පසුගිය කාලයේ ආන්දෝලනාත්මක සිදුවීම් 20කට වැඩි ප්‍රමාණයක් සම්බන්ධයෙන් අධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කිරීමට නීතිපති දෙපාර්තමේන්තුව සූදානමින් සිටින බව වාර්තා වේ.
හිටපු මැතිඇමැතිවරුන් සහ නිලධාරීන් පිරිසකට එරෙහිව මෙසේ අධිචෝදනා ගොනු වීමට නියමිතව ඇති බව දැනගන්නට ඇත.
අනුර ප්‍රියදර්ශන යාපා සහ ඔහුගේ බිරිඳ ඇතුළු 4කට අධිචෝදනා
මේ අතර හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා ඇතුළු සැකකරුවන් සිව් දෙනෙකුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනුකර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (සැප්. 2) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලියාන් වරුෂවිතාන වෙත දැනුම් දුන්නේ ය.
2014 වසරේ අගභාගයේදී කුරුණෑගල බිංගිරිය හා නාරම්මල ප්‍රදේශවල ගම්වතුරින් අවතැන් වූ පුද්ගලයන්ට සහන සැලසීමේ මුවාවෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් රුපියල් 61,46110ක මුදලක් ලබාගෙන එම කටයුතු සඳහා භාවිතා නොකර එම මුදල් 2015 වසරේ පැවති ජනාධිපතිවරණයේ ප්රචාරක කටයුතු සඳහා භාවිත කර ඇති බවට චෝදනා කරමින් මෙම නඩුව ගොනු කර ඇත.
හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා, ඔහුගේ පෞද්ගලික ලේකම්වරිය වශයෙන් කටයුතු කළ වෛද්‍ය ධම්මිකා ශිරාණි සුමනරත්න (බිරිඳ ), ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හිටපු සභාපති එස් අමරසේකර හා අමාත්‍යවරයාගේ හිටපු සම්බන්ධීකරණ ලේකම්වරයෙකු වන අනුර සෙනෙවිරත්න නමැති සැකකරුවන් සිව් දෙනෙකුට එරෙහිව එසේ අධි චෝදනා ගොනුකර ඇති බව විමර්ශන නිලධාරීහු අධිකරණයට පෙන්වා දුන්හ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැක්වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සිද්ධියට අදාළව එම අධිකරණයේ විභාගයට ගැනුණු නඩු කටයුතු අවසන් කළ අතර මහාධිකරණයෙන් නොතීසි ලද පසුව එම අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට ද සැකකරුවන් සිව් දෙනාට අධිකරණයෙන් නියම විය.
සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සිව්දෙනා මේ වනවිට ඇප මත මුදා හැර තිබේ.
The leader.lk
ශ්‍රී ලංකා පොලීසියේ 159 වන පොලිස් සංවත්සර දිනය අදට (03) යෙදී ඇත.
1866 සැප්තැම්බර් 3 වන දින පළමු පොලිස් කාර්යාලය පිහිටවු අතර,ජී. ඩබ්ලිව්. ආර්. කැම්බල් පළමු පොලිස්පතිවරයා විය.
මෙම දිනය ශ්‍රී ලංකා පොලිසියේ ආරම්භක දිනය ලෙස සැලකෙන අතර,159 වන පොලිස් දිනය සැමරීම සඳහා විශේෂ අනුස්මරණ උත්සවයක් අද (03) පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේදී පැවැත්වේ.
පොලිස් මූලස්ථානය පැවසූවේ උත්සවයට සූදානම් වීමක් ලෙස කොළඹ රථවාහන කොට්ඨාසය විශේෂ රථවාහන සැලැස්මක් ප්‍රකාශයට පත් කර ඇති බවත් එය ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇති බවත් ය .
එම රථවාහන සැලැස්මට අනුව පොලීසිය නිවේදනය කලේ බම්බලපිටිය පොලිස් වසමේ තුම්මුල්ල හන්දියේ සිට තිඹිරිගස්යාය හන්දිය දක්වා හැව්ලොක් මාර්ගයේ රථවාහන ගමනාගමනය පහත පරිදි සිදුකිරීමට කටයුතු යොදා ඇති බවයි.
• පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානය ඉදිරිපිට ඇති කොළඹින් පිටවීමේ මාර්ගයේ ස්ථාපිත කර තිබෙන බස් නැවතුම 2025.09.03 වන දින පස්වරු 02.30 සිට පස්වරු 07.00 දක්වා තාවකාලිකව හැව්ලොක් පාර ෆොන්සේකා පාර හන්දියේ ඇති බස්නැවතුම වෙත රැගෙන යාම.
• 2025.09.03 වන දින පස්වරු 02.00 සිට පස්වරු 07.00 දක්වා බම්බලපිටිය පොලිස් වසමේ තුම්මුල්ල හන්දියේ සිට තිඹිරිගස්යාය හන්දිය දක්වා හැව්ලොක් මාර්ගයේ බර වාහන (කන්ටේනර් රථ හා ටිපර් රථ) ගමනා ගමනය සීමා කිරීම.
පොලිස් මුලස්ථානයේ විදුලි සෝපාන ක්‍රියාකරුවෙකුට විදුලි සෝපානය අසලදී සාපරාධි බලහත්කාරකම් හා සාපරාධි බියගැන්වීම් සිදුකිරීමේ චෝදනාවලින් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර නිදහස් කිරීමට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද (03) නියම කළේය.
ඉකුත් 2017 වසරේ අප්‍රේල් මස 11 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සෝපාන අංක එක ක්‍රියාකරුව සිටි රාගම පදිංචි ඒ.එච්. සමරකෝන් බණ්ඩා නිලධාරියාට පහරදීමට තැත් කරමින් පරුෂ වචනයෙන් බැණ තර්ජනය කළ බවට හිටපු පොලිස්පති පූජිත ජයසුන්දරට එරෙහිව අදාළ නිලධාරියා මෙම පැමිණිල්ල සිදුකර තිබුණි.
එම චෝදනාවලට අදාළ තීන්දුව ප්‍රකාශ කරමින් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය ප්‍රකාශ කළේ, හිටපු පොලිස්පතිවරයා චේතනාන්විතව පහරදීමක් සිදුකර නොමැති බවට නිගමනය කරන බවය.
Ada derana.lk
රක්ශිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න අද (03) දින උදෑසන 9ට ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අල්ලස් කොමිසම වෙත ඉදිරිපත් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස්. බෝදරගම බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කර තිබුණි.
අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබූ රාජිත සේනාරත්න පසුගිය අගෝස්තු මස 29 වන දින අධිකරණයට ඉදිරිපත් වීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණා.
එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදුවූ හානිය සඳහා ලැබුණු වන්දි මුදල් යෙදවූ ආකාරය පිළිබඳ පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය යොමුවී තිබේ.
පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේ , ලැබී ඇති වන්දි මුදල, ඒවායින් ධීවරයන්ට වන්දි වශයෙන් ගෙවා ඇති මුදල, වෙරල ආරක්ෂණය වෙනුවෙන් වියදම් කර ඇති මුදල සහ ඉතිරි වී ඇති මුදල් ප්‍රමාණය සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක් ලබාදෙන ලෙස එහිදී කාරක සභාව විසින් නිර්දේශ කළ බවයි.
මේ පිළිබඳ අවධානය යොමු වූයේ පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි සභාපතිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීයි.
වන්දි වශයෙන් ලැබුණ රුපියල් මිලියන 293 ක මුදලක් ධීවර අංශය සඳහා තවමත් ඉතිරිවී ඇති බවද මෙහිදී පැමිණි නිලධාරීන් විසින් කාරක සභාවට පෙන්වාදී තිබේ.
පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේ, එම ලැබුණු මුදල ධීවරයින් වෙනුවෙන් නොගෙවීම සම්බන්ධයෙන් කාරක සභාව තම අප්‍රසාදය පල කළ බවයි.
ඇතැම් ධීවරයින් විදේශගත වීම මෙන්ම අදාළ වන්දිය ලබාගත යුතු පුද්ගලයා ඉදිරිපත් නොවීම හේතුවෙන් වන්දි මුදල් ඉතිරිවී ඇති බවත් ඒවා ඉදිරියේදී ගෙවීමට කටයුතු කරන බවත් කාරක සභාවට එක්වූ නිළධාරින් පවසා තිබේ.
ඉතාලියේ විදේශ කටයුතු සහ ජාත්‍යන්තර සහයෝගීතාව පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය මරියා ට්‍රිපොඩ් අද (03) දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.
ශ්‍රී ලංකා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය සඳහන් කළේ, ලබන 5වනදා දක්වා ඇය මෙරට රැඳී සිටින බවය.
