V2025

පුවත්

සෞඛ්‍ය පද්ධතියට සෞඛ්‍ය පද්ධතියෙන්ම චෝදනාවක් !

අද වන විට මත්ද්‍රව්‍ය උවදුර විසින් සෞඛ්‍ය පද්ධතියම ගිල ගෙන ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංසදය සඳහන් කරයි.

සංගමයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මේ බව සඳහන් කර සිටියේ කොළඹදී මාධ්‍ය හමුවක් අමතමින්ය .

අද සෞඛ්‍ය සේවකයන් රාජකාරි කරන්නේ මත්ද්‍රව්‍ය භාවිතා කිරීමෙන් පසු බවත් ඔවුන් රෝහල් තුළ මත්ද්‍රව්‍ය වෙළඳාම ද පටන් ගෙන ඇති බවත් එහිදී ඔහු පැවසීය .

මෙසේ මත්ද්‍රව්‍යවලට වැඩිපුරම ඇබ්බැහි වී සිටින්නේ රෝහල්වල කනිෂ්ඨ සේවකයන් බවත් ඔවුන් දේශපාලනඥයන්ගෙන් රැකියාව ලබා ගත් පිරිස් බවත් තවදුරටත් කියා සිටියේය.

මෙම උවදුර මැඩලීමේ සහාය පොලිසියෙන් ඉල්ලා සිටිය ද පොලීසිය ද සිටින්නේ මෙම උවදුර නොමැඩලීමේ ප්‍රතිපත්තියක බව ද රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන වැඩිදුරටත් පැවසීය .

විජේවීරගේ පුතාගේ පක්ෂය : මැතිවරණ කොමිසම පිළිගෙන !

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීරගේ පුත්‍රයා වන උවිදු විජේවීර විසින් නව දේශපාලන පක්ෂයක් පිහිටුවා ඇති අතර ඊට මැතිවරණ කොමිසමේ ලියාපදිංචිය හිමිව ඇත.

එම පක්ෂය ‘දෙවන පරපුර’ ලෙස නම් කර තිබේ.

වාර්තා වන ආකාරයට දෙවන පරපුර  පක්ෂය ඇතුළු නව පක්ෂ හතක් ලියාපදිංචි පක්ෂ ලෙස පිළිගැනීමට මැතිවරණ කොමිසම තීරණය කර ඇත.

ඒ අනුව මෙරට ලියාපදිංචි දේශපාලන පක්ෂ සංඛ්‍යාව 79 දක්වා ඉහළ යයි.

රහස් රැකගන්න යුද්ධ හමුදාවෙන් ජනපතිට බෑගයක්

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරුවන් විසින් නිර්මාණය කරන ලද විශේෂ බෑගයක් අද ( 2) ජනාධිපතිවරයා වෙත පිළිගන්වා තිබේ.

ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු මෙම බෑගයක් (Attaché Case) ජනාධිපතිවරයාගේ ලිපි ලේඛන රැගෙන යාම සඳහා නිර්මාණය කර ඇත.

යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ විසින් අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී එය ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත පිළිගන්වනු ලැබ තිබේ.

ලෝක නායකයන් සංචාරයන්හි නිරත වන විට වැදගත් හා රහසිගත ලිපි ලේඛන රැගෙන යාමට සුවිශේෂ බෑගයක් භාවිත කිරීම සම්ප්‍රදායකි.

ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව බෑගයක් නිර්මාණය කිරීමේ කටයුත්ත ජනාධිපතිවරයා විසින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට පවරනු ලැබුවේ මෙම ලෝක සම්ප්‍රදාය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙමිනි.

ඉඩම් හෙක්ටෙයාර් 8000ක් මොනරාගල ගොවි ජනතාවට......

මොනරාගල, කොටියාගල, කැබිලිත්ත ප්‍රදේශයේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතු ඉඩම් හෙක්ටෙයාර් 8000ක් පමණ නැවත වන වගාව සඳහා වෙන් කර තිබේ.

මොනරාගල, කොටියාගල, කැබිලිත්ත ප්‍රදේශයේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතු නැවත වන වගාව සඳහා වෙන් කර ඇති ඉඩම් ඉදිරියේදී ඇතිවිය හැකි ආහාර අර්බුදයට මුහුණ දීම සඳහා වගාකටයුතුවලට යොදා ගැනීම පිළිබඳ ජාතික අරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායකගේ ප්‍රධානත්වයෙන් ඊයේ (01) ජනාධිපති කාර්යාලයේ දී පැවති සාකච්ඡාවකදී මෙම තීරණ ගෙන ඇත.

වන වගාව සඳහා පැළ සූදානම් කර ඇති හෙක්ටෙයාර් 3000ක භූමි ප්‍රමාණය තුළ කඩිනමින් වන වගා කටයුතු ආරම්භ කිරීමටත්, ඉතිරි හෙක්ටෙයාර් 5000ක පමණ භූමි ප්‍රමාණය නැවත වන වගාවට අවශ්‍ය පහසුකම් සූදානම් කරන තුරු, වගා කටයුතු සඳහා තාවකාලික පදනම මත ගොවි ජනතාවට බෙදා දීම පිළිබඳ ද එහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක්ව ඇත.

එමෙන්ම ගව පාලනය සඳහා යම් ඉඩම් ප්‍රමාණයක් තාවකාලිකව නිදහස් කිරීමට ඇති හැකියාව සම්බන්ධයෙන් ද මෙම සාකච්ඡාවේදී අවධානය යොමුව තිබේ.

මෙම කටයුතු සිදු කිරීමේදී මතුවිය හැකි නීතිමය ගැටලු නිරාකරණය කර ගැනීමට නීතිපතිවරයාගේ උපදෙස් ලබා ගන්නා ලෙස වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් දී ඇති ජනාධිපති උපදේශක සාගල රත්නායක, ඒ සඳහා අවශ්‍ය සහාය ලබාදෙන ලෙස සියලු රේඛීය ආයතන ප්‍රධානීන්ට දැනුම් දී ඇත.

තිළිණිගෙන් ලයිට් බිලටත් පොල්ලක් !

මහා පරිමාණ මූල්‍ය වංචාවක් හේතුවෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තිකෝ සමූහ ව්‍යාපාර හිමිකාරිය වන තිලිනි ප්‍රියමාලි යන අයගේ නිවසේ විදුලිය අද (02) දින සිට විසන්ධි කර ඇතැයි විදුලිබල ආරංචි මාර්ග වලින් පැවසේ.

මාස 4කට අදාල හිඟ විදුලි බිල නොගෙවීම හේතුවෙන් මෙලෙස විදුලිය විසන්ධි කර ඇතැයි එම ආරංචි මාර්ගවලින් සඳහන් කරයි.

මෙලෙස විදුලිය විසන්ධි කර ඇත්තේ වත්තල ඇවරිවත්ත එඩ්වඩ් පටුමගේ පිහිටි තිලිනි ප්‍රියමාලි යන අය සහ ඇගේ පවුලේ අය කුලී පදනම මත ජීවත්ව සිටි නිවසේ ය.

