V2025

පුවත්

රාජ්‍ය විරෝධී වැඩ කලොත් රජයේ රස්සාත් නෑ - උසස්වීමුත් නෑ !

උපාධිධාරීන් ඇතුළුව රාජ්‍ය සේවයේ සියලු රැකියා අවස්ථා සඳහා බඳවාගැනීම් සිදුකිරීමේදී සහ උසස්වීම් ලබාදීමේදී රාජ්‍ය විරෝධී මෙන්ම නීත්‍යනුකූල නොවන කටයුතුවල නිරතව ඇතිද යන්න සම්බන්ධයෙන් විශේෂ සොයාබැලීමක් සිදුකිරීමට රජයේ අවධානය යොමුවී තිබේ.

මේ වනවිට රාජ්‍ය සේවයේ ඉහලම තනතුරුවලට පවා රාජ්‍ය විරෝධී කටයුතු වලට සහය දක්වන කඩාකප්පල්කාරී මානසිකත්වයෙන් යුතු පුද්ගලයින් පත්ව ඇති බවත් එම පිරිස් සුක්ෂම ලෙස රජයේ කටයුතු කඩාකප්පල් කරන බවට ලැබී ඇති බුද්ධි වාර්තා මෙන්ම රාජ්‍ය සේවයේ විශ්‍රාමික උසස් නිලධාරීන්ගේ නිර්දේශ මත පදනම්ව රජය මෙම තීරණය ගෙන ඇත.

එහිදී ඔවුන්ගේ නිර්දේශය වී ඇත්තේ රාජ්‍ය විරෝධී සහ කඩාකප්පල්කාරී මානසිකත්වයෙන් යුතු පිරිස් රාජ්‍ය සේවයට එක්වීම ස්ථාවර රාජ්‍ය පාලනයකට බාධාවක් බැවින් රාජ්‍ය සේවයේ බඳවාගැනීම් සිදුකරන විට ඒ සම්බන්ධව විශේෂ අවධානයක් යොමුකළ යුතුව ඇති බවය. රජය මේ පිළිබඳව කඩිනමින් අවධානය යොමු නොකළහොත් එවැනි පුද්ගලයින්ගේ හැසිරීම හේතුවෙන් ඉදිරියේදී කිසිම රජයකට රට පාලනය කල නොහැකි වනු ඇති බවය.

මෙවැනි පිරිස් මැදිහත්ව සිදුකරන, රටේ ආර්ථිකයට තීරණාත්මකව බලපාන අතිශය වැදගත් සංවර්ධන ව්‍යාපෘති කඩාකප්පල් කිරීම් , රාජ්‍ය ප්‍රතිපත්ති සමඟ වෘත්තීය සමිති මට්ටමෙන් ගැටුම් ඇතිකර එම වැදගත් ප්‍රතිපත්ති කෙරෙහි වැරදි සමාජ මත නිර්මාණය කිරීම වැනි කටයුතු හේතුවෙන් රටට සිදුවන හානිය ගණනය කළ නොහැකි බවද රාජ්‍ය සේවයේ විශ්‍රාමික උසස් නිලධාරීන්ගේ මතය වී තිබේ.

මේ අතර කැබිනට් අමාත්‍යවරයකු සඳහන් කර සිටියේ , කඩාකප්පල්කාරී මානසිකත්වයෙන් යුතු පිරිස් මෙන්ම කලහාකාරී ක්‍රියා සැලසුම් කරන පුද්ගලයින් පිළිබඳව සොයා බැලීමට බුද්ධි අංශ කටයුතු කරමින් සිටින බවයි. ඒ හරහා මින් ඉදිරියට රජයේ සේවයට මෙන්ම රාජ්‍ය සංස්ථා සහ බැංකු සඳහා බදවා ගැනීමේ දී මෙන්ම උසස් වීම් ලබා දීමේදී එම පුද්ගලයින් පිළිබඳව පොලිස් වාර්තා ලබා ගැනීම අනිවාර්යය කිරීම කෙරෙහිද රජයේ අවධානය යොමු වී ඇති බවද එම අමාත්‍යවරයා පැවසීය.

දේශපාලන බල අධිකාරිය විසින් සිදුකරන පත්වීම් සඳහා ද මෙම විශේෂ පොලිස් වාර්තා ගැනීම සිදුකරන බවත් මෙය සිදුකරන්නේ මුළුමනින්ම ශ්‍රී ලංකා රාජ්‍යයේ යහපත වෙනුවෙන් මිස වෙනත් කිසිඳු අපේක්ෂාවකින් නොවන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

නැගෙනහිර අතුරුදහන් වූවන්ගේ සංවිධානයේ සභාපති අත්අඩංගුවට !

නැගෙනහිර පළාතේ අතුරුදන් වූවන්ගේ සංගමයේ දෙමාපියන් හා ඥාතීන් විසින් වව්නියාව නගරයේ පවත්වාගෙන යන කුටියකට අනවසරයෙන් විදුලිය ලබා ගැනීමේ හේතුව මත එම සංගමයේ සභාපතිනිය අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි .

අදාළ ස්ථානයට කලක පටන් විදුලි රැහැන් ඇද අනවසරයෙන් විදුලි ලබාගෙන ඇති බව විදුලි බලමණ්ඩලයට ලැබී තිබු පැමිණිල්ලකට අනුව කොළඹ විදුලිබලමණ්ඩලයේ වැටලිම් ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (9) වව්නියාව පොලිසිය සමග එක්ව මෙම වැටලීම සිදුකර ඇත.

විදුලි රැහැන ඇද අනවසරයෙන් විදුලි ලබාගෙන ගැනීම සම්බන්ධයෙන් එහි සභාපතිනිය අත්අඩංගුවට ගෙන වව්නියාව පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත.

අත්අඩංගුවට ගත් සැකකාරිය නෙඩුන්කේනි පෙරියමඩු ප්‍රදේශයේ පදිංචි (54) හැවිරිදි කාන්තාවකි.

අත්අඩංගුවට ගත් සැකකාරිය වව්නියාව මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

අපනයන සීමා ලිහිල් කරන හැටි සියඹලාපිටිය කියයි !

ආනයන සීමා පනවා ඇති භාණ්ඩ වල එම ආනයන සීමාවන් ලිහිල් කරන්නේ නම් එය වඩාත් ගෑඹුරින් සොයාබලා කළමනාකරණයකින් යුතුව සිදු කළ යුතු බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද දෙහිඕවිට ප්‍රදේශයේදී පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසුයේ ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වීමත් සමඟ ඖෂධ, ආහාර , පාරිභෝගික භාණ්ඩ ඇතුළු ආනයන භාණ්ඩ වල හා සේවා වල මිල ගණන් ඉදිරියේදී ක්‍රමයෙන් පහළ යා යුතු බවයි.

එසේම අපනයනය සඳහා රුපියල් ශක්තිමත් වීම මේ මොහොතේ යම් බලපෑමක් එල්ල කළද , එය තාවකාලික තත්ත්වයක් බවද අමාත්‍යවරයා පැවසීය.

