V2025

පුවත්

වත්මන් බදු ප්‍රතිපත්තිය ගලවා ගැනීමේ මෙහෙයුමක් - ජනාධිපති

වත්මන් බදු ප්‍රතිපත්තිය, සාමාන්‍ය බදු ප්‍රතිපත්තියක් නොව, ගලවා ගැනීමේ මෙහෙයුමක් බවත් මෙම ක්‍රියාවලිය කඩාකප්පල් වුවහොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වැඩසටහනට ඇතුළත්වීමට නොහැකි වෙනවා සේම ශ්‍රී ලංකාවට කිසිඳු විදෙස් රටක් සමඟ ගනුදෙනු කිරීමට අවස්ථාව නොලැබෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

2023 වසර සඳහා ඉදිරිපත් කළ අය වැය ද සාමාන්‍ය අය වැයක් නොව, වැටී ඇති ආර්ථිකය ගොඩනැංවීමේ මෙහෙයුමක් බව ජනාධිපතිවරයා සඳහන් කළේ ය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ අද (21) පස්වරුවේ කොළඹ කිංස්බරි හෝටලයේදී පැවති “2023 බදු සමුළුව” ආරම්භක දේශනය සිදු කරමිනි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යෝජනා ඉදිරිපත් කර තිබුණේ ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය පමණක් බව මෙහිදී පැවසූ ජනාධිපතිවරයා ඒ හැර වෙනත් කිසිදු ආයතනයක්, පක්ෂයක් හෝ පුද්ගලයෙක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යෝජනා හෝ විකල්ප ඉදිරිපත් නොකළ බව සඳහන් කළේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟතාවයට එළැඹි වහාම ඒ පිළිබඳ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත්, එය සම්මත කිරීමට හෝ ප්‍රතික්ෂේප කිරීමට ඕනෑම අයෙකුට අවස්ථාව ඇති බවත් පැවසූ ජනාධිපතිවරයා යම් පාර්ශ්වයක් එය ප්‍රතික්ෂේප කරන්නේ නම් ඔවුන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට විකල්ප යෝජනා ඉදිරිපත් කළ යුතු බව ද කියා සිටියේය.

තවද මෙරට ප්‍රධාන ණය හිමියන් වන පැරිස් සමාජය, ඉන්දියාව සහ චීනය සමඟ වන ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය පිළිබඳ අදහස් දක්වමින් ජනාධිපතිවරයා සඳහන් කළේ ශ්‍රී ලංකාව වෙනුවෙන් තම මූල්‍ය සහාය දැක්වීමට මේ වන විට පැරිස් සමාජය සහතික වී ඇති බවයි. මෙහිදී ඉන්දියාව ද තමන්ටම ආවේණික ක්‍රමවේදයක් අනුගමනය කළ නමුත් චීනය තම ක්‍රමවේදය පිළිබඳව මෙතෙක් එකඟතාව පළ කර නොමැති බව ද ජනාධිපතිවරයා පැවසීය. කෙසේ වුවද එළැඹෙන 23 වැනිදා ඉන්දියාවේ බැංගලෝර් නගරයේ දී පැවැත්වෙන ජී- 20 රටවල මුදල් ඇමතිවරුන්ගේ සාකච්ඡාවේ දී ඔවුන්ගේ ස්ථාවරත්වය දැනුම් දෙනු ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේය.

“2023 බදු සමුළුව” ශ්‍රී ලංකා අළෙවිකරණ ආයතනය විසින් සංවිධානය කර තිබිණ.

View the embedded image gallery online at:
http://newstube.lk/news?start=2538#sigProId540093b15a

ලංවීම වෘත්තීය සමිති තවත් දීමනාවක් ඉල්ලයි !

ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන්ට මෙතෙක් නොගෙවූ 2021 වසරේ වෛද්‍ය නිවාඩු දිරිදීමනාව ලබාදෙන ලෙස එහි වෘත්තිය සමිති පාලන අධිකාරියෙන් ඉල්ලා ඇතැයි වාර්තා වෙයි.

මේ වන විට පවතින ආකාරයට විදුලිබල මණ්ඩලයේ සේවකයෙක් වසරකට හිමි වෛද්‍ය නිවාඩු 21 ලබානොගත හොත් මාසික වැටුපක දිරිදීමනාවක් හිමිවන අතර ඉතිරිව තිබෙන නිවාඩු ගණන අනුව සෙසු දීමනාව තීරණ වේ.

මෙහිදී වෘත්තීය සමිති පවසන්නේ විදුලිබල මණ්ඩලයේ සේවකයන්ට පසුගිය වසර (2022) සඳහා ප්‍රසාද දීමනාව සහ වෛද්‍ය නිවාඩු දිරිදීමනාව ද මේ දක්වා ලැබී නොමැති බවය.

කෙසේ වුවත් විදුලි බල මණ්ඩලය පවසන්නේ ‘කොවිඩ්’ වසංගත තත්වය පැවැති 2021 වසරේ සඳහා ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන්ට ප්‍රසාද දීමනා ගෙවුවද වෛද්‍ය නිවාඩු දිරිදීමනාව ගෙවා නොමැති බවත් සේවකයන් වැඩි කාලයක් නිවසේ සිට කටයුතු කිරීම හේතුවෙන් එය නොගෙවූ බවත්ය.

එසේම වෘත්තීය සමිති වල මෙම ඉල්ලීමට අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අනුමැතිය මේ දක්වා ලැබී නොමැති බවද වාර්තා වෙයි.

පාඩු ලබන ඩිපෝ පෞද්ගලික අංශයට !

ලංකා ගමනාගමන මණ්ඩලයේ පාඩු ලබන ඩිපෝ ආයතන පෞද්ගලික අංශයේ හෝ වෙනත් පාර්ශ්වයකට ලබා දෙන ලෙස මහා භාණ්ඩාගාරය මගින් දැනුම් දී ඇතැයි ප්‍රවාහන මහාමාර්ග සහ ජනමාධ්‍ය කැබිනට් අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ අද (21) ඉන්දීය ණය ආධාර යටතේ ලැබුණු බස් රථ 40 ක් බෙදාදීම නිමිත්තෙන් පනාගොඩ අශෝක් ලේලන්ඩ් ආයතනයේ පැවැති සාකච්ඡාවකදී අදහස් දක්වමින්ය.

මේ වන විට රියදුරන් සහ කොන්දොස්තරවරුන් ගේ හිගය නිසාවෙන් බස් ඩිපෝ 107 ක බස් රථ 800 ක් ධාවනයෙන් ඉවත්ව ඇති බවත් ඒ වෙනුවෙන් රාජ්‍ය සේවා කොමිසමේ අනුමැතියට යටත්ව කොන්ත්‍රාත් පදනම යටතේ රියදුරන් සහ කොන්දොස්තරවරැ 1600 දෙනෙකු තාවකාලික පදනම මත බදවා ගැනීමට නියමිත බවද අමත්‍යවරයා මෙහිදී වැඩි දුරටත් සඳහන් කර ඇත.

බැංකුකරණය සහ මූල්‍ය සේවා පිළිබඳ කාරක සභාවේ සාමාජිකයන් මෙන්න !

පාර්ලිමේන්තුවේ අලුතින් ස්ථාපිත කළ බැංකුකරණය සහ මූල්‍ය සේවා පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා තේරීම් කාරක සභාව විසින් නම් කරන ලද මන්ත්‍රීවරයන්ගේ නම් කථානායක මහින්ද යාපා අබේවර්ධන අද (21) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 122 හි විධිවිධාන සහ 2023 පෙබරවාරි 10 දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාව ප්‍රකාරව මෙසේ මන්ත්‍රීවරයන් නම්කර ඇත.

