V2025

පුවත්

තැපැල් කාර්යාල 13ක් පැය 24 පුරා විවෘතයි : පොලිස් දඩ පත්‍රිකාවල දඩ මුදල් ගෙවීමේ පහසුකම්

බස්නාහිර පළාතේ තෝරාගත් තැපැල් කාර්යාල 13ක් පැය 24 පුරා විවෘතව තැබීමට පියවර ගෙන ඇති බව තැපැල් දෙපාර්මේන්තුව විසින් දැනුම්දී තිබේ.

ඒ අනුව බොරැල්ල, වැල්ලවත්ත, හැව්ලොක් ටවුන්, දෙහිවල, මොරටුව, පානදුර, කළුතර, කොටහේන, කොම්පඤ්ඤවීදිය, බත්තරමුල්ල, ගල්කිස්ස, නුගේගොඩ සහ සීතාවකපුර යන තැපැල් කාර්යාල එසේ පැය 24 පුරා විවෘතව පවතී.

 එම තැපැල් කාර්යාල හරහා පොලීසිය මගින් නිකුත්කරන දඩ පත්‍රිකාවල දඩ මුදල් ගෙවීමට හැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව පවසයි.

'විපක්ෂනායක ගැන තීරණයක් ගන්න' - අගමැති

විපක්ෂනායකවරයා ප්‍රශ්න ඇසීමේදී ස්ථාවර නියෝග අවභාවිත කරන හෙයින් ඔහු සම්බන්ධයෙන් තීරණයක් ගන්නැයි අගමැති දිනේෂ් ගුණවර්ධන කතානායකවරයාගෙන් පාර්ලිමේන්තුවේදී අද (01) ඉල්ලීමක් කළේය.

ගිනි ගැනීමක් වැනි හදිසි අවස්ථාවක් ගැන විපක්ෂ නායකවරයාට හදිසි ප්‍රශ්න ඇසිය හැකි වුවත් පාර්ලිමේන්තුව තුළ හිතුවක්කාරී ලෙස කටයුතු කිරීමට කිසිවෙකුටත් ඉඩ නොදෙන ලෙස ඔහු කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.

පාර්ලිමේන්තුව විහිළුවට ලක් නොකරන ලෙසත් නාඩගමක් නොකරන ලෙසත් පාර්ලිමේන්තුව රැස්වන සෑම දිනකම උදෑසන නාඩගමක් මෙන් පෙනෙන හෙයින් දේවාලයේ නැටුමක් මෙන් මේ සභාව ක්‍රියාත්මක කළ නොහැකි බවද ඔහු සඳහන් කළේය.

කතානායකවරයා මේ ගැන එක් නියෝගයක් ලබා දිය යුතු බවත් එය හෙට සිට හෝ ක්‍රියාත්මක කරවිය යුතු බවත් අග්‍රාමාත්‍යවරයා පැවසීය

ජනපති සහ ඉන්දීය අගමැති අතර හමුවක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ  හා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි  හමුවී තිබේ.

ඒ, එක්සත් අරාබී එමීර් රාජ්‍යයේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුව අතරතුරයි.

රනිල් වික්‍රමසිංහ  සමග විවිධ කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කළ බව, සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ ය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ  ඊයේ, එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුව ඇමතුවේ ය.

සමුළුව අතරවාරයේ ග්‍රීක අග්‍රාමාත්‍යවරයා සමග ද ජනාධිපතිවරයා සාකච්ඡාවල නිරත විය.

උසස් පෙළට පෙනී සිටින සිසුන්ට ශිෂ්‍යත්වයක්

අ.පො.ස උසස් පෙළ හදාරනු ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා ජනාධිපති අරමුදල මඟින් ශිෂ්‍යත්ව ලබාදීමේ වැඩසටහන ආරම්භ කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ  උපදෙස් දී තිබේ.

මෙවර අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මත පදනම්ව පසුගිය වසරේදී මෙන්ම මෙම වසරේදීත් එම ශිෂ්‍යත්වය ලබාදීමට නියමිතය.

ඒ අනුව, ජනාධිපති ලේකම් සමන් ඒකනායකගේ මඟපෙන්වීම යටතේ මෙම ශිෂ්‍යත්ව වැඩසටහන අද (01) දින සිට ආරම්භ කෙරේ.

දිවයිනේ අධ්‍යාපන කලාප 100ම ආවරණය වන පරිදි එක් කලාපයකින් සිසුන් 50ක් බැගින් තෝරාගෙන, සිසුන් 5000ක් සඳහා මසකට රුපියල් 6000 බැගින් වන ශිෂ්‍යත්ව ලබාදීමට මේ අනුව කටයුතු කරනු ලබයි.

පසුගිය වසරේද ළමුන් 3,000ක් වෙනුවෙන් මාස 24ක කාලයක් සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමට ජනාධිපති අරමුදල මඟින් කටයුතු කරනු ලැබීය.

