V2025

පුවත්

අලුත්ම වාර්තාව මෙන්න : උද්ධමනය තවත් පහළට !

2023 ජනවාරි මාසයේ සිට 2021=100 වන නව දර්ශක යොමු කාලයට ජාතික පාරිභෝගික මිල දර්ශකය යාවත්කාලීන කර ඇත.

2023 පෙබරවාරි මාසයේ ලක්‍ෂ්‍යමය මතුපිට උද්ධමනය (Headline Inflation) 53.6%ක් වන අතර 2023 ජනවාරි මාසයේ එය 53.2%ක් ලෙස වාර්තා විය.

ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය (ලක්‍ෂ්‍යමය) 2023 ජනවාරි මාසයේදී 53.6% සිට 2023 පෙබරවාරි මාසයේදී 49.0% දක්වා අඩු වී ඇත.

ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය (ලක්‍ෂ්‍යමය) 2023 ජනවාරි මාසයේදී 52.9% සිට 2023 පෙබරවාරි මාසයේදී 57.4% දක්වා වැඩි වි ඇත.

ආහාර කාණ්ඩය සැළකූවිට එළවළු, හාල්, බිත්තර, ලොකුළුෑණු, රතුළුෑණු, අර්තාපල්, මයිසූර් පරිප්පු, පාන්(සාමාන්‍ය), මිරිස්කුඩු, කරවල,තිරිඟුපිටි, අළුත් මාළු, වියළි මිරිස්, බනිස්, අමුමිරිස්, ටින්මාළු හා දෙහි යන ආහාර ද්‍රව්‍යවල මිලෙහි අඩුවීමක් ද පොල්, තේ කොළ/කුඩු, අළුත් පළතුරු, මුංඇට, පොල්තෙල්, සීනි, හරක් මස් හා සෝයාමීට් යන ආහාර ද්‍රව්‍ය වල මිලෙහි වැඩිවීමක් ද ප්‍රධාන වශයෙන් වාර්තා වී ඇත.

ආහාර නොවන කාණ්ඩයේ ‘මධ්‍යසාර පාන වර්ග, දුම්කොළ හා මත්ද්‍රව්‍ය’ , ‘රෙදිපිළි හා පාවහන්’, ‘නිවාස, ජලය, විදුලිය, ගෑස් හා වෙනත් ඉන්ධන’ (විදුලිය හා ගෑස්) , ‘ගෘහ උපකරණ හා ගෘහ ඒකක නඩත්තු කටයුතු’, ‘ප්‍රවාහන’ (පෙට්‍රල්) සහ ‘විවිධ භාණ්ඩ හා සේවා’ යන කාණ්ඩවලට අයත් අයිතමයන්ගේ මිල වැඩිවීමක් සහ ‘ආපනශාලා සහ හෝටල්’ යන කාණ්ඩයට අයත් අයිතමයන්ගේ මිලෙහි සුළු අඩුවීමක් ද වාර්තා වේ.

– NCPI

IMF මූල්‍ය සහනය ගැන ජවිපෙ විජිත ලැජ්ජා වෙයි !

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හමුවට ණයක් ඉල්ලා යාමට සිදුවීම ගැන ඇත්තටම ආඩම්බර වීමක් නොව ලැජ්ජාවට පත්විය යුත්තක් බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පවසයි.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර සිටියේ අද (21) අදහස් දක්වමින්ය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වාරිකය අනුමත වීම ගැන ආණ්ඩුවේ සමහර අය පුරසාරම් දොඩන බව පැවසු මන්ත්‍රීවරයා හම්බන්තොට වරාය විකිණූ වෙලාවෙත් රනිල් වික්‍රමසිංහ මහතා චෙක් පත අරගෙන පෙන්වා උදම් ඇනූ බවද පැවසීය.

ඒ වගේම මූල්‍ය අරමුදලේ ණය ගැනත් උදම් අනන බවත් රට බංකොලොත් කර අසීමාන්තිකව ණය ගන්න සිදුවීම ගැන ආර්ථිකය බාර වී සිටි අය ලැජ්ජා විය යුතු යැයිද මන්ත්‍රීවරයා පැවසීය.

බදු බර වැඩි කර රාජ්‍ය ආයතන විකුණා ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය කරුවෙක් වී තිබෙන බවත් මෙය තාවකාලික පැලැස්තරයක් වුණත් තවත් ණය උගුලට හිරවීමක් පමණක් බවද ඔහු සඳහන් කළේය.

නිෂ්පාදන ආර්ථිකයේ ඉහළ යාමක් වී නැතැයි ද ඇත්තටම විය යුත්තේ ආඩම්බර වීමක් නොව ලැජ්ජා වීමක් බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ශ්‍රී ලංකාවට IMF ණය සහනය ලැබීම ගැන රාජ්‍ය තාන්ත්‍රික ප්‍රතිචාර !

දීර්ඝ දින 200ක බලාසිටීමේ කාල සීමාවකින් අනතුරුව, ශ්‍රී ලංකාවට අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ(IMF) ණය සහනය ලැබෙන බව ශ්‍රී ලංකා වේලාවෙන් ඊයේ (21) රාත්‍රී 10ට පමණ ප්‍රකාශයට පත්කෙරිණි.

සාමාන්‍ය තත්වයන් යටතේ, අවශ්‍යතාව පවතින රටකට IMF ණය පහසුකමක් ලබාගැනීම වෙනුවෙන් ගතවන්නේ දින 50ක වැනි කාලයක් වුවද, IMF විසින් නිර්දේශ කරන ලද ප්‍රධාන කොන්දේසි සපුරාලීමට සහ චීනය වැනි ණය හිමියන්ගෙන් ණය ප්‍රතිව්‍යුහගතකරණය කරවා ගැනීම සඳහා මූල්‍ය සහතික ලබාගැනීමට ප්‍රමාද වීම හේතුවෙන්, 2022 සැප්තැම්බර් මාසයේ සිට 2023 මාර්තු මාසය දක්වා මෙලෙස ශ්‍රී ලංකාවට දීර්ඝ කාලයක් බලාසිටීමට සිදුවිය.

කෙසේවෙතත් අවසානයේ IMF විධායක මණ්ඩලය විසින් ලබාදුන් අනුමැතියට අනුව අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාවට පවතින විශේෂ විදේශ විදේශ විනිමය සංචිත වත්කම් (Special Drawing Rights-SDR) කෝටාවෙන් එක්සත් ඩොලර් බිලියන 03කට අසන්න මුදලක් නිදහස් කිරීමට එකඟත්ව පළව තිබේ. මෙම ණය මුදල විස්තීරණ අරමුදල් පහසුකම (EFF) යටතේ මාස 48 ක දීර්ඝ වැඩපිළිවෙළක් යටතේ කොටස් වශයෙන් ශ්‍රී ලංකාවට නිකුත් කෙරෙනු ඇත. එසේම IMF විසින් නිකුත් කර ඇති නිවේදනයට අනුව, විධායක මණ්ඩලයේ තීරණය යටතේ SDR මිලියන 254ක් එනම් ඇමෙරිකානු ඩොලර් මිලියන 333 ක් පමණ මුදලක් ඉදිරි කාලය තුළ ක්ෂණිකව ලබා දීමට කටයුතු සම්පාදනය කිරීමට නියමිතය. එසේම මෙම ක්ෂණික සහනය ලබාදීමත් සමග ශ්‍රී ලංකාවේ අනෙකුත් සංවර්ධන හවුල්කරුවන්ගෙන් මූල්‍ය ආධාර ලබාගැනීමේ හැකියාවද වර්ධනය වනු ඇති බව IMF ප්‍රකාශ කර තිබේ.

පළමු සතුට ඇමෙරිකාවෙන් !

ශ්‍රී ලංකාවේ IMF පැකේජය අනුමත කිරීම සම්බන්ධයෙන් පළමුවෙන්ම සතුට පළ කරන ලද්දේ ඇමෙරිකා එක්සත් ජනපදය විසිනි.

අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ විදේශ විනිමය සංචිත වත්කම්වලින්(SDR) මිලියන 82,994.2ක් හිමි(එහි ප්‍රතිශතය 17.43%කි) විශාලතම පාර්ශවකරුවා වන්නේ එක්සත් ජනපදයයි.

ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති ජූලි චන්ග් ඊයේ රාත්‍රියේ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ IMF පැකේජය අනුමත වීම "ආර්ථික ප්‍රකෘතිමත් වීමේ මාවතේ වැදගත් ප්‍රවෘත්තියක් සහ වැදගත් පියවරක්" බවයි.

ශ්‍රී ලංකා රජයට ආර්ථික ප්‍රතිසංස්කරණ අඛණ්ඩව සිදුකිරීමටත්, ඒ සඳහා වන වැඩපිළිවෙල සහ ආර්ථිකය නිසි පරිදි පවත්වාගෙන යෑම සහතික කිරීම සඳහා ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ ගිවිසුම් අවසන් කිරීමටත් අවශ්‍ය වනු ඇතැයිද ඇය පෙන්වාදී ඇත.

ශ්‍රී ලංකාවේ සියලුම පුරවැසියන්ට සමෘද්ධිමත් විය හැකි බව සහතික කිරීම සඳහා, යහපාලනය සහ විනිවිදභාවය ආමන්ත්‍රණය කරන ව්‍යුහාත්මක සහ කල්පවත්නා ප්‍රතිසංස්කරණ ඉතා වැදගත් බවද ඇය සඳහන් කර තිබේ.

usa image

එක්සත් ජනපද තානාපතිනිය මෙහිදී පෙන්වාදී ඇති වැදගත් කාරණයක් වන්නේ, IMF ණය පැකේජය අඛණ්ඩව ඉදිරියට ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් සියලුම ද්විපාර්ශ්වික ණයහිමියන්ගේ ණය, කඩිනමින් ප්‍රතිව්‍යුහගතකරණය කරවා ගැනීම වෙනුවෙන් ගිවිසුම්වලට එළඹීම ශ්‍රී ලංකාවට අතිශය වැදගත් බවයි.

තානාපතිනිය මේ කාරණය විශේෂයෙන් සඳහන් කර ඇත්තේ, ශ්‍රී ලංකාවේ ණය වෙනුවෙන් ප්‍රමාණවත් සහනයක් ලබාදීම චීනය විසින් ප්‍රමාද කිරීම සහ ඒ පිළිබඳව එක්සත් ජනපදයේ දේශපාලන කටයුතු පිළිබඳ උප රාජ්‍ය ලේකම් වික්ටෝරියා නුලන්ඩ් සමග සමග පවා චීනය ඇතිකරගත් මතභේදයන් නැවත සිහිපත් කරමිනි.

IMF කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා පවසන්නේ කුමක්ද?

මේ අතර අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජියේවාද ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින්,ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිපත්ති සහ ප්‍රතිසංස්කරණ සඳහා මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් ඇමෙරිකානු ඩොලර් බිලියන 03 ක පමණ ණයක් අනුමත කිරීම පිළිබඳව තමන් සතුටට පත්වන බව ප්‍රකාශ කර ඇත.

"අද අපගේ විධායක මණ්ඩලය විසින් ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිපත්ති සහ ප්‍රතිසංස්කරණ සඳහා ඩොලර් බිලියන 03 ක පමණ අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ආධාර අනුමත කිරීම ගැන ඉතා සතුටුයි. අන්තර්ජාතික ණයහිමියන් ණය තිරසාර බව ප්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා එක්වීම වැදගත් සන්ධිස්ථානයකි." යැයි ඇය සිය පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

imf cristina image

අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා නිකුත් කොට තිබු ට්විටර් පණිවිඩය

ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා සිය ට්විටර් පණිවිඩයට, ණය සහනය නිදහස් කිරීමෙන් අනතුරුව ඇය විසින් නිකුත් කරන ලද නිල මාධ්‍ය නිවේදනයද අමුණා ඇත. එම මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන් කර තිබේ.

"රටේ ආර්ථිකය තුළ මූල්‍ය ගැලපීම් සාර්ථක වීමට නම්, බදු පරිපාලනය, රාජ්‍ය මූල්‍ය හා වියදම් කළමනාකරණය සහ බලශක්ති මිලකරණය පිළිබඳ තිරසාර මූල්‍ය ආයතනික ප්‍රතිසංස්කරණ ඉතා වැදගත් ප්‍රධාන නිල ද්විපාර්ශ්වික ණය හිමි රටවල් වලින් නිශ්චිත සහ විශ්වාසනීය මූල්‍ය සහතික ලබාගෙන අන්තර්ජාතික මූල්‍ය අරමුදල අනුග්‍රහය දක්වන වැඩසටහනට අනුකූලව ණය තිරසාරභාවය ප්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා කඩිනම් ප්‍රගතියක් ලබා ගැනීම බලධාරීන්ට සහ ණය හිමියන්ටත් ඉතා වැදගත් වැඩසටහන්, පරාමිතීන්ට අනුකූලව විනිවිදභාවයෙන් යුතුව ණය නිරාකරණය කරගැනීමට බලධාරීන්ගේ

කැපවීම් සහ නියමිත වේලාවට ණයහිමියන් අතර සාධාරණ බර බෙදා ගැනීම සාදරයෙන් පිළිගනු ලබයි."

