V2025

පුවත්

විදේශිකයන් දෙදෙනකු ATM යන්ත්‍රවලට සුද්දේ දීලා !

විදේශිකයන් දෙදෙනෙකු මහජන බැංකුවේ හික්කඩුව, ගාල්ල සහ බද්දේගම යන නගරවල පිහිටි ATM යන්ත්‍රවල ඇති රුපියල් කෝටියකට අධික මුදලක් සොරා ගැනීමක් සම්බන්ධයෙන් පොලීසිය විමර්ශනයක් ආරම්භකර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව පවසයි .

මෙම සොරකම් සිදුව ඇත්තේ පසුගිය 30 වෙනිදා අළුයම් කාලයේදීය. ඔවුන් මෙම සොරකම කර ඇත්තේ ATM යන්ත්‍ර යම් උපකරණයකින් හැක්කර බව මූලික විමර්ශන වලින් පෙනී ගොස් ඇත.

මුදල් සොරාගත්තද පද්ධතිය තුළ පෙන්වනු ලබන්නේ ATM මැෂින් තුළ මුදල් ඇති බව යැයිද වාර්තා වෙයි .

හික්කඩුවේ පිහිටි ATM යන්ත්‍රෙයන් රුපියල් හතලිස් හය ලක්ෂ අසූදහසක මුදලක්ද, ගාල්ලේ ATM යන්ත්‍රයෙන් රුපියල් දෙලක්ෂ හැත්තෑපන්දහසක මුදලක්ද, බද්දේගම ATM යන්ත්‍රයෙන් රුපියල් පනස්හත් ලක්ෂයක්ද මෙසේ සොරාගෙන ඇති බව විමර්ශන වලින් අනාවරණය වී තිබේ.

මෙම විදේශිකයන් ATM යන්ත්‍ර තුළට රිංගා ATM යන්ත්‍රවල ඇති ආරක්ෂක කැමරාවලට ස්ටිකරයක් අලවමින් පරිගණක මෘදුකාංගයක් ඔස්සේ පද්ධතියට ඇතුළු වී මෙම සොරකම සිදුකර ඇති බව විමර්ශනවලින් අනාවරණය වී ඇත.

පසුගිය 26 වෙනිදා රාත්‍රී කාලයේදීත් මෙම විදේශිකයන් දෙදෙනා නාරාහේන්පිට පිහිටි වෙනත් රාජ්‍ය බැංකුවක ATM යන්ත්‍රයක් බිදීමට උත්සහ දරා ඇති නමුත් එය ව්‍යර්ථව ඇති බවත් සඳහන් වෙයි.

ජනාධිපති උපදෙසින් : ජනාධිපති අරමුදල සට පට ගා වැඩ !

ජනාධිපති අරමුදල වෙත 2022 වසර අවසානය වන විට ලැබී තිබූ අයදුම්පත් 11,000ක පමණ ප්‍රමාණයෙන් අයදුම්පත් 10,360ක වැඩ කටයුතු අවසන් කිරීමට පියවර ගෙන තිබෙන බව එහි ලේකම් ඩබ්.ඒ. සරත් කුමාර පැවසීය.

එම අයදුම්පත්වලට අදාළ ගෙවීම් කටයුතු ද බොහෝ ප්‍රමාණයක් දැනටමත් අවසන් කර ඇති අතර ඉතිරි අයදුම්පත් සම්බන්ධයෙන් ද අදාළ මුදල් ගෙවීම් කඩිනමින් නිරවුල් කරමින් සිටින බවත් එම කටයතු ඉදිරි සති කිහිපය තුළ අවසන් කිරිමට නියමිතව ඇති බවත් සරත් කුමාර මහතා සඳහන් කළේය.

ඒ අනුව මෙම වර්ෂය තුළ වෛද්‍යාධාර සඳහා රුපියල් මිලියන 1500කට ආසන්න මුදල් ප්‍රමාණයක් දැනටමත් ගෙවා අවසන් බවත් ඔහු පෙන්වා දෙයි.

ජනාධිපති අරමුදල වෙත 2022-08-01 දින වන විට ලැබී තිබූ අයදුම්පත් 8210ක ප්‍රමාණයක වැඩකටයුතු සිදු නොකර ගොඩගැසී තිබු අතර, මෙම දෙසැම්බර් 31 දිනට පෙර එම අයදුම්පත්වලට අදාළ වැඩකටයුතු නිම කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් ජනාධිපති අරමුදලේ නව ලේකම් ඩබ්ලිව්.ඒ. සරත් කුමාර මහතා වෙත ලබාදුන් උපදෙස් පරිදි එම කටයුතු කඩිනම් කෙරිණි.

ඒ අනුව අයදුම් පත් 10,360ක වැඩකටයුතු මේ වන විට අවසන් කර තිබෙන අතර වර්ෂ අවසානයේ ලැබී ඇති හා විවිධ හේතු මත වැඩ අවසන් නොවූ අයදුම්පත්‍ර 642ක සම්බන්ධයෙන් ද අදාළ කටයුතු කඩිනමින් සිදු කරමින් පවතින බවත් එම කටයුතු ඉදිරි සති කිහිපය තුළ අවසන් කිරීමට නියමිත බවත් සරත් කුමාර මහතා සඳහන් කළේය.

