V2025

පුවත්

විදුලි කප්පාදුව දෙදිනකට අත්හිටුවයි

අද (30) සහ හෙට (31) විදුලි කප්පාදුව සිදුනොකිරීමට ලංකා විදුලිබල මණ්ඩලය තීරණය කර ඇත.

වාර්තා වන ආකාරයට ලංකා විදුලිබල මණ්ඩලය මේ තීරණය ගෙන ඇත්තේ ජල පෝෂක ප්‍රදේශවලට අධික වර්ෂාපතනයක් ලැබීමත් සමඟ ජල විදුලි බලාගාරවල විදුලි උත්පාදනය ඉහළ දැමීමට හැකියාව ලැබීම නිසාය.

මේ අතර ඉදිරි දින කිහිපය සඳහා ජල විදුලිය උත්පාදනය කිරීමට ප්‍රමාණවත් තරම් ජලය, ජලාශවලින් නිකුත් කිරීමට මහජන උපයෝගීතා කොමිසම විසින් සිදුකළ ඉල්ලීමකට ජල කළමනාකරණ ලේකම් කාර්යාලයේ එකඟත්වය පළකර ඇති බවත් වාර්තා වෙයි.

අවසන් සටන ඇරඹේ : ජනක ඇමති කාංචනගෙන් ගේම ඉල්ලයි !

ස්වාධීන කොමිසම් සභාවකින් දෙන ලද තීරණයක් නිලධාරීන් විසින් ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් හෙට (30) දිනයේ සිට නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති, ජනක රත්නායක පවසයි.

අද (29) සවස විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු සඳහන් කර සිටියේ ස්වාධීන කොමිසම් සභාවක කාර්යභාරය වන්නේ ස්වාධීනව කටයුතු කිරීම මිස දේශපාලන අධිකාරියේ තීරණ ක්‍රියාවට නැංවීමට නොවන බවය.

මේ අතර කංචන විජේසේකර අමාත්‍යවරයා විසින් අද පැවති මාධ්‍ය හමුවක දී තමා ගෝඨාභය රාජපක්ගෙන් පෞද්ගලික සභාපතිධූරයක් ඉල්ලූ බවට පැවසීම නොදන්නා කතාවක් බව ද ජනක රත්නායක පැවසීය.

එම මාධ්‍ය හමුවේ දී ඔහු වැඩිදුරටත් මෙසේද පැවසීය .

"මේ වගේ ස්වාධීන කොමිසම් සභාවලින් දෙන තීරණ නිලධාරීන් විසින් ක්‍රියාත්මක නොකිරීම, කොමිසම් සභාවල ස්වාධීනත්වයට නිගරු කිරීමක් ඒ අනුව හෙට දිනයේ සිට මේ සඳහා අවශ්‍ය නීතිමය පියවර අපි ගන්නවා.

මේක කළමනාකරණය නොකර තමන්ට ඕන කැබිනට් තීරණය බලෙන් අපි ලවා කරවා ගන්න අසාධාරණ විදියට විදුලිබිල සංශෝධනය කරලා, මහජනතාවගේ මුදල් ලබාගැනීමට තමා මේ කටයුත්ත කරන්නේ මේ ඇමතිවරයා. සිසුන්ට අවශ්‍ය විදුලිය ලබාදීමට ඇමතිවරයාට කිසිදු අවශ්‍යතාවයක් නෑ. ඒ නිසා තමා එක එක ප්‍රශ්න ගේන්නේ.

ඇමතිගේ භාෂාවෙන්ම කිව්වොත් අපිව බිත්තියට තල්ලු කරලා ගන්න හදනවා. ඒක නම් හරියන්නේ නෑ.

මම එක දේශපාලන පක්ෂයකවත් සම්බන්ධ නෑ. එතුමා වගේ මම අලියාගේ වලිගයේ එල්ලිලා යන කෙනෙක් නෙමෙයි. ඒ නිසා කිසිම දේශපාලන බැඳීමක් නැතුව කොමිසමේ රාජකාරි ස්වාධීනව කරගන්න තමයි මට අවශ්‍ය වෙන්නේ. ඒ සඳහා කොමිසමේ අනෙකුත් සාමාජිකයින්ගෙන් සහයෝගය ලැබෙනවා. මොකද එතැන ඉන්නේ උගත් බුද්ධිමත් අය. එයාලව රවට්ටන්න බෑ. දේශපාලන ප්‍රෙෂර් එකට පොඩ්ඩක් එහෙ මෙය වෙයි. පස්සේ තේරුම් ගන්නවා.

ඇමතිවරයා විදුලිබල මණ්ඩලය කතා කරන්නේ කිසිම දත්තයක් නැතුව. අපි කතා කරන්නේ දත්ත පදනම්ව. විද්‍යාත්මක විදියට මේක කළ යුතුයි කියලා. මෙතැන තියෙන්නේ දේශපාලන අධිකාරියේ අත්තෝනමතික ක්‍රියාවලිය පාවිච්චි කරලා ළමයින්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කරලා, ඒක මහජන උපයෝගීතා කොමිසමට දාලා තමා ගන්න යන්න. මේක ගන්න යන්නේ ඒකක 30 - 60ක් පාවිච්චි කරන ආර්ථික ප්‍රශ්නවල මිරිකිලා ඉන්න ජනතාවගෙන් තමා බිලියන 100ක් ගන්න යන්නේ. මේක අසාධාරණ ක්‍රියාවලියක්. අපි සාධාරණ ක්‍රමයට ගණනය කරලා ඇවිල්ලා තියෙන යෝජනාව ඉදිරියේ දී අපි කටයුතු කරනවා. ඉල්ලන ඉල්ලන විදියට අපි CEB එකට මේක දෙන්නේ නෑ.

ස්වාධීන කොමිසම් තියෙන්නේ, හරියට මේක කළමනාකරණය කරලා නියාමනය කරන්න. ඒ අවස්ථාව මේ අය ලබාදෙන්නේ නෑ. හැම එකටම දේශපාලන මැදිහත්වීම් කරනවා.

ප්‍රශ්නය - කංචන විජේසේකර ඇමතිවරයා කළ චෝදනාවක් තමාපෞද්ගලික බැංකුව සභාපතිධූරයක් සඳහා ඔබතුමා ඉල්ලීමක් කරා කියලා ගෝඨාභය මහත්තයාගෙන්. ඒක ප්‍රතික්ෂේප වුණා ද?

"එතැන හිටිය සභාපතිවරයා එතැන වෘත්තීය සමිති එකතු කරගෙන මට ඒක ලබානොදුන්න නිසා තමයි එතුමා මට මේක දුන්නේ. මට කොමිසම දෙද්දි එක කොන්දේසියක් දැම්මා. ඒ කොන්දේසිය තමා මහජන උපයෝගීතා කොමිසමට අත තියන්න බෑ කියලා. ඒක වෙනස් කරන්න බෑ කියන කොන්දේසිය මට ලිඛිතව තියෙනවා. ඒ සාක්ෂි මං ළඟ තියෙනවා. ඒ වට්ස්ඇප්වල සාකච්ඡා ඔක්කෝම මගේ ළඟ තියෙනවා ලිඛිතව. ඒ නිසා කවුරුත් කියන ඒවා භාරගන්න එපා. මේවා විහිළු කතා. ඒ නිසා එතුමා කතා කරනවා නොදන්න බැංකුවක් ගැන. නොදන්න දේවල් විදුලිබලය වගේ, බැංකු ගැන දන්නෙත් නෑ, මුල්‍ය ගැන දන්නෙත් නෑ, හර බැර ගැන දන්නෙත් නෑ. මෙලෝ දෙයක් දන්නේ නැති ඇමතිවරයෙක් දා ගත්තහම සිස්ටම් එක සම්පූර්ණයෙන්ම කනවා නේ."

