පුවත්
ඕස්ට්‍රේලියානු කාන්තාව ධනුෂ්කගේ පෙර ආත්මයත් කියලා !
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක සහ ඔහුට එරෙහි චෝදනා එල්ල කරන ඔස්ට්‍රේලියානු කාන්තාව අතර පළමු හමුවේ සීසීටීවී දර්ශන අද (20) ප්‍රථම වරට මාධ්‍යයට නිකුත් කර ඇත .
අත්අඩංගුවට ගත් පළමු දිනයේ ධනුෂ්ක පොලීසියට ප්‍රකාශ කර ඇත්තේ, එම රැයේ දී ඇය තමා ගේ පෙර භවය ගැන ද පැවසු බවයි.
කෙසේ වෙතත් විදෙස් මාධ්‍ය වාර්තා අනුව ධනුෂ්ක ගුණතිලකගේ නඩු විභාගය හෙටින් අවසන් වීමට නියමිතය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහි නඩුව සිඩ්නි නුවර ඩවුනින් සෙන්ටර් දිස්ත්‍රික් අධිකරණයේ දී සාරා හගට් විනිසුරුවරිය ඉදිරියේ අද තුන්වැනි දිනටත් විභාග කෙරිණි.
එහි දී ධනුෂ්ක අත්අඩංගුවට ගත් දින ඔස්ට්‍රේලියානු පොලිසියට දුන් පැය දෙක හමාරක ප්‍රකාශය අධිකරණයට ඇසීමට සලස්වනු ලැබිණි.
එහි දී ධනුෂ්ක පොලිසියට පවසා තිබුණේ, තමාට චෝදලා එල්ල කරන කාන්තාව ඇගේ නිවසේ දී හමු වූ රාත්‍රියේ තමා සහ ඇය පෙර භවයක අසල්වාසින් ලෙස සිටි බව පැවසූ බවයි.
තමන් ඇය සමඟ තායිලන්තයේ අසල්වාසීන් ලෙස පෙර භවයක සිටි බවට පැවසීමත් සමඟ ඇය ගේ ගුප්ත හැසිරීම ගැන බියක් ඇති වූ බව ධනුෂ්ක අත්අඩංගුවට ගත් දිනයේදීම ඔස්ට්‍රේලියානු පොලිසියට ප්‍රකාශ කර තිබේ.
අලුයම 03ට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම රැඳී සිටි හෝටලයට යා යුතු බව තමා ඇයට පැවසූ බවත් ඇගෙන් වෙන් වීම ඉතා සුහද ආකාරයෙන් සිදු වූ බවත් ධනුෂ්ක පොලිසියට දුන් ප්‍රකාශයේ සඳහන්ය.
එමෙන්ම තම හෝටලයට යාම සඳහා කුලී රථය ගෙන්වා දුන්නේ ද එම කාන්තාව විසින් බව ධනුෂ්ක පොලිසියට පවසා තිබිණි.
ධනුෂ්ක දුන් සාක්ෂියේ වැඩිදුරටත් සඳහන් වන්නේ, තමාට කාන්තාව එල්ල කරන ලද අනාරක්ෂිත ලිංගික ක්‍රියා චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි.
අධිකරණයේ දී අද අනාවරණය වූ තවත් කරුණක් වන්නේ, අදාළ කාන්තාව ගේ පැමිණිල්ල දුරකථනය ඔස්සේ ලියාගත් පොලිස් කාන්තාව එම සටහන් ඉරා විසිකොට ඇති බවයි.
සිඩ්නි නුවර රෝස් බේ පොලිස් ස්ථානයට අනුයුක්ත එම පොලිස් කාන්තාව ධනුෂ්ක ගුණතිලක ගේ නිතිඥ මුරුගන් තංගරාජ් යොමු කළ හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් එය පිළිගනු ලැබීය.
එය අත්වැරදීමක් ලෙස සඳහන් කළ ඇය, අදාළ කාන්තාවට ලිංගික අපයෝජන චෝදනාවක් ඉදිරිපත් කරන ලෙසට යෝජනාවක් කළේ දැයි ධනුෂ්ක ගේ නීතිඥයා නැඟූ ප්රශ්නය පොලිස් කාන්තාව විසින් ප්‍රතික්ෂේප කර ඇත.
එමෙන්ම ධනුෂ්ක විසින් අනාරක්ෂිත ලිංගික ක්‍රියාවක් සිදු කළ බවට අදාළ කාන්තාව මූලික පැමිණිල්ලේ සඳහන් නොවන්නේ මන්දැයි නීතිඥයා මෙහි දී විමසා තිබේ.
මේ අතර, ධනුෂ්ක ගුණතිලක සහ අදාළ කාන්තාව පළමුවෙන් හමුවූ දිනයේ සීසීටීවී. දර්ශන අද පළමු වරට අධිකරණය විසින් මාධ්‍යයට අනාවරණ කළේය.
කෙසේ වෙතත් මෙම නඩු විභාගය හෙට අවසන් වීමට නියමිතය.
තිරසර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමේ ප්‍රගතිය ගැන ජනාධිපති ගේ නොසතුට !
