V2025

පුවත්

පාර්ලිමේන්තුවේ වාර අවසන් කළාට පස්සේ වෙනදේ මෙන්න !

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 (1) ව්‍යවස්ථාව ප්‍රකාරව ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත පැවරී ඇති බලතල අනුව ඊයේ (27) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි පාර්ලිමේන්තුව වාර අවසාන කර ඇත .

ඊට අදාළ ගැසට් නිවේදනය ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ නියෝගය මත ජනාධිපති ලේකම්වරයා විසින් නිකුත්කර තිබේ.

ඊට අනුව, නවවැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභාවාරය ලබන පෙබරවාරී 08 වනදා පෙ.ව 10.00 ට ආරම්භ වෙයි.

පාර්ලිමේන්තුව වාර අවසාන කළ විට එතෙක් යථාපරිදි පාර්ලිමේන්තුව විසින් සලකා නොබලන ලද ප්‍රශ්න සහ යෝජනා අහෝසි වෙයි.

ඒ අනුව මන්ත්‍රීවරුන් නැවත වාරයක් ඒ සම්බන්ධව ස්ථාවර නියෝග අනුව කටයුතු කළ යුතුය.

තවද පාර්ලිමේන්තුවේ සම්බන්ධීකරණ කාරක සභාව, උසස් නිලතල පිළිබඳ කාරක සභාව, විශේෂ කාරක සභා සහ ආංශික අධීක්ෂණ කාරක සභා හැර අනෙකුත් සියලු කාරක සභා නව සභාවාරයේදී නැවත පත්කළ යුතුය.

නවවැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය 2020 අ‌ගෝස්තු 20 සිට 2021 දෙසැම්බර් 12 දක්වාත්, දෙවන සභාවාරය 2022 ජනවාරි 18 සිට 2022 ජූලි 28 දක්වාත් පවත්වා තිබේ.
ඒ අනුව නව වැනි පාර්ලිමේන්තුවේ තුන්වැනි සභාවාරය 2022 අගෝස්තු 03 දින ආරම්භ වූ අතර ඊයේ (27) වාර අවසාන කරන මොහොත වන විට පාර්ලිමේන්තුව දින 58ක් රැස්වී තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 වන ව්‍යවස්ථාවේ (අ) සහ (ආ) අනු ව්‍යවස්ථා අනුව පාර්ලිමේන්තුවේ එක් සභාවාරයක් අවසන්කොට නව සභාවාරයක් ආරම්භ කරන අවස්ථාවේදී ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව උත්සවාකාරයෙන් විවෘත කොට මුලසුන දරමින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමටද අවස්ථාව හිමිවෙයි.

බන්කි මූන් ආයෙත් ලංකාවට !

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු මහ ලේකම් බන්කි මූන් එළැඹෙන 6 වන දා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව ඇති බව වාර්තා වෙයි .

ඔහුගේ මෙම සංචාරයේදී මෙරට තිරසර සංවර්ධනයට හා දේශගුණික විපර්යාසවලට අදාල ගිවිසුම්, සම්මුති කිහිපයක් ඇතිකර ගැනීමට නියමිත බවත් වාර්තා වෙයි .

බන්කි මූන් මේ වන විට දකුණු කොරියාවේ රාජ්‍ය ආයතනයක් වන ගෝලීය හරිත වර්ධක ආයතනයේ සභාපති වරයා හා ප්‍රධානියා වශයෙන් කටයුතු කරන අතර ඔහුගේ මේ සංචාරය සිදුවන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ආරාධනයක් අනුව බවත් දැනගන්නට ඇත .

 ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරාධනාවකට අනුව ඔහු මෙරටට පැමිණේ.

ළඟදීම මාලිමාවේ ආණ්ඩුව එනවා : රට හැර යන්න එපා - අනුර දන්වයි !

මාලිමාවේ ආණ්ඩුවක් නුදුරේදීම හදන හෙයින් රට ඇත හැර නොයන්නැයි වෘත්තීයවේදීන් ඇතුළු සියලු පාර්ශවලින් ඉල්ලීමක් කරන බව ජාතික ජන බලවේගය පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පැවසීය.

"අපි සියලුම දෙනා එක්වී රට හදමු" යයිද ඔහු සඳහන් කළේය.

ජාතික ජනබලවේගය හමුවක් අමතමින් වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු මෙසේද පැවසීය.

අපේ රට පාලනය කරන්නේ කවුද? අරක්කු ෆැක්ටරි අයිතිකාරයෝ, වැලිගොඩදාන අය, තැබෑරුම් අයිතිකාරයෝ, මංකොල්ලකාරයෝ, අපරාධකාරයෝ. මේ රට පාලනය කළේ කිසිදු තෙතමනයක් නැති අය. හිරිවැටුණු නායකයෝ. ආර්ථිකය වට්ටලා ජනතාවගේ පඩිපතට ගහන්න පටන් අරගෙන තිබෙනවා.

වෘත්තීමය ශ්‍රම බලකාය සියයට 15 යි. ඔවුන්ගේ පඩියට විශාල බද්දක් ගහනවා. බැංකුවල ඉහළ කළමනාකරුවන් 500 දෙනෙක් මේ රට දමාගොස් තිබෙනවා. ගිය මාසේ අගොස්තු වෙනකොට වෛද්‍යවරු පන්සිය දෙනෙක් රට දමා ගොස් තිබෙනවා. ගිය අවුරුද්ද අවසන් වෙනකොට වෛද්‍යවරු 470ක් රට දමාගොස් තිබෙනවා.

චාල්ස්ගේ ඉල්ලා අස්වීම : කොමිසම කිසිඳු දැනුම්දීමක් කර නෑ - ව්‍යවස්ථා සභාව කියයි !

මැතිවරණ කොමිසමේ සාමාජිකාවක ඉල්ලා අස්වී ඇතැයි මෙතෙක් නිල වශයෙන් දැනුම් දී නැති බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පවසයි.

