V2025

පුවත්

ඩයනගේ අවනඩුව 6 වෙනිදා විභාගයට !

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ සහ සමගි ජනබලවේගය පක්ෂයේ මන්ත්‍රීවරුන් වන සුජිත් සංජය පෙරේරා සහ රෝහණ බණ්ඩාර අතර පසුගිය 20 වැනිදා ඇතිවූ ගුටිබැට හුවමාරුව සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට පත් කෙරුණු කමිටුව 6 වැනිදා පෙරවරු 10.00 ට අදාළ පාර්ශ්ව කැඳවීමට අද (25) තීරණය කර ඇත .

ගැටුමට මැදිවූ තිදෙනා මෙන්ම සිද්ධිය ඇසින් දුටු සියලු දෙනා එහිදී කැදවීමට නියමිත බවත් වාර්තා වෙයි .

මෙම සිද්ධියට අදාළ සීසීටීවී දර්ශන කමිටු සාමාජිකයෝ අද (25) නැරඹූහ.

පාර්ලිමේන්තුවේ ඇති වූ ගුටිබැට හුවමාරුව සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට කතානායකවරයා විසින් පත් කෙරුණු කමිටුව පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ ප්‍රථම වතාවට රැස්විය.

නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ ගේ ප්‍රධානත්වයෙන් යුතු මෙම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඉම්ටියාස් බාකීර් මාකර්, ගයන්ත කරුණාතිලක කටයුතු කරයි.

මෙම කමිටුව සඳහා ආණ්ඩු පක්ෂය හා විරුද්ධ පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් දෙදෙනෙකුද ඇතුළත් කිරීමට ඊයේ තීරණය කෙරිණ. එම මන්ත්‍රීවරියන් දෙදෙනා කවුදැයි නම් කරන ලෙස කමිටු ආණ්ඩු පක්ෂයට සහ විරුද්ධ පක්ෂයට දැනුම්දී ඇති බවත් වාර්තා වෙයි

ලබන 06 වැනිදා කමිටුව රැස්වී විමර්ශන පැවැත්වීමෙන් පසු විමර්ශන වාර්තාව කතානායක මහින්ද යාපා අබේවර්ධන ට බාරදෙන බව නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ පවසයි .

නාමල් රතු එළි දල්වයි : ජනාධිපති නිවැරදි බව විචාරකයන් කියයි !

සභාග දේශපාලනය පිළිබඳව ජනාධිපතිවරයාට හොඳ අවබෝධයක් තිබිය යුතු බවත්, ඇමැති මණ්ඩල සංශෝධනවලින් ගැටලු විසඳාගත නොහැකි බවත්, පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කරයි.

සන්ධාන නායකයන් සමඟ සාකච්ඡා කර පක්ෂ අතර සාමය පවත්වා ගැනීමට ජනාධිපතිවරයා දැනගත යුතු බව ද මන්ත්‍රීවරයා පවසයි .

ඉදිරියේදී ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන අයවැය මත පක්ෂයක් ලෙස තීරණයක් ගැනීමට බලාපොරොත්තු වන බවත් ඔහු සඳහන් කර සිටියි.

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර සිටියේ අද (25) මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදුකරමිනි .

එමෙන්ම යහපාලන ආණ්ඩුව සමයේ නායකයන් දෙදෙනාම පැති දෙකකට ගිය අතර, එහි ප්‍රතිඵලය වූයේ රට අස්ථාවරභාවයට පත්වීම බවත් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පෙන්වාදෙයි.

ඉදිරි තීරණ ගැනීමේදී සහ සභාග දේශපාලනයේ නියැලීමේදී ජනාධිපතිවරයා සන්ධාන නායකයන් සමඟ සාකච්ඡා කිරීම සුදුසු යැයි තමා විශ්වාස කරන බව ඔහු සඳහන් කළේය.

පසුගියදා සිදුවූ ඇමැති මණ්ඩල සංශෝධනය පිළිබඳව අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පවසන්නේ, එය අමාත්‍යාංශ මාරු කිරීමක් පමණක් වන බැවින් ඇමැති මණ්ඩල සංශෝධනයක් ලෙස සැළකිය නොහැකි බවය.

එහිදී ඔහු වැඩිදුරටත් මෙසේද පැවසීය .

' එක පැත්තකින් විදුලිබිල වැඩිවෙනවා, බදු බර වැඩිවෙනවා. ඒ වගේම වතුර බිල වැඩිකරනවා. තව අලුතෙන් බදු ගහන්න ඕනේ කියලාත් කියනවා. ජීවන වියදම පාලනය කරන්න කටයුතු කරන්නේ නැහැ. මේ චෝදනාව පොහොට්ටුවේ ආණ්ඩුවට ඉදිරිපත් කරනවා. ඔය කියන හැමෝම. චෝදනා එන්නේ පොහොට්ටුවට. හැබැයි අනිත් පැත්තෙන් සහෝදර පක්ෂ එක්ක සාකච්ඡා නොකර තීන්දු තීරණ ගන්නවා. ඒ ගන්න කොට ඒක හරි ගියොත් ඒක වෙන කණ්ඩායමක්. ඒක වැරදුණොත් ඒක පොහොට්ටුවේ.

මේ වෙලාවේ, මේක කැබිනට් සංශෝධනයක් විදියට මම දකින්නේ නැහැ. මේක කැබිනට් හුවමාරුවක්. ඇතුලේ තනතුරු හුවමාරුවක් කර ගැනීම සිද්ධ වුණේ. ඒක ජනාධිපතිවරයාට කරන්න අයිතියක් තියෙනවා, එතුමා ජනාධිපතිවරයා විදියට. ඒ වගේම තමයි, ආණ්ඩුවට යුතුකමක් තියෙනවා, ඒ පිළිබඳව සහෝදර පක්ෂ එක්ක විමසන්න. මේ තනතුරු හුවමාරු කර ගැනීමෙන් මේ රටේ ප්‍රශ්න විසඳන්න පුළුවන් කියලා හිතනවානං, තනතුරු හුවමාරු කරගැනීමෙන් මේ රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටළු විසඳන්න පුළුවන් කියලා හිතනවා නං, තනතුරක් හුවමාරු කරගැනීම තුළින් මේ රටේ ජනතාව මුහුණපාලා තියෙන ආර්ථික අර්බුදයෙන් ගොඩඑන්න පුළුවන් කියලා හිතනවා නං, ඒ අයට වැරදිලා. මේ වෙලාවේ අයවැයක් එනවා ඉදිරි කාලසීමාව තුළ. අයවැයේදීවත් අපි විශ්වාස කරනවා ජනාධිපතිතුමා මේ රටේ ජනතාවට සහන දෙන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරයි කියලා.''

