V2025

පුවත්

වකුගඩු ජාවාරම : පෞද්ගලික රෝහලේ ලිපිගොනු CID යට !

නීතිවිරෝධී අයුරින් දිළිඳු පවුල්වල පුද්ගලයන්ගේ වකුගඩු ලබාගනිමින් ඡාවාරමක් සිදුකළැයි කියන බොරැල්ල ප්‍රදේශයේ පෞද්ගලික රෝහලේ සිදුකළ වකුගඩු සැත්කම්වලට අදාළ ගොනු සියල්ල සිය භාරයට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය අද (13) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය ට කරුණු වාර්තා කළේය.

මෙම සිද්ධියට අදාළව සිදුකරන විමර්ශණ මෙතෙක් අවසන්ව නොමැති බවත්, වකුගඩු ප්‍රදානය කළ අයවලුන්ගේ ප්‍රකාශ ඇතුළු ප්‍රකාශ කිහිපයක් ලබාගත යුතුව ඇති බවත් කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට දැන්වීය.

මෙම සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණ අද (13) අධිකරණය හමුවේ යලි කැදවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් වූ අතර, හදුනාගැනීමේ පෙරට්ටුවක් සදහා රක්ෂිත භාරයට පත්කර සිටි සැකකරු ද බන්ධනාගාරයෙන් අධිකරණට ඉදිරිපත් කර තිබිණී.

හදුනාගැනීමේ පෙරට්ටුවට අදාළ සාක්ෂිකරුවන් හය දෙනාගෙන් පස් දෙනකු අසනීප තත්ත්වයෙන් පසුවීම හේතුවෙන් එම පෙරට්ටුව කල් තබන ලෙසට මෙහිදී කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයෙන් ඉල්ලීය.

ඒ අනුව මෙම සිද්ධියේ හදුනා ගැනීමේ පෙරට්ටුව ලබන 03 වැනිදා පැවැත්වීමටත් සැකකරු ලබන 28 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටත් අධිකරණය නියෝග කළේය.

තිලිණි ඇතුළට: ජානකී එළියට

තිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරි, මහා පරිමාණ මූල්‍ය වංචා සිදු කිරීමේ චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින තිලිණි ප්‍රියමාලි තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

තිළිණි ප්‍රියමාලී සහ ක්‍රිස් සමූහයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකා ජානකී සිරිවර්ධනට ඇප ලබාදීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අද (13) අවසර දුන්නේය.

තිළිණි ප්‍රියමාලිට එරෙහි නඩු හතකට එක් නඩුවකට රුපියල් 50,000 බැගින් රුපියල් 3,50,000,00 මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප 14ක් යටතේ මුදා හැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළ අතර එක් නඩුවකට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කළේය.

ඒ අනුව තිළිණි ප්‍රියමාලි ලබන 16 තෙක් යළි රිමාන්ඩ් කළේය.

ජානකී සිරිවර්ධනට එරෙහි චෝදනා තුනටම එක් නඩුවකට රුපියල් 50,000 බැගින් 1,50,000.00 මුදල් ඇපයක් ද රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප හතරක් මත මුදා හැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

 

ප්‍රවීණ ගායන ශිල්පි නිහාල් නෙල්සන් අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ ගායන ශිල්පි නිහාල් නෙල්සන් අභාවප්‍රාපාප්ත වී තිබේ.

මියයන විට ඔහු 76 හැවිරිදි වියෙහි පසුවිය.

ලස්සනට පිපුණ වන මල් , සොමියට වරෙන් පුතා අගුල් දාලා නෑ දොරේ, සල්ලි මිටි ගණන් , රෝස මලකුයි නෙලුම් මලකුයි , කුක්කු කූ කූ කුකුළ අඬනවා, පත්තරවල විස්තර , කිරිදුන්නේ දරුවන්ටයි, කරුණා සුවඳ තවරාලූ, කාවඩි බයිලා, සල්ලි මිටි ගණන් ආදී ගීත රැසක් ඔහු විසින් ගායනා කර ඇත.

ඔහුගේ දේහය අංක 17 නිහාල් නෙල්සන් මාවත රාවතාවත්ත මොරටුව නිවසේ අද (13) පස්වරුවේ තැන්පත් කෙරෙන අතර, අවසන් කටයුතු පිළිබඳ පසුව දැනුම් දෙනු ලැබේ.

රට ගොඩනගන ආකාරය ජනාධිපති තාරුණ්‍යයට පහදයි !

ජපානයට පමණක් දෙවැනි වූ ආසියාවේ ආර්ථිකයක් තිබූ අපිට ශ්‍රී ලංකාව දැන් දෙවැනි වන්නේ ඇෆ්ගනිස්ථානයට පමණක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කරයි.

ඉදිරි වසර 25 තුළ රට ගොඩනැගීම අරමුණු කර ගනිමින් අද කටයුතු කළ යුතු බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ දිස්ත්‍රික් 306 C – 2 ලියෝ සමාජය සඳහා දීපව්‍යාප්තව සාමාජිකයන් 6,500ක් බඳවා ගැනීම සහ ලියෝ දිනය වෙනුවෙන් ඊයේ (11) පෙරවරුවේ කොළඹ රාජකීය විද්‍යාලයේ පැවති උත්සවය අමතමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේද පැවසීය .

ලියෝ සමාජය සඳහා නව සාමාජිකයන් බඳවාගැනීමේ අවස්ථාවට අද මට ආරාධනා කිරීම පිළිබඳව ස්තූතිවන්ත වෙනවා. මේ වන විට ලියෝ සමාජය සීග්‍ර දියුණුවක් ලබා තිබෙනවා. 1980 ගණන්වල මම අධ්‍යාපන අමාත්‍ය ධූරය දරණ සමයේ මෙහි මෙවන් දියුණුවක් දක්නට ලැබුණේ නැහැ. මෙය ඉතා හොඳ ප්‍රවණතාවක් බව කිවයුතුයි.

මෙවන් සමාජ මගින් ඔබව හොඳ නායකයෙක් බවට පරිවර්තනය කරනවා වගේම, එයින් ලබන නිපුණතාව ඔබ සම්බන්ධවෙන ඕනෑම ක්ෂේත්‍රයක නායකත්වය දක්වාම යාමට ඔබව පුහුණු කරනවා.

මෙතන සිටින බොහෝ දෙනා සමඟ කතා කිරීමට මට අවස්ථාව ලැබුණා. කොළඹින් මෙම අවස්ථාවට සහභාගීවූ අයට අමතරව මඩකලපුව දිස්ත්‍රික්කයෙනුත් තරුණ තරුණියන් සහභාගීවීම පිළිබඳ මට හරි පුදුමයි. ඒ සහභාගීවූ සියලුදෙනාට මම ස්තූතිය පුද කරනවා.

