"ඔස්කාර්"... දැන් තිරගතවන සිංහල චිත්‍රපටය අධ්‍යක්ෂ එරංග සේනාරත්නගේ 9 වන සිනමා නිර්මාණය ලෙසින් ප්‍රේක්ෂකයා වෙත පැමිණ ඇත. එකී නම සිනමාවට සබැඳිව "ඔස්කාර්" වූ පමණින් ම එහි යම් අමුත්තක් හිතට ගෙන එනවා. ඒ මක්නිසා ද යත් සෑම සිනමාකරුවකු ගේම පරම සිහිනය ඔස්කාවක් වන නිසා ය.

මේ සිනමාපටය තුළ "ඔස්කාර්" වේ බර දැන හෝ නොදැන "ඔස්කාර්" සිහිනය තුල ගිලීමට තරුණ ටෙලි නාට්‍ය නිළියක් තම ප්‍රථම සිනමා සම්ප්‍රාප්තියකට කෙසේ හෝ ඇතුළු වීමට තම නැණ පමණින් දඟලන වෑයමක්, පොරබැදීමක් සටහන්ව තිබේ.
බහුතරයක් අත නොගසන රචනාවක්

"සිනමාව නිසා නිරුවත් වූ ආත්ම ගෞරවය" ලෙසින් මූළු චිත්‍රපටය ම එක් වාක්‍යකට කැටිකර සිනමාකරුවා විසින් තම නිර්මාණ කාර්‍යයය ප්‍රේක්ෂකයාට පෙන්වීමට උත්සාහ ගෙන ඇත. ඔහු වෙනත් පැතිකඩ ඔස්සේ ගමන් නොකර ඒ වෙනුවෙන්ම පෙනී සිටියි.
ඔස්කාර් හි: කතාව, දෙබස්, තිර රචනය DINALI ROSHANTHI SENARATHNE ගෙනි. සිනමාවේ නියැළෙන්නන් බොහෝවිට අත නොගසන අති භයානක මෙවැනි රචනාවකට ඇය ගත් උත්සාහය අගය කළයුතු අතර, එහි ඇති යම් යම් අඩුපාඩු, අතපසුවීම් වෙනම ම සංවාදගත වියයුතු ය. කෙසේ හෝ ඇය ස්ත්‍රියක් / කාන්තාවක් ලෙසින් මෙම ආරෝපිත බලය, ලිංගිකත්වය, නිළි වෘත්තිය පිළිබඳව දරන අදහස මෙම පිටපත තුළ විසිරුණු තත්වයක පවතින බවක් ද පෙනෙයි.
වඩාත් අභියෝගාත්මක මෙවැනි මාතෘකා සහිත සිනමාපට ලෝක සිනමාව තුළ ද නිර්මාණකරුවන් ඉදිරිපත්කර ඇති අතර, ඒවා ඉතා සූක්ෂමව ඉදිරිපත්කිරීමට ඔවුන් පෙලඹී ඇත. ඒ මක්නිසා ද යත් මෙවැනි වර්ගයේ චිත්‍රපට නිර්මාණ "මුහුණත් සමග තරහා වී නහය කපාගත්තා" බඳු ගණයට වැටෙන හෙයිනි.
''SEX මට NOTHING'' යන්නෙහි හැඟවුම්කාරකය
සිනමාවෙන් පරිබාහිරව ගත්ත ද, සෑම ක්ෂේත්‍රයක ම බලය වඩාත් ගොනුකරගෙන සිටින්නා හෝ කණ්ඩායම විසින් ලිංගික සූරාකෑම පවතින ක්‍රමයක් ලෙසින් එක දිගට ම පවත්වාගෙන යන අතර, ලිංගික ප්‍රචණ්ඩත්වය ස්ත්‍රිය මත ඉතා සූක්ෂමව දියත්කරයි; එය සැලසුම් කරයි. මෙම පරපීඩකත්වය පිරිමින් විසින් කාන්තාවන් වෙත ඍජුව හෝ වක්‍රව ඉදිරිපත් කරමින් තම ගොදුර ඩැහැගන්නා අතර, විටෙක ඊටත් ඉහළින් බල ව්‍යාප්තියකට පෙලඹෙන ස්ත්‍රීන් ද ඊට නොදෙවෙනිව ක්‍රියා කරමින් ඒ තුළින්ම තමා ගේ බලය ද තහවුරු කර ගනියි, එවැනි බලයලත් ස්ත්‍රීන් ද සමාජයේ තැන් තැන්වල විසිර පවතියි,
මේ සිනමාපටය තුල සිටින කතා නායිකාවද එවැන්නියක. තම ක්ෂේත්‍රය තුළ රෙදිගලවා හෝ කාටත් පෙර තම ඉලක්කය වෙත යෑම ඇයගේ එකම අරමුණයි. ඇය ගේ සිහිනය කෙතරම් විශාල ද යත් ඇය ඔස්කාර්වක් තරම් දුරට යෑමට අදිටන්කරගෙන සිටින්නී ය. ඇය විසින් සිනමාපටය තුළ දී අවධාරණය කරනු ලබන ''ACTING මට NOTHING'' යන්න සැබෑවට නම්, ''SEX මට NOTHING'' යන්නෙහි හැඟවුම්කාරකයකි.
මෙකී චරිතය සිනමාපටය තුළ දී ඉතා නොදියුණු කාන්තාවක ගේ ලක්ෂණ පහළ කරන අතර, ඇය සැබැවින් ම ආශාවන් වෙනුවෙන් එළිපිට ම සල්ලාල ජීවිතයකට උරුමකම් කියන්නට කැමැත්තෙන් පසුවෙයි, සැබැවින් ම වත්මන් බොහෝ නිළියන් ගේ තත්වය පිළිබඳව විමසීමේ දී ද බොහෝ පිරිසක් මෙවැනි තත්ත්ව තුළ ජීවත් වෙති; ඇත්ත එය යි; එහෙත් එය සැඟවුන ඇත්තකි.
ලිංගික සූරාකෑමේ ප්‍රබල කොටස්කරුවන්