කෙසේ වුවත් දේශපාලන විචාරකයන් පවසන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සෞඛ්‍ය අමාත්‍ය ධූරය සම්බන්ධයෙන් ගනුලැබූ තීරණය නිවැරදි බවයි.

අතිශය දරුණු ආර්ථික අර්බුදයක් තිබී යන්තමින් හිස එසවූ රටක ජනතාව රජයේ රෝහලකුන් ඖෂධ ගැනීමට යාමට භීතියක් ඇතිවීම සමාජ පර්‍යාය පවත්වාගෙන යාමට තර්ජනයක් බවත් ඔවුන් පෙන්වා දෙයි.

එසේම සෞඛ්‍ය ක්ශේත්‍රයේ ගැටලු සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කෙහෙලිය රඹුක්වැල්ල දැක්වූ ප්‍රතිචාර ජනතාව කුපිත කරවන සුළු බවත් එහි ඇති සමාජ හානිය ගැන තැකීමක් අමාත්‍යවරයා වෙතින් නොපෙනුනු බවත් දේශපාලන විචාරකයන් පවසයි .

එසේම දේශපාලන විචාරකයන් වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ පොදුජන පෙරමුණ පක්ෂයක් ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ආණ්ඩුවට සහය දුන් පදනමින්, එම පක්ෂයේ අමාත්‍යවරුන් සිදුකරන ඕනෑම වරදක් නොදැක්කා සේ සිටිය යුතු නැති බවයි.

ක්‍රම වෙනස වෙනුවෙන් නව නීති ගේනවා - මනුෂ

ජනතාව අපේක්ෂා කරන ක්‍රම වෙනස (Systems Change) ඇති කිරීම සඳහා අතීතයේ පැවති නීති වෙනුවට වර්තමානයට ගැළපෙන නව නීති හඳුන්වාදීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර පැවසීය.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (25) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

ආණ්ඩු වෙනස් වන විට වෙනස් නොවන ස්ථාවර ප්‍රතිපත්ති සෑම ක්ෂේත්‍රයක් තුළම සකස් කිරීමට ආණ්ඩුව පියවර ගනිමින් සිටින බවත් ඒ අනුව සකස් කෙරුණු පස් අවුරුදු විදේශ රැකියා ප්‍රතිපත්තිය අද ජනගත කෙරුණු බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මෙසේ ද පැවසීය.

රට මුහුණ දුන් ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට අපි විවිධ ක්‍රියාමාර්ග ගනිමින් සිටිනවා. ඉතිහාසයේ වැඩිම නීති සහ අනපනත් සම්මත වූ කාලය ලෙස මෙම කාල සීමාව හැඳින්විය හැකියි.

රටට ක්‍රම වෙනසක් අවශ්‍යයි කියා (Systems Change) ජනතාව පාරට බැස උද්ඝෝෂණ කළා. එම වෙනස ඇති කිරීම වෙනුවෙන් අතීතයේ පැවති නීති වෙනුවට වර්තමානයට ගැලපෙන නව නීති රෙගුලාසි ගෙන ඒමට ආණ්ඩුව කටයුතු කරමින් සිටිනවා.

ඒ වගේම ආණ්ඩු වෙනස් වන විට වෙනස් නොවන ස්ථාවර ප්‍රතිපත්ති සකස් කිරීමේ කටයුතු මේ වන විට සකස් කරමින් සිටිනවා. ඒ අනුව සකස් කෙරුණු පස් අවුරුදු විදේශ රැකියා ප්‍රතිපත්තිය අද ජනගත කෙරුණා. සෑම අංශයකටම එවැනි ප්‍රතිපත්ති සකස් කිරීම රජයේ වැඩපිළිවෙළ බව කිවයුතුයි.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ඇතුළු අනෙකුත් විදේශීය මූල්‍ය ආයතන සහ අනෙකුත් රටවල් අපේ රටේ ආර්ථිකය ගොඩනැගීමට ඉදිරිපත් වෙන්නේ රටේ මූල්‍ය විනයක් පැවතියහොත් පමණයි. ඒ නිසා රටේ මුල්‍ය විනය ඇති කිරීමේ වැඩපිළිවෙළ ඉදිරියේ දී ක්‍රියාත්මක වෙනවා.

එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විනය පිළිබඳ කමිටුව ඇතුළු විවිධ කමිටු පත්කිරීමට ද ජනාධිපතිවරයා කටයුතු කරමින් සිටිනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විනය සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා වන පනත් කෙටුම්පත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළා. එංගලන්තයේ පාර්ලිමේන්තුවේ තත්ත්වයන් පිළිබඳව අවධානය යොමු කරමින් හිටපු කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පත් කරන ලද කමිටුවක් විසින් එය සකස් කර තිබෙනවා.

ඒ වගේම වසර විස්සක් පුරා කතා කරමින් සිටි දූෂණ විරෝධී පනත් කෙටුම්පත සම්මත කරගැනීමට ලැබීම විශේෂ ජයග්‍රහණයක් ලෙස සලකන්න පුළුවන්. ඒ වගේම රාජ්‍ය මූදල් පරිපාලනය දූෂණයෙන් තොරව පවත්වාගෙන යාමේ අරමුණින් රාජ්‍ය පරිපාලනය විශ්ලේෂණය කරමින් වාර්තාවක් සකස් කර තිබෙනවා.

එසේම දේශපාලන පක්ෂවල මුදල් භාවිතය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා හිටපු අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතාගේ ප්‍රධානත්වයෙන් කොමිසමක් පත් කිරීමට ද නියමිතයි. දේශපාලන පක්ෂ ක්‍රියා කළ යුතු ආකාරය එම කමිටුව විසින් විමර්ශනය කරනවා. ඉදිරියේදී එම කමිටුවට තම යෝජනා සහ නිර්දේශ ඉදිරිපත් කිරීමට මහජනතාවට අවස්ථාව සැලසෙනවා.

ඊට අමතරව පාර්ලිමේන්තුවේ අය-වැය කාර්යාලයක් පිහිටුවීමට ද කටයුතු කර තිබෙනවා. ආර්ථික ස්ථායිතාව පිළිබදව කාරක සභාවක් පත් කරනු ලැබුවා. එමෙන්ම ක්‍රම සහ විධි පිළිබඳව කාරක සභාවක් පත්කර තිබෙනවා.