මම හිතනවා ඔබ, ඔබේ කොළඹ සංචාරය හොඳට අත්විඳින්න ඇති කියලා. එමෙන්ම මෙම ප්‍රදර්ශන භූමියේ තිබෙන සියලු ප්‍රදර්ශන කුටි මම නැරඹුවා. ආනන්ද විද්‍යාලය ඉතා අගනා ‍කුටියක් නිර්මාණය කර තිබුණා. ඔවුන්ගේ නිර්මාණ අතර සුවිශේෂ කඩදාසියක් තිබුණා. ඒක මිරිස් බීජ පත්‍රිකාවක්. ඔවුන් කියන්නේ එම පත්‍රිකාවේ ලියලා පසුකාලීනව එය වගා කරන්න පුළුවන් කියලා. ඉතින් මම පළමුව එම පත්‍රිකාවේ පසුපිටෙහි ලියලා බැලුවා. ඔව් ලියන්න පුළුවන්. ඉතින් මම ඔබගේ ඒ නිර්මාණයට සුබ පතනවා.

අපි පරිසර හිතකාමී නිෂ්පාදන ප්‍රවර්ධනය කරන නිසා මෙවැනි නිර්මාණ ඉතා වැදගත්. මම මගේ කාර්ය මණ්ඩල ප්‍රධානියාට උපදෙස් දෙනවා එම පත්‍රිකා සියල්ලම මිලදී ගන්න කියලා. ඒත් ඊට පෙර ඒ සියල්ලේම ජනාධිපති නිල මුද්‍රාව මුද්‍රණය කරගත යුතු වෙනවා.

අපි මේ පත්‍රිකා නිරන්තරයෙන් භාවිතා කරනවා. මම ම‍ගේ කාර්යාලයට උපදෙස් දෙනවා භාවිතයෙන් පසු නැවතත් එම පත්‍රිකා ආනන්ද විද්‍යාලයට ලබා දෙන්න කියලා. ඊට පසුව ඔවුන් අපට දන්වා සිටිය යුතුයි, එම පත්‍රිකා රෝපණය කරලා ඒවායේ අස්වැන්න ලබාගත්තේ කොයි කාලේද කියලා.

ඒ වගේම මේ ප්‍රදර්ශනයේ දී ඔ‍බේ දක්ෂතා පිළිඹිබු කෙරෙන අතරම, රට අර්බුදකාරී තත්ත්වයකට මුහුණ දී සිටින මෙවන් අවස්ථාවක ඔබගේ මෙම දක්ෂතාවයන් ඉතා ප්‍රයෝජනවත් වෙනවා.

අප රට මහුණදී තිබෙන අර්බුදයේ දරුණුම අවධියේදී තමයි මට ජනාධිපති ධූරය භාරගන්න සිදු වුණේ. ඒ අවස්ථාවේදී මෙම ධූරය භාරගැනීමට බොහෝ දෙනෙක් අකමැති වූණා. මම මෙය භාරගත යුත්තේ ඇයි කියලා මමම කල්පනා කළා. අපේ රටේ තරුණ පරපුරට අනාගතයක් තිබිය යුතුයි. අප ඔවුන්ට එම අනාගතය ගොඩනගාදිය යුතුයි. රටේ ආර්ථිකය කඩා වැටුණහොත් ඔවුන්ට එම අනාගතය ගොඩනඟාදීමට අපට නොහැකි වෙනවා. අපි නම් අපේ ජීවිතය ගතකරලා අවසන්. ඒ නිසා තරුණ තරුණියන්ගේ අනාගතය වෙනුවෙන් මම ජනාධිපති ධූරයේ වගකීම භාරගත්තා.

පසුගිය අප්‍රේල් මාසයේදී මේ රටේ තරුණයෝ ලස්සන ව්‍යාපාරයක් ආරම්භ කළා. කවුරුත් එය අගය කළා. නමුත් පසුකාලීනව වෙනත් කණ්ඩායමක් එය අතට ගැනීම නිසා එම ව්‍යාපාරය ප්‍රචණ්ඩත්වයෙන් අවසන් වුණා. තරුණ තරුණියන් මෙම අර්බුදකාරී ස්වභාවය දිගටම පවත්වාගෙන ගියහොත් ඔවුන්ට යහපත් අනාගතයත් ඉතිරිවන්නේ නැහැ.

පසුගිය අප්‍රේල් වන විට රටේ දේශපාලන ක්‍රමය ඉතාම අස්ථාවර වුණා. ආර්ථිකය කඩාගෙන වැටුණා. ඉන් පසුව මම හිතුවා මෙම අභියෝගය භාරගෙන මේ රට නැවතත් නගාසිටුවන්නේ කොහොමද කියලා, ඒ වගේම තරුණයන්ට ගැළපෙන අනාගතයක් ගොඩනගන්නේ කොහොමද කියලා.

නමුත් අපි මේ වන විට එක් කාරණයක් හඳුනාගෙන තිබෙනවා. ඒ තමයි තරුණ තරුණයන් මෙම දේශපාලන ක්‍රමවේදය පිළිබඳව සෑහීමකට පත් නොවන බව. මම කිසිවෙකුට දෝෂාරෝපණය කරන්නේ නැහැ. අපි දේශපාලනඥයින්. නමුත් දේශපාලනඥයන් ඒ ඒ අවස්ථාවල ජනතාවට පොරොන්දු දුන්නත් කිසි කෙනෙක් අනාගතය දෙස බැලුවේ නැහැ.

නමුත් සිංගප්පුරුව, ජපානය, ඉන්දියාව වගේ අනෙක් රටවල මේක සිදු වුණේ නැහැ. අපි සාමාන්‍යයෙන් කළේ පොරොන්දු දීලා බලයට එන එක. ඉන් පසුව නැවත පරාජය වෙනවා. නැවතත් බලයට එන්න පොරොන්දු දෙනවා.

එහෙත් තරුණ තරුණියන්ට ජීවිතයේ ඉතා ඉහළ බලාපොරොත්තු තිබූ අවස්ථාවකදී රටේ ආර්ථිකය කඩා බිඳ වැටුණහම පවතින ක්‍රමවේදය ප්‍රතික්ෂේප කරමින් ඔවුන්ගේ අප්‍රසාදය ප්‍රකාශ කර සිටියා. ඉතින් ඔවුන් අසාධාරණ යැයි සිතන ක්‍රමවේදයක් ඔස්සේ තවදුරටත් ඉදිරියට යාමට නොහැකියි.