තිරසර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීමේ ගෝලීය ප්‍රගතිය පිළිබඳ සෑහීමකට පත්විය නොහැකි අතර ඊට අදාළව පෙන්නුම් කරන්නේ 12%ක ප්‍රගතියක් පමණක් බවත් අනෙකුත් තීරණාත්මක ඉලක්කවලින් 30%ක් තවමත් සපුරාගෙන නොමැති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පෙන්වා දුන්නේය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසිවාරයට සමගාමීව ඊයේ (19) ආරම්භ කෙරුණු තිරසර සංවර්ධන ඉලක්ක පිළිබඳ 2023 සමුළුව අමතමිනි.
එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් විසින් 2015 දී සම්මත කර ගන්නා ලද තිරසර සංවර්ධන ඉලක්ක 17ක් ඇතුළත් තිරසර සංවර්ධනය සඳහා වූ න්‍යාය පත්‍රයේ පසුබිම පිළිබඳ මෙහිදී අවධානය යොමු කළ ජනාධිපතිවරයා එම වසරේම COP21 හි රටවල් 196 විසින් සම්මත කරගන්නා ලද පැරිස් ගිවිසුම තවත් සුවිශේෂී ගෝලීය මුලපිරිමක් බව ද සඳහන් කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේ ද පැවසීය.
තිරසර සංවර්ධන ඉලක්ක ළගා කර ගැනීමට අප කැපවී සිටියද සම්පත්වල මතුව ඇති දැඩි හිඟය ඊට බාධාවක් වී තිබෙනවා.
එසේම 2020දී මුහුණදීමට සිදු වූ ගෝලීය වසංගත අපේක්ෂිත ඉලක්ක කරා ළගා වීම තවදුරටත් පසුබෑමට ලක්කර තිබෙනවා. ඒ නිසා සීමිතව පැවති සම්පත් තවදුරටත් සීමිත වුණා.
වසංගත තත්ත්වය මගින් පෙර පැවති ගෝලීය ණය අර්බුදය තවදුරටත් උග්‍ර කළ අතර එම තත්ත්වය ශ්‍රී ලංකාව ඇතුළුව ලෝකයේ බොහෝ රටවල් බංකොලොත්භාවයට ඇද දැමුවා.
දැන් මතුව ඇති ප්රශ්නය වන්නේ වත්මන් තත්ත්වය තුළ තිරසර සංවර්ධන ඉලක්ක ළගා කර හැකිද යන්නයි.
අප ශ්‍රී ලංකාව උදාහරණයක් ලෙස ගතහොත්, 2019 දී මෙම ඉලක්ක සපුරා ගැනීම සඳහා අපගේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 9%ක් ආයෝජනය කිරීම ප්‍රමාණවත් වනු ඇතැයි අප ඇස්තුමේන්තු කර තිබුණා.
කෙසේ වෙතත් කොවිඩ් වසංගතය හමුවේ සිදු වූ ආර්ථික බිඳ වැටීම හා ඉන් අනතුරුව මුහුණදීමට සිදුවූ ආර්ථික අර්බුදය මෙම ඉලක්ක සාක්ෂාත් කර ගැනීමට මහත් බාධාවක් වූ බව කිවයුතුයි.
එසේම ශ්‍රී ලංකාවේ දේශගුණික සෞභාග්‍ය සැලැස්ම 2030 ට පෙර ක්‍රියාත්මක කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියන 26.5 ක සැලකිය යුතු ආයෝජනයක් අවශ්‍යයි. එය සපුරා ගැනීම ද විශාල අභියෝගයක්.
මෙම දරුණු ආර්ථික ගැටලුකාරී තත්ත්වයට ශ්‍රී ලංකාවට පමණක් නොව ආසියාවේ සහ අප්‍රිකානු බොහෝ රටවලට ද මුහුණදීමට සිදුව තිබෙනවා. බංකොළොත්භාවයෙන් මිදීමට සමත් රටවල් පවා මෙම අර්බුදය හමුවේ දරුණු ප්‍රතිවිපාකවලට මුහුණදෙමින් සිටිනවා.
සංවර්ධනය වෙමින් පවතින රටවලට 2030 වන විට ඩොලර් ට්‍රිලියන 5.9ක මුල්‍ය සම්පාදනයක් අවශ්‍ය බව G20 සමුලුව මෑත කාලීනව පෙන්වා දී තිබෙනවා. මීට අමතරව, 2050 වන විට ශුද්ධ ශුන්‍ය විමෝචනය සාක්ෂාත් කර ගැනීම සඳහා පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්රයට පිවිසීම සඳහා ඩොලර් ට්‍රිලියන 4 ක වාර්ෂික ආයෝජනයක් අවශ්‍ය වෙනවා.
බොහෝ ජාතීන්ට බලපා ඇති පෙර නොවූ විරු මූල්‍ය ව්‍යසනය හමුවේ මෙම ඉලක්ක සපුරා ගත හැකිද යන්න පිළිබඳ විවේචනාත්මක පරීක්ෂණයක් සිදු කරන ලෙස මම ඉල්ලා සිටිනවා.නව ගෝලීය මූල්‍ය පනත සඳහා වූ පැරිස් සමුළුව මූල්‍ය අභියෝගවලට මුහුණ දීමේ සහතිකයක් වනු ඇති බවත් මම විශ්වාස කරනවා.
