V2025

පුවත්

නොරොච්චෝලේ අක්‍රීය ජනන යන්ත්‍ර යළි පණ ගැන්වේ

නොරොච්චෝලේ බලාගාරයේ අක්‍රීය කර තිබූ ජනන යන්ත්‍රය අද (ජන. 8) සිට යළි ත් සක්‍රිය කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

නඩත්තු කටයුතු සඳහා එම යන්ත්‍රය අක්‍රිය කර තිබිණි.

ඒ හේතුවෙන් ජාතික පද්ධතියට අහිමි වූ විදුලි ධාරිතාව, මෙගාවොට් 270කි.

ඊයේ (ජන. 7) දිනයේදී ගල් අඟුරු රැගත් තවත් නෞකාවක් පුත්තලමට ළඟා වූ අතර, එය, මෙම වසරේදී දිවයිනට පැමිණි දෙවන ගල් අඟුරු නෞකාවයි.

ජන්දය තියන්න යන්නේ ප්‍රධාන පාසල් විභාගත් නොතකා හිතුමතේ !

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ලබන මැයි මාසයේ පැවැත්වීමට සැලසුම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර සඳහන් කරන්නේ විභාගය ආරම්භ වන දිනය පිළිබඳව මෙතෙක් තීරණය කර නොමැති බවය.

විෂය ආවරණ කටයුතු හා ඉගැන්වීම් ක්‍රියාවලිය පිළිබඳව සලකා බැලීමෙන් අනතුරුව අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමැතිය මත විභාගය පැවැත්වෙන දින නිශ්චිතව ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවත් විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කර ඇත .

කොවිඩ් වසංගතය හේතුවෙන් විභාග කටයුතුවලට බාධා පැමිණීම හේතුවෙන් විභාග කාලසටහන්වල වෙනසක් සිදුවූ අතර 2021 වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමට සිදු වූයේ පසුගිය වසරේ මැයි මාසයේදී ය.

එම විභාගයේ ප්‍රතිඵල නොවැම්බර් මාසයේදී නිකුත් කෙරුණි.

මේ අතර පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ කටයුතු ආරම්භ කිරීමට පෙර ඒ පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශයේ උපදෙස් ලබා ගත්තේදැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිවරණ කොමිසමෙන් විමසා ඇති බව ඩේලි මිරර් පුවත්පත වාර්තා කර ඇත .

මැතිවරණ කොමිසමේ සාමාජිකයන් හතර දෙෙනකුගේ සහභාගිත්වයෙන් ජනාධිපතිවරයා සහ මැතිවරණ කොමිසම අතර පැවති සාකච්ඡාවක දී මේ පිළිබඳව විමසා ඇතැයිද එම වාර්තාව සඳහන් කරයි.

2022 උසස් පෙළ විභාගයේ ජනවාරි මස 23 සිට පෙබරවාරි මාසයේ 17 දක්වා පැවැත්වීමට නියමිතව තිබේ.

මිලියන 22ක් ඉන්න රටේ ජන්දයක් ඉල්ලා පාරට බැස්සේ 2000යි !

රටේ මිලියන 22ක් පමණ සිටින ජනගහනයෙන් මැතිවරණයක් ඉල්ලා පාරට එන්නේ 2000ක පමණ පිරිසක් පමණක් බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල්, සමන් රත්නප්‍රිය පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මෙසේද සඳහන් කර ඇත .

“ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ලොකු ප්‍රශ්නයක් මේ මොහොතේ මේ රටේ තියෙනවා කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. නැත්නම් මැතිවරණයක් ඉල්ලලා පාරට බහින්න කියලා කිව්වම මිලියන 22ක් ඉන්න රටක 2000ක්නම් එන්නේ මැතිවරණය ඉල්ලා එතකොට ඒක ජනමතය නෙවෙයි. ඉතිං එහෙමනම් ඇයි මේ මැතිවරණයක් තියන්නේ? හැබැයි රට තියෙන්නේ වෙන අර්බුදයක. ඒ අර්බුදයේ දිග පළල මැතිවරණ කොමිසමටත් තේරෙන්න ඕනා.

කෝටි 60දාහක් ඕනා කෑම ටික ගේන්න. බෙහෙත් ගේන්න කෝටි 32,104ක් ඕනා. ඉන්ධනටික ගේන්න කෝටි 136,208ක් ඕනා. සල්ලි අච්චු ගහල පඩි ගෙව්වේ මාස තුනක් විතරම. දැන් කියනවා සල්ලි අච්චු ගහල මැතිවරණයක් දෙන්න කියලා. ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න ඕන කියන එක ගැන කාටවත් ලොකු ගැටලුවක් නැහැ. රට ආපහු අවුල්සහගත තැනකට තමයි මේ ගෙනියන්න උත්සාහ ගන්නේ.”

සජිත් ශ්‍රීලනිප මෛත්‍රී පාර්ශ්වයේ කෑලි ගලවයි !

අගලවත්ත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස කටයුතු කළ රංජිත් සෝමවංශ අද (07) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමුවී සමගි ජන බලවේගයට එක්වූවූ බව සමගි ජනබලවේගය පක්ෂය නිවේදනය කරයි.