මානව සම්පත් කළමනාකරණය රටකට ඉතා වැදගත් වෙනවා. ඒ නිසා කම්කරු පනත සංශෝධනය කිරීමටත් අපි කටයුතු කරනවා. එමගින් දැවැන්ත වෙනස්කම් රැසක් සිදු වන බව අපගේ විශ්වාසයි.

එමෙන්ම පසුගිය කාලයේ සිදු වූ ආර්ථික අර්බුද නිසා කඩා වැටුණු ව්‍යාපාර හඳුනාගෙන ඒවා නැවත නඟා සිටුවීමට අවශ්‍ය පියවර ගන්නවා.

එපමණක් නොවෙයි, විදේශයන්හි සේවය කරන පුද්ගලයන් වෙනුවෙන් සහන සැලසීම සහ ඔවුන්ගේ වෘත්තීය සුරක්ෂිතතාව ඇති කිරීම වෙනුවෙන් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට අප සැලසුම් කර තිබෙනවා.

සමනලවැව ජලාශයේ සූර්ය බලාගාර 02ක්

සමනලවැව ජලාශය මත ඉදිකිරීමට යෝජිත පාවෙන සූර්ය බලශක්ති බලාගාර ව්‍යාපෘති 02ක් සඳහා කැමති ආයෝජකයින්ගෙන් ‘යෝජනා කැඳවීමට’ පියවර ගෙන තිබේ.

සමනලවැව ජලාශය මත මෙගාවොට් 200ක පාවෙන සූර්ය බලශක්ති බලාගාරයක් ඉදිකිරීම සඳහා විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවක් සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ද හිමිවී තිබුණි.

ඒ අනුව පාවෙන සූර්ය බලාගාර සඳහා ආයෝජනය කිරීම සඳහා විභව ජාත්‍යන්තර සහ දේශීය සංවර්ධකයින්ගෙන් මෙගාවොට් 100 බැගින් ව්‍යාපෘති 2කට කැමැත්ත පළ කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර  සඳහන් කළේය.

ශ්‍රී ලංකාව තුළ ඇති විශාල ජල මූලාශ්‍ර ප්‍රයෝජනයට ගනිමින් රටේ පුනර්ජනනීය බලශක්ති ධාරිතාව පුළුල් කිරීමේ වැදගත් පියවරක් මෙම කැබිනට් අනුමැතිය මගින් සනිටුහන් කෙරේ.

සමනලවැව ජලාශ ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ඉලක්ක සහ හරිත හා තිරසාර අනාගතයක් සඳහා එහි කැපවීම සඳහා සැලකිය යුතු දායකත්වයක් ලබා දීමට සූදානමින් සිටි.

IMF දෙවන ණය වාරිකය ගැන අමෙරිකානු තානාපතිනියගෙන් සහතිකයක්

ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ජුලී චන්ග්, අද පෙරවරුවේ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ හමුවූවා ය.

අමෙරිකානු තානාපතිනිය ට්විටර් පණිවුඩයක් පළ කරමින් සඳහන් කර ඇත්තේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවන වාරිකය සඳහා මාණ්ඩලික මට්ටමේ එකඟතාව ලබා ගැනීමට සමත්වීම සම්බන්ධයෙන් සුබ පැතූ බව ය.

එමගින් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවන ණය වාරිකය ලබා ගැනීමට හැකියාව ලැබෙනු ඇතැයි ඇය විශ්වාසය පළ කර තිබේ.

TODAY, AT MY MEETING WITH @CBSL GOVERNOR I EXTENDED MY CONGRATULATIONS ON THE IMF’S STAFF-LEVEL AGREEMENT, MARKING PROGRESS IN SRI LANKA’S EFFORT TO SECURE THE SECOND IMF INSTALLMENT. I REINFORCED THE NEED FOR FAIRNESS IN SRI LANKA'S DEBT RESTRUCTURING: EQUAL & EQUITABLE… PIC.TWITTER.COM/VWCGM4FGZJ

— Ambassador Julie Chung (@USAmbSL) October 25, 2023

සංක්‍රමිකයන් වෙනුවෙන් මධ්‍යස්ථානයක් !

සංක්‍රමණ ප්‍රතිපත්ති සංවර්ධන ජාත්‍යන්තර මධ්‍යස්ථානය සහ කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත.

සංක්‍රමණිකයන්ට, නැවත මෙරටට පැමිණෙන සංක්‍රමණිකයන්ට සහ සංක්‍රමණය වීමට අපේක්ෂා කරන අයට විදේශ රටවල සංචාරය කිරීමේ දී රැකියාවේ නිරත වීමේ දී සහ ජීවත්වීමේදී දී මුහුණ දීමට සිදුවන අවදානම සහ අභියෝග අවම කර ගැනීම සඳහා අවබෝධය ඇතිව තීරණය ගැනීමට හැකියාව ලබා දෙනු පිණිස ප්‍රමාණවත් කාලෝචිත හා විශ්වාසදායක තොරතුරු සහ මගපෙන්වීම ලබා දීම සඳහා නැගෙනහිර පළාතේ සංක්‍රමණ සම්පත් මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇති අතර ඒ සඳහා සහාය වීමට නවසීලන්ත රජය විසින් එකඟතාවය පළ කර ඇතැයි රජය පවසයි.

ඒ අනුව නවසීලන්ත ව්‍යාපාර නවෝත්පාදන හා රැකියා අමාත්‍යංශය හරහා සංක්‍රමණ ප්‍රතිපත්ති සංවර්ධන ජාත්‍යන්තර මධ්‍යස්ථානය මගින් යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක පිණිස නවසීලන්ත ඩොලර් 350000ක ප්‍රදානයක් ලබා දීමට එරට රජය එකඟ වී තිබෙන බවද රජය සඳහන් කරයි.

පාස්කු කොමිසමේ සාක්ෂි පටිගත කළ නීතිඥයකුට වැඩ වරදියි !

ඉරුදින පාස්කු ප්‍රහාරය සොයා බැලීම පිළිබඳ පත් කළ ජනාධිපති කොමිසමේ සාක්ෂි ජංගම දුරකතනයක් මගින් පටිගත කිරීම සම්බන්ධව චෝදනාවලට වරදකරු වු නීතිඥවරයෙකුගේ නීතිඥභාවය මාස 8 ක කාලයකට අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

ඊට අනුව මෙම අත්හිටුවීම ලබන වසරේ ජනවාරි මස 1 වැනිදා සිට ක්‍රියාත්මකය.