අසරණ රෝගීන් සඳහා වෛද්‍යාධාර ලබාදීම කඩිනම් කරන ලෙසත්, ගොඩගැසී ඇති අයදුම්පත් සම්බන්ධයෙන් ප්‍රමුඛතාව ලබාදී කටයුතු කරන ලෙසත් ජනාධිපතිවරයා උපදෙස් දී තිබෙන බව පැවසූ ඒ මහතා, 2023 ජනවාරි මස සිට මෙම කටයුතු තවදුරටත් වේගවත් කර වෛද්‍යාධාර ලබාගැනීම සඳහා ජනාධිපති අරමුදල වෙත ලැබෙන අයදුම්පත් සම්බන්ධයෙන් ඉතා කෙටි කලක් තුළ වැඩ නිම කර අදාළ ගෙවීම් සිදු කිරීමත්, එමගින් අසරණ රෝගීන් සඳහා කඩිනම් සේවාවක් ලබාදීමටත් අපේක්ෂා කරන බව ද සදහන් කළේය.

දුර බැහැර රෝගීන්ට වෛද්‍යාධාර ලබා ගැනීම සඳහා නගර වෙත පැමිණීමට සිදුවීම අවම කර අදාළ පහසුකම් සැලසීම සඳහා ජනාධිපති අරමුදලේ දැනට ලියාපදිංචි කර ඇති රෝහල්වලට අමතරව නව රෝහල් ලියාපදිංචි කිරීමට ද කටයුතු කර තිබෙන බව ඔහු පැවසීය.
එසේම වෛද්‍යාධාර ලබාදීමේ දී සැත්කම් සහ ප්‍රතිකාර ලබා ගැනීම වෙනුවෙන් දැනට ගෙවනු ලබන මූල්‍යාධාර වැඩිකිරිම සඳහා අවශ්‍ය නි‍ර්දේශ ලබාගැනීමට විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සමන්විත කමිටුවක් පත් කර තිබෙන අතර, එම කමිටු නිර්දේශ ලද වහාම ගෙවනු ලබන වෛද්‍යධාර ප්‍රමාණයන් වැඩි කිරීමට කටයුතු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබේ.

ඒ අනුව 2023 වර්ෂයේ මුල් මාස කිහිපය තුළ වෛද්‍යාධාර වශයෙන් ගෙවනු ලබන දීමනා වැඩි කිරිමට කටයුතු කෙරේ.

එසේම වෛද්‍යාධාර ගෙවනු ලබන රෝග සංඛ්‍යාවට අමතරව තවදුරටත් වෛද්‍යාධාර ගෙවීම සිදු කළ යුතු රෝග තත්ත්වයන් පිළිබඳව ද අවශ්‍ය නිර්දේශ ලබාදෙන ලෙස එම කමිටුවට උපදෙස් දී ඇත. එම උපදෙස් ලැබුණු වහාම අවශ්‍ය අනුමැතීන් ලබාගෙන ගෙවනු ලබන වෛද්‍යාධාර ප්‍රමාණය මෙන්ම වෛද්‍යාධාර ගෙවනු ලබන රෝග ලැයිස්තුව ද යාවත්කාලීන කිරීමට ද නියමිතය.

ජනාධිපති අරමුදල් පනතේ අනුමත විධිවිධාන අනුව කරුණාසහගත දීමනාවන් සහ ආගමික කටයුතු වඩා වැඩිදියුණු කිරීම සඳහා රු.මිලියන 20ක් ද, ජනාධිපති අරමුදල වෙත ලැබෙන මුදලින් මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව සඳහා රු.මිලියන 1300ක පමණ මුදලක් ද වර්ෂය තුළ නිදහස් කර ඇත.

එසේම 2023 ජනවාරි මස සිට ක්‍රියාත්මක වන පරිදි 2024 වර්ෂයේ දී අ.පො.ස (උ/පෙළ) විභාගයට පෙනී සිටීමට නියමිත ආර්ථික දුෂ්කරතා ඇති සිසුන් 3000කට මසකට රු. 5,000 බැගින් පුරා වසර දෙකක කාලයක් සඳහා ශිෂ්‍යත්ව පිරිනැමීමට ජනාධිපතිවරයාගේ උ‍පදෙස් පරිදි කටයුතු කර තිබෙන අතර දැනට එම සිසුන් තෝරා ගැනීමේ කටයුතු සිදුකරමින් පවතී. සුදුසුකම් සපුරා ඇති ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් එම අයදුම්පත් භාර ගැනිමේ අවසන් දිනය ඊයේ ට (30) යෙදී තිබිණ .

වෛද්‍යධාර ලබා ගැනීම සඳහා ජනාධිපති අරමුදල වෙත අයදුම්පත්‍ර ඉදිරිපත් කරන මහජනයා මුහුණ දෙන ප්‍රවාහන හා වෙනත් ආර්ථික දුෂ්කරතා සැලකිල්ලට ගෙන අයදුම්පත් භාර දුන් අවස්ථාවේ සිට මුදල් ගෙවීම සිදුකරන අවස්ථාව දක්වා එක් එක් අවස්ථාව ආවරණය වන පරිදි අවස්ථා 6ක දී කෙටි පණිවුඩ (SMS) යැවීමට කටයුතු කරනු ලබන අතර, මෙම කටයුතු 2023 වර්ෂයේ දී තවදුරටත් විධිමත් කිරීමට සැලසුම් කර ඇත.

වැඩ බැරි ලේකමාලා මාස 06 න් ගෙදර !

අමාත්‍යාංශවලට පවරණ ඉලක්ක අවශ්‍ය ප්‍රමාණයට සම්පූර්ණ නොකරන අමාත්‍යාංශ ලේකම්වරුන් මාස හයක දී එම ධුරවලින් ඉවත් කිරීමට ජනාධිපති ලේකම් සමන් ඒකනායක තීරණය කර ඇති බව වාර්තා වෙයි .

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් මත මෙම තීරණය ගෙන ඇත.

