V2025

පුවත්

විදෙස් ඇමති ප්‍රතිත්‍රස්ත පනතේ සංශෝධන ඉල්ලයි : GSP + සහනයත් අවධානමේ !

රජය විසින් යෝජනා කර ඇති ප්‍රති ත්‍රස්ත පනත් කෙටුම්පත හේතුවෙන් ජී.එස්.පී. ප්ලස් තීරු බදු සහනය ශ්‍රී ලංකාවට අහිමි වීමේ අවදානමක් ඇති බව යුරෝපා සංගමයේ කොළඹ තානාපතිවරයා වන ඩෙනිස් ෂායික් පෙන්වා දෙයි.

මෙම බදු සහනය දීර්ඝ කිරීමට අපොහොසත් වුවහොත් ඉන් ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන පන්සියයකට අධික වෙළඳ සහනයක් අහිමි වනු ඇති බවද තානාපතිවරයා යොමු කර ඇති නිවේදනයේ සඳහන්ය.

මානව හිමිකම් ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා රජය ප්‍රමුඛතාවයක් ලබා නොදුනහොත් එම සහනය අහිමි වී ඉඩ ඇති බවත් මෙරට ජර්මානු තානාපති කාර්යාලයද පසුගිය පෙබරවාරියේ අනතුරු ඇඟවීමක් කර තිබූ බවද නිවේදනයේ දැක්වෙයි.

ශ‍්‍රී ලංකාවට තීරු බදු සහනය දීර්ඝ කිරීම සම්බන්ධයෙන් වන ක්‍රියාවලිය දැනට අවසන් ඉදිරියේ පවතින බවත් එම නිවේදනය පෙන්වා දෙයි.

අලි සබ්‍රිත් සංශෝධන ඉල්ලයි !

මේ අතර විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි පවසන්නේ යෝජිත ප්‍රතිත්‍රස්ත පනතේ ඇතැමි කරුණුවලට එකඟවිය නොහැකි බවය.

එම පනත් කෙටුම්පත සංශෝධනය කළ යුතු බවට ආණ්ඩුවේ සියලු දෙනා පොදු මතයක සිටන බව ද අමාත්‍යවරයා සඳහන් කර ඇත.

යෝජිත ප්‍රතිත්‍රස්ත පනත සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසීමේදී අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේද පවසා ඇත.

මෙම පනත් කෙටුම්පතේ මට එකඟ වන්න බැරි සමහර දේවල් තිබෙනවා. එකක් තමයි නියෝජ්‍ය පොලිස්පතිවරයකුට රැඳවුම් නියෝගයක් නිකුත් කිරීම සඳහා ඇති බලය. එය ඇමැතිවරයා යටතේ නැත්නම් අවම වශයෙන් ආරක්ෂක ලේකම් ළඟන් නවතින්න අවශ්‍යයි. මේ සඳහා පුළුල් අර්ථකතනයක් දීම ඉතාම භයානකයි. මේක හැමෝටම පොදුවේ කතා කරන්න පුළුවන් පිළිගතහැකි සාමාන්‍ය නීතියක් ලෙස යොදා ගැනීම නොවෙයි කළ යුතු්තේ. ත්‍රස්තවාදි අවස්ථාවක පමණක් නීතියක් ලෙස ගැනිමයි.ඒ මතයේ ඇපි හැමෝම සිටිනවා යැයි ද ඇමැතිවරයා පැවැසීය.

ඉහළ පෙළේ පත්වීම් 3කට අනුමැතිය !

නව අමාත්‍යාංශ ලේකම්වරු දෙදෙනෙකු සහ නව තානාපතිවරයකු පත්කිරීම සඳහා උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය හිමිව ඇති බව පාර්ලිමේන්තු වාර්තා පවසයි.

ඒ අනුව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ඩබ්ලිව්. එස්. සත්‍යානන්දගේ පත්වීම සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස එම්. එම්. නයීමුඩීන්ගේ පත්වීමද උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමත කර ඇත.

එසේම පිලිපීනයේ ශ්‍රී ලංකා තනාපති ලෙස ආචාර්ය චානක හර්ෂ තල්පහේවා පත්කර යැවීමටද උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමැතිය ලබාදී ඇත.

පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාව කථානායක මහින්ද යාපා අබේවර්ධන ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජෝන් සෙනවිරත්න, අනුර ප්‍රියදර්ශන යාපා, තලතා අතුකෝරළ සහ සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ යන අය ඊට සහභාගීව ඇත.

සාගරගේ තේරීමත් බැසිල් !

බැසිල් රාජපක්ෂ ශ්‍රී ලංකාවට නායකත්වය දෙන්න ඉතාමත් සුදුසු පුද්ගලයෙක් මෙන්ම ඔහු නායකත්ව හැකියාව ප්‍රදර්ශනය කළ නායකයෙක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥා සාගර කාරියවසම් පවසයි.

බැසිල් රාජපක්ෂ මහතා යුද්ධය අවස්ථාවේදී ජාත්‍යන්තරය සමඟ ගනදෙණු කරමින් ඉතාම හොදින් යුද්ධයට අවශ්‍ය ජාත්‍යන්තර සහය ගැනීමට සමත් වූ බවත් මහ ලේකම්වරයා සිහිපත් කරයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේදී අද (11) පැවැති, විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගී වෙමින් මහ ලේකම්වරයා මේ බව සඳහන් කල අතර යුද්ධයෙන් පසු මේ රටේ දිළිදු ජනතාව නඟා සිටුවීම සඳහා අවශ්‍ය සියලු කටයුතු කර ලෝකයේ වේගයෙන් දියුණුවන රටවලින් එකක් බවට පත්කිරීමේදී ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස බැසිල් රාජපක්‍ෂ කටයුතු කළ බවත් මන්ත්‍රීවරයා පැවසීය.