මෙම තීන්දුව බුවනෙක අලුවිහාරේ, එස්.තුරේරාජා සහ මහින්ද සමයවර්ධන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් නිකුත්කළ අතර ඒ අදාළ කොමිසමේ ලේකම් එල්.එම්.බී.පී හේරත් විසින් ගොනුකළ පැමිණිල්ලක් විභාගයට ගැනීමෙන් පසුවය.

පසුගිය සැප්තැම්බර් 9 වැනිදා අදාළ ජනාධිපති කොමිසමේදී එක්සත් ලංකා ජයමිතුල්ලා උලමා සංවිධානයේ මොහොමඩ් මුර්ෂා මර්ෂා නැමැත්තා සාක්කි දෙමින් සිටියදී ඔහුගේ සාක්කිය ජංගම දුරකතනයෙන් පටිගත කිරීමෙන් නීතිඥවරයෙකුට නොහොබිනා ආකාරයට හැසිරීමෙන් ශ්‍රේෂ්ඨාධිකරණ රීතීන් උල්ලංඝනය කළා යැයි ඔහුට චෝදනා එල්ල වී තිබිණ.

එහිදී නීතිපති වෙනුවෙන් නීතිඥ ගංගා වාකිෂ්ඨ ආරච්චි සමඟ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මහේෂ් ගොපල්ලව පෙනී සිටියහ.

අස්වැසුම කඩිනමින් ගන්න : ඉක්මනින් බැංකු ගිණුම් විවෘත කරන්න !

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ වැඩසටහන සඳහා සුදුසුකම් ලබා ප්‍රදේශීය ලේකම් කාර්යාලයන්හි ප්‍රදර්ශනය කළ නාම ලේඛනයේ නම් ඇතුළත් වූ නමුත්, මෙතෙක් ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා බැංකු ගිණුම් විවෘත නොකළ සියලු ප්‍රතිලාභීන් හැකි ඉක්මණින් තම බැංකු ගිණුම විවෘත කර ප්‍රමාදයකින් තොරව ප්‍රතිලාභ හිමි කර ගැනීමට කටයුතු කරන ලෙස සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති ජයන්ත විජේරත්න දැනුම් දෙයි.

නියමිත පරිදි බැංකු ගිණුම් විවෘත නොකිරීම හේතුවෙන් අස්වැසුම ප්‍රතිලාභීන් 156,261කට අදාළ ගෙවීම් සිදු කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බවද ඔහු සඳහන් කරයි.

ජයන්ත විජේරත්න  මේ බව සඳහන් කළේ මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහගේ ප්‍රධානත්වයෙන් අස්වැසුම වැඩසටහන පිළිබඳව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය ඇතුළු අදාළ පාර්ශව සමඟ පසුගිය දා ජනාධිපති කාර්යාලයේදී පැවති සාකච්ඡාවේදීය.

පූර්ණ විනිවිදභාවකින් යුක්තව වඩාත් සුදුසුම පාර්ශවයන් වෙත සමාජ සුබසාධක ප්‍රතිලාභ ලබා දීම අරමුණු කරගනිමින් ඇරඹි අස්වැසුම වැඩසටහනෙහි වත්මන් තත්ත්වය පිළිබඳව එහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

අස්වැසුම ප්‍රතිලාභීන් සඳහා පසුගිය ජූලි මාසයට අදාළ ප්‍රතිලාභ පියවර 05ක් යටතේ ඔක්තෝබර් මස 16 වනදා වන විට, පවුල් 1,230,097ක් සඳහා රුපියල් 7,705,302,250.00 ක මුදලක් ගෙවා අවසන් බවත් , ජූලි මාසයට අදාළ ඉතිරි කොටස්වල ගෙවීම් දෙසැම්බර් මාසය වන විට ගෙවා අවසන් කිරීමට නියමිත බවත් සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති ජයන්ත විජේරත්න මහතා මෙහිදී සඳහන් කළේය.

අභියාචනා සහ විරෝධතා පරීක්ෂණ අවසන් නොවීම ඇතුළු විවිධ ගැටළු හේතුවෙන් තවත් ප්‍රතිලාභීන් පිරිසකට අදාළ ගෙවීම් සිදු කිරීම ප්‍රමාද වී ඇති බව මෙහිදී අනාවරණය වූ අතර එහිදී මුදල් රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටියේ එම ප්‍රමාදයන්ට හේතු වී ඇති කරුණු සොයා බලා ප්‍රතිලාභ ගෙවීම් කටයුතු කඩිනම් කිරීමට පියවර ගන්නා ලෙසයි.

ප්‍රතිලාභීන් ලක්ෂ දෙකකට පමණ ගෙවීම් සිදු කිරීමට නොහැකිව ඇත්තේ මේ වන තුරු ඔවුන් බැංකු ගිණුම් විවෘත නොකිරීම හේතුවෙන් බවත් එබැවින් ඔවුන් ගිණුම් විවෘත කළ වහාම කිසිදු ගැටළුවකින් තොරව අදාළ ගෙවීම් සිදු කළ හැකි බවත් ජයන්ත විජේරත්න මහතා සඳහන් කළේය.

තවද අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අස්වැසුම පරිගණක පද්ධතියෙන් නිකුත් කරනු ලබන ලිපිය ඉදිරිපත් කර තම ප්‍රදේශයේ ලංකා බැංකුව, මහජන බැංකුව, ජාතික ඉතිරි කිරීමේ බැංකුව සහ ප්‍රාදේශීය සංවර්ධන බැංකුව යන ඕනෑම බැංකු ශාඛාවකින් අස්වැසුම ප්‍රතිලාභීන්ට තම බැංකු ගිණුම විවෘත කිරීමේ හැකියාව පවතී. අනතුරුව එම ගිණුම් විස්තර අදාළ බැංකුව විසින් සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලය වෙත යොමු කරනු ලැබේ.
ජාතික හැඳුනුම්පත් නොමැති වීම හේතුවෙන් බැංකු ගිණුම් විවෘත කිරීමට නොහැකි අස්වැසුම අයදුම්කරුවන්ට මාස 06ක් තුළ ජාතික හැඳුනුම් පත් ඉදිරිපත් කිරීමේ කොන්දේසිය මත ගිණුම් විවෘත කිරීමේ අවස්ථාව ලංකා බැංකුව, ජාතික ඉතිරි කිරීමේ බැංකුව සහ ප්‍රාදේශීය සංවර්ධන බැකුව විසින් ලබා දී තිබේ.