ඒ සම්බන්ධයෙන් නිකුත්කර ඇති නිවේදනයේ මෙසේද සඳහන් වෙයි.

කලක් බස්නාහිර පළාත් සභාවේ සෞඛ්‍ය, දේශීය වෛද්‍ය කටයුතු පරිවාස හා ළමාරක්ෂක අමාත්‍යවරයා ලෙසද, අධ්‍යාපන සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යවරයා ලෙස ද කටයුතු කළ ඒ මහතා එම කාල කාලවකවානුව තුල කැපී පෙනෙන වැඩ කටයුතු රාශියක් ඉටු කරනු ලැබීය.

කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙකු වන ඒ මහතා එවක කැපී පෙනෙන ශිෂ්‍ය ක්‍රියාකාරිකයෙකු ලෙස ද කටයුතු කොට තිබේ.

කොළඹ විශ්වවිද්‍යාලයේ ප්‍රගතිශීලී ශිෂ්‍ය පෙරමුණේ සභාපති, එක්සත් ශිෂ්‍ය පෙරමුණේ සභාපති ලෙසද කටයුතු කළ ඒ මහතා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ ආරාධනයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හරහා දේශපාලනයට ප්‍රවිෂ්ඨ විය.

1993 දී පළාත් සභා මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත් පත්වූ ඒ මහතා බස්නාහිර පළාත් සභාවේ සභානායක, නියෝජ්‍ය සභානායක ඇතුළු තනතුරු රැසක් දැරූ දශක ගණනාවක දේශපාලන අත්දැකීම් ඇති චරිතයකි.

කෙසේ වුවත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දේශපාලන විචාරකයන් පවසන්නේ සජිත් ප්‍රේමදාස විපක්ෂ නායක තමන්ගේ සහයට සිටි ශ්‍රීලනිප මෛත්‍රී පාර්ශ්වයේ ප්‍රධානීන් මෙසේ ගලවමින් ඉදිරි දේශපාලන කටයුතු වලදි විපක්ෂයේ පාර්ශ්ව දුර්වල කරන උපක්‍රමයක් අනුගමනය කරන බවක් පෙන්නුම් කරන බවයි.

දැනටමත් ශ්‍රීලනිප මෛත්‍රී පාර්ශ්වය ඩලස් , විමල් ප්‍රමුඛ පාර්ශ්වයන් සමග වෙනම සන්ධාන ගතවෙමින් ඇති බවත් , ඒ හමුවේ එම සන්ධාන දුර්වල කිරීම සජබ උපක්‍රමය ලෙස පෙන්නුම් කරන බවත් ඔවුන් වැඩිදුරටත් සඳහන් කර සිටියි.

සල්ලි අච්චු ගහලා තියන්න යන පුංචි ජන්දය ලෝක වාර්තාවක් !

මේ මොහොතේ ශ්‍රී ලංකාවේ මැතිවරණයක් පැවැත්වුවහොත් එය ලෝක වාර්තාවක් වන් ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි .

බංකොලොත් රටක් මුදල් මුද‍්‍රණ්‍ය කර පළාත් පාලන මැතිවරණයක් පැවැත්වීම එම ලෝක වාර්තාව බවද අමාත්‍යවරයා සඳහන් කර සිටියි.

එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේද සඳහන් කර ඇත .

‘ඡන්දය තියන්න පුලුවන් ලෝක වාර්තාවකුත් එක්ක. මොකක් ද ලෝක වාර්තාව. ලෝකයේ දැවැන්තම ආර්ථික අර්බුදයක ඉන්න රටක්. මුදල් මුද්‍රණය කරලා පළාත් පාලන මැතිවරණයක් තිබ්බා කියන ලෝක වාර්තාවත් එක්ක නම් මැතිවරණය තියන්න පුලුවන්. එහෙමනම් කරමු’

සමාජ මාධ්‍ය නියාමනයට සිංගප්පූරු මොඩලයේ පනතක් !

සමාජ මාධ්‍ය නියාමනය සඳහා සිංගප්පූරුවේ දැනට භාවිත කරන විදුලි සංදේශ හා සමාජ මාධ්‍ය පනතට සමාන වන ආකාරයේ පනතක් මෙරටට හඳුන්වාදීමට ද ක්‍රියාකරන බව ජනාධිපති රනිල්
වික්‍රමසිංහ පවසයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත්තේ පුවත්පත් කර්තෘවරුන් සහ විද්‍යුත් මාධ්‍ය ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරුන් සමග ඊයේ (06) පැවති සාකච්ඡාවකදී ය.

එහිදී සමහර සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන්ගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් රජය අනුගමනය කරන වැඩපිළිවල පිළිබඳ මෙම හමුවේදී ජනාධිපතිවරයාගෙන් විමසා ඇති අතර එහිදී ජනාධිපතිවරයා පෙන්වාදී ඇත්තේ පුවත්පත් හා විද්‍යුත් මාධ්‍ය සඳහා ශ්‍රී ලංකාව තුළ නීති පැවතිය ද සමාජ මාධ්‍ය නියාමනය සඳහා එවැනි නීති රාමුවක් මෙරට තුළ නොමැති බවය.

