ඉහළයමින් පවතින බවද එහිදී සඳහන් කෙරිණ.

පුහුණු ශ්‍රමිකයන් වැඩියෙන් විදේශගත වුවහොත් මේ වසරේදී ඇමෙරිකානු ඩොලර් බිලියන 7ට ලබාගැනීමට හැකිවනු ඇතැයි ද අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පැවසීය.

මේ සම්බන්ධව අදහස් දක්වන දේශපාලන විචාරකයන් පවසන්නේ විපක්ෂයේ පක්ෂ විදෙස් ප්‍රේෂණ මෙරටට නොඑවන ලෙසට බලපෑම් කරමින් තිබෙන පසුබිමක මෙවැනි තත්වයක් ඇතිවීම ආණ්ඩුවේ වැඩපිළිවෙල කෙරෙහි එම ප්‍රජාවේ විශ්වාසය ගොඩනැගීම තහවුරු වන්නක් බවයි. එසේම එම එවනු ලබන ප්‍රේෂණ නීති විරෝධී ආකාරයට සිදුනොකර බැංකු හරහා එවීමට රජය උනන්දු කිරීමක් පසුගිය සමයේ සිදුකළ බවත් එම වැඩපිළිවෙළ ද සාර් ථක වූ බවද මේ හරහා පෙන්නුම් කරන බවත් ඔවුන් පෙන්වා දෙයි.

රවීන්ද්‍ර විජේගුණවර්ධන ඛනිජ තෙල් ලොකු පුටුවකට !

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නව කළමනාකාර අධ්‍යක්‍ෂවරයා ලෙස හිටපු නාවික හමුදාපතිවරයෙක් වන රවීන්ද්‍ර විජේගුණවර්ධන  පත්කර ඇති බව වාර් තා වෙයි.

වාර් තා වන ආකාරයට රවීන්ද්‍ර විජේගුණවර්ධන අද (14) එම තනතුරේ වැඩ භාරගැනීමට නියමිතව තිබිණ.

යහපාලන ආණ්ඩු සමයේ 2016 වසරේ හම්බන්තොට වරාය සේවකයන් පැවැත්වූ විරෝධතාවකදී මාධ්‍යවේදියකු පහරදීමේ සිද්ධියක් හේතුවෙන් රවීන්ද්‍ර විජේගුණවර්ධන දැඩි කථාබහට ලක්ව සිටියේය.

හිටපු කළමනාකාර අධ්‍යක්‍ෂ සුසන්ත සිල්වා ගේ සේවය ලිපියක් මගින් අත්හිටුවා නව පත්කිරීම කර ඇති බව එම සංස්ථාවේ වෘත්තිය සමිති නියෝජිතයන් පවසයි.

තැපැල් ජන්දය දින නියමයක් නැතුව කල්දායි !

එළඹෙන 22 23 හා 24 දිනවල පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද විමසීම දින නියමයකින් තොරව කල්දමා ඇත.

ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව මේ බව තහවුරු කර සිටියි.

මීට හේතුව ලෙස වාර් තා වන්නේ තැපැල් ඡන්ද විමසීමට අදාළ මැතිවරණ පත්‍රිකා මුදල් ගෙවීමකින් තොරව රජයේ මුද්‍රණාලය විසින් ලබා දීම ප්‍රතික්ෂේප කිරීම ය.

මේ අතර තැපැල් ඡන්ද පත්‍රිකා බෙදාහැරීමේ කටයුතු හෙට (15) සිදුකිරීමට නියමිතව තිබුණද එය අවලංගු කළ බවද මැතිවරණ කොමිෂන් සභාව කියයි.

ශ්‍රීලනිප අපේක්ෂක කසිප්පු පෙරද්දී මාට්ටු !

යෝජිත පළාත් පාලන මැතිවරණය සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තිරප්පනේ ප්‍රාදේශිය සභාවට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයකු නීති විරෝධි මත්පැන් (කසිප්පු) පෙරමින් සිටියදි තිරප්පනේ පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි .

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ තිරප්පනේ,උට්ටිමඩුව පදිංචි 28 හැවිරිදි අයෙකුය.

ගෝඩා මිලි ලීටර් ලක්ෂ 18ක් සමඟ නීති විරෝධි මත්පැන් ස්ප්‍රීතු මිලි ලීටර් 3750ක් සමඟ මෙසේ අත්අඩංගුවට පත්ව ඇත.

