V2025

පුවත්

පවිත්‍රාට සහ ජීවන්ට කැබිනට් ඇමතිකම්

ජීවන් තොණ්ඩමන් සහ පවිත්‍රා දේවි වන්නිආරච්චි නව අමාත්‍යවරු ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ දිවුරුම් දී තිබේ.

ඒ අනුව, ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජීවන් තොණ්ඩමන් දිවුරුම් දුන්නේ ය.

වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යවරිය ලෙස දිවුරුම් දෙනු ලැබුවේ, පවිත්‍රා දේවි වන්නිආරච්චි මහත්මියයි.

මෙම අමාත්‍ය ධුරය කලින් දැරු මහින්ද අමරවීර අද උදෑසන ඉන් ඉවත් වුණේ ජනාධිපතිවරයාට නව අමාත්‍යවරයෙකු පත් කර ගැනීමට ඉඩ සලසමිනි.

සිරිධම්ම හිමිට සස්ටජන් ගන්න මහේස්ත්‍රාත්වරිය මුදල් දීලා !

රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව අත්අඩංගුවට ගෙන රඳවා තබා පසුව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ යන අයගේ ඇප ඉල්ලීම සම්බන්ධ නියෝගය ලබන 31 වන දා ලබා දෙන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් ඊයේ (ජන. 17) දැනුම් දුන්නේ ය.

මෙම නඩුව ඊයේ දින පළමු වරට කැඳවනු ලැබුවේ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තරංගා මහවත්ත හමුවේ වන අතර එහිදී නීතිපතිවරයා නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අධිකරණය හමුවේ පෙනී සිටියේ ය.

මෙම නඩුවේ සැකකරුවන් වන ගල්වැව සිරිධම්ම හිමි හා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ යන අය පසුගිය නොවැම්බර් මස 17 හා 22 වන දිනවල අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මහේස්ත්‍රාත් නිල මැදිරිය තුළදී එම නඩුව කැඳවූ අතර එහිදී මහේස්ත්‍රාත්වරිය කළ ප්‍රකාශ සම්බන්ධයෙන් හා ක්‍රියා සම්බන්ධයෙන් ත්‍රස්ත මර්දන කොට්ඨාසයේ නිලධාරීන් 4 දෙනෙකු විසින් පොලිස්පතිවරයා වෙත දිවුරුම් ප්‍රකාශ ලබා දී ඇති බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එහිදී අධිකරණයට කරුණු දැක්වීය.

ත්‍රස්ත මර්දන කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රසන්න ද අල්විස්, සහකාර පොලිස් අධිකාරි වසන්ත රත්නායක හා ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල බණ්ඩාර ඇතුළු නිලධාරීන් සිවුදෙනෙකු විසින් පොලිස්පතිවරයා වෙත ලබා දී ඇති දිවුරුම් ප්‍රකාශ අනුව අතිරේක මහේස්ත්‍රාත්වරිය සම්බන්ධයෙන් පැමිණිලි කිරීම සඳහා අධිකරණ සේවා කොමිසම වෙත යොමු කරන ලෙසට පොලිස්පතිවරයා ඉල්ලීමක් කර ඇති බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දැනුම් දුන්නේ ය.

එම ඉදිරිපත් කර ඇති දිවුරුම් ප්‍රකාශවලට අනුව පසුගිය නොවැම්බර් මස 17 වන දා සැකකරුවන් අධිකරණය නිල මැදිරියට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව “අපි හැමෝම වෙනුවෙන් ඔබලා අරගල කළේ ඒත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඉදිරිපත් කර ඇති නිසා ඇප ලබා දිය නොහැකි බවත් පනතෙන් අපගේ අත් බැඳ ඇති අතර සැකකාර මේ හිමිනමට සිංහල බෙහෙත් ලබා ගැනීමට අවශ්‍ය නම් එයට ඉඩ ලබා දෙන්න” යනුවෙන් ප්‍රකාශ කරමින් සැකකාර සිරිධම්ම හිමිට පස්පංගුව හා සස්ටජන් ලබාදීමට අධිකරණ නිලධාරියෙකු අතට රුපියල් 10,000ක මුදලක් ලබා දී ඇතැයි සඳහන් වන බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දැනුම් දුන්නේ ය.

ඉදිරිපත් කර ඇති දිවුරුම් ප්‍රකාශ අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට එහිදී අතිරේක මහේස්ත්‍රාත්වරිය සඳහන් කර සිටියා ය.

ඒ අනුව, අදාළ දිවුරුම් ප්‍රකාශ අධිකරණයට ඉදිරිපත් කරමින් මෙම නඩුව මෙම අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවීම සුදුසු නොවන බැවින් මෙය ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත මාරුකරන ලෙසට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

මෙහිදී විත්තිය වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මෙම ඉල්ලීම සම්බන්ධයෙන් දැඩි ලෙස විරුද්ධත්වය ප්‍රකාශ කළ අතර නීතිපතිවරයාට නඩුවක් මාරු කිරීමට අවශ්‍ය නම් එය අපරාධ නඩු විධාන සංග්‍රහයේ ප්‍රතිපාදන අනුව කළ යුතු අතර මෙලෙස කිරීම යහපත් දෙයක් නොවන බවත් එය අධිකරණය බිය වැද්දීමක් හා අධිකරණයේ ස්වාධීනත්වයට හානියක් කිරීමට උත්සාහයක් දැරීම ලෙසට සැලකිය හැකි බව ප්‍රකාශ කළේ ය.

මෙම නඩුවේ දෙවන සැකකරු වන සිරිධම්ම හිමි භික්ෂුවක් ලෙසට සලකා මානුෂීය චේතනාව පෙරදැරිව තමන් විසින් එම ක්‍රියාව කළද තමන් විසින් එම අවස්ථාවේ ප්‍රකාශ කරන ලද සියල්ල ත්‍රස්ත මර්දන කොට්ඨාසයේ නිලධාරීන් ඉදිරිපිටදී ම ප්‍රකාශ කළ බවත්, සඳහන් නොකළ කරුණු ද මේ වන විට ප්‍රකාශ කිරීමෙන් තමන් වෙත ප්‍රශ්නයක් ඇති කිරීමට දරන උත්සාහය අනුමත නොකරන බවට මහේස්ත්‍රාත්වරිය මෙහිදී අධිකරණය හමුවේ ප්‍රකාශ කළා ය.

එසේ ම, මේ දිවුරුම් ප්‍රකාශ සම්බන්ධයෙන් අධිකරණ සේවා කොමිසම වෙත පැමිණිලි ඉදිරිපත් කර තිබේ ද යන්න මහේස්ත්‍රාත්වරිය මෙන්ම විත්තියේ ජනාධිපති නීතිඥවරයා ද පැමිණිල්ලෙන් විමසා සිටියහ.