එහි අදහස වන්නේ, ශ්‍රී ලංකාව විසින් මෙම ණය සහනය සමග ඉදිරියට යෑමේදී, එම ක්‍රියාවලිය අඛණ්ඩව පවත්වාගෙන යෑමට නම්, දැනට චීනයේ මූල්‍ය සහතිකය පිළිබඳව පවතින ගැටලුසහගතභාවය වැනි දුෂ්කරතා මගහරවා ගනිමින්, සියලුම ණයහිමියන් ණය ප්‍රතිව්‍යුහගතකරණය කරගැනීමේ පොදු ක්‍රමවේදයකට එකඟ කරවාගැනීමට ශ්‍රී ලංකාව පියවර ගතයුතු බවයි.

ශ්‍රී ලංකා විදේශ ආමාත්‍ය අලි සබ්‍රිගෙන් ස්තූතියක්

ක්‍රිස්ටලිනා ජෝර්ජියේවාගේ ට්විටර් පණිවිඩයට ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකා රජය වෙනුවෙන් විදේශ කටයුතු ඇමැති අලි සබ්‍රි IMF වෙත සිය ස්තුතිය ප්‍රකාශ කර ඇත. ඇමතිවරයා සිය ට්විටර් පණිවිඩයේ මෙසේ සඳහන් කර ඇත.

"ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉතා දුෂ්කර හා තීරණාත්මක මොහොතක දැක්වූ සහයෝගයට බෙහෙවින් ස්තූතියි. ඉදිරියේ දිගු හා දුෂ්කර ගමනක් අපට තිබෙන බව වැටහෙනවා. එහෙත් අපි සියලු ශ්‍රී ලාංකිකයන්ගේ අනාගතය වෙනුවෙන් එම ගමන ජයගත යුතුයි!"

ali sabri

ශ්‍රී ලංකා රජය කියන්නේ කුමක්ද?

IMF විධායක මණ්ඩල අනුමැතිය ප්‍රකාශ වීමත් සමග, ඒ සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කිරීමට මුදල් රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහද පියවර ගෙන ඇත. රාජ්‍ය ඇමැතිවරයා එම නිවේදනයේ මෙසේ සඳහන් කර ඇත.

“මාස 08ක සමස්ත ක්‍රියාවලියක අවසානයේ දී, ජනාධිපතිතුමාගේත්, මුදල් අමාත්‍යංශයේත්, ශ්‍රී ලංකා මහ බැංකුවේ මෙන්ම අනෙකුත් ආයතන වල අප්‍රතිහත ධෛර්යය හා කැපවීම මෙන්ම අන්තර්ජාතික මූල්‍ය අරමුදල් මණ්ඩලයේ ද අපේ රටේ ණය හිමියන්ගේත් අනෙකුත් රටවල් වලත් සහයෝගය සමඟ අපි අද අන්තර්ජාතික මූල්‍ අරමුදලේ විස්තීරණ ණය මුදල සඳහා පිවිසීමට අවස්ථාව ලබා ගත්තා. මෙම අනුමැතිය රටට මේ වෙලාවේ අත්‍යවශ්‍යම වී තිබුණ කරුණක්. දැන් තමයි අපි සියලු දෙනාම තවදුරටත් සහයෝගයෙන් රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමේ හැකියාව ඇති කරගත යුත්තේ. තවදුරටත් අපි ඉවසිලිවන්තව මේ ප්‍රතිසංස්කරණයන් තුළ කටයුතු කළ යුතුයි.”

shehan semasinha

IMF ණය අනුමත වීම සම්බන්ධයෙන් විදුලිබල හා බලශක්ති ඇමති කංචන විජේසේකරද ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් අදහස් දක්වා ඇත. ඔහු එහිදී මෙසේ සඳහන් කර තිබේ.

"ආර්ථික අර්බුදයේදී ජාතිය මෙහෙයවීම සහ රට ස්ථාවර කිරීම සඳහා තීරණාත්මක සහ නිර්භීත තීරණ ගැනීම වෙනුවෙන් ඔබට ස්තුතියි ජනාධිපතිතුමනි. අන්තර්ජාතික මූල්‍ය අරමුදල සහ අනෙකුත් මූල්‍ය ආධාර ලබා ගැනීමට සම්බන්ධ සහාය වූ සැමට කෘතඥ වෙනවා. දැනට පවතින බලශක්ති අංශයේ ප්‍රතිසංස්කරණ කඩිනම් කරනු ඇත."

kanchana wijesekara image

විපක්ෂයෙන් පැසසුම්

මේ අතර IMF වෙතින් ලද අනුමැතිය පිළිබඳව විපක්ෂය වෙනුවෙන් අදහස් පළකරන, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා, මෙම සහනය ලබාගැනීම වෙනුවෙන් ජනාධිපතිවරයාගේ කැපවීම අගය කර ඇත. එසේම 2020 වසරේදී මෙම පියවර ගනු ලැබුවේ නම්, රටේ ජනතාව මෙතරම් පීඩාවට පත්නොවන බවද මන්ත්‍රීවරයා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.

" IMF වෙතින් සහනයක් ලැබුවා. විස්තීරණ ණය පහසුකම අනුමත කර ඇත. ජනාධිපතිගේ කැපවීම, අපේ දේශපාලන මතභේද නොතකා එම කාර්යය ඉටු කිරීම අගය කළ යුතුයි. රජයේ මහ බැංකුවේ වෘත්තීයභාවය අගය කළ යුතුය. 2020 දී මෙය කළේ නම් ... අපේ ජනතව මේ ආකාරයෙන් දුක් විඳින්නේ නැත. වේදනාව අඩුවෙන් අපිට පිටතට පැමිණීමට හැකියාව තිබිණි. ඔවුන්ගේ උඩඟුකම සහ කෑදරකම නිසා අවසානයේ අප බංකොලොත් විය. අපි ඉදිරියට බලමු. ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම දුෂ්කර වනු ඇත. ප්‍රතිසංස්කරණ ප්‍රධාන වේ. තිරසාර විසඳුම වන්නේ බිත්ති කඩා ලෝකයට පාලම් තැනීමයි."

වෘත්තිකයින් කියන්නේ කුමක්ද ?

මේ අතර IMF විසින් ශ්‍රී ලංකාවට ණය පහසුකමක් අනුමත කිරීම සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය සමග අදහස් පළකළ කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ සඳහන් කරනු ලැබුවේ, මෙම ණය මුදල වෙනුවෙන් ශ්‍රී ලංකාව විසින් සුවිශේෂී අරමුණු රැසක් ඉටුකර ගතයුතු බව මූල්‍ය අරමුදල විසින් අවධාරණය කර ඇති බවයි.

"IMF විසින් මෙතැනදී කාරණා කිහිපයක් ඉටුකරගත යුතුයි කියලා ශ්‍රී ලංකාවට දැනුම්දීලා තියෙනවා.එකක් තමයි සාර්ව ආර්ථික ස්ථායිතාව ඇතිකරගැනීම. දෙවැනි කාරණය තමයි ණය තිරසරභාවය ඇතිකර ගැනීම. තුන්වෙනි කාරණය ආර්ථික අර්බුදය නිසා අසීරුතාවට පත්වෙලා සිටින අඩු ආදායම්ලාභී කණ්ඩායම් වලට සහන සැලසීම. හතර මූල්‍ය ස්ථායිතාව ඇතිකරගැනීම. පස්වැනි කාරණය තමයි යහපාලනය සහ ආර්ථික වර්ධනයේ ධාරිතාව වැඩිකරගැනීම. මේ අරමුණු ඉටුකරගැනීමට තමයි IMF එක ආධාර ලබාදෙන්නේ."

ඒ අරමුණු ඇතුලේ තවත් උප කාරණා කිහිපයකුත් සාක්ෂාත් කරගත යුතුයි කියලා IMF එක දැනුම්දීලා තියෙනවා. එකක් තමයි, දැනටමත් ක්‍රියාත්මක වෙන බදු ක්‍රමය අඛණ්ඩව පත්වාගෙන යෑම.ඒ කියන්නේ ඇති හැකි අය ඉලක්ක කරගෙන බදු අයකිරීමේ ක්‍රියාවලිය දිගටම පවත්වාගෙන යෑම. ඒ වගේම බදු අයකරන ආයතන ශක්තිමත් කිරීමත් අවධාරණය කරලා තියෙනවා. රජයේ ආදායම් තත්වය ශක්තිමත් කිරීම අවධාරණය කරලා තියෙනවා. අනික් පැත්තෙන් වියදම් කළමනාකරණය කරගැනීම. බලශක්ති මිල ගණන් නිවැරදිව නිරූපණය කිරීම, දුෂණයට එරෙහි නීති පද්ධතිය වඩාත් ශක්තිමත් කිරීම වගේම විනිමය අනුපාතිකය වඩා නම්‍යශීලි ව්‍ය්හුහයක් තුළ, එහි අගය තීරණය කිරීමට අවස්ථාව ලබාදිය යුතුයි කියන කාරණයත් IMF විසින් මෙහිදී අවධරණය කරලා තියෙනවා."

බීබීසී- සිංහල

මාර්තුවේ ඉන්ධන - දෙසැම්බර් විදුලි බිල : ඉදිරියට දැනෙන සහන !

ඉන්ධන සඳහා ලබන මාසයේදී ජනතාවට දැනෙන සහනයක් දෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ අද ( 21) පාර්ලිමේන්තුවේ පැවති ඛනිජ තෙල් සම්පත් පනත යටතේ නියෝග පිළිබඳව විවාදයේදීය.

එසේම දෙසැම්බර් මාසයේදී විදුලි බිලටත් සහනයක් දෙන බවද අමාත්‍යවරයා සඳහන් කල අතර වැඩිදුරටත් මෙසේද පැවසීය.

"බොරතෙල් මිල අඩු වෙමින් තියෙනවා. ඒ වගේම රුපියලත් ශක්තිමත් වෙනවා. ඉන්ධන මිල සහනයක් දෙන්න කියලා ජනාධිපතිතුමා දැනටමත් මට උපදෙස් දීලා තියෙනවා. අපි ඒ සහන දෙනවා. පාරවල්වල උද්ඝෝෂණය කරලා විදුලියේ ස්වීච් ඕෆ් කළාම රටට ආයෝජකයෝ එන්නේ නැහැ. සමහර දේශපාලන පක්ෂ කරන්නේ
ඒ වැඩේ. දේශපාලන පක්ෂ මෙහෙයවන වෘත්තීය සමිති තියෙනවා. සමහරු පළාත් පාලන මැතිවරණයට පවා ඉදිරිපත් වෙලා තියෙනවා. මූල්‍ය අරමුදලේ මුදල් එනකොට ඒ අයගේ එක සටන් පාඨයක් නැති වෙනවා. ඉන්ධන මිල අඩු වෙන කොට තවත් සටන් පාඨයක් නැති වෙනවා. බඩු මිල අඩු වෙනකොට තවත් සටන් පාඨයක් නැති වෙනවා. ඒ නිසා මේ අය දැන් කුලප්පු වෙලා. තර්ජන ගර්ජන කරනවා. රටට කුමක් වුණත් කමක් නෑ තමන්ට බලයට ගන්න පුලුවන් නම් . වර්ජන තර්ජන කරනවා. විදුලිබල මණ්ඩලය ඛනිජ තෙල් සංස්ථාව ප්‍රති ව්‍යුහගතකරණ වැඩපිළිවෙළ ආපස්සට ගන්න සූදානම් නැහැ. ජාත්‍යන්තර සැපයුම්කරුවන්ට ඉන්ධන සැපයුම් වෙළෙඳපොළ විවෘත කිරීමට කටයුතු කරනවා. එහෙම කරන්නේ තෙල් පිළිබඳ තරගකාරිත්වයක් ඇති කිරීමටයි.

IMF මුල්‍යාධාරයෙන් මොකද වෙන්නේ ? හිටපු මුදල් ඇමති රවී කියයි !

පවතින ආර්ථික හා දේශපාලන අර්බුද මධ්‍යයේ වුවද බාහිර ණය ගෙවීම් සහ සාර්ව ආර්ථික ගැලපීම් හා ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ වැඩසටහන් මුදුන්පත් කරගැනීම වෙනුවෙන් විදෙස් සංචිත ඉහළ නැංවීම අරභයා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබෙන ඩොලර් බිලියන 2.9ක විස්තීරණ ණය මුදල භාවිතා කෙරෙන බව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක පවසයි.

ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව සහ අනෙකුත් බහුපාර්ශ්වීය අංශයන්ගෙන් ණය ලබාගැනීම සඳහා බොහෝ විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග’ ඇති කරගන්නා වැඩසටහනක් මූලික අවශ්‍යතාවක් වන බවද හිටපු අමාත්‍යවරයා සඳහන් කරයි.
සිටියේය.