අපනයන භාණ්ඩ සඳහා යොදාගන්නා අමුද්‍රව්‍ය හා යෙදවුම් වල මිල ගණන්ද අඩුවීම හේතුවෙන් ඉදිරියේදී එම අපනයන භාණ්ඩ වලට සෘණාත්මක බලපෑමක් ඇති නොවන බවද අමාත්‍යවරයා පැවසීය.

– Media unit

ෂැංහයි සිට චීන සංචාරකයින් පිරිසක් දිවයිනට

ලොව පුරා පැතිර ගිය කොරෝනා වසංගතයට පසුව චීනයේ ෂැංහයි නුවර සිට ශ්‍රී ලංකාවට පැමිණි පළමු චීන සංචාරකයන් පිරිස ඊයේ (10) දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇත.

181 දෙනෙකුගෙන් සමන්විත මෙම චීන සංචාරකයන් පිරිස දින 07 ක කාළයක් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතය .

ඔවුන් ඊයේ රාත්‍රී 06.51 ට චීනයේ ෂැංහයි නුවර සිට චයිනා ඊස්ටන් ගුවන් සේවයේ එම්.යූ.- 231 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

ඔවුන් පිළිගැනීම සදහා විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය , ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන් හොං ( Qi Zhen Hong ) , ශ්‍රී සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ උසස් නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ සිටියහ .

මෙතැන් සිට සෑම සතියක චීනයේ ෂැංහයි සහ කුංමිං ජාත්‍යන්තර ගුවන් තොටුපළ වල සිට ගුවන් ගමන් වාර 06 ක් චයිනා ඊස්ටන් ගුවන් සේවයේ ගුවන් යානා චීන සංචාරකයන් රැගෙන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමට නියමිතය .

මීට පෙර 03/01 දින කොරෝනා වසංගතයෙන් පසුව චීනයේ සිට ශ්‍රී ලංකාවට පැමිණි පළමු සංචාරකයන් පිරිස වූ සංචාරකයන් 117 දෙනෙකු රැගෙන චීනයේ ග්වැන්ෂෝ නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයක් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

335831194 744431727239367 8237995898348723296 n

මහින්ද ඇතුළු පොහොට්ටුවේ 08කට වාරණ නියෝගයක්

දෙහිවල ගල්කිස්ස මහනගර සභාවේ නගරාධිපති ඇතුළු මන්ත්‍රීවරුන් 8 දෙනෙකු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයෙන් නෙරපීම වළක්වමින් කොළඹ දිසා අධිකරණය මගින් අද (10) වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.

අදාළ මන්ත්‍රීවරුන් විසින් ඉදිරිපත් කළ පැමිණිලි විභාග කිරීමෙන් අනතුරුව කොළඹ දිසා විනිසුරු පූර්ණිමා පරණගම විසින් මෙම වාරණ නියෝගය නිකුත් කළාය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ, එහි සභාපති මහාචාර්ය ජී .එල්. පීරිස්, මහලේකම් සාගර කාරියවසම් ඇතුළු පිරිසකට එරෙහිව මෙම වාරණ නිකුත් කෙරුණි.

දෙහිවල ගල්කිස්ස මහනගර සභාවේ නගරාධිපති ස්ටැන්ලි ඩයස් ඇතුළු නාගරික මන්ත්‍රීවරුන් පිරිසක් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ ව්‍යවස්ථාවට පටහැනි ආකාරයෙන් තමන්ව පක්ෂයෙන් නෙරපීමේ ලිපි නිකුත් කර ඇති බව පැමිණිලිකරුවන් කියා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සලකාබැලූ දිසා විනිසුරුවරිය ලබන 24 වනදා දක්වා බලපැවැත්වෙන පරිදි අදාළ වාරණ නියෝගය නිකුත් කළාය.

විදේශ ඇමති BIMSTEC විදේශ අමාත්‍ය සමුළුව අමතයි

ගෝලීය ආර්ථික වර්ධන ගමන් පථය ආසියාව දෙසට යොමුව ඇති බැවින්, ස්ථාවරත්වය පවත්වා ගැනීම සඳහා බිම්ස්ටෙක් රටවල වෙළඳ හා ආයෝජන සංරචකය යළි පුබුදුවාළිය යුතු බව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි  පවසයි.

සූම් ඔස්සේ පැවති 19 වැනි බහු – ආංශික තාක්ෂණික හා ආර්ථික සහයෝගිතාව සඳහා වූ බෙංගාල බොක්ක ප‍්‍රවේශය හෙවත් BIMSTEC සාමාජික රටවල විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීමට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළේය.

එහිදී පිරිස ඇමතූ අමාත්‍ය අලි සබ්රි  එක් එක් රටවල සංසන්දනාත්මක ප‍්‍රතිලාභ කෙරෙහි අවධානය යොමු කරමින් අන්තර් කලාපීය වෙළෙඳාම ඉහළ නැංවීම සඳහා සහයෝගිතා ප‍්‍රයත්න ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව පිළිබඳ කරුණු දැක්වීය.

වෙළඳ හා ආයෝජන ප්‍රවාහය වැඩිදියුණු කිරීම සඳහා ඉවහල් වන ශක්තිමත් වූත් ගතික බවින් යුක්ත වූත් පෞද්ගලික අංශ ජාලයක් ගොඩනැගීම සඳහා කටයුතු කරන මෙවලමක් ලෙස බිම්ස්ටෙක් සංවිධානය පෙරමුණ ගත යුතු බවද එතුමා මෙහිදී අවධාරණය කළේ ය. මෙවැනි පසුබිමක් තුළ, වෙළඳ හා ආයෝජන ක්ෂේත්‍ර සම්බන්ධයෙන් ක්‍රියාකාරීව කටයුතු කිරීම සඳහා ශ්‍රී ලංකාව සතුව පවතින කැපවීම පිළිබඳව යළිදු අවධාරණය කළ අමාත්‍යවරයා, සියලු දෙනාටම පරිවර්තනීය ආර්ථික වර්ධනයක් ළඟා කරගැනීම සඳහා ඉවහල් වන, අන්තර් කලාපීය ආයෝජන දිරිගන්වන අන්තර් ජාතික ව්‍යාපාරික ආයතන ජාලයක් ගොඩනැගීමට ශ්‍රී ලංකාවේ පූර්ණ සහයෝගය ලබා දෙන බව සඳහන් කළේ ය.

මෙම රැස්වීම අතරතුර, බිම්ස්ටෙක් බැංකොක් දැක්ම 2030 (BIMSTEC Bangkok Vision 2030), සමුද්‍රීය ප්‍රවාහන සම්බන්ධතා පිළිබඳ ගිවිසුම සහ බිම්ස්ටෙක් හි කීර්තිමත් පුද්ගලයන්ගෙන් සමන්විත කණ්ඩායමක් පිහිටුවීම වැනි වැදගත් කරුණු සාකච්ඡාවට බඳුන් කෙරිණි. තායිලන්තයේ සභාපතිත්වය යටතේ පැවති මෙම අමාත්‍ය රැස්වීම, තායිලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයාගේ සහ විදේශ කටයුතු අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, නේපාලය, මියන්මාරය සහ ශ්‍රී ලංකාව යන බිම්ස්ටෙක් රටවල විදේශ කටයුතු අමාත්‍යවරු ඊට සහභාගි වූහ.