කෙසේ වෙතත්, ගෝලීය මූල්‍යකරණයේ මෙම සංකීර්ණ සහ භයංකර තත්ත්වය හමුවේ මතුව ඇති අභියෝග ජය ගැනීමට මෙම තීරණාත්මක ක්‍රියාමාර්ගවලට ප්රවේශවීමේ කඩිනම් අවශ්‍යතාවය අවධාරණය කිරිමට කැමතියි.
ජනපති සහ නේපාල අගමැති හමු වෙති !
ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ නේපාල අග්‍රාමාත්‍ය පුෂ්ප කමල් දහාල් අතර නිල හමුව එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසිවාරයට සමාගාමීව අද (20) නිව්යෝර්ක් නුවරදී සිදු විය.
දෙරට අතර අතීතයේ සිට පවතින දේශපාලනික, ආර්ථික සහ වෙළෙඳ සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීම පිළිබඳව මෙහිදී නායකයන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ අතර මෙම වසරේ අවසානයේ පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා-නේපාල ඒකාබද්ධ කොමිසමේ සමාරම්භක සැසිය ඒ සඳහා ඉතා වැදගත් පියවරක් වනු ඇති බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ ය.
ශ්‍රී ලංකාව සහ නේපාලය අතර ද්විපාර්ශ්වික සබඳතා ඉදිරියේ දී ශක්තිමත්ව ඉදිරියට ගමන් කරනු ඇති බවට මෙහිදී විශ්වාසය පළ කළ නේපාල අග්‍රාමාත්‍යවරයා දෙරට අතර වෙළෙඳ සහ ආයෝජන සබඳතා ශක්තිමත් කර ගැනීමට ඇති හැකියාව පිළිබඳව ද අදහස් දැක්වීය.
ශ්‍රී ලංකා සහ නේපාල ජනතාව අතර ආගමික හා සංස්කෘතික වශයෙන් බොහෝ සමානතාවයන් පවතින බවත්, දෙරට අතර සබදතා පුළුල් කර ගැනීමේ දී එය මනා රුකුලක් වනු ඇති බවත් මෙහිදී නායකයන් දෙපළ පිළිගත්හ.
එසේම ශ්‍රී ලංකාව සහ නේපාලය අතර අධ්‍යාපන අවස්ථා ඉහළ නංවා ගැනීම මගින් අන්තර් පුද්ගල සබඳතා වැඩි දියුණු කර ගැනීම සහ සංචාරක ක්ෂේත්රයේ සබඳතා වර්ධනය කර ගැනීම පිළිබඳව ද විශේෂ අවධානයක් යොමු කෙරුණු අතර බහුපාර්ශ්වික සංසදවලදී දෙරට අතර සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳව ද නායකයන් විසින් සාකච්ඡා කරන ලදී.
විදේශ අමාත්‍ය අලි සබ්රි, නිව්යෝර්ක් හි එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත මොහාන් පීරිස් යන මහත්වරු සහ ශ්‍රී ලංකාවේ සහ නේපාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් මෙම හමුවට එක්ව සිටියහ.
ලංකාව මෙච්චර ඉක්මනින් ණය ගෙවයි කියා හිතුවේ නෑ !
ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ බංග්ලාදේශ අගමැතිනි ෂෙයික් හසීනා අතර නිල හමුව ඊයේ (19) නිව්යෝර්ක් නුවරදී සිදු විය.
දකුණු ආසියානු කලාපීය රටවල් දෙකක් ලෙස දෙරට අතර සහයෝගීතාව පුළුල් කර ගැනීමේ වැදගත්කම මෙහිදී රාජ්‍ය නායකයෝ දීර්ඝ ලෙස සාකච්ඡා කළහ.
පසුගිය කාලයේ බංග්ලාදේශයෙන් ලබාගත් ණය, මෙතරම් කෙටි කාලයකදී ගෙවා නිම කිරීමට ශ්‍රී ලංකාවට හැකි වනු ඇතැයි තමා නොසිතූ බව මෙහිදී පැවසූ බංග්ලාදේශ අගමැතිනිය එම ණය ගෙවා නිම කිරීමෙන් පැහැදිළි වන්නේ ශ්‍රී ලංකාව ක්‍රමිකව උදාකරගෙන ඇති ආර්ථික ප්‍රගතිය බවත් එය අඛණ්ඩව ඉදිරියට පවත්වාගෙන යාමෙන් ශ්‍රී ලංකාවට වඩා යහපත් තත්ත්වයක් උදාකරගත හැකි බවත් පෙන්වා දුන්නාය.
පසුගිය අභියෝගාත්මක කාලවකවානුවේ දී බංග්ලාදේශය ශ්‍රී ලංකාවට දැක්වූ නොසැලෙන සහයෝගය පිළිබඳව මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ අගමැතිනි ෂෙයික් හසීනා සහ බංග්ලාදේශ ජනතාව වෙත සිය කෘතඥතාව පළ කළේය.
එහිදී බංග්ලාදේශයෙන් ශ්‍රී ලංකාවට හිමි වූ අඛණ්ඩ සහාය සිහිපත් කළ ජනාධිපතිවරයා බංග්ලාදේශයේ ත්‍යාගශීලී ගුණය පිළිබඳව සිය බලවත් ප්‍රසාදය පළ කර සිටියේය.