ඒ අනුව ශෙහාන් සේමසිංහ, අනුප පස්කුවල් , චමල් රාජපක්ෂ , නීතිඥ අනුර ප්‍රියදර්ශන යාපා , ගාමිණී ලොකුගේ , උදය ගම්මන්පිල , ඉරාන් වික්‍රමරත්න , අජිත් මාන්නප්පෙරුම , බී. වයි. ජී. රත්නසේකර , එම්. ඒ. සුමන්තිරන් , චමින්ද වි‍ජේසිරි , සම්පත් අතුකෝරල , කරුණාදාස කොඩිතුවක්කු , කෝකිලා ගුණවර්ධන , යදාමිණී ගුණවර්ධන සහ රංජිත් බණ්ඩාර යන මැති ඇමතිවරුන් බැංකුකරණය සහ මූල්‍ය සේවා පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා නම් කර ඇත.

වී අස්වනු ඉහළ නංවන සැළැස්මක් !

ශ්‍රී ලංකාවේ වාර්ෂික වී අස්වැන්න ඉහළ නැංවීම අරමුණු කරගනිමින් ඉදිරි වසර 10ක් තුළ හෙක්ටෙයර් එකකට ලැබෙන අස්වැන්න මෙට්‍රික් ටොන් 5.5ක් දක්වා ඉහළ නැංවීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් සැලසුම් කර තිබේ.

මෙම වැඩ පිළිවෙළ යටතේ වසර තුනක් තුළ ටොන් 4.7ක් දක්වාත්, වසර පහක් තුළ ටොන් 5.1ක් දක්වාත් , වසර 10ක් තුළ ටොන් 5.5ක් දක්වාත් වී අස්වැන්න ඉහළ නැංවීම අරමුණු කර ගනිමින් සියලු අංශ ඒකාබද්ධ වෙමින් වැඩපිළිවෙළක් ආරම්භ කර ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මාලතී පරසුරාමන් මහත්මිය පැවසුවාය.

ශ්‍රී ලංකාවේ වී වගාව ඉහළ නැංවීම ඉළක්ක කර ගනිමින් වී වගාව ආශ්‍රිතව පර්යේෂණ සිදු කර තිබෙන සියලු කණ්ඩායම් ඒකාබද්ධ වෙමින් මේ වනවිට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වැඩ පිළිවෙළක් ආරම්භ කර තිබේ.

දැනට අප රටේ හෙක්ටෙයාර් එකකින් ලබන වී අස්වැන්න මෙට්‍රික් ටොන් 3.5ක් පමණ වේ.

ඒ අනුව බීජ නිෂ්පාදනය, පාංශු පරීක්ෂාව, කාබනික හා රසායනික පොහොර ඵලදායීව යොදා ගැනීම, වී වගාවට නව තාක්ෂණය හඳුන්වා දීම, අස්වනු අලෙවි කිරීම හා කල් තබා ගැනීම හා කෘමිනාශක හා වල්නාශක භාවිතය ආදි සෑම අංශයක්ම ඉළක්ක කරමින් මෙරට වී වගාව පුළුල් කිරීමට අවධානය යොමු කර තිබේ.

මෙම සාකච්ඡාවට සහභාගි වූ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා දැනට වී වගාවේ අඩුම අස්වැන්නක් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන් වන බැවින් බස්නාහිර පළාතේ හා තෙත් කළාපයේ කුඹුරුවලින් ඉහළ අස්වැන්නක් ලබා ගැනීමට හැකි වී ප්‍රභේද හඳුන්වා දීමට පියවර ගන්නා ලෙස උපදෙස් දුන්නේය.

බතලගොඩ වී පර්යේෂණායතනය විසින් නිපදවා ඇති BG 369 නැමැති වී ප්‍රභේදය බස්නාහිර පළාතේ කුඹුරුවලින් ඉහළම වී අස්වැන්නක් ලබා ගැනීම සඳහා නිර්දේශ කළ හැකි බවත්, එම වී ප්‍රභේදය මගින් හෙක්ටෙයාර් එකකට වැඩිම වී අස්වැන්නක් ලබා ගැනීමට හැකි බවත් බතලගොඩ වී පර්යේෂණායතනයේ අධ්‍යක්ෂ ආචාර්ය ජයන්ත සේනානායක මහතා සාකච්ඡා කළේය.

මෙම වසර තුළ බීජ වී නිෂ්පාදනය සඳහා හෙක්ටෙයාර් 8000ක් වෙන් කෙරේ. ඒ සඳහා ගොවින් 10,000කට විශේෂ පුහුණුවක් ද ලබා දීමට නියමිතය. ඒ මගින් සමස්ත බීජ වී අවශ්‍යතාවයෙන් සියයට 25ක් නිපදවීම ඉළක්ක කර ඇති බව ද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

රජය ගෙනයන වැඩපිළිවෙළට විකල්ප ඇත්නම් ඒවා IMF වෙත ඉදිරිපත් කිරීමට සූදානම් !

රටේ ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැඟීමට නිවැරදි සැලැස්මක් තිබිය යුතු බවත්, වත්මන් ආණ්ඩුව ගෙන යන ආර්ථික වැඩපිළිවෙළ නිසා පසුගිය මාස කිහිපය තුළ පැවති ආර්ථික දුෂ්කරතාවන් තරමක් අඩු වී ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

මේ ආකාරයට බිඳවැටුණු රටකට සහය දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හැර ලෝකයේ වෙනත් කිසිඳු ආයතනයක් නොමැති බව සඳහන් කළ ජනාධිපතිවරයා ආර්ථිකය ගොඩනැඟීම වෙනුවෙන් රජය ගෙන යන වැඩපිළිවෙළට විකල්ප යෝජනා ඇත්නම් ඒවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසාදීමට සූදානම් බව ද පැවසීය .

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කළේ මහනුවර දිස්ත්‍රික්කයේ ව්‍යාපාරිකයන් හා නීතිඥවරුන් සමග ඊයේ (20) පස්වරුවේ මහනුවර ජනාධිපති මන්දිරයේ පැවති හමුවකට එක් වෙමිනි.

ඇතැම් දේශපාලන පක්ෂ මේ සඳහා සිය යෝජනා ඉදිරිපත් නොකර ජනතාවට බොරු කියමින් දේශපාලන සෙල්ලමක නිරත වන බව පැවසු ජනාධිපතිවරයා රටේ සහ ජනතාවගේ අනාගතය සම්බන්ධව කිසිවෙකුට සෙල්ලම් කළ නොහැකි බව ද අවධාරණය කළේය.

තමා ජනාධිපති ධූරයේ වගකීම භාරගත්තේ මෙම අභියෝග පිළිබඳ නොදැන නොවන අතර කුමන බාධක හමුවේ වුවද රටේ ආර්ථිකය ගොඩනැඟීමේ වැඩපිළිවෙළ නවතා නොදමන බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේද පැවසීය.

අද මෙම හමුව කැඳවනු ලැබුවේ රටේ වත්මන් ආර්ථික තත්ත්වය පැහැදිළි කිරීමට සහ මෙම තත්ත්වයෙන් ගොඩඒමට ගතයුතු පියවර පිළිබඳ ඔබේ අදහස් සහ යෝජනා ලබා ගැනීම සඳහායි. අද අප මේ ගත කරමින් සිටින්නේ අසීරු කාලයක්. නිවසක ආර්ථිකය කඩා වැටුණු විට එය දැනෙන්නෙ නිවසේ පුද්ගලයින්ට. ව්‍යාපාරයක් කඩා වැටුණොත් ඒක ව්‍යාපාරිකයින්ට දැනෙනවා. නමුත් රටක ආර්ථිකයක් කඩා වැටුනොත් ඒක සමස්ත ජනතාවටම දැනෙනවා.