මේ සම්බන්ධයෙන් නිල වශයෙන් දැනුම් දුන් පසු සුදුසු ක්‍රියාමාර්ග ගන්නා බවත් ව්‍යවස්ථාදායක සභාවේ සභාපති කතානායක මහින්ද යාපා අබේවර්ධන පවසයි.

මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකාවක වූ එස්.එස්.චාල්ස් මහත්මිය පසුගියදා ඉල්ලා අස්වූ බව නිවේදනය වූ අතර ඒ අනුව මේ වන විට මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජික සංඛ්‍යාව හතරක් දක්වා පහත වැටී ඇත.

මේ අතර පී.එස්.එම්.චාල්ස් ගේ මේ ඉල්ලා අස්වීම පිළිගන්නවා ද?නැද්ද? යන කාරණය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙතෙක් තීරණය කර නොමැති බවත් වාර්තා වෙයි.

එසේම ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා වල සඳහන් වන්නේ ල්ස් මහත්මියගේ ඉල්ලා අස්වීම පිළිගන්නවාද? නැද්ද? යන කාරණය ජනාධිපතිවරයා ඉදිරි දිනකදී තීරණය කරනු ඇති බවය.

මැතිවරණ කොමිසමේ රාජකාරිවලින් තමා ඉල්ලා අස්වන බවට පී.එස්.එම් චාල්ස් මහත්මිය ජනාධිපතිවරයාට දැනුම්දී ඇති දිනය ලෙස මාධ්‍ය වාර්තා වල දැක්වුණේ පසුගිය 25 වනදාය.

මැතිවරණ කොමිසමේ තවත් සාමාජිකයෙක්ට මරණ තර්ජන !

මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජික එම්.එම්.මොහොමඩ්ට සිය ධුරයෙන් ඉවත් වන ලෙසට දුරකථනයෙන් ඊයේ (27) රාත්‍රියේ මරණ තර්ජන එල්ල කර ඇතැයි වාර්තා වේ.

එමෙන්ම මීට පෙර මරණ තර්ජන එල්ල වු එස්.බී. දිවාරත්නට ද කෙටි පණිවිඩයක් ඔස්සේ යළිත් වරක් මරණ තර්ජන එල්ල කර ඇති බව කොමිෂන් සභා ආරංචිමාර්ග සඳහන් කළේ‍ය.

මරණ තර්ජන එල්ල වූකේපීපී පතිරණ සහ දිවාරත්න යන සාමාජික මහත්වරුන්ට විශේෂ පොලිස් ආරක්ෂාවක් ලබාදී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් පවත්වයි.

එස්.බී. දිවාරත්න හා කේ.පී.පී. පතිරණට තමන් දරන ධුරවලින් ඉවත් වන ලෙසට මරණ තර්ජන එල්ල කර තිබුණේ පසුගිය 18 වැනිදාය.

-මුලාශ්‍රය lankadeepa

වික්ටෝරියා නුලන්ඩ් ලංකාවේ සංචාරයක

දේශපාලන කටයුතු පිළිබඳ අමෙරිකානු නියෝජ්‍ය රාජ්‍ය ලේකම් වික්ටෝරියා නුලන්ඩ්  දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.

අමෙරිකා - ශ්‍රී ලංකා සබඳතාවලට වසර 75ක් සපිරීම සනිටුහන් කරමින් අමෙරිකානු නියෝජිතවරිය ඉදිරි සතියේ දී දිවයිනට පැමිණීමට නියමිත බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.

ආර්ථික ස්ථාවරත්වය ඇතිකිරීම, මානව හිමිකම් ආරක්ෂා කිරීම හා සංහිඳියාව ප්‍රවර්ධනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ගනු ලබන ක්‍රියාමාර්ගවලට අමෙරිකාවේ අඛණ්ඩ සහය සහතික කිරීම දේශපාලන කටයුතු පිළිබඳ අමෙරිකානු නියෝජ්‍ය රාජ්‍ය ලේකම්වරියගේ සංචාරයේ අරමුණ වී තිබේ.

මත්ද්‍රව්‍ය උවදුර කුමන හෝ ක්‍රමයකින් පාලනය කරනවා - ආරක්ෂක ඇමති

රටේ ව්‍යාප්තව පවතින මත්ද්‍රව්‍ය උවදුර කුමන හෝ ක්‍රමයකින් පාලනය කරන බව මහජන ආරක්‍ෂක අමාත්‍ය ටිරාන් අලස් පැවසීය.

මත්ද්‍රව්‍ය පාලනය කිරීම සඳහා අවශ්‍ය ඕනෑ ම තීරණයක් ගැනීමට ජනාධිපතිවරයා තමාට උපදෙස් දී ඇති බව ද හෙතෙම කීය.

අනාගත දරු පරපුර විනාශ කිරීම වහා නතර කරන ලෙස තමා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් ඉල්ලා සිටින බවත් ඔවුන් එසේ නොකරන්නේ නම් කුමන ආකාරයකින් හෝ නතර කිරීමට පියවර ගන්නා බවත් ඔහු සඳහන් කළේ ය.

මත්ද්‍රව්‍ය උවදුර හා පාතාලය මැඩලීම වැනි කාරණා පාලනය කිරීම සඳහා අවශ්‍ය කඩිනම් පියවර ගැනීම පිළිබඳව මේ වසරේ විශේෂ අවධානය යොමු කර ඇති බව ද ඇමතිවරයා පැවැසීය.

මහජන ආරක්ෂක අමාත්‍යවරයා එබව අවධාරණය කර සිටියේ ඊයේ (27) පැවති මාධ්‍ය හමුවකදීය. මහජන ආරක්ෂක අමාත්‍යාංශයට අයත් රාජ්‍ය ආයතන ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් මෙම මාධ්‍ය හමුව බත්තරමුල්ලේ අමාත්‍යංශ ශ්‍රවනාගාරයේ දී පැවැත්වුණි.

