අද (30) මධ්‍යම රාත්‍රි සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ.
ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 06කින් අඩුවන අතර එහි නව මිල රුපියල් 293කි.
ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් අඩුවන අතර එහි නව මිල රුපියල් 341ක් වේ.
සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 12කින් පහළ නැංවෙන අතර එහි නව මිල රුපියල් 274කි.
එමෙන්ම ලංකා සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 06කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 325ක් වේ.
ලංකා භූමිතෙල් මිල ද රුපියල් 05කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 178කි.
තැපැල් මඟින් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු ඡන්දදායකයින් වෙත තැපැල් දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක් කර තිබේ.
එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, තැපැල් මඟින් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව මෙතෙක් නොලැබී ඇත්නම් තමන්ට ලිපි ලැබෙන තැපැල් කාර්යාලය වෙත පැමිණ අනන්‍යතාව තහවුරු කිරීමෙන් පසු එය ලබා ගත හැකි බවය.
පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන මැයි මස 06 වැනිදා පස්වරු 4 දක්වා මෙම නිල ඡන්ද පත්‍රිකා ලබා ගත හැකි බව තැපැල් දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.
පිරිවැයට සිරිලන ලෙස විදුලි බිල ගැලපිය යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකා රජයට අවධාරණය කර තිබේ.
එම අරමුදල පෙන්වා දෙන්නේ විදුලිබිල එලෙස ගැලපීමක් නොකොළහොත් ලංකා විදුලි බල මණ්ඩලයේ ණය බර තවදුරටත් වැඩි විය හැකි බවයි.
ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග නොගන්නේනම් බදු ගෙවන්නන් මත තවත් පීඩනයක් එල්ල විය හැකි බවද, එම අරමුදල පවසයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ශ්‍රී ලංකා රජයට අවධාරණය කරන්නේ ලංකා විදුලිබල මණ්ඩලයේ ණයබර වැඩි නොවන ලෙස කටයුතු කිරීමට බලධාරීන් පියවර ගත යුතු බවයි.
එලෙස ලංකා විදුලි බල මණ්ඩලය ක්‍රියා කළහොත් ඉදිරියේදී ජනතාවට විදුලි බිල සම්බන්ධයෙන් සහනයක් ලබාදීමට හැකියාව ලැබෙනු ඇතැයි, එම අරමුදල අවධාරණය කර සිටී.
පසුගිය දා පාර්ලිමේන්තුවේ සභාගත කරන ලද “බටලන්ද නිවාස සංකීර්ණයේ නීති විරෝධී ලෙස රඳවා ගැනීමේ ස්ථාන සහ වධකාගාර පිහිටු වීම සහ පවත්වා ගෙන යාම පිළිබඳ පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව” ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි, ජනාධිපති කාර්යාලය විසින් නීතිපතිවරයා වෙත යොමු කරනු ලැබ ඇත.
වසර 25කට පසුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු මෙම වාර්තාව පිළිබඳව ඉදිරි කටයුතු සිදු කිරීමට රජය තීරණය කර ඇති අතර අදාළ වාර්තාව අද (29) නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීමට කටයුතු කර ඇත්තේ ඒ අනුවය.
ශ්‍රී ලාංකේය සමුද්‍රීය ඉතිහාසයේ සන්ධිස්ථානයකට එළඹෙමින් ලොව විශාලතම බහලු නෞකාවක්වන MSC MARIELLA නෞකාව කොළඹ වරායේ නැගෙනහිර ජාත්‍යන්තර බහලු පර්යන්තය වෙත මෙහෙයුම් කටයුතු සඳහා පැමිණ ඇත.
ඒ අනුව ශ්‍රී ලංකාවේ බහලු පර්යන්තයකට පැමිණි විශාලතම බහලු නෞකාව ලෙසින් මෙය හැදින්විය හැකි බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය සදහන් කරයි.
