V2025

පුවත්

අගමැති ධූරය බාරගන්න : ජනපතිගෙන් සජිත්‍ට ආරාධනයක් ?

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එක සෙවනකට ගෙන ඒම සදහා වැඩ පිළිවෙලක් තමන් සහ මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් සමඟ එක්ව ආරම්භ කරන ලද බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රි දෙමළ ප්‍රගතිශිලි සන්ධානයේ නායක මනෝ ගනේෂන් සඳහන් කරයි.

නමුත් සමගි ජනබලවේගයේ නායකත්වය ඊට ප්‍රතිචාර නොදැක්වීම මත එම අදහස අත් හැරීමට සිදු වූ බව ද හෙතෙම කියා සිටියේය.

කෙසේ නමුත් ජනාධිපතිවරයා විසින් අග්‍රාමාත්‍ය ධුරය භාරගන්නා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ට පණිවිඩ එවා ඇතැයි පලවන වාර්තා පදනම් විරහිත බව ද හෙතෙම කියා සිටී.

මේ අතර දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ට අගමැති ධූරය බාරගන්නා ලෙස පණිවිඩයක් යැවීදැයි අමාත්‍යවරයකු විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙතින් විමසූ අවස්ථාවක ජනාධිපතිවරයා හාස්‍යජනක සිනහවෙන් ඊට ප්‍රතිචාර දක්වා ඇති බවය.

ලංකාවේ ප්‍රතිසංස්කරණ සිදුකරන ආකාරය ලෝක බැංකුවේ පැසසුමට !

අවදානමට ලක්වූ කණ්ඩායම් ආරක්ෂා කිරීම ඉලක්ක කරමින් ක්‍රියාත්මක කරනු ලබන ප්‍රතිසංස්කරණ ඇතුළු සියළුම ප්‍රතිසංස්කරණ සාර්ථක වීමට නම් වැඩි විනිවිදභාවයකින් යුතුව එය සිදු කළ යුතු බව දකුණු ආසියාව පිළිබඳ ලෝක බැංකු උප සභාපති මාර්ටින් රේසර් ප්‍රකාශ කර ඇත.

වොෂින්ටනයේ පැවැත්වෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ වසන්ත රැස්වීම්වලට සමගාමීව මාර්ටින් රේසර් සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ අතර පැවති හමුවක් අවස්ථාවේ මේ බව සඳහන් කෙරී තිබේ.

මෙම හමුවට ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ද සහභාගී වී තිබේ.

එසේම මෙම හමුවේ දී පුනර්ජනනීය බලශක්තිය සහ ඩිජිටල් ආර්ථිකය පිළිබඳවත් අපනයන මුල්කරගත් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර පිළිබඳවත් සාකච්ඡා කළ බව මාර්ටින් රේසර් පවසා ඇත .

ශ්‍රී ලංකාව ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමෙහි ලා ලබා ඇති ප්‍රගතිය පිළිබඳ සතුටට පත්වන බවත් ශ්‍රී ලංකාව යථා තත්ත්වයට පත් කිරීම සඳහා ලෝක බැංකුව අදහස් සහ මූල්‍ය සහාය ලබා දෙන බවත් මාර්ටින් රේසර් පෙන්වා දී තිබේ.

ලංකාවේ ණය හිමියන් එක සාකච්ඡා මේසයකට !

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා ආරම්භ කිරීමට ණය හිමියන් සම්බන්ධීකරණය කිරීම සඳහා නව වේදිකාවක් ජපානය, ඉන්දියාවේ සහ ප්‍රංශයේ සහයෝගිත්වය ඇතිව ප්‍රකාශයට පත් කර ඇත.

ඊයේ (13) පැවැත්වූ මාධ්‍ය හමුවකදී මේ බව අනාවරණය කෙරුණු අතර මේ යටතේ ශ්‍රී ලංකාවේ ණය හිමියන් අතර සාකච්ඡා වට කිහිපයක් පැවැත්වීමට ද නියමිතව තිබේ.

මෙහිදී අදහස් දක්වමින් ජපන් මුදල් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ චීනය ඇතුළු ශ්‍රී ලංකාවේ ද්විපාර්ශ්වික ණය හිමියන්ට මෙයට සම්බන්ධ වන ලෙස දැනටමත් ආරාධනා කර ඇති බවත් පළමු වටයේ සාකච්ඡාව හැකි ඉක්මනින් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවත් ය.

වොෂින්ටන් හි දී පැවැත්වෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ වසන්ත රැස්වීම් වලට සමගාමීව මෙම මාධ්‍ය හමුව ඊයේ පැවැත්විණ.

මෙම මාධ්‍ය හමුවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ වීඩියෝ තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වූ අතර ඔහු ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකාව සියලුම ණය හිමියන් සහ අනෙකුත් පාර්ෂව කරුවන් සමග විනිවිදභාවයෙන් යුතුව අඛණ්ඩව කටයුතු කිරීමට කැපවී සිටින බවය.

එසේම ඉන්දීය මුදල් අමාත්‍යවරිය මෙන්ම ප්‍රංශ භාණ්ඩාගාර නියෝජිතයා ද මෙහිදී අදහස් දැක්වීය.

අද රෑ ගිගුරුම් සහිත වැසි

බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත්, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක අද (අප්‍රේල් 14) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්ත්වයක් පවතින බව ය.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

මේ අතර, දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේදී සූර්යයා, අප්‍රේල් මස 5 සිට 15 දක්වා දිනවලදී ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශවලට ඍජුව ම ඉහළින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව, හෙට දින (අප්‍රේල් 15) දහවල් 12:10ට නල්ලූර්, පරන්තන් සහ චුන්ඩික්කුලම් යන ප්‍රදේශවලට හිරු මුදුන් වනු ඇත.

