V2025

පුවත්

ලබන වසරේ ඩොලර් බිලියන 08ක් !

ලබන වසරේදී බහු පාර්ශ්වික නියෝජිත ආයතනවලින් ඩොලර් බිලියන 05ක ණය මුදලක් අපේක්ෂා කරන බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි පවසයි.

විදේශ කටයුතු අමාත්‍යවරයා මේ බව සඳහන්කර ඇත්තේ රොයිටර් පුවත් සේවය සමඟ අදහස් දක්වමිනි.

එළඹෙන වසරේ දී රාජ්‍ය අංශයේ ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම මගින් ඩොලර් බිලියන 03ක ප්‍රමාණයක් එක්රැස් කළ හැකි බවත් ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත.

ජනාධිපතිගේ දේශගුණ සෞභාග්‍ය සැලැස්ම ගැන රුවන් කියයි !

අයහපත් කාලගුණික තත්ත්වය නිසා ශ්‍රී ලංකාවට වාර්ෂිකව ඩොලර් බිලියන ගණනක පාඩුවක් සිදුවන බව දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන පවසයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අදහසකට අනුව ක්‍රියාත්මක වන දේශගුණ සෞභාග්‍ය සැලැස්ම ක්‍රියාත්මක කිරීම මගින් එම බිලියන ගණනක මුදල් ලංකාවට ගෙන්වා ගැනීමේ අවස්ථාවන් උදාවන බවද ඔහු සඳහන් කරයි.

දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මෙි බව සඳහන් කර සිටියේ දේශගුණික මූල්‍යකරණ ව්‍යාපෘතියේ ආරම්භක වැඩමුළුවට සහභාගී වෙමිනි.

පරිසර අමාත්‍යාංශය, මුදල් අමාත්‍යාංශය සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) සමඟ මෙම වැඩසටහන කොළඹ පැවැත්විණි.

2030 වන විට පුනර්ජනනීය බලශක්ති භාවිතය 75% දක්වා ඉහළ නැංවීම වෙනුවෙන් සුළං බලය ඇතුළු ස්වභාවික බලයන් භාවිතයටත්, පරිසර සංචාරක ව්‍යාපාරය ඉහළ නැංවීම ඇතුළු ව්‍යාපෘති ගණනාවක් හඳුනාගෙන ඇති බවත් දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන පැවසීය.

සපුගස්කන්ද ආයෙත් වැඩ !

සපුගස්කන්ද තෙල් පිරිපහදුව මෙම මස 16 වනදා සිට නැවත ආරම්භ කරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වැඩිදුරටත් පවසන්නේ පූර්ණ ධාරිතාවයකින් යුතුව පිරිපහදුවේ නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවය.

 මේ සම්බන්ධයෙන් ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිකුත්කළ නිවේදනය පහත දැක්වෙයි.

download

බාස්මති හැර අනෙක් සහල් ආනයනය තහනම් !

බාස්මති සහල් හැර අනෙකුත් සහල් වර්ග ආනයනය තහනම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත්කර ඇත.

සහල් ආනයනය බලපත්‍ර ක්‍රමයට යටත් කරමින් මුදල්, ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මෙම ගැසට් නිවේදනය නිකුත්කොට තිබේ.

එහෙත් නෞකා මගින් මෙරටට රැගෙන එමින් පවතින සහල් තොග සඳහා සහ දෙසැම්බර් 09 වැනිදාට පෙර ණයවර ලිපි නිකුත්කර ඇති ඇණවුම් සඳහා ‍විශේෂ බලපත්‍රයක් මගින් එම සහල් තොග වරායෙන් නිදහස් කර ගත හැකි බවත් එහි සඳහන් කර ඇත.

මීට අදාළ ගැසට් නිවේදනය පහත දැක්වෙයි.

1 2

ජනවාර්ගික ගැටළුවට විසඳුමක් ලබාදීමට සියලු දේශපාලන පක්ෂ එක් විය යුතුයි - ජනපති

එළැඹෙන 75 වන ‍නිදහස් සැමරුම වන විට ජනවාර්ගික ගැටළුවට විසඳුමක් ලබාදීම සඳහා සියලු දේශපාලන පක්ෂ පොදු එකඟතාවකට පැමිණිය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ  අවධාරණය කළේය.
 
ජනාධිපති රනිල් වික්‍රමසිංහ  මේ බව සඳහන් කර සිටියේ  ජනාධිපති කාර්යාලයේ ඊයේ (13) පස්වරුවේ පැවති සර්ව පාක්ෂික සමුළුවට එක්වෙමිනි.
ජාතික සංහිඳියාව තුළින් ජනවාර්ගික ගැටළුවට විසඳුම් සෙවීම සඳහා පොදු එකඟතාවක් ඇතිකර ගැනීමේ අරමුණින් ජනාධිපතිවරයා විසින් මෙම සමුළුව කැඳවා තිබිණි. 
එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ  මෙන්ම සර්ව පාක්ෂික සමුළුව සඳහා සහභාගී වූ දේශපාලන පක්ෂ නියෝජිතයන් දැක්වූ අදහස් පහත දැක්වේ. 
මේ රටේ තිබෙන ප්‍රශ්නය විසඳීමට අප සියලු දෙනා එක් විය යුතුයි. ඒකට ජනවාර්ගික ප්‍රශ්නය කියනවද, වෙන මොකක් හරි නමක් කියනවද කියන එක  වැදගත් නැහැ.  අපිට අවශ්‍ය වන්නේ මේ ප්‍රශ්නයවල විසඳුම් ලබාදීමයි. සියලු දේශපාලන පක්ෂ එකතුවෙලා මේ සඳහා විසඳුමක් සෙවීමට පාර්ලිමේන්තුවේදී එකඟතාවක් ඇති කර ගත්තා. අද මේ පක්ෂ නායක රැස්වීම කැඳවනු ලැබුවේ ඒ සඳහායි. 
රටේ ජාතික ප්‍රශ්නය පිළිබඳ අද උතුරේ මන්ත්‍රීවරු සාකච්ඡා කරල තිබෙනවා. කොටස් දෙකක් යටතේ මෙම ප්‍රශ්නය සාකච්ඡා කළ හැකියි.  පළමු කරුණ වන්නේ අතුරුදන්වූවන් සඳහා වන්දි ගෙවීමේ ක්‍රියාවලිය හා ඔවුන් සම්බන්ධයෙන් සිදුකරන පර්යේෂණ.   ත්‍රස්තවාදය වැළැක්විමේ පනත, ඒ වගේම ඉඩම් සම්බන්ධයෙන් විසඳුම් ලබාදිය යුතු ගැටළු රැසක් තිබෙනවා. දෙවනුව  තිබෙන්නේ බලය බෙදීම සම්බන්ධව නීතිමය කටයුතු කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළයි.
මේ සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යවරයා සහ  අධිකරණ අමාත්‍යවරයා එක්ව විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක  කරනවා. ඒ අනුව අතුරුදන්වූවන් පිළිබඳ වත්, දේශපාලන සිරකරුවන් පිළිබඳ වත්  වාර්තාවක් ලබාදීමට අපි බලාපොරොත්තු වෙනවා. ඉන් පසුව අපිට පුළුවන් බලය බෙදීම ගැන කතා කරන්න. 
ඒ සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නවාස් මහතාගේ ප්‍රධානත්වයෙන් පත්කළ කමිටුවේ වාර්තාවතව සතියකින් පමණ  මුද්‍රණය කෙරෙනවා.  එම වාර්තාවේ යෝජනා ගණනාවක් ඇතුළත් වෙනවා. මීට පෙර ලබාදුන් වාර්තාවල යෝජනා ද අපි මෙහිදී සලකා බලනවා. 
 
විදේශ අමාත්‍ය අලි සබ්‍රි 
ජිනීවා නුවර පැවැත්වෙන  මානව හිමිකම් පිළිබඳ කොමිසමේ සාකච්ඡා හා  ශ්‍රී ලංකාව පිළිබඳ ජාත්‍යන්තරයේ සිදු කෙරෙන සාකච්ඡා ප්‍රධාන වශයෙන් කරුණු දෙකක් යටතේ සිදු කෙරෙනවා. 
එහිදි අපි ඉදිරිපත් කළ උගත් පාඩම් කොමිසම,  උදුලාගම කොමිසම හා පරණගම කොමිසම් වාර්තා  සැලකිල්ලට ගෙන තිබෙනවා. එම හැම වාර්තාවකින්ම පෙන්වා දී තිබුණේ, රට තුළ සිදුවූ සිදුවීම් සඳහා විසඳුම් ලබාදීමට  තිබෙන නමුත් ,  විදෙස් රටක යාන්ත්‍රණයක් යටතේ මෙම විසඳුම් ලබා දීමට නොහැකි බවයි. ඒ අනුව අපි මේ සඳහා දේශීය යාන්ත්‍රණයක් යටතේ විසඳුම් ලබාදීමට පොරොන්දු වී තිබුනත්  එය  ක්‍රියාත්මක වී නැහැ.
ජනාධිපතිවරයා පවසන අන්දමට, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තමයි, නවාස් කොමිසම පත් කළේ. එම කොමිසම මගින් සිදුවුණේ ,පසුගිය කොමිසන් සභාවල යෝජනාත් ඇතුළත් කර ගනිමින්, ‍මේ සඳහා විසඳුම් ලබාදීමට අවශ්‍ය වැඩපිළිවෙළ සකස් කිරීමයි.  ඒ අනුව මෙම යාන්ත්‍රණය ගෙන ඒමට අපිට වගවීමක් තිබෙනවා. 
ආරක්ෂක අංශ පවා මෙම යාන්ත්‍රණය ගෙන ඒම පිළිබඳ, කැමැත්ත පළ කර තිබෙනවා. ආරක්ෂක අංශ කියන්නේ, යම් යම් සේනාංක විවිධ අන්දමින් හංවඩු ගහලා තියෙනවා කියලයි. සමහර සේනාංකවලට එක්සත් ජාතීන්ගේ මෙහෙයුම් වලට පවා   යාමට නොහැකි තත්ත්වයක් උදාවී තිබෙනවා. ඔවුන්ට ඔවුන්ගේ නිර්දෝෂී භාවය ඔප්පු කිරීම සඳහාත්, සැකකටයුතු යම් දෙයක් සිදුවී ඇත්නම් ඒ සඳහා නීතිය ක්‍රියාත්මක කිරීමත්  ඔවුන් අපේක්ෂා කරනවා. 
කෙසේ වෙතත් ඒ වගේ ක්‍රියාපටිපාටියක් අනුගමනය කිරීමට, අපට මේ වන තුරුත් නොහැකි වී තිබෙනවා. අපි හිතනවා දේශීය යාන්ත්‍රණයක් තුළින් මේවාට විසඳුම් ලබා දෙන්න පුළුවන් වෙයි කියලා. සත්‍ය කොමිසම හරහා මේ සඳහා විසඳුම් ලබා ගන්න පුළුවන්. දකුණු අප්‍රිකාව සමගත් මේ සම්බන්ධව අපි සාකච්ඡා කර තිබෙනවා.
මෙම ප්‍රශ්නයට විසඳුම් ලබාදීම උතුරටත් දකුණටත් ඉතා හොඳයි. මේ සඳහා කැබිනට් පත්‍රිකාවක් අපි ඉදිරිපත් කරනවා. හිටපු තානාපතිවරයෙක්  මෙම කමිටුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස පත්කර තිබෙනවා. විදේශගතව සිටින සිංහල දෙමළ මුස්ලිම් සියලු දෙනා ඒකාබද්ධ කර ගනිමින් හොඳ යෝජනා රැසක් ගෙන ඒමට මෙමගින් අපේක්ෂා කරනවා. ඒ සඳහා රජය හැටියට පහසුකම් සැපයීමට අපි බලාපොරොත්තු වෙනවා.
 