ස්වාධීන කණ්ඩායමුත් සන්ධානයකට !

පළාත් පාලන මැතිවරණයට තරග කරන ස්වාධීන කණ්ඩායම් රැසක් සන්ධානගතව පොදු මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයක් දියත් කිරීමට සැලසුම් කර ඇතැයි දේශය පුවත්පත වාර්තා කර ඇත .

ස්වාධීන අපේක්ෂක කණ්ඩායම් නියෝජිතයින් කිහිපදෙනෙකු උපුටා දක්වමින් එම පුවත වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ මෙවර ස්වාධීන කණ්ඩායම් ඉතා විශාල ගණනක් ඡන්ද සටනට ඉදිරිපත්ව ඇති බවය.

ඔවුන්ගෙන් බහුතරය මෙයට පෙර ප්‍රධාන දේශපාලන දහරාවේ පක්ෂවලට සම්බන්ධව සිටි අය බවත් එම නිසා ස්වාධීන අපේක්ෂක කණ්ඩායම්වල සම්මේලනයක් කැඳවා මේ අය තමන්ගේ ඉදිරි මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය ගැන තීරණයක් ගැනීමට අපේක්ෂා කරන බව පැවසූ බවත් එහි සඳහන් ය.

කෙසේ වුවත් දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ යෝජිත පළාත් පාලන මැතිවරණයට අදාළව ස්වාධීන කණ්ඩායම් ඉදිරිපත් කර ඇති බහුතරය පොදුජන පෙරමුණ විසින් ඉදිරිපත් කර ඇති බවය.

රාජ්‍ය ආයතනවල සතියක් පුරා ජාතික කොඩිය !

එළැඹෙන ‍75 වන නිදහස් දින සැමරු උළෙල නිමිත්තෙන් සතියක කාල සීමාවක් රජයේ ආයතන පවත්වාගෙන යන සියලුම ගොඩනැගිලිවල ජාතික කොඩිය එසවීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව, පෙබරවාරි මස 4වන දිනට යෙදෙන 75 වන නිදහස් දින උළෙල විශේෂ අවස්ථාවක් ලෙස සළකා පෙබරවාරි මස 01 වෙනිදා දින සිට 07 වනදා දක්වා ජාතික කොඩිය එසවීමට නියමිතය.

රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය විසින් ඊට අදාළ චක්‍රලේඛයක් ද නිකුත් කර තිබේ.

ඒ සඳහා අවශ්‍ය කටයුතු සිදුකරන ලෙස අදාළ චක්‍රලේඛය මගින් ආයතන ප්‍රධානීන් වෙත දැනුම් දී තිබේ.

ප්‍රවීණ නාට්‍යවේදී කේ.බී. හේරත් දිවි සැරිය නිම කරයි !

ප්‍රවීණ නාට්‍යවේදී කේ.බී. හේරත් අභාවප්‍රාප්ත වී තිබේ.

වාර්තා වන ආකාරයට අද (29) දහවල් ඇතිවු හදිසි රෝගී තත්වයක් හේතුවෙන් ඔහු අභවප්‍රාප්ත වී ඇත.

වේදිකා නාට්‍ය රචනය, නිෂ්පාදනය හා රංග වින්‍යාසය යන ක්ෂේත්‍රවල දැවැන්තයෙකු වන කේ.බී. හේරත් මියයන විට 81 වන වියෙහි පසුවුණි.

දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම්දෙන බව පවුලේ ඥාතීන් සඳහන් කරයි.

ජවිපෙ නම් එහෙමයි කියමුකෝ : ඒත් පෙසප ඇයි මෙහෙම ?

ලංකාවට වැඩිම විදේශ විනිමය ගෙන එන ජන කණ්ඩායම් වන්නේ ,

1) මැදපෙරදිග සේවය කරන අය
2)රෙදිපිළි හා අනෙකුත් අපනයන කර්මාන්තවල සේවය කරන අය
3)තේ කර්මාන්තය ආශ්‍රිතව වැඩ කරන අය

රටේ අන්ත දුගී පීඩිත පංතිය අයත් වන්නේ මෙම ජන කණ්ඩායම්වලට. එසේම අඩුවෙන්ම පරිභෝජනය කරන්නෙ මේ අය. ඒ අය වාහන කීපෙකට තෙල් ගහල, ගෙදර ඒ සී දාල ඩොලර් වියදම් කරන්නෙ නෑ.

මෙම ජන කණ්ඩායම් වල සමහර සාමාජිකයන් ඉහළ ආදායම් ලබන ඒ වගේම වාහන කීපෙකට තෙල් ගහල, ගෙවල්වල ඒසී දාල, දරුවන්ව විදේශ අධ්‍යාපනයට යවල විදේශ විනිමය වැඩියෙන්ම පරිභෝජනය කරන වෘත්තිකයින්ට බදු ගැසීමට විරුද්ධව ආණ්ඩුවට බැනලා පෝස්ට් දානවා.

ඇයි?

ජේ වී පී ලිස්ට්වල ඉන්න හුගදෙනෙක් කලින් වියත් මගේ හිටපු එවැනි වෘත්තිකයන් , ගම්පහ ලිස්ට් එකේ ටියුෂන් ගුරුවරු හුගක් ඉන්නව. ඒ අයගෙ ආදායම , ඔවුන්ගෙ පන්තිවලට දරුවො යවන දෙමාපියො දන්නව. ජවිපෙ තමන්ගෙ ලයිස්තුවල ඉන්න ඉහල මැද පංතිකයන් වෙනුවෙන් පෙනී සිටීම තේරුම් ගන්න පුලුවන්
ඒත් පෙසප ,

FB IMG 1674992205534

සමාජ සාධාරණත්වය ගැන කතාකරණ පෙසපත් ජවිපෙ උගුලෙ අහුවෙලා වෘත්තිකයන්ගෙ බදු ගැන කතා කරනවා .

ඇයි?

# වියත් මගේ හිටපු අය ජවිපෙ තෝරගෙන තියෙන්නෙ ගෝඨාභය කරේ තියාගෙන ගියපු ලැජ්ජාව වහගන්න. මේ වියත්තුන්ගෙ අනුගාමිකයො දිගක් පලලක් හිතන්නෙ නැතුව කලින් ගෝඨාගෙ සටන් පාඨ share කලා වගේම වියත්තු ලියන ජවිපෙ සටන් පාඨ share කරනව

# සමාජ මාධ්‍යවලට එන හුගදෙනෙක්ට අනන්‍යතා ප්‍රශ්නයක් තියනව. ඒ ගොල්ලො මාසෙකට සැරයක් හෝටල්වලට ගිහින් කාල මාසයක් පුරා ඒ පොඨෝ share කරල class lift එකක් ගන්න හදනව. අපිටත් tax ගහල මාර වැඩේ වගේ post එකක් දැම්මහම එයාලත් එකපාරම upper middle class වෙනව. එයාල මේකට ආසයි..