දෙවනුව ස්ථාවරත්වය වෙනුවෙන් වන වැඩසටහනකදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් සංවිධානය කරනු ලබන ආධාර දෙනු ලබන රටවල කණ්ඩායමක් රටේ සහාය සඳහා ඉදිරිපත් වනු ඇති බවත් ඒ යටතේ ලැබෙන මූල්‍ය ආධාරවලින් වැඩි ප්‍රමාණයක් එක්වරකදී ලබාදෙන ණය හෝ අඩු පොලියක් යටතේ පිරිනැමෙන දීර්ඝකාලීන ණය වනු ඇති බවත් පවසයි.

තෙවනුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග’ වැඩසටහනකට එළැඹීමෙන් ගොඩනැංවෙන ආර්ථික ප්‍රතිසංස්කරණ පිළිබඳ විශ්වාසනීයත්වය භාවිතයෙන් පෞද්ගලික ප්‍රාග්ධන වෙළෙඳපොලින් තරගකාරී පොලී අනුපාත යටතේ අරමුදල් ලබාගැනීමට හැකිවන බව ද හිටපු මුදල් ඇමතිවරයා පැවසීය.

එමෙන්ම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය මෙරටට විවෘත වීමෙන් පසුව ලැබෙන සුවිශේෂ ප්‍රතිලාභයක් වනු ඇත්තේ, සියුම් ප්‍රතිපත්ති වෙනස්කම් මාලාවක් ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් ආණ්ඩුවට ඉඩකඩ ලැබීම බව ඔහු පෙන්වා දුන්නේය.

ප්‍රතිපත්ති, උපදෙස්, හැකියා ගොඩනැංවීමේ ක්‍රියාකාරකම් සහ වෙළෙඳපොල පවතින පොලී අනුපාතවලට වඩා අඩු පොලී අනුපාත යටතේ සහනදායී මූල්‍ය ආධාර ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලබා දෙයි.

ණය ස්ථාවරත්වය සහ මූල්‍ය හිඩැස් ආවරණය කිරීමට නම්, ශ්‍රී ලංකාවේ ණය නැවත ගෙවීම සඳහා ණය හිමියන්ගෙන් සහන සහ බහුපාර්ශ්වීය හවුල්කරුවන්ගෙන් අතිරේක මූල්‍ය පහසුකම් ද අවශ්‍ය වනු ඇත.

ණය ස්ථාවරත්වය ස්ථාපිත කිරීම සඳහා අවශ්‍ය වන මූල්‍ය සහතික ශ්‍රී ලංකාවේ නිල ණය ලබාදෙන්නන් විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ලබාදී ඇති අතර, විස්තීරණ ණය පහසුකම මෙරටට ලැබීමට පෙර පෞද්ගලික ණය ලබාදෙන්නන් සමග’ සහයෝගීතා එකග’ත්වයකට ද එළැඹීම වෙනුවෙන් සද්භාවයෙන් යුත් උත්සාහයක් දැරීම තීරණාත්මක වනු ඇත.

ඉහළ තරග’කාරිත්වයෙන් යුත් සහ අපනයනය පාදක කොටගත් ආර්ථිකයක් ගොඩනැංවීම සඳහා රජය විසින් මෙම ප්‍රතිපත්ති වෙනස්කම් හැකි ඉක්මනින් ක්‍රියාත්මක කළයුතු යැයි කරුණානායක මහතා අවධාරණය කර සිටියේ, ජනගහනයෙන් වැඩි පිරිසක් ආර්ථික දුෂ්කරතාවන්ට පත්වීම වැලැක්විය යුතු බවට ද අවධාරණය කරමිනි.

ආණ්ඩුව විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට පොරොන්දු 15ක් ලබා දී ඇති බව පෙන්වා දුන් ඔහු, මූල්‍ය ශක්තිමත්භාවය අරභයා ආණ්ඩුවේ ආදායම් ඉහළ නැංවීම සඳහා ප්‍රධාන බදු ප්‍රතිසංස්කරණ හඳුන්වාදීමට මුදල් අමාත්‍යංශයේ සහ මහබැංකුවේ ඉහළ නිලධාරීන්ට අවස්ථාව එළැඹී ඇති බව ද පැවසීය.

රාජ්‍ය අංශයේ ආයතන නිසා සිදුවන මූල්‍ය අවදානම අවම කරගැනීම සහ එවැනි ආයතන ප්‍රකෘතිමත් කිරීම වෙනුවෙන් ඉන්ධන සහ විදුලිබලය සඳහා වියදම් ප්‍රතිසාධනය පාදක කොටගත් මිළ ගණන් ක්‍රියාත්මක කිරීම ද මෙම පොරොන්දු අතර වේ.

සමාජ සුබසාධන වියදම් ඉහළ නංවා, දුප්පත් හා අවදානමට ලක්ව සිටින පිරිස් වෙනුවෙන් සහාය ලබාදීමේ සමාජ ආරක්ෂණ ජාලයෙහි ආවරණ සීමා පුළුල් කිරීම සහ වැඩිදියුණු කිරීමට ද යෝජනා කොට ඇත.

දත්ත ප්‍රේරක මුදල් ප්‍රතිපත්ති, මූල්‍ය ශක්තිමත්භාවය, මූල්‍යමය යෙදවීම් අදියර කිහිපයක් යටතේ සිදු කිරීම, මිළ ස්ථාවරත්වය ස්ථාපිත කිරීම සඳහා මහබැංකුවේ ශක්තිමත් ස්වාධිපත්‍යය, විදෙස් සංචිත ස්ථාපිත කිරීම වෙනුවෙන් වෙළෙඳපොල විසින් තීරණය කෙරෙන හා නම්‍යශීලී විනිමය අනුපාතික මෙන්ම නම්‍යශීලී උද්ධමන ඉලක්ක තන්ත්‍රයක් ද ආණ්ඩුව විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ලබාදුන් පොරොන්දු අතර වෙයි.

එමෙන්ම, යහපත් සහ ප්‍රමාණවත් පරිදි වාසිදායක බැංකු පද්ධතියක් සහතික කරලීම මෙන්ම, නියාමන සම්මතයන් සහ මූල්‍ය අංශයේ සුරක්ෂිතා ජාලය ඉහළ නැංවීම ද සිදුකළ යුතුය.

මූල්‍ය විනිවිදභාවය, රාජ්‍ය මූල්‍ය කළමනාකරණය සහ දූෂණයට ඉඩදෙන තත්ත්ව පහළ හෙලීමේ නීති/ප්‍රතිපත්ති ද ආණ්ඩුව විසින් පිළිගෙන ඇත.

බොහෝ දුරට දූෂණය, අවපාලනය හා තාක්ෂණික අසමත්කම් හේතුවෙන් කාර්ය ඵලය පහත වැටී ඇති රාජ්‍ය ආයතන වානිජකරණය කිරීම අවශ්‍යයෙන්ම සිදු කළ යුතු බව පෙන්වා දුන් ඔහු, එම ආයතන තවදුරටත් රටට බරක් වීමට ඉඩ නොතබාඒවායේ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය වේගවත් කළයුතු බව ද පැවසීය.

IMF සහනයට සුබ පැතූ හර්ෂ : සජිත්ගේ උදහසට !

ලංකාවට අදාළ විස්තීර්ණ ණය පහසුකම ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙහි විධායක මණ්ඩලය විසින් අනුමත කිරීම අගය කරමින් සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා තැබූ ට්වීටර් සටහන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ගේ උදහසට හේතුවී ඇති බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

තීරණාත්මක අවස්ථාවක තමාගේ ස්ථාවරය පවා නොවිමසා කටයුතු කිරීම වරදක් බවත්, ඒ සම්බන්ධව වගකීමෙන් කටයුතු කරන ලෙස හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයාට දැනුම්දෙන ලෙස පක්ෂ ජ්‍යේෂ්ඨයන් කිහිපදෙනෙකු වෙත විපක්ෂ නායක සජිත් පවසා ඇති බවත් දැනගන්නට ඇත.

එසේම ජනාධිපති රනිල් ගේ කටයුතු අගය කරමින් සිටිනවා නම් ඒ සඳහා ස්ථානය සජබ නොවන බවද විපක්ෂ නායක සජිත් අවධාරණය කර ඇති බවත් එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

පහත දැක්වෙන්නේ ලංකාවට අදාළ විස්තීර්ණ ණය පහසුකම ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙහි විධායක මණ්ඩලය විසින් අනුමත කිරීම අගය කරමින් සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා තැබූ ට්වීටර් සටහනය.

harsha de silwa

" IMF වෙතින් සහනයක් ලැබුවා. විස්තීරණ ණය පහසුකම අනුමත කර ඇත. ජනාධිපතිගේ කැපවීම, අපේ දේශපාලන මතභේද නොතකා එම කාර්යය ඉටු කිරීම අගය කළ යුතුයි. රජයේ මහ බැංකුවේ වෘත්තීයභාවය අගය කළ යුතුය. 2020 දී මෙය කළේ නම් ... අපේ ජනතව මේ ආකාරයෙන් දුක් විඳින්නේ නැත. වේදනාව අඩුවෙන් අපිට පිටතට පැමිණීමට හැකියාව තිබිණි. ඔවුන්ගේ උඩඟුකම සහ කෑදරකම නිසා අවසානයේ අප බංකොලොත් විය. අපි ඉදිරියට බලමු. ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම දුෂ්කර වනු ඇත. ප්‍රතිසංස්කරණ ප්‍රධාන වේ. තිරසාර විසඳුම වන්නේ බිත්ති කඩා ලෝකයට පාලම් තැනීමයි."

කෙසේ වුවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (21) පාර්ලිමේන්තුවේදී ස්ථාවර නියෝග 27 (2) යටතේ ප්‍රශ්නයක් මතු කරමින් පවසා සිටියේ සිටියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකරගත් කොන්දේසි පාර්ලිමේන්තුවට ලබාදෙන ලෙසය.

ඒ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ ඇතිකරගත් එකඟතා ගිවිසුම හෙට (22) පාර්ලිමේන්තුවේ සිදුකරන විශේෂ ප්‍රකාශයක් සමඟ සභාගත කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රසිද්ධ නිවේදනයක් නිකුත්කර තිබියදීය.

මේ අතර වැඩිදුරටත් සජබ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසන්නේ IMF ගිවිසුම සහ ඒ සමඟ බැඳුනු ප්‍රතිසංස්කරණ වලට විරෝධී ප්‍රතිපත්තියක් ගෙනයාමට අවශ්‍ය කරුණු සූදානම් කරන ලෙස විපක්ෂ නායකවරයා සිය උපදේශකයන් වෙත දැනුම්දී ඇති බවය.

IMF එකඟතා ගිවිසුම (22) හෙට පාර්ලිමේන්තුවට - ජනපති පවසයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් විස්තීරණ ණය පහසුකම අනුමත කිරීමත් සමඟ ශ්‍රී ලංකාව ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ශක්තියක් තිබෙන රටක් ලෙස ජාත්‍යන්තර සහතිකය ලැබී ඇති බැවින් තවදුරටත් ශ්‍රී ලංකාව බංකොලොත් රටක් නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

එම නිසා සාමාන්‍ය ගනුදෙනු ආරම්භ කිරීමේ හැකියාව මෙතැන් සිට ශ්‍රී ලංකාවට හිමි වන බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම අනුමත වීම සම්බන්ධයෙන් අද (21) විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.

ඉදිරියේදී මෙරට විදේශ විනිමය තත්ත්වය දියුණු වීමත් සමඟ අත්‍යාවශ්‍ය භාණ්ඩ, ඖෂධ, සංචාරක කේෂ්ත්‍රයට අවශ්‍ය භාණ්ඩවල ආනයන සීමා ක්‍රමානුකූලව ඉවත් කිරීමට රජය කටයුතු කරන බවද ජනාධිපතිවරයා අනාවරණය කළේය.‍

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි විස්තීරණ ණය පහසුකම ශ්‍රී ලංකාවට ලබා ගැනීම වෙනුවෙන් සහාය දැක්වූ සියලු රටවලටත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ ප්‍රධානීන් දෙදෙනාටත් ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් සිය හෘදයාංගම ස්තූතිය පුද කර සිටින බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

මෙතැන් සිට ඇති කරගත් එකඟතාව අනුව ඉදිරියට යා යුතු බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, ඊට අදාළ එකඟතා ගිවිසුම හෙට (22) දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව වැඩිදුරටත් පැවසීය.