මැතිවරණ ගැන අති විශේෂ ගැසට් පත්‍ර නිකුත් කෙරේ

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීමට දින නියම කරමින් එක් එක් තේරීම්භාර නිලධාරීන් විසින් අතිවිශේෂ ගැසට් පත්‍ර නිකුත් කරනු ලැබ තිබේ.

එහි දැක්වෙන්නේ, මැතිවරණ කොමිෂන් සභාවේ උපදෙස් පරිදි එක් එක් තේරීම්භාර නිලධාරීන් විසින් අංක 2322/28 සිට 2322/52 දක්වා වූ අතිවිශේෂ ගැසට් පත්‍ර මගින් ඡන්ද විමසීම පැවැත්වීමට දින නියම කරනු ලැබ ඇති බව ය.

අදාළ නිවේදනය පහතින් දැක්වේ.

 electionCommision

දමිතා කරන දේ මාතර සුනිල් හෙළිකරයි !

රංගන ශිල්පිනී දමිතා අබේරත්න සජිත් ප්‍රේමදාසගේ සමගි ජන බලවේගය වේදිකාවේ රඟපාන්නේ මුදල්වලට බව ජාතික ජන බලවේගය පක්ෂයේ මාතර මහ නගර සභා අපේක්ෂක සුනිල් හඳුන්නෙත්ති පවසා ඇත .

ඒ පුවත්පතක් වෙත අදහස් දක්වමින් ය.

එහිදී ඔහු සඳහන් කර ඇත්තේ ,‘දමිතා අබේරත්න කරන්නේ එයාගේ ජොබ් එක. ඇය ඉතින් කොහොමත් රංගන ශිල්පිනියක්නේ. ඉතින් ඇය සජිත්ගෙ වේදිකාවෙත් සල්ලිවලට රඟපානවා. චිත්‍රපටයක රඟපෑවත් එකයි දේශපාලන වේදිකාවේ රඟපෑවත් එකයි’ යනුවෙනි .

රුපියල ශක්තිමත් කළ මෙහෙයුම මෙන්න !

රුපියලේ අගය වැඩිවීම ගැන අද සියලු පාර්ශ්වයන්ට කතා කිරීමට සිදු ව ඇත්තේ රජය විසින් සිදු කරන ලද සුවිශේෂී පාලනයන් නිසා බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය පවසයි.

ඊට සමගාමීව සංචාරක කර්මාන්තයේ විශේෂ වර්ධනය ද මීට හේතු වූ බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

ජනවාරි මස ශ්‍රී ලංකාවට ප්‍රේෂණ ලෙස ඩොලර් මිලියන 437ක් ලැබී ඇතැයි පෙන්වා දෙන අමාත්‍යවරයා එක පසුගිය වසරේ ජනවාරි මාසයට සාපේක්ෂව 68%ක වර්ධනයක් බවයි පේන්වා දෙන්නේ. විදේශ සංචිත ප්‍රමාණය ද ඩොලර් බිලියන 2.2ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.

සුරාබදු නිවේදන සහ ආනයන අපනයන රෙගුලාසි කිහිපයක් පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කරමින් අමාත්‍යවරයා මේ බව පැවැසීය.

සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමේ අරමුණෙන් ක්‍රියාත්මක මෘදු මත්පැන් බලපත්‍ර නිකුත් කිරීමේ වැඩපිළිවෙළ යටතේ ස්ථාන 211ක් වෙත මේ වන විට බලපත්‍ර නිකුත් කර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාරය රංජිත් සියඹලාපිටිය මහතා කියයි.

පාලනයක් සිදු කිරීම සහ රජයට බදු ආදායම ලබා ගැනීම යන කරුණු දෙක පදනම්ව ආරම්භ කළ මෙම වැඩසටහන සාර්ථකව සිදු කෙරෙමින් පවතින බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිකුත් කරන ලද වාර්තාවකට අනුව 2004 සිට 2016 වසර දක්වා මත්පැන් කර්මාන්තය 95%ක් ඉහළ ගොස් තිබේ. ඉන් නීත්‍යානුකූල මත්පැන් කර්මාන්තය වර්ධනය වී ඇත්තේ 50%කිනි. නීත්‍යානුකූල නොවන මත්පැන් නිෂ්පාදනයේ වර්ධනය 300%ක් පමණ වන බවයි එම වාර්තාව මගින් පෙන්වා දෙන්නේ.

බලපත්‍ර සහිත මත්පැන් අලෙවි සැල් ශ්‍රී ලංකාව තුළ ඇත්තේ 2800ක් පමණ ය. එහෙමත් මෙම අලෙවිසැල්වල අවිධිමත් ස්ථානගත වීමක් දක්නට ලැබේ. උදාහරණයක් ලෙස උතුර නැගෙනහිර ඇතැම් ප්‍රදේශවල කිලෝමීටර් 80ක් පමණ යන තුරු මත්පැන් අලෙවි සැලක් නොමැත. මෙහි ප්‍රතිඵලය වන්නේ නීත්‍යානුකූල නොවන මත්පැන් ප්‍රචලිය වීමයි.

2022 වර්ෂය තුළ තිරිගු පිටි කිලෝ ග්‍රෑම් 67,964,160ක් ආනයනය කර තිබේ. මේ සඳහා වියදම ඩොලර් මිලියන 30කි. එම පිටි ප්‍රමාණය මෙරට ජනගහනයෙන් බෙදූ කළ තිරිගු පිටි කිලෝග්‍රෑම් තුනක් පමණ වාර්ෂිකව පරිභෝජනය කර ඇත.

“සහල් අලෙවි කර ගැනීම පිළිබඳ ගැටලුවකට මුහුණ දෙමින් සිටින මේ අවස්ථාවේ මේ පිටි කිලෝග්‍රෑම් තුනෙන් එකක් ජනතාවට හැකි නම් සහල් භාවිතය බවට පරිවර්තන කර ගන්න මේ වාගේ අවස්ථාවක ගත හැකි වටිනාම පියවරක් වෙනවා.

ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ වාර්තාවලට අනුව අපට හොඳ අස්වැන්නක් ලැබී ඇති නිසා සංචාරක කර්මාන්තයට අවශ්‍ය සහල් හැර අනිත් සහල් ආනයනය අත්හිටුවන්න.

2020 දී අපි ආනයනය කරල තියෙන්නේ සහල් මෙට්‍රික් ටොන් 5,735කි. නිෂ්පාදනය අඩු විමත් එක්ක 2021 වසරේ දී ඒම සංඛ්‍යාව 2261%ක ප්‍රතිශතයකින් ඉහළ නංවමින් සහල් මෙට්‍රික් ටොන් 135,476ක් ආනයනය කිරීමට සිදු තිබේ. 2022 වන විට එය යළිත් මෙට්‍රික් ටොන් 733,385ක් දක්වා ඉහළ දැමීමට සිදු විය.

අද වන විට මෙම සහල් ආනයනය සම්පූර්ණයෙන් ම අත්හිටුවා තිබේ. ඒ මේ මහ කන්නයේ දී මෙට්‍රික් ටොන් ලක්ෂ 24ක අස්වැන්නක් ලැබෙනු ඇතැයි අපේක්ෂාවෙන්.