මෙම අපේක්ෂකයා මත්පැන් පෙරමින් සිට ඇත්තේ කැලෑබද ප්‍රදේශයක වන අතර සැකකරු නීති විරෝධිව මත්පැන් පෙරමින් සිටින බවට ලද තොරතුරක් මත පොලීසිය මෙම වැටලීම කර තිබේ.

ජනතා පීඩනය අවම කිරීමට : කඩිනමින් මුදල් නිදහස් කරන්න - ජනපති

මතුව ඇති ආර්ථික තත්ත්වය හමුවේ ජනතාව මුහුණ දී තිබෙන දුෂ්කරතා අවම කරමින් ඔවුන්ට කඩිනම් සහන සැලසීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ  විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව මහ කන්නයේ වී මිලදී ගැනීමටත්, දිළිඳු පවුල් ලක්ෂ 20ක් සඳහා මාර්තු සහ අප්‍රේල් මාස දෙකෙහි දී සහල් කිලෝ ග්‍රෑම් 10 බැගින් ලබා දීමටත් අවශ්‍ය ප්‍රතිපාදන නිදහස් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.

තවද, 2022 වර්ෂයේ අප්‍රේල් මාසය වන විට රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගත් 18,000කගේ හිඟ විශ්‍රාමික පාරිතෝෂික අක්මුදල්වලින් කොටස් වශයෙන් ගෙවාගෙන යෑමටත් කැබිනට් මණ්ඩල තීරණය කර තිබේ.

මන්දපෝෂණය තුරන් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා කාන්තා, ළමා කටයුතු සහ සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක වැඩපිළිවෙළ යටතේ ගැබිණි මව්වරුන් සඳහා ලබාදෙන මාසික දීමනාව, ආහාර සුරක්ෂිතාව නොමැති පවුල් සඳහා ලබාදෙන මාසික දීමනාව අඛණ්ඩව ලබා දීමටත්, වැඩිහිටි, ආබාධිත, වකුගඩු රෝගී, මූල්‍ය ආධාර හා සමෘද්ධි සහනාධාරය හිඟයකින් තොරව අඛණ්ඩව ලබා දීමටත් තීරණය කර ඇත.

අත්‍යාවශ්‍ය ඖෂධ මිලදී ගැනීම සඳහා ප්‍රමුඛත්වය ලබා දී කටයුතු කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන කඩිනමින් ලබා දීමටත් කැබිනට් මණ්ඩලයේ දී තීරණය විය.

ජවිපෙට සැර චෝදනාවක් !

"මැයි 9 වැනිදා අපේ ගෙවල් ගිනි තියපු හේතුව මොකද්ද?මගේ ගෙදර ගිනි තියපු සේරම වීඩියෝ මං ළඟ තියෙනවා. මගේ ගෙදර ගිනි තිබ්බේ වෙන කවුරුවත් නෙමෙයි ජ.වි.පෙ අයයි. ගෙදර ගිනි තියන්න නායකත්වය දීපු කෙනා තමයි මිනුවන්ගොඩ ජ.වි.පෙ රැස්වීමේ පළමුවෙනි කථිකයා. මම ඔහුගැන සියළුම දේවල් හොයාගත්තා. " යැයි අමාත්‍ය ප්‍රසන්න රණතුංග චෝදනා කරයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේ බව සඳහන් කළේ ගම්පහ ඊයේ (12) පැවති ගම්පහ දිස්ත්‍රික් පාලන අපේක්ෂක හමු සඳහා සහභාගී වෙමිනි.

එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේද පැවසීය.

ජනතා විමුක්ති පෙරමුණ සීනුව ලකුණින් ‍‍වගේම මාලිමාව ලකුණින් ඇවිල්ලත් ගෙවල් ගිනි තිබ්බා. මගේ ගෙදර විතරක් නෙමෙයි මගේ ලේකම්වරයගෙ ගේත් ගිනි තිබ්බා. ජ.වි.පෙ අයට තියෙන්නෙ කුහකකමයි ඉරිසියාවයි විතරයි. හමුදා නිල ඇඳුමෙන් මංකොල්ල කාලා එළවපු මිනිහෙක් අද මිනුවන්ගොඩ නගර සභාවට මාලිමාවෙන් ඉල්ලනවා. මාලිමාවෙන් ඉල්ලන අය ගැන අද ෙෆ්ස්බුක්වල යනවා.

ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ විවේචනය මිසක් වැඩක් කරන්නේ නැති පක්ෂයක්. ගිනි තියන මිනී මරන්න පුළුවන් මානසිකත්වයක් තියෙන පිරිසකට බලය දීම භයානක වැඩක්. තමන්ට බලය ගන්න කී දාහක් මරපු මිනිස්සුද? බලයට ඇවිත් බලය රැක ගන්න මිනිස්සු කී දාහක් නැති කරයිද? මේ මැතිවරණය ආණ්ඩු පෙරළන්න, ජනාධිපති වෙනස් කරන්න පුළුවන් මැතිවරණයක් නෙවෙයි.

රජය වට්ටන්න බෑ. පාර්ලිමේන්තුව අල්ලගෙන ප්‍රජාතන්ත්‍රවාදය බිම වට්ටලා. රජය විනාශ කරා නම් අද අපි කොතැනද ඉන්නේ කියලා හිතන්න. සාමකාමී අරගලයට අපි එකඟයි. පීඩනයට පත් වූ මිනිස්සු අරගල කරන එක අපි දන්නවා. හැබැයි ජනාධිපතිවරයාගේ පූල් එකට බැහැලා නාන මානසිකත්වය තියෙන මිනිස්සු මේ රට පාලනය අතට ගත්තම මොකද වෙන්නේ කියලා හිතන්න.

අහුවෙන්න එපා : විදෙස් රැකියා ජාවාරමක් !

කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අත්සන ව්‍යාජ ලෙස යොදා සැකසු අමාත්‍යාංශ ලිපි ශිර්ෂයක් භාවිත කරමින් මුදල් වංචාකළ පිරිසක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වූ බව විදේශ රැකියා නියුත්කි කාර්යංශය පවසයි.

එම කාර්යාංශය පවසන්නේ කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශය හරහා නෙදර්ලන්තයේ රැකියා අවස්ථා ලබාදෙන බව පවසමින් මෙම ජාවාරම්කරුවන් වෙනත් පුද්ගලයින් රවටා මුදල් ලබාගෙන ඇති බවය.

කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශය මගින් කිසිදු පුද්ගලයෙකුව විදෙස් රැකියා සඳහා යොමු නොකරන බවත් රැකියා සඳහා විදෙස්ගත කිරීම් සිදුකරන්නේ ඒ අදාළ නීත්‍යානුකූල ලියාපදිංචි විදේශ රැකියා ආයතන විසින් පමණක් බවත් ඔවුන් අවධාරණය කරයි.

කිසිදු අවස්ථාවක සිය අත්සන යොදා පුද්ගලයෙකුව විදේශ රැකියාවක් සඳහා යොමු කිරීමට කටයුතු නොකළ බවත් එවැනි ජාවාරම්කරුවන්ට නොරැවටෙන ලෙසත් විදේශ රැකියා නියුත්කි කාර්යංශය පවසයි.

මෙම ජාවාරම්කරුවන් සොයා පරීක්ෂණයක් පවත්වන ලෙසට අමාත්‍යාංශ ලේකම්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණික් ද යොමු කර තිබෙන බව ද විදේශ රැකියා නියුත්කි කාර්යංශය නිකුත්කළ නිවේදනයෙහි දැක්වෙයි.

විදෙස් රැකියාවක් සඳහා යොමුවීමට තමන් තෝරා ගන්නා විදේශ රැකියා ආයතන නීත්‍යානුකූල ලියාපදිංචි ආයතනයක්ද යන්න තහවුර කර ගැනීම සඳහා විදෙස් රැකියා නියුත්කි කාර්යංශයෙන් විමසිය හැකි බවද දන්වා තිබේ.

ජාතික පොදු පොහොර ප්‍රතිපත්තියක් !

රසායනික හා කාබනික පොහොර යොදා ගැනීමේ දී ජාතික පොදු පොහොර ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇත.

මේ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අද (13) කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීරගේ ප්‍රධානත්වයෙන් පවත්වා ඇති බවත් වාර්තා වෙයි.