ෆිච් රේටින්ග්ස්වල ශ්‍රී ලංකාව තවත් පහළට

ශ්‍රී ලංකාවේ දිගුකාලීන දේශීය විදේශ විනිමය නිකුතු ශ්‍රේණිය CCC සිට CC දක්වා පහළ දැමීමට ෆිච් රේටින්ග්ස් තීරණය කර ඇත.

එසේම ඉහළ පොලී හා දැඩි දේශීය මූල්‍යන කොන්දේසි නිසා දේශීය ණය පැහැරහැරීමේ අවදානමක් පැවතිය හැකි බවද සඳහන් කර තිබේ.

කොවිඩ් වසංගතය ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට දැඩි බලපෑමක් එල්ල කළ අතර එහි බලපෑම ශ්‍රී ලංකාවේ මූල්‍ය කැළඹීමට ලක් කර ඇත.

එජාපයේ සම්මුඛ පරීක්ෂණ ඇරඹේ !

එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායකවරුන් පත් කිරීමේ සම්මුඛ පරීක්ෂණ අද (01) සිරිකොත පක්ෂ මූලස්ථානයේදි සාර්ථකව පැවැත්වුණු බව එම පක්ෂය පවසයි.

වැඩිදුරටත් වාර්තා වන ආකාරයට ආසන සංවිධායකධූර වෙනුවෙන් ඉල්ලුම්පත් ඉදිරිපත් කළ වෛද්‍යවරු, නීතිඥවරු, විද්වතුන් පළාත් සභා හා පළාත් පාලන ආයතන නියෝජිතයන් ගණනාවක් සම්මුඛ පරීක්ෂණ මණ්ඩල ඉදිරියේ පෙනී ඇත.

නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, උප නායක අකිල විරාජ් කාරියවසම්, සභාපති වජිර අබේවර්ධන, මහලේකම් පාලිත රංගේ බණ්ඩාර, ජාතික සංවිධායක සාගල රත්නායක, නවීන් දිසානායක, ලක්ෂ්මන් විජේමාන්න හා කරුණාසේන කොඩිතුවක්කු යන අයගේ ප්‍රධානත්වයෙන් යුතු සම්මුඛ පරීක්ෂණ මණ්ඩල මගින් මෙම සම්මුඛ පරීක්ෂණ පැවැත්වූ බවත් සම්මුඛ පරීක්ෂණ ඉදිරියේ දි තවදුරටත් පැවැත්වීමට නියමිත බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.

View the embedded image gallery online at:
http://newstube.lk/news?start=3006#sigProId80fe74291e

දේශීය ආදායමේ බිලියන 7900ක් වතුරේ !

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කියන්නේ රටේ ආදායම් එකතු කරන ආයතනය. එතන ඉන්නේ අපි වගේ කියවිලි කාරයොයි ලියවිලි කාරයෝයි නෙවෙයි. සල්ලි හොයන්න පුලුවන් වැඩ්ඩෝ..

ඒක හින්ද නේ උන්දැලාට හෙන පඩි පැකට් ගෙවන්නෙ.

ඒ උනාට පහුගිය දවස් වල කෝපා එකේදී ලොකු ප්‍රශ්නයක් මතුවුණා. ප්‍රශ්නය තමයි ලැබෙන්න තියෙන ආදායම් ලබාගන්න දේශීය ආදායම් එක උත්සාහ කරල නෑ...

පොඩ්ඩක් එහෙම නෙමෙයි... අවුරුදු 5ක කාලයක් ඇතුළත රුපියල් බිලියන 7900ක්...

මෙහෙම වෙන්න ගොඩක් හේතු තිබුණා. එක හේතුවක් තමයි ආදායම් බදු එකතු කරන්න පාවිච්චි කරන රැම්ස් කියලා කියන මෘදුකාංගය හරියට වැඩ නොකිරීම. ඒකත් බිලියන 10 ක් වියදම් කරලා සිංගප්පූරුවෙන් ලබාගත් මෘදුකාංගයක් කියලයි කියන්නේ.

රටේ ආදායම් අඩු වෙන්න ඔය වගේ හේතු ගොඩක් තියෙනකොට, විගණකාධිපති ඒ ගැන ප්‍රශ්න, කරලා දේශීය ආදායම් එකට කිව්වේ මේ ගැන පුළුල් වාර්තාවක් දෙන්න කියලයි...

වාර්තාව දෙන එක මෙච්චර දවස් පරක්කු වෙලා තිබුනේ.

බදාදා හවස 06:00 ට රාජ්‍ය මුදල් ඇමති ඇමැති රංජිත් සියඹලාපිටිය ෆයිල් ගොඩකුත් අරගෙන සභා ගැබට දිව්වේ, ආන්ඩුවේ ආදායම් අඩු වීම ගැන තියන විවාදයකට සම්බන්ධ වෙන්න. එදා කෝපා එකේදි මතුවුණ බිලියන හත්දාස් නවසීයෙ ප්‍රශ්නේ නිසැකවම මෙතනදිත් මතු වෙන නිසා, ඔහු විගණකාධිපති එදා ඉල්ලපු වාර්තාවත් සූදානම් කරල අරගෙනයි ගියේ...

කොහොම වුණත් ඒ විවාදය ඒ තරම් උණුසුමින් ඇදිලා ගියේ නෑ. ඒ වෙලාවේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු ඔක්කොම වගේ වෙන මොකක්දෝ වැඩකට යන්න සූදානම් වුණා...

විපක්ෂයේ ඉන්න සමහර අය මේක ගැන දැනගෙන හිටියේ නෑ . ආණ්ඩුවේ කට්ටිය කිව්වේ පාටියකට යන්න තියෙනවා කියලා. හැබැයි ඒ පාටිය මොකක්ද කියලා කවුරුවත් කිව්වේ නෑ.

ඇත්තම කියනවා නම් ඒක පාටියකට වඩා ඩිනර් එකක් කිව්වට කමක් නෑ. තිබුනේ අරලියගහ මන්දිරයේ...

හවස විවේකයක් ලැබුණු වෙලාවේ චාමර සම්පත්ල , ජගත් පුෂ්පකුමාරලා , නලින් ප්‍රනාන්දුලා එකට වාඩි වාඩි වෙලා කතා කර කර හිටිය හවස තියෙන හමුව ගැන. මේ කතාවට තව කීප දෙනෙක් වට වුණා... අගමැති දිනේෂ් ගුණවර්ධන හිටිය ගමන් මේ වගේ පාටියක් දාන්න හේතුව මොකක්ද කියලා සමහරු හෙව්වා.

"බොන්නත් දෙයිද... අරලිය ගහ මන්දිරයට ගිහින් හුඟ කාලෙකින් බිව්වෙ නෑ..."

"ඔවු ඔව්... කාලයක් මහින්ද මහත්තයා ඔතන ඉද්දි, හැමදාම ඉතින් උඹලට රජ මඟුල්.."" කියමින් මන්ත්‍රීවරයෙක් හිනා උනා.

