V2025

පුවත්

ජීඑල් පොහොට්ටුවෙන් ගේම ඉල්ලයි !

ලබන සෙනසුරාදා (22) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් පැවැත්වීමට නියමිත මහ සභා රැස්වීමේ නීත්‍යානුකූලභාවය අභියෝගයට ලක්කරමින් අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් එම පක්‍ෂයට දැනුම්දී තිබේ.

එම මහ සභාවේදී ගන්නා තීරණ වලංගුභාවයෙන් තොර, ශූන්‍ය සහ ක්‍රියා විරහිත යන පදනම මත සුදුසු අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව ද මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා වැඩි දුරටත් දැනුම් දී තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙ හි මෙම වසරේ (2023) මහා සභා රැස්වීම බත්තරමුල්ල, නෙළුම් මාවතේ අංක 1316 දරණ ස්ථානයේ ලබන සෙනසුරාදා (22) පෙරවරු 10.00 සිට පැවැත්වෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතිඥා සාගර කාරියවසම් පසුගිය 11 වැනිදා මහාචාර්ය ජී. එල්. පීරිස් ට ලිඛිතව දැනුම් දී තිබේ.

පොදු ජනතාව ආරක්ෂා කිරීමට ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත ගෙන ඒමේ රජයේ අරමුණයි - අධිකරණ අමාත්‍ය

ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත ගෙන ඒමේ රජයේ අරමුණ මේ රටේ පොදු ජනතාව ආරක්ෂා කිරීමට බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ  පවසයි.

ඇමතිවරයා මේ බව කියා සිටියේ අධිකරණ අමාත්‍යාංශයේදී අද (20) ශ්‍රී ලංකාවේ අමෙරිකා තානාපතිනී ජුලී චන්ග්  හමුවූ අවස්ථාවේ දී ය.

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත නව ප්‍රති ත්‍රස්ත පනත් කෙටුම්පත පිළිබදව හා මේ වන විට ශ්‍රී ලංකාව විසින් අත් කර ගෙන ඇති ආර්ථික ප්‍රගතිය ඇතුළු කරුණු සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යතුමා විසින් තානාපතිනිය දැනුවත් කළේය.

දැනට පවතින ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත ගෙන ඒමේ රජයේ අරමුණු වුයේ රටේ සාමාන්‍ය ජනතාවගේ ආරක්ෂාව සුරක්ෂිත කිරීම බවත්, මානව හිම්කම් කඩවීමට ඇති අවස්ථාවන් නව ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත මගින් අවම කර ඇති බවත්, අධිකරණ අමාත්‍යතුමා මෙහිදී පැවසීය.

වත්මන් රජය විසින් මේ වන විට ජනතාවගේ ආරක්ෂාව ආර්ථික තත්වය නගා සිටුවීම වෙනුවෙන් ගෙන ඇති වැඩ පිළිවෙළ අගය කරන අතර, ආර්ථික අර්බුදය සදහා මුහුණ දුන් ලෝකයේ සෙසු රටවල් පිළිබදව සළකා බැලීමේදී මේ තරම් කෙටි කාලයක් තුළ ආර්ථික අර්බුදයෙන් ගොඩඒමට කටයුතු කිරීම පිළිබදව සිය සතුට පළ කරන බව ද තානාපතිනීය මෙහිදී සදහන් කළාය.

මේ අතර අමාත්‍ය විජයදාස රාජපක්ෂ සහ ශ්‍රී ලංකාවේ දකුණු අප්‍රිකානු මහ කොමසාරිස් එස්.ඊ. ස්චල්ක් (S.E.Schalk)  අතර හමුවක් ද අධිකරණ අමාත්‍යාංශයේදී අද පෙරවරුවේ පැවැත්විණි.

ජාතික සංහිදියාව වැඩි දියුණු කිරීම සදහා ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමට නියමිත සංහිදියා කොමිසම පිහිටුවීම පිළිබදව හා එම කොමිසම පිහිටුවීම සදහා දකුණු අප්‍රිකාවේ අත් දැකීම් ලබා ගැනීම සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අධිකරණ අමාත්‍යතුමා ඇතුළු නියෝජිත පිරිස සිදු කළ සංචාරය සම්බන්ධයෙන් ද සාකච්ඡා‌ විය.

ශ්‍රී ලංකාවේ සාමය හා සංහිදියා ක්‍රියාවලිය මෙන්ම ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීම වෙනුවෙන් දකුණු අප්‍රිකානු රජය අවශ්‍ය සහාය ලබාදීමට කැපවී කටයුතු කරන බව මහ කොමසාරිස්වරයා මෙහිදී සදහන් කලේය.

ආසියානු රග්බි සම්මේලනයේ සහාය ලංකාවට

ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාවේ අභිවෘද්ධිය වෙනුවෙන් ආසියානු රග්බි සම්මේලනයේ පූර්ණ සහාය ලබා දීමට එකගත්වය හිමි වේ.

ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාවේ අභිවෘද්ධිය වෙනුවෙන් පත්කල ස්ථාවරකරණ කමිටුව පිළිබදව කරුණු පැහැදිලි කිරීමට වාරිමාර්ග, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ  ඊයේ (19) ඩුබායි හි පිහිටි ආසියානු රග්බි මූලස්ථානයේ දී එහි සභාපති කයිස් අල් දලායි හමුවිය.

ශ්‍රී ලංකා රග්බි සම්මේලනය පසුගිය වසර ගණනාව පුරාම ක්‍රීඩාවේ අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු නොකිරීම, ශ්‍රී ලංකාවේ මූලික නීති කඩකිරීම් යන කරුණු ඇතුලත්ව සිදු කරන ලද ක්‍රියාවන් ගණනාවක් හේතුවෙන් ක්‍රීඩා පනතේ ඇති වගන්ති ප්‍රකාරව ක්‍රීඩා අමාත්‍යාංශයේ මැදිහත් වීම හැර වෙනත් විකල්පයක් නොතිබුණු බව පැහැදිළි කළ අමාත්‍යවරයා, එම තත්ත්වය මගහරවා ගැනීමට ගත යුතු පියවරක් ලෙස ස්ථාවරකරණ කමිටුවක් පත් කළ බවත්, අගෝස්තු මස මුල් සතිය තුළ නිවැරදි ක්‍රමවේදයන් ඔස්සේ සම්මේලනයේ නිලවරනය පවත්වා රග්බි ක්‍රීඩාව යහපත් පරිපාලනයක් ඔස්සේ රටක් ලෙස අපේක්ෂිත ප්‍රතිඵල අත්කර ගැනීමට ක්‍රියා කරන බවත් කයිස් අල් දලායි වෙත කරුණු පැහැදිළි කරන ලදි.