එසේම උතුරට සහ නැගනෙහිරට වැඩිම සංවර්ධනයක් කළ නායකයා ද බැසිල් රාජපක්ෂ බවත් ඔහුට විරුද්ධව පසුගිය කාලයේ බොරු චෝදනා කර නඩු පැවරුව ද ඔහු ඒවාට නිර්භයව මුහුණදිලා ඒ සියලු නඩුවලින් නිදොස්කොට නිදහස් වූ බවත් කාරියවසම් මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

ගම්මන්පිළ හැදුවේ රටම නොමග යවන්න : කතානායකගෙන් විවේචනයක් !

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට යෝජිත මහබැංකු පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මාධ්‍ය හමුවක දී කළ ප්‍රකාශය මුළුමනින්ම සාවද්‍ය මෙන්ම රට අධිකරණය නොමඟ යවන සුළු එකක් බව කතානායක මහින්ද යාපා අබේවර්ධන පැවසීය.

කතානායකවරයා පාර්ලිමේන්තුවට ප්‍රකාශ කළේ යැයි සඳහන් කරමින් යම් කරුණක් ගැන අදහස් පළකරන්නේ නම් වගකිවයුතු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස උදය ගම්මන්පිල ඊට ප්‍රථමයෙන් එහි මූලාශ්‍රවන හැන්සාඩ් වාර්තාවූ අදාළ පටිගත කළ ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය නිවැරදි ලෙස පරිශීලනය කිරීම යෝග්‍ය බව කතානායකවරයා දැනුම් දෙයි.

අන් කිසිවකුගේ ප්‍රකාශයක් සාවද්‍ය ලෙස නිරූපණය කරමින් පටු දේශපාලන අරමුණු ඉටුකර ගැනීම සඳහා මහජනතාව නොමඟ යැවීමට ගම්මන්පිල ගන්නා පහත් උත්සාහය බැහැර කරන බවද කතානායකවරයා වැඩිදුරටත් දැනුම් දෙයි.

මහ බැංකු පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීරණය කතානායකවරයා විසින් පාර්ලිමේන්තුවට දැනුම්දුන් ආකාරය ගැටළු සහගත බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ උදය ගම්මන්පිල ඊයේ (10) පැවති මාධ්‍ය හමුවකදී පැවසිය. ඔහු කියා සිටියේ අදාළ කරුණ සම්බන්ධයෙන් කතානායකවරයාට උපදෙස් ලබාදුන් නිලධාරින් සිතාමතා හෝ නොසැලකිලිමත්ව කතානායකවරයා නොමඟ යවා ඇති බවයි.

lankadeepa

මැයි දින සැමරුමටත් අත බෙදෙයි !

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් වෙන්ව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එකොළොස් දෙනා මෙවර ශ්‍රීලනිප මැයි දින රැලියට සහභාගී නොවීමට තීරණය කර ඇති බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

පසුගිය මහ මැතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් මන්ත්‍රීවරු 14 දෙනෙක් තේරී පත්වූ අතර ඉන් 11 දෙනෙකු මේ වන විටත් රජයට සහයෝගය පළ කරමින් අමාත්‍ය ධුර සහ රාජ්‍ය අමාත්‍යධුර බාරගෙන ඇත.

එම කණ්ඩායම පවසන්නේ මෙවර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සංවිධාන කරන මැයි දින රැළියට හෝ පෙළපාළියට සහභාගී නොවී සිටීමට තීරණය කල බවය.

මේ අතර පසුගියදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසා තිබුණේ ආණ්ඩුවේ තනතුරු අත්හැර ශ්‍රීලනිපයෙන් ඉවත්කළ පිරිසට යලිත් පක්ෂයට පැමිණිය හැකි බවය.

පළාත් පාලන මන්ත්‍රී සංඛ්‍යාව 4000ට බස්සයි !

පළාත් පාලන ආයතනවලට තෝරාගන්නා සභිකයින් සංඛ්‍යාව මෙතෙක් 8000ක් වුවත් එම ප්‍රමාණය 4714ක් දක්වා අඩු කිරීමට නව සීමා නිර්ණ කොමිෂන් සභා කමිටුව අද (11) අග්‍රාමාත්‍යවරයා වෙත ලබාදුන් අවසන් වාර්තාවේ යෝජනා කර ඇති බව වාර්තා වෙයි.

මේ අතර පළාත් පාලන ආයතන සඳහා කොට්ඨාශ මට්ටමින් මෙතෙක් නියෝජිතයන් 5092ක් තොරාගැනුණු නමුත් නව වාර්තාව අනුව එම ප්‍රමාණය 2882ක් දක්වා අඩු කිරීමටද යෝජනා කර ඇත.

එසේම මෙම වාර්තාව ලබන 18 වැනිදා සිට 25 වැනිදා දක්වා දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල සහ අප්‍රේල් 19 වනදා පළාත් පාලන ආයතන වලද ප්‍රදර්ශනය කිරීමට නියමිත බවත් දැනගන්නට ඇත.

පළාත් පාලන ආයතන සඳහා වූ කොට්ඨාශ සීමා නිර්ණය කිරීමේ ජාතික කමිටුව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් විෂය බාර අමාත්‍යවරයා ලෙස පත්කරනු ලැබුවේ පසුගිය නොවැම්බර් මාසයේදී වන අතර මහින්ද දේශප්‍රියගේ සභාපතිත්වයෙන් යුතු එම කමිටුවට සාමාජිකයෝ හතර දෙනෙක් ඇතුළත් වූහ.