ඒ අනුව අමාත්‍යංශය වල කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට ලබන වසරට අදාළව ජනාධිපති ලේකම්වරයා ලබාදෙන ඉලක්ක ඔස්සේ ගමන් කරන්නේ දැයි මාස තුනෙන් තුනට ප්‍රගතිය පරික්ෂා කිරීමට නියමිතව ඇත.

රජයේ සේවයේ කාර්යක්ෂමතාවය පවත්වාගෙන යාම සඳහා ජනාධිපති ලේකම්වරයා සහ සියළු අමාත්‍යාංශ ලේකම්වරු අතර එකඟතා ගිවිසුමක් අත්සන් කිරීමට කටයුතු යොදා ඇති බවත් වාර්තා වෙයි .

WPC දෙදෙනාගේ බෙල්ලෙන් ඇල්ලූ පොලිස් ස්ථානාධිපතිගේ තනතුර ගලවලා !

පානදුර නගරයේ පසුගියදා පැවති විරෝධතාවක් අතරතුර කාන්තා පොලිස් කොස්තාපල්වරියන් දෙදෙනකුගේ බෙල්ලෙන් අල්ලා තල්ලු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය ඔස්සේ චෝදනා එල්ල වූ පානදුර මුලස්ථානයේ පොලිස් ස්ථානාධිපතිට තනතුර අහිමි වී ඇතැයි 'ලංකාදීප' වාර්තා කරයි.

මේවනවිට ඔහු සාමාන්‍ය රාජකාරි සදහා ගම්පහ කොට්ඨාසයට අනුයුක්ත කර ඇතැයි ද එම පුවත්පත් වාර්තාවේ සඳහන් වේ.

ඔහුට එවැනි ස්ථානමාරුවක් ලැබී ඇත්තේ, පොලිස් ස්ථානාධිපතිවරුන් 260 දෙනකුට ස්ථාන මාරුවීම් ලබා දීමේ දීමට පොලිස් දෙපාර්තමේන්තුව විසින් පසුගියදා ගනු ලැබූ ක්‍රියාමාර්ගයත් සමගය.

පොලිස් ස්ථානාධිපතිවරුන් 260 දෙනකුට ස්ථාන මාරුවීම් ලබා දීමේ දී මෙතෙක් ස්ථානාධිපති ධුර දැරූ නිලධාරීන් 30 දෙනකුට එම තනතුරු අහිමි වී ඇති බව පොලිස් මුලස්ථාන ආරංචි මාර්ග පවසයි.

මෙම පිරිස අතර මූලස්ථාන පොලිස් පරීක්ෂකවරුන් හා ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන්, පොලිස් පරීක්ෂකවරුන් සිටින බවත්, ඔවුන් දැරු ධුර වලින් ඉවත්තර සාමාන්‍ය රාජකාරි සදහා අනුයුක්ත කර ඇති බවද එම ආරංචි මාර්ග කියා සිටියි.

පානදුර, ජාඇල, නවගමුව, ග්‍රෑන්ඩ්පාස්, අලුත්ගම, දුම්මලසූරිය, ආණමඩුව, කොස්ගොඩ, කඹුක්ගැටේ, පොතුපිටිය, රංගල, පල්ලෙවෙල, රාජාංගනය, ඊච්චලන්පත්තුව ඌරුබොක්ක, ඇලපාත, කවරක්කුලම, මහකුඹුක්කඩවල, ගලපිටමඩ, වාකරේ, කනංකේ, හිනිදුම, නෙළුව, ඕපාත, ඉගුරුවත්ත, ගිරානේගම, මධුරාගොඩ, මීටියාගොඩ, අඹන්පොළ, ආගරපතන යන පොලිස් ස්ථානවල රාජකාරි කළ පොලිස් ස්ථානාධිපතිවරුන්ට මෙලෙස තනතුරු අහිමි වී ඇති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.

මෙම ස්ථාන මාරුවීම් සම්බන්ධ පොලිස් පණිවිඩය නියෝජ්‍ය පොලිස්පති මානව සම්පත් කළමනාකරණ හා ජාත්‍යන්තර සබඳතා දිසාව එම්.එන්.සිසිර කුමාර ගේ අත්සනින් ඉකුත් 23 දින නිකුත් කර තිබුණ.

සේවා අවශ්‍යතා මත මෙම ස්ථානමාරුවීම් සිදුකළ බව එම නිවේදනයේ සදහන් වේ.

වාහන අංක තහඩුවල වෙනසක්

2023 ජනවාරි මස 1 වන දින සිට නිකුත් කරනු ලබන වාහන අංක තහඩු සඳහා පළාත් අක්ෂරයක් සඳහන් නොවන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිෂාන්ත අනුරුද්ධ වීරසිංහ පවසයි.

මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කර සිටියේ, රථවාහන ලියාපදිංචියේදී සහ පැවරීමේදී අංක තහඩුවේ පළාත් අක්ෂරය ඉවත්කරන බවය.

මේ අතර 2023 වසරේ මුල් කාර්තුවේ සිට රියදුරු අකුසලතා ලකුණු ලබාදීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.

කොවිඩ් ගැන අනතුරු ඇඟවීමක්.......

ලෝකයේ බොහෝ රටවල්වල යළිත් කොරෝනා ආසාදිතයින් වාර්තා වීම ඉහළ යාම හමුවේ ශ්‍රී ලංකාව ද ඒ පිළිබඳව අවධානයෙන් පසුවිය යුතු බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසයි.

අද (දෙසැ. 30) පැවති විශේෂ මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය.

“මේ මොහොත වන විට අපි දන්නවා ලෝකයේ බොහෝ රටවල් සංඛ්‍යාවක් විශේෂයෙන් චීනය, ඉන්දියාව වගේ රටවල්වල සහ තවත්රටවල් කිහිපයක ම රෝගීන්ගේ බැලූ බැල්මට වැඩි වීමක් වාර්තා වෙලා තියෙනවා. ඒ තත්ත්වය තුළ අපිට යම් ආකාරයක මේ රෝගය ගැන අවධානයෙන් සිටීම වැදගත් වෙලා තියෙනවා.”

