V2025

පුවත්

පාර්ලිමේන්තුව විසුරුවන්නෙත් නෑ : ඩින්ඩියන් පාලනයට ඉඩකුත් නෑ - ජනපති

ලංකාව තුළ ඩින්ඩියන් පන්නයේ පාලනයක් සඳහා තමන් කිසිවිටෙකත් ඉඩ නොතබන බවත්, එවැනි උත්සාහයක් ගැනුනහොත් හමුදාව, හදිසි නීතිය යොදවා එය වැළැක්වීමට පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ අද (23) පාර්ලිමේන්තුව අමතමිනි.

මෙහිදී ජනාධිපතිවරයා විශේෂ අවධාරණයක් කරමින් සඳහන් කර සිටියේ හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ කදිම අනුගාමිකයෙක්වීමට වත්මන් විපක්ෂ නායකවරයා සුදුසුකම් සපුරා ඇති බවයි. ඒ රාජ්‍ය ව්‍යවසාය සම්බන්ධයෙන් දෙදෙනාම සමාන අදහස් දැරීම හේතුවෙනි. මෙහිදී ජනාධිපතිවරයා අදහස් දක්වමින් සිහිපත් කර සිටියේ ලාබ ලබන රාජ්‍ය ව්‍යවසාය පෞද්ගලීකරණය කිරීම පළමුව සිදු කළේ ජනාධිපති ප්‍රේමදාස යුගයේදී බවත්, එවකට කර්මාන්ත අමාත්‍යවරයා තමන් බවත්ය.

එහිදී පෞද්ගලීකරණය කෙරුණේ ලාබ ලබන යනුවෙන් හඳුන්වන ආයතන බවත්, යුනයිටඩ් මෝටර්ස්, සිලෝන් ඔක්සිජන්, ලෙදර් කෝපරේෂන්, ටයර් කෝපරේෂන් ඇතුළු ආයතන කිහිපයක නම් ජනාධිපතිවරයා සභාවට සිහිපත් කළේය.

එහිදී අනුගමනය කළ ප්‍රතිපත්තිය වුයේ චීනය සම්බන්ධයෙන් ඩෙන්සියාඕ පින් ජනාධිපතිවරයා අනුගමනය කළ පියවර බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය. එහෙත් හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අදහස් දක්වමින් තම ප්‍රතිපත්තිය ලාබ ලබන ආයතන පෞද්ගලික ව්‍යවසාය වෙත පැවරීම නොවන බව පවසන විට ඔහුගේ කදිම අනුගාමිකයෙකු වෙමින් විපක්ෂ නායකවරයා ද එම අදහසට සහය දෙන බවත් ජනාධිපතිවරයා පැවසීය.

එසේම මැයි 09දා සිට ජූලි 09දා දක්වා සිදු වූ ප්‍රචණ්ඩ ක්‍රියා කිසිසේත්ම අනුමත නොකරන බව ද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය. හොඳ හෝ නරක වේවා පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් පත්ව ඇත්තේ ජනතා ඡන්දයෙන් බවත්, ඔවුන් ඉවත් කළ යුත්තේ ද ඒ ක්‍රමයටම බවත් ජනාධිපතිවරයා පැවසීය.

තවද, 17, 19, 21 වැනි ව්‍යවස්ථා සංශෝධන හඳුන්වා දුන් තමන්ව හිට්ලර් කියා හඳුන්වන බව ද ජනාධිපතිවරයා පැවසීය. එහිදී වැඩිදුරටත් පාර්ලිමේන්තුව ඇමතූ ජනාධිපතිවරයා මෙසේ ද පැවසීය.

"අපිට මෙතන තියෙන්නෙ වෙනසක් කරන්න. මම නං පාර්ලිමේන්තුව විසුවා හරින්න යන්නෙ නෑ. මේ රටේ ආර්ථිකය විශාල ප්‍රශ්නයක් තියෙනවා. ඒක විසඳගත්තට පස්සෙ කරන්න. මෙතන මං එකක් කියන්නම්, දැනට රටේ බොහෝ දෙනෙක්ට ඡන්දත් එපා වෙලා, දේශපාලන පක්ෂත් එපා වෙලා. මතක තියාගමු.

අද සජබෙ රැස්වීමට ගියාමත් තියෙන්නෙ පරණ මූණු නේ. මමත් දන්න මූණු නේ. මම බොහෝ වෙලාවෙදි බලා ගන්නවා. දන්න මූණු තියෙන්නේ. අලුත් මොකක්වත් නෑ. ඔබතුමා යන එකටත් ඉන්නෙ පරණ මූණු. තරුණයො බලන්නෙ මේකෙ වෙනසක් කරනවද නැද්ද කියලා. ඒක කරැයින් පස්සෙ අපි යං. ඒතකොට ඕනෙ කෙනෙකුට බලය ගන්න පුළුවන්. ඒක කරල සහනයක් දීල අපි යන්න ඕනේ.
ඒකයි මම කියන්නෙ මේ ඡන්ද ක්‍රමය වෙනස් කරන්න. මනාප ක්‍රමය තියෙනකං දූෂණය තියෙනව මේ රටේ. කොච්චර වියදම් කරනවද ආසනයක් දිනන්න. ඒ කාලේ මිලියන විසිපහක් වියදම් කරනවා. පනහක් කරනවා. අද රුපියල තුන්සිය අසු ගානට තියෙන්නේ. කරන්න වත් බෑ ඡන්ද. මේව අපි හිතන්න ඕනෙ. ඉතින් මම කියන්නේ මෙතන තියෙන ක්‍රමය වෙනස් කරන්න. මම ආපහු විපක්ෂයට කියනවා ඒන්න අපි ඔක්කොම ඒකතු වෙලා මේ වැඩකටයුත්ත කරමු. මට පුළුවන් මේ ඔක්කොම ඒක්ක වැඩ කරන්න. කිසිම ප්‍රශ්නයක් නෑ"

ජනාධිපතිවරයා මෙම සභාව ඇමතු අවස්ථාවේදී දේශපාලන බලය බෙදීම සම්බන්ධයෙන් ද එක් එක් පක්ෂ වෙතින් බලය බෙදීම සම්බන්ධයෙන් විවෘතව අදහස් විමසීමද විශේෂ සිදුවීමක් විය.
එහිදී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල බලය බෙදීමට තමන් පෞද්ගලිකව පක්ෂ බව පැවසීය. එසේම මනෝ ගනේෂන් මන්ත්‍රීවරයා සඳහන් කර සිටියේ සමස්ත සමගි ජන සන්ධානය බලය බෙදීමට එකඟ බවත්, තමන් ඇතුළු අනෙක් පාර්ශව ඊට එකතුව සිටින්නේ එම පදනමින් බවත් පැවසීය.

සියලු දේශපාලන පක්ෂ බලය බෙදීමට එකඟතාවයකට පැමිණීම සදහා වන සාකච්ඡාවක් එළඹෙන 11 වැනිදා සිදුකිරීමට කටයුතු කරන බවත් මෙහිදී ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව අමතමින් අවධාරණය කළේය.

P 627 නෞකාව “විජයබාහු" නමින් ජනාධිපති අතින් අධිකාරියට !

