පුවත්

ඩලස්ට වගකීමක්....
ඉදිරි මැතිවරණවලට විපක්ෂයේ පොදු දේශපාලන සන්ධානයක් පිහිටුවා තරග කිරීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගය ඇතුළු පක්ෂ සමග සාකච්ඡා කිරීම ඩලස් අලහප්පෙරුම
මන්ත්‍රීවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුකිරීමට නිදහස ජනතා සභාව තීරණය කර ඇතැයි වාර්තා වේ.
නිදහස ජනතා සභාවේ මන්ත්‍රීවරුන් කිහිපදෙනකු දේශපාලන සන්ධානය සම්බන්ධයෙන් සමගි ජන බලවේගය සමග වෙන වෙනම සාකච්ඡා කිරීම කණ්ඩායමේ සමගියට බාධාවක් බැවින්, එම කටයුතු ඩලස් අලහප්පෙරුම ගේ ප්‍රධානත්වයෙන් සිදුකිරීමට තීරණය කර ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කරයි.
ඉදිරියේ දී පැවැත්වෙන ජනාධිපතිවරණයට හෝ මහ මැතිවරණයට විපක්ෂයේ පොදු සංධානයකින් තරග කිරීම කෙරෙහි එම කණ්ඩායමේ අවධානය යොමුවී ඇති අතර, ඒ සඳහා වන මූලික පියවරක් ලෙස මෙම සාකච්ඡා ආරම්භ කරනු ඇතැයි දැනගන්නට තිබේ.
ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා එම සාකච්ඡාවලට සම්බන්ධ වි එහි ප්‍රගතිය පිළිබඳව මන්ත්‍රී කණ්ඩායම දැනුවත් කරනු ඇතැයි එම කණ්ඩායමේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.
(lankadeepa.lk)

සටන් විරාම යෝජනාව සම්මතයි
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා මණ්ඩලයේ විශේෂ සැසියක් අතරතුරදී මැදපෙරදිග කලාපයට ඉක්මන් සහ තිරසාර මානූෂීය සටන් විරාමයක් ඉල්ලා කළ යෝජනාව සම්මත වී තිබේ.
සාමාජිකයින් 193 දෙනෙකුගෙන් යුත් මෙම සැසියේ දී යෝජනාව සඳහා පක්ෂව ඡන්ද 120ක් ලැබි ඇති අතර විපක්ෂව ඡන්ද 14ක් ලැබී ඇත.
ශ්‍රී ලංකාව මේ සඳහා පක්ෂව සහාය ලබා දී අති අතර රටවල් 45ක් ඡන්දය භාවිත කිරීමෙන් වැළකී සිට තිබේ.
ඊශ්‍රායලය සහ අමෙරිකා එක්සත් ජනපදය ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර ඇත.
මෙහිදී ඊශ්‍රායලයේ එක්සත් ජාතීන්ගේ තානාපති ගිලාඩ් එර්ඩන් ඔක්තෝබර් 07වැනිදා හැඳින්වූයේ “අපකීර්තියට පත්වන දිනයක්” යනුවෙනි. හමාස් විනාශ කිරීමට ඇති එකම මාර්ගය වන්නේ ඔවුන්ගේ උමං මාර්ගවලින් සහ භීෂණයේ භූගත නගරයෙන් ඔවුන් මුලිනුපුටා දැමීම බව ඔහු පැවසීය.
හමාස් ප්‍රහාරවලින් ඊශ්‍රායල ජාතිකයන් 1400ක් පමණ මිය ගොස් ඇති අතර ඊශ්‍රායලයේ ප්‍රතිප්‍රහාර ගුවන් ප්‍රහාරවලින් පලස්තීනුවන් 7000කට වැඩි පිරිසක් මිය ගොස් ඇතැයි ගාසා සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ගාසා තීරයේ තීව්‍ර වන මරණ සංඛ්‍යාව සහ විනාශය, ගාසා තීරයේ මිලියන 2.3 ක ජනතාවට අත්‍යවශ්‍ය ආහාර, ජලය, ඖෂධ සහ ඉන්ධන ලබා ගැනීම සඳහා “මානුෂීය සටන් විරාම” සඳහා ජාත්‍යන්තර සහයෝගය ඉහළ නංවා ඇත.

සනත් නිශාන්තට එරෙහි නඩුවෙන් විනිසුරු ඉවත් වෙලා !
රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ට එරෙහිව ගොනු කර ඇති පෙත්සම විභාගයකින් අභියාචනාධිකරණ විනිසුරු චමත් මොරායස් ඉවත් වී ඇති බව වාර්තා වෙයි .
ගාලු මුවදොර අරගලකරුවන්ට ඇප ලබා දීමේදී අධිකරණයේ විනිසුරුවන් කටයුතු කළ ආකාරය විවේචනය කිරීමෙන් සනත් නිශාන්ත මන්ත්‍රීවරයා අධිකරණයට අපහාස කර ඇති බවට චෝදනා කරමින් ඔහුට එරෙහිව මෙම පැමිණිල්ල ගොනු තිබේ.
මෙම පෙත්සම් විභාගය ලබන 31 වැනිදා නැවත කැඳවීමට දින නියම කර ඇති බවත් වාර්තා වෙයි .

නීති විද්‍යාල ප්‍රවේශ විභාගයේ කොපි කර මාට්ටු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී කවුද ?
නීති විද්‍යාල ප්‍රවේශ තරග විභාගයේදී පිළිතුරු සටහන් තොගයක් ළඟ තබාගෙන පිළිතුරු ලියූ බව පැවසෙන දකුණු පළාතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් පැවසේ.
නීති විද්‍යාල විද්‍යාල ප්‍රවේශ විභාගය විභාග දෙපාර්තමේන්තුව විසින් පවත්වනු ලබන්නේ දැඩි විභාග කොන්දේසි යටතේය.
මෙම මන්ත්‍රීවරයා සටහන් තොගයක් ළඟ තබාගෙන විභාගයට පිළිතුරු ලියා ඇති බවට තොරතුරු හෙළිවීමත් සමග මෙම පරීක්ෂණය ආරම්භ කර ඇත.
ඒ අනුව අදාල මන්ත්‍රීවරයා මෙම පරීක්ෂණය වළක්වා ගැනීම සඳහා දේශපාලඥයන් පසුපස යමින් දැඩි ප්‍රයත්නයක් දරමින් සිටින බව වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් අප අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ ගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ මේ පිළිබඳව තමාටත් යම් යම් ආරංචි ලැබෙමින් පවතින බවයි.
- Lankadeepa

නැගෙනහිර ඉඩම් බෙදීම ගැන ආණ්ඩුකාරවරයාගෙන් විශේෂ ප්‍රකාශයක් !
නැගෙනහිර පළාතේ ඉඩම් බෙදාදීමේ ක්‍රියාවලිය නීත්‍යානුකූලව මහවැලි අමාත්‍යාංශය මගින් සිදුකරන බවත්, එම කටයුතු කිසිවිටෙකත් වාර්ගික හා ආගමික පදනමින් සිදු නොකරන බවත් නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන් පැවසීය.
එසේම නැගෙනහිර පළාතේ ඉඩම් බෙදාදීමේ කටයුතු කඩාකප්පල් කිරීමට උත්සාහ දරන පාර්ශ්වවලට එරෙහිව පොලිසිය විසින් නීතිමය පියවර ගනු ඇති බවත් ආණ්ඩුකාරවරයා සඳහන් කළේය.
නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල්තොණ්ඩමන් මේ බව සඳහන් කළේ ඊයේ (27) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්තිල් තොණ්ඩමන් මෙසේද පැවසීය.
යුද්ධය අවසන් වී වසර කිහිපයකට පසුව නැගෙනහිර පළාතේ මයිලත්තමඩු - දිවුලපතාන ප්‍රදේශයේ ජීවත් වූ ජනතාව ක්‍රමක්‍රමයෙන් යළි එම ප්‍රදේශවල පදිංචි වීමට පටන් ගෙන තිබෙනවා. ඒ අනුව කෘෂිකාර්මික සහ කිරි ගොවීන් වෙනුවෙන් අදාළ ඉඩම් ලබාදීමට කටයුතු කළා.
මයිලත්තමඩු ප්‍රදේශයේ නැවත පදිංචි කිරීමේදී පොළොන්නරුව සහ අම්පාර ප්‍රදේශවලින් විශාල පිරිසක් ගෙන්වාගෙන තිබෙනවා. ඔවුන්ගේ කෘෂිකාර්මික කටයුතු ආරක්ෂා කර ගැනීම සඳහා පිට දිස්ත්‍රික්කවල සිට පැමිණි ගොවීන්ට තාවකාලිකව දිරි දීමනා මුදලක් ලබාදීමට ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ උපදෙස් දී තිබෙනවා.
අම්පාර සහ පොළොන්නරුව ප්‍රදේශවල ජනතාව ද මේ ප්‍රදේශවල ඉක්මනින් පදිංචි කිරීම පිළිබඳව ද සොයා බලමින්තිබෙනවා. එසේම යුද්ධයට පෙර මයිලත්තමඩු - දිවුලපතාන ප්‍රදේශයේ ජීවත් වූ ජනතාව ඔවුන්ගේ ඉඩම්වල නැවත පදිංචි කිරීමේ කටයුතු ජනාධිපතිතුමාගේ උපදෙස් මත මහවැලි අමාත්‍යාංශය මගින් නීත්‍යානුකූලව කරගෙන යනු ලබනවා.
මීට අමතරව රජයේ ඉඩම්වල අනවසරයෙන් පදිංචිව සිටින අයගේ ඉඩම් පවරා ගනිමින් ඔවුන් රජයේ ඉඩම්වල නීත්‍යානුකූලව පදිංචි කිරීමට ද මේ වන විට කටයුතු කරමින් සිටිනවා.
ඒ සමඟම මහවැලි ව්‍යාපාරය සඳහා නැඟෙනහිර කෝරළයිපත්තු ප්‍රදේශයෙන් දෙමළ ජනතාව ද, නාවලඩි ප්‍රදේශයෙන් මුස්ලිම් ජනතාව ද ඉවත් කිරීමේ කටයුතු සිදු කෙරෙන්නේ ජාති ආගම් මත පදනම්ව නොවන බවත් අවධාරණය කළ යුතුයි. එම කටයුතු මුළුමණින්ම සිදු කරන්නේ නීත්‍යානුකූල ආකාරයටයි. එමෙන්ම ඉඩම් බෙදාදීමේ කටයුතු සිදුකෙරෙන්නේ ද ග්‍රාම සේවක නිලධාරීන් ලබාදෙන දත්ත පදනම් කරගෙනයි.
එම සියලු කරුණු සැලකිල්ලට ගෙන සියලුම ජනවර්ග සඳහා ශ්‍රී ලාංකිකයෙකු ලෙස නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනවා. එම නිසා නැගෙනහිර පළාතේ ඉඩම් නිදහස් කිරීම සම්බන්ධව තෙවැනි පාර්ශ්වයන් අනවශ්‍ය ලෙස අදහස් ප්‍රකාශ කිරීමට උත්සාහ නොකරන ලෙස සියලුම දෙනාගෙන් ඉල්ලා සිටිනවා.