තවද ජාතික පොදු පොහොර ප්‍රතිපත්ති සඳහා ක්‍රියාත්මක කළයුතු යෝජනා 35ක් ජනාධිපති ආහාර සුරක්ෂිතතා කමිටුව විසින් ඉදිරිපත් කර ඇති අතර කෙටි කාලීන, මධ්‍ය කාලීන හා දීර්ඝකාලීන වශයෙන් යෝජනා ක්‍රියාත්මක කිරීමටත් ඒ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගැනීමටත් නියමිත බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.

තුර්කි -සිරියා භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව 35,000 පනී

තුර්කි හා සිරියාවේ භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව 35,000 ඉක්මවා තිබේ.

තුර්කියට බලපෑ භූ කම්පනයෙන් එරට හා අසල්වැසි සිරියාවේ මියගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළ යමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

තුර්කියේ මරණ සංඛ්‍යාව ඊයේ වන විට 29,605 දක්වා ඉහළ ගොස් ඇති අතර සිරියාවේ 4,500 කට වැඩි පිරිසක් මියගොස් තිබේ.

මරණ සංඛ්‍යාව 50,000ට ආසන්න වනු ඇති බවට විශ්වාස කෙරේ.

ගොඩනැගිලිවලට යට වූ පුද්ගලයින් බේරා ගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක අතර දින 07 ක් ගතවන මොහොතේ ඇතැම් මෙහෙයුම් අත්හැර දැමීමට බලධාරීන් කටයුතු කර ඇත. ඒ භූ කම්පනයෙන් දැඩි බලපෑම් එල්ල වූ ප්‍රදේශවල උෂ්ණත්වය ඉතා පහළ මට්ටමක පැවතීම හේතුවෙනි.

තුර්කි සෞඛ්‍ය අමාත්‍යවරයා පවසා ඇත්තේ භූමිකම්පාවෙන් පැය 150 කට පසු Hatay පළාතේ සුන්බුන් අතරින් බිළිඳෙකු බේරා ගත් බවයි.

මේ අතර මියගිය පිරිස්වල සිරුරු මිහිදන් කිරීමේ කටයුතු අඛණ්ඩව සිදුවේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ භූමිකම්පාවෙන් පසු සිරියාවේ මිලියන 5.3 ක ජනතාවකට නිවාස අහිමි විය හැකි අතර 900,000 කට ආසන්න පිරිසකට තුර්කියේ සහ සිරියාවේ හදිසි උණුසුම් ආහාර අවශ්‍ය බවයි.

විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව නවතී

අන්තර්ජාල පද්ධති බිඳවැටීමක් හේතුවෙන් දිවයින පුරා පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තු කාර්යාල හරහා විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව නවතා තිබේ.

එම දෝෂය නිවැරදි කිරීම සඳහා මේ වන විට සියලු කටයුතු යොදා ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත.

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ඉන්ටර්නෙට් මෙහෙයුම් පද්ධතියේ ඇතිවූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් මෙම බිඳ වැටීම සිදු වී ඇති බවට හඳුනා ගෙන තිබේ.

එක්දින සේවය හරහා විදෙස් ගමන් බලපත්‍ර ඉල්ලුම් කර ඇති පුද්ගලයින් සඳහා එම බලපත්‍ර ස්පීඩ් පෝස්ට් හරහා ලබා දීම සඳහා කටයුතු යොදා ඇති බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරට ත් සඳහන් කරයි.

තැපැල් ඡන්ද අයදුම්පත්‍ 37,000ක් ප්‍රතික්ෂේප වෙයි

පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත්වූ තැපැල් ඡන්ද අයදුම්පත්‍ර 37,000ක් පමණ ප්‍රතික්ෂේපවී ඇතැයි ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

මෙවර ඉදිරිපත්ව තිබූ තැපැල් ඡන්ද අයදුම්පත් සංඛ්‍යාව, හය ලක්ෂ 75,000කට අධිකයි.

තැපැල් ඡන්ද පත්‍රිකා අඩංගු රක්ෂිත පැකට්ටු ලබන 15 වැනිදා තැපෑලට භාරදීමට නියමිතව තිබේ.

මැතිවරණ කොමිසම පැවසුවේ, නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපෑලට භාරදීම ලබන 19 වැනිදා සිදු කරන බවයි.

මෙවර මැතිවරණ රාජකාරී සඳහා ලක්ෂ 2කට ආසන්න රාජ්‍ය සේවකයින් සංඛ්‍යාවක් යොදාගැනීමට සැලසුම් කර තිබේ.

පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද විමසීම, ලබන 22, 23 හා 24 යන දිනවල පැවැත්වීමට නියමිතයි.

2024 සිට 6න් ඉහළ ශ්‍රේණිවල විෂය මාලා අලුත් වෙයි

2024 වර්ෂයේ සිට 6 ශේණියේ සිට 13 දක්වා වූ සියලු ශ්‍රේණිවල විෂයමාලා යාවත්කාලීන කර 8 ශ්‍රේණියේදී කෘත්‍රිම බුද්ධි විෂය ඉගැන්වීම ඇරඹීමට මේ වන විට අදාළ සාකච්ඡා සිදු කෙරෙමින් පවතින බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පවසයි.

දෙවන වරට ත් කොළඹදී පැවැත්වූ හුආවේ (Huawei) තොරතුරු තාක්ෂණ (ICT) තරගයේ ත්‍යාග සහ සහතික පත් ප්‍රදානයට එක් වෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

කෘත්‍රිම බුද්ධි විෂය වෛකල්පික විෂයක් ලෙසින් හෝ විෂය මාලාවට ඇතුළත් කෙරෙන බව ත් තොරතුරු තාක්ෂණ විෂය ත් සමගින් සිසුන්ට එම විෂය හැදෑරීමට ඉන් පසු අවස්ථාව උදා වන බව ත් පැවසූ අමාත්‍යවරයා මෙම සියලු අධ්‍යාපන පරිවර්තන ක්‍රියාදාමයන්ට පාදක වන අධ්‍යාපනයේ ඩිජිටල්කරණය පිළිබඳ ප්‍රතිපත්තිය සඳහා සති දෙකක් තුළ අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගැනීමට නියමිත බව ද සඳහන් කර ඇත.

එමෙන් ම මෙරට තරුණ පරපුරේ අනාගතය රැඳී පවතින්නේ තාක්ෂණ වැඩිදියුණුව ත් සමග බැවින් ඒ සඳහා අවකාශ විවර වන පරිදි සිසුන්ගේ විශ්වවිද්‍යාල ප්‍රවේශ අවස්ථා ක්‍රමානුකූලව ඉහළ නැංවිය යුතු වන අතර උසස් අධ්‍යාපනය තුළ විද්‍යා තාක්ෂණ ක්ෂේත්‍ර පාඨමාලා වැඩි කළ යුතු බව ත් ඊට අවස්ථාව සැලසෙන පරිදි ග්‍රාමීය ප්‍රදේශවල පාසල්වලට විද්‍යා ගණිත ගුරුවරුන් ප්‍රමාණවත් ලෙස ලබා දිය යුතු බව ත් පාසල් පොකුරු හෙවත් පාසල් පර්ෂද සංකල්පය මනා සම්පත් කළමනාකරණයක් යටතේ ඊට පාදක කරගන්නා බව ත් අමාත්‍යවරයා මෙහි දී ප්‍රකාශ කර තිබේ.

අප හා සම මට්ටමේ රටවල් මේ වන විට තාක්ෂණ ක්ෂේත්‍රය තුළ වසර 10ක් පමණ අපට වඩා ඉදිරියෙන් සිටින අතර 21 වන සියවසේ 3 වන දශකයේ සිට ආපසු 20 වෙනි සියවසට අපට යා නොහැකි නිසා ඉදිරි වසර පහේදී අනිවාර්‍ය අධ්‍යාපන පරිවර්තන ක්‍රියාදාමයක් කරා යාමේ ඉලක්කය සපුරා ගත යුතු බව සුසිල් ප්‍රේමජයන්ත මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර තිබේ.

මහින්ද අගමැති කරන්න යෝජනාවක් ?

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ යළිත් අග්‍රාමාත්‍ය ධූරය ලබාගන්නට යෝජනාවක් පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් සිදුකර ඇති බවට පළවන ප්‍රචාරය සාවද්‍ය බව දේශපාලන ආරංචි මාර්ග පවසයි .

එම ආරංචි මාර්ග පවසන්නේ එවැනි කිසිම යෝජනාවක් හෝ අපේක්ෂාවක් පොදුජන පෙරමුණ පක්ෂයේ අභ්‍යන්තරයේ නොමැති බවය.

