හෙළයේ මහා ගත්කරු "මාර්ටින් වික්‍රමසිංහ" ගැන සහ සැළලිහිණි සංදේශයේ කවියක් සම්බන්ධයෙන් ටියුෂන් ගුරුවරයෙක් සිදු කරපු ප්‍රකාශයක් සම්බන්ධ කතිකාවතක් මතු වී තියෙනවා.
මේ සටහන ඒ සම්පූර්ණ ප්‍රකාශය ගැන නෙවෙයි. ඒකෙන් මතු කරන ප්‍රධාන කරුණු කීපයක් ගැන.
පළවෙනි කාරණය තමයි මාර්ටින් වික්‍රමසිංහ "හෙළයේ මහා ගත්කරු" කියූ පමණින් එම කරුණ පිළිගැනීම ගැන මතු කරන ප්‍රශ්නය. ඒක ඇත්තට ම වැදගත් ප්‍රශ්නයක්. "මාර්ටින් වික්‍රමසිංහ හෙළයේ මහා ගත්කරු වන්නේ ඇයි ?" කියන ප්‍රශ්නය ගොඩක් වෙලාවට ප්‍රශ්නයක් බවට පත් වෙන්නෙ නෑ අපේ අධ්‍යාපන ක්‍රමය ඇතුළෙ. ඉතින් එයා හෙළයේ මහා ගත්කරු කියල අපේ ගුරුවරුත් කිව්වා. ඒ අයගෙ ගුරුවරුත් කිව්වා ඒ නිසා අපිත් කියනවා කියලා ඒක පිළිගැනීම හැර වෙනත් නිශ්චිත කරුණක් මාර්ටින් වික්‍රමසිංහ හෙළයේ මහා ගත්කරු කියා උගන්වන අපේ 6 - 13 සිංහල භාෂාව හා සාහිත්‍යය අධ්‍යාපන ක්‍රමය ඇතුළෙ නම් නෑ.

නිකමට අපි ගමු "මාර්ටින් වික්‍රමසිංහට හෙළයේ මහා ගත්කරු කියන්නෙ ඇයි?" කියන ප්‍රශ්නයට අද ෆේස්බුක් එකේ දීලා තිබුණු උත්තර දෙකක්.
01. මාර්ටින් වික්‍රමසිංහ පොත් 80 ක් පමණ විවිධ ක්ෂේත්‍ර ආවරණය වන ලෙස ලියා තිබීම
02. සිංහල නවකතාව යථාර්ථවාදී නවකතාවක් බවට පත්කිරීම.
මාර්ටින් වික්‍රමසිංහ හෙළයේ මහා ගත්කරු ද...?
ලියන පොත් ගණන අනුව හෝ ක්ෂේත්‍ර ඔස්සේ කිසිසේත් ම "හෙළයේ මහා ගත්කරු" තෝරන්න නම් බැහැ. මම යෝජනා කරන්නෙ එහෙම නම් හෙළයේ මහා ගත්කරු වෙන්න ඕනෙ "එරික් ඉලයප්ආරච්චි" බව. ඉතින් ඒ තර්කය ඉතාම ප්‍රාථමික සහ නොගැඹුරු තර්කයක්. මම යෝජනා කරන්නෙ ඒ වෙනුවට පිරික්සා බැලිය යුත්තේ වික්‍රමසිංහගේ කෘතිවල අන්තර්ගතය බවයි. වික්‍රමසිංහලා අවිඥානිකව පෝෂණය කරපු සිංහල බෞද්ධ ආධිපත්‍යය ගැන බවයි. අනෙත් අතට 1924 දී පළ කරපු ගැහැනියක් කෙටිකතාව ඒ කාලයට සාපේක්ෂව තීව්‍ර ස්ත්‍රීවාදී නිරූපණයක් බව විශ්වාස කරනවා. ඒ අනුව ඔහුව "හෙළයේ මහා ගත්කරු" කළ යුත්තේ එවැනි තර්ක මත පිහිටා ද? නැත්නම් ලිව්ව පොත් ගණන ගණන් කර ඒ මත නැගගෙන ද ?
එරික් ඉලයප්ආරච්චි
දෙවෙනි උත්තරය අපි ගමු. සිංහල නවකතාව යථාර්ථවාදී නවකතාවක් බවට පත් කිරීම. ඉතින් නවකතාව යථාර්ථවාදී වීම තුළ සිදු වුණේ මොකක් ද? එතනින් පස්සෙ යථාර්ථවාදී නිර්මාණ ලංකාවේ අද වන තුරු ම ප්‍රධාන ධාරාව ලෙස රඳා පවතින එකට පදනම දැමීම ද? ඒ පදනම දැමීම මත පිහිටා අපි වික්‍රමසිංහ "හෙළයේ මහා ගත්කරු" කියා නම් කරමු ද? යථාර්ථවාදී රීතියෙන් වෙනත් මගක් ගත් නවකතාකරුවන් වූ සයිමන් නවගත්තේගම, ටෙනිසන් පෙරේරා ආදීන් "හෙළයේ මහා ගත්කරුවන්" නොවන්නේත්, වික්‍රමසිංහ වන්නේත් ශ්‍රී ලංකාවේ නවකතාව තවමත් පවතින්නේ අධිපති යථාර්ථවාදී කුහරයක් තුළ නිසා නොවෙයි ද? ඒ අර්ථයෙන් අපට වික්‍රමසිංහට හෙළයේ මහා ගත්කරු කිරුළ පැලඳිය හැකි ද?