2022(2023) වර්ෂයේ දී අ.පො.ස (සා.පෙළ) විභාගයට පළමුවරට පෙනී සිට, විභාගය සමත්ව උසස් පෙළ හැදෑරීමට සුදුසුකම් ලබා තිබීම, රජයේ පාසලක හෝ ගාස්තු අය නොකරන පෞද්ගලික පාසලක ඉගෙනුම ලබන ශිෂ්‍යයෙකු /ශිෂ්‍යාවක වීම, ඉල්ලුම්කරුගේ පවුලේ මාසික ආදායම රුපියල් 100,000ක් නොඉක්මවීම මෙම ශිෂ්‍යත්ව සඳහා ඉල්ලුම් කිරීමට මූලික සුදුසුකම් ලෙස සැලකේ.

මෙම ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා වන අයදුම්පත්‍රය සහ ඊට අදාළ විස්තර, ජනාධිපති ලේකම් කාර්යාලයේ presidentsoffice.gov.lk, ජනාධිපති අරමුදලේ presidentsfund.gov.lk සහ ජනාධිපති මාධ්‍ය අංශයේ pmd.gov.lk වෙබ් අඩවිවලට පිවිසීමෙන් බාගත කර ගැනීමේ අවස්ථාව සලසා දී තිබේ.

එම අයදුම්පත් නිසි පරිදි සම්පූර්ණ කිරීමෙන් අනතුරුව අදාළ සිසුන් විසින් ඔවුන් සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි පාසලේ විදුහල්පතිවරයා වෙත එම අයදුම්පත් භාරදීමට කටයුතු කළ යුතුය.

දේවගැති ජෙරම් රිමාන්ඩ්

බෞද්ධාගමට හා ආගමික සහජීවනයට අපහාස වන අයුරින් ප්‍රකාශයක් සිදු කළැයි චෝදනාව මත අත්අඩංගුවට ගත් ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවරයා ලබන 13 වැනි දා තෙක් රිමාන්ඩ් බාරයට පත් කරන්නැයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ නියෝග කළේය.

ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (01) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණීමෙන් අනතුරුව ඔහු අත්අඩංගුවට ගනු ලැබිය.

බෞද්ධාගමට හා ආගමික සහජීවනයට අපහාස වන අයුරින් ප්‍රකාශයක් සිදු කළ බවට චෝදනා එල්ලවීමෙන් පසු විදේශගතව සිටි දේවගැතිවරයා පසුගියදා යළි දිවයිනට පැමිණියේය.

ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවරයා ඊයේ පෙරවරු 8.30 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඩිජිටල් වොහාරික විමර්ශන ඒකකය හමුවේ පෙනී සිටි අතර, ඔහුගෙන් පැය 10 ට අධික කාලයක් පුරා ප්‍රකාශ සටහන් කරගෙන තිබිණ.

දිවයිනට පැමිණ පැය 48ක් තුළ ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව හමුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබා දෙන ලෙසට අධිකරණ කර තිබු නියොගයකට අනුව ඔහු ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියේය.

ඩයනා, සුජිත් හා රෝහණට මාසයක් පාර්ලිමේන්තුව අත්හිටුව‍යි

රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ සහ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රෝහණ බණ්ඩාර හා සුජිත් සංජය පෙරේරාට මාසයක කාලයක් සඳහා පාර්ලිමේන්තු තහනමක් පැනවීමට පාර්ලිමේන්තු ආචාරධර්ම සහ වරප්‍රසාද කාරක සභාව නිර්දේශ කර ඇත.

ඒ සම්බන්ධයෙන් වන පළමු වාර්තාව කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ විසින් අද(01) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

කෙසේ වෙතත්, එහිදී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට නියෝජ්‍ය කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පත් කළ කමිටුවේ වාර්තාව සහ මෙම වාර්තාව අතර පරස්පරතාවයක් පවතින බවයි.

නියෝජ්‍ය කතානායකවරයාගේ කමිටුව විසින් ඩයනා ගමගේ රාජ්‍ය අමාත්‍යවරියට මාස 3ක කාලයක් පාර්ලිමේන්තුව තහනම් කරන ලෙස නිර්දේශ කර තිබූ නමුත්, ආචාරධර්ම සහ වරප්‍රසාද කාරක සභාව එය මසක කාලයක් දක්වා අඩුකර ඇති බව සිද්ධියට මැදිවූ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර චෝදනා කළේය.

මේ සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් කතානායකවරයාගෙන් ප්‍රශ්න කිරිමේදී විවාදාත්මක තත්ත්වයක් ද හට ගැනිණ.

පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ, කථානායක මහින්ද යාපා අබේවර්ධන, සභානායක අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත්, පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, විපක්ෂ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර අතර ඒ සම්බන්ධයෙන් සංවාදයක් ඇතිවිය.

දේවගැති ජෙරම් ප්‍රනාන්දු CID අත්අඩංගුවට

ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කිරීමට අදාළව දේවගැති ජෙරම් ප්‍රනාන්දු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ. ​​​​​​​

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතීඥ නිහාල් තල්දූව  පැවසුවේ, පාස්ටර් ජේරම් ප්‍රනාන්දු ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද පෙරවරුවේ පැමිණි අවස්ථාවේදි අත්අඩංගුවට ගත් බවයි.