අදාළ දිවුරුම් ප්‍රකාශ සම්බන්ධයෙන් ඉදිරි දිනවල පැමිණිලි ඉදිරිපත් කිරීමට නීතිපති දෙපාර්තමේන්තුව බලාපොරොත්තු වන බවට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එහිදී අධිකරණයට පිළිතුරු ලබා දුන්නේ ය.

ඒ අනුව ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරිය මෙම නඩුව ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ මින් ඉදිරියට කැඳවන ලෙසට නියෝග කළා ය.

ඒ අනුව, නඩුව ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවනු ලැබීය.

නඩුව ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවනු ලැබීමෙන් අනතුරුව විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා සැකකරුට ඇප ලබාදෙන ලෙසට ඉල්ලීමක් ඉදිරිපත් කළේය.

එම ඉල්ලීමට අදාළ ලිඛිත දේශන ලබන 24 වන දා අධිකරණය හමුවේ ගොනු කරන ලෙස දෙපාර්ශ්වය වෙත නියෝග නිකුත් කළ මහේස්ත්‍රාත්වරයා සැකකරු ලබන 31 වන දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියම කළේ ය.

- mawbima

පිරිමි සම්භාහනය ගැහැනුන්ට තහනම් : පුවත සාවද්‍යයි !

“පිරිමි සම්භාහනය ගැහැනුන්ට තහනම්” යනුවෙන් පළවූ මාධ්‍ය වාර්තා සාවද්‍ය බව ආයුර්වේද කොමසාරිස් ආචාර්ය එම්.ඩී.ජේ. අබේගුණවර්ධන පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ආයුර්වේද කොමසාරිස් ආචාර්ය එම්.ඩී.ජේ. අබේගුණවර්ධන මේ බව සඳහන් කර ඇති අතර අදාළ පුවත දැක තමන් වික්ෂිප්ත වූ බවත් සඳහන් කර ඇත.

එසේම තම නාමය යොදා ගනිමින්, තනතුරු නාමය ලෙස “ආයුර්වේද කොමසාරිස් ජනරාල්” ලෙස ආරූඪ තනතුරක් යොදා ගනිමින් තමන් එම ප්‍රකාශය සිදු කළ බවට එම වාර්තාවල සඳහන් වූ බව අබේගුණවර්ධන සිය නිවේදනය මගින් පෙන්වා දී ඇත.

ඒ සම්බන්ධයෙන් ආයුර්වේද කොමසාරිස් ආචාර්ය එම්.ඩී.ජේ. අබේගුණවර්ධන නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.

ජනාධිපතිවරයාගේ දූරදර්ශී වැඩක් ගැන : අගමැති සහ සාගල කතා කරයි !

ජාතික යොවුන් සේනාංකය, හැකියාවෙන් හා පෞරුෂත්වයෙන් පිරි තරුණ පරපුරක් බිහිකිරීමට වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා ලෙස සිටියදී ගෙන ගිය දූරදර්ශී වැඩපිළිවෙළක එක් කොටසක් බව අගමැති දිනේෂ් ගුණවර්ධන පැවසීය.

ජාතික නායකයන් බිහි කිරීම වෙනුවෙන් ජාතික යොවුන් සේනාංකය ගෙන යන වැඩපිළිවෙළ ප්‍රශංසනීය බවද අගමැතිවරයා ප්‍රකාශ කළේය.

අගමැති දිනේෂ් ගුණවර්ධන මේ බව සඳහන් කළේ, කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී ඊයේ (17) පැවති ජාතික යොවුන් සේනාංකයේ වාර්ෂික කලා මංගල්‍යය සහ සම්මාන උළෙල “ පෞර්ෂාභිමාන- 2022” අමතමිනි.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ අගමැති දිනේෂ් ගුණවර්ධන මෙසේද පැවසීය.

ජාතියේ අනාගතය වෙනුවෙන් යොවුන් සේනාංකය බිහි වී දශක තුනකට ආසන්න කාලයක් ගෙවී තිබෙනවා. තරුණ තරුණියන්ට මේ අවකාශය ලබා දීමට වත්මන් ජනාධිපතිතුමා, තරුණ සේවා ඇමැතිවරයා ලෙස එවකට විශාල වැඩ කොටසක් සිදු කළා. පාසල් ජීවිතයෙන් පසුව විශ්විද්‍යාලවලට නොයන තරුණ පරපුරට මඟ පෙන්වීමට තරුණ සේවා සභාව විශාල කාර්යභාරයක් සිදුකරන බව පැහැදිලියි. ඒ සඳහා යොවුන් සේනාංකයෙන් විශාල වගකීමක් ඉටු කරන බව අපි දන්නවා. යොවුන් සේනාංකය රටට එක්කර තිබෙන විශාලම දායාදය තාරුණ්‍යයේ එකමුතු බවයි. ඉදිරියේදී රට ගොඩනැඟීමට තිබෙන අභියෝගයට යොවුන් සේනාංක වැනි සංවිධාන වලින් විශාලම දායකත්වයක් ලබා ගත හැකියි. තරුණ තරුණියන්ගේ හැකියාවන්වලට උදව් දෙන සියලුම පහසුකම් යොවුන් සේනාංකයට තිබෙනවා. අපේ තරුණ තරුණියන්ගේ නිපුණත්වය ඔපමට්ටම් කරමින් අනාගතය භාර ගැනීමට හැකි පුරවැසියන් බිහි කිරීමට මෙමගින් හැකියාව ලැබෙනවා.

එහිදී සභාව ඇමතු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මෙසේ පැවසීය.

චන්න ගුණතිලක මහතා සහ මම මේ වැඩ කටයුතු ආරම්භ කරන විට අපට ජාතික යොවුන් සේනාංකයක් තිබුණේ නෑ. මූලික වගකීම වුණේ අද ජනාධිපතිතුමා, එවකට අපේ අග්‍රාමාත්‍යතුමාගේ සංකල්පය ක්‍රියාවට නැංවීමට අවශ්‍ය පියවර ගැනීමයි. එහි මූලික අවශ්‍යතාව වුණේ මනා පෞර්ෂත්වයකින් යුත් , කාලයට ගැළපෙන දක්ෂතාවයන්ගෙන් හෙබි, හොඳ නායකත්වයක් දිය හැකි, අනාගත අභියෝග ජයගත හැකි , රැකියා වෙළෙඳපොළට සූදානම්, ගැළපෙන නියම ආකල්පවලින් පිරිපුන් තරුණ පරම්පරාවක් ගොඩ නැඟීමයි.

මේ වන විට වසර 20ක පමණ කාලයක් තුළ මේ වැඩසටහන දියුණු වෙලා තියෙනවා. තවමත් දේශපාලනීකරණය වීමෙන් තොරව වැඩකටයුතු සිදු කෙරෙන ආකාරය පිළිබඳව සතුටුයි. අපේ රටට වැදගත්ම දේ තරුණයින්ගේ අනාගතයයි. අද ඒ ඇගයීමට ලක් වූ සියලුම දූ දරුවන්ට මගේ සුබ පැතුම් පිරිනමනවා.