එසේම අස්වැසුම වැඩසටහනේ කටයුතු සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ශක්තිමත් ඒකකයක් පවත්වා ගෙන යාමේ අවශ්‍යතාව මෙම සාකච්ඡාවේදී අවධානයට යොමු වූ අතර, දෙසැම්බර් මාසයේ අවසානය වන විට ප්‍රතිලාභ ගෙවීම් කටයුතු අවසන් කිරීමට සැලසුම් කර ඇති බැවින් ඒ සඳහා විශේෂ වැඩ සතියක් ප්‍රකාශයට පත් කිරීමට ද යෝජනා කෙරිණ.

මත්ද්‍රව්‍යට වැට බඳින නව බල අධිකාරියක් ගැන සාගල කියයි !

විදෙස් රටවලින් මෙරටට රැගෙන එනු ලබන මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම සඳහා ‘මත්ද්‍රව්‍ය විරෝධී’ බලඅධිකාරියක් ( Anti-Narcotic Command) ස්ථාපිත කරන බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්‍ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක පැවසීය.

ත්‍රිවිධ හමුදාව සහ රාජ්‍ය බුද්ධි සේවාව එක්ව විදෙස් බුද්ධි සේවාවන්ද සම්බන්ධ කර ගනිමින් අදාළ වැටලීම් සිදු කිරීමට අවශ්‍ය පහසුකම් සැලසීමට මෙමඟින් හැකියාව ලැබෙන බව ද සාගල රත්නායක  පෙන්වා දුන්නේය.

සාගල රත්නායක  මෙම අදහස් පළ කළේ පසුගියදා අත්අඩංගුවට ගනු ලැබූ රුපියල් බිලියන 4 ක් පමණ වටිනා හෙරොයින් කිලෝ 200ක ප්‍රමාණය කොළඹ වරායට අද (24) රැගෙන ආ අවස්ථාවේ එය නිරීක්ෂණය කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය හා එක්ව සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකින් ලද තොරතුරකට අනුව ශ්‍රී ලංකා වෙරළාරක්ෂක සමුද්‍රාරක්ෂා නෞකාව යොදවා ගාල්ලට බටහිර දෙසින් නාවික සැතපුම් 91 (කිලෝ මීටර් 168) දුරින් ගැඹුරු මුහුදේ සිදු කළ මෙහෙයුමකින් මෙම හෙරොයින් තොඟය අත්අඩංගුවට ගෙන මෙලස කොළඹ වරායට ගෙනවිත් තිබිණි.

මෙම ‘මත්ද්‍රව්‍ය විරෝධී’ ඒකකය ස්ථාපිත කිරීම සඳහා අවශ්‍ය නීති කෙටුම්පත් මේ වන විට සකස් කරමින් තිබෙන බවත් ඉදිරියේදී එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් සාගල රත්නායක  සඳහන් කළේය.

මත්ද්‍රව්‍ය පිළිබඳ වැටලීම් සිදු කරමින් අත්අඩංගුවට ගනු ලබන්නේ 65% ක් තරම් වන ප්‍රමාණයක් බවත් ඉතිරි 35%ක ප්‍රමාණය රටට ගෙන එනු ලබන බවත් පෙන්වා දුන් සාගල රත්නායක, මත්ද්‍රව්‍ය රටට ඇතුළුවීම සම්පූර්ණයෙන් වැළැක්වීම සඳහා නවීන වැඩපිළිවෙළක අවශ්‍යතාවය ද පැහැදිලි කළේය.

 එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සාගල රත්නායක මෙසේද පැවසීය .

හෙරොයින් කිලෝ 200 ක තරම් විශාල මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් නාවික හමුදාපතිතුමා ඇතුළු නාවික හමුදාවටත් පොලිස් මත්ද්‍රව්‍ය නිවාරණ කාර්‍යංශයටත් මා පළමුවෙන්ම සුබ පතනවා. පසුගිය දින කිහිපය තුළ මෙවැනි විශාල මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනුණු දෙවැනි අවස්ථාව මෙයයි. පළමු අවස්ථාවේදී වැටලීම සිදු කළේ පොලිස් මත්ද්‍රව්‍ය‍ කර්යාංශයේ තොරතුරකට අනුවයි. රාජ්‍ය බුද්ධි සේවය ලබා දුන් තොරතුරු අනුව නාවික හමුදාව විසින් මෙම වැටලීම සිදු කර තිබෙනවා. මත්ද්‍රව්‍ය ලෝකය පුරා විශාල ජාලයක් ලෙස පැතිර තිබෙනවා.

මත්ද්‍රව්‍ය උවදුරෙන් සිය ජනතාව බේරා ගැනීම සඳහා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. නාවික හමුදාව, පොලිසිය ඇතුළු අනෙක් රාජ්‍ය ආයතන සමඟ එක්ව ශ්‍රී ලංකාව මත්ද්‍රව්‍ය වැටලීම් සිදු කරනවා. මේ වැටලීම් සිදුකර අත්අඩංගුවට ගනු ලබන්නේ ශ්‍රී ලංකාවට ඇතුල් වන මත්ද්‍රව්‍යවලින් 65% ක් වගේ ප්‍රමාණයක්. ඉතිරි 35%ක ප්‍රමාණය රටට රැගෙන එනු ලබනවා.

දැනට තිබෙන තොරුතුරුවලට අනුව විශාල නෞකාවලින් ජාත්‍යන්තර මුහුදු සීමාවට මෙම මත්ද්‍රව්‍ය තොග ගෙනැවිත් කුඩා බෝට්ටු භාවිතා කරමින් රට තුලට ගෙන එනු ලබනවා. මත්ද්‍රව්‍ය ජාලය විශාල ලෙස පැතිර තිබෙනවා.

‍අනෙක් කරුණ වන්නේ මෙම මත්ද්‍රව්‍ය ජාවාරම් අතර ආයුධ වෙ‍ෙළඳාමත් සිදු වෙන්න පුළුවන්. මේ පිළිබඳවත් දැඩි අවධානයෙන් සිටිය යුතුයි. එය ජාතික ආරක්ෂාවට පවා ප්‍රශ්නයක් විය හැකියි. ඒ නිසා මේ පිළිබඳ නව නීති ගෙන ඒමට අවශ්‍යයි. මේ වන විට මත්ද්‍රව්‍ය විරෝධි ඒකකයක් නිර්මාණය කිරීමට කටයුතු කරනවා. ඒ සම්බන්ධව නීති සකස් කරමින් සිටිනවා. එය ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර කඩිනමින් බලාත්මක කිරීමට කටයුතු කරනවා.