මීට මාස එකොළහකට පෙර අප මේ තත්ත්වයට මුහුණ දුන්නා. අපට ඉන්ධන, විදුලි බලය, ඖෂධ තිබුණේ නෑ. ඉතා දුෂ්කර තත්ත්වයකට රටක් ලෙස අපි මුහුණ දුන්නා. රටේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම නැවතුණා.

මම ජනාධිපති ධූරය භාර ගන්නා විට රටේ පැවතුණේ එවැනි ගැටලුකාරී තත්ත්වයක්. නමුත් අප නිසි සැලැස්මක් ඔස්සේ රටේ ආර්ථිකය ගොඩනැඟීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කළා. ඒ වගේම ගොවි ජනතාවට අවශ්‍ය පොහොර ටික ලබා දුන්නා. නිසි වේලාවට එම පොහොර ලබාදීම නිසා මෙවර මහ කන්නයේ සාර්ථක අස්වැන්නක් ලැබී තිබෙනවා.

දැන් ඉන්ධන පෝලිම් නැහැ. විදුලි බලය තිබෙනවා. ඒ අනුව රටේ ආර්ථිකය ටිකෙන් ටික පෙර තිබූ තත්ත්වයට වඩා හොඳ මට්ටමකට ගෙන ඒමට කටයුතු කරමින් සිටිනවා. නමුත් අපට තවත් ප්‍රශ්න තිබෙනවා.

අද උද්ධමනය ඉහළ මට්ටමක තිබෙනවා. පොලී අනුපාතය ඉතා වැඩියි. ඒ නිසා ව්‍යාපාරික ප්‍රජාව අසීරුතාවට මුහුණ දී සිටින බව අපි දන්නවා. ඒ වගේම නීතීඥවරුන්ටත් ක්ෂේත්‍රයේ කටයුතු කරගෙන යාමේදී ගැටලුවලට මුහුණ දීමට සිදුව තිබෙනවා. රටේ මූලික ගැටලු රැසකට අප මේ වන විට විසඳුම් ලබාදී තිබෙන බව කිව යුතුයි. ඒ වගේම තවත් ගැටලු ගණනාවක් අප ඉදිරියේ තිබෙනවා.

රටක් බංකොලොත් වූ විට යන්න තිබෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලටයි. ඒ හැර ලෝකයේ රටක් බංකොලොත් වූ විට ආධාර ලබා දෙන්න වෙනත් සංවිධානයක් නෑ. ආර්ථිකය කඩා වැටුණු හැම රටක්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කර තමයි නැවත ගොඩ ආවේ. කඩා වැටුණු ආර්ථිකයෙන් ගොඩ නඟන්න ග්‍රීසියට අවුරුදු 13 ක් ගතවුණා. මම අවුරුදු දහතුනක් ජනාධිපති ධූරයේ සිටීමට බලාපොරොත්තුවක් නැහැ.

මේ කඩා වැටුණු ආර්ථිකය ගොඩනැඟීමට නම් තිබෙන්නේ එක ඉනිමගයි. ඒ තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල. විවිධ දේශපාලන පක්ෂ විවිධ කතා කියමින් ඉන්නවා. කඩාවැටුණු ආර්ථිකය ගොඩ එන්න වෙනත් ඉණිමඟක් තියෙනව නම් කියන්න කියලා මම ඒ අයට යෝජනා කරනවා

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දෙන්නේ 2019 දි පැවති ආකාරයට අපේ බදු ආදායම දළ දේශීය නිෂ්පාදනයෙන් 15% ක් විය යුතුයි කියලයි. මේ වන විට එය 09% දක්වා පහළ ගොස් තිබෙනවා. ඔවුන් විමසා සිටින්නේ ඔබ ඔබේ ජනතාවට බදු සහන දෙනවා නම් අපි කොහොමද අපේ ජනතාවගෙන් වැඩියෙන් බදු අය ‍කර ගෙන ඔබට සහනයක් දෙන්නේ කියලා.

ඒ නිසා අපේ ප්‍රතිපත්තිවලට විරුද්ධ අයටත් අවශ්‍ය නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කරන්න, යෝජනා ඉදිරිපත් කරන්න අවස්ථාව ලබා දීමට අපි සූදානම්. එම යෝජනාවලට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එකඟ වෙනවා ද කියා බලන්න පුළුවන්.

ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා ආරම්භ කළේ පසුගිය අගෝස්තු මාසයේ දී. ඒ අනුව සැප්තැම්බර් මාසයේදී මාණ්ඩලික ගිවිසුමට එකඟ වීමට හැකි වුණා. ඔවුන් අපට ක්‍රියාත්මක කිරීමට කරුණු පහළොවක් ලබා දුන්නා. එය දෙසැම්බර් 31 වැනිදාට පෙර ක්‍රියාත්මක කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපට කාලය ලබා දුන්නා. නමුත් එදිනට එය සිදු කරගන්න අපට නොහැකි වුණා. ඉන්පසුව ජනවාරි 31 වැනිදා දක්වා කල් ලබා ගැනීමට අප කටයුතු කළා. එම අවස්ථාවේදීත් අපට එම කරුණු 15 ඉටු කරගන්න නොහැකි වුණා . අවසන් වශයෙන් පෙබරවාරි 15 වනදා දක්වා කල් ලබා ගැනීම සිදු කළා. පෙබරවාරි පහළොස් වෙනිදා සවස 06:00 වන විට අපි කරුණු සියල්ල සම්පූර්ණ කර වොෂින්ටන් නුවරට යොමු කලා.

මෙම කරුණු පහළොවෙන් එක් කරුණක් පමණයි ප්‍රමාද වෙමින් තිබුණේ. ඒ විදුලිබල මණ්ඩලය ගාස්තු වැඩි කිරීම සම්බන්ධ කරුණයි. විදුලි බල මණ්ඩලයට වසරකට රුපියල් බිලියන 230ක් අලාභයක් සිදුවෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දුන්නේ ලබාගන්නා රාජ්‍ය බදු වලින් ආයතන නඩත්තු කරන්න යන්න එපා කියලා.

එහෙම වුනොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි සහය ලැබෙන්නේ නෑ කියලා දන්වා තිබුණා. නමුත් මේ රටේ එක් පුද්ගලයෙක් විදුලි ගාස්තුව වැඩි කිරීමට ගත් තීරණයට විරුද්ධව කටයුතු කළා. ඒ නිසා සති හයක් ජාත්‍යන්තර අරමුදලේ සහාය ලබා ගැනීම ප්‍රමාද වුණා. නැත්නම් ජනවාරි මාසය අවසන් වන විට අපට මෙය අවසන් කළ හැකිව තිබුණා. මේ වනවිට අපට ලබා දුන් කරුණු 15 ම ඉටුකර අවසන්. දැන් තිබෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අවස්ථාවයි.

අපට ණය ලබා දී තිබෙන පැරිස් සමාජය ඉන්දියාව සහ චීනය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ එකඟතාවට පැමිණ තිබෙනවා. පැරිස් සමාජය ඒ සඳහා අවශ්‍ය මූල්‍ය සහතිකය ලබා දෙන ක්‍රමවේදයක් තිබෙනවා. ඉන්දියාවට තවත් ක්‍රමවේදයක් තිබෙනවා. චීනය තවත් ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරනවා. පැරිස් සමාජයේ රටවල් ඔවුන්ගේ ක්‍රමවේදයට අමතරව ඉන්දියාවේ ක්‍රමවේදයත් පිළිගෙන තිබෙනවා.නමුත් චීනයේ ක්‍රමවේදය ගැන තවම එකඟත්වයක් නෑ.