ඔහු පෙන්වා දුන්නේ, කොවිඩ්-19 රෝගය බරපතළ ප්‍රශ්නයක් ලෙස මේ මොහොතේ නොපෙනුන ද එය අවසන් වී නොමැති හෙයින් යළි ඉහළ යාමේ අවදානම් පවතින බව ය.

ඒ හේතුවෙන්, මේ දක්වා අනුගමනය කළ සෞඛ්‍ය පුරුදු පෙරටත් වඩා හොඳින් පිළිපැදිය යුතු බව ඔහු අවධාරණය කළේ ය.

ලංකාව එපා කිව්ව මෙට්‍රෝ දුම්රිය ව්‍යාපෘතිය බංග්ලාදේශයේ වැඩ !

ජපානයේ ආධාර ඇතිව නිමකළ මෙට්‍රෝ දුම්රිය ව්‍යාපෘතියක් බංග්ලාදේශයේ ඩකා නගරයේ විවෘත කළ බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි .

එම වාර්තා වල සඳහන් වන ආකාරයට මෙම සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය හේතුවෙන් දැඩි වාහන තදබදයක් ඇති ඩකා නගරයේ වෙසෙන මිලියන 20 ක ජනතාවට විශාල සහනයක් ලැබෙනු ඇත .

එම ව්‍යාපෘතිය විවෘත කළ අවස්ථාවට එක්වූ එරට අගමැතිනි ෂෙයික් හසීනා පැවසුවේ එය එරටට ආඩම්බරයක් බවය.

එම සෑම දුම්රියකම එක් මැදිරියක් කාන්තාවන් වෙනුවෙන් වෙන්කරන බවද අග්‍රාමාත්‍යවරිය පවසා ඇත .

එහි ක්‍රියාත්මක කළ පළමු සැහැල්ලු දුම්රියෙහි රියදුරු ලෙස කටයුතු කරනුයේ ද කාන්තාවක වීමත් විශේෂත්වයකි .

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මේරියම් අෆිසා පැවසුවේ සිය සිහිනයක් සැබෑවූ බවය.

මෙම ව්‍යාපෘතිය සඳහා අමෙරිකානු ඩොලර් බිලියන 2.8 ක වැයවී ඇති අතර එය ජපන් සංවර්ධන අරමුදල් මගින් අරමුදල් සපයා ඇත.

මෙම ව්‍යාපෘතිය නිම කිරීම සඳහා වසර 6ක් පමණ ගතවී ඇති අතර එමගින් කිලෝ මීටර් 12ක් අතර පැයක් තුළ විශාල මගීන් සංඛ්‍යාවකට ගමන් පහසුකම් සැපයීමට හැකිය .

එසේම මෙට්‍රෝ දුම්රිය ජාලය දශකයකට ආසන්න කාලයක් සංවර්ධනය වෙමින් පවතින අතර 2030 වන විට දුම්රිය ස්ථාන 100 කට වඩා වැඩි ප්‍රමාණයක් සහ නගරය හරහා ගමන් කරන මාර්ග හයක් දක්වා සංවර්ධනය කිරීමට නියමිතව ඇත.

මෙවැනිම ව්‍යාපෘතියක් කොළඹ නගරය ආශ්‍රිතවද නිර්මාණය කිරීමට සූදානම් වුවද එය පසුව අවලංගු කිරීමට මෙරට බලධාරීන් තීරණය කළේය.

 

පේරේ සරසවියේ හිටපු ශිෂ්‍ය නායකයෙක් අත්අඩංගුවට !

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති අනුරාධ විදානගේ මහනුවරදී අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් ආරංචි මාර්ග සඳහන් කරන්නේ මහනුවර නගරය තුළදී අද (29) පස්වරුවේ මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ බවය.

අත්අඩංගුවට පත් ශිෂ්‍ය සංගම් හිටපු සභාපති වරයා මහනුවර මූලස්ථාන පොලීසියේ රඳවා තැබීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බවත් එම ආරංචි මාර්ග පවසයි .

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති භූගර්භ විද්‍යා අංශයේ මහාචාර්ය අතුල සේනාරත්නට සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට පහරදී නිල නිවසට අලාභානි කිරීමේ සිද්ධියට එම විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපතිවරයා සහ වත්මන් සභාපතිවරයා සම්බන්ධ බවට ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් උසාවියට දැනුම් දී සිටි අතර ඔවුන් දෙදෙනා එම සිද්ධියට සම්බන්ධයක් ඇත්නම් ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස විනිසුරුවරයා එහිදී දැනුම් දී තිබුණි .

සජිත්ගේ පූර්ව ළමාවිය සංවර්ධනය වෙලා නෑ !

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ පූර්ව ළමාවිය නිසි ආකාරයෙන් සංවර්ධනය වී නැතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස පවසයි .

එවන් පුද්ගලයන්ට රටක් පාලනය කළ නොහැකි බවත් ඔහු පවසයි .

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර සිටියේ ජාතික ජනවේගය ආසන බලමණ්ඩල රැස්වීමක් අමතමින් ය.

එසේම බස් රථයක් පාරේ ධාවනය කරවූවාට, ඒදණ්ඩෙන් ගියාට, තනි කකුලෙන් හිටගෙන හිටියාට රටක් පාලනය කළ හැකි යැයි එවන් පුද්ගලයන් සිතන බවත් හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළේය .

පූර්ව ළමාවිය නිසිලෙස සංවර්ධනය වූයේ නම් මෙතරම් ප්‍රශ්නයක් ඇති නොවන බවද ඔහු පැවසීය .

ජනාධිපති අඹේපොළ නිරීක්ෂණ චාරිකාවක !

අඹේවෙල ගොවිපොල සමීපයේ අතහැර දමා ඇති අක්කර 30ක භූමි භාගය වහාම අඹේවෙල ගොවිපොලට ලබා දී එය සංවර්ධනය කිරීමට අවශ්‍ය පහසුකම් සපයන ලෙසත්, එය තෘණ වගා භූමියක් ලෙස පවත්වා ගනිමින් කිරි ගවයන්ගේ ආහාර අවශ්‍යතාව සැපයීමේ පද්ධතියට එක්කරන ලෙසත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරයාට සහ කොමසාරිස්වරියට උපදෙස් දුන්නේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙම උපදෙස් ලබා දුන්නේ පසුගියදා අඹේවෙල ගොවිපොල සමූහයට අයත් යුනයිටඩ් ඩෙයරීස් ලංකා ලිමිටඩ් අඹේවෙල නව ඒකකයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමිනි.

අඹේවෙල ගොවිපොළ කිරි නිෂ්පාදන ක්ෂේත්‍රයේ ලබා ඇති ක්‍රමික වර්ධනය අගය කළ ජනාධිපතිවරයා එය අනෙකුත් ගොවිපොළවලට ආදර්ශයක් බව ද පැවසීය. මෙරට විශ්වවිද්‍යාල සිසුන්ගේ පර්යේෂණ කටයුතු සහ අත්දැකීම් සඳහා මෙම ගොවිපොළ විවෘත කර ඊට අවශ්‍ය පසුබිම සකසා දෙන ලෙස ද ජනාධිපතිවරයා උපදෙස් දෙනු ලැබීය.

අඹේවෙල ගොවිපොළ කිරි නිෂ්පාදන සහ ගොවිපල තාක්ෂණයේ ඉහළම තාක්ෂණික භාවිතයක් සහිත ලංකාවේ සහ දකුණු ආසියාවේ ප්‍රධානතම මධ්‍යස්ථානය බව අඹේවෙල ගොවිපොල සමූහයේ සාමාන්‍යාධිකාරී සරත් බණ්ඩාර පැවසීය.

යුනයිටඩ් ඩෙයරීස් ලංකා ලිමිටඩ් අඹේවෙල නව ආයතනයේ මේ වන විට කිරි ගවයන් 1000ක් පමණ සිටින අතර දෛනිකව කිරි ලබා ගැනීම සිදු කෙරේ. එසේම දිනකට අවස්ථා 03කදී මෙම ගවයින්ගෙන් කිරි ලබා ගන්නා අතර මෙම ස්ථානය සහ අඹේවෙල සමස්ත පද්ධතියෙන් මෙරට කිරි අවශ්‍යතාවයෙන් දියර කිරි ලීටර් 40,000ක් වෙළෙඳපොළට නිකුත් කෙරේ.

එම කිරි ගවයන් නඩත්තු කිරීම , අවශ්‍ය ආහාර පාන ලබා දීම, බර කිරීම , රෝගී තත්ත්වයන් හඳුනා ගැනීම සහ එවන් හඳුනා ගැනීමකදී ගවයින් වෙන් කිරීම ආදී සියලු කටයුතු ස්වයංක්‍රීය ක්‍රමවේදයකට අනුව යන්ත්‍රානුසාරයෙන් සිදු කෙරේ.

අඹේවෙල ගොවිපොළ පද්ධතියේ ගවයන් 4500ක් මේ වන විට පෝෂණය ලබයි. 2001 වසරේ අඹේවෙල සමූහය ආරම්භ කිරීමට පෙර, මෙය රජය සතුව පවතිද්දී දිනකට සපයා ගෙන ඇත්තේ කිරි ලීටර් 1500 ක් පමණි.

අද වන විට කිරි ගවයින් සඳහා වන හොඳම ප්‍රභේද ලංකාවේම නිර්මාණය කිරීමට අඹේවෙල පද්ධතිය පසුගිය වසර 15ක කාලය තුළ සමත්ව ඇත. ඒ අනුව මෙම කිසිඳු කිරි ගවයෙකු විදේශයෙන් ආනයනය නොකරන අතර කිරි ගවයන් බිහි කිරීම සඳහා ලෝකයේ දැනට ඇති අති නවීනතම තාක්ෂණය භාවිතයෙන් දැනට ලෝකයේ සිටින ඉහළම පිරිමි ගවයින්ගේ ශුක්‍රාණු ආනයනය කරමින් ජාන තාක්ෂණය ද භාවිතයෙන් මෙරටට ගැළපෙන ගවයින් බිහි කිරීම ද ආයතනික ක්‍රියාවලියේම කොටසක් බවට පත්කරගෙන තිබේ.

එමෙන්ම කිරි ගවයින්ට අවශ්‍ය ආහාර ලබා දීමේදී වක්‍ර රැකියා දහසක් පමණ මෙම ගොවිපොල ආශ්‍රිතව නිර්මාණය වී ඇත. බඩඉරිඟු ගොවීන්ගේ සම්පූර්ණ අස්වැන්න අඹේවෙල ගොවිපළට ලබා ගැනීමේ යාන්ත්‍රණයක් ද මේ වන විටත් ක්‍රියාත්මකය. ඒ අනුව වසරකට බඩඉරුඟු ගස් මෙට්‍රික් ටොන් 25,000ක් පමණ එකතු කර ගබඩා කිරීමේ පහසුකම් ද අඹේවෙල ගොවිපොළ පද්ධතිය සතුය.