අධිකරණ ඇමති විජයදාස රාජපක්ෂ 
අධිකරණ අමාත්‍යාංශයට තමයි ශ්‍රී ලංකාවේ සංහිඳියාව පිළිබඳ කාර්යය පටිපාටිය පැවරී තිබෙන්නේ. මේ වන විටත් අතුරුදහන් අතුරුදහන්වුවන්ගේ කාර්යාලය පවත්වාගෙන යන්නේත් අධිකරණ  අමාත්‍යංශ යටතේයි. මෙහි තිබෙන සියලු ලිපි ගොනු ලබන වසරේ දෙසැම්බර් 31 වනදා වන විට අවසන් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. අතුරුදහන්වූවන් සම්බන්ධයෙන්  වන්දි ගෙවීමේදී එක්  පුද්ගලයෙකු සඳහා  රුපියල් ලක්ෂයක මුදලක් පිරිනැමුවා. දේපල වන්දි ගෙවීම සම්බන්ධවත් මේ වෙනකොට අපි සලකා බලමින් ඉන්නවා. 
උතුරේ යුද්ධය නිසා උප්පැන්න සහතික, හැඳුනුම්පත් අහිමිවූ  11,000 කට ආසන්න ජනතාවක් හිටියා . ඒවා නැවත සකස් කිරීමට අපි කටයුතු කළා. උතුරු පළාතේ  සමථකරණ වැඩසටහන් ගණනාවක් අධිකරණ  අමාත්‍යාංශය යටතේ සිදු කරනු ලැබුවා.  මේ ප්‍රශ්න විසඳගෙන යනවිට විදේශ ගත ශ්‍රී ලාංකිකයන් ලංකාව තුළ තුළ ආයෝජනය කිරීමටත් පෙළඹෙනු ඇතැයි අප විශ්වාස කරනවා. සත්‍ය සෙවීමේ කොමිසම මේ වන කොට ක්‍රියාත්මක වෙමින් පවතිනවා. දකුණු අප්‍රිකානු රජය මේ සම්බන්ධයෙන් අපට සහයෝගය ලබා දෙනවා. 
ජනාධිපති රනිල් වික්‍රමසිංහ 
 උතුරේ තිබෙන ඉඩම් පිළිබඳ කාරණා කිහිපයක් මතුව තිබෙනවා.   උපදේශකතුමාත්, ඉඩම් අමාත්‍යාංශයේ ලේකම්තුමාත්, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියාත්  එකතුවෙලා  එම ප්‍රදේශ වල මහජන නියෝජිතයන් නියෝජිතයන් සමඟ එක්ව එක විසඳුමකට එන්න බලාපොරොත්තු වෙනවා. දැනට මෙහි ප්‍රගතියක් ඇති වෙලා තියෙනවා. සාකච්ඡා ඉදිරියට යන විට යනවිට අදහස් දැනගන්න පුළුවන්. ඒ නිසා තමයි සියලු පක්ෂ වල  පක්ෂවල අදහස් දැනගන්න මේ සමුළුව කැඳෙව්වේ. මේ ගැන අපි එක විසඳුමකට පැමිණ යුතුයි කියලා මම යෝජනා කරනවා.  
 
පාර්ලිමේන්තු  මන්ත්‍රී සී.වී විග්නේෂරන් 
දෙමළ ජනතාවගේ පැත්තෙන් මේ ගැටලුව දෙස බලන විට අපට අදියර 3ක් තිබෙනවා. ඒ  ඉඩම්, අතුරුදන් වූවන් සහ ඒ පළාත්වල මෙතරම් හමුදාවක් සිටීම. විවිධ දෙපාර්තමේන්තු වලට ඉඩම් පවරා ගැනීම සම්බන්ධයෙන් ජනතාවට ප්‍රශ්න තිබෙනවා. ඒ ගැන සොයා බැලිය යුතුයි.  අපේ ජනතාව සම්බන්ධයෙන් කළ යුතු පළමු දෙය සහ වහාම කළ යුතු දෙය එයයි.
දෙවනුව අපට යම් යම් අයිතීන් ලබා දෙන නීතිමය ප්‍රතිපාදන තිබෙනවා. අපට පළාත් සභාවේ අවශ්‍යතාව ඉතා විශාලයි. එය ඉතා කඩිනමින් කළ යුතුයි. උතුරු නැගෙනහිර පළාත් සභා මැතිවරණය හැකි ඉක්මනින් පැවැත්විය යුතුයි. මේ වන විටත් ඉඩම් විශාල ප්‍රමාණයක් පවරාගෙන තිබෙනවා. ඒ සියල්ල සිදුව තිබෙන්නේ නීතියට පටහැනිවයි. ඊට අදාළව විවිධ නඩු විභාග වෙමින් තිබෙනවා. ඒ නිසා ඉඩම් අයිතිය පිළිබඳ ප්‍රශ්නය ගැන සොයාබැලීමට අවශ්‍යයි.
එබැවින් පළමුවැනි ප්‍රශ්නය භූමි තත්ත්වයන් සම්බන්ධයෙන් තිබෙන්නේ. දෙවැන්න දැනටමත් ක්‍රියාත්මක කළ යුතු අයිතිවාසිකම් සම්බන්ධයෙන් තියෙන්නේ. තෙවැන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන්. නමුත් ලබන වසරේ පෙබරවාරි 4 වැනි දින ලෙස ජනාධිපතිතුමා  විසින් ලබා දී ඇති කාල සීමාව තුළ මේ කටයුතු අවසන් කිරීමට නම් ඉහත පෙන්වාදුන් කරුණු කෙරෙහි එකවර අවධානය යොමුකරන්න වෙනවා.  එය කළ නොහැක්කක් නොවෙයි. අප සතුව දැනටමත් ඊට අදාළ ලියකියවිලි,  ප්‍රමාණවත් තරම් කොමිෂන් සභා වාර්තා සහ විවිධ කෙටුම්පත් තිබෙනවා. ඉතින් මේ රටට ගෙනාපු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පීඩාවට පත් වූවන්ට අපි කොහොමද අයිතිවාසිකම් ලබා දෙන්නේ කියලා බලන්න නම් අපිට තියෙන්නේ වාඩිවෙලා අවසාන ප්‍රතිඵලයක් හදාගන්න එක විතරයි.
අවසාන වශයෙන් මම සඳහන් කරන්න කැමතියි,  උතුරු හා නැගෙනහිර දෙමළ ජනතාව ලෙස අපට වසර 3,000 කට වැඩි ඉතිහාසයක් ඇති බව.  අපට අපේම කියා ඉඩමක් ඇති බව. ඒ වගේම අපට භාෂාවක් සහ සංස්කෘතියක් තිබෙනවා. මේ රටේ අපට එම අයිතිය ලබා දියයුතු වනවා. අපට ගෞරවය, සමානාත්මතාවය සහ අනාගතයේ එකම රටක් ලෙස එකට යාමට අවශ්‍ය ව්‍යවස්ථාවක් තිබිය යුතුයි.
 
පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක 
මං හිතන්නේ මෙතන විධායකය විසින් කළයුතු වැඩ ගණනාවක් තිබෙනවා. ශ්‍රී ලංකාවේ පැවැති යුද්ධය අවසන්වෙලා අවුරුදු 12ක් සම්පූර්ණ වෙලා. තවමත් සැකකරුවෝ සහ දේශපාලන සිරකරුවෝ ඉන්නවා. මම දන්නෑ ගාන කීයද කියලා.  නමුත් යම්කිසි විසඳුමක් ලබාදිය යුතුයි. අපි ඊට එකඟයි. අතුරුදන්වූවන් පිළිබඳ විමර්ශන, ආරක්ෂක අංශය ලබාගෙන තිබෙනවා කියන ඉඩම්,මේ පිළිබඳ විධායකය මගින් තීන්දු ගත යුතුයි . ඒ පිළිබඳ කිසි විවාදයක් නෑ. 
නමුත් පරිසර සංරක්ෂණ ප්‍රදේශ හා  පුරාවිද්‍යා  ප්‍රදේශ  ලංකාවේ පවතින නීතියට  යටත් විය යුතුයි. ඊළඟට නීති සම්පාදනය පාර්ලිමේන්තුවෙන් සිදු විය යුතුයි.  ඒ අනුව මේ තිබෙන විදිහට එක්කෝ පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතුයි.  නැත්නම් පාර්ලිමේන්තුව තුළ තේරීම් කාරක සභාවක් හරහා පළාත් සභා පනත සංශෝධනය කර ඉදිරි වැඩ කටයුතු කළ යුතුයි. 
මෙවැනි වැඩසටහනක් අපි 2015දීත් ක්‍රියාත්මක කිරීමට උත්සාහ කළා.  ඒ සම්බන්ධ එකඟතාවයක් ලැබෙන තුරු පළාත් සභා මැතිවරණ පවත්වනවද, නැද්ද කියන එක අපි තීරණය කළ යුතුයි. මගේ අදහස නම් පළාත් සභා මැතිවරණයට තිබෙන බාධා ඉවත් කළ යුතු බවයි. නැතිනම්  නැවතත් තේරීම් කාරක සභාවක් හරහා ගියහොත් තව කල් මැරීමක් සිදු වෙනවා. එවිට ඡන්දයක් කිසිවිටෙක පැවැත්වීමට නොහැකි තත්ත්වයක් උදාවෙන්න පුළුවන්. මෙය ක‍ළොත් රාජ්‍ය අංශයේ තිබෙන යම් ප්‍රතිසංස්කරණ සිදු කරන්න පුළුවන් කියලා මම ඔබතුමාට යෝජනා කරනවා. සියලු පක්ෂ නායකයින් සමග සාකච්ඡා කරලා ඒ උපාය මාර්ගික වැඩපිළිවෙල ඉදිරියට ගෙන යා හැකියි. 
පාර්ලිමේන්තු මන්ත්‍රී  දයාසිරි ජයසේකර
සියල්ල පටලවාගන්න ගියත් ලොකු ප්‍රශ්නයක් වෙයි. දැනට අත්අඩංගුවේ ඉන්න සිරකරුවන් නිදහස් කිරීමට කටයුතු කරලා. සත්‍ය කොමිසමක් හරහා ඉදිරි වැඩකටයුතු කරගෙන යාමයි වැදගත්. එවිට මේ කටයුතු සඳහා සහයෝගය දෙන්න අපිට පුළුවන්. 
පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ 
අද ඒකපාර්ශව වැඩපිළිවෙළක් යනවා කියලා තමයි අපිට විශ්වාස කරන්න තියෙන්නේ. සර්ව පාක්ෂික සමුළුව හරහා ඔබතුමා ජනවාර්ගික ප්‍රශ්නය විසඳන්න උත්සාහ කරන බව අපිට පේනවා. නමුත් මේක වසර 75 ක් තිස්සේ ඇදිච්ච ප්‍රශ්නයක්. මේක  දවස් 75 කින්  විසඳන්න පුළුවන් කියලා මම හිතන්නේ නැහැ. අද පළාත් සභා නවය  පාලනය කරන්නේ පුද්ගලයන් නවදෙනෙකු විසින්.  එම නිසා පළාත් සභා ක්‍රමය නිවැරදි කර ගන්න අපි උත්සාහ කරන්න ඕන.
 
පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් 
අපි හිතන ආකාරයට 75 වන නිදහස් සමරුවට පෙර , අවම වශයෙන් ආරම්භක පියවරක් ලෙස, 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීම සඳහා තීරණයක් ගත යුතුව තිබෙනවා. ඊට පසුව සර්ව පාක්ෂික සමුළුව සහ අවශ්‍ය නම් සිවිල් සංවිධාන  සහභාගී කරගෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ වෙත යොමුවෙන්න පුළුවන්. වික්ටර් අයිවන් වැනි සිවිල් සමාජ ක්‍රියාකාරීන් දැනටමත් අපව හමුවෙලා විවිධ කරුණු කාරනා සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබෙනවා. 
මෙහිදී  උතුරු නැගෙනහිර පළාත් වල දෙමළ භාෂාව කතා කරන ජනතාවගේ ගැටළු ගැනත් අවධානය යොමුකළ යුතුයි. එම පළාත් වල සිටින ජනතාවගේ ජීවිකාව කරගෙන යාමට ප්‍රධාන ගැටළුවක් වී ඇත්තේ, ඔවුන්ගේ ඉඩම් අන්‍යන් විසින් අත්පත් කරගෙන තිබීමයි. ඒ හමුදාව  පමණක් නොවෙයි,  රජයේ අන්‍ය ආයතන මඟින්ද ඉඩම් අත්පත් කර ගැනීම් සිදුකර තිබෙනවා. විශේෂයෙන් වන ජීවී, වන සංරක්ෂණ සහ  පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මෙලෙස ඉඩම් අත්පත් කරගෙන තිබෙනවා.  මෙය  මුස්ලිම් ප්‍රජාවට පමණක් නොවෙයි,  සිංහල ප්‍රජාවටත් ගැටළුවක්. 
පාස්කු ප්‍රහාරය සම්බන්ධ ගැටලුවේදී සමහර ආගමික ස්ථාන වල දේපළ රජයට අත්පත් කරගැනීමේ උත්සාහයන් තිබුනා. ඒ සමහර  ස්ථාන වල පොලිසිය රැඳී සිටිනවා. මේ සම්බන්ධව ජනතාවගේ ගැටළුවක් තිබෙනවා. ඒ නිසා සහරාන් හෝ ඔහුගේ කණ්ඩායමේ පුද්ගලයන්ට අයිති දේපල නෙවෙයි, නමුත් වෙනත් ආගමික ස්ථාන ගැන තීරණයක් ගත යුතුයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද
දැන් සංහිඳියාව කියන වචනය ජාතික සංහිඳියාව ලෙස තිබීමට අවශ්‍යයි.  මම දේශපාලනයට පිවිසුනේම  සංහිඳියාව ඇති කිරිමේ මූලික අරමුණ ඇතුවයි.  ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුමෙන් පසුව දෙමළ ප්‍රජාවට අවශ්‍ය තරම් අවස්ථා ලැබුණා. අවාසනාවකට ඔවුන් එය භාවිතා කළේ නැහැ. . ඔවුන් එය වැරදි ලෙස භාවිතා කළා. ඒ ගැන කතා කරන්න මට අයිතියක් තියෙනවා.  අපි පසුගිය අවුරුදු 35ක් පුරාවට කරමින් සිටියේ ,  දේශපාලන විසඳුමකින් පටන් ගන්න, 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් පටන් ගන්න කියමින් සිටීම පමණයි.
මුලින්ම අපි සියලු ප්‍රජාවන් සමඟ සංහිඳියාව ආරම්භ කරමු.  පසුව තවත් ඉදිරියට යමු. මගේ පාර්ලිමේන්තු සගයන් වන   සිද්ධාර්ථන් සහ  සෙල්වම් අඩෙක්කලනාදන් ඒ වෙනුවෙන් මුල සිටම කටයුතු කළා.  අපි ඔවුන් සමඟ සාකච්ඡා කර තිබෙනවා. 13 වැනි සංශෝධනයෙන් මේ කටයුතු  ආරම්භ කිරීමට ඔවුන් ද එකඟ වුණා. අපි අලුත් ව්‍යවස්ථාවකට යන්නේ නැහැ.  මොකද අලුත් ව්‍යවස්ථාවකට යන්න නම් අපිට පාර්ලිමේන්තුවේ  2/3ක් සහ ජනමත විචාරණයක් අවශ්‍යයි. මේ මොහොතේ මේ රටට එය කළ නොහැක්කක් . මුලින්ම අපි පටන් ගන්නේ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීමෙන් . ඒ හරහා අපට සියලු ප්‍රශ්න විසඳාගත හැකියි.
 
ජනාධිපතිතුමනි, අපගේ සියලු ප්‍රශ්න විසඳා සමථයකට පත් කර ගැනීමට හැකි වන පරිදි මෙම සර්ව පාක්ෂික සමුළුව සංවිධානය කර එය ඉදිරි වැඩසටහන් බවට පත් කිරීම පිළිබඳව මම ඔබට ස්තූතිවන්ත වෙනවා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ 
යම් ආගමික ස්ථානයක්  තර්ජනයට ලක්ව ඇත්නම් අපට දන්වන්න. අද වන විට අපි  සමහර මුස්ලිම් සංවිධාන සම්බන්ධයෙන් අපි අධ්‍යයනය කරමින් සිටිනවා. සමහර සංවිධාන සඳහා පනවා ඇති තහනම ඉවත් කරන්න පියවර ගන්න අපි කටයුතු කරනවා. 
පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් 
යුද්ධය සමඟ අපේ ගෙවල් දොරවල් කැලෑවට ගිහින් තිබෙනවා. නමුත් දැන් එම අපේ ඉඩම්, වනජීවී දෙපාර්තමේන්තුව මඟින්  රක්ෂිත බවට පත්කර තිබෙනවා.  ජනාධිපතිතුමනි,  වසර තිහක් යුද්ධය පැවතුණාම, ඒ ප්‍රදේශ වල ජනතාව හිටියේ නෑ. ඉතින් ඒ ප්‍රදේශ  කැළෑ බවට පත්වෙනවා. එම නිසා අපේ එම ඉඩම් ටික බේරා දෙන්න කියලා ඉල්ලා සිටිනවා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ 
ඉඩම් අමාත්‍යාංශයත් වනජීවී  අමාත්‍යංශයත් එකතු වෙලා   ඔය ප්‍රශ්නයට විසඳුම් ලබා දෙන්න කටයුතු කරනවා. නමුත් ශ්‍රී ලංකාව තුළ වනාන්තර සියයට තිස් දෙකක් තියෙන්න ඕන. ඉන් පරිබාහිර කොටස් සොයා බලා ලබාදෙන්න කටයුතු කරන්න පුළුවන්. අපි  75 වෙනි නිදහස් උත්සවය සමරන අවස්ථාව වන විට එක ජාතියක් වශයෙන් ඉදිරියට යන්න අවශ්‍යයි.
මහ ජාතියේ සැකයක් තියනවා නැවත යුද්ධයකට යයි කියලා. දෙමල මන්ත්‍රීවරු කියනවා ඔවුන්  යුද්ධය  අත්හැරලා  තියෙන්නෙ කියලා. අන්න ඒ නිසා අපි එක වේදිකාවක් තුළ ඉඳලා මේ ප්‍රශ්නය විසදීමට සාකච්ඡා කළ යුතුයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග  
මේ ප්‍රශ්නය විසඳන්න නම් පළවෙනි කාරණාව තමයි අවංකවීම. හොඳම උදාහරණය තමයි, මේ වෙනකොට නීතිය හදාරන සිසුන්ට තමන්ගේ මව් භාෂාවෙන් නීතිය හදාරන්නට ඇති අයිතිය අහෝසි වෙමින් පවතිනවා. මෙහෙම තත්ත්වයක් තුළ අපට විසඳුම් සොයා ගන්න පුළුවන්ද? 
පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් 
පළාත් සභා ඡන්දය වහාම පවත්වන්න කියලා අපි යෝජනා කරනවා. අපේ අදහස පළාත් සභාවල බලතල සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරන්න අවශ්‍ය බවයි. 13 ව්‍යවස්ථා සංශෝධනයෙන් අපි මුලින්ම සංහිඳියාව ආරම්භ කරමු. 
ජනාධිපති රනිල් වික්‍රමසිංහ 
දහතුන්වැනි සංශෝධනයේ ගැටලුවට කලින්  අපි  මෙහිදී සාකච්ඡා  කරන ගැටලු විසඳ ගමුද ? පාර්ලිමේන්තුවේදී එකග වුනේ මේ ප්‍රශ්නයට විසඳුමක් ලබා දෙන්නයි. එහෙම නම් ඊට පස්සේ  අපි අනෙක් ප්‍රශ්න ගැන බලමු.
ඒ වගේම සඳහන් කරන්න ඕන , ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ  ලෝක බැංකුව සමඟ  සිදුකරන ගනුදෙනු සම්බන්ධයෙන් අප පාර්ලිමේන්තුව  දැනුවත් කිරීමට බලාපොරොත්තු වෙනවා. හැමදෙනාම ඒක  පිළිගන්නවද නැද්ද කියන එක බැලිය යුතුයි. පිළිගන්නේ නැත්නම්  ප්‍රශ්නයක් තියෙනවා.  ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ලෝක බැංකුව අප  ගන්නා ක්‍රියාමාර්ග  පිළිබඳ අවධානයෙන් ඉන්නේ. 
ඔවුන් අපිට ලබාදී තිබෙන සැලැස්ම  අපි පාර්ලිමේන්තුට ඉදිරිපත් කරලා , ඔබතුමාන්ලාව දැනුවත් කරන්නත් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපේ බැංකු පද්ධතිය තිබෙන තත්ත්වය ගැනත් පාර්ලිමේන්තුව දැනුවත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ණය  ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙනුත් එහෙමයි. සියලු කාරණා සම්බන්ධයෙන් පාර්ලිමේන්තු දැනුවත් කිරීමට බලාපොරොත්තු වෙනවා. 
ඒ එක්කම 75 නිදහස් දින  සැමරුම  වන විට, සර්ව පාක්ෂික සමුළුව මඟින් ජනතාවට ලබා දිය හැකි විසඳුම් ලබා දෙන්න පුලුවන්ද බැරිද කියන කාරණය පාර්ලිමේන්තුවට දැනුම්දෙන්න අවශ්‍යයි.  ඒ ගැන කතා කරන්න තමයි සර්ව පාක්ෂික සමුළුව කැඳවා තිබෙන්නේ.
 ආර්ථිකයත් ඉතා වැදගත්. ආර්ථිකය සම්බන්ධ කාරනාවලටත්  මෙවැනි ම  සමුළුවක් පවත්වන්න පුළුවන්.  ඒ සමඟම එවැනි ජාතික ප්‍රතිපත්තියක් සකස් කරමු. පාඨලී මන්ත්‍රීවරයා කිව්වා වගේ  විධායකය තුළින් ගත යුතු තීරණ තිබෙනවා. බලය බෙදාහැරීම සහ 13වන සංශෝධනය පිළිබඳව  අපි සාකච්ඡා කරමු. ඊළඟ සාකච්ඡා වාරය ලබන ජනවාරි මාසයේ පවත්වන්න කටයුතු කරමු. එහිදී අපි සර්වපාක්ෂික විසඳුමකට එනවද නැද්ද කියලා එකඟතාවයකට එමු.  ආර්ථිකය සම්බන්ධ කාරණා ලබන පෙබරවාරි මාසයේදී කතා කරමු. මේ පිළිබඳව රටත් දැනගන්න ඕන.  ඔබ සියලු දෙනාගේ පැමිණීම සම්බන්ධයෙන් මම ස්තූතිවන්ත වෙනවා. 
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස 
අද මෙම සාකච්ඡාව ඉතාම වැදගත්. මෙම සාකච්ඡාවට කාල සටහනක් තිබීම සම්බන්ධයෙන් සතුටු වෙනවා. එවැනි ඉලක්කගත වැඩසටහන් මගින් රටේ ඉදිරි ගමනට  විශාල පිටුවහලක් වෙනවා. රටක් එක්සත් වීමට නම්  එකමුතු භාවයක් තිබෙන්න අවශ්‍යයි.  ජන සමාජයක එකමුතුභාවය මගින් රට ආර්ථික වශයෙන් සංවර්ධනය කළ හැකියි. අපේ රටේ ජන සමාජය තුළ විවිධ ජන කොටස් එක හා සමාන ලෙස ජීවත් වෙනවා. ඒ නිසා දේශපාලන ක්‍රමය තුළ කුලය ආගම යොදා නොගත යුතුයි.  එම විෂ බීජය අපි ඉවත් කළ යුතුයි. ජාතිය ආගම භාවිතා කර දේශපාලනය කරන පිරිස්  අපි ඉවත් කළ යුතුයි. මේ කාලය එවැනි සමාජ සමාජයක් ප්‍රතිනිර්මාණය කිරීමක් අවශ්‍ය වන කාලයක්. එමගින් අපිට සංහිඳියාව ඇති කළ හැකියි .  ජාතිවාදය සමාජයෙන් ඉවත් කිරීම සඳහා  නීතිරීති  ගෙන ආ යුතුයි .  ජාතිවාදී සංකල්පවලින් අපි බැහැර විය යුතුයි . එසේ නොවන්නට අපට වෙනත් රටක් බිහි කළ නොහැකියි. මේ රටේ සෑම ජන කොට්ඨාශයකටම අපි හැමෝටම සමාන සැලකිලි තිබෙන බවට  අදහසක් තිබිය යුතුයි. අපි අපේ දේශීය යාන්ත්‍රණයක් තුළ මෙම ප්‍රශ්න විසඳාගත හැකියි.  මෙම වැඩපිළිවෙළ  ආරම්භ කිරීමත් සමගම එය  පවත්වාගෙන යාමටත් අපිට වගකීමක් තිබෙනවා. එම නිසා ජනාධිපතිතුමා මේ ආරම්භ කළ සර්වපාක්ෂික සමුළුවත් සාර්ථකව ඉදිරියට කරගෙන යාමට අපි ඔක්කොම එකතු විය යුතුයි. 
ජාතික සංහිඳියාව තුළින් ජනවාර්ගික ගැටළුවට විසඳුම් සෙවීම සඳහා සර්ව පාක්ෂික සමුළුවක් කැඳවීම සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු  ජනාධිපති  රනිල් වික්‍රමසිංහට සිය ප්‍රසාදය පළ කළහ.