මෙම සංචාරය අතරතුරදී ඉතාලි විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරිය දේශපාලන උපදේශන යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම පිළිබඳ අවබෝධතා ගිවිසුමකට අත්සන් කිරීමට නියමිතය.
එමෙන්ම නියෝජ්‍ය අමාත්‍ය ට්‍රිපොඩි, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් සමග සාකච්ඡා පැවැත්වීමටද නියමිතව තිබේ.
දශකයකට ආසන්න කාලයකට පසු ඉතාලියේ සිට ශ්‍රී ලංකාව වෙත සිදුකෙරෙන ඉහළම මට්ටමේ සංචාරය මෙය බව සඳහන්ය.
බාලවයස්කරුවෙකු අත්අඩංගුවට ගත්විට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර පැය 06ක කාල සීමාවක් තුළ ඔහුගේ මවට, පියාට හෝ භාරකරුට ඔහු හමුවීමට ප්‍රවේශය ලබාදිය යුතු බවට දිවයිනේ සියලුම පොලිස් නිලධාරීන් වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පොලිස්පතිවරයාට නියෝග කර තිබේ.
2022 වසරේ රන් භාණ්ඩ සොරකමක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් බාල වයස්කාර පාසල් සිසුවෙකුට අමානුෂික ලෙස පහරදී ඔහුගේ දෑස්වලට නයි මිරිස් සාරය වක්කොට හිංසා සිදු කිරීම තුලින් හතරලියද්ද පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයා මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි තීන්දු කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කළ නියෝගයක මේ බව සඳහන් වෙයි.
හතරලියද්ද ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි බාල වයස්කාර පාසල් සිසුවකු සහ ඔහුගේ භාරකාරිය වන හමින් සිත්ති නිහාරා විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව මේනකා විජේසුන්දර, සම්පත් අබේකෝන් යන විනිසුරුවරුන්ගේ එකඟතාවය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතා මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේය.
ඒ අනුව අදාළ බාල වයස්කාර දරුවාගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම වෙනුවෙන් එම දරුවාට රුපියල් ලක්ෂ 03 ක වන්දියක් සහ ඔහුගේ භාරකාරියට රුපියල් 75000/- ක වන්දියක් සිය පෞද්ගලික මුදල්වලින් ගෙවන ලෙස හතරලියද්ද පොලිසියේ එවක වැඩ බලන පොලිස් ස්ථානාධිපති වශයෙන් කටයුතු කළ පොලිස් පරීක්ෂක වීරකෝන් මහතාට විනිසුරු මඩුල්ල විසින් නියෝග කර ඇත.
ඊට අමතරව යම් බාලවයස්කාර දරුවකු අත්අඩංගුවට ගත්විට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර පැය 06 ක කාල සීමාව තුළ ඔහුගේ මවට, පියාට හෝ භාරකරුට ඔහු හමුවීමට ප්‍රවේශය ලබාදිය යුතු බවට දිවයිනේ සියලුම පොලිස් නිලධාරීන් වෙත නියෝගයක් නිකුත් කරන ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පොලිස්පතිවරයාට නියෝග කර ඇත.
තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු මඩුල්ල සඳහන් කළේ මෙම පෙත්සම්කාර දරුවා පදිංචිව සිටින නිවස ආසන්නයේ පිහිටි නිවසක සිදු වූ රන් භාණ්ඩ සොරකමක් සම්බන්ධයෙන් වග උත්තරකාර පොලිස් නිලධාරීන් විසින් මෙම පෙත්සම්කාර දරුවා 2022 වසරේ අගෝස්තු මස 07 වන දින සැකපිට අත් අඩංගුවට ගත් බවය.
එයින් අනතුරුව මෙම දරුවා පොලිස් ස්ථානයට රැගෙන ගොස් වධ හිංසනයට භාජනය කරමින් ප්‍රශ්න කර තිබෙන බව අනාවරණය තිබෙන බවත් තීන්දුවේ සඳහන් වෙයි.
ප්‍රශ්න කිරීම් සිදුවන අතර තුර දරුවාගේ පාදවලට පොලුවලින් පහර දී වධ හිංසාවට බඳුන් කර ඇති අතර ලේන්සුවකට නයි මිරිස් කරල් කීපයක් මිරිකා එහි සාරය ගෙන දරුවාගේ දෑස් වලට වක් කරමින් වධ හිංසා පමුණුවා තිබෙන බවත් නඩු තීන්දුවේ දී ප්‍රකාශ විය.