 “මත්ද්‍රව්‍ය-මිනීමැරුම්-ස්ත්‍රී දූෂණවලට මරණ දඬුවම දිය යුතුයි”

 මත්ද්‍රව්‍ය, ස්ත්‍රී දූෂණ හා මිනීමැරුම්වලට මරණ දණ්ඩනය ක්‍රියාත්මක කලයුතු බව තමාගේ පෞද්ගලික මතය බවද ඔහු සඳහන් කළේය.

මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ බොහොමයක පාතාල ක්‍රියාකාරකම් වැඩි වී ඇති බවත් ඒ සියල්ල මුලිනුපුටා දැමිය යුතු බවත් හෙතෙම සඳහන් කළේ ය.

මෙවැනි අපරාධ සිදු කරන පිරිස මේ සියල්ල වහා නතර කිරීමට පියවර නොගන්නේ නම් ඔවුන් කොහේ හෝ සැඟව සිටිමින් මේ ව්‍යාපාර මෙහෙයවුවත් ඒ සියලු දේ විනාශ කිරීමට පියවර ගන්නා බව ද ඔහු පැවැසීය.

තව ද මෙවැනි අපරාධ සම්බන්ධයෙන් පොලිසියට තොරතුරු ලබා දීමට 118 ක්‍ෂණික දුරකතන අංකය ඔස්සේ හැකියාව තිබෙන බවත් මේ සම්බන්ධයෙන් මහ ජනතාවගේ සහයෝගය ඉතා වැදගත් බවත් ඇමතිවරයා තවදුරටත් පැවසුවේ ය.

අමාත්‍යාංශ දෙකකට අලුත් ලේකම්වරු

අමාත්‍යාංශ දෙකකට නව ලේකම්වරු ජනාධිපතිවරයා විසින් පත්කරනු ලැබූහ.

මේ අනුව චූලානන්ද පෙරේරා  සංචාරක හා ඉඩම් අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන්ද ඩබ්ලිව් සමරදිවාකර  ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන්ද පත් කරනු ලැබ සිටිති.

ජනාධිපතිවරයා විසින් ජනවාරි 20 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි මෙම පත්කිරීම කරනු ලැබ ඇත.

13 වන ව්‍යවස්ථා සංශෝධනය ගැන ජනාධිපති තද ස්ථාවරයක !

ජනාධිපතිවරයාට හිමි විධායක බලතල අනුව රටේ පවතින නීතිය ක්‍රියාත්මක කිරීමට තමන් බැඳී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

13 වෙනි සංශෝධනය මුළුමනින්ම ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන්නේ ඒ අනුව බවත් එසේ නොමැති නම් පාර්ලිමේන්තුව හරහා 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කළ යුතු බවත් ජනාධිපතිවරයා අවධාරණය කර සිටියි.

13 වෙනි සංශෝධනය අහෝසි කිරීම සඳහා ඕනෑම මන්ත්‍රීවරයකුට පාර්ලිමේන්තුවට පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් ඉදිරිපත් කළ හැකි බව පෙන්වා දුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊට බහුතරය අකමැති වුවහොත් සිදු වන්නේ එය ක්‍රියාත්මක කිරීම පමණක් බව ද සඳහන් කළේය.

කෙසේ වුවද රට බෙදීමට කිසිසේත් සූදානම් නැති බවත් කිසි විටෙක සිංහල ජාතිය පාවා දීමට කටයුතු නොකරන බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කළේ ජනාධිපති කාර්යාලයේ ඊයේ (26) පැවති සර්ව පාක්ෂික හමුව අමතමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ජනාධිපතිවරයා මෙසේද පැවසීය.

විධායකය ලෙස මට පැවරී තිබෙන්නේ පවතින නීතිය ක්‍රියාත්මක කිරීමයි. 13 වන සංශෝධනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වසර 37ක පමණ කාලයක සිට තිබෙනවා. මම එය ක්‍රියාත්මක කළ යුතුයි. මම එය ක්‍රියාත්මක නොකරන්න නම් කවුරුන් හෝ 22 වෙනි සංශෝධනයක් ගෙනවිත් 13 වෙනි සංශෝධනය අහෝසි කළ යුතුයි. එසේ නොමැති නම් 13 වෙනි සංශෝධනය ක්‍රියාත්මක කළ යුතුයි. 13 වන සංශෝධනය ක්‍රියාත්මක කරන්නෙත් නෑ, අහෝසි කරන්නෙත් නෑ කියලා අපට මැදක සිටිය නොහැකියි. ඕනෑම අයෙකුට හැකියාව තිබෙනවා පාර්ලිමේන්තුවට පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් ගෙනැවිත් 13 වෙනි සංශෝධනය අහෝසි කරන්න කියලා ඉදිරිපත් කරන්න. ඊට බහුතරයක් අකමැති වුණොත් මොකද කරන්නේ. එවිට 13වන සංශෝධනය ක්‍රියාත්මක කරන්න සිදු වෙනවා.

මම කටයුතු කරන්නේ 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ විනිශ්චයකාර මණ්ඩලය ලබා දී ඇති තීන්දුව අනුවයි. විශේෂයෙන් පාලින්ද රණසිංහ අග්‍රවිනිශ්චයකාරතුමාගේ තීන්දුව. එතනට සීමා වුවහොත් ඇත්ත වශයෙන්ම අපි ඒකීය රාජ්‍යයකයි ඉන්නේ. මම ෆෙඩරල් රාජ්‍යයකට විරුද්ධයි. නමුත් බලතල බෙදා දීමට එකඟයි. දැන් අප පිහිටුවාගෙන තිබෙන පළාත් සභාවට ලන්ඩන් නගර සභාවට තිබෙන බලතලවත් නෑ. ලන්ඩන් නගර සභාවට මීට වඩා බලතල තිබෙනවා. එහෙම නම් මෙය ෆෙඩරල් රාජ්‍යයක් කියා කෙසේවත් කිව නොහැකියි.

මෙය ෆෙඩරල් රාජ්‍යයක් නොකරන්න ජේ. ආර්. ජයවර්ධන මැතිතුමා, නීතිඥවරු එක්ව බොහෝ දේ සිදු කළා. ‍ මෙතෙක් සිටි හැම ජනාධිපතිවරයෙක්ම 13වන සංශෝධනය ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා. තවදුරටත් එය ක්‍රියාත්මක නොකරනවා නම් අප එය ව්‍යවස්ථාවෙන් ඉවත් කළ යුතුයි.