අත්අඩංගුවට ගත් පාස්ටර් ජේරම් ප්‍රනාන්දු මීට ටික වේලාවකට පෙර අධිකරණයට රැගෙන විත් තිබේ.

අභියාචනාධිකරණය කරන ලද නියෝගයක් අනුව ප්‍රකාශ ලබාදීම සඳහා ඔහු අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේ ය.

ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කිරිමෙන් අනතුරුව ප්ලාස්ටර් ජේරම් ප්‍රනාන්දු පසුගිය කාලයේ විදේශගතව සිටියේ ය.

ඒ ඔහුට විදේශගතවීම තහනම් කරමින් අධිකරණය නියෝගයක් ද නිකුත් කර තිබියදියි.

පාස්ටර් ජේරම් ප්‍රනාන්දු විදේශයක සිටම තමා අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙසට අභියාචනයක් ඉදිරිපත් කර තිබිණ.

එම අභියාචනය සලකා බලමින් අභියාචනාධිකරණය නියෝග කර තිබුණේ, ඔහු දිවයිනට පැමිණ පැය 48 ක් තුළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ප්‍රකාශයක් ලබාදෙන ලෙසයි.

එම නියෝගය අනුව පෙරේදා දිවයිනට පැමිණි පාස්ටර් ජේරම් ප්‍රනාන්දු ඊයේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ප්‍රකාශයක් ලබා දුන්නේ ය.

ක්‍රිකට් පුහුණු කාර්යමණ්ඩලයේ දෙදෙනෙකු ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු කාර්යමණ්ඩල සාමාජිකයින් දෙදෙනෙකු ඉල්ලා අස්වූ බව ක්‍රිකට් ආයතනය පවසයි.

පසුගියදා උද්ගත වූ අර්බුදකාරී තත්ත්වය හමුවේ මෙම පුහුණු කාර්යමණ්ඩල සාමාජිකයින් අස්වී තිබේ.

මෙලෙස ඉල්ලා අස්වී ඇත්තේ ජාතික කණ්ඩායමේ භෞත චිකිත්සක ක්‍රිස් ක්ලාක් සහ ශාරීරික අභ්‍යාස කළමනාකරු ග්‍රාන්ට් ලූඩ්න් යන දෙදෙනාය.

කෙසේ වෙතත් ක්‍රිකට් ආයතනයේ ඉහළ නිලධාරියෙක් සඳහන් කළේ එම ඉල්ලා අස්වීම් දෙකම පෞද්ගලික හේතු මත සිදුවූ ඒවා බවය.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට්හි පවතින ගැටලු විසඳීම වෙනුවෙන් කඩිනම් ක්‍රියාමාර්ග නිර්දේශ කිරීම සඳහා පත්කළ විශේෂ ඇමති අනුකමිටුව සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග ජාතික කොන්ත්‍රාත්තු අත්සන් කර ඇති ක්‍රීඩකයින් අතර හමුවක් ඊයේ පාර්ලිමේන්තුවේදී පවත්වා ඇති බව වාර්තා වෙයි.

එම සාකච්ඡාව සඳහා මේ දිනවල අබුඩාබි ටී ටෙන් ලීග් තරගාවලියට සහභාගි වී සිටින දසුන් ශානක, කුසල් මෙන්ඩිස් සහ භානුක රාජපක්ෂ යන ක්‍රීඩකයින් සූම් තාක්ෂණය ඔස්සේ සම්බන්ධවී තිබේ.

එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතියට ඉදිරියේදී ගතයුතු ක්‍රියාමාර්ග, ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුවීම් ක්‍රියාවලිය, ක්‍රිකට් තේරීම් කමිටුවේ ක්‍රියාකලාපය සහ ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ මානසිකත්වය ඉහළ නැංවීමට ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ක්‍රීඩකයින්ගෙන් අදහස් ලබාගත් බව වාර්තාවෙයි.

ජනපති ඩුබායි යයි

එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ  අද ඩුබායි රාජ්‍ය බලා පිටත්ව ගියේ ය.

එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුව රාජ්‍ය නායකයින්, රාජ්‍ය පෞද්ගලික අංශ නියෝජිතයින්, පරිසරවේදීන් සහ විද්වතුන්ගේ සහභාගීත්වයෙන් අද දිනයේ සිට දෙසැම්බර් 12 වන දින දක්වා ඩුබායි එක්ස්පෝ නගරයේ දී පැවැත්වීමට නියමිතයි.

අවදානමට ලක්විය හැකි සහ සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා වූ දේශගුණික යුක්ති සංසදය ක්‍රියාත්මක කිරීම ඇතුළු යෝජනා 03ක් ශ්‍රී ලංකාව විසින් මෙම සමුළුවට ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.

නව කැලණි පාලම තාවකාලිකව වැසේ

නව කැලණි පාලම අදියර 03ක් යටතේ තාවකාලිකව වසා දැමීමට තීරණය කර ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරිය නිවේදනය කරයි.

සිදුකෙරෙන අත්‍යවශ්‍ය නවීකරණ කටයුත්තක් හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.