ජාතික කමිටුවේ නිල කාලය මෙම මස 30 වැනිදා දක්වා දීර්ඝ කර ඇති බැවින් සීමා නිර්ණය කටයුතු සඳහා ගනු ලැබූ ක්‍රියාමාර්ග, දේශපාලන පක්ෂවල සිවිල් සංවිධානවල යෝජනා හා අදහස් මහජන නියෝජන පිළිබඳ තොරතුරු, කමිටුවේ නිරීක්ෂණ හා නිර්දේශ ඇතුළත් වාර්තාව ඒ ඒ පළාත් පාලන ආයතනවල සිතියම් දැක්වෙන වාර්තා ද අග්‍රාමාත්‍යවරයාට මැයි මස 2 වැනිදා බාරදීමට නියමිත බවත් වාර්තා වෙයි.

පළාත් පාලන ආයතන කොට්ඨාස සීමා නිර්ණයේදී අදාළ ලේඛනවල දැක්වෙන ඒ ඒ කොට්ඨාස බෙදා වෙන් කිරීම පිළිබඳව උනන්දුවක් දක්වන දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධානවලට සහ පුරවැසියන්ට ස්වකීය යෝජනා හා අදහස් අප්‍රේල් මස 25 වැනි දින දක්වා කොළඹ 5 කිරුළ පාර මිනින්දෝරු ජනරාල් කාර්යාල ගොඩනැගිල්ලේ පිහිටි සීමා නිර්ණය කිරීමේ ජාතික කමිටුවට එවීමට හැකියාව ඇති බවත් වාර්තා වෙයි.

ලංකාවේ ඇමරිකානු කඳවුරක් හදනවාද ? ඇමරිකාවේ ප්‍රතිචාරය මෙන්න !

ශ්‍රී ලංකාව තුළ ඇමෙරිකානු හමුදා කඳුවුරක් පිහිටුවීමට තම රටට කිසිදු අදහසක් නැති බව කොළඹ සිටින ඇමරිකානු තානාපති ජූලි චං පවසයි.

ඇමරිකාවේ ඉහළ පෙළේ ආරක්ෂක නිලධාරියෙකුගේ මෙරට සංචාරයක පිළිබඳව කළ විමසුමකට ප්‍රතිචාර දක්වමින් තානාපතිවරිය ඩේලි මිරර් පුවත්පත සමඟ මේ බව සදහන් කර ඇත.

ඉදිරිපත් කර ඇති ප්‍රති ත්‍රස්ත පනත ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල විය යුතු බවත් පනත ගෙන ඒමට පෙර අදාළ සියලු පාර්ශ්වයන්ගෙන් අදහස් ලබාගනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවත් කියා සිටින ඇමරිකානු තානාපතිනිය නව දූෂණ විරෝධී පනත් කෙටුම්පත සරාජ්‍ය මූල්‍ය විනිවිදභාවය සහතික කිරීමට එය ඉවහල් වනු ඇති බවත් සඳහන් කර ඇත.

ජනපති අපේක්ෂකයා කවුද ? පොහොට්ටුවේ බෙදීමක් !

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු ඇමති බැසිල් රාජපක්ෂ මීළඟ ජනාධිපති අපේක්ෂකයා ලෙස තෝරා ගැනීමේ වරදක් නැතැයි එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් බණ්ඩාර සඳහන් කරයි.

ජනාධිපතිවරණයකට ඉදිරිපත් වන්නේ කවුද යන්න අලුත් අවුරුද්දෙන් පසුව ප්‍රකාශ කරන බවද ඔහු පවසයි.

රංජිත් බණ්ඩාර මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර සිටියේ පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින්ය.

රටේ පවතින ප්‍රශ්න විසඳීමට ස්ථිරසාර වැඩපිළිවෙළක් ඉදිරිපත් කර හැකි එකම පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පමණක් බවත් එහිදී මන්ත්‍රීවරයා පැවසීය.

පොහොට්ටුවේ බෙදීමක් !

කෙසේ වුවත් මේ වන විට ඊළඟ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධව පොදුජන පෙරමුණ අභ්‍යන්තරයේ බෙදීමක් ඇති බව මන්ත්‍රීවරයාගේ මේ ප්‍රකාශය හරහා පෙන්නුම් කරයි.

මන්ද මේ වන විටත් බන්දුල ගුණවර්ධන සහ කංචන විජේසේකර යන අමාත්‍යවරුන් දැනටමත් පවසා ඇත්තේ ඊළඟ ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයකු ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් වුවහොත් ඔහුට සහය දෙන බවය. එසේම ඒ සඳහා සුදුසුම පුද්ගලයා ලෙස ද ඔවුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහව හඳුන්වනු ලැබිණ.

මේ අතර දිලුම් අමුණුගම අමාත්‍යවරයා ද පවසන්නේ ''පොහොට්ටුව කුමක් කීවත් ජනාධිපතිවරණයේදී තම සහය රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට ලබාදෙන බවය.

වත්මන් ජනාධිපති වික්‍රමසිංහ ඉදිරි ජනාධිපතිවරණයට තරග කරන්නේ නම් තම සහයෝගය කොන්දේසි විරහිතව ඔහුට ලබාදෙනවා බවත් අමාත්‍යවරයා පවසයි.

එසේම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කුමන තීන්දුවක් ගනී දැයි අනුමාන කල නොහැකි වූවත් තමන් ස්ථිර වශයෙන්ම ජනාධිපති වික්‍රමසිංහට සහය පළ කරන බවද ඔහු අවධාරණය කර ඇත.

