නීති ලිහිල් කළ හොත් ප්‍රංශය තුළ නව කොරෝනා රැල්ලක් ඇති විය හැකි බවට පුරෝකථනයක්..

නීති ලිහිල් කළ හොත් ප්‍රංශය තුළ නව කොරෝනා රැල්ලක් ඇති විය හැකි බවට පුරෝකථනයක්..

ප්‍රංශය තුළ සිදුවෙමින් පවතින කොරෝනා වෛරසය ව්‍යාප්තවීම සලකා බැලූවිට , එය පාලනය කිරීම වෙනුවෙන් පනවා ඇති, ජනතාව නිවෙස් තුළ රඳවා තැබීම ඇතුළු නීති රීති ඉවත් කළ හොත් හෝ ලිහිල් කළ හොත් හෝ ප්‍රංශය තුළ කොරෝනා ව්‍යප්තියේ නව රැල්ලක් ඇතිවිය හැකි බවට , ප්‍රංශයේ විද්‍යාත්මක කවුන්සිලයේ සභාපති ජෝ ප්‍රංශුවා දෙල්ෆරෙයිසි ( Jean - Francois Delfraissy ) අනතුරු හඟවා තිබෙනවා.

ඔහු මෙම අනතුරු හැඟවීම සහිත පුරෝකථනය කරනු ලැබුවේ සෙනෙට් සභාවේ දී ඇසූ පැණයකට පිළිතුරු දෙමිනි.

වැඩි දුරටත් අදහස් දැක් වූ ප්‍රංශ විද්‍යාත්මක කවුන්සිලයේ සභාපතිවරයා පැවසුවේ, එවැනි නීති ලිහිල් කිරීමක් සිදු කළ හොත් දිනකට කොරෝනා ආසාදිතයන් 10, 000 ත් 15, 000 ත් අතර සංඛ්‍යාවක් බිහි විය හැකි බවයි.

අප්‍රේල් 16 වැනිදායින් අවසන් වූ පැය 24 තුළ ප්‍රංශය තුළ සිදු වී ඇති කොරෝනා වෛරස් ව්‍යාප්තිය සම්බන්ධව ප්‍රංශ සෞඛ්‍ය අමාත‍යංශ විසින් නිකුත් කළ සංඛ්‍යා දත්ත ඊයේ දිනයේත් ඉදිරිපත් කරනු ලැබුවේ ප්‍රංශ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ජෙරොම් සලොමොන් ය.

ප්‍රංශය තුළ කොරෝනා වෛරස වසංගතය ආරම්භ වීමෙන් පසු පළමු වතාවට , පැය 24 ක් තුළ සිදු වූ රෝහල්ගත කිරීමේ සංඛ්‍යාවේ අඩුවක් ඊයේ (16) දැක ගතහැකි වූ බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වරයා පැවසීය.

කෙසේ වෙතත් අප්‍රේල් 16 න් ගෙවී ගිය පැය 24 තුළ ප්‍රංශය තුළ සිදු වී ඇති කොරෝනා වෛරස් ආසාදිත මරණ සංඛ්‍යාව 1, 438 බවට අනාවරණය විය.

රෝහල් තුළ සිදු වී ඇති මරණ අසංඛ්‍යාව 514 ක් වන අතර, යැපෙන වැඩිහිටියන් සඳහා නවාතැන් පහසුකම් සපයන නිවාසවල සිදු වී ඇති මරණ සංඛ්‍යාව 924 ක් ය.

දැනට රෝහල්ගතව සිටින රෝගීන් ගණන 31, 779 කි. පැය 24 ක් තුළ රෝහල්ගත කර ඇති රෝගීන් ප්‍රමාණය 4, 560 කි.

දැඩි සත්කාර ඒකකයේ 6, 457 ක් සිටින අතර පැය 24 ක් තුළ ඊට ඇතුළත් කර ඇති රෝගීන් ගණන 273 ක් ය.

රෝගය සුව වීමෙන් පසු රෝහල් වලින් පිට්වී ඇති පුද්ගලයන් සංඛ්‍යාව 31, 000 කි. 16 වැනිදායින් ගෙවුණු පැය 24 තුළ පමණක් රෝහල් වලින් පිටවූ සුව වූවන් ගණන 2, 195 කි.