කොහොම වුණත් මන්ත්‍රීවරු වෙනදටත් කලින් පාර්ලිමේන්තුවෙන් පිට වෙලා ගියේ බොහෝම ඉක්මනින් දිනේෂ් අගමැතිගේ රාත්‍රී භෝජන සංග්‍රහයට සහභාගී වෙන්න බලාගෙන....

දේශපාලන වාර්තාකරු

කළු ගංතොට සිංහයා : පීල්ල මාරුකරන්න ගිහින් !

කළු ගංතොට සිංහයා වගේ ඉන්න කෙනා මේ දවස්වල එයාගේ කණ්ඩායම වෙනුවෙන් වැඩිය පෙනී සිටින්නෙ නැතිලු.

මොකද එයා ටිකක් එතනින් ඈත්වෙලාලු ඉන්නේ. හේතුව එයා ඉන්න පැත්තේ නායක තැනගේ වැඩ ටිකක් අල්ලන්නේ නැති නිසා.

කොහොම වුණත් මේ සම්බන්ධයෙන් හොයලා බලද්දි තමයිලු ආරංචිය ආවේ. මෙයාටත් ලොකු ලොකු තැන්වලින් ඇමැති පට්ටමක් ගන්න කියලා ආරාධනා ඇවිල්ලලු. ඉතින් මෙයත් පීල්ල මාරු කරන්න කතා කරල තිබෙන බව සමහරු කියනව.

හැබැයි පීල්ල මාරුවෙන්න කතා කළාට වැඩේ ඉක්මනින් වෙන පාටක් නෑලු. මොකද මෙයාට පොහොට්ටුවේ කට්ටිය හීනි බාල්දියක් පෙරළලා. ඉතින් ඒ නිසා එයාගේ වැඩෙත් දැනට කොට උඩලු. හැබැයි තවම එයා අර කැබිනට් පට්ටම් ලැයිස්තුවේ ඉන්නවා කියල‍යි ආරංචිය.

දේශපාලන වාර්තාකරු

යුද්ධ හමුදා විශ්‍රාමිකයින්ගේ රැකියා බැංකුවට නව වෙබ් අඩවියක් !

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සේවයකර විශ්‍රාම ලබන වෘත්තීය දක්ෂතාවලින් පරිපූර්ණ යුද්ධ හමුදා සාමාජිකයින්ට තම සුදුසුකම් අනුව රැකියා අවස්ථා සොයාගැනීම පහසු කිරීම සඳහා යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරල් විකුම් ලියනගේගේ සංකල්පයක් අනුව නිර්මාණය කළ නව වෙබ් අඩවිය යුද්ධ හමුදාධිපතිතුමන් විසින් පසුගිය දා එළිදැක්වීය.

වෘත්තීය විශේෂඥතාවයෙන් හෙබි යුද්ධ හමුදා සාමාජිකයින් විශ්‍රාම යෑමෙන් පසුව වෙනත් වෘත්තියක නිරතවීමට බලාපොරොත්තුවන්නේ නම් ඔවුන් මෙම වෙබ් අඩවිය පරිශීලනය කර තමන්ට ගැලපෙන වෘත්තියක් සොයාගැනීමේ හැකියාව හිමිවේ.

ප්‍රධාන සංඥා නිලධාරි මේජර් ජෙනරල් ලලිත් හේරත් සහ තොරතරු තාක්‍ෂණ අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් සජිත් ලියනගේ ගේ මඟපෙන්වීම යටතේ තොරතරු තාක්‍ෂණ අධ්‍යක්‍ෂ මණ්ඩලය වෙතින් මෙම නව වෙබ් අඩවිය නිර්මාණය කරනු ලැබීය. දිවයින පුරා ස්ථාපිත ප්‍රධාන පෙළේ සමාගම් 13 ක් මේ වනවිට මෙම නව වෙබ් අඩවිය සමඟ ලියාපදිංචි වී ඇත.

(දිලංක ගුණතිලක)

කාන්තාවන් සවිබලගැන්වීම වෙනුවෙන් පනතක් පාර්ලිමේන්තුවට - ජනපති

ස්ත්‍රී පුරුෂ සමාජභාවය, සමානාත්මතාවය සහ කාන්තාවන් සවිබලගැන්වීම පිළිබඳ පනතක් ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත් එම පනත කෙටුම්පත් කිරීම සඳහා කාන්තා මන්ත්‍රීවරියන්ගේ සංසදයට තමා උපදෙස් දී ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

පාර්ලිමේන්තුවේ පමණක් නොව, අනෙකුත් අංශවලද කාන්තා නියෝජනය වැඩි කළ යුතු බවත් රාජ්‍ය අංශය මෙන්ම පෞද්ගලික අංශය ඒ සම්බන්ධව අවධානය යොමු කළ යුතු බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ අද (01) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.

මෙරට පළමු මන්ත සභාවේ කාන්තා නියෝජනය 2%ක් වූ බවත් සර්ව ජන ජන්ද බලය හිමිවී වසර 91ක් ගතව තිබුණත් වත්මන් පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය 5.3%ක් පමණක් බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේද පැවසීය.

මට භාර අමාත්‍යාංශය ගැන අද මම කතාකරන්න බලාපොරොත්තු වෙනවා. අපේ පාර්ලිමේන්තු කාන්තා සංසදය විසින් ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයට එරෙහි දින 16ක ක්‍රියාකාරිත්වයක් ආරම්භ කර තිබෙනවා. ඒ ගැන අපි ප්‍රශංසා කළයුතුයි.
1931තමයි මේ රටට සර්වජන ඡන්ද බලය හිමි වුණේ. පළමු රාජ්‍ය මන්ත්‍රණ සභාවේ කාන්තාවන් හිටියේ නැහැ. ඩොනමොර් කොමිසමෙන් කාන්තාවන්ට ඡන්දය ඉල්ලන්න කියලා කිව්වම අපේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මැතිණයගේ මිත්තනිය එදා ඡන්දය ඉල්ලුවා. ඒ ඡන්දයෙන් එක කාන්තාවක්වත් තේරි පත් වුණේ නැහැ.

මාස 08ක්,09ක් යනකොට අපේ මුත්තා වන ජේ.එච්. මීදෙණිය අධිකාරම්තුමාගේ මරණයෙන් පස්සේ මොළමුරේ මැතිණිය පත් වුණා. එතකොට පළමු වතාවට විරුද්ධ පක්ෂයෙන් ආවෙත් කාන්තාවක්. ඒ ෆ්ලොරන්ස් සේනානායක. එතකොට එදා නියෝජිතයන් 51න් එක කාන්තා නියෝජනයක් තිබුණා. ඒ කියන්නේ ඒ සභාවේ 2%ක නියෝජනයක්.

