V2025

පුවත්

පොලිසියේ 10000 කට උසස්වීම් : ඇමති ටිරාන්ගේ වැඩක් !

ශ්‍රී ලංකා පොලිසියේ කොස්තාපල් සිට පොලිස් පරීක්ෂක දක්වා දහදාහකට ආසන්න පිරිසක් ඊළඟ තනතුරට උසස් කිරීමට, අද පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලැබී තිබේ.

ඒ අනුව එම ශ්‍රේණින්ට අදාළ පිරිමි පොලිස් නිලධාරීන් 8312ක් සහ කාන්තා පොලිස් නිලධාරිනියන් 1005 කට උසස්වීම් ලැබීමට නියමිතය.

වසර ගණනාවක් තිස්සේ උසස්වීම් අහිමිව සිටි මෙම නිලධාරීන්ට අදාළ උසස්වීම් ලබාදීම සඳහා වූ කැබිනට් පත්‍රිකාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබුණේ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් විසින් ය.

සජිත්ගේ හිත හදන්න හර්ෂ විහිළුකාරයෙක් වෙලා !

පවතින ආර්ථික අර්බුදය විසඳා ගත හැකි එකම ක්‍රමය ලෙස තමන් දකින්නේ නව ආණ්ඩුවක් නිර්මාණය වීම බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා සඳහන් කරයි.

ඔහු මේ බව සඳහන් කර සිටියේ විපක්ෂ නායක කාර්යාලය මාධ්‍ය හමුවකදීය .

අලුත් ආණ්ඩුවක් විසින් ඉදිරිපත් කරන වැඩපිළිවෙළක් ජාත්‍යන්තරය හා රටේ ජනතාව පිළිගත යුතු බව ද එසේ පිළිගැනීම් හරහා ආර්ථික අර්බුදය සමනය කර හැකි බවද මන්ත්‍රීවරයා එහිදී පැවසීය.

හර්ෂ ජෝක් කරන්න අරගෙන !

මන්ත්‍රීවරයා ගේ මේ ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් දේශපාලන විචාරකයකු පවසා සිටියේ සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකයා ගේ හිත හැදීමට මන්ත්‍රී හර්ෂ විහිළු සපයන්නෙකු බවට පත්ව ඇති බවය.

ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වැඩසටහනක් වෙත යාමෙන් මිස වෙනත් විකල්පයක් මේ මොහොතේ රට හමුවේ නොමැති බවත් එම කටයුත්ත සාර්ථක ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ දියත්කර ඇති බවත් ඔහු පවසයි .

එවැනි පසුබිමක විකල්පය කුමක්ද යන්න නොකියා ආණ්ඩු මාරුවක් ගැන කියවීම සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා ලැජ්ජා වියයුතු බවත් විචාරක මතය වී තිබේ.

බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය වසා දැමීම : කැබිනට් තීරණය මෙන්න !

බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ අධ්‍යයන හා පරිපාලන කටයුතු පිළිබඳ එකඟතාවකට පැමිණීමට සියලුම මහානායක හිමිවරුන් සමඟ සාකච්ඡා කිරීමටත්, එතෙක් විශ්වවිද්‍යාලය වසා දැමීමටත් කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත .

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් පැවති කැබිනට් මණ්ඩල හමුවේදී මේ තීන්දුව ගෙන ඇත .

බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය භික්ෂූන් ගේ විනය විරෝධී හැසිරීම පදනම් කරගෙන මේ වන විට තාවකාලිකව වසාදමා ඇත.

ශිෂ්‍ය භික්ෂූන් ගේ විනය විරෝධී හැසිරීම් දැක්වෙන වීඩියෝ කිහිපයක්ම මේ වන විට සමාජ මාධ්‍ය හරහා ප්‍රසිද්ධ වී ඇත.

දේශීය ආදායම් (සංශෝධන ) පණත බලාත්මකයි !

පාර්ලිමේන්තුවේ දී පසුගියදා විවාදයකින් පසුව සංශෝධන සහිතව වැඩි ඡන්දයෙන් සම්මත වූ දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත සදහා කථානායක මහින්ද යාපා අබේවර්ධන අද (19) සිය සහතිකය සටහන් කළේය.

පසුගියදා (09) පාර්ලිමේන්තුවේදී පැවති මෙම පනත්කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදයෙන් අනතුරුව විරුද්ධ පාර්ශවයෙන් ඡන්ද විමසීමක් ඉල්ලා සිටි අතර එහිදී පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 83ක් ලැබුණු අතර විරුද්ධව ඡන්ද 41ලැබිණි.