ලංකාව තුළ මෙම "යෝනි බළඇණිවල" ගේ සමාජ ආක්‍රමණ බලය මුල්වූ සෑම ක්ෂ්‍රේත්‍රයක් පුරාම පැතිර පවතින අතර, සමාජයට වඩාත් විවෘත වෘත්තියක් ලෙසින් පෙනෙන සිනමාවේ, ටෙලි නාට්‍යයේ හෝ කලාවේ මෙවැනි තත්ත්ව වඩාත් ඉහළට එසවී පෙනේ.
චිත්‍රපට කර්මාන්තය පිළිබඳව සැලකීමේ දී අධ්‍යක්ෂවරයා මෙහි පෙනෙන බිල්ලා වන අතර, සැඟවුණ බිල්ලන් පෝලිමකි. සමහරවිට නිළිය පළමුව සල්ලන් වන්නේ පුවත්පත් හරහා නිෂ්චල ඡායාරූප ශිල්පියා හෝ ලියන්නාගෙනි. නිළියව මුලින් ම සමාජගත කරන්නේ ඔවුන් බව නිළිය හොඳින්ම දනී. ඔවුන් සමග යහන්ගතව තම කටුක මාර්ගය සොයා යන ගමනේ: ව්‍යාපාරිකයින්, නිෂ්පාදකවරුන්, කැමරාකරුවන් සහ වෙනත් වෘත්තිකයින් ද මෙම ලිංගික සූරාකෑමේ ප්‍රබල කොටස්කරුවන් බවට පත්වෙයි.
"ඕම් ශාන්ති ඕම්"
අසල්වැසි ඉන්දියාවේ 2007 වසරේ නිෂ්පාදනය වූ "ඕම් ශාන්ති ඕම්" එවැනි වර්ගයේ චිත්‍රපටයකි. සරල රීතියක් යටතේ විනෝදාත්මක චිත්‍රපටයක් ලෙසින් නිමවී තිබු එය අති විශාල ධනයක් යොදා නිමවූවක් ද වෙයි. එය ඉන්දියාවේ BOX OFFICE වර්ගයේ චිත්‍රපටයක් වූ අතර, එහි තේමාව ද තම සිනමාපටයේ ප්‍රධාන නිළිය තම ලිංගික උත්තේජන උදෙසා නිෂ්පාදකවරයා විසින් යොදා ගැනීමයි.