නව කැලණි පාලම ව්‍යාපෘතියේ සියලු ඉදිකිරීම් මේවන විට අවසන්ව ඇති බැවින් කොන්ත්‍රාත් සමාගම නිදහස් කිරීම සදහා එහි සියලු වගකීම් නැවත සමාලෝචනය කිරීමේ අදියරට පැමිණ තිබේ.

ඒ අනුව කොන්ත්‍රාත්තුව ප්‍රකාරව එහි කාර්යයන් කිහිපයක් එම සමාගම ලවා නැවත සකස්කර ගැනීමේ ඉඩකඩ පවතී.

මේවන විටත් කිසිදු අවදානමකින් තොරව ඉදිරියටත් මෙම ඉදිකිරීම් භාවිතා කළ හැකි වුවත් කොන්ත්‍රාත්තුවේ ප්‍රතිපාදන ප්‍රකාරව මෙම නවීකරණ කටයුතු සිදු කරනු ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය නිවේදනය කරයි.

ඒ අනුව, දෙසැම්බර් මස 01 වනදා සිට 04 වනදා දක්වා, දෙසැම්බර් 08 වනදා සිට 11 වනදා දක්වා, දෙසැම්බර් 15 වනදා සිට 18 වනදා දක්වාත් නව කැලණි පාලම තාවකාලිකව වසා තැබේ.

නව කැලණි පාලම 01

අදාළ කාල සීමාවන් තුළ භාවිතා කළ හැකි විකල්ප මාර්ග

නව කැලණි පාලම 2

කුවේටයෙන් ශ්‍රී ලාංකිකයින් 35ක් පිටුවහල් කරයි

කුවේට් රාජ්‍යයේ නීතිවිරෝධීව රැඳීසිටි ශ්‍රී ලාංකික ගෘහ සේවක සේවිකාවන් 35 දෙනෙකු මෙරටට පිටුවහල් කර තිබේ.

ඒ අනුව කුවේට් රාජ්‍යයේ රැකියා සඳහා ගොස් වීසා නොමැතිව රැදීසිටි ගෘහ සේවිකාවන් 33 දෙනෙකු සහ ගෘහ සේවකයින් දෙදෙනෙකු අද උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇති බව අද දෙරණ ගුවන්තොටුපොළ වාර්තාකරු පැවසීය.

කුවේට්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව අදාළ පිරිස යළි මෙරටට යොමුකර ඇති බව සඳහන්ය.

ලන්දේසීන්ගෙන් ආපසු ලැබුණු කෞතුක භාණ්ඩ ජනතා ප්‍රදර්ශනයට

1756 වසරේදී ලන්දේසී විසින් මහනුවර රාජ මාලිගාව වටලන ලද අවස්ථාවේ ශ්‍රී ලංකාව සතුව පැවති, පසුව ලන්දේසි පෙරදිග ඉන්දීය වෙළෙඳ සමාගම (VOC) රැගෙන ගිය ඓතිහාසික වටිනාකමක් සහිත කෞතුක භාණ්ඩ එකතුවක් නැවත නෙදර්ලන්ත රජය මගින් ශ්‍රී ලංකා රජයට ලබා දී තිබේ.

නෙදර්ලන්ත රජය මෙම කෞතුක භාණ්ඩ අද (නොවැ. 29) ශ්‍රී ලංකා රජයට නිල වශයෙන් භාර දුන් බව බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් මගින් සඳහන් කර ඇත.

නෙදර්ලන්ත රජය වෙනුවෙන් ශ්‍රි ලංකාවේ නෙදර්ලන්ත තානාපති බොනී හෝර්බාහ් සහ යාන් ඩි හොන්ඩ් විසින් මෙම කෞතුක භාණ්ඩ සහිත බහාලුම්, ශ්‍රී ලංකා රජය වෙනුවෙන් බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක වෙත කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී භාර දීම සිදු කරනු ලැබ ඇත.

අදාළ නිවේදනයේ සඳහන් කර ඇත්තේ, ලෙව්කේ දිසාවගේ කාලතුවක්කුව, රාජකීය රන් කස්තානය, රාජකීය රන් පිහිය, රාජකීය රිදී කස්තානය, මහ තුවක්කු දෙකක් මෙම කෞතුක භාණ්ඩ අතර පවතින බව ත් එම කෞතුක භාණ්ඩ කොළඹ ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ ආරක්ෂාව සහිතව මේ වන විට තැන්පත් කර ඇති බව ත් ය.

මෙම කෞතුක භාණ්ඩ ජනතාවට ප්‍රදර්ශන කිරීම සඳහා 2023 දෙසැම්බර් 5 වන දින පෙ.ව 9.30 සිට කොළඹ ජාතික කෞතුකාගාරයේ විශේෂ ප්‍රදර්ශනයක් පැවැත්වීමට සැලසුම් කර ඇති බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය එම නිවේදනයේ වැඩිදුරට ත් සඳහන් කර ඇත.

පොල් සංවර්ධන අධිකාරියෙන් මහා භාණ්ඩාගාරයට රු. මිලියන 125ක්

පොල් සංවර්ධන අධිකාරිය විසින් මෙම වර්ෂය තුළ උපයන ලද ආදායමෙන් රුපියල් මිලියන 125ක් මහා භාණ්ඩාගාරයට බාර දීමට සැලසුම් කර තිබේ.