ඉන්පසු පනත් කෙටුම්පත තෙවනවර කියවීම සඳහා ද විරුද්ධ පාර්ශවයෙන් ඡන්ද විමසීමක් ඉල්ලා සිටි අතර එහිදී පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 79ක් ලැබුණු අතර විරුද්ධව ඡන්ද 36 ලැබිණි. මේ අනුව මෙම පනත් කෙටුම්පත 2022 අංක 45 දරන දේශීය ආදායම් (සංශෝධන) පනත ලෙස අද සිට බලාත්මක වේ.

අරගල කරේ අයිස්කාරයන් !

අරගලයට සම්බන්ධ වුණේ අයිස් ගසා මත්වුණු පිරිසක් බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි.

කුඩු ගංජා අයිස් විකුණන පිරිසක් එම ද්‍රව්‍ය විකුණා ගැනීම සඳහා අරගලකරුවන් පාවිච්චි කළ බව පැවසූ අමාත්‍යවරයා ඇතැම් දේශපාලඥයන්ද සිය අරමුණු ඉටුකර ගැනීම සඳහා අරගලය පහත් ආකාරයෙන් යොදාගත් බවත් ප්‍රකාශ කළේය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ මිනුවන්ගොඩ වෙළෙඳ පොළ භූමියේ පැවති රැස්වීමකදීය.

අද අරගලකරුවන් සත්‍ය පාපොච්චාරණය කිරීමට පටන් ගෙන ඇතැයිද අමාත්‍යවරයා සඳහන් කළේය.

අරගලය ප්‍රජාතන්ත්‍රවාදී එකක් නොවන බවත් අහිංසක මිනිසුන්ගේ ගෙවල් ගිනි තැබීම ප්‍රජාතන්ත්‍රවාදය දැයි තමා ප්‍රශ්න කරන බවත් ඔහු පැවසීය.

සේවා කාලය නිම කර සිය රට බලා යන හනා සිංගර් ජනපති හමු වෙයි

සේවා කාලය නිමා කර සිය රට බලා නික්ම යන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ නේවාසික සම්බන්ධීකාරක හනා සිංගර් (Hanaa Singer) අද (19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමු විය.

හනා සිංගර් මහත්මිය සමග සුහද කතා බහක නරත වූ ජනාධිපතිවරයා එතුමිය ශ්‍රි ලංකාව වෙනුවෙන් කළ සේවය ඇගයීමට ලක් කරමින් ස්තූතිය පිරිනැමූ අතර ඉදිරි කටයුතු වෙනුවෙන් ද සුභාශීංසන පිළිගැන්වීය.

හනා සිංගර් 2018 සැප්තැම්බර් 07 දා සිට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ නේවාසික සම්බන්ධීකාරකවරිය ලෙස කටයුතු කළාය.

තරුණ ජවයට වැඩි අවස්ථාවක් දෙන්න : ජනාධිපති ලේකම් සූදානම් !

රජයේ සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ දී තරුණ රාජ්‍ය නිලධාරීන්ට වැඩි අවස්ථාවක් ලබාදීමට සූදානම් බව ජනාධිපති ලේකම් සමන් ඒකනායක පැවසීය.

එසේම රජයේ සංවර්ධන වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යෑම සඳහා රාජ්‍ය නිලධාරීන්ට විශාල බලපෑමක් සිදුකළ හැකි බව පෙන්වා දුන් ජනාධිපති ලේකම්වරයා ඒ සඳහා සක්‍රීය දායකත්වයක් ලබාදෙන ලෙස රාජ්‍ය නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක මේ බව සඳහන් කර සිටියේ පසුගියදා කොල්ලුපිටිය සමුද්‍රා හෝටලයේදී පැවති ශ්‍රී ලංකා පරිපාලන සේවයේ 2012 කණ්ඩායමේ වාර්ෂික සුහද හමුව අමතමිනි.

අභියෝග රැසක් මධ්‍යයේ වත්මන් ජනාධිපතිවරයා රටේ වගකීම භාරගත් බවත්, මේ වන විට ආර්ථිකය ක්‍රමානුකූලව ගොඩනඟමින් සංවර්ධිත රටක් බිහි කිරීම සඳහා අවශ්‍ය පියවර ගනිමින් තිබෙන බවත් ජනාධිපති ලේකම්වරයා පෙන්වා දුන්නේය.

රටේ අභිවෘද්ධිය වෙනුවෙන් ශ්‍රී ලංකා පරිපාලන සේවයේ 2012 කණ්ඩායම සිදුකරන මෙහෙවර අගය කරන බව ද ජනාධිපති ලේකම් සමන් ඒකනායක වැඩිදුරටත් සඳහන් කළේය.