සර්ව ජන ඡන්දයෙන් අවුරුදු අනූ එකකට පස්සෙ තමයි මම අද කතා කරන්නේ. අද අපේ කාන්තා මන්ත්‍රීවරියන් 12 දෙනෙක් සිටිනවා. ඒ කියන්නේ 5.3%ක නියෝජනයක්. වසර 91ක් තුළ අපි 2%ක ප්‍රමාණය 5%ක් බවට පමණයි පත්කරගෙන තිබෙන්නේ.

ආණ්ඩු පක්ෂයේ සිටියත්, විපක්ෂයේ සිටියත් අපි සියලුදෙනා පිළිගත යුතුයි අපිට කාන්තා නියෝජනය වැඩිකරගන්න නොහැකි වුණා කියලා. එදා අපේ කාන්තා නියෝජනය 2%ක්ව තිබූ අවස්ථාවේ එක්සත් රාජධානියේ පාර්ලිමේන්තුවේත් 2%ක කාන්තා නියෝජනයක් තිබුණා කියලා මම හිතන්නේ නැහැ. අතළොස්සයි හිටියේ. ඒත් අද කැනඩා පාර්ලිමේන්තුව, ලොග් සභාව දෙස බලන්න. එහෙම නම් කාන්තා නියෝජනය ගැන අපි සියලුදෙනා අවධානය යොමු කළ යුතුයි. අපිට වගකීමක් නෑ කියන්න බැහැ. මමත් ඇතුළුව අපි සියලුදෙනා මේ පාර්ලිමේන්තුවේ හිටියා. 2015දී ගෙන ආ ප්‍රතිපත්තියෙන් පළාත් පාලන ආයතනවල කාන්තා නියෝජනය වැඩි කළා. ඒත් පසුව කළ සංශෝධනය නිසා එය නැති වුණා.

අද අපේ ජනගහණයෙන් 52%ක් කාන්තාවන්. අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් 5.3%ක් කාන්තාවන්. ඒ නිසයි මම පාර්ලිමේන්තු කාන්තා සංසදයට භාර දුන්නේ මේ වැඩකටයුතු ඉදිරියට කරගෙන යාමට. අදාළ රාජ්‍ය අමාත්‍යවරු දෙදෙනා මේ පිළිබඳ කතා කරයි.
ස්ත්‍රී පුරුෂ සමාජභාවය, සමානත්වය සහ කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා වන පනතක් සකස් කිරීම දැන් කරගෙන යනවා. එක පනතක් වෙනුවට පනත් දෙකක් ඉදිරිපත් කරනවා කියලා ඔවුන් මා සමග සඳහන් කළා. එය හොඳ දෙයක්. එහි සම්පූර්ණ වැඩකටයුතු කරගෙන යන්න කියලා මම ඔවුන්ට කියන්න කැමතියි.

දෙවනුව මේ පනතේම සඳහන් වෙලා තිබෙනවා නීති හා ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණය පිළිබඳව. කාන්තා අයිතිවාසිකම්, ස්ත්‍රී පුරුෂ සමාජභාවය හා සමානාත්මතාවය යන කාරණාවලට නායකත්වය ලබාදීම සහ ස්ත්‍රී පුරුෂ සමාජත්වයේ සම සාධාරණත්වය සහ සමානත්වය සම්බන්ධයෙන් වන ගැටලු සඳහා මැදිහත්වීමට පාර්ලිමේන්තුවට අවශ්‍ය නිර්දේශ ලබා දීමට නියෝග සහිතව ජාතික කාන්තා කොමිසමක් යන නාමයෙන් ස්වාධින කොමිසමක් පාර්ලිමේන්තු පනතක් මගින් ස්ථාපනය කිරීමට. ආණ්ඩුව එයට පක්ෂයි කියලා මම කියන්න කැමතියි. මම හිතන්නේ නැහැ විපක්ෂයෙනුත් ඒ සඳහා විරුද්ධත්වයක් තිබෙයි කියලා.

තෙවනුව තිබෙන්නේ ඔම්බුඩ්ස්මන් තනතුරක් ඇති කිරීමයි. මේ පිළිබඳ කටයුතු කිරීමට ඔම්බුඩ්ස්මන් කෙනෙක් නෙවෙයි, ඔම්බුඩ්ස්වුමන් කෙනෙක් පත් කරගන්න වෙයි. අපිට මේ පිළිබඳ කතා කරන්න තිබෙන්නේ පාර්ලිමේන්තුවේ විතරක් නොවෙයි. අපේ වැවිලි සමාගම් දෙස බැලුවොත් එහි සේවය කරන බහුතරයක් කාන්තාවන්. එහි අධ්‍යක්ෂ මණ්ඩලයේ එක කාන්තාවක් ඉන්නවද, අපි මේ පිළිබඳ අවධානය යොමු කළ යුතුයි.

විශේෂයෙන්ම අද ඇඟළුම් කම්හල්වල බහුතරයක් ඉන්නේ කාන්තාවන්. ඇත්ත වශයෙන් කාන්තාවන්ට අධ්‍යක්ෂ මණ්ඩලවල එම වගකීම භාරදිය යුතුයි. මේ වැරුද්ද සිදු කර තිබෙන්නේ පුද්ගලික අංශය පමණක් නොවෙයි. රාජ්‍ය අංශයත් මේ ගැන අවධානය යොමු කළ යුතුයි. මේ පිළිබඳ නීතියක් ගෙනාවොත් ඒ කටයුතු කරන්න පුළුවන්. මෙලෙස විශාල අඩුපාඩුකම් තිබෙනවා. අපි මේවා විසඳිය යුතුයි.

අද අධ්‍යාපන ක්ෂේත්‍රයේ වැඩිපුර ඉන්නේ කාන්තාවන්. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වගේම පරිපාලනයෙත් එහෙමයි. පුද්ගලික අංශයේ එවැනි දියුණුවක් ඇති වී නැහැ. විශ්වවිද්‍යාලයේ වෙන්න පුළුවන් ඉන් පිටත වෙන්න පුළුවන් අද 50% කට වඩා ඉන්නේ කාන්තාවන්.

ඒ වගේම ළමයින් සම්බන්ධ වැඩකටයුතුත් අපි මේ පාර්ලිමේන්තු කාන්තා සංසඳයට භාර දී තිබෙනවා. විශේෂයෙන් මෙහි ප්‍රශ්න ගණනාවක් තිබෙනවා. අද දෙමාපියන් අහිමි අනාථ දරුවන් කී දෙනෙක් සිටිනවද, ඒත් අපි භාරඅරගෙන තිබෙන්නේ ඉතා සුළු පිරිසක්.
කවුරුත් ඒ දරුවන් රඳවා සිටින ස්ථාන දෙස බලන්නේ නැහැ. ඒවායේ තිබෙන්නේ පැරණි ගොඩනැඟිලි. හරියට ගුරුවරු නැහැ. ඒ නිසා නව ළමා ආරක්ෂන සේවයක් මේ රටේ ඇති කළ යුතුව තිබෙනවා. ඒ පිළිබඳවත් මේ සංසදය වැඩකටයුතු කරගෙන යනවා.