මේ හැර වෙන හේතු තියනවනම් ලියන්න.
පුලුවන් නම් tax කැපුනු paysheat එක upload කරන්න.

වරුණ දීප්ත රාජපක්ෂ ගේ ෆේස්බුක් ගිනුමෙනි

සැසිය ඇරඹුණු ගමන් ජනක දොට්ට !

මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක එම තනතුරෙන් ඉවත් කිරීමට අවශ්‍ය නීතිමය කටයුතු ක්‍රියාත්මක කරමින් සිටින බවත් ඊට අදාළ චෝදනා පත්‍රයක් මේ වන වනවිට සකස් කර ඇති බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර අද (29) පවසා ඇත .

ජනක රත්නායක ඉවත් කිරීමට ක්‍රම කීපයක් ඇති බවත් ඉන් වඩාත් සුදුසුම ක්‍රමවේදය යොදා ගන්නා බවත් අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර උපුටා දක්වමින් ලංකාදීප පුවතක මේ බව සඳහන් අතර මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයාට එරෙහිව යෝජනාව පාර්ලිමේන්තුව රැස්වන මීළඟ පළමු දිනයේදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් එයට සහය දැක්වීමට සූදානම්ව සිටින බවත් අමාත්‍යවරයා සඳහන් කළ බවත් එහි සඳහන් වෙයි.

අදාළ පුවත වැඩිදුරටත් මෙසේද සඳහන් කර ඇත .

ජනක රත්නායක එම ධුරයේ කටයුතු කිරීමට සුදුසුකම් නොමැති බව කී අමාත්‍යවරයා ඔහුට රාජ්‍ය ආයතනයක කටයුතු කිරීමට සුදුසුකම් නොමැති බවට පාර්ලිමේන්තු කාරක සභාවකින් ද දැනුම් දී ඇති බව ද සඳහන් කළේය.

ජනක රත්නායක මහතා කොමර්ෂල් බැංකුවේ සභාපති ධුරය සඳහා ඉදිරිපත් වූ අවස්ථාවකදී මහතාට ඒ සඳහා සුදුසුකම් නොමැති බවට මහ බැංකුව නිර්දේශ කර ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

දිවයිනේ නගර කිහිපයක වායු ගුණාත්මකභාවය යළි පහළට......

දිවයිනේ නගර රැසක වායු ගුණාත්මකභාවය පහළ ගොස් ඇතැයි, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

එහි වායු දූෂණ කළමනාකරණ ඒකකයේ ප්‍රධාන විද්‍යාඥ, සරත් ප්‍රේමසිරි මහතා සඳහන් කළේ, නගර රැසක වායු ගුණාත්මකභාවය අමෙරිකානු වායු ගුණ තත්ත්ව දර්ශකයට අනුව 100 ත් 150 ත් අතර අගයක සටහන් වන බවයි.

මෙම තත්ත්වය ඉදිරි දින කිහිපයේදීත් පැවතිය හැකි බව ඔහු සඳහන් කළේ ය.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිරීක්ෂණයට අනුව ලබන මාර්තු මාසය දක්වා මෙම තත්ත්වය අඩු වැඩි වශයෙන් පැවතිය හැකි බව ඔහුවු වැඩිදුරටත් සදහන් කළේය.

දිනුවත් පැරදුනත් ඇත්ත කියනවා : ආර්ථිකය ගැන ජනාධිපතිගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් !

අනුරාධපුර රාජධානී සමයේ ණය ලබා නොගෙන ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැඟුවා සේ ඉදිරි වසර 05-10 තුළදී කිසිවෙකුට යටත් නොවී අභිමානයෙන් ජීවත්විය හැකි ණය නැති ආර්ථිකයක් ගොඩනැඟීම තම අරමුණ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය. 
 
රටේ අදායම් තත්ත්වය ස්ථාවර වී ආර්ථික ප්‍රගතියක් උදාවුවහොත් මේ වසරේ තුන්වන කාර්තුවේදී සහනයක් ලෙස සියලු  රජ්‍ය සේවකයින්ට වැඩිපුර දීමනාවක් ලබාදීමට අපේක්ෂා කරන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.
 
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කළේ අනුරාධපුර අභිනව අටමස්ථානාධිපති ශ්‍යාමෝපාලි මහ නිකායේ මල්වතු පාර්ශ්වයේ නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය  පල්ලේගම හේමරතන නාහිමිපාණන් වහන්සේ වෙත ශ්‍රී සන්නස් පත්‍ර පිළිගැන්වීම වෙනුවෙන් අද (28) පස්වරුවේ ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධි මහ මළුවේදී පැවැති පුණ්‍යෝත්සවය අමතමිනි.
 
අද සියලුදෙනා මුහුණ පා ඇති අසීරුතාව පිළිබඳ මනා අවබෝධයක් තමාට ඇති බව පැවසූ ජනාධිපතිවරයා 2024 වසර වන විට අපේක්ෂා කරන ආර්ථික ප්‍රගතියත් සමග වැටුප් වැඩි කිරීම ඇතුළුව සියලු ජනතාවට සහන ලබාදීමට හැකිවනු ඇති බවට ද විශ්වාසය පළ කළේය.
 
අභිනව අටමස්ථානාධිපති නාහිමිපාණන් වහන්සේ වෙත ශ්‍රී සන්නස් පත්‍රය පිළිගැන්වීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතින් සිදු වූ අතර විජිණිපත අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසින් පිළිගන්වනු ලැබීය. 
 
මෙම පුණ්‍යෝත්සවය ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් සඳහන් කර සිටියේ අනුරාධපුර මහා විහාරයේ කැණීම් කටයුතු සහ සංරක්ෂණය පිළිබඳ විශේෂ  පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවයි.
 
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේද පැවසීය .
 
පසුගිය වසරේ අප්‍රේල් මාසයේ දී අපට ණය ගෙවිය නොහැකි බව අපි ජාත්‍යන්තරයට දැනුම් දුන්නා. අපි ලබාගත් ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව මම ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ඉල්ලීමක් කළා. 
 
අප ලබාගත් ණය ප්‍රමාණය ඉතා ඉහළ බැවින්  අපට එම ණය ආපසු ගෙවීමට හැකියාවක් නැති බව ඔවුන් දැනුම් දුන්නා. එම ණය ආපසු ගෙවීමට හැකියාවක් ලබා ගැනිමට නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කර සැලැස්මක් සකස් කරන ලෙස යෝජනා කළා. අපට ණය ලබා දුන් චීනය, ජපානය සහ ඉන්දියාව වැනි රටවල් දන්වා සිටියේ පළමුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කර සැලැස්මක් සකස් කර ගන්නා ලෙසයි. අනතුරුව එම රටවලිනුත් ලබාදිය හැකි ආධාර පිළිබඳ සාකච්ඡා කරන බව දැනුම් දුන්නා. 
 