සාගර කලාපයේ පොදු සමුද්‍රීය අභියෝග ජය ගැනීම උදෙසා හවුල්කාරිත්වය ශක්තිමත් කිරීමේ සහ වර්ධනය කිරීමේ අරමුණින් ඇමෙරිකා එක්සත් ජනපද වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් ශ්‍රීලංකා නාවික හමුදාව වෙත ලබාදුන් P 627 ගැඹුරු මුහුදු ආවේක්ෂණ නෞකාව “නාවික නෞකා විජයබාහු" නමින් අධිකාරියට පත් කිරීමේ උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිහගේ ප්‍රධානත්වයෙන් අද (22) පස්වරුවේ කොළඹ වරාය, නැගෙනහිර පර්යන්තයේ දී සිදු විය.

නාවික හමුදා විශේෂ රථ පෙළපාලියකින් උත්සව භූමියට පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ විශේෂ නාවික හමුදා උත්තමාචාර මැද පිළිගනු ලැබීය.

අභිනව නෞකාවේ අණදෙන නිලධාරී කපිතාන් ලංකා දිසානායක වෙත නෞකාව අධිකාරියට පත් කිරීමේ සන්නස් පත්‍රය ප්‍රදානය කිරීම ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.

අනතුරුව “විජයබාහු" නමින් අධිකාරියට පත් කරන ලද නෞකාවේ නාම පුවරුව සහ නිල ලාංඡනය නිරාවරණය කිරීම ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ නෞකාවේ නිරීක්ෂණ චාරිකාවක ද නිරත වූ අතර, නෞකාවේ සමරු පොතෙ‍හි විශේෂ සමරු සටහනක් ද තැබීය.

නාවික හමුදාපතිවරයා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත විශේෂ සමරු තිළිණයක් ද පිළිගැන්වීය.

“Hamilton Class High Endurance Cutter” යන නෞකා පන්තියට අයත් දෙවන නෞකාව ලෙස ශ්‍රී ලංකා නාවික හමුදාවට ලබා ගන්නා ලද මෙම නෞකාව දිගින් මීටර් 115කි. උපරිම වේගය පැයට නාවික සැතපුම් 29කි. එක් වරකදි අවම වශයෙන් නාවික සැතපුම් 14,000ක දුරක් ආවරණය වන පරිදි අවේක්ෂණ කටයුතු සිදු කිරීමේ හැකියාවෙන් සහ 187ක පමණ නැව් මුළුවකින් මෙහෙයුම් කටයුතු සිදුකළ හැකි නාවික තාක්ෂණ උපාංග හා පහසුකම්වලින් ද මෙම නෞකාව සමන්විත වේ. ‍

එමෙන්ම මෙම නෞකාව ඇමරිකා එක්සත් ජනපද වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අනුයුක්තව මෙහෙයුම් කටයුතු සිදු කළ වකවානුවේ, එරට මුහුදු කලාපයේ සිදු වූ නීති විරෝධී මත්ස්‍ය කර්මාන්තය, නීති විරෝධී සංක්‍රමණ කටයුතු මෙන්ම මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීමේ සාර්ථක මෙහෙයුම් සඳහා සුවිශේෂ දායකත්වයක් ලබා දී ඇත.

P 627 ගැඹුරු මුහුදු ආවේක්ෂණ නෞකාව ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත භාර ගැනීමෙන් අනතුරුව එහි අණ දෙන නිලධාරී කපිතාන් ලංකා දිසානායක මහතාගේ අධීක්ෂණය යටතේ නෞකාවේ පළමු කාර්ය මණ්ඩලයට අයත් 130 දෙ‍නෙකුගෙන් සමන්විත කාර්ය මණ්ඩලයට මාස 10ක පමණ කාලයක් නෞකාව සම්බන්ධ පුහුණුවක් ලබා දී ඇති අතර ශ්‍රී ලංකා නාවික හමුදා මෙහෙයුම් අවශ්‍යතාවලට ගැලපෙන පරිදි නෞකාවේ නවීකරණ කටයුතු සිදු කර ඇත.

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජූලි චන්ග්, ආරක්ෂක ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ, පොලිස්පති සි. ඩී වික්‍රමරත්න ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ධීවරයින්ට භූමිතෙල් සැපයීම විධිමත්ව සිදුකිරීමට රජයෙන් පියවර !

ධීවර ප්‍රජාව වෙනුවෙන් භූමිතෙල් බෙදාහැරීම විධිමත්ව සහ අඛණ්ඩව සිදු කිරීමට රජය පියවර ගෙන තිබේ.

ජනාධිපති අධ්‍යක්ෂ ජනරාල් (ප්‍රජා කටයුතු) කීර්ති තෙන්නකෝන් විසින් 2022 නොවැම්බර් 22 දිනැතිව මේ පිළිබඳ විශේෂ දැනුවත් කිරීමේ ලිපියක් දිස්ත්‍රික් ලේකම්රුන්, පළාත් ධීවර අමාත්‍යාංශ ලේකම්වරු සහ පළාත් සමූපකාර අමාත්‍යාංශය ලේකම්වරු වෙත යොමු කර ඇත.

ඒ අනුව ධීවරයින්ගේ භුමිතෙල් අවශ්‍යතාව සැපිරීම සඳහා දිනකට ඉන්ධන බවුසර් 50 බැගින් නිකුත් කිරීමට රජය තීරණය කර තිබේ.

ධීවරයින්ගේ අවශ්‍යතාව සඳහා භුමිතෙල් බවුසර් 357ක් පසුගිය සතියේ නිකුත් කිරීමට ඛනිජ තෙල් සංස්ථාව අනුමැතිය ලබා දී තිබිණි. නමුත් ඉන්ධන පිරවුම්හල් මගින් ලබාගෙන ඇත්තේ බවුසර 206ක් (58%) පමණි. මේ සඳහා රජය ඩොලර් ලක්ෂ 33ක අතිරේක පිරිවැයක් දරණු ලැබ ඇති නමුත්, ධීවර ප්‍රඡාවට භුමිතෙල් සැපයීම නිසි ලෙස සිදු කර නැති අතර එමගින් ධීවර ප්‍රජාවට ධීවර කටයුතු නිසි ලෙස සිදු කිරීමට නොහැකිවී ඇති බව ද ලිපියෙන් පෙන්වා දී තිබේ.

ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම රජයේ ප්‍රමුඛ වගකීමක් ලෙස සලකනු ලබන අතර ජනතාවගේ පෝෂණ අවශ්‍යතාව සපුරාලීම ද මෙමගින් අපේක්ෂා කෙරේ.

එබැවින් ධීවරයින්ට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය හා ඒවා ලැබිය යුතු ප්‍රදේශ තීරණය කිරීමේ වගකීම ධීවර දෙපාර්තමේන්තුව, ධීවර අමාත්‍යාංශය සහ ඛනිජ තෙල් සංස්ථාව වෙත ලබා දී තිබෙන බව ද අදාළ ලිපියෙන් දැනුම් දී ඇත.