“Be the impact” යන තේමාව ඔස්සේ මෙවර පැවති ශ්‍රී ලංකා පරිපාලන සේවයේ 2012 කණ්ඩායමේ වාර්ෂික සුහද හමුවට එහි සභාපති සුරංග රණසිංහ ඇතුළු දිවයින පුරා විසිරී සිටින 2012 කණ්ඩායමේ ඉහළ රාජ්‍ය නිලධාරීන් එක්ව සිටියහ.

නව නාවික හමුදාපති ජනපති හමු වෙයි !

නව නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා අද (19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමු විය.

වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා  ශ්‍රී ලංකා නාවික හමුදාවේ 25 වන නාවික හමුදාපතිවරයා ලෙස ඊයේ (18) සිය ධූරයේ රාජකාරී ආරම්භ කළේය.

ධූරයේ වැඩ භාර ගැනීමෙන් පසු නව නාවික හමුදාපතිවරයා සාම්ප්‍රදායානුකූලව ජනාධිපතිවරයා හමු වූ අතර ජනාධිපතිවරයා වෙත සමරු සිහිවටනයක් ද පිළිගැන්වීය.

මේ අතර නව නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා  ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක ද හමු වී සුහද කථා බහක නිරත විය.

IMG 20221219 WA0038

සිහිනයක් ජයගත් තරගයක් !

උද්වේගකර තරගයකින් පසු, ලෝක ශුර ප්‍රංශය පරදවමින් ආර්ජන්ටිනාව 2022 ලෝක පාපන්දු කුසලානය දිනා ගත්තේය.

තරගයේ ජය පරාජය තීරණය කිරීමට මිනිත්තු 90 ක කාලය මෙන්ම මිනිත්තු 30 ක අමතර කාලයක් සහ දඬුවම් පහර එල්ල කිරීමේ වටයක්ද විය.

තරගය නිමාවට පත්වුයේ දඬුවම් පහර 4ට 2ක් ලෙස ආර්ජන්ටිනාවට තරගයේ ජය හිමිකර දෙමින්ය.

ආර්ජන්ටිනාව 2022 ලෝක කුසලානය දිනා ගත්තේ මෑත ඉතිහාසයේ වඩාත් උද්වේගකර අවසන් මහා තරගය මෙය බවට පත් කරමිනි.

මෙවර ආර්ජන්ටිනාව ලෝක පාපන්දු කුසලානය ජය ලබන්නේ වසර 36කට පසුවය.

1986 දී ඔවුන් අවසන් වරට ලෝක පාපන්දු කුසලාන ජය ලැබීය. 1978 දී ද ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ජය ලැබුවේ ආර්ජන්ටිනාවය.

ලයනල් මෙසී අවසානයේ ඔහුගේ ලෝක කුසලාන සිහිනය සාක්ෂාත් කර ගත්තේ ආර්ජන්ටිනාව ඔවුන්ගේ තුන්වන පාපන්දු කිරුළ දඩුවම් පහරින් දිනා ගැනීමත් සමඟය.

කටාර්හි ලුසේල් ක්‍රීඩාංගනයේ පැවති මෙම තරගය පාපන්දු තරගාවලි ඉතිහාසයේ විශිෂ්ටතම අවසන් තරගය බව විචාරකයෝ පවසති.

ආර්ජන්ටිනාව 1986 න් පසු පළමු ශූරතාව හමිකර ගැනීමේ අරමුණින් තරග බිමට පිවිසුණු අතර ප්‍රංශය උත්සාහ කරනු ලැබුවේ පිට පිට ලෝක කුසලාන දිනා ගන්නා තුන්වැනි රට බවට පත්වීමටය.

35 හැවිරිදි මෙසීගේ ප්‍රතිවිරුද්ධ ක්‍රීඩක කෙලියන් එම්බාපේ ගෝල ත්‍රිත්වයක් ලබා ගැනීම අවසන් මහා තරගයේ කැපී පෙනිණි.

ලෝක කුසලාන අවසන් මහා තරගයක ගෝල ත්‍රිත්වයක් වාර්තා වන්නේ 1966 වසරට පසුව වුවත් ප්‍රංශයේ ජයග්‍රහණය සඳහා එය ප්‍රමාණවත් නොවීය.

අවසන් මහා තරගයේදී මෙසී ගෝල දෙකක් සහ ඩි මරියා ලබාගත් ගෝලයක් සමගින් ආර්ජන්ටිනාව ගෝල 3ක් රැස් කළේය.

ප්‍රංශය වෙනුවෙන් කෙලියන් එම්බාපේ ගෝල ත්‍රිත්වයක් ලබා ගත්තේය.