ඒ නිසා අපි මේ ණය ආපසු ගෙවන්නේ කෙසේද කියා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කිරීමට සිදු වුණා. අපට මෙම අධාර නැතිව ඉදිරියට යන්න බැහැ. මේ අධාර නොලැබුණොත් අපේ ආර්ථිකය කඩා වැටෙනවා. 
 
අපේ රටේ තිබෙන අරමුදල් සහ විදේශ විනිමය ප්‍රමාණවත් වන්නේ නැහැ. පසුගිය වසරේ අපේ ආර්ථික වර්ධන වේගය සෘණ 11යි. මේ වසරේ අපි සැලසුම්සහගත ලෙස කටයුතු කළහොත් එය සෘණ 3.5ක් බවට පත්කරගත හැකියි. ගෝලීය ගැටලු ඇතිවුවහොත් සෘණ 4ක් විය හැකියි. නමුත් අපි අපේක්ෂාකරන ප්‍රමාණය සෘණ 3.5යි. මේ ආකාරයට බලන විට 2024 වර්ෂයේ සිට අපට ආර්ථිකය ඉදිරියට ගෙන යා හැකියි. අපට ඩොලර් නැති වු අවස්ථාවක අප ගත් පියවර නිසා අපට යම් ආධාර ප්‍රමාණයක් ලැබී තිබෙනවා. ඉදිරියේ දී මීට වඩා ආධාර අපට ලැබීමට නියමිතව  තිබෙනවා. 
 
ඒ වගේම පොහොර ලබාදීම සමග මෙවර මහ කන්නය සාර්ථකවීම නිසා අපට වී අතිරික්තයක් ලැබෙනවා. අපි මේ වැඩපිළිවෙළින් ඈත් වුවහොත් පසුගිය වසරේ මැයි, ජුනි, ජූලිවල තිබුණු තත්ත්වට නැවත රට පත්වෙනවා. එසේ සිදුවුවහොත් තවත් අසීරුතාවකට මුහුණ දීමට සිදු වෙනවා. 
එහෙම වුවහොත් අපට සති තුනකටවත් ඖෂධ ලබා ගැනීමට මුදල් ඉතුරු වන්නේ නැහැ. 
 
අපට ණය ලබාදුන් රටවල් දන්වා සිටියේ ඔවුන්ගේ ආදයමත් අඩුවී තිබෙන බවත් තමන්ගේ ජනතාවට මේ ප්‍රශ්නය විසඳාගැනීමට උපරිම බර දැරීමට නොහැකි නම් ඔවුන්ගේ සහාය ලබාදීම දුෂ්කර බවයි. මොකද ඔවුන් ලබාදෙන මුදල් ඔවුන්ගේ ජනතාවගෙන් බදු අය කරගෙන ලබාගත් මුදල් බව ඔවුන් දන්වා සිටියා.
 
2019 දී අපේ සම්පුර්ණ ආදායම දළ දේශීය නිෂ්පාදනයෙන් 15%යි. ඒත් බදු අඩු කිරීමත් සමග 2022 වන විට සම්පූර්ණ අදායම දළ දේශීය නිෂ්පාදනයෙන් 8.4%කට අඩු වෙලා තිබෙනවා. ආධාර ලබා දෙනව නම් 2019 තිබූ තත්ත්වයට එනම් සම්පුර්ණ ආදායම දළ දේශීය නිෂ්පාදනයෙන් 15%ක මට්ටමකට ඉහළ නංවන්න කියා එම රටවල් අපට දන්වා සිටියා. ඒ කියන්නේ දැන් තිබෙන ආදායම වසර 03ක් තුළ 75%කින් ඉහළ නැංවිය යුතුයි. එයයි අපට තිබෙන අභියෝගය. එසේ නොකළහොත් අපට ආධාර ලැබෙන්නේ නැහැ. එසේ සිදු කරනවා නම් විශාල බරක් දැරීමට සිදුවෙනවා. එහෙත් අපට ඉදිරියට යා හැකියි. ඔවුන් ඉදිරිපත් කරන කරුණු සමග අපට වාද කිරීම අසිරුයි. 
 
මේ තත්ත්වය තවත් පැහැදිළි කරනවා නම් අපට 2019 වර්ෂයේ දී සම්පූර්ණයෙන්ම ආදායම් බදු ගෙවන ලිපි ගොනු ලක්ෂ 15ක් තිබුණා. ඊළගට වැට් බදු, ජාතිය සංවර්ධනය කිරීමේ බදු ගෙවන අය ගත්තොත් ලිපි ගොනු එක්ලක්ෂ විසි දෙදහසක් තිබුණා. 
 
සම්පුර්ණයෙන් ලක්ෂ 16ක ලිපිගොනු තිබුණා. පසුව සිදු වූ මේ බදු ඉවත් කිරීමත් සමග 2021 දෙසැම්බර් මාසය වන විට අපට ආදායම් බදු ගෙවන ලිපි ගොනු ලක්ෂ 04යි තිබුණේ. එය ලක්ෂ 15 සිට ලක්ෂ 04 දක්වා අඩු වී තිබුණා. 
 
ඒ වගේම අනිත් බදු ගෙවන ලිපි ගොනු එක්ලක්ෂ විසි දෙදහසේ සිට නවදහස නවසිය හැත්තෑ හයකට අඩු වුණා. එහෙමනම් අපට තිබු බදු ගෙවන ලිපි ගොනු ලක්ෂ 16 සිට ලක්ෂ 04කට අඩු වුණා. ඒ අනුව ඔවුන් අපට පෙන්වා දුන්නා මේ බදු අය කරන එක අඩු කළහම අපි කොහොමද අපේ ජනතාවගෙන් අය කරගන්න බදු ඔබලට ලබා දෙන්නේ කියලා. ඒ අනුව තමයි අපි බදු අය කිරීම මේ තත්ත්වයට ගෙන ඒමට කටයුතු කළේ. මෙම පියවර නොගත්තොත් අපට ඉදිරියට යන්න බැහැ. 
 
2023 ජනවාරි 25 වෙනිදා අපට ලැබුණු ආදායම රුපියල් බිලියන 145යි. වැටුප්, විශ්‍රාම වැටුප්, සමෘද්ධි යන සියලු ප්‍රාග්ධන වියදම් ගත් විට බිලියන 143යි. එපමණක් නොවෙයි ණය ගෙවීමට තව බිලියන 355ක් අවශ්‍යයි. ජනවාරි මාසයේ අපේ සම්පූර්ණ වියදම රුපියල් බිලියන 498යි. එහෙත් අපේ ආදායම මිලියන 145යි. විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළහොත් කාලයත් සමග අපට මේ තත්ත්වයෙන් ගොඩ ඒමට හැකියාව තිබෙනවා. 
 
ඒ වගේම තවත් ගැටලු තිබෙනවා 2022 වර්ෂයේ රාජ්‍ය ආයතනවල පාඩුව බිලියන 794යි. අපට ඒවා පියවීමට මේ වසරේ මුදල් නැහැ. ඒ නිසා අපි මේ අලාභය පියවා ගත යුතුයි. අද විදුලිබිල ගැටලුව සියලුදෙනාට බලපා තිබෙනවා. 
 