ඇතිව තිබූ අර්බුධකාරී තත්ත්වය හමුවේ ස්ථාවරකරණ කමිටුවක් පත් කිරීම කාලෝචිත බවත්, ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩාවේ අභිවෘද්ධිය වෙනුවෙන් සෑම විටම සහයෝගයෙන් කටයුතු කිරීමට කැමැත්තෙන් පසුවන බවත් කයිස් අල් දලායි  එහි දී ප්‍රකාශ කළේය.

පසුගිය 12 වන දින තමන් විසින් කරුණු පැහැදිළිකර එවන ලද ලිපියට යහපත් ප්‍රතිචාර දක්වමින් පනවා තිබූ තහනම ඉවත් කිරීම සම්බන්ධයෙන් ස්තූතිය පුද කල අමාත්‍යවරයා ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩාවේ අභිවෘද්ධිය වෙනුවෙන් ආසියානු රග්බි සම්මේලනය සමඟ සමීපව වැඩ කටයුතු කිරීමට තමන්ගේ පූර්ණ සහයෝගය ලබා දෙන බව වැඩිදුරටත් පැවසීය.

උසස් පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව : ජනාධිපති රනිල් තද ස්ථාවරයක !

පාසල් සිසුන් විවිධ කණ්ඩායම්වල ප්‍රාණ ඇපකරුවන් බවට පත්කර ගැනීමට කිසිසේත් ඉඩ නොතබන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කළේය.

උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇඟයීම් සම්බන්ධයෙන් මෙම සතිය අවසන් වීමට පෙර විකල්ප යෝජනා හා විසඳුම් ඇතුලත් නිශ්චිත වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන ලෙස අධ්‍යාපන බලධාරීන්ට උපදෙස් දුන් ජනාධිපතිවරයා විභාග සම්බන්ධ කාර්යයන් අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස නම් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව ද ප්‍රකාශ කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කළේ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන, කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශවල 2023 වර්ෂයේ ක්‍රියාත්මක කරන ලද විශේෂ අයවැය යෝජනාවල ප්‍රගතිය සමාලෝචනය වෙනුවෙන් අද (19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවට එක් වෙමිනි.

විභාග කටයුතු හදිසි සේවාවක් ලෙස පවත්වාගෙන යාමට අවශ්‍ය නිති සම්පාදනය කිරීමට ද අපේක්ෂා කරන බව පැවසූ ජනාධිපතිවරයා පසුගිය වසරේ පිළිතුරු පත්‍ර ඇඟයීම සඳහා සම්බන්ධ වු කණ්ඩායමම යොදා ගනිමින් මෙවර උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇඟයීම් කටයුතු සිදු කරන ලෙස ද උපදෙස් දුන්නේය.

එම කටයුතු සඳහා සහභාගී නොවුනහොත් අදාළ පාර්ශ්වයන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට අපේක්ෂා කරන බවත්, ඒ පිළිබඳ නීතිපතිවරයා සමග ද සාකච්ඡා කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේය.

අධ්‍යාපන අමාත්‍යවරයා මේ සම්බන්ධව කර ඇති ප්‍රකාශය පිළිබඳව ද අවධානය යොමු කර ඒ අනුව ඉදිරි කටයුතු සැලසුම් කරන ලෙසද ජනාධිපතිවරයා අධ්‍යාපන බලාධාරින්ට දැනුම් දුන්නේය.
අධ්‍යාපන හා උසස් අධ්‍යාපන, කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශ වල 2023 වර්ෂයේ ක්‍රියාත්මක කරන ලද විශේෂ අයවැය යෝජනාවල ප්‍රගතිය මෙහිදී දීර්ඝ ලෙස සමාලෝචනයට ලක් කෙරිණි.

අපොස උසස්පෙළ විභාගයෙන් ඉහළම ලකුණු ලබා ගන්නා සිසු සිසුවියන් අතරින් අවම වශයෙන් වසරකට සිසුන් සිව් දෙනෙකු හෝ ඔක්ස්පර්ඩ්, කේම්බ්‍රිජ් හා හාවඩ් වැනි විදේශීය විශ්වවිද්‍යාලවල උපාධි පාඨමාලා සඳහා ඇතුළත් කර ගැනීමේ වැඩපිළිවෙළක් සකස් කිරීම පිළිබඳ මෙහිදී නිලධාරින්ට උපදෙස් දුන් ජනාධිපතිවරයා වාර්ෂිකව එම සංඛ්‍යාව ඉහළ නංවා ගැනීමට කටයුතු කිරීමේ අවශ්‍යතාවය ද පෙන්වා දුන්නේය.

රාජ්‍ය මෙන්ම පෞද්ගලික විශ්වවිද්‍යාල සිසුන්ට ද එම අවස්ථාව ලබාදීමටත්, තාක්ෂණික විෂයන් සඳහා සිසුන් වැඩි පිරිසක් යොමු කිරීමේ වැදගත්කමත් මෙහිදී අවධාරණය කෙරිණි.

උසස් පෙළ සහිත පාසල් වලට සහ අනතුරුව සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපන පහසුකම් ඇති සියලු පාසල්වලට වසර දෙකක් තුළ අන්තර්ජාල පහසුකම් ලබාදීමට අවශ්‍ය වැඩපිළිවෙළක් සකස් කරන ලෙස මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවට (TRC) උපදෙස් දුන්නේය.

වර්ෂයකට ඉංජිනේරු හා තාක්ෂණ උපාධිධාරීන් 10,000ක් හා වෛද්‍ය උපාධිධාරීන් 5,000ක් බිහිකිරීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික විශ්වවිද්‍යාල ඒකාබද්ධ වැඩපිළිවෙලක් සකස් කරන ලෙස උපදෙස් දුන් ජනාධිපතිවරයා මේ සඳහා සුදුසු කමිටුවක් පත් කර ගනිමින් වාර්තාවක් සකස් කර ඉදිරිපත් කරන ලෙස ද දැනුම් දුන්නේය.

එමෙන්ම 350කට අධික රජය යටතේ පාලනය වන තාක්ෂණ සහ වෘත්තීය පුහුණු ආයතන ඒකාබද්ධ කර පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය ද ජනාධිපතිවරයා පැහැදිළි කළේය.

පවතින කම්කරු නීති කම්කරුවන්ට බලපාන මූලාශ්‍ර රැසකින් සමන්විත වන බැවින් ඒ වෙනුවට ඒකාබද්ධ තනි කම්කරු නීතියක් (Unified Labor Law) සකස් කිරීමේ අවශ්‍යතාවය පෙන්වා දුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ එය බලාත්මක කිරීම සඳහා අවශ්‍ය පනත් කෙටුම්පත එළැඹෙන මැයි මාසය වන විට ඉදිරිපත් කරන ලෙස කම්කරු හා විදේශ රැකියා පිළිබඳ අමාත්‍යාංශයේ නිලධාරින්ට උපදෙස් දුන්නේය.

එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා විසින් ආරම්භ කර ඇති නැගෙනහිර පෞද්ගලික විශ්වවිද්‍යාලය පිළිබඳ සොයා බැලීමට රාජ්‍ය ඇමති සීතා අරඹේපොල ගේ ප්‍රධානත්වයෙන් පත්කර ඇති අනු කමිටුවේ කටයුතු පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට ලක් විය.

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එම්.එන්. රණසිංහ, කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ ලේකම් ආර්.පී.ඒ. විමලවීර, පරිසර අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරු සහ රාජ්‍ය නිලධාරිහු මීට එක්ව සිටියහ.

එතකොට අගවිනිසුරු කාදිනල්ද ? මෛත්‍රීට ප්‍රශ්නයක් !

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමේ බලය ඇත්තේ අධිකරණයට හෝ අගවිනිසුරුට මිස කාදිනල් හිමියන්ට නොවන බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන පවසයි .

හිටපු ජනාධිපතිවරයා මෙසේ පැවසූවේ කාදිනල් හිමි සිදුකර ඇති ප්‍රකාශ සම්බන්ධයෙන් මාධ්‍ය අද (19) මහනුවර දී කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් ය.

තමා දඩ මුදල නොගෙව්වොත් ගන්නා පියවර තීරණය කරන්නේ අධිකරණය බවත් අධිකරණයට ගරු කරමින් ඒ දඩ මුදල් ගෙවිය යුතු බවත් ඔහු සඳහන් කළේය.

පුංචි ජන්දය ගැන ගහපු අලුත්ම ගැසට් එක මෙන්න !

පළාත් පාලන මැතිවරණය අප්‍රේල් 25 වැනි දා නොපැවැත්වෙන අතර එම මැතිවරණය භාණ්ඩාගාරයෙන් මුදල් නිකුත් කරන දිනක පවත්වන බව සඳහන් කරමින් දිස්ත්‍රික් තේරීම්බාර නිළධාරීන් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඡන්ද විමසීම පැවැත්වීමට අවශ්‍ය මුදල් මහා භාණ්ඩාගාරය විසින් නිකුත් කරනු ලබන බවට නිශ්චිත වශයෙන් මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දෙන දිනය හෝ දැනටමත් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිය ඉදිරියේ විභාගවන පෙත්සම්වල නඩු තීන්දු මත ඡන්ද විමසීම සඳහා නව දිනයක් නම් කරන බව ද ඒ ඒ දිස්ත්‍රික් තේරිම්බාර නිධාරීන් නිකුත් කර ඇති අති විශේෂ ගැසට් නිවේදනවල සඳහන් වෙයි.

චීනය රිලව් ඉල්ලා නැතිලු !

රිලව් ලක්ෂයක් ශ්‍රී ලංකාවෙන් චීනයට ආනයනය කිරීම සඳහා අයැදුම්පතක් කිසිඳු පාර්ශ්වයකින් මේ වන තෙක් ලැබී නොමැති බව චීන ජාතික වන සත්ව සහ තෘණ බිම් පරිපාලන ඒකකය ප්‍රකාශ කළ බව චීන තානාපති කාර්යාලය පවසයි .

ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්‍යාලය නිවේදනයක් නිකුත් කරමින් මේ බව ප්‍රකාශ කර ඇති අතර රිලව් ලක්ෂයක් ශ්‍රී ලංකාවෙන් ආනයනය කිරීම සඳහා කළ ඉල්ලීමක් පිළිබඳ කිසිඳු දැනුවත්භාවයක් නොමැති බවද චීන ජාතික වන සත්ව සහ තෘණ බිම් පරිපාලන ඒකකය ප්‍රකාශ කළ බවද එහි සඳහන් කර ඇත

චීනයට වන සතුන්, ශාක අපනයනය කිරීමේදී මෙන්ම චීනයෙන් වන සතුන්, ශාක ආනයනය කිරීමේදී අධීක්ෂණ සහ කළමනාකරණ කටයුතු පිළිබඳ වගකීම පැවැරෙන ආයතනය වන්නේ චීන ජාතික වන සත්ව සහ තෘණ බිම් පරිපාලන ඒකකය වන අතර එහි අවසරයකින් තොරව වන සතුන් හෝ ශාක චීනයෙන් ආනයනය කිරීමට හෝ චීනයට අපනයනය කළ නොහැක.

චීනයේ පුද්ගලික සමාගමකට වඳවීමේ තර්ජනයට ලක් වී ඇති රිලව් ලක්ෂයක් පර්යේෂණ සඳහා ශ්‍රී ලංකාව අපනයනය කිරීමට සුදානම් වන බවට දේශීය සහ ජාත්‍යන්තර මාධ්‍ය වල පළවූ වැරදි වාර්තා මෙන්ම කෘෂි කර්ම අමාත්‍ය මහින්ද අමරවීර සිදු කළ පැහැදිලි කිරීම පිළිබඳවද චීන තානාපති කාර්යාලයේ අවධානය යොමු වීම හේතුවෙන් බෙයිජිං හි පිහිටි චීන ජාතික වන සත්ව සහ තෘණ බිම් පරිපාලන ඒකකයෙන් චීන තානාපති කාර්යාලය මෙම විමසීම සිදුකර ඇත.

හිටපු නීතිපති දප්පුල වෙනුවට නීතිඥයෙක් TIDයට

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබදව කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් කටඋත්තරයක් සටහන් කර ගැනීම සදහා හිටපු නිතිපති දප්පුල ද ලිවේරා ට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අද (19) පෙනී සිටින ලෙස දැනුම් දී තිබුණද හිටපු නීතිපති දප්පුල ද ලිවේරා පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය(TID) හමුවේ අද (19) පෙනී නොසිටියේ ය.

ඒ අනුව අද දිනයේ හිටපු නීතිපතිවරයාගේ නීතීඥවරයෙක්වන දිමිත්‍ර අබේසේකර  ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිට තිබේ.

එහිදී ඔහු සඳහන් කර සිටියේ, අදාල කරුණ සම්බන්ධයෙන් පිටු 07 කින් සමන්විත නෛතික විරෝධතාවයක් ත්‍රස්ත විමර්ශන කෙට්ඨාසය වෙත ඉදිරිපත් කල බවයි.

ඉන්දියාව ලොව ජනාකීර්ණම රට බවට පත් වේ

චීනය අභිබවා ඉන්දියාව ලොව ජනාකීර්ණම රට බවට පත්ව ඇත.

එක්සත් ජාතීන්ගේ සංවිධානය අද(19) නිකුත් කළ දත්ත වාර්තාවලට අනුව චීනයේ මිලියන 142.57 ට සාපේක්ෂව ඉන්දියාවේ ජනගහනය කෝටි 142.86 කි.

මෙය ඉන්දියාව එක්සත් ජාතීන්ගේ වැඩිම ජනගහනය සහිත රටවල් ලැයිස්තුවේ පළමු ස්ථානයට පත් වූ පළමු අවස්ථාවවේ.