මෙහි ශාරුන් ඛාන් සහ දීපිකා පදුකෝන් ප්‍රධාන චරිතවලට පන පෙවූ අතර අර්ජුන් රාම්පාල් නිෂ්පාදකවරයා ගේ චරිතයට පණ පොවමින් දුෂ්ටයා ගේ චරිතයට ප්‍රවිශ්ටව සිටියේ ය. චිත්‍රපටයේ අධ්‍යක්ෂ තම චිත්‍රපටයේ ප්‍රධාන නළුවාට මේ ආත්මයේ දී නිෂ්පාදකවරයා පරදවන්නට බැරිව දෙවෙනි ආත්මයක් වෙත චිත්‍රපටි කතාව රැගෙන ගොස්, එකී ආත්මය තුළ දී නිෂ්පාදක ගේ: බලහත්කාරය, ලිංගික සූරාකෑම, ලිංගික ප්‍රචණ්ඩත්වයට පිළිතුරු ලබා දීමට පෙළඹී තිබුණි, කෙසේ හෝ දෙවෙනි ආත්මයේ දී එම චිත්‍රපටය තුළ සිනමාවේ සියලු දෙනා ම එකට එක්ව ගීතයක් ද ගයා චිත්‍රපටය හමාර කළ අතර, නිෂ්පාදකයා ගේ ජඩ හැසිරීම තනිකර ම වාණිජ පරමාර්ථකයට යටත්ව "නැව ගිලුනත් බෑන් චූන් " ලෙසින් චිත්‍රපටය හමාර කර තිබුණි.
සිනමාව ලිංගිකත්වයේ ගොදුරක් බවට පත්වීම
ප්‍රසන්න විතානගේ නිර්මාණය කළ "උසාවිය නිහඬයි" චිත්‍රපටයෙන් අධිකරණ ක්ෂේත්‍රය තුළ පවත්නා ලිංගික සූරාකෑම සහ ලිංගික බලහත්කාරය ඉතා හොඳින් පෙන්වන අතර, මෙවැනි උදාහරණ ලංකාවේ සෑම වෘත්තියක් තුළ ම සටහන්ව තිබේ, වෙනත් ක්ෂේත්‍ර තුළ වූ මෙම ලිංගික ප්‍රචණ්ඩත්වය, ලිංගික බලහත්කාරය සමාජයවෙත මුදාහරින අතිප්‍රභල මාධ්‍යක් වූ සිනමාව ද එහි ම ගොදුරක් බවට පත්ව තිබේ.
නිළියන් සමග ජල තරගයේ යෙදෙන්නෝ