ජාතික පුෂ්පයේ අවුල .........

ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය මානෙල්ද නිල් මානෙල්ද යන්න සම්බන්ධයෙන් මතභේදාත්මක තත්වයක් ඇතිවී තිබෙන හෙයින් එම ගැටලුව විසඳාගැනීම සඳහා විශේෂඥ කමිටුවක් පත් කිරීමට පරිසර කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව තීරණය කළේය.

පරිසර කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව එහි සභාපති පරිසර අමාත්‍ය නසීර් අහමඩ් මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා රැස්විය.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උද්භිද විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය දීප්ති යකන්දාවල සහ වයඹ විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම හා වැවිලි කළමනාකරණ පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල යකන්දාවල යන අය වසර ගණනාවක් තිස්සේ නොවිසඳුණු හා මත භේදයට තුඩු දී ඇති ජාතික පුෂ්පයේ ගැටලුව සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් කරුණු ඉදිරිපත් කළහ.

මෙහිදී අදහස් දැක්වූ මහාචාර්ය යකන්දාවල  පැවසුවේ ජාතික පුෂ්පය නිල් මහනෙල් බවට කැබිනට් පත්‍රිකාවක් මගින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කරනු ලැබ තිබුණද නිල්මානෙල් මල පිළිබිඹු කිරීමට භාවිත කර ඇත්තේ දම්පැහැති මානෙල් මලක ඡායාරූපයක් බවයි. එය සැබෑ නිල් මානෙල් මල නොවන බවද ඔහු සඳහන් කළේය.

මෙහිදි පරිසර අමාත්‍යාංශ නිලධාරීන් පෙන්වා දුන්නේ නිල් මානෙල් නාමය මානෙල් ලෙස වෙනස්වූයේ සිංහල භාෂා ප්‍රවීණයකු වන මහාචාර්ය විමල් ජී. බලගල්ලේ  දක්වන ලද මතයක් අනුව බවයි. මානෙල් යන්නෙහි අර්ථය වන්නේ උතුම් වූ නිල් පුෂ්පය බැවින් ජාතික පුෂ්පයේ සිංහල නාමය මානෙල් ලෙස යෙදීම සුදුසු බවට ඔහු යෝජනා කළ බවද එම නිලධාරීහු පැවසූහ.

ගෝලීයව පිළිගත් ශාක වර්ගිකරණය පිළිබඳ සම්මතයන්ට අනුව, විද්‍යාත්මක නාමය වෙනස් කිරීමට යටත්විය හැකි නමුත් ඉතා දිගු ඉතිහාසයකට හිමිකම් කියන පොදු ජන වහරේ භාවිතාවූ පොදු නම් වෙනස් නොකළ යුතු බව මහාචාර්ය වරයා ප්‍රකාශ කළේය.

මානෙල් යනු පොදු නාමයක් බවත් දම් මානෙල්, සුදු මානෙල්, නිල් මානෙල් ආදී මානෙල් වර්ග රාශියක් පවතින හෙයින් ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය නිල් මානෙල් ලෙස නිවරැදි වියයුතු බවත් මහාචාර්ය දෙපළ පෙන්වා දුන්හ.

ජාතික පුෂ්පය තෝරා ගැනීමේ කමිටුව විසින් 1986 දී සලකා බලන ලද ස්වදේශියවීම හා ආවේණික වීම, උපයෝගීතාවය, ඓතිහාසික හා සංස්කෘතික වැදගත්කම, පෙනුම හා ව්‍යාප්තිය, වර්ණය හා ස්වරූපය, ප්‍රතිනිෂ්පාදනය, වෙනත් රටක ජාතික පුෂ්පයක් හෝ වෘක්ෂයක් නොවීම යන සියලු නිර්ණායකයන් සපුරා ඇත්තේ නිල් මානෙල් බවද මහාචාර්ය යකන්දාවල  ප්‍රකාශ කළේය.

මුද්දර කාර්යංශය නිල් මහනෙල් මලෙහි පිංතූරයක්‌ සහිත මුද්දරයක් නිකුත් කර ඇති නමුත් එහි ඇත්තේ ද සැබෑ මල නොව වැරැදි මලක් බව මහාචාර්ය දීප්ති යකන්දාවල  පැවසුවාය. එමෙන්ම පෙළ පොත්වල ඇත්තේද වැරැදි මලක රූපයක් බවත් පාසල්වල පමණක්‌ නොව ඇතැම් උසස්‌ අධ්‍යාපන ආයතනවලද අද උගන්වන්නේ වැරැදි මලක රුව පෙන්වමින් බවත් ඇය වැඩිදුරටත් පෙන්වා දුන්නාය.

එමෙන්ම ආගමික ස්‌ථාන අසල නිල් මානෙල් ලෙස නම් කරමින් අලෙවි කැරෙන්නේ ද සැබෑ නිල් මානෙල් නොවන බව මේ මහාචාර්යවරුන්ගේ අදහසයි.

මෙම රැස්වීමට මන්ත්‍රීවරු පිරිසක්ද පරිසර අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ  ඇතුළු එම අමාත්‍යාංශයට අනුබද්ධ ආයතනවල නිලධාරීහුද සහභාගී වූහ.

සතොසේ බඩු මිළ තවත් අඩුවෙයි

එළැඹෙන උත්සවය සමය නිමිත්තෙන් අද(14) සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ පහක මිල අඩු කර තිබේ.

පරිප්පු කිලෝවක් රුපියල් 4කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 385කි.

පාන්පිටි කිලෝවක් රුපියල් 15කින් පහළ දමා ඇති අතර, නව මිල රුපියල් 250කි.

සුදුළූණු කිලෝවක් රු 35කින් පහත දමා තිබේ.

ඒ අනුව සුදුළූණු නව මිල දැක්වෙන්නේ රුපියල් 460ක් ලෙසයි.

ලොකුළූණු කිලෝවක් රුපියල් 9කින් පහළ දමා ඇති අතර එහි නව මිල රු 190කි.

දේශිය ටින් මාළු නව මිල රුපියල් 490ක් වන අතර එය රුපියල් 5කින් පහත දමා තිබේ.

