මේ දිනවල පැවැත්වෙන වයස අවුරුදු 23 පහළ අන්තර් සමාජ ප්‍රිමියර් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය සහ බී.ආර්.සී (BRC) ක්‍රීඩා සමාජය සමත්ව තිබේ. බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායම මෙලෙස පිට පිට දෙවන වරටත් අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූ අතර, ඔවුන්ගේ තරගාවලි ඉතිහාසයේ මෙවැනි දස්කමක් දැක්වූ ප්‍රථම අවස්ථාව ලෙස මෙය සටහන් වේ.
තරගාවලිය පුරාවටම ප්‍රබල ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කළ බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායම අවසන් මහා තරගය දක්වා රැගෙන යාමට මිනෙත් ප්‍රේමරත්න ප්‍රමුඛ පිතිකරුවන් සහ පන්දු යවන්නන් දැක්වූ දක්ෂතා ප්‍රබල හේතුවක් විය.
මිනෙත් ප්‍රේමරත්නගෙන් ශතක දෙකක් - තරින්ද නිර්මාල්ගෙන් කඩුලු 06ක්
මීගමුව ක්‍රිකට් සමාජයට එරෙහිව පැවැති අර්ධ අවසන් පූර්ව තරගයේදී ප්‍රබල පිතිහරඹයක නිරත වූ බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩකයෝ සිය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 586ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කළහ. එහිදී මිනෙත් ප්‍රේමරත්න පන්දු 186කදී ලකුණු 143ක් රැස් කළ අතර, ඔහුට අනගි සහයක් දුන් ශනික්‍ය දේශප්‍රිය ලකුණු 119ක් ලබා ගැනීමට සමත් විය. ඊට අමතරව තවත් ක්‍රීඩකයින් 5 දෙනෙකුම අර්ධ ශතක ලබාගනිමින් ඉනිම ශක්තිමත් කළහ.
අනතුරුව කුරුණෑගල යූත් කණ්ඩායමට එරෙහිව පැවැති අවසන් පූර්ව තරගයේදී ද මිනෙත්ගේ පිත්ත නැවතත් සක්‍රිය වූ අතර, ඔහු බ්ලූම්ෆීල්ඩ් පළමු ඉනිම වෙනුවෙන්
ලකුණු 114ක් රැස් කළේය. එම ඉනිම මත පදනම්ව බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායම රැස්කළ ලකුණු 291ට පිළිතුරු ලෙස කුරුණෑගල යූත් කණ්ඩායමට ලබාගත හැකිවූයේ ලකුණු 233ක් පමණි. එහිදී පන්දුවෙන් විශිෂ්ට දක්ෂතාවක් දැක්වූ තරින්ද නිර්මාල් කඩුලු 6ක් බිඳහෙළමින් පළමු ඉනිමේ ජයග්‍රහණය තහවුරු කිරීමට මහෝපකාරී විය.
එම තරගයේ දෙවන ඉනිමේදීත් අනුකම්පාවකින් තොරව පහරදුන් මිනෙත් ප්‍රේමරත්න පන්දු 32කදී වේගවත් නොදැවී ලකුණු 52ක් රැස්කරමින් ඕනෑම අවස්ථාවක තරගයේ ගමන වෙනස් කළ හැකි බව නැවත වරක් තහවුරු කළේය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