විස්තීර්ණ ණය පහසුකමට සඳහා ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි විධායක කමිටු අනුමැතිය ලබා ගනී

විස්තීර්ණ ණය පහසුකම යටතේ ශ්‍රී ලංකාවේ වැඩසටහන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි විධායක කමිටුව විසින් අනුමත කළ බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිවේදනය කළේය. මෙම වැඩසටහන මගින් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ජාත්‍යන්තර මූල්‍ය ආයතන සහ බහුපාර්ශ්වික සංවිධාන වෙතින් ඇමරිකානු ඩොලර් බිලියන 7ක් දක්වා මූල්‍ය පහසුකම් ලබා ගැනීමට අවස්ථාව සැලසේ.

මෙය ශ්‍රී ලංකාවට ඓතිහාසික සන්ධිස්ථානයක් වන්නේ රජය සාර්ව ආර්ථික ස්ථාවරත්වය යථා තත්ත්වයට පත් කිරීමට සහ ණය තිරසාරත්වය ළඟා කර ගැනීමට උත්සාහ කරන බැවිනි. මෙම මස මුලදී, ශ්‍රී ලංකාවට, පැරිස් සමාජය, ඉන්දියාව සහ චීනය ඇතුළු එහි නිල ණයහිමියන්ගෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අනුකූල මූල්‍ය සහතික කිරීම් ලැබුණේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට විධායක කමිටුවක් කැඳවීමට සහ ණයක් සඳහා ශ්‍රී ලංකාවේ ඉල්ලීම සලකා බැලීමට ඉඩ සලසමිනි. පෙර නොවූ විරූ අභියෝගවලින් ආර්ථිකය මුදවා ගැනීමට සහ සියලු පාර්ශ්වකරුවන් අතර විශ්වාසය ඇති කිරීමට අවශ්‍ය ප්‍රතිපත්තිමය අවකාශය මෙම වැඩසටහන මගින් අපේක්ෂා කෙරේ.

මේ සම්බන්ධව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.

“ශ්‍රී ලංකාව නිදහස ලබා ගෙවී ගිය වසර 75ක කාලය තුළ රටේ ආර්ථිකයේ ඉදිරි ගමන පිළිබඳ මෙවන් තීරණාත්මක කාල පරිච්ඡේදයක් තිබී නැත. අපගේ නිල ණයහිමියන් පසුගිය මාස කිහිපය තුළ අඛණ්ඩ සහ ධනාත්මක ක්‍රියාකාරකම්වලින් පසුව ඔවුන්ගේ සහය ප්‍රකාශ කර ඇති අතර, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ජාත්‍යන්තර මූල්‍ය ආයතන වෙතින් ඇමරිකානු ඩොලර් බිලියන 7ක් දක්වා මූල්‍ය පහසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වන පරිදි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි විධායක කමිටුව විසින් අපගේ වැඩසටහන අනුමත කිරීම සම්බන්ධයෙන් අපි සතුටු වෙමු. ආරම්භයේ සිටම, මූල්‍ය ආයතන සහ අපගේ ණය හිමියන් සමඟ පැවැත්වූ සියලු සාකච්ඡාවලදී පූර්ණ විනිවිදභාවයකින් යුතුව කටයුතු කිරීමට අපි කැප වූයෙමු. දූරදර්ශී මූල්‍ය කළමනාකරණය සහ සර්වශුභවාදී ප්‍රතිසංස්කරණ න්‍යායපත්‍රය තුළින් ආර්ථිකය දිගුකාලීනව යථා තත්ත්වයට පත් කිරීමට අප බලාපොරොත්තු වන මේ මොහොතේ සහයෝගය ලබාදීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට සහ අපගේ ජාත්‍යන්තර හවුල්කරුවන්ට මගේ කෘතඥතාව පළ කරමි.

මා ජනාධිපති ධූරයේ වගකීම භාරගත් පසුගිය ජූලි මාසයේ සිට, ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට සහ තිරසාර ණය මට්ටමක් ළඟා කර ගැනීම මගේ ප්‍රමුඛතාවය විය. ඒ සඳහා අපි දැඩි තීරණ කිහිපයක් ගත්තෙමු. නමුත් අපි එසේ කළේ අපගේ සමාජ ආරක්ෂණ ජාල පුළුල් කිරීමට, අවදානමට ලක්විය හැකි පාර්ශව ආරක්ෂා කිරීමට, දූෂණය මුලිනුපුටා දැමීමට සහ සියල්ල ඇතුළත් ජාත්‍යන්තර වශයෙන් ආකර්ශනීය ආර්ථිකයක් වර්ධනය කළ හැකි බව සහතික කිරීම සඳහා ඇති කැපවීම නිසාය. අපේ රට සඳහා මෙම දැක්ම සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන ඉතා වැදගත් අතර, එම වැඩසටහන සාර්ථකව නිම කිරීමට සහ ණය තිරසාරත්වය ළඟා කර ගැනීමට අපි කැපවී සිටිමු. අපි අපගේ සියලුම ණය හිමියන් සමඟ අඛණ්ඩව සම්බන්ධ වී සිටින අතර, අපගේ ඉදිරි කටයුතුවල සන්දර්භය තුළ සම්බන්ධීකරණය ශක්තිමත් කිරීමට සහ පෝෂණය කිරීමට අපගේ ද්විපාර්ශ්වික සහ වාණිජ ණයහිමියන් දිරිමත් කරන්නෙමු. ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙළෙඳපොල සඳහා ශ්‍රී ලංකාවේ ස්ථාවරය සහ ප්‍රවේශය වැඩිදියුණු කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි වැඩසටහන අත්‍යවශ්‍ය වනු ඇති අතර, ශ්‍රී ලංකාව නැවත වරක් ආයෝජකයින් සහ සංචාරකයින් සඳහා ආකර්ශනීය රටක් බව පෙන්නුම් කරනු ඇත.”

සංස්කාරකවරුන්ට සටහන:
ශ්‍රී ලංකාව 2022 සැප්තැම්බර් 1 වන දින විස්තීරණ අරමුදල් පහසුකම මගින් අනුග්‍රහය දක්වන සිව් අවුරුදු වැඩසටහනක් සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ මාණ්ඩලික මට්ටමේ ගිවිසුමකට එළැඹිණි. ඇමරිකානු ඩොලර් බිලියන 3ක මෙම වැඩසටහන මඟින් අවදානමට ලක්විය හැකි කණ්ඩායම් සහ ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ආරක්ෂා කරමින් සාර්ව ආර්ථික ස්ථාවරත්වය සහ ණය තිරසාරභාවය යථා තත්ත්වයට පත් කිරීමට අපේක්ෂා කෙරේ. සැප්තැම්බර් මාසයේ සිට, ශ්‍රී ලංකා රජය, රටේ ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය පිළිබඳ පාර්ශ්වකරුවන් යාවත්කාලීන කිරීමට විනිවිදභාවයෙන් තොරතුරු බෙදා ගැනීමට මෙන්ම වාණිජ ණය හිමියන් සමඟ සම්බන්ධවීමට නිල ණයහිමියන්ගේ රැස්වීම් පවත්වා ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි විධායක කමිටුවේ අනුමැතියෙන් පසුව, මෙම වැඩසටහන යටතේ පළමු වාරිකය ලබාදීම ඉදිරි දිනවලදී සිදුකිරීමට බලාපොරොත්තු වේ.

දේශීය මාධ්‍ය විමසීම් :This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
ජාත්‍යන්තර මාධ්‍ය විමසීම් :This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
ආයෝජක හෝ ජාත්‍යන්තර මාධ්‍ය විමසීම් :This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
ජනාධිපති මාධ්‍ය අංශය

අපේ සටන අපි දිනුවා !

" මට පක්ෂ දේශපාලනයක් නෑ. මම කරන්නේ මට ලැබුණු වගකීම ඉටුකිරීමයි. ඒ සඳහා ඔබ සියලු දෙනාගේම සහය අපේක්ෂා කරනවා. පක්ෂ දේශපාලනය පැත්තකින් තියමු. ජනතාව කියන්නේ 225 ම එපා කියලා. ඒ දේ තේරුම් අරගෙන හැමෝම එකතුවෙලා මේ අර්බුදයෙන් රට ගොඩගමු. "

මේ පසුගිය මාස 8 කට ආසන්න කාලය තුළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිතර කී කතාවක්ය. ජනාධිපති රනිල් එහෙම කිව්වේ, ලංකා ඉතිහාසය මුහුණදුන් දරුණුතම ආර්ථික අර්බුදයෙන් රට ගොඩගැනීම හුදකළා පුද්ගලයකුගේ කාර්ය භාරයක් නොවන අතර එය සැවොම එකාවන්ව සිදුකරන සාමුහිඛ මැදිහත්වීමක අවශ්‍යතාව පැවති නිසාය. මෙතරම් භයානක ආර්ථික අර්බුදයකට ලක්වූ රටවල ඉරණම කොතරම් ඛේදවාචීද යන්න සම්බන්ධව අවබෝධයක් තිබුණු නිසාය. එහිදී තීරණාත්මක අවශ්‍යතාවක් වූයේ, ශ්‍රී ලංකා රාජ්‍ය නිල වශයෙන් බංකොලොත් බව ප්‍රකාශයට පත් කිරීම නිසා ඇතිවූ ගෝලීය මූල්‍ය සීමා - අවහිරතා ඉවත්කර ගැනීමය. ඒ සඳහා වන යතුර ලබාගන්නට හැකියාව ලැබෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වැඩසටහනකට යොමුවීම හරහා පමණය. නමුත් එය පහසු කටයුත්තක් නොවේය. මන්ද එක් පසෙකින් අප නිල වශයෙන් බංකොලොත් බව ප්‍රකාශ කළ රටක් ය. අනෙක් පසින් මීට පෙරත් මතුවූ ආර්ථික දුෂ්කරතා හමුවේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ගෙන එහිදී ඇතිකරගත් ආර්ථික ප්‍රතිසංස්කරණ සම්බන්ධ එකඟතා කඩකර පොළු තැබූ රටක්ද වන නිසාය. අන්න ඒ නිසා, ජනාධිපතිගේ ස්ථාවරය වුණේ, අමාරුම අවස්ථාවේ අපි සේරම එකට සිටගෙන සිටින බවට තහවුරුව ජාත්‍යන්තරයට දෙන්නටය.

කවුරුත් එකතුව මල් වට්ටියට අතගැසීම වැදගත් බව කිව්වේ ඒකටය. ඒ හැර අර්බුදයෙන් රට ගොඩනගන දැක්මක, වැඩපිළිවෙලක හෝ උපාය මාර්ගික ප්‍රවේශයන්ගේ අඩුවක් ජනාධිපති රනිල්ට තිබුණේ නැත. නමුත් මෙරට බොළඳ විපක්ෂය ජනාධිපතිගේ ඒ දියුණු ප්‍රවේශය ගණනකට ගත්තේ නැත. ඉතිහාසයේ මුහුණදුන් දුෂ්කරම අවස්ථාවේ හෝ දේශපාලනයට අදාළ එවැනි දියුණු ප්‍රජාතන්ත්‍රවාදී අත්දැකීමක් අත්හදා බලන්නවත් සිතන තරමටවත් විපක්ෂය නුතනවාදී වූයේ නැත. ඒ නිසාම අලුත් දේශපාලනයක් ඉල්ලා සිටි රටට ඔවුන් උරුම කරේ පරණ ජරාජීර්ණව ගිය දේශපාලනයමය. විපක්ෂය දිගින් දිගටම කියා සිටියේ, ජනාධිපති රනිල්ට ජනවරමක් නෑ කියාය. ජනවරමක් නැති ජනාධිපතිට ජාත්‍යන්තර සහයක් නොලැබෙන බවය. දන්නා කියන හැම පද කස්තිරමක්ම අල්ලමින් විපක්ෂය උත්සාහ කළේ ජනාධිපති රනිල්ගේ වැඩපිළිවෙල අවුල් කරන්නටය.

නමුත් ජනාධිපති රනිල් ඒ කිසිවක් ඉදිරියේ කළබලවෙන්න ගියේ නැත. ඒ වෙනුවට ජනාධිපතිවරයා කළේ තමන් විශ්වාස කරන උපාය මාර්ගික වැඩපිළිවෙල ඉදිරියට ගෙනයාමය. එම කටයුත්තේ සාර්ථකත්වය මනාව තහවුරු කරමින් මේ වන විට එහි තීරණාත්මක ලක්ෂයක් වෙත පැමිණීමට මෙරටට හැකියාව ලැබී ඇත.

ඒ බව ශ්‍රී ලංකාවේ නිල ද්විපාර්ශ්වික ණයහිමියන්ට සහ පැරිස් සමාජයේ ණයහිමියන්ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය මාර්තු 14වැනිදා යොමුකළ විවෘත ලිපියේ සඳහන් වන්නේ මේ ආකාරයටය.