ඉන් අනතුරුව අදාළ දරුවා ඇප මත මුදා හැරීමෙන් පසුව ඔහු රෝහල්ගතව ප්‍රතිකාර ලබාගත් බවත් එහිදී වෛද්‍යවරු විසින් ඉදිරිපත් කළ අධිකරණ වෛද්‍ය වාර්තා තුළින් පොලිස් අත්අඩංගුවේදී දරුවා වධ හිංසාවලට භාජනය වී ඇති බව තහවුරු වී ඇති බවත් විනිසුරුවරු සිය තීන්දුවේ ප්‍රකාශ කළේය.
ඉන් පසුව මේ සම්බන්ධයෙන් පැවතී නඩු විභාගයේ දී අදාළ දරුවා සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන බවත් තීන්දුවෙන් පෙන්වා දී තිබේ.
අපරාධ නඩු විධි විධාන සංග්‍රහයේ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමේදී සාධාරණ පැමිණිල්ලක්, විශ්වාස කළ හැකි සාක්ෂි සහ සාධාරණ සැකයක් තිබිය යුතු බව පෙන්වා දුන් විනිසුරු මඩුල්ල එහෙත් මෙම පෙත්සම්කාර දරුවා අත්අඩංගුවට ගැනීමේදී වගඋත්තරකාර පොලිස් නිලධාරියා එම නීතිමය මූලධර්ම උල්ලංඝනය කරමින් අත්තනෝමතික ආකාරයෙන් කටයුතු කර ඇති බවටත් චෝදනා කළහ.
මේ තුළින් එම නිලධාරියා මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් සිදුකර තිබෙන බවත් ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අවසානයේදී තීන්දු කළහ.
adaderana.lk
ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ ප්‍රබල අපරාධ කල්ලි සාමාජිකයින් 05 දෙනා දින 90ක රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබාදී තිබේ.
ත්‍රස්ත මර්දන පනත යටතේ මොවුන්ගෙන් මෙලෙස ප්‍රකාශ සටහන් කරගන්නා බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැවසීය.
ජකර්තා හීදි අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් 5දෙනා පසුගිය සෙනසුරාදා දිනයේදී මෙරටට රැගෙන එනු ලැබීය.
මොවුන්ගෙන් තිදෙනෙකු මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පසුවන අතර තවත් දෙදෙනෙකු බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය භාරයේ පසුවෙයි.
මන්දිනු පද්මසිරි පෙරේරා හෙවත් කෙහෙල්බද්දර පද්මේ, නිලංග සම්පත් සිල්වා හෙවත් පානදුර නිලංග සහ ශලින්ත මදුෂාන් පෙරේරා හෙවත් කමාන්ඩෝ සලින්ත යන අපරාධකරුවන් ප්‍රශ්න කිරීම් සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා තිබේ.
එමෙන්ම ළහිරු මදුසංඛ හෙවත් තැඹිලි ළහිරු සහ එන්.එන්. ප්‍රසංග හෙවත් බැකෝ සමන් යන අපරාධකරුවන් බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය භාරයේ පසුවෙයි.
කොළඹ කොටුව දුම්රිය ස්ථානය නවීකරණ ව්‍යාපෘතිය සඳහා ටෙන්ඩර් කැඳවා ඇතැයි ප්‍රවාහන,මහාමාර්ග,වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය පවසයි.
ආසියානු සංවර්ධන බැංකුවේ සහාය ඇතිව කොළඹ කොටුව දුමිරිය ස්ථානය නවීකරණය කිරීමට නියමිතයි.
ප්‍රවාහන,මහාමාර්ග,වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය පැවසුවේ, ඒ යටතේ කොටුව දුම්රිය ස්ථානය නවීන පහසුකම් සහිත දුම්රිය ස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමට පියවර ගන්නා බවයි.
ඒ සඳහා ඇස්තමේන්තුගත වියදම රුපියල් මිලියන 1395 කි.
ව්‍යාපෘතිය මාස 15ක කාලසීමාවක් තුළ නිමකිරීමට අපේක්ෂිතයි.
මෙම ව්‍යාපෘතිය සඳහා මේ වනවිට ටෙන්ඩර් කැඳවා ඇති අතර, සංවර්ධන වැඩකටයුතු මේ වසර අවසානයේ ආරම්භ කිරීමට නියමිත වෙයි.