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල අපට දන්වා තිබෙන්නේ බදු ආදායම් ලබා ගන්නේ නැත්නම් අනෙක් රටවල බදු ආදායම ලබා දෙන්නේ නැහැ කියලා. ඒ අය තව කාරණයක් පෙන්වා දුන්නා. අපේ රටේ වැඩිම බදු වියදම් තිබෙන්නේ සාමාන්‍ය ජනතාවට කියලා. තායිලන්තය වැනි රටවල තීරුබදු වලින් ලැබෙන්නේ රජයේ ආදායමෙන් 2.8%යි. ආදායම් බදුවලින් ලැබෙනවා 30.1%ක්. ඉන්දියාව තීරුබදු වලින් 4.5%ක් ලබන අතර ආදයම් බදුවලින් 45.6%ක් ලබනවා. අපේ රටේ තීරු බදුවලින් 26.3% ලැබෙන අතර ආදායම් බදු වලින් ලැබෙන් 17.7%යි. ඒ නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දැනුම් දුන්නා බදු ඉහළ නංවන විට ආදායම් බදු ඉහළ නංවන්න, වෙනත් බදුවලින් අය කර ගැනීම නිසා අඩු ආදායම්ලාභී ජනතාව අපහසුතාවට පත්වෙනවා කියලා. 
 
අපි සියලුදෙනා අසීරු අවස්ථාවක ඉන්න බව මම පිළිගන්නවා. ගොවි ජනතාවට මෙවර මහ කන්නයේ හොද අස්වැන්නක් ලබාදීමට අපි කටයුතු කර තිබෙනවා. බඩු මිල, ප්‍රවාහන වියදම්, තෙල් මිල ඉහළ යාම හේතුවෙන්  ඇතිවී තිබෙන පීඩාව අපි සියලුදෙනා දරාගෙන ඉන්නවා. අපට මෙයින් ඈත් වෙන්න බැහැ. 
 
අපේ අදායම් ස්ථාවර මට්ටමකට පැමිණෙනවා නම්, මීට වඩා දියුණු වෙනව නම් මේ වසරේ තුන්වන කාර්තුවේදී සහනයක් ලෙස රජයේ සේවකයින් සියලුදෙනාට වැඩිපුර දීමනාවක් ලබාදීමට මම බලාපොරොත්තු වෙනවා. අපේ ආර්ථිකය දියුණුවීමත් සමග වැටුප් ඉහළ නැංවිය යුතුයි. අපි ලාභය ඉහළ නංවාගත යුතුයි. 
 
මේ ඇත්ත කතා කිරීම දේශපාලනඥයෙක්ලෙස අසීරු කාර්යයක්. එහෙත් මම පැරදුනත්, දිනුවත් ඇත්ත තත්ත්වය සෑම විටම පෙන්වා දෙනවා.  ජනතාවට මේ අසීරු තත්ත්වයෙන් ගොඩඒමට පාර්ලිමේන්තුවේ සහාය ලබාදෙන්න කියලා මම සියලුදෙනාගෙන් ඉල්ලනවා. 
 
ජපානය ඇතුළු පැරිස් සමුළුවේ රටවල් එකතුවෙලා අපේ මේ යෝජනා පිළිඅරගෙන සාකච්ඡා කර තිබෙනවා. ඒ වගේම ඉන්දියාව සමග සාකච්ඡා කළා. 
 
චීනය දැන් එම යෝජනාව පිළිගෙන තිබෙනවා. පෙබරවාරි මාසය වන විට ඇති වන මෙම තත්ත්වය සමග අපට විදේශ විනිමය ලැබෙනවා. එවිට ක්‍රමානුකූලව මේ ප්‍රශ්න විසදා ගත හැකියි. අපි අලුත් ආර්ථිකයක් ඇති කළයුතුයි. අනුරාධපුර රාජධානිය ණය වෙලා හිටියේ නැහැ. ශක්තිමත් රාජධානියක් තිබුණා. අපි එය මතක තබාගෙන ආර්ථිකය ගොඩනැංවිය යුතුයි. 
View the embedded image gallery online at:
http://newstube.lk/news?start=2610#sigProIda4b869d73d

පාර්ලිමේන්තුවේ වාර අවසන් කළාට පස්සේ වෙනදේ මෙන්න !

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 (1) ව්‍යවස්ථාව ප්‍රකාරව ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත පැවරී ඇති බලතල අනුව ඊයේ (27) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි පාර්ලිමේන්තුව වාර අවසාන කර ඇත .

ඊට අදාළ ගැසට් නිවේදනය ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ නියෝගය මත ජනාධිපති ලේකම්වරයා විසින් නිකුත්කර තිබේ.

ඊට අනුව, නවවැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභාවාරය ලබන පෙබරවාරී 08 වනදා පෙ.ව 10.00 ට ආරම්භ වෙයි.

පාර්ලිමේන්තුව වාර අවසාන කළ විට එතෙක් යථාපරිදි පාර්ලිමේන්තුව විසින් සලකා නොබලන ලද ප්‍රශ්න සහ යෝජනා අහෝසි වෙයි.

ඒ අනුව මන්ත්‍රීවරුන් නැවත වාරයක් ඒ සම්බන්ධව ස්ථාවර නියෝග අනුව කටයුතු කළ යුතුය.

තවද පාර්ලිමේන්තුවේ සම්බන්ධීකරණ කාරක සභාව, උසස් නිලතල පිළිබඳ කාරක සභාව, විශේෂ කාරක සභා සහ ආංශික අධීක්ෂණ කාරක සභා හැර අනෙකුත් සියලු කාරක සභා නව සභාවාරයේදී නැවත පත්කළ යුතුය.

නවවැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය 2020 අ‌ගෝස්තු 20 සිට 2021 දෙසැම්බර් 12 දක්වාත්, දෙවන සභාවාරය 2022 ජනවාරි 18 සිට 2022 ජූලි 28 දක්වාත් පවත්වා තිබේ.
ඒ අනුව නව වැනි පාර්ලිමේන්තුවේ තුන්වැනි සභාවාරය 2022 අගෝස්තු 03 දින ආරම්භ වූ අතර ඊයේ (27) වාර අවසාන කරන මොහොත වන විට පාර්ලිමේන්තුව දින 58ක් රැස්වී තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 වන ව්‍යවස්ථාවේ (අ) සහ (ආ) අනු ව්‍යවස්ථා අනුව පාර්ලිමේන්තුවේ එක් සභාවාරයක් අවසන්කොට නව සභාවාරයක් ආරම්භ කරන අවස්ථාවේදී ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව උත්සවාකාරයෙන් විවෘත කොට මුලසුන දරමින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමටද අවස්ථාව හිමිවෙයි.

බන්කි මූන් ආයෙත් ලංකාවට !

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු මහ ලේකම් බන්කි මූන් එළැඹෙන 6 වන දා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව ඇති බව වාර්තා වෙයි .

ඔහුගේ මෙම සංචාරයේදී මෙරට තිරසර සංවර්ධනයට හා දේශගුණික විපර්යාසවලට අදාල ගිවිසුම්, සම්මුති කිහිපයක් ඇතිකර ගැනීමට නියමිත බවත් වාර්තා වෙයි .