උපත් අනුපාත පහළයාම සහ ශ්‍රම බලකාය වයස්ගතවීම චීනයේ ජනගහනය පහළ යාමට හේතුවී තිබේ. 1960 වසරෙන් පසුව ප්‍රථම වතාවට පසුගිය වසරේදී චීනයේ ජනගහනය අඩු වී තිබේ.

එක්සත් ජාතීන්ගේ දත්තවලට අනුව ඉන්දියාවේ ජනගහනයෙන් 1/4 කට ආසන්න ප්‍රමාණයක් වයස අවුරුදු 14 ට අඩු දරුවන්ය.

ජනගහනයෙන් 68% ක් වයස අවුරුදු 15 සිට 64 දක්වා වයස් කාණ්ඩයේ පසුවේ.

එමෙන්ම, 7% ක් වයස අවුරුදු 65 ඉක්මවූවන්ය.

එමෙන්ම, මේ වසරේ මැද වන විට ගෝලීය ජනගහනය බිලියන 8.045 දක්වා ඉහළ යනු ඇතැයි එක්සත් ජාතීන් ඇස්තමේන්තු කර ඇත.

ජනාධිපති අවුරුදු උත්සවයේ : තෑගි සහ තරග මෙන්න !

ජනාධිපති කාර්යාලය සහ රජයේ අමාත්‍යාංශ  එක්ව සංවිධානය කරනු ලබන "වසත් සිරිය 2023" සිංහල සහ දෙමළ අලුත් අවුරුදු උත්සවයේ තරග ඉසව් සඳහා අයදුම් පත් කැඳවීම ආරම්භ කර ඇති බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි .
 
නිවේදනයක් නිකුත්කරමින් ජනාධිපති මාධ්‍ය ඒකකය මේ බව සඳහන් කරන අතර අවුරුදු තරග සඳහා අදාළ සියලු අයදුම්පත් www.pmd.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ලබා ගත හැකි බවත් එහි සඳහන් කර ඇත .
 
එසේම අදාළ නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන් කර ඇත .
 
“වසත් සිරිය” අවුරුදු කුමරා/ කුමරිය (විවෘත ) තරගය  සඳහා මාස 03ක් ඇතුළතදී ගත් වර්ණ ඡායාරූපයක් සමඟ අයදුම් කළ යුතු වේ. සියලු  අයදුම්කරුවන් වයස අවුරුදු 20-35 අතර අවිවාහක අය විය යුතුය. 
 
සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍රය chiefacct.pd@presidentsoffice.lk විද්‍යුත් ලිපිනය වෙත 2023.04.20 දින ප.ව 3.00ට පෙර ලැබීමට සැලැස්විය යුතුය.
පළමු, දෙවන සහ තෙවන ස්ථාන සඳහා රන් ආභරණ සහිත වටිනා ත්‍යාග පිරිනැමේ. තරග කොන්දේසි සම්බන්ධ අවසාන තීරණය සංවිධාන කමිටුව සතු වන අතර වැඩි විස්තර ඒ.ජී.එම්.ඉසංකා මිය (සම්බන්ධීකාරක)-දු.ක.-0702025095 ඇමතීමෙන් ලබාගත හැකිය.
 
එමෙන්ම “වසත් සිරිය” මැරතන් ධාවන තරගය සඳහා අයදුම්කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිලෝ මීටර් 20ට වැඩි තරගයක් ධාවනය කිරීමට සුදුසු ශාරීරික යෝග්‍යතාවයකින් පසුවන බවට වෛද්‍ය වාර්තාවක් ද සමඟ අයදුම් කළ යුතු වේ. 
 
මෙම අයදුම්පත්‍ර 2023 අප්‍රේල් මස 21 වන දින මධ්‍යාහ්න 12.00ට පෙර ජනාධිපති කාර්යාලයේ ආරක්ෂක අංශය වෙත ලබාදිය යුතු අතර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. ඊ-මේල් ලිපිනය ඔස්සේ හෝ 0710573828 වට්ස්ඇප් අංකය ඔස්සේ යොමු කළ හැකිය.
 
මැරතන් තරගයේ (පිරිමි) පළමුවන ස්ථානය සඳහා රුපියල් 75,000ක් ද, දෙවන ස්ථානය සඳහා රුපියල් 50,000ක් ද, තෙවන ස්ථානය සඳහා රුපියල් 30,000ක් ද පිරිනැමෙන අතර සිව්වන ස්ථානයේ සිට දසවන ස්ථානය දක්වා රුපියල් 10,000 බැගින් පිරිනැමේ. 
 
කාන්තා මැරතන් තරගයේ පළමු ස්ථානය සඳහා රුපියල් 50,000ක් ද, දෙවන ස්ථානය සඳහා රුපියල් 30,000ක් ද, තෙවන ස්ථානය සඳහා රුපියල් 20,000ක් ද පිරිනැමෙන අතර සිව්වන ස්ථානයේ සිට දසවන ස්ථානය දක්වා රුපියල් 7,500 බැගින් පිරිනමනු ලබයි.
 
එමෙන්ම ස්ටෑන්ඩඩ් පාපැදි  සවාරිය (පිරිමි/ කාන්තා) දිවයිනටම විවෘතය. ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය එක්ව එය සංවිධානය කරයි.
පිරිමි අංශයේ ස්ටෑන්ඩඩ් පාපැදි සවාරිය ගාලු මුවදොර පිටියෙන් ආරම්භ වී  මීගමුව පාර ඔස්සේ,    ජා-ඇළ, කටුනායක, මිනුවන්ගොඩ, වේයන්ගොඩ, නිට්ටඹුව, නුවර පාර, කඩවත, පෑලියගොඩ, හරහා නැවත  ගාලු මුවදොර පිටියෙන් අවසන් වෙයි. 
 
එහි කාන්තා අංශයේ තරගය  ගාලු මුවදොර පිටියෙන් ආරම්භ වී  ගාලු පාර ඔස්සේ පාමංකඩ, පිළියන්දල, කැස්බෑව, කොට්ටාව, මහරගම, නුගේගොඩ, තුම්මුල්ල හන්දිය, පිත්තල හන්දිය, ලේක්හවුස් ඔස්සේ නැවත  ගාලු මුවදොර පිටියෙන් අවසන් වෙයි.
 
1973 වසරේ හා ඉන් පසුව සහ 2004 වසරේ හා ඉන් පෙර වසරවල උපත ලැබූ ශ්‍රී ලාංකික පිරිමි සහ කාන්තා පාපැදි ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මේ සඳහා  සහභාගී විය හැකිය.
 
මෙම තරගය සඳහා ගැනෙන ස්ටෑන්ඩඩ්  පාපැදි ඉදිරිපස සහ පසුපස දැති 48 සහ 18, හැඬලයේ රෙස්ට් බාර්/ හැක් බාර් සමඟ තරග කිරීම තහනම් බව සංවිධායක මණ්ඩලය දන්වා සිටියි.
 