අල්ලස් කොමිසම සිදුකළ විමර්ශනයකට අදාළව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පොලිස් දෙපාර්තමේන්තුවේ සංස්කෘතික අංශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සතීෂ් ගමගේ සැප්තැම්බර් 16 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (02) නියම කර තිබේ.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, පාතාල කල්ලි සාමාජිකයින් හා විවිධ සේවාවන් ලබාගැනීම සඳහා පොලීසියට පැමිණෙන මහජනතාවගෙන් අල්ලස් වශයෙන් ලබාගත් රුපියල් එක්කෝටි හතළිස් ලක්ෂයක මුදලක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පසුගියදා අල්ලස් කොමිසම විසින් සැකකරු අත්අඩංගුවට ගෙන පසුගිය 19 වන දින රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණි.
බස්නාහිර සහ සබරගමු පළාත්වලත් ගාල්ල,මාතර,මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ප.ව.2 පසුව වැසි ස්වල්පයක් ඇතිවිය හැකි අතර
ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්ක වලත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කලේය.තවද මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු මැද සහ වයඹ පළාත්වලත් සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේත් පැ.කි.මී. 30- 40 පමණ තරමක් තද සුළං තත්වයක් ඇතිවිය හැකිය.
දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී,අගෝස්තු මස 28 වන දින සිට සැප්තැම්බර් මස 07 වන දින දක්වා ශ්රීි ලංකාව ආසන්න අක්ෂාංශ වලට ඝෘජුවම ඉහලින් පවතී.
අද දිනයේ (02) දහවල් 12:10 ට ආඬිගම,බලල්ල,මීගස්වැව,බඔරගස්වැව,බකමූූණ,අරලගංවිල,චෙන්කලඩි,එරාවුර් ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතී.
අද (02) උඅසන 08.00 සිට රත්නපුර ශික්ෂණ රෝහලේ පැය 24ක සංකේත වැඩ වර්ජනයක් පැවැත් වෙන බව සඳහන් වේ.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක මේ බව සඳහන් කෙරේ.
එම මාධ්‍ය නිවේදනයට අනුව රත්නපුර ශික්ෂණ රෝහලේ අධ්යක්ෂවරයාගේ පීඩාකාරී සහ අත්තනෝමතික ක්‍රියාකලාපය හේතුවෙන් රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන් ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලය දැඩි පීඩාවකට පත්ව සිටින අතර එය රෝහලේ රෝගී සත්කාර සේවාවන්ට ද බලපා ඇත.
අදාළ අධ්යක්ෂවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් සාධාරණ විමර්ශනයක් පවත්වා රෝහල් කාර්ය මණ්ඩලය මුහුණ දී ඇති ගැටළු විසඳමින්, ආරක්ෂිත වෘත්තීය පරිසරයක් රෝහල තුළ ඇතිකිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා බවට සෞඛ්‍ය අමාත්‍යාංශය එකඟ වීම හේතුවෙන් මීට පෙර ප්‍රකාශයට පත්කර තිබූ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග කල්දැමුව ද, මෙතෙක් එම එකඟතාවයන් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශ බලධාරීන් අපොහොසත් වී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් කරුණු සඳහන් කරන එම නිවේදනයේ මෙලෙස සටහන් කර ඇත.
කාර්ය මණ්ඩලයට විවිධ තර්ජන
සෞඛ්‍ය අමාත්‍යංශ විමර්ශනය ආරම්භ වුව ද, අදාළ ප්‍රශ්නගත රෝහල් අධ්යක්ෂවරයා තනතුරේ සහ රෝහල තුළ සිටියදීම විමර්ශනය පැවැත්වීම පිළිගත නොහැකි තත්ත්වයකි. එය අදාළ විමර්ශනයේ අපක්ෂපාති සහ පාරදෘශ්‍ය බවට දැඩි බාධාවක් වී ඇති අතර, අධ්යක්ෂවරයාට ඇති චෝදනාවල සාක්ෂිකරුවන්ට ද බලපෑම් එල්ල වෙමින් පවතී. විමර්ශනයට අදාළ ලිපි ලේඛන වෙනස් කිරීම සහ අස්ථානගත වීමේ අවදානමක් පිළිබඳව ද තොරතුරු වාර්තා වී ඇත.