ඒ හේතුවෙන් සිංගපූරුවේ දැනට භාවිත කරන විදුලි සංදේශ හා සමාජ මාධ්‍ය පනත තමන් ගෙන්වා ගත් බවත්, එය අධ්‍යනය කර ශ්‍රී ලංකාවට ගැලපෙන ආකාරයේ නීති රාමුවක් සකස් කිරීම සඳහා ඉදිරියේදී කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත .

ශිෂ්ඨසම්පන්න අනාගත ශ්‍රී ලංකාවක් ගොඩ නැගීමේ ක්‍රියාදාමයේ දී සමාජ මාධ්‍ය වෙනුවෙන් ද නියාමන ක්‍රියාදාමයක් අවශ්‍ය බවට මේවනවිට සමාජ මතයක් ගොඩනැගෙමින් තිබේ.

ගර්භනී මවුවරුන්ට රු.45000ක පෝෂණ දීමනාවක් !

ගර්භනී මවුවරුන් සඳහා රුපියල් 45,000 ක පෝෂණීය ආහාර දීමනාවක් ලබාදීමේ ව්‍යාපෘතියක් මේ වසරේදී ආරම්භ කරන බව කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය පවසයි.

මීට ඉහත පැවතියේ ගර්භනී මව්වරුන් වෙනුවෙන් රුපියල් 20,000 ක පැවැති පෝෂණ දීමනාවකි.

නමුත් එය රුපියල් 45,000 ක් සංශෝධනය කර ඇති බව එම අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි .

නාම යෝජනා නීති කැඩුනොත් : කොමිසමේ සාමාජිකයන්ට අතින් ගෙවන්න වෙයි !

පළාත් පාලන මැතිවරණයේ නාම යෝජනා කැඳවීමේදී නිසි නීතිමය ක්‍රමවේද මැතිවරණ කොමිසම අනුගමනය කර නැතිනම් මැතිවරණය වෙනුවෙන් දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් තැන්පත් කරන ලද ඇප මුදල් කොමිසමේ සාමාජිකයන්ට පෞද්ගලික මුදලින් ගෙවීමට සිදුවනු ඇතැයි නීති විශාරදයින් පිරිසක් ආණ්ඩුව දැනුම්වත් කර තිබේ.

මැතිවරණ කොමිසමේ සභාපති ඇතුළු සාමාජිකයන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉකුත් බ්‍රහස්පතින්දා (05) සවස මුණ ගැසුණු අවස්ථාවේදී ද ජනාධිපතිවරයා මේ ගැන ඔවුන්ගෙන් විමසා ඇත.

මැතිවරණයට අදාලව නාම යෝජනා කැඳවීමට ප්‍රථම මැතිවරණ කොමිසම මගින් අදාළ සියලු පාර්ශව කැදවා සාකච්ඡා කළ යුතුව ඇත. තේරිම් භාර නිලධාරීන්, සහකාර මැතිවරණ කොමසාරිස්වරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන්, පොලීසිය ඇතුළු ආරක්ෂක අංශ කැඳවා සාකච්ඡා කිරීමකින් තොරව මැතිවරණයට අදාළ කිසිදු නිවේදනයක් නිකුත් කළ නොහැකි බව නීති විශාරදයන් පවසා ඇත.

- lankadeepa

2022 උ/පෙළ උපකාර පන්ති 17වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට තහනම්

2022 උසස් පෙළ විභාගයට අදාළ උපකාර පන්ති, සම්මන්ත්‍රණ, දේශන සහ වැඩමුළු ලබන 17වැනිදා මධ්‍යම රාත්‍රී 12.00 සිට තහනම් කර තිබේ.

විභාගය අවසන් වනතුරු එම තහනම ක්‍රියාත්මක බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර  පැවසීය.

2022 උසස් පෙළ විභාගය ලබන 23 වැනිදා සිට පෙබරවාරි 17 වැනිදා දක්වා පැවැත්වේ.

මේ අතර, විභාගය පැවැත්වීමට සතියකට පෙර සිට දෛනික විදුලිය කප්පාදුව සිදුනොකරන්නැයි, ලංකා විදුලි බල මණ්ඩලයෙන් ඉල්ලීමක් කිරීමට කටයුතු කරන බව, විභාග දෙපාර්තමේන්තුව පවසයි.

විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ, සිසුන්ගේ අවශ්‍යතා සැලකිල්ලට ගෙන එම පියවර ගන්නා බවය.

විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ දෛනික විදුලිය කප්පාදුවක් සිදුනොකරන්නැයි, දැනටමත් ඉල්ලා ඇතැයිද, ඔහු ප්‍රකාශ කළේ ය.

මේ සම්බන්ධයෙන් නිව්ස්ෆස්ට් ලංකා විදුලි බල මණ්ඩලයෙන් විමසීමක් කළේ ය.

එහි සාමාන්‍යාධිකාරි රොහාන් සෙනවිරත්න  පැවසුවේ, විභාගයට පෙර දෛනික විදුලිය කප්පාදුව සිදුනොකරන්නැයි මෙතෙක් ඉල්ලිමක් ලැබී නොමැති බවය.