අබාධිත පුද්ගලයන් වෙනුවෙන් අපි සළසන සේවාව ප්‍රමාණවත් නැහැ. ඒ වගේම වැඩිහිටි පුද්ගලයන් වෙනුවෙන් ලබාදිය හැකි ප්‍රතිපාදන අඩු වී තිබෙනවා. අපි ණය ගෙවනවා, අපි වැටුප් ගෙවනවා, නැත්නම් අලාභ ලබන සංස්ථාවලට මුදල් යොදවනවා. මෙම තත්ත්වය වෙනස් කිරීමට කටයුතු කිරීම පිළිබඳ ඇතැම් අය දෝෂාරෝපණය කරනවා.

සමාජ සුබසාධනය වෙනුවෙන් අපි යොදවලා තිබෙන මුදල් ප්‍රමාණවත් නැහැ. එම ප්‍රතිපාදන ඉහළ නැංවමිට පෙර විධිමත් ලෙස ආයතන පද්ධතිය ක්‍රියාත්මක විය යුතුයි. නැත්නම් එම මුදල් අපතේ යනවා. ඇත්තටම තිරය පිටුපස සිදුවන්නේ වෙන දෙයක්. තිරය ඉදිරිපස තමයි අපි සිටින්නේ. ආණ්ඩුව, විපක්ෂය හෝ පෞද්ගලික අංශය වෙන්න පුළුවන්, මේ සියලුදෙනා රඟපාන්නේ මේ තීරය ඉදිරිපස. මේ තිරය කවුරුත් විවර කරලා නැහැ. අපි ඒ තිරය ඉවත් කර බැලිය යුතුයි.

මීට පෙර මේ අමාත්‍යාංශය අපි වැදගත් අමාත්‍යාංශයක් ලෙස සැලකුවේත් නැහැ. මේ පළමු අවස්ථාව. විශේෂයෙන් අපේ තලතා අතුකෝරාළ මැතිණිය අධිකරණ ඇමතිවරිය ලෙස කටයුතු කළා. ඒ වගේම පවිත්‍රා මන්ත්‍රිතුමිය සෞඛ්‍ය ඇමතිණිය විදියට කටයුතු කළා. ඒත් වැදගත් අමාත්‍යංශ ගණනාවක් තවම කාන්තාවන් කරන්නේ නෑ.

ඉන්දියාවේ මුදල් ඇමතිවරියක් ඉන්නේ. එතුමිය ඊට පෙර කටයුතු කළේ ආරක්ෂක ඇමතිවරිය විදියට. ලිස් ට්‍රස්ට් කලින් හිටියේ විදේශ ඇමතිවරිය විදියට. අපිත් ඒ තත්ත්වය ඇතිකළ යුතුයි. මම මේ කාන්තා සංසදයට භාරදනවා නීති රීති කෙටුම්පත් සකස් කරලා එවන්න, ප්‍රතිපත්ති එවන්න. අපි මේ කාලය තුළදී ඒ සම්බන්ධව කටයුතු කරමු.

අපිට යුතුකමක් තිබෙනවා කාන්තා නියෝජනය පාර්ලිමේන්තුව තුළ පමණක් නොවෙයි, අනෙක් ක්ෂේත්‍රවලත් ඉහළ නංවන්න. එය සිදුකරන ආකාරය අපි පසුව කතා කරමු.

හැම කෙනාටම සමෘද්ධිය ලබාදෙන්න අපිට මුදල් නෑ . අපි ගන්න ඇතැම් තීරණ ජනප්‍රිය නොවෙන්න පුළුවන්. පාර්ලිමේන්තුවට ශක්තිය තිබිය යුතුයි මේ වැඩ වැඩකටයුතු ඉදිරියට කරගෙන යන්න. සමෘද්ධියට අදාළ වැඩකටයුතු අපේ ඇමතිතුමා කරගෙන යනවා. සමෘද්ධිය හිමි විය යුතු විශාල කොටසක් සිටිනවා. ඇයි අපිට ඔවුන්ට සමෘද්ධිය ලබා දෙන්න බැරි. නුසුදුසු අය ඉවත් කළොත් සුදුසු අයට මේ ප්‍රතිලාභය ලබාදෙන්න පුළුවන්. සමහරුන් වසර 20-30ක් ඔය ලැයිස්තුවේ ඉන්නවා. ඒ නිසා පළමුවෙන්ම සුදුසු අය කවුද, අලුත් අය කොහොමද ඇතුලත් කරගන්නේ කියලා සොයා බැලිය යුතුයි.

සමහරු දේශපාලන කටයුත්තක් ලෙස ඒ දෙස බැලුවත්, සමෘද්ධිය ලබාගත යුතු අයට, පළමුව සමෘද්ධිය ලබාදිය යුතුයි. සුදුසුකම් නැති අය එතනින් ඉවත් කළ යුතුයි. සියලුදෙනාට මේ ප්‍රතිලාභය ලබාදිමට අපිට හැකියාවක් නැති බවත් ප්‍රකාශ කළ යුතුයි. අපි මේ භාරගෙන තිබෙන්නේ අසීරු කටයුත්තක්. රටේ ආර්ථිකයයි, සමාජයයි හදන්න ගන්න තීරණ ජනප්‍රිය නොවෙන්න පුළුවන්. ඒත් ඒ වැඩකටයුතු කරගෙන යන්න පාර්ලිමේන්තුවට ශක්තිය තිබිය යුතුයි.

අධ්‍යාපනය ගැන කතා කළොත් 1946 අපිට නිදහස් අධ්‍යාපනය ලැබුණා. අපට අවශ්‍ය 80 දශකයේ මේ රටේ තිබ්බ පාසල් පද්ධතිය නොවෙයි. අද අපට අවශ්‍ය 2023 සිට වසර 25ක් ඉදිරියට යන පාසල් අධ්‍යාපන ක්‍රමයක් බව කිව යුතුයි.

පිළිකා ඖෂධ මිලදී ගන්න ශ්‍රී ලංකා ක්‍රිකට් ලබාදුන් ඩොලර් ලක්ෂ 5 ත් : සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිර කරගෙන !

මහරගම අපේක්ෂා රෝහලේ හිඟ ඖෂධ මිලදී ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඩොලර් ලක්ෂ පහක ආධාරයක් ලබාදී ඇති නමුත් තවමත් එම මුදල ඖෂධ මිලදී ගැනීම සඳහා යොදාගැනීමට සෞඛ්‍ය අමාත්‍යංශය කටයුතු කර නොමැති බව විශ්වාසදායක කටයුතු ආරංචිමාර්ග පවසයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඩොලර් ලක්ෂ පහක මුදල (රුපියල් කෝටි 15 ක් පමණ ) පරිත්‍යාග කිරීම සිදුවූයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත වන අතර ඒ පසුගිය සැප්තැම්බර් (16) වනදා වන අතර ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට මේ වන විටත් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් චෙක්පතක් හරහා සෞඛ්‍ය අමාත්‍යංශය වෙත නිකුත්කර ඇත.