යුද්ධය අවසන් වන විට විශාල ඉඩම් ප්‍රමාණයක් රජය යටතේ තිබුණා. ඉන්පසු මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන යන ජනාධිපතිවරු යටතේ ඉඩම්‍ නැවත ජනතාවට බාර දෙනු ලැබුවා. යාපනයේ වැඩිම ඉඩම් ප්‍රමාණයක් නැවත ජනතාව වෙත ලබා දුන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ පාලන සමයේදීයි. ඒ අනුව මේ වන විට ඉතිරිව තිබෙන්නේ තවත් අක්කර 3000ක වගේ ප්‍රමාණයක් පමණයි.

ආරක්ෂක කටයුතුවලට බාධා නොවන ආකාරයට එම ඉඩම් ප්‍රමාණයත් නිදහස් කරන කටයුත්ත ආරක්ෂක අංශවලට භාර දිය යුතුයි. ඔවුන්ගේ උපදෙස් අනුව කටයුතු කළ යුතුයි. අප ඉඩම් ලබාදීම සිදු කළේ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, ත්‍රිවිධ හමුදා ප්‍රධානීන් සමඟ සාකච්ඡා කර ඔවුන්ගේ අදහස් අනුවයි.

ඒ වගේම ඉඩම් කොමිසම වහාම පත් කළ යුතුයි. ඊට අදාළ කෙටුම්පත් මාර්තු මාසය වන විට ඉදිරිපත් කළ හැකියි. ඒ සඳහා පළාත් 09න් සාමාජිකයන් නව දෙනෙකු පත් කරන්න ව්‍යවස්ථාවේ ඇතුළත් කර තිබෙනවා. 12 දෙනෙකු ජනාධිපතිවරයා විසින් පත් කරනවා. ඉන්පසු ජාතික ඉඩම් ප්‍රතිපත්තියක් ගෙන ආ යුතුයි. එවිට ඉඩම් කොමිසමට ජාතික ඉඩම් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට හැකියාව ලැබෙනවා.

රටේ 30%ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් කැළෑවලට වෙන් වෙනවා. දැනට සිදුවී තිබෙන්නේ සැලැස්මක් නැතිව වනාන්තර සඳහා හදිසියේ ඉඩම් යට කිරීමයි. නමුත් උඩරට වගේම මහවැලි ගඟ, කැලණි ගඟ, කළු ගඟ යන ගංගා සියල්ලම ආරම්භ වන ස්ථානවල අපි වනාන්තර නැති කරගෙන තිබෙනවා. කෙසේ හෝ වනාන්තර ප්‍රමාණය වැඩි කළ යුතුයි. වන ඝනත්වය 30%ක් දක්වා ඉහළ නැංවීමේ රජයේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ඉඩම් පිළිබඳ තීරණය කිරීමට අප ඉඩම් කොමිසමට ඉඩ දිය යුතුයි. ඒ සඳහා මමත් උපරිමයෙන් කැප වී සිටිනවා.

පොලිසිය සම්බන්ධයෙන් පළාත් පොලිස් කොමිසම වෙනුවට ජාතික පොලිස් කොමිසම ඇති කිරීමට විරුද්ධ නම් සංශෝධනයක් ගෙනැවිත් එය පරාජය කළ හැකියි. දෙකෙන් එකක් කළ යුතුයි.

මෙම කටයුතු සම්බන්ධව අප ගනු ලබන පියවර පිළිබඳ මම පෙබරවාරි 08 වනදා පාර්ලිමේන්තුවට ප්‍රකාශයක් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා ඔබේ යෝජනා තිබෙනවා නම් 04 වෙනිදාට පෙර ලබා දුන්නොත් ඒවාත් ඇතුළත් කරගෙන අපි ඉදිරියට යමු.

මේ රට බෙදීමට මම සූදානම් නෑ. අපි කවුරුවත් ඊට සූදානම් නෑ. මෙතැන අසුන්ගෙන සිටින අප බහුතරයක් සිංහල අයයි. මේ එක්කෙනෙක්වත් සිංහල ජාතිය පාවා දෙන්නේ නෑ. සිංහල ජාතිය ලෝකයේ ඉන්නවා නම් දමිළ, මුස්ලිම් , බර්ගර් ඇතුළු ලංකාවේ අනෙක් කණ්ඩායම් සමඟත් එකට ජීවත් විය යුතුයි. මට විශ්වාසයි අපේ ජාතික ගීයේ සඳහන් “ එක මවකගේ දරුවෝ” යන්න අපි ආරක්ෂා කළහොත් අපේ රටේ එකමුතුකමත් රැකගෙන ඉදිරියට යා හැකි බව.

දේශපාලන සහ ආර්ථික ප්‍රශ්න සියලු දෙනාට එකඟ විය හැකි ආකාරයට පියවරෙන් පියවර අපි විසඳා ගනිමු. මීට පෙර අපි සියලුදෙනා එකඟ වූ ආකාරයට අපි මේ ප්‍රශ්නයේ හිර වෙන්නේ නැතිව ක්‍රියාත්මක වෙමු. අපි කිසිවෙක් පාවා දෙන්නෙත් නෑ. නැති වෙන්නෙත් නෑ. රට බෙදෙන්නෙත් නෑ. අද රට එකතු වෙලා තිබෙන්නේ.