අපි රුපියල් මිලියන 10,000ක් වැය කරල ආරම්භයක් ලෙස සහල් මෙට්‍රික් ටොන් 85,000ක් මිල දී ගන්න උත්සහ කරනවා පවුල් වෙත බෙදා දෙන්න” යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.

– Media unit

විශ්වවිද්‍යාල ආචාර්යවරුන් තීන්දුවක් අරගෙන !

සියලු රාජ්‍ය විශ්වවිද්‍යාලවල අධ්‍ය්‍යන සහ විභාග කටයුතු අත්හිටුවන බව විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය අද (09) නිවේදනය කළේය.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ  මාධ්‍ය හමුවකදී පවසා සිටියේ අද සිට අඛණ්ඩ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක ද නිරතවන බවය.

එසේම එළැඹෙන 13 වැනිදා සිට සතියක් වැඩ වර්ජනයක සිට ඕනෑම වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරත වන බව ද විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගෙ සමිති සම්මේලනය පවසයි .

ලබන 15 වැනිදා මෙරට සියලු සේවා වෘත්තිය සමිති වර්ජනයක නිරත වන බව ද එම සම්මේලනය පවසයි .

මේ අතර කැළණිය විශ්වවිද්‍යාලය ආචාර්යවරුන් සහ අනධ්‍යන සේවක පිරිස් මෙන්ම කොළඹ සරසවියේ අනධ්‍යයන සේවකයෝ ද අද (09) විරෝධතාවක නිරත වෙති.

රජයේ බදු ප්‍රතිපත්තිය, ඉහළ යන ජීවන වියදමට සහ විදුලි ගාස්තුවට විරෝධය දක්වමින් එම විශ්වවිද්‍යාල ඉදිරිපිට ඔවුහු විරෝධතාවක නිරත වූහ.

මහ බැංකු අධිපති දුන්න සුබ පණිවිඩය මෙන්න !

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රමවේදය අප්‍රේල් මාසය වනවිට නිවේදනය කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි .

වාණිජ ණයහිමියන් සමඟ පැවැත්වෙන සාකච්ඡා තවත් කඩිනම් කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු පවසයි .

ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත මූල්‍ය පැකේජයේ පළමු සමාලෝචනය මාස 6කදී සිදුකිරීමට නියමිත බවත් ඊට පෙර අදාළ සාකච්ඡා සම්බන්ධයෙන් තීරණයක් ගැනීමටත් හැකිවනු ඇති බවද මහ බැංකු අධිපතිවරයා සඳහන් කරයි.

විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පවසන්නේ ශ්‍රී ලංකාවට බොහෝවිට මාර්තු 20 වනදා වනවිට විස්තීරණ මූල්‍ය පහසුකම ලැබෙනු ඇති බවට අනුමාන කරන බවය.

"විස්තීරණ මූල්‍ය පහසුකමට අදාළ මාණ්ඩලික මට්ටමේ එකඟතාවය නුදුරේදීම ප්‍රකාශයට පත්කරනවා. එහි අන්තර්ගතවෙනවා ණය ප්‍රතිව්‍යුහත කිරීම සඳහා අපේ වෑයම. එසේම මාධ්‍ය කාලීන අපේ ණය ඉලක්කයන් සම්බන්ධයෙන්ද එහි අන්තර්ගතයි. එමගින් දීර්ඝකාලීනව ණය තිරසර බව ඇතිකරගැනීම අපේ අපේක්ෂාවයි "

ලංගමට දුම් සහතිකය අනිවාර්ය කරයි !

ලංකා ගමනාගමන මණ්ඩලයේ (ලංගම) සියලුම බස් රථ දුම් සහතිකය ලබාගෙන ආදායම් බලපත්‍රය ලබාගත යුතු බවට එහි සභාපතිවරයා අනිවාර්ය කර ඇති බව වාර්තා වෙයි .

ලංගම බස් රථවලින් පරිසර දූෂණය වන්නේ යැයි චෝදනාව පිළිබඳව අවදානය යොමු කරමින් සහ ලංගම බස් රථ අනතුරුවලට ලක්වීමෙන් පසුව ආදායම් බලපත්‍රය නොමැතිවීමෙන් මුහුණ දීමට සිදුව ඇති නීතිමය ගැටලු පිළිබඳව අවධානය යොමු කරමින් එම තීරණය ගත් බවත් වාර්තා වෙයි .

සතොස භාණ්ඩ වර්ග 07ක මිල පහළට

අද (09) සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා සතොස භාණ්ඩ වර්ග 07ක මිල පහළ දමා තිබෙයි.

මේ අනුව වියළි මිරිස්, රතු පරිප්පු, පාන් පිටි, සුදු සීනි, රතු කැකුළු (දේශීය), සුදු නාඩු (දේශීය), ලොකු ලූණු යන භාණ්ඩවල මිල පහළට දමා තිබෙයි.

ඊට අදාළ සංශෝධිත මිල ගණන් පහතින් දැක්වෙයිsathosa

 

ජපානයෙන් ඩොලර් මිලියන 6.6ක්

ජපන් රජය විසින් ශ්‍රී ලංකාවේ මිලියනයක් පමණ ජනතාව සඳහා අත්‍යවශ්‍ය ආහාර හා පෝෂණ අවශ්‍යතා සැපයීම වෙනුවෙන් ඇ.ඩො. මිලියන 6.6 ක අතිරේක මුදලක් එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩපිළිවෙල වෙත ලබා දී ඇත.

මෙම ආධාරය හරහා ලෝක ආහාර වැඩපිළිවෙල විසින් සහල්, ධාන්‍ය සහ ආහාර පිසින තෙල් ඇතුළත් ආහාර මල්ලක් බැගින් ශ්‍රී ලංකාවේ අදාළ පවුල් සඳහා ඔවුන්ගේ මාසික ආහාර අවශ්‍යතාවලින් භාගයක් පමණ ආවරණය කරමින් මාස 2 ක කාලයක් සඳහා ලබාදෙනු ලැබේ.

මෙම පරිත්‍යාගය මගින් තවදුරටත් ගර්භනී සහ කිරිදෙන මව්වරුන් මෙන් ම මන්දපෝෂණ අවදානම සහිත තරුණ ළමුන් සඳහා ශක්ති ජනක ආහාරයක්වන ත්‍රීපෝෂ නිෂ්පාදනය සඳහා ඉරිඟු සහ සෝයා බෝංචි මාස 4 ක කාලයක් සඳහා ලබාදෙනු ලැබේ.

ලෝක ආහාර වැඩපිළිවෙල විසින් මෑතකදී සිදුකරන ලද සමීක්ෂණවලට අනුව ආහාර අනාරක්ෂිතතාවය ඉතාමත් ඉහළමට්ටමක පවතී. සෑම නිවාස 10කින් 7 ක් ම ප්‍රෝටීන් සහ කිරි ආශ්‍රිත නිෂ්පාදන වැනි ආහාර ලබානොගෙන සිටීම හා ආහාරවේල් මඟහැරීම වැනි ඍණාත්මක මූලෝපායන් අනුගමනය කරනු ලැබේ.