අඹේවෙල ගොවිපොළට යාබදව දැනට භාවිතයට නොගන්නා, තෘණ වගා කළ හැකි බවට හඳුනා ගත් අක්කර 30ක පමණ භූමි භාගය ද මෙහිදි ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නිරීක්ෂණයට ලක් විය.

දිනේෂ් ශාෆ්ටර් ඝාතනය : CIDයට පොලිස්පතිගෙන් විශේෂ උපදෙස් !

ජනශක්ති සමාගමේ අධ්‍යක්ෂ දිනේෂ් ශාෆ්ටර්ගේ ඝාතනය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන සිදු කළ යුතු ආකාරය පිළිබඳ පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න විසින් ශාෆ්ටර් ඝාතනයේ විමර්ශන සිදු කරන උසස් නිලධාරීන් වෙත ඊයේ (28) විශේෂ උපදෙස් මාලාවක් ලබා දී ඇත.

ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති, මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන පිළිබඳ අධ්‍යක්ෂවරයා ඇතුළු උසස් විමර්ශන නිලධාරීන් ඊයේ පොලිස්පතිවරයා සමග පැවති සාකච්ඡාවකදී ය.

එහිදී විමර්ශන නිලධාරීහු ශාෆ්ටර්ගේ ඝාතනය සම්බන්ධයෙන් මේ වන විට සිදුකර ඇති විමර්ශනවල ප්‍රගතිය ද පොලිස්පතිවරයා වෙත දන්වා තිබේ. එමෙන් ම ශාෆ්ටර් මහතාගේ අබිරහස් මරණය සම්බන්ධයෙන් නොයෙකුත් මාධ්‍යවල ප්‍රචාරය වන වාර්තා සම්බන්ධයෙන් ද මෙහිදී අවධානය යොමු වී ඇති අතර එවැනි මාධ්‍ය වාර්තා සමහරක් අසත්‍ය ඒවා බවට පෙන්නුම් කර දී ඇතැයි වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ද නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ, ශාෆ්ටර් මහතාගේ මරණය සම්බන්ධයෙන් මාධ්‍යවල විවිධ තොරතුරු වාර්තා වන බව නිරීක්ෂණය වී ඇති බවත් තහවුරු නොවන මාර්ගවලින් ලැබෙන තොරතුරු ප්‍රචාරය වීමෙන් විමර්ශන කටයුතුවලට යුක්තිය ඉටු කිරීමට බාධා විය හැකි බව ත් ය. එමෙන් ම ඉන් සැකකරුවන්ට ද වාසිදායක විය හැකි බව ත් ඒ තුළින් වින්දිත පාර්ශ්වයට ද අගතියක් වීමට ඉඩ ඇති බව ත් එම නිවේදනයේ සඳහන් වේ.

විමර්ශන කටයුතුවලදී මාධ්‍ය අනාවරණය කළ හැකි විමර්ශනයට බාධා නොවන තොරතුරු අවශ්‍ය විටදී මාධ්‍ය වෙත ලබා දෙන බව ත් පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙයෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව අවධාරණය කළේ ය.

-mawbima

ගුවන් මගීන්ට විශේෂ පහසුකමක් !

ගුවන් ගමනකදී සම්පූර්ණ කළයුතු "පැමිණිමේ සහ පිටවීමේ කාඩ්පත" මාර්ගගත ක්‍රමයට සිදුකිරීම සඳහා ලබන ජනවාරි මස 01 වනදා සිට අවස්ථාව හිමිවන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසයි.

ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශකයින්ට හා මෙරටින් පිටත්ව යන ශ්‍රී ලාංකිකයින්ට එම කාඩ්පත් සම්පූර්ණ කිරීම, ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ www.immigration.gov.lk නිල වෙබ් අඩවියට පිවිසීමෙන් මෙම පහසුකම ලැබීමට හැකියාව පවතින බව ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය සඳහන් කර සිටියි.

යම් පුද්ගලයෙක් ගුවන් ගතවිමට නියමිත දිනට දින 03කට පෙර සිට එම කාඩ්පත පිරවීමට අදාළ පහසුකම් සැපයෙන බවද ආගමන විගමන පාලක ජනරාල්වරයා සඳහන් කරයි.

ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ ගුවන්තොටුපොළේදී ඇති වන අපහසුතා මග හරවා ගනිමින් මගීන්ට එම කටයුතු පහසුවෙන් සිදු කර ගැනීමට අවස්ථාව සැලසීමේ අරමුණින් මෙම පියවර ගත් බවය.

රුපියල් කෝටි 3300ක තවත් මහා නාස්තියක් !

ව්‍යාපෘති සඳහා ලබාදුන් ණය මුදල් නිසි කලට නිසි පරිදි ප්‍රයෝජනයට නොගැනීම හේතුවෙන් ණය ලබාදුන් විදේශ ආයතනවලට බැඳීම් ගාස්තු ලෙස රුපියල් කෝටි 3,300කට ආසන්න මුදලක් ගෙවීමට සිදු වී ඇතැයි 2021 ට අදාළ විගණන වාර්තාවෙන් අනාවරණය කර ඇත.

ඊට අනුව විදේශ ණය ආධාර යටතේ 2014-2016 කාලයේ ආරම්භ කරන ලද ව්‍යාපෘති වෙනුවෙනුය් මෙලෙස බැඳීම් ගාස්තු ගෙවීමට සිදුවී තිබේ.

එය විදේශ මුදල් අනුව අමෙරිකන් ඩොලර් 93,175,883ක්, යූරෝ 1,328,347 ක් හා රෙන්ම්බින් යුවාන් 70,213,890ක් බවත් 2021 විගණන වාර්තාවේ සඳහන්ය.