අර්බුදයක පැවති රට ජනාධිපති වික්‍රමසිංහ විසින් වසරකට අඩු කාලයක් තිස්සේ ස්ථාවර කිරීමට කටයුතු කළ බවත්, රට අර්බුදයකට ඇද වැටුනේ පොහොට්ටු පක්ෂයේ ජනාධිපති වරයෙක් යටතේ රට පාලනය වූ සමයේ බවත් අමතක නොකළ යුතු බවත් අමාත්‍යවරයා මෙහිදී සිහිපත් කර සිටියි.

සීමානිර්ණ වාර්තාව අගමැති අතට

පළාත් පාලන ආයතනවල ඡන්ද ප්‍රමාණය හා සිතියම් පිළිබද තොරතුරු ඇතුළත් කරමින් සීමානිර්ණය වාර්තාව සකස් කර තිබෙයි.

සීමානිර්ණය පිළිබද කමිටු සභාපති මහින්ද දේශප්‍රිය  විසින් අදාළ වාර්තාව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන  වෙත භාර දී ඇත.

අටදහසකට අධික වන පළාත් පාලන ආයතන සභික සංඛ්‍යාව නව සීමා නිර්ණය හරහා හාරදහසේ සීමාවට රැගෙන ඒමට කටයුතු කර ඇති බව වාර්තා වෙයි

පසුගිය නොවැම්බර් මස පළමු වැනිදා සීමා නිර්ණ කමිටුව පත්කිරීමට විෂය භාර අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන  පියවර ගත්තේය.

ඒ අනුව එහි සභාපතිවරයා ලෙස මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය  පත් කෙරුණි.

සජිත්ගේ රහසක් රංගේ හෙළිකරයි !

උදේට ජනාධිපතිට විරුද්ධව "පොර ටෝක්"දෙන සජිත් රෑට හොරෙන් ජනාධිපතිට කතා කර විපක්ෂනායක කම රැක දෙන්නයි ඉල්ලමින් හඬා වැටෙන බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගෙ බණ්ඩාර පැවසීය.

සජිත් ප්‍රේමදාස මහතාගේ දැන් බලාපොරොත්තුව මේ අවුරුද්දේ දෙකේ විපක්ෂ නායක කම රැකගෙන සිට ඉන් පසුව යාලට ගොස් අලි බලමින් විවේක සුවයෙන් සිටීම බව ද රංගේ බණ්ඩාර කීය .

සමගි ජන බලවේගයේ දැනුම් තේරුම් තිබෙන සියලු දෙනා ගතින් මේ වනතුරුත් සජිත් සමග සිටියත් සිතින් සිටින්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සමඟ බවද තව නොබෝ දිනකින් හොඳ හොඳ රංගන දැක ගැනීමට ලැබෙන බව ද එජාප මහලේකම්වරයා සඳහන් කළේය.

lankadeepa

පුංචි ජන්දය අප්‍රේල් 25 තියෙනවාද ?

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම මෙම මස 25 වනදා පැවැත්වීමට හැකියාවක් නොමැති බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර පවසයි.

ඔහු මේ බව අද (10) සඳහන් කර සිටියේ අදාළ ඡන්ද විමසීම පැවැත්වීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා හා මැතිවරණ කොමිසම අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්ය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මෙසේද පැවසීය.

"මැතිවරණ කොමිසමත් එක්ක සුහද සාකච්ඡාවක් පැවැත්වූවා ඉදිරි කටයුතු සම්බන්ධව. අප්‍රේල් මස 25 වනදා දක්වාත් ඉන් අනතුරුවත් මැතිවරණයට ඉදිරිපත් වූ රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ගෙවන ආකාරය සාකච්ඡා කළා. මැතිවරණ කොමිසමෙන් නිර්දේශයක් එවනවා කිව්වා, අනතුරුව එම නිලධාරීන් ඡන්දයට ඉදිරිපත් වන කොට්ඨාසයෙන් පිටත ස්ථානයකට පත්කරලා වැටුප් ගෙවන්න කටයුතු කරනවා. එසේම මැතිවරණ කොමිසම වෙනුවෙන් නීතිපතිවරයා පෙනී නොසිටීම පිළිබඳවද එහිදී සාකච්ඡාවට ලක්කළා. එසේම මුදල් අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කරලා මැතිවරණ කොමිසමේ ඉල්ලීම්වලට සාධාරණයක් කරන්න අගමැතිතුමා කටයුතු කරනවා කිව්වා. "

"මැතිවරණ කොමිසම ඉදිරියේදී මුදල් අමාත්‍යාංශය සමඟ වෙනම සාකච්ඡාවක් පවත්වයි. ඊට පස්සේ ඒ ගොල්ලෝ කියයි. කොහොමත් දැන් තියෙන තත්ත්වය අනුව අප්‍රේල් 25 වනදා ට ඡන්දයක් තියන්න අමාරුයි. ඕන එක්කෙනෙකුට ඒක පේනවා"

එජාප - සජබ සන්ධානයක් හදමු : සජබ මන්ත්‍රී යෝජනාවක් !

වහාම එක්සත් ජාතික පක්ෂය සමඟ සන්ධානයක් අවශ්‍ය බවට ප්‍රබල මතයක් සමගි ජනබලවේගය පක්ෂය අභ්‍යන්තරයේ ඇතිව තිබෙන බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

පසුගිය කාලයක සිට පක්ෂ අභ්‍යන්තරයේ අදහසක් පමණක් ලෙස තිබු එම මතය පිළිබඳ මේ වන විට මන්ත්‍රීවරුන් සෘජුව අදහස් දක්වමින් සිටින බවද එම ආරංචිමාර්ග පවසයි.