එවැනි ඉල්ලීමක් ලද හොත් අවශ්‍ය අධ්‍යන සිදුකර ඉදිරි තීරණ ගන්නා බවද, ඔහු පැවසුවේ ය.

බිත්තර ලක්ෂ 10ක් කොළඹට : ළමා රෝහලට දින 10ක් නොමිලේ බිත්තර

මෙරට සියලු පාරිභෝගිකයන්ට සති දෙකක් ඇතුළත රුපියල් 55කට අඩුවෙන් බිත්තර ලබාගැනීමේ වැඩපිළිවෙළක් සකස් කර ඇති බව, බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.

එසේම රෝහල් සඳහා සහන මිලට බිත්තර ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මකය.

ඊයේ සහ අද වයඹ පළාතේ සිට කොළඹ දිස්ත්‍රික්කයට බිත්තර ලක්ෂ 10ක් රැගෙන විත් තිබේ. සෑම ආර්ථික මධ්‍යස්ථානයකටම ඒවා බෙදා හැරීමට නියමිතය. ඒ බිත්තරයක් රුපියල් 53ක මිලකටය.

රිජ්වේ ආර්යා ළමා රෝහලට අද(07) සිට දින 10ක කාලයක් නොමිලේ බිත්තර ලබා දෙන බව බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය සදහන් කරයි.

සමාජ මාධ්‍යවලට නියාමන ක්‍රමවේදයක් අවශ්‍යයි - සරෝජ් පතිරණ

නිදහස් ශ්‍රී ලංකාවේ දැවැන්තම සාමකාමී විප්ලවය දියත්කළ අරගලයට සමාජ මාධ්‍ය ප්‍රබල පිටුවහලක් වූ නමුත්, ශිෂ්ඨසම්පන්න අනාගත ශ්‍රී ලංකාවක් ගොඩ නැගීමේ ක්‍රියාදාමයේ දී සමාජ මාධ්‍ය වෙනුවෙන් ද නියාමන ක්‍රියාදාමයක් අවශ්‍ය බව ප්‍රවීණ මාධ්‍යවේදී සරෝජ් පතිරණ පවසයි.

ශ්‍රී ලංකාවේ දේශපාලන අනාගතය පිළිබඳව NewsFirst නාලිකාවේ "මාවත" විශේෂ වැඩසටහන් මාලාවට එක්වෙමින් ඒ බව කියා සිටි ඔහු, විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ ඇතැම් සමාජ මාධ්‍ය ජාලකරුවන්ගේ හැසිරීම ඉතාමත් ප්‍රශ්නසහගත බව පෙන්වා දුන්නේය.

ඉදිරි දශකය ඇතුළත බීබීසී ආයතනයේ සියලු ගුවන් විදුලි සහ රූපවාහිනී සේවා වසා දමන බව බීබීසී ප්‍රධානියා මෑතදී කළ ප්‍රකාශය මගින් ජනමාධ්‍යවල අනාගත මාවත පැහැදිලි වන නමුත්, සරෝජ් පතිරණ පවසන පරිදි අසත්‍ය, වගකීම් විරහිත සහ ගැටුම්වලට තුඩු දෙන වාර්තාකරණයෙන් වැළකීම සමාජ මාධ්‍ය ජාල ඇතුළු ඕනෑම මාධ්‍යයක් වගකීමය.

විදේශීය මාධ්‍ය ආයතන සඳහා සේවය කරන අතරවාරයේ "Sandeshaya by Saroj" නාලිකාව ද පවත්වාගෙන යන නමුත්, අරගලය සමයේ තමන් පූර්ණ අරගලකරුවෙක් බවට පත්නොවූයේ සිය වාර්තාකරණයේ ස්වාධීනතත්වය රැකගැනීම පිණිස බවත් ඔහු කියා සිටියේය.

සමාජ මාධ්‍යවල ප්‍රමිතිය රැකගැනීම පිණිස පුරවැසියා සතු කාර්යභාරය කවරක් දැයි සාකච්ඡාව මෙහෙයවූ ගයාන් සම්පත් සහ සුනිල් හඳුන්නෙත්ති කළ විමසීමට පිළිතුරු දෙමින් සරෝජ් පතිරණ කියා සිටියේ, සමාජ මාධ්‍ය මෙහෙයවන්නන් ද ස්වයං නියාමනයකට යොමුවිය යුතු බවය.

 ෆේස්බුක්, ට්විටර් සහ යූටියුබ් වැනි ලොව ප්‍රමුඛ තාක්ෂණික සමාගම් විශේෂ අවධානයක් යොමු කළ යුතු බවත් මියන්මාරයේ සහ ශ්‍රී ලංකාවේ වාර්ගික අරගලවලට එම සමාගම් දායක වූ අන්දම සිහිපත් කරමින් ඔහු පැහැදිලි කළේය.

ඒ අතරම සමස්තයක් ලෙසින් සමාජ මාධ්‍ය ඔස්සේ ද ප්‍රචාරය කෙරෙන කරුණු විචක්ෂණශීලීව විමසා බැලීමට ඉහළ සාක්ෂරතාවක් පවතින බව පැවසෙන ශ්‍රී ලංකාවේ පුරවැසියා ද උත්සුක විය යුතුය.