එමෙන්ම බාහිර පුද්ගල කණ්ඩායම් විටින් විට රෝහල තුළට පැමිණෙමින් වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයට විවිධ තර්ජන සිදුකිරීම හේතුවෙන්, රෝහල් පරිශ්‍රය තුළ දැඩි අනාරක්ෂිත තත්ත්වයක් ද නිර්මාණය වී ඇත.
හදිසි සහ ජීවිතාරක්ෂක ප්‍රතිකාර සේවා එලෙස ම
මෙම ප්රවණතා සමාලෝචනය කරමින්, රෝහල් අධ්යක්ෂවරයාගේ ක්‍රියා කලාපයට සාධාරණ පාරදෘශ්‍ය විමර්ශනයක් පැවැත්වීමට බල කරමින්, එතෙක් ඔහු රෝහල් අධ්යක්ෂ තනතුරෙන් තාවකාලිකව ඉවත් කිරීමට ඉල්ලා සිටිමින් සහ රෝහල් පරිශ්‍රය තුළ ආරක්ෂාව තහවුරු කිරීමට ඉල්ලා සිටිමින්, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ රත්නපුර ශික්ෂණ රෝහල් ශාඛාව අද (02) උදෑසන 08.00 සිට ආරම්භ වන පරිදි පැය 24ක සංකේත වැඩ වර්ජනයක් රත්නපුර ශික්ෂණ රෝහල තුළ ආරම්භ කරනු ඇත. මෙම වැඩ වර්ජන කාලසීමාව තුළ දී හදිසි සහ ජීවිතාරක්ෂක ප්‍රතිකාර සේවා එලෙසම පවත්වාගෙන යනු ලබන අතර, දෛනික ප්‍රතිකාර සේවාවන් සියල්ල අඩාල වනු ඇත.
මෙම වැඩවර්ජනයේ සම්පූර්ණ වගකීම රෝහල් අධ්යක්ෂවරයා සහ එම ගැටලුව විසඳීමට ඕනෑ තරම් කල් ලබා දී තිබියදීත්, එකඟ වූ කරුණු ක්‍රියාත්මක කිරීමට අසමත් වූ සෞඛ්‍ය අමාත්‍යංශ බලධාරින් භාරගත යුතු ය.
ස්තූතියි
මාධ්‍ය ප්‍රකාශක
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය
පසුගිය ජනාධිපතිවරණයේදී සහ මහ මැතිවරණයේදී , සියලු දෙනා තැබු එම විශ්වාසය සුරකිමින් ශ්‍රී ලාංකේය ජාතිය ගොඩනඟන තුරු එම දෑත් අත් නොහරින බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කළේය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ යාපනය මණ්ඩතිව් දූපතෙහි ඉදි කෙරෙන යාපනය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් ආරම්භ කිරීමේ අවස්ථාවට අද (01) පස්වරුවේ එක් වෙමිනි.
දිගු කාලීන සැලැස්මක් යටතේ මණ්ඩතිව් දූපත ජාත්‍යන්තර මට්ටමේ පහසුකම්වලින් සමන්විත ‘ක්‍රීඩා නගරයක්’ බවට පත් කිරීම පිළිබඳ සැලසුමද මෙහිදී ප්‍රකාශයට පත් කරන ලදී.
මෙම ක්‍රීඩා නගරය පිහිනුම් තටාකාංගණයක්, අනෙකුත් ක්‍රීඩාවලින් සමන්විත අංග සම්පූර්ණ ගෘහස්ථ ක්‍රීඩාගාරයක්, තරු පන්තියේ හෝටල් හා අවන්හල්, සුඛෝපභෝගී මහල් නිවාස, සාප්පු සංකීර්ණ මෙන්ම විනෝදාස්වාද මධ්‍යස්ථානවලින්ද සමන්විත වනු ඇත.
යාපනය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය අදියර හතරක් යටතේ ඉදි කිරීමට නියමිත අතර එහි පළමු අදියර ලෙස තරග පැවැත්විය හැකි මට්ටමට ක්‍රීඩාංගණය සහ ක්‍රීඩාගාරය ඉදි කෙරෙනු ඇත.
දෙවැනි අදියර යටතේ ප්‍රධාන ප්‍රේක්ෂකාගාරය සහ මාධ්‍ය කුටියද, තෙවැනි අදියර යටතේ සෙසු ප්රේක්ෂකාගාර ඉදිකිරීමටද, අවසන් අදියරේදී විදුලි අලෝක පද්ධතිය ස්ථාපිත කිරීමටද නියමිතය.