දැන් ආර්ථිකය කඩාවැටුණා. අපට ආහාර තිබුණේ නැහැ, ඉන්ධන තිබුනේ නැහැ. අපට අනාගතයක් පිළිබඳ හිතන්න බැරි වුණා. අද අපි යම්තරමකින් රටේ ආර්ථිකය නිවැරදි මාවතට ගෙන තිබෙනවා පමණයි. අපට ජාත්‍යන්තර අරමුදලේ ගිවිසුම සාර්ථක කරගැනීමට තිබෙනවා. ඒ අනුව ඉදිරි සංවර්ධන වැඩපිළවෙළ ක්‍රියාත්මක කළ යුතුයි.

නමුත් මෙහිදී අපට පළමුව තරුණයන්ගේ හඬට සවන්දීමට සිදු වෙනවා. මේ කාරණයේදී අපි නිර්දේශකර තිබෙනවා පාර්ලිමේන්තුවේ සෑම අධීක්ෂණ කාරක සභාවකටම තරුණයින් පස් දෙනෙක් ඇතුළත් කරන්න.

මේ කටයුත්තේදී අවාසනාවන්ත ලෙස යම් ප්‍රමාදයන් සිදුව තිබෙනවා. මොකද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ කණ්ඩායම් ඒවයේ සභාපතිත්වය සම්බන්ධයෙන් ගැටලු ඇතිකරගෙන තිබෙනවා. අපි දැන් ඒ ගැටලු විසඳාගනිමින් සිටිනවා. ‍මම ඔවුන්ට උපදෙස් දී තිබෙනවා ඉදිරි සති දෙක තුන තුළදී මෙම තරුණයන් තෝරාපත් කර ගන්නා ක්‍රමවේදයත්, ඔවුන් පත්කරගන්නේ කෙසේද යන්නත් සකස්කර දෙන්න කියලා.

මම බලාපොරොත්තු වෙනවා ලබන ජනවාරි මාසයේ අග හෝ පෙබරවාරි මාසයේ මුල වන විට එම කමිටුවල තරුණ තරුණියන් තම කටයුතු ආරම්භ කරයි කියලා. මේ ආකාරයට ඔබට නියෝජනය කළ හැකි තවත් ස්ථාන මෙන්ම ක්‍රමවේදයන් තිබෙනවා. මම හිතනවා ඔබගේ වගේ දැවැන්ත සංවිධානයක්, අනිත් එවන් සංවිධානත් තරුණ කවුන්සිලය සමග එකතුවෙලා රජයේ කටයුතුවලට අදහස් ලබාදීම සඳහා කමිටුවක් සකස් කළොත් වැදගත් බව.

ඊට අමතරව 75 වන නිදහස් උළෙල සැමරීම සඳහා බොහෝ වැඩසටහන් ක්‍රියාත්මක කෙරෙනවා. නමුත් මම හිතනවා ඒ සඳහා තරුණ දායකත්වයත් අත්‍යාවශ්‍යයි කියලා. ඊට ඔබ සියලුදෙනාම දායක විය යුතුයි. ඒ සඳහා මම ආරම්භ කරලා තිබෙනවා ජාතික තරුණ වේදිකාව. ඔබට පුළුවන් එහිදී තරුණ්‍යයේ දැක්ම ඉදිරිපත් කරන්න. නිදහසින් පසු ගෙවුණු 75 වසර පිළිබඳ අපට දැන ගැනීමට අවශ්‍ය නැහැ. ඒ පිළිබඳව බො‍හෝ දේ ලියැවී තිබෙනවා. නමුත් ඉදිරි වසර 25 පිළිබඳව ඔබගේ දැක්ම දැනගැනීමට අපට අවශ්‍යව තිබෙනවා.

ඒ නිසා මම ලියෝ සමාජයෙනුත් ඉල්ලා සිටිනවා ජාතික තරුණ වේදිකාවට සම්බන්ධ වෙන්න කියලා. මට හරි සතුටුයි විශ්වවිද්‍යාල තරුණයින් මීට සම්බන්ධ වී සිටීම පිළිබඳව. අපි සියලුදෙනා එකට එක්වී වැඩ කළයුතුයි. රටේ දේශපාලන ක්‍රමය වෙනස් කිරීමේ දී ඔබට අවශ්‍ය කුමක්දැයි අපිට දැනුම් දෙන්න.

අතීතයේ අපේ රට ජපානයට දෙවැනිවන ලෙස ඉදිරියට ගෙන ඒමට අපට හැකියාව ලැබුණා. නමුත් දැන් අපේ රට ඉහළින් සිටින්නේ ඇෆ්ගනිස්ථානයට පමණයි. ඒ නිසා බොහොමයක් තරුණයින් රටින් පිටවී යනවා. නමුත් මගේ දැක්ම වන්නේ අපේ රට නැවත ගොඩනැඟිය හැකියි. අපි අනාගතය පිළිබඳව සිතමු.

සිංගප්පූරුව, ජපානය, චීනය, කොරියාව, මැලේසියාව, තායිලන්තය වැනි රටවල් සමග වැඩකළ හැකි ආර්ථික ක්‍රමවේදයක් අපි නිර්මාණය කරමු. ඊළග වසර 04-05 ඇතුළත නවමු ක්ෂේත්‍ර නිර්මාණය වන සහ අපනයනය කෙරෙහි අවධානය යොමු කෙරෙන ආර්ථික වැඩපිළිවෙළක් ආරම්භ කරනවා.

මේ රට ගොඩනැගීමේ දක්ෂතාව ඔබ සියලුදෙනාටම තිබෙන අතර මම සිතන්නේ ඔබ එය නිවැරදි මාවතකට යොමු කරගත යුතුයි. මීට වසර 10කට පෙර අප අනුගමනය කළ ප්‍රතිපත්ති දැන් අනුගමනය කළ නොහැකියි. අපි දැන් සිදුකළ යුත්තේ තවත් වසර 25කට සරිලන දේයි.

අපේ රටේ නිදහසේ ශතවර්ෂය සමරන විට ඔබ අතරින් බොහෝ දෙනෙක් සිටීවි. සමහර විට අතරින් බොහෝ දෙනෙකුට ඒ වන විට ජීවිතයේ වසර 50වත් සම්පූර්ණ වී නොතිබේවි.
ඉතින් මම ඔබෙන් අහන්න කැමතියි ඔබ මේ අභියෝගය භාරගැනීමට සූදානම් ද කියලා, ඔ‍බ ඊට කැමතී නම් ඔබට ඒ සඳහා සහභාගී කරවා ගැනීමට අපට අවශ්‍ය වෙනවා.