ශ්‍රී ලංකාවේ ආනගත දේශපාලන ගමනමග කවරක් විය යුතු ද යන්න ගැන මූර්ති ශිල්පී (මහ කුඹලා) අජිත් පෙරේරා, ප්‍රාසාංගික කලාවේදිනී දිනූපා කෝදාගොඩ, ප්‍රාසාංගික කලාවේදී ඩිලාන් සේනානායක, සංගීතවේදී සාදර බණ්ඩාර සහ රංගවේදී කළණ ගුණසේකර "මාවත" වැඩසටහන් ඔස්සේ දීර්ඝව කරුණු දැක්වූහ.

සමාජ මාධ්‍ය ක්‍රියාකාරික සේපාල අමරසිංහ රිමාන්ඩ්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් සමාජ මාධ්‍ය ක්‍රියාකාරී සේපාල අමරසිංහ ලබන 10 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තරංගා මහවත්ත අද(06) නියෝග කළාය.

දළදා වහන්සේට අපහාස කර බෞද්ධ ජනතාව තුළ කැළඹීමක් ඇති කළ යි චෝදනා කරමින් මොහුව ඊයේ (05) සවස අත්අඩංගුවට ගනු ලැබිය.

මෙම සිද්ධියට අදාළව සැකකරු භාවිතා කළ පරිගණකය අත්අඩංගුවට ගනු ලැබූ බවත් එය පරිගණක වෝහාරික විද්‍යාගාරයේ තබා පරීක්ෂණ කටයුතු කරමින් සිටින බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.

ලාෆ්ස් ගෑස් මිල අඩු කරයි...

ලාෆ්ස් සමාගම ගෑස් මිල අඩු කිරීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 5080 ක් වන අතර, කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 2032 කි.

ලාෆ් ගෑස් කිලෝග්‍රෑම් 5 සිලින්ඩරයක් රුපියල් 88 කින් අඩු කිරීමත් සමඟ එහි නව මිල රුපියල් 2,032 ක් බවත් නව මිල අද මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන බවත් එම සමාගම වැඩි දුරටත් සඳහන් කරයි.

ස්වෛරීභාවය සුරැකීමට නම් කළ යුත්තේ කුමක්ද : ජනාධිපති පහදයි !

ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය සුරැකීම සඳහා යහපත් විදේශ සේවයක අවශ්‍යතාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් දූත මණ්ඩල සේවාව සඳහා පිටත්ව යන නව තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරුන් 11 දෙනෙක් ඊයේ (04) ජනාධිපති කාර්යාලයේ දී හමු වූ අවස්ථාවේ දී ය.

ශ්‍රී ලංකාව යළි ගොඩනැඟීමේ වැඩපිළිවෙළට අනෙකුත් විදේශ රටවල සහාය ලබා ගැනීමට කැපවීමෙන් කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා මෙහිදී නව දූත මණ්ඩල සාමාජිකයන්ගෙන් ඉල්ලා සිටියේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේද පැවසීය .

අප රජයේ ප්‍රධාන අරමුණ වන්නේ පළමුව යහපත් විදේශ ප්‍රතිපත්තියක් ඇති කර ගැනීම වන අතර දෙවනුව මිත්‍ර සබඳතා ගොඩනඟා ගැනීමයි.

මෙහිදී ආර්ථික සැලසුම්, ආරක්ෂක අරමුණු සහ දේශගුණික විපර්යාස සම්බන්ධ අරමුණු අප සපුරාගත යුතුව තිබෙනවා. මේ අභිමතාර්ථ ළඟා කර ගැනීම රඳා පවතින්නේ අලුතින් පත්වීම් ලැබූ දූත මණ්ඩල ප්‍රධානීන්ගේ ක්‍රියාකාරිත්වය මතයි.

අපගේ ප්‍රධාන සහ මුඛ්‍ය අරමුණ විය යුත්තේ විදෙස් රටවල් සමඟ සබඳතා ගොඩනඟා ගැනීම හා එහි සිටින ශ්‍රී ලාංකිකයින්ගේ අයිතීන් සුරැකීමයි. ශ්‍රී ලාංකික ඩයස්පෝරාවට පවතින දේශපාලන ගැටලු සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා ඩයස්පෝරා කාර්යාලයක් මෙරට ස්ථාපනය කිරීමට අපි කටයුතු කරනවා. එහිදී ඔවුන්ගේ ගැටලු පිළිබඳ සාකච්ඡා කළ හැකියි.

විදේශ අමාත්‍යාංශය මේ වන විටත් ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ 2030 සඳහා වන විදේශ සේවය සම්බන්ධ කෙටුම්පතක් සකසමින් සිටින අතර ඒ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය මෙන්ම පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගැනීමට බලාපොරොත්තු වෙනවා.
වාණිජ දෙපාර්තමේන්තුව වෙනුවට ජාත්‍යන්තර වෙළඳ කාර්යාලයක් ද මෙරට ස්ථාපිත කිරීමට අපි බලාපො‍රොත්තු වෙනවා. ක්ෂේත්‍ර ගණනාවක වෙළෙඳාම සම්බන්ධ ගැටලු නිරාකරණය කොට අපේ ආර්ථිකයට ප්‍රතිලාභ ලබා ගැනීමට එමගින් හැකි වෙනවා. එබැවින් ජාත්‍යන්තර වෙළෙඳ කාර්යාලය මෙම ක්‍රියාදාමය තුළ ප්‍රධාන ස්ථානයක් ගනු ඇතැයි මම විශ්වාස කරනවා.