ඒ වගේම ඔවුන් පුහුණු කිරීමට, වැඩසටහන් සම්පාදනයට ඇප කැප වූ මෙන්ම ඊට නායකත්වය දුන් සියලු දෙනාට මගේ සුබ පැතුම් පිරිනමනවා. අද මෙතැන දකින්න ලැබුණේ කලා අංග පමණයි. ඒ සියල්ල අති විශිෂ්ටයි. අනෙක් වැඩසටහන්වල විශිෂ්ඨත්වයත් මට හිතා ගන්න පුළුවන්. මොකද කලා අංග පුහුණු වෙන්නේ අනෙක් වැඩකටයුතු කරන අතරතුර බව මට සභාපතිවරයා දැනුම් දුන්නා.

ජාතික තරුණ සේවා සභාව මීට වෙනස්. කලා අංශයට ගියොත් පුහුණු වෙන්නේ කලා කටයුතු පමණයි. මෙතැන ඉදිරිපත් වූ කලා අංග පුහුණ වෙන්නේ වෙනත් වෘත්තියකට සූදානම් වන අතරතුරයි.

කෙසේ වුවත් අපි තව දුරටත් යාවත්කාලීන විය යුතුයි. ලෝකයට මුහුණ දීමට අප සූදානම් විය යුතුයි. කාර්මික විප්ලවයේ තුන්වැනි අදියරේ සිට හතරවැනි අදියරට රට ගමන් කරනවා. තොරතුරු තාක්ෂණයේ සිට කෘත්‍රිම දැනුම දක්වා ගමන් කරනවා. ඒ වගේම සම්පූර්ණයෙන්ම ඩිජිටල්කරණය වූ ලෝකයකට අප ඇතුළු වෙනවා. ඒ සඳහාත් අප සූදානම් විය යුතුයි.

එයින් අදහස් කරන්නේ දැන් තිබෙන සියලු දේ නැති වෙනවා කියන එක නෙවෙයි. නමුත් අලුත් දේවල්වලට මුහුණ ‍දීමට අප සූදානම් විය යුතු වෙනවා. යම් අංශවලින් රැකියා නැති වේවි. ඒ වගේම තවත් අංශවලින් රැකියා ඇති වේවි. ඒ රැකියා අපට පුරුදු රැකියාවලට වඩා ඉහළ මට්ටමේ ඒවා විය හැකියි. ඒ වගේම මේ සමඟ මුහුණ දීමට සිදුවන අවදානමත් තිබෙනවා.

අද තරුණ පරම්පරාව දෙස බැලුවොත් ‍දුරකතනයෙන් එහාට ජීවිතයක් නැතිව තිබෙනවා. එතන අවදානමත් තිබෙනවා. ඒවාටත් ගොදුරු නොවී ඒ විප්ලවයෙන් අපි ජය ගන්නේ කොහොමද ? අපි අනාගතයට සන්නද්ධ වන්නේ කෙහොමද? ඒ වගේම මේ රට ලෝකයේ ඉදිරියෙන්ම සිටින රටක් බවට පත් කරන්නේ කොහොමද කියන ඉලක්කය අනුව තමයි අපි ඉදිරියට යා යුත්තේ. යොවුන් සේනාංකය ඊට සුදුසුම ස්ථානයයි.

මම මීට පෙර සභාපතිතුමාට සිහිපත් කළා දේශගුණික විපර්යාසයට අපේ ලෝකය ගොදුරු වෙමින් සිටිද්දී ශ්‍රී ලංකාවත් ඉතාම අවදානම් තැනක ඉන්නේ. යොවුන් සේනාංකයට ඒ සම්බන්ධයෙන් විශාල සේවයක් කළ හැකියි. ඒ වගේම ලෝකයේම තරුණ ප්‍රජාව එක්ව සිටින කාලයක, රට වෙනුවෙන් එවැනි කටයුතු ඉටු කිරීමට අපේ තරුණ පරම්පරාවට වගකීමක් තිබෙනවා. යොවුන් සේනාංකයට එවන් වූ වගකීමකුත් තිබෙනවා. ඒ දෙස බලන්න කියලා මම සභාපති ඇතුළු පාලන මණ්ඩලයෙන් ඉල්ලා සිටිනවා. දූ දරුවන් ගෙන් ඉල්ලා සිටිනවා අනාගතයට මුහුණ දීම සඳහා සූදානම් වෙන්න කියලා.

අපි අමාරු කාලයකට මුහුණ දෙමින් සිටිනවා. නමුත් එයින් ජය ගැනීමට අවශ්‍ය වැඩපිළිවෙළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉතා උනන්දුවෙන් ක්‍රියාත්මක කරමින් සිටිනවා. ඡන්දය ඉල්ලලා පත් වූ ජනාධිපතිවරයකුට වැඩිය එතුමාට විශාල වගකීමක් තිබෙනවා වගේම එතුමාට හැකියාවත් තිබෙනවා. අද එතුමාට වගකියන්න තිබෙන්නේ මේ තරුණ පරම්පරාවට හා ජනතාවට පමණයි. ඒ වගකීම එතුමා හරියාකාරව ඉටු කරමින් සිටිනවා. එතුමා වැඩ කරන්නේ ඡන්දදායකයින් සතුටු කරන්න නෙවෙයි. එතුමා වග කියන්නේ අනාගත පරම්පරාවට , රටේ ජනතාවට හා මේ රටට. ඒ වගකීම එතුමා ඉටු කරමින් සිටිනවා. ආර්ථික රාමුව නිසියාකාරව සකස් වෙමින් පවතිනවා. විනිවිදභාවයෙන් යුතුව වැඩ කටයුතු කළ හැකි රටක් නිර්මාණය වෙනවා. ආයෝජකයෙක් ආවත් විනිවදභාවයෙන් යුක්තව ඒ ආයෝජනය සිදු කර මේ රටේ තරුණ තරුණියන්ට රැකියා අවස්ථා ලබා දෙනවා වගේම අපේ රටට විදේශ විනිමය උපයා දීමට හැකියාව ලැබෙනවා.

එය තමයි අපට අවශ්‍ය වන්නේ. අපේ රටට විදේශ විනිමය එන තරමට තමයි අපිට ආදායම් වැඩි වෙන්නේ. ආදායම් වැඩි වන විට තමයි මේ රටේ දියුණුව ඇති කළ හැකි වන්නේ. ඒ අනාගතය උදා කරන්න ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කරමින් සිටිනවා. ඔබ සියලු දෙනාට වඩාත් හොඳ අනාගතයක් ලබා දීමට එතුමා මහන්සි වෙනවා. ඒ පිළිබඳව විශ්වාසය තබා ගන්න. ඔබත් ඒ ගමන යන්න සූදානම් වෙන්න.