බන්කි මූන් මේ වන විට දකුණු කොරියාවේ රාජ්‍ය ආයතනයක් වන ගෝලීය හරිත වර්ධක ආයතනයේ සභාපති වරයා හා ප්‍රධානියා වශයෙන් කටයුතු කරන අතර ඔහුගේ මේ සංචාරය සිදුවන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ආරාධනයක් අනුව බවත් දැනගන්නට ඇත .

 ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරාධනාවකට අනුව ඔහු මෙරටට පැමිණේ.

ළඟදීම මාලිමාවේ ආණ්ඩුව එනවා : රට හැර යන්න එපා - අනුර දන්වයි !

මාලිමාවේ ආණ්ඩුවක් නුදුරේදීම හදන හෙයින් රට ඇත හැර නොයන්නැයි වෘත්තීයවේදීන් ඇතුළු සියලු පාර්ශවලින් ඉල්ලීමක් කරන බව ජාතික ජන බලවේගය පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පැවසීය.

"අපි සියලුම දෙනා එක්වී රට හදමු" යයිද ඔහු සඳහන් කළේය.

ජාතික ජනබලවේගය හමුවක් අමතමින් වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු මෙසේද පැවසීය.

අපේ රට පාලනය කරන්නේ කවුද? අරක්කු ෆැක්ටරි අයිතිකාරයෝ, වැලිගොඩදාන අය, තැබෑරුම් අයිතිකාරයෝ, මංකොල්ලකාරයෝ, අපරාධකාරයෝ. මේ රට පාලනය කළේ කිසිදු තෙතමනයක් නැති අය. හිරිවැටුණු නායකයෝ. ආර්ථිකය වට්ටලා ජනතාවගේ පඩිපතට ගහන්න පටන් අරගෙන තිබෙනවා.

වෘත්තීමය ශ්‍රම බලකාය සියයට 15 යි. ඔවුන්ගේ පඩියට විශාල බද්දක් ගහනවා. බැංකුවල ඉහළ කළමනාකරුවන් 500 දෙනෙක් මේ රට දමාගොස් තිබෙනවා. ගිය මාසේ අගොස්තු වෙනකොට වෛද්‍යවරු පන්සිය දෙනෙක් රට දමා ගොස් තිබෙනවා. ගිය අවුරුද්ද අවසන් වෙනකොට වෛද්‍යවරු 470ක් රට දමාගොස් තිබෙනවා.

චාල්ස්ගේ ඉල්ලා අස්වීම : කොමිසම කිසිඳු දැනුම්දීමක් කර නෑ - ව්‍යවස්ථා සභාව කියයි !

මැතිවරණ කොමිසමේ සාමාජිකාවක ඉල්ලා අස්වී ඇතැයි මෙතෙක් නිල වශයෙන් දැනුම් දී නැති බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පවසයි.

මේ සම්බන්ධයෙන් නිල වශයෙන් දැනුම් දුන් පසු සුදුසු ක්‍රියාමාර්ග ගන්නා බවත් ව්‍යවස්ථාදායක සභාවේ සභාපති කතානායක මහින්ද යාපා අබේවර්ධන පවසයි.

මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකාවක වූ එස්.එස්.චාල්ස් මහත්මිය පසුගියදා ඉල්ලා අස්වූ බව නිවේදනය වූ අතර ඒ අනුව මේ වන විට මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජික සංඛ්‍යාව හතරක් දක්වා පහත වැටී ඇත.

මේ අතර පී.එස්.එම්.චාල්ස් ගේ මේ ඉල්ලා අස්වීම පිළිගන්නවා ද?නැද්ද? යන කාරණය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙතෙක් තීරණය කර නොමැති බවත් වාර්තා වෙයි.

එසේම ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා වල සඳහන් වන්නේ ල්ස් මහත්මියගේ ඉල්ලා අස්වීම පිළිගන්නවාද? නැද්ද? යන කාරණය ජනාධිපතිවරයා ඉදිරි දිනකදී තීරණය කරනු ඇති බවය.

මැතිවරණ කොමිසමේ රාජකාරිවලින් තමා ඉල්ලා අස්වන බවට පී.එස්.එම් චාල්ස් මහත්මිය ජනාධිපතිවරයාට දැනුම්දී ඇති දිනය ලෙස මාධ්‍ය වාර්තා වල දැක්වුණේ පසුගිය 25 වනදාය.

මැතිවරණ කොමිසමේ තවත් සාමාජිකයෙක්ට මරණ තර්ජන !

මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජික එම්.එම්.මොහොමඩ්ට සිය ධුරයෙන් ඉවත් වන ලෙසට දුරකථනයෙන් ඊයේ (27) රාත්‍රියේ මරණ තර්ජන එල්ල කර ඇතැයි වාර්තා වේ.

එමෙන්ම මීට පෙර මරණ තර්ජන එල්ල වු එස්.බී. දිවාරත්නට ද කෙටි පණිවිඩයක් ඔස්සේ යළිත් වරක් මරණ තර්ජන එල්ල කර ඇති බව කොමිෂන් සභා ආරංචිමාර්ග සඳහන් කළේ‍ය.

මරණ තර්ජන එල්ල වූකේපීපී පතිරණ සහ දිවාරත්න යන සාමාජික මහත්වරුන්ට විශේෂ පොලිස් ආරක්ෂාවක් ලබාදී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් පවත්වයි.

එස්.බී. දිවාරත්න හා කේ.පී.පී. පතිරණට තමන් දරන ධුරවලින් ඉවත් වන ලෙසට මරණ තර්ජන එල්ල කර තිබුණේ පසුගිය 18 වැනිදාය.

-මුලාශ්‍රය lankadeepa

වික්ටෝරියා නුලන්ඩ් ලංකාවේ සංචාරයක

දේශපාලන කටයුතු පිළිබඳ අමෙරිකානු නියෝජ්‍ය රාජ්‍ය ලේකම් වික්ටෝරියා නුලන්ඩ්  දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.

අමෙරිකා - ශ්‍රී ලංකා සබඳතාවලට වසර 75ක් සපිරීම සනිටුහන් කරමින් අමෙරිකානු නියෝජිතවරිය ඉදිරි සතියේ දී දිවයිනට පැමිණීමට නියමිත බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.

ආර්ථික ස්ථාවරත්වය ඇතිකිරීම, මානව හිමිකම් ආරක්ෂා කිරීම හා සංහිඳියාව ප්‍රවර්ධනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ගනු ලබන ක්‍රියාමාර්ගවලට අමෙරිකාවේ අඛණ්ඩ සහය සහතික කිරීම දේශපාලන කටයුතු පිළිබඳ අමෙරිකානු නියෝජ්‍ය රාජ්‍ය ලේකම්වරියගේ සංචාරයේ අරමුණ වී තිබේ.

මත්ද්‍රව්‍ය උවදුර කුමන හෝ ක්‍රමයකින් පාලනය කරනවා - ආරක්ෂක ඇමති

රටේ ව්‍යාප්තව පවතින මත්ද්‍රව්‍ය උවදුර කුමන හෝ ක්‍රමයකින් පාලනය කරන බව මහජන ආරක්‍ෂක අමාත්‍ය ටිරාන් අලස් පැවසීය.