මේ අතර එක්සත් ජාතික පක්ෂය හා සමගි ජන බලවේගය එක්ව එක සන්ධානයක් ලෙස කටයුතු කිරීම වඩාත් සුදුසු බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මන්ත්‍රීවරයාද ප්‍රසිද්ධ ප්‍රකාශයක් සිදුකර ඇත.

පක්ෂය හැර යාමට කිසිම අදහසක් නැති නමුත් තම පෞද්ගලික මතය නම් මෙම පක්ෂ දෙක අවබෝධතා ගිවිසුමට එකතුවීම වඩා සුදුසු බවද බවත් පක්ෂ දෙකේ ප්‍රතිපත්ති එකම නිසා ඒ වාසිය වෙනත් බලවේග නොයා යුතු බවද ඔහු එහිදී සඳහන් කළේය.

අන්තවාදී පක්ෂවලට අනියමින් හෝ සහය දැක්වීම සුදුසු නැති බවත් බෙදී සිටීමේ වාසිය ඔවුන්ට යන බවත් පවසන මන්ත්‍රීවරයා මෙම පක්ෂ දෙක එකතුවී ඉදිරියට යා යුතු බව තම මතය බවද සඳහන් කෙරිණ.

ඒ හැර පක්ෂයෙන් ඉවත්ව රජයට සම්බන්ධ වීමට තමන්ගේ අදහසක් නැති බව ද මන්ත්‍රීවරයා පවසයි.

මේ වන විට සමගි ජනබලවේගය පක්ෂයේ ප්‍රබලයන් රැසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ නායකත්වය පිළිගෙන ආණ්ඩුවට සහයදීමේ සූදානමක පසුවන බවට දේශපාලන රාවයක් යාමත් සමඟ මේ ආකාරයට මන්ත්‍රීවරුන් ප්‍රසිද්ධ ප්‍රකාශ නිකුත් කරන්නට ඉදිරියට පැමිණ ඇති බවද එම ආරංචි මාර්ග පවසයි.

විගණන සේවා කොමිසම අලුත් වෙයි !

විගණන සේවා කොමිෂන් සභාව සඳහා අභිනවයෙන් පත් කරන ලද සාමාජිකයන් කථානායක මහින්ද යාපා අබේවර්ධන ඉදිරියේ දිවුරුම් දී තිබේ.

පාර්ලිමේන්තු ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට ඊයේ (09) මෙම දිවුරුම්දීම සිදුව ඇත.

විගණන සේවා කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස විගණකාධිපතිවරයා නිල බලයෙන් පත්වන අතර ඒ අනුව විගණකාධිපති ඩබ්ලිව්.පී.සී.වික්‍රමරත්න එම තනතුරේ දිව්රුම් දී ඇත.

එයට අමතරව කොමිෂන් සභාවේ අනෙකුත් සාමාජිකයන් ලෙස විශ්‍රාමික විනිසුරු නිහාල් සුනිල් රාජපක්ෂ, නන්දසීලී ගොඩකන්ද, ඤාණනන්දරාජා තේවඥානන්, ඒ. එම්. ධර්මජිත් නයනකාන්ත දිවුරුම් දී තිබේ.

සිපෙට්කෝට ඇඩ්රස් නැතිවෙන තීන්දුවක් !

ශ්‍රී ලංකාවේ සිල්ලර ඉන්ධන වෙළඳපොළට පිවිසෙන විදේශීය සමාගම් තුනට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අනුමත මිලට වඩා අඩුවෙන් ඉන්ධන අලෙවි කිරීමට අවසර ලබා දීමට රජය තීරණය කර ඇත.

ඒ අනුව මෙම මස අවසාන වන විට සමාගම් තුන සමඟ ගිවිසුම් ගත වීමට නියමිත බවත් ගිවිසුම් ගත වූවාට පසුව මසක් තුළ එම සමාගම් මෙහෙයුම් ආරම්භ කිරීමට නියමිත බවත් වාර්තා වෙයි.

මෙහිදී චීනයේ සිනොපෙක් සමාගම, ඕස්ට්‍රේලියාවේ යුනයිටඩ් පෙට්‍රෝලියම් සමාගම සහ ෂෙල් සමාගම සමඟ එක්ව ඇමෙරිකා එක්සත් ජනපදයේ ආර්.එම් පාර්ක්ස් සමාගමට ශ්‍රී ලංකාවේ සිල්ලර ඉන්ධන වෙළඳපොළට පිවිසීම සඳහා අනුමැතිය හිමිව ඇත.

මෙරටට පැමිණෙන විදේශ සමාගම් තුනට නියමිත මිලට වඩා අඩුවෙන් ඉන්ධන අලෙවි කිරීමට අවසර හිමි වීම නිසා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධනවලට ඇති ඉල්ලුම අඩු වී රජයේ ඉන්ධන බිල පහළ යා හැකි බව එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා පෙන්වා දී තිබේ.

වර්තමානයේ රජය සාමාන්‍යයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 450 ක මුදලක් මසකට ඉන්ධන වෙනුවෙන් වැය කරන බවත් ශ්‍රී ලංකාවට පැමිණෙන සමාගම් තුනෙන් එක් එක් සමාගම මසකට ඇමෙරිකානු ඩොලර් මිලියන 120 ක ඉන්ධන මෙරටට ගෙන්වනු ඇතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය බලාපොරොත්තු වන බවත් ඒ හේතුවෙන් රජයේ ඉන්ධන බිල අඩුවෙනු ඇති බවත් ඔහු ප්‍රකාශ කර ඇත .

මෙම තීරණයෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන අලෙවියට බලපෑමක් එල්ල කරනු ඇති බවත් නමුත් එය පාරිභෝගිකයාට වාසිදායක වනු ඇති බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියා පෙන්වා දී තිබේ.