මීට ඉහතදී බංග්ලාදේශයේ නිල සංචාරයක නිරත වන ලෙස ආරාධනා ලැබුණද නොවැළැක්විය හැකි හේතුන් මත ඒ සඳහා අවස්ථාව අහිමි වූ බව පැවසූ ජනාධිපතිවරයා මෙම වසර අවසන් වීමට පෙර බංග්ලාදේශයේ නිල සංචාරයක නිරත වීමට අපේක්ෂා කරන බව ද පැවසීය.
විශේෂඥ වෛද්‍යවරුන් ප්‍රමාණය වැඩි කිරීමට පියවර !
පුහුණුව සඳහා බඳවා ගන්නා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව වැඩි කිරීමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා උපදෙස්දී ඇති බව වැඩබලන නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය ජී විජේසූරිය පවසයි .
සාමාන්‍යයෙන් විශේෂඥ වෛද්‍යවරයකු පුහුණු කිරීම සඳහා වසර පහක පමණ කාලයක් ගත වන බවත් වසර පහකදී මෙම ප්රශ්නය අනිවාර්යෙන්ම විසඳීමට ඒ අනුව හැකියාව ලැබෙන බවත් ඔහු සඳහන් කරයි.
ඉදිරියේදී වෛද්‍යවරුන් විශාල පිරිසක් මෙරටට පැමිණීමට නියමිත බව පැවසූ විජේසූරිය මහතා එම පිරිස පැමිණි පසු මෙම අර්බුදකාරි තත්වයට විසඳුම් ලැබෙනු ඇති බවටද ඔහු විශ්වාසය පළ කර සිටියි.
පුහුණුව ලැබීම සඳහා වෛද්‍යවරුන් 600 ක පමණ පිරිසක් විදේශගතව සිටින බවත් මෙම පිරිසෙන් කොටසක් නොපැමිණෙන බවත් ඔහු සඳහන් කළේය.
නමුත් ඉන් සියයට 50ක් පැමිණියත් ප්‍රශ්නයට විසඳුම් ලැබෙන බව පැවසූ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා එම පිරිස තව වසරකින් පැමිණීමට නියමිත බවද ප්‍රකාශ කළේය.
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 6ක මිල පහළට
අත්‍යවශ්‍ය පාරිභෝගික අහාර ද්‍රව්‍ය කිහිපයක මිල පහළ දැමීමට ලංකා සතොස පියවර ගෙන තිබේ.
ඒ අනුව සොයා මීට්, දේශීය අර්තාපල්, හාල්මැස්සන් ඇතුළු අහාර ද්‍රව්‍ය 6ක මිල පහළ දැමීමට සතොස පියවර ගෙන ඇත.
නව මිල ගණන් අද (සැප්. 20) සිට ක්‍රියාත්මක ය.
සොයා මීට් කිලෝවක් රුපියල් 45කින් පහළ දමා ඇති අතර එහි නව මිල රු 580කි. දේශීය අර්තාපල් කිලෝවක් රුපියල් 40කින් පහළ දමා ඇති අතර නව මිල රු 290කි.
එමෙන් ම, හාල්මැස්සන් කිලෝවක් රුපියල් 30කින් පහළ දමා ඇති අතර නව මිල රු 1,100කි. සුදුළූණු කිලෝවක් රුපියල් 30කින් පහළ දමා ඇති අතර එහි නව මිල රු 620කි.
ලොකු ළූණු කිලෝවක් ද රුපියල් 15කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 195කි. රතු පරිප්පු කිලෝවක් රුපියල් 6කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 299ක් දක්වා පහළ ගොස් ඇත.
ලංකා රජය සහ මෙටා සමාගම අතර සහයෝගීතාව පුළුල් කර ගැනීමට අවධානය
ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ නිව්යෝර්ක්හි මෙටා (Meta) සමාගමේ ගෝලීය සම්බන්ධතා අංශයේ සභාපති ශ්‍රීමත් නික් ක්ලෙග් (Sir Nick Clegg) අතර හමුවක් ඊයේ (19) නිව්යෝර්ක් නුවර දී සිදු විය.
අන්තර්ජාලය ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ පළවන වෛරී ප්‍රකාශ සහ අසත්‍ය ප්‍රචාර මැඩ පැවැත්වීම සඳහා ශ්‍රී ලංකා රජය ගෙන ඇති නව ක්‍රියාමාර්ග පිළිබඳව ජනාධිපතිවරයා මෙහිදී පැහැදිළි කළේය.
ඒ වෙනුවෙන් ඉදිරියේ දී හඳුන්වාදීමට යෝජිත පනත මඟින්, බලපෑමට ලක්වූවන්ට ශ්‍රේෂ්ඨාධිකරණය හරහා ක්‍රියාමාර්ග ගත හැකි බව ද ජනාධිපතිවරයා පැවසීය.
එසේම පාර්ලිමේන්තු කාරක සභා සමාලෝචනයේදී මෙම පනතට තවත් සංශෝධන එක් කළ හැකි බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණ අංශයේ සංවර්ධනය සඳහා ශ්‍රී ලංකාවේ සැලසුම් පිළිබඳ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙහිදී දීර්ඝ වශයෙන් විස්තර කරනු ලැබීය.
ශ්‍රී ලංකා රජය සහ මෙටා සමාගම අතර කෘත්‍රිම බුද්ධි (AI) ක්ෂේත්රයේ හවුල්කාරිත්වයක් ඇති කර ගැනීමේ අවස්ථා සොයා බැලීමටත්, ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල සංවර්ධනය කිරීමට මෙටා සමාගම සමඟ සහයෝගීතා වැඩසටහනක් ඇති කර ගැනීමටත් මෙහිදී යෝජනා විය.