මේ අතර දේශය පුවත්පත ද මෙම පුවත සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙතින් විමසා ඇති අතර ඊට ප්‍රතිචාර දක්වමින් පවසා ඇත්තේ වත්මන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඉතා හොඳින් තමන්ගේ රාජකාරිය ඉටු කරන බවත් ඔහු තනතුරින් ඉවත් කිරීමට කිසිදු හේතුවක් නැති බවත් ය.

කෙසේ වුවත් පක්ෂය ගන්නා තීන්දුවකට හිස නැමීම තමන්ගේ ප්‍රතිපත්තිය බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පැවසූ බවත් එම පුවතේ සඳහන් ය.

සමරිසි ලිංගික ක්‍රියා නිර්සාපරාධීකරණය කිරීමට රජයෙන් සහතිකයක් !

ශ්‍රී ලංකා රජය සමරිසි ලිංගික ක්‍රියා නිර්සාපරාධීකරණය කිරීමට කටයුතු කරන බවට විදේශ අමාත්‍ය අලි සබ්‍රි සඳහන් කරයි.

ඒ අනුව, රජය විසින් දණ්ඩ නීති සංග්‍රහයේ 365 සහ 365A වගන්ති සංශෝධනය කිරීමට නියමිතය.

එක්සත් ජාතීන්ගේ විශ්ව කාලාන්තර සමාලෝචනයේදී (UPR) එක්සත් රාජධානිය, එක්සත් ජනපදය, කැනඩාව සහ නෝර්වේ ඇතුළු රාජ්‍ය කිහිපයක් විසින්ම සමරිසි ලිංගික ක්‍රියා නිර්සාපරාධීකරණය කරන මෙන් ශ්‍රී ලංකාවෙන් ඉල්ලා තිබිණ.

විදේශ කටයුතු අමාත්‍යවරයා ඉහත ප්‍රකාශය සිදුකර ඇත්තේ ඊට ප්‍රතිචාර දක්වමිනි.

දණ්ඩ නීති සංග්‍රහය ඔස්සේ සමරිසි ලිංගික ක්‍රියා සාපරාධීකරණය කිරීම අහෝසි කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කරන බව අලි සබ්‍රි අමාත්‍යවරයා පැහැදිලි කර සිටියේය.

ශ්‍රී ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහයේ 365 සහ 365අ වගන්ති ඔස්සේ විවිධ ලිංගික අනන්‍යතා දරන පුද්ගලයන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කරන බවට ගොඩනැඟී ඇති සමාජ කතිකාවත පළමු වරට සංවාදයට බඳුන් වූයේ 1994 වර්ෂයේ දිය. එදා පටන් මේ වන තුරු ඔවුනට සාධාරණයක් ඉෂ්ට වී නොමැත.

එකී වගන්ති තුළින් පුද්ගලයන් අතර ප්‍රසිද්ධියේ හෝ අප්‍රසිද්ධියේ සිදුවන “සොබාදහමට එරෙහි” හෝ “තදබල අශෝබන” ලිංගික ක්‍රියා දඬුවම් ලැබිය හැකි වරදක් බවට නිගමනය කරන මුත්, එකී කිසිඳු වගන්තියක් ඔස්සේ සමලිංගිකත්වය, හෝ විවිධ ලිංගික අනන්‍යතාවලට එරෙහි ප්‍රකාශයක් අඩංගු නොවේ.

තව ද, දණ්ඩ නීති සංග්‍රහයේ සඳහන් වන “සොබාදහමට එරෙහි” හෝ “තදබල අශෝබන” ලිංගික ක්‍රියා මොනවාද යන්න පිළිබඳ නිර්වචනයක් ඇත්තේ ද නැත.

නීතිය ක්‍රියාත්මක කරන පොලීසිය විසින් මෙම වගන්ති අවභාවිතා කරමින් විවිධ ලිංගික අනන්‍යතා ඇති පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට සහ ඔවුනට පීඩා සිදුකිරීමට කටයුතු කරන අතර, මෙම චෝදනා මත අත්අඩංගුවට පත්වන පුද්ගලයන්ට මානසික රෝගයක් පවතින බවට හැඟවීමට බලහත්කාරයෙන් වෛද්‍ය පරීක්ෂාවලට යොමුකළ අවස්ථා ද තිබේ.