මත්ද්‍රව්‍ය පාලනය කිරීම සඳහා අවශ්‍ය ඕනෑ ම තීරණයක් ගැනීමට ජනාධිපතිවරයා තමාට උපදෙස් දී ඇති බව ද හෙතෙම කීය.

අනාගත දරු පරපුර විනාශ කිරීම වහා නතර කරන ලෙස තමා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් ඉල්ලා සිටින බවත් ඔවුන් එසේ නොකරන්නේ නම් කුමන ආකාරයකින් හෝ නතර කිරීමට පියවර ගන්නා බවත් ඔහු සඳහන් කළේ ය.

මත්ද්‍රව්‍ය උවදුර හා පාතාලය මැඩලීම වැනි කාරණා පාලනය කිරීම සඳහා අවශ්‍ය කඩිනම් පියවර ගැනීම පිළිබඳව මේ වසරේ විශේෂ අවධානය යොමු කර ඇති බව ද ඇමතිවරයා පැවැසීය.

මහජන ආරක්ෂක අමාත්‍යවරයා එබව අවධාරණය කර සිටියේ ඊයේ (27) පැවති මාධ්‍ය හමුවකදීය. මහජන ආරක්ෂක අමාත්‍යාංශයට අයත් රාජ්‍ය ආයතන ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් මෙම මාධ්‍ය හමුව බත්තරමුල්ලේ අමාත්‍යංශ ශ්‍රවනාගාරයේ දී පැවැත්වුණි.

 “මත්ද්‍රව්‍ය-මිනීමැරුම්-ස්ත්‍රී දූෂණවලට මරණ දඬුවම දිය යුතුයි”

 මත්ද්‍රව්‍ය, ස්ත්‍රී දූෂණ හා මිනීමැරුම්වලට මරණ දණ්ඩනය ක්‍රියාත්මක කලයුතු බව තමාගේ පෞද්ගලික මතය බවද ඔහු සඳහන් කළේය.

මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ බොහොමයක පාතාල ක්‍රියාකාරකම් වැඩි වී ඇති බවත් ඒ සියල්ල මුලිනුපුටා දැමිය යුතු බවත් හෙතෙම සඳහන් කළේ ය.

මෙවැනි අපරාධ සිදු කරන පිරිස මේ සියල්ල වහා නතර කිරීමට පියවර නොගන්නේ නම් ඔවුන් කොහේ හෝ සැඟව සිටිමින් මේ ව්‍යාපාර මෙහෙයවුවත් ඒ සියලු දේ විනාශ කිරීමට පියවර ගන්නා බව ද ඔහු පැවැසීය.

තව ද මෙවැනි අපරාධ සම්බන්ධයෙන් පොලිසියට තොරතුරු ලබා දීමට 118 ක්‍ෂණික දුරකතන අංකය ඔස්සේ හැකියාව තිබෙන බවත් මේ සම්බන්ධයෙන් මහ ජනතාවගේ සහයෝගය ඉතා වැදගත් බවත් ඇමතිවරයා තවදුරටත් පැවසුවේ ය.

අමාත්‍යාංශ දෙකකට අලුත් ලේකම්වරු

අමාත්‍යාංශ දෙකකට නව ලේකම්වරු ජනාධිපතිවරයා විසින් පත්කරනු ලැබූහ.

මේ අනුව චූලානන්ද පෙරේරා  සංචාරක හා ඉඩම් අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන්ද ඩබ්ලිව් සමරදිවාකර  ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන්ද පත් කරනු ලැබ සිටිති.

ජනාධිපතිවරයා විසින් ජනවාරි 20 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි මෙම පත්කිරීම කරනු ලැබ ඇත.

13 වන ව්‍යවස්ථා සංශෝධනය ගැන ජනාධිපති තද ස්ථාවරයක !

ජනාධිපතිවරයාට හිමි විධායක බලතල අනුව රටේ පවතින නීතිය ක්‍රියාත්මක කිරීමට තමන් බැඳී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

13 වෙනි සංශෝධනය මුළුමනින්ම ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන්නේ ඒ අනුව බවත් එසේ නොමැති නම් පාර්ලිමේන්තුව හරහා 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කළ යුතු බවත් ජනාධිපතිවරයා අවධාරණය කර සිටියි.

13 වෙනි සංශෝධනය අහෝසි කිරීම සඳහා ඕනෑම මන්ත්‍රීවරයකුට පාර්ලිමේන්තුවට පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් ඉදිරිපත් කළ හැකි බව පෙන්වා දුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊට බහුතරය අකමැති වුවහොත් සිදු වන්නේ එය ක්‍රියාත්මක කිරීම පමණක් බව ද සඳහන් කළේය.

කෙසේ වුවද රට බෙදීමට කිසිසේත් සූදානම් නැති බවත් කිසි විටෙක සිංහල ජාතිය පාවා දීමට කටයුතු නොකරන බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කළේ ජනාධිපති කාර්යාලයේ ඊයේ (26) පැවති සර්ව පාක්ෂික හමුව අමතමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ජනාධිපතිවරයා මෙසේද පැවසීය.

විධායකය ලෙස මට පැවරී තිබෙන්නේ පවතින නීතිය ක්‍රියාත්මක කිරීමයි. 13 වන සංශෝධනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වසර 37ක පමණ කාලයක සිට තිබෙනවා. මම එය ක්‍රියාත්මක කළ යුතුයි. මම එය ක්‍රියාත්මක නොකරන්න නම් කවුරුන් හෝ 22 වෙනි සංශෝධනයක් ගෙනවිත් 13 වෙනි සංශෝධනය අහෝසි කළ යුතුයි. එසේ නොමැති නම් 13 වෙනි සංශෝධනය ක්‍රියාත්මක කළ යුතුයි. 13 වන සංශෝධනය ක්‍රියාත්මක කරන්නෙත් නෑ, අහෝසි කරන්නෙත් නෑ කියලා අපට මැදක සිටිය නොහැකියි. ඕනෑම අයෙකුට හැකියාව තිබෙනවා පාර්ලිමේන්තුවට පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් ගෙනැවිත් 13 වෙනි සංශෝධනය අහෝසි කරන්න කියලා ඉදිරිපත් කරන්න. ඊට බහුතරයක් අකමැති වුණොත් මොකද කරන්නේ. එවිට 13වන සංශෝධනය ක්‍රියාත්මක කරන්න සිදු වෙනවා.

මම කටයුතු කරන්නේ 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ විනිශ්චයකාර මණ්ඩලය ලබා දී ඇති තීන්දුව අනුවයි. විශේෂයෙන් පාලින්ද රණසිංහ අග්‍රවිනිශ්චයකාරතුමාගේ තීන්දුව. එතනට සීමා වුවහොත් ඇත්ත වශයෙන්ම අපි ඒකීය රාජ්‍යයකයි ඉන්නේ. මම ෆෙඩරල් රාජ්‍යයකට විරුද්ධයි. නමුත් බලතල බෙදා දීමට එකඟයි. දැන් අප පිහිටුවාගෙන තිබෙන පළාත් සභාවට ලන්ඩන් නගර සභාවට තිබෙන බලතලවත් නෑ. ලන්ඩන් නගර සභාවට මීට වඩා බලතල තිබෙනවා. එහෙම නම් මෙය ෆෙඩරල් රාජ්‍යයක් කියා කෙසේවත් කිව නොහැකියි.

