අවමංගල දැන්වීමක් දිර්ඝ සංවාදයක් බවට පත්විය.
මේ එහි සමාප්ති සටහනයි. මුල් සටහන් වලින් මා අවධාරණය කළේ 'මනස යටත් විජිතහරණය' නමැති සංකල්පය ඉන්දියානු ඉතිහාසඥයන් සංස්කෘතික තලයේ මෙන්ම උපායමාර්ගික තලයේද භාවිතා කළ බවත් එම උපාය මාර්ගික චින්තනයේ පුරෝගාමියකු වුයේ ඉන්දීය සාගරයේ පාලනය ඉන්දියාව සතු විය යුතුය යන අදහස ඉදිරිපත් කළ කේ. එම්. පනික්කාර් මහතා බවත් ය.
එසේම මුල් කාලී ස්වදේශවාදී ශ්‍රී ලාංකික ඉතිහාසඥයින් උපාය මාර්ගික චින්තනය සකස් කිරීමට උනන්දු වුයේ අඩුවෙන් බවත් ය. මුල්කාලයේ ලංකාවේ උපාය මාර්ගික චින්තනය සකස් කළේ අයිවර් ජෙනිංන්ග්ස් යනාදි අයයි. ඒ අදහස් බ්‍රිතාන්‍ය ජාතික අභිලාෂ සුරැකීම මුලික කරගත් ඒවා බවට පත්වීම පුදුමයක් නොවේ.
අයිවර් ජෙනිංන්ග්ස්
ඉන්දියාව සිය සාගරික අනන්‍යතාව ප්‍රසාරණය කිරීම
ඉන්දියානු සාගරය සම්බන්ධයෙන් ලාංකික ස්වාධීන උපාය මාර්ගික චින්තනය වර්ධනය වන්නට පටන් ගත්තේ සිරිමාවෝ මැතිණියගේ කාලයේ සිටය.
සිරිමාවෝ මැතිණිය
ඉන්දියාව සිය සාගරික අනන්‍යතාව "කලාපීය ආරක්ෂකයෙකු" දක්වා ප්‍රසාරණය කරද්දී, ශ්‍රී ලංකාව "උපායමාර්ගික සමබරතාවයක්" (Strategic Balancing) සෙවීමට දරන උත්සාහය භූ-දේශපාලනිකව අතිශය තීරණාත්මක ය. මෙම චින්තන පද්ධති දෙක විකාශනය වූ ආකාරය පිළිබඳ කෙටියෙන් විමසා බැලීම වැදගත් ය.
නිදහසින් පසු ඉන්දියාවේ අවධානය මුලින් යොමු වූයේ හිමාලය දෙසට වුව ද, කේ. එම්. පනික්කාර් යනාදි උපායමාර්ගික විද්වතුන් එය වෙනස් කළහ. "ඉන්දියාවේ නිදහස තීරණය වන්නේ මුහුද මතයි" යන පනික්කාර්ගේ මතය අනුව, වර්තමාන ඉන්දියාව ඉන්දියන් සාගරයේ "නිත්‍ය ආරක්ෂකයා" (Net Security Provider) වීමට උත්සාහ කරයි. ශ්‍රී ලංකාවේ ප්‍රවේශය සංස්කෘතික සහ මධ්‍යස්ථවාදීය.
අපේ උපාය මාර්ගික උත්සාහය
ශ්‍රී ලංකාව තුළ විජිතහරණය යන්න බොහෝ විට "සංස්කෘතික" ප්‍රකාශනයකට සීමා වූ අතර, උපායමාර්ගිකව අප උත්සාහ කළේ බලවතුන් අතර නොගැටී සිටීමට යි.
සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ මූලිකත්වයෙන් ආ IOZOP (සාම කලාපය) සංකල්පය මෙහි උච්චතම අවස්ථාවයි.
Dr. Vernon Mendis
කේ. එම්. පනික්කාර් (K.M. Panikkar): "ඉන්දියන් සාගරය පාලනය කිරීමට නම් ලංකාව පාලනය කළ යුතුය, ලංකාවට ඇති යතුර ත්‍රිකුණාමලයයි" යනුවෙන් 1945 දී පවසා, ඉන්දියාවේ නාවික මූලධර්ම පද්ධතිය ගොඩනැගීමට මග පෑදීය.