චෙක් පතක් නිකුත්කර තිබියදී පවා පසුබිමක එම මුදල් යොදවා පිළිකා රෝහලේ හිඟ ඖෂධ සැපයීමට සෞඛ්‍ය අමාත්‍යංශය කටයුතු නොකිරීම බරපතළ සැකසංකා මතුවන තත්ත්වයක් බව සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීය ප්‍රවීණයන්ගේද අදහස වී තිබේ.

සැකසංකා දනවන තවත් සිදුවීමක් වන්නේ අපේක්ෂා රෝහලේ පිළිකා රෝගීන්ට අත්‍යවශ්‍ය ඖෂධ හිඟ බව ප්‍රසිද්ධියට පත්වීමත් සමඟ පරිත්‍යාගශීලීන් රැසක් ඒ සඳහා ආධාර කිරීමට ඉදිරිපත්වී ලබාදුන් මුදල් ද සෞඛ්‍ය අමාත්‍යංශය භාරයේ රඳවාගෙන ඇති නමුත් ඖෂධ මිලදී ගැනීමට විධිමත් ලෙස යොමුවීම ප්‍රමාද කිරීමය.

එසේම ඊයේ (29) පාර්ලිමේන්තුවේ පැවති සෞඛ්‍ය අමාත්‍යංශ වැය ශීර්ෂයට අදාළ විවාදයේදීද අත්‍යවශ්‍ය ඖෂධ 40 ක පමණ හිඟයක් ඇති බව අනාවරණය විය. එම හිඟ ඖෂධ අතුරින් ඖෂධ 20 කට ආසන්න ප්‍රමාණයක් පිළිකා රෝගීන් සඳහා නිකුත් කරන ඖෂධ බවත් දැනගන්නට ඇත.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් ලැබෙන ආරංචිමාර්ග සඳහන් කර සිටින්නේ අදාළ ඖෂධ මිලදී ගැනීම් සඳහා ටෙන්ඩර් කැඳවීම ප්‍රමාද කිරීමක් සෞඛ්‍ය අමාත්‍යංශය පාර්ශ්වයෙන් පෙන්නුම් කරන බවය. හිඟ ඖෂධ සම්බන්ධයෙන් වේලාසන දැනුම්දෙන නමුත් ටෙන්ඩර් පිරිවිතර ඇතුළු විවිධ කොන්දේසි ගෙනැහැර දක්වමින් විධිමත් මිලදී ගැනීම් පමා කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශයේ බලධාරීන් කටයුතු කරන බවටද චෝදනාවක් ඇත.

ඒ හදිසි මිලදී ගැනීම් යටතේ හිඟ ඖෂධ මිලදී ගැනීමේදී ලැබෙන කොමිස් මුදල් යනුවෙන් බවටද බරපතළ චෝදනාවක් ඇත. මෙකී චෝදනාව කාලයක් තිස්සේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින්නක් වන නමුත් ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් පවසන්නේ, රටේ ආර්ථිකය බරපතළ දුෂ්කරතාවකට මුහුණදුන් විට එහි වැඩිම අවධානමක් එල්ල කෙරෙන සෞඛ්‍ය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් මේ තරම් දුර්වල සහ මහජන විශ්වාසය කඩවන ආකාරයට අමාත්‍යංශය දක්වන හැසිරීම කොහෙත්ම අනුමත කළ නොහැකි බවය.

විදුලි බිල : පියවර දෙකකින් ඉහළට !

විදුලිය ගාස්තු ලබන වසරේ ජනවාරි සහ ජූනි මාසවලදී පියවර දෙකකින් වැඩි කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවූ බව විදුලි බල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරී රොහාන් සෙනෙවිරත්න ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වන ජාතික සභා අනු කමිටුවේදී පැවසීය.

ඒ අනුව විදුලි බිල වැඩි කිරීම සඳහා මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතිය ලබා ගැනීමට අවශ්‍ය කටයුතු කරගෙන යන බවද ඔහු සඳහන් කළේය.

දැනට පවතින පාඩුව පියවා ගැනීමට නම් විදුලි බිල සියයට 70කින් පමණ වැඩි විය යුතු බව පැවසූ විදුලිබල මණ්ඩල නියෝජිතයෝ විදුලිය ගාස්තු පසුගිය කාලයේදී වැඩි කළද එය විදුලිබල මණ්ඩලයේ පාඩුව පියවා ගැනීමට ප්‍රමාණවත් නොවූ බැවින් විදුලි බිල වැඩි කිරීම කැබිනට් මණ්ඩලයෙන් මෙලෙස අනුමැතිය ලබාගත් බවද ප්‍රකාශ කළේය.

“ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වන ජාතික සභා අනු කමිටුව එහි සභාපති මන්ත්‍රී පාඨලී චම්පික රණවකගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්විය. මෙම තොරතුරු අනාවරණය වූයේ එම රැස්වීමේදී ය.

විදුලි බල ක්ෂේත්‍රයේ පවතින ගැටලු විසදීමට සහ අදාළ යෝජනා ලබා ගැනීම සදහා විදුලි බල ක්ෂේත්‍රයට අදාළ රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවල නියෝජිතයෝ මෙම රැස්වීමට කැඳවනු ලැබ සිටියහ.

විදුලි බල මණ්ඩල පාඩුව පියවා ගැනීමේ අරමුණින් විදුලි ගාස්තු වැඩි කළද එය දැරිය නොහැකි මට්ටමක පැමිණ ව්‍යාපාර ආදිය කඩා වැටීමේ අවදානමක් මතුවිය හැකි බව කමිටුවේ සභාපති පාඨලී චම්පික රණවක මහතා මෙහිදී පෙන්වා දුන්නේ ය.

මේවන විට විදුලිබල මණ්ඩලය බැංකු සහ විදුලි බල සැපයුම්කරුවන් ඇතුළු විවිධ පාර්ශවයන්ට ගෙවිය යුතු ණය ලෙස රු කෝටි 65000 ක ට (බිලියන 650 ) ආසන්න ප්‍රමාණයක් පවතින බවද මෙහිදී තොරතුරු අනාවරණය විය.

ඉන් රුපියල් කෝටි 3500 කට ආසන්න ප්‍රමාණයක් (බිලියන 35ක්) පුනර්ජනනීය බලශක්තිය සැපයූ ආයතන සදහා ගෙවීමට ඇති බවත් තාප විදුලිය සැපයුම්කරුවන්ට රුපියල් කෝටි 7500 ක් ( බිලියන 75) ගෙවීමට ඇති බවත් විදුලිබල මණ්ඩල නියෝජිතයෝ පැවසූහ.

ඉදිරියේදී ලබා ගැනීමට අපේක්ෂා කරන රුපියල් කෝටි 5000 ක (බිලියන 50 ) ණය මුදලින් මෙම සැපයුම් කරුවන්ට යම් කොටසක් හෝ ගෙවීමට අපේක්ෂා කරන බවද ඔවුහු ප්‍රකාශ කළහ.