ඊට අදාල චෙක්පත අද (29) සංකේතාත්මකව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර  වෙත පොල් සංවර්ධන අධිකාරියේ සභාපති මහාචාර්ය රෝෂාන් පෙරේරා  විසින් බාර දෙනු ලැබීය.

වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ දී මෙම චෙක්තපත පිරිනැමීම සිදු කරනු ලැබීය.

වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ඇති ආයතන රැසක් ලාබ ලබන මට්ටමට පවතින බැවින් උපයන ආදායමෙන් කොටසක් මහා භාණ්ඩාගාරයට ලබා දීම සදහා කටයුතු කිරීම සම්බන්ධව එම සියලු කාර්ය මණ්ඩලවලට ස්තූතිවන්ත වන බව ද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

මෙම අවස්ථාවට හම්බන්තොට හිටපු දිස්ත්‍රික් ලේකම් හා ඉඩම් හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ හිටපු ලේකම් ඩබ්. එච්. කරුණාරත්න  ද සහභාගි විය.

සජිත් සුරේෂ් වඩුවේල්ගෙන් පළිගනියි !

සමගි ජනබලවේගය පක්ෂයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවෙල් සුරේෂ් එම පක්ෂයේ පස්සර සංවිධායක ධූරයෙන් ඉවත් කර ඇති බව වාර්තා වේ.

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට 2024 අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීමේදී සුරේෂ් වඩුවේල් මන්ත්‍රීවරයා අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීමත් සමඟ මෙම තීරණය ගෙන ඇත.

කෙසේ වුවත් මීට පෙර සුරේෂ් වඩුවේල් මන්ත්‍රීවරයා සංවිධානය කර තිබූ ජනහමුවක් වෙත පැමිණෙන බවට සජබ නායක සජිත් ප්‍රේමදාස පොරොන්දු වී එම අවස්ථාව මඟහැර සිටීම සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා සහ සජිත් ප්‍රේමදාස අතර නෝක්කඩුවක් පැවති බවත් එම ආරංචි මාර්ග සඳහන් කරයි.

එහිදී අදාළ ජනහමුව සඳහා පැමිණීමට නොහැකි බව අවසන් මොහොතේ පක්ෂ නායක සජිත් දැනුම්දී ඇත්තේ තමන්ට අසනීප බව සඳහන් කරමිනි . පක්ෂ නායක සජිත් එසේ පැවසුවද එදින ඔහු වෙනත් ජනහමුවක් සඳහා සහභාගි වී ඇති බව තහවුරු වීම සමග මෙම නෝක්කඩුව ඇතිවූ බව වැඩිදුරටත් වාර්තා වෙයි .

එහිදී ඊට ප්‍රතිචාර දක්වමින් සුරේෂ් වඩුවේල් මන්ත්‍රීවරයා අවධාරණය කර තිබුණේ පක්ෂ නායක වුවත් තම ජනතාව නොමග යවමින් සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් පක්ෂ නායක සජිත් ජනතාවගෙන් සමාව ගතයුතු බවය.

එවැනි සමාව ගැනීමක් සිදුනොවීම මෙන්ම පක්ෂ නායක ගේ ප්‍රතිපත්තියක් නොමැති හැසිරීම හමුවේ පසුකාලීනව සුරේෂ් වඩුවේල් මන්ත්‍රීවරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ආණ්ඩුවට සහයෝගී තැනක සිට කටයුතු කළ බවත් දේශපාලන ආරංචි මාර්ග පවසයි .

ඒ අනුව ලැබුණු අවස්ථාව ප්‍රයෝජනයට ගෙන සමගි ජනබලවේගය පක්ෂයේ නායක සජිත් සුරේෂ් වඩුවේල් මන්ත්‍රීවරයාගෙන් දේශපාලන පළිගැනීමක් සිදුකර ඇති බව පස්සර සජබ පාක්ෂිකයින් පවසයි.

මේ අතර පුරප්පාඩු වූ පස්සර ආසනයේ SJB සංවිධායක ධූරයට එල්. සංජය පත් කර ඇතැයි ද වාර්තා වේ.

දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයට

ජනාධිපතිවරයා විසින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත්කර තිබේ.

හිටපු පොලිස්පති චන්දන වික්‍රමරත්න පසුගිය 24 දා විශ්‍රාම ගිය අතර පුරප්පාඩුවට පත්කළ යුත්තේ කවුරුන්ද යන කාරණය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් එදින සවස විශේෂ සාකච්ජාවක් කැඳවා තිබිණ. මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක සහ ජනාධිපති ලේකම් සමන් ඒකනායක එම සාකච්ජාවට එක්ව සිටි අතර එහිදී දේශබන්ධු තෙන්නකෝන් වැඩබලන පොලිපතිවරයා ලෙස පත්කිරීමට එකඟත්වයක් ඇතිකර ගෙන තිබිණ.

ජනාධිපතිවරයා පසුගිය සඳුදා පැවති කැබිනට් රැස්වීමේදී ද ඒ සම්බන්ධයෙන් අදහස් දක්වා තිබිණ.

