මේ සතිය, ප්‍රංශයේ කොරෝනා වෛරසයේ උච්චතම අවස්ථාව බවට පත්වේ...

මේ සතිය, ප්‍රංශයේ කොරෝනා වෛරසයේ උච්චතම අවස්ථාව බවට පත්වේ...

කොරෝනා වෛරස් වසංගතයේ ආරම්භයේ සිට මේ දක්වා කාලය තුළ ප්‍රංශය සිදු වූ ඉහළම පුද්ගල මරණ සංඛ්‍යාව ඊයේ (අප්‍රේල් 07 ) දිනයේ දී වාර්තා විය.

ප්‍රංශ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ජෙරොම් සලොමොන් ඊයේ සවස ප්‍රකාශයට පත් කළ  සංඛ්‍යා ලේඛනවලට අනුව, අප්‍රේල් 07 වැනිදා සවසින් ගෙවී ගිය පැය 24 තුළ පමණක් කොරෝනා ආසාධනයෙන් මිය ගිය පුද්ගලයන් ප්‍රමාණය 1, 427 ක් බවට පත් වී ඇත.

මෙම මරණ 1, 427 න් 620 ක් රෝහල් තුළ සිදු වූ මරණ බවත්, යැපෙන වැඩිහිටියන්ට නවා තැන් පහසුකම් සපයන නිවාස ( Ehpad ) තුළ මරණ 820 ක් සිදුවී ඇති බවත් ඔහු අනාවරණය කළේය.

සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ජෙරොම් ඉදිරිපත් කළ සංඛ්‍යා ලේඛන වලට අනුව මේ වන විට ප්‍රංශය තුළ සිටින රෝගීන් සංඛ්‍යාව 1, 09, 069 කි.

කොරෝනා වෛරසය ආසාධනය වීමෙන් ප්‍රංශය තුළ මෙතෙක් මිය ගොස් ඇති පුද්ගලයන් ප්‍රමාණය 10, 328 කි. 30, 000 ක් රෝහල්ගතව සිටින අතර, රෝගීන් 7, 131 දෙනෙකු දැඩි සත්කාර ඒකක වල පසු වෙති.

කොරෝනා වෛරසය ආසාධනය වූ රෝගීන්ගෙන් 19, 337 ක් මේ වන විට සුවය ලබා සිටින බව ද ජෙරොම් අනාවරණය කළේය.

කොරෝනා වෛරසයේ උච්චතම අවස්ථාව මේ සතිය තුළ සිදු විය හැකි බවත්, දෙපාර්තමේන්තු කිහිපයකින් මරණ සංඛ්‍යාවේ ඉහළ යෑමක් අපෙක්ෂා කරන බවත් සෞඛ්‍ය බලධාරීහු පවසති.

නිවාසවල රඳවා තැබීමේ නියෝගය අවසන් වන දිනය පිළිබඳව අනාවැකි කීමට කල් වැඩි බව පවසන ප්‍රංශයේ විද්‍යාත්මක කවුන්සිලයේ ප්‍රධානී ජොන් ප්‍රොන්සුවා ( Jean - Francois ) පෙන්වා දෙන්නේ , එම කාලය මැයි මස මුල දක්වා දිගටම පවතිනු ඇති බවය.

BFM රූපවාහිණිය සමඟ පැවැති සකච්ඡාවකට සහභාගි වෙමින් ඔහු වැඩි දුරටත් කියා සිටියේ, නිවාස තුළ රැඳවීමේ කාලය දීර්ඝ වීම බොහෝ ප්‍රංශ ජාතිකයන්ට දරා ගැනීමට අපහසු බව තමන් හොඳ හැටි දන්නා බවය.

මේ අතර අද (අප්‍රේල් 08 ) සිට එළිමහනේ සිට සිදු කරන සියළුම ශාරීරික ව්‍යායාම් සහ ඒ සම්බන්ධ ක්‍රියා කාරකම් උදෑසන 10. 00 සිට රාත්‍රී 7.00 දක්වා සිදු කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කල බව රජය ප්‍රකාශ කොට ඇත.

මැයි මස මුල දී නැවත පාඨමාලා ආරම්භ කිරීමට අපේක්ෂා කළ ද, ජූනි මස පැවැත්වීමට නියමිත විභාග අවලංගු කිරීමට අධ්‍යාපන අමාත්‍යවරයා ගෙන තිබූ තීරණය එලෙසම ක්‍රියාත්මක වන බව ද රජය ප්‍රකාශ කොට ඇත.

මේ අතර ප්‍රංශය තුළ කොරෝනා වෛරසයෙන් වඩාත්ම බලපෑමට ලක්ව පවතින ලා කුර්නුව් ( La Courneuve ) යන ප්‍රදේශයෙහි පවතින සෞඛ්‍ය ආයතන කිහිපයක් සහ සමාජ ක්‍රියාකාරිත්වය සඳහා වූ මධ‍යස්ථානයක් නිරීක්ෂනය කිරීමට ප්‍රංශ ජනාධිපති එම්මානුඑල් මැක්‍රොන් ( Emmanuel Macron ) ඊයේ සවස ගොස් තිබුණි.

එම අවස්ථාවේ දී ඔහු සහ ජනයා අතර සමීප සම්බන්ධයක් පැවැති නමුත්, ඔහු කිසිදු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමයක් අනුගමනය කිරීමට පියවර ගෙන නොතිබුණි.

මේ පිළිබඳව ප්‍රංශ ජන මාධ්‍ය දැඩි ප්‍රහාරාත්ම විවේචනයක් ජනාධිපතිවරයාට එරෙහිව එල්ළ කරන අයුරු දකින්නට තිබුණි.

( සුනිල් ගමිණී - ප්‍රංශ ජන මාධ්‍ය ඇසුරෙන් )

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න