මෙය ෆෙඩරල් රාජ්‍යයක් නොකරන්න ජේ. ආර්. ජයවර්ධන මැතිතුමා, නීතිඥවරු එක්ව බොහෝ දේ සිදු කළා. ‍ මෙතෙක් සිටි හැම ජනාධිපතිවරයෙක්ම 13වන සංශෝධනය ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා. තවදුරටත් එය ක්‍රියාත්මක නොකරනවා නම් අප එය ව්‍යවස්ථාවෙන් ඉවත් කළ යුතුයි.

යුද්ධය අවසන් වන විට විශාල ඉඩම් ප්‍රමාණයක් රජය යටතේ තිබුණා. ඉන්පසු මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන යන ජනාධිපතිවරු යටතේ ඉඩම්‍ නැවත ජනතාවට බාර දෙනු ලැබුවා. යාපනයේ වැඩිම ඉඩම් ප්‍රමාණයක් නැවත ජනතාව වෙත ලබා දුන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ පාලන සමයේදීයි. ඒ අනුව මේ වන විට ඉතිරිව තිබෙන්නේ තවත් අක්කර 3000ක වගේ ප්‍රමාණයක් පමණයි.

ආරක්ෂක කටයුතුවලට බාධා නොවන ආකාරයට එම ඉඩම් ප්‍රමාණයත් නිදහස් කරන කටයුත්ත ආරක්ෂක අංශවලට භාර දිය යුතුයි. ඔවුන්ගේ උපදෙස් අනුව කටයුතු කළ යුතුයි. අප ඉඩම් ලබාදීම සිදු කළේ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, ත්‍රිවිධ හමුදා ප්‍රධානීන් සමඟ සාකච්ඡා කර ඔවුන්ගේ අදහස් අනුවයි.

ඒ වගේම ඉඩම් කොමිසම වහාම පත් කළ යුතුයි. ඊට අදාළ කෙටුම්පත් මාර්තු මාසය වන විට ඉදිරිපත් කළ හැකියි. ඒ සඳහා පළාත් 09න් සාමාජිකයන් නව දෙනෙකු පත් කරන්න ව්‍යවස්ථාවේ ඇතුළත් කර තිබෙනවා. 12 දෙනෙකු ජනාධිපතිවරයා විසින් පත් කරනවා. ඉන්පසු ජාතික ඉඩම් ප්‍රතිපත්තියක් ගෙන ආ යුතුයි. එවිට ඉඩම් කොමිසමට ජාතික ඉඩම් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට හැකියාව ලැබෙනවා.

රටේ 30%ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් කැළෑවලට වෙන් වෙනවා. දැනට සිදුවී තිබෙන්නේ සැලැස්මක් නැතිව වනාන්තර සඳහා හදිසියේ ඉඩම් යට කිරීමයි. නමුත් උඩරට වගේම මහවැලි ගඟ, කැලණි ගඟ, කළු ගඟ යන ගංගා සියල්ලම ආරම්භ වන ස්ථානවල අපි වනාන්තර නැති කරගෙන තිබෙනවා. කෙසේ හෝ වනාන්තර ප්‍රමාණය වැඩි කළ යුතුයි. වන ඝනත්වය 30%ක් දක්වා ඉහළ නැංවීමේ රජයේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ඉඩම් පිළිබඳ තීරණය කිරීමට අප ඉඩම් කොමිසමට ඉඩ දිය යුතුයි. ඒ සඳහා මමත් උපරිමයෙන් කැප වී සිටිනවා.

පොලිසිය සම්බන්ධයෙන් පළාත් පොලිස් කොමිසම වෙනුවට ජාතික පොලිස් කොමිසම ඇති කිරීමට විරුද්ධ නම් සංශෝධනයක් ගෙනැවිත් එය පරාජය කළ හැකියි. දෙකෙන් එකක් කළ යුතුයි.

මෙම කටයුතු සම්බන්ධව අප ගනු ලබන පියවර පිළිබඳ මම පෙබරවාරි 08 වනදා පාර්ලිමේන්තුවට ප්‍රකාශයක් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා ඔබේ යෝජනා තිබෙනවා නම් 04 වෙනිදාට පෙර ලබා දුන්නොත් ඒවාත් ඇතුළත් කරගෙන අපි ඉදිරියට යමු.

මේ රට බෙදීමට මම සූදානම් නෑ. අපි කවුරුවත් ඊට සූදානම් නෑ. මෙතැන අසුන්ගෙන සිටින අප බහුතරයක් සිංහල අයයි. මේ එක්කෙනෙක්වත් සිංහල ජාතිය පාවා දෙන්නේ නෑ. සිංහල ජාතිය ලෝකයේ ඉන්නවා නම් දමිළ, මුස්ලිම් , බර්ගර් ඇතුළු ලංකාවේ අනෙක් කණ්ඩායම් සමඟත් එකට ජීවත් විය යුතුයි. මට විශ්වාසයි අපේ ජාතික ගීයේ සඳහන් “ එක මවකගේ දරුවෝ” යන්න අපි ආරක්ෂා කළහොත් අපේ රටේ එකමුතුකමත් රැකගෙන ඉදිරියට යා හැකි බව.

දේශපාලන සහ ආර්ථික ප්‍රශ්න සියලු දෙනාට එකඟ විය හැකි ආකාරයට පියවරෙන් පියවර අපි විසඳා ගනිමු. මීට පෙර අපි සියලුදෙනා එකඟ වූ ආකාරයට අපි මේ ප්‍රශ්නයේ හිර වෙන්නේ නැතිව ක්‍රියාත්මක වෙමු. අපි කිසිවෙක් පාවා දෙන්නෙත් නෑ. නැති වෙන්නෙත් නෑ. රට බෙදෙන්නෙත් නෑ. අද රට එකතු වෙලා තිබෙන්නේ.

පූජ්‍ය අතුරලියේ රතන හිමි, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, කථානායක මහින්ද යාපා අබේවර්ධන, හිටපු ජනාධිපතිවරු වන මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන, විජයදාස රාජපක්ෂ, පවිත්‍රා වන්නිආරච්චි, ඩග්ලස් දේවානන්දා, තිස්ස විතාරණ, වජිර අබේවර්ධන, රිෂාඩ් බදුර්දීන්, කුමාර වෙල්ගම, රාජිත සේනාරත්න, දුමින්ද දිසානායක, මහින්දානන්ද අලුත්ගමගේ, එම්.ඒ සුමන්තිරන් , රවුෆ් හකීම්, සී වී විග්නේෂ්වරන්, සුරේන් රාඝවන්, සරත් වීරසේකර, සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්, සාගර කාරියවසම්, ටිරාන් අලස්, ගෙවිඳු කුමාරතුංග, ඒ. එල්.එම් අතාවුල්ලා, ඉම්රාන් මහරූෆ් ඇතුළු පක්ෂ, විපක්ෂ මැති ඇමතිවරු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

View the embedded image gallery online at:
http://newstube.lk/news?start=2610#sigProIdcad847e1fd

Page 146 of 383