ශ්‍රී ලංකාව් වඩාත්ම අභියෝගාත්මක පොලිස් පරිපාලන ප්‍රදේශය වන බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කරන තෙන්නකෝන් මුදියන්සේලාගේ වංශාලංකාර දේශබන්දු තෙන්නකෝන් හෙවත් T. M. W. D. තෙන්නකෝන්, පොලිස් සේවය වෙත එක්වී ඇත්තේ වර්ෂ 1998.02.23 වන දිනයි.

කොළඹ ආරක්‍ෂාව සඳහා සහ පාතාල අපරාධ ක්‍රියා මර්දනය සඳහා ආරක්‍ෂක ‘Security Eye’ නමැති සංකල්පය හඳුන්වාදෙනු ලැබුවේ තෙන්නකෝන් විසින්ය.

පොලිස් සේවයේ වසර 25 ක් සම්පූර්ණ කොට, සුවිශාල අත්දැකීම් හා පරිචයක් ලබා ඇති ඔහු, කොළඹ නාලන්දා විද්‍යාලීය ආදී සිසුවෙකි. එසේම ඔහු, කැළණිය සරසවියේ උපාධිධාරියෙකි.

ප්‍රමිතියෙන් තොර එන්නත් ගැන මුදල් අමාත්‍යංශයේ ලේකම් ඇතුළු 3කගෙන් ප්‍රකාශ අරගෙන !

මෙරට තුළ පසුගිය සමයේ ඉමහත් ආන්දෝලනයකට තුඩුදුන් ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් ප්‍රතිදේහ එන්නත් තොගය මෙරටට ගෙන්වීමේ සිද්ධියට අදාළව මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන ඇතුළු මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් තිදෙනෙකුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (28) ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

ඒ අනුව මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන ,එම අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයාගෙන් සහ එහි සංවර්ධන මූල්‍ය අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙසේ ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර ඒ, මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් අවසරයක් මතය.

වාර්තා වන ආකාරයට අද පෙරවරු 7 සිට පස්වරු 5 පමණ වනතෙක් දීර්ඝ ලෙස එම ප්‍රකාශ සටහන් කර ගැනීම සිදුකර තිබේ.

ව්‍යාජ ලේඛන සකසා, ප්‍රමිතියෙන් තොර එන්නත් මෙරටට ආනයනය කළ බව කියන සිදුවීමට අදාලව එම සමාගමේ හිමිකරු සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයේ උසස් නිලධාරීන් සිව්දෙනෙකු මේවනවිට රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.

අවුකන පිළිමයට වස්ත්‍ර පැළඳවීමේ සිද්ධිය දුරදිග යයි !

අනුරාධපුර අවුකන බුද්ධ ප්‍රතිමා වහන්සේට වස්ත්‍ර පැළැඳවීම පුරාවිද්‍යා ආඥාපනත අනුව බරපතළ සිද්ධියක් බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව අද (28)අනුරාධපුර පුරාවිද්‍යා කාර්යාලයට අයත් උපකලාප භාර නිලධාරීවරයෙකු සිද්ධිය සම්බන්ධයෙන් ගල්නෑව පොලීසියට පැමිණිලි කර තිබේ.

එසේම මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ (27) පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂවරයා සහ කලාප භාර පුරාවිද්‍යා නිලධාරීවරයා එහි ගොස් අවුකන පිළිම වහන්සේ හා එම ස්ථානය පරීක්ෂා කර තිබිණ .

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් නිශාන්ති ජයසිංහ පවසන්නේ, ප්‍රශ්නගත සිදුවීමේදී විහාරාධිපති හිමියන් තනි මතයට කටයුතු කර ඇති බවය.

ක්‍රිස්තු වර්ෂ 5 වැනි සියවසේ ධාතුසේන රජු නිර්මාණය කරවූ බවට ඉතිහාසයේ සඳහන් වන අනුරාධපුරය අවුකන බුද්ධ ප්‍රතිමා වහන්සේට වස්ත්‍ර පැළැඳවීමේ ඡායාරූප පසුගිය දිනවල සමාජ මාධ්‍යවල සංසරණය වූයේ සමාජය තුළ දැඩි කතාබහක් නිර්මාණය කරමිනි.

මෙරට ''හිටි බුද්ධ ප්‍රතිමා වහන්සේ ''අතුරින් සුවිශේෂී ස්ථානයක් හිමිවන මෙම අවුකන බුද්ධ ප්‍රතිමාව මත නැගී ඇතැම් පුද්ගලයින් එම වස්ත්‍රය පළඳවන ආකාරයද සමාජ මාධ්‍ය වල පලවූ ඡායාරූපවල දැක්විණි .

වැටුණු තැනින් ඉදිරියට පැමිණ තිබුණද රට හමුවේ ඇති අභියෝග අවසන් නැහැ !

රටක් ලෙස වැටුණු තැනින් අප ඉදිරියට පැමිණ තිබුණද, තවම ගමන අවසන් නැති බව අවධාරණය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අපේක්ෂිත අරමුණ ඉටුකර ගැනීමට නම් සියලුදෙනා එක්ව ඉතා ඉවසීමෙන් යුතුව ඉදිරියට යා යුතු බව පැවසීය.

