Image

ලෙනින් ගෙන් ඉදිරියට

ලෙනින් ගෙන් ඉදිරියට

ලෙනින් විසින් 1916 පලමු ලෝක යුද්ධය අතරතුර "ධනවාදයේ ඉහළ ම අවධිය අධිරාජ්‍යවාදයයි" යන කෘතිය රචනා කරන ලදී. එහි දී ලෙනින් පෙන්වා දුන් ප්‍රධාන කාරණා කිහිපයක් ඇත.

1,මොනොපොලි (monopoly)ඇතිවීම.

- එනම් කුඩා ව්‍යාපාර හැකිළී ගොස් විශාල සමාගම් ඇතිවීම.

උදා:- ප්‍රාදේශියව තිබූ කුඩා සිල්ලර බඩු කඩ වැසී යමින් කීල්ස්, කාගිල්ස් බඳු විශාල කඩසාප්පු ඇතිවීම.

2. බැංකු සහ කර්මාන්ත එකතුව විශාල "මුල්‍ය ප්‍රාග්ධනයක්" ගොඩනගන බව.

උදා:-ධම්මික පෙරේරා බැංකු අත්පත් කරගැනීම.

3. සිය ලාභ රේට්ටුව වැඩිකරගැනීම සඳහා මේ ප්‍රාග්ධනය දුප්පත් රටවල් කරා විතැන් කරන බව.

උදා:- ලංකාව ගොඩනැගෙන්නේ බ්‍රිතාන්‍ය ප්‍රාග්ධනය අපි කරා ආ නිසා ය. 2005න් පසු ලංකාව නැවත ව්‍යුහගත වූවේ චීන ප්‍රාග්ධනය නිසා ය.

4. බලවත් රටවල් විසින් ලෝකය බෙදාගන්නා බව.

උදා:- රැසියාව යුක්‍රේනය ආක්‍රමණය කිරීම. ඇමෙරිකාව ගල්ෆ් කලාපය සහ ලතින් ඇමෙරිකානු රටවල් ආක්‍රමණය කිරීම සහ ඒවායේ බල පෙරළි ඇති කිරීම.

5. මෙය අධිරාජ්‍ය අවධිය හා ධනවාදයේ අවසාන අදියර බව.

නිවට ලෙස යටත් වූ ලෙනින් බැතිමතුන්

පුදුමයකට මෙන් ලංකාවේ දැන් බලය හොබවන්නේ ලෙනින්ට මල් පහන් පත්තුකර, සිය පෙලපාලිවල වඩම්මාගෙන යන සහ වසරකට වරක් "ලෙනින් කියවමු" යනුවෙන් තොරණ ගසා දේශන තියන ජ.වි.පෙ. ම ය. ලෙනින් මීට වසර 100 කට පමණ පෙර ලියූ කෘතියෙහි "සාරය" යථාර්ථයක් ලෙසින් අපි මතට කඩාවැදී ඇති අතර ලෙනින් ගේ බැතිමතුන් ඊට නිවට ලෙස යටත් වී තිබේ.

Screenshot 2026 04 27 130841

ලංකාව බ්‍රිතාන්‍ය විසින් යටත් කරගැනීමට ආසන්න යුගයේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයේ මූලෝපායන් පිළිබඳව "නෙරපූ රජු" කෘතියේ ගණනාත ඔබේසේකර මනාව විස්තර කරයි. සිය ප්‍රචාරක යාන්ත්‍රණයේ හැසිරවීමත්, ජෝන් ඩොයිලිව යොදාගැනීමත්, උඩරට රදලයන්ට දුන් දොළ පිදේනි සහ ජාතිවාදය ඒ රාජ්‍යය තුළට කාන්දු කළ අයුරුත් එහි ලියා ඇත.

නෙරපූ රජු

ලංකාවේ රාජ්‍ය පාලනය යනු විනෝදය නිපදවීමේ ආකෘතියකි

අපි බ්‍රිතාන්‍යයෙහි යටත් විජිතයක් වන්නේ එහිලා ක්‍රියාත්මක වූ මූලෝපායන් පිළිබඳව අපේ තිබූ "නොදැනුම" නිසාම නොවේ. එය අපි බලාපොරොත්තු වූ වේදනාව ද ජනිත කරන නිසාය. නැතහොත් බාහිරින් අපිව පාලනය කිරීමේ ආශාව තුළ ම අපේ ආශාව ද බ්‍රිතාන්‍යයින් රඏදක්වන නිසා ය. එයින් අපේ විනෝදය ද නිපදවෙන නිසා ය. මහින්ද රාජපක්ෂට අපේ ජනයා "මහ රජු" යැයි ඇමතුවේ මේ විනෝදය මහින්ද ද අපි වෙත ලබා දුන් නිසා ය.