දේශගුණික විපර්යාස අවම කිරීම සඳහා දත්ත මත පදනම් වූ වැඩසටහන් සංවර්ධනය කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක වැඩසටහන් සඳහා කෘත්‍රිම බුද්ධිය ( AI) භාවිතා කරන අතරම, අධ්‍යාපනය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් මෙරට කෘත්‍රිම බුද්ධි (AI) ක්ෂේත්රය සංවර්ධනය කිරීම තම අවධානය යොමු කළ ප්‍රධාන ක්ෂේත්‍ර දෙක බව ද ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
දේශගුණ විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ආයෝජන මණ්ඩලයේ සභාපති දිනේෂ් වීරක්කොඩි සහ ජනාධිපති ජාත්‍යන්තර කටයුතු පිළිබඳ අධ්යක්ෂ දිනුක් කොළඹගේ යන අය මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ලංකාවේ ආර්ථිකය යළි ගොඩ නැගීමේ වැඩපිළිවෙළට සහය දෙනවා - දකුණු කොරියානු ජනපති
ආර්ථිකය යළි ගොඩ නැගීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගෙන යන වැඩපිළිවෙළට සහය දෙන බව දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෙයෝල් පවසයි.
දකුණු කොරියානු ජනාධිපතිවරයා මේ බව පවසා ඇත්තේ, නිව්යෝර්ක්හි එක්සත් ජාතීන් සඳහා වන දකුණු කොරියානු නිත්‍ය නේවාසික දූත මණ්ඩල කාර්යාලයේදීය.
ශ්‍රී ලංකාව මුහුණ දුන් දරුණු ආර්ථික අර්බුදයෙන් රටත්, ජනතාවත් නිදහස් කර ගැනීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගෙන යන වැඩපිළිවෙළ දකුණු කොරියානු ජනාධිපතිවරයා අගය කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය.
ශ්‍රී ලංකාවට, දකුණු කොරියාව ලබා දී ඇති රැකියා කාණ්ඩ ප්‍රමාණය වැඩි කිරීමට අපේක්ෂා කරන බව දකුණු කොරියානු ජනාධිපතිවරයා එහිදී පැවසු බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් විය.
ශ්‍රී ලංකාව සහ දකුණු කොරියාව අතර වෙළෙඳ සහ ආයෝජන සබඳතා වැඩිකර ගැනීම පිළිබඳව ද නායකයන්ගේ විශේෂ අවධානය යොමුව තිබේ.
දකුණු කොරියාවේ නිල සංචාරයකට එක්වන්නැයි ද දකුණු කොරියානු ජනාධිපතිවරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහට ආරාධනා කළේ ය.
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වන සැසිවාරයට සහභාගි වීමට ජනාධිපතිවරයා මේ දිනවල අමෙරිකාවේ රැඳී සිටි.
අත්‍යවශ්‍ය සේවා කිහිපයක් නම් කරමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක්
අත්‍යවශ්‍ය සේවා කිහිපයක් නම් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් අද (සැප්. 18) නිකුත් කර ඇත.
ඒ අනුව, විදුලි බල සැපයීම සම්බන්ධව සියලු සේවා, ඛනිජ තෙල් නිෂ්පාදනය හා ඉන්ධන සැපයීම හෝ බෙදා හැරීම, රෝහල්වලට, සාත්තු නිවාසවල, බෙහෙත් ශාලා සහ වෙනත් සමාන ආයතනවල රෝගීන් නඩත්තු කිරීම සහ පිළිගැනීම, රැකවරණය, පෝෂණය කිරීම සහ ප්‍රතිකාර කිරීම සම්බන්ධ ව සියලු සේවා මෙලෙස අත්‍යවශ්‍ය සේවා බවට පත් කර ඇත.
වැඩබලන ජනාධිපති ලේකම් චාන්දනී විජේවර්ධනගේ අත්සනින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.
අඩු ආදායම්ලාභීන්ගේ විදුලි බිලට සහනයක් !
ශ්‍රී ලංකාවට පුනර්ජනනීය බලශක්ති ව්‍යපෘති වෙනුවෙන් ගතහැකි හරිත මූල්‍ය පහසුකම් සහ අඩුආදායම් ලාභී පවුල්වල විදුලි බිල තුළනය කිරීමට අනුගමනය කළ හැකි ක්‍රමවේදයන් පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට නේවාසික නියෝජිත මාර්ක් ඇන්ඩ්‍රේ ෆ්‍රැන්චේ සමඟ සාකච්ඡා කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි .
අදාළ සාකච්ඡාව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේදී අද (18) පවත්වා ඇත.
පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන් රජයේ ප්‍රතිපත්ති සහ සැළසුම්, විදුලිබල ක්ෂේත්රයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවට අදාල ආකෘතිය සහ ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළට සංවර්ධන නියෝජිත ආයතන ලබාදෙන සහය ආදිය පිළිබඳව ද එහිදී සාකච්ඡා කළ බව ද අමාත්‍යවරයා සඳහන් කළේය .