අදාළ රටවල් සමඟ සම්බන්ධතා ශක්තිමත් කර ගැනිම සහ වෙළෙඳ සබඳතා පුළුල් කර ගැනීම, ආයෝජන අවස්ථා ඉහළ නංවා ගැනීම, සංචාරක කරමන්තය ප්‍රවර්ධන, කෘෂිකාර්මික රැකියා අවස්ථාව පුළුල් කිරීම, පුහුණු සංක්‍රමණ, අධ්‍යාපන සහ සමුද්‍රීය ගැටලු විසඳා ගැනීම සිදු කරන්නේ කෙසේ ද යන්න පිළිබඳව මෙහිදී ජනාධිපතිවරයා අදහස් දැක්විය.

ඕස්ට්‍රේලියාවේ නව ශ්‍රී ලංකා මහකොමසාරිස් ලෙස පත් කෙරුණු විදේශ කටයුතු අමාත්‍යාංශයේ හිටපු ලේකම් චිත්‍රාංගනී වාගීස්වර, ප්‍රංශ‍යේ තානාපති ලෙස පත් කෙරුණු මනීෂා ගුණසේකර, බහරේන් තානාපති ලෙස පත් කෙරුණු එච්.එම්.ජී.ආර්.ආර්.කේ. විජේරත්න මෙන්ඩිස්, වියට්නාමයේ තානාපති ලෙස පත් කෙ‍රුණු ආචාර්ය ඒ.එස්.යූ. මෙන්ඩිස්, ජර්මනියේ තානාපති ලෙස පත්කෙරුණු වරුණි මුතුකුමාරණ, ලෙබනනයේ තානාපති ලෙස පත් කෙරුණු කපිල ජයවීර, ඊශ්‍රායලයේ තානාපති ලෙස පත්කෙරුණු එම්.එච්.එම්.එන්. බණ්ඩාර, ඉතියෝපියාවේ තානාපති ලෙස පත් කෙරුණු කේ.කේ.ටී. කුමාරසිරි, ජෝර්දානයේ තානාපති ලෙස පත් කෙරුණු ප්‍රියංගිකා විජේගුණසේකර, පිලිපීනයේ තානාපති ලෙස පත් කෙරුණු ආචාර්ය චානක එච්.තල්පහේවා, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති ලෙස පත් කෙරුණු උදය ඉන්ද්‍රරත්න යන මහත්ම මහත්මීහු ද, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි විජේවර්ධන, ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ජනාධිපති අධ්‍යක්ෂ දිනුක් කොළඹගේ, තිරසර සංවර්ධන හා තරුණ කටයුතු පිළිබඳ ජනාධිපති අධ්‍යක්ෂ රන්දුල අබේවීර ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

View the embedded image gallery online at:
http://newstube.lk/news?start=2736#sigProIdf2d8c2c2dc

ව්‍යාජ දළදා මාළිගාව කනේ යයි : ජනපතිගෙන් දැඩි නියෝගයක් !

කුරුණෑගල, වදාකඩ පාර, පොතුහැර ප්‍රදේශයේ “ව්‍යාජ දළදා මාළිගාවක්" නිර්මාණය කොට ඉදිකරමින් පවතින බවට අස්ගිරි සහ මල්වතු පාර්ශ්වයන්වල මහනායක හිමිවරු හා දළදා මාළිගාවේ දියවඩන නිලමේවරයා විසින් සිදු කරන ලද දැනුම්දීමට අදාළව කඩිනමින් පරීක්ෂණ ආරම්භ කරන්නැයි පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න වෙත ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (05) නියෝග කර තිබේ.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු යටතේ එම විමර්ශන වහාම ආරම්භ කළ බවත් , සහකාර පොලිස් අධිකාරිවරයෙකුගේ අධීක්ෂණය යටතේ විමර්ශන කණ්ඩායම් දෙකක් මේ වන විටත් එම ස්ථානයට ගොස් පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් පොලිස්පතිවරයා පැවසීය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් කොට ඇති පරිදි "බුදු දහම ආරක්ෂා කොට පෝෂණය කිරීමේ" කාර්යභාරයට බැඳි සිටින රජය විසින් වහා කරුණු පරික්ෂා කොට, ආරම්භයේදීම මෙවන් ක්‍රියාවන් වළක්වාලීමට කටයුතු කිරීම බුදුදහමේ චිරස්ථිතිය හා අභිවෘද්ධිය පිණිස හේතුවන බවත්, මේ සඳහා කඩිනම් පියවර ගැනීමේ අවශ්‍යතාව මල්වතු - අස්ගිරි උභය මහා විහාරාධිපතිහිමිවරු සහ ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ලිපියක් යොමු කරමින් පෙන්වා දී තිබිණි.