පූජ්‍ය අතුරලියේ රතන හිමි, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, කථානායක මහින්ද යාපා අබේවර්ධන, හිටපු ජනාධිපතිවරු වන මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන, විජයදාස රාජපක්ෂ, පවිත්‍රා වන්නිආරච්චි, ඩග්ලස් දේවානන්දා, තිස්ස විතාරණ, වජිර අබේවර්ධන, රිෂාඩ් බදුර්දීන්, කුමාර වෙල්ගම, රාජිත සේනාරත්න, දුමින්ද දිසානායක, මහින්දානන්ද අලුත්ගමගේ, එම්.ඒ සුමන්තිරන් , රවුෆ් හකීම්, සී වී විග්නේෂ්වරන්, සුරේන් රාඝවන්, සරත් වීරසේකර, සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්, සාගර කාරියවසම්, ටිරාන් අලස්, ගෙවිඳු කුමාරතුංග, ඒ. එල්.එම් අතාවුල්ලා, ඉම්රාන් මහරූෆ් ඇතුළු පක්ෂ, විපක්ෂ මැති ඇමතිවරු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

View the embedded image gallery online at:
http://newstube.lk/news?start=2646#sigProIdcad847e1fd

ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් : සාගල හමුවෙයි !

ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් මයිකල් ඇප්ල්ටන්(Michael Appleton) සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක සාගල රත්නායක අතර හමුවක් ඊයේ (26) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුනි.

දෙරට අතර ආර්ථික හා දේශපාලන කටයුතු සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කරන ලදී .

ලංකාවේ ආර්ථික දියුණුව වෙනුවෙන් ආරම්භ කර ඇති වැඩ පිළිවෙල අගය කල ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස්වරයා ඉදිරියටත් මෙරට දියුණුව වෙනුවෙන් සහාය දෙන බවද ඔහු සාගල රත්නායක මහතා හමුවේ ප්‍රකාශ කරන ලදී.

IMG 20230127 WA0017

 

පාර්ලිමේන්තුව වාර අවසන් කිරීමේ ගැසට් නිවේදනයක්

අද(27) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමට අදාළව ජනාධිපතිවරයා ගත් තීරණයට අනුව ඊට අදාල ගැසට් නිවේදනය මුද්‍රණයට යැවූ බව ජනාධිපති කාර්යාලය පවසයි.

ජනාධිපති කාර්යාලය සඳහන් කළේ, පෙබරවාරි 8 වනදා පෙරවරු 10ට පාර්ලිමේන්තුවේ නව සැසිවාරය ආරම්භ වන බවයි.

අදාළ ගැසට් නිවේදනය මුද්‍රණය සඳහා ලැබුණු බව රජයේ මුද්‍රණාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු තහවුරු කළේ ය.

හිටපු ජනපති මෛත්‍රී කොටුව මහේස්ත්‍රාත් හමුවට

විවෘත අධිකරණයේදී නඩුවක් කැඳවූ අවස්ථාවේදී එහි විත්තිකරුවෙක් ලෙස විත්ති කූඩුවට නොනැගීම සම්බන්ධයෙන්හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට අද (27) කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ අවවාද කර ඇත.

පාස්කු ඉරු දින මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කරන බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදී එකී ප්‍රහාර ආරක්ෂක අමාත්‍යවරයා ලෙස හා රටේ විධායක ජනාධිපතිවරයා ලෙස වළක්වා ගැනීමට අපොහොසත්වීම අභියෝගයට ලක්කරමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනුකර ඇති පෞද්ගලික නඩුව අද කැඳවීය.

පසුව එය ලබන මාර්තු 17 වනදා නැවත කැඳවීමට මහෙස්‌ත්‍රාත්වරයා නියෝග කළේය.

කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට එල්ල කළ මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් පාදයක් අහිමි වු පුද්ගලයෙකු සහ ගරු සිරිල් ගාමිණී පියතුමා විසින් මෙම නඩුව ගොනුකර තිබුණි.

එම නඩුව අද දින විවෘත අධිකරණය හමුවේ කැඳවු අවස්ථාවේදි මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා විත්ති කූඩුවට නැගීමකින් තොරව ඉන් පිටත රැඳී සිටි අතර එම අවස්ථාවේදී පැමිණිලිකරුවන් වෙනුවන් පෙනී සිටි ජ්‍යේෂ්ඨ ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න සැකකාර මෛත්‍රීපාල සිරිසේන විත්ති කූඩුවෙන් පිටත රැඳීසිටීම සම්බන්ධව අධිකරණයේ අවධානය යොමුකර ඊට විරෝධතාව පළකර සිටියේය.

එහිදී සැකකරු වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා අධිකරණයට පෙන්වා දුන්නේ සිය සේවාදායකයාට එරෙහිව පවරා ඇති පෞද්ගලික නඩුව සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනිම අභියාචනාධිකරණය විසින් අත්හිටුවා ඇති බැවින් ඔහු විත්ති කූඩුවට නැගීමක් සිදුනොකළ බවය.

අභියාචනාධිකරණය විසින් තම අධිකරණයට නියෝග කර ඇත්තේ එම සැකකරුට චෝදනා පත්‍රය කියවා දී නඩුවේ ඉදිරි කටයුතු යළිත් අභියාචනාධිකරණයෙන් නියෝගයක් ලබාදෙන තුරු වැළැක්වීමක් මිස ඔහුට විත්ති කූඩුවට නොනගින ලෙසට නියෝගයක් නොවන බවට පෙන්වා දුන් කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ නඩුවේ සැකකරුගේ නම ප්‍රකාශකර නැවත අඬගසන ලෙස අධිකරණ භාෂා පරිවර්තකවරියට නියෝග කළේය.

දෙවන වරට නඩුව කැඳවූ පසු මෛත්‍රීපාල සිරිසේන විත්ති කූඩුවට නැගීම සිදුකළ අතර නඩුව නැවත කැඳවන විටදී සැකකරුවෙකු සිටිය යුතු ස්ථානය වන විත්ති කූඩුවට මින් ඉදිරියට නගින ලෙසත් ඔහුට මහෙස්ත්‍රාත්වරයා එහිදී ඔහුට අවවාද කළේය.

මාතරට හිරු පායන නිසා : හඬ පට ලීක් කරලා !

දුරකථන පාටියේ දකුණ පැත්තේ ඉතා බුද්ධිමත් කඩිසර හාදයෙක්ගේ දුරකථන සංවාද වගයක් ප්‍රචාරය වුණානේ. මේක අහම්බයක් වගේ දැක්කට වැඩේ ටිකක් සීරියස් කියලයි පක්ෂයේ ඇතුළේ අය කතා වෙන්නේ.