ඒ අනුව මේ සඳහා සහභාගි වීමට අපේක්ෂා කරන තරගකරුවන් අදාළ අයදුම්පත සම්පූර්ණ කර රජයේ ලියාපදිංචි වෛද්‍යවරයෙකු ලවා තරග කිරීමට හැකි යහපත් සෞඛ්‍ය තත්ත්වයේ පසුවන බවට සහතික කොට සංවිධායක මණ්ඩලය වෙත This email address is being protected from spambots. You need JavaScript enabled to view it. ඊ-මේල් ලිපිනය ඔස්සේ හෝ 0788429688  වට්ස්ඇප් අංකය ඔස්සේ යොමු කළ හැකිය. 
 
2023 අප්‍රියෙල් 21 දින පෙ.ව 10.00 ට පසුව ලැබෙන අයදුම්පත් ප්‍රතික්ෂේප කෙරෙන  අතර පිළිගන්නා ලද අයදුම් පත් පිළිබඳ වට්ස්ඇප් පණිවිඩයක් ඔස්සේ අයදුම්කරුවන් වෙත දැනුම් දෙනු ලැබේ.මෙම  අයදුම් කිරීම හා ලියාපදිංචිය සඳහා කිසිදු  මුදලක් අය නොකෙරේ.
 
ස්ටෑන්ඩඩ්  පාපැදි  තරගය (පිරිමි) පළමු ස්ථානය සඳහා රුපියල් 100,000ක් ද, දෙවන ස්ථානය සඳහා රුපියල් 75,000ක් ද, තෙවන ස්ථානය සඳහා රුපියල් 50,000ක් ද, සිව්වන ස්ථානය සඳහා රුපියල් 30,000ක් ද, පස්වන ස්ථානය සඳහා රුපියල් 20,000ක් ද, 6 සිට 10 ස්ථාන දක්වා රුපියල් 9,000 බැගින් ද, 11 සිට 15 ස්ථාන දක්වා රුපියල් 5,000 බැගින් ද ත්‍යාග පිරිනැමේ. කාන්තා තරගයේ පළමු ස්ථානය සඳහා රුපියල් 50,000ක් ද, දෙවන ස්ථානය සඳහා රුපියල් 40,000ක් ද, තෙවන ස්ථානය සඳහා රුපියල් 30,000ක් ද, සිව්වන ස්ථානය සඳහා රුපියල් 20,000ක් ද, පස්වන ස්ථානය සඳහා රුපියල් 15,000ක් ද, 6 වන ස්ථානයේ සිට 10 වන ස්ථානය දක්වා රුපියල් 9,000 බැගින් පිරිනමනු ලබයි.
කඹ ඇදීමේ තරගය සඳහා  අදාළ අයදුම්පත සම්පූර්ණ කර තරගාවලිය ආරම්භ කිරීමට දින 02කට ප්‍රථම ලබා දිය යුතු අතර ඒ සඳහා 0717880695 දුරකථන අංකය ඔස්සේ සම්බන්ධ විය හැකිය.
එක් කණ්ඩායමක් සඳහා ක්‍රීඩකයින් 08 දෙනෙකුට ක්‍රීඩා  කළ හැකි අතර, අතිරේක ක්‍රීඩකයින් දෙදෙනෙකු සමඟ සම්පූර්ණ ක්‍රීඩකයන් ගණන 10 කි. 
 
ජනාධිපති කාර්යාලය සියලු රාජ්‍ය ආයතන ඒකරාශි කර ගනිමින් පවත්වන “වසත් සිරිය 2023” සිංහල හා දෙමළ අලුත් අවුරුදු උත්සවය අප්‍රේල් 22 සෙනසුරාදා පෙ.ව 7.00 සිට ප.ව 5.00 දක්වා  කොළඹ, ෂැංග්‍රිලා ග්‍රීන් පරිශ්‍රයේ දී පැවැත්වෙන අතර රාජ්‍ය අංශය, විවෘත අංශය සහ ආගන්තුක අංශය යන කොටස් 03ක් යටතේ තරග ඉසව් සංවිධානය කර තිබේ. 
 
මියැසි ප්‍රසංගය රාත්‍රී 7.00 ට එම ස්ථානයේ දී ආරම්භ වේ

ජාතික ඉෆ්තාර් උත්සවය ජනපති, අගමැති ප්‍රධානත්වයෙන් !

ඉස්ලාම් බැතිමතුන්ගේ රාමසාන් උපවාස මාසය නිමිත්තෙන් පවත්වනු ලබන ජාතික ඉෆ්තාර් උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් අද (18) පස්වරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.

ජාතික සංහිඳියාව උදෙසා ආශිර්වාද කිරීම ද මෙහිදී සිදුවිණ.

ජාතික සමගිය ඇති කිරීම වෙනුවෙන් ඉස්ලාම් බැතිමතුන් පසුගිය දශක ගණනාවක සිට සක්‍රිය දායකත්වයක් ලබා දී ඇති බවත් එය අනාගතය සඳහාත් ගෙන යමින් සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට දායක වන ලෙසත් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මෙහිදී ඉස්ලාම් බැතිමතුන්ගෙන් ඉල්ලා සිටියේය.

ඉස්ලාම් බැතිමතුන්ගේ රාමසාන් උපවාස කාලයේදී අධ්‍යාත්මික ශක්තිය වර්ධනය වනවා සේම ජාතීන් අතර සහජීවනය ඇති කිරීමට ද එය ඉවහල් වන බව අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

මෙහිදී ආගමික දේශන සිදු කළ මවුලවිතුමන්ලාට සමරු තිළිණ පිළිගැන්වීම ද ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා අතින් සිදු විය.

හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ, අමාත්‍යවරුන් වන අලී සබ්‍රි, නසීර් අහමඩ්, විදුර වික්‍රමනායක, රාජ්‍ය අමාත්‍ය කාදර් මස්තාන්, ඌව පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසාමිල්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වජිර අබේවර්ධන, රවුෆ් හකීම්, රිෂාඩ් බදියුදීන්, ඒ.එච්.එම්. ෆවුසි, එච්.එම්.එම්. හරීස්, එම්.එස්. තවුෆික්, අලී සබ්‍රි රහීම්, එස්.එම්.එම්. මුෂාරෆ්, යදාමිණි ගුණවර්ධන, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන මහත්වරු සහ විදෙස් තානාපතිවරු ඇතුළු ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ආනයනික භාණ්ඩ රැසක සීමා ලිහිල් කිරීමේ සූදානමක් !

තවත් ආනයනික භාණ්ඩ රැසක සීමා ලිහිල් කිරීමට ඉදිරියේ දී පියවර ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.

රේගුවේ වසරේ ආදායම් ඉලක්ක පිළිබඳ සමාලෝචන රැස්වීමකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අමාත්‍යවරයා අද (18) මේ බව සඳහන් කල අතර රේගුවේ අපේක්ෂිත ආදායම් ඉල්ක්ක සපුරා ගැනීම සඳහා මෙය පිටිවහලක් වනු ඇති බවත් පැවසීය.