පාඨක සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා!!!

උදා වූ 2023 වසර ලක් වාසි සියළු දෙනාගේ සිතුම් පැතුම්, ප්‍රාර්ථනා ඉටුවන, සියළු ලෝක වාසීන්ට යස ඉසුරෙන් පිරුණු, නිරෝගීමත් සුබම සුබ නව වසරක් වේවායි නිවුස් ටියුබ් පාඨක ඔබ සැමට ප්‍රාර්ථනා කරන්නෙමු.

ප්‍රථම වරට ඩිජිටල් අවුරුදු ලිතක්

මෙවර නැකැත් පත්‍රයට අනුව අලුත් අවුරුදු චාරිත්‍රවලට ඇත්තේ තවත් හෝරා කිහිපයක් පමණි.

නැකැත් පත්‍රයේ යෙදෙන පළමු නැකත් වේලාව හෙට පූර්වභාග 8. 35ට යෙදෙන පූණ්‍ය කාලයෙන් ආරම්භ වේ.

ඒ අනුව, හෙට පූර්වභාග 8. 35ට පෙර ආහාර අනුභව කොට සියලු වැඩ අතහැර ආගමික වතාවත්වල යෙදීම මැනවි යනුවෙන් නැකත් පත්‍රයේ සඳහන් වේ.

මේ අතර සූර්යා ගිනිපෙට්ටි නිෂ්පාදනය කරන සන් මැච් සමාගම (Sun Match Company) ප්‍රථම වරට ඩිජිටල් අවුරුදු ලිතක් හඳුන්වා දී තිබේ.

සෑම වසරකදීම, අලුත් අවුරුදු චාරිත්‍රවල නිරත වන කවුරුත් පාහේ එම වසරේ අවුරුදු නැකැත් සහ චාරිත්‍ර වාරිත්‍ර ඇතුළත් අවුරුදු ලිත ප්‍රකාශයට පත්වනතුරු නො-ඉවසිල්ලෙන් බලා සිටිති. එහෙත් අවුරුදු ලිතක් සොයාගැනීම සහ අවශ්‍ය අවස්ථාවලදී එය නැවත නැවත පරිශීලනය කිරීම තරමක් දුෂ්කර කාර්යයක් වන නිසා, කාටත් ඉක්මනින් හා පහසුවෙන් සොයාගැනීමට සහ පරිශීලනය කිරීමට හැකි වන ආකාරයට ඩිජිටල් ලිතක් නිර්මාණය කිරීමට සූර්යා පියවර ගෙන තිබේ.

අලුත් අවුරුද්ද යනු සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට ගමන් කිරීම සැමරීමකි. එම නිසාම සූර්යා නාමය අලුත් අවුරුද්ද සමග මැනැවින් ගැළපේ. වසර 40 කට ආසන්න කාලයක් පුරා ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් සුරක්ෂිත ගිනිපෙට්ටි නිෂ්පාදනය කළ සූර්යා, තම මෙහෙවර තවත් පියවරක් ඉදිරියට ගෙන යමින් මෙම ඩිජිටල් ලිත නිර්මාණය කර ඇත.

මෙම ලිත පරිශීලනය සඳහා පාරිභෝගිකයන් කළ යුතු වන්නේ ස්මාර්ට් දුරකථනයකින් සූර්යා ගිනිපෙට්ටියක් ස්කෑන් කිරීම පමණි. එමගින් Facebook සහ Instagram සමාජ මාධ්‍ය ඔස්සේ මෙම ඩිජිටල් ලිත නැරඹිය හැකි AR filter වෙත පිවිසිය හැකි වේ.
පැරණි අවුරුද්දට ස්නානය කිරීම, අලුත් අවුරුදු උදාව, පුණ්‍ය කාලය, ලිපගිනි මෙළවීම, ගනුදෙනු කිරීම, ආහාර අනුභවය, හිස තෙල් ගෑම සහ රැකී රක්ෂා සඳහා පිටත් වීම වැනි ඉතා වැදගත් නැකත් 8ක් මෙම ඩිජිටල් ලිතට ඇතුළත් කර ඇත.
ත නැරඹිය හැකි AR Filter වෙත පිවිසිය හැකි ආකාරයන්:

Facebook – http://bit.ly/3nCTDHs

Instagram – bit.ly/3JXHS5K

පසුගිය අවුරුද්දේ සහ මේ අවුරුද්දේ වෙනස සිහිකරලා : පළමු සුබ පැතුම ජනාධිපතිගෙන් !

පසුගිය වසරේ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද එළැඹෙද්දී අප සැවොම මැදිව සිටියේ දැවැන්ත අර්බුදයකට බවත් අවුරුදු සැමරීම පසෙක ලා, එදිනෙදා ජීවිතය පවත්වාගෙන යෑමේ අරගලයකට එදා රට මැදිව තිබූ බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිකුත්කළ අලුත් අවුරුදු පණිවිඩයේ සඳහන් වෙයි.

නමුත් මේ අලුත් අවුරුද්ද එළැඹෙනුයේ සැමටම කිසියම් සහනදායි පරිසරයක් උදා කරමින් බවත් පක්ෂ, පාට, ජාති, ආගම් බේද පසෙකලා නව දැක්මකින් රට වෙනුවෙන් ඉදිරියට යාමට මෙවර අලුත් අවුරුද්ද නව ඇරඹුමක් කර ගත යුතු බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත .

මෙවර සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිකුත්කළ අලුත් අවුරුදු පණිවිඩය පහත දැක්වෙයි .