ඒකට හේතුව තමයි, මේ දුරකථන සංවාදයේ ඉන්න ගෑනු පාර්ශ්වය අලිපාටියේ මහැදුරුතුමාට විරුද්ධව කතාකරන කාන්තාව නිසාත්, ඒ කාන්තාව ගෙනාවේ කොළඹ හිරු මෙන් ඉන්න කෙනා නිසාත්ලු. ඇත්තටම ගොඩක් අය කියන්නේ මේක හිරු වගේ ඉන්න කෙනාගේ වැඩක් කියලා.

වැඩේ ලීක් කළේ එයා කියලා කියන්නේ නිකන් නෙමේලු. හේතුව එයා ඔය දකුණු පළාතෙ අර කඩිසර හාදයගේ පැත්තෙන් ඡන්දය ඉල්ලන්න යන නිසා කියලයි ආරංචිය.

කොළඹ දාලා එයා යන්නේ එයාගේ මුදුන් මුල් එහේ තියෙන නිසාලු. කොහොම වුණත් එයා යන්න කලින් හැමදාම ඡන්දය දිනුව කඩිසර හාදයා අනාථ කරන්න හිතාගෙන එයා අර කාන්තා පරාණයේ ෆෝන් එකේ තිබ්බ හඬපට ලීක් කළා කියලයි ඇතුළේ කතාව.

ඇත්ත නැත්ත කොහොම වුණත් මේ හඬපට එළියට ගියේ මෙයාගෙන් කියලා සමහරු කියනවලු. තවත් අය දන්නවා නොදන්නවා වගේ ඉන්නවලු.

මුජිබර් රනිල්ගෙන් ගේම ඉල්ලන්න ගහපු ගේම මෙන්න !

මෙදා සැරේ පළාත් පාලන චන්දෙ වැඩිම අවධානයක් ලැබිලා තියෙන්නේ කොළඹ නගර සභාවට.. මුජිබර් පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වෙලා කොළඹ මහ නගර සභාවේ නගරාධිපති කමට තරග කරන්න ආපු එකෙන් තමයි ග්‍රවුන්ඩ් එක, එක පාරටම හොට් හොට් වෙලා තියෙන්නේ .

මුජිබර් එනව කියල ආරංචි වෙච්ච ගමන් NPP එකත් මාර ගේමක් දුන්නා. එයාල කලේ කොළඹ මිඩ්ල් ක්ලාස් එකත් ටාගට් කරගෙන ජනප්‍රිය කාන්තාවක් මේයර් කැන්ඩිඩෙට් විදියට දාපු එක.

කොහොම වුනත්, මුජිබර් ගේ ගේම් එක එතනින් ඉවරවුනේ නෑ .. රනිල් එක්ක ගේමට මුජිබර් මෙදා සැරේ ඉල්ලන්නේ කොළඹ සුදු වැල්ල කොට්ඨාශයෙන් .. මැද කොළඹ වෙනින් කොට්ඨාසෙකින් ඉල්ලලා උඩින්ම දිනන්න පුළුවන් එකේ සුදු වැල්ලෙන් ම එන්නේ මොකද කියලා හුඟ දෙනෙකුට ප්‍රශ්නයක්.

ජනාධිපති රනිල්ට කොළඹ නගර සභාවේ ඉන්න හොඳ ම ගෝලයා කිත්සිරි රාජපක්ෂ . ඒ කියන්නේ මරදානේ හිටපු චෝප්පෙගේ පුතා. කිත්සිරි කියන්නේ රනිල් බලයේ හිටියත් නැතත් හැමදාම රනිල් එක්ක හිටපු කෙනෙක්.. දැනුත් රනිල් කොළඹ කොහෙ හරි ගියොත්, රනිල් ඉන්න ඕනෑම ෆොටෝ එකක ඔය කිත්සිරි ඉන්නවා. කිත්සිරි කියන්නේ සුදු වැල්ලේ පොඩි මිනිහගේ මෙම්බර්. එයා හැමදාම නගර සභාවට එන්නේ සුදු වැල්ලෙන්..

දැන්වත් මීටර් වෙනවද මුජිබර් සුදු වැල්ල කොට්ඨාශයෙන් මෙදා සැරේ චන්දෙට එන්නේ ඇයි කියලා. මුජිබර් මේ ගේම ඉල්ලන්නේ රනිල්ගෙන්..

කිත්සිරි නම් ඔය කට්ටිය එක්ක කියා කියා යනවා කියන්නේ, සුදු වැල්ලේ මුස්ලිම් කට්ටිය ඉන්නේ මුජිබර් එක්ක නෙමෙයි මගෙත් එක්ක කියලා. සුදු වැල්ලෙන් මේද සැරේ එන්නේ මුජිබර් ද ? රනිල්ගේ මෑන් ද කියලා චන්දෙ තිව්වොත් බලාගන්න පුළුවන් .. ඒත් ඉතිං තවත් අය කියන්නේ, මුජිබරුත් රනිල්ගෙන් ගේම ඉල්ලන්න මරු කස්ටියව අල්ලගන්නේ කියලා.

දේශපාලන වාර්තාකරු

75 වැනි නිදහස් සැමරුම අවම වියදමින් අභිමානවත්ව සැමරීමට ජනපතිගෙන් උපදෙස් !