මේ රටේ අනෙක් තරුණ තරුණියන්ගේ අනාගතය සඳහා වන ඔබගේ දැක්ම අපට ලබා දෙන්න. ඒ තුළින් ඔබ ගොඩනඟන්නේ ඔබේ අනාගතයයි. 1977 මැතිවරණ ජයග්‍රහණය ලබන විට මගේ වයස අවුරුදු 28යි.

ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා සමග මම එදා අනාගතය පිළිබඳ සාකච්ඡා කරමින් සිටින අවස්ථාවේ ඔහු අපට කිව්වේ “අනාගතය අයිති ඔබටයි, මට නොවෙයි" කියලා. ඒ නිසා කළයුත්තේ කුමක්ද කියා ඔබ මට කියන්න. අද මටත් ඔබට කිව හැක්කේ “අනාගතය ඔබෙයි, මගේ නොවෙයි" කියලා.

ඒ නිසා මට අවශ්‍ය අනාගතය නොවෙයි, ඔබට අවශ්‍ය ඩිජිටල් ආර්ථිකය, සමෘද්ධිමත් රටක්, හොඳ අධ්‍යාපන ක්‍රමයක් සහිත අනාගතයයි ගොඩනැඟිය යුත්තේ. මේ අනාගතය ගොඩනැගීම වෙනුවෙන් ඔබ සියලුදෙනා සමග එක්වන්න මම කැමතියි.

අපිට අසීරු කාල තිබෙනවා. ලබන අවුරුද්දෙත් අසීරුතා ඇති විය හැකියි. විසඳිය යුතු ගැටලු බොහොමයක් තිබෙනවා . නමුත් අපි ඒවා විසඳන විට ප්‍රතිලාභීන් විය යුත්තේ තරුණ තරුණියන් මිසක් වෙන කවුරුත් නොවෙයි. ඒ නිසා ඔබලා මෙයට සම්බන්ධ වනවාට මම කැමතියි.

ඒ නිසා මම තීරණය කළා රටේ ආර්ථික තත්ත්වය ගැන විශේෂඥයන් දක්වන අදහස් පිළිබඳ සියලුදෙනා දැනුවත් කිරීමට. එවිට ඔබට ඔබේ අනාගතය පිළිබඳ අවබෝධයක් ලැබේවි. රජය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නව වෙනස්කම් සිදුකිරීමට සූදානම් වන විට, නව නීති යෝජනා කරන විට ඒ පිළිබඳව ඔබලාගේ දැක්ම ලබාගැනීමට අපි කැමැතියි. මම කැමතියි එම තීරණ ගැනීමේදී ඔබ සියලුදෙනාගේ සහභාගීත්වය ලබා ගැනිමට.

ලබන වසරේ දේශගුණික විපර්යාස අවම කර ගැනීම සඳහා මූලාරම්භයක් මේවන විට ගෙන තිබෙනවා. ඒ සම්බන්ධ කාර්යාලයක් අපි දැනටමත් පිහිටුවා තිබෙනවා. ඊට අදාළ නීති 07, 08ක් කෙටුම්පත් කරන්නට සූදානම් අතර ඒ සඳහා ඔබ සියලුදෙනාම සම්බන්ධ වීම අවශ්‍ය වෙනවා. ඊට අදාළව ඔබේ ව්‍යාපෘති ඇත්නම් අපිට ඉදිරිපත් කරන්න. ඒ සඳහා උදව් කරන්න අපි සූදානම්. මෙම ව්‍යාපෘතිය භාරගැනීම සඳහා වන අලුත්ම ව්‍යාපාරය ඉක්මණින්ම සකස් වෙයි කියා මම බලාපොරොත්තු වෙනවා.

මේ සඳහා ඔබගේ සහාය ලබාදෙන්න කියන ඉල්ලීම සිදු කිරීමටයි ‍මම අද මේ අවස්ථාවට සහභාගී වුණේ. අපි මේ වැඩපිළිවෙළ දේශගුණික විපර්යාස අවම කිරීමේ ක්‍රියාවලිය සමග ආරම්භ කරමු. දේශගුණික විපර්යාස නැවැත්වීම සඳහා අර්ථවත් ක්‍රියාවලියක අවශ්‍යතාව පිළිබඳව විවෘතව කථා කිරීමට අපි රටක් ලෙස තීරණය කර තිබෙනවා.

ඒ අනුව රටක් ලෙස අපි දේශගුණික විපර්යාස අවම කිරීම සඳහා ගතහැකි සියලු පියවර ගන්නා අතර, එයට මූලිකත්වය ගතයුත්තේ ඔබයි. මෙම කටයුතු සඳහා ඔබ සහාය වනු ඇතැයි මම බලාපො‍රොත්තු වෙනවා. මම නැවතත් ඔබට ස්තූතිවන්ත වන අතර සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා.

පේරාදෙණිය හිටපු උපකුලපතිට පහරදීම : පුළුල් පරීක්ෂණයක් කරන්න - ජනාධිපති

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය අතුල සේනාරත්නට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පවත්වා කඩිනමින් අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ අදාළ බලධාරීන්ට නියෝග කර ඇත.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය අතුල සේනාරත්නට සහ ඔහුගේ නිවසට පෙරේදා (10) දිනයේ විශ්වවිද්‍යාල සිසුන් කණ්ඩායමක් විසින් පහර දීමක් සිදුකර තිබුණි.

පෙරේදා රාත්‍රියේ මහාචාර්යවරයාගේ නිල නිවස ආසන්නයේදී ඔහුගේ පුත්‍රයාගේ මෝටර් රථය, නවතා තිබූ යතුරුපැදියක ගැටී ඇති බව පවසා විශ්වවිද්‍යාල සිසුන් කිහිපදෙනෙකු සමග බහින් බස් වීමක් සිදුව ඇත.

පසුව අදාළ සිසුන් පිරිස පැමිණ මහාචාර්ය අතුල සේනාරත්නට සහ ඔහුගේ නිවසට පහර දී ඇත.

කෙසේවෙතත් පහරදීමට සම්බන්ධයෙන් මේ වන විට විශ්වවිද්‍යාල සිසුන් 12 දෙනෙකුගේ ශිෂ්‍යභාවය අහෝසි කළ බව එම විශ්වවිද්‍යාලයේ විනය පාලක මහාචාර්ය තිලක් බණ්ඩාර සඳහන් කරයි.

නැගෙනහිර ගව එළු මස් කඩ වහන්න නියෝග !

