''ගණිකාවකගේ ප්‍රකාශයක් නිසා අටමස්ථානාධිපති හාමුදුරුවන්ව අත්අඩංගුවට ගෙන රඳවාගෙන ඉන්න බව අපිට ආරංචිවී තිබෙනවා,'' යයි දිලුම් අමුණුගම පැවසූ බවක් ගැන පුවතක් දුටිමි.
ඔහුගේ ප්‍රකාශය බරපතල ගැටලු ගණනාවක් මතු කරයි. සිදුවීමට අදාළ වැඩිහිටි කතක් නොව බාලවයස්කාර දැරියකි. අනෙක් අතින් ඔහුගේ ප්‍රකාශය අදවන විට ගණිකාවන් නොව ලිංගික ශ්‍රමිකාවන් ලෙස හඳුන්වනු ලබනා කතුන්ට මානව හිමිකම් නැති බවක් ඇඟවෙන්නකි. එවැනි කතුන් දූෂණයට ලක් කිරීම වරදක් නොවන බවක් ඇඟවෙන්නකි. එවන් කතකට තමන් දූෂණයට ලක්වීමක් ගැන පොලිසියට පැමිණිළි කරන්නට, නීතියේ පිහිට පතන්නට අවසර නැති බව හැඟවෙන්නකි.
මේ මනුෂ්‍යත්වය පිළිබඳව මොර දෙන විපක්ෂ දේශපාලකයකුගේ ප්‍රඥා ජංගිය ගැලවී වැටෙන අවස්ථාවකි. ඔහු පමණක් නොව ආණ්ඩු විපක්ෂ දෙපාර්ශවයේ ම බොහෝ අය මෙහිදී සිටියේ මුනිවතිනි. ආගම බලය සහ දේශපාලනය කෙතරම් පූට්ටුදැයි මෙයින් වටහා ගත හැකිය.
අදාළ හිමි තවමත් සැකකරුවෙක් පමණි. එහෙත් එ හිමි නීතියට අවනත විය යුතු ය. ප්‍රධානම කරුණ එයයි. අවසන නීතිය ඉදිරියේ තහවුරු වනතුරුම එ හිමි සැකකරුවෙක් පමණක් බවද අප අමතක නොකළ යුතු ය. එහෙත් ඒ සියල්ල මැද වුව නීතිය සැමට සමානව ක්‍රියාත්මක විය යුතුව තිබේ.
දිලුම් අමුණුගම විද්වතාණන් අවම තරමින් පොඩි වෙලාවක් ගෙන පින්ක් නමින් ඉංග්‍රීසියෙන් නම් තබා ඇති හින්දි පිච්චර් එකවත් බැලිය යුතුය. එහි එනුයේ අතවරයට ලක්වන තරුණියන් තිදෙනකු අධිකරණයේ දී තමන්ට යුක්තිය ඉල්ලන සිදුවීමකි. එහි අතවරකරුවෝ සමාජයේ බලවත්තුය. ඔවුන්ගේ නීතීඥයන් තර්ක කරනුයේ මේ තරුණියන් චරිතය කෙලෙසාගත් අය බවයි. තරුණියන් වෙනුවෙන් පෙනී සිටිනා නීතීඥයා (අමිතාබ් බච්චන්) අධිකරණයේ දී මෙසේ කියයි.
''කවර කතක් වුනත් පිරිමියෙකුට එපා කිවුවා නම් එපා! එච්චරයි.''
අමුණු ගණනින් ගොම එකතු කළාට පළක් නැත. අනාගතයක් අපේක්ෂා කරන්නේ නම් සැබෑ ලෙස දේශපාලනය කළ යුතුය.

Chulananda Samaranayake
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