දේශපාලන ප්‍රතිපත්ති මාලා වෙනුවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 06 වන පරිච්ඡේදයේ “රාජ්‍ය ප්‍රතිපත්ති මෙහෙයවීමේ මූලධර්මය හා මූලික යුතුකම්” අනුව ක්‍රියා කිරීමට වත්මන් රජය සෑමවිටම කටයුතු කරන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ අද (28) පෙරවරුවේ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දී පැවති 2023 සණස ජාතික සම්මේලනය අමතමිනි.

සණස නිර්මාතෘ ආචාර්ය පී . ඒ. කිරිවන්දෙණිය මහතාගේ සංකල්පයක් මත " වැය අඩු කරමු - අය වැඩි කරමු " යන තේමාව යටතේ ක්‍රියාත්මක සණස සමිති 1250ක් සංවර්ධනය කිරීම තුළින් ගම්මාන 5,000ක් සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහනට අදාල තුන් අවුරුදු ඉදිරි සැලසුම එළි දැක්වීම ද මෙහි දී සිදු කෙරිණි.

ආචාර්ය පී . ඒ. කිරිවන්දෙණිය විසින් එම තුන් අවුරුදු සැලැස්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත පිළිගන්වනු ලැබීය.

ජනාධිපතිවරයා වෙනුවෙන් විශේෂ සමරු තිළණයක් ද මෙහිදී පිළිගැන්විණි.

එසේම දිස්ත්‍රික්ක 25 ක් ආවරණය කරමින් සණස නායකයින් 5,000ක් වෙත සැලසුම් ලබාදීම මෙහිදී සිදු කෙරුණු අතර මෙම සැලසුම තුළින් ගම්මාන 5,000ක සංවර්ධන ව්‍යාපෘති 10,000ක් ආරම්භ කිරීමටත් ඒ හරහා දිවයින පුරා සෘජු හෝ වක්‍ර රැකියා අවස්ථා 50,000ක් නිර්මාණය කිරීමත් සැලසුම් කර තිබේ.

මෙම වැඩසටහන යටතේ පවුල් 300,000 වැඩි පිරිසකගේ ආර්ථිකය ශක්තිමත් කිරීමට අපේක්ෂා කෙරේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ මෙරට ආර්ථිකය ගොඩනැගීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළේදී සණස වැනි ව්‍යාපාරවල දායකත්වය මනා රුකුලක් වනු ඇති බවයි.

ජන ජීවිතය නගා සිටුවිමන් සමෘද්ධිමත් රටක් ගොඩනැගීමට රජය ගෙන යන වැඩපිළිවෙළට එක්වන ලෙසද ජනාධිපතිවරයා මෙහිදී සියලු රාජ්‍ය සහ පෞද්ගලික අංශවලින් ඉල්ලා සිටියේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ 

සණස ව්‍යාපාරය ආරම්භ කිරීම පිළිබඳ අප කිරිවන්දෙණිය මහත්මයාට ස්තූතිවන්ත විය යුතුයි. එතුමා එය ආරම්භ කර ඉදිරියට ගෙන ගියා. අද එය ඉතා සාර්ථක ව්‍යාපාරයක් බවට පත්ව තිබෙනවා. ඒ වගේම මෙම ව්‍යාපාරය තවත් දියුණු කළ යුතුයි.

විශේෂයෙන්ම මෙරට ආර්ථිකය ගොඩනැගීමේ වැඩපිළිවෙළේදී සණස වැනි ව්‍යාපාර එක් කර ගනිමින් අප ඉදිරියට යා යුතුයි.

මෙම දෙසැම්බර් මාසය අවසන් වීමට පෙර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් අපේ රට නැවත ණය පාලනය කළ හැකි ස්ථාවරත්වයට පැමිණ තිබෙන බව ප්‍රකාශ කරන තුරු අප බලා සිටිනවා. අප එම සහතිකය ලැබු පමණින් සියලු ගැටළු විසඳෙන්නේ නැහැ. අපි බලාපොරොත්තු වෙන්නේ අපේ ණය ගෙවීමට සහන පොළියක් ඉල්ලා සිටීමටයි. ඉන් පසුව එම ණය ගෙවිය යුතුයි. විශේෂයෙන් අපට අලුතින් ණය ගැනීමටත් සිදු වෙනවා.

මෙම කටුයුතු කරගෙන යාමට අප රට තුළ ශක්තිමත් ආර්ථිකයක් ඇති කළ යුතුයි. එහිදී අපනයන ආර්ථිකය පිළිබඳ විශේෂ අවධානයක් යොමු කළයුතුයි. මෙම වැඩකටයුතු සඳහා සණස ව්‍යාපාරය සම්බන්ධවීම විශාල රැකුලක් ලෙස සලකනවා.

අපි ආණ්ඩුව භාර ගැනීමෙන් පසු දේශපාලන ප්‍රතිපත්ති මාලා වෙනුවට සෑම විටම ක්‍රියා කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 06 වන පරිච්ඡේදයේ රාජ්‍ය ප්‍රතිපත්ති මෙහෙයවීමේ මූලධර්මය, මූලික කරගෙනයි.