2023 වර්ෂයේ දී නිෂ්පාදිත MSC MARIELLA බහලු නෞකාව දිගින් මීටර් 399.90කින් යුතුය. නෞකාවේ පළල මීටර් 61.30කි. ටොන් 240739ක ධාරිතාවයකින් සමන්විතය. නෞකාවේ රැගෙන යා හැකි බහලු ධාරිතාව 24246කි.
මෙම නෞකාව ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් නැගෙනහිර ජාත්‍යන්තර බහලු පර්යන්තය වෙත පැමිණීම තුළ නැගෙනහිර පර්යන්තය සතු අතිවිශාල බහලු නෞකා මෙහෙයවීමේ ශක්‍යතාවය තහවුරු වේ. මේවන විට නැගෙනහිර බහලු පර්යන්තය සතුව ඉතා දියුණු තාක්ෂණික ක්රමෝපායන්ගෙන් සමන්තිව ග්රැන්ටි දොඹකර සමූහය තුළින් කාර්යක්ෂමව සහ ආරක්ෂිතව බහලු මෙහෙයුම් සිදුකිරීමට අවකාශය සලසා තිබේ.
කොළඹ වරාය සමුද්‍රීය කලාපයේ ප්‍රධාන කේන්ද්‍රීය වරාය බවට පත්වෙමින් ලෝකයේ විශාලතම බහලු නෞකා මෙහෙයවීමේ හැකියාව මෙම MSC MARIELLA නෞකාව පැමිණීමෙන් තහවුරු වේ.
දූෂණ චෝදනා මත අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යංශයේ හිටපු අතිරේක ලේකම්වරයෙකු වූ මහේෂ් ගම්මන්පිල රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
ඒ 2021 වසරේදී චීනයේ Qingdao Seawin Biotech නම් සමාගමකින් ගෙන්වන ලද පොහොර තොගයක් සම්බන්ධයෙනි.
අදාළ සමාගමෙන් මෙරටට ගෙන්වන ලද ප්‍රමිතියට අනුකූල නොවන කාබනික පොහොර තොගයකට අදාළව අත්හිටුවා තිබූ ණයවර ලිපි විවෘත කිරීමට උපදෙස් ලබා දීම මගින් ඊට අදාළ පළමු පොහොර තොගයෙන් 75%ක මුදලක් එනම් අමෙරිකානු ඩොලර් මිලියන 6.9කට ආසන්න මුදලක් ගෙවීමට සිදුවීමෙන් රජයට පාඩු කිරීමේ චෝදනා මත අල්ලස් කොමිසම විසින් අදාළ අතිරේක ලේකම්වරයාව අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.
එහිදී කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා විසින් සැකකරු එළැඹෙන මැයි මස 05 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි නියෝග කළේය.
සිරි දළදා වන්දනාව වෙනුවෙන් රාජකාරි ඉටුකල පොලිස් නිලධාරීන්ට විශේෂ ත්‍යාග මුදලක් පිරිනමන බව ශ්‍රී ලංකා පොලිසිය සඳහන් කරයි.
සිය නිළ ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ශ්‍රි ලංකා පොලිසිය මේ බව දක්වා ඇත.
සිරි දළදා වන්දනාවට පැමිණෙන බැතිමතුන්ගේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 10,000 කට අධික ප්‍රමාණයක් සේවයේ නියුතු විය.
ධූරයේ කටයුතු කිරීම වළක්වා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එරෙහි විමර්ශන කටයුතු සඳහා පත් කළ කමිටුවට සහය වීම සඳහා පොලිස් විමර්ශන කණ්ඩායමක් පත් කර තිබේ.
එම කණ්ඩායම නිලධාරීන් 04දෙනෙක්ගෙන් සමන්විත බව පොලිස් මූලස්ථානය නිවේදනය කරයි.
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එරෙහි විමර්ශන කටයුතු සඳහා පත් කළ කමිටුව පසුගියදා වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරියට දැනුම් දුන්නේ ඊට සහය වීම සදහා පොලිස් විමර්ශන කණ්ඩායමක් පත් කරන ලෙසයි.
ඒ අදාළ කමිටුව පසුගිය 25 වනදා පාර්ලිමේන්තුවේදී දෙවන වරටත් රැස්වූ අවස්ථාවේදීය.