ආජන්ටිනාව වෙනුවෙන් ලයනල් මෙසී 22 වැනි මිනිත්තුවේදී දඬුවම් පහරක් වාර්තා කළ අතර ඩි මරියා 36 වැනි මිනිත්තුවේදී ගෝලයක් රැස් කිරීමත් සමග ආර්ජන්ටිනාව ගෝල 2-0ක් ලෙස තරගයේ මුල් කාලසීමාව තුළම පෙරමුණ ගෙන සිටියේය.

එහෙත් අනපෙක්ෂිත ලෙස එම්බාපේ හදිසි ගෝල 2ක් රැසක් කිරීමත් සමග 82 වැනි මිනිත්තුව වන විට කණ්ඩායම් දෙකම ගෝල 2ට 2ක් ලෙස සම තත්ත්වයේ පසුවිය.

අනතුරුව තරගයේ ජයග්‍රහණය සඳහා මිනිත්තු 15 බැගින් අතිරේක කාල 2ක් ලබා දුන් අතර එහිදී දෙපිලම ගෝලය බැගින් රැස් කිරීම හේතුවෙන් ලකුණු සටහන ගෝල 3ට 3ක් ලෙස දැක්විණ.

අනතුරුව ජයග්‍රහණය තීරණය කරනු ලැබුවේ දඬුවම් පහර වලිනි.

එහිදී ගෝල 4ට 2ක් ලෙස තරගයේ ජය හිමි කර ගැනීමට ප්‍රබල ආර්ජන්ටිනාව සමත්විය.

ආර්ජන්ටිනාවේ ජනප්‍රිය ක්‍රීඩක ලයනල් මෙසීට තරගාවලියේ හොඳම ක්‍රීඩකයාට පිරිනැමෙන රන් පාපන්දුව පිරිනමන ලදී.

ලෝක කුසලාන ඉතිහාසයේ රන් පාපන්දුව දෙවරක් දිනාගත් එකම ක්‍රීඩකයා බවට මෙසී පත්විය.

තරගාවලියේ වැඩිම ගෝල හිමිකරගත් ක්‍රීඩකයාට පිරිනැමෙන රන් සපත්තුව (2022 FIFA World Cup Golden Boot award ) හිමි කර ගැනීමට ප්‍රංශයේ එම්බාපේ සමත්විය.

තරගාවලිය තුළ එම්බාපේ ගෝල 8 ක් රැස්කළ අතර ලයනල් මෙසී (ආජන්ටිනාව) ගෝල 7ක් රැසක් කර තිබුණි.

2022 ලෝක කුසලාන පාපන්දු කුසලානය හිමි කර ගත් ආර්ජන්ටිනා කණ්ඩායමට හිමිවූ ත්‍යාග මුදල ඩොලර් මිලියන 42කි.

බීබීසී - සිංහල

වික්ටර් අයිවන් - බැසිල් හම්බෙලා !

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු මෙන්ම ප්‍රබල සමාජ ක්‍රියාකාරිකයකු වන වික්ටර් අයිවන් මහතා සහ පොහොට්ටුවේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා අතර විශේෂ සාකච්ඡාවක් පසුගියදා පැවැත්විණි.

නෙළුම් මාවත පොහොට්ටුව කාර්යාලයේ පැවති මෙම විශේෂ හමුවට වික්ටර් අයිවන් මහතා සහ තවත් සමාජ ක්‍රියාකාරීන් දෙදෙනෙක් එක්වූහ. බැසිල් රාජපක්ෂ මහතා සමඟ පොහොට්ටු මහලේකම් සාගර කාරියවසම්, මන්ත්‍රී රංජිත් බණ්ඩාර සහ සංජීව එදිරිමාන්න ඇතුළු පිරිසක් පැමිණ සිටියහ.

පසුගියදා සිදු වූ ආණ්ඩු පෙරළියට මූලික වූ අරගලය සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂ හා වික්ටර් අයිවන් මහත්වරු විශේෂ අදහස් හුවමාරුවක් කර ගත්හ. අරගලයට බලපෑ සමාජ ප්‍රශ්න අතර වැඩි දෙනකුගේ අවධානයට යොමු නොවූ කුල පීඩනය ද වන බව මෙහිදී අයිවන් මහතා පෙන්වා දී තිබිණි.

තමන් අරගලය ගැන විශේෂ අධ්‍යයනයක් කළ බව වැඩිදුරටත් පැවසූ හෙතෙම ලංකාවේ ප්‍රබල සමාජ ප්‍රශ්නයක් වන කුල පීඩනය තුරන් කිරීමට දේශපාලන පක්ෂ මැදිහත් විය යුතු බව සඳහන් කර තිබිණි.

පොහොට්ටුවේ ප්‍රබල විවේචකයකු වන වික්ටර් අයිවන් මහතා සහ බැසිල් රාජපක්ෂ මහතා අතර වූ හමුව පැය 1 ½ක් පුරා ඉතා සුහදව පැවැත්විණි.