ක්‍රීඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මධුර විතානගේ, කපිල නුවන් අතුකෝරල , ජාතික යොවුන් සේනාංකයේ සභාපති කර්නල් දර්ශන රත්නායක ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ෆොනියි සිරිසේනයි ඇවිලෙයි !

හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන සහ පාර්ලිමේන්තු මන්ත්‍රී, ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා අතර අද (18) පාර්ලිමේන්තුවේදී දැඩි මත ගැටුමක් සිදුවිය.

එහිදී අදහස් දැක්වූ මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මෙසේ පැවසීය.

"හිරේ හිටපු තමුන්නාන්සේව මම තමයි නිදොස් කොට නිදහස් කෙරුවේ. තමුන්නාන්සේට ගරු කිරීමක් විදිහට මම තමයි තමුන්නාන්සේව ෆීල්ඩ් මාෂල් කළේ. ඒ තත්ත්වය තුළ සිටියදී මට මේ විදිහට කතා කිරීම ඉතාම අසාධාරණයි. ඔබතුමාට කොහෙත්ම පුළුවන්කමක් නැහැ මට ඉලක්ක කරලා ජාතික ආරක්ෂාව ගැන කියන්න."

"ඔබතුමා හමුදාපති ලෙස ඉන්නකොට හමුදා මූලස්ථානයට පැනපු එල්ටීටීඊ කාන්තාවක් බෝම්බ පිපිරුවා. ඔබතුමාට ඒක වැදිලා බඩවැලුත් එළියට ඇවිල්ලා වෛද්‍යවරු තමයි බේරගත්තේ."

"හමුදාපති විදියට හමුදා මූලස්ථානය බේරගන්න බැරි කෙනා.. බඩවැල් එළියට ඇවිත් හානි වෙච්ච මිනිහා..මට ඇඟිල්ල දිගු කරන්නේ කොහොමද? ජාතික ආරක්ෂාව පිළිබඳව."

"චන්ද්‍රිකා මැතිණිය හැමතැනම කියනවා මාව හිරේ දාන්න කියලා. එතුමියගේ එක ඇහැක් නැතුව ගියා. ඇස් දෙක බේරගන්න බැරි වුණු මිනිස්සු.. තමන්ගේ ශරීරය බේරගන්න බැරි වුණු මිනිස්සු මට ඇඟිල්ල දිගු කරලා කියනවා.. මේ මේ තමුසේ ජාතික ආරක්ෂාව දන්නෑ කියලා."

"ඔයාට වඩා මම ජාතික ආරක්ෂාව පෙන්නුවා. සහරාන් ඇතුළු මුළු සංවිධානයම මම සති 3කින් විනාශ කළා."

ඊට යළිත් ප්‍රතිචාර දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී, ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මෙසේ පැවසීය.

"මෙයා කිව්වා මාව නිදහස් කළා කියලා. ෆීල්ඩ් මාෂල් කළා කියලා. මෙයාගේ මැතිවරණ වේදිකාවට කොහොමහරි එන්න කියලා කිව්වා. මම රැස්වීම් 100ක කතා කළා. දින 100 කියලා තිබ්බා මට සාධාරණය ඉටු කරනවා කියලා. ඒක තනි මතයට කරපු දෙයක් නෙමෙයි. හැබැයි ඔබතුමා මගේ අමාත්‍ය ධුරය ඉතාම නිවට විදියට අයින් කළා."

"සාම සාකච්ඡා අතරේ ත්‍රස්තවාදියෙක්ට රිංගලා එන්න පුළුවන්. ඔබතුමාට මේවා තේරෙන්නේ නැහැ. ඒ නිසා තමයි ඒ වගේ අනතුරකට යුද හමුදා මූලස්ථානය මුහුණ දුන්නේ."

"බෝම්බේ ගියායින් පස්සෙත් ලංකාවට ආපු ගුවන් යානා දෙකේම එන්නේ නැතුව රෑ 1ට ආපු ගුවන් යානයේ ආවේ. ඒ මොකද?. ඒකේ විතරයි පළවෙනි පන්තිය තියෙන්නේ. අච්චර ජන විනාශයක් වෙලත් ගුවන් යානයක නැගලා රටට එන්න උනන්දුවක් තිබුණේ නැති ඔබතුමා.. බලන්න ඔබතුමාගේ ආකල්ප."

මන්ත්‍රී සිරිසේන :

"මෙතුමා ෆීල්ඩ් මාෂල්කම ඉල්ලගෙන මගේ පස්සෙන් ඇවිත් ඇඬුවා."

කටුනායකින් - වරායෙන් රට ගියොත් ඩොලර් 60ක බද්දක් !

ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ගුවන් තොටුපළකින් හෝ වරායකින් පිටත්ව යන පුද්ගලයින් විසින් ගෙවිය යුතු අපගමන බද්ද සම්බන්ධයෙන් නව නිවේදනයක් නිකුත් ඇත.

මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති මෙම රජයේ නිවේදනයට අනුව 2022.03.27 සිට 2023.03.26 දක්වා කාලපරිච්ඡේදය තුළ දී කොළඹ ජාත්‍යන්තර ගුවන් තොටුපළ රත්මලාන සිට ගුවන් යානයකින් ශ්‍රී ලංකාවෙන් පිටත්ව යන සෑම තැනැත්තෙක්ම ඇමරිකානු ඩොලර් 30 ක අපගමන බද්දක් ගෙවිය යුතුවෙයි.

මීට අමතරව 2023.01.12 සිට 2023.07.11 දක්වා කාලපරිච්ඡේදය තුළ දී යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් පිටත්ව යන සෑම තැනැත්තෙකුගෙන්ම ද ඩොලර් 30 ක අපගමන බද්දක් අය කරනු ලැබේ.

අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ මත්තල, රත්මලාන හෝ යාපනය යන ජාත්‍යන්තර ගුවන්තොටුපළ හැර ශ්‍රී ලංකාවේ වෙනත් ගුවන් තොටුපළකින් පිටත්ව යන ඕනෑම අයෙකු විසින් ඩොලර් 60 ක අපගමන බද්දක් ගෙවිය යුතු බවයි. එනම් මෙම නියමය කටනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළින් පිටත්ව යන තැනැත්තන් සඳහා අදාළ වේ.

තවද ශ්‍රී ලංකාවේ සිට නෞකා මාර්ගයෙන් පිටත්ව යන තැනැත්තන් ද ඩොලර් 60 ක අපගමන බද්දකට යටත් වනු ඇත.