රේගුව වෙත පළමු මාස තුන සඳහා ලබා දී ඇති ආදායම් ඉලක්කය රුපියල් බිලියන 270කි. එහෙත් එම කාලය තුළ ලැබී ඇති ආදායම අපේක්ෂිත ආදායමට වඩා 12%ක අඩුවක් දක්නට ලැබෙන බව අමාත්‍යවරයා පෙන්වා දෙයි. මේ සඳහා ප්‍රධාන වශයෙන් භාණ්ඩ ආනයන සීමා පනවා තිබීම හේතු වූ බවද අමාත්‍යවරයා පවසයි.

2021 වසරේ දී භාණ්ඩ 485ක් 2022 වසරේ දී භාණ්ඩ 750ක් සඳහා ආනයන සීමා පැනවිණි. එසේ ම මාර්තු මාසයේ ඩොලරයේ අගය පහළ යාම ද ආදායම් ඉලක්ක කරා ළගා වීමට නොහැකි වීමට හේතු වූ බවත් එබැවින් නුදුරේ දී දැඩි විමසිලිමත්ව අදාළ සීමා ලිහිල් කිරීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා පැවසීය.

විශේෂයෙන් ම මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව ලබා දෙන නිර්දේශ මත අදාළ තීරණ ගැනීමට සිදු කරන බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේය.

යුරෝපයට පනින අලුත් ක්‍රමයක් අල්ලගෙන !

ශ්‍රී ලාංකිකයින් යුරෝපා රාජ්‍යයන් වෙත පළායෑම සඳහා භාවිත කරන නවතම ක්‍රමවේදයක් පිළිබඳ අනාවරණය කරගැනීමට කටුනායක ගුවන්තොටුපොල ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් සමත්ව ඇති බව වාර්තා වෙයි.

අනාවරණය කරගෙන ඇති ආකාරයට බොහෝ යුරෝපා රටවල තානාපති කාර්යාල සහ එම නිලධාරීන් ශ්‍රී ලංකාව තුළ නොසිටින අතර, ඔවුන් ශ්‍රී ලංකාවට අදාළ සිය රාජකාරී කටයුතු සිදුකරන්නේ ඉන්දියාවේ සිටිමින්ය. මෙය අවස්ථාවක් කරගනිමින් ඉන්දියාව වෙත ගමන් ගන්නා ශ්‍රී ලාංකිකයන්, එහිදී තැරැව්කරුවන් මගින් ව්‍යාජ තොරතුරු ඇතුළත් කර කූට ලෙස වීසා බලපත්‍ර සකස් කරගෙන පසුව ඒ හරහා යුරෝපා රටවල් වෙත පළායෑම මෙම නවතම ක්‍රමය වී තිබේ.

ඒ අනුව එවැනි ව්‍යාජ ලෙස සකස් කළ මෝල්ටා රාජ්‍යයේ වීසා බලපත්‍රයක් සහිතව ඉන්දියාව වෙත ගමන් කිරීමට කටුනායක ගුවන්තොටුපොල වෙත පැමිණි ශ්‍රී ලාංකික තරුණයෙකු ඊයේ (17) දින අත්අඩංගුවට ගෙන තිබුණි.

කටුනායක ගුවන්තොටුපොල පිටත්වීමේ පර්යන්තයේ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබු අතර සැකකරු දෙහිවල ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි තරුණයෙකි.

වාර්තා වන ආකාරයට සැකකරු සිය ගුවන් සේවා නිස්කාසන කටයුතු නිමවා, විගමන කටයුතු සඳහා කටුනායක ගුවන්තොටුපොල පිටත්වීමේ පර්යන්තයෙහි පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තු කවුළුව වෙත පැමිණ තිබුණි.

එහිදී සේවය කළ නිලධාරීයා, මොහුගේ ගුවන්ගමන් බලපත්‍රයෙහි ඇති මෝල්ටා රාජ්‍යයේ වීසා බලපත්‍රය පිළිබඳව සැකයක් ඇතිවී ඔහුව කටුනායක ගුවන්තොටුපොල තුළ සේවය කළ ප්‍රධාන ආගමන විගමන නිලධාරියා වෙත යොමු කර තිබේ.

එහිදී මෙම තරුණයා ඉදිරිපත් කළ සියලු ලියකියවිලි දේශසීමා ආවේක්ෂණ ඒකකයේ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා යොමුකර තිබේ.

මෙම ඒකකයේ පරීක්ෂා කිරීම්වලදී මෙම මෝල්ටා වීසා බලපත්‍රය ව්‍යාජ ලෙස සකස් කළ එකක් බවට කරුණු අනාවරණය වීමත් සමගම සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු හෙළිවී ඇත.

අනතුරුව සැකකාර තරුණයා සියල්ල හෙළිකර ඇති අතර අදාළ තරුණයාගේ සොහොයුරිය ද මෙසේ ව්‍යාජ ලෙස සකස් කළ වීසා ලබාගැනීම සඳහා ඉන්දියාවේ නවදිල්ලි නුවර වෙත ගොස් ඇති බවද එහිදී අනාවරණය වී ඇත.

මීට පස්සේ ගෝල්ෆේස් තහනම්ද ?

කොළඹ ගෝල්ෆේස් භුමිය භාවිත කිරීමට අවසර ලබා නොදෙන අංග සම්බන්ධයෙන් රජය විසින් තීරණයක් ගෙන තිබේ. ඒ, ඊයේ (අප්‍රේල් 18) රැස්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී යි.

ඒ අනුව අප්‍රේල් මස 20 වෙනිදා සිට ආගමික කටයුතුවලට හැර, ගෝල්ෆේස් පිටියට හානි වන හෝ හානි කළ හැකි සංගීත සංදර්ශන, දේශපාලන රැස්වීම් හෝ වෙනත් කටයුතු සඳහා ලබා නොදීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.

සමාජ වගකීම් ව්‍යාපෘතියක් වශයෙන් ගෝල්ෆේස් පිටිය සංවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් භාරගෙන ඇතැ යි අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවේ දැක්වෙයි.

ඒ අනුව ගෝල්ෆේස් පිටියේ සංවර්ධන කටයුතු සඳහා වරාය අධිකාරිය විසින් රුපියල් මිලියන 220ක මුදලක් වැයකර ඇතිබවත්, පසුගිය අරගල කාලසීමාවේ දී සිදුවී ඇති දේපළ හානි අලුත්වැඩියා කිරීම සදහා පමණක් රුපියල් මිලියන 6.6ක මුදලක් වැයකර ඇතිබවත් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවේ වැඩිදුරටත් සඳහන් ය.

මහජනතාවට නිදහසේ කාලය ගත කිරීමට හැකි වන පරිදි මෙම ගෝල්ෆේස් භුමිය පවත්වාගෙන යා යුතු නමුත් සංගීත සංදර්ශන සහ ජනතාව විශාල වශයෙන් එක්රැස්වන වෙනත් ක්‍රියාකාරකම් හේතුවෙන් එම භුමිය නිතර හානිවන බැවින් මෙම තීරණය ගෙන ඇති බව රජය පවසයි.

