Language Switcher

V2025

ප්‍රංශ ජනාධිපති, කොරෝනා සුව කිරීමේ පර්යේෂණයක නියැළෙන මහාචාර්‍යවරයා හමුවෙයි...

ප්‍රංශ ජනාධිපති එම්මානුඑල් මැක්‍රොන් ඊයේ (අප්‍රේල් 09 ) දහවල් හදිසියේ මාර්සෙයි ( Marseille ) නගරයේ සංචාරයක නිරත වී තිබේ. එම සංචාරයේ දී ජනාධිපතිවරයා , මහාචාර්ය දිදීර් රව්( Didier Raould ) මුණගැසී තිබේ. මෙම හමුව විනාඩි 20 ක පමණ කාලයක් පුරා පැවති බව වාර්තා වේ.

මහාචාර්ය දිදීර් රව් යනු මෑතකදී කුප්‍රකට වූ පුද්ගලයෙකි. ඊට හේතුව වන්නේ කෝවිඩ් - 19 වෛරසය සුව කිරීම සඳහා ක්ලෝරෝකුවින් ( Chloroquine ) නමැති ඖෂධය මත පදනම් ව පරීක්ෂණයක් සිදු කරමින් සිටීමය.

මෙම මහාචාර්යවරයා සේවය කරනු ලබන්නේ මාර්සෙයි නගරයේ පිහිටි, බෝවන හා නිවර්තන රෝග සහ සායනික ක්ෂුද්‍රජීව විද්‍යාව පිළිබඳව පර්යේෂණ සඳහා විශේෂයෙන් සැකසූ , ප්‍රංශයේ ඇති එකම විශ්වවිද්‍යාලය වන IHU හි ය.

මහාචාර්ය දිදීර් රව් වෛද්‍යවරයා පිළිබඳව ප්‍රංශ වැසියන් තුළ මත දෙකක් පවතී. එක් කොටසකගේ මතය වන්නේ මොහු ලෝකප්‍රකට වෛද්‍යවරයෙකුය යන්නය. තවත් කොටසක් පවසනුයේ මොහු, විශේෂ ඥාණයක් සහ හැකියාවක් ඇතැයි බොරුවට පෙනී සිටින පුද්ගලයකු කියාය.

කෙසේ වෙතත් ප්‍රංශ ජනාධිපතිවරයා සහ මහාචර්ය දිදීර් රව් අතර පැවැති හමුව පිළිබඳව ජනාධිපති න්‍යාය පත්‍රයේ නිළ වශයෙන් ප්‍රකාශ කර නොමැත. රජය පවසන පරිදි මෙම හමුව සිදුකොට ඇත්තේ කොරෝනා වෛරසයට ප්‍රතිකාරයක් සොයා ගැනීම සඳහා සිදුවන පර්යේෂණය පිළිබඳව සොයා බැලීමටය.

කොරෝනා වෛරසය සඳහා ප්‍රතිකාරයක් සොයා ගැනීම සඳහා ප්‍රංශය තුළ සිදු කිරීමට සැලසුම් කර තිබූ , මුහුදු කීටයන්ගේ රුධිරය යොදා කරන පරීක්ෂණය අතර මැද නවත දමා ඇත. මීට ලබා දී තිබූ අවසරය ඉවත් කර ඇත්තේ එම පරීක්ෂණය සම්බන්ධයෙන් නව ඇගයීමක් බලාබොරොත්තුවෙන් බව සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කොට ඇත.

ප්‍රංශයේ සාමාන්‍ය වෛද්‍යවරුන්ගේ සංගමය විසින් වෘත්තිකයන් දෙදහසකට වැඩි පිරිසක් සහභාගී කර ගනිමින් කරන ලද සමීක්ෂණයකට අනුව මේ වසරේ මාර්තු 17 සිට අප්‍රේල් 03 දක්වා කාලය තුළ ප්‍රංශ ජනතාවගෙන් මිලියන 1.67 කට කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බව අනාවරණය කර ගෙන තිබේ.

එහෙත් සෞඛ්‍ය අමාත්‍යංශ නිළ සංඛයා ලේඛන වලට අනුව කොරෝනා ආසාධිතයන්ගේ ප්‍රමාණය 1, 12, 950 කි. මේ පිළිබඳව අදහස් දක්වන සාමාන්‍ය වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය ජැක් බැතිස්තොනි ( Dr. Jacques Battistoni ) පෙන්වා දෙන්නේ රෝහල් ගතව සිටින රෝගීන්ගේ සංඛ්‍යාවට සාපේක්ෂව ආසාධිතයන්ගේ ප්‍රමාණය බොහෝ වෙනස් බවය.

නමුත් ප්‍රංශයේ මුළු ජනගහනය හා සැසඳිමක් කරන්නේ නම් එම ප්‍රමාණය අල්ප බව ද ඔහු වැඩි දුරටත් කියා සිටී.

ප්‍රංශ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ජෙරොම් සලොමොන් ඊයේ (අප්‍රේල් 09 ) සවස ඉදිරිපත් කළ සංඛ්‍යා ලෙඛන වලට අනුව 09 වැනිදායින් ගෙවුණු පැය 24 තුළ ප්‍රංශයේ රෝහල් තුළ මිය ගිය කොරෝනා ආසාධිතයන් ගණන 541 කි.

යැපෙන වැඩිහිටියන් සඳහා නවාතැන් පහසුකම් සපයන නිවාස වල ( Ehpad ) පැය 48 ක් තුළ මිය ගිය ගණන 929 ක් බවට අනාවරණය කළේය. පසුගිය බ්‍රහස්ප්තින්දා (08) Ehpad වල මිය ගණන ඉදිරිපත් කිරීමක් සිදු නොවිණි.

ජෙරොම් සලොමොන් ට අනුව ඒ වන විට ප්‍රංශය තුළ සිටි සමස්ත ආසාධිතයන් ප්‍රමාණය 1, 17, 759 කි. රෝහල්ගත රෝගීන් ප්‍රමාණය 30, 767 ක් වන අතර දැඩි සත්කාර ඒකක වල සිටින රෝගීන්ගෙ සංඛ්‍යාව 7, 066 කි

ඊයේ (09) සවස වන විට ප්‍රංශය තුළ සිදු වී ඇති කොරෝනා ආසාධිත මුළු මරණ ප්‍රමාණය 12, 210 කි. ඊට සාපෙක්ෂව සුව වී ඇති රෝගීන්ගෙ ප්‍රමාණය 23, 200 කි.

( සුනිල් ගමිණී - ප්‍රංශ ජන මාධ්‍ය ඇසුරෙන් )