එහිදී අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් සහ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් රජිත පෙරේරා නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පරීක්ෂණ කමිටුවේ සහයට පත් කිරීමට ද තීරණය කෙරුණි.
අද (27) රාත්‍රී 11.00 දක්වා බලපැවැත්වෙන පරිදි ප්‍රභල අකුණු සහ තද වැසි පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්කුව විසින් නිකුත් කර ඇත.
නැගෙනහිර, ඌව, මධ්‍යම සහ උතුරු-මැද පළාත් සහ හම්බන්තොට, වව්නියාව මුලතිව් සහ කිලිනොච්චිය දිස්ත්‍රික්කවල සවස් කාලයේදී සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව එහි සදහන් වේ.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට තාවකාලිකව තද සුළං ද ඇතිවිය හැකි අතර අකුණු මගින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට එමගින් දැනුම් දෙයි.
ළමයින්ටත්, ගුරුවරුන්ටත්, දෙමවිපියන්ටත් වදයක් නැති අධ්‍යාපන ක්‍රමයක් 2026 සිට පළමු ශ්‍රේණියට සහ හයවන ශ්‍ර්ණියට ආරම්භ කරනවා. මේක කරන්නේ ජනප්‍රිය වෙන්නවත්, ඡන්දේ ගන්නවත් නෙමෙයි, අපේ රටේ අධ්‍යාපනය නිවැරදි කරන්න ඕන කියන අවංක අදහසින්..... පසුගිය කාලයේ ගුරුවරුන් බඳවා ගැනීම නිසි පරිදි සිදුවී නොමැති බවත්, ඉදිරියේ දී පුරප්පාඩු අනුව ගුරුවරුන් බඳවා ගන්නා බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය.
කුරුණෑගල දිස්ත්‍රීක්කයේ පොල්ගහවෙල, වීරඹුගෙදර, පිදුරුවැල්ල, පිල්ලැස්ස, මාවතගම සහ පරගහදෙනිය යන ප්‍රදේශවල පැවති ජනහමු අමතමින් ඇය මෙසේ පැවසුවාය.
මෙහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,
‘‘රජය සෑම ක්ෂේත්රයකම තිබෙන ගැටළු හදුනා ගනිමින්, ව්‍යාපෘති යෝජනා ඉදිරිපත් කරමින්, අවශ්‍ය දක්ශ නිලධාරීන් තෝරාගනිමින් රජය කටයුතු කරගෙන යනවා. ඒ ව්‍යාපෘති ගමට ගේන්න මේ මැතිවරණය අපිට සුවිශේෂයි.
දේශපාලනයේ ඉහළ ස්ථරය සුද්ධ කලා වගේම බිම්මට්ටමත් පිරිසිදු විය යුතුයි.
අපේ ප්‍රතිවාදී කණ්ඩායම් වලට තියෙන්නේ වෙනස් වුවමනාවක් මේක විපක්ෂයට දේශපාලන පැවැත්ම පිළිබඳ ප්‍රශ්නයක් කියලා අපිට තේරෙනවා.
නමුත් අපිට පැවැත්ම පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. රජයේ වැඩපිලිවෙල ක්‍රියාත්මක කිරීම සඳහා අපිට පාලන ව්‍යුහය හරියට හදාගෙන ඉන්න ඕන.
මම දැක්කා එක්සත් ජාතික පක්ෂය කියලා තියනවා අගෝස්තු වෙනකොට රනිල් වික්‍රමසිංහ ජනාධිපති වෙනවා කියලා. මං දන්නෑ කොහොමද ඒක වෙන්නේ කියලා. ඊට පස්සේ සජිත් ප්‍රේමදාස දෙසැම්බර් වෙනකොට ජනාධිපති වෙනවා කියලා කිව්වා ඇත්තටම මං දන්නෑ කොහෙන් මතුවෙන අදහස් ද කියලා.
විහිලු සපයන ඒ ව්‍යාපාර දිහා අනුකම්පාවෙන් බලලා අපේ ගමන අපි යන්න ඕනේ. අපේ ගමන අපිට හරියට යන්න අවශ්‍ය ඒ කණ්ඩායම පත් කරලා එවන්න එක තමයි ඔබ කරන්න ඕන.