අලුත් අවුරුදු පණිවිඩය

සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණයත් සමඟ උදාවන සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද මෙරට සිංහල සහ දෙමළ ජනතාවට ඉතාමත් ප්‍රීතිමත් අවස්ථාවකි.

සියලු ජනතාව එකම නැකතකට චාරිත්‍ර ඉටු කරන්නේ සෞභාග්‍යයේ සහ සශ්‍රිකත්වයේ අපේක්ෂාවෙන් පෙරදැරිවය.

පසුගිය වසරේ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද එළැඹෙද්දී අප සැවොම මැදිව සිටියේ දැවැන්ත අර්බුදයකටය. අවුරුදු සැමරීම පසෙක ලා, එදිනෙදා ජීවිතය පවත්වාගෙන යෑමේ අරගලයකට අපි මැදිව සිටියෙමු. නමුත් මේ අලුත් අවුරුද්ද එළැඹෙනුයේ අප සැමටම කිසියම් සහනදායි පරිසරයක් උදා කරමිනි.

අප වෙහෙසිය යුත්තේ, අප උත්සාහ කළ යුත්තේ, එළැඹෙන මීළඟ අලුත් අවුරුද්ද අදටත් වඩා භාග්‍යවත් හා සමෘද්ධිමත් කර ගැනීමටය.

එම ප්‍රාර්ථනාව මුදුන්පත් කරගත හැකි වනුයේ අප සියලුදෙනා එකට එක්ව එක මවකගේ දරුවන් ලෙස එක මගක ඉදිරියට යාමෙන් පමණි.

එබැවින් පක්ෂ, පාට, ජාති, ආගම් බේද පසෙකලා නව දැක්මකින් රට වෙනුවෙන් ඉදිරියට යාමට මෙවර අලුත් අවුරුද්ද නව ඇරඹුමක් කර ගත යුතු අතර මේ අලුත් අවුරුද්ද පමණක් නොව අනාගතය ද සුබ වනුයේ එවිටය.

සුබ අලුත් අවුරුද්දක් වේවා !

 රනිල් වික්‍රමසිංහ
ජනාධිපති
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය
2023 අප්‍රේල් 12 වන දින

දන ගැහුවා කියූ රාජිත :තොරණේ විස්තරේ එළියට දායි !

සමගි ජනබලවේගය පක්ෂයේ විනය කමිටුව හමුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න දනින් වැටුණු පන්නයේ පුවතක් පළකිරීම සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා දැඩි ප්‍රතිචාරයක් දක්වා ඇත.

දැඩි සජබ හිතවාදී ප්‍රතිපත්තියක සිට කටයුතු කරන අදාළ මාධ්‍ය වාර්තාවේ තිබුණේ , තමන් සජබය අතහැර ආණ්ඩුවට එක් නොවන බවත්, ඇමැතිකම් ගන්නා බවට යළිත් ප්‍රකාශ නිකුත් නොකරන බවත්, එසේම ඇමැතිකම් නොගන්නා බවත් රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා සජබ වෙත දැනුම් දීමට පියවර ගෙන ඇති ය.

ඊට අදාළ සිරස්තලය දැක්වුනේ " මම පක්ෂෙ දාලා යන්නෙත් නෑ! ආයෙ එහෙම කියන්නෙත් නෑ! ඇමැතිකම් ගන්නෙත් නෑ! පැය 24ක් ඇතුළත නිවේදනයක් නිකුත් කරනවා! රාජිත ‌සජබ විනය කමිටුවට ඇවිත් පොරොන්දුවක් දෙයි!"
යනුවෙනි .

නමුත් මේ පුවත සම්බන්ධයෙන් දැඩි ප්‍රතිචාරයක් දක්වමින් රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා මෙසේ සිය ෆේස්බුක් ගිනුමේ සටහනක් තබා ඇත.

ලැජ්ජයි මව්රට!

මාධ්‍යයේ නිදහස වෙනුවෙන් එදා සිට පෙනීසිටි පුද්ගලයෙකු ලෙස,
සැබෑ මාධ්‍යවේදියෙකුට හෝ
සත්‍ය වාර්තාකරන මාධ්‍යයන්හට
කිසිවිටෙක
මම එරෙහිවී නැත..

මාගේ දේශපාලන ප්‍රතිපත්ති හෝ භාවිතාවන් විවේචනය කිරීමට ඔවුන්ට ඇති නිදහසට ද මම එරෙහි වී නැත.

එහෙත්
තමන්ගේ මාධ්‍ය අවකාශයෙන්,
පදනම් විරහිත මඩගසන විට, අප ඊට පිලිතුරු දියයුතුය.

ඊයේ දිනයේ,
රංජිත් මද්දුමබණ්ඩාරගේ මිත්‍රත්වයේ ආරාධනයක් පිලිගනිමින්,
ඔහුගේ නිවසේදී
මම ඔහු හමුවුනෙමි.
ඒ අවස්ථාවට,
කබීර්.. ලක්ෂ්මන් සහ තිස්ස සහභාගි වී සිටි අතර
එය සුහද සාකච්ඡාවක් මිස
විනය කමිටුවක් ලෙස
දැකීම,
මව්රට දුටු සිහිනයක් වියයුතුය..

ලිඛිතව දැනුම්නොදී, නිවාසයක හමුවී සිදුකරන විනය පරීක්ෂණ තිබේද?
ඩයනා ඇතුළු පක්ෂය හැරගිය 15කට අධික මන්ත්‍රීවරුන් පිරිසකට නොපැවැත්වූ විනයකමිටු පවත්වූවා යැයි කියන්නේ, තවමත් පක්ෂයේ සිටින මටද?