-deshaya

ආර්ථික අර්බුදය නිසා පුංචි ජන්දය කල්දාන්න ඉල්ලීමක් !

යෝජිත පළාත් පාලන මැතිවරණය මාස කිහිපයකින් කල් දමන ලෙස ඉල්ලීමක් පළාත් පාලන ආයතන ප්‍රධානීන් වෙතින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත යොමුව ඇති බව වාර්තා වෙයි .

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය සභා සහ නගර සභා සභාපතිවරුන් පිරිසක් ජනාධිපතිවරයාගෙන් මෙම ඉල්ලීම සිදුකර ඇති බවය.

එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන ආකාරයට පසුගිය බදාදා මීට අදාළ හමුව සිදුව ඇත. ඊට පොදුජන පෙරමුණට සම්බන්ධ පළාත් පාලන ආයතන ප්‍රධානීන් 47 දෙනකු එක්ව තිබේ.

එහිදී ඔවුන් පෙන්වා දී ඇත්තේ පවත්නා ආර්ථික තත්ත්වය යටතේ ජනතාව ඡන්දයකට මුහුණ දීමට තරම් සුදුසු වාතාවරණයක නොමැති බවය. මැතිවරණය සඳහා රජයට මෙන්ම තමන්ටත් විශාල වියදමක් දැරීම අපහසු බවද ඔවුන් පෙන්වා දී ඇත.

ඔවුන්ගේ ඉල්ලීමට ප්‍රතිචාර දක්වා ඇති ජනාධිපතිවරයා පවසා ඇත්තේ පවත්නා ආර්ථික තත්ත්වය ගැන ද සලකා බලා අදාළ අංශ මැතිවරණය සම්බන්ධයෙන් තීන්දුවක් ගනු ඇතැයි අපේක්ෂා කරන බවය.

මෙම අවස්ථාව සඳහා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් , පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර එක්ව ඇති බවත් වාර්තා වෙයි .

25 වැනි නාවික හමුදාපති පත්වීම් ලබයි !

මෙරට 25 වැනි නාවික හමුදාධිපතිවරයා ලෙස වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා පත්කර තිබේ.

නව නාවික හමුදාපති ප්‍රියන්ත පෙරේරාට හිටපු නාවික හමුදාපති අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න විසින් නාවික හමුදා චාරිත්‍රානුකූලව රාජකාරීන් භාරදුන් බවත් වාර්තා වෙයි .

හමුදාවෙන් සේවයෙන් විශ්‍රාම ලැබූ අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න වෙත සම්මාන ආචාර මුරයක් ද නාවික හමුදා මූලස්ථානයේදී පවත්වා ඇත .

ඇමරිකානුවන් 108 ක් ගෙන සුපිරී නැවක් කොළඹට !

ඇමෙරිකානු සංචාරකයන් 108 දෙනෙකු රැගත් ‘ඕෂන් ඔඩිසි’ නැමැති අධික සුඛෝපභෝගි නෞකාව අද (18) පස්වරුවේ කොළඹ වරායට සේන්දුව තිබේ.

ඉන්දියාවේ කොචින් වරායේ සිට කොළඹ වරායට ළගාවූ මෙම නෞකාව හෙට (19) ත්‍රිකුණාමලය වරායට යාත්‍රා කිරීමට නියමිත බවත් වාර්තා වෙයි.

වැඩිදුරටත් වාර්තා වන ආකාරයට මෙම නෞකාවේ පැමිණි සංචාරකයින් කොළඹ වරායේ බැස දින දෙකහමාරක් පමණ කොළඹ, කුරුණෑගල, හබරණ, සීගිරිය සහ ත්‍රිකුණාමලය යන ප්‍රදේශවල සංචාරය කර මේ මස 21 වැනිදා ත්‍රිකුණාමලය වරායෙන් පිටත්වීමට නියමිතය.

අමෙරිකානු ධජය සහිත මෙම නෞකාව දිගින් මීටර් 105 හා පළලින් මීටර් 18.5 කි.

රාජ්‍ය ආයතන 52 ක් වාර්ෂිකව කෝටි 86000ක් ගිලියි !

රාජ්‍ය ව්‍යවසාය ඇතුළු ආයතන 52ක් වාර්ෂිකව රුපියල් කෝටි 86000ක පාඩුවක් ලබන රජයේ ආරංචි මාර්ග පෙන්වා දෙයි.

වාර්තා වන ආකාරයට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, විදුලිබල මණ්ඩලය සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඇතුළු ප්‍රධාන රාජ්‍ය ආයතන පනස් දෙකක් මේ ආකාරයට පාඩු ලබන අතර එය පියවීමට සිදුව ඇත්තේ ජනතා බදු මුදල්වලින් මූලිකව යැපෙන රාජ්‍ය භාණ්ඩාගාරයට ය.