එවන් පසුබිමක් තුළ, විදේශ කටයුතු අමාත්‍යවරයා සමරිසි ලිංගික ක්‍රියා නිර්සාපරාධීකරණය කිරීමට රජය කටයුතු කරන බවට ප්‍රකාශ කර තිබීම විශේෂත්වයකි.

මේ සඳහා පාර්ලිමේන්තුවේ ප්‍රතිචාරය අවශ්‍ය බව ද හෙතෙම අවධාරණය කරයි.

එක්සත් ජාතීන්ගේ විශ්ව කාලාන්තර සමාලෝචන සැසිවාරයේ සිව්වන චක්‍රයේදී එක්සත් රාජධානිය, එක්සත් ජනපදය, කැනඩාව සහ නෝර්වේ යන රාජ්‍ය විසින් ශ්‍රී ලංකාවේ සමරිසි ලිංගික ක්‍රියා නිර්සාපරාධීකරණය කරන මෙන් මෙරට රජයෙන් ඉල්ලා සිටි අතර, සමරිසි, ද්වීරිසි, සංක්‍රාන්ති සමාජභාවී, අන්තර්ලිංගික සහ ප්‍රශ්ණභාවී (LGBTIQ) ඇතුළු විවිධ ලිංගික අනන්‍යතා ඇති පුද්ගලයන්ගේ මානව හිමිකම් වලට ගරු කරන මෙන් එක්සත් ජනපදය ශ්‍රී ලංකාවෙන් ඉල්ලා තිබිණ.

වී කිලෝවක් සඳහා රුපියල් සියයක සහතික මිලක් : ජනපතිගෙන් උපදෙස් !

වී කිලෝවක් රුපියල් සියයක සහතික මිලකට රජයෙන් මිලදී ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

උතුරු පළාත හා යාපනය දිස්ත්‍රික්කය ලංකාවටම ආහාර සපයා දිය හැකි පළාතක් ලෙස සංවර්ධනය කරන බව ද ජනාධිපතිවරයා පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කළේ අද (12) පෙරවරුවේ යාපනය පරන්තන් වෙල්යායේ දී පැවති උතුරු පළාතේ අස්වනු නෙළීමේ අවස්ථාවට එක් වෙමිනි.

පරන්තන් වෙල්යායට පැමිණි ජනාධිපතිවරයා එහි සිටි ගොවීන්ගෙන් වී වගාව සම්බන්ධ ගැටලු පිළිබඳ විමසා බැලූ අතර එම ගැටලුවලට කඩිනම් විසඳුම් ලබාදෙන බව ද පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේද පැවසීය .

ගොවි ජනතාවට අවශ්‍ය පොහොර ලබාදීමට රජය කඩිනමින් කටයුතු කළා. ඒ නිසා මෙවර මහ කන්නයේ දී වී අස්වැන්නේ අතිරික්තයක් ලැබෙනු ඇතැයි අපි අපේක්ෂා කරනවා. ඒ අනුව වී කිලෝවක් රුපියල් 100ක සහතික මිලකට රජයෙන් මිලදී ගන්න කටයුතු කරනවා.

අද බොහෝ පිරිසක් ආර්ථික දුෂ්කරතාවලින් පීඩා විඳිනවා. අස්වැන්න වැඩිවුණත් සහල් මිලදී ගැනීමට ආර්ථික ශක්තියක් නැති කොටසක් සිටිනවා. ඒ නිසා පවුල් ලක්ෂ විස්සකට මෙම මාර්තු සහ අප්‍රේල් මාසවලදී සහල් කිලෝ ග්‍රැම් 10 බැගින් නොමිලේ ලබාදීමේ වැඩසටහනක් අපි ක්‍රියාත්මක කරනවා. ඒ අනුව සිංහල, දෙමළ අලුත් අවුරුදු සමය වන විට ඒ අයට සහල් කිලෝ 20ක් ලැබී තිබෙනවා.