මෙම මුදල් ගෙවනු ලබන්නේ ණය වාරිකවලට අමතරව වන අතර, එසේ බැඳීම් ගාස්තු ගෙවීමට සිදු වූ ව්‍යාපෘති විවිධ හේතු මත 2020 වසර අවසන් වනවිට ද නිම කිරීමට නොහැකිව තිබූ බවද අදාළ වාර්තාවේ දැක්වෙයි.

විගණන වාර්තාවට අනුව මෙලෙස බැඳීම් ගාස්තු ගෙවීමට සිදුව ඇත්තේ, බෙලිඅත්ත සිට වැටිය දක්වා දක්ෂිණ අධිවේගී මාර්ගය දීර්ඝ කිරීමේ ව්‍යාපෘතියට, නාගරික සෞඛ්‍යාරක්ෂණ සහ සනීපාරක්ෂණ මුල පිරීම් ව්‍යාපෘතියට, අනුරාධපුර ඒකාබද්ධ නාගරික සංවර්ධන ව්‍යාපෘතිය, ආනමඩුව ඒකාබද්ධ ජලසම්පාදන යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමට හා විසල් මාලතේ ජල සම්පාදන ව්‍යාපෘතිය ක්‍රියාත්ම කිරීම ඇතුළු ව්‍යාපෘති කිහිපයක් සඳහා ලබාදුන් ණය මුදල්වල ප්‍රයෝජනයට නොගත් මුදල් ශේෂය වෙනුවෙනි.

විදුලියේ ආදායම් එළියට !

මෙම වසරේ නොවැම්බර් මාසයේ දී ලංකා විදුලිබල මණ්ඩලයේ ආදායම රුපියල් බිලියන 35.6ක් බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

එසේම ඔක්තෝබර් මාසයේ විදුලිබල මණ්ඩලයේ ආදායම රුපියල් බිලියන 33.6ක් වූ බවත් අමාත්‍යවරයා පවසයි.

අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ වත්මන් ගාස්තු ක්‍රමවේදයට අනුව එම ආදායම් වාර්තාකර ඇති බවය.

කෙසේ වෙතත් ජනවාරි මාසයේ දී විදුලි බලාගාර පවත්වාගෙන යාමට අවශ්‍ය නැප්තා හා ඩීසල් සඳහා රුපියල් බිලියන 35ක මුදලක් සහ ගල්අඟුරු සඳහා ගෙවීම් සිදුකිරීම වෙනුවෙන් රුපියල් බිලියන 38.45ක මුදලක් අවශ්‍ය වන බවත් අමාත්‍යවරයා සඳහන් කරයි.

මේ අතර විදුලිබල ක්ෂේත්‍රයේ පවතින අර්බුදකාරී වාතාවරණය පිළිබඳව ඊයේ (28) සාකච්ඡාවක් සිදුකළ බවත් ඊට ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු සංගමය, විදුලි අධිකාරීවරුන්ගේ සංගමය, සේවක පවුර, තාක්ෂණික සංගම් ඇතුළු විදුලිබල මණ්ඩලයේ විවිධ වෘත්තීය සමිති සහභාගී වූ බවත් කංචන විජේසේකර අමාත්‍යවරයා සඳහන් කළේය.

යෝජිත විදුලි ගාස්තු සංශෝධනය, ප්‍රතිව්‍යූහගත කිරීමේ ක්‍රියාවලිය, වියදම් පාලනයකර ගැනීම සහ විදුලිබල මණ්ඩලයේ සේවාවන් පිළිබඳව එහිදී සාකච්ඡා වූ බව අමාත්‍යවරයා පැවසීය.

ගොවි ගිණුම්වලට 10000 සහ 20000 බැගින් 29 සිට මුදල් !

ආසියානු සංවර්ධන බැංකුව මෙරට සියලුම ගොවීන් වෙනුවෙන් පිරිනමන ලද රුපියල් බිලියන අටක මූදල ගොවි ගිණුම්වලටම බැර කිරීම අද( 29) නිල වශයෙන් සිදු කෙරෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

මෙවර මහ කන්නයේදී වී වගා කරන භූමි ප්‍රමාණය හෙක්ටෙයාර් ලක්ෂ 08ක් බවත් මේ වනවිටත් වගා කටයුතු ආරම්භ කර ඇති හා අවසන් කර ඇති කුඹුරු බිම් ප්‍රමාණය හෙක්ටෙයාර් 7,60,000 ඉක්මවා තිබෙන බවත් අමාත්‍යාංශය පවසයි.

එම කුඹුරු ප්‍රමාණය අයත් ගොවි පවුල් සංඛ්‍යාව මිලියන 1.2ක් වන අතර පසුගිය මහ කන්නයේදී සිදුවූ අස්වනු හානිය සැලකිල්ලට ගනිමින් ජනාධිපතිවරයාගේ ඉල්ලීම පරිදි ආසියා සංවර්ධන බැංකුව රුපියල් බිලියන අටක මුදලක් මෙරටට ලබා දුන් බවද අමාත්‍යවරයා පවසයි.

ඒ අනුව එම මුදල් කුඹුරු හෙක්ටෙයාර් එකක් ඇති ගොවීන් සඳහා රුපියල් 10,000ක් හා කුඹුරු හෙක්ටෙයාර් දෙකක් ඇති ගොවීන්ට රුපියල් 20,000ක් වශයෙන් ගොවි ගිණුම්වලටම බැර කරන ලෙස අමාත්‍යවරයා විසින් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙස් නිකුත්කර තිබේ.

බිත්තරය 35 ට දෙන්න සූදානම් !