mahi

රනිල්ව ප්‍රතික්ෂේප වෙන හේතුවද ඇත්තේ මේ තුළ ම ය. ලංකාවේ රාජ්‍ය පාලනය යනු විනෝදය නිපදවීමේ ආකෘතියක් විනා එය පාලනය කිරීමේ ව්‍යුහයක් නොවේ. රාජ්‍ය තුළම මුදානොගත් ප්‍රදේශ (වරාය, රේගුව, සෞඛ්‍ය, විශ්වවිද්‍යාල) ඇති වන්නේ ඒ නිසාය. සෑම ආණ්ඩුවක් ම ජනයාගේ ආශාවට අනුව රඟපාන්නට යෑම අයිති වෙන්නේ විපරීතභාවයට ය.

ධනවාදය ඉදිරියේ තොත්ත බබ්බුන් ගේ දේශපාලනය

භාණ්ඩාගාරය සහ මුදල් අමාත්‍යාංශය හරහා සිදුවූ මුල්‍යමය වංචාවේ දී අපි දෑස් හැර බැලිය යුත්තේ ක්‍රමය තුළ අපි කොපමණ මෝඩයින් ද යන්නයි. ධනවාදය ඉදිරියේ මේ තොත්ත බබ්බුන් දන්නා දේශපාලනයක් හෝ රාජ්‍ය පාලනයක් නොමැති බව වඩ, වඩා තහවුරු වෙමින් පවතී. ධනවාදය පද්ධතියක් ලෙස කේන්ද්‍රීය වන විට එහි ප්‍රාග්ධනය සමුච්චනය කරන බලය ශ්‍රමයෙන් ආත්මීය ස්ථානයකට ගමන් කරයි. මාර්ක් සකර්බර්ග් අපෙන් ගන්නේ ශ්‍රමය නොව මෙම ආත්මීය-අවිඥානික කොටස යි. ප්‍රාග්ධනය සෑම ස්ථානයක ම පැතිරී ගිය (ජාතිය, ආගම, සංස්කෘතිය) පසු තවත් යෑමට ස්ථානයක් නොමැති තත්ත්වයේ දී සොයාගත් ස්ථානය ආත්මය යි. එය පුද්ගලයකු වශයෙන් ඔබත්, මමත් ධනවාදයට ආශා කරන ස්ථානය ද නිපදවයි.

lal

ලාල් කාන්තට බැණ වැදී පලක් නොවන්නේ ලාල්ද ආත්මයක් නිසා ය. ලාල් එතරම් විශාල නිවසක් හැදීමට හේතුව ලාල්ට භාෂාවට ගෙන ඒමට නොහැකි අතර එය ශේෂය වෙයි. ආත්මය පිහිටන්නේ එතැනයි. අපි විවේචනය කළ යුත්තේ මේ ලාල් ගේ අවිඥානික ආශා කලාපය යි. දීප්ති විසින් මනෝවිශ්ලේෂනය දේශපාලන පිටියට කැඳවාගෙන එන විට හිනා වූ අය වෙනුවෙන් අපිට දැන් විනාඩියක නිශ්ශබ්දතාවක් පැවැත්විය හැකිය. අපි ලෙනින්ගෙන් ඉදිරියට ගියේ ඒ දීප්තිගේ ඉගැන්වීම් හරහාය.

ජවිපෙ, ධනවාදය ඉදිරියේ හීලෑවීම

ඇත්තටම සිදුවන්නේ ජ.වි.පෙයට මේ යුගයේ දී සිය ආත්මය හමුවීමයි.

jvp1

රාජ්‍ය පාලනය පිළිබඳව පුරාජේරු කතා කියූ ජ.වි.පෙට සත්‍ය ලෙසම ධනවාදය නිපදවන ආශාව සම්මුඛ වී ඇත. පෝස්ටර් ගැසීම, උද්ඝෝෂණ පැවැත්වීම, වැඩ වර්ජන කැඳවීම හැර කිසිදු හැදෑරීමක් නොකළ කතා සාප්පුවලට බලය ලැබුනු වහාම ඔවූහූ ධනවාදය ඉදිරියේ හීලෑවීම අයිති වන්නේ ඉහත දැක්වූ අවිඥානික කලාපයටය. හැකර්වරයා යනු ජ.වි.පෙ. අසමත් බාවය පිටතට බහිෂ්කරණය කොට නිපදවාගන්නා සතුරෙකි. අවාසනාවකට ජ.වි.පෙ.සතුරා ඉන්නේ ඔවුන් තුළමය.

Samabima Party 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න