අද (12) සිට එළඹෙන 18 වෙනිදා දක්වා නැගෙනහිර මස් පිණිස ගවයින් සහ එළුවන් ඝාතනය කරනු ලබන ස්ථාන සහ මස් අළෙවි සැල් වහාම ක්‍රියාත්මක වන පරිදි වසා තබන ලෙස පළාත් ආණ්ඩුකාරවරිය විසින් උපදෙස් ලබාදී ඇත.

පසුගිය දින කිහිපයේදී ඇතිවූ ශිත කාලගුණයත් සමග නැගෙනහිර පළාතේ ගවයින් සහ එළුවන් විශාල සංඛ්‍යාවක් හදිසියේ මිය යෑම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.

එසේම මේ දිස්ත්‍රික්ක මට්ටමින් සහ පළාත් මට්ටමින් ගව මස් , එළු මස් ප්‍රවාහනයද තාවකාලිකව තහනම් කිරීමට ජනාධිපතිවරයාද නියෝග නිකුත්කර තිබිණ.

කෙසේ වුවද කුකුල් මස් අළෙවි සැල් සඳහා මෙම නීතිය බලනොපැවැත්වෙන බවත් දැනගන්නට ඇත.

සිසුන් පළමු ශ්‍රේණියට සහ උසස් පෙළට ඇතුලත්වීම ගැන විශේෂ නිවේදනයක් !

පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීම, අදාළ පාසල් මගින් පමණක් සිදුකෙරෙන අතර එම කටයුතු අධ්‍යාපන අමාත්‍යාංශය හරහා සිදුනොවන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත්කළ නිවේදනයක සඳහන් වෙයි.

එමෙන්ම 2022 අපොස සා/පෙළ ප්‍රතිඵල මත උසස් පෙළ හැදෑරීම සඳහා අයදුම් කිරීමේ දී උසස් පෙළ විෂය ධාරාව නොමැති පාසල්වල සිසුන් විසින්, එම විෂය ධාරා ඇති පාසල් සඳහා ඉල්ලුම්පත්‍ර අදාළ පාසලටම යොමු කිරීම සිදුකළ යුතු අතර අධ්‍යාපන අමාත්‍යාංශය වෙත අයදුම්පත් යොමු කිරීම සිදුනොකළ යුතු බවද අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

2022 වර්ෂයේ අතරමැද පන්ති සඳහා සිසුන් ඇතුළත් කිරීම, මෙම වසරේ තුන්වන වාරය ආරම්භ වූ 2022.12.05 දින සිට නවාතා ඇත.

2023 වර්ෂයේ අතරමැද පන්ති සඳහා සිසුන් ඇතුළත් කිරීම සිදුකරනු ලබන්නේ, 2022 වර්ෂයේ තෙවන පාසල් වාරය අවසන් වන 2023 මාර්තු මස 24 දිනට පසු, පාසල්වල පවතින පුරප්පාඩු මත පාසල් වෙත යොමු කරනු ලබන අයදුම්පත් සලකා බැලීමෙනි.

මේ වන විට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කරනු ලබන චක්‍රලේඛ අනුව පමණක් මේ සම්බන්ධයෙන් කටයුතු කරන බව එම නිවේදනයෙන් වැඩිදුරටත් දන්වා ඇත.

උත්සව සමයේ ඇති වෙන්න ගෑස් සූදානම් !

ගෘහස්ථ ගෑස් සිලින්ඩර 90,000ක ප්‍රමාණයක් අද(12) සිට වෙළෙඳපොළට නිකුත් කිරීමට සැලසුම් කර ඇතැයි ලිට්‍රෝ සමාගම සඳහන් කර සිටියි.

ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් පවසන්නේ ඊයේ (11) දිනයේ අත්‍යාවශ්‍ය සේවා සඳහා පමණක් ගෑස් සිලින්ඩර නිකුත් කළ බවයි.

ගෑස් මෙට්‍රික් ටොන් තුන්දහස් අටසියක තොගයක් රැගත් නෞකාවක් ඊයේ රාත්‍රීයේ දිවයිනට ළඟාවූ බවත් හෙට(13) තවත් ගෑස් නෞකාවක් දිවයිනට ළඟා වීමට නියමිත බවත් ලිට්‍රෝ සභාපතිවරයා සඳහන් කරයි.

ඒ අනුව එළඹෙන උත්සව සමය වෙනුවෙන් හිඟයකින් තොරව ගෑස් ලබා දීමට තම සමාගම සූදානම් බවත් ඒ වෙනුවෙන් ඇනවුම් කර ඇති ගෑස් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 34000 ක් බවත් සභාපති මුදිත පීරිස් වැඩිදුරටත් පවසයි.

අලි පොහොට්ටු තවත් පක්ෂ එකම සන්ධානයකට !

ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය සහ තවත් පක්ෂ ගණනාවක් සමග සන්ධාන ගතව තරග කළහොත් පමණක් ජයගත හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. චන්ද්‍රසේන පවසයි.

හොරිවිල ප්‍රදේශයේ දේශපාලන කටයුතුවල නිරතව සිටින අවස්ථාවේදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර ඇත.

එහිදී මාධ්‍ය විමසන්නේ , රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඔබතුමාල එක්ක එකට එකතුවෙලා ඡන්දයට ඉදිරිපත් වෙනවාද ? යනුවෙන් වන අතර, ඊට ප්‍රතිචාර දක්වමින් මන්ත්‍රීවරයා මෙසේ පවසයි.

"සාකච්ඡා එක එක මට්ටමෙන් යනවා. අපි සන්ධානයක් හැටියට ගොඩක් පක්ෂ සමග එකතුවෙනවා. එක්සත් ජාතික පක්ෂයත් එකතුවෙන්න පුළුවන්. තව පක්ෂ එකතුවෙන්න පුළුවන්. සන්ධානයක් හැටියට ඔක්කෝම එකතුවෙලා ගියොත් තමයි අපි ජයග්‍රාහණය තහවුරු වෙන්නේ. ඒ අවශ්‍ය කටයුතු අපි කරගෙනයනවා."

පේරාදෙණියේ උපකුලපතිට පහරදුන් සිසුන් 10ක් දොට්ට !

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති භූ ගර්භ විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්නට සහ ඔහුගේ පුත්‍රයා ඇතුළු පවුලේ සාමාජිකයන්ට මෙන්ම නිවසටත් පහර දීමට සම්බන්ධවූ බවට හඳුනාගෙන ඇති සිසුන් දස දෙනකුගේ ශිෂ්‍යභාවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටවූ බව එම විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති සහ මාධ්‍ය ප්‍රකාශක ටෙරන්ස් මධුජිත් පවසයි.