-ලංකාදීප

මඩකලපුව සංචාරක කේන්ද්‍රයක් කිරීමේ සූදානමක් !

මඩකළපුව දිස්ත්‍රික්කය තුළ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය සඳහා ඉඩම් හඳුනා ගැනීම පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අද(30) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

ඒ අනුව මඩකළපුව දිස්ත්‍රික්කයේ වෙරුගල්ආරු සිට මඩකළපුව දක්වා ඇති වෙරළාශ්‍රිත රජයේ සහ පෞද්ගලික ඉඩම් හඳුනා ගැනීම පිළිබඳව මෙහිදී සාකච්ඡා විය.

එම ප්‍රදේශය සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කරමින් 2023 වසරේදී මඩකලපුව හොඳම සංචාරක ගමනාන්තයක් බවට පත්කර ගැනීම මෙහි අරමුණ වී තිබේ.

මඩකළපුව දිස්ත්‍රික් ලේකම් කේ. කරුණාහරන් ඇතුළු ප්‍රාදේශීය ලේකම්වරු කිහිප දෙනෙකු සූම් තාක්ෂණය ඔස්සේ මෙම සාකච්ඡාවට එක් වූහ.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, සංචාරක හා ඉඩම් අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්.ඒ. චූලානන්ද පෙරේරා, වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ආර්.එම්.සී.එම්. හේරත් සහ රේඛීය ආයතනවල ප්‍රධානීන් ඇතුළු නිලධාරින් මෙම සාකච්ඡාවට සහභාගී වූහ.

IMG 20221130 WA0013

ටෙන්ඩරයට අනුමැතිය දෙන්න ඇමති දුවගෙන් කප්පමක් ඉල්ලලා !

ඔක්සිජන් ජනන යන්ත්‍ර මිලදී ගැනීමේ ටෙන්ඩරයකට අනුමැතිය දීමට ඇමැති දියණියකගෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකු කප්පම් ඉල්ලා ඇති බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සංගමය සඳහන් කරයි.

අදාළ ටෙන්ඩරය අනුමැතිය දීමට නම් තම විශ්‍රාම වයස දීර්ඝ කර දෙන්නැයි අතිරේක ලේකම්වරයා ඇමති දියණියගෙන් ඉල්ලා ඇතැයි එම සංගමයේ සභාපති රවි කුමුදේශ් පවසයි.

වැඩි මිල ලංසුව ඉදිරිපත් කර ඇති ආයතනයට එම ටෙන්ඩරය ලබා දීම අත්‍යවශ්‍ය බවද එම අතිරේක ලේකම්වරයා, අමාත්‍යවරයාගේ දියණියට දැනුම් දී ඇති බවත් ඔහු පවසයි .

සංචාරක කලාප විදුලි කප්පාදුවෙන් නිදහස් !

සංචාරක අමාත්‍යාංශය හඳුනාගෙන ඇති සියලුම සංචාරක කලාප රාත්‍රී විදුලි කප්පාදුවෙන් නිදහස් කරන බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

අමාත්‍යවරයා සඳහන් කරන්නේ නොරොච්චෝලේ ‘ලක්විජය’ ගල්අඟුරු බලාගාරයේ 3 වැනි ජනන යන්ත්‍රය ලබන දෙසැම්බර් 15 වන දින ජාතික විදුලිබල පද්ධතියට නැවත එක් කිරීමට නියමිතව බවත් ඉන් පසුව අදාළ කලාප විදුලි කප්පාදුවෙන් නිදහස් කරන බවය.

රටපුරා රාත්‍රී විදුලි කප්පාදුව පැය 1 දක්වා අඩු කිරීමටත් නත්තල් සහ අලුත් අවුරුදු සමයේ විදුලි කප්පාදුව අත්හිටුවීමටත් බලාපොරොත්තු වන බවත් දකුණු සහ ඇල්ල සංචාරක කලාප රාත්‍රී විදුලි කප්පාදුව දෙසැම්බර් 1 වැනිදා සිට අත්හිටුවන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

මෙහෙම COP 27 සමුළුවක් මොකටද ? ජනාධිපතිගෙන් ජාත්‍යන්තරයට නිවේදනයක් !

දේශගුණික විපර්යාසවලට ප්‍රතිඵලදායක ලෙස විසඳුම් ලබාදිය හැකි රටවල් දේශගුණික ක්‍රියාකාරකම්වලට ඍජුව මැදිහත් නොවීම අනාගත මානව වර්ගයාගේ පැවැත්මට තර්ජනයක් විය හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

COP27 සමුළුවේ සාර්ථකත්වයට ලොකුම බාධාව දේශපාලනීකරණය සහ කල්මරමින් සිටීම බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කළේ COP27 ගිවිසුම පිළිබඳ විශේෂ ප්‍රකාශයක් 2022-11-28 දින නිකුත් කරමිනි.

එම සම්පූර්ණ ප්‍රකාශය පහත පරිදි වේ.

මානව වර්ගයාගේ අනාගතයට ඇති විශාලතම තර්ජනය වන දේශගුණික විපර්යාසවල‍ට මුහුණ දීම සඳහා COP යටතේ වසර 27 ක් තිස්සේ ලෝක නායකයින් රැස්ව සිටිති. එහෙත්, COP ක්‍රියාවලිය මගින් එකඟවී ඇති පරිදි දේශගුණික ක්‍රියාකාරකම් පිළිබඳ විශ්වීය සහ සහයෝගී සැලැස්මක් ක්‍රියාවට නැංවීමට අපි මුලපුරා නැත.

COP27 සමුළුවේදී ඇතිකරගත් එකඟතාවන්, අනුපූරක සහ ප්‍රගතිශීලී පිළියමක් කරා ලෝකයේ ජාතීන් යොමු කිරීමට අපොහොසත් වී ඇත. කණගාටුවට කරුණක් නම්, සාර්ථකත්වයට ඇති ලොකුම බාධාව දේශපාලනීකරණය සහ කල්මරමින් සිටීමයි. සමුළුවේ අවසාන ප්‍රතිඵලය කණස්සලුදායකය.

විශාලතම හානිවලට ඓතිහාසික ලෙස වගකිව යුතු හා දේශගුණික විපර්යාසයන්ට ප්‍රතිඵලදායක විසඳුම් ලබා දිය හැකි රටවල නායකයින් මෙම සමුළුවට සහභාගි නොවීම, දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් ක්‍රියාකාරකම්වල ඉදිරි ගමනට විශාල බාධාවකි.

සමකය ආසන්නයේ දකුණු අර්ධ ගෝලයේ ජාතීන්ට (Global South) අර්ධ ජයග්‍රහණයක් වන ‘හානි හා අලාභ අරමුදල‘ ලබා ගැනීම වෙනුවෙන් සටන් කිරීමට සිදුවිය. එය සාත්ෂාත් කර ගනු ලැබූවේ G77 ජාතීන් එකාවන්ව පෙළ ගැසී පසුගිය වසරවල එල්ල කළ පීඩනයේ ප්‍රතිඵලයක් වශයෙනි.