මේ පිළිබඳව තවදුරටත් සාකච්ඡා කරමින් තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් යෝජනා කළේ සියලුදෙනා එක් වේදිකාවකට පැමිණ සාකච්ඡා කරන්න කියලා. නමුත් චීනය ලෝක බලවතෙක් නිසා ඔවුන්ගේ ක්‍රමවේදය ඊට වෙනස්. එළැඹෙන 23 වැනිදා ඉන්දියාවේ බැංගලෝර් නගරයේ දී ජී- 20 රටවල්වල මුදල් ඇමතිවරු සාකච්ඡාවක් පවත්වනවා. ආර්ථිකය කඩා වැටුණු රටවල් වල ණය ප්‍රතිව්‍යුහගත කරන්නේ කෙසේද යන්න සම්බන්ධවයි එහිදි සොයා බැලීමට නියමිතයි. එතනදි චීන මුදල් ඇමතිවරයා සමග ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රමය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. ඔවුන්ගේ ස්ථාවරය අනුව අප ක්‍රියාත්මක කිරීමට විකල්ප දෙක තුනක් තිබෙනවා.

අපට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ආධාර නොලැබුනොත් ඉදිරියට ඉන්ධන නැතුව, පැය 12ක පමණ විදුලි කප්පාදුවක් සමඟ ජීවත්වීමට සිදු වෙනවා. යල කන්නයට පොහොර ටික ලැබෙන්නෙත් නැහැ. මේ තත්ත්වය යටතේ ජනතාවට ඉතා අසීරුතාවකට මුහුණ දෙන්න වෙනවා.

රටේ මූලික ප්‍රශ්නය ආර්ථික ගැටලුවයි. එය ඉලක්ක කර ගෙන තමයි අපි කටයුතු කළ යුත‍්තේ. එසේ නොමැතිව මේ ප්‍රශ්නය සැඟවිය නොහැකියි.

ඉදිරියේ දී පැවැත්වීමට නියමිත මැතිවරණය ආණ්ඩු මාරු කරන එකක් නොවෙයි. පළාත් පාලන ඡන්දය තිබෙන දිනය සම්බන්ධයෙන් උසාවිය තීන්දුවක් ලබාදේවි. නමුත් රටේ ආර්ථික ප්‍රශ්නය අගවිනිසුරු ඇතුලු සියලු විනිශ්චයකාරවරුන් එකට වාඩි වුණත් උසාවියේ දී විසඳ ගත හැකි දෙයක් නෙවෙයි. ආර්ථිකය පවත්වා ගෙන යාමේ වගකීම තිබෙන්නේ පාර්ලිමේන්තුවටයි. එම නිසා පාර්ලිමේන්තුවේ 225 එක තැනකට පැමිණ වැටුණ ආර්ථිකය ගොඩ ගැනීමට කටයුතු කළ යුතුයි.

අවශ්‍ය නම් ජනතා විමුක්ති පෙරමුණ, සමගි බලවේගය ,ඉරාන්, හර්ශ ගෙ යෝජනා වුණත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ඉදිරිපත් කරන්න පුළුවන්. මේ සඳහා සහයෝගය ලබා දෙන්නත් පුළුවන්. සමහර දේශපාලන පක්ෂ යෝජනා ඉදිරිපත් කරන්නේ නෑ. ඔවුන් මේ සම්බන්ධයෙන් ජනතාවට බොරු කියලා දේශපාලන සෙල්ලමක් කරනවා . අපට අනාගතය සම්බන්ධව සෙල්ලම් කරන්න බැහැ. රටේ තරුණ තරුණියන්ගෙ අනාගතයට අපි වගකිව යුතුයි. ඒ නිසා ආර්ථිකය ගොඩනැගීමට ගන්නා සෑම ක්‍රියාමාර්ගයක්ම මම ගන්නවා. ඕනෑම අයකුට විකල්ප යෝජනා තිබෙනවා නම් මම කැමතියි වොෂින්ටන් නුවර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානීන් සමඟ සාකච්ඡා කරන්න අවස්ථා ලබා දෙන්න.

මම රට බාරගත්තේ කිසිවෙක් ඒ සඳහා ඉදිරිපත් නොවු අවස්ථාවකයි. රටේ ආර්ථිකය ගොඩනැගීමේ දී විවිධ බැනුම් අහන්න සිදුවෙනවා කියලා දැනගෙන තමයි ජනාධිපති ධූරය භාරගත්තේ. නමුත් රටේ ආර්ථිකය ගොඩනගන්න ගත යුතු සෑම ක්‍රියාමාර්ගයක්ම මම ගන්නවා. මේ වසර අවසානය වන විට රටේ ජනතාවට යම් සහනයක් ලබා දෙන්න හැකියාව තිබෙනවා. ලබන වසර ආරම්භයේ සිට ආර්ථික සංවර්ධනයේ මූලාරම්භය ඇති කිරීමට සැලසුම් කර තිබෙනවා.

පක්ෂ විපක්ෂ බේදයකින් තොරව පාර්ලිමේන්තුවේ 225 කෙරෙහිම අද ජනතා විශ්වාසය නැති වෙලා. ඒ නිසා ඒ ජනතා විශ්වාසය නැවත දිනා ගැනීමටත් කටයුතු කළයුතුයි.

ආර්ථික අර්බුදයෙන් ගොඩ එන ආකාරය පිළිබඳව අපි සැලැස්ම ක්‍රියාත්මක කරමින් තිබෙනවා.ඒ සඳහා ඔබගේ නායකත්වය බලාපොරොත්තු වෙනවා.මගේ විශ්වාසයක් තිබෙනවා 2024 වන විට අප නැවත සංවර්ධනය කරා ගමන් කරන බව.

මෙහිදී අදහස් දැක්වූ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක  මෙසේද පැවසීය .

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ අදාළ ගෙවීම් සිදු කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. එම නිසා එම ගෙවීම් පිළිබඳ සංගණනයක් කඩිනමින් සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා. මෙම සංගණනය සිදු කළ වහාම ඉදිකිරීම්කරුවන්ට නියමිත ගෙවීම් සිදු කරනවා. මුදලින් ලබා දියහැකි ඒවා මුදලින් හා අනෙකුත් ඒවා බැඳුම්කර මගින් ලබා දෙනවා.

View the embedded image gallery online at:
http://newstube.lk/news?start=2538#sigProIdefb4fc19bf

සමාජ මාධ්‍ය ක්‍රියාකාරී සේපාල් අමරසිංහ නිදහස්

බෞද්ධ ජනතාවගේ සිත් රිදවමින් ශ්‍රී දළදා වහන්සේට අපහාස කිරිම සම්බන්ධයෙන් තමන් කොන්දේසි විරහිතව සමාව ඉල්ලා සිටින බව සමාජ මාධ්‍ය ක්‍රියාකාරී සේපාල අමරසිංහ අද (21) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් ඉදිරියේ ප්‍රකාශ කළේය.

ඒ අනුව මෙම නඩු කටයුත්ත කටයුතු අවසන් කිරීමට අධිකරණය තීරණය කළේය.

මෙම සිද්ධියට අදාල මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (21) අධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු හෙළි විණි.

තම සේවාදායකයා කළ එම ප්‍රකාශය සම්බන්ධයෙන් මහනායක හිමිවරුන් ගෙන් සහ මේ රට සියලුම බෞද්ධ ජනතාවගෙන් කොන්දේසි විරහිතව සමාව ඉල්ලා සිටින බව සේපාල අමරසිංහ වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥවරයා දැනුම් දුන්නේය.

නීතිපතිවරයා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි   ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් සඳහන් කර සිටියේ, සැකකරු එවැනි කොන්දේසි විරහිත සමාවක් ඉල්ලා සිටිත් නම් පමණක් මෙම සිද්ධියට අදාළ නඩු කටයුතු අවසන් කිරීමට තමන් එකඟ වන බව ය.

මෙම සිද්ධියට අදාළ නඩුව අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී පැමිණිලිකාර බෞද්ධ තොරතුරු කේන්ද්‍රයේ පූඡ්‍ය අගුරුවැල්ලේ ජිනානන්ද හිමියන් ඇතුළු පිරිසගෙන් ද සේපාල් අමරසිංහ විවෘත අධිකරණයේදී සමාව අයැඳ සිටියේය.