වික්‍රමසිංහ කබල් කෙටිකතා කරුවෙක්...?
වික්‍රමසිංහට "කබල් කෙටිකතාකරුවා" යැයි අජිත් තිලකසේන කියා ඇත්තේ 1980 දශකයේ ය.
"අජිත් අපිට බලපෑවා. ඒක ඇත්ත. ඔහු මගේ ‘සර්පයකු හා සටන් වැද’ පොත කියවලා මට එන්න කිව්වා. ඒ ගියාම ඔහු කියපු දේ තමයි සමන් මාර්ටින් වික්‍රමසිංහ වගෙ කබල් කෙටිකතාකාරයෙක් වුණානම් මං මේ විදියට සමන්ට එන්න කියන්නේ නැහැ."
( උපුටාගැනීම - සිළුමිණ | සත්මඩල | 2017.03.17 )
වික්‍රමසිංහගෙ කෙටිකතා කම්මැල්ලවීරගේ කෙටිකතා අහලකින්වත් තියන්න බැරි බව කේ.කේ. සමන් කුමාර පවසන්නේ 2017 දී ය.
"මාර්ටින් වික්‍රමසිංහගේ කෙටිකතා ඔහුගේ කෙටිකතා එක්ක අහලකින්වත් තියන්න බැහැ. කම්මැල්ලවීර තමයි යථාර්ථවාදී රිතිය තුළ ඉතා පරිණතම කෙටිකතාකරුවා."
( උපුටාගැනීම - සිළුමිණ | සත්මඩල | 2017.03.17 )
ඔහු හෙළයේ මහාගත්කරු බවට පත්වන්නේ ඇයි ? තවමත් ඒ ඔහු ලියූ පොත් ගණන හෝ ඔහු පළමුවැනියා වීම නිසා ද?
ඒ අනුව පෙනී යන්නේ ටියුෂන් ගුරුවරයාගේ ප්‍රශ්නය සාධාරණය. ගුරුවරයාගේ පු#ට උල් බැස්සවීමට සූදානම් ප්‍රජාව ද "හෙළයේ මහා ගත්කරු" ලෙස වික්‍රමසිංහ හැඳින්වීමට භාවිතා කරන්නේ කිසිඳු තර්කානුකූල පදනමක් රහිත ගො|බ්බ හේතු ය. ඒ වෙනුවට වික්‍රමසිංහ සම්බන්ධයෙන් තාර්කික සහ ඔහුගේ සාහිත්‍යමය භාවිතාව පිළිබඳ නිවැරදි කතිකාවතක් ඇති කරගත යුතු ව ඇත.
වික්‍රමසිංහ හෙළයේ මහා ගත්කරු ද ? නැත්නම් අධිපති මතවාද පෝෂණය කළ අයෙක් ද ? කබල් කෙටිකතාකරුවෙක් ද ? ගම්පෙරළිය ලිව්ව එකා මෝඩයෙක් ද ? ප්‍රශ්නය විසඳී නැත. බොහෝ අය කියන සාහිත්‍යය කලාව ඉගැන්වීම තුළින් උපදින තාර්කික සහ බුද්ධිමත් දරුවා ද ප්‍රශ්න කිරීම සඳහා තවම ඉපදී නැත. නමුත් හෙටත් මාර්ටින් වික්‍රමසිංහ "හෙළයේ මහා ගත්කරුය" නැත්නම් ක්ෂණිවම කොටමු.
අධ්‍යාපනයේ යල් පැන ගිය ස්වභාවය
දෙවන කරුණ, ඒ ප්‍රකාශය ඇතුළෙ තියෙන ලංකාවේ සිංහල භාෂාව සහ සාහිත්‍යය අධ්‍යාපනයේ තියෙන යල් පැනගිය ස්වභාවය.
උදාහරණයක් විදිහට අපි උසස් පෙළ නිර්දිශ්ට කවි ගමු. පුරාතන කාව්‍ය සංග්‍රහයක් විදිහට ගුත්තිල කාව්‍යය තියෙනවා. ඊට පස්සෙ ආනන්ද රාජකරුණාගේ "සමනලයා" සිට ලාල් හෑගොඩගේ "සතුට" කවි පන්තිය දක්වා, සඳැස් සහ නිසඳැස් විදිහට බෙදපු සහ යුග විදිහට ඛණ්ඩනය කරපු කවි පන්ති ආසන්න වශයෙන් 25ක් තියෙනවා.