යාපනය, වෙලනෙයි ප්‍රාදේශීය සභාව විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ලබා දී ඇති භූමියක ඉදි කෙරෙන මෙම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ 40,000කට ආසන්න ප්‍රේක්ෂක සංඛ්‍යාවකට තරග නැරඹීමේ අවස්ථාව හිමි වේ.
එසේම ජාත්‍යන්තර මට්ටමේ දිවා/රාත්‍රී තරග පැවැත්වීමේ පහසුකම් සහිතව ශ්‍රී ලංකාවේ ඉදිවන පස්වන ක්‍රීඩාංගණය ලෙසද, ජාත්‍යන්තර තරග පැවැත්විය හැකි හත් වන ක්‍රීඩාංගණය ලෙද යාපනය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය ඉතිහාස ගතවනු ඇත.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක වැඩිදුරටත් සඳහන් කළේ ක්‍රිකට් ක්‍රීඩාව ශ්‍රී ලාංකේය අභිමානය ලෝකයට ගෙන ගිය ක්‍රීඩාවක් බවයි.
සියලු සීමාවන් සහ සියලු වෙනස්කම් දෙවැනි කොට ක්‍රීඩාවෙන් ජනතාව එක් කළ හැකි බව මෙහිදී අවධාරණය කළ ජනාධිපතිවරයා අද ඉදිකිරීම් ඇරඹෙන යාපනය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය හුදු ක්‍රිඩාංගණයක් පමණක් නොව රටේ සමගිය ගොඩනගන අවස්ථාවක් බවද පෙන්වා දුන්නේය.
අනාගතයේ සිංහල, දෙමළ, මුස්ලිම් තරුණයින් නියෝජනය කරන ජාතික ක්‍රිකට් කණ්ඩායමක් සහ සියලු ජාතීන්ට අයත් ජනතාව එකම ප්‍රේක්ෂකාගාරයක ඔල්වරසන් නගන රාජ්‍යයක් තම සුබ සිහිනය බවද පැවසු ජනාධිපතිවරයා, එය යථාර්ථයක් කර ගැනීමට එක්වන ලෙසද සියලුදෙනාගෙන් ඉල්ලා සිටියේය.
යාපනය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පළමු තරගය මේ වසර අවසන් වන විටත්, පළමු ජාත්‍යන්තර තරගය වසර 03ක් ඇතුළත පැවැත්වීමටත් හැකිවනු ඇති බවටද විශ්වාසය පළ කළ ජනාධිපතිවරයා
ක්‍රීඩාවේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තැබූ මෙම පියවර අගය කරමින් ඊට ස්තූතිය පළ කළේය.
තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ, මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල, උතුරු පළාත් ආණ්ඩුකාර නාගලිංගම් වේදනායහන්, ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න යන මහත්වරු, පාර්ලිමේන්තු මන්ත්‍රිවරු, ශ්‍රී ලංකා ක්‍රිකට් සංගමයේ සභාපති ඇතුලු නිලධාරිහු, යාපනය දිස්ත්‍රික්කයේ පාසල් ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
එක්සත් ජාතීන්ගේ හිටපු මානව හිමිකම් කොමසාරිස්වරයා ලංකාවට පැමිණි දිනයේදී උද්ඝෝශණයේ නිරත වෙමින් මාර්ග අවහිර කලේ යැයි ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රිි විමල් වීරවංශ ඇතුළු එම පක්ෂයේ සාමාජිකයන් හය දෙනෙකුට එරෙහි නඩුව නොවැම්බර් 10 වැනි දින විභාග කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම අද (01) නියෝග කළේය.
අත්අඩංගුවට ගත් අවස්ථාවේදී දී තමා වෙනුවෙන් ඔන්ලයින් හරහා පෙනී සිටි සියලුදෙනාටම ස්තූතිය පළ කරමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අන්තර්ජාලය ඔස්සේ වීඩියෝවක් මුදාහැර ඇත.
පසුව අවස්ථාවක ඔබ සැම මුණගැසීමට බලාපොරොත්තු වන බවද ඔහු කියා සිටියි.
සැප්තැම්බර් මස 06 වනදා පැවැත්වීමට නියමිත එක්සත් ජාතික පක්ෂ සම්මේලනයෙදී රනිල් වික්‍රමසිංහ ප්‍රසිද්ධ ප්‍රකාශයක් කිරීමට නියමිතය.