තම කලාපය තුළ දැඩි සත්කාර ඒකක වල සිටින රෝගීන් සංඛ්‍යාව අඩු වුව ද , තත්ත්වය තවමත් අතිශයින් බරපතල යැයි ඉල් ද ෆ්‍රොන්ස් ( Ils - de - France ) කලාපයේ ප්‍රාදේශීය සෞඛ්‍ය ඒජන්සියේ අධ්‍යක්ෂ ජනරාල් ඔරෙලිඔන් රූසෝ ( Aurelien Rousseau ) ඊයේ (අප්‍රේල් 16 ) BFM රූපවාහිනිය සමඟ පැවැති සාකච්ඡාවක දී පැවසීය.

" අපට දැඩි සත්කාර ඒකක වල කොරෝනා ආසාදිත රෝගීන් 2, 500 ක් ඉන්නවා. වෙනත් හේතුන් මත දැඩි සත්කාර ඒකක වල සිටින රෝගීන් ප්‍රමාණය 500 ක්. මේ දෙක එකතු කළ විට 3, 000 යි. නමුත් අපිට දැඩි සත්කාර සඳහා තියෙන්නෙ ඇඳන් 1, 200 යි. මේ අනුව කොහොම තත්ත්වයක් ද පවතින්නෙ කියලා වටහා ගන්න පුලුවන් නේ ද? "

BFM රූපවාහිනිය සමඟ පැවැති සාකච්ඡාවෙදී රූසෝ තව දුරටත් කියා සිටියේ එලෙසය.

මේ අතර ප්‍රංශ සෞඛ්‍ය බලධාරීන් විසින් සන්නිවේදනය කර ඇති දත්ත මගින් පැහැදිවම අවධාරණය කර ඇත්තේ , වයස අවුරුදු 75 ට වැඩි පුද්ගලයන් අනෙක් අයට වඩා සැලකිය යුතු ලෙස කොරෝනා වෛරසයට නිරාවරණය වී ඇති බවයි.

විශ්‍රාමික නිවාස වල සිටි විශාල සංඛ්‍යාවක් මිය යෑමත්, අති විශාල සංඛ්‍යාවකට කොරෝනා වෛරසය ආසාදනය වීමත් සලාකා බලන විට මෙහි ඇති අතිශය කණගාටුදායක තත්ත්වය හොඳින් පැහැදිලියි.

පුද්ගලයන් ලක්ෂය ඉක්මවා රසායනාගාර මගින් සිදු කොට ඇති කෝවිඩ් - 19 පරීක්ෂණයෙන් 24, 962 කට කොරෝනා වෛරසය ධනාත්මක වී ඇති බවට හෙළි වී ඇති බව පවසන සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ජෙරොම් , පරීක්ෂණ හැකියාව ක්‍රමක්‍රමයෙන් තවත් වැඩි කරන බව කියා සිටිනවා.

ප්‍රංශයේ වඩාත්ම බලපෑමට ලක්වූ දෙපාර්තමේන්තුවල , සේවයේ නියුතු සෞඛ්‍ය සේවකයන්ට අතිරේක දීමනාවක් ගෙවන බවට රජය නිවේදනය කර තිබෙනවා.

එම දීමනාව රෝහල් පරිපාලන කාර්‍ය මණ්ඩල සඳහා යුරෝ 500 ක් ලෙසත්, රෝගීන්ට නිරාවරණය වෙමින් ඉදිරි පෙල කටයුතු කරන සේවාවන් හී නියැලෙන අය සඳහා යුරෝ 1, 500 ගෙවීමට නියමිත වෙනවා.

මේ අතර කොරෝනා වෛරසයට එරෙහි ප්‍රතිකාර සොයා ගැනීම සඳහා යුරෝපීය සායනික අත් හදා බැලීම් වල පළමු ප්‍රතිඵලය අප්‍රේල් මස අවසානයේ දී දැක ගත හැකි බවත්, මෙම අත්හදා බැලීම් සඳහා රෝගීන් 3, 200 ක් යොදා ගෙන ඇති බවත්, බෝවන රෝග විශේෂඥ ෆ්ලොරොන්ස් අදෙර් ( Florence Ader ) ප්‍රකාශ කර තිබෙනවා.

( සුනිල් ගාමිණී - ප්‍රංශ ජන මාධ්‍ය ඇසුරෙන් )

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න