කරාපිටිය TRAIL පිළිකා රෝහල ඉදිකිරිමට ත්‍රිවිධ හමුදාවේ සහය ගැනීමට සාකච්ඡාවක් !

කරාපිටිය TRAIL පිළිකා රෝහල ඉදිකිරිම සඳහා ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවේ සහය ලබාගැනීම පිලිබඳ සාකච්ඡාවක් ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජේෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්‍ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්වුණි.

සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංශය සහ Colours of Courage සංවිධානය අතර සහයෝගිතා ප්‍රයත්නයක් වන යෝජිත මහල් 10 කින් යුත් නව ඒකකය ඉදිකිරීමට අවශ්‍ය සහය ත්‍රිවිධ හමුදාව මගින් ලබාදීමට ඇති හැකියාව පිලිබඳ මෙහිදී අවධානය යොමු විය.

මේ සඳහා ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන සහ ආරක්ෂක අංශ ප්‍රධානීන්ද සහභාගී වූහ.

ශ්‍රී ලංකාවේ පිළිකාවට එරෙහිව සටන්වදින මිනිසුන් සඳහා උපකාර කිරීමට අරඹන ලද Colours of Courage ව්‍යාපෘතිය මගින් 2011 වසරේදී යාපනයේදී ආරම්භ කරන ලද Trail යාපනය විශේෂිත පිළිකා ප්‍රතිකාර මද්‍යස්තානයක් ඉදිකිරිම සඳහා අරමුදල් රැස්කළ අතර 2014 දී ආරම්භ කරන ලද තෙලිප්පලෙයි Trail පිළිකා රෝහල මගින් මේ දක්වා රෝගීන් 26000 කට වැඩි ප්‍රමාණයකට ප්‍රතිකාර කර ඇති අතර එමගින් බොහෝ දෙනකුගේ ජිවිත වලට නැවත ජිවය ලබාදී ඇත.

2011 ඔක්තෝබර් 6 වැනිදා සිට 2016 නොවැම්බර් 2 වැනිදා දක්වා පැවැත්වූ Trail 2016 - The Walk Back සාර්ථකත්වයත් සමග ගාල්ල කරාපිටිය රෝහලේ පිළිකා ඒකකයට අවශ්‍ය සහනයන් ලබාදීමට ඩොලර් මිලියන 5ක් රැස්කර ගැනීමට හැකිවී ඇත.

පාසල්වලට මත්ද්‍රව්‍ය පැමිණීම වැළැක්වීමට සැලසුම් !

පාසල් තුළට මත්ද්‍රව්‍ය පැමිණීම වැළැක්වීම සඳහා පොලිස් සෝදිසි කිරීමේ වැඩසටහනක් අද (13) දින කොට්ටුකච්චිය නවෝද්‍යා විද්‍යාලයේ සිදුකෙරුණි.

උදෑසන 6 සිට පාසල ආරම්භ වනතුරු පාසලට පැමිණෙන සිසු සිසුවියන්ගේ පොත් බෑග හා ඇඳුම් පරීක්ෂා කිරීම ඒ අනුව සිදුවුණි.

පාසල් තුළට පසුගිය කාලයේ විවිධ ආකාරයේ මත්පෙති හා මත්ද්‍රව්‍ය පැමිණීමත් සමග පාසල් කටයුතුවලට බරපතළ ලෙස ගැටලුකාරි තත්ත්වයක් මතුව තිබුණි.

එම කරුණු සැලකිල්ලට ගනිමින් පුත්තලම අධ්‍යාපන කලාපයේ පාසල්වලට නිල දැනුම්දීමකින් තොරව හදිසි සෝදිසියක් සිදුකර තිබේ.

ඒ සඳහා පොලිස් කාන්තා හා පිරිමි පොලිස් නිලධාරින් 30 කට ආසන්න කණ්ඩායමක් යොදවා තිබුණි.

අදාළ පරීක්ෂා කිරීම සිදුවන අවස්ථාවේ පාසල් අවට සියලුම මාර්ග සෙසු පොලිස් නිලධාරින් විසින් දැඩි පරීක්ෂාවට ලක්කිරීම ද මෙහිදී සිදුකෙරිණි.

පුත්තලම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජීත් හේසිරි මහතාගේ උපදෙස් මත කොට්ඨාස රථවාහන, ප්‍රජා, පරිසර භාර සහකාර පොලිස් අධිකාරි එෆ්.පී.සී. රොද්‍රිගෝ ගේ මෙහෙයවීමෙන් කොට්ඨාස අපරාධ ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්ද්‍රසිරි ලාල්  ඇතුළු නිලධාරින් විසින් එම සෝදිසි කිරීම්වලට එක්ව තිබුණි.

වේග රිද්ම බයිලා සිංදු කෙනෙක් හැටියට මතකයි.. ඒ ඇති !

නිහාල් නෙල්සන් අප අතරින් වෙන්වෙලා. දවස් කීපයකට කලින් නුවන් ගුණවර්ධන ගියා. කෝවිඩ් කාලේ සුනිල් පෙරේරා ගියා. අපේ පොඩි කාලේ ජනප්‍රිය සංගීතය පැත්තේ හිටපු කට්ටිය තමයි මේ යමින් පවතින්නේ. ඒ කියන්නේ කාලෙ හරි.

ගුණේ අයියගේ බජව් දාන කාමරේ, ලස්සනට පිපුණ වනමල්, කාවඩි බයිලා සහ මම එතරම් ආස නැති කිරි දුන්නේ දරුවන්ටයි වගේ සින්දු කිහිපයක් ඇරුනම අනික්වා මතක හිටින්නේ නැති තරම්. 'ගුණේ අයියගේ කාමරේ' තමයි ඉතිං කියපු සිංදුව. මම කියන්නේ එයාගේ සංගීත අනන්‍යතාවේ සිංදුව.

ගොඩක් දේවල් සිදු නොවුන හැබැයි ගොඩක් අභාග්‍යසම්පන්න දේවල් සිදුඋන මේ සිලෝන්ලන්තේ නිහාල් නෙල්සන්ගේ මොකක් හරි ''කලාව'' මේ කොදෙව්වෙන් එහාට නොගිය එක ගැන නම් එහෙමට අරෝවක් නැහැ මට නිහාල් එක්ක. මොකද එහෙම එකක් ගැන එයා සිහින දැක්කේ නැහැ. බයිලාවක් කියල මේ භුමියේ කොල්ලෝ කෙල්ලෝ ටිකට ක්ෂණික සංතෝසයක් දුන්න. එච්චරයි. ඒකටත් අරෝවක් නැහැ.

සින්දු කැසට් සීයක් කළා කිව්වට මට නම් මතක ඔය කිව්ව එක දෙක විතරයි. අංක ගාණ නම් වැඩක් නැහැ. මතක හිටින එක වැඩයි කරන්න ඕනි. ඒකත් හරියට උනාද දන්නේ නැහැ. කමක් නැහැ.

ගුණ යහපත් කම් අතින් හොඳ මනුස්සයෙක් කියල කියනවා. ඒක ඉතිං මියුසික් වලට ගොඩක් අදාල නැහැ. ඒත් කමක් නැහැ.

ලෝකේ මියුසික් එක්ක සම්බන්ද කරලා කියන්න තරම් දේකුත් නැහැ. ඒත් කමක් නැහැ.

අපේ පොඩි කාලේ වේග රිද්ම බයිලා සිංදු කෙනෙක් හැටියට මතකයි. ඒ ඇති.

සුබ ගමන් !

නිහාල්ගේ කාලේ ලෝක ගෝලයේ හිට් වුන සිංදුවක් අමුණන්නම්.

මහේෂ් හපුගොඩ ගේ ෆේස්බුක් ගිනුමෙනි 

ආහාර සුරක්ෂිතතාව ඇති කිරීම සඳහා ජාතික ප්‍රතිපත්තියක් !

ආහාර සුරක්ෂිතතාව ඇති කිරීම සඳහා ජාතික ප්‍රතිපත්තියක් ගෙන එන බවත් ඒ සඳහා ඉදිරියේ දී නව නීති හඳුන්වාදීමට ද බලාපොරොත්තු වන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

ඊට අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කළේ ආහාර සුරක්ෂිතතාව හා පෝෂණය පිළිබඳ ඒකාබද්ධ යාන්ත්‍රණ කමිටු නියෝජිතයන් දැනුවත් කිරීම වෙනුවෙන් අරලියගහ මන්දිරයේ අද (13) පැවති සාකච්ඡාවට එක්වෙමිනි.

ආහාර සුරක්ෂිතතාව සහ ජනතාවගේ පෝෂණ තත්ත්වය තහවුරු කිරීමේ දී නිවැරදි දත්ත ලබා ගැනීමේ අවශ්‍යතාවය පැහැදිලි කළ ජනාධිපතිවරයා ජාතික මටිටමින් සහ ප්‍රාදේශීය මට්ටමින් තිබෙන දත්තවල විශාල වෙනස්කම් දක්නට ඇති බවත්, ඒවා කඩිනමින් නිවැරදි කරගත යුතු බවත් අවධාරණය කළේය.

මෙම වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා ජාතික මට්ටමේ සිට ප්‍රාදේශීය ලේකම්, ග්‍රාම නිලධාරි දක්වා සියලුදෙනාගේ දායකත්වය අවශ්‍ය බව අවධාරණය කළ ජනාධිපතිවරයා මෙහිදී රාජ්‍ය අංශයට පමණක් නොව පෞද්ගලික අංශයට ද විශාල කාර්යභාරයක් පැවරී ඇති බව පෙන්වා දුන්නේය.

මෙරට කෘෂිකර්මාන්තය නඟාසිටුවීම සඳහා දිගුකාලීන වැඩපිළිවෙළක් අවශ්‍ය බවත්, කෘෂි නවීකරණ වැඩසටහන පිළිබඳ මේ වන විටත් රජය අවධානය යොමු කර ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් පැවසීය.

මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සඳහන් කළේ ජාතික ආහාර සුරක්ෂිතභාවය සඳහා ජනාධිපතිවරයා විසින් ආරම්භ කළ වැඩසටහන ඉතා වැදගත් බවයි. රට තුළ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමත් සමඟ විදේශ විනිමය ද ඉතිරි කර ගත හැකි බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරයා ජනතාවට අවශ්‍ය සියලු ආහාර ද්‍රව්‍ය රටතුළම නිෂ්පාදනය කිරීමට අපේක්ෂා කරන බවත් ඒ සඳහා රාජ්‍ය අනුග්‍රහය ලබාදිමට කටයුතු කරන බවත් පැවසීය.