"සාර්ව ආර්ථික ස්ථායීතාවය සහ ණය තිරසාර බව ප්‍රතිෂ්ඨාපනය කිරීමේ අපගේ උත්සාහයේ කොටසක් ලෙස අපි ඉල්ලා සිටි විස්තීරණ අරමුදල් පහසුකම (EFF) පිළිබඳව සලකා බැලීම වෙනුවෙන් අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජීවා විසින් 2023 මාර්තු 20 වන දින අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩල රැස්වීමක් පවත්වනු ලබන බවට පසුගිය අඟහරුවාදා කරන ලද නිවේදනය මම සාදරයෙන් පිළිගත්තේ ඉමහත් තෘප්තියකින් සහ අවංක බලාපොරොත්තුවකිනි. ඔබගේ කඩිසරකමට ප්‍රශංසා කිරීමට සහ විශේෂයෙන්ම පැරිස් සමාජයේ ණයහිමියන්ට හා ජපානයට මෙම අවස්ථාවට පැමිණීමට අවශ්‍ය සහයෝගීතාව ලබාදීම සහ IMF නිර්දේශයන්ට අනුකූලව මූල්‍ය සහතික ලබාදීම පිළිබඳව ඉන්දියාවට සහ චීනයට මගේ කෘතඥතාව පළ කිරීමට කැමැත්තෙමි. මෙම ප්‍රයත්නයන්ට සහාය වීම ගැන පැරිස් සමාජ ලේකම් කාර්යාලයට ද මම ස්තූතිවන්ත වෙමි.”

මේ සම්බන්ධව වැඩිදුරටත් ලැබී ඇති තොරතුරු වලට අනුව, IMF හි විධායක සභාව මාර්තු 20 රැස්වන අතර අනතුරුව මාර්තු 21 වනදා ලංකාවට අදාළ විස්තීර්ණ ණය පහසුකම සම්මතවීමට අදාළ නිවේදනය නිකුත් වීමට නියමිතය. ඒ කියන්නේ මේ මාර්තුව, IMF විස්තීර්ණ ණය පහසුකම ලබාගැනීම වෙනුවෙන් ජනාධිපති රනිල් කල මැදිහත්වීම දියකරන්න හිතාගෙන විපක්ෂය කල කී සියල්ල හමස් පෙට්ටියටදා මිහිදන් කළ මාසය ලෙස ඉතිහාසයට එක්වන බවය.

නමුත් මෙහිදී කවුරු කවුරුත් අවධානයට ගතයුතු තීරණාත්මක කරුණක් ඇත. ඒ "IMF විස්තීර්ණ මුල්‍ය පහසුකම ලැබීමෙන් පසුව ලංකාවේ ආර්ථික අර්බුදය අවසන්ය" පන්නයේ කිසිඳු මිත්‍යාවකට හසු නොවීමය. සැබවින්ම IMF ලැබුණා කියා හෙට මේ රට කේතුමතී නුවර වන්නේ නැත. අවම වශයෙන් 2018- 2019 තැනටවත් රටේ ආර්ථිකය එක්වරම පත්වන්නේ නැත. එසේ නම් දැන් ප්‍රශ්නය වන්නේ, " නිල වශයෙන් බංකොලොත් බව ප්‍රකාශයට පත්කර තිබූ රටකට, IMF විස්තීර්ණ මුල්‍ය පහසුකම ලැබීම ජයග්‍රහණයක් වන්නේ කොහොමද ?" යන්නය.

සැබවින්ම මෙහිදී සිදුවන්නේ "කොහෙත්ම කඩා ඇතුළුවිය නොහැකි දොරක් අබියස, අගුල හැර ගැනීමට යතුරත් අහිමිව සිටි අයෙකුට යතුර හිමිවීම" වැනි දෙයක්ය. ණය හිමියන් වෙත ගෙවීමට ඇති ණය පොලී වාරික පවා ගෙවා ගැනීමට නොහැකිව, නිල වශයෙන් බංකොලොත් බව ප්‍රකාශයට පත්කළ රටක් සමඟ, කිසිඳු ගෝලීය මූල්‍ය ආයතනයක් ගනුදෙනු කරන්නේ නැත. ණය හිමිකාර රටවල්ද තමන් වෙතින් ලබාගත් ණය ගෙවීමට හැකි සෑම ක්ෂේත්‍රයක් ඔස්සේම බලපෑම් කරනවා විනා වෙනත් , මුල්‍ය සහයක් ලබාදෙන්නේ නැත. ණය උගුලට හසුවූ රටවල් මිහිමත අපායවල් බවට පත්වන්නේ ඒ නිසාය. කොහොම නමුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇත්තේ රටක ආර්ථිකය අන්න ඒ තැනට වැටීමට පෙර එම තත්වයෙන් මිදෙන්න අවශ්‍ය සහය ලබාදෙන්නටය. ඒ හැර එම කටයුත්ත කරන වෙනත් ආයතනයක් ලෝකයේ නැත.

නමුත් තේරුම් ගත යුතුව ඇත්තේ IMF සාමාජිකයකු වූ පමණින්, සල්ලි ඉල්ලන ඕන වෙලාවක දෙන බැඳීමක් ඊට නැති බවය. විශේෂයෙන් රටක් බංකොලොත් වූ විට, එම තත්ත්වය ඇතිවීමට හේතුවූ සියලු තත්වයන් සැලකිල්ලට ගෙන එම තත්වයන් වෙනස් කරගන්න ගිවිස ගැනීමෙන් පිට IMF සහය ලැබෙන්නේ නැත. බංකොලොත් වූ රටකට නම් තත්වය ඊටත් වඩා බරපතළය. එහිදී අදාළ රට බංකොලොත් වීමට අදාළ වගකිව යුතු ආර්ථික ප්‍රතිපත්තියේ රැඩිකල් වෙනසක්, ප්‍රතිසංස්කරණයක් සිදුකිරීම අනිවාර්යයක්ය. ඇතැම් විට IMF සමඟ සාකච්ඡා ඇරඹීමට පෙර පවා ඇතැම් ප්‍රතිසංස්කරණ සිදුකර පෙන්වීමටද සිදුවනු ඇත.

අර්බුදය රට වෙලා ගන්නට පෙර ගෝඨාභය පාලනය ආරම්භයේදීම "IMF වෙත ගොස් සහය ඉල්ලා ගන්න" කියා එදා රනිල් වික්‍රමසිංහ උපදෙස් දුන්නේද අන්න ඒ නිසාය. නමුත් ඒ පාලනය ඒ උපදෙස ක්‍රියාවට නැංවුයේ අශ්වයා පළාගිය පසු ඉස්තාලය වසන ආකාරයටය. ඒ නිසාම ගෝඨාභය පාලනය IMF සහය ඉල්ලන විට රටේ දේශපාලන අස්ථාවරත්වයක් ගොඩනැගී තිබුණා පමණක් නොව නිල වශයෙන් බංකොලොත් බවද ප්‍රකාශය පත්කර තිබිණ. IMF මුල්‍ය සහනයක් ලැබීම පවා තිබුණේ දැඩි අවධානමකය. වැඩි ප්‍රතිශතයක් තිබුණේ IMF සහය නොලැබෙන පැත්තටය. එම තත්ත්වය දිගටම පැවතියා නම් , 2023 ජූලිය , 2022 ජූලියට වඩා භයානක වීම අනිවාර්යයක්ය. අද විපක්ෂය ගහන කයිවාරු පම්පෝරි කිසිවක් එදාට වලංගු නොවන අතර, මේ රට ආසියාවේ අමු සොහොනක් වීමට පවා හොඳටම අවස්ථාව තිබිණ. කෙසේ හෝ වේවා විපක්ෂයේ දහසක් අවලාද, බාධා වර්ජන , තර්ජන , අණවින කොඩිවින මැද ජනපති රනිල් ජයග්‍රහණය කළේ ඒ කඩයිමය. ජනාධිපති රනිල් මේ අරගෙන දුන්නේ ලෝකය සමඟ, ගෝලීය මුල්‍ය බලවතුන්, මුල්‍ය ප්‍රවාහ සමඟ ගනුදෙනු කිරීමට නොහැකි ආකාරයට තිබු දොරෙහි අගුල හැර ගැනීමට අවශ්‍ය යතුරය.

නමුත් ඉස්සරහට යන්නේ කොහොමද නොදැන යතුර ගත්තාට වැඩක් නැත. අගුල විවර කරගෙන බලාසිටියාට සංවර්ධනය සිදුවන්නේ නැත. සවර්ධනය අත්පත් කරගන්නට නම් අතට ලැබුණු යතුරරෙන් හරියට වැඩ ගත යුතුය. අතට ලැබුණු යතුරෙන් හොඳටම වැඩක් ගත්ත රටක් සොයා වැඩිදුර යායුතු නැත. අසල්වැසි ඉන්දියාව 1990 පැමිණි ආර්ථික අර්බුදය සමනය කරගෙන ආර්ථිකයේ ලබාගත් පිම්ම ඒ සඳහා හොඳටම ප්‍රමාණවත්ය. ඒ ආර්ථික අවපාතයෙන් ගොඩ ඒම සදහා එවකට අගමැති නරසිංහ රාඕ විසින් රාජකාරිය පවරනු ලැබුවේ මන්මෝහන් සිංග් මුදල් අමාත්‍ය ධූරයට පත්කරමින්ය. එහිදී ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ වැඩසටහනකට ගොස් සිදුකල ආර්ථික ප්‍රතිසංස්කරණ සහ මුල්‍ය පහසුකම මගින් වසර දෙකක් තුල ඉන්දියාවෙහි නව ආර්ථිකයක් බිහි කිරීම සිදුවිය. එතැන් සිට ඉන්දියාව සාර්ථක ගමනක් ගියා පමණක් නොව කලාපයේ බලය තහවුරු කරා මෙන්ම ලෝකයේ බලවතෙක් වීමට අදාළ ගමනද ආරම්භ කළේය. ඉන්දියාව තවමත් යමින් සිටින්නේ ඒ ගමනය.

ඒ සමඟ ග්‍රීසිය සැළකිල්ලට ගැනීම වැදගත් ය. මන්ද ඒ IMF ගියත් ගොඩයාම වෙනුවට වැළලීම බාරගත් රටක් නිසාය. 2010 වන විට එරට ණය දළ දෙශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස 127% ව ණය ශ්‍රේණිගත කිරීම් දර්ශක වල බින්දුවටම වැටුණු ග්‍රීසිය රාජ්‍ය ණය කන්දක් තුළ ගිලෙන්න ගත්තේය. ග්‍රීසියත් අවසානයේ ගැලවීම සොයාගෙන යන්නේ IMF වෙත වුවත් සිදුකළ යුතු අත්‍යාවශ්‍ය ප්‍රතිසංස්කරණ සිදුකරමින් නිශ්චිත වැඩපිළිවෙලක් තුළ ඉදිරියට යන්න ග්‍රීසිය සමත්වූයේ නැත. ඒ වෙනුවට ඔවුන් සිදුකලේ මැතිවරණ පවත්වමින් ප්‍රජාතන්ත්‍රවාදී වහලේ උළු මාරු කර අර්බුදයට විසඳුම් සෙවීමය. ඒ නිසාම IMF වැඩපිළිවෙල ඇතුලේ හරි ගමනක් යන්න ග්‍රීසිය විය. එහි ප්‍රතිඵලය වුයේ ඇත්තේ අභිමානවත් ඉතිහාසයක් තිබුණත්, මරාලයක් බඳු ආර්ථිකයෙන් ගැළවිල්ලක් සොයමින් ලතවෙන්නටය. ග්‍රීසියේ ඒ ලතවීම අදටත් අවසන් නැත.

එසේම IMF වැඩපිළිවෙල තුළ සාර්ථකවීම සහ සංවර්ධනය අත්පත් කර ගැනීම යන කාර්යයේදී රුවන්ඩාවද ආදර්ශයක් ලෙස ගත යුතුම රටක්ය. මීට දශක දෙකකට පමණ පෙර රුවන්ඩාව ගැන කතා කිරීම පවා අප්‍රසන්නය. නමුත් මෑත ඉතිහාසයේ රුවන්ඩාව ප්‍රසිද්ධ බරපතල ආර්ථික අර්බුදයකට මුහුණදී අනතුරුව IMF මූල්‍යාධාරය සමඟ ඊට අදාල වැඩපිළිවෙල සාර්ථකව ක්‍රියාවට නැගීම නිසා ගොඩ ගිය රටක් ලෙසය. එහි සාර්ථකත්වය කොතරම්ද කියනවා නම්, මේ වන විට එක්සත් ජාතීන්ගේ සරණාගත භාවය ලබන්නන්ගේ නිවහනක් බවට පත්වීමට තරම් ආශිර්වාද ලත් රටක් බවට රුවන්ඩාව පත් ඇත.

මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර තිබු ආකාරයට නම් මේ සතිය තුළ IMF සමඟ ඇතිකරගත් එකඟතා ලියවිල්ල පාර්ලිමේන්තුවට යොමු කිරීමට නියමිතය. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 148 වැනි වගන්තියට අනුව මුදල් පිළිබඳ සම්පූර්ණ බලය තිබෙන්නේ පාර්ලිමේන්තුවට වන නිසා කොහොමටත් එය සිදුවිය යුක්තක්මය. ඒ තුළ බලය ඇත්තේ ආණ්ඩුවටය. ඒ නිසා අදාළ ලියවිල්ල සම්මතවීම ගැන වාදයක් සැකයක් නැත. නමුත් ප්‍රශ්නය ඇත්තේ රටේ ප්‍රශ්න හමුවේ ඇඳිවත පමණක් නොව දරුපවුල් පවා ඇපේට තියා සූදුකෙළින සූදුඅන්තුවකු බඳු විපක්ෂයේ හැසිරීමය. අනෙකා සූදානම් සියල්ල අහිමි කළ ජීවිතය වුවත් පරදු තැබීම සූදුඅන්තු ස්වභාවයය. IMF නොලැබෙන බව කියා බංකොලොත් බව ඔප්පු කළ විපක්ෂය , IMF සමඟ යන ඉදිරි ගමනේදී මොන අඩව්වක් අල්ලත්දැයි අවධියෙන් සිටිය යුත්තේ ජනතාවය.

සැබවින්ම විපක්ෂයේ සියලු බාධා මධ්‍යයේ වුවත් ජනාධිපතිවරයා ආර්ථික අර්බුදය විසඳීම සඳහා ගතයුතු පියවර විධිමත්ව සහ කඩිනමින් නොගන්න මේ IMF මුල්‍ය සහනය මෙතරම් කඩිනමින් ගන්න ලැබෙන්නේ නැත. ඒ ගෞරවය ජනාධිපති රනිල් වික්‍රමසිංහට හිමිය. ජනාධිපතිට මේ වැඩ පිළිවෙල ක්‍රියාත්මක කිරීමට සහය දුන් ආණ්ඩුවටද හිමිය. එපමණක් නොව විපක්ෂය මොනවා කිව්වත් ඒ නොතකා ජනාධිපතිවරයා එඩිතරව ගනුලැබූ තීන්දු තීරණ නිහඬව අනුමත කළ , ඒ ගැන විශ්වාසය තැබූ මෙරට නිහඬ බහුතරය නියෝජනය කල ජනතාවටද ඒ ගෞරවය හිමිය. IMF මුල්‍ය පහසුකම අනුමතවීමේ මොහොත" අපේ සටන අපි දිනුවා" වන්නේද අන්න ඒ අර්ථයෙන්ය.

බිල් අයර්ස් නම් විද්වතා කියා ඇත්තේ "සෑම විප්ලවයක්ම ආරම්භයේදී කළ නොහැක්කක් ලෙස පෙනෙන නමුත්, එය සිදුවීම ඇරඹීමෙන් පසුව වැළක්විය නොහැකිය" කියාය.
දැන් තවදුරටත් අතර මැදක් නැත. එක්කෝ ජාත්‍යන්තරයේ උගත් පාඩම් ද ඇසුරෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ආර්ථික විප්ලවය සමඟ ඉදිරියට යාම පිළිගත යුතුව ඇත. නැත්නම් බංකොලොත් විපක්ෂය සමඟ එකතුව නැවතත් ගොඩදැමීම ඇරඹු රට වල දැමීමේ කටයුත්තට එළඹිය හැකිය.

-කුලසිරි ලියනගේ

රනිල් රාජකීය පිම්මකට සුදානම් !

සියලු තරග පරාජය වෙමින් තිබු අවස්ථාවක අවසානයේ ජයග්‍රහණය අත් කර ගැනීමට කොළඹ රාජකීය විද්‍යාලයේ ක්‍රිකට් කණ්ඩායමේ නිවැරදි නායකත්වය හේතු වූ බවත්, තමාගේ ද උත්සාහය වන්නේ රාජකීය විද්‍යාලයේ ක්‍රිකට් කණ්ඩායමේ නායකයා මෙන් පරාජය වූ රට ජයග්‍රහණයේ මාවතට ඔසවා තැබීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

පසුගිය ජූලි මාසයේ දී තමා රට භාර ගත්තේ ඉන්ධන, පොහොර, ආහාර හිඟය ඇතුළු තවත් දැඩි අර්බුද රැසක් සමඟ වන අතර, එය බොහෝ තරග පරාජය වූ රාජකීය කණ්ඩායම මෙන් පැවති බව සිහිපත් කළ ජනාධිපතිවරයා, රට ගොඩගැනීමට නොහැකි වනු ඇතැයි බොහෝ දෙනාගේ අදහස වු බව ද කියා සිටියේය.

නමුත් එම තත්ත්වය වෙනස් කර, රට තුළ ආර්ථික ස්ථාවරත්වයක් ඇති කිරීමට පසුගිය මාස 07 තුළ තම කණ්ඩායමට හැකි වූ බව පෙන්වා දුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් ශ්‍රී ලංකාව බංකොළොත් රාජ්‍යයක් නොවන බව අවධාරණය කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ අද (19) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ පැවති 32 වන ඉන්ටරැක්ට් දිස්ත්‍රික් සමුළුව අමතමිනි.

ඉදිරි වසර දෙක තුළ දියුණු වන රටක් සියලුදෙනාට දැක බලා ගත හැකි බවත්, කලාපයේ වඩාත් සෞභාග්‍යමත් රට බවට ශ්‍රී ලංකාව පත් කර ගැනීම සඳහා අද දවසේ ආර්ථිකය ස්ථාවර කිරීම පමණක් ප්‍රමාණවත් නොවන අතර ඒ සඳහා ආර්ථිකය ගොඩනැඟීම ද සිදු කළ යුතු බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

2048 වන විට ශ්‍රී ලංකාව සෞභාග්‍යමත් රටක් බවට පත්කිරීමේ 25 වසරක සැලැස්ම මේ වන විටත් ක්‍රියාවට නංවා තිබෙන අතර, එය සාර්ථක කර ගත හැක්කේ වත්මන් තරුණ පරපුරේ කැපවීම මත බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

කොළඹ ශාන්ත‍ තෝමස් විද්‍යාලය, වෙස්ලි විද්‍යාලය, විසාඛා විද්‍යාලය සහ මහනුවර උසස් බාලිකා විද්‍යාලය විසින් සංවිධානය කරන ලද මෙම සමුළුව සඳහා දිවයින පුරා පාසැල් රැසක ශිෂ්‍ය ශිෂ්‍යාවන් 700ක් පමණ සහභාගි වී සිටියහ.

32 වන ඉන්ටරැක්ට් දිස්ත්‍රික් සමුළුවේ සභාපති අබ්දුල්ලා සිද්දීක් විසින් පිළිගැනීමේ කතාව සිදු කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පිළිගනු ලැබීය.

ඉන්ටරැක්ට් ගෝලීය තරුණ ව්‍යාපාරය වෙනුවෙන් ලබා දෙන සහයෝගය සහ සහභාගීත්වය අගය කරමින් ජාත්‍යන්තර රොටරි සමාජයේ දිස්ත්‍රික් අධිපතිනි (ශ්‍රී ලංකාව සහ මාලදිවයින) පුබුදු ද සොයිසා මහත්මිය විසින් ජනාධිපතිවරයා වෙත ලාංඡනයක් පැළඳ වූ අතර ඉන්ටරැක්ට් දිස්ත්‍රික් සමුළුවේ සභාපති අබ්දුල්ලා සිද්දීක් විසින් සමරු ඵලකයක්ද පිරිනැමීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.

ඊයෙ දිනයේ පැවති රාජකීය- ශාන්ත තෝමස් ක්‍රිකට් තරඟය නිසා අද දිනයේදී මෙම අවස්ථාවට මම සහභාගි නොවනු ඇතැයි ඔබේ දිස්ත්‍රික් අධිපතිනිය කණස්සල්ලෙන් පසුවූ බව මට දැන ගන්නට ලැබුණා.

නමුත් ක්‍රිකට් තරගය ඊයේ අවසන් වුණ බවත් අද අලුත් දවසක් ආරම්භ වූ බවත් මම කියන්න කැමතියි. ඒ වගේම එය රසවත් ක්‍රිකට් තරගයක් වූ බව කිව යුතුයි. රාජකීය සහ ශාන්ත තෝමස් යන කණ්ඩායම් දෙකටම මම ප්‍රශංසා කරනවා. එම දෙපාර්ශවයටම වගේම ලබන වසරේ ක්‍රීඩා කරන ශිෂ්‍යයන්ටත් එම තරගය නායකත්වය පිළිබඳ පුහුණුවක් වගේම පරීක්ෂණයක් බව කිව යුතුයි.

ඔබ තරගයකට සූදානම් වන්නේ කෙසේද? ඔබේ පුහුණුකරු සමඟ කටයුතු කරන්නේ කෙසේද? තරගය ජයග්‍රහණය කිරීමට උත්සාහ කරන්නේ කෙසේද? ඒ වගේම පරාජය වළක්වා ගන්නේ කෙසේද යන කරුණු පිළිබඳ තමයි ඔබ අවධානය යොමු කළ යුතු වන්නේ.

සැබැවින්ම රාජකීය- ශාන්ත තෝමස් ක්‍රිකට් තරගයේ ඊයේ දිනය තීරණාත්මකයි. ශාන්ත තෝමස් සාමාජිකයන් අධ්‍යනය කළ යුතුයි ඇයි ඔවුන් පරාජය වුණේ සහ රාජකීය විද්‍යාලය ජයග්‍රහණය කළේ කොහොමද කියන කාරණය. ඒ වගේම ඔබේ උපාය මාර්ගයන්හි දුර්වලතා මොනවද? ලබන වසරේ ඩී. එස් සේනානායක ශූරතාව ඔබ ජයග්‍රහණය කරන්නේ කෙසේද? එය තමයි නායකත්වයේ පරීක්ෂණය.

ඒවගේම රාජකීය විද්‍යාලය පැත්තෙන් , විශේෂයෙන් එහි නායකයා තවත් පරීක්ෂණයකට මුහුණ දෙනවා. ඒ තමයි තරග ගණනාවක් පරාජයට පත් වූ පසුබිමක පරාජය නොවී සිටින්නේ කෙසේද යන්නත්, දෙවනුව ජයග්‍රහණය කරන්නේ කෙසේද යන්නත් සම්බන්ධවයි. එහිදී ඔහු පරාජය නොවී සිටීමටත් ජයග්‍රහණය කරා යාමටත් තීරණය කර තිබෙනවා. ඇත්තෙන්ම එය හොඳ නායකත්වයක්. ඔහුට මගේ ප්‍රශංසාව හිමි වෙනවා. රාජකීය විද්‍යාලය සියලු තරග පරාජය වෙමින් තිබෙන අවස්ථාවක අවසානයේදී ජයග්‍රහණය ලබාගෙන තිබෙනවා.

දැන් මගේ උත්සාහය වන්නේත් රාජකීය විද්‍යාලයේ ක්‍රිකට් කණ්ඩායමේ නායකයා කළ දේ සිදු කිරීමටයි. මම මේ රට බාර ගත්තේ පසුගිය ජුලි මාසයේදී. ඔබ දන්නා පරිදි ඒ අවස්ථාව වන විට ඉන්ධන, පොහොර, ආහාර ආදී හැමදේකම හිඟයක් පැවතුණා. අපට මුදල් තිබුණේ නෑ. අපට ඒ සදහා ගෙවීම් කිරීම දුෂ්කර කර්තව්‍යක් වුණා. එය හරියට බොහෝ තරග පරාජය වූ රාජකීය කණ්ඩායම වගේ. බොහෝ දෙනා සිතුවේ අපට එයින් ගොඩ ඒමට නොහැකි වේවි කියලයි.

පසුගිය මාස 7ක පමණ කාලයක සිට මේ දක්වා එම තත්ත්වය ස්ථාවර කිරීමට මගේ කණ්ඩායමට හැකි වුණා . දැන් ඉන්ධන, විදුලිය, පොහොර තිබෙනවා. අප්‍රේල් මාසය වන විට අවශ්‍ය ප්‍රමාණයට සහල් ලැබෙනවා. මේ තත්ත්වය යටතේ අප තව දුරටත් බංකොලොත් රාජ්‍යයක් නෙවෙයි.
නමුත් රට නැවත ගොඩගත හැක්කේ ණය සහනය සමඟයි. එය ඉදිරි දින කිහිපය තුළ සිදු වනු ඇතැයි මම විශ්වාස කරනවා. රාජකීය විද්‍යාල කණ්ඩායමේ නායකයා වගේ මටත් සිදු වී තිබෙනවා රටේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කරන්නේ කෙසේද කියන කාරණය වෙනුවෙන් කටයුතු කරන්න. අප මේ මොහොත වන විට කරමින් සිටින්නේ කුමක්ද කියනවා නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩලය අපට ලබා දෙන්නේ හුස්ම ගැනීමට ඉඩකඩක් පමණයි.