ලෝක ආහාර වැඩපිළිවෙල විසින් පසුගිය වසරේ ජුනි මාසයේදී මිලියන 2 ක පමණ ජනතාවක් ආවරණයකරමින්ආරම්භ කළ හදිසි මෙහෙයුමේ සිට මේවනවිට ආහාර හා පෝෂණ සහය අවශ්‍ය මිලියන 3.4 ක පමණ ජනතාව ඉලක්කකරමින් මෙහෙයුම් දියත් කරමින් සිටී.

තැපැල් ඡන්ද පැවැත්වෙන දිනයන් ප්‍රකාශයට පත්කරයි

පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද විමසීම මාර්තු මස 28 වන දින සිට 31 වන දින දක්වා පැවැත්වීමට සැලසුම් කර ඇති බව මැතිවරණ කොමිසම මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද පත්‍රිකා අඩංගු රක්ෂිත පැකට් තැපෑලට භාරදීම ලබන 21 වැනි දා සිදු වන බවද මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මාධ්‍ය හමුවේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

පළාත් පාලන ඡන්ද විමසීම අප්‍රේල් මස 25 වන දින පැවැත්වීමට සැලසුම් කර ඇති බවට මැතිවරණ කොමිෂන් සභාව ඊයේ (07) නිවේදනය කළේය.

ලංකා බැංකු සේවක සංගමය වර්ජනවලට නෑ !

ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට යෝජිත වැඩ වර්ජනය සඳහා සහාය නොදෙන බව ලංකා බැංකු සේවක සංගමය පවසා ඇත.

ඒ අනුව අඛණ්ඩ වැඩ වර්ජන හෝ දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග මේ මොහොතේ ක්‍රියාත්මක කිරීමට සැලසුමක් නැති බව එහි ලේකම් ධනංජය සිරිවර්ධන සඳහන් කරයි.

රජය මේ මොහොතේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ වෙනත් ජාත්‍යන්තර ආයතන සමඟ ආර්ථික වැඩපිළිවෙළක සිටින නිසා ඊට බාධා වන ආකාරයේ කටයුතුවලට එක් නොවන බවද ඔහු පවසයි.

මෙරට ආර්ථිකයේ ප්‍රධානම මර්මස්ථාන යක් ලෙස සැලකෙන ලංකා බැංකුව මේ මොහොතේ තවදුරටත් රටේ ආර්ථිකයට අගතිදායක කිරීමට දායක නොවන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

මධ්‍යම සංස්කෘතික අරමුදලේ අක්‍රමිකතා විමර්ශනයට කමිටුවක් !

මධ්‍යම සංස්කෘතික අරමුදලේ අක්‍රමිකතා විමර්ශනය කිරීම සඳහා විශ්‍රාමලත් අධිකරණ විනිසුරුවරයකුගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවක් පත් කිරීමට කෝප් කමිටුව නිර්දේශ කර ඇත.

ඒ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව මහාචාර්ය රංජිත් බණ්ඩාර මන්ත්‍රීවරයාගේ සභාපතීත්වයෙන් ඊයේ (07) රැස්වූ අවස්ථාවේය.

තවද විශේෂ විගණන වාර්තාවෙන් මතු කෙරුණු කරුණු විමර්ශනය කිරීම සඳහා අමාත්‍යාංශ ලේකම්වරයා විසින් පත්කරන ලද අභ්‍යන්තර විමර්ශන කමිටුව පිළිබඳවද දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමටද එහිදී එකඟත්වයක් ඇතිව තිබේ.

මධ්‍යම සංස්කෘතික අරමුදලේ පාලක සභාවේ රැස්වීම් පැවැත්වීම පිළිබදවත් අරමුදල් ‍විධිමත් ලෙස වියදම් කර තිබේද යන්න පිළිබදවත් පසුගිය කෝප් රැස්වීමේදී දිර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබිණ. විශේෂයෙන් පාලක සභාවේ 209 වන රැස්වීමේ වලංගුභාවය පිළිබඳවද සාකච්ඡා කිරීමට එකඟත්වයක් ඇතිවිය.

අදාළ 209 වැනි රැස්වීමේ තීරණ වලට එකඟතාව පළ කර ඇත්තේ සාමාජිකයන් 11 දෙනාගෙන් 07 දෙනෙකු පමණක් බවත් හිටපු අග්‍රාමාත්‍යවරයා ඇතුළු 04 දෙනෙක් සිය අත්සන් යොදා නොමැති බවත් විගණකාධිපතිවරයා පෙන්වා දුන්නේය.

අත්සන් කළ හත් දෙනා මෙම රැස්වීමේ අත්සන් නාමලේඛනයට යොදා ඇති අත්සන් සහ ඔවුන් මීට පෙර පාලක මණ්ඩල රැස්වීම් වලදී යොදා ඇති අත්සන් අතර නොගැලපීමක් නිරීක්ෂණය වන බව සඳහන් කළ විගණකාධිපතිවරයා, අදාළ 209 වැනි පාලක මණ්ඩල රැස්වීමේ තීරණ 210 වැනි රැස්වීමේදී සම්මත වීමක්ද සිදුවි නොමැති බව පැවසීය.

එමෙන්ම අදාළ පාලක මණ්ඩලයේ සමාජිකත්වය දැරූ එවකට අග්‍රාමාත්‍ය ලේකම් සහ වත්මන් ජනාධිපති ලේකම්වරයා එවැනි රැස්වීමකට තමා සභාගී නොවූ බවට තහවුරු කරන ලද බවද මෙහිදී විගණකාධිපතිවරයා සඳහන් කළේය.

ඒ අනුව දිර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමෙන් අනතුරුව කෝප් සභාපතිවරයා බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ ලේකම්වරයාට ඉහත නිර්දේශය කළේය.

රනිල් යුගයේ ඇරඹුම !

අසත්‍යයට, බොරුවට ඉඩක් ඇත්තේ සත්‍ය අනාවරණය වන තුරු පමණය. අසත්‍ය විසින් කොහොම සත්‍ය යටපත් කරන්න හැදුවත් දියේ ගිල්ලවන්නට වෙර දරන රබර් බෝලයක්, යළි යළිත් දිය මතුපිටට පැමිණෙනවා මෙන් අසත්‍ය දෙබෑකරගෙන සත්‍ය මතුපිටට පැමිණෙයි. එපමණක් නොව එහිදී සත්‍ය විසින් අසත්‍ය මුළුමනින්ම නිරාවරණය කරයි. මාර්තුව ඇරැඹුණේද එහෙමය. ඒ පසුගිය කාලය පුරා නරුම විපක්ෂය නිතර මතුරා වැපුරූ අසත්‍යයක් අනාවරණය කරමින්ය. එනම් ජනවරමක් නැති ජනාධිපති රනිල්ට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF ) සමඟ සාකච්ඡා මිස මූල්‍ය සහයක් නම් නොලැබෙන බවය.