ජාතික යොවුන් වේදිකාව සඳහා අයදුම්පත් කැඳවෙයි !

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් පරිදි 75 වැනි ජාතික නිදහස් සැමරුමට සමගාමීව ගොඩනැගීමට නියමිත ජාතික යොවුන් වේදිකාව සඳහා අයදුම්පත් කැඳවීම ආරම්භ කර ඇත.

2048 වසර වන විට සමෘද්ධිමත් සහ බලගතු ශ්‍රී ලංකාවක් ගොඩනැගීමේ ක්‍රියාවලියේ කොටස්කරුවෙකු වීමට ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට අවස්ථාව ලබා දීම සහ වසර 25ක සංවර්ධන න්‍යාය පත්‍රයට තරුණ ප්‍රජාව වගකිවයුතු හවුල්කරුවන් ලෙස දායක කර ගැනීම ජාතික යොවුන් වේදිකාව නිර්මාණය කිරීමේ අමුණයි.

වත්මන් තරුණ පරපුර 2048 වසර වන විට වැඩිහිටි වියට පත් වී රටේ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ප්‍රධාන භූමිකා ඉටු කරනු ඇත. ඒ අනුව අනාගත දේශපාලන ක්‍රමය සහ දේශපාලනඥයන් පිළිබඳ මැසිවිලි නොනගා දියුණු ශ්‍රී ලංකාවක් බිහි කිරීමේ වගකීම ඔවුන් වෙත පැවරේ.

රට තුළ සමාජ, ආර්ථික සහ දේශපාලන වෙනසක් ඇති කිරීමට නම් තරුණ ප්‍රජාව පෙරට පැමිණ නායකත්වය ගත යුතු බවත්, ජාතික යොවුන් වේදිකාව ඒ සඳහා ඔවුන්ට මහඟු අවස්ථාවක් බවත් ජනාධිපතිවරයාගේ අදහසයි.

නීතිය සහ ආර්ථිකය/ අධ්‍යාපනය, වෘත්තීය පුහුණුව, අනාගතය සඳහා කුසලතා/ තිරසාර සංවර්ධනය සහ දේශගුණික ක්‍රියාමාර්ග/ සෞඛ්‍ය, ආරක්ෂිත ආහාර සහ ජල ප්‍රමිතීන්/ ජාතික ආරක්ෂාව/ රාජ්‍යතාන්ත්‍රික හා ජාත්‍යන්තර සබඳතා/ කෘෂිකර්මය, ධීවර සහ සත්ව පාලනය/ ක්‍රීඩා/ සෞන්දර්යය - චිත්‍ර, සංගීතය, නාට්‍ය, චිත්‍රපට, ගෘහ නිර්මාණ ශිල්පය ආදිය/ කර්මාන්ත, නවෝත්පාදන සහ ව්‍යවසායකත්ව/ තිරසාර නගර සහ ප්‍රජාවන්/ ජලය, වාතය, ගොඩබිම සහ සත්ව ආරක්ෂාව/ පාලනය, පාලනය සඳහා තාක්ෂණය, විනිවිදභාවය සහ දූෂණ පිටුදැකීම/ ජාතික සංවර්ධනය සඳහා කෘතිම බුද්ධිය සහ යාන්ත්‍රික විද්‍යාව ඉගෙනීම/ සාධාරණ සමාජයක් යන ක්ෂේත්‍ර කෙරෙහි ‍ජාතික යොවුන් වේදිකාවේ අවධානය යොමු කෙරේ.

සාමාජික, තරුණ සංවිධාන සහ උපදේශක වශයෙන් කාණ්ඩ තුනක් යටතේ ජාතික යොවුන් වේදිකාව සඳහා අයදුම්පත් කැඳවීම සිදු කෙරේ.

සාමාජිකයෙකු ලෙස අයදුම් කිරීමේ වයස් සීමාව 16 – 35 අතර විය යුතු අතර තරුණ සංවිධානය සඳහා අයදුම් කිරීමට වයස අවුරුදු 40ට අඩු විය යුතුය. උපදේශක තනතුර සඳහා වයස් සීමාවක් නොමැත.

ජාතික යොවුන් වේදිකාවේ සාමාජිකත්වය ලබා ගැනීමට අපේක්ෂා කරන්නන් ඔවුන් වසර ගණනාවක් තිස්සේ කර ඇති ව්‍යාපෘති සහ වැඩසටහන් පිළිබඳ විස්තර සහිත වාර්තාවක් ඉදිරිපත් කළ යුතුය.

ජාතික යොවුන් වේදිකාවේ අවධානය යොමු කරන ලද ක්ෂේත්‍රවල ප්‍රවීණත්වයක් සහිත පුද්ගලයින්ට උපදේශකවරයෙකු ලෙස අයදුම් කිරීමට හෝ එවැන්නන් වැඩසටහනේ උපදේශකයෙකු ලෙස නිර්දේශ කිරීමට හැකි අතර ඔවුන්ව තෝරා ගැනීම් සිදු කරන්නේ සම්මුඛ පරීක්ෂණ ක්‍රියාවලියකින් පසුවය.