පසුගිය කාලයේ ගත් ඇතැම් තීන්දු තීරණ නිසා රටේ කෘෂිකර්මාන්තයේ යම් පසුබෑමක් ඇති වූ නමුත් ඉදිරි මහ කන්නයට ගොවිජනතාවට ශක්තිමත්ව මුහුණදීමට හැකි පසුබිම මේ වන විට රට තුළ ගොඩනඟ ඇති බවත් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ පරිභෝජනයට අවශ්‍ය සහල් සම්පූර්ණයෙන් රට තුළම නිෂ්පාදනය කිරීමට ගොවි ජනතාව අද ශක්තිමත්ව සිටින බව පැවසූ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර ඉදිරියේ ද ඒ සඳහා අවශ්‍ය සෑම පහසුකමක් ලබාදීමට කටයුතු කරන බව පැවසීය.

තම දැක්ම රජයට ඉදිරිපත් කිරීමට තරුණ තරුණියන්ට ලැබෙන මහඟු අවස්ථාවක් !

“ජාතික තරුණ වේදිකාව" රටේ ඉදිරි ගමන පිළිබඳ සිය දැක්ම රජයට ඉදිරිපත් කිරීමට තරුණ තරුණියන්ට ලැබෙන මහඟු අවස්ථාවක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ලබන වසරට යෙදෙන 75 වන නිදහස් දින සැමරුමට සමගාමීව නිර්මාණය කෙරෙන ජාතික තරුණ වේදිකාව (National youth Platform) සඳහා විශ්වවිද්‍යාල සිසුන් දායක කර ගැනීම පිළිබඳ අද (13) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡවේ දී ය.

වැඩසටහනට අදාල පූර්ව සැලැස්ම තරුණ කටයුතු හා තිරසර සංවර්ධනය පිළිබඳ ජනාධිපති අධ්‍යක්ෂ රන්දුල අබේවීර විසින් මෙහිදී ඉදිරිපත් කරනු ලැබූ අතර විශ්වවිද්‍යාල උපකුලපතිවරු ඒ පිළිබඳ සිය අදහස් සහ යෝජනා ඉදිරිපත් කළහ.

රටේ ඉදිරි සංවර්ධන සැලසුම් සකස් කළ යුත්තේ අදට නොව තවත් වසර 25කට සරිලන අන්දමින් බවත් එහිදී තාරුණ්‍යයේ දායකත්වය උපරිමයෙන් ලබා ගැනීම අපේක්ෂාව බවත් මෙහිදී සඳහන් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ තවත් වසර 25කින් නිදහසේ සියවන සංවත්සරය සමරන විට මේ රටේ නායකත්වයට පත්ව සිටින්නේ රටේ තරුණ තරුණියන් බව ද පැවසීය.

එබැවින් තරුණ තරුණියන් අපේක්ෂා කරන සංවර්ධිත රට ගොඩනැගීම වෙනුවෙන් ඔවුන්ගේ දැක්ම, සැලසුම් සහ නිර්මාණශීලි කුසලතා ජාතික තරුණ වේදිකාව හරහා රජයට ඉදිරිපත් කළ හැකි බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

මීට සමගාමීව මෙරට සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය අරමුණු කර ගනිමින් ව්‍යාපෘතියක් විශ්වවිද්‍යාල සිසුන්ගේ සහභාගීත්වයෙන් කොළඹ, ගාල්ල, යාපනය, මහනුවර සහ මඩකලපුව යන දිස්ත්‍රික්ක ආශ්‍රිතව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ. ඒ අනුව එම දිස්ත්‍රික්කවල සංචාරක ආකර්ශණය සහිත ස්ථාන හඳුනා ගනිමින් සංචාරක කලාප ලෙස ඒවා ප්‍රවර්ධනයට අදාළ සැලසුම් සහ යෝජනා ඉදිරිපත් කිරීමට තරුණ තරුණියන්ට අවස්ථාව සලසා ඇත.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේ සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය උදෙසා නව සංචාරක ප්‍රතිපත්තියක් හඳුන්වා දීමට ලබන වසරේදී කටයුතු කරන බවයි.

එමෙන්ම මෙරට විශ්වවිද්‍යාල පද්ධතිය නව මාවතකට යොමු කිරීම උදෙසා ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත සැලසුම් පිළිබඳව ද ජනාධිපතිවරයා උපකුලපතිවරුන් දැනුවත් කළ අතර නවක වදය වැළැක්වීම සඳහා සංවිධානාත්මක වැඩසටහනක් ක්‍රියාවට නංවන ලෙස ද උපදෙස් දුන්නේය.

උපාධිධාරින්ට රජයේ රැකියා ලබාදීම පිළිබඳ මතුව ඇති ගැටලු කෙරෙහි ද අවධානය යොමු කළ ජනාධිපතිවරයා නව රැකියා වෙළෙඳපොළට ගැලපෙන අයුරින් විශ්වවිද්‍යාල සිසුන්ගේ කුසලතා සංවර්ධනයට වැඩසටහන් සහ පුහුණු පාඨමාලා හඳුන්වාදීමේ වැදගත්කම ද පැහැදිළි කළේය.

ශ්‍රී ලංකාව කලාපීය අධ්‍යාපන කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීම සඳහා ගතයුතු පියවර පිළිබඳව ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් කෙරිණි. ඉන්දියාව, බංග්ලාදේශය සහ පකිස්තානය ඇතුලු කලාපීය රටවල සිසුන්ට මෙරට විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලැබීමට එමගින් අවස්ථාව ලබාදිය හැකි බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

මීට අමතරව තවත් රාජ්‍ය විශ්වවිද්‍යාලයක් කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ ස්ථාපිත කිරීමට සැලසුම් කරන බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේය.

උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන්, තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත්, ජනාධිපති ලේකම් සමන් ඒකනායක , අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එම්.එන්. රණසිංහ සහ විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග , උපකුලපතිවරු, පීඨාධිපතිවරුන් ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

වකුගඩු ජාවාරම : පෞද්ගලික රෝහලේ ලිපිගොනු CID යට !

නීතිවිරෝධී අයුරින් දිළිඳු පවුල්වල පුද්ගලයන්ගේ වකුගඩු ලබාගනිමින් ඡාවාරමක් සිදුකළැයි කියන බොරැල්ල ප්‍රදේශයේ පෞද්ගලික රෝහලේ සිදුකළ වකුගඩු සැත්කම්වලට අදාළ ගොනු සියල්ල සිය භාරයට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය අද (13) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය ට කරුණු වාර්තා කළේය.

මෙම සිද්ධියට අදාළව සිදුකරන විමර්ශණ මෙතෙක් අවසන්ව නොමැති බවත්, වකුගඩු ප්‍රදානය කළ අයවලුන්ගේ ප්‍රකාශ ඇතුළු ප්‍රකාශ කිහිපයක් ලබාගත යුතුව ඇති බවත් කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට දැන්වීය.

මෙම සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණ අද (13) අධිකරණය හමුවේ යලි කැදවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් වූ අතර, හදුනාගැනීමේ පෙරට්ටුවක් සදහා රක්ෂිත භාරයට පත්කර සිටි සැකකරු ද බන්ධනාගාරයෙන් අධිකරණට ඉදිරිපත් කර තිබිණී.

හදුනාගැනීමේ පෙරට්ටුවට අදාළ සාක්ෂිකරුවන් හය දෙනාගෙන් පස් දෙනකු අසනීප තත්ත්වයෙන් පසුවීම හේතුවෙන් එම පෙරට්ටුව කල් තබන ලෙසට මෙහිදී කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයෙන් ඉල්ලීය.

ඒ අනුව මෙම සිද්ධියේ හදුනා ගැනීමේ පෙරට්ටුව ලබන 03 වැනිදා පැවැත්වීමටත් සැකකරු ලබන 28 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටත් අධිකරණය නියෝග කළේය.

තිලිණි ඇතුළට: ජානකී එළියට

තිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරි, මහා පරිමාණ මූල්‍ය වංචා සිදු කිරීමේ චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින තිලිණි ප්‍රියමාලි තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

තිළිණි ප්‍රියමාලී සහ ක්‍රිස් සමූහයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකා ජානකී සිරිවර්ධනට ඇප ලබාදීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අද (13) අවසර දුන්නේය.

තිළිණි ප්‍රියමාලිට එරෙහි නඩු හතකට එක් නඩුවකට රුපියල් 50,000 බැගින් රුපියල් 3,50,000,00 මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප 14ක් යටතේ මුදා හැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළ අතර එක් නඩුවකට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කළේය.

ඒ අනුව තිළිණි ප්‍රියමාලි ලබන 16 තෙක් යළි රිමාන්ඩ් කළේය.

ජානකී සිරිවර්ධනට එරෙහි චෝදනා තුනටම එක් නඩුවකට රුපියල් 50,000 බැගින් 1,50,000.00 මුදල් ඇපයක් ද රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප හතරක් මත මුදා හැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

 

ප්‍රවීණ ගායන ශිල්පි නිහාල් නෙල්සන් අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ ගායන ශිල්පි නිහාල් නෙල්සන් අභාවප්‍රාපාප්ත වී තිබේ.

මියයන විට ඔහු 76 හැවිරිදි වියෙහි පසුවිය.

ලස්සනට පිපුණ වන මල් , සොමියට වරෙන් පුතා අගුල් දාලා නෑ දොරේ, සල්ලි මිටි ගණන් , රෝස මලකුයි නෙලුම් මලකුයි , කුක්කු කූ කූ කුකුළ අඬනවා, පත්තරවල විස්තර , කිරිදුන්නේ දරුවන්ටයි, කරුණා සුවඳ තවරාලූ, කාවඩි බයිලා, සල්ලි මිටි ගණන් ආදී ගීත රැසක් ඔහු විසින් ගායනා කර ඇත.

ඔහුගේ දේහය අංක 17 නිහාල් නෙල්සන් මාවත රාවතාවත්ත මොරටුව නිවසේ අද (13) පස්වරුවේ තැන්පත් කෙරෙන අතර, අවසන් කටයුතු පිළිබඳ පසුව දැනුම් දෙනු ලැබේ.

රට ගොඩනගන ආකාරය ජනාධිපති තාරුණ්‍යයට පහදයි !

ජපානයට පමණක් දෙවැනි වූ ආසියාවේ ආර්ථිකයක් තිබූ අපිට ශ්‍රී ලංකාව දැන් දෙවැනි වන්නේ ඇෆ්ගනිස්ථානයට පමණක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කරයි.

ඉදිරි වසර 25 තුළ රට ගොඩනැගීම අරමුණු කර ගනිමින් අද කටයුතු කළ යුතු බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ දිස්ත්‍රික් 306 C – 2 ලියෝ සමාජය සඳහා දීපව්‍යාප්තව සාමාජිකයන් 6,500ක් බඳවා ගැනීම සහ ලියෝ දිනය වෙනුවෙන් ඊයේ (11) පෙරවරුවේ කොළඹ රාජකීය විද්‍යාලයේ පැවති උත්සවය අමතමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේද පැවසීය .