රාජ්‍ය ආයතන අතුරින් දූෂිත ආයතන තිස් දෙකක් පවතින බව කෝප් කමිටුව පසුගියදා අනාවරණය කළේය. එහි වාර්තාවකට අනුව පසුගිය වසර පහේදී එම ආයතන 32 ලබූ පාඩුව රුපියල් කෝටි 46,500කි.

එම ආයතන අතර වැඩිම පාඩු ලබන ආයතන ලෙස පිළිවෙලින් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ලංකා විදුලිබල මණ්ඩලය, හඳුනාගෙන ඇති බවත් එම ආයතන පසුගිය තෙවසර තුළ ලැබූ පාඩුව රුපියල් කෝටි තිස් දාහක් බවත් සඳහන් වේ.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මේ වසරේ මුල් මාස හතර තුළ රුපියල් කෝටි 62,800 ක පාඩුවක් ලබා ඇත.

ඉන්පසු ශ්‍රී ලංකන් ගුවන් සේවය රුපියල් කෝටි 24,800ක්ද ලංකා විදුලිබල මණ්ඩලය කෝටි 4700ක්ද පාඩු ලබා ඇත.

මේ අතර පාඩු ලබන රජයේ ආයතන 39 ක් ප්‍රතිව්‍යුගත ලයිස්තුවේ පවතින බව රජය පවසයි.

එසේම රාජ්‍ය ආයතන සහ ව්‍යවසාය 420ක් රජයෙන් නඩත්තු කරන බව රජය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.

ඉන්ෆ්ලුවෙන්සා වෛරසය ව්‍යාප්තිය නැවතත්.......

 ඉන්ෆ්ලුවෙන්සා වෛරසය සීඝ්‍රයෙන් පැතිර යාම හේතුවෙන් අවදානම් කාණ්ඩවල පසුවන පුද්ගලයින් ආරක්ෂාකාරී විය යුතු බව සෞඛ්‍ය විශේෂඥයින් පවසති.

ශ්‍රී ලංකා ක්ෂුද්‍ර ජීව වෛද්‍ය විශේෂඥයින්ගේ විද්‍යායතනයේ සභාපති, විශේෂඥ වෛද්‍ය රෝහිණී වඩනම්බි ප්‍රකාශ කළේ ඉන් වැඩිම බලපෑමක් පවතින්නේ කුඩා ළමුන්ට සහ වැඩිහිටියන්ට බවයි.

මෙම ඉන්ෆ්ලුවෙන්සා වෛරස ව්‍යාප්තියත් සමග පුද්ගලයින් තුළ දැඩි උගුරේ වේදනාවක් හා උණ රෝගී තත්ත්වයක් නීරීක්ෂණය කළ හැකි බවත් මෙනිසා සෑම විටම මුව ආවරණ පැළැදීම හා දෑත් පිරිසිදුව තබා ගැනීම වැදගත් බව ද ඇය අවධාරණය කළාය.

ලංකාවට ආවේ ඇයි ? සෝල්හයිම් කරුණු පහදයි !

සර්ව පාක්ෂික සමුළුව ශ්‍රී ලංකාවේ දේශපාලන ගැටලු බොහෝමයකට විසඳුම් ගෙන එන වැදගත් පියවරක් බව ජාත්‍යන්තර දේශගුණය පිළිබඳව ජනාධිපති උපදේශක එරික් සෝල්හයිම් පවසයි .

ඔහු මේ බව සඳහන් කර සිටියේ ද්‍රවිඩ ප්‍රගතිශීලී සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් සමග පැවති හමුවකින් අනතුරුව ය.

එහිදී අදහස් දැක්වූ ජාත්‍යන්තර දේශගුණය පිළිබඳව ජනාධිපති උපදේශක එරික් සෝල්හයිම් මෙසේද පැවසීය .

‘ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරාධනයෙන් මම ශ්‍රී ලංකාවට පැමිණියේ ආර්ථික අර්බුදය සඳහා හරිත තිරසාර විසඳුම් ලබාදිය හැකි ආකාරය පිළිබඳව සොයා බැලීමටයි. සුළං හා සූර්ය විදුලිබල ක්ෂේත්‍රවල නව ආයෝජනයන් ගෙන ඒමටත් මම බලාපොරොත්තු වෙනවා.