විපක්ෂයේ මේ අසත්‍ය වැපිරීම ඇරඹුණේ ජනාධිපති ධුරය සඳහා රනිල් වික්‍රමසිංහ පත්වූ අවස්ථාවේ සිටමය. එහිදී විපක්ෂය කියා සිටියේ ජනාධිපතිට කිසිදු ජාත්‍යන්තර දේශපාලන සහායක් නොමැති බවය. ඊට හේතුව ලෙස විපක්ෂය කිව්වේ, ජනාධිපතිට ජනවරමක් නැති බවය. නමුත් ජනාධිපති ධුරය ලබා මාස කිහිපයක් යන තැන විපක්ෂයේ ඒ සියලු චෝදනා බොරු බව ජනාධිපති රනිල් ඔප්පුකර පෙන්වීය. එපමණක් නොව ශ්‍රී ලංකාව මුහුණදී සිටින ඉතිහාසයේ දරුණුම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා කඩිනමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වැඩසටහනකට යාම අත්‍යවශ්‍ය බවත් නැතහොත් රට මුහුණදී ඇති අර්බුදය තවත් දශක ගණනාවක් ඇදී යනු ඇති බවද පැවසීය.

එහිදී ද විපක්ෂය චෝදනා කළේ මෙරට දේශපාලනය අස්ථාවර නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සමඟ වැඩසටහනක් සඳහා යොමු නොවන බවය. රනිල්ගේ ආණ්ඩුවට ජන වරමක් නැති නිසා IMF මූල්‍ය සහනයක් නොලැබෙන බවය. IMF සහාය ලැබීමට නම් කඩිනමින් මැතිවරණයක් පවත්වා ජනතා සහය ඇති ආණ්ඩුවක් පිහිටවිය යුතු බවය. රටේ ආර්ථිකය නැත්තටම වැටී අන්තිම හුස්ම හෙළමින් සිටි පසුබිමේ විපක්ෂයේ පාර්ශ්ව හොද්ද බොර කරගන්න ගියේ එහෙමය. ඒ හමුවේ ජනාධිපතිවරයාගේ හැසිරීම සිහිපත් කළේ "ලෙඩ්ඩු කළබල වුණාට දොස්තර කළබල නෑ" යන කියමනය. විපක්ෂයේ මේ කිසිම කතාවකට පිළිතුරු දෙන්න ජනාධිපති රනිල් කටයුතු කළේ නැත. ඒ වෙනුවට ඔහු කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලංකාවේ ණය හිමියන් සහ ලෝක බැංකුව ඇතුළු රාජ්‍ය සහ සංවිධාන සමඟ තම නියෝජිතයන් යොදවා අඛණ්ඩව සාකච්ඡා පැවැත්වීමය. මාස කිහිපයක් තිස්සේ සිදුකළ ඒ සාකච්ඡාවල ප්‍රතිඵල දැන් පැමිණ ඇත.

එනම් ශ්‍රි ලංකාව ඉල්ලුම් කර තිබෙන ඩොලර් බිලියන 2.9 ක විස්තීරණ ණය පහසුකම ලබාදීම, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් අනුමත කර ඇති බවය. ඒ සම්බන්ධයෙන් අද හෙටම දිනයක නිල ප්‍රකාශයක් මුල්‍ය අරමුදල විසින් සිදු කිරීමට නියමිතය.

ණයහිමියන්ගේ එකඟත්වය

ණය පහසුකම් ලබාගැනීම වෙනුවෙන් මුල්‍ය අරමුදල විසින් ඉදිරිපත් කරනු ලැබු ආර්ථික ප්‍රතිසංස්කරණ නිර්දේශ සියල්ල මේ වන විට ශ්‍රි ලංකාව සපුරා තිබෙන අතර ප්‍රධාන කොන්දේසිය වූ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළව එම සියලු ණයහිමියන්ගේ එකඟත්වය ද ලැබී ඇත. අවසන් වශයෙන් චීනයද ඒ සඳහා ඇති එකඟත්වය පසුගියදා පළ කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබිණ.

එසේම පසුගිය 02 වනදා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ ක්‍රිස්ටෙලා ජොර්ජිවා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර විශේෂ සාකච්ඡාවක් සූම් අන්තර්ජාල යෙදවුමක් හරහා සිදුව තිබිණි. එහිදී ණය පහසුකම ලබාගැනීම සහ ණය ප්‍රතිවයුහගත කිරීම සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබු අතර ණය පහසුකම් ලැබීම සම්බන්ධයෙන් එහිදී සුබවාදී ප්‍රතිචාරයක් හිමිව තිබිණි. ඇය මෙම සාකච්ඡාවට සම්බන්ධ වූයේ චීන අගමැතිවරයා සමඟ කළ සාකච්ඡාවෙන් අනතුරුව වීමද විශේෂත්වයක් ය. චීන අගමැති ලී කෙකියැං සමඟ IMF කළමනාකාර අධ්‍යක්ෂවරිය සිදුකළ සාකච්ඡාවේදී ණය අර්බුදයට මුහුණ දෙන ශ්‍රී ලංකාව වෙනුවෙන් තමන්ගේ සහාය ලබාදීමට විවෘතව සිටින බව චීන අග්‍රාමාත්‍යවරයා සහතිකව ඇති බවත් දැනගන්නට ඇත.

මේ සමඟ IMF සමඟ වැඩසටහනකට යාමේ අවස්ථාව මෙරටට හිමි වෙයි. ඒ සමඟ පසුගිය සමයේ වූ වැරදි, ජනප්‍රියවාදී ආර්ථික උපාය මාර්ග හමුවේ නිල වශයෙන් බංකොලොත් බව ප්‍රකාශ කිරීම නිසා ලෝකයේ කිසිදු රටක්, මූල්‍ය ආයතනයක් සමඟ මූල්‍ය ගනුදෙනුවක් කිරීමට තිබූ බාධාවද ඉවත්ව යයි.

මේ හමුවේ නිරාවරණය වන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහාය ශ්‍රී ලංකාවට නොලැබෙන බවට හෝ තවත් මාස ගණනක් කල් යන බවත් ජනවරමක් නැති ආණ්ඩුවකට ණය නොදෙන බවත් ආදී වශයෙන් මේ වනතුරුත් ඇතැම් විපක්ෂ කොටස් ප්‍රචාරය කරමින් සිටි අසත්‍යයයි. විපක්ෂයේ නරුම දේශපාලනය විසින් ඒ අවස්ථාවේ සඟවනු ලැබුවේ, IMF ඇතුළු ජාත්‍යන්තර මුල්‍ය බලවතුන් ගනුදෙනු කරන්නේ ශ්‍රී ලංකාව කියන රාජ්‍යය සමඟ මිස රනිල්ගේ ආණ්ඩුව සමඟ නොවන බවය. කොහොම නමුත් විපක්ෂය මූලිකව ගොඩනැගූ ඒ අසත්‍යයේ අවසානයේ සැරටම ගිලුණේ විපක්ෂ නායක සජිත්ය. ඔවුන්ම ගොඩනැගූ අසත්‍යයේ සජිත් කොච්චර ගිලුනාද කිව්වොත්, "මේ ආණ්ඩුව සමඟ IMF ඇතිකර ගන්න ගිවිසුම්වලට අපේ සජබ ආණ්ඩුවක් යටතේ වලංගු නැති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සිහි තබාගත යුතුයි" කියා තග දමන තැනට පහතට වැටිණ.