ඉන්ධන ආනයනය කිරීම සඳහා අවශ්‍ය ඩොලර් සොයා ගැනීමට දේශීය බැංකු භාවිතයෙන් එම සමාගම් වැළකී සිටිය යුතු බවත් සමාගම් ලබන ලාභය මෙරටින් පිටතට ගෙන යා හැක්කේ වසරකට පසුව පමණක් බවත් ගිවිසුමේ කොන්දේසි වලට ඇතුලත් වන බව පැවැසෙයි.

සමාගම් තුන එකතු වී වසරකට ඇමෙරිකානු ඩොලර් බිලියන 2.2 ක ඉන්ධන මෙරටට ආනයනය කරනු ඇතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය ඇස්තමේන්තු කර ඇති බවත් ඉන් භාණ්ඩාගාරයේ බර සැහැල්ලු වන බවත් පැවැසෙයි.

ගිවිසුම අවුරුදු 20 ක් සඳහා වන බවත් එම කාලය තුළ ගිවිසුම අලුත් කිරීමේ ගාස්තු ලෙස වාර්ෂිකව ඇමෙරිකානු ඩොලර් මිලියන 02 ක මුදලක් එම සමාගම් ගෙවිය යුතු බවත් සඳහන් වේ.

අවුරුදු 20කට පසුවත් එම සමාගම් වලට සාකච්ඡා මාර්ගයෙන් ඇති කර ගන්නා එකඟතාවයන් මත දිගටම මෙහෙයුම් සිදු කළ හැකි බවද පැවැසෙයි.එම සමාගම් ගබඩා ගාස්තු ලෙස මුදලක් ගෙවනු ඇති බවත් ලීටරයකින් යම්කිසි ප්‍රතිශතයක් රජයට අදායමක් ලෙස ලැබෙනු ඇති බවත් ආරංචි මාර්ග ප්‍රකාශ කර ඇත.

ගිවිසුම් යටතේ, සුඛෝපභෝගී වාහන භාවිතා කරන සුපිරි ප්‍රමිතියෙන් මිල අධික නිෂ්පාදන අලෙවි කිරීමටද එම සමාගම් වලට අවස්ථාව ලබා දී ඇත.

වසර හතරෙන් ආර්ථිකය ගොඩදාන සැලැස්මක් !

වසර 04ක් තුළදී මෙරට ස්ථාවර ආර්ථිකයක් ගොඩනැගීමට රජය ගෙන යන වැඩපිළිවෙළ සඳහා ප්‍රධාන සංචාරක නගරයක් වන නුවරඑළිය දිස්ත්‍රික්කයේ දායකත්වය උපරිමයෙන් ලබා ගැනීමට විධිමත් සැලැස්මක් ඔස්සේ කටයුතු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේ නුවරඑළිය නගර සංවර්ධන සැලැස්ම පිළිබඳ අද (10) පෙරවරුවේ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ය.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ දේශපාලන අධිකාරිය සහ රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් පැවති මෙම සාකච්ඡාවේ දී නුවරඑළිය නව නගර සංවර්ධන සැලැස්ම සහ නුවරඑළිය සංචාරක සැලැස්ම එළිදැක්වීම ද සිදු කෙරිණි.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ රටේ ආර්ථිකය නැවත ගොඩනැගිය නොහැකි බව බොහෝ දෙනා සිතුවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා රජය ඇතිකරගත් එකඟතාව සමග නැවත රටේ ආර්ථිකය පිළිබඳ නැවුම් බලාපොරොත්තුවක් තැබීමට සියලුදෙනාට අවස්ථාව ලැබුණු බවයි.

නුවරඑළිය දිස්ත්‍රික්කයට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන් ඉලක්ක කර ගනිමින් වසර පුරාම සංචාරකයන් ගෙන්වා ගත හැකි ආකර්ශණීය නගරයක් ලෙස එය සංවර්ධනය කිරීමේ අවශ්‍යතාවය ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

සංචාරකයන්ගේ අවශ්‍යතා හඳුනාගනිමින් එම සැලසුම් සකස් කිරීමේ වැදගත්කම අවධාරණය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ  විශාල ගොඩනැගිලි වෙනුවට විවේකීව ගත කළ හැකි සෞම්‍ය පරිසරයක් සමගින් එම සංවර්ධන සැලසුම් සකස් කිරීමේ වැදගත්කම පැහැදිළි කළේය.

නුවරඑළිය නගරයේ වැසි ජලය බැස යාම සඳහා විධිමත් ක්‍රමවේදයක් නොතිබීම දීර්ඝකාලින ගැටලුවක් වන අතර ඒ සඳහා කඩිනම් වැඩපිළිළෙක් ක්‍රියාවට නංවන ලෙස උපදෙස් දුන් ජනාධිපතිවරයා පානීය ජල ගැටලුව විසඳීමට ද විශේෂ අවධානය යොමුකරන ලෙස උපදෙස් දුන්නේය.

නුවරඑළිය නගරය තුළ අවිධිමත් ලෙස ගොඩනැගිලි ඉදිකරනවා වෙනුවට නිසි සැලැස්මකට අනුව ඉදිකිරිම් සිදු කිරිමේ අවශ්‍යතාව පැහැදිළි කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ විශාල ගොඩනැගිලි ඉදිකිරීම හේතුවෙන් නගරය විනාශ වී ඇති බවත් එය නිව්යෝර්ක් නගරයක් කරනවාද නුවරඑළිය ලෙස පවත්වාගෙන යනවාද කියා තීරණය කළ යුතු බවත් පැවසිය.