මෙරට මුළු බිම් ප්‍රමාණයෙන් 1%ක් කර්මාන්ත සඳහා වෙන් කිරීමේ සූදානමක් !
ශ්‍රී ලංකාවේ කර්මාන්ත සඳහා වෙන් කර ඇති ඉඩම් ප්‍රමාණය ඉතා සීමිත බැවින් රටේ මුළු භූමි ප්‍රමාණයෙන් 1%ක් කර්මාන්ත සඳහා වෙන් කිරීම රජයේ ඉලක්කය බව කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ පැවසීය.
ආනයන සීමා කිරීම් ක්‍රියාත්මක වූ වකවානුව තුළ ජාතික නිෂ්පාදනය ඉහළ නැංවීමට මෙන්ම අපනයනය ඉහළ නැංවීමට ද මෙරට ව්‍යවසායකයින් ඉහළ මට්ටමේ දායකත්වයක් ලබාදුන් බවත් ඒ අනුව 2022 වර්ෂය අවසන් වන විට මෙරට ඉතිහාසයේ වැඩිම අපනයන ආදායම ලෙස ඩොලර් බිලියන 13.1ක් උපයා ගැනීමට හැකි වූ බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ (27) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ ද පැවසීය.
පසුගිය කොවිඩ් සහ ආර්ථික අර්බුදකාරී තත්ත්වයන් තුළ කුඩා, මධ්‍යම හා මහා පරිමාණ ව්‍යවසායකයින් ඇතුළු සියලු දෙනාම අප රටේ නිෂ්පාදනය ඉහළ නැංවීමට කැපවීමෙන් කටයුතු කළා. ඒ පිළිබඳව අප ඔවුන්ට අපේ කෘතඥතාව පළ කළ යුතුයි.
විශේෂයෙන්ම අපේ රටේ ආනයන සීමා කිරීම් ක්‍රියාත්මක වූ වකවානුව තුළ ජාතික නිෂ්පාදනය ඉහළ නැංවීමට මෙන්ම අපනයනය ඉහළ නැංවීමට ද මෙරට ව්‍යවසායකයින් ඉහළ දායකත්වයක් ලබා දී තිබෙනවා. ඒ හේතුවෙන් 2022 වසර අවසාන වන විට ඉතිහාසයේ වැඩිම අපනයන ආදායම ලෙස ඩොලර් බිලියන 13.1ක් උපයා ගැනීමට හැකිවුණා.
ඒවගේම ශ්‍රී ලංකාවේ කර්මාන්ත සඳහා වෙන් කර ඇති ඉඩම් ප්‍රමාණය ඉතා සීමිතයි. මේ නිසා අපේ රටේ කර්මාන්ත ප්‍රමාණවත් ලෙස දියුණු වී නැහැ. ඒ නිසා මෙම ඉඩම් ප්‍රමාණය වැඩි කිරීමට අප මේ වනවිට පියවර ගනිමින් සිටිනවා. අපේ ඉලක්කය වී තිබෙන්නේ රටේ මුළු භූමි ප්‍රමාණයෙන් 1%ක් කර්මාන්ත සඳහා වෙන් කිරීමටයි.
මේ වන විටත් ශ්‍රී ලංකාවේ කර්මාන්ත සංවර්ධනය සඳහා වන ජාතික ප්‍රතිපත්තිය (NAPID) සකස් කර අමාත්‍ය මණ්ඩල සඳහා ඉදිරිපත් කර තිබෙනවා. එය ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රතිපත්ති රාමුවට (2023-2048) ඇතුලත් කිරීමට ආර්ථික ස්ථායීකරණය පුනර්ජීවන සහ වර්ධනය ඉහළ නැංවීම පිළිබඳ කමිටුව තීරණය කර තිබෙනවා.
කර්මාන්ත ප්‍රතිපත්තියට අදාළ පස් අවුරුදු උපාය මාර්ගික සැලැස්ම ද සකස් කර අවසන්. එය ක්‍රියාත්මක කිරීමේ කටයුතු අමාත්‍යාංශය විසින් දැනටමත් ආරම්භ කර තිබෙනවා.
1990 අංක 46 දරණ කර්මාන්ත ප්‍රවර්ධන පනත වත්මන් හා අනාගත අවශ්‍යතාවයන්ට ගැලපෙන අයුරින් සංශෝධනය කිරීමේ කටයුතු ද මේ වන විට අවසන් කර තිබෙනවා. එහි මුලික කෙටුම්පත සඳහා නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ නිර්දේශ ලබා දී තිබෙනවා.
මෝටර් රථ නිෂ්පාදනය - එකලස් කිරීම සහ මෝටර් රථ උපාංග නිෂ්පාදනයට අදාළ ජාතික ප්‍රතිපත්තිය සැකසීමට අදාළ 2 වන කෙටුම්පත ද මේ වන විට සකසා අවසන් කර තිබෙනවා. ඒ වගේම එම කෙටුම්පත අදාළ පාර්ශවකරුවන්ට ඉදිරිපත් කර ඔවුන් සමඟ ද සාකච්ඡා කර අවසන්. ඒ අනුව වාහන එකලස් කිරීමට අදාළ ජාතික ප්‍රතිපත්තිය කඩිනමින් අවසන් කිරීමට නියමිතයි.
විද්‍යුත් වාහන සඳහා මාර්ගෝපදේශ (E-Vehicle Guideline) පිළිබඳව පළමුවන කෙටුම්පතෙහි කරුණු පිළිබඳව අධ්‍යනය කිරීම සඳහා පත්කරන ලද කමිටුව මඟින් ඔවුන්ගේ යෝජනා ඇතුළත් වාර්තා ලබා දී තිබෙනවා. එම වාර්තා සැලකිල්ලට ගනිමින් සංශෝධිත මාර්ගෝපදේශ සැකසීම ආරම්භ කර ඇති අතර එය කඩිනමින් අවසන් කිරීමට අපේක්ෂා කරනවා. තවද මෝටර් රථ එකලස් කිරීම සහ මෝටර් රථ උපාංග නිෂ්පාදනයට අදාළ නව ආයතන 15ක් සඳහා 2023 වසරේදී අනුමැතිය ලබා දී තිබෙනවා.
ප්‍රාදේශීය හා දිස්ත්‍රික් මට්ටමින් කර්මාන්ත කලාප/කර්මාන්තපුර ස්ථාපනය කිරීමේ විශේෂ ජාතික වැඩසටහන යටතේ ප්‍රාදේශීය මට්ටමින් ඉඩම් හඳුනාගත්, කඩිනමින් නිම කළ හැකි කර්මාන්තපුරවල මූලික සංවර්ධන කටයුතු සිදු කරමින් පවතිනවා. මේ යටතේ දැනටමත් තිබෙන කර්මාන්තපුර 32 ක සහ නව කර්මාන්තපුර 6ක (අලුතපොල, දඹුල්ල, සඳමල්ගම, සූරියවැව, මහව සහ වැල්ලවාය) සංවර්ධන කටයුතු ක්‍රියාත්මකයි. විද්‍යුත් වාහන එකලස් කිරීම හා උපාංග නිෂ්පාදනයට අවශ්‍ය පහසුකම් සහිත කර්මාන්තපුරයක් කටුනායක කටාන ප්‍රදේශයේ අක්කර 100 ක භූමි ප්‍රමාණයක ස්ථාපිත කිරීමට ද කටයුතු ආරම්භ කර තිබෙනවා.
ඒ වගේම අප දැනටමත් නව කර්මාන්ත පුර 03 ක් ආරම්භ කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ කළුතර දිස්ත්‍රික්කයේ මිල්ලනිය, ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය, මහනුවර දිස්ත්‍රික්කයේ පොත්තපිටිය වශයෙන්.
ලංකා ඛණිජ වැලි සමාගමේ ඛණිජ වැලි විකිණීම සඳහා නව විකුණුම් ක්‍රමවේදයක් හඳුන්වා දීමත් සමඟ ලංසුකරුවන්ට මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ තම මිල ගණන් ඉදිරිපත් කිරීමට හැකියාව පවතිනවා. මිල ගණන් විවෘත කරන අවස්ථාවේදීම සුදුසුම ලංසුකරු පිළිබඳ තොරතුරු ප්‍රකාශයට පත් කිරීමට හැකියාව තිබෙනවා. එම ක්‍රමවේදය භාවිතා කර ප්‍රථම අලෙවිය සිදු කරන ලද අතර එමඟින් ඛනිජ වැලි මෙට්‍රික් ටොන් 62,150 ක් සඳහා ඇමරිකන් ඩොලර් මිලියන 20.33 ක් ලබා ගැනීමට හැකි වුණා.
දෙවන අලෙවිය මඟින් සර්කෝන් මෙට්‍රික් ටොන් 30,000 ක් වෙනුවෙන් ඇමරිකන් ඩොලර් මිලියන 14.1ක ආදායමක් ලබා ගැනීමට හැකිවුණා. එමඟින් ලැබූ ආදායමෙන් රුපියල් මිලියන 1726 ක මුදලක් ලාභාංශ ලෙස භාණ්ඩාගාරයට ලබා දීමට ද අප කටයුතු කලා.

සජබට එරෙහි හරීන්ගේ සහ මනූෂගේ පෙත්සම් විභාගය කල් යයි !
හරින් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාර යන අමාත්‍යවරුන් පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපීමේ තීරණය සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය හරහා නිසියාකාර ව අනුමත වී නොමැති බවත් එම පක්ෂයේ ව්‍යවස්ථාවට පටහැනි අයුරින් එම නෙරපීම සිදු කර තිබෙන බවත් ඔවුන් ගේ නීතිඥවරුන් අද (27) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ චෝදනා කර ඇත.
සිය පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට සමගි ජන බලවේගය ගත් තීරණය නීතියට පටහැනි යැයි තීන්දු කරන ලෙස ඉල්ලා හරීන් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාර යන අමාත්‍යවරු ඉදිරිපත් කර තිබෙන පෙත්සම් විභාගයට ගත් අවස්ථාවේ දී ඔවුන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා සහ ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා යන මහත්වරු එම කරුණු දක්වා තිබේ.
විජිත් මලල්ගොඩ, අචල වෙංගප්පුලි සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියේ පෙත්සම් විභාගය පැවැත්වී තිබේ.
මනූෂ නානායක්කාර අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් යම් සාමාජිකයෙකු ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීම, නෙරපීම සඳහා සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට බලය පැවරී තිබුණ ද ඒ සඳහා විධිමත් විනය ක්‍රියා පටිපාටියක් අනුගමනය කළ යුතු බව සඳහන් කර ඇත.
නමුත් සිය සේවාදායකයා ගේ පක්ෂ සාමාජිකත්වය නෙරපීමට, අදාළ ලිපියේ එවැනි විනය ක්‍රියා පටිපාටියක් අනුගමනය කර තිබෙන බවක් පෙනී නොයන බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කර තිබේ.
යම් සාමාජිකයෙකු ගෙන් නිදහසට කරුණු විමසීමේ බලය හා විනය පියවර ගැනීමේ බලය මුළුමනින්ම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය වෙත පැවරී තිබෙන බවත් පක්ෂ නායකත්වයට ඒ සම්බන්ධයෙන් බලයක් නොමැති බවත් ඔහු පෙන්වා දෙයි.
තම සේවාදායකයාට එරෙහි ව විනය පියවර ගැනීම සඳහා ජනාධිපති නීතිඥ නලින් දිසානායක මහතා ගේ ප්‍රධානත්වයෙන් යුත් විනය කමිටුවක් කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් පත් කළ බව සඳහන් කළ ද ඒ බව තහවුරු කෙරෙන කිසිදු සාක්ෂියක් වගඋත්තරකරුවන් විසින් අධිකරණයට ඉදිරිපත් කර නොමැති බවත් ජනාධිපති නීතිඥවරයා අවධාරණය කර ඇත.
සිය සේවාදායකයාට එරෙහි චෝදනා පත්‍රයට අත්සන් තැබීම විනය කමිටුවේ සභාපතිවරයා විසින් සිදු කර ඇති බවත් එය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවත් සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා, පෙත්සම්කරු පක්ෂයෙන් නෙරපීමට අදාළ තීන්දුව ගනු ලැබූ රැස්වීමට පක්ෂයේ මහලේකම්වරයා සහභාගි වී නොතිබු බවත් කියා සිටියේය.
එමෙන්ම නෙරපීමට අදාළ ලිපිය නිකුත් කර තිබෙන්නේ, පක්ෂයේ නියෝජ්‍ය මහලේකම්වරයා බවත් ඔහුට එවැනි ලිපියක් නිකුත් කිරීමට බලයක් නොමැති බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වා දී ඇත.
අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා කරුණු දක්වමින් සමගි ජන බලවේගයේ ව්‍යවස්ථාවට අනුව යම් සාමාජිකයෙකු පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපීමේ බලය පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට හිමි වී තිබෙන බව සඳහන් කළේය.
සිය සේවාදායකයා පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපීමේ දී සාක්ෂි වශයෙන් යොදාගෙන තිබෙන්නේ, පුවත්පත් වාර්තා සහ වීඩියෝ දර්ශන පමණක් යැයි සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා, ඔහුට සාධාරණ හා ස්වාධීන විනය පරීක්ෂණයක් නොලැබුණු බවත් අවධාරණය කර ඇර්ග.
තම සේවාදායකයා සමගි ජන බලවේගයේ ව්‍යවස්ථාව උල්ලංඝනය කළ බව සඳහන් කරමින් ඔහු නෙරපා හැරීමට කටයුතු කෙරුණ ද ඔහු විසින් උල්ලංඝනය කර තිබෙන්නේ, ව්‍යවස්ථාවේ කුමන ප්‍රතිපාදනය ද යන්න පැහැදිලි කිරීමට වගඋත්තරකරුවන් අපොහොසත් වී ඇති බවත් ඒ අනුව පෙත්සම්කරු ගේ පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපීමට වගඋත්තරකරුවන් ගත් තීරණය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවත් ඔහු සඳහන් කර සිටියේය.
ඉන් අනතුරු ව වැඩිදුර පෙත්සම් විභාගය නොවැම්බර් මස 14 වැනිදා දක්වා කල් තැබිණි.
- derana

කවුරු ප්‍රශ්නය ඇති කරත් වගකීම බාරගන්නවා - සුසිල්
කවුරුන් විසින් ප්‍රශ්නය ඇති කළත් වගකීම් භාරගත් අය වශයෙන් නිවැරදි විසඳුම් ලබාදීමට තමා කටයුතු කරන බවත්, අභියෝග රැසක් පැවති සමයක තමා අධ්‍යාපන විෂය භාර අමාත්‍යවරයා වශයෙන් පත් වූ අතර පියවරෙන් පියවර එම අභියෝගවලට විසඳුම් සපයමින් ඉදිරියට යාම තම අපේක්ෂාව බවත් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පැවසීය.
අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවති උත්සව අවස්ථාවකට එක්වෙමිනි.
පසුගියදා ඇති වූ ගුරු විදුහල්පතිවරුන්ගේ උද්ඝෝෂණය මර්දනය කිරීම සම්බන්ධව මෙහිදී මාධ්‍යවේදීන් විසින් කරන විමසීම් හමුවේ අදහස් දැක්වූ අමාත්‍යවරයා, ‘ගුරු සංගම් එක්ක මම දිගින් දිගටම සාකච්ඡා කරමින් මෙතෙක් කලක් ඇති වූ ඒ අයගේ ගැටළු විසඳාගනිමින් ආවා. අයවැය ලේඛනයකුත් ලංවෙන නිසා අපි යෝජනා කරල තියෙනවා, ගුරු විදුහල්පති පමණක් නෙවෙයි සෙසු සේවාවලත් ඇතිව තිබෙන වැටුප් විෂමතා සමනය කිරීමට අයවැයෙන් යම් ප්‍රතිපාදනයක් වෙන් කරල ඒ සම්බන්ධයෙන් පියවර ගන්නේ කොහොමද කියන කාරණය අපි පෙන්වා දීලා තියෙනවා. නමුත් රටේ තියෙන ආර්ථිකයත් එක්ක තමයි භාණ්ඩාගාරය ඒ සම්බන්ධව අවධානය යොමු කරන්නෙ. අපේ යුතුකම අපි ඉටු කරල තියෙනවා.. යැයි පැවසීය.
මෙහි දී විභාග ප්‍රශ්නපත්‍ර සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු විසින් කළ විමසීමකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා, විභාග දෙපාර්තමේන්තුව ප්‍රමිතියක් අනුව ප්‍රශ්න පත්‍ර සකස් කරන බවත්, ඒ ප්‍රමිතිය එදා සිට අද දක්වාම ආරක්ෂා කරගෙන සිටින බවත්, මෙවැනි විවේචන එල්ලවන්නේ ඒවා කර්මාන්තයක් කරගත් අය විසින් බවත් ඔවුන්ගේ ප්‍රතිචාරවලට කලබල වීම නිෂ්ඵල බවත් සඳහන් කළේ ය.
මාධ්‍ය ඒකකය

දේශපාලන වෙනස්කම් තියාගමු : රට ගොඩනගන්න එකතු වෙමු - ජනාධිපති රනිල්


නිවාස ව්‍යාපෘති 5 ක් ආධාර ලෙස චීනයෙන් : වැඩේ ගොඩ දැම්මේ ජනාධිපති !
සුළු හා මධ්‍යම පාන්තික ජනතාව වෙනුවෙන් කොළඹ නගරයේ නිවාස ව්‍යාපෘති පහක් ආරම්භ කරන බව නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු පැවසීය.
ඊට අදාළ එකඟතාව පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් චීන රජය වෙතින් ලබාගෙන ඇති බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
නිවාස සංවර්ධන අධිකාරිය විසින් ආරම්භ කර මේ වනවිට නවත්වා තිබෙන ව්‍යාපෘති 2024 වසර සඳහා වන නව අයවැය සමඟ යළි ඇරඹීමට පියවර ගන්නා බව ද ඔහු පැවසීය.
නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (26) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ ද පැවසීය.
අපේ රට සියලුම භූ විෂමතාවලින් සමන්විත, දේශගුණික කලාපවලින්, ස්වභාවික සම්පත්වලින් බහුල සුන්දර දිවයිනක්. වටිනා ඛනිජ සම්පත්, ලෝකයේ ස්වභාවික අනතුරු අවම යහපත් ගුණාංග රැසක් රට තුළ තිබෙනවා.
අපේ රටේ වටිනාම සම්පතක් ලෙස ඉඩම් හැදින්විය හැකියි. ජනගහනය වැඩි වන විට එම වටිනාකම දිනෙන් දින වැඩි වෙනවා. නගරාසන්න ප්‍රදේශ දෙස බැලීමේදීත් ඉඩම් වල වටිනාකම දිනෙන් දින වැඩි වෙනවා. ඒ වගේම නාගරික සංවර්ධන අධිකාරිය සතුව විශාල භූමි ප්‍රමාණයක් තිබෙනවා. ඇතැම් ඉඩම් සමබන්ධ තොරතුරු ප්‍රමාණවත් තරම් නැහැ. මේ නිසා එම තොරතුරු ලබා ගැනීමටත් අමාත්‍යංශය ලෙස කටයුතු කරමින් පවතිනවා.
නාගරික සංවර්ධන අධිකාරිය පවරා ගත් ඉඩම් ද තිබෙනවා. එහි ඇතැම් ව්‍යාපෘති රජය විසින් සිදුකර තිබෙනවා. නගර නිර්මාණ සැළසුම්කරණය සහ නගර පුළුල් කිරීම වැනි කටයුතු සිදු කර තිබෙනවා. ඒ වගේම දෙස් විදෙස් ආයෝජන සඳහා අවශ්‍ය ඉඩම් අප සතුව තිබෙනවා. ඕනෑම අයෙකුට රජය සතු ඉඩම් භාවිත කරමින් ආයෝජන අවස්ථා ලබාගත හැකියි. නාගරික සංවර්ධන අධිකාරිය ඩිජිටල්කරණය කිරීමෙන් පසු ඕනෑම අයෙකුට නාගරික සංවර්ධන අධිකාරිය හරහා එම ආයතනය සතු ඉඩම් මොනවාදැයි දැනගත හැකියි.
මෙහිදී අපි විශේෂ අවධානයක් යොමුකර තිබෙන්නේ අප සතු ඉඩම් මුදල් ඉපැයීම සඳහා යොදා ගැනීම සම්බන්ධවයි. උදාහරණයක් ලෙස මැකලම් පාරේ වටිනා ඉඩම පෙන්වා දෙන්න පුළුවන්.
තවද මහනුවර නගරය, බෝගම්බර සිරගෙදර, නුවරඑළිය ඇතුළු සෑම නගරවලම නාගරික සංවර්ධන අධිකාරිය සතු ඉඩම් තිබෙනවා. බෝගම්බර සිරගෙදර පිහිටි ඉඩම කේන්ද්‍ර කරගනිමින් නව ආයෝජන අවස්ථා විවෘත කිරීමට ද සැලසුමක් තිබෙනවා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිසි මූල්‍ය කළමනාකරණය නිසා නිවාස සංවර්ධන අධිකාරිය විසින් ආරම්භ කර මේ වනවිට නවත්වා තිබෙන ව්‍යාපෘති යළි ඇරඹීමට හැකි තත්ත්වයක් පෙන්නුම් කරනවා. එම කටයුතු 2024 වසර සඳහා වන නව අයවැය සමඟ ආරම්භ කිරීමට අප බලාපොරොත්තු වනවා. ඒ වගේම
ඇතැම් ව්‍යාපෘතිවල වංචා දූෂණ සිදුව තිබෙනවා. එම වැරදි නිවැරදි කිරීම සඳහා අමාත්‍යාංශය ලෙස අවශ්‍ය පියවර ගනිමින් තිබෙනවා.
ඒ වගේම සුළු හා මධ්‍ය ආදායම් ලබන ජනතාව වෙනුවෙන් කොළඹ නිවාස ව්‍යාපෘති පහක් ආරම්භ කිරීමට නියමිතයි. ඩොලර් මිලියන 350ක් වැය වන අතර එය ප්‍රධානයක් ලෙස ලබාදීමට චීන රජය විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එකඟතාව පළකර තිබෙනවා. එයින් ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක් මේ වන විට ලැබී තිබෙනවා. මෙය නිවාස 2500ක විශාල ව්‍යාපෘතියක් බව පැවසිය යුතුයි.
ඒ සමග කොළඹ ගංවතුර පාලනයට පහත් බිම් සංවර්ධන අධිකාරිය විශාල වැඩකොටසක් කරනවා. කඩොලාන, වගුරු බිම් ආරක්ෂා කිරීමටත් කටයුතු කරනවා.
ගංවතුර පාලනය වෙනුවෙන් ජනතාවගෙන් ලබාගත් ඇතැම් ඉඩම් විනාශ කර තිබෙනවා. ඇතැමුන්ට ඉඩම් පවරා ගැනීමේ දී ලබාදිය යුතු වන්දි පවා නිසි ලෙස ලබා දී නැහැ. අප එම තත්ත්වය වෙනස් කර කොළඹ නගරයේ ප්‍රධාන ඉඩම් ලබා ගන්නා විට විද්‍යාත්මක ක්‍රමයකට එම ඉඩම් අත්පත් කර ගැනීමට බලාපොරොත්තු වෙනවා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රට සංවර්ධනය කරා ගෙන යන ගමනේදී අමාත්‍යාංශයක් ලෙස ඒ වෙනුවෙන් උපරිම දායකත්වය ලබා දීමට අප සූදානම්.

ගෝඨා ගෙනඒමේ සහ ජවිපෙ බලය ඉල්ලීමේ වෙනසක් නෑ - ආශු
ජනතා විමුක්ති පෙරමුණ රටේ බලය ඉල්ලන්නේ අත්හදා බැලීම් කරන්න බවත් ඒ ආකාරයට අත්හදා බැලීම් කරන්නට ගෝඨාභය රාජපක්ෂ ගෙනවිත් හොඳ පාඩමක් ඉගෙනගත් ජනතාවට තවත් පාඩම් අවශ්‍ය නැති බවත් ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ උපදේශක ආශු මාරසිංහ පවසයි .
රටට දැන් පරිණත නොවන දේශපාලන නායකත්වයක් වැඩක් නැති බවත් පරිණත නැති දේශපාලකයන්ට වැඩ බැරි බව ලංකාවේ මෙන්ම ලෝකයේ ද ඔප්පු වී තිබෙන බවත් ඔහු සඳහන් කරයි.
ඔහු මේ බව සඳහන් කර සිටියේ එක්සත් ජාතික පක්ෂයේ සිරිකොත මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවක දී අදහස් දක්වමින් ය.
ජනතා විමුක්ති පෙරමුණ පාලන බලය ගෙන ඩොලර් ප්‍රශ්නයට විසඳුමක් දෙන්නේ කෙසේද යන්න පිළිබඳ කිසිම වැඩපිළිවෙළක් ඉදිරිපත් කරල නැති බවද ආශු මාරසිංහ එහිදී වැඩිදුරටත් සඳහන් කළේය .

මර්ජුවානා ජාවාරමකට සහය දුන්න රේගු පරීක්ෂකට වැඩ වරදියි !
මර්ජුවානා නැමැති මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 10 කට අධික ප්‍රමාණයක් මෙරටට ගෙන්වීම හේතුවෙන් අත්අඩංගුවට ගත් සැකකරුවකුට අදාළ ජාවාරම සඳහා ආධාර අනුබල ලබා දීම, සම්බන්ධයෙන් රේගු පරික්ෂකවරයකු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට සැකකාර රේගු පරික්ෂකවරයා එම ජාවාරම්කරු සමග දුරකතයෙන් සම්න්ධවෙමින් ඔහුට මේ සදහා ආධාර අනුබල ලබා දී ඇති අතර, අවස්ථා කිහිපයකදීම ඔහු ජාවාරම්කරුගේ නිවසට ගොස් ඇත.
මෙම රේගු පරික්ෂකවරයා ක්‍රියා කලාපය සම්බන්ධයෙන් රේගුවෙන් කළ පැමිණිල්ලකට අනුව දීර්ඝ විමර්ශන පවත්වා සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ .
අත්අඩංගුවට පත්වූ රෝගු පරික්ෂකවරයා රුක්මලේ ප්‍රදේශයේ පදිංචි (27) හැවිරිදි පුද්ගලයෙකි.
මොහු ජාවාරම්කරුවන් සමග සම්බන්ධ වෙමින් මර්ජුවානා මත්ද්‍රව්‍ය මෙරටට රැගෙන ඒමට හා ජාවාරම්කිරීමට ආධාර අනුබල ලබා දී ඇති බවට විමර්ශන වලදි හෙළි වී ඇති බවද පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.

මර්ජුවානා ජාවාරමකට සහය දුන්න රේගු පරීක්ෂකට වැඩ වරදියි !
මර්ජුවානා නැමැති මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 10 කට අධික ප්‍රමාණයක් මෙරටට ගෙන්වීම හේතුවෙන් අත්අඩංගුවට ගත් සැකකරුවකුට අදාළ ජාවාරම සඳහා ආධාර අනුබල ලබා දීම, සම්බන්ධයෙන් රේගු පරික්ෂකවරයකු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට සැකකාර රේගු පරික්ෂකවරයා එම ජාවාරම්කරු සමග දුරකතයෙන් සම්න්ධවෙමින් ඔහුට මේ සදහා ආධාර අනුබල ලබා දී ඇති අතර, අවස්ථා කිහිපයකදීම ඔහු ජාවාරම්කරුගේ නිවසට ගොස් ඇත.
මෙම රේගු පරික්ෂකවරයා ක්‍රියා කලාපය සම්බන්ධයෙන් රේගුවෙන් කළ පැමිණිල්ලකට අනුව දීර්ඝ විමර්ශන පවත්වා සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ .
අත්අඩංගුවට පත්වූ රෝගු පරික්ෂකවරයා රුක්මලේ ප්‍රදේශයේ පදිංචි (27) හැවිරිදි පුද්ගලයෙකි.
මොහු ජාවාරම්කරුවන් සමග සම්බන්ධ වෙමින් මර්ජුවානා මත්ද්‍රව්‍ය මෙරටට රැගෙන ඒමට හා ජාවාරම්කිරීමට ආධාර අනුබල ලබා දී ඇති බවට විමර්ශන වලදි හෙළි වී ඇති බවද පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.

ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ ගාස්තු සංශෝධනයක්
ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේදී අය කරනු ලබන ගාස්තු සංශෝධනය කරමින් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.
මහජන ආරක්ෂක අමාත්‍යංශය විසින් ඊට අදාළ ගැසට් පත්‍රය නිකුත් කරනු ලැබ ඇත.
එම ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ, ජාතික හැඳුනුම්පතක සහතික පිටපතක් සඳහා වන ගාස්තුව රුපියල් 1,000ක් ලෙස සංශෝධනය කෙරෙන බව ය.
එමෙන් ම, මීට පෙර රුපියල් 10,000ට පැවති ජාතික හැඳුනුම්පත් ඡායාරූප ශිල්පියෙකු වශයෙන් ලියාපදිංචි වීම සඳහා වන ගාස්තුව රුපියල් 15,000ක් විය යුතු බව ද එහි දැක්වේ.
එම ලියාපදිංචි සහතිකය නැවත අලුත්කිරීම සඳහා වාර්ෂික ගාස්තුව ලෙස පැවති රුපියල් 2,000ක මුදල රුපියල් 3,000ක් ලෙස ඉහළ දැමීමට ද පියවර ගෙන තිබේ.
තව ද ජාතික හැඳුනුම්පත් පිළිබඳ විස්තරවල සත්‍යතාව සහතික කිරීම සඳහා වන ගාස්තුව මාර්ගගත ක්‍රමවේදය හරහා ඉදිරිපත් කරනු ලබන අවස්ථාවක, රුපියල් 25ක් ලෙසත් භෞතික ලේඛන මගින් හෝ කොමසාරිස් ජනරාල්වරයා හට පිළිගත හැකි ඉලෙක්ට්‍රොනික ක්‍රමවේදයක් හරහා ඉදිරිපත් කරනු ලබන අවස්ථාවක රුපියල් 500ක් ලෙසත් අය කිරීමට අදාළ ගැසට් පත්‍රය මගින් නියම කර ඇත.

ලන්සා නාමල් හා සාගරගෙන් ගේම ඉල්ලයි : පුළුවන් නම් අයවැය පරද්දන්න කියයි
"කවුද අකමැති ජනතාවට සහන දෙන්න. අපි සියලු දෙනා කැමතියි. හැබැයි නාමල් රාජපක්ෂ කැබිනට් අමාත්‍යධූරයේ හිටපු ඒ ආණ්ඩුව රට බංකොලොත් කිරීම නිසා තමයි සහන දෙන්න බැරි. ඒක තේරෙන්නේ නැහැ නාමල් රාජපක්ෂට. රට සම්පුර්ණයෙන් ආර්ථික වශයෙන් බංකොලොත් කරලා, ජන ජීවිතය නැති කරලා අද නිකන් ඊයේ පෙරේදා ඉපදුන ළමයෙක් වගේ කතා කරන්නේ." යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා පවසයි .
ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග වැඩකිරීමට පොහොට්ටු පාර්ශවයට නොහැකිනම් ඉදිරි අයවැයේදී ආණ්ඩුව පරාජය කර මැතිවරණයකට යා හැකි බවත් ඔහු සඳහන් කරයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා මේ අදහස් දක්වා සිටියේ , මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේ ද පැවසීය .
"සෞඛ්‍ය අමාත්‍යධූරය වෙනස් කිරීම ජනාධිපතිතුමා හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ නායකයින් අතර සාකච්ජාවකින් පසුවයි සිදු වෙන්නේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්තුමාගේ ප්‍රධාන චෝදනාව සෞඛ්‍ය අමාත්‍යාංශය වෙනස් වුන එක නෙමේ. ප්‍රධාන චෝදනාව අමාත්‍යාංශවල වැඩි වගකීමක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කිරීමයි. වැවිලි කටයුතු අමාත්‍යාංශය, කෘෂිකර්මය අමාත්‍යාංශයට එකතු කිරීමෙන් ඉතාමත් සමීපව එම අමාත්‍යාංශ වලට වැඩ කරන්න පුලුවන්. ජනාධිපතිතුමා අරන් තියෙන තීන්දුව ඉතාමත් නිවැරදි තීන්දුවක්.
ඉදිරියේදී පෞද්ගලීකරණය කිරීමට නියමිත ආයතන මුදල් අමාත්‍යාංශයට පවරා ගැනීමත් සුදුසුම තීන්දුවක්. සාගර කාරියවසම් මහතා ප්‍රකාශ කරනවනම් අමාත්‍යධූර සංශෝධනය එහෙම නැතිනම් විෂයන් සංශෝධනය වැරිදි විදියට කරලා තියෙනවා කියලා එතුමට ඒ ගැන අවබෝධයක් නැහැ. කෘෂිකර්ම අමාත්‍යාංශය වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයට එකතු කිරීමත්, පෞද්ගලීකරණය කරන්න තියෙන ඇතැම් විෂයන් මුදල් අමාත්‍යාංශයට එකතු කිරීම නිවැරදි තීන්දුවක්.
ඒ අයට බලය තියෙනවනම් සාගර කාරියවසම් ඇතුළු පිරිසට ඒ දේ පෙන්නන්න පුලුවන්. එක එක ඒවා කිය කිය ඉන්නේ නැතිව දැඩි තීන්දුවක් ගන්න පුලුවන්. විපක්ෂයට ගිහින් ඉදගන්න පුලුවන්.
රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඕනේ නැතිනම්, එතුමා ජනාධිපතිධූරයේ වැඩ කරද්දි මෙතුමන්ලා එක්ක වැඩ කරන්නේ නැතිනම් සාගර කාරියවසම් මහතාට පුලුවන් මාධ්‍ය වල එක එක ඒවා කියන්නේ නැතිව ජනාධිපතිතුමා හමුවෙලා ජනාධිපතිතුමාගේ මුණට කියලා මේකෙන් අයින් වෙන්න. අපි තවදුරටත් සහයෝගය දෙන්නේ නැහැ කියලා කියන්න.
සාගර කාරියවසම් මහතාට අභියෝග කරනවා පුලුවන්නම් ආණ්ඩුවෙන් එලියට ගිහිල්ලා ඔය කටයුත්ත කරන්න කියලා. ජනාධිපතිවරයා හොද නැතිනම්, ජනාධිපතිවරයා එක්ක වැඩි කරන්න බැරිනම් ජනාධිපතිතුමා එතුමලා කියන දෙ කරන්නේ නැතිනම් තමන්ට කැමති තීන්දුවක් ගන්න පුලුවන්. මාධ්‍ය වල අදහස් දක්වන්නේ නැතිව තමන්ගේ තීන්දුව ක්‍රියාත්මක කරන්න කියලා ඉල්ලා සිටිනවා.
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලයේ නාමල් රාජපක්ෂ මැතිතුමාට අමාත්‍යධූර කීයක් දුන්නද ? රාජ්‍ය අමාත්‍යධූර කීයක් දුන්නද ? විෂයයන් කීයක් දුන්නද ? ඒ කාලේ අමාත්‍යධූර වෙනස් කරපුවාම රටේ ප්‍රශ්න විසදෙන්නේ නැහැ කියලා එතුමට තේරුනේ නැද්ද ? එතුමට දැන් තමා ඒක තේරුම් ගිහිල්ලා තියෙන්නේ. ඔය තනතුරු වෙනස් කිරීම්, කැබිනට් සංශෝධන ගෝඨාභය ජනාධිපතිතුමාගේ කාලේ හතර පාරක් වෙනස් කරලා තියෙනවා. අවසාන කැබිනට් සංශෝධනයේදී පොහොට්ටුවේ කැබිනට් අමාත්‍යවරු, ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරු විශාල පිරිසක් එලියට දැම්මා. එදා කතා කලේ නැහැ නාමල් රාජපක්ෂ හෝ සාගර කාරියවසම් . එදා කතා කරන්න තිබුනා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා අපෙන් අහන්නේ නැතිව කරපු එක වැරදියි කියලා. සම්පුර්ණයෙන් විරුද්ධයි කියලා කියන්න තිබුනා. එදා පූස් පැටව් වගේ හිටියේ.
අද කියනවම් කිසිම තනරතුරක් වෙනස් කරලා කිසිම දෙයක් වෙන්නේ නැහැ කියලා එදත් කියන්න තිබුනා. එදා කිව්වේ නැහැ. ඒ නිසා මට කියන්න තියෙන්නේ නාමල් රාජපක්ෂ හා සාගර කාරියවසම් මහත්වරුන්ට බොරු බයිලා කියන්නේ නැතිව, අතීතිය අමතක කරලා කතා කරන්නේ නැතිව පුලුවන්නම් මාත් එක්ක විවාදයකට එන්න. පසුගිය කාලයේ ඇමතිකම් වෙනස්කරපු ඒවා, විෂය වෙනස් කරපු දේවල්, තමන්ට වැඩි බලය ගත්තු හැටි, තමන්ට දෙද්දි කටවහගෙන හිටපු ඒවා ගැන කතා කරන්න.
ඇමති මණ්ඩලය කියන්නේ ශ්‍රීලනිප ද, යුඑන්පී ද කියන එක නෙමේ. ඇමති මණ්ඩලය කියන්නේ සාමුහික ඇමති මණ්ඩලයක්. ඒකේ විෂයයන් ඕනේ කෙනෙකුට ඒහාට මෙහාට යන්න පුලුවන්. ශ්‍රීලනිපය ද පොහොට්ටු ද කියන එක අදාළ නැහැ.
රට හරියට නොකිරීම තුළ තමා මිනිස්සු පෝලීම් වලට ආවේ. විදුලිය නැතිව මිනිස්සු හිටියා. ගෑස් පොලිම්, බෙහෙත් ටික නැතිව හිටියා. ඉතින් එහෙම තිබුණු ආණ්ඩුවක් තමා මිනිස්සු එලියට ඇවිල්ලා පෙරලලා රනිල් වික්‍රමසිංහ මහතාට අගමැතිධූරයට පත්වෙන්න අවස්ථාවක් ආවේ. නාමල් රාජපක්ෂලා ඒක කැමැත්තෙන් කරපු දෙයක් නෙමේ. පොහොට්ටුව කැමැත්තෙන් කරපු දෙයක් නෙමේ. පොහොට්ටු ආණ්ඩුව හරියට නොකිරීම තුළින් සිදුවුන දෙයක්. අපිත් ඒ ආණ්ඩුව නියෝජනය කළා. අපි අවුරුදු 30 ක් ගොඩනගාගත්ත දේශපාලනය විනාශ වුනා. ආණ්ඩුව හරියට නොකිරීම තුළ. එතුමන්ලා තමා එදා නායකයෝ. එතුමන්ලා තමා කැබිනට් අමාත්‍යවරු. එදා ජනතාවට සහන දුන්නනම් කබලෙන් ලිපට වැටිලා ජනතාව මහපාරේ ලක්ෂ ගානක් ඇවිල්ලා උද්ඝෝෂණය කරලා එලවන්නේ නැහැ අපේ ආණ්ඩුව. ඒක අද අමතක වෙලා නාමල් රාපක්ෂ මැතිතුමාට. ජනාධිපතිතුමා භාර අරන් තියෙන්නේ බංකොලොත් වුන ආණ්ඩුවක්. මේ ආර්ථිකය තුළ නාමල් රාජපක්ෂ කියනවා වගේ සහන දෙන්න විදියක් නැහැ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇවිල්ලා අපට උදව් කරලා ඒ අය නිර්නායක දීලා තියෙනවා. ආණ්ඩුව මේ විදියට ගියොත්, ආර්ථික වැඩපිළිවෙල ඉදිරියට අරන් ගියොත් රටේ ආර්ථිකය ගොඩගන්න පුලුවන් කියලා.
කවුද අකමැති ජනතාවට සහන දෙන්න. අපි සියලු දෙනා කැමතියි. හැබැයි නාමල් රාජපක්ෂ මහතා කැබිනට් අමාත්‍යධූරයේ හිටපු ඒ ආණ්ඩුව රට බංකොලොත් කිරීම නිසා තමයි සහන දෙන්න බැරි. ඒක තේරෙන්නේ නැහැ නාමල් රාජපක්ෂ මහතාට. රට සම්පුර්ණයෙන් ආර්ථික වශයෙන් බංකොලොත් කරලා, ජන ජීවිතය නැති කරලා අද නිකන් ඊයේ පෙරේදා ඉපදුන ළමයෙක් වගේ කතා කරන්නේ.
එතුමලට තීන්දු කරලා කැමති දෙයක් කරන්න පුලුවන්. ඉදිරියේ අයවැය එනවා. අය වැයට විරුද්ධව පුලුවන්නම් ජන්දය දීලා එලියට යන්න. ඊලග පාර්ලිමේන්තු මැතිවරණයට මුහුන දෙන්න යන්න පුලුවන්. මිනිස්සු එදාට උත්තරය දෙයි. නාමල් රාපක්ෂ මහතාටත්, සාගර කාරියවසම් මහතාටත් මට කියන්න තියෙන‍්නේ ඉදිරි අයවැය ලේඛණයට විරුද්ධ නම් එයට විරුද්ධ වෙලා ආණ්ඩුව පරද්දලා පාර්ලිමේන්තු මැතිවරණයකට යන්න කියන එක. අපි සියලු දෙනා ඒකට සූදානම්. මිනිස්සු ප්‍රතිඑලය පෙන්නයි ඒ අයට.
පාර්ලිමේනේතුවේ අයවැය ලේඛණය පරද්දන්න මේ අය යන්නේ නැහැ. අයවැය ලේඛනය පරද්දලා මහ මැතිවරණයට යන්න බයයි. මේ අය පරද්දන්නේ නැහැ. පුලුවන්නම් මගේ අභියෝගය භාර ගන්න. ජනාධිපතිතුමා කියන දේ කරන්නේ නැතිනම් මේ අයට පුලුවන් මාධ්‍ය ඉස්සරහා එක එක දේවල් කියන්නේ නැතිව එලියට යන්න. කැබිනට් සංශෝධන හතරක් කළා ගෝඨාභය රාජපක්ෂ. මේ කවුරුත් ඒ වෙලාවේ කෑගැහැව්වේ නැහැ.
අද ජනාධිපතිතුමා කරලා තියෙන්නේ සංශෝධන දෙකක්. කැබිනට් ධූරයක් අඩුකරලා තියෙන්නෙ. රටේ මිනිස්සු ඉල්ලන්නේ අඩු කරන්න කියලා. ජනාධිපතිතුමා ඒක කරලා තියෙන්නේ. අදාළ අමාත්‍යාංශ වලට අදාළ විෂයන් හරියට දීලා තියෙනවා. ඒක වැරදි නම්, කොන්ද පණ තියෙනවනම් තමන් කියන දේ, තමන් විශ්වාස කරන දේ හරිනම් ආණ්ඩුවෙන් ඉවත් වෙලා වට්ටලා ඊ ලග පාර්ලිමේන්තු මැතිවරණයට යන්න. ජනතාව බලාගෙන ඉන්නවා ඉක්මිනින් මැතිවරණයක් එනකන්.
ආණ්ඩුවේ බලය තියෙන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට නම් එතුමන්ලට පුලුවන් මේ ආණ්ඩුව වට්ටන්න. ඒ අයට ජන්දයට ගියාම තෙරේයි මහපොළොවේ තියෙන යථාර්ථය. "

දෙවන වාරයේ පාසල් නිවාඩුව ගැන නිවේදනයක්
රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2023 වසරේ දෙවන පාසල් වාරය අවසන් කිරීම පිළිබඳව නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ අනුව සිංහල හා දෙමළ මාධ්‍ය පාසල් සඳහා දෙවන පාසල් වාරය හෙට (27) දිනයෙන් අවසන් වේ.
තෙවන පාසල් වාරය නොවැම්බර් මස 01 වන බදාදා ආරම්භ කිරීමට නියමිතය.

ඩිජිටල් පරිවර්තනය වේගවත් කරන සැළැස්ම ඊළඟ අයවැයෙන් එළියට !
ලෝකයේ තරගකාරී ආර්ථිකය සමඟ ඉදිරියට යාමට ශ්‍රී ලංකාව සූදානම් කිරීම වෙනුවෙන් ඩිජිටල් පරිවර්තනය වේගවත් කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කළේය.
ඒ සඳහා වූ සැලැස්ම ඉදිරි අයවැය කථාවේ දී රටට ඉදිරිපත් කරන බවත්, එම වැඩපිළිවෙළ ඉදිරියට ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් අවශ්‍ය නීති ගෙන ඒමටද බලාපොරොත්තුවන බවත් ජනාධිපතිවරයා පැවසීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කළේ ඊයේ (25) පස්වරුවේ කොළඹ මොනාක් ඉම්පීරියල් හෝටලයේ පැවති “ජාතික තොරතුරු තාක්ෂණ සම්මාන උළෙල - NBQSA 2023” අමතමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේ ද පැවසීය.
1980 දශකයේ මුල් භාගයේදී, මම අධ්‍යාපන ඇමතිවරයා ලෙස කටයුතු කරන අවධියේ දී අප තොරතුරු තාක්ෂණය පිළිබඳව කතා කළා. එය එම වකවානුවේ ශ්‍රී ලංකාවේ එතරම් ප්‍රසිද්ධ නොවුනත්, මට සින්ක්ලෙයාර් සමාගමේ, සින්ක්ලෙයාර් මහතා හමුවීමට අවස්ථාව ලැබුණා.
ඔහුගේ පියා ලන්ඩන් නුවර, වෙස්ට්මිනිස්ටර් නගරයේ කොන්සර්වේටිව් සංගමයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ නිසා කොන්සර්වේටිව් පක්ෂයේ උත්සවයකදී තමයි මට ඔහුව මුණ ගැසීමට ලැබුණේ.
ඉන්පසුව පළමු සින්ක්ලෙයාර් පරිගණක අපේ රටේ පාසල්වලට ගෙනාවා. ඒ අනුව තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ වැඩ කටයුතු ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් පරිගණක සහ තොරතුරු තාක්ෂණ කවුන්සිලය ආරම්භ කළා.
ඒ කාලේ තමයි මහාචාර්ය සමරනායක කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක මධ්‍යස්ථානය ආරම්භ කළේ. ඒ වන විට ඉන්දියාව තොරතුරු තාක්ෂණය ගැන උනන්දු වුණා. නමුත් අපිට නැති ප්‍රශ්න ඔවුන්ට තිබුණා. උදාහරණයක් ලෙස, අපට පරිගණක ආනයනය කරන්න ප්‍රමාණවත් විදේශ විනිමය තිබුණා, නමුත් ඔවුන්ට ඒ සඳහා හැකියාව තිබුනේ නැහැ.
මේ අතර චීනය අධ්‍යාපන ක්ෂේත්‍රය ප්‍රතිසංවිධානය කරන්න සූදානමින් සිටියා. 1991 දී, මම කර්මාන්ත, විද්‍යා හා තාක්ෂණ ඇමතිවරයා ලෙස ඉන්දියාවේ සංචාරයක නිරත වුණා. මම ගියේ බැංගලෝර් වලට, ඒ තමයි මේ කර්මාන්තය ආරම්භ කළ ස්ථානය. ඔවුන්ට මුදලින් බිලියන කිහිපයක් සමග ඩොලර් බිලියන දෙකක වටිනාකමක් ඇති අපනයන තිබුනා.
තොරතුරු තාක්ෂණය ලංකාවේ ආරම්භ කිරීම පිළිබඳ අපි සාකච්ඡා කළා. චීනයත් ඒ වන විට තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය පිළිබඳ ඔවුනගේ අවධානය යොමු කරමින් සිටියා. අවාසනාවට, අපට එම අවස්ථාව මගහැරුනා. එම රටවල් ඉදිරියට ගියා. අපත් මේ සමග ඉදිරියට ගියා නම් අද පවතින අන්දමේ ආර්ථික අර්බුදයකට මුහුණ දීමට අපට සිදු වෙන්නේ නැහැ.
කෙසේ වුවත් දැන් පසුතැවී තේරුමක් නැහැ. ඒ දේවල් සිදු වී අවසන්. රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළ පරිදි අපට තිබෙන අවසාන අවස්ථාව මෙයයි. එසේනම් අප දැන් තොරතුරු තාක්ෂණය සමඟ ඉදිරියට යාමට සූදානම් විය යුතුයි. නැතිනම් අපට මෙම අවස්ථාව සදහටම මග හැරෙනවා.
රටක් ලෙස ඉදිරියට යාමට නම් රටේ වෙළෙඳ ශේෂය අපට වාසි වන ආකාරයට පවත්වාගෙන යා යුතුයි. එසේම අපනයනයන්හි අතිරික්තයක් තිබිය යුතුයි. අපට තවදුරටත් ඇඟලුම් කර්මාන්තය සහ තේ මත රඳා පැවතිය නොහැකියි. අප නව ක්ෂේත්‍ර පිළිබඳ සොයා බැලිය යුතුයි. නමුත් ඊට වඩා, අප අවධානය යොමු කර තිබෙන්නේ නව ආර්ථිකයක ව්‍යුහයක් පිළිබඳවයි.
රට තුළ නව ආර්ථිකයක් ගොඩනැඟීමට අවශ්‍ය නම් සහ රට තුළ වෙළෙඳ අතිරික්තයක් පවත්වාගෙන යාමට අවශ්‍ය නම් අප ලෝකයේ ඕනෑම රටක් සමඟ තරගකළ හැකි තරගකාරී ආර්ථිකයක් ඇති කර ගත යුතුයි.
එහිදී හරිත ආර්ථිකය සහ පුනර්ජනනීය බලශක්තිය යන සාධක දෙක ඉතා වැදගත් වෙනවා. පුනර්ජනනීය බලශක්තිය සහ හරිත ආර්ථිකය සඳහා අපේ රටේ ඉහළ විභවයක් තිබෙනවා. එසේම අප කඩිනමින් ඩිජිටල් ආර්ථිකයක් කරා ගමන් කළයුතුයි. මෙම නව ආර්ථික වැඩපිළිවෙළේ ආරම්භය පිළිබඳ ඉදිරි අය වැයෙ කතාවේ දී මම කරුණු ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම එම වැඩපිළිවෙළ වෙනුවෙන් අවශ්‍ය නීති ගෙන ඒමට ද අප බලාපොරොත්තු වෙනවා.
70 දශකයේ මුල් භාගයේදී අපේ රටේ සමාජවාදී ආර්ථික ක්‍රමයක් පැවතුණා. එය නීති සම්පාදනය කිරීම මගින් ගෙන එන ලද්දක්. නමුත් 1977 දී වෙළඳපොළ ආර්ථිකය ක්‍රියාත්මක වීම සමඟ එම නීති අහෝසි වුණා.
නමුත් මෙවර පියවරක් ඉදිරියට තබමින් තරගකාරී ආර්ථිකයක්, හරිත ආර්ථිකයක් සහ ඩිජිටල් ආර්ථිකයක් වෙනුවෙන් අවශ්‍ය නව නීති සම්පාදනය කිරීමට අප බලාපොරොත්තු වෙනවා.නීති පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ. ඩිජිටල් යටිතල පහසුකම් අංශය දෙස ද අවධානය යොමු කළ යුතුයි. ඒ සඳහා ගතයුතු පියවර මොනවාද කියා සිතා බැලිය යුතුයි.
රජයට එය තනිව සිදු කිරීමට මූල්‍යම හැකියාවක් නැහැ. එසේම මානව ප්‍රාග්ධනය ද විශාල ගැටලුවක් වී තිබෙනවා. අප ඩිජිටල් ආර්ථිකය පිළිබඳ අවධානය යොමු කරනවා නම් අපට පුහුණු මානව සම්පතක් අවශ්‍යයි.
අප එම ක්ෂේත්‍රයේ පුහුණු උපාධිධාරීන්, ඩිප්ලෝමාධාරීන් ඇතුළු කුසලතාවන් ඇති මානව සම්පතක් ගොඩනැගිය යුතුයි. මෙය අප මුහුණ දීමට තිබෙන ප්‍රධාන අභියෝග වලින් එකක් බව කිව යුතුයි. එසේනම් තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ මානව ප්‍රාග්ධනය වර්ධනය කරන්නේ කෙසේද කියා අප මූලික වශයෙන්ම අවධානය යොමු කළ යුතුයි.
මේ සඳහා අරමුදල් සපයා ගැනීමේදී අප අපේම අරමුදලක් ඇති කර ගත යුතු වෙනවා. නැත්නම් අපට විදේශ ආයෝජකයින්ට ආරාධනා කිරීමට සිදු වෙනවා. අප මෙම වැඩපිළිවෙළ සමඟ ඉදිරියට යා යුතුයි. අප තොරතුරු තාක්ෂණ කර්මාන්තය තුළ නමක් හදාගත යුතුයි.
ශ්‍රී ලංකාව පිහිටා තිබෙන්නේ ඉන්දියාවට සමීපවයි. තොරතුරු තාක්ෂණය අද ඉන්දියාව තුළ වර්ධනය වෙමින් තිබෙන කර්මාන්තයක් බවට පත්ව තිබෙනවා. එයින් ප්‍රයෝජනයක් ලබා ගන්නේ කෙසේද කියා අප සිතා බැලිය යුතුයි. අප මෙම අරමුණු වෙනුවෙන් අධිෂ්ඨානශීලිව කටයුතු කළ යුතුයි. රට පත්ව තිබෙන ආර්ථික අර්බුදයෙන් ගොඩගෙන ආර්ථික වශයෙන් ශක්තිමත් කිරීමට නම් ඩිජිටල් පරිවර්තනයක් රටට අත්‍යාවශ්‍යයි. එසේ නොමැතිව අපට ලෝකය සමග ඉදිරියට යා නොහැකියි.
මෙම ඩිජිටල් පරිවර්තනය සඳහා අවශ්‍ය සැලසුම් රජයට සකස් කළ හැකියි. පෞද්ගලික අංශය ලෙස ඔබට තිබෙන්නේ එම වැඩපිළිවෙළ සමග ඉදිරියට යාමටයි. උදාහරණයක් ලෙස ගතහොත් 1977දී අපට ඇඟලුම් ක්ෂේත්‍රයේ වෙළෙඳාමක් තිබුනේ නැහැ. නමුත් වසර 10-15ක් තුළ අප ඇගළුම් ක්ෂේත්‍රය තුළ විශාල දියුණුවක් ලැබුවා.
අපි නව තාක්ෂණය සමඟ ඉදිරියට යන විට එය වෙනස්කම්වලට ලක් වෙනවා. එම නිසා වේගවත් ගමනක් අවශ්‍යයි. මෙහිදී සම්මාන ලබාගත් කිහිපදෙනෙකු සමඟ කතා කළ විට මට විශාල සතුටක් දැණුනා. ඔවුන්ට අවශ්‍ය ඉදිරියට ගොස් ඔවුන්ගේ ව්‍යාපෘති සාර්ථක කර ගැනීමටයි. මේ සඳහා බැංකුවලින් අරමුදල් සපයා ගන්නේ කෙසේද මෙය වාණිජ ව්‍යාපාරයක් බවට පත් කර ගන්නේ කෙසේද කියා අප අවධානය යොමු කළ යුතුයි.
කෙසේ වෙතත් අප සියලුදෙනා එක්ව මෙම වැඩපිළිවෙළ ආරම්භ කළ යුතුයි. දැනටමත් ඇතැමුන් මේ සඳහා ප්‍රවේශ වී සිටිනවා. ලබන වසර වන විට සෑම කෙනෙක්ම මේ සඳහා එක්වනු ඇතැයි අපි අපේක්ෂා කරනවා.
තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා සහ තොරතුරු තාක්ෂණ ආයතනවල විධායක කමිටු සාමාජිකයින්, හිටපු සභාපතිවරුන් සහ නිලධාරීන් මෙම අවස්ථාවට එක්ව සිටි අතර බ්‍රිතාන්‍ය පරිගණක සංගමයේ සමූහ ප්‍රධාන විධායක නිලධාරී රාෂික් පාර්මර් (Rashik Parmar) මහතා මාර්ගගත තාක්ෂණය ඔස්සේ උත්සවය ඇමතීය.

ඉතිහාසයේ පෙරනොවූ විරූ ලෙස : ශ්‍රී ලංකාව වෙළෙඳ සබඳතා පුළුල් කරගෙන !
දකුණු ආසියාව, අග්නිදිග ආසියාව සහ නැඟෙනහිර ආසියාව සමඟ සිය වෙළෙඳ ඒකාබද්ධතාවය පුළුල් කර ගැනීමට ශ්‍රී ලංකාව මේ වන විට කටයුතු කරමින් සිටයි.
ආර්ථික ප්‍රකෘතියේ දී සහ දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීමේ දී සැපයුම් ධාරිතාව වර්ධනය කිරීම සහ වෙළඳපල ප්‍රවේශය පුළුල් කර ගැනීමට ශ්‍රී ලංකාව ප්‍රමුඛතාව ලබා දී තිබේ.
ඒ අනුව ශ්‍රී ලංකාවේ විශාලතම සම්ප්‍රදායික අපනයන ගමනාන්ත වන ඇමරිකා එක්සත් ජනපදය, යුරෝපා සංගමය සහ එක්සත් රාජධානිය සමඟ සබඳතා ශක්තිමත් කර ගන්නා අතරම, දකුණු ආසියාව, අග්නිදිග ආසියාව සහ නැගෙනහිර ආසියාව සමඟ පවතින ඒකාබද්ධ වැඩසටහන් පුළුල් කර ගැනීමට කටයුතු කරමින් සිටියි.
එසේම ශ්‍රි ලංකාව භාණ්ඩ වෙළෙඳාම කෙරෙහි අවධානය යොමු කරමින් ඉන්දියා ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම (ISLFTA) සහ පාකිස්ථාන ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම (PSFTA) ඇති කර ගැනීමට ද කටයුතු කර තිබේ.
දකුණු ආසියානු නිදහස් වෙළෙඳ කලාපය (SAFTA) සහ කලාපීය සහයෝගීතාව සඳහා වූ දකුණු ආසියානු සංගමය (SAARC) සමඟ වරණීය වෙළෙඳ ගිවිසුම (SAPTA) වැනි කලාපීය වෙළෙඳ ගිවිසුම් හරහා මේ වන විට ශ්‍රී ලංකාව දකුණු ආසියානු වෙළෙඳපොළ වෙත ප්‍රවේශ වී ඇත.
එමෙන්ම මේ වන විට ශ්‍රී ලංකාව බංග්ලාදේශය සමඟ භාණ්ඩ වෙළඳාම සඳහා වරණීය වෙළෙඳ ගිවිසුමකට එළැඹීමට සාකච්ඡා කරමින් සිටී. එම සාකච්ඡා 2021 ජුනි මාසයේදී ආරම්භ කරන ලද අතර මේ වන විට සාකච්ඡා වට තුනක් අවසන් කර තිබේ. ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර ධනාත්මක වු වෙළෙඳ ශේෂයක් පවතින අතර, ඉදිරියේදී අත්සන් තැබීමට නියමිත මෙම ගිවිසුම දැනට පවතින වෙළෙඳ ගිවිසුම්වලින් ඔබ්බට ද්විපාර්ශ්වික වෙළෙඳාම ඉදිරියට ගෙන යන්නක් ලෙස හඳුනාගෙන ඇත.
තවද, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අත්සන් තැබීමට යෝජිත ආර්ථික හා තාක්ෂණ සහයෝගිතා ගිවිසුම (ETCA) පිළිබඳ දොළොස් වන (12) සාකච්ඡා වටය මේ මස අගදී පැවැත්වීමට නියමිතය. වර්තමාන ඉන්දියා ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුමට (ISLFTA) වඩා පුළුල් විෂය පථයක් මෙමගින් ආවරණය කෙරේ.
නිදහස් වෙළෙඳ ගිවිසුම් මගින් ශ්‍රී ලංකාව ආසියාන් (ASEAN) රටවල් සමඟ සම්බන්ධවීම ක්‍රමයෙන් ඉහළ යමින් පවතී. ශ්‍රී ලංකාව 2018 ජනවාරි මාසයේදී සිංගප්පූරුව සමඟ විස්තීර්ණ නිදහස් වෙළෙඳ ගිවිසුමකට (Sri Lanka Singapore Free Trade Agreement-SLSFTA) එළැඹි අතර එය 2018 මැයි මාසයේදී බලාත්මක කෙරිණි.
එසේම ශ්‍රි ලංකාව මේ වන විට තායිලන්තය සහ ඉන්දුනීසියාව ඇතුළු ආසියාන් (ASEAN) රටවල් කිහිපයක් සමඟ වෙළෙඳ ගිවිසුම් ඇති කරගැනීම පිළිබඳව සාකච්ඡා කරමින් සිටී.
තායිලන්තය සමඟ තුන්වැනි වටයේ සාකච්ඡා මේ වසරේ ජනවාරි මාසයේදී යළි ආරම්භ වූ අතර එහි 7වැනි සාකච්ඡා වටය පසුගිය සතියේ කොළඹදී පැවැත්විණි. මෙම නිදහස් වෙළෙඳ ගිවිසුම, භාණ්ඩ, මූලාරම්භයේ රීති, සනීපාරක්ෂක සහ ශාක සනීපාරක්ෂක පියවර (SPS), වෙළඳාමට ඇති තාක්ෂණික බාධක (TBT), වෙළෙඳ පිළියම්, සේවා, ආයෝජන, ආරවුල් විසඳීම, බුද්ධිමය දේපල අයිතිවාසිකම්, රේගු ක්‍රියා පටිපාටි සහ වෙළෙඳ පහසුකම් සහ ආර්ථික සහ තාක්ෂණික සහයෝගිතාව යන ක්ෂේත්‍ර ආවරණය කෙරේ.
තායිලන්තය සමඟ යෝජිත නිදහස් වෙළෙඳ ගිවිසුම හරහා දේශීය අපනයන ඉලක්ක කරගත් කර්මාන්ත සඳහා ඍජු විදේශ ආයෝජන වැඩි වශයෙන් ආකර්ෂණය කර ගැනීමට මෙන්ම ප්‍රමුඛතා අංශවල ආර්ථික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරයි.
එපමණක් නොව, චීනය සමග යෝජිත නිදහස් වෙළඳ ගිවිසුමේ සාකච්ඡා නැවත ආරම්භ කිරීම සඳහා ශ්‍රී ලංකාව මේ වන විට සාකච්ඡා කරමින් සිටින අතර එහි සාකච්ඡා වට හයක් අවසන් කර තිබේ. හඳුනාගත් ශ්‍රී ලාංකීය නිෂ්පාදන සඳහා චීනයේ වෙළඳපල ප්‍රවේශය ලබා ගැනීමටත්, ගෝලීය අගය දාමයන් සමඟ සුරක්ෂිත සම්බන්ධතා ඇති කර ගැනීමටත් මෙම ගිවිසුම මඟින් ශ්‍රී ලංකාව අපේක්ෂා කරයි.
ලොව විශාලතම නිදහස් වෙළෙඳ ගිවිසුම (FTA) වන “කලාපීය විස්තීරණ ආර්ථික හවුල්කාරිත්ව (RCEP)” ගිවිසුමට සම්බන්ධ වෙමින් ඕෂනියා සහ නැගෙනහිර ආසියාව සමඟ ආර්ථික ඒකාබද්ධතා වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාව ආසියාන් සමග ක්‍රමානුකූලව කටයුතු කරයි. මෙම තත්ත්වය තුළ, කලාපීය විස්තීර්ණ ආර්ථික හවුල්කාරිත්වය (RCEP) හා සම්බන්ධ වීමට ශ්‍රී ලංකා රජය දැනටමත් අභිප්‍රාය ප්‍රකාශ කිරීමේ ලිපිය ඉදිරිපත් කර ඇත.
කැබිනට් මණ්ඩලයේ අනුමැතියට යටත්ව ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ ස්ථාපිත කර ඇති ජාත්‍යන්තර වෙළඳ කාර්යාලය මගින් මෙම සියලු වෙළෙඳ ගිවිසුම් සාකච්ඡා පවත්වාගෙන යනු ලබයි.
එම සාකච්ඡා ප්‍රධාන සාකච්ඡාකරු ප්‍රමුඛ ජාතික වෙළෙඳ සාකච්ඡා කමිටුව (NTNC) විසින් මෙහෙයවනු ලබන අතර මුදල් අමාත්‍යාංශය, විදේශ කටයුතු අමාත්‍යාංශය, නීතිපති දෙපාර්තමේන්තුව, වෙළෙඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව, වාණිජ දෙපාර්තමේන්තුව, රේගු දෙපාර්තමේන්තුව සහ ආයෝජන මණ්ඩලය යන ආයතන නියෝජනය වන පරිදි ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් ජාතික වෙළෙඳ සාකච්ඡා කමිටුව සමන්විත වේ.
අදාළ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ අනෙකුත් ආයතනයන්හි නියෝජිතයන්ගෙන් සමන්විත අනුකමිටු එකොළහක් මගින් වෙළෙද සාකච්ඡා හා පාර්ශවකරුවන්ගේ සාකච්ඡා පැවැත්වීම සඳහා ජාතික වෙළෙද සාකච්ඡා කමිටුවට සහාය ලබාදෙයි.
රජයේ දැක්මට අනුව 2048 වන විට සංවර්ධිත රටක් ගොඩනැඟීම සඳහා මෙම මුල පිරීම් හරහා පහසුකම් සැලසේ.
( මෙය ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත්කළ නිවේදනයකි.)
Page 138 of 460