ඒ අනුව මෙම නඩුව අවසන් කළ මහේස්ත්‍රාත්වරයා සැකකරු නඩුවෙන් මුදා හැර ඇත.

දළදා වහන්සේට අපහාස කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු සේපාල් අමරසිංහ පසුව අධිකරණය විසින් රක්ෂිත බන්ධනාගාර ගතකර තිබුණි.

එක්සත් ජාතීන්ගේ සාමසාධක හමුදා ගෞරවාචාරය අභාවප්‍රාප්ත ලාන්ස් කෝප්‍රල් එම්.ජී.එල්. දේශප්‍රියට පිරිනැමේ

මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිභාවය ඇති කිරීමේ මෙහෙයුම් මූලස්ථානයේ (MINUSMA) සාමසාධක රාජකාරින්හි නිරතව සිටියදී ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් 6 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ ලාන්ස් කෝප්‍රල් එම්.ජී.එල්. දේශප්‍රිය (42) බමාකෝ 3 වන මට්ටමේ රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව 2023 පෙබරවාරි මස 11 දින අභාවප්‍රාප්ත විය.

ඔහුගේ දේහයට MINUSMA ප්‍රධාන මෙහෙයුම් මූලස්ථානයේ සාමසාධක හමුදාවෝ හමුදා සම්ප්‍රදායානුකූලව පසුගිය බ්‍රහස්පතින්දා (16) දින ඔහුගේ දේහයට ගෞරවාචාරය දැක්වූහ.   

සාමසාධක හමුදාවන්ගේ සම්ප්‍රදායානුකූලව, එක්සත් ජාතීන්ගේ ධජයෙන් ආවරණය කරන ලද කෝප්‍රල් එම්.ජී.එල්. දේශප්‍රිය ගේ මෘත දේහයට එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ නියෝජ්‍ය සහ විශේෂ නියෝජිත ඩැනියෙලා ක්‍රොස්ලැක් (Ms Daniela Kroslak)  ප්‍රමුඛ 4 වන සංග්‍රාමික රථ ආරක්‍ෂක ඛණ්ඩයේ අණදෙන නිලධාරි ඇතුළු නිලධාරින් සහ සෙසුනිලයන් අවසන් ගෞරව දැක්වූහ.

මැදවච්චිය ප්‍රදේශයේ පදිංචි දෙදරු පියකු වූ අභාවප්‍රාප්ත ලාන්ස් කෝප්‍රල් එම්.ජී.එල්. දේශප්‍රිය ගේ දේහය අවසන් කටයුතු සිදුකිරීම සඳහා ශ්‍රී ලංකාවට රැගෙන ඒමට නියමිතය.

View the embedded image gallery online at:
http://newstube.lk/news?start=2538#sigProId24e87cf0be

 

යල කන්නයට සියලුම ගොවීන්ට නොමිලයේ මඩ පොහොර

යල කන්නයේ වී වගාවට අවශ්‍ය මඬ පොහොර හෙවත් ත්‍රිත්ව සුපිරි පොහොර (TSP) සියලුම ගොවීන්ට වගාවට අවශ්‍ය සම්පූර්ණ ප්‍රමාණයම නොමිලයේ ලබා දීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව මඬ පොහොර මෙට්‍රික් ටොන් 36,000ක් රැගත් නෞකාව ලබන මාසයේ 20 දිනට ආසන්න දිනක දී කොළඹ වරායට ලඟාවීමට නියමිතය.

එක්සත් ජාතීන්ගේ ආහාර කෘෂිකර්ම සංවිධානයේ මුල්‍යාධාර යටතේ මෙම මඬ පොහොර ශ්‍රී ලංකාවේ ගොවීන්ට නොමිලයේ ම ලබා දීමට කටයුතු යොදා ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර  සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ වී වගාව ඇතුලු බෝග වර්ග 13ක් වගා කිරීම සඳහා අවශ්‍ය වැඩ පිළිවෙළ සකස් කිරීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මෙතෙක් සේවය කළ කෘෂි විද්‍යාඥයින් බහුතරයක් මෙන්ම විශ්වවිද්‍යාලවල ආචාර්ය මහාචාර්යවරු රැසක් ඊයේ (20) සිට ඒකාබද්ධ වැඩ සටහනක් ආරම්භ කළහ.

මහනුවර ගන්නොරුව කෘෂිකර්ම සන්නිවේදන හා පුහුණු මධ්‍යස්ථානයේ දී පැවැති සම්මන්ත්‍රණයකට සහභාගි වූ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර  මේ බව සඳහන් කළේය.

මෙම මඩපොහොර තොගය ඊජිප්තුවේ සිට මෙරටට ලැබීමට නියමිත අතර ඒවා මෙරටට ලැබුනු විගසම යල කන්නයේ වී වගාව ආරම්භ වීමට ප්‍රථම දිවයින පුරා බෙදා හැරීමට නියමිතය.

වගා කන්න 04කට පසුව සියලුම පොහොර එකවර ලැබෙන පළමු අවස්ථාව මෙවර යල කන්නය බව සඳහන් කළ අමාත්‍යවරයා මඬ පොහොර, යුරියා. හා බන්ඩි පොහොර ලබා දෙනු ලබයි. එමෙන්ම ගොවින්ගේ අවශ්‍යතාවය පරිදි කාබනික පොහොර ද ගොවීන්ට ලබා දීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් වැඩ පිළිවෙළක් සකසා ඇති බව ද කාබනික පොහොර මිල දී ගැනීම සඳහා අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන ලබා දීමට ද පියවර ගන්නා බව සඳහන් කළේය.

2022 යල කන්නයේ මෙන්ම මෙවර මහ කන්නයේ ද වී අස්වනු ලැබී තිබෙන නිසා මෙම වසර තුළ රටෙහි කිසිදු අයුරකින් සහල් හිඟයක් මතු නොවන බවත්, එමනිසා සහල් ආනයනය කිරීමේ අවශ්‍යතාවයක් යළි පැන නොනගින බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මෙහිදී සඳහන් කළේය.

මෙම අවස්ථාවට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මාලතී පරසුරාමන් ඇතුළු පිරිසක් සහභාගි වූ අතර ජාතික කෘෂිකර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මෑත කාලීන දායකත්වය -2023 නැමැති වාර්තාව අමාත්‍යවරයාට බාර දුන්නේය.

ආයෝජන සඳහා කඩිනම් අනුමැතිය ලබා ගැනීමට ආර්ථික කොමිසමක් !

දෙස් විදෙස් ආයෝජකයන්ට වැඩි අවස්ථාවක් ලබාදීමේ අරමුණින් ආයෝජන සඳහා කඩිනමින් අනුමැතිය ලබා ගැනීමට හැකි වන ලෙස ආර්ථික කොමිසමක් පත්කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

ලංකාවට ආයෝජකයින් පැමිණි පසු ඔවුන්ගේ ව්‍යාපාර කටයුතු සඳහා අනුමැතිය ලබා ගැනීමට දීර්ඝ කාලයක් ගතවීම ගැටලුවක් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා එමගින් රටට ලැබීමට තිබෙන විශාල ආදායමක් අහිමිව යන බව ද පෙන්වා දුන්නේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කළේ මහනුවර, හන්තාන ප්‍රදේශයේ ඉදිකළ මෙරට ප්‍රථම සංක්‍රමණික පක්ෂි උද්‍යානය සහ පරිසර සංචාරක කලාපය විවෘත කිරීමේ අවස්ථාවට අද (20) පෙරවරුවේ එක් වෙමිනි.