මත්තල මහින්ද රාජපක්ෂ ගුවන් තොටුපළ සමඟ මෙහෙයුම් ආරම්භ කරනු ලබන ජාත්‍යන්තර ගුවන් සමාගම් සඳහා මෙහෙයුම් ආරම්භ කරනු ලබන දින සිට වසර දෙක කාලයක් මෙම බද්ද අය කිරීම නිදහස් වේ.
වෙයි.

නිලන්තට නීතිපති සහය නෑ : ජනාධිපති ගැනත් තීන්දුවක් !

පාස්කු ප්‍රහාරයෙන් වින්දිතයන් බවට පත්වූ පුද්ගලයින් වන්දි ඉල්ලා ගොනු කර ඇති නඩුවල වගඋත්තරකරුවකු වශයෙන් නම් කර සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන වෙනුවෙන් පෙනී නොසිටින බව නීතිපති වරයා කොළඹ දිසා අධිකරණයට දැනුම් දී තිබේ.

නීතිපතිවරයා මේ බව දැනුම්දී සිටියේ වින්දිතයින් විසින් ගොනුකර තිබෙන නඩු අද(18) කොළඹ දිසා අධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදීය.

තවද පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට පියවර නොගැනීම හේතුවෙන් වින්දිතයින් බවට පත්වූ තමන්ට වන්දි අය කරදෙන ලෙස ඉල්ලා වින්දිතයින් විසින් ගොනුකර තිබෙන නඩු 108ක වගඋත්තරකරුවකු වශයෙන් නම්කර සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ එම නඩුවලින් ඉවත් කරන්නේ ද? නැද්ද? යන නියෝගය ලබන මාර්තු 01 වනදා ප්‍රකාශයට පත්කරන බව කොළඹ දිසා අධිකරණය නිවේදනය කළේය.

එහිදී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා වශයෙන් පත්වී සිටින බැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තිස් පස් වන වගන්තිය යටතේ ඒ මහතාට එරෙහිව නඩුවක් පවත්වාගෙන යා නොහැකි බවට ඒ මහතාගේ නීතිඥවරු විසින් අධිකරණය හමුවේ ඉල්ලීමක් ඉදිරිපත් කර තිබුණි.

එම ඉල්ලීමට අදාළ ලිඛිත දේශන පාර්ශවකරුවන් විසින් අද ඉදිරිපත් කළේය.

ආණ්ඩුවට ලබාදුන් කාලය අවසන් - සම්බන්දන්

ජනවාර්ගික ගැටලූවට විසඳුම් අපෙක්ෂාවෙන් ජනාධිපතිවරයා හා දෙමළ දේශපාලන පක්ෂ අතර ආරම්භ කෙරුණු සාකච්ඡවලදි ඉදිරිපත් වුණු මුලික ඉල්ලීම් ඉටුකිරීමට ආණ්ඩුවට ලබාදුන් කාලය අවසන් බව දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්දන් පවසයි.

ඒ අනුව එම සාකච්ඡා ඉදිරියට පවත්වාගෙන යාම තීරණය කරනු ලබන්නේ තම පාර්ශවය ආණ්ඩුව වෙත ඉදිරිපත් කරනු ලැබු මුලික ඉල්ලීම් ඉටු කිරීමෙන් පසුව බව ද ඔහු සඳහන් කරයි.

සම්බන්දන් මහතා මේ බව පැවසුවේ පසුගිය 10 වනදා ජනාධිපතිවරයා හා දෙමළ දේශපාලන පක්ෂ අතර පැවති සාකච්ඡාවේදී දෙමළ දේශපාලන පක්ෂ ජනාධිපතිවරයාට ඉදිරිපත් කළ යෝජනා සම්බන්ධයෙන් කළ විමසීමකදීය.

"දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම , උතුරු නැගෙනහිර පළාත් ඉඩම් අත්පත් කර ගැනීම නතර කිරීම හා අත්පත් කර ගෙන ඇති ඉඩම් නිදහස් කිරීම හා මුලික බලතල බෙදීම යන ඉල්ලීම් ඉටු කිරීමට රජයට සතියක කාලයක් ලබාදුන්නා. නමුත් ලබාදුන් එම කාලය අවසන්. මෙතෙක් එම ඉල්ලීම් වෙනුවෙන් කිසිදු සාධනීය පිළිතුරක් ලබාදීමට ආණ්ඩුව සමත් වී නැහැ.

තෛයිපොංගල් උත්සවය සැමරීම වෙනුවෙන් යාපනයේ සංචාරයක නිරත වු ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා අපගේ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් සමඟ සාකච්ඡුාවක් පවත්වා තිබෙනවා. එහිදි ඉඩම් ආක‍්‍රමණ සම්බන්ධයෙන් යම් යම් පොරොන්දු ලබා දී තිබුණා. නමුත් මෙම පොරොන්දු ආරක්ෂක අංශ විසින් පිළිපදින්නේද යන්න පිළිබඳව විශ්වාස කිරීමට යම් කාලයක් බලා සීටීමට සිදුවනු ඇති. ජනාධිපතිවරයා හා මීළඟ සාකච්ඡා වටය වෙනුවෙන් මෙතෙක් ආරාධනා ලැබුණේ නැහැ. එවැනි සාකාච්ඡාවක් වෙනුවෙන් ආරාධනා ලැබුණහොත් එයට සහභාගි වන්නේද නැද්ද යන්න පිළිබඳව තීරණයක් ගනු ලබනවා.නමුත් මීළඟ සාකච්ඡා වටයට සහභාගි වන්නේ මීට පෙර සාකච්ඡාවේදි අප ඉදිරිපත් කළ ඉල්ලීම් වලට යම් හෝ සාධනීය විසඳුම් ලැබුණොත් පමණයි."

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවට සිවිල් නියෝජිතයන් පත්වෙයි !

පිහිටුවීමට නියමිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවට සිවිල් නියෝජිතයන් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නොවන ආචාර්ය ප්‍රතාප් රාමනුජාම්, වෛද්‍ය අනුලා විජේසුන්දර සහ ආචාර්ය දිනේෂා සමරරත්න යන අය පත්කිරීමට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන කළ යෝජනාවට අද (18) පාර්ලිමේන්තුවේදී අනුමැතිය හිමිවිය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 ව්‍යවස්ථාවේ (1) අනු ව්‍යවස්ථාව පරිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට අග්‍රාමාත්‍ය සහ විරුද්ධ පක්ෂයේ නායක යන දෙදෙනාගේම නාමයෝජනා මත මෙම තිදෙනා නම් කරන බවද ඔහු සඳහන් කළේය.

මෙහිදී අදහස් දැක්වූ ජාතික ජන බලවේගය පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා මෙසේ පැවසීය.

