ඉන්දීය එක්දින උපනායක ශ්‍රෙයාස් අයියර් ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැති තෙවැනි සහ අවසන් එක්දින තරගයේ පන්දු රැකීමේදී ඇති වූ ආබාධ තත්ත්වයක් හේතුවෙන් පසුගියදා රෝහල් ගත කළ අතර ඔහු ඊයේ (27 වැනිදා) දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාරවලින් ඉවත් කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
එසේම කාන්තා ලෝක කුසලාන තරගාවලියේ බංග්ලාදේශය සමග පැවැති තරගයේදී පන්දු රැකීමේදී ඉන්දීය ආරම්භක පිතිකාරිණී ප්‍රතීකා රාවල් වළලුකර ආබාධයකට ලක් වූවාය.
තරගය අතරතුර ඕස්ට්‍රේලියානු පිතිකරු ඇලෙක්ස් කේරි දවාගැනීම සඳහා විශිෂ්ට ගණයේ උඩ පන්දුවක් රැක ගැනීමට ශ්‍රෙයාස් අයියර් සමත් වූයේය. එහිදී පන්දුව රැක ගනිමින් ඇද වැටීමත් සමග දැඩි වේදනාවකට පත්වනු දැකිය හැකි වූ අතර කඩිනමින් රෝහල් ගත කිරීමෙන් පසුව සිදු කළ පරීක්ෂණවලින් ඔහුගේ ඉළ ඇට ආශ්‍රිතව සහ ප්ලීහාව ආශ්‍රිතව දරුණු ගණයේ අභ්‍යන්තර තුවාල සිදුව ඇති බව තහවුරුව තිබුණි.
කඩිනම් ප්‍රතිකාර මගින් ඔහුට පැවැති මාරාන්තික තත්ත්වයෙන් ගලවාගැනීමට සිඩ්නි රෝහලේ වෛද්‍යවරු සමත් වූ බව මාධ්‍ය වාර්තා කර තිබුණි. ඔහු දින දෙකක් පමණ දැඩි සත්කාර ඒකකයේ සිටිය යුතු බව වෛද්‍ය නිර්දේශය විය.
නවතම තොරතුරුවලට අනුව ශ්‍රෙයාස් තවදුරටත් රෝහල් දැඩි සත්කාර ඒකකයේ රඳවා ගැනීම අවශ්‍ය නොවන බව රෝහලේ වෛද්‍යවරු දැනුවත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඔහුගේ ප්ලීහාව ආශ්‍රිත තුවාලය මේ වන විට යම් තරමකට සුව වී ඇති බවත් සුව වීමේ කාල පරාසය ප්‍රතිකාර අනුව වෙනස් වනු ඇතැයි ද රෝහලෙන් දැනුවත් කොට ඇත.
මේ වන විට ශ්‍රෙයාස් අයියර්ගේ පවුලේ සාමාජිකයෙකු සිඩ්නි බලා ගෙන්වා ගැනීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය කටයුතු සම්පාදනය කර ඇත. ඒ වන තෙක් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ වෛද්‍යවරයා ශ්‍රෙයාස්ගේ ප්‍රතිකාර සඳහා ඔහු සමගින් රැඳී සිටින බව ද වාර්තා වේ.
කාන්තා පිලේ ආබාධයට ලක් වූ ප්‍රතීකා රාවල්ට තරගාවලියේ ඉදිරි තරග ක්‍රීඩා කිරීමට නොහැකි වනු ඇති අතර ඒ වෙනුවට ශෆාලි වර්මා සංචිතයට කැඳවීමේ අවස්ථාවක් ඇතැයි වාර්තා වේ.
(aruna)