ප්‍රවීන නිවේදිකා රම්‍යා ශ්‍රියාණි අභාවප්‍රාප්ත වෙයි
සේවා සම්මානිත ගුවන් විදුලි නිවේදිකාවක, හඬ රංගනවේදිනියක මෙන්ම ගුවන්විදුලි නාට්‍ය ශිල්පිණියක් හා ප්රවෘත්ති ප්‍රකාශිකාවක ද වන රම්‍යා ශ්‍රියාණි පතිරණ මහත්මිය අද(18) අභාවප්‍රාප්ත වූවාය.
මියයන විට ඇය පසුවූයේ 64 වැනි වියේය.
1979 දී ගුවන් විදුලි නාට්‍ය හා විචිත්රාංග ශිල්පිනියක ලෙසින් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවට එක්වූ ඇය, 1981 දී සහය නිවේදක මණ්ඩලයට ඇතුළත් විය.
1988 දී ගුවන් විදුලි දෙවැනි ශ්‍රේණියේ ස්ථිර නිවේදිකාවක වූ රම්‍ය ශ්‍රියානි පතිරණ මහත්මිය 1994 දී පළමු ශ්‍රේණියේ නිවේදිකාවක ලෙස ගුවන් විදුලිය තුළ තම දක්ෂතාව දැක්වූවාය.
2015-2016 වසර තුළ ඉහළ ශ්‍රේණිගත නිවේදන ශිල්පිනියක වූ ඇය, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වෙළෙඳ සේවයේ වසර 38 ක් නිවේදිකාවක ලෙස සේවය කළාය.
හදිසියේ ඇතිවූ රෝගී තත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළුත් කිරීමේන අනතුරුව ඇය අද(18) අළුයම ඇය අභාවප්‍රාප්ත විය.
දේහය අද පස්වරු 2.00 සිට පන්නිපිටිය, ඇරව්වල උස්වත්ත මැදපාර, අංක 304/2 දරණ නිවසේ තැන්පත් කෙරේ. අවසන් කටයුතු පසුව දැනුම් දෙන බව පවුලේ ඥාතීන් පැවසීය.
ලවක් දෙවක් නැතුව පොලිසියට බනින අයට ටිරාන් කිව්ව කතාව !
සමහරුන් පොලීසියට කොතරම් බැන වැදුනද, අවසානයේ තමාට යම් අසාධරණයක් සිදු වූ විට තමාගෙ පිහිටට සිටින්නේද ශ්‍රී ලංකා පොලිසිය පමණක්ම බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් අවධාරණය කළේය.
අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ පොල්පිතිගම පොලිස් ස්ථානයේ නව ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවය අමතමිනි .
මෙහිදී මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා වෙත උත්තමාචාර පිළිගැන්වීමත්, සර්වාගමික වතාවත්වලට සහභාගී වීමෙන් අනතුරුව නව ගොඩනැගිල්ලෙහි සමරු ඵලකය නිරාවරණය කිරීම සිදු කළේය.
ඉන් අනතුරුව නව ගොඩනැගිල්ලෙහි නිරීක්ෂණ චාරිකාවක නිරත වූ මහජන ආරක්ෂක අමාත්‍ය වරයා, ඒ හා සමගාමීව පොල්පිතිගම පොලිස් ස්ථානය විසින් සංවිධානය කර තිබූ රුක් රෝපණ වැඩසටහනකට සහ මහජන හමුවකට සහභාගී විය.
මෙම මහජන හමුව අමතමින් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් ප්‍රකාශ කර සිටියේ, වසර ගණනාවක් අවශ්‍යතාවයක්ව තිබූ නව ගොඩනැගිල්ල නිම කොට ලබා දීමට හැකි වීම ගැන සතුටු වන බවත්, පසු ගිය වසරේ මැයි මාසයේ අමාත්‍යාංශයේ වගකීම භාර ගන්නා විට රට ව්‍යාකූල තත්වයක පැවති බවත්, පොලිස් නිලධාරීන්ගේ ගෞරවය හා අභිමානය පිරිහී තිබුණු බවත්, පසු ගිය අවුරුද්ද පුරාවටම කළ කී දෑ නිසා අද පොලිස් නිලධාරීන්ගේ ගෞරවය සහ අභිමානය නැවත ඉහල නංවා තැබීමට හැකී වූ බවත් ය.
වැඩි දුරටත් අදහස් දක්වමින් අමාත්‍ය වරයා ප්‍රකාශ කර සිටියේ, පොලිස් නිලධාරීන්ගේ බටා දීමනාව ලබා දීම, ශ්‍රී ලංකා පොලීසියට නව ජීප් රථ 500ක් ලබා දීම වැනි කරුණු නිසා පොලිස් නිලධාරීන්ගේ සුබසාධනය ඉහල නැංවීමට හැකි වූ බවද, එයට ප්‍රති උපකාරයක් ලෙස සියළුම පොලිස් නිලධාරීන්ගෙන් පොලිස් සේවයට අවංක සහ ගුණාත්මක සේවයක් තමන් අපේක්ෂා කරන බවත්, මත් ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ මැඩලීම සඳහා ක්‍රියාත්මක වීම අපේක්ෂා කරන බවත් ය.