ඒ අනුව මහාචාර්ය අතුල සේනාරත්නගේ නිල නිවසේ සවිකොට තිබූ ආවේක්ෂණ කැමරා දර්ශන සහ ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ දී එම ස්ථානයේ සිටි නිලධාරීන්ගේ තොරතුරු මත එම සිසුන් දස දෙනා හඳුනාගෙන වහාම ක්‍රියාත්මක වන පරිදි එම සිසුන් දස දෙනාගේ ශිෂ්‍යභාවය තාවකාලිකව අහෝසි කිරීමට පියවර ගෙන ඇත.

සිද්ධියට සම්බන්ධ සිසුන් තවදුරටත් හඳුනා ගනිමින් සිටින බව පැවසූ මහාචාර්යවරයා ඉදිරියේදී තවත් සිසුන් පිරිසකගේ ශිෂ්‍යභාවය අහෝසි විය හැකි බව ද සඳහන් කරයි.

එසේ ශිෂ්‍යභාවය අහෝසි කළ සිසුන් ශාස්ත්‍ර පීඨය සහ විද්‍යාපීඨයේ අධ්‍යාපනය හදාරන සිසුන් බව ද මහාචාර්ය ටෙරන්ස් මධුජිත් පැවසීය.

ආහාරයට සුදුසු යැයි මුද්‍රා කර ඇති මස් පමණක් මිල දී ගන්න - මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය

මේ දිනවල පවතින සීත කාලගුණය හේතුවෙන් තහවුරු කර නොගත් රෝගයකින් ගවයින් ඇතුළු සත්වයින් මිය යාමේ තර්ජනයක් පවතින බැවින් මහජන සෞඛ්‍ය පරීක්‍ෂකයින් විසින් කරන ලද පෙර හා පසු පරීක්‍ෂාවෙන් පසු ආහාරයට සුදුසු බව දැක්වෙන මුද්‍රාව ඇත්නම් පමණක් මස් මිල දී ගන්නැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පවසයි.

මාධ්‍යවේදීන් මේ දිනවල අධික සීතල හේතුවෙන් මිය ගියා යැයි කියන සත්වයින් පිළිබඳව නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවසීය.

“පසුගිය දෙදින තුළ දිවයිනේ බොහෝ නගරවල ගව ඝාතකාගාර හා මාංශ වෙළෙඳසැල් අපි සුපරීක්‍ෂාවට ලක් කළා. එහිදී බොහෝ වෙළෙඳුන්ට නඩු පවරන්නත් සිදු වුණා. ඒ අනුව කුමක් හෝ රෝගයකින් මියගිය සතෙක් මස් පිණිස ආහාරයට ගැනීම ඉතා ම අවදානම් සහිත තත්ත්වයක් බව මහජනතාවට අනතුරු අඟවන්න අවශ්‍යයි. මියගොස් තිබෙන රෝගය හඳුනා ගෙන නොමැති බරපතළ රෝගයක් විය හැකි අතර එය මිනිසාගේ ආහාරයට සුදුසු නොවන්නට තිබෙන ඉඩකඩ වැඩියි.

එමෙන් ම අපි සත්ව ඝාතන සිදු කරන අයගෙනුත් ඉල්ලන්නෙ ගෝ ඝාතක පනත ප්‍රකාරව ම සතුන් ඝාතනය කිරීම කළ යුතුයි. පනත උල්ලංඝණය කිරීම ත් දඬුවම් ලැබිය හැකි වරදක්. එමෙන් ම මිය ගොස් සිටින සතුන්ගේ සිරුරු මස් සඳහා සූදානම් නොකරන ලෙස ද මස් ව්‍යාපාරයේ යෙදෙන්නන්ගෙන් ඉතා දැඩිව ඉල්ලා සිටින අතර ම දිවයිනේ සියලු ම ස්ථාන නිරන්තරයෙන් පරීක්‍ෂාවට ලක් කරනවා. එකී පනත් උල්ලංඝණය කරන යමෙක් වෙතොත් ඒ අවට එරෙහිව ගෝ ඝාතන පනත මෙන් ම ආහාර පනත ප්‍රකාරව නීතිමය ක්‍රියාත්මක කරනවා යැයි පැවසීය.”

මව්බිම

ව්‍යවස්ථා සභාවේ සුළු පක්ෂ නියෝජනය වෙනුවෙන් කඹ ඇදිල්ලක් !

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සඳහා සුළු පක්ෂ නියෝජිතයා පත් කිරිම සම්බන්ධයෙන් මෙතෙක් එකඟතාවක් ඇතිකර ගැනිමට පක්ෂ නායකයන් අපොහොසත් වී ඇති බව වාර්තා වෙයි .

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට සුළු පක්ෂ නියෝජිතයකු තෝරාගැනීම සඳහා පැවති අදාළ පක්ෂ නියෝජිත රැස්වීමේදී උදය ගම්මන්පිල සහ ධර්මලිංගම් සිද්ධාර්ථන් යන මන්ත්‍රීවරුන්ගේ නම් යෝජනා වී ඇත

නමුත් ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන ඇතුළේ අවස්ථාව තිබෙන්නේ එක් නියෝජිතයකු සඳහා පමණි. එනම් ව්‍යවස්ථාවේ සඳහන් වන්නේ අදාළ සුළු පක්ෂ මන්ත්‍රීන්ගේ එකඟතාවෙන් සුදුස්සෙකු පත්කර ගතයුතු බවය.

ඒ අනුව පවත්නා තනි පුරප්පාඩුව වෙනුවෙන් මොවුන් දෙදෙනාගෙන් කෙනෙකු තෝරා ගැනීමට පක්ෂ නායකයන් අපොහොසත් වී තිබේ.

මේ හේතුව නිසා එම නියෝජිතයා පත් නොකර එළැඹෙන සතියේ ව්‍යවස්ථා සභාව ස්ථාපිත කිරීමේ සූදානමක් ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි .

අයිස් ජාවාරම 25ක් අතේ : අයිස් වර්ග 370ක් මාර්කට් එකේ !

විදේශගතව සිටින ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 25 දෙනකු පමණ ශ්‍රී ලංකාවේ අයිස් මත්ද්‍රව්‍ය සැපයුම් ජාලය මෙහෙයවන බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පවසයි.

ඩුබායි, පාකිස්ථානය, ඉන්දියාව, ඉතාලිය, ප්‍රංශය, එංගලන්තය යන රටවල මෙම ජාවාරම්කරුවන් ස්ථානගතව ඇතැයි විමර්ශන අංශ දැනටමත් අනාවරණය කරගෙන ඇත.