දේශපාලන සංස්කෘතිය තුළ අපි කරලා තියෙන වෙනස ජනාධිපති සහෝදරයා ජනාධිපති වුණ මොහොතේ සිටම ඔබ දකින්න ඇති. අපි මේ රටේ ජනතාවට බරක් නොවන විදිහට ආණ්ඩුව ගෙනියන්න සෑම උත්සාහයක්ම ගන්නවා. දේශපාලනඥයන්ට ඕන විදිහට නටන්න අපි ඉඩතියන්නේ නැහැ.
අමතර වියදම්, නාස්තිය, හොරකම් සියල්ල නතර කරලා තියෙන්නේ. තවදුරටත් අපිට කාටවත් දැන් චෝදනා කරන්න බැහැ හොරකම් කරනවා කියලා.
මේ වෙනකොට මහනුවරට විශාල පිරිසක් පැමිණෙනවා.
මහනුවර දළදා වන්දනාවට ගිය බැතිමතුන්ගේ අවශ්‍යතා වෙනුවෙන් ඉතිහාසයේ පළමු වතාවට මුස්ලිම් ජනතාව පල්ලිය විවෘත කරලා දුන්නා, ව්‍යාපාරික ස්ථාන විවෘත කරලා දුන්නා රටේ ජනතාව තුළ එවැනි සාමූහික හැගීමක් ඇති වෙලා තිබෙනවා.
අපේ දරුවන්ට දැනුම තිබුණත් ලෝකය ඉදිරියට යන්න පුළුවන් කුසලතා ආකල්ප වර්ධනයේ බරපතල ගැටළු තියෙනවා.
එතකොට ඒක විතරක් නෙවෙයි ඊටත් එහා ගියොත්ඒ කියන්නේ අධ්‍යාපනයේ අඩුම තරමේ ඒ දැනුමක ආකල්ප සහ කුසලතා අධ්‍යාපන ක්‍රමය තුළ හරියට සිද්ධ වෙන්නේ නැති නිසා විශාල සමාජයක් අර්බුධයක් නිර්මාණය වෙලා තිබෙනවා.
පාසල් අතර විෂමතාවයක් තියෙනවා. හොඳ පාසල් හොඳ නැති පාසල්, ජනප්‍රිය පාසල් ජනප්‍රිය නොවන පාසල්, පාසැල් අතර විශාල තරගකාරීත්වයක් ඇතිවෙලා තියෙනවා. උසස් පෙළ හදාරන ළමයි පාසල් යන්නේ නැහැ. පාසලට යන්නේ රෙජිස්ටර් එකේ නම දාගන්න විභාග විභාගයට පෙනී සිටින්න විතරයි. පිරිමි දරුවන් සීග්‍රයෙන් අධ්‍යාපනයෙන් හැලෙනවා. පාසල් තුලත් ප්‍රශ්න ගණනාවක් තියෙනවා. අධ්‍යාපනයෙන් බලාපොරොත්තු වෙන්නෙ දැනුම විතරක් නෙවෙයි සමාජයට අවශ්‍ය ගුණාංග, අධ්‍යාත්මික දියුණුවත් අවශ්‍යයි.
මේක වෙනස් කරන්න අපි මැදිහත් වෙන්න ඕනේ. එතකොට අධ්‍යාපනයෙන් මේ ආර්ථිකයට මේ සංවර්ධන සැලැස්මට සම්බන්ධ වෙන්න පුළුවන් කුසලතා තියෙන පිරිසක් බිහිවෙන්නත් ඕනේ.
ගුරු විද්‍යාපිඨ වල ලබා දෙන්නේ පුහුණුවක් නෙමෙයි ඒක නවක වදය වගේ එකක්. නේවාසික පහසුකම් නෑ, සනීපාරක්ෂක පහසුකම් නෑ, ඉගෙනුම් පහසුකම් නෑ, වසර පහලොවකින් විෂය නිර්දේශ වෙනස් වෙලා නෑ, ගුරුවරුන් පුහුණු කරන්න සුදුසු ආචාර්ය මණ්ඩල නෑ මේ සියල්ලම අපිට නිවැරදි කරන්න වෙලා තිබෙනවා.