අගමැතිතුමා නම් තුනක් ඉදිරිපත් කළා. නමුත් න්‍යාය පත්‍රයේ තියෙන නම හැරුණු කොට මේ අය ගැන අපි කිසිම විස්තරයක් දන්නේ නැහැ. මේ එක් එක් අය ගැන දළ විස්තරයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුයි. ඔබතුමාල නම් තුනක් ඉදිරිපත් කරලා අපෙන් සහය ඉන්නවා. මම හිතන්නේ ඒක සාධාරණ නැහැ. නැතුව කොහොමද ඒ නම් අපි අනුමත කරන්නේ.

කතානායක මහින්ද යාපා අබේවර්ධන :

ඔබතුමාට අපි ඒ විස්තර ලබා දෙන්නම්.

අනුර දිසානායක :

එතකොට මොකක්ද මෙතන වෙන්නේ. අනුමත කරල ඉවර වෙලා ද විස්තර දෙන්නේ.

කතානායක :

සාකච්ඡා වට කිහිපයක් පවත්වලා මේ ගැන එකඟත්වයක් ආවා. මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව හැකි ඉක්මනින්ම පත් කරන්න ඕන.

අනුර කුමාර දිසානායක :

එහෙනම් ඒ විස්තර පසුව ලබා දෙන්න.

කතානායක:

හොඳයි. පසුව ලබා දෙන්නම්.

ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය වෙනුවෙන් වූ වැඩපිළිවෙළට ෆොන්ටෙරා සහය !

ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය වෙනුවෙන් රජය ගෙන යන වැඩපිළිවෙළ හා සම්බන්ධ වෙමින් ෆොන්ටෙරා බ්‍රෑන්ඩ්ස් ලංකා සමාගම, ආර්ථික දුෂ්කරතාවයෙන් පෙළෙන අඩු ආදායම් ලාභී පවුල් වෙත බෙදා හැරීම සඳහා කිරිපිටි ඇසුරුම් 69,102 ක් පරිත්‍යාග කිරීමට කටයුතු කර ඇත.

එම පරිත්‍යාගය නවසීලන්ත මහකොමසාරිස් මයිකල් ඇප්ලටන් (Michael Appleton) ඇතුළු නවසීලන්ත නියෝජිතයන් පිරිසකගේ සහභාගීත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී ඊයේ (17) සංකේතාත්මකව සිදු කරන ලදී.

මෙලෙස පරිත්‍යාග වශයෙන් ලැබූ කිරිපිටි හඳුනාගත් පවල් සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් බෙදා දීමට කටයුතු සූදානම් කර තිබේ.

මෙම අවස්ථාවට ජනාධිපති කාර්යල මණ්ඩල ප්‍රධානී ජාතික අරක්ෂාව පිළිබඳ ජනාධිපති ජේෂ්ඨ උපදේශක සාගල රත්නායක, ආහාර සුරක්ෂිතතාවය පිළිබඳ ජනාධිපති උපදේශක මහාචාර්ය සුරේන් බටගොඩ, නවසීලන්තයේ නියෝජ්‍ය මහ කොමසාරිස් ඇන්ඩ්‍රෑ ට්‍රැවලර් (Andrew Traveller) ඇතුළු පිරිසක් සහභාගි වූහ.

කබ්රාල්ගේ විදෙස් ගමන් තහනම දික්වෙයි

හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් වෙත පනවා තිබූ විදේශ ගමන් තහනම පෙබරවාරි මස 16 වන දක්වා දීර්ඝ කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවල අද (17) නියෝග කළේය.

මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මෙසේ නියෝග කළේ දකුණු පළාත් හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන්  විසින් ඉදිරිපත් කළ පුද්ගලික පැමිණිල්ලක් අද (17) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ කැඳවූ අවස්ථාවේදීය

එහිදී මෙම නඩුවට අදාළ ලිඛිත දේශන ඉදිරිපත් කිරීම සඳහා අධිකරණය විසින් කබ්රාල්ගේ පාර්ශවයට පෙබරවාරි මස 16 වනදා දක්වා කල් ලබා දුන්නේය.

ඖෂධ ගන්න අමාත්‍යාංශ ප්‍රතිපාදන තව 1% ක් කපයි

ඖෂධ ගෙන්වීම සඳහා මුදල් සොයාගැනීම වෙනුවෙන් සියලු අමාත්‍යාංශවලට වෙන්කර ඇති මුදල් ප්‍රතිපාදනවලින් සියයට 1ක් කපාහැරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන  පැවසීය.

පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් අමාත්‍යාංශවලට වෙන්කළ මුදලින් සියයට 5ක් කපාහැරීමට අමාත්‍ය මණ්ඩලය පසුගිය සතියේ තීරණය කළ අතර, මෙම සියයට 1ත් සමඟ අමාත්‍යාංශවල මුදල් ප්‍රතිපාදනවලින් සියයට 6ක් කපාහැරීම සිදුවන බව ඇමතිවරයා සඳහන් කළේය.

බන්දුල ගුණවර්ධන මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (17) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.

ඖෂධ සඳහා අතිරේක රුපියල් කෝටි 1,000ක පමණ මුදලක් අවශ්‍ය බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල  අමාත්‍ය මණ්ඩලයට දැනුම් දුන් බව කී ඇමතිවරයා එය ලබාදීමට වෙනත් ක්‍රමයක් නොමැති බව ද පැවසීය.

ඖෂධ සඳහා කෙසේ හෝ මුදල් ලබාදිය යුතු බැවින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ  මෙම යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ බව ද බන්දුල ගුණවර්ධන  කීවේය.

 

වසන්ත මුදලිගේ ගැන ජාත්‍යන්තර සංවිධාන 7කින් රජයට බලපෑම් !

අත්අඩංගුවට ගෙන සිටින අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ  අත්තනෝමතික ලෙස රඳවා තබා ගැනීම ශ්‍රී ලංකා රජය වහා අවසන් කළ යුතු බව මානව හිමිකම් සංවිධාන 07 ක් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.

ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය, මානව හිමිකම් සහ සංවර්ධනය සඳහා වූ ආසියානූ සංසදය, හියුමන් රයිට්ස් වොච්, පෙරටුගාමී ආරක්ෂක සංවිධානය, ශ්‍රී ලංකාව පිළිබඳ ජාත්‍යන්තර ක්‍රියාකාරී කණ්ඩායම සහ සාමය හා යුක්තිය සඳහා වූ ශ්‍රී ලංකාව කණ්ඩායම මෙම ඒකාබද්ධ නිවේදනය නිකුත් කළේ ය.

අදාළ නිවේදනයේ දැක්වෙන්නේ පසුගිය වසරේ අගෝස්තු 21 වැනිදා සිට වසන්ත මුදලිගේ  අත්අඩංගුවේ පසුවන්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ බවයි.

එම පනත අවලංගු කිරීම සඳහා දිගු කලක් තිස්සේ රජය පොරොන්දු වූ කුරුරු නීතියක් බව අදාළ සංවිධාන පෙන්වා දෙයි.