ආයෝජන මණ්ඩලය හා අපනයන සංවර්ධන මණ්ඩලය වෙනුවට ආර්ථික කොමිසමක් පත් කර එක් ආයතනයක් මගින් ආයෝජන සඳහා අනුමැතිය ලබා දීමේ සැලසුම් මේ වන විට සකස් කරමින් පවතින බවත් ඉදිරි සති දෙක තුනක කාලය තුළ එහි වාර්තාව ලැබීමෙන් පසු ඉදිරි කටයුතු ක්‍රියාවට නැංවීමට අපේක්ෂා කරන බවත් ජනාධිපතිවරයා පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේද පැවසීය .

අද මෙම ස්ථානයට පැමිණි විට තවත් කුරුලු උද්‍යානයක් මට සිහිපත් වුණා. හය වන පරාක්‍රමබාහු රජතුමාගේ සමයේ දී මෙලෙසින් සකස් කර තිබූ කුරුලු උද්‍යානයක් තිබු බව ඉතිහාසයේ සදහන් වෙනවා. ජේ ආර් ජයවර්ධන ජනාධිපතිතුමා එම කුරුලු දූපතේ අද වන විට පාර්ලිමේන්තුව ස්ථාපිත කර තිබෙනවා .

මෙම කුරුලු උද්‍යානය ඉදිකිරීමේ දී වසර 20ක කාලයක් විඳි දුක පිළිබඳ කෝට්ටේගොඩ මහතා සඳහන් කළා. කෙසේ හෝ කෝට්ටේගොඩ මහතා අද මෙම ජාත්‍යන්තර කුරුලු උද්‍යානය රටට දායාද කර තිබෙනවා. එතුමා ප්‍රකාශ කළා සිංගප්පූරුවේ ජුරෝන් බ්ර්ඩ් කුරුලු උයන ආදර්ශයට ගෙන මෙම ජාත්‍යන්තර කුරුලු උයන නිර්මාණය කළා කියලා. මේ සමඟ මහනුවර පුරවරයේ සංචාරක වටිනාකම තවත් වැඩි වී තිබෙනවා.

සිංගප්පූරුවේ ජුරෝන් නගරය ආයෝජන කලාපයක් වශයෙන් තමයි දියුණු කළේ. ශ්‍රී ලංකාව නව ආර්ථික ගමනක් සමඟින් ඉදිරියට යාමට නම් ආයෝජන අවස්ථා වැඩි කළ යුතුයි. ලංකාවට ආයෝජකයින් පැමිණි පසු ඔවුන්ගේ ව්‍යාපාර සඳහා අනුමැතිය ලබා ගැනීමට වසර 10ක කාලයක් ගතවෙනවා. මේ තත්ත්වය වෙනස් කළ යුතුයි.

නව ආර්ථික සැලැස්මක් යටතේ නිෂ්පාදනය, අපනයන ආර්ථිකය සහ තාක්ෂණික අංශ දියුණු කළ යුතුයි. ඒ සඳහා දෙස් විදෙස් ආයෝජනවලට වැඩි අවස්ථාවක් ලබා දිය යුතුයි. ආයෝජකයෙක් ලංකාවට පැමිණ ආයෝජන ආරම්භ කරන්න වසර 10ක කාලයක් ගත වෙනවා නම් එයින් ආර්ථිකයට ඵලදායි වාසියක් ලැබෙන්නේ නැහැ.

ජේ.ආර් ජයවර්ධන ජනාධිපතිතුමා මහ කොළඹ ආර්ථික සැලැස්ම මාස තුනක් වගේ කෙටි කාලෙකින් සම්මත කරලා ආරම්භ කළ නිසා එහි ආර්ථික වාසිය ලංකාවට ලැබුණා. ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ ඇඟලුම් කර්මාන්ත 200 වැඩසටහනට සති තුනෙන් අනුමැතිය ලැබුණා. ඒ ආකාරයට ආයෝජන අවස්ථා වැඩි කළේ නැතිනම් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීමට හැකියාවක් නැහැ. ආයෝජන මණ්ඩලය හා අපනයන මණ්ඩලය වෙනුවට ආර්ථික කොමිසමක් පත් කරලා එක් ආයතනයක් මගින් ආයෝජන සඳහා අනුමැතිය ලබා දීමේ වැඩ පිළිවෙළකට යොමු විය යුතුයි.

ඒ සඳහා අවශ්‍ය කටයුතු සිදු කිරීමට දිලුම් අමුණුගම ඇමතිවරයාට පවරා තිබෙනවා. ඉදිරි සති දෙක තුනක කාලය ඇතුළත එහි වාර්තාව ලැබීමට නියමිතයි. ඒ අනුව එය ඉදිරියේ ක්‍රියාත්මක කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.

එසේම අපේ රටේ සංචාරක කර්මාන්තයට වටිනාකමක් ලබා දෙමින් මෙම කුරුලු උයන ජාතියට දායාද කිරීම සම්බන්ධයෙන් මම ස්තූතිවන්ත වෙනවා.

View the embedded image gallery online at:
http://newstube.lk/news?start=2538#sigProId831a94806e

පෞද්ගලික දේපළ පවරා ගන්නේ ඉස්සර : දැන් එහෙම නෑ - අනුර

ජනතා විමුක්ති පෙරමුණේ රජයක් යටතේ පුද්ගලික දේපළ පවරා ගන්නා බවට තම පක්ෂයේ වෙබ් අඩවියේ සඳහන් වන ප්‍රතිපත්ති ප්‍රකාශනය එළි දක්වන ලද්දේ 1980 බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක පවසයි.

එනම් මීට වසර අවුල් 43කට පෙර එම යුගයට අනුරූපී ගැලපෙන වැඩපිළිවෙළ බවද මන්ත්‍රීවරයා සඳහන් කර සිටියි.

ජවිපෙ නායකයා මේ බව කියා සිටියේ කොළඹ දී පැවැති ජාතික ජන බලවේගයේ සමුළුවක් අමතමිනි.

කෙසේ වෙතත් සමාජ ජාලවල ප‍්‍රතිචාර පලව ඇත්තේ පෞද්ගලික දේපළ පවරා ගැනීම ජවිපෙ වත්මන් ප‍්‍රතිපත්තිය නොවේ නම් නව ප‍්‍රතිපත්තිය හෙලි කල යුතු බවත් නිල වෙබ් අඩවිය පවා ඒ සම්බන්ධයෙන් යාවත්කාලීන කල යුතු බවත්ය.

රජයේ මුද්‍රණාලයට හමුදා ආරක්ෂාව !

රජයේ මුද්‍රණාලය අවට ප‍්‍රදේශයේ අද (20) යුද හමුදා සහ පොලිසියේ විශේෂ කණ්ඩායම් කැඳවා ආරක්ෂාව යොදවා තිබේ.

යුද හමුදාවේ සියයක් සහ පොලිස් නිලධාරීන් පනහකට ආසන්න පිරිසක් කැදවා මෙසේ විශේෂ ආරක්ෂාවක් යොදවා තිබේ.

පලාත් පාලන මැතිවරණය පවත්වන්නැයි ඉල්ලමින් විරෝධතාවයක් ද අද සමගි ජනබලවේගය විසින් සංවිධානය කර තිබිණ.

ජන්ද තියන්න මුදල් නෑ : මැකොස ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වයි !

ප්‍රමාණවත් මුදල් ප්‍රතිපාදන හා අනෙකුත් පහසුකම් නොලැබීම හේතුවෙන් සැලසුම් කළ පරිදි පරිදි පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමේ කටයුතුවලට බාධා මතුව ඇති බව මැතිවරණ කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇත.

පළාත් පාලන ඡන්ද විමසීම එළඹෙන මාර්තු 09 වැනි දිනට පැවැත් වීමට නියමිත ව තිබුණි.