පළාත් ධීවර අමාත්‍යාංශ සහ පළාත් සමූපකාර අමාත්‍යාංශ ලේකම්වරුන් ධීවර දෙපාර්තමේන්තුව, ඛනිජ තෙල් සංස්ථාව හා එක්ව ධීවරයින්ට අවශ්‍ය භුමිතෙල් අනුමත සීමාවන් තුළ සැපයීම සඳහා වන වගකීම ලබාදී තිබෙන බවත්, ඒ සඳහා පෞද්ගලික, සමූපකාර හෝ වෙනත් බලයලත් ඉන්ධන පිරවුම්හල් මගින් හෝ නාවික හමුදාවේ සහය ඇතිව ධීවරයින් වෙත අඛණ්ඩව භුමිතෙල් සැපයීම සිදු කරන ලෙසත් එම ලිපිය මගින් වැඩිදුරටත් දැනුම් දී තිබේ.

අයවැය 2023 දෙවනවර කියවීම ඉහළින්ම සම්මතයි !

විසර්ජන පනත් කෙටුම්පත 2023 දෙවන වර කියවීම අද (22) වැඩි ඡන්ද 37කින් සම්මත විය.

ඊට පක්ෂව ඡන්දව 121ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 84ක් පමණි.

එක් මන්ත්‍රීවරයෙකු ඡන්දය ලබාදීමෙන් වැළකී සිට ඇත.

පසුගිය නොවැම්බර් 14 වන දා මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි.

පුදනකොටම කාපි යකා : බැසිලාගමනයේ පොල්ලක් !

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ ඇමෙරිකාවේ සිට මෙරටට පැමිණි අවස්ථාවේම තියපු පොල්ලක් ගැන කතාවක් යනවා.

සමාජ මාධ්‍ය වලත් මේ ගැන අවධානය යොමුවෙලා. වෙබ් අඩවි කිහිපයකුත් ඒ ගැන නිව්ස් දාලා තිබුනා.

මේ පුවතේ කියන විදිහට බැසිල් රාජපක්ෂ පසුගියදා මෙරටට පැමිණි අවස්ථාවේ කටුනායක ගුවන්තොටුපල ප්‍රභූ පර්යන්තය භාවිතා කිරීම සඳහා අදාළ මුදල් ගෙවා නැතිලු.

මේ වන විට මෙරට සිවිල් පුරවැසියෙක් පමණක් වන බැසිල් රාජපක්ෂට කටුනායක ප්‍රභූ පර්යන්තයෙන් ලැබෙන සේවා නොමිලේ ලබා ගැනීමේ වරප්‍රසාදය හිමි නොවන බවත් ඒ පුවතේ සඳහන් කරලා.

බැසිල් රාජපක්ෂ පිළිගැනීම සඳහා එහි ගිය මැති ඇමැතිවරුන් ඇතුළු පිරිසකට සංග්‍රහයක් ද එහි සූදානම් කර තිබු බවත් එක් පුද්ගලයෙකුට ප්‍රභූ පර්යන්තය භාවිතා කිරීම සඳහා ඩොලර් 200ක මුදලක් ගෙවිය යුතු නමුත් එම මුදල් කිසිවක් මේ වන තෙක් ගෙවා නැතෙයි කියලයි කියන්නේ.

මේවායේ ඇත්ත නැත්ත අපි නම් දන්නේ නෑ. ඒ මොනවා වුණත් ඉතිං රටට එදා වේල ඇදගන්න අමාරුවෙන් ඉන්න වෙලාවේ මෙහෙම ජෝගි නම් අනුමත කරන්න බෑ කියලයි විචාරකයන් කියන්නේ. කොහොමටත් මේ ගැන පොහොට්ටු ඇත්තෝ ඉක්මනින් කරුණු පැහැදිළි කිරීමක් කරයි කියලත්, පාක්ෂිකයන් බලාගෙන ඉන්නවා. නැත්නම් ඉතිං තව දවස් කීයක් යනකල් බුකියේ පහර කන්නද ?

දේශපාලන වාර්තාකරු

සාරි අවුල දුරදිග යයි !

සාරිය ඔසරිය වෙනුවට වෙනත් ඇඳුම්වලින් සැරසී පාසල් පැමිණි ගුරුවරියන් සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගන්නා බව වැඩබලන කැබිනට් ප්‍රකාශක රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර පවසයි.

පාසැල් ගුරුවරියන් සඳහා අනුමත වී ඇත්තේ සාරිය සහ ඔසරිය පමණක් බවත් ඒ වෙනුවට වෙනත් ඇඳුම්වලින් පැමිණි ගුරුවරියන් ගැන විනය ක්‍රියාමාර්ග ගන්නා බවද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ අද (22) පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු කළ ප්‍රශ්න කිරීමකට ප්‍රතිචාර දක්වමිනි.

මේ අතර රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ලේකම් ප‍්‍රියන්ත මායාදුන්නෙ සඳහන් කරන්නේ රජයේ කාර්යාලවල සේවයට වාර්තා කිරීමේදී පහසු ඇඳුමකින් සේවයට පැමිණීමට අනුමැතිය දෙමින් නිකුත් කළ චක්‍රලේඛය පාසැල්වලට අදාළ නොවන බවත් පාසල් රාජ්‍ය කාර්යාල ලෙස සැළකිය නොහැකි බවත්ය.

දේශීය ණය ගැන හර්ෂගේ ප්‍රශ්නයට ෂෙහාන්ගේ ප්‍රතිචාරය !

රජයට ඉදිරි මාස 03 තුළ දේශීය ණය ලබාගැනීමට නොහැකි ප්‍රධානතම හේතුව ජනතාව තුළ තිබෙන අනුමානයන් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසයි.

ඔහු මේ බව සඳහන් කර සිටියේ, අද (22) අය වැය විවාදයට එක්වෙමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, හර්ෂ ද සිල්වා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්ය.

දේශීය ණය සම්බන්ධයෙන් විවිධ තොරතුරු ජනතාව අතර හුවමාරුවෙමින් ඇති බවද රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පැවසීය.

ඒ අනුව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ දේශීය ණය ගැන අනුමාන නොකර සිටීම පාර්ලිමේන්තුවේත් වගකීමක් බවය.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, හර්ෂ ද සිල්වා :

"අපේ අයවැය ඉදිරිපත් කරන කොට ඒක තක්සේරුවක් කරන්න ඕනේ...උපකල්පන සම්බන්ධයෙන්. ඒක ඉතාමත්ම වැදගත්."

"කලබල කරන්නේ නැතුව මේ කතාව කියන්න ඕනේ.. ඒ තමයි, උපකල්පනය කරලා තියෙන්නේ 2023 ජුනි මාසයේ 31 වනදා වෙනකම් විදේශ ණය ගෙවීම අත්හිටුවලා තියෙන්නේ. ඒ නිසා ගෙවීමට අවශ්‍යතාවයක් නැහැ."

"ඊට පස්සේ ජුලි මාසයේ සිට දෙසැම්බර් 31 වනදා වෙනකම් බලාපොරොත්තු වෙන්නේ විදේශ ණයවලින් 50%ක් ගෙවන්න විතරයි."

"අපිට තිබෙන ලොකුම වියදම තමයි පොලිය. මේ පොලිය දේශීය පොලිය. මාස 3නේ ණය තමයි අපි ලබාගන්නේ.. ඒකටත් අපි 33%ක් දැන් ගෙවනවා. එතකොට පොලී අනුපාතය අඩුකර ගන්න නම් කරන්න තියෙන්නේ එක ක්‍රමයක් තමයි දේශීය ණය පිළිබඳව හිතන්න වෙනවා."