දැනට ශ්‍රී ලංකාවට අයිස් මත්ද්‍රව්‍ය සැපයුම් කරන ප්‍රධාන මාර්ගය මාලදිවයින ආශ්‍රිත මුහුදු තීරය ඔස්සේ වැටී තිබේ. මේ වනවිට ලැබෙන තොරතුරු අනුව අයිස් ප්‍රවාහනයට ජාවාරම්කරුවන් උපයෝගී කර ගන්නේ කුඩා මාළු බෝට්ටුය.

ජාත්‍යන්තර වශයෙන් කර ඇති පර්යේෂණ අනුව අයිස් මත්ද්‍රව්‍යයේ විවිධ ප්‍රභේද 370ක් පමණ ඇතැයි ආරක්ෂක අංශ හඳුනාගෙන ඇති අතර කලින් හෙරොයින් පානය කළ අයගෙන් 80%ක් පමණ දැනට අයිස් මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහි වී ඇත්තේ මිල අඩුවීම සහ එහි සෙසු මත්ද්‍රව්‍යවලට වඩා සැර අධික වීම නිසා බව මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වැඩිදුරටත් කියයි.

-Deshaya

සජබ සම්මේලනයට ඩලස් සහ ඩිලාන් ගොඩවෙති !

බොරැල්ල කැම්බල් පිටියේ අද (11) පැවැත්වෙන සජබ සම්මේලනය ට පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුමගේ නිදහස මහජන සභාවද එක්ව ඇත .

ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා මෙන්ම ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයා ද නිදහස මහජන සභාව නියෝජනය කරමින් මේ අවස්ථාවට එක්ව තිබේ .

සමගි ජනබලවේගයේ වාර්ෂික සම්මේලනය බොරැල්ල කැම්බල් පිටියේදී පැවැත්වෙන අතර ඒ, සජබ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ගේ ප්‍රධානත්වයෙන් ය.

එළඹෙන පළාත් පාලන මැතිවරණය සඳහා ආරම්භයක් ලෙස පවත්වන වාර්ෂික සම්මේලනයට සියලු මැතිවරණ කොට්ඨාශ නියෝජනය කරමින් පාක්ෂිකයින් දහස් ගණනක් සහභාගි වන බව එම පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර පවසයි .

ඇමති අමරේ කෘෂිකර්මයේ අටක් හතරට බස්සයි !

කෘෂිකර්ම, වනජීවී සහ වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර  කෘෂිකර්ම අමාත්‍යාංශය සතුව ඇති ආයතන අටක් ඒකාබද්ධ කොට ආයතන හතරක් බවට පත් කිරීමට තීරණය කර ඇති බව සදහන්ය.

මෙම ආයතන ඒකාබද්ධ කොට ලබන වසරේ සිට එක් සභාපතිවරයෙක් සහ අධ්‍යක්ෂ මණ්ඩලයක් යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිත බවත් වාර්තා වෙයි .

මෙම ආයතනවල වියදම සියයට 50කින් පමණ අඩු කිරීම මේ හරහා ඇමතිවරයා අපේක්ෂා කරන බවත් වැඩිදුරටත් වාර්තා වෙයි.

රට යළි ගොඩනැඟීමේදී තාරුණ්‍යයේ සහභාගීත්වය ඉතා වැදගත් - ජනපති

වත්මන් ගැටළුවලට විසඳුම් සොයමින් රට යළි ගොඩනැඟීමේ දී තාරුණ්‍යයේ සහභාගීත්වය ඉතා වැදගත් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කළේය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ දිස්ත්‍රික් 306 C – 2 ලියෝ සමාජය සඳහා දීපව්‍යාප්තව සාමාජිකයන් 6,500ක් බඳවා ගැනීම සහ ලියෝ දිනය වෙනුවෙන් අද (11) පෙරවරුවේ කොළඹ රාජකීය විද්‍යාලයේ පැවති උත්සවය අමතමිනි.

රට ආර්ථික සහ දේශපාලන වශයෙන් ඉතා ගැටළුකාරී තත්ත්වයක පැවති අවස්ථාවකදී වුවද තමා රට භාරගැනීමට ඉදිරිපත් වූයේ තරුණ තරුණියන්ට යහපත් අනාගතයක් ගොඩනඟාදීමට බව පැවසූ ජනාධිපතිවරයා අප තීන්දු තීරණ ගත යුත්තේ අද ගැන සිතා නොව තවත් වසර 25ක ඉදිරිය ගැන සිතා බව පැවසීය.

සංවර්ධිත රටක් කරා යන ගමනට තරුණ තරුණියන් දායක කර ගැනීමේ වැඩපිළිවෙල මේ වන විටත් රජය අරඹා ඇති බව පැවසූ ජනාධිපතිවරයා පාර්ලිමේන්තු අධීක්ෂණ කමිටුවලට තරුණ නියෝජිතයින් පත් කිරීමට යෝජනා කර තිබෙන බව ද සඳහන් කළේය.

2023 වසරට යෙදෙන 75 වන නිදහස් දින සැමරුමට සමගාමිව “ජාතික තරුණ වේදිකාවක්" නිර්මාණය කර තිබෙන බවත්, සිංගප්පූරුව, ජපානය, චීනය සහ කලාපයේ අනෙකුත් සංවර්ධිත රටවල ආර්ථිකය මෙන් දියුණු ආර්ථිකයක් කරා අප යන ගමනට අත්වැලක් වන අයුරින් එම තරුණ වේදිකාව පැවැත්විය යුතු බවත් සඳහන් කළ ජනාධිපතිවරයා ඊට සහභාගී වන ලෙසද තරුණ තරුණියන්ට ආරාධනා කළේය.

ගෝලීය අර්බුදයක් වී ඇති දේශගුණික විපර්යාස ගැටළු අවමකර ගැනීම සඳහා තරුණ තරුණියන්ගේ අර්ථවත් අදහස් ලබාගැනීම සඳහා දියත් කළ දේශගුණික විපර්යාස වැඩසටහන සමඟ එක් වන ලෙස ද ජනාධිපතිවරයා ලියෝ සාමාජිකයන්ට ආරාධනා කර සිටියේය.

දිස්ත්‍රික් 306 C – 2 ලියෝ සමාජ විසින් සංවිධානය කරන ලද ප්‍රදර්ශනය නැරඹීමට ද එක් වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ කොළඹ ආනන්ද විද්‍යාලයේ සිසුන් විසින් නිර්මාණය කර තිබු “බීජ පත්‍රිකාව" ඇගයීමට ලක් කළේය.