නමුත් මෙතෙක් අදාළ පනත අවලංගු කිරීමට රජය පියවර ගෙන නැතැයි, ඒකාබද්ධ නිවේදනයේ සඳහන් ය.

ඔවුන් පෙන්වා දෙන්නේ දූෂිත පාලන ක්‍රමයට එරෙහිව ඇරඹුණු ජන අරගලයට ආණ්ඩුව ප්‍රතිචාර දැක්වූයේ පොලිසියට සහ හමුදාවට පුළුල් බලතල ලබා දෙමින් බවයි.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත් බොහෝ දෙනා මේ වන විටත් නිදහස් කර ඇති බවත් තවදුරටත් වසන්ත මුදලිගේ අත්අඩංගුවේ තබා ගැනීමට කිසිදු හේතුවක් නොමැති බවත් මෙම නිවේදනයේ දැක්වේ.

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ගෙවීම අදියර දෙකකින් !

රාජ්‍ය සේවයේ විධායක සහ විධායක නොවන ශ්‍රේණිවල වැටුප් ගෙවීම සම්බන්ධයෙන් රජය තීරණක් ගෙන තිබේ.

ඒ අනුව රාජ්‍ය සේවයේ විධායක නොවන සේවකයින්ගේ මාසික වැටුප නියමිත දිනට ලබා දීමට නියමිතය.

විධායක ශ්‍රේණියේ රාජ්‍ය සේවකයින්ගේ මාසික වැටුප නියමිත දිනට, දින කිහිපයකට පසුව ගෙවීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

මහා භාණ්ඩාගාරය ඒ සම්බන්ධයෙන් ගනු ලැබු පියවරයන් පිළිබඳව මුදල්, ආර්ථික ප්‍රතිසංස්කරණ, සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරය ලෙස ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේ අවධානයට යොමුකර තිබුණි.

2023 වර්ෂය සඳහා වන රජයේ නව ආදායම් යෝජනා ක්‍රියාත්මක කිරීමට යම් කාලසීමාවක් ගතවන බැවින් රජයේ මුදල් කළමනාකරණය වෙනුවෙන් ජනවාරි මාසයේ සිට ඉදිරි මාස කිහිපය සඳහා අදාළ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට සිදුවන බව රජය පවසයි.

salary

පවුල් මිලියන 02කට සහල් කිලෝග්‍රෑම් 10 බැගින් මාස 02 ක් !

සමෘද්ධි ප්‍රතිලාභීන් ඇතුළු අඩු ආදායම්ලාභී පවුල් මිලියන 02කට එක් පවුලක් සඳහා මාසයකට සහල් කිලෝග්‍රෑම් 10 බැගින් මාස 02ක කාලයක් ලබාදීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉරිදිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව මේ සඳහා සහල් මෙට්ට්‍රික් ටොන් 40,000ක් අවශ්‍ය වන අතර ඒ වෙනුවෙන් රජය විසින් වී මෙට්ට්‍රික් ටොන් 61,600ක් පමණ මිලදී ගැනීම අවශ්‍ය වේ. මෙම වැඩසටන සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ගේ සහයෙන් දිස්ත්‍රික් ලේකම්වරුන් හා ප්‍රාදේශීය ලේකම්වරුන් හරහා ක්‍රියාවට නැංවීමට යෝජිතය. ‍‍

දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් යටතේ දැනට පවතින ක්‍රමය භාවිතා කරමින් හඳුනාගත් සමෘද්ධි ප්‍රතිලාභීන් ඇතුළු අඩු ආදායම්ලාභීන් අතර සහල් බෙදාදීමට නියමිත අතර කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය විසින් ඒ සම්බන්ධයෙන් දිස්ත්‍රික් ලේකම්වරු සම්බන්ධීකරණය කරමින් ඔවුන්ට අවශ්‍ය උපදෙස් නිකුත් කරනු ඇත.

වී මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 6,200ක්, වී වියළීම සඳහා රුපියල් මිලියන 290ක්, කෙටුම් කුලිය සඳහා රුපියල් මිලියන 590ක්, ඇසුරුම් පිරිවැය සඳහා රුපියල් මිලියන 200ක්, වී මෝල් හිමියන් සඳහා අමතර ගෙවීම් ලෙස රුපියල් මිලියන 160ක්, සහල් ප්‍රවාහන පිරිවැය ලෙස රුපියල් මිලියන 600ක් ලෙස රුපියල් මිලියන 8,040ක් මේ සඳහා අස්තමේන්තුගත කර තිබේ.

කෙසේ වුවද, වෙළෙඳපළ වී මිලෙහි සිදුවන වෙනස්කම් මත වැඩසටහන සඳහා ඇස්තමේන්තුගත පිරිවැය වෙනස් වනු ඇති අතර, අවශ්‍යතාවක් පැනනැගුනහොත් මේ සඳහා රුපියල් මිලියන 10,000ක පමණ අය වැය ප්‍රතිපාදන භාවිත කරනු ඇත.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවෙහි දත්තවලට අනුව 2022/2023 මහ කන්නයේ වී වගාකරන ලද භූමි ප්‍රමාණය හෙක්ටයාර් 732,201ක් පමණ වෙයි. එමගින් අපේක්ෂිත වී අස්වැන්න මෙ.ටො. මිලියන 3.3ක් ද වන අතර මෙමගින් නිපදවිය හැකි සහල් ප්‍රමාණය මෙ.ටො. මිලියන 2.2ක් පමණ වේ. මෙ.ටො. 210,000ක් පමණ වන රටේ මාසික සහල් අවශ්‍යතාව සැලකිල්ලට ගත් කළ ඉදිරි මහ කන්නයේ දී වී අතිරික්තයක් ලැබිය හැකි බව නිරීක්ෂණය වේ.

ඒ අනුව වී ගොවියා මෙන්ම පාරිභෝගිකයා ද ආරක්ෂා කිරීම සඳහා 2022/23 මහ කන්නයේදී යම් වී ප්‍රමාණයක් මිලදී ගැනීම කෙරෙහි රජය මැදිහත් වීම අවශ්‍ය වේ.

තවද, රටේ පවතින අතිශය දුෂ්කර ආර්ථික තත්ත්වය හේතුවෙන් සමාජයේ අඩු ආදායම්ලාභී කණ්ඩායම්වල පෝෂණ මට්ටම පවත්වාගැනීමට සහාය දෙමින් මෙම අර්බුදයේ අහිතකර බලපෑම්වලින් ඔවුන් ආරක්ෂා කිරීම අවශ්‍ය වේ. සමෘද්ධිලාභීන් ද ඇතුළුව මෙම කණ්ඩායම පවුල් මිලියන 2ක් පමණ බව හඳුනාගෙන ඇත. 2023 අප්‍රේල් මාසය දක්වා එම කණ්ඩායම සඳහා රජය අතිරේක මුදල් ප්‍රමාණයක් ලබාදුන්නද, යම් කාලසීමාවක් සඳහා මෙම අඩුආදායම්ලාභීන් රැකබලා ගැනීමේ අවශ්‍යතාවක් පවතී.