ලංකාවේ වර්නන් එල්. බී. මෙන්ඩිස් (Vernon L.B. Mendis) බඳු විද්වත්හු ලංකාව සැමවිටම ජාත්‍යන්තර වෙළඳාමේ "සමකක්ෂික කේන්ද්‍රස්ථානයක්" (Strategic Hub) මිස වෙනත් රටක ආරක්ෂක උපාංගයක් නොවිය යුතු බව තර්ක කළෝ ය.
සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය කුඩා රාජ්‍යයක් ලෙස ලංකාවේ ආරක්ෂාව රඳා පවතින්නේ සාගරය මිලිටරීකරණයෙන් තොරව තබා ගැනීම මත බව ලොවට පෙන්වා දුන්නා ය.
ප්‍රධාන ප්‍රතිපත්ති රාමු
මෙම උපායමාර්ගික අදහස් මත පදනම්ව බිහි වූ ප්‍රධාන ප්‍රතිපත්ති රාමු කිහිපයක් තිබේ.
UN Resolution 2832 (1971)
මෙයින් ඉන්දියන් සාගරය සාම කලාපයක් (IOZOP) ලෙස ප්‍රකාශයට පත් කිරීමේ යෝජනාව (ශ්‍රී ලංකාවේ මූලිකත්වයෙන්) සිදුවිය.
SAGAR (2015),
ඉන්දියාවේ "Security and Growth for All in the Region" දැක්ම සහ ඉන්දු ලංකා ගිවිසුමේ (1987) අනුබද්ධ ලිපිවලට අනුව ලංකාවේ වරායවල් ඉන්දියාවට තර්ජනයක් වන පරිදි වෙනත් රටවලට ලබා නොදෙන බවට වූ එකඟතාවයක් ඇති විය.
UNCLOS: සාගර නීතිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතිය සැකසීමේ දී ශ්‍රී ලංකාව ලබා දුන් දායකත්වය අපේ නීත්‍යානුකූල මුහුදු සීමාවන් රැක ගැනීමට උපකාරී විය.
ඉන්දියාව සාගරය තමන්ගේ "පිටුපස මිදුල" (Backyard) ලෙස සලකන විට, ශ්‍රී ලංකාව සාගරය තමන්ගේ "ආර්ථික කොරිඩෝව" (Economic Corridor) ලෙස සලකයි. පනික්කාර් ඉගැන්වූයේ ශක්තිමත් නාවික බලයක් ගැනයි. අප ඉගෙන ගත යුත්තේ එම "පනික්කාර්වාදී" උපායමාර්ගික ඇසින් අපේ සම්පත් (විශේෂයෙන් ත්‍රිකුණාමලය) දෙස බැලීමට මිස, හුදු සංස්කෘතික සටන් පාඨවලට පමණක් සීමා වීමට නොවේ.
පනික්කාර්; නලින් ද සිල්වා ගේ විවේචනයට
මහාචාර්ය නලින්ද සිල්වා
මේ අදහස් මාලාව ලියාගෙන යද්දී අභාවප්‍රාප්ත මහාචාර්ය නලින්ද සිල්වා මහතාගේ එක් ගෝලයකු මට මේ වනතුරුත් තේරුම්ගත නොහැකි ආකාරයේ විරුද්ධවාදී කොමෙන්ටු දමන්නට පටන් ගත්තේ ය. මෙය මහාචාර්ය නලින්ද සිල්වා මහතාට එරෙහිව ලියු සටහනක් හෝ එතුමා ගේ විවේචනයට ලක්වූ 'පනික්කාර්' මහතා අසාමාන්‍ය ලෙස හුවා දැක්වීමට කළ උත්සාහයක් නොවේ.
රටවල් දෙකක ස්වදේශවාදී ඉතිහාසඥයින් එකිනෙකට වෙනස් අකාරයකට වෙනස් ඓතිහාසික අවස්ථාවලදී උපාය මාර්ගික චින්තනයට දායක වූ ආකාරය මා තේරුම්ගත් ආකාරය සටහන් කිරීමක් පමණි.

කරු පරණවිතාන