ඒකෙන් ලංකාවේ කවියේ විශාල පරාසයක් අහු වෙනවා තමයි. හැබැයි අපි අවසාන වශයෙන් නැවතිලා ඉන්නේ 1990 දශකයේ. එතනින් පස්සෙ සිලබස් එක හදන 2017 වෙනකොට 2000 ඉඳන් ගත්තත් අවුරුදු 17 ක් ගෙවිලා. ඒ අන්තර්ගත කවි පන්තිවල සාම්ප්‍රදායික සඳැස්, නිසඳැස් පමණයි අන්තර්ගත වෙන්නෙ. වෙනත් කාව්‍ය ආකෘති අත්හදාබැලීම්, සංයුක්ත කවි, ක්ෂුද්‍ර කවි, හයිකු, ශේෂ කවි, ගද්‍ය කවි හෝ ඒ කිසිවක් අන්තර්ගත වෙන්නෙ නෑ. නමුත් ලංකාවේ කවිය ඒ සිලබස් එකට සාපේක්ෂව සෑහෙන්න වර්ධනීය ආස්ථානයක තමයි රැඳිලා තියෙන්නෙ.
කෙටිකතාවලත් වෙනසක් නැහැ. කෙටිකතාවල අවසානය සනිටුහන් වෙන්නෙත් 1990 දශකයෙන්. නාට්‍ය 1961න්, නවකතාව යටත් විජිත යුගයෙන්. ඒක තමයි ලංකාවේ සිංහල භාෂාව හා සාහිත්‍යය උසස් පෙළ විෂය නිර්දේශයේ සරල සහ පැහැදිලි ස්වභාවය.
අපි වික්‍රමසිංහලා ගැන ඉගෙනගෙන වැඩක් නැත්තේ නැත. නමුත් වික්‍රමසිංහලාගෙන් පසු කෙටිකතාව විකාශනය වී ඇත්තේ කෙසේ ද ? යථාර්ථවාදීව ම පමණක් ද ? නිර්දිශ්ට කෙටිකතා සංග්‍රහය තුළ නැති යථාර්ථවාදී රීතියෙන් ඔබ්බේ මායා යථාර්ථවාදී, අධි යථාර්ථවාදී, ට්‍රාන්ස්ග්‍රේසිව් ආදී ශානරවල කෙටිකතා ලංකාවේ කෙටිකතාව තුළ නැද්ද ? එවිට ඒ ඉගෙනගන්නා ළමයින්ට තෝරාගත් කතා කිහිපයක් දී මේකෙ හොඳම වික්‍රමසිංහ ඒ නිසා එයයි හෙළයේ මහා ප්‍රාඥයා යැයි කීම මෑතක දී ලංකාවේ හොඳම ෆිල්ම් 25 තේරුවා වැනිය.
බැද්දේගම අනුවර්තනයකි. ලංකාව තුළ ස්වතන්ත්‍ර විශිෂ්ට නවකතා නැද්ද ? පේමතෝ ජායතී සෝකෝ හි දක්නට ලැබෙන පුරුෂ මූලික දෘෂ්ටිවාදය රැගෙන යනවා මිස අපට යෝජනා කරන්නට 1961 සිට නිෂ්පාදනය වුණු වෙනත් නාට්‍ය ශ්‍රී ලංකාවේ නැද්ද ?
සාධාරණ චෝදනාව
තත්ත්වය මෙසේ නම් වර්තමාන පරම්පරාවට නූතන ලෝකය හා කිසිඳු සම්බන්ධයක් නොමැති සැලළිහිණියාගේ පණිවුඩ ගෙනයාම වෙනුවට ලිංගිකත්වය සම්බන්ධ පැරඩි කවිය මතක තිබීම සාධාරණය. ඉතිහාසය අමතක කර වර්තමානයට පිවීසීමට නොහැකි බව පිළිගත්තත්, අඩුම තරමේ වර්තමානයේ වෙන්නේ කුමක්ද වත් නොදැන ඉතිහාසය විතරක් ඉගෙනගෙන ඇති ඵලය කුමක් ද ?
ටියුෂන් ගුරුවරයා ගේ අරමුණ ආර්ට්ස් පල්ලෙහාට දමා තමන් ගේ විෂය ඉහළ ඔසවා තැබීම බව බොහෝ දෙනකු කරන චෝදනාව සාධාරණ ය. පැහැදිලිව ඒ මගින් නිරූපණය වන්නේ ඔහුගේ පසුගාමීත්වය යි; තුච්ඡ ස්වභාවය යි. ඒත් ඊට පිළිතුරු ලබා දෙන බොහෝ වික්‍රමසිංහ රසිකයන් ද ගුරුවරයාට තේරුම් කරන්න උත්සාහ කරන්නේ තමා වික්‍රමසිංහ කියවීම මගින් අමුතු මිනිසෙකු වී ඇති බවත් එය පොත් නොකියවන ලො|න්ත සිප|යියන්ට නොතේරෙන බවත් නොවෙයි ද ?