මධ්‍යම අධිවේගි මාර්ගයේ කටයුතු අවසන් වීමත් සමග නුවරඑළියට පැමිණෙන සංචාරකයන්ගේ ප්‍රමාණය ඉහළ යනු ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඔවුන්ගේ පහසුකම් සංවර්ධනය සඳහා නිසි සැලැස්මක් යටතේ කටයුතු කිරීමේ වැදගත්කම පැහැදිළි කළේය.

ආයෝජකයන්ට හෝ කිසිදු පාර්ශ්වයකට අවශ්‍ය ලෙස නුවරඑළිය දිස්ත්‍රික්කයේ සම්පත් විනාශ කිරීමට ඉඩ දිය නොහැකි බවත් පරිසර හිතකාමී සහ සැලසුම්සහගත සංවර්ධනයක් දිස්ත්‍රික්කය තුළ ඇති කළ යුතු බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.

එමෙන්ම මෙම කටයුතුවලදී රාජ්‍ය නිලධාරීන් සහ දේශපාලන අධිකාරිය මනා සම්බන්ධීකරණයකින් කටයුතු කිරිමේ අවශ්‍යතාව පැහැදිළි කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සාම්ප්‍රදායික රාමුවෙන් බැහැරව අලුතින් සිතා රටට අවශ්‍ය අලුත් වැඩපිළිවෙළ සමග සියලුදෙනා පෙළගැසිය යුතු බව ද සඳහන් කළේය.

සිංහල හා දෙමළ අලුත් අවුරුද්දෙන් පසුව සියලු අමාත්‍යාංශ ලේකම්වරු, අධිකාරි සහ කොමිෂන් සභාවල සභාපතිවරුන් මෙන්ම දෙපාර්තමේන්තු ප්‍රධානීන් හමුවීමට තමා අපේක්ෂා කරන බව පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ 2025 ඉලක්කගත සංවර්ධන සැලැස්ම සාර්ථක කර ගැනීමට සියලු පාර්ශවයන්ගේ දායකත්වය ලබා ගැනීම තම අපේක්ෂාව බව කියා සිටියේය.

තිරසාර සහ සෞම්‍ය සංවර්ධන වැඩපිළිවෙළක් තුළින් නුවරඑළිය දිස්ත්‍රික්කය පරිසර හිතකාමී දිස්ත්‍රික්කයක් ලෙස සංවර්ධනය කිරීම පිළිබඳ මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.

නුවරඑළිය නගර සංවර්ධන සැලැස්ම යටතේ නගරයේ සිදු කළ යුතු සංවර්ධන කටයුතු සහ උප නගරයක් ලෙස නානුඔය නගරය සංවර්ධනය කිරිම පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා විය.

වන සංරක්ෂණ කලාප එලසින්ම ආරක්ෂා කර ගනිමින් හරිත නගරයක් ලෙස නුවරඑළිය සංවර්ධනයට සැලසුම් කර තිබෙන අතර නුවරඑළිය කේන්ද්‍ර කර ගනිමින් අනු නගර 05ක් සංවර්ධනය කිරීමට සැලසුම් කර තිබේ.

නුවරඑළියේ විශ්වවිද්‍යාලයක් ස්ථාපිත කිරිම සහ සංචාරකයන් ඉලක්ක කර ගනිමින් රාමායන මධ්‍යස්ථානයක් ඇති කිරීම පිළිබඳව ද මෙහිදි සාකච්ඡා විය.

නානුඔය දුම්රිය පොළ නවීකරණය  කර ඒ සමීපයේ උසස් ප්‍රමිතියෙන් යුත් ආර්ථික මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට ද ජනාධිපතිවරයා උපදෙස් දුන් අතර එමගින් එළවළු ඇසුරුම් කර සුරක්ෂිතව කොළඹට ප්‍රවාහනය කිරීමට ගොවීන්ට හැකියාව ලැබෙන බව ද පෙන්වා දුන්නේය.

තුරඟ තරග පිටිය සහ වැව සංවර්ධනය, වැව අසළ රථගාල් පහසුකම් වැඩි දියුණු කිරීම, නුවරඑළිය නගරය තුළ විධිමත් ජල කළමනාකරණ වැඩපිළිවෙළක් කඩිනමින් ක්‍රියාවට නැංවීම පිළිබඳව මෙහිදී විශේෂ අවධානය යොමු විය.

එමෙන්ම ප්‍රදේශයේ ජනතාවගේ අදායම් මාර්ග ඉහළ නංවා ඔවුන්ගේ ජීවිත නගා සිටුවීම සඳහා ක්‍රියාත්මක කළයුතු වැඩපිළිවෙළ පිළිබඳව ද දිර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

අමාත්‍ය ජීවන් තොණ්ඩමන්, නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්.බී. දිසානායක, සි.බී. රත්නායක, වී.එස්. රාධක්‍රිෂ්නන්, එම්. රමේෂ්වරන් යන මහත්වරුන්ද, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ යන මහත්වරු ඇතුළු රාජ්‍ය නිලධාරිහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

IMG 20230410 WA0000

අන්තරේ වසන්තට ඇඳට වෙලා ඉන්න බෑලු !

නව ප්‍රස්ත මර්දන පනත හරහා උද්ඝෝෂණ විරෝධතා සම්පූර්ණයෙන්ම තහනම් කිරීමකට ලක් වන බව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සඳහන් කරයි.

ඒවා වාර්තා කිරීමටද මාධ්‍යවලට අවසර නැති බව බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ පවසයි.

ඔහු මේ බව සඳහන් කර සිටියේ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විසින් කොළඹදී කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස්දකිවමින්ය.