හානි හා අලාභ අරමුදල නිවැරදි දිශානතියේ පියවරක් වුවත්, ඒ සඳහා අවශ්‍ය මූල්‍ය දායකත්වය සැපයීම සඳහා වගකිව යුතු ජාතීන් හඳුනාගැනීමේ දී දැඩි අතපසු වීමක් සිදු වී තිබේ. අරමුදල පිහිටුවීමේ මූලාශ්‍රවල වගකීම් හෝ වන්දි පිළිබඳ ප්‍රතිපාදන ඇතුළත් නොවේ. එනිසා, G77 රටවලට හානි හා අලාභ අරමුදල එහි පූර්ණ විභවතාවයෙන් ක්‍රියාත්මක කිරීම සඳහා මෙම අඩුපාඩු සපුරාලීමේ ව්‍යාපාරය අඛණ්ඩව කරගෙන යාමට අවශ්‍ය වනු ඇත.

එපමණක් නොව, මෙම අරමුදල පසුගාමීය. එය සිදු වූ හානි සඳහා පමණක් වන්දි ලබා දෙනු ඇත. එය දේශගුණික විපර්යාසවලට මූලික වූ හේතු ආමන්ත්‍රණය නොකරයි. එබැවින් දැනට සිදු වෙමින් පවතින පරිසර විනාශය මැඩපැවැත්වීම අත්‍යවශ්‍ය වන අතර ඒ සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග වෙනුවෙන් ඇමරිකානු ඩොලර් බිලියන 100ක මූල්‍ය ආධාර ඉලක්කය සපුරා ගැනීමට ඉලක්කගත උත්සාහයක් දැරීම අත්‍යවශ්‍ය කරුණකි.

ලෝකය මීට පෙර පුරෝකථනය කළ ප්‍රමාණයට වඩා වේගයෙන් දියුණු වෙමින් පවතින අතර, ඒ නිසා දේශගුණික විපර්යාස අවම කිරීමේ ප්‍රයත්නයන් කල්මැරීමට ඉඩ හැරිය නොහැක. ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.5ට වඩා වැඩි වීමට ඉඩ නොදිය යුතු බවට පසුගිය වසරේදී ලෝකය ඒකමතික තීරණයකට පැමිණියේය. මේ සඳහා ක්‍රියාකාරී සැලැස්මකට ද එකඟ විය. කෙසේ වෙතත්, එහි මුල් ඉලක්කය නොවෙනස්ව තිබෙන අතර, මෙම ඉලක්කය සපුරා ගත යුතු ආකාරය COP 27 හි ගත් තීරණ දෙස බලන විට යම් පසුබෑමකට ලක්ව තිබේ .

තවද, ෆොසිල ඉන්ධනවලින් ක්‍රමානුකූලව ඉවත්වීමේ හෝ විමෝචනය පිළිබඳ නව ඉලක්ක කෙරෙහි දැඩි කැපවීමකින් ක්‍රියාත්මක වන බව නොපෙනෙයි. මෙම ගිවිසුම් වෙඩි පහරකින් ලත් තුවාලයකට දමන ලද කුඩා වෙළුම් පටියක් බඳුය. දේශගුණික විපර්යාස නූතන ලෝකයට ත්‍රස්තවාදය වැනිම තර්ජනයකි. ලෝක නායකයන් අවංකව මෙයට සම්බන්ධ නොවන්නේ නම්, ගෝලීය දේශගුණය නරක අතට හැරෙන විට සහ වාසස්ථාන අහිමි වන විට පැත්තකට වී සිටීමේ වරදට වරදකරුවන් වනු ඇත.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට නියමිත COP28 සමුළුව තවත් ආරම්භයක්ම නොවිය යුතු අතර, ඒ වෙනුවට අතීත තීරණ ක්‍රියාත්මක කිරීමේ කේන්ද්‍රස්ථානයක් විය යුතුය. එය බලශක්ති ක්ෂේත්‍රය කෙරෙහි දැඩි අවධානයක් යොමු කෙරෙන මෙන්ම දේශගුණික විපර්යාස සඳහා ගෝලීය ප්‍රතිචාරය ශක්තිමත් කෙරෙන වසරක ආරම්භය සනිටුහන් කරන මුද්‍රාවක් විය යුතුය.

මෙම සමුළුව අර්ථවත් වීමට නම්, COP 28 හි තිරසාර ප්‍රගතියක් ලබා ගත යුතුය. එසේ නොමැති නම්, COP විසුරුවා හැරීම වඩාත් සුදුසුය. මේ ආකාරයට පවත්වා ගෙන යා යුතු නැත.

ME නිව් ඩයමන්ඩ් නෞකාවට රටින් පිටවීමට දීම වරදක් !

එම්.ඊ නිව් ඩයමන්ඩ් නෞකාව ගිනි බත් වූවාට පසු එම නැවට මෙරටින් පිටවීමට ඉඩදීම කනගාටුදායක තත්වයක් බවත් එසේ කටයුතු කිරීම සම්බන්ධයෙන් එම කාලසීමාවේදී අදාල අමාත්‍යාංශය බාරව සිටි දේශපාලන අධිකාරියටද විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයාට සහ නාවික හමුදාපතිවරයාටද තමා කෙළින්ම චෝදනා කරන බවත් රාජ්‍ය අමාත්‍ය අරැන්දික ප්‍රනාන්දු පවසයි.

නැවට යෑමට ඉඩ දුන්නේ විශාල ප්‍රශ්නයක් පැවතුණු අවස්ථාවක බව පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා මේ සමග නාලක ගොඩහේවාගේ නමද ඉදිරියට ඇවිත් තිබෙන බවද සඳහන් කළේය.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ අද (30) පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් ස්ථාවර නියෝග 27 (2) යටතේ මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්ය.

එක්ස්ප්‍රස් පර්ල් වන්දිය ඩොලර් වලින් මිස රුපියල්වලින් ගැනීමට නීතිපති දෙපාර්තමේන්තුව එකඟවීම කණගාටුදායක බවද ඔහු පැවසීය.

එසේම එක්ස්ප්‍රස් පර්ල් සම්බන්ධයෙන් මුල් අවස්ථාවේදී ඩොලර් කෝටි 700 ක වගේ වන්දියක් ගැන කතා කළ නමුත් මේ වන විට එය ඩොලර් කෝටි තුන්සියයකට පහත බැස ඇති බවත් මෙම සිද්ධියට අදාළව නඩු දැමිය යුතු යැයි තමා මුලසිටම සිටින ස්ථාවරය බවත් සඳහන් කළේය.

සමුද්‍රීය ආරක්ෂක අධිකාරියට වරාය ඇතුළේ කාර්යාලයක් පවා නොමැති බවත් ඇත්තේ කන්ටේනර් පෙට්ටි දෙකක් පමණක් බවත් රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

Page 168 of 384