රාජ්‍ය අංශයේ සහ පුද්ගලික අංශයේ ආර්ථික ක්‍රියාවලිය තුළින් සීග්‍ර ලෙස මුළු රටම සංවර්ධනය කිරීම සණස ව්‍යාපාරයේ වගේම රජයේ ද අරමුණ වෙනවා. මොකද අපට මෙම ණය උගුලෙන් බේරීමට නම් අප සීග්‍ර සංවර්ධනයකට යා යුතුයි.

ඒ වගේම අපි බලාපොරොත්තු වෙන්නේ සෑම කෙනෙකුටම ප්‍රමාණවත් ජීවන මට්ටමක් ලබාදීමටයි. විශේෂයෙන්ම මේ රටේ සිදුවූ ආර්ථික කඩා වැටීමෙන් පසු බොහෝ දෙනෙක්ගේ ජීවන මාර්ග අහිමි වුණා. ඇතැම් ව්‍යාපාර වසා දැමීමට සිදු වුණා. එදා සියළු දෙනා අසීරුවෙන් ජීවත් වුණේ.

දැන් අප යළිත් ආර්ථික දියුණුව ලබමින් සිටිනවා. කෘෂිකාර්මික කටුයුත ආරම්භ කර තිබෙනවා. සංචාරක කර්මාන්තය දියුණු වෙමින් පවතිනවා. සංචාරක ව්‍යාපාරය තුළින් වැඩි රැකියා අවස්ථාවන් ලබා ගත හැකියි. එම නිසා අප සියළුදෙනා එකතු වෙලා මෙම ක්ෂේත්‍ර දියුණු කළ යුතුයි.

ඒ වගේම රටේ සෑම පුරවැසියෙකුටම සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට ප්‍රමාණවත් ජීවන මට්ටමක් ලබාදීමට අප කටයුතු කළ යුතුව තිබෙනවා. අපි සියළු දෙනා එකට එක්ව ඉතා ඉවසීමෙන් එම ගමන යා යුතුයි. අපි වැටුණ තැනින් ඉදිරියට පැමිණ තිබෙනවා. තවම ගමන අවසන් කර නැහැ. ලබන ජනවාරි මාසයේ සිට ඉදිරි වසර කිහිපය පිළිබඳ අවධානය යොමු කරමින් අප ක්‍රියාත්මක විය යුතුයි.

අපේ රට එදා මධ්‍යම පන්තියේ ආදායම් ලබන රටක් ලෙස පැවතුණා. නමුත් අප නැවත අඩු ආදායම්ලාභී රටක් බවට පත්ව තිබෙනවා. දැන් අපේ උත්සාහය නැවත පහළ මධ්‍යම පන්තියේ ආදායම් තිබෙන රටක් බවට පත්වීම. ඊළඟ අදියරේදී ඉහළ මධ්‍යම පන්තියේ ආදායම් තිබෙන රටක් බවට පත්විය යුතුයි. ඉන් අනතුරුව ඉහළ ආදායම් ඇති රටක් බවට පත්වීමට හැකියාව තිබෙනවා. ඒ සඳහා තමයි 2048 වන තෙක් සැලසුම් සකස් කර තිබෙන්නේ.

ඒ වගේම අපේ රටේ අධ්‍යාපන අවස්ථා සීමා සහිතයි. ඒ නිසා බොහෝ දෙනෙක් උසස් අධ්‍යාපන සඳහා විදේශගත වෙනවා. වෘත්තීය අධ්‍යාපනය සදහා විශාල ඉල්ලුමක් තිබුණට ඒ සියල්ල ලබාදීමට අපට අවස්ථාවක් නැහැ. ඒ නිසා අධ්‍යාපන ක්ෂේත්‍රය ප්‍රතිසංවිධානය කිරීමට අප සැලසුම් කර තිබෙනවා.

ඒ වගේම 2030 වන විට ඉංග්‍රීසි භාෂාව පාසල් අධ්‍යාපනයට සහ උසස් අධ්‍යාපනයට එක් කිරීමට වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබෙනවා. ඒවගේම වෘත්තීය අධ්‍යාපනය ප්‍රතිසංස්කරණය කිරීම මෙම වසරේදී ආරම්භ කරනවා.

එසේම කෘෂිකර්ම නවීකරණ වැඩසටහන අපි ආරම්භ කරනවා. ඊට දායකවීමට සණස වැනි ආයතනවලට පුළුල් ඉඩ ප්‍රස්ථාවක් පවතිනවා. එම නිසා මෙම කටයුතු සමග එක්ව වැඩකරමු කියලා මම සියළු දෙනාට ආරාධනා කරනවා.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු කතානායක චමල් රාජපක්ෂ, නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ, සබරගමු පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක යන මහත්වරුන් ඇතුළු ආරාධිත පිරිසක් සහ දිවයිනේ සියලු පළාත් නියෝජනය කරමින් පැමිණි සණස සමිති නායකයන් සහ සාමාජිකයන් මීට එක්ව සිටියහ.

IMG 20231128 WA0009

IMG 20231128 WA0010

Page 140 of 474