මෙම පනත මගින් රජය විසින් ජනතාවට දැනුම් දෙන්නේ ඇඳට වෙලා මුනින් අතට හැරී පාඩුවේ සිටීමට බවද අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ කියා සිටියේය.

එමෙන්ම පොලිස් ස්ථානාධිපතිවරුන්ට අත්අඩංගුවට ගන්නා පුද්ගලයන්ට රැඳවුම් නියෝග යටතේ රඳවා ගැනීමේ බලය ද මේ හරහා ලබා දී ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

කන්න තුනකට පස්සේ : රසායනික පොහොර එකවර ගොවියන්ට !

කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් 2023 යල කන්නයේ දී වී වගා කිරීමට අපේක්ෂිත කුඹුරු ප්‍රමාණය හෙක්ටෙයාර් 570,000ක් වුවත් මඩ පොහොර නොමිලයේ ලබා දීමත් සමග වගා කරන කුඹුරු ප්‍රමාණය හෙක්ටෙයාර් ලක්ෂ 07 දක්වා ඉහළ යා හැකි බව කෘෂිකර්ම අංශ අවධාරණය කරයි.

සියලු පළාත් කෘෂිකර්ම බලධාරින් හා මහවැලි අධිකාරියේ නිලධාරින් සමග පැවැති සාකච්ඡාවක දී මෙම තොරතුරු අනාවරණය විය.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සාකච්ඡාවේ දී අමාත්‍යවරයා සඳහන් කළේ මෙතෙක් අප රටේ යල කන්නයක දී වගා කළ වැඩිම කුඹුරු ප්‍රමාණය මෙවර වාර්තා විය හැකි බවයි.

වගා කන්න තුනකට පසු සියලු රසායනික පොහොර එකවර ලැබෙන පළමු කන්නය මෙම යල කන්නය වේ. එමෙන්ම දැනට අප රටේ තිබෙන ජලාශ හා වැව් බහුතරයක වගාවට අවශ්‍ය තරම් විශාල ජල ප්‍රමාණයක් ද වාර්තා වන බැවින් ගොවීන් සියලු දෙනාම වී වගා කිරීමට සූදානමින් සිටිති.

ගොවීන්ගේ නිෂ්පාදන වියදම් පහත දැමීම සදහා රජය මෙවර යල කන්නයේ දී සුවිශේෂි පියවරක් වශයෙන් වී වගා කරන සෑම ගොවියෙකුටම පොහොර මිල දී ගැනීම සඳහා හෙක්ටෙයාර් 01කට රුපියල් 20,000ක මුදලක් හා හෙක්ටෙයාර් දෙකක් වගා කරන ගොවීන්ට රුපියල් 40,000ක මුදලක් වශයෙන් සහනාධාර මුදලක් ලබා දීමට ද කටයුතු යොදා තිබේ.

මෙම මුදල ලබා දෙන්නේ මඩපොහොර නොමිලයේ ලබා දෙන අතරම අනිකුත් පොහොර මිල දී ගැනීම සඳහාය. එමෙන්ම රජය විසින් ලබා දෙන යුරියා පොහොර හා බන්ඩි පොහොර මිල ද තවදුරටත් අඩු කිරීමට කටයුතු යොදා ඇතැයි ද අමාත්‍යවරයා මෙම සාකච්ඡාවේ දී සඳහන් කළේය.

එමෙන්ම ගොවි ජනතාවගේ ඉල්ලීම පරිදි වල් නාශක හා පළිබෝධ නාශක මිල ගණන් ද සියයට 20කින් පහළ දැමීමට වල්නාශක හා පළිබෝධ නාශක ආනයනය කරන හා බෙදාහරින සමාගම් එකඟත්වය පළ කර තිබෙන නිසා ගොවීන්ට තවදුරටත් වගාවට අවශ්‍ය සහන සැළසෙන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

IMF ප්‍රධානියාගෙන් ලංකාව ගැන සහතිකයක් !

මෑතකදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහය ලබාදුන් යුක්‍රේනය සහ ශ්‍රී ලංකාව වැනි රටවල් අතිශය අභියෝගකාරී දුෂ්කරතා මැඩලන්න කටයුතු කරන්නේ වීර වික්‍රමාන්විත ලෙසින් බවත් එම රටවලට සහාය වීමට ලැබීම භාග්‍යයක් ලෙස සලකන බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා පවසයි.

ඇය මෙම අදහස් දක්වා තිබුනේ ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් සංවාද මණ්ඩපයකදී අදහස් පළ කරමින්ය.

"මීට පෙර නොතිබූ අභියෝගවලට දැන් මුහුණදෙන සාමාජික රටවලට අප සහාය වනවා. එමෙන්ම එලෙස අවදානමට ලක්වන මැදි ආදායම්ලාභී රටවලට සහාය ඉහළ නැංවීමට අප පියවර ගෙන තිබෙනවා. ඉතා මෑතකදී යුක්රේනයට සහ ශ්‍රී ලංකාවට අපේ සහාය ලබාදුන්නා. එම රටවල් මෙම අතිශය අභියෝගකාරී දුෂ්කරතා මැඩලන්න කටයුතු කරන්නේ වීර වික්‍රමාන්විත ලෙසින්. ඔබට සහාය වීමට ලැබීම අපට භාග්‍යයක්. එම රටවල් දෙකට සහ එලෙස අභියෝගවලට මුහුණදෙන සියලු රටවලට අත්පොලසන් නාදයකින් දිරිගන්වමු. දුෂ්කරතා හමුවේ නොසැලී සිටින්න. ඔබට ඔබ සමග ඔබේ මිතුරන් සහ ඔබේ IMF සිටිනවා."

Page 131 of 392