ජර්මනියේ අවුරුදු 9ක් පුහුණු වුණාට පස්සේ තමා දරුවන්ට උගන්වන්න දෙන්නේ නමුත් අපේ රටේ මොනවද කරන්නේ. ඒ තත්ත්වයට නැතත් තියන තත්වයෙන් ඉදිරියට යන්න අවශ්‍ය වටපිටාවක් හදන්න ඕන. පාසල්වල විශාල ගුරුහිගයක් තිබෙනවා. සමහර පාසල් වල ගුරුවරුන් බෙදීයාමෙි විෂමතා තිබෙනවා. පසුගිය කාලයේ නිසි පරිදි ගුරුවරුන් බඳවාගෙන නැහැ. ඉදිරියේ දී පුරප්පාඩු අනුව ගුරුවරුන් බඳවා ගන්න අවශ්‍ය කටයුතු අපි සැලසුම් කරමින් යනවා.
පාසල්වල විෂය මාලා හඳුන්වා දීම, ගුරු පුහුණුව, පාසැල් තුළ යටිතල පහසුකම් සංවර්ධනය සිදු කරන්න අපි කටයුතු කරමින් යනවා. ඒ වගේම පිරිවෙන් අධ්‍යාපනය තුළ බරපතල ප්‍රශ්න ගණනාවක් තිබෙනවා. ඒ පිළිබඳ නිවැරදිව නිරීක්ෂණය කරලා අවශ්‍යතා හදුනාගෙන අවශ්‍ය නිර්දේශ කඩිනමින් ලබා දෙන්න මේ වන විට කමිටුවක් පත් කර තිබෙනවා.‘‘
සිරි දළදා වන්දනාව අද දිනයෙන් අවසන්වීමට නියමිතයි.
පුරා දින 10ක් මහජනතාව වෙනුවෙන් මෙම ප්‍රදර්ශනය පැවැත්වීමට කටයුතු යොදා තිබූ අතර, දිවයිනේ නන් දෙසින් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් පැමිණ ඇත.
ඒ අනුව දළදා වන්දනාව අද පෙරවරුවේ සිට පස්වරුව දක්වා ඒ සඳහා සැදැහැවතුන්ට අවස්ථාව හිමි වෙයි.
සැලසුම් කළ පරිදි ‘සිරි දළදා වන්දනාව’ අද දිනෙන් අවසන් කිරීමට තීරණය කළ බව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මාධ්‍ය හමුවක් පවත්වමින් දැනුම්දී තිබුණි.
මහනුවර නගරය පිරිසිදු කිරීමේ විශේෂ වැඩපිළිවෙළක්, අද පස්වරුවේ ආරම්භ වෙයි.
මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ සඳහන් කළේ, පාර්ශ්ව රැසක දායකත්වයෙන් එම කටයුතු සිදු කෙරෙන බවයි.
ප්‍රවීණ ගායන ශිල්පී සමන් ද සිල්වා අභාවප්‍රාප්ත වී තිබේ.
සමන් ද සිල්වා මිය යන විට වයස, අවුරුදු 69 කි.
ගායන ශිල්පී සමන් ද සිල්වා කලක් රෝගාතුරව පසුවූ අතර, අද (27) අලුයම ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලේදී අභාවප්‍රාප්ත වූ බව පවුලේ ඥාතීන් සඳහන් කළේය.
ජනප්‍රිය ගීත රැසක් ගායනා කර ඇති ඔහු ගේ ගීත අතුරින් නියරේ පියනගලා, සන්තෝස වෙන්න ප්‍රීති වෙන්න, තනතිල්ල දිගේ වැනි ගීත ඉමහත් ජනප්‍රිය විය.