(මාගේ හෘදසාක්ෂිය ඉදිරියේ මිස, කිසිවෙකුගේ කමිටු ඉදිරියේ; මාගේ දේශපාලන දැක්ම පිලිබඳව නිදහසට කරුණු පැවසීමේ උවමනාවක් මට නැත)

ප්‍රස්තුත මාධ්‍ය සාකච්ඡාවේදී
මාගේ සම්පුර්ණ කතාව ශ්‍රවණය නොකර,
වැරදි අවබෝධයකට පැමිණි අයෙක් හො කණ්ඩායමක් වේ නම්,
එය ඔවුන්ගේ ප්‍රශ්නයක් මිස,
මගේ ප්‍රශ්නයක් නොවේ..

එම නිසා, "එවැනි ප්‍රකාශ යලි නොකරන බව"ට, කිසිවෙකු ඉදිරියේ පැවසීමට මට උවමනාවක් නැත..

රංජිත් ඇතුළු පිරිස සමඟ සාකච්ඡාවේදී,
"යලි එවැනි ප්‍රකාශ නොකරන බවට මා නොපැවසූ අතර
අවශ්‍ය අයෙකුට
එම පිරිසෙන් කෙනෙකු අමතා
එහි සත්‍ය අසත්‍යභාවය දැනගත හැක..

ආණ්ඩුවට තනිව එක්වීමේ කිසිදු උවමනාවක් මට නැත..
එසේ තිබුණා නම්,
මෙසේ මතවාදීව පක්ෂය තුල හඬනගන්නේ නැත..

එකම දේශපාලන ප්‍රතිපත්ති දරණ කණ්ඩායම් දෙකක්,
භාවිතාවේ ඇති පරස්පරතා කිහිපයක් පෙන්වමින්,
දෙපිල බෙදීසිටීම,
එම පක්ෂ දෙකේ පාක්ෂිකයන්ට සේම
රටට ද සිදුකරන අසාධාරණයක් බව
මගේ පළමු හැඟීමයි.

කවුරුන් කැමති වුවත්, අකමැති වුවත්,
මගේ ස්ථාවරය එයයි..

2014දී,
විධායක මහින්දට අභියෝග කර,
ඇමතිකම් අතහැර පැමිණි මට...
"2015දී පොදු අපේක්ෂකයා වන්න"යි කළ ආරාධනය ප්‍රතික්ෂේප කළ මට...
ජනාධිපති මෛත්‍රීපාල
සිරිසේන විසින් දිගින් දිගටම කළ අගමැති ආරාධනාවන්,
කඳවුරේ සමඟිය වෙනුවෙන්
ප්‍රතික්ෂේප කළ මට...
ඇමතිකම් ලොකු නැති බව
දේශපාලන ළදරුවන් දැන්වත් තේරුම්ගත යුතුය.

88/89 ජවිපෙ තුවක්කුව
ඉදිරියේ නොනැමුණු දණ,
එල්.ටී.ටී.ඊ බෝම්බ ඉදිරියේ නොනැමුණු දණ,
රාජපක්ෂ පවුල්බලය ඉදිරියේ නොනැමුණු දණ,
මඩ වෙබ් අඩවි ඉදිරියේ හෝ
දේශපාලන ළදරුවන්ගේ මඩ ඉදිරියේ නැමෙන්නේ නැති බව මව්රටට කිවයුතුය..

තවදුරටත් මම ස්ථිරව කියාසිටින්නේ,
සියලු පක්ෂ එක්වී
යම් කාල රාමුවකට යටත්ව හෝ රජයට සහය වියයුතු බවයි.
එහිදි ස.ජ.බ පෙරමුණ ගතයුතු බවයි..

  • මෙම බොරුව පළකළ


වෙබ් අඩවිය ගැන මට කීමට ඇත්තේ,
ඔවුන්ගේ බැඳුම්කර නිරුවත
දන්නෝ දන්නා බව පමණි.

  • වෛද්‍ය රාජිත සේනාරත්
  • පාර්ලිමේන්තු මන්ත්‍රී


කෙසේ වුවත් මේ රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා ගේ ප්‍රතිචාරය සම්බන්ධයෙන් අදහස් දක්වමින් දේශපාලන විචාරකයන් පවසන්නේ මේ හේතුවෙන් යළිත් වතාවක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අමාරුවේ වැටී ඇති බවයි.

සිය මාධ්‍ය යොදවා සිඟිති ප්‍රහාර එල්ල කරවීමට පෙර ඉලක්කය කවුද යන්න නිවැරදි ලෙස තක්සේරු කිරීමට තරම්වත් සංයමයක් හෝ දේශපාලන පරිණතභාවයක් සජිත්ගේ මාධ්‍ය මෙහෙයුමේ නොතිබූ බවද ඔවුන් පෙන්වා දෙයි.

මේ හමුවේ සිදුව ඇත්තේ , තනියම නොව සමගි ජනබලවේගය පක්ෂයම ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ වැඩපිළිවෙළට සහය දෙමින් ආණ්ඩුවට එක්ව රට ගොඩනගන වැඩපිළිවෙළ ශක්තිමත් කිරීමට අවශ්‍යය යන රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා ගේ මතය ගැන අවධානය වැඩිවීම බවත් විචාරක මතය වී තිබේ.

ලංකාවේ ණය ගෙවන්න : ජපානය ඉන්දියාව ප්‍රංශය මැදිහත් නව වේදිකාවක් !

ජපානය, ප්‍රංශය සහ ඉන්දියාව ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධීකරණය කිරීමට ණයහිමියන් සඳහා නව වේදිකාවක් ප්‍රකාශයට පත් කරන බව ජපාන මුදල් අමාත්‍ය ෂුනිචි සුසුකි ඊයේ(12) ප්‍රකාශ කර ඇත.