දැනට හෙක්ටයාරයකට ලැබෙන්නේ වී මෙට්‍රික් ටොන් 03ක වගේ ප්‍රමාණයක්. අපි ක්‍රියාවට නංවනු ලබන කෘෂිකාර්මික නවීකරණ වැඩසටහන සමඟ හෙක්ටයාරයකට වී මෙට්‍රික් ටොන් හයක්වත් ලබා ගන්න අපට අවශ්‍යයි. හැකිනම් එය මෙට්‍රික් ටොන් 07 දක්වා වර්ධනය කරගත යුතුයි. එම දියුණුව ඇතිකර ගැනීමට අවශ්‍ය පහසුකම් ලබාදීමට රජය කටයුතු කරනවා. මීට වඩා වී මිලදී ගැනීමේ ක්‍රම සහ ගබඩා කිරීමේ ක්‍රම ඉන් පසුව නිර්මාණය වේවි. ඒ වගේම කුඩා පරිමාණ සහ මධ්‍ය පරිමාණ නවීන හාල් මෝල් ඇති කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ඊළඟ වසර දෙක තුළදී ඒ කටයුතු සාර්ථක කර ගැනීමට අපිට හැකි වේවි. මේ ප්‍රදේශයට අවශ්‍ය ජල පහසුකම් ලබාදීමට අපි සැලසුම් කර තිබෙනවා. පුනරින් වැව ප්‍රතිසංස්කරණය කිරීමට අපි කටයුතු කරනවා. ඉරනමඩු වැව මේ වනවිට සකස් කර අවසන්.

 යාපනය දිස්ත්‍රික්කය සහ උතුරු පළාත නැවත රටටම ආහාර සැපයිය හැකි තරම් අස්වැන්නක් ලැබීමට හැකි පළාතක් බවට පත් කිරීමට අපි කටයුතු කරනවා. මීට අමතරව සත්ව ආහාර නිෂ්පාදනය කිරීමේ කටයුතු ආරම්භ කිරීමටත් පියවර ගැනීම අපේ අපේක්ෂාවයි.

ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජයකලා මහේශ්වරන්, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, පොලිස්පති සී.ඩී වික්‍රමරත්න යන මහත්ම මහත්මීහු සහ උතුරු පළාතේ රාජ්‍ය නිලධාරීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ඉන් අනතුරුව කිළිනොච්චිය, පන්නම් කන්ඩි වෙල්යාය වෙත පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහි සිටි ගොවි ජනතාවගේ ද ගැටලු පිළිබඳ සොයා බලමින් ඔවුන් සමඟ සුහද කථා බහක නිරත විය.

ප්‍රදේශයේ ජනතාව විශාල පිරිසක් ජනාධිපතිවරයා දැක බලා ගැනීමට ඒ අවට රැස්ව සිටි අතර ඔවුන්ගේ තොරතුරු විමසීමට ද අමතක නොකළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැමිණ සිටි කුඩා දරුවන් අතරට ගොස් ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව ද විමසා බැලීය.

View the embedded image gallery online at:
http://newstube.lk/news?start=2574#sigProIdbdb60e43c4

ඡන්දෙට සහාය නොදෙන හැමෝටම එරෙහිව නඩු දානවා - මැ.කො.සභාපති

මාර්තු නමවන දා පැවැත්වීමට නියමිත පලාත් පාලන මැතිවරණය සදහා සියල්ලන්ගේ සහාය අවශ්‍ය බවත් එසේ නොකරන සියළු පාර්ශ්වයන්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට යන බවත් මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා  සන්ඩේ ටයිම්ස් පුවත්පතට ප්‍රකාශ කොට තිබේ.

විශේෂයෙන්ම මැතිවරණ කටයුතු සදහා පෙබරවාරි මාසයට අවශ්‍ය මුදල ලෙස රුපියල් මිලියන අටසියයක මුදලක් මහා භාණ්ඩාගාරයෙන් ඉල්ලා ඇති නමුත් මේ දක්වා එම මුදල් ලබා දී නොමැති බවද ඔහු පවසයි.

කෙසේ වෙතත් මහා භාණ්ඩාගාරයෙන් මීට පෙර ඉල්ලා සිටින ලද රුපියල් මිලියන සියයක මුදල ලැබුණු බව මැතිවරණ කොමිසම පවසා තිබුණි.

මීට අමතරව මැතිවරණය සදහා ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන්ට සහ මැතිවරණ රාජකාරියේ නියුතු නිළධාරීන්ට ලබා දෙන ඉන්ධන කෝටාව වැඩි කරන ලෙස මැතිවරණ කොමිසම විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයෙන් කරන ලද ඉල්ලීමද මේ දක්වා ඉටු වී නැති බව ද පැවසේ.

mawrata.lk

Page 144 of 386