ලංකාවේ තිබූ කුරිරු යුද්ධය ගැන නිමවූ චිත්‍රපට ද සැබෑ ලෙසම යුද්ධයේ සැබෑ නිර්මාපකයන් ගැන කතා නොකළ අතර යුද්ධයෙන් බැට කෑ එවුන් සහ හංවඩු ගැසූ එවුන්ගේ කතා බවට පත්කර තිබිණි. චිත්‍රපට අධ්‍යක්ෂවරයාට ද එවැනි කරුමයකට මුහුණ දීමට සිදුව තිබේ. අධ්‍යක්ෂවරයා ද පාරිශුද්ධ නොවේ. ඔහු ද මේ බෝට්ටුවේ ම, මේ නිළියන් සමග ජල තරගයේ යෙදෙන්නෙක් පමණක් වෙයි. එහෙත් ඔහු එක් අයෙක් පමණ ය.
ජඩ සිනමා මාධ්‍යකරුවන් ගේ පැතිකඩ
"ඔස්කාර්" සිනමාපටය එය සිහිකැඳවමින් නිර්මාණය කර ඇත. එහි නවක රංගන ශිල්පිනිය චරිතයට සාධාරණයක් ඉටු කරයි. මෙවැනි සංවේදී මාතෘකාවක දී සංගීතය වඩාත් වැදගත් කාර්‍යයයන් ඉටුකළ යුතු ය. අධ්‍යක්ෂවරයා නිළිය ගේ ප්‍රකාශන සිනමාපටයේ දිගහරින අතර ලංකාවේ ජඩ සිනමා මාධ්‍යකරුවන් ගේ පැතිකඩක් ද පෙන්වයි, මෙහි සිටින මාධ්‍යකරුවා මීට වසර කියපයකට පෙර සිනමා පුවත්පත්හි අරක්ගෙන සිටි බහිරවයන් වැනි පිරිසකි. ඕපාදූප, අරක්කු, දන්නාකමට ලිවීම යනාදිය ප්‍රකට කරයි. චිත්‍රපටය තුළ එයත් කළ යුතු ම කියැවීමකි. මෙම " ඔස්කාර්" චිත්‍රපටය ද "ඕම් ශාන්ති ඕම්" හී සිදුවූ අයුරින් ම චිත්‍රපටය අවසානයේ සියලු දෙනා ම ගුණදොස් විවේචනයෙන් පසුව එකට එක්වෙයි.
සීමාව හඳුනා ගෙන වැඩ කරන අධ්‍යක්ෂවරයා
"ඔස්කාර්" චිත්‍රපටයේ අධ්‍යක්ෂක එරංග සේනාරත්න
එරංග ගේ මේ සිනමාපටය තරුණ තරුණියන් නැරඹිය යුතු ය. විශේෂයෙන් ම තරුණ සිනමාකරුවන් වීමට සැරසෙන පිරිස්වලට ඉතා හොඳ පණිවිඩයක් මෙහි අන්තර්ගත ය. එනම් කුඩා ප්‍රාග්ධනයක් යොදමින් තම සිනමා සිතැඟි සපුරාගන්නට සිතන අයට මෙහි වැදගත් අදහසක් දී ඇත. බියනොවී චිත්‍රපටයක් නිර්මාණය කළ හැකි මාර්ගය මෙහි පෙන්වා ඇත. එරංග කවදත් චිත්‍රපට නිෂ්පාදකවරු හාන්සි කළ අයෙක් නොවේ; ඔහු ගේ පැවැත්ම ද එය යි. ඔහුට නිෂ්පාදකයෙක් සොයා ගැනීමට ඇති ශක්තියෙන් මුල් පෙළෙහි එය රඳාපවතී. ඔහුගේ සිනමා චාරිකාව 1990 තරම් කලෙක සිට අද දක්වාම ගමන් කිරීමට මෙම කළමණාකාරීත්වය මුල් වූ බව හේතුවෙයි.

මේ චිත්‍රපටය වැඩිටිහියන් වෙනුවෙන් වෙන්නොවූයේ නම් වඩාත් හොඳ ය. මෙය පවුලේ පිරිස්වලට ගෝචර චිත්‍රපටයකි. දැන් හැදෙන කුජීත SEX සහිත ටෙලිනාට්‍ය දෙස බැලීමේ දී ඇතිවන අපුල මේ චිත්‍රපටය තුළ නොමැති බව කිව යුතු ය. එරංග සෑම විටම සීමාව හඳුනාගනිමින් වැඩකරන අයෙක් බව පෙන්වයි.
ඔස්කා චිත්‍රපටය තුළ: පිරිමියා වෙනුවෙන් ගැහැණිය ද, ගැහැණිය වෙනුවෙන් පිරිමියා ද යන්න අවධාරණය කරයි.
ඔස්කා නරඹන්න; සිතැඟි ලියන්න

Mohan Hettiarachchi
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
