මෙවර මැයි දින සැමරුමේ සිට සති කිහිපයක් යන තැන දේශපාලන කරළියෙන් දුරකථනය විසන්දි කරන බවත් දුරකථන පක්ෂයට හඬක් ලබාදුන් හරීන් - මනුෂ මේ වන විටත් එක්සත් ජාතික පක්ෂයට එක්ව අවසන් බවත් හිටපු මුදල් අමාත්‍ය, එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක රවී කරුණානායක අවධාරණය කර සිටියේය.
තවත් දින 125ක් යන තැන 2024 ජනාධිපතිවරණය සඳහා නිර්පාක්ෂික අපේක්ෂක ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කරන බවත් අනතුරුව තවත් පක්ෂ සහ සංවිධාන රැසක සහාය ඇතිව ඔහු ජයග්‍රහණය කරවීම නියත වශයෙන් සිදුකරන බවද ඒ මහතා සඳහන් කළේය.
හිටපු මුදල් අමාත්‍ය, එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක රවී කරුණානායක මේ බව සඳහන් කර සිටියේ ඊයේ (01) කොළඹ මාලිගාවත්ත පොලිසිය අසල පැවැත්වුණු එක්සත් ජාතික පක්ෂයේ මැයි දින රැළිය අමතමින්ය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු අමාත්‍යවරයා මෙසේද පැවසීය.
රනිල් වික්‍රමසිංහ මැතිතුමා රට පමණක් නොව පක්ෂයත් ඉහළට ඔසවා තබා තිබෙනවා. අපේ එකමුතුභාවයේ වෙනස අනෙක් අයට පෙන්විය යුතුයි. එතුමා මේ රට බාරගත්තේ අභියෝග රැසක් මධ්‍යයේ. ඒ වගේම එතුමා මේ රටට අලුත් දර්ශනයක් ඉදිරිපත් කර තිබෙනවා. වැටුණු රටක් යළි ගොඩ ගන්නා ආකාරය එතුමා ගෙවුණු කෙටි කාලය තුළ ලෝකයට ඔප්පු කර තිබෙනවා. කඩා වැටුණු රටක් හදන්න කාලයක් යනවා. නමුත් ගොඩනැගූ රටක් කඩා වැටෙන්න යන්නේ කෙටි කාලයයි. එක්සත් ජාතික පක්ෂයට මීට වසර 22කට පෙර හිමිව තිබූ විධායක බලය අද යළිත් හිමිව තිබෙනවා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ මග පෙන්වීම යටතේ මේ රටේ ජනතාවට සින්නක්කර ඉඩම් ඔප්පු ලක්ෂ විස්සක් ලබාදීමට ‘උරුමය’ වැඩසටහන ආරම්භ කළා. ඒ වගේම ‘අස්වැසුම’ වැඩසටහන ක්‍රියාත්මක කර දුගී ජනතාවට ප්රතිලාභ ලබා දීමට කටයතු කළා. රජ්‍ය සේවකයින්ගේ වැටුප රුපියල් දස දහසකින් වැඩි කළා. වතු කම්කරුවකුගේ දිනක වැටුප රුපියල් එක්දහස් හත්සියයක් කළා. මෙවැනි වැඩ කොටසක් කිරීමට එතුමට හැකි වුණේ විවිධ අභියෝග මධ්‍යයේ බව කිව යුතුයි.
තවදුරටත් ගොවියා මඩ ගාගෙන කෘෂිකර්මයේ යෙදිය යුතු නෑ. කම්කරුවාගේ තත්ත්වය පවා දැන් වෙනස් වී තිබෙනවා. රාජ්‍ය සේවයද ස්මාර්ට් විය යුතුයි. ඒ සඳහා වන වැඩපිළිවෙල මේ වන විට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආරම්භ කර තිබෙනවා. මෙතනදී පාට පක්ෂ භේදයක් අවශ්‍ය නෑ. තවත් දින 125ක් යන තැන 2024 ජනාධිපතිවරණය සඳහා නිර්පාක්ෂික අපේක්ෂක ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කරන බවත් අනතුරුව තවත් පක්ෂ සහ සංවිධාන රැසක සහාය ඇතිව ඔහු ජයග්‍රහණය කරවීම නියත වශයෙන් සිදුකරනවා.
තවත් සති කිහිපයක් යන තැන දුරකථනය විසන්දි කරනවා. ඒ දවස වැඩි ඈතක නෑ. මේ වෙනකොටත් දුරකථනයේ රිඟින් ටෝන් එක වුණු හරීන් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාර එක්සත් ජාතික පක්ෂයට එක්වී අවසන්. ඉදිරියේදී බලාගන්න පුළුවන් මොකද වෙන්නේ කියලා. ඒ නිසා කොළඹින් පටන් ගමු, මුළු රටින්ම පටන් ගමු. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යළිත් මේ රටේ ජනාධිපති කරන සටන දිනවමු.
ශ්‍රී ලංකාවේ හොඳම නැකැත් ඇත්තේ රටට සහ එක්සත් ජාතික පක්ෂයට බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.
ජනාධිපතිවරයා මේ බව පැවසුවේ මාලිගාවත්ත පී.ඩී. සිරිසේන ක්‍රීඩාංගණය අසළ අද (01) පැවැති එක්සත් ජාතික පක්ෂයේ මැයි දින රැළිය අමතමිනි.
"මම අද රහසක් කියනවා, ඩී.එස්. සේනානායක අගමැතිතුමා හොදම නැකත හෙව්වා එක්සත් ජාතික පක්ෂය හදන්න සැප්තැම්බර් 9 වැනිදා. ඒවගේ හොද වෙලාවක් ගත්තා ලංකාවට නිදහස ලබලා දෙන්න. ඉතිං ඔය දෙකම මතක තියාගන්න හොදම නැකත් තියෙන්නේ රටටයි එක්සත් ජාතික පක්ෂටයි. ඒකයි මේ වැටුන රට උස්සන් පුළුවන් වුනේ. රට වැටුණු වෙලාවේ විපක්ෂ නායක විතරක් නෙමෙයි... හැම පක්ෂයම දුවලා ලංකාව ගිනස් වාර්තාවක් තිබ්බා. අන්තිමට මට ගන්න වුණා. මං කවුද?.. තනි මන්ත්‍රීවරයෙක් ඉන්න පක්ෂයක නායකයෙක්. අපි අභියෝග හමුවේ දුවන්නේ නැහැ." ජනාධිපතිවරයා පැවසිය.
ශක්තිමත් අපනයන ආර්ථිකයක් ඇති කර රටේ තරුණ තරුණියන්ට හොද අනාගතයක් ලබාදෙන සැළැස්මක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ කියා සිටියේය.
අසීරුවෙන් ආරක්ෂා කරගත් රටේ ආර්ථිකය තවදුරටත් ගොඩනැගීම සඳහා ජනතාව ගැන සිතා ආණ්ඩුව සමඟ ගිවිසුමකට එන්නැයි සජබ, ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු සියලු පක්ෂවලට ආරාධනා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂයේ මැයි දින සමරු රැලිය අමතමින් පැවසීය.
රැක ගත් ආර්ථිකය කඩා දමන තීරණ ගතහොත් යළිත් ඉන්ධන පෝලිම් සහිත අඳුරු යුගයකට රට ඇද වැටෙන බවද ජනාධිපතිවරයා කීය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