 අප තව දුරටත් බංකොලොත් රාජ්‍යයක් නොවන බව ඔවුන් පවසාවි. එවිට අපට ණය ප්‍රතිව්‍යුහගතකරණය කළ හැකියි. මේ වසරේ අපට ගෙවීමට ඇති සියලු මුදල් නැවත ගෙවීම සඳහා වසර දහයක් ලබා දෙනු ඇති කියා මම බලාපොරොත්තු වෙනවා.

මේ අතර අපේ විදේශ විනිමය ආදායම අපේ සියලු අවශ්‍යතා සඳහා ප්‍රමාණවත් නොවන බැවින් අපට අලුත් ණය ලබා ගැනීමට සිදු වෙනවා. විදේශයන්ගෙන් අපට මිලදී ගැනීමට ඇති අවශ්‍යතා සඳහා යන වියදමට වඩා අපේ අපනයන ආදායම අඩුයි. මෙය දිගු කාලීනව පැවති තත්ත්වයක්.

ඒ සමඟ අප රුපියල ස්ථාවර කරන්නේ කෙසේද? යන්නත් සලකා බැලිය යුතුයි. ඩොලරයට සාපේක්ෂව මේ වන විට රුපියලේ අගය තුන්සිය දක්වා ඉහළ ගොස් තිබෙනවා. අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ මෙම ගිවිසුම ඇතිකරගත් පසු රුපියල පහළ යනු ඇත.එහෙත් එය රුපියල් 200ට හෝ 185ට පහත වැටෙන්නේ නැත.එය ක්‍රමානුකූලව සිදුවිය යුතුයි.

අපට ස්ථාවරත්වයට පත් වීම සඳහා වසර 04ක කාල පරිච්ඡේදයක් තිබෙනවා. අයවැය හිඟයක් ඇති නොවන බවට හා 2026 වන විට අයවැය අතිරික්තයක් ඇති කරන බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබා දුන් ඉලක්ක සමඟ අප එකඟ වුණා. එවිට අප ලබා ගත් මුදල් නැවත ගෙවිය හැකියි.

දැන් එය එතරම් හොඳ තත්ත්වයක් නොවේ, නමුත් ආර්ථිකය ස්ථාවර කර ගත් පසු, ණය ප්‍රතිව්‍යුහගත කළ හැකි වූ පසු, අපේ සියලු ණය ගෙවා සෑම වසරකම අතිරික්තයක් රට තුළ ඇති තත්ත්වයට පැමිණීමට ක්‍රමවේද සොයා ගත යුතුයි. ජපානය, සිංගප්පූරුව ජර්මනිය හෝ කොරියාව වැනි රටවල වගේ , වසර අවසානයේදී අපට අතිරික්තයක් ලැබෙනු ඇතියි. එවිට විදේශ විනිමය ආදායම අපගේ අවශ්‍යතා සඳහා යන වියදම අභිබවා යනවා. මෙය තමයි ඊළග ඉලක්කය.

මෙම අවස්ථාව ජයග්‍රහණය කිරීමට ආර්ථිකය ස්ථාවර කිරීම පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ. ඒ සඳහා රටේ ආර්ථිකය වර්ධනයත් ඇති කළ යුතුයි. එසේ ආර්ථිකය වර්ධනය නොකළහොත් අප නැවත පහළට යනවා.

මම රාජකීය විද්‍යාලයේ ප්‍රාථමිකයට යන කාලයේ ආසියාවේ දෙවෙනියට සමෘද්ධිමත් ජාතිය වූයේ අපියි. පළමුව ජපානය, ඉන් පසුව ශ්‍රී ලංකාව. අද අනෙක් සෑම රටක්ම අපිව අභිබවා ගොස් තිබෙනවා. දැන් මගේ අරමුණ වන්නේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම, වසර දහයකින් අපගේ ණය ආපසු ගෙවීමට හැකි වන පරිදි ආර්ථිකය ස්ථාවර කිරීමට අඩිතාලම දැමීම පමණක් නොවෙයි

ඉදිරි වසර 40 - 50 තුළ ජීවත් වන අයට යහපත් අනාගතයක් ලබා දෙන සමෘද්ධිමත් නව ආර්ථිකයක් ගොඩනැගීම තමයි මගේ අවශ්‍යතාවය.
මට එම මහා තරගය සඳහා කණ්ඩායමක් අවශ්‍යයි. අප එය සිදු කරනවාද? අප රට දියුණු කරනවාද? එසේ නැත්නම් රට කඩා වැටීමට ඉඩ දෙනවාද? මේ ක්‍රීඩා‍ව සඳහා මගේ කණ්ඩායම කවුද?

මගේ කණ්ඩායම අන් කිසිවෙක් නෙවෙයි. ඒ ඔබ සියලු දෙනායි. ඒ සඳහා අප සිටින්නේ වසර 25ක සැලැස්මකයි. වසර 2048 දී මේ රට සමෘද්ධිමත් රටක් වනු ඇතියි. මැලේසියාව, සමහර යුරෝපා රටවල ජනතාව වගේ අපට ණය ගෙවීමට නැති වනු ඇතියි. ඊටත් වඩා අවම වශයෙන් ඔබ මාසකයට ඩොලර් දහස් ගණනක් හෝ ඊටත් වැඩිය උපයාවි.

මෙතන සිටින ඔබ අතරින් වැඩිමහල්ම කෙනාට තවත් වසර 25කින් වයස අවුරුදු 45ක් වේවි.. සමහර අයට ඊටත් අඩු වෙයි. අප කතා කළ යුත්තේ ඔබේ අනාගතය පිළිබඳවයි. ආර්ථිකය ස්ථාවර කිරීම තුළින් රටක් වශයෙන් අපට දියුණු විය නොහැකියි. සමෘද්ධිමත් සමාජයක් විය නොහැකියි. අප ආර්ථිකය ස්ථාවර කළ විට සමෘද්ධිමත් රටක් කරා ගමන් කළ හැකියි.

දැන් සමහරු හිතාගෙන ඉන්නේ අධ්‍යාපන කටයුතු සඳහා විදේශගත වීමටයි. මෙරට විශ්වවිද්‍යාලවලට ඇතුල්වීමේ දුෂ්කරතා හෝ විශ්වවිද්‍යාල තුළ ඔබ මුහුණ දෙන ගැටලු පිලිබඳ මට වැටහීමක් තිබෙනවා.ඒ වගේම ඇතැමුන් හිතාගෙන ඉන්නේ ලංකාවේ නොසිට විදේශගත වීමටයි. තවත් සමහර අය විදෙස් රැකියා සඳහා ගොස් නැවත පැමිණීමට බලාපොරොත්තු වෙනවා.

විදෙස්ගත වීමට අපේක්ෂාවෙන් සිටින සියලුදෙනාටම මට කියන්න තියෙන්නේ මේ රට අතාරින්න එපා කියන එක විතරයි. ඉදිරි වසර දෙක තුළ රට සංවර්ධනය වන ආකාරය ඔබට දකින්නට ලැබේවි. එවිට ඔබට අනාගතයක් ඇති බව ඔබට පෙනේවි. එබැවින් පිටරට යන්න, ඉගෙන ගන්න, නමුත් ආපසු පැමිණීමට මතක තියාගන්න. මොකද අපිට වසර 25 ක මහා තරගයක් තිබෙනවා ජයග්‍රහණය කිරීමට.

රාජකීය - ශාන්ත තෝමස් වගේ දින තුනකින් ක්‍රීඩා කරන තරග හෝ නැත්නම් වෙනත් පාසල් තරග මෙන් දින දෙකෙන් ක්‍රීඩා කරන තරග වගේ නොවේ, අපට තිබෙන්නේ අවුරුදු 25 තරගයක්. දෙවැනි ඉණිම පළමු ඉණිමට වැඩිය තරමක් දිගු එකක් . පළමු ඉණිම වසර හතරක් පමණයි. ඉන්පසුව දෙවැනි ඉණිම වසර 21ක් පමණ වේවි. මේ තමයි අපට ක්‍රීඩා කරන්න තිබෙන තරගය. මෙතැන සිටින ඔබ සියලු දෙනා එම තරගය ක්‍රීඩා කළ යුතුයි. මේ රටේ සිටින මේ වයසේ සියලු දෙනා ක්‍රීඩා කළ යුතුයි. මේ තරගය අප ක්‍රීඩා කරන්නේ ජයග්‍රහණය කිරීමටයි.
කලාපයේ වඩාත්ම සමෘද්ධිමත් රට බවට අප පත්විය යුතුයි. දුප්පත්කම නොතිබිය යුතුයි. අපට රැකියාවක් තිබිය යුතුයි. අපට හරිත ආර්ථිකයක් තිබිය යුතුයි. අපට ඩිජිටල් ආර්ථිකයක් තිබිය යුතුයි. අපේ තාක්ෂණයේ නවීන විය යුතුයි: අපේ චින්තනය ද නවීන විය යුතුයි. ඒ වගේම පාලන ක්‍රමයේ ඉතා කැපී පෙනෙන වෙනසක් සිදු විය යුතුයි. මේවාට තමයි සිස්ටම් චේන්ජ් කියන්නේ.

මෙතන සිටින සාමාජිකයින් ගැන හිතල ඒ සිස්ටම් චේන්ජ් වෙන්න ඕන. ඔබට අවශ්‍ය රට කුමක්ද? ඔබට අවශ්‍ය සමාජය කුමක්ද? ඔබට අවශ්‍ය වෙනස්කම් මොනවාද? එහෙම නම් ඒ රට ගොඩනැගීමට හවුල් විය යුතුයි.
මොකද අවසානයේ නායකත්වය ගන්නේ ඔබයි. ඔබ සෑම කෙනෙක්ම රට ගොඩනැගීමට සහ රට ඉදිරියට ගෙන යාමට විවිධ ආකාරයෙන් උපකාර කරනු ඇති. අනාගතයේදී ඔබගෙන් සමහරෙකුට ඉදිරියට පැමිණ අද මම කරන කතාව කිරීමට හැකි වනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා.

ජාත්‍යන්තර රොටරි සමාජයේ දිස්ත්‍රික් අධිපතිනි (ශ්‍රී ලංකාව සහ මාලදිවයින) පුබුදු ද සොයිසා , දිස්ත්‍රික් ඉන්ටරැක්ට් කමිටුවේ සභාපති ෂානාස් ෂහාබ්දීන් , තරුණ කමිටුවේ සභාපති ජී. එස් සිල්වෙස්ටර්, ක්‍රිෂාන්ත ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන් ඇතුලු රොටරි සාමාජිකයන් ද මේ අවස්ථාවට සහභාගි විය.

View the embedded image gallery online at:
http://newstube.lk/news?start=2430#sigProId26546d1de1

ඉදිරියේදී සන්ධාන භාෂාවක් වශයෙන් ඉංග්‍රීසී භාෂාව පළමු ශ්‍රේණියේ සිට

සන්ධාන භාෂාවක් වශයෙන් ඉංග්‍රීසී භාෂාවට හිමි වන සුවිශේෂ වැදගත්කම සලකා මාර්තු 30වැනිදා සිට එක ශ්‍රේණියේ සෑම පන්තියක ම ඉංග්‍රීසි භාෂාව කථනයෙන් භාවිත කිරීම දීපව්‍යප්ත මට්ටමින් ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත  පවසයි.

ඉදිරියේ දී 6-9 හා 10-13 දක්වා පාසල් විෂය නිර්දේශ සියල්ල ජාත්‍යන්තර මට්ටමට ගෙන ඒමට අවශ්‍ය යාවත්කලීන කිරීම් සිදු කරන බවත් ලබන මාසයේ දී එහි නියමු ව්‍යාපෘතියක් ආරම්භ කරන බවත් අමාත්‍යවරයා මෙහි දී පැවසී ය.

එමෙන් ම තොරතුරු තාක්ෂණය සමග විෂයානුබද්ධ ව කෘත්‍රීම බුද්ධි විෂය ඉගැන්වීමට ද සැලසුම් කර ඇති අතර ඊට අවශ්‍ය පාඨමාලා සංවර්ධනය හා සම්පත් ලබා ගැනීම මේ වන විට සිදු කෙරෙමින් පවතින බව ද අමාත්‍යවරයා පැවසී ය.

මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ 2030 වන විට අධ්‍යාපන ක්ෂේත්‍රයට අදාළ ගෝලීය තිරසර සංවර්ධන ඉලක්ක සපුරාගැනීමේ අභියෝගය ජයගැනීම සඳහා ක්‍රියා කරමින් සිටින බවයි. විද්‍යාපීඨ ගුරුවරුන් 8,000ක් සහ උපාධිධාරී ගුරුවරුන් 26,000ක් ලබන මාසයේ සිට අධ්‍යාපන පද්ධතියට එක් කරමින් පාසල්වල මානව සම්පත දියුණු කිරීමට පියවර ගන්නා බව ද පැවසූ ඒ මහතා කෙටිකලක් තුළ සිදු කෙරෙන මේ කටයුතු අතරතුර නිසි පරිදි ඉගෙනීමේ කටයුතු කරගෙන යාම සඳහා දරුවන් උනන්දු කරවීම දෙමාපිය යුතුකම බව ද පැවසී ය.