නාවික හමුදාපති වයිස් අද්මිරල් ප්‍රියන්ත පෙරේරා  ඇතුළු නාවික හමුදාවේ උසස් නිලධාරීන් පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

IMG 20231024 WA0006

සමාජ මාධ්‍ය නියාමනයට අලුත් පනත් කෙටුම්පතක් !

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පත, තවත් කරුණු එක්කර අලුත් කෙටුම්පතක් ලෙස යළි කැබිනට් මණ්ඩලයේ අනුමැතියට ඉදිරිපත් කරන බවට මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් විසින් කැබිනට් මණ්ඩලයට ඊයේ (23) දැනුම්දී ඇතැයි වාර්තාවේ.

 ඊයේ (23) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ජා කර ඇතැයි ද පැවසේ.

කැබිනට් මණ්ඩලය විසින් අනුමත කිරීමෙන් පසු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් තමා මිට සති කිහිපයකට පෙර සිවිල් සංවිධාන හා මාධ්‍ය සංවිධාන නියෝජිතයින් පිරිසක් සමග සාකච්ජා කළ බවත්, ඔවුන්ගේ අදහස් හා යෝජනාද සැලකිල්ලට ගනිමින් ඉදිරිපත් කළ සංශෝධන, තමා විදේශගතව සිටියදී නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදීරිපත්කර ඇතත්, ඊට කැබිනට් අනුමැතිය ලැබී නොතිබීම මත නීතිමය ප්‍රශ්නයක් මතුව ඇති බවත් අමාත්‍ය ටිරාන් අලස් කැබිනට් මණ්ඩලය හමුවේ පැහැදිලි කර ඇතැයි ද වාර්තාවේ.

එම තත්ත්වය තුළ සමාජ මාධ්‍ය නියාමනය සඳහා අලුතින් පනත් කෙටුම්පතක් කැබිනට් අනුමැතිය සහිතව ඉදිරිපත්කරන බව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත දැනුම්දෙන්නයි තමා නිතිපතිවරයට දැනුම්දුන් බවද මහජන ආරක්ෂක අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයට දැනුම්දී ඇතැයි ද පැවසේ.

මෙම පනත් කෙටුම්පත සංශෝධනය කරනවා වෙනුවට මෙම පනත් කෙටුම්පත ඉල්ලා අස්කර ගෙන නව පනත් කෙටුම්පතක් ඉදිරිපත් කිරිමට කටයුතු කරන ලෙස ජනාධිපති නීතිඥ එම්.ඒ.සුමන්තිරන් අධිකරණය හමුවේ පසුගිය දා ප්‍රකාශකර තිබිණ.

නව තානාපතිවරු තිදෙනෙක් ජනපතිට අක්තපත්‍ර භාර දෙති

ලංකාවට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු තිදෙනෙක් අද (24) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ  වෙත සිය අක්තපත්‍ර භාර දුන්හ.

ස්විට්සර්ලන්තය, යුරෝපා සංගමය සහ ඉරානය සඳහා මෙලෙස නව තානාපතිවරුන් පත්ව සිටියි.

අද අක්තපත්‍ර භාරදුන් තානාපතිවරුන්ගේ නම් පහත දැක්වෙයි.

අතිගරු ආචාර්ය සිරි වොල්ෆ් මහත්මිය – ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපතිනිය
H.E. Dr (Ms) Siri Walf – Ambassador of Switzerland in Colombo
අතිගරු කාමන් මොරෙනෝ මහත්මිය – ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ තානාපතිනිය
H.E.Ms. Carmen Moreno – Ambassador of the European Union in Colombo
අතිගරු ආචාර්ය ඇලිරෙසා ඩෙල්කොෂ් මහතා -ශ්‍රි ලංකාවේ ඉරාන ඉස්ලාමීය ජනරජයේ තානාපති
H.E Dr. Alireza Delkhosh – Ambassador of the Islamic Republic of Iran in Colombo
විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය, ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Ambassador of European Union 06

රටවල් 7ක සංචාරකයින්ට නොමිලේ වීසා

රටවල් 7 ක සිට මෙරටට පැමිණෙන සංචාරකයින්ගෙන් වීසා ගාස්තු අය නොකිරීමට, කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.

එම රටවල් වන්නේ චීනය, රුසියාව, ඉන්දියාව, තායිලන්තය, ඉන්දුනීසියාව, මැලේසියාව සහ ජපානයයි.

විදෙස් සංචාරකයින්ගේ ආකර්ෂණය ඉහළ නැංවීමේ අරමුණින් එම තීරණය ගත් බව, සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු සඳහන් කළේ ය.

ඒ අනුව 2024 මාර්තු 31 දක්වා කාලය තුළ චීනය, ඉන්දියාව, රුසියාව, තායිලන්තය, ඉන්දුනීසියාව, මැලේසියාව හා ජපානය යන රටවලින් පැමිණෙන සංචාරකයන්ට නියමු ව්‍යාපෘතියක් වශයෙන් නොමිලේ වීසා නිකුත් කිරීමට නියමිතය.

විදේශ සංචාරකයන්ට ලෝක උරුම හා ඵෙතිහාසික ස්ථාන වෙත තදබදයකින් තොරව පහසුවෙන් ප්‍රවේශ වීමට ගාස්තු අය කරන ස්ථාන සියල්ල සඳහා එක වර ගෙවා මිල දී ගැනීමට පැකේජ ප්‍රවේශ පත්‍රයක් නිකුත් කිරීම ද එම ක්‍රියාමාර්ග අතර වේ.

මෙම ප්‍රවේශ පත්‍රය ගුවන්තොටුපොළේදී හෝ මාර්ගගත ක්‍රමය ඔස්සේ මිල දී ගැනීමට අවස්ථාව ලබා දෙයි.

තව ද, ශ්‍රී ලංකා දුම්රිය සේවයේ සංචාරක මැදිරි සඳහා අවශ්‍ය ප්‍රවේශ පත්‍ර මාර්ගගත ක්‍රමය ඔස්සේ හෝ එක වර ගෙවා ලබා ගන්නා පොදු ප්‍රවේශ පත්‍රයක් ලෙස ගුවන්තොටුපොළේදී ම මිල දී ගැනීමට අවස්ථාව සලසා දීම ද ඒ අතර වෙයි.

මෙම ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමෙන් ඉදිරි වසර 3ක කාලය තුළ වසරකදී ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින් සංඛ්‍යාව මිලියන 5ක් දක්වා වැඩි කර ගැනීමට අපේක්ෂා කෙරේ.

ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා සුවිශේෂී මුල්‍ය සහනයක් !

වයස අවුරුදු 60 ක් වන හෝ 60 ඉක්ම වූ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා සුවිශේෂී මුල්‍ය සහනයක් ලබාදීමේ ක්‍රියාපිළිවෙළක් ආරම්භ කළ බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව දන්වා සිටියි.

ඒ අනුව බැංකු හෝ මුල්‍ය ආයතන විසින් පොලී ආදායම් මත අඩුකරන ලද 05%ක් වූ අත්තිකාරම් ආදායම් බද්ද (AIT), ඔවුන්ට ආපසු ගෙවීමේ යාන්ත්‍රණයක් එම දෙපාර්තමේන්තුව විසින් දියත් කෙරෙනු ඇත.

වයස අවුරුදු 60 ක් වන හෝ 60 ඉක්ම වූ එමෙන්ම, වාර්ෂික ආදායම රු.1,200,000/- නොඉක්මවන (අප්‍රේල් 1 වන දින සිට ඊළඟ වර්ෂයේ මාර්තු 31 වන දින දක්වා) සහ සිය පොලී ආදායම මත අත්තිකාරම් ආදායම් බද්ද අඩුකර ඇති සියළුම ජ්‍යෙෂ්ඨ පුරවැසියෝ මෙම ආපසු ගෙවීම් සඳහා අයදුම්කිරීමට සුදුසුකම් ලබති.

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ට කාර්තුවට රු.25,000/- දක්වා වන උපරිම ආපසු ගෙවීමක් ඉල්ලා සිටිය හැකි ය.

එම ඉල්ලීම, 2023 අප්‍රේල් මස 1 වන දිනෙන් ආරම්භළඟ වර්ෂයේ මාර්තු මස 31 වන දිනෙන් අවසන් වන කාල සීමාවට අදාල විය යුතු ය.

ඒ අනුව සුදුසුකම් ලබන පුද්ගලයින් ප්‍රතිලාභ ලබා ගත හැකිය.

ආපසු ගෙවනු ලබන මුදල් ප්‍රමාණය ජ්‍යෙෂ්ඨ පුරවැසියාගේ නම් කරන ලද බැංකු ගිණුමෙහි සෘජුවම තැන්පත් කරනු ලබයි.

මෙම ආරක්ෂිත සහ කාර්යක්ෂම ක්‍රමය මඟින් අදාළ ආපසු ගෙවීම අපේකෂිත ලබන්නා වෙත ඉක්මනින් ළඟා වන බවට තහවුරු වේ.

අයදුම් කිරීමේ ක්‍රියාවලිය මේ සඳහා කැමැත්තක් දක්වන පුද්ගලයින් හට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වෙබ්අඩවියෙහි (www.ird.gov.lk) සඳහන් සරල අයදුම්පත සම්පූර්ණ කිරීමෙන් හෝ ආසන්නතම නගර කාර්යාලයට හෝ ප්‍රාදේශීය කාර්යාලය වෙත පැමිණ ආපසු ගෙවීම සඳහා ඉල්ලුම් කිරීමට හැකිය.

අයදුම්කරුවන් විසින් තම අනන්‍යතාව තහවුරු කරන ලේඛනයේ පිටපතක් වයස සනාථ කිරීමේ ලියවිල්ලක්, පොලී ආදායම දැක්වෙන බැංකු ප්‍රකාශන සහ අත්තිකාරම් ආදායම් බදු අඩුකිරීම් සනාථ කරනු ලබන ලේඛන ඇතුළු අවශ්‍ය කරන ලියකියවිලි ඉදිරිපත් කළ යුතු ය.

සමාලෝචනය සහ ක්‍රියාත්මක කිරීම ඉල්ලුම්පත භාරදුන් පසුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් ලියකියවිලි සමාලෝචනය කර සුදුසුකම් තහවුරු කරනු ලැබේ.

අයදුම්කිරීමේ ක්‍රියාවලිය පුරාවටම අයදුම්කරු හට මඟපෙන්වීම හා සහාය ලබාදීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කැපවී සිටියි.

අවශ්‍ය තැන්හි සහය ලබාදීමට, සේවාදායක සහාය කණ්ඩායම් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නගර හා ප්‍රාදේශීය කාර්යාලවල ද සුදානම් ව සිටිති.

වැඩිදුර විස්තර සඳහා http://www.ird.gov.lk වෙන පිවිසෙන්න. නැතහොත් 1944 ඔස්සේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ඇමතුම් මධ්‍යස්ථානය ඇමතිය හැකිය

සජබ තීරණයට එරෙහි හරීන්ගේ සහ මනූෂගේ පෙත්සම ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක් !

සිය පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට සමගි ජන බලවේගය ගත් තීරණය නීතියට පටහැනි යැයි ප්‍රකාශ කරන ලෙස ඉල්ලමින් හරීන් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාර යන අමාත්‍යවරුන් ඉදිරිපත් කළ පෙත්සම් විභාගය මේ මස 27 වනදා දක්වා කල්තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර ඇත.

ඒ අදාළ පෙත්සම අද (23) විජිත් මලල්ගොඩ, ගාමිණී අමරසේකර සහ අර්ජුන ඔබේසේකර යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේ ය.

එහෙත් අද, පෙර දින මෙම පෙත්සම් විභාගයට සහභාගි වූ විනිසුරු මඩුල්ල නිසියාකාරව සංයුක්ත වී නොමැති හෙයින් එම පෙත්සම් පිළිබඳ විභාගය ලබන 27 වනදා දක්වා කල් තැබීමට අධිකරණය නියම කළේය.

මෙම පෙත්සම කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර මනුෂ නානායක්කාර සහ හරීන් ප්‍රනාන්දු යන අමාත්‍යවරු අධිකරණය හමුවේ පෙනී සිටියහ.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ කිසිදු සාධාරණ පරීක්ෂණයකින් තොරව සිය පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට සමගි ජන බලවේගය ගත් තීරණය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවයි.

එබැවින් සිය පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට සමගි ජන බලවේගය ගත් තීරණය නීතියට පටහැනි යැයි තීන්දු කරන ලෙස ඉල්ලා හරීන් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාර යන අමාත්‍යවරුන් විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබේ.

නවතම ප්‍රදේශ 6කට පළමු මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවීම් !