1975 වසරේදී පමණ පූර්ණ කාලීන සංගීත දිවියට පිවිසි සමන් ද සිල්වාදශක 4කට අධික කාලයක් මෙරට ප්‍රේක්ෂකයින් සිය ගීත හරහා අමන්දානන්දයට පත් කරනු ලැබීය.
පළාත් පාලන මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ විශේෂ දිනයක් ලෙස අද ප්‍රකාශයට පත් කර තිබේ.
නියෝජ්‍ය තැපැල්පති ප්‍රේමරත්න හේරත් සඳහන් කළේ, ලබන 29 වැනිදා වන විට නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා අවසන් කරන බවයි.
පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වෙන්නේ, මැයි 6 වැනිදායි.
පසුගිය 25 වැනිදා තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වූ රාජ්‍ය නිලධාරීන්ට, හෙට සහ අනිද්දා ඒ සඳහා අවස්ථාව උදාවෙයි.
2024 අ.පො.ස උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කර ඇත.
https://doenets.lk/වෙබ් අඩවියට පිවිසීමෙන් ප්‍රතිඵල ලබාගත හැකියි.
මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටි අයැදුම්කරුවන් සංඛ්‍යාව, තුන් ලක්ෂ 33185 කි.
සිරි දළඳා වන්දනාව හේතුවෙන් වසා දැමුණු මහනුවර පාසල්, අදියර 2ක් යටතේ විවෘත කිරීමට තීරණය කර තිබේ.
ඒ අනුව පාසල් 24 ක්, ලබන සඳුදා විවෘත කරන බව මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ සඳහන් කළේය.
එම පාසල් වසා දැමුණේ, මහනුවර නගරයේ ඇති විය හැකි රථවාහන තදබදය අවම කිරීම වෙනුවෙන් ය.
දළඳා වන්දාව වෙනුවෙන් රාජකාරීවල නිරත ආරක්ෂක අංශ සාමාජිකයින්ට නවාතැන් දීම ඇතුළු පහසුකම් සැලසීම වෙනුවෙන් තවත් පාසල් 37 ක් වසා දැමුණි.
පිරිසිදු කිරීමෙන් අනතුරුව, එම පාසල් ලබන අඟහරුවාදා විවෘත කරන බව, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම්වරයා සඳහන් කළේ ය.
කොළඹදී සහ වොෂින්ටනයේදී පැවති දීර්ඝ සාකච්ඡාවලින් පසුව විස්තීර්ණ ණය පහසුකමට සහ ප්‍රතිසංස්කරණ වැඩසටහනට අදාළ සිව් වන සමාලෝචනය පිළිබඳ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඊයේ පස්වරුවේ නිවේදනය කළේ ය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා ධූත මණ්ඩල ප්‍රධානී එවන් පැපජෝර්ජියෝ කියා සිටියේ විධායක මණ්ඩලයේ සමාලෝචනය අවසන්වූ පසු ණය මුදලට අදාළ පස්වන වාරිකය වන ඩොලර් මිලියන 344 මුදාහරිනු ඇති බවයි.
කාර්යය මණ්ඩල එකඟතාව පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා ධූත මණ්ඩල ප්‍රධානී එවන් පැපජෝර්ජියෝ මහතා උපුටා දක්වමින් නිකුත් කළ නිවේදනයේ කරුණු කිහිපයක් අවධාරණය කර තිබේ.
එහි සදහන් වන්නේ, පිරිවැය ගැලපුම් ක්‍රමවේදයට අනුගතව විදුලිය ගාස්තු පවත්වාගෙන යාම සහ ප්‍රමාණවත් ණය ප්‍රතිව්‍යුහගතකරණ ප්‍රගතිය පිළිඹිබු කිරීම මෙම එකගතාව කෙරෙහි බලපානු ඇති බවයි.
ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ ක්රියාවළිය අඛණ්ඩව පවත්වාගෙනයාම අගය කරන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ධූත මණ්ඩල ප්‍රධානියා 2024 දී අර්බුදයෙන් පසු ආර්ථික වර්ධනය සියයට 5 කින් ඉහළ යාම ප්‍රශංසනීය ප්‍රතිඵලයක් බවද අවධාරණය කර තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