"දේශීය ණව ගෙවීම පිළිබඳව ගැටලුවක් මතුවෙමින් පවතිනවා. රජය ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක විය යුතුයි කියන එක අපි දැඩිව ප්‍රකාශ කරන්න කැමතියි."

මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ :

"මම හර්ෂ ද සිල්වා මහතා සමග එකඟ වෙනවා. විශේෂයෙන්ම මේ දේශීය ණය සම්බන්ධයෙන් විවිධ තොරතුරු හුවමාරු වෙනවා."

"අපිට ඉදිරි මාස 03 තුළ ණය ගන්න බැරි ප්‍රධානම හේතුව ඒක තමයි. මිනිස්සු විවිධ අනුමානයන් කරනවා. අනුමානයන් කරද්දි.. මිනිස්සු ඉදිරි මාස 03 තුළ බැඳුම්කරවල ආයෝජනය කරන්න පැකිලෙනවා."

"ඔබ මතුකරන කාරණාව හරි. ඒක මං හිතන්නේ දේශීය ණය ගැන අනුමාන නොකර ඉන්න එක පාර්ලිමේන්තුවේත් වගකීමක් වෙනවා. අපි ඒ ගැන තවම තීන්දුවක් අරගෙන නැහැ."

මන්ත්‍රී හර්ෂ ද සිල්වා :

"ඔබ කියන කතාව හරි. විශ්වාසය මත තමයි මූල්‍ය වෙළෙඳපොළ වැඩ කරන්නේ. ඒ විශ්වාසය දේශීයව සහ ජාත්‍යන්තරව ගොඩනගන එක ඔබලාගේ මූලිකම වගකීම."

ජන්දෙට වැඩිපුර වියදම් කළොත් මන්ත්‍රී ධූරය අහෝසියි !

මැතිවරණයකදී අපේක්‍ෂකයන් වියදම් කරන මුදල් ප්‍රමාණය සීමා කිරීම සඳහා වන නීතිය ඇතුළත් ‘මැතිවරණ වියදම් පාලනය කිරීම සඳහා විධිවිධාන සැලැස්වීමේ පනත් කෙටුම්පත’ රජයේ ගැසට් පත්‍රයේ පළකිරීමට සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්‍ෂ පවසයි.

ඇමතිවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (22) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමින්ය.

අදාළ පනත අනුව යම් අපේක්‍ෂකයකුට වියදම් කළ හැකි මුදල තීරණය කරන්නේ මැතිවරණ කොමිෂන් සභාව බවත්, යම් අපේක්‍ෂකයකු එය ඉක්මවා වියදම් කර ජයග්‍රහණය කළහොත් එම මන්ත්‍රීධූරය අහිමි කිරීමට මැතිවරණ කොමිසමට බලය හිමිවන බවත් අමාත්‍යවරයා පවසයි.

ඕමාන් ගණිකා ජාවාරම : තවත් දෙදෙනෙකු හිරේ

ඕමාන් රටේ ගෘහ සේවිකා රැකියා සදහා යැයි පවසමින් ශ්‍රී ලාංකික කාන්තාවන් එරටට ගෙන ගොස් ගණිකා වෘත්තියේ යෙදවූයේ යැයි කියන සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් තැරැව්කරුවන් දෙදෙනකු ලබන 01 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අධිකරණය නියෝගකර ඇත.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ විසින් අද (22) මෙම නියෝගය නිකුත් කළේය.

ඒ අනුව රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ කාන්තාවන් දෙදෙනකුට විදෙස් ගත වීම සඳහා සංචාරක වීසා ලබාදුන් තැරැව්කරුවන් වන අජිත් කුමාර සමරකෝන් සහ යෝගේන්ද්‍ර නොහොත් ‘යෝගා’ නැමැත්තන්ය.

චන්ද්‍රිකා නිමල් ශ්‍රීලනිපයෙන් එළියට !

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසක හිටපු සභාපතිනි සහ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සහ හිටපු ජ්‍යෙෂ්ඨ උපසභාපති, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ඇතුළු පක්ෂ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් කිහිප දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවීමට එහි මධ්‍යම කාරක සභාව තිරණය කර ඇත.

ඊට අනුව පක්ෂ මතයට හා මධ්‍යම කාරක සභාවේ තීන්දුවලට පටහැනිව කටයුතු කළ බව පවසමින් ශ්‍රීලනිප හිටපු ජ්‍යෙෂ්ඨ උපසභාපති මහින්ද අමරවීර, හිටපු උපලේකම් රංජිත් සියඹලාපිටිය, හිටපු ප්‍රචාරක ලේකම් ශාන්ත බණ්ඩාර, හිටපු භාණ්ඩාගාරික ලසන්ත අලගියවන්න, උපසභාපතිවරුන් වන සුරේන් රාඝවන්, චාමර සම්පත් දසනායක සහ ජගත් පුෂ්පකුමාර අතුළු පිරිසකගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට කරයුතු කර ඇත.

ශ්‍රීලනිපයේ මධ්‍යම කාරක සභාව පසුගියදා රැස් වූ අවස්ථාවේ මෙම තීරණය ගෙන ඇත.

එම පිරිසට එරෙහිව විනය පරික්ෂණයක් පැවැත්වීමට නියමිත බවත් එතෙක් ඔවුන්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවන බවත් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර පවසයි.

මීට අමතරව පක්ෂ ජ්‍යෙෂ්ඨ උපසභාපතිවරු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ෂාන් විජයලාල් සිල්වා, අංග්ජන් රාමනාදන් සහ හිටපු අමාත්‍ය ෆයිසර් මුස්තාපා පත්කර ඇති බවද ඔහු පවසයි.

2023 අයවැය : ලිබරල් ආර්ථික මාවතකට රට යොමු කරනවාද?  

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා මුදල් අමාත්‍යවරයා වශයෙන් 2023 වර්ෂය සඳහා ඉදිරිපත් කරනු ලැබූ අය වැය ලේඛනය පිළිබඳව සමාජයේ නොයෙකුත් විවේචන, ගැරහීම් සහ අප්‍රසාදයක් පමණක් අසන්නට ලැබේ.

මෙම අර්බුදකාරී අවස්ථාවේදී  මූල්‍ය බලය හිමි පාර්ලිමේන්තුවේ අයවැය විවාදය පවතින්නේ ඉතාමත් ඇල්මැරුණ ස්වරූපයෙන් බව නොකියා සිටිය නොහැකිය.

යහපාලන සමයේ මංගල සමරවීර මහතා මුදල් ඇමැති වශයෙන් ඉදිරිපත් කළ අයවැය ගැන සමාජයේ යම් කතිකාවක් ඇති වූ අතර, ගම්පෙරළිය වැනි ජනතා හිතවාදී වැඩපිළිවෙළක් අයවැය ලේඛණය තුලින් ඉදිරිපත් කර එය සමාජගත කිරීමට ඔහුට හැකියාව තිබුණි.

 ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් බිලියන 2.9 ක ණයක් බලාපොරොත්තුව සිටින රජය එම ආයතනය විසින් ලබා දුන් මගපෙන්වීම යටතේ ජනාධිපති කාර්යාලයේ නිලධාරීන්, මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් සහ අනෙකුත් රාඡ්‍ය නිලධාරීන් බොහෝ වෙහෙසක් ගෙන ඉදිරිපත් කරන ලද රනිල් වික්‍රමසිංහ ජනාධිපතිගේ 2023 අයවැය ලේඛනය දැනටමත් විරුද්ධ පක්ෂයේ විවේචනයටත් සහ සමාජයේ යම් කථිකාවකටත් ලක්ව ඇත.

එහි උච්චතම අවස්ථාව වශයෙන් එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අභයවර්ධන අයවැය කතාව කරමින් පසුගිය සිකුරාදා ශ්‍රී ලංකා මහබැංකුවට එල්ල කරනු ලැබුවේ මාරාන්තික ප්‍රහාරයක්  බව ආණ්ඩුවේ නිලධාරීන් තේරුම් ගත යුතුව ඇත.  

ලිබරල් ආර්ථික මාවතකට රට යොමු කරනවාද?  එසේ නැතහොත් සමාජීය වෙළඳපල ආර්ථිකය පදනම් කරගෙනම දෙකෝටියකට අධික ජනතාවගේ අපේක්ෂා ඉෂ්ට වන ආකාරයේ සහ සමාජ ආරක්ෂණය අවරණයක් සහිතව ජනතාවගේ අපේක්ෂා ඉෂ්ට කරමින් කඩා වැටුණ ආර්ථිකය නව මාවතකට යොමු කරනවා ද යන්න 2023 වර්ෂයේ අපට ඇති අභියෝගයයි.

වගකිවයුතු මාධ්‍යයක් ලෙස බොහෝ මාධ්‍යයන් කරන ආකාරයට 2023 අයවැය ලේඛනයට අපටත් ආවැඩිය හැකි වුවත් මේ පැයේ රටට අවශ්‍ය හේතුව  ආර්ථික වැඩපිළිවෙළක් නිවැරදිව සැලසුම් කර  ජනගත නොකළ හොත් එහි ප්‍රතිඵල අපට බලාගත හැකි වන්නේ 2023 අවසානයටය.
ඒ සඳහා හේතු ගණනාවක් ඇත.

වසර 75 ක් තිස්සේ මෙරට පාර්ලිමේන්තුවට අයවැය ඉදිරිපත් කර ඇති අතර අවම වශයෙන් 10%ක වර්ධනයක් වාර්ෂිකව ලබා ගත්තේ නම් අද අප සිටින්නේ මේ ආර්ථික ආගාධයේ නොව. අවම වශයෙන් බංග්ලාදේශය වැනි රටක් ඉන්න ස්ථානයේය.

සුපුරුදු පරිදි ශ්‍රී ලාංකීය රාජ්‍යය නිලධාරීන් විසින් ජනාධිපති තුමාගේ ගුණ ගායනා කිරීමත් ආරම්භ කර ඇති ප්‍රතිසංස්කරණ වැඩ පිළිබඳ මෙම අර්බුදය සඳහා ඇති එකම විසඳුම බවත් ප්‍රකාශ කරමින් කරමින් සිටී.  2022 ජුලි / සැප්තැම්බර් මාස වල රට සිටි තත්ත්වයට වඩා පියවරක් ඉදිරියේන් සිටියත්, එම තත්ත්වය පාලනය කිරීම සඳහා ගන්නා ලද තීරණ නිසා රට අභ්‍යන්තරයේ ඇති වී තිබෙන පීඩනය ජනාධිපති රනිල් වික්‍රමසිංහට හෝ ඔහුට සහය දෙන පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම මේ වන විටත් තේරුම් ගෙන නොමැත.

විපක්ෂයේ කිහිප දෙනෙකු එනම්  පාඨලී චම්පික, එරාන් වික්‍රමරත්න අඩු වැඩි වශයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රට අභ්‍යන්තරයේ  මෝදුවන  පීඩනය ගැන අවධානය යොමු කරමින් අයවැය විග්‍රහ කරන ආකාරයත්, පසුගිය සිකුරාදා පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන විසින් අයවැය විවාදයේද මතුකරන ලද කාරණා පිළිබඳව මෙම අයවැය විවාදය අතරතුර අවධානයට ලක් කළ යුතුය.

හිටපු මුදල් ඇමති බැසිල් රාජපක්ෂගේ කිලොමීටර් 100,000යේ පාරවල් ප්‍රතිසංස්කරණ වැය ශීර්ෂ මෙම  අයවැය ලේඛනයේ නොමැති වීම අගය කළ යුතුය.

එහෙත් වර්තමානයේදී ජනතාවට දැරීමට සිදුව ඇති දැඩි ආර්ථික පීඩනය පිළිබඳව රජය නොසැලකිලිමත් වීම තවත් අරගලයකට පාර කපා ගැනීමක් විය නොහැකිද?

මෙම අයවැය ලේඛනය මානුෂික අයවැය ලේඛණයක් ද? කොහෙත්ම නැත.

මේ වන විට රටේ උද්ධමනය 70%ක් පමණ ප්‍රමාණයක්ද ආහාර උද්ධමනය 94% ක පමණ ප්‍රමාණයකින් ද පවතින රටක අයවැය ලේඛණයක්  ඉදිරිපත් කිරීමේදී ඒ පිළිබඳ රජය  අවධානය යොමු කරාද?

පසුගිය සතියේ නැවත පනවන ලද සෙස් බද්ද නිසා භාණ්ඩ වර්ග 670 ක මිල ඉහළ ගොස් ඇත. මෙම බද්ද ගෙවනු ලබන්නේ පාරිභෝගිකයන්ය. රජය තේරුම් ගත යුත්තේ දියුණු රටවල් වන එක්සත් රාජධානිය සහ ඇමරිකා එක්සත් ජනපදය වැනි රටවල 11% ක් දක්වා ඉහළ ගොස් ඇති උද්ධමනය සියයට 7%ක් දක්වා අඩු කිරීමට ඔවුන් කොතෙක් වෙහෙසක් ගන්නවාද යන්නටත් අපේ නිලධාරීන්ට අවබෝධයක් නොමැත.

 ආහාර උද්ධමනය අඩු කිරීමට නම් දේශීය නිෂ්පාදනය වහා ඉහළ දැමිය යුතුය.

ගෝඨාභය ගේ කාබනික පොහොර සංකල්පයෙන් 2020 අප්‍රේල් මස සිට කඩා වැටුන වැවිලි කර්මාන්තය, කෘෂිකර්මාන්තය සහ සත්ව පාලනය නැවත 2019 මට්ටමට හෝ ගෙන ඒමට වැඩපිළිවෙළක් මේ අය වැය ලේඛනය තුළ තිබේද?

* අහස උසට ඉහළ ගොස් ඇති මාලු මිල, කුකුල් මස් සහ බිත්තර මිල අඩු කිරීමට කෙටිකාලීන සහ මධ්‍යම කාලීන වැඩපිළිවෙළක් මෙම අයවැය ලේඛනය තුළ තිබෙනවා ද?

 නැත. නිලධාරීන්ගේ පහළ මට්ටමෙන් ලබාදෙන සංඛ්‍යා ලේඛන මත පමණක් මෙම රජය යැපෙමින් සිටී.