නිදහස් දින සැමරුම් උත්සවය උත්කර්ෂවත් මෙන්ම අභිමානවත් ලෙස අවම පිරිවැයක් යටතේ සිදු කිරීම සම්බන්ධයෙන් වූ පූර්ව සාකච්ඡාවක් අද (26) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

ඒ අනුව 75 වන නිදහස් දින සමරු උත්සවයට සමගාමීව පෙබරවාරි 02 දා සිට 19 වන දා දක්වා විශේෂ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක වීමට නියමිතව ඇත. විශේෂ දළදා පූජාව හා මහ පිරිත් දේශනාව, සර්ව ආගමික වතාවත්, නිදහස් චතුරශ්‍රයේ දී පැවැත්වෙන සංස්කෘතික සංදර්ශනය, ගාලු මුවදොර පිටියේ දී පැවැත්වෙන සාම්ප්‍රදායික නිදහස් සැමරුම් ප්‍රධාන උත්සවය, මහජනතාවට නොමිලේ ජාතික උද්‍යාන හා ජාතික සත්වෝද්‍යාන ප්‍රදර්ශනය, යාපනය සංස්කෘතික මධ්‍යස්ථානය විවෘත කිරීම, මහනුවර ජනරජ පෙරහැර, දෙවුන්දර තුඩුවේ සිට පේදුරුතුඩුව දක්වා නිදහස් පාපැදි සවාරිය පැවැත්වීම ආදී විශේෂ වැඩසටහන් පැවැත්වීමට සූදානම් කර තිබේ.

මේ සදහා අවශ්‍ය වියදම් ඇස්තමේන්තු ගත කිරීමේදී හා ප්‍රායෝගිකව වියදම් කිරීමේදී රටේ වත්මන් මූල්‍ය තත්ත්වය පිළිබඳ අවධානය යොමු කිරීම දේශපාලන අධිකාරියේ සේම නිලධාරීන්ගේ ද වගකීමක් බවත්, ඊට අනුගතව වියදම් අවම කර ගනිමින් කටයුතු කරන ලෙසත් ජනාධිපතිවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් දෙනු ලැබීය.

75 වන නිදහස් දින උත්සවය සැමරීමට වෙන් කර ඇති මුදල් ප්‍රතිපාදන සම්බන්ධයෙන් ජනතාව තුළ දැවැන්ත විරෝධයක් පවතින බව සිහිපත් කළ ජනාධිපතිවරයා අවධාරණය කර සිටියේ ඒ කෙරෙහිද දැඩි අවධානය යොමු කරමින් අදාළ වියදම් අවම කර ගැනීමට කටයුතු කළ යුතු බවයි.

වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ 

"අපි හැත්තෑපස් වන නිදහස් දිනය සැමරිය යුතුයි. අපි එය සිදු නොකළහොත් ලෝකය කියයි අපට නිදහස් සැමරුමක්වත් පවත්වන්න බැහැ කියලා. ඒ වගේම අපිට සංචාරකයන් වගේම, ආයෝජකයන් කැඳවා ගැනීමට අවශ්‍යයි. අපේ රට ගැන හොඳ ප්‍රතිරූපයක් ගොඩනගන්න ඕන. ඒ නිසා වියදම් උපරිමයෙන් සීමා කර, අපි මේ නිදහස් දිනය සමරමු.
නිදහස් දින සැමරුමට සමගාමීව නාගරික වනාන්තර ඇති කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා. ඩුබායිවල පැවැත්වෙන දේශගුණික සමුළුට (COP28) සහභාගීවීමට පෙර අපි එහි කටයුතු ආරම්භ කිරීමට අපේක්ෂා කරනවා. ඒ වගේම නව ආයතන කිහිපයක් ආරම්භ කිරීමටත් නියමිතයි. ඊට අදාළ නීති සම්ම්ත කරගෙන වැඩකටයුතු ආරම්භ කරන විට අගෝස්තු මාසය පමණ විය හැකියි. ඒ වගේම රටට දීර්ඝ කාලීන ප්‍රතිලාභ ලැබෙන දේශගුණික විපර්යාස පිළිබඳ විශ්වවිද්‍යාලය ආරම්භ කිරීමට අපි සැලසුම් කර තිබෙනවා. කොහොමටත් මේ කටයුතු සඳහා මුලුමනින්ම වියදම් කිරීමට මහා භාණ්ඩාගාරයට මුදල් නැහැ. ඒ නිසා ප්‍රධාන කටයුතු සඳහා මුදල් වෙන් කිරීම සිදු කරන ගමන් තමයි අනෙකුත් කටයුතු ගැන අවධානය යොමු කරන්න වෙන්නේ.

 අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක සහ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පාලාත් පාලන, ආරක්ෂක, විදේශ කටයුතු, අධ්‍යාපන, බුද්ධශාසන හා සංස්කෘතික කටයුතු, ජනමාධ්‍ය, මුදල් යන අමාත්‍යාංශවල ලේකම්වරු සහ මහා භාණ්ඩාගාරය ඇතුළු රේඛීය ආයතනවල නිලධාරිහු මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

ජනාධිපති මාධ්‍ය අංශය
2023-01-26

View the embedded image gallery online at:
http://newstube.lk/news?start=2646#sigProId0cf758ead2

චාර්ල්ස් මැතිවරණ කොමිසමෙන් ඉවත්වූ හේතුව එළියට !

මැතිවරණ කොමිසමේ සාමාජිකා පී.එම්.එස්. චාර්ල්ස් එම කොමිසමෙන් ඉවත්වීමට හේතුව එහි සභාපති නිමල් පුංචිහේවා ඇයගේ අදහස් යෝජනා දිගින් දිගටම නොසලකා හැරීම හා ඇයට ඇහුම්කන් නොදීම පිළිබඳව අප්‍රසාදය බව වාර්තා වෙයි.

විශ්වාසවන්ත ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට උතුරේ අලුත් දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීමේ දී ඇය ඒ පිළිබඳව කතා කළ හැම අවස්ථාවකදිම මොහොමඩ් හා පුංචිහේවා ඊට විරුද්ධ වී ඇති බවත් ඇතැම් තීන්දු තීරණවලට ඇගේ අදහස් නොසලකා හැර ඇත.

මේ හේතුවෙන් ඇය කොමිසමේ සාමාජිකයකු ලෙස නමට පමණක් සිටින තත්ත්වයක් උද්ගතව ඇති අතර, එසේ රැඳීසිටීමට ඇති අකමැත්ත හේතුවෙන් මෙම ඉල්ලා අස්වීම සිදුව ඇති බවත් එම ආරංචිමාර්ග පවසයි.