ගෝල්ෆේස් භුමියේ උද්ඝෝෂණ ස්ථානය සහ මහජන අරගලය

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් මහජනතාවට සිය විරෝධතා දැක්වීම සඳහා මීට පෙර ගෝල්ෆේස් භුමියේ කොටසක් වෙන්කරදීමට පියවර ගත්තේ ය.

2021 වසරේ සිට රට තුළ ඇතිවූ ආර්ථික ගැටලු හේතුවෙන් මහජනතාව විසින් එවකට බලයේ සිටි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු ආණ්ඩුවට එරෙහිව විරෝධතා සංවිධානය කිරීමේ දී ද ගෝල්ෆේස් භුමිය ප්‍රධාන කේන්ද්‍රස්ථානයක් බවට පත්විය.

ඒ "ගෝඨා ගෝ ගම" අරගල භූමිය 2022 වසරේ අප්‍රේල් මස 09 වෙනිදා ගෝල්ෆේස් පිටියේ දී ආරම්භ කිරීමත් සමග යි.

මෙලෙස ආරම්භ වූ මහජන විරෝධතාව අවසන් වූයේ එවක ජනාධිපතිධුරය හෙබවූ ගෝඨාභය රාජපක්ෂ ජුලි මස 15 වෙනිදා සිය ධුරයෙන් ඉල්ලා අස්වී රටින් පළායෑමත් සමග යි.

වත්මන් කැබිනට් මණ්ඩලය විසින් ගනු ලැබූ මෙම තීරණය සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් ප්‍රකාශ කලේ ගෝල්ෆේස් පිටිය ලබාදී ඇත්තේ ජනතාවට බවත්, ආණ්ඩුවට එවැනි සීමාවන් පැනවීමක් සිදුකළ නොහැකිබවත් ය.

0001

ගෝල්ෆේස් පිටිය සම්බන්ධ වූ මහජන විරෝධතා

මෙරට ඉතිහාසය පුරාවට සිදුවූ ඇතැම් සුවිශේෂී මහජන විරෝධතාවන් සඳහා ගෝල්ෆේස් පිටිය පාදක වූ බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් සඳහන් කළේ ය.

"ලංකාවේ ඉතිහාසයේ 1956 සිට ගත්තම විශාල දේශපාලන අරගල ගණනාවක් තිබිලා තියෙන්නේ ගෝල්ෆේස් එකේ. භාෂා ප්‍රශ්නය ඇතුළු බොහෝ වාමාංශික විරෝධතාවන් සඳහා ජනතාව රැස්වුණේ ගෝල්ෆේස් පිටියට."

"වර්තමාන රජය මේ වගේ තීරණ ගන්න ප්‍රධාන හේතුව තමයි ඔවුන්ට ජනවරමක් නොමැතිකම. මේ රජයට කිසිම ජනවරමක් නැහැ," ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම්වරයා බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වා සිටියේය.

ගෝල්ෆේස් භුමියේ අයිතිය ඇත්තේ කාට ද?

මේ වන විට ගෝල්ෆේස් භුමියේ නඩත්තු කටයුතු සිදුකරනු ලබන්නේ ශ්‍රී ලංකා වරාය සංවර්ධන අධිකාරියට අයත් අනුබද්ධිත සමාගමක් විසිනි.

ඒ, වරාය කළමනාකරණ හා උපදේශණ සේවා සමාගම බව එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි සුරාජ් කතුරුසිංහ බීබීසී සිංහල සේවයට පවසා සිටියේය.

"2013 වසරේ සිටයි ගෝල්ෆේස් පිටියේ නඩත්තු කටයුතු වරාය සංවර්ධන අධිකාරියට භාර වන්නේ. ඒ අනුව වරාය කළමනාකරණ හා උපදේශණ සේවා සමාගම විසින් මේ දක්වා එහි නඩත්තු කටයුතු පවත්වාගෙන යනු ලබනවා.

"අමාත්‍ය මණ්ඩලය ගෙන ඇති තීරණය අනුව අප්‍රේල් මාසයේ 20 වෙනිදා ඉදලා කිසිම දේශපාලන කටයුතු, සංගීත සංදර්ශන හෝ සැණකෙලි වැනි දේවල්වලට වෙන් නොකරන්න අපි කටයුතු කරනවා," කතුරුසිංහ බීබීසී සිංහල සේවයට පැවසුවේ ය.

ගෝල්ෆේස් භුමිය පිලිබඳව ගත් නව තීරණය පිළිබඳව රජයේ ප්‍රකාශය

ගෝල්ෆේස් පිටිය සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණය සම්බන්ධයෙන් අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදීන් විසින් ප්‍රශ්න කෙරිණ.

ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධනගෙන් මාධ්‍යවේදීන් විමසා සිටියේ අමාත්‍ය මණ්ඩලය විසින් මෙවැනි තීරණයක් ගෙන තිබියදී ජනාධිපති ලේකම් කාර්යාලය ලබන 22 වෙනිදා ගෝල්ෆේස් පිටියේ දී පැවැත්වීමට නියමිත "වසත් සිරිය" අවුරුදු උත්සවය පවත්වන්නේ කෙසේ ද යන්න පිළිබඳව යි.

"අවුරුදු උත්සව පැවැත්වීම ගැන කැබිනට් මණ්ඩලයේ දී සාකච්ජාවක් පැවැත්වුයේ නැහැ. ගාලු මුවදොර පිටිය සුවිශේෂී ආගමික කරුණු හැර අනෙක් දේ සඳහා ලබා නොදෙන බවයි කැබිනට් තීරණ බවට පත්වුණේ," කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කළේ ය.

'ගෝල්ෆේස් එකේ කානිවල් තිබ්බ නම් හොදයි'

ගෝල්ෆේස් පිටිය ගැන අමාත්‍ය මණ්ඩලය ගනු ලැබූ තීරණය යහපත්වුවත් ජනතාවට වින්දනයක් ලබන්න හැකි අවස්ථා උදාකර දීමට ද අවධානය යොමු කළ යුතු බව කොළඹ ප්‍රදේශයේ රැකියාවක නියුතු කසුන් කරුණාරත්න බීබීසී සිංහල වෙත පවසා සිටියේ ය.

"කොළඹ නගරය ඇතුළේ ජනතාවට නිදහසේ කාලය ගතකරන්න පුළුවන් තැන් තියෙන්නේ සීමිත ස්ථාන කිහිපයක් විතරයි. ඒකෙන් ගෝල්ෆේස් කියන්නේ ඉදිරියෙන්ම තියෙන තැනක්."

"කොළඹ නගරයේ තිබෙන නාගරීකරණයත් එක්ක බලද්දී ගෝල්ෆේස් පිටිය ජනතාවට මානසික නිදහසක් ගෙන දෙන තැනක් කියන්න පුළුවන්."