* මුදල් සැපයුම  පාලනය කිරීමට හෝ බැංකුවල ද්‍රවශීලීතාවය ආරක්ෂා කර ගැනීමට ඉහළ දමන ලද පොලිය ජනතාවට දැරිය හැකි ද?  මේ වන විට තැන්පතු පොලී අනුපාතය 25%  ක් සහ 26% ක් මට්ටමට ගොස් ඇති අතර ණය පොලී 32% ක් සහ 35% ක් අතර වේ.
වජිර අබේවර්ධන මතු කළ මෙම කාරණය ඉතාමත් වැදගත් එකකි. එය යම් පාලනයකට නතු කළ නොහැකිද?

පාසල් දරුවන් සඳහා පෝෂණයට කඩිනම් වැඩපිළිවෙළක් සකස් කර, අවශ්‍ය පාසැල් වල ද දරුවන්ට අංගසම්පූර්ණ දිවා ආහාරයක් ලබා දෙන වැඩපිළිවෙළක් අයවැය ලේඛනය තුළ ඇද්ද?

සෙස් බද්ද නිසා ඉහළ යන පාසැල් පොත් බෑග් සපත්තු සහ අනෙකුත් ද්‍රව්‍ය මිලදී ගැනීමට නොහැකි වීමෙන් 20%ක් පමණ පාසැල් යාම අතරමග නතර විය හැකි බව අනාවැකිවලින් පළවේ. මෙවැනි තත්වයක් ඇති වුවහොත් ඉදිරි වසර තුන තුළ සමස්ත විශාල පිරිහීමක් සිදුවිය හැකිය.

* අත්‍යවශ්‍ය ඖෂධ වර්ග ලබාදීම මීට වඩා ක්‍රමවත් ව කළ නොහැකිද? ඒ සම්බන්ධයෙන් මාධ්‍ය මගින් හෙළිකරන කරුණුවලට සෞඛ්‍ය ඇමැතිතුමා අවධානය යොමු කර ඇත්ද?

* උද්ධමනය 90%ක්  ඉහළගොස් ඇති අවධියක මුදලේ අගය ද 100%ක් පහත වැටීම සාමාන්‍ය ආර්ථික සිද්ධාන්තයකි.

එනම් 2020 දී රුපියල් තිස්පන් දහසකට ගත් භාණ්ඩ සඳහා අද රුපියල් 100,000 ක් ගෙවිය යුතුය.

මාසයක ඒ බදු සහන සීමාව රුපියල් 250,000ක් වූ අතර එය අද ලක්ෂය දක්වා අඩුවී ඇත.

මෙම තත්ත්වය නිසා ජීවන  තත්ත්වය පහළ වැටීම නිසා රට හැර යන බුද්ධිමත් තරුණ කොටස්, සුළු සහ ධ්‍යම පරිමාණ කර්මාන්ත කරුවන් ගැන රජය තවදුරටත් සිතනවාද?

* රාජ්‍ය අංශය ප්‍රතිසංස්කරණය කිරීමේ පරමාර්ථයෙන් සහ රජයේ අලාභ ලබනරාජ්‍ය සංස්ථා 52ක් පැවතිය දී රජයේ ලාභ ලබන රක්ෂණ සංස්ථාව ටෙලිකොම් ආයතනය වැනි ආයතන 100%ක් විදේශිකයන්ට අලෙවි කිරීමේ ව්‍යාපෘතියකට ප්‍රමුඛස්ථානය ලබා දෙනවාද? එසේ නොමැති නම් පාඩු ලබන ආයතන 52ක ප්‍රතිසංවිධානය කිරීම, පෞද්ගලික අංශයට ලබා දීම රජය පෞද්ගලික සමාගමක් බවට පත් කරනවාද යන උභතෝකෝටික ප්‍රශ්න රාශියක් මේ අයවැය ලේඛනය තුළ ඇති බව පමණක් අපි අවධාරණය කරමු.

-බාහිර ලේඛකයකුගේ සටහනකි.
[ලේඛකයා සිය අනන්‍යතාවය හෙළිනොකරන ලෙස කළ ඉල්ලා තිබේ.]

එජනිස මහලේකම් ධූරය තිලංගට !

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහා ලේකම් ධූරය තිලංග සුමතිපාලට ලබා දීමට කටයුතු කර ඇති බව වාර්තා වෙයි.

මේ වනවිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මුලස්ථානයේ පැවැත්වෙන ශ්‍රීලනිප මධ්‍යම කාරක සභා රැස්වීමේදී යි එම තීරණය ගෙන ඇතැයි වාර්තා වේ.

මීට පෙර එම ධූරයේ කටයුතු කරන ලද්දේ මහින්ද අමරවීර  වන අතර, ඔහු පක්ෂයේ එකඟතාවකින් තොරව ආණ්ඩුවේ අමාත්‍ය ධූරයක කටයුතු කරන හෙයින් ඔහු ඇතුළු ආණ්ඩුව සමඟ එක්ව සිටින ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ට පක්ෂ අභ්‍යන්තරයෙන් විරෝධය එල්ල වී තිබේ.

ප්‍රංශයේ සංචාරක නියෝජිතයන් පිරිසක් දිවයිනට

ශ්‍රී ලංකාවේ සංචාරක කටයුතු ප්‍රවර්ධනය කිරීම සදහා ප්‍රංශයේ සංචාරක නියෝජිතයන් අසූ දෙනෙකු අද උදෑසන කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණියහ .

මෙම පිරිස මහනුවර ,බෙන්තොට සහ කොළඹ යන ප්‍රදේශවල සංචාරය කරමින් සහ මෙම ප්‍රදේශවල තිබෙන හෝටල් පද්ධතිය නිරීක්ෂණය කිරීමෙන් පසුව ශ්‍රී ලංකාවට ප්‍රංශයේ සිට සංචාරකයන් කැදවා ගෙන ඒමට නියමිතය .

මෙම සංචාරක නියෝජිතයන් පිරිස අද (21) උදෑසන  ප්‍රංශයේ ෆ්‍රෑන්ක්පර්ට් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 501 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

මෙම පිරිස පිළිගැනීම සදහා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ , සංචාරක හෝටල්වල නියෝජිත පිරිසක් , සංචාරකයන් ප්‍රවාහනය කරන බස් රථ සේවා සමාගම්වල නියෝජිත පිරිසක් සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ සිටියහ .

දැනුම සහිත සුදුස්සන් ආර්ථිකය මෙහෙයවූවා නම් රට මෙවන් ආර්ථික අර්බුදයකට පත්නොවනු ඇති - මහ බැංකු අධිපති

දැනුම සහිත සුදුස්සන් මෙරට ආර්ථිකය මෙහෙයවූවා නම් රට මෙවන් ආර්ථික අර්බුදයකට පත්නොවනු ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු, අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි.

මාතර පැවැති උත්සවයක් අමතමින් මහ බැංකු අධිපතිවරයා පැවසුවේ, වත්මන් ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ගන්නා අපහසු තීන්දු තීරණ පිළිබඳ ජනතාව තේරුම් ගනු ඇති බවට විශ්වාස කරන බවය.

මාතර රාහුල විද්‍යාලයට වසර 100ක් සපිරීම නිමිත්තෙන් සංවිධාන කර තිබුණු උත්සවයකට, එම විද්‍යාලයේ ආදි සිසුවෙකු වන මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ඊයේ (19) සහභාගි වුණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහ බැංකු අධිපතිවරයා මෙසේ සඳහන් කළේය.