ලියෝ සමාජය සඳහා නව සාමාජිකයන් බඳවාගැනීමේ අවස්ථාවට අද මට ආරාධනා කිරීම පිළිබඳව ස්තූතිවන්ත වෙනවා. මේ වන විට ලියෝ සමාජය සීග්‍ර දියුණුවක් ලබා තිබෙනවා. 1980 ගණන්වල මම අධ්‍යාපන අමාත්‍ය ධූරය දරණ සමයේ මෙහි මෙවන් දියුණුවක් දක්නට ලැබුණේ නැහැ. මෙය ඉතා හොඳ ප්‍රවණතාවක් බව කිවයුතුයි.

මෙවන් සමාජ මගින් ඔබව හොඳ නායකයෙක් බවට පරිවර්තනය කරනවා වගේම, එයින් ලබන නිපුණතාව ඔබ සම්බන්ධවෙන ඕනෑම ක්ෂේත්‍රයක නායකත්වය දක්වාම යාමට ඔබව පුහුණු කරනවා.

මෙතන සිටින බොහෝ දෙනා සමඟ කතා කිරීමට මට අවස්ථාව ලැබුණා. කොළඹින් මෙම අවස්ථාවට සහභාගීවූ අයට අමතරව මඩකලපුව දිස්ත්‍රික්කයෙනුත් තරුණ තරුණියන් සහභාගීවීම පිළිබඳ මට හරි පුදුමයි. ඒ සහභාගීවූ සියලුදෙනාට මම ස්තූතිය පුද කරනවා.

මම හිතනවා ඔබ, ඔබේ කොළඹ සංචාරය හොඳට අත්විඳින්න ඇති කියලා. එමෙන්ම මෙම ප්‍රදර්ශන භූමියේ තිබෙන සියලු ප්‍රදර්ශන කුටි මම නැරඹුවා. ආනන්ද විද්‍යාලය ඉතා අගනා ‍කුටියක් නිර්මාණය කර තිබුණා. ඔවුන්ගේ නිර්මාණ අතර සුවිශේෂ කඩදාසියක් තිබුණා. ඒක මිරිස් බීජ පත්‍රිකාවක්. ඔවුන් කියන්නේ එම පත්‍රිකාවේ ලියලා පසුකාලීනව එය වගා කරන්න පුළුවන් කියලා. ඉතින් මම පළමුව එම පත්‍රිකාවේ පසුපිටෙහි ලියලා බැලුවා. ඔව් ලියන්න පුළුවන්. ඉතින් මම ඔබගේ ඒ නිර්මාණයට සුබ පතනවා.

අපි පරිසර හිතකාමී නිෂ්පාදන ප්‍රවර්ධනය කරන නිසා මෙවැනි නිර්මාණ ඉතා වැදගත්. මම මගේ කාර්ය මණ්ඩල ප්‍රධානියාට උපදෙස් දෙනවා එම පත්‍රිකා සියල්ලම මිලදී ගන්න කියලා. ඒත් ඊට පෙර ඒ සියල්ලේම ජනාධිපති නිල මුද්‍රාව මුද්‍රණය කරගත යුතු වෙනවා.

අපි මේ පත්‍රිකා නිරන්තරයෙන් භාවිතා කරනවා. මම ම‍ගේ කාර්යාලයට උපදෙස් දෙනවා භාවිතයෙන් පසු නැවතත් එම පත්‍රිකා ආනන්ද විද්‍යාලයට ලබා දෙන්න කියලා. ඊට පසුව ඔවුන් අපට දන්වා සිටිය යුතුයි, එම පත්‍රිකා රෝපණය කරලා ඒවායේ අස්වැන්න ලබාගත්තේ කොයි කාලේද කියලා.

ඒ වගේම මේ ප්‍රදර්ශනයේ දී ඔ‍බේ දක්ෂතා පිළිඹිබු කෙරෙන අතරම, රට අර්බුදකාරී තත්ත්වයකට මුහුණ දී සිටින මෙවන් අවස්ථාවක ඔබගේ මෙම දක්ෂතාවයන් ඉතා ප්‍රයෝජනවත් වෙනවා.

අප රට මහුණදී තිබෙන අර්බුදයේ දරුණුම අවධියේදී තමයි මට ජනාධිපති ධූරය භාරගන්න සිදු වුණේ. ඒ අවස්ථාවේදී මෙම ධූරය භාරගැනීමට බොහෝ දෙනෙක් අකමැති වූණා. මම මෙය භාරගත යුත්තේ ඇයි කියලා මමම කල්පනා කළා. අපේ රටේ තරුණ පරපුරට අනාගතයක් තිබිය යුතුයි. අප ඔවුන්ට එම අනාගතය ගොඩනගාදිය යුතුයි. රටේ ආර්ථිකය කඩා වැටුණහොත් ඔවුන්ට එම අනාගතය ගොඩනඟාදීමට අපට නොහැකි වෙනවා. අපි නම් අපේ ජීවිතය ගතකරලා අවසන්. ඒ නිසා තරුණ තරුණියන්ගේ අනාගතය වෙනුවෙන් මම ජනාධිපති ධූරයේ වගකීම භාරගත්තා.

පසුගිය අප්‍රේල් මාසයේදී මේ රටේ තරුණයෝ ලස්සන ව්‍යාපාරයක් ආරම්භ කළා. කවුරුත් එය අගය කළා. නමුත් පසුකාලීනව වෙනත් කණ්ඩායමක් එය අතට ගැනීම නිසා එම ව්‍යාපාරය ප්‍රචණ්ඩත්වයෙන් අවසන් වුණා. තරුණ තරුණියන් මෙම අර්බුදකාරී ස්වභාවය දිගටම පවත්වාගෙන ගියහොත් ඔවුන්ට යහපත් අනාගතයත් ඉතිරිවන්නේ නැහැ.

පසුගිය අප්‍රේල් වන විට රටේ දේශපාලන ක්‍රමය ඉතාම අස්ථාවර වුණා. ආර්ථිකය කඩාගෙන වැටුණා. ඉන් පසුව මම හිතුවා මෙම අභියෝගය භාරගෙන මේ රට නැවතත් නගාසිටුවන්නේ කොහොමද කියලා, ඒ වගේම තරුණයන්ට ගැළපෙන අනාගතයක් ගොඩනගන්නේ කොහොමද කියලා.

නමුත් අපි මේ වන විට එක් කාරණයක් හඳුනාගෙන තිබෙනවා. ඒ තමයි තරුණ තරුණයන් මෙම දේශපාලන ක්‍රමවේදය පිළිබඳව සෑහීමකට පත් නොවන බව. මම කිසිවෙකුට දෝෂාරෝපණය කරන්නේ නැහැ. අපි දේශපාලනඥයින්. නමුත් දේශපාලනඥයන් ඒ ඒ අවස්ථාවල ජනතාවට පොරොන්දු දුන්නත් කිසි කෙනෙක් අනාගතය දෙස බැලුවේ නැහැ.

නමුත් සිංගප්පුරුව, ජපානය, ඉන්දියාව වගේ අනෙක් රටවල මේක සිදු වුණේ නැහැ. අපි සාමාන්‍යයෙන් කළේ පොරොන්දු දීලා බලයට එන එක. ඉන් පසුව නැවත පරාජය වෙනවා. නැවතත් බලයට එන්න පොරොන්දු දෙනවා.

එහෙත් තරුණ තරුණියන්ට ජීවිතයේ ඉතා ඉහළ බලාපොරොත්තු තිබූ අවස්ථාවකදී රටේ ආර්ථිකය කඩා බිඳ වැටුණහම පවතින ක්‍රමවේදය ප්‍රතික්ෂේප කරමින් ඔවුන්ගේ අප්‍රසාදය ප්‍රකාශ කර සිටියා. ඉතින් ඔවුන් අසාධාරණ යැයි සිතන ක්‍රමවේදයක් ඔස්සේ තවදුරටත් ඉදිරියට යාමට නොහැකියි.

දැන් ආර්ථිකය කඩාවැටුණා. අපට ආහාර තිබුණේ නැහැ, ඉන්ධන තිබුනේ නැහැ. අපට අනාගතයක් පිළිබඳ හිතන්න බැරි වුණා. අද අපි යම්තරමකින් රටේ ආර්ථිකය නිවැරදි මාවතට ගෙන තිබෙනවා පමණයි. අපට ජාත්‍යන්තර අරමුදලේ ගිවිසුම සාර්ථක කරගැනීමට තිබෙනවා. ඒ අනුව ඉදිරි සංවර්ධන වැඩපිළවෙළ ක්‍රියාත්මක කළ යුතුයි.

නමුත් මෙහිදී අපට පළමුව තරුණයන්ගේ හඬට සවන්දීමට සිදු වෙනවා. මේ කාරණයේදී අපි නිර්දේශකර තිබෙනවා පාර්ලිමේන්තුවේ සෑම අධීක්ෂණ කාරක සභාවකටම තරුණයින් පස් දෙනෙක් ඇතුළත් කරන්න.

මේ කටයුත්තේදී අවාසනාවන්ත ලෙස යම් ප්‍රමාදයන් සිදුව තිබෙනවා. මොකද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ කණ්ඩායම් ඒවයේ සභාපතිත්වය සම්බන්ධයෙන් ගැටලු ඇතිකරගෙන තිබෙනවා. අපි දැන් ඒ ගැටලු විසඳාගනිමින් සිටිනවා. ‍මම ඔවුන්ට උපදෙස් දී තිබෙනවා ඉදිරි සති දෙක තුන තුළදී මෙම තරුණයන් තෝරාපත් කර ගන්නා ක්‍රමවේදයත්, ඔවුන් පත්කරගන්නේ කෙසේද යන්නත් සකස්කර දෙන්න කියලා.

මම බලාපොරොත්තු වෙනවා ලබන ජනවාරි මාසයේ අග හෝ පෙබරවාරි මාසයේ මුල වන විට එම කමිටුවල තරුණ තරුණියන් තම කටයුතු ආරම්භ කරයි කියලා. මේ ආකාරයට ඔබට නියෝජනය කළ හැකි තවත් ස්ථාන මෙන්ම ක්‍රමවේදයන් තිබෙනවා. මම හිතනවා ඔබගේ වගේ දැවැන්ත සංවිධානයක්, අනිත් එවන් සංවිධානත් තරුණ කවුන්සිලය සමග එකතුවෙලා රජයේ කටයුතුවලට අදහස් ලබාදීම සඳහා කමිටුවක් සකස් කළොත් වැදගත් බව.

ඊට අමතරව 75 වන නිදහස් උළෙල සැමරීම සඳහා බොහෝ වැඩසටහන් ක්‍රියාත්මක කෙරෙනවා. නමුත් මම හිතනවා ඒ සඳහා තරුණ දායකත්වයත් අත්‍යාවශ්‍යයි කියලා. ඊට ඔබ සියලුදෙනාම දායක විය යුතුයි. ඒ සඳහා මම ආරම්භ කරලා තිබෙනවා ජාතික තරුණ වේදිකාව. ඔබට පුළුවන් එහිදී තරුණ්‍යයේ දැක්ම ඉදිරිපත් කරන්න. නිදහසින් පසු ගෙවුණු 75 වසර පිළිබඳ අපට දැන ගැනීමට අවශ්‍ය නැහැ. ඒ පිළිබඳව බො‍හෝ දේ ලියැවී තිබෙනවා. නමුත් ඉදිරි වසර 25 පිළිබඳව ඔබගේ දැක්ම දැනගැනීමට අපට අවශ්‍යව තිබෙනවා.