2022/2023 මෙවර මහ කන්නයේ වී අස්වැන්න පෙර මහ කන්නයට වඩා ඉහළ අගයක් ගනු ඇතැයි අපේක්ෂා කරන බැවින්, හඳුනාගත් අඩු ආදායම්ලාභීන් අතර ඔවුන්ගේ ජීවන මට්ටම පවත්වාගෙන යාම සඳහා අමතර උපකාරයක් ලබාදීම වෙනුවෙන් යම් වී ප්‍රමාණයක් යොදාගැනීම සුදුසු වේ. මෙම වැඩපිළිවෙළ මඟින් රටේ ගොවි ජනතාවට මෙන්ම අඩු ආදායම්ලාභීන් සඳහා ප්‍රතිලාභ ලැබෙනු ඇත.

භාණ්ඩාගර ලේකම්, ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරීන්, කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම්, කාන්තා ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීමේ අමාත්‍යාංශයේ ලේකම්, සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්, සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව සහ අදාළ අනෙකුත් ආයතනවල නිලධාරින්ගේ සහභාගීත්වයෙන් ඉදිරියේ දී පැවැත්වෙන රැස්වීමේ දී යෝජිත වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදය සාකච්ඡා කිරීමට නියමිතය.

මෙහිදී යෝජිත සහල් බෙදාහැරීමේ යාන්ත්‍රණය සම්බන්ධයෙන් සාකච්ඡා කර අවසන් තීරණයක් ගැනීමට ද අපේක්ෂා කෙරේ. ඊට අමතරව ගොවීන්ගේ මිලදී ගැනීමට නියමිත වී වර්ගවල නිෂ්පාදන පිරිවැය, වී මිලදී ගැනීමේ සහතික මිල, වී මෝල්හිමියන් සහභාගී කර ගැනීම, ප්‍රවාහන ක්‍රමය සහ වී කෙටුම් කුලී යන කරුණු සම්බන්ධයෙන් ගැඹුරින් සාකච්ඡා කරනු ඇත.

ක්‍රිකට් ඇමරිකන් ෆුට්බෝල් බාස්කට් බෝල් පුළුවන් : සජිත් සුදුසුකම් ඉදිරිපත් කරයි !

තමන් ක්‍රීඩාවන් කිහිපයක් සඳහා ඕල් රවුන්ඩර් කෙනෙක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කරයි.

ක්‍රිකට්, පාපන්දු, ඇමරිකන්ෆුට්බෝල් , බාස්කට් බෝල් ආදී ක්‍රීඩා තමන්ට ක්‍රීඩා කළ හැකි බවද ඔහු පවසයි.

විපක්ෂ නායකවරයා මේ අදහස් දක්වා සිටියේ සමගි ජන බලවේගයේ ආසන බලමන්ඩලයක් අමතමින් ය.

කෙසේ වුවත් අධ්‍යාපනය සම්බන්ධයෙන් ඔහු පවසා සිටියේ තමන් යම් අධ්‍යාපනයක් ලබා ඇති බවය.

නමුත් ලෝකයේ ඕනෑම නායකයෙක් සමඟ ඉංග්‍රීසි භාෂාවෙන් කතා කර ඔහුගේ හිත නම්මාගෙන අපේ රටට සම්පත් ලබා ගැනීමේ හැකියාව ද තමන්ට ඇතැයි ද විපක්ෂ නායකවරයා පැවසීය.

අපේ රටට අවශ්‍ය ඩොලර් ගෙන ඒමේ වැඩපිළිවෙල තමන් සතු බවද පැවසූ විපක්ෂ නායක වැඩිදුරටත් සඳහන් කර සිටියේ ඒ සඳහා අවස්ථාව දෙන්නේදැයි ජනතාව තීන්දු කල යුතු බවද කියා සිටියේය.

කෙසේ වුවත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වන දේශපාලන විචාරකයන් පවසන්නේ විපක්ෂ නායකවරයා ඉදිරිපත් කරන කිසිම සුදුසුකමක් මේ මොහොතේ රට මුහුණදී ඇති අර්බුදය විසඳීමට ප්‍රමාණවත් නොවන බවයි. එසේම රටට අවශ්‍ය ඩොලර් ගෙන ඒමට වැඩපිළිවෙලක් ඇත්නම් ඒ බව රටට ඉදිරිපත් කල යුතු බවත් එවිට ජනතාව තීන්දුවක් ගනු ඇති බවත් විචාරක අදහස වී ඇත.

 

හෙදියන්ගේ බොඩි ශේප් ගැන කියපු : ලාල්ට රෝහිණීගෙන් ප්‍රහාරයක් !

ජාතික ජන බලවේගය ප්‍රතිපත්තිය වන්නේ මෙරට හෙදියන් ලිංගික ශ්‍රමිකයන් පිරිසක් බවට පත් කිරීම දැයි සජබ පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණී කවිරත්න ප්‍රශ්න කරයි.

මෙරට හෙදියන් පිරිමින්ගේ මනදොල සපුරන ආකාරයට තම ශරීර සකස් කරගත යුතු යැයි ලාල් කාන්ත මහතා ඇති ප්‍රකාශය හෙළාදකින බව ද ඇය පවසා සිටියි.

ලාල්කාන්ත මහතාගේ පහත් ආශාවන් කාන්තාවන් දෙස බලා සපුරා ගනීමට හැකි වන ලෙස හෙදියන් සිටිය යුතු බව ඔහු පවසන බවත් එසේ බව බල කිරීමට කිසිවෙකුට අයිතියක් නැති බවත් ඇය කියා සිටියාය.

මන්ත්‍රීවරිය මේ බව කියා සිටියේ දිගන ප්‍රදේශයේ දී පැවති සමගි ජනබලවේගයේ ආසන සමුළුවක් අමතමිනි

අධ්‍යාපන අමාත්‍යංශයෙන් විශේෂ නිවේදනයක් !

අ.පො.ස සාමාන්‍ය පෙළ සමත් සිසුන් අ.පො.ස උසස් පෙළ සඳහා විෂය ධාරා අනුව පන්තිවලට ඇතුළත් කරගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ලිපි නිකුත් නොකරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

විශේෂ නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාතංශය මේ බව සඳහන් කර ඇති අතර එහි වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ, මේ සඳහා චක්‍රලේඛන මගින් පාසල්වලට අවසර ලබා දී ඇති බවය.

ඒ අනුව තමන් පදිංචි ප්‍රදේශය තුළ අදාළ විෂය ධාරාව පවතින පාසලක් ලබා ගැනීමට එම ප්‍රදේශයේ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ මගින් කටයුතු කළ හැකිය.

Page 149 of 383