සියලුම අයදුම්කරුවන් තමන් කටයුතු කිරීමට අපේක්ෂා කරන එක් ක්ෂේත්‍රයක් පමණක් තෝරාගත යුතු අතර තමා විසින් සකස් කළ අයදුම්පතක් 2023 ජනවාරි 31 හෝ ඊට පෙර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. ඊමේල් ලිපිනය මගින් හෝ “අධ්‍යක්ෂ, තරුණ හා තිරසාර සංවර්ධන, ජනාධිපති කාර්යාලය, කොළඹ 01" ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් යොමු කළ යුතුය.

පරිපාලනය, අන්තර්ගතය නිර්මාණය කිරීම, තොරතුරු තාක්ෂණය, අලෙවිකරණය, සැපයුම් සහ මූල්‍ය යන ක්ෂේත්‍රවල සිය සේවාව ස්වේච්ඡාවෙන් ලබාදීමට කැමති ඕනෑම අයෙකුට ජනාධිපති ලේකම් කාර්යාලයේ තරුණ හා තිරසාර සංවර්ධන අධ්‍යක්ෂවරයා සමඟ ඍජුව සම්බන්ධ වීමට ද අවස්ථාව පවතී.

උපයෝගීතා කොමිසමේ ලොක්කා කොක්කටම එයි !

විදුලි ගාස්තු ඉහළ දැමීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබුණ හොත් අධිකරණයට යෑමේ අවශ්‍යතාවක් නොමැති බවත් මහජන උපයෝගිතා කොමිසම සතු නිෂේධබලය පාවිච්චි කර ප්‍රතික්ෂේප කරන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනත රත්නායක පවසයි .


කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ විදුලි ගාස්තු ඉහළ දැමීමේ යෝජනාව විදුලිබල අමාත්‍යංශයේ ලේකම්, විදුලිබල මණ්ඩලයේ නව සාමාන්‍යාධිකාරීවරයා සහ ඉංජිනේරුවරියක් එකතුව සකස් කළ යෝජනාවක් බවත් වැරදි දත්ත මත පදනම්ව සකස් කළ එම යෝජනාවලියේ ගණන ක්‍රමවේදයේ, විදුලි ඉල්ලුම සහ සැපයුම ආදි කරුණුවල පරපස්පරතා ඇති බවත් ඔහු පවසයි .

කෙසේ වුවත් දේශපාලන විචාරකයන් පවසන්නේ මහජන උපයෝගීතා කොමිසමේ සභාපති මේ මොහොතේ ආණ්ඩුව අපහසුතාවට පත්කිරීමට කටයුතු කරන බවක් නිරීක්ෂණය වන බවය.

ඔහුගේ පත්වීම පවා අතිශය දේශපාලනික බව අනාවරණය වී ඇති බවත් ඒ බව පාර්ලිමේන්තුවේදී පවා අනාවරණය වූ බවත් විචාරකයන් පවසයි .

පුංචි ජන්දයෙන් මන්ත්‍රීවරුන් 8000ක් පත්වූවත් වැටුප් 4000 කට පමණයි !

පළාත් පාලන ආයතන සඳහා පත් වන සභිකයන් හාරදහසකට පමණක් වැටුප් සහ දීමනා වෙනුවෙන් මුදල් වෙන් කර තිබෙන බවත් ඉතිරි පිරිස වැටුප් සහ දීමනා රහිතව නොමිලේ සේවය කරන්නේදැයි දැනුම් දිය යුතුව ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසා ඇතැයි වාර්තා වෙයි .

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයන් සමග පැවති හමුවකදීය.

පළාත් පාලන මැතිවරණයේ කිසිඳු ඡන්ද කටයුත්තකට තමන් සහභාගී නොවන බවත් ජනාධිපතිවරයා නිල වශයෙන් එක්සත් ජාතික පක්ෂයට දැනුම්දී ඇති බවත් වාර්තා වෙයි.

එහිදී ජනාධිපතිවරයා පවසා ඇත්තේ තමන්ට වරමක් දී ඇත්තේ ඡන්ද කිරීමට නොව වසරක් ඇතුළත රට වැටී තිබෙන ආගාධයෙන් ගොඩ ගැනීමට බවත් ඒ වරමින් පිට ක්‍රියා කිරීමට කිසි විටෙකත් සූදානම් නැති බවත් ය.

එක්සත් ජාතික පක්ෂයට පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් විය යුතුව තිබේනම් ඒ සඳහා වන තීරණය ගැනෙන කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ මුලසුන සාම්ප්‍රදායානුකූලව පමණක් ගැනීමට තමන් ඉදිරිපත් වන බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් එජාප නායකයන්ට දැනුම්දී ඇත .

ඊට අමතරව පළාත් පාලන මැතිවරණයට අදාළව කිසිදු ඡන්ද වැඩකට තමන් සහභාගී නොවන බවත් ජනාධිපතිවරයා පවසා තිබේ.

එක්සත් ජාතික පක්ෂය පළාත් පාලන ඡන්දයට සහභාගී වන්නේ නම් අපේක්ෂක ලැයිස්තුවෙන් 40%ක් අලුත් මුහුණු දැමීම සුදුසු බව තම මතය යැයිද ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කර ඇති බවත් වාර්තා වෙයි .

Page 153 of 382