චීනයටත් මේ සඳහා එකතු විය හැකි නම් එය ඉතාමත් වටින බවද ජපාන මුදල් අමාත්‍යවරයා පෙන්වා දී ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එසේම ජපානය , ප්‍රංශය සහ ජී20 සමුළුවේ සභාපතිත්වය දරන ඉන්දියාව ආරම්භ කිරීමට යන නව වේදිකාව පිළිබඳ නිවේදනය අද(13) සිදු කෙරෙනු ඇති බව ජී7 මූල්‍ය නායකයින්ගේ රැස්වීමෙන් පසු පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මුදල් අමාත්‍ය සුසුකි පෙන්වා දී තිබේ.

නව වේදිකාව යටතේ ණය හිමියන් ශ්‍රී ලංකාවේ ණය පිළිබඳ සාකච්ඡා වට කීපයක් පැවැත්වීමට නියමිත බව පැවැසෙයි.

පාපන්දු තහනම නිසා : ඔලිම්පික් - ආසියානු කුසලානයත් නැති වෙයි !

මේ වන විට ජාත්‍යන්තර පාපන්දු තහනමකට ලක්ව සිටින ශ්‍රී ලංකාවට 2024 වසරේ පැවැත්වෙන ඔලිම්පික් පාපන්දු තරගාවලිය සඳහා සුදුසුකම් ලැබීමේ තරග සඳහා සහභාගි වීමේ අවස්ථාවද අත්හිටුවා තිබේ.

ලෝක පාපන්දු සම්මේලනය විසින් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය තහනම් කර ඇති බැවින් මෙම පියවර ගෙන ඇත.

එමෙන්ම වයස අවුරුදු 23න් පහළ ආසියානු පාපන්දු තරගාවලියේ සුදුසුකම් ලැබීමේ තරග සදහාද ශ්‍රී ලංකා කණ්ඩායමට තරග කිරීමට අවස්ථාවක් නොලැබෙන බව ලෝක පාපන්දු සම්මේලනය විසින් ශ්‍රී ලංකාවට දැනුම් දී තිබේ.

“රිලවුන් රට යවන්න කෘෂි අමාත්‍යංශයට බලයක් නෑ” – පාරිසරික නීතිඥ ආචාර්ය ජගත් ගුණවර්ධන

රිලවුන් ලක්ෂයක් චීනයට යැවීම සම්බන්ධයෙන් කිසියම් ආකාරයක හෝ තීරණයක් ගැනීමට කෘෂිකර්ම අමාත්‍යංශයට නීත්‍යනුකූල බලයක් නැතැයි ජ්‍යෙෂ්ඨ පාරිසරික නීතිඥ ආචාර්ය ජගත් ගුණවර්ධන ‘මව්බිම’ට පවසා ඇත.

වන සත්ව සහ වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත ප්‍රකාරව උන් පිළිබඳව තීරණ ගැනීමේ අයිතිය ඇත්තේ, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පමණක් යැයි ද ඔහු ප්‍රකාශ කරයි.

Jagath Gunawardana 696x522එම ආයතනය ඇත්තේ, වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍යංශය යටතේ මිස කෘෂිකර්ම අමාත්‍යංශය යටතේ නොවන බව හෙතෙම අවධාරණය කර ඇත.

වියළි කලාපයේ හමුවන Macaca sinica sinica නම් දර්ශීය උප-විශේෂය සහ තෙත් කලාපයේ මෙන් ම කඳුකරයේ ඇතැම් ප්‍රදේශවල හමුවන Macaca sinica aurifrons නම් උප-විශේෂය මෙරට හමුවන ප්‍රධාන විශේෂ බව ද ඔහු  පවසයි.

ඉන් වැඩි ම ව්‍යාප්තියක් සහ ඉහළ ගහන ඝනත්වයකින් යුතු වන්නේ ද, වගාවන්ට වැඩිම හානියක් කරන්නේ ද දර්ශීය මැකාකා සයිනිකා සයිනිකා (Macaca sinica sinica) නම් උප-විශේෂය බව පෙනී යන්නේ යැයි ද ආචාර්ය ජගත් ගුණවර්ධන ප්‍රකාශ කර ඇත.

ඒ කෙසේ වුවත් මෙරටදී හමුවන රිලවාගේ උප-විශේෂ පිළිබඳව සහ උන්ගේ ව්‍යාප්තිය ඇතුළු තව ත් කරුණු සම්බන්ධයෙන් මේ වනතුරුත් නිසි අධ්‍යයනයක් සිදු කර නොමැති බවට ඔහු චෝදනා කරයි.

ඒ නිසා රිලවුන් විශාල සංඛ්‍යාවක් අපනයනය කරන්නේ නම් ඔවුන් ලබා ගන්නේ කිනම් ප්‍රදේශවලින් ද, එම ප්‍රදේශයෙන් අල්ලා ගන්නා වඳුරන් සංඛ්‍යාව, එම සතුන් එම ප්‍රදේශයෙන් ඉවත් කිරීමෙන් මතුවිය හැකි තත්ත්වයන් පිළිබඳව ද සොයා බැලිය යුතු බව හෙතෙම කීය.

මේ අතර චීන සත්ත්වෝද්‍යාන වෙත නම් මෙරට සිටින රිලවුන් ලක්ෂයක් ලබා දෙන්නේ අඩු තරමේ සතුන් දෙදෙනකු බැගින් හෝ රඳවා තැබිය හැකි සත්ත්වෝද්‍යාන පනස්දාහක්වත් තිබිය යුතු බව පරිසර හා සොබාදම් අධ්‍යයන මධ්‍යස්ථානයේ ජාතික සංවිධායක ආචාර්ය රවින්ද්‍ර කාරියවසම් ‘මව්බිම’ට ප්‍රකාශ කර ඇත.