මෙවර උසස්පෙළ විභාගයේ වාණිජ අංශයේ කුරුණාගල දිස්ත්‍රික් ප්‍රථමයා මෙන්ම දිවයිනේම 12 වැනි ස්ථානය හිමි කරගත්, පොලිස් නිලධාරියෙකුගේ දියණියක වන කුරුණෑගල ශුද්ධ වූ පවුලේ බාලිකා මහා විද්‍යාලයේ එම් සාවින්දි පූර්ණිමා ජයවර්ධන දියණියට අමාත්‍ය ටිරාන් අලස් විසින් විශේෂ ඇගයීමේ ත්‍යාගයක් පිරිණැමීමද මෙම අවස්ථාවේ සිදු කෙරිණි.
කවුදෝ කෙනෙක් සජිත්ට අගමැති වෙන්න කියා ආරාධනා කරලා !
ආන්ඩුවේ අගමැති කම බාර ගන්නා ලෙස අදට ද ඇතැමුන් තමන්ට යෝජනා කරන නමුත් ප්‍රතිපත්ති කඩ කරමින් පෞද්ගලික බඩගෝස්තරවාදය වෙනුවෙන් ජනාධිපතිකම් අගමැතිකම් භාර ගැනීමට තමන් සූදානම් නැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
එනිසා සක්විති කම රජකම දෙන බව පැවසුවත් ජනවරමකින් තොරව ජනාධිපතිකම හෝ අගමැති කම බාර ගැනීමට තමන් සූදානම් නැති බව ද ඔහු සඳහන් කරයි.
විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කර සිටියේ කෑගල්ල ප්‍රදේශයේ දී පැවති ජන හමුවකදී අදහස් දක්වමින් ය.
තමන් සහ ආණ්ඩුව අතර කිසිදු දේශපාලන ඩීල් එකක් නැති බව ද ඔහු එහිදී පැවසීය .
ජනාධිපති කියුබාවෙන් ඇමරිකාවට !
කියුබාවේ පැවති “G77 සහ චීනය” රාජ්‍ය නායක සමුළුවට සහභාගිවීමෙන් අනතුරුව ඇමෙරිකා එක්සත් ජනපදයේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 78 වන සැසිවාරයට සහභාගිවීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකා වේලාවෙන් අද (17) අළුයම නිව්යෝර්ක් නුවරට ළඟා විය.
“2030 න්‍යාය පත්‍රය වෙනුවෙන් සාමය, සෞභාග්‍යය, ප්‍රගතිය සහ තිරසරභාවය මත පදනම්ව තිරසර සංවර්ධන ඉලක්ක ජයගැනීමේ ක්‍රියාමාර්ග වේගවත් කිරීම සඳහා විශ්වාසය යළි ගොඩනැංවීම සහ ගෝලීය සහයෝගීතාව යළි ඇති කිරීම” යන තේමාව යටතේ සැප්තැම්බර් 18 වන දා සිට 21 දක්වා මෙවර සැසිවාරය පැවත්වෙයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ සැප්තැම්බර් 21 වනදා සැසිවාරය අමතා සිය විශේෂ දේශනය සිදු කිරීමට නියමිතය.
එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසිවාරයට සමගාමීව සැප්තැම්බර් 18 වනදා පැවැත්වෙන, 2030 වෙනුවෙන් පරිවර්තනීය සහ වේගවත් ක්‍රියාදාමයන් සඳහා ලෝක නායකයින් විසින් මාර්ගෝපදේශ සපයනු ලබන 2023 තිරසර සංවර්ධන ඉලක්ක සමුළුවේ රාජ්‍ය නායක හමුව සඳහා ද ජනාධිපතිවරයා සහභාගි වීමට නියමිතය.
එසේම එදින ජනාධිපතිවරයා සමුළුවට එක්ව සිටින රාජ්‍ය නායකයන් කිහිප දෙනෙකු සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර සමුද්‍රීය ජාතීන් සඳහා වන ඉන්දු - පැසිෆික් දූපත් රාජ්‍යයන් අතර සංවාදය සඳහා ද එක්වීමට නියමිතව තිබේ.
අත පක්ෂයේ මහ ලේකම් ධූරයට මහ තරගයක් !
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පුරප්පාඩු වී ඇති මහලේකම් ධුරය සඳහා පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනකු අතර දැඩි තරගයක් ඇතිව තිබෙන බව එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
වාර්තා වන ආකාරයට මහ ලේකම් ධූරය සඳහා තියුණුම තරගයක් ඇතිව තිබෙන්නේ ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ලේකම් වරයකු වන හිටපු මහ ඇමැති සරත් ඒකනායක සහ එම පක්ෂයේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක අතර ය.
මේ වන විට පක්ෂ මහ ලේකම් ධූරයෙන් ඉවත්කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර එම ධූරය සඳහා පත්වීමට පෙර ශ්‍රීලනිප මහ ලේකම් ලෙස කටයුතු කරනු ලැබුවේද දුමින්ද දිසානායක මන්ත්‍රීවරයා ය.
එසේම දයාසිරි ජයසේකර ව පසුගියදා ශ්‍රීලනිප මහ ලේකම් ධුරයෙන් ඉවත්කර වැඩබලන මහ ලේකම්වරයා ලෙස නියෝජ්‍ය ලේකම් සරත් ඒකනායක පත් කරනු ලැබුවද එම තනතුරේ වැඩ බැලීම අධිකරණය විසින් පසුගියදා වළක්වනු ලැබීය.