ඒ අනුව නියමිත පරිදි පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට පියවර ගන්නා බවට මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණයට ලබා දුන් ප්‍රතිඥාව ඉටු කිරීමට අපහසු තත්ත්වයක් උද්ගතව තිබෙන බවද මැතිවරණ කොමිසම එමගින් දන්වා ඇත.

මැතිවරණ කොමිසම වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ මෝසමක් මගින් මෙම කරුණු අනාවරණය කර තිබේ.

ඉදිරි මහ කන්නයට පෙර මිණිපේ වම් ඉවුරු ඇළ ව්‍යාපෘතියේ වැඩ කටයුතු අවසන් කරන්න උපදෙස්

විවිධ හේතු මත වසර 03කට අධික කාලයක් ප්‍රමාද වූ මිණිපේ වම් ඉවුරු ඇළ පුනරුත්ථාපන ව්‍යාපෘතිය කඩිනම් කර, ඉදිරි මහ කන්නයට පෙර එහි ප්‍රතිලාභ ගොවි ජනතාවට ලබා දෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේ ඊයේ (19) පස්වරුවේ මිණිපේ අමුණ ඉදිකිරීම් භූමියේ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමිනි.

ව්‍යාපෘතියේ සැලැස්ම පරීක්ෂා කළ ජනාධිපතිවරයා එහි ඉංජිනේරුවන්ගෙන් ව්‍යාපෘතියේ ක්‍රියාකාරිත්වය පිළිබඳව ද කරුණු විමසීය.

එහිදී වැඩබිම් කළමනාකරු කසුන් ගුණවර්ධන විසින් ව්‍යාපෘතිය පිළිබඳ හැඳින්වීමක් සිදු කරන ලදී.

ව්‍යාපෘතියේ ඉදිරි කටයුතු වෙනුවෙන් මෙරට ඉංජිනේරු පීඨවල සිසුන්ගේ සහාය ලබා ගැනීමේ හැකියාව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

විදුලිය සඳහා ඉල්ලුම උච්චතම අවස්ථාවන්හි දිනකට දෙවරක් රන්ටැඹේ ජල විදුලිබලාගාරයෙන් ජලය නිකුත් කිරීම් සිදු කරන අවස්ථාවන්හිදී වම් හා දකුණු ඉවුරු ඇළ මාර්ග සඳහා ජලය නිකුත් කිරීමට දැනට පවතින අමුණ ප්‍රමාණවත් නොවේ. මේ හේතුවෙන් මිණිපේ ගොවි බිම් සඳහා වඩා විශ්වාසනීය හා අඛණ්ඩව ජල සැපයුමක් පිණිස මිණිපේ අමුණ වේල්ල මීටර 3.5 කින් එසවීම හා කිලෝ මීටර 74ක දිගින් යුතු මිණිපේ වම් ඉවුරේ ප්‍රධාන ඇළ මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම් ආරම්භ කෙරිණි.

මිණිපේ අමුණ ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසු ගොවි ජනතාවට නිරන්තරයෙන් ජලය ලබාදීමේ හැකියාවක් ඇති අතර මිණිපේ වම් ඉවුරු ඇළ දෙපස වගා බිම් යල - මහ දෙකන්නයේ අවහිරයකින් තොරව වගා කිරීමේ හැකියාව ලැබෙයි. එයින් සෙත සැලසෙන ගොවි පවුල් සංඛ්‍යාව 15,000කි.

ව්‍යාපෘතිය සඳහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන 3,000ක් වන අතර China Gexhouba Group Company Limited (CGGC) සමාගම ඉදිකිරීම් කටයුතු සිදු කරනු ලබයි.

1948 වසරේ ඉදිකෙරුණු මිණිපේ අමුණ අවසන් වරට ප්‍රතිසංස්කරණය කර තිබෙන්නේ 1980 වසරේදී ය. එහි ප්‍රතිසංස්කරණ කටයුතු නැවත සිදුවන්නේ වසර 40කට පසුව වීම විශේෂත්වයකි.

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා සහ මිණිපේ වම් ඉවුරු ඇළ පුනරුත්ථාපන ව්‍යාපෘති කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ ඉංජිනේරු ඩී.බී. විජේරත්න, ව්‍යාපෘති අධ්‍යක්ෂ ඉන්දික වලිසුන්දර ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

View the embedded image gallery online at:
http://newstube.lk/news?start=2538#sigProIda011e80450

නව සමාජ ක්‍රමයක් සඳහා විනයගරුක නායකත්වයක් අවශ්‍යයි -ජනපති

රටක අනාගතය භාරගැනීමට නම් විනයක් සහ කැපවීමක් අවශ්‍ය බවත් විනය ගරුක සමාජයක් තුළින් ශ්‍රී ලංකාව නව මානයක් කරා ගෙන යාමට ලබන වසරේ සිට සැලසුම් ක්‍රියාත්මක කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ  අවධාරණය කළේය.

අද ජනතාවට ආර්ථික දුෂ්කරතාවලට මුහුණ දීමට සිදු වූවත් මෙය අපේක්ෂා කළ යුත්තේ කෙටි කලක් සඳහා පමණක් වන බව සඳහන් කළ ජනාධිපතිවරයා රටේ ජනතාවගේ ආර්ථිකය යහපත් තැනකට ඔසවා තැබීම මෙම වසර අවසාන වීමට පෙර සිදුකරන බව ද පැවසුවේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ  මේ බව සඳහන් කළේ, ජාතික ශිෂ්‍යභට බළකාය වෙත ජනාධිපති වර්ණ හා බළකා වර්ණ ප්‍රදානය කිරීම වෙනුවෙන් රන්ටැඹේ ජාතික ශිෂ්‍ය භට පුහුණු මධ්‍යස්ථානයේ දී අද (19) පැවති උත්සවයට සහභාගී වෙමිනි.

වසර 142 ක ඉතිහාසයක් සහිත ජාතික ශිෂ්‍යභට බළකායට ජනාධිපති වර්ණ හා බළකා වර්ණ ප්‍රදානය ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතින් සිදුකෙරිණි.

ජනාධිපති වර්ණ සහ බලකා වර්ණ ප්‍රදානය කිරීමෙන් අනතුරුව ශිෂ්‍ය භට බළකා ආචාර පෙළපාළිය නිරීක්ෂණ සඳහා ද ජනාධිපතිවරයා එක්විය.

රට තුළ ශක්තිමත් ආර්ථිකයක් මෙන්ම අලුත් සමාජයක් ඇති කළ යුතු බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා රටේ තරුණ තරුණියන් වෙනුවෙන් නිර්මාණය කෙරෙන එම අලුත් සමාජය වෙනුවෙන් විනයගරුක නායකත්වයක් ශිෂ්‍යභට බළකායෙන් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බව ද පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේ ද පැවසීය.

"මේ වන විට ශිෂ්‍ය භට බලකාය පාසල් ගණනාවක ක්‍රියාත්මක වෙනවා. මම ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයාටත්, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාටත් පැවසුවේ අපි සෑම මධ්‍ය මහා විද්‍යාලයකම ශිෂ්‍ය භට බළකායක් ඇති කළයුතුයි කියලා. අපි මෙය තවදුරටත් දියුණු කරමින් ඉදිරියට ගෙන යා යුතුයි. එමඟින් මේ රටට අවශ්‍ය විනයගරුක පුරවැසියන් බිහි වනු ඇතැයි මම විශ්වාස කරනවා.

ඒ වගේම මේ ශිෂ්‍ය භට බළකායේ සිටින සිසුන්ට හොඳ අනාගතයක් උදාකර දිම රජයේ වගකීම වෙනවා. ශිෂ්‍ය භට කණ්ඩායම්වල ඉන්න දරුවන්ට රාජ්‍ය ආයතනවල පුහුණුවීම් කිරීමේදී අවශ්‍ය කෝටාවක් ලබාදීමට ආරක්ෂක රාජ්‍ය ඇමතිවරයා මෙතැන ඉන්න වෙලාවෙ මම යෝජනා කරනවා. අපි මේ අයගේ අනාගතය සුරක්ෂිත කළ යුතුයි. මොකද විනයක් සමග ඉදිරියට යන ඔබට පුහුණුවක් ලබාදෙන්න අපි කැපවී කටයුතු කළයුතුයි.