එළඹෙන 2023 වසරේ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වන විට බිත්තරයක් රුපියල් 35 - 40 අතර මිලකට අලෙවි කිරීමට පියවර ගන්නා බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය පවසයි.

සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ආර්.එම්. සරත් රත්නායක සඳහන් කර සිටින්නේ බිත්තරයක් මිල දී ගැනීමට නොහැකි දිළිඳු පවුල්වලට නොමිලේ බිත්තර ලබාදීමට ද සංගමය සූදානම් බවයි.

මේ අතර ඊයේ (28) බිත්තරයක් රුපියල් 55 බැගින් බිත්තර ලක්ෂ හතරක් කොළඹ නගරයේදී අලෙවි කිරීමට කටයුතු කළ බව සමස්ථ ලංකා කුකුළු ගොවිපොළ සම්මේලනය පවසයි.

සිල්ලර වෙළෙඳපොලේ වැඩි මිලට අලෙවි වන බැවින්, පාරිභෝගිකයන්ට බිත්තර අඩු මිලට ලබාදීම සඳහා බිත්තර නිෂ්පාදකයන් ලොරි රථ යොදාගෙන ප්‍රධාන නගරවලදී බිත්තර අලෙවි කිරීමට පසුගියදා තීරණය කර තිබිණ.

ඔබේ දුරකථනය මොන වගේද?

එළඹෙන වසරේ සිට ජංගම දුරකථන මාදිලි කිහිපයක් සඳහා WhatsApp සමාජ මාධ්‍ය ජාල ක්‍රියාකාරීත්වයේ දුර්වලතා ඇතිවිය හැකි බව එම සමාගම පවසයි.

ඒ අනුව Apple, Samsung සහ Huawei මාදිලිවල පැරණි ජංගම දුරකථනවල එළඹෙන වසරේ සිට WhatsApp භාවිත කිරීමේදී බාධා එල්ලවිය හැකිය.

මෙම තීරණයට අනුව අදාළ ජංගම දුරකථන මාදිලි නව මෙහෙයුම් පද්ධතියකට යාවත්කාලීන කළ නොහැකි වුවහොත් WhatsApp ඉතා හොඳින් භාවිත කිරීම සඳහා පාරිභෝගිකයින්ට නව දුරකතථනයක් මිලදීගැනීමට සිදුවනු ඇති.

එම සමාගම වැඩිදුරටත් පවසන්නේ ඒ අනුව ස්මාට් ජංගම දුරකථන වර්ග 49ක් සඳහා එම සේවා සැපයීම අඩාල විය හැකි බවය.

එම ජංගම දුරකථන මාදිලි පහතින්.

iPhone 5
Phone 5c
Archos 53 Platinum
Grand S Flex ZTE
Grand X Quad V987 ZTE
HTC Desire 500
Huawei Ascend D
Huawei Ascend D1
Huawei Ascend D2
Huawei Ascend G740
Huawei Ascend Mate
Huawei Ascend P1
Quad XL
Lenovo A820
LG Enact
LG Lucid 2
LG Optimus 4X HD
LG Optimus F3
LG Optimus F3Q
LG Optimus F5
LG Optimus F6
LG Optimus F7
LG Optimus L2 II
LG Optimus L3 II
LG Optimus L3 II Dual
LG Optimus L4 II
LG Optimus L4 II Dual
LG Optimus L5
LG Optimus L5 Dual
LG Optimus L5 II
LG Optimus L7
LG Optimus L7 II
LG Optimus L7 II Dual
LG Optimus Nitro HD
Memo ZTE V956
Samsung Galaxy Ace 2
Samsung Galaxy Core
Samsung Galaxy S2
Samsung Galaxy S3 mini
Samsung Galaxy Trend II
Samsung Galaxy Trend Lite
Samsung Galaxy Xcover 2
Sony Xperia Arc S
Sony Xperia miro
Sony Xperia Neo L
Wiko Cink Five
Wiko Darknight ZT

දෙරණ

ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තිය පාර්ලිමේන්තුවට !

වසර ගණනක් තිස්සේ මෙරට කෘෂිකාර්මික ක්ෂේත්‍රවේ අඩුපාඩුවක්ව පැවැති ජාතික කෘෂිකාර්මික ප්‍රතිපත්තිය මේ වනවිට අවසන් කෙටුම්පත සකස් කර අවසන් කර ඇති බව එම ප්‍රතිපත්තිය සකස් කිරීම සඳහා පත් කළ විද්වත් කමිටුව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීරට දැනුම් දුන්නේය.

සෑම අංශයක්ම නියෝජනය වන පරිදි විද්වතුන්ගෙන් සමන්විත කමිටුවක් මේ සඳහා පත් කෙරුණු අතර ජ්‍යෙෂ්ඨ මහාචාර්ය බුද්ධි මාරඹේ, මහාචාර්ය උදිත් ජයසිංහ, මහාචාර්ය පාලිත වීරක්කොඩි, මහාචාර්ය එම් බී. රත්නතිලක, ආචාර්ය බී.වී.ආර් පුණ්‍යවර්ධන, ආචාර්ය ඩී. ඇස් . කුරුප්පුආරච්චි, හිටපු කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරුන් වන ආචාර්ය අජන්ත ද සිල්වා හා හා ආචාර්ය ඩබ්. එම්. එම් වීරකෝන් යන අය මෙම කමිටුවට අයත් වූහ.

සෑම අංශයක්ම නියෝජනය වන පරිදි කෘෂිකර්ම ක්ෂේත්‍රයේ සංවර්ධනය සඳහා අදහස් හා යෝජනා ලබා ගත් බව ද විද්වත් කමිටුව කෘෂිකර්ම අමාත්‍යවරයාට දැනුම් දුන්නේය.

Page 159 of 386