පාර්ලිමේන්තුවේ ආහාරපානවල සෞඛ්යාරක්ෂිත බව වැඩි කිරීමට අදාළව යෝජනා ඉදිරිපත් කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් පැවති ගෘහ්‍ය කාරක සභාවේදී තීරණය වී තිබේ.
කථානායකවරයාගේ ඉල්ලීම පරිදි බත්තරමුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාගේ ප්‍රධානත්වයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් පාර්ලිමේන්තු පරිශ්‍රයේ ආහාරපාන පිළියෙල කිරීමට අදාළ මුළුතැන්ගෙය ඇතුළු ස්ථාන පරීක්ෂා කිරීම පසුගිය අප්‍රේල් මාසයේදී සිදු කෙරිණි.
ඒ අනුව ඊට අදාළ නිරීක්ෂණ ඇතුළත් වාර්තාව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් ගෘහ්‍ය කාරක සභාවට සවිස්තරාත්මකව ඉදිරිපත් කිරීම මෙහිදී සිදුවිය.
මෙහිදී අදහස් දක්වමින් බත්තරමුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වයි.බී ඉන්දික පැවසුවේ බත්තරමුල්ල ප්‍රදේශයේ රාජ්‍ය ආයතන 150කට ආසන්න ප්‍රමාණයක ආහාර සුරක්ෂිතතාව සම්බන්ධයෙන් විමර්ශනය කල ද පාර්ලිමේන්තුවේ ආහාරවල සුරක්ෂිතබව පිළිබඳ නිරීක්ෂණයට එක්වූයේ පළමු වරට බවය. ඒ සඳහා මැදිහත් වූ කථානායකවරයාට ස්තූතිය පළ කරන බව ද පැවසීය.
ඒ අනුව පාර්ලිමේන්තුවේ ආහාර අමුද්‍රව්‍ය ලබාගැනීමේ සිට ආහාර නිෂ්පාදනය, ගබඩා කිරීම සහ පිළිගැන්වීම පිළිබඳව සිදුකළ විමර්ශනයේ වාර්තාවක් කථානායකවරයාට ලබා දුන් බව සඳහන් කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්, විදෙස් රාජ්‍ය තාන්ත්‍රිකයන්, රාජ්‍ය නිලධාරීන්, ආරක්ෂක අංශ ඇතුළු අනෙකුත් සේවකයන් සඳහා ආහාරපාන පාර්ලිමේන්තුව විසින් සැපයීම සිදුකරන අතර පාර්ලිමේන්තුවේ ආහාරපානවල සෞඛ්යාරක්ෂිත බව තහවුරු කිරීමේ අවශ්‍යතාව මෙහිදී ගරු කථානායකවරයා විසින් අවධාරණය කරන ලදී.
ඒ අනුව පාර්ලිමේන්තුවේ ආහාරපාන අංශයේ පවතින යටිතල පහසුකම්වල අඩුපාඩු මෙන්ම අනෙකුත් ගැටලු කඩිනමින් මඟහරවා ගැනීමට අදාළ යෝජනා සකස් කිරීම පිණිස මෙම කමිටුව පත් කරන බව කථානායකවරයා මෙහිදී සඳහන් කළේය.
ඒ අනුව ප්‍රදේශය භාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ මුළුතැන්ගෙය කටයුතු පිළිබඳ විශේෂඥ දැනුමැති ඉංජිනේරුවෙකු, ගෘහ නිර්මාණ ශිල්පියෙකු, පාර්ලිමේන්තුවේ ආහාරපාන හා ගෘහ පාලන සේවා අධ්යක්ෂවරයා සහ පාර්ලිමේන්තුවේ සම්බන්ධීකරණ ඉංජිනේරුවරයා මෙම කමිටුවට ඇතුළත් විය යුතු බවට ද මෙහිදී යෝජනා විය.
මීට අමතරව මාදිවෙල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ නිල නිවාසවල පවතින සේවා සැපයීම්, නඩත්තු කටයුතු ඇතුළු කරුණු පිළිබඳව ද මෙම කාරක සභාවේදී අවධානය යොමුවිය. ඒ සම්බන්ධයෙන් පවතින අඩුපාඩු කඩිනමින් නිරාකරණය කිරීමට පියවර ගන්නා ලෙස ද කථානායකවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදී.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