අමාත්‍යවරයා මේ තොරතුරු සඳහන් කළේ අධ්‍යාපන අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා භෞතික විද්‍යා ආයතනය එක් ව වාර්ෂික ව සංවිධානය කරනු ලබන ජාතික මට්ටමේ ඔලිම්පියාඩ් තරගාවලියේ ජයග්‍රාහකයන් සඳහා පදක්කම් සහ සහතික පත්‍ර පදානය කිරීම වෙනුවෙන් කොළඹ විශ්වවිද්‍යාලයීය නව කලාගාරයේ දී පැවති වැඩසටහනකට එක් වෙමිනි.

මෙහි දී සෞඛ්‍ය ක්ෂේත්‍රයේ රෝග නිර්ණයට, විශ්ලේෂණයට හා ප්‍රතිකාර දීමට මෙන් ම ආර්ථික වර්ධනයට ද භෞතික විද්‍යා විෂය දක්වන දායකත්වය ඉස්මතු කර දැක්වූ අමාත්‍යවරයා පාසල් මට්ටමින් පවත්වන ඔලිම්පියාඩ් ජාතික වැඩසටහන භෞතික විද්‍යා විෂය ප්‍රවර්ධනය කිරීමට මනා පිටුබලයක් වන බව ද පැවසී ය.

එමෙන් ම ජාත්‍යන්තර තලයේ ස්ටීම් අධ්‍යාපන ක්‍රමවේදය තුළ විද්‍යා විෂය සංවර්ධනයට පමණක් නොව තාක්ෂණය, ඉංජිනේරු විද්‍යාව, කලාව, ගණිතය වැනි අනෙකුත් විෂය ප්‍රවර්ධනයට ද වැඩසටහන් ලබන 31 සිට ආරම්භ කරන බවත් එමගින් ස්ටීම් අධ්‍යාපන ක්‍රමවේදය දිවයිනේ ප්‍රචලිත කර එය ජාතික ආර්ථික වර්ධනය සඳහා මුසු කරන බවත් ඔහු වැඩිදුරටත් පැවසී ය.

තැබෑරුම් හිමි මාලිමා අපේක්ෂකට විරෝධයක් !

මෙවර පලාත් පාලන මැතිවරණයේ ජාතික ජන බලවේග අපේක්‍ෂකයෙකු විසින් පොලොන්නරු දිඹුලාගලල සිිරිපුර ප්‍රදේශයේ පවත්වාගෙන යන මත්පැන්හලක් වටලා ප‍්‍රදේශවාසීන් විරෝධය දක්වා ඇත.

ඔවුන් පවසන්නේ මෙම මත්පැන්හල හේතුවෙන් ප‍්‍රදේශයේ ජන ජීවිතය මෙන්ම ළමුන්ගේ අධ්‍යාපනය ද දැඩි තර්ජනයට ලක්ව ඇති බවයි.

මෙම අපේක්ෂකයා හේතුවෙන් ඡන්දය වර්ජනය කරන බවත් විරෝධතාකරුවන් සඳහන් කර ඇත.

එසේම මෙවැනි පුද්ගලයන් හේතුවෙන් ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරීන් ලෙස මෙතෙක් සිදුකළ සේවය අපකීර්තියට පත්ව ඇති බවත් ඔවුන් සඳහන් කරයි.

කල් ඉකුත්වූ කඳුළු ගෑස් භාවිත කතාව බොරුවක් !

විරෝධතා හා විසුරුවා හැරීමට පොලීසිය කල් ඉකුත් වූ කඳුළු ගෑස් භාවිතා කරන බවට එල්ල කරන චෝදනා අසත්‍ය බව පොලිස් ආරංචිමාර්ග පවසයි.

මේ අතර නියෝජ්‍ය පොලිස්පති ජගත් කුමාරසිරි උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා කර ඇත්තේ කඳුළුගෑස් උණ්ඩ 15,000 ක පමණ ප්‍රමාණයක් කල් ඉකුත් වීම මත ඉකුත් 2022 වසරේදී නිෂ්ක්‍රීය කරන ලද බවය.

එසේම තවත් කල් ඉකුත් කදුළු ගෑස් උණ්ඩ තොගයක් විනාශ කිරීම වෙන් කර ඇති බවද ඔහු පවසා ඇත.

කල් ඉකුත් වූ කදුළු ගෑස් ජන ශුන්‍ය ප්‍රදේශ වලට ගෙනගොස් ආරක්ෂිත ක්‍රමවේද වලට විනාශ කර දමන බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා පවසා ඇත.

පළාත් පාලන ආයතන වල නිල කාලය අවසන් : ඊට පස්සේ මොකද වෙන්නේ ?

පළාත් පාලන ආයතන 340 ක නිල කාලය අද (19) මධ්‍යම රාත්‍රියේ සිට අවසන් වුවත් හෙට (20) දින සිටද එම ආයතනවලින් මහජනතාවට අවශ්‍ය සේවය ඒ ආකාරයෙන්ම ලබාදීමට කටයුතු කරන බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර පවසයි.

ඔහු පෙන්වාදෙන්නේ ඒ සඳහා අවශ්‍ය සියලු පියවරයන් මේ වන විටත් ආණ්ඩුව ගෙන ඇති බවය.

ඒ අනුව එම ආයතනවල සියලු පරිපාලන කටයුතු හෙට (20) සිට කොමසාරිස්වරුන් හා ලේකම්වරුන් යටතට පත් කෙරෙනු ඇත.

2018 වසරේ පෙබරවාරි 10 වනදා පැවති පළාත් පාලන ආයතන ඡන්ද විමසීමෙන් අනතුරුව සභිකයින් තෝරාගැනීමෙන් පසු එම වසරේ මාර්තු 20 වනදා සිට පළාත් පාලන ආයතන 340ක සභිකයින්ගේ නිල කාලය ආරම්භ විය.

භූ කම්පන ගැන ජනතාවට දැනුම්දීමක් !

මේ වනවිට සිදුව ඇති භූකම්පන පිළිබඳව ජනතාව අනිසි බියක් ඇති කරගත යුතු නැති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පවසයි.

එහි ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ධනුෂ්ක හෙට්ටිආරච්චි සඳහන් කරන්නේ ඊයේ (18) දවස පුරා ශ්‍රී ලංකාව පිහිටි ඉන්දු - ඔස්ට්‍රේලියානු තැටිය සහ ඊට ඉහළින් පිහිටි ආසියානු තැටිය අතර භූකම්පන රැසක් සිදුව ඇති බවය.

එහිදී ඔහු මෙසේ පවසයි.

"ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන භූකම්පන මාන 4ම මේ භූකම්පනය වාර්තා වුණත් අප වෙත කිසිදු ආකාරයක පැමිණිල්ලක් මහජනතාව විසින් කළේ නෑ. මේ භූකම්පන අධ්‍යනය කිරීමේ දී අපට සඳහන් කරන්න පුළුවන් කාරය තමයි ඊයේ දවස පුරා ශ්‍රී ලංකාව පිහිටි ඉන්දු - ඔස්ට්‍රේලියානු තැටිය සහ ඊට ඉහළින් පිහිටි ආසියානු තැටිය අතර මායිම ඔස්සේ රික්ටර් මාපංක 4 - 5 භූකම්පන රැසක් සිදුවුණා. ඒ භූකම්පනවලදී නිකුත් වු ශක්තියෙහි යම් නිදහස් වීමක් ලංකාව හරහා සිදුවුවා ද කියන කාරණය සම්බන්ධයෙන් අපි අවදානය යොමුකරලා තියෙනවා. යම් හානියක් සිදුවෙයි කියලා අනියත බියක් ඇති කරගත යුතු නෑ."

ත්‍රිකුණාමලය, ගෝමරන්කඩවල ප්‍රදේශයෙන් සහ කිරින්ද, පලටුපාන වෙරළ තීරයෙන් ද සුළු භූචලන දෙකක් වාර්තා වී ඇති අතර ත්‍රිකුණාමලය,තිඹිරිවැව, ගෝමරන්කඩවල ප්‍රදේශයේ අද (19) අලුයම 3.30ට පමණ භූචලනයක් සිදුව ඇත. රික්ටර් මාපකයේ 3ක අගය ගත් එය සුළු භූචලනක් බව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය සඳහන් කරයි. නමුත් ගෝමරන්කඩවල ප්‍රදේශවාසීන්ට එම භූචනය දැනී ඇති බවත් වාර්තා වෙයි.

මේ අතර ඊයේ පස්වරු 06.46 ට තවත් භූ චලනයක් සිදුව තිබුණේ කිරින්ද - පලටුපාන වෙරළ තීරය ආශ්‍රිත ප්‍රදේශයෙනි. එය දැක්වුණේ රික්ටර් මාපාංක 2.6 ක් ලෙසින්ය.

එම භූචලන ද්විත්වයම පොළොව මතු පිට සිට කිලෝමීටර් 10ක් ගැඹුරින් සිදු වී ඇති අතර එය මෙරට භූ කම්පන මධ්‍යස්ථානවල සටහන්ව තිබුණි.

ඉන්ධන අලෙවියේ අඩුවක් : බෙදුම්කරුවන් මැසිවිලි නගයි !

ඉන්ධන අලෙවිය දිගින් දිගටම අඩුවීම නිසා ඉන්ධන පිරවුම්හල්වල මාසික පිරිවැටුම 30%ත් 40%ත් අතර ගණනකින් පහළ වැටී ඇතැයි තෙල් බෙදුම්කරුවන් පවසයි.

වෙනදා ඉන්ධන පිරවුම්හල්වලට ගෙනෙන තෙල් තොගය දිනක් හෝ දෙකක් තුළ අවසන් වුවත් දැන් ඊට දින තුන හතරක කාලයක් ගන්නා බවද ඔවුන් සඳහන් කරයි.

මේ නිසා ඉන්ධන හල් හිමියන්ට අධික බැංකු පොලියක් ගෙවීමටද සිදුවී ඇති බවත් ඒ හේතුවෙන් අනාගතයේදී ඉන්ධන පිරවුම්හල්වල සේවකයන් කොටසක් ඉවත් කිරීමට පවා සිදුවිය හැකි බවද ඔවුන් පෙන්වා දෙයි.

ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ රජය හඳුන්වා දුන් QR කේතය නිසා තෙල් අලෙවිය අඩුවිය. දැනට මාසිකව මෝටර් රථයකට හිමිවන පෙට්‍රල් ලීටර් 80 ලබාගැනීම සඳහා රුපියල් 32,000ක් පමණ වැය කළ යුතුය. තෙල් අලෙවිය අඩුවීමට එම තත්ත්වය ද බලපා ඇත. එනිසා ඉදිරියට QR කේතය අවශ්‍ය නොවනු ඇතැයිද ඔවුන්ගේ අදහස වී තිබේ.

ජන්දයට සල්ලි හොයන්න කොමිසම අලුත් වැඩක !

මැතිවරණ කොමිසම විසින් මාර්තු මස 23දා කැඳවා ඇති විශේෂ පක්ෂ ලේකම්වරුන්ගේ සමුළුවට මැතිවරණයට තරග කරන දේශපාලන පක්ෂ 58ක ලේකම්වරුන් කැඳවා තිබේ.

මෙම රුස්වීමේදී පළාත් පාලන මැතිවරණය නිසි ලෙස පැවැත්වීම සඳහා බලපා තිබෙන ගැටලු ගැන පක්ෂ ලේකම්වරුන් දැනුවත් කිරීමට අපේක්ෂා කරන බව මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා දේශය පුවත්පතට පවසා ඇත.

එසේම මැතිවරණය පැවැත්වීමට අදාළව පැන නැගී ඇති මුදල් හිඟය සම්බන්ධව සාකච්ඡා කර මැතිවරණ ක්‍රියාවලිය සක්‍රීය කිරීම සඳහා දේශපාලන පක්ෂ සමඟ සාමූහික ප්‍රයත්නයක් දැරීමට අපේක්ෂා කරන වගද සභාපතිවරයා සඳහන් කර ඇත.

නොරොච්චෝලේ බිඳවැටීමක්

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කළේ, ලබන අප්‍රේල් මාසයේදී 03වැනි ජනන යන්ත්‍රයේ නඩත්තුවක් කිරීමට සැලසුම් කර තිබූ බවයි.

විදුලිබල මණ්ඩලය සතු ඩීසල් ඇතුළු ඉන්ධන බලාගාර හරහා ජනතාවට අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදීමට කටයුතු කරන බව අමාත්‍යවරයා පැවසුවේ ය.

කෙසේවෙතත් ලංකා විදුලි බල මණ්ඩලයේ දැනට පවතින ඩීසල් සහ දැවිතෙල් භාවිතයෙන් විදුලිය උත්පාදනය කරන විදුලිබලාගාර හරහා අඛණ්ඩව විදුලිය සැපයීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා පවසයි.

Page 136 of 388