සත්ත්වෝද්‍යානවල ප්‍රදර්ශනයට යැයි පවසමින් වුවත් ඔවුන් ඉල්ලන්නේ මෙරටට අවේණික රිලවුන් නිසා උන් ලබා දීම මෙරට සතුන්ගේ ජාන පරම්පරා අනතුරේ හෙළීමක් බව ද ඔහු අවධාරණය කළේ ය.

මෙරටට ආවේණික රිලවුන් මිනිසාට බොහෝ සමානකමක් දක්වන නිසා චීනයට රැගෙන යන රිලවුන් සායනික අත්හදා බැලීම් සඳහා වුව ද යොදා ගැනීමේ අවදානමක් පවතින බව ද හෙතෙම පෙන්වා දුන්නේ ය.

එම සතුන් එකෙක් දෙන්නෙක් නොව ලක්ෂයක්ම එකවර ඉල්ලා සිටීම තුළ යම් සැඟවුණු අරමුණක් පවතින්නේ ද යන්න සැක සහිත යැයිද ඔහු සඳහන් කළේ ය.

මව්බිම

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට තාක්ෂණික උපදේශන කමිටුවක්

ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් තාක්ෂණ කමිටුවක් පිහිටුවීමට පියවරගත් බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ පවසයි.

කමිටුවේ නිලධාරීන් හට නිල වශයෙන් පත්වීම් භාර දීම ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ දී පෙරේදා සිදු විය.

සනත් ජයසූරිය එහි සභාහපතීත්වය දරණ අතර අසන්ත ද මෙල් පර්විස් මහරුෆ් , චරිත් සේනානායක හා කපිල විජේගුණවර්ධන යන මහත්වරුන් කමිටුවේ සෙසු සාමාජිකයන් වේ.

ක්‍රීඩාවේ ප්‍රගමනය වෙනුවෙන් නිසි වෙලාවට නිවැරදි, සෘජු තීරණ ගැනීමට නොපැලිකෙන බව ප්‍රකාශ කළ අමාත්‍යවරයා ක්‍රිකට් ක්‍රීඩාවේ දැනට පැනනැගී ඇති ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා 2020 ජනවාරි මස 8 වන දිනට සංශෝධිත ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාවේ තුන්වන ඡේදය හා 1973 අංක 25 දරණ ක්‍රීඩා පනතේ 39(03) වන වගන්තිය සමග කියවිය යුතු 41 නි වගන්ති යටතේ අමාත්‍යවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සඳහා තාක්ෂණික උපදෙස් කමිටුවක් පත් කර ඇත.

ක්‍රීඩා ක්ෂේත්‍රයේ අති දැවැන්ත වැඩ කොටසක් කර ඇති මෙම කණ්ඩායම පිළිබඳව ඇති විශ්වාසයත් සමග මොවුන් සියලු දෙනා මෙම තනතුරුවලට පත් කිරීමට කටයුතු කළ බව අමාත්‍යවරයා සඳහන් කළේය.

පසුගිය ආසියානු කුසලානය සහ ඕස්ට්‍රේලියානු සංචාරය සාර්ථක කරගැනීමට හැකියාව ලැබුණු නමුත් ඇතිවූ අඩුපාඩු පිළිබඳව,තාක්ෂණික කටයුතු හා ක්‍රීඩකයින් තේරීම් සම්බන්ධයෙන්ද සොයා බැලීම සඳහා මෙම තාක්ෂණික කමිටුව පත්කිරීමට පියවර ගැනුනු බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

අධ්‍යාපන තාක්ෂණය ගැන සිංහලෙන් ලියූ පළමු පොත එළි දක්වයි

ජාතික ව්‍යාපාර කළමණාකාරීත්ව ආයතනයේ (NIBM) උපදේශන අංශ ප්‍රධානී සහ කථිකාචාර්යවරයෙකු ලෙස සේවය කරන ආචාර්ය හිමේන්ද්‍ර බළල්ල විසින් රචිත “අධ්‍යාපන තාක්ෂණයට ප්‍රවේශයක්“ ග්‍රන්ථය පසුගියදා බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේදී එළි දක්වන ලදී.

අධ්‍යාපන තාක්ෂණය පිළිබඳව ලියවුණු ‍පොත් පත් ඉතාම අල්පය. අධ්‍යාපන තාක්ෂණය පිළිබදව සිංහල භාෂාවෙන් පළවුණු එකම පොත ලෙස මෙය සැලකෙන අතර කතුවරයාගේ අත්දැකීම් හා පර්යේෂණ සරලව මෙහි ඇතුළත් කර ඇත. මෙය ගුරුවරුන්ට, අධ්‍යාපන ආයතන පරිපාලකයින්ට, අධ්‍යාපන ක්‍රමවේදයන් හදාරන සිසුන්ට එකසේම වැදගත්වන ග්‍රන්ථයකි.

අධ්‍යාපන තාක්ෂණය යනු ඉගැන්වීම සහ ඉගෙනීම වැඩිදියුණු කිරීම සඳහා උපදේශන පරිසරය, ඉගෙනුම් ද්‍රව්‍ය, ඉගෙන ගන්නන් සහ ඉගෙනුම් ක්‍රියාවලිය විශ්ලේෂණය කිරීම, සැලසුම් කිරීම, සංවර්ධනය කිරීම, ක්‍රියාත්මක කිරීම සහ ඇගයීම යන ක්‍රියාවලිය සඳහා තාක්ෂණය භාවිත කිරීම වේ.