කෙසේවුවත් නෙත් නිව්ස් වෙත අදහස් දැක්වූ කොමිසමේ ප්‍රකාශකයකු පවසා ඇත්තේ මෙම ඉල්ලා අස්වීම සම්බන්ධව මැතිවරණ කොමිසමේ කිසිදු දැනුවත් වීමක් නොමැති බවයි. එසේම මෙවැනි ක්‍රියාවලින් මැතිවරණ කොමිසමේ සාමාජිකා පී.එම්.එස්. චාර්ල්ස් වගකීම් විරහිතභාවය පෙන්නුම් කරන බවද ඔහු අවධාරණය කළ බවත් එම පුවතේ සඳහන් වෙයි.

මේ සම්බන්ධව අදහස් දක්වන දේශපාලන විචාරකයන් පවසන්නේ මැතිවරණ කොමිසමේ සාමාජිකාවක වන චාර්ල්ස් මහත්මියගේ ඉල්ලා අස්වීම සහ ඒ සම්බන්ධව මැතිවරණ කොමිසමේ ප්‍රකාශකයන් යැයි කියාගන්නා උදවියගේ ප්‍රතිචාර සැළකීමේදී කොමිසම තුළ පැහැදිළි බෙදීමක් දක්නට ලැබෙන බවය. ඒ හමුවේ මෙම කොමිෂන් සම්බන්ධව ජනතාව අතර ඇති විශ්වසනීයත්වයද පිරිහෙන බවත් එබැවින් ස්වාධීන කොමිෂන් සිය ස්වාධීනත්වය රැකගන්නා අතර එය දේශපාලන කඹ ඇදිලි සහ විවිධ පාර්ශ්වයන්ට පටු වාසි සැලසෙන ආකාරයට නොහැසිරීමට කටයුතු කළ යුතු බවත් ඔවුන් පෙන්වා දෙයි.

විනිසුරුවරුන්ගේ වැටුප්වලින් උපයන විට ගෙවීමේ බද්ධ අඩු කිරීමට එරෙහිව තහනම් නියෝගයක් !

විනිසුරුවරුන්ගේ වැටුප්වලින් "උපයන විට ගෙවීමේ බද්ධ" අඩු කරගැනීමට දේශිය ආදායම් දෙපාර්තමේන්තුව ගෙන තිබෙන තීරණය වළක්වාලමින් නිකුත් කර තිබෙන අතුරු තහනම් නියෝගය පිළිබඳව කරුණු දැක්වීම සඳහා අවස්ථාව ලබාදෙන ලෙස නීතිපතිවරයා විසින් අභියාචනාධිකරණයෙන් ඉල්ලා ඇත.

ශ්‍රී ලංකා දිස්ත්‍රික් විනිසුරුවරුන්ගේ හා මහේස්ත්‍රාත්වරුන්ගේ සංගමය විසින් ගොනු කළ පෙත්සමක් සලකා බැලූ අභියාචනාධිකරණය විසින් විනිසුරුවරුන්ගේ වැටුප් වලින් උපයන විට ගෙවීමේ බද්ධ අඩු කර ගැනීම වළක්වාලමින් ඊයේ (25) තාවකාලික අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබිණ.

සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබිණ.

මේ සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් සඳහන් කර තිබෙන්නේ ඇතැම් විනිසුරුවරුන්ගෙන් දැනටමත් මෙම බද්ද වැටුපෙන් අඩු කර ගැනීමට කටයුතු කර ඇති බවයි.

ඒ අනුව මීට අදාළව කරුණු දැක්වීම සඳහා තමන්ට අවස්ථාව ලබා දෙන ලෙසත් නීතිපතිවරයා අභියාචනාධිකරණයෙන් ඉල්ලා ඇත.

ඒ අනුව පෙත්සම ලබන 09 වන දා කැඳවීමට නියමිතව තිබේ.

මෙම පෙත්සම් බල වගඋත්තරකරුවන් ලෙස අධිකරණ අමාත්‍යාංශයේ ප්‍රධාන ගණකාධිකාරිවරයා සහ එම අමාත්‍යංශයේ ලේකම්වරයා නම් කර ඇත.

පෙත්සම්කාර විනිසුරු සංගම් පවසන්නේ විනිසුරුවරුන්ගේ වැටුප්වලින් උපයන විට ගෙවීමේ බද්ද අඩු කර ගැනීම සුදුසු නොවන බවත් එය ව්‍යවස්ථාපිත නීතියට පටහැනි බවයි.

ගුවන් නියමුවන්ට ශ්‍රී ලන්කන් එපා වෙලා !

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් නියමුවන් 42 ක් පසුගිය සතියේ සේවයෙන් ඉවත්වීමේ ලිපි භාරදුන් බවත් එහි ගුවන් නියමුවන් 85 ක් මේ වන විට ගුවන් සේවා අධිකාරියෙන් සහතික කිරීමේ ලිපි අයදුම් කර ඇති බවත් ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් නියමුවෙක්ට ඩොලර් 10,000 ක පමණ මාසික වැටුපක් හිමිවුවද එහිදී ඩොලරයේ අගය රුපියල් 225 ක අඩු මට්ටමකට ගණන කරන බව කී එම නිලධාරියා වෙනත් ජාත්‍යන්තර ගුවන් සමාගම්වල ගුවන් නියමුවෙක්ට රුපියල් 370 ට ගණනය කරන ඩොලර් 30,000 ත් 40,000 ත් අතර බදු නිදහස් වැටුපක් ලැබෙන බව ද සඳහන් කළේය.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් නියමුවන් 240 ක් පමණ සේවය කරන බවත් ඉන් නියමුවන් 80 ක් පමණ ඉවත්වුවහොත් මෙම වසර මැද වන විට ගුවන් සමාගම දැඩි අර්බුදයකට පත්වන බව සඳහන් කළ එම නිලධාරියා පැවසුවේ පසුගිය දෙසැම්පබර් මස සිට ඩොලරය රුපියල් 295 කට ගණනය කිරීම ආරම්භ කළ බවත්ය.

Page 148 of 385