ඒ වගේම ඔබේ අනාගතය පිළිබඳ අපි අවධානය යොමු කර තිබෙනවා. ඔබට, ඔබේ දෙමාපියන්ට මෙන්ම රටේ ජනතාවට අද මුහුණදීමට සිදුව තිබෙන අසීරුතාව පිළිබඳ මට හොඳ අවබෝධයක් තිබෙනවා. ආර්ථික වශයෙන් විශාල බරක් අපි සියලුදෙනාටම දැරීමට සිදුව තිබෙනවා. අපිට වෙනත් විකල්පයක් නැහැ. ජනතාවට අද දුෂ්කරතාවලට මුහුණදීමට සිදුවුණත් මෙය දරාගත යුත්තේ කෙටි කාලයක් පමණයි. මේ වසර අවසන්වීමට පෙර මේ තත්ත්වය වෙනස් වෙනවා පමණක් නොවෙයි ඉන් පසුව අපි අලුත් ආර්ථිකයක් ගොඩනැගිය යුතුයි.

අපි ශක්තිමත් ආර්ථිකයක් මෙන්ම අලුත් සමාජයක් ඇතිකරගත යුතුයි. අපි ඒ සමාජය ගොඩනඟන්නේ රටේ තරුණ පිරිස වෙනුවෙනුයි. එවන් නව සමාජ ක්‍රමයක් ඇතිකිරීමට නම් විනයගරුක නායකත්වයක් අවශ්‍යයි. එම නායකත්වය ශිෂ්‍යභට බළකායෙන් ලැබෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා.

අනාගතය භාරගැනීමට නම් විනයක් සහ කැපවිමක් පැවතිය යුතුයි. ඒ සඳහා සුදුසුකම් ලැබූ පිරිස සිටින මෙම ශිෂ්‍ය භට බළකාය දියුණු කිරීමට සහ එහි සිටින සියලුදෙනාගේ අනාගතය යහපත් කිරීමටත් අප කැපවී සිටින බව සිහිපත් කරනවා.

වසර 142ක් මේ රටට සේවය කළ ජාතික ශිෂ්‍ය භට බළකාය ජනාධිපති වරණ සහ බලකා වර්ණ ලබන මෙම අවස්ථාවේ මම සියලුදෙනාට මගේ සුබපැතුම් පිරිනමනවා."

මහාචාර්ය උඩුගමසූරියට අමෙරිකාවෙන් විශේෂ තැනක්

හූස්ටන් විශ්වවිද්‍යාලයේ සහ එම් ඩී ඇන්ඩර්සන් පිළිකා පර්යේෂණ ආයතනයේ මහාචාර්ය ගෝමික උඩුගමසූරිය අමෙරිකාවේ නව නිපයුම්කරුවන්ගේ ජාතික ඇකඩමියේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු ලෙස නම් කර ඇත.

අඩු වියදමින් පිළිකා වැනි රෝගවලට ඖෂධ බවට පත් විය හැකි සංයෝග ගණනාවක් සොයා ගැනීම හේතුවෙන් තමන්ට එම සාමාජිකත්වය හිමි වූ බව මහාචාර්ය ගෝමික උඩුගමසූරිය පැවසිය.

මහාචාර්ය ගෝමික උඩුගමසූරිය කොළඹ ඩී එස් සේනානායක විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු ද වෙයි.

වියදම් අඩු මැතිවරණ ක්‍රමයක් ගැන හොයන්න කමිටුවක්

මැතිවරණයකදී අපේක්ෂකයකුට වැඩි මුදලක් වැය කිරීමට සිදු නොවන නව මැතිවරණ ක්‍රමයක් සකසා ගන්නේ කෙසේ දැයි සොයා බැලීම සඳහා කමිටුවක් පත් කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ  පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය සහ ඉදිරි සැලසුම් පිළිබඳව තරුණ කණ්ඩායමක් සමඟ ජනාධිපති කාර්යාලයේ දී පැවති හමුවකදී ය.

රජයේ අයවැය නිසි ලෙස ක්‍රියාත්මක වීම පිළිබඳ පාර්ලිමේන්තුවට සොයා බැලිය හැකි අතර ඒ සඳහා කමිටු ගණනාවක් පත්කර ඇති බව සඳහන් කළ ජනාධිපතිවරයා අයවැය විමර්ශනය කිරීම සඳහා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව, රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාව සහ රාජ්‍ය මූල්‍ය කාරක සභාව වැනි බොහෝ කමිටු ඇති බවත් එම ක්‍රියාවලිය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා පාර්ලිමේන්තු අයවැය කාර්යාල පනත් කෙටුම්පත ගෙන එන බවත් පැවසීය.

මැතිවරණ කොමිසම වැඩ නවත්වයි

තැපැල් ඡන්ද පත්‍රිකා සලකුණු කිරීම දින නියමයකින් තොරව කල් දැමීමට තීරණය කිරීමත් සමග ඉදිරි පරිපාලනමය කටයුතු සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා සියලුම දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීවරුන්ට සහ සියලුම දිස්ත්‍රික් නියෝජ්‍ය හා සහකාර තේරීම්භාර නිලධාරීන්ට ලිපියක් යොමු කරමින් උපදෙස් මාලාවක් ලබා දී ඇත.

ඒ අනුව සියලු සේවකයින්ට එළඹෙන සඳුදා දිනයේ සිට සාමාන්‍ය කාර්යාල වේලාව ප්‍රකාශයට පත්කර ඇති අතර මැතිවරණ රාජකාරී වෙනුවෙන් වන අතිකාල රාජකාරී අත්හිටුවන බව දැනුම් දී ඇත.

ප්‍රධාන කාර්යාලය ඇතුළු සියලු දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල සති අන්ත හා රජයේ නිවාඩු දින වසා දැමීමට කටයුතු කළයුතු බවද ලිපියේ දැක්වෙයි.

කිසියම් විශේෂ රාජකාරියක් සඳහා සතිඅන්ත හෝ නිවාඩු දිනවල කාර්යාලය විවෘත කිරීමට අවශ්‍ය වන්නේ නම් ඒ සඳහා මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයාගේ පූර්ව අනුමැතිය ලබා ගත යුත්තේය.

දැනට සේවයේ යොදවා ඇති අනියම් සහයකයින් සහ විශ්‍රාමික නිලධාරීන්ගේ සේවය ඊයේ දින සිට ක්‍රියාත්මක වන පරිදි කාර්යාල වේලාවෙන් පසු තාවකාලිකව අවසන් කළයුතු වෙයි.

කාර්යමණ්ඩල ප්‍රවාහන කටයුතු සඳහා විවිධ ආයතනවලින් ලබාගන්නා ලද සියලුම වාහන වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව අදාළ ආයතන වෙත මුදාහැරිය යුතු බවද එම ලිපියේ සඳහන්ව ඇත.

කෙසේ වෙතත් කාර්යාලයේ ආරක්ෂාව සඳහා යොදවා ඇති පොලිස් ආරක්ෂාව පිළිබඳ ඉදිරියේදී උපදෙස් ලබාදීමට නියමිත අතර එතෙක් පොලිස් ආරක්ෂාව ලබාගැනීමට කටයුතු කරන ලෙසද එම ලිපියෙන් දැනුම් දී ඇත.

 PHOTO 2023 02 19 14 12 36

PHOTO 2023 02 19 14 12 36 1

PHOTO 2023 02 19 14 12 35

Page 142 of 386