"රටක ආර්ථිකය මෙහෙයවීම වුණත් මම දකින්නේ, තීරණ ගන්න අය, ප්‍රතිපත්ති ගන්න අය නියමාකාරයෙන් දක්ෂකම ඇති සුදුසු කෙනෙක් ඒ ස්ථානවල කාලයක් තිස්සේ ක්‍රියාකරගෙන යනවා නම්, අපි මේ තත්ත්වයට පත් නොවෙන්න තිබුණා. සුදුස්සාට සුදුසු තැන ලැබිලා තමයි දියුණු රටවල් දියුණු වෙන්නේ. එහෙම නැතුව සුදුස්සාට සුදුසු තැන නොලැබෙන දක්ෂයාට දක්ෂකම් අනුව තරගකාරීව ඉදිරියට යන්න බැරි සමාජයක ඒක සාර්ථක වෙන්නේ නෑ.

''මහ බැංකු අධිපති වශයෙන් මට කියන්න ඕනේ එක දෙයයි. අපි ඉන්නේ ඉතාම අමාරු කාලෙක. ආර්ථික අර්බුදයෙන් ගොඩඒම පහසු නැහැ. අමාරු තීරණ ගන්න වෙනවා. හැබැයි ඒවා ඒවා ජනප්‍රිය තීරණ නෙවෙයි. අමාරු තීරණ ගද්දී යම් කොටසකට පීඩා එයි. ඒ පීඩාව තුළින් යම් ආකාරයක දෝෂාරෝපණ ඒ තීරණ ගන්න අයට එන්න පුළුවන්. නමුත් මොන තරම් දෝෂාරෝපණ ආවත් තමන් ගන්න තීරණ නිවැරදි නම් ඒක නම් කළ යුතු හරි දේ මම හිතන්නේ සුදුස්සෙක් හා දැනුම තියෙන කෙනෙක් නම් ඒවට නොනැමි හරි දේ කිරීමේ හැකියාව හා ඒ පන්නරය තියෙන්න ඕනේ.''

'' යම් ආකාරයක ප්‍රතිපත්ති හා තීරණ ගන්න අයට. ඒ නිසා තමා මං බලාපොරොත්තු වෙන්නේ එහෙම ක්‍රමවේදයක් තුළ දී ජනතාව තේරුම් ගන්න ඕනේ. කෙටි කාලීනව අමාරුකම් තිබුණත්. කරන්නේ අමාරු දේවල් වුණත් ඒවා කළ යුතු දේවල්. ඒ තුළින් බලාපොරොත්තු වෙන්නේ හැකි ඉක්මනින් ගොඩ ඇවිල්ලා යම් ආකාරයකට රට යථාතත්ත්වයට ස්ථාවර කරලා පසුව රටේ හැමෝටම යම්කිසි මීට වඩා යහපත් අවස්ථාවක් ලබාගන්න පුළුවන්."

බැසිල් යළිත් දිවයිනට

'පොහොට්ටු' පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ අද උදෑසන 08.30ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ- 650 දරන ගුවන් යානයෙන් යලි

දිවයිනට පැමිණියේය.

ඔහු මීට මාසයකට පමණ පෙර සිය පවුලේ සාමාජිකයින් සමග නිවාඩුවක් ගතකිරීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපදය වෙත ගොස් තිබුණි.

අද දිනයේ ඔහු පිළිගැනීම සදහා රෝහිත අබේගුණවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු, ගාමිණී ලොකුගේ, පවිත්‍රා වන්නිආරච්චි, ශාන්ත බණ්ඩාර, එස්.එම්.චන්ද්‍රසේන, ප්‍රසන්න රණවීර, පියල් නිශාන්ත යන මැති ඇමතිවරුන් ඇතුළු පිරිසක් කටුනායක ගුවන්තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියහ.

ග්ලයිෆොසෙට් තහනම ඉවතට

ග්ලයිෆොසේට් සඳහා රජය විසින් පනවා තිබූ තහනම ඉවත් කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබේ.

වී, බඩඉරිඟු, තේ, රබර් ඇතුළු සියලු වගාවන්හි වල් මර්දනය සඳහා යොදා ගන්නා ග්ලයිෆොසේට් යොදා ගත් අතර, ගොවි නියෝජිතයින්, කෘෂිකර්ම විශේෂඥයින්, කෘෂි විද්‍යාඥයින් ඇතුළු විවිධ අංශවලින් කළ විමසීම්වලින් අනතුරුව පනවා ඇති තහනම මෙසේ ඉවත් කර ඇත.

වසර 07කට පසු ග්ලයිෆොසේට් තහනම ඉවත් කිරීමට අදාළ ගැසට් පත්‍රය මුද්‍රණය සඳහා රජයේ මුද්‍රණාලයට භාර දී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන් ය.

වල් මර්දනය සඳහා විකල්ප ක්‍රමවේදයක් නොමැතිව 2015දී ග්ලයිෆොසේට් තහනම් කිරීම අස්වනු අඩුවීමට හේතුවී ඇතැයි ද කෘෂිකර්ම අමාත්‍යාංශය පෙන්වා දෙයි.

දුම්රිය කාලසටහනේ වෙනසක්

දුම්රිය වේග සීමා පැනවීමත් සමග දුම්රිය කාල සටහන් සංශෝධනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

දුම්රිය පීලිපැනීම් සම්බන්ධයෙන් ලද පැමිණිලි සැලකිල්ලට ගෙන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සමග පැවති සාකච්ඡාවකදී එම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.

ඒ අනුව දුම්රිය මාර්ගයේ අබලන් සහිත ස්ථානවලදී දුම්රිය අඩු වේගයකින් ධාවනය කිරීම සඳහා වේග සීමා පැනවීමට තීරණය වී ඇත.

ජනතාවගේ ආරක්ෂාව සහ දේපළ ආරක්ෂාව සැලකිල්ලට ගෙන එම වේග සීමා පැනවීමට තීරණය කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

මාර්ග පද්ධතියේ පවතින දෝෂ හේතුවෙන් පසුගිය දින කිහිපය තුළ අවස්ථා ගණනාවක දී දුම්රිය පීලිපැනීම් සිදුවිය.

පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් වේග සීමා පැනවීමට තීරණය කර ඇති අතර ඒ අනුව දුම්රිය කාල සටහන් සංශෝධනය කිරීමට සැලසුම් කර තිබේ.

ඊට අදාළ වාර්තාවක් ලබන 24 වන දින ඉදිරිපත් කිරීමට නියමිත අතර එම වාර්තාවෙන් අනතුරුව නව දුම්රිය කාල සටහන් ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.

මේ අතර දුම්රිය ධාවනය සම්බන්ධයෙන් දැනුවත් වීම සඳහා ඉදිරියේ දී නව දුරකථන යෙදවුමක් හඳුන්වාදීමට ද නියමිතය.

මගී ජනතාවගේ පහසුව සඳහා ජී.පී.එස්.තාක්ෂණය උපයෝගී කර ගනිමින් දුම්රිය ගමන්ගන්නා ස්ථානය පිළිබඳව මෙම නව දුරකථන යෙදවුම මගින් දැනගත හැකිය.

පස් අවුරුදු සැලැස්මක් යටතේ ආර්ථිකය ශක්තිමත් කිරීමට පියවර !