"දේශපාලන රැස්වීම්, සංගීත සංදර්ශන පවත්වන්න ඉඩ දෙන්නේ නැති එක ගැටලුවක් නැතිවුණත්, ගෝල්ෆේස් එකේ කානිවල් වගේ දෙයක් තියන්න ඉඩ දෙනව නම් වටිනවා. මොකද මිනිස්සු එන්නේ විනෝදයක් ලබන්න යි."

"ඒ නිසා මම හිතන්නේ ගෝල්ෆේස් එකේ දැන් තියනවට වඩා මිනිස්සුන්ට යෙදෙන්න පුළුවන් ක්‍රියාකාරකම් ටිකක් වැඩි කළා නම් හොදයි," කසුන් කරුණාරත්න පැවසුවේ ය.

රිලවු සමග ඉඩමකුත් ලැබෙයි : රිලා ප්‍රේමීන්ට කදිම අවස්ථාවක් !

රිලවුන් රට යවනනවාට විරුද්ධ සංවිධාන හෝ පුද්ගලයන්ට එම වන රිලවුන් බලා ගැනීම සඳහා ආරාධනා කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසයි .

රිලවුන් බලැ ගැනීම සඳහා අවශ්‍ය ඉඩම් කොටසක් දී රිලවුන්ද අල්ලා දීමට හැකි බවත් ඔහු සඳහන් කර සිටියි .

අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ අඟුණුකොළපැලැස්සේදී පැවති ජන හමුවකදී වන අතර බොරු මත වාද ප්‍රචාරය කරන්නේ නැතුව හැකිනම් රිලවුන් ටික බලා ගන්නැයි තමන් ඉල්ලා සිටින බවද සඳහන් කළේය.

මෙරට වගාවන් විශාල ප්‍රමාණයක් රිලවුන් වඳුරන් විසින් විනාශ කරන බවත් ඒ හරහා ගොවීනට කෝටි ගණනක් අලාභ වන බවත් එම අහිංසක මිනිසුන්ගේ ප්‍රශ්න ගැන කිසිවකු අවධානය යොමු නොකරන බවද අමාත්‍යවරයා පැවසීය.

හරිනම් මුලින්ම රට පැටවිය යුත්තේ රිලවුන් නොව රිලවුන් රට යවනවාට එරෙහිව විවිධ අදහස් පළ කරන ඇතැම් සංවිධානවල පිරිස් බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ ය.

හිටපු නීතිපතිට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට කැඳවීමක් !

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබදව කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් කටඋත්තරයක් සටහන් කර ගැනීම සදහා හිටපු නිතිපති දප්පුල ද ලිවේරා ට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ හෙට (19) පෙනී සිටින ලෙස දැනුම් දී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිතීඥ නිහාල් තල්දූව පැවසීය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සඳහන් කළ ආකාරයට හිටපු නිතිපති දප්පුල ද ලිවේරා විශ්‍රාම යෑමට දින කිහිපයකට පෙර පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් කළ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් පිළිබදව කරුණු විමසීම සදහා මෙම කැදවීම සිදුකර ඇත .

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ මහ මොළකරුවන් සිටින බවටත් එම ප්‍රහාරය පිටුපස කිසියම් කුමන්ත්‍රණයක් සිදුවී ඇති බවටත් සදහන් කරමින් හිටපු නිතිපති දප්පුල ද ලිවේරා විශ්‍රාම යෑමට පෙර මෙම ප්‍රකාශය සිදුකර තිබිණ .

සාගරගේ කතාවෙන් බැසිල්ගේ ගෝලයා රන්ජිත් අමාරුවේ !

සිංහල දෙමළ අලුත් අවුරුද්දෙන් පසුව පොදුජන පෙරමුණේ නායකත්වයේ වෙනසක් සිදුවන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජිත් බණ්ඩාර පැවසුවද ඒ පිළිබඳ පොදු එකඟතාවක් නොමැති බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

එම ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට දැනට පොදුජන පෙරමුණේ නායකත්වය දරන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වන අතර ඔහු සිටියදී වෙනත් නායකයකු පත්කර ගැනීමේ කිසිඳු නිල සාකච්ඡාවක් පක්ෂයේ සිදුව නැත.

තවද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් ද අද (17) මාධ්‍ය හමුවේ සඳහන් කර ඇත්තේ ලංකා පොදුජන පෙරමුණේ නායකයා ලෙස වර්තමාන නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා කටයුතු කරන බවත් මහින්ද රාජපක්‍ක්‍ෂට විකල්ප නොමැති බවත්ය.

එසේම තම පක්‍ෂයේ සදාරණීය නායකයා මහින්ද රාජපක්‍ෂ බවත් ශ්‍රී ලංකාවේ වැඩි සංවර්ධනයක් කළ, වැඩිම මහජන ගෞරවයට පත්වූ මෙන්ම නිදහසෙන් පසුව රටට වැඩි සේවයක් කළ නායකයා මහින්ද රාජපක්‍ෂ බවත් ඔහු එහිදී පවසා ඇත.

මේ අතර පොදුජන පෙරමුණේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසන්නේ දැඩි බැසිල්වාදියකු වන රන්ජිත් බණ්ඩාර මන්ත්‍රීවරයා සිය පෞද්ගලික කැමැත්ත පක්ෂයේ පොදු අදහසක් ලෙස පවසන්නට ඇති බවය. පක්ෂය ඉතා දුෂ්කර සමයකට මුහුණදී සිටින පසුබිමක මේ ආකාරයට පෞද්ගලික ලැදියාවන් හෝ කුඩා කණ්ඩායම් වල මතවාද එළියට දැමීම හානිකර බව පක්ෂයේ ජේෂ්ඨයන් රැසකගේද අදහස වී ඇති බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.

රවි කරුණානායක ගේ මෑණියන් අභාවප්‍රාප්ත වේ

හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක ගේ මෑණියන් කාමලිකා ශ්‍රීයා කරුණානායක මහත්මිය පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත වී ඇත.

කලක් රෝගාතුරව සිටි ඇය මිය යන විට අසු දෙවනවියේ (82) පසුවූවාය.

හිටපු ජනාධිපති J .R. ජයවර්ධනගේ පාලන සමයේ පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධීකාරකවරිය ලෙස ඇය කටයුතු කර ඇත.

දේහය හෙට (18) දහවල් 01.00 සිට බොරැල්ලේ AF රේමන්ඩ් අවමංගල්‍ය ශාලාවේ තැන්පත් කිරීමට නියමිත අතර දේහය පිළිබඳ අවසන් කටයුතු අප්‍රේල් 19 වනදා සවස 4.30ට බොරැල්ල කනත්තේ දී සිදු කිරීමට නියමිත බව පවුලේ ආරංචිමාර්ග සඳහන් කරයි.

Page 128 of 392