ඒ නිසා මම ලියෝ සමාජයෙනුත් ඉල්ලා සිටිනවා ජාතික තරුණ වේදිකාවට සම්බන්ධ වෙන්න කියලා. මට හරි සතුටුයි විශ්වවිද්‍යාල තරුණයින් මීට සම්බන්ධ වී සිටීම පිළිබඳව. අපි සියලුදෙනා එකට එක්වී වැඩ කළයුතුයි. රටේ දේශපාලන ක්‍රමය වෙනස් කිරීමේ දී ඔබට අවශ්‍ය කුමක්දැයි අපිට දැනුම් දෙන්න.

අතීතයේ අපේ රට ජපානයට දෙවැනිවන ලෙස ඉදිරියට ගෙන ඒමට අපට හැකියාව ලැබුණා. නමුත් දැන් අපේ රට ඉහළින් සිටින්නේ ඇෆ්ගනිස්ථානයට පමණයි. ඒ නිසා බොහොමයක් තරුණයින් රටින් පිටවී යනවා. නමුත් මගේ දැක්ම වන්නේ අපේ රට නැවත ගොඩනැඟිය හැකියි. අපි අනාගතය පිළිබඳව සිතමු.

සිංගප්පූරුව, ජපානය, චීනය, කොරියාව, මැලේසියාව, තායිලන්තය වැනි රටවල් සමග වැඩකළ හැකි ආර්ථික ක්‍රමවේදයක් අපි නිර්මාණය කරමු. ඊළග වසර 04-05 ඇතුළත නවමු ක්ෂේත්‍ර නිර්මාණය වන සහ අපනයනය කෙරෙහි අවධානය යොමු කෙරෙන ආර්ථික වැඩපිළිවෙළක් ආරම්භ කරනවා.

මේ රට ගොඩනැගීමේ දක්ෂතාව ඔබ සියලුදෙනාටම තිබෙන අතර මම සිතන්නේ ඔබ එය නිවැරදි මාවතකට යොමු කරගත යුතුයි. මීට වසර 10කට පෙර අප අනුගමනය කළ ප්‍රතිපත්ති දැන් අනුගමනය කළ නොහැකියි. අපි දැන් සිදුකළ යුත්තේ තවත් වසර 25කට සරිලන දේයි.

අපේ රටේ නිදහසේ ශතවර්ෂය සමරන විට ඔබ අතරින් බොහෝ දෙනෙක් සිටීවි. සමහර විට අතරින් බොහෝ දෙනෙකුට ඒ වන විට ජීවිතයේ වසර 50වත් සම්පූර්ණ වී නොතිබේවි.
ඉතින් මම ඔබෙන් අහන්න කැමතියි ඔබ මේ අභියෝගය භාරගැනීමට සූදානම් ද කියලා, ඔ‍බ ඊට කැමතී නම් ඔබට ඒ සඳහා සහභාගී කරවා ගැනීමට අපට අවශ්‍ය වෙනවා.

මේ රටේ අනෙක් තරුණ තරුණියන්ගේ අනාගතය සඳහා වන ඔබගේ දැක්ම අපට ලබා දෙන්න. ඒ තුළින් ඔබ ගොඩනඟන්නේ ඔබේ අනාගතයයි. 1977 මැතිවරණ ජයග්‍රහණය ලබන විට මගේ වයස අවුරුදු 28යි.

ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා සමග මම එදා අනාගතය පිළිබඳ සාකච්ඡා කරමින් සිටින අවස්ථාවේ ඔහු අපට කිව්වේ “අනාගතය අයිති ඔබටයි, මට නොවෙයි" කියලා. ඒ නිසා කළයුත්තේ කුමක්ද කියා ඔබ මට කියන්න. අද මටත් ඔබට කිව හැක්කේ “අනාගතය ඔබෙයි, මගේ නොවෙයි" කියලා.

ඒ නිසා මට අවශ්‍ය අනාගතය නොවෙයි, ඔබට අවශ්‍ය ඩිජිටල් ආර්ථිකය, සමෘද්ධිමත් රටක්, හොඳ අධ්‍යාපන ක්‍රමයක් සහිත අනාගතයයි ගොඩනැඟිය යුත්තේ. මේ අනාගතය ගොඩනැගීම වෙනුවෙන් ඔබ සියලුදෙනා සමග එක්වන්න මම කැමතියි.

අපිට අසීරු කාල තිබෙනවා. ලබන අවුරුද්දෙත් අසීරුතා ඇති විය හැකියි. විසඳිය යුතු ගැටලු බොහොමයක් තිබෙනවා . නමුත් අපි ඒවා විසඳන විට ප්‍රතිලාභීන් විය යුත්තේ තරුණ තරුණියන් මිසක් වෙන කවුරුත් නොවෙයි. ඒ නිසා ඔබලා මෙයට සම්බන්ධ වනවාට මම කැමතියි.

ඒ නිසා මම තීරණය කළා රටේ ආර්ථික තත්ත්වය ගැන විශේෂඥයන් දක්වන අදහස් පිළිබඳ සියලුදෙනා දැනුවත් කිරීමට. එවිට ඔබට ඔබේ අනාගතය පිළිබඳ අවබෝධයක් ලැබේවි. රජය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නව වෙනස්කම් සිදුකිරීමට සූදානම් වන විට, නව නීති යෝජනා කරන විට ඒ පිළිබඳව ඔබලාගේ දැක්ම ලබාගැනීමට අපි කැමැතියි. මම කැමතියි එම තීරණ ගැනීමේදී ඔබ සියලුදෙනාගේ සහභාගීත්වය ලබා ගැනිමට.

ලබන වසරේ දේශගුණික විපර්යාස අවම කර ගැනීම සඳහා මූලාරම්භයක් මේවන විට ගෙන තිබෙනවා. ඒ සම්බන්ධ කාර්යාලයක් අපි දැනටමත් පිහිටුවා තිබෙනවා. ඊට අදාළ නීති 07, 08ක් කෙටුම්පත් කරන්නට සූදානම් අතර ඒ සඳහා ඔබ සියලුදෙනාම සම්බන්ධ වීම අවශ්‍ය වෙනවා. ඊට අදාළව ඔබේ ව්‍යාපෘති ඇත්නම් අපිට ඉදිරිපත් කරන්න. ඒ සඳහා උදව් කරන්න අපි සූදානම්. මෙම ව්‍යාපෘතිය භාරගැනීම සඳහා වන අලුත්ම ව්‍යාපාරය ඉක්මණින්ම සකස් වෙයි කියා මම බලාපොරොත්තු වෙනවා.

මේ සඳහා ඔබගේ සහාය ලබාදෙන්න කියන ඉල්ලීම සිදු කිරීමටයි ‍මම අද මේ අවස්ථාවට සහභාගී වුණේ. අපි මේ වැඩපිළිවෙළ දේශගුණික විපර්යාස අවම කිරීමේ ක්‍රියාවලිය සමග ආරම්භ කරමු. දේශගුණික විපර්යාස නැවැත්වීම සඳහා අර්ථවත් ක්‍රියාවලියක අවශ්‍යතාව පිළිබඳව විවෘතව කථා කිරීමට අපි රටක් ලෙස තීරණය කර තිබෙනවා.

ඒ අනුව රටක් ලෙස අපි දේශගුණික විපර්යාස අවම කිරීම සඳහා ගතහැකි සියලු පියවර ගන්නා අතර, එයට මූලිකත්වය ගතයුත්තේ ඔබයි. මෙම කටයුතු සඳහා ඔබ සහාය වනු ඇතැයි මම බලාපො‍රොත්තු වෙනවා. මම නැවතත් ඔබට ස්තූතිවන්ත වන අතර සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා.

පේරාදෙණිය හිටපු උපකුලපතිට පහරදීම : පුළුල් පරීක්ෂණයක් කරන්න - ජනාධිපති

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය අතුල සේනාරත්නට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පවත්වා කඩිනමින් අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ අදාළ බලධාරීන්ට නියෝග කර ඇත.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය අතුල සේනාරත්නට සහ ඔහුගේ නිවසට පෙරේදා (10) දිනයේ විශ්වවිද්‍යාල සිසුන් කණ්ඩායමක් විසින් පහර දීමක් සිදුකර තිබුණි.

පෙරේදා රාත්‍රියේ මහාචාර්යවරයාගේ නිල නිවස ආසන්නයේදී ඔහුගේ පුත්‍රයාගේ මෝටර් රථය, නවතා තිබූ යතුරුපැදියක ගැටී ඇති බව පවසා විශ්වවිද්‍යාල සිසුන් කිහිපදෙනෙකු සමග බහින් බස් වීමක් සිදුව ඇත.

පසුව අදාළ සිසුන් පිරිස පැමිණ මහාචාර්ය අතුල සේනාරත්නට සහ ඔහුගේ නිවසට පහර දී ඇත.

කෙසේවෙතත් පහරදීමට සම්බන්ධයෙන් මේ වන විට විශ්වවිද්‍යාල සිසුන් 12 දෙනෙකුගේ ශිෂ්‍යභාවය අහෝසි කළ බව එම විශ්වවිද්‍යාලයේ විනය පාලක මහාචාර්ය තිලක් බණ්ඩාර සඳහන් කරයි.

නැගෙනහිර ගව එළු මස් කඩ වහන්න නියෝග !

අද (12) සිට එළඹෙන 18 වෙනිදා දක්වා නැගෙනහිර මස් පිණිස ගවයින් සහ එළුවන් ඝාතනය කරනු ලබන ස්ථාන සහ මස් අළෙවි සැල් වහාම ක්‍රියාත්මක වන පරිදි වසා තබන ලෙස පළාත් ආණ්ඩුකාරවරිය විසින් උපදෙස් ලබාදී ඇත.

පසුගිය දින කිහිපයේදී ඇතිවූ ශිත කාලගුණයත් සමග නැගෙනහිර පළාතේ ගවයින් සහ එළුවන් විශාල සංඛ්‍යාවක් හදිසියේ මිය යෑම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.

එසේම මේ දිස්ත්‍රික්ක මට්ටමින් සහ පළාත් මට්ටමින් ගව මස් , එළු මස් ප්‍රවාහනයද තාවකාලිකව තහනම් කිරීමට ජනාධිපතිවරයාද නියෝග නිකුත්කර තිබිණ.

කෙසේ වුවද කුකුල් මස් අළෙවි සැල් සඳහා මෙම නීතිය බලනොපැවැත්වෙන බවත් දැනගන්නට ඇත.

Page 157 of 377