පස් අවුරුදු සැලැස්මක් යටතේ ආර්ථිකය ශක්තිමත් කිරීමට මෙවර අයවැය මගින් පියවර තැබූ බවත් 2023 වසරේ සිට 2027 වසර දක්වා ආර්ථිකයේ පරිවර්තනීය වෙනසක් ඇති කිරීමට මෙමගින් හැකියාව ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ වවුනියාව නගර ශාලාවේ අද (19) පැවති දිස්ත්‍රික් සංවර්ධන ප්‍රගති සමාලෝචන රැස්වීමට එක්වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේද පැවසීය.

ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් රජය ගෙන යන වැඩපිළිවෙළ වවුනියාව, මන්නාරම සහ මුලතිව් දිස්ත්‍රික්කවල ක්‍රියාත්මක කෙරෙන බව අපට පැහැදිලියි. සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකටම නිලධාරීන් සිව් දෙනෙක් ආහාර සුරක්ෂිතතා වැඩසටහන සඳහා පත්කර තිබෙනවා.

ඉන්දියානු ආධාර යටතේ දියර කිරි කර්මාන්තය උතුරු පළාත තුළ සංවර්ධනය කිරීමට කටයුතු කරනවා.

විශේෂයෙන්ම මේ අවස්ථාවට ඔබ කැඳෙව්වේ රටේ පවතින ආහාර හිඟය පිළිබඳවත් දැනුවත් කර ආහාර සුරක්ෂිතතා වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිළිබඳ සාකච්ඡා කිරීමටයි.

ඉදිරියේදී රටේ ආහාර හිඟයක් ඇතිවීම පාලනය කිරීමට අප බලාපොරොත්තු වෙනවා. 2023 අවසානය දක්වා මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා. ඉන් ඉදිරියට මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනවාද නැද්ද යන්න පසුව අප සලකා බලනවා.

ගෝලීය ආහාර හිඟයක් ඉදිරියේ ඇති වෙන්න පුළුවන්. ඒ තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාව ආරක්ෂා කර ගැනීමට මෙම ආහාර සුරක්ෂිතතා වැඩසටහන වැදගත් වන බව කිව යුතුයි. අප්‍රිකාවේ මේ වන විටත් ආහාර හිඟය දැවැන්ත ලෙස බලපා තිබෙනවා.

අපි සාර්ථක මහ කන්නයක් ලබාගෙන තිබෙනවා. අනෙක් බෝගවලත් එවැනි ඵලදාවක් ලැබුණොත් ආහාර හිගයට පහසුවෙන් මුහුණ දිය හැකියි. මීට අමතරව තව කාරණා දෙකක් තියෙනවා. එකක් මන්දපෝෂණය පාලනය කිරීම, අනෙක ලැබෙන අස්වැන්න ආරක්ෂා කිරීම. අස්වැන්න නෙළන අවස්ථාවේදී නාස්තිය අවම කර ගැනීමට අප පියවර ගතයුතුයි. එමෙන්ම ඒවා ගබඩා කිරීමට සහ පාරිභෝගිකයන්ට සැපයීමේ ක්‍රියාවලිය ශක්තිමත් කරනවා. එහිදී වව්නියාව සහ මන්නාරම දිස්ත්‍රික්කවලට විශාල වගකීමක් තිබෙනවා. තිබෙන අතිරික්ත ආහාර සුරක්ෂිත කිරීමට අප කටයුතු කළ යුතුයි.

ඒ වගේම මෙම දිස්ත්‍රික්කවල අධ්‍යාපන, සෞඛ්‍ය පිළිබඳ ගැටලු කිහිපයක් මෙම සාකච්ඡාවලදි අනාවරණය වුණා. ඒවාට කඩිනමින් විසඳුම් ලබා දෙන්න අප බලාපොරොත්තු වෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කටයුතු කිරීමට අප සැලසුම් කර තිබෙනවා. එමඟින් ආර්ථිකයට විශාල වර්ධනයක් ඇති කිරීමට අපට හැකියාව ලැබෙනවා. අපනයන ආර්ථිකයේ පුළුල් වෙනසක් සිදු කර, විශාල ලෙස ඩොලර් උපයන ආර්ථිකයකට අපි යා යුතුයි.

ඒ පිළිබඳ වැඩසටහන 2023 අයවැයෙන් මා ඉදිරිපත් කර තිබෙනවා. එහිදී උතුරටත් විශාල වැඩ කොටසක් තිබෙනවා. යාපනයට විතරක් නොවෙයි. වන්නියටත් එහි වගකීමක් තිබෙන බව සිහිපත් කරන්න කැමතියි.

අපට අලුත් බලශක්ති ආර්ථිකයක් අවශ්‍යයි. එහි ප්‍රධාන කලාපය වෙන්නේ උතුරු පළාතයි. අපට විදේශ විනිමය විශාල වශයෙන් එමගින් ලබා ගත හැකියි . මැදපෙරදිගට හා සිංගප්පූරුවට ආහාර අපනයනය කිරීම මගින් ආදායම් ඉපයීමට අවස්ථාව තිබෙනවා. අලුත් බෝග වගා කිරීම සඳහා අප අවස්ථාව ලබා දෙනවා. කුරුදු වැනි බෝග වගා කිරීමට අවස්ථාව තිබෙනවා .

සත්ව පාලනය සඳහා වැඩි අවධානයක් යොමු කරන්න පුළුවන්. එවැනි වැඩසටහන් ගණනාවක් තිබෙනවා. 2023 සිට 2027 දක්වා පස් අවුරුදු සැලැස්මක් යටතේ වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. මේ කාරණාවේදි වන්නියට විශාල වගකීමක් පැවරී තිබෙන බව කියන්න කැමතියි.

වව්නියාව ගුවන්තොටුපොළ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ බවට පත් කරන්න තිබෙන හැකියාව පිළිබඳව අප මේ වන විට සොයා බලමින් සිටිනවා. මේ සියලු දේ සිදු කිරීමට ඔබ සැමගේ සහාය මම බලාපොරොත්තු වෙනවා.

වවුනියාව දිස්ත්‍රික්කයේ ආහාර සුරක්ෂිතතා වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳව ද ප්‍රාදේශීය ලේකම්වරුන්ගෙන් ජනාධිපතිවරයා මෙහිදී විමසීමක් කළේය.

ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා, නාගරික සංවර්ධන නිවාස රාජ්‍ය අමාත්‍ය තේනුක විදානගමගේ, ග්‍රාමීය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය කාදර් මස්තාන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සෙල්වම් අඩෙක්කලනාදන්, රිෂාඩ් බදුර්දීන්, චාල්ස් නිර්මලනාදන්, කුලසිංහ තිලීබන්, උතුරු පළාත් ආණ්ඩුකාර ජීවන් ත්‍යාගරාජ්, ජනාධිපති ලේකම් සමන් ඒකනායක ද, වව්නියාව, මුලතිව් සහ මන්නාරම දිස්ත්‍රික් ලේකම්වරු ඇතුළු රාජ්‍ය නිලධාරීහු මීට එක්ව සිටියහ.

View the embedded image gallery online at:
http://newstube.lk/news?start=2952#sigProIdfa0882d8f2

Page 165 of 377