අද පැවති සාකච්ඡාවේදී මනෝ ගනේෂන් මන්ත්‍රීවරයා මට දැනුම් දුන්නා.. පැවති සර්ව පාක්ෂික සමුළුව පිළිබඳව. එය ශ්‍රී ලංකාවේ දේශපාලන ගැටලු බොහොමයකට විසඳුම් ගෙන එන වැදගත් පියවරක්. එහිදී ඉන්දීය සම්භවයක් සහිත මෙරට දෙමළ ජනතාව නැත්නම් උඩරට දෙමළ ජනතාවට සිංහල හා මුස්ලිම් ජනතාව සමග සාමයෙන් ජීවත්වීමට ඇති අභිලාෂයත් ඔහු පැහැදිලි කළා.

ඒ වගේම ශ්‍රී ලංකාවේ දුප්පත්ම ජනකොටස් වන වතුකරයේ ජනතාවට ආහාර ආධාර සහ අනෙකුත් අත්‍යවශ්‍ය දෑ සැපයීමේ අවශ්‍යතාවයත් මෙහිදී අවධාරණය කෙරුණා. ඉතා දුෂ්කර කාලයක් පසුකරන ශ්‍රී ලාංකික ජනතාව වෙත මගේ සහාය මම පළ කරනවා.

ඔවුන් අතරින් සමහර පිරිස්වලට ප්‍රමාණවත් ආහාර වේලක් නොලැබෙන බවත්, දෛනික ආහාර වේල් ප්‍රමාණය අඩු කිරීමටත් සිදුව ඇති බව දැනගන්න ලැබිලා තිබෙනවා. මේ දුෂ්කරතාවලින් මිදෙන මඟක් පිළිබඳව සොයා ගැනීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාව සමග කටයුතු කරන්න මම සූදානම්.

එමෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟතාවයකට පැමිණීමට ජනාධිපතිවරයා දැඩි පරිශ්‍රමයක් දරනවා. චීනය සහ ඉන්දියාව සමගත් එලෙසමයි. මේ හරහා නැවතත් ආර්ථිකය ප්‍රකෘති කිරීමට හැකිවුවහොත් එය සියලු දෙනාටම මීට වඩා හොඳ කාලයක් උදාවේවි’

වගා නොකළ ඉඩම් අවුරුදු 05 කට රජයට !

රජය විසින් රටේ සෑම වගා නොකළ ඉඩමක්ම වගා කිරීමට තීරණය කර ඇති බැවින් පුරන් කුඹුරු සියල්ල වසර 05ක් සඳහා රජයට පවරාගෙන ඒවා වගා කිරීමට ඉඩම් නොමැති තරුණ ප්‍රජාවට පවරා දිය හැකි පරිදි ගොවිජන පනත කඩිනමින් සංශෝධනය කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

වසර 05කට පසු එම ඉඩම් අයිතිකරුවන්ට අදාළ ඉඩම් වගා කළ පිරිස් සමඟ එකඟතාවයක් යටතේ අවශ්‍යනම් වගා කිරීමට හැකි බවත් එසේ නොකරන්නේ නම් ඉඩම් අයිතියට බිම් කුලිය වශයෙන් ලබන අස්වැන්නෙන් කොටසක් ලබා දීමට පියවර ගන්නා බවත් අමාත්‍යවරයා සඳහන් කරයි.

දැනට රට තුළ වගා කළ හැකි කුඹුරු ලක්ෂයක් පමණ පුරන් වීමට ඉඩ හැර තිබෙන බවත් එම කුඹුරුවලින් වැඩි ප්‍රමාණයක් බස්නාහිර පළාත තුළ පිහිටා ඇති බවත් අමාත්‍යවරයා පවසයි .

එසේම ඇතැම් ඉඩම් අයිතිකරුවන් විදේශගත වී ඇති බව ද අනාවරණ වී ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

දූපත් රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාව සියලු රටවල් සමග මිත්‍රශීලිව කටයුතු කළයුතුයි - ජනාධිපති

දූපත් රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය සමග කටයුතු කිරිමේ දී සියලු රටවල් සමග මිත්‍රශීලි පිළිවෙතක් අනුගමනය කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.
ලෝක බලවතුන්ගේ අරගලවලදී එක් පිළකට බෙදී වෙන් නොවී, සියලු රටවල් සමග මිත්‍රශීලිව කටයුතු කිරීම තුළින් ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයේ යහපත් තලයකට ඔසවා තැබිය හැකි බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ  මේ බව සඳහන් කළේ දියතලාව යුද හමුදා විද්‍යාපීඨයේ කැඩෙට් නිලධාරීන්ගේ 97 වන විසිරයාමේ පෙළපාලියට අද (17) පෙරවරුවේ එක්වෙමිනි.

දියතලාව යුද හමුදා විද්‍යාපීඨයේ පුහුණුව නිම කළ කැඩෙට් නිලධාරීන් තුන්සිය පනස් එක් දෙනෙකු (351) අධිකාරියට පත් කිරීම අද දින සිදු කෙරිණි.