306 C – 2 ලියෝ සමාජයේ දිස්ත්‍රික් සභාපති ලියෝ ඉඳුනිල් උදාර පලිහවඩන විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත සහ ජාතික ආරක්‍ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක වෙත සමරු තිළිණ පිළිගැන්වූ අතර ලියෝ සාමාජිකයන් සඳහා සම්මාන ප්‍රදානය කිරීම ජනාධිපතිවරයා අතින් සිදු විය.

කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක, සිංහ ලසන්ත ගුණවර්ධන, සිංහ සමාජයේ දිස්ත්‍රික් අධිපති සිංහ බෙනට් ගම්ලත්, කොළඹ රාජකීය විද්‍යාලයේ විදුහල්පති එම්.වී.එස්. ගුණතිලක, ප්‍රධාන ශිෂ්‍ය නායක කවිෂ රත්නායක ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

IMG 20221211 WA0006

චෙන්නායි - යාපනය අතර යළිත් ගුවන් ගමන්.....

යාපනය සහ චෙන්නායි අතර ගුවන් ගමන් වසර දෙකකට පසුව යළි හෙට  සිට ආරම්භ කරන බව වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය පවසයි .

ඒ අනුව චෙන්නායි ගුවන් තොටුපලේ සිට යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපල දක්වා මගීන් රැගත් ගුවන් යානයක් හෙට පෙරවරු 10 : 50ට යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙත ළඟා වන බව යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපළ මෙහෙයුම් කළමනාකාර ලක්ෂ්මන් වන්සේකර  පැවසීය .

2019 දී චෙන්නායි සහ යාපනය අතර ගුවන් ගමන් ආරම්භ කළ ද කොරෝනා වසංගත ව්‍යාප්තියත් සමග දෙරට අතර ගුවන් ගමන් තාවකාලිකව අත්හිටවනු ලැබීය .

යාපනය ගුවන් තොටුපලේ ගුවන් ගමන යළි ආරම්භ වීමත් සමග ගුවන් තොටුපලෙහි රේගු කටයුතු ස්ථාපිත කෙරෙන අතර ඒ සඳහා 14 දෙනෙකු ගෙන් සමන්විත රේගු කාර්ය මණ්ඩලයක් අද  කොළඹින් පිටත්ව ගිය බව නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක (ප්‍රාදේශීය සේවා) ඩී.ඒ.එම්.ආර්. සාගර පැවසීය .

නලින් ඩයනට සිදුකළ අපහාසය ගැන දීප්තිගෙන් ප්‍රතිචාර !

ඩයනා ගමගේ මන්ත්‍රීවරිය සම්බන්ධයෙන් සිදුකළ අපහාසාත්මක ප්‍රකාශය හෙළාදකින බව සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පවසයි.

ඔහු මේ බව සඳහන් කර ඇත්තේ සමාජ මාධ්‍යවෙත විඩියෝවක් නිකුත් කරමිනි.

එහිදී සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න විසින් සමගි ජන බලවේගය පක්ෂ විනය පිළිබඳ ප්‍රශ්නකර සිටියේය.

'අපි දැක්කා ලංකාවේ අයවැය විවාදයට පස්සේ අයවැය තුන්වැනි වරටත් සම්මත කරපු ඒ පාර්ලිමේන්තු අවස්ථාවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ පක්ෂයේ පාර්ලිමේන්තුවේ කණ්ඩායම් නායකයෙක් වන නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා ඩයනා ගමගේ මන්ත්‍රීවරිය සම්බන්ධයෙන් ඉතාම අපහාසාත්මක ප්‍රකාශයක් කරා.

මම දැක්කේ නෑ ඊට පස්සේ පත්තරේ හරි කොහේ හරි සිදුවීම සම්බන්ධයෙන් ඒ පිළිබඳව හෙළා දැකීමක් කරලා තිබෙනවා. ඒ විතරක් නෙමෙයි ජලනි ප්‍රේමදාස මැතිනියත් සාමාන්‍යයෙන් feminist කෙනෙක් හැටියට තමයි අපි දන්නේ. ස්ත්‍රීවාදිනියක් හැටියට අපි දැක්කෙ නෑ ඇයගෙනුත් ඒ සම්බන්ධ විවේචනයක්. ඒ නිසා පක්ෂයක් හැටියට සමබිම පක්ෂයේ අපි ඒ නලින් බණ්ඩාර පිරිමියෙක් හැටියට, සාමාන්‍යයෙන් කුරුණෑගල පිරිමින්ට තියෙන දෙයක් තමයි එක අන්තයකට යනවා එහෙම නැත්තං තවත් අන්තයකට යනවා. හිංසනීය අන්තය සහ වන්දනීය අන්තය.

සමහර විට පිරිමි ගැහැණු ගන්නකොට පිරිමියෙකුගේ පැත්තෙන් ගත්තාම පිරිමියකු එක්කෝ වන්දනීය පැත්තකට යනවා එහෙම නැත්නම් හිංසනීය පැත්තකට යනවා. එතකොට සජබෙ මේ ගිහිල්ලා තියෙන්නේ හිංසනීය පැත්තට. ඒ කියන්නේ සමගි ජන බලවේගය ස්ත්‍රීන්ට සලකන විදිහ.

මතුපිටින් කොයිතරම් කතා කරත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර කොයිතරම් කාන්තා අයිතිවාසිකම් ගැන කතා කරත්. පක්ෂයේ විනයක් නැහැ ගෑහැනු සම්බන්ධයෙන් කතා කරන විට. ඒක තමයි අපිට පේන්නේ. අපි ඒක හෙළා දැකිය යුතුයි.

අපි අහන්න ඕනේ ඒ පක්ෂයේ අපේ යාලුවෝ ඉන්නවා එයාලගෙන් මේ සම්බන්ධව කතා කරන්නෙ නැද්ද කියලා. මොකද ඒක ලිංගික වශයෙන් ඉතාම හානිකර දෙයක්. ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවිධානය තියනවා මානව හිමිකම්, කාන්තා හිමිකම් පිළිබඳ සංවිධාන තියෙනවා. INGO තියෙනවා NGO තියෙනවා . අපි බලා සිටිනවා මේ සම්බන්ධයෙන් හෙළා දැකීමක් හෝ විවේචනයක්.

ස්ත්‍රීන්ට මෙහෙම අපහාස කිරීම අසමානතාවය මතු කිරීම සහ මුඛයෙන් වචනවලින් ප්‍රචණ්ඩත්වය ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් සමබිම පක්ෂයේ අපි ඒ නලින් බණ්ඩාර අශීලාචාර කුරුණෑගල පිරිමියා කිව්ව දේට විරෝධය පානවා.

Page 166 of 386