අයහපත් කාලගුණ තත්ත්වය සමග ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නවතම ප්‍රදේශ 06ක් සඳහා පළමු මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ ඇල්ල ප්‍රදේශය සඳහා ඉදිරි පැය 24 දක්වා ක්‍රියාත්මක වන පරිදි මෙලෙස පළමු මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත.

එසේම මහනුවර දිස්ත්‍රික්කයේ තුම්පනේ ප්‍රදේශය සඳහා ද පළමු මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.

කෑගල්ල දිස්ත්‍රික්කයේ රඹුක්කන සහ වරකාපොළ ප්‍රදේශ සඳහා ද ඉදිරි පැය 24 සඳහා ක්‍රියාත්මක වන පරිදි පළමු මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත.

මේ අතර කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොල්ගහවෙල සහ රිදීගම ප්‍රදේශ සඳහා ද පළමු මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත.

වැඩි කළ විදුලි බිල ගෙවීමට ඇති කාලය දීර්ඝ කරන්න !

වැඩි කළ විදුලි බිල ගෙවීමට දී ඇති දින 40 ක කාලය දීර්ඝ කරන ලෙස පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය ඉල්ලා සිටියි.

ඒ බව දක්වමින් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ ගේ අත්සනින් යුතුව නිවේදනයක් නිකුත්කර ඇති අතර එය පහත දැක්වෙයි.

ශ්‍රී ලංකාවේ විදුලි පාරිභෝගිකයින් සංඛ්‍යාව ලක්ෂ 68 කි. මෙම වසරේදී දෙවතාවක් විදුලි ගාස්තු සංශෝධනය කරන ලද අතර 2022 වසරේදී මසකට ඒකක 180 ක් පරිභෝජනය කරන ලද විදුලි පාරිභෝගිකයෙකුගෙන් විදුලි බිල සදහා අයකරනු ලැබුවේ රුපියල් 3,755.00 ක මුදලකි. නමුත් විදුලි ඒකක 180 ක් පරිභෝජනය කරනු ලබන විදුලි පාරිභෝගිකයෙකුට මේවන විට ගෙවීමට සිදුවන මුදල ආසන්න වශයෙන් රුපියල් 10,500.00 කි. එම මුදල විශාල මුදලක් වන අතර එම විදුලි ගාස්තුව ගෙවීම සදහා පාරිභෝගිකයෙකුට ලබා දී ඇති කාලය දින 40 කි. ශ්‍රී ලංකාවේ මුහුණදී ඇති ආර්ථික පරිහානිය නිසා පවුල් කුටුම්බියක ආදායම සැළකිය යුතු මුදලකින් වැඩි වී නැති අතර බොහෝ විට පවුලේ ආදායම තවත් අඩුවී ඇත. 2022 ජනවාරි මාසයේදී විදුලි බිල් නොගෙවූ විදුලි පාරිභෝගිකයින් 253,465 ක් සදහා රතු නිවේදන නිකුත් කර ඇත.ඒ අනුව රතු නිවේදන නිකුත් කිරීම 60% කින් වැඩි වී තිබේ. එමගින් පෙනී යන්නේ මෙරට විදුලි පාරිභෝගිකයින්ට විදුලි බිල ‌ෙගවා ගැනීමට අපහසුතාවයක් ඇති බවයි.

විදුලි බිල කිහිපවතාවක් වැඩිකලද විදුලි බිල ගෙවීමට පාරිභෝගිකයාට ලබා දී ඇති කාලසීමාව වැඩි කිරීමට කිසිවිටකත් කටයුතු කර නැත. එම නිසා සමස්ත විදුලි පාරිභෝගිකයින් වෙනුවෙන් අපි රජයෙන් ඉල්ලා සිටින්නේ නිවසක මාසික විදුලි බිල ගෙවීම සදහා දැනට ලබා දී ඇති දින 40 ක කාලය දීර්ඝ කරන ලෙසත් විදුලි බිල කොටස් වශයෙන් ගෙවීම සදහා ක්‍රමවේදයක් සකසන ලෙසත්ය.

උද්ධමනයේ වාර්තාගත බැසීමක් !

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2023 සැප්තැම්බර් මාසය සඳහා ශ්‍රී ලංකාවේ ජාතික පාරිභෝගික මිල දර්ශකය (ජා.පා.මි.ද.) සහ මාසික පාරිභෝගික උද්ධමනය ප්‍රකාශයට පත් කර ඇති අතර ඊට අනුව 2023 අගෝස්තු මාසයේ දී 2.1 % ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමනය 2023 සැප්තැම්බර් මාසය සඳහා 0.8 % ක් දක්වා අඩු වී ඇත.

2023 අගෝස්තු මාසයේ දී -5.4 % ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 2023 සැප්තැම්බර් මාසය සඳහා -5.2 % ක් දක්වා වැඩි වී ඇත.

එමෙන්ම, අගෝස්තු මාසයේ දී 9.0 % ක් වූ ආහාර නොවන කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය ද සැප්තැම්බර් මාසයේ දී 5.9 % ක් දක්වා පහළ වැටී ඇත.

වී අලෙවි මණ්ඩලේ ලක්ෂ දහසක් වටිනා වී තොග අතුරුදහන් !

වී අලෙවි මණ්ඩලයේ ගබඩා පහක තිබූ රුපියල් ලක්ෂ දහසක් වටිනා වී තොග අතුරුදන්ව ඇති බව වාර්තා වෙයි .

අදාල සොරකම සම්බන්ධයෙන් වී අලෙවි මණ්ඩලයේ අභ්‍යන්තර සේවක පිරිසක් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීරට පැමිණිලි කර තිබෙන බවත් වාර්තා වෙයි .

වැඩිදුරටත් වාර්තා වන ආකාරයට කුරුණෑගල දිස්ත්‍රික්කයේ වී ගබඩා පහක අදාළ සොරකම සිදුව ඇත.

මෙම සොරකම සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක් දින තුනක් ඇතුළත ලබා දෙන ලෙස කෘෂිකර්ම කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර විසින් වී අලෙවි මණ්ඩලයේ සභාපතිවරයාට නියෝග කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි .

අදාළ වාර්තාව ලැබුණු වහාම මේ සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් කිරීම සඳහා රහස් පොලිසියට බාරදෙන බව කෘෂිකර්ම අමාත්‍යවරයා එහිදී සඳහන් කර තිබේ.

2020 -2021 කාල පරිච්ඡේදයේ මිලදී ගත් වී තොගයක් මෙලෙස අස්ථානගත වී ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.

Page 139 of 460