විදේශ රටවල් හතරක කැඩෙට් නිලධාරීන් ද පුහුණුව ලබා අධිකාරියට පත්වීම විශේෂත්වයකි.

යුද හමුදා විද්‍යාපීඨය වෙත පැමිණි සේනාධිනායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ  ඉතා අභිමානවත් අයුරින් පිළිගැනිණි.

ප්‍රථමයෙන් එම පරිශ්‍රයේ ඇති රණවිරු ස්මාරකය වෙත ගිය ජනාධිපතිවරයා ඊට පුෂ්පෝපහාර දැක්වීය.

අනතුරුව කැඩෙට් නිලධාරීන්ගේ පෙළපාලිය පරීක්ෂා කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ  දක්ෂතම කැඩෙට් කණ්ඩායම වෙත ශූරතා ධජය පිළිගැන්වීම හා කැඩෙට් නිලධාරීන් වෙත අසිපත පිළිගැන්වීම සිදු කළේය.

අද දින අධිකාරි ලත් කැ‍‍‍ඩෙට් නිලධාරීන් සමග සමූහ ඡායාරුපයකට පෙනි සිටි ජනාධිපතිවරයා සිය සංචාරය සනිටුහන් කරමින් විද්‍යාපීඨ භූමියේ නා පැලයක් රෝපණය කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ,

අද ඔබට ඉතා වැදගත් දිනයක්. අද ඔබ දියතලාව යුද හමුදා විද්‍යාපීඨයේ පුහුණුව අවසන් කරනවා. නමුත් එය ඔබගේ ජීවිතයේ අලුත් ආරම්භයක්. අද ඔබ සියලු දෙනාම යුද්ධ හමුදාවේ නිත්‍ය සාමාජිකයන් ලෙස සේවය ආරම්භ කරනවා .

ශ්‍රී ලංකා යුද හමුදාවේ නායකන් ලෙස අද සිට ඔබටත් වගකීමක් තිබෙනවා. යුද හමුදාව හා එහි සෙබළුන් ආරක්ෂා කිරීමේ වගකිම ඒ අනුව ඔබට පැවරෙනවා. අද ඔබට මෙම වගකීම පවරන්නේ ජන රජයක් ලෙසයි. එය ආරක්ෂා කිරීම ඔබේ වගකීමක්. ජනරජය සතුරාගෙන් ආරක්ෂා කිරීමේ වගකීමත් ඔබට පැවරී තිබෙනවා. සෑමවිටම ඔබ පුහුණු කරන ආයතනයේ ගෞරවය සහ කීර්ති නාමය ආරක්ෂා කළයුතුයි.

රටක් ලෙස අපි ලෝක බලවතුන් සමඟ එක පිලකට වෙන් වී නෑ. ලොව බලවතුන් සමග අපි ගිවිසුම්ගත වෙලා නෑ. මොකද අපි දූපත් රාජ්‍යයක්. අපි සියලු රටවල් සමඟ මිත්‍රශිලිව කටයුතු කළයුතුයි.

මේ රට ආරක්ෂා කර ගැනීමේ වගකීම ඔබට පැවරෙනවා. අභ්‍යන්තර මෙන්ම බාහිර බලපෑම්වලින් රට ආරක්ෂා කර ගැනිමේ හැකියාව ඔබට තිබෙනවා. ඔබ ඇතුලත් වන අපගේ යුද හමුදාවට යුධ අත්දැකීම් තිබෙනවා. ඒ වගේම ජාත්‍යන්තර යුද අත්දැකීම් ඔවුන් සතුයි. එක්සත් ජාතීන්ගේ හමුදාව සමග එක්ව මාලි රාජ්‍යයේ මෙහෙයුම්වලට අපේ ආරක්ෂා හමුදා ද සහභාගී වී සිටිනවා.

එම නිසා ඔබට අභියෝග ජය ගත හැකියි. ඉදිරියේ දී පැමිණිය හැකි කුමන හෝ අන්දමේ අභියෝග භාරගෙන ඒවාට ශක්තිමත්ව මුහුණ දීමේ හැකියාව ඔබ සතු‍ වෙනවා. එබැවින් එම වගකීම මා ඔබට භාරදෙන අතර ශක්තිමත්ව ඉදිරියට කටයුතු කරන ලෙස ඔබ සියලුදෙනාගෙන් ඉල්ලා සිටිනවා.

ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක, ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද සිල්වා, යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් විකුම් ලියනගේ, දියතලාව යුද හමුදා විද්‍යාපීඨයේ සේනාවිධායක මේජර් ජෙනරාල් නියන්ගොඩ යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

View the embedded image gallery online at:
http://newstube.lk/news?start=2916#sigProIdbc75dc85bd

Page 163 of 386