අධ්‍යාපන තාක්ෂණය පිළිබඳ මනා දැනුමක් ලබා ගැනීමට නම් ප්‍රථමයෙන් අධ්‍යාපන ක්‍රමවේදයන් ගැන පුළුල් දැනුමක් තිබිය යුතු අතර දෙවෙනුව නවීන තාක්ෂණය පිළිබඳ දැනුමක්ද තිබිය යුතුය. තාක්ෂණය හා අධ්‍යාපනය මිශ්‍ර කිරීම තෙවනුව කළ යුතු අතර අත්දැකීම් මත සාර්ථක භාවය තීරණය වේ.

ජාතික ව්‍යාපාර කළමණාකාරීත්ව ආයතනයේ අධ්‍යක්ෂක ජෙනරාල් ඩී. එම්. ඒ කුලසූරිය, ‍කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ මහචාර්ය ටියුඩර් වීරසිංහ, ජනාධිපති මාධ්‍ය අංශයේ අධ්‍යක්ෂක ඉංජිනේරු ස්ටැන්ලි හෙට්ටිආරච්චි, මහචාර්ය අනුර මුණසිංහ මෙහිදී දේශන පැවැත්වීය.

balalla 1000px

A/L සිසුන් තවමත් ෆුටාවේ ප්‍රාණ ඇපයේ : අමාත්‍යංශයෙනුත් නිවේදනයක් !

සිය ඉල්ලීම් සම්බන්ධයෙන් සෑහීමකට පත්විය හැකි නිගමනයකට එළඹෙන තෙක් උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගෙන නැතැයි විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසයි.

මේ අතර විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය සමග පසුගිය මාස එකහමාරක කාලය තුළ සාකච්ඡා වට කීපයක් පවත්වා එම සංගමය විසින් ඉදිරිපත් කරන ලද ගැටලු කීපයකට විසඳුම් ලබා දී ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

එහි දැන්වෙන්නේ විශ්වවිද්‍යාල දේශන යළි ආරම්භ කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් ද සිය ප්‍රසාදය පළ කරන බවය.

උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම ආරම්භ කිරීමට මේ වනවිට විභාග දෙපාර්තමේන්තුව සූදානම් බැවින් උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම කඩිනමින් ආරම්භ කිරීමට ද මැදිහත් වන මෙන් විශ්වවිද්‍යාල ආචාර්ය සංගමයෙන් ඉල්ලා සිටින බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.

විශ්වවිද්‍යාල ආචාර්ය සංගමයට තවදුරටත් යම් ගැටලු සාකච්ඡා කිරීමට අවශ්‍ය නම් ඉදිරි ඕනෑම දිනක ඊට සූදානම් බවද අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම්දෙයි.

ලංකාවේ ණයට කරන දේ : ඉන්දියාව ජපානය ප්‍රංශය 13 කියයි !

ජපානය, ඉන්දියාව සහ ප්‍රංශය ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල හෙට (13) ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇති බව ඉකොනොමික් ටයිම්ස් පුවත්පත පෙන්වා දී ඇත.

ඉන්දියානු මුදල් අමාත්‍යවරිය වන නිර්මලා සීතාරාමන්, ජපාන මුදල් අමාත්‍ය ෂුනිචි සුසුකි, ප්‍රංශ භාණ්ඩාගාරයේ අධ්‍යක්ෂක ජනරාල් බෘනෝ ලෙ මෙයාර් මෙම මාධ්‍ය හමුවට සහභාගී වීමට නියමිතව තිබේ.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මාධ්‍ය හමුවට සහභාගී වේ.

ජපාන මුදල් අමාත්‍යංශයේ ප්‍රකාශයක් උපුටා දක්වමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දී ඇත්තේ ඉන්දියාව, ප්‍රංශය සහ ජපානය හෙට(13) මාධ්‍ය හමුවක් පැවැත්වීමට නියමිත බවත් එහි අරමුණ ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා ආරම්භ කිරීම පිළිබඳ ප්‍රකාශයට පත් කිරීම බවත්ය.

මෙම මාධ්‍ය හමුවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලද සහභාගී වන බව පැවැසෙයි.ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ සහභාගීත්වයෙන් පැවැත්වෙන වසන්ත රැස්වීම් වලට සමගාමීව මෙම මාධ්‍ය හමුව පැවැත්වීමට නියමිතව ඇත.

(Lankadeepa )

අසීරු අවස්ථාවෙන් මිදීමට ශ්‍රී ලංකාවට IMF වෙතින් අඛණ්ඩ සහයක්......

උද්ගතව ඇති අසීරු අවස්ථාවෙන් මිදීමට ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහය පළ කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා  පවසයි.

ඇය මේ බව පවසා ඇත්තේ, ජාත්‍යන්තර මූලය අරමුදල සහ ලෝක බැංකුව එක්ව සංවිධානය කරන ස්ප්‍රිං සමුළුවට සමගාමීව ශ්‍රී ලංකා දූත මණ්ඩලය සමග ඊයේ සාකච්ඡාවකට එක්වෙමිනි.

හමුව පිළිබඳව සිය නිළ ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා  පවසන්නේ, මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ, මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ  ඇතුළු ශ්‍රී ලංකාවේ දූත පිරිස සමග සාර්ථක සාකච්ඡාවක් සිදුකළ බවයි.

ආර්ථික අර්බුදයෙන් අත්මිදීම සඳහා සිය වගකීම් ඉටු කිරීමට සියලු දෙනා එක්ව කටයුතු කිරීම ඉතා වැදගත් බව ජෝර්ජියේවා මහත්මිය සිය ට්විටර් සටහනෙන් පෙන්වා දෙයි.

මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ සිය නිල ගිණුමේ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු ප්‍රකාශ කළේ මෙම රැස්වීමේ ප්‍රධාන අවධානය යොමු වී ඇත්තේ අභියෝග මධ්‍යයේ තිරසාර සහ සාමුහික වර්ධනයක් සුරක්ෂිත කිරීම බවයි.