ඒ අනුව එම ධුරයේ වැඩ ආවරණය කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රි දුෂ්මන්ත මිත්‍රපාල ඉකුත් සදුදා පැවති විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමේ දී පත් කරනු ලැබූ අතර,ඉදිරි කාලයේදී සඳහා ස්ථිර මහ ලේකම්වරයෙකු පත් කිරීමට නියමිතය.
රජය ව්‍යාපාර කටයුතුවලින් මුළුමනින්ම ඉවත් වෙයි !
රජය ව්‍යාපාර කිරීමෙන් සම්පූර්ණයෙන්ම ඉවත්වී නියාමනය පමණක් සිදුකරන බව වැඩබලන අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසයි.
අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන ආකාරයට රජයේ ආර්ථික ප්‍රතිපත්ති මූලිකවම ඉදිරි අනාගතයේ දී පෞද්ගලික ක්ෂේත්රයේ මත රඳා පවතිනු ඇති බවත් රජය හුදෙක් නියාමන අධිකාරියක් වශයෙන් පමණක් ඉදිරියේදී කටයුතු කරනු ඇත.
තවද ශ්‍රී ලංකාව ආර්ථික ස්ථායිකරණයේ සැලකිය යුතු වර්ධනයක් ළඟා කරගෙන ඇති බවත් රජයේ ණය ප්‍රතිව්‍යුහගතකරණ කටයුතුද මේ වසර අග භාගයේදී අවසන් කිරීමට අපේක්ෂා කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
විමල්ගේ ගෝලයාට ගංජා ප්‍රශ්නයක් !
එලිපිට ගංජා බීමට හැකියාව ලැබෙන පනතක් පාර්ලිමේන්තුවේ මෑතක සම්මත වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර පවසයි .
ආයුර්වේදයට අදාලව මෙම පනත පාර්ලිමේන්තුවේ සම්මත වී ඇති බවත් ඔහු සඳහන් කරයි.
මෙම තත්ත්වයන් මැඬලීමට ශක්තිමත් පනත් පාර්ලිමේන්තු ඉදිරිපත් කිරීමට අවශ්‍ය බවද මන්ත්‍රීවරයා පවසයි .
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් විචාරකයන් පවසන්නේ මන්ත්‍රීවරයා ඉතාම පසුගාමී එළැඹුමක සිට මේ අදහස් දක්වා ඇති බවයි.
ලෝකයේ ඉහළ ලාභ ඉපයිය හැකි කංසා මත්ද්‍රව්‍යක් ලෙස පමණක් ඌණනය කර ගැනීම වරදක් බවත් වෙළෙඳපොළ ප්රවණතා සැලකිල්ලට ගෙන අවස්ථාවන් ප්‍රයෝජනයට ගැනීම අත්‍යාවශ්‍ය බවත් විචාරක මතය වී තිබේ.
කොළඹ වරාය නගරයේ අවන්හල් ඉවතට
කොළඹ වරාය නගරයේ සියලු අවන්හල් 2027 වසරේ මාර්තු වනවිට ඉවත් කරන බව කොළඹ වරාය නගර ආර්ථික කොමිසම රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට දැනුම් දී ඇත.
කොළඹ වරාය නගරයේ අවන්හල් සියල්ල කොළඹ වරාය නගර ආර්ථිකයට අනුබද්ධිත විනෝදාස්වාදී ක්‍රියාකාරකම් යටතේ පවත්වාගෙන යනු ලබන්නේය.
වරාය නගරය ඉදිකිරීම සහ සංවර්ධනය කිරීම සඳහා මාර්ග සංවර්ධන අධිකාරිය, නාගරික සංවර්ධන අධිකාරිය, ජල සම්පාදන මණ්ඩලය වැනි රාජ්‍ය ආයතන විසින් සැලකිය යුතු මුදලක් වැය කර ඇති බව ද මෙහිදී අනාවරණය විය. මේ සියලු මුදල් බදු ගෙවන්නන්ගේ මුදල් වන බැවින් රටේ බදු ගෙවන පුරවැසියන්ට මින් ලැබෙන ප්‍රතිලාභය කුමක්දැයි කමිටුව, කොමිසමෙන් ප්‍රශ්න කර තිබේ.
ඒ අනුව වරාය නගරය සහ යටිතල පහසුකම් සඳහා වන රජයේ වියදම් පිළිබඳ විස්තරයක් ඉදිරිපත් කරන ලෙසත්, කොළඹ වරාය නගරයේ වැඩ කටයුතු ආශ්රිත ආදායම් මාර්ග පිළිබඳ විස්තරද ඉදිරිපත් කරන ලෙසත් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව, කොමිෂන් සභාවේ සාමාජිකයන්ට උපදෙස් ලබාදී ඇත.
රාජ්‍ය ඇමැති වෛද්‍ය සීතා අරඹේපොල, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නීතිඥ චන්දිම වීරක්කොඩි, නිමල් ලන්සා, ආචාර්ය මේජර් ප්‍රදීප් උඳුගොඩ, නීතිඥ ප්‍රේම්නාත් සී. දොලවත්ත, නීතිඥ මධුර විතානගේ, යූ. කේ. සුමිත් උඩුකුඹුර යන මහත්ම මහත්මීහු මෙම කාරක සභා අවස්ථාවට සහභාගි වූහ.
Page 134 of 442