නමුත් වත්මන් ප්‍රතිඵල ඔප්පු කර ඇත්තේ කතා සාප්පු වලට, ඊනියා කයිවාරුවලට ජනාධිපතිවරයාගේ වැඩ පිළිවෙළ සීමා කරන්න හෝ කඩාකප්පල් කරන්න නොහැකිව ඇති බවය. නමුත් ඒ උත්සාහය ඔවුන් අත්හැර නොමැති බවත් ජනතාව සිහිතබා ගතයුතුව ඇත. විශේෂයෙන් ජනාධිපතිවරයා ක්‍රියාත්මක කරතිබෙන ආර්ථික ප්‍රතිසංස්කරණ කඩාකප්පල් කිරීමට ඔවුන් ඕනෑම වන්දියක් ගෙවීමට සූදානමක් ඇති බව පෙනෙන්නට ඇත. ඊට ආසන්නතම උදාහරණය වන්නේද IMF මූල්‍ය පහසුකම මෙතරම් කඩිනමින් අනුමතකර ගැනීමට හැකිවීමය. අර්බුදය විසඳා ගැනීම සඳහා අත්‍යවශ්‍ය කාරණයක් බවට පත්ව තිබුණේ මුල්‍ය අරමුදලේ සහාය ලබාගැනීම පමණය. දහසකුත් බාධා මධ්‍යයේ මේ කටයුත්ත මෙතරම් කඩිනම් වුයේ ජනාධිපතිවරයා ආර්ථික අර්බුදය විසඳීම සඳහා ගත යුතු පියවර නිසි වේගයෙන් ගෙන සෘජුව ක්‍රියාත්මක කිරීමට තරම් එඩිතර වීම නිසාය. එසේ නොවන්න තවත් මාස කිහිපයක් ගියා නම් රට පත්වන්නේ පසුගිය වසරේ මැයි - ජූලි මාසවල රට තිබූ තත්ත්වයටත් අන්ත තත්ත්වයකටය. ඒ අනුව IMF වැඩසටහන සඳහා යොමු වීම සාර්ථක කර ගැනීම එම පියවර ක්‍රියාත්මක කිරීමට හැකි වීම මේ මොහොතේ සියලු ලක්වාසීන් ලැබූ ඉහළම ජයග්‍රහණයක් වන අතර මිලියන 22 ක ජනතාව විසින් අනිවාර්යයෙන් සැමරිය යුතුද මොහොතකි.

එසේ වුවත් දේශපාලනය කියන්නේ බල ක්‍රීඩාවක් නිසා ජනාධිපතිට සිතුසේ සෙල්ලම් කරන්න දෙන්න විපක්ෂය සූදානම් නැත. ඒ නිසාම ඔවුන් දැන් IMF ගැන කියූ බොරු පසෙකට ගෙන සටන් පාඨ මෙන්ම සටන් පෙරමුණුද වෙනස් කර ඇත. විපක්ෂය දැන් යළිත් සටන් පෙරමුණක් නිර්මාණය කරන්න කැස කවන්නේ ආදායම් බදු ප්‍රතිශතය ඉහළ දැමීමට එරෙහිවය. මේ සම්බන්ධව වෘත්තීයවේදීන් යැයි කියාගන්නා පිරිසක් පසුගියදා මාධ්‍ය සංදර්ශනයක් පවත්වා තර්ජනය කර සිටියේ, 53 හර්තාලය ගැන අහලා තිබුණාට දැක නොමැති කාටත් මාර්තු මාසයේ එය අත්දකින්න ලැබෙනු ඇති බවය. ඒ ආකාරයේ තර්ජනයක් ඔවුන් එල්ල කරන්නේ ආදායම් බදු ප්‍රතිශතය වැඩි කිරීමට එරෙහිවය. ආණ්ඩුව සිය ප්‍රතිපත්තිය හකුළා ගන්නේ නැත්නම් 53 හර්තාලයටත් වඩා දරුණු වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා තැනට කටයුතු කර රටම ඇනහිටවන බවය. මේ වෙනුවෙන් තීන්දුවක් ගැනීමට ආණ්ඩුවට ඔවුන් විසින් ලබාදී ඇති අවසන් දිනය මාර්තු 08 වනදාය.

රජයේ ආදායම

විපක්ෂ කොටස්වල සහ ඉහළ වෘත්තිකයන්ගේ කුහක වෘත්තීය සමිතිවල විරෝධයට ලක්ව තිබෙන රජයේ නව බදු සංශෝධනය, පිළිබඳව IMF ප්‍රමුඛ ජාත්‍යන්තර මූල්‍ය බලවතුන් පවසන්නේ රජය ගත් මේ පියවර නිවැරදි මෙන්ම කාලෝචිත බවය. විශේෂයෙන් නව බදු ප්‍රතිපත්තිය හරහා හඳුන්වාදී තිබෙන පුද්ගලික ආදායම් බදු අනුපාතය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අනුමත කරන බවද එම සංවිධාන පවසයි. ලංකාවේ ප්‍රධාන අර්බුදය වන්නේ වියදම් පියවා ගැනීමට ප්‍රමාණවත් ලෙස ආදායම් නොලැබීමය. 2021 වසරේ දී දළ ජාතික නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස බදු ආදායම 7.3% කි. එය ලෝකයේ අනෙකුත් රටවල් හා සසඳා බැලීමේ දී අඩු බදු එකතු කිරීමකි. එම තත්ත්වය 14% -15% ක ආසන්නයටවත් ගෙන ඒමට අසමත් වුවහොත් රටට සිදුවන්නේ තවදුරටත් අර්බුදයේම ගිලී වැනසෙන්නටය.

අවිචාරශිලී බදු සහන

එමෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අවධාරණය කළ කරුණක් වන්නේ රජයේ ආදායම් වියදම් අතර තිබෙන අධික පරතරය පියවීම සඳහා මූල්‍ය පහසුකම් ලබාදීමට බාහිර ණය හිමියන් ප්‍රතික්ෂේප කරන බවය. ඒ තම රටවල වැසියන්ගෙන් බදු හරහා අයකර ගන්නා බදු මුදල්, එසේ බදු අයකර ගැනීමට අසමත් වීම ආර්ථික අර්බුදයේ කොටසක් බවට පත්කරගෙන සිටින රටකට ලබාදීම ප්‍රශ්නයක් කියාය. එය ඇත්තය. අඩුම තරමින් ණයක් ගන්න රටකට ඒ හැකියාවවත් තිබිය යුතුය. ඒ අනුව රජයේ ආදායම් ඉහළ නංවාගැනීම සඳහා බදු සංශෝධනය අත්‍යාවශ්‍ය බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අදහස විය. එමෙන්ම මෙම බදු සංශෝධනය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් බාහිර ණය හිමියන්ගේ විශ්වාසය නැවත දිනා ගැනීමට ද අත්‍යාවශ්‍යය. ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුව ක්‍රියාවට නැංවූයේ ඒ ප්‍රතිපත්තිය ය.