“ජාත්‍යන්තර ප්‍රජාවට සහ බහුපාර්ශ්වික ආයතනවලට තිරසාර සහ සාමුහික වර්ධනයක් ලබා ගැනීම සඳහා නැගී එන වෙළෙඳපොළ සහ සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයන්හි ප්‍රතිපත්තිමය ප්‍රයත්නයන්ට ඵලදායී ලෙස සහාය විය හැකි ප්‍රධාන ක්ෂේත්‍ර සාකච්ඡා කිරීමට මෙම රැස්වීම වේදිකාවක් සැපයීය. මෙහි ප්‍රධාන කොටසක් වන්නේ ද්‍රවශීලතා සහය මෙන්ම නිල සහ පෞද්ගලික මූලාශ්‍රවලින් ආසන්න හා මධ්‍ය කාලීන මූල්‍යකරණයට ප්‍රවේශ වීමයි.” ඔහු වැඩිදුරටත් පැවසීය.

තවද, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජිවා මහත්මිය සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ අතර සාකච්ඡාවක් පැවැත්විණි. මෙහිදී , ආර්ථික අර්බුදයේදී මුහුණ දෙන දුෂ්කරතා මඟහරවා ගැනීම සඳහා ශ්‍රී ලංකාවට සහාය වීමට නායකත්වය ලබා දීම සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍යවරයා කෘතඥතාව පළ කර ඇති අතර, IMF වැඩසටහන මෙරට තුළ ම සුරක්ෂිත කරමින් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාවේ කැපවීම රාජ්‍ය අමාත්‍යවරයා විසින් පෙන්වා දී තිබේ. මෙම සාකච්ඡාවට ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සහ මහින්ද සිරිවර්ධන යන අය සහභාගි වූහ.

ලෝක බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ Anne Bjerde මහත්මිය සමඟ සාකච්ඡාවක නිරත වූ රාජ්‍ය අමාත්‍යවරයා, ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය, ආර්ථික ප්‍රකෘතියට සහාය වන්නේ කෙසේද යන්න පැහැදිලි කර ඇත. මෙම සාකච්ඡාවේදී කළමනාකාර අධ්‍යක්ෂවරිය විසින්, ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණ කටයුතු සහ ආර්ථික ස්ථාවරත්වය ශක්තිමත් කිරීම සඳහා තවදුරටත් ලෝක බැංකුවේ සහාය සහතික කර ඇත.

සරසවි ආචාර්යවරු වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටුවයි

විශ්විද්‍යාල ආචාර්යවරුන් අධ්‍යයන කටයුතුවලින් බැහැරව ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටුවීමට තීරණය කර ඇත.

ඒ අනුව ලබන 17 වැනිදා සිට යළි අධ්‍යයන කටයුතු සදහා එක්වන බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසයි.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මෙලනය තම වෘත්තිය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක නිරත විය.

ඊයේ මධ්‍යම රාත්‍රිය වන තෙක් එම සාකච්ඡා පැවැති බව වාර්තා වේ.

කෙසේ වුවද එම සමිති සම්මේලනය අද නිවේදනය කළේ අධ්‍යයන කටයුතුවලින් බැහැරව සිටීමට ගත් වෘත්තීය ක්‍රියාමාර්ග අවසන් කිරීමට තීරණය කළ බවයි.

කෙසේ වුවද උසස්පෙල උත්තරපත්‍ර පරික්ෂා කිරීම සම්බන්ධයෙන් මෙතෙක් නිෂ්චිත තීරණයකට එළඹ නොමැති බවද වාර්තා වේ.

බැසිල්ගේ ගෝලයා අලුත් නායකයෙක් ගැන කියයි : පොහොට්ටු නායකත්වයෙන් මහින්ද දොට්ට ?

පොදුජන පෙරමුණේ නායකත්වයේ වෙනසක් පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් බණ්ඩාර සිදුකර ඇති ප්‍රකාශය සම්බන්ධව දේශපාලන ක්ෂේත්‍රයේ විශේෂ අවධානයක් යොමුව ඇත.

පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් රංජිත් බණ්ඩාර මන්ත්‍රීවරයා පවසා ඇත්තේ එළැඹෙන සිංහල දෙමළ අලුත් අවුරුද්ද නිමාවන විට ශක්තිමත් නායකයෙක් ශ්‍රී ලංකාව පොදුජන පෙරමුණ සඳහා පත් කිරීමට කටයුතු කරන බවය.

එසේම හිසතෙල්ගා නැකතට වැඩ අල්ලමින් නව නායකයා ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කරන බවත් ඔහු එහිදී සඳහන් කළේය.

කෙසේ වුවත් මේ වන විට පොදුජන පෙරමුණේ නායකත්වය දරන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වන අතර මෙතෙක් මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය සම්බන්ධව රාජපක්ෂ පවුලේ ප්‍රතිචාරයක්ද ලැබී නැත.

දේශපාලන විචාරකයන් පවසන්නේ සජබ මන්ත්‍රී කණ්ඩායමේ පිරිසක් ආණ්ඩුවට එක්වීමත් සමඟ මන්ත්‍රී කණ්ඩායමක් සමඟ විපක්ෂයට එක්වී එහි නායකත්වය ගැනීමේ අපේක්ෂාවක් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට තිබු බවත් ඒ උත්සාහය අඩපණ කර නැවත පාර්ලිමේන්තු පැමිණ විපක්ෂ නායකත්වය ගැනීමේ උත්සාහයක් බැසිල් රාජපක්ෂවාදීන්ගේ හැසිරීම තුළ පෙන්නුම් කරන බවය.

Page 130 of 392