මේ සියල්ල සඟවන විපක්ෂයේ බදු විරෝධී පිල්ලි සත්‍ය විකෘති කරන්න ගෙන ඇත්තේ, රජය බදු වැඩි කර ඇත්තේ වෘත්තිකයන්ට නැතිනම් ලක්ෂයට වඩා වැටුප් ලබාගන්නා අයට පමණක් බව හැඟෙන ප්‍රකාශ සිදුකරමින් ය. විශේෂයෙන්ම මහා පරිමාණ පෞද්ගලික සමාගම්, ව්‍යාපාරයන් ආදියෙන් නියමිත බදු අය කරගන්නේ නැති බව, එම පාර්ශ්වවලට බදු සහන හිමිවීම හෝ බදු පැහැර හැරීමට අවස්ථාව දී ඇති බවත් කියමින් ඇත. ඒ නිසා බදු හොරුන්ගෙන් බදු අයකර නොගෙන මේ ඉහළ වෘත්තිකයන්ගෙන් බදු අය කරගැනීම අසාධාරණ බව මේ පිරිසේ කයිවාරුවය. නමුත් මෙය ප්‍රලාපයකි. 2021 වසරේ බදු අය කරගැනීම් සහ 2023 වසරේ බදු ඇස්තමේන්තු පරික්ෂාකර බැලුවහොත් ඉතා පැහැදිලිව විශාල වශයෙන් බදු අය කරගැනීමක් සිදුකර ඇත්තේ කවරෙකුගෙන්ද යන්න පැහැදිලි වෙනු ඇත. 2021 දී උපයන විට බදු ආදායම වූයේ රුපියල් මිලියන 15,353 කි. එය මිලියන 100,000 කට ගෙන ඒම මෙම වසරේ අපේක්ෂාවය. එමෙන්ම ආයතනික ආදායම් බදු ලෙස 2021 දී ලැබුණේ රුපියල් මිලියන 249,837 කි. එය රුපියල් මිලියන 597,000 දක්වා මෙම වසරේදී අපේක්ෂා කරයි. මේ ආකාරයෙන් මෙරට පවතින බදු වර්ග 20 කින් පමණ බදු ආදායම් ඉහළ දැමීම සිදුකර ඇත. ඒ අනුව 2021 දී රුපියල් මිලියන 302,115ක් වූ එම බදු ආදායම රුපියල් මිලියන 912,000 දක්වා ඉහළ නංවා ගැනීමට අපේක්ෂිතය. සමස්ත බදු ආදායමෙන් උපයන විට බදු ප්‍රතිශතය 11% ක් පමණය.

2021 වන විට බදු ආදායම් පහළ වැටුනේ කිසිදු වග විභාගයක් නැතිව බදු සහන දෙමින් බදු ලිපිගොනු ප්‍රමාණය ලක්ෂ 5 කට ආසන්නව පහත දැමීම නිසාය. 2019 වන විට බදු ලිපි ගොනු ලක්ෂ 14ක් ඉක්මවා තිබුණු අතර එය තවදුරටත් පුළුල් කර බදු නොගෙවන එහෙත් ඉහළ ආදායම් ලබන පිරිස බදු ක්‍රියාවලියට දායක කරගැනීමේ සැලසුම් සකස් කර තිබිණි. එම ක්‍රියාමාර්ග සියල්ල අත්හිටුවීම මත රාජ්‍ය ආදායම අඩකින් පමණ අහිමි වී රට බංකොලොත් විය. රටේ ආර්ථිකය 2019 වසරේ තත්වයට හෝ ගෙන ඒමට නම් එම වසරේ ක්‍රියාත්මක බදු ක්‍රමය යටතේත් තවත් පහක් හයක් ක්‍රියාත්මක කළ යුතුව තිබිණි. නමුත් රට තවත් කඩා වැටීම වැළැක්වීමට නම් ඊට පෙර කඩිනමින් ගත යුතු ක්‍රියාමාර්ග මඟ හැරිය නොහැකි විය. ඒ අනුව එකවර වැඩි ප්‍රතිශතයකින් බදු වැඩි කිරීමටත් බදු නොගෙවා සිටි අය එම ක්‍රියාවලියට සම්බන්ධ කරගැනීමෙත් දැඩි පියවරකට යෑම රජයට අනිවාර්ය විය. එය සාර්ථක වුවහොත් රාජ්‍ය ආදයම යම් ස්ථාවරත්වයකට පත් වී අනෙක් ආදායම් මාර්ග විවර වීමත් සමඟ මෙම වසර අවසන් වන විට විශේෂයෙන්ම උපයන විට බදු ගෙවන පිරිස් වෙත යම් බදු සහනයක් ලැබීමේ හැකියාව තිබේ. එතෙක් බදු බර දරන්න වෙනු ඇත. ඒ වැළැක්විය නොහැකිය. එහෙත් ඇත්ත ප්‍රශ්නය මේ බදු බර නොවේ. ඔවුන්ගේ ණය තුරුස්ය. එය නම් විසඳා ගතයුතුව තිබෙන්නකි.

එඩිතර නායකත්වය

කොහොම නමුත් මේ වන විට උද්ධමනය වේගයෙන් පහළ යමින් ඇත. ඩොලරයේ අගයත් යම් තරමකින් අඩුව ඇත. පොලී අනුපාතය ද අඩු වෙමින් තිබේ. ශ්‍රී ලංකාව මිහිමත ශාපලත් රටක් වීමේ අනතුර දැන් මුළුමනින්ම පහව යමින් ඇත. ඒ සියල්ල සිදු වූයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගත් කඩිනම් හා නිවැරදි ක්‍රියාමාර්ග නිසාය. ජනාධිපතිවරයා පෙන්වා දෙන පරිදි මෙම වසර අවසන් වන විට සියලු දෙනාටම යම් සහනදායක කාලයක් උදා වීමක් සිදුවෙනු ඇත. ඒ බව බොහෝ ආර්ථික විශේෂඥයන් පවා අවධාරණය කරන්නක් ය. කෙසේ හෝ මේ මොහොත රටට අත්පත් කරදුන්නේ රනිල් වික්‍රමසිංහගේ එඩිතර නායකත්වයය. ඒද විපක්ෂයේ කිසිම සහායක් නොමැතිවය. දැන් ඇත්තේ ඊළඟ පියවර ක්‍රියාවට නැංවීමය. එනම් 2048 බලගතු සංවර්ධිත ශ්‍රී ලංකාවක් ගොඩනැඟීම සඳහා ජනාධිපතිවරයාගේ ආර්ථික වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම වේගවත් කිරීමය. මෙය ශ්‍රි ලංකාවේ විප්ලවීය සමයක් ලෙස හැඳින්විය හැකි තරම් බරපතළ ව්‍යුහමය වෙනසක් කරන පළමු අවස්ථාව බව කිව යුතුය. 1978 දී ආර්ථිකය විවෘත කිරීමට එහා ගිය වෙනසක් මෙවර ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් සිදුවෙමින් තිබේ. ඒ අනුව මේ මොහොත කියන්නේ "රනිල් යුගයේ ආරම්භය" ය.

